16.
සාරිපුත්‌තසූත්‍රනිර්දේශය
ඉක්බිති සාරිපුත්තසූත්‍රනිර්‍දෙශය කියනු ලැබේ.
16. 1.
(ආයුෂ්මත් ශාරිපුත්‍රයෝ මෙසේ වදාළහ:) මෙසේ මිහිරි වදන් ඇති තුෂිත දෙව්ලොවින් සැව මවුකුසට පැමිණි, නොහොත් දෙව්ලොවින් ගණ මැදට පැමිණි, හෝ රහත්ගණයා මැදට පැමිණි, නොහොත් රහතුන්ගේ ගණාචාර්‍ය්‍ය බවට පැමිණි ශාස්තෲහු මෙයින් පෙර මා විසින් නො දක්නා ලදහු වෙති (පෙර මේ දර්‍ශනය නො වී යැ යි සේ යැ.) නොහොත් කිසිවක්හු ගේ බසින් නො අසන ලදහු වෙත්.
න මෙ දිට්ඨො ඉතො පුබ්බේ - මෙයින් (මේ සංකස්ස නගරයට බැසීමෙන්) පෙර මෙ - මා විසින් ඒ බුදුහු මේ ඇසින් මේ අත්බවින් නො දුටුවිරූහ. යම් දවසෙක බුදුහු තව්තිසාබවනෙහි පරසතුමුල පඬුඇඹුල් සලයෙහි වස් විසූ සේක් දෙව්ගණා විසින් පිරිවරන ලද්දාහු මැද මිණිමුවා හිණින් සකස්පුරට බටුවාහු ද, මේ දර්‍ශනය මිස පෙර නො දුටුවිරූහු නුයි ‘න මෙ දිට්ඨො ඉතො පුබ්බේ’ යනු වේ.
ඉච්චායස්මා සාරිපුත්තො - ‘ඉච්ච’ යනු: පදසන්‍ධි යැ, පදසංසර්‍ග යැ, පදපරිපූර්‍ණතා යැ, අක්‍ෂරසමවාය යැ, ව්‍යඤ්ජනශ්ලිෂ්ටතා යැ, පදානුපූර්‍වතා යැ, තෙල ‘ඉච්ච’ යනු. ආයස්මා යනු: ප්‍රියවචන යැ, ගරුවචන යැ, සගෞරව සප්‍රතිශ්‍රයවචනයෙකි, තෙල ‘ආයස්මා’ යනු. සාරිපුත්තො යනු: ඒ තෙරණුවන්ගේ නම් යැ, සඞ්ඛ්‍යා යැ, සංඥා යැ,ප්‍රඥප්ති යැ, ව්‍යවහාර යැ, නාම යැ, නාමකර්‍ම යැ, නාමධෙය යැ, නිරුක්ති යැ, බ්‍යඤ්ජන ය, අභිලාප නුයි ‘ඉච්චායස්මා සාරිපුත්තො’ යනු වේ.
න සුතො උද කස්සචි - ‘න’ යනු: ප්‍රතික්‍ෂේප යැ; උද යනු: පදසන්‍ධි යැ, පදසංසර්‍ග යැ, පදපාරිපූරි යැ, අක්‍ෂරසමවාය යැ; ව්‍යඤ්ජනශ්ලිෂ්ටතා යැ, පදානුපූර්‍වතා යැ, තෙල ‘උද’ යනු: කස්සචි - කිසිවක්හුගේ (බසින්) ක්‍ෂත්‍රියයකුගේ හෝ බ්‍රාහ්මණයකුගේ හෝ වෛශ්‍යයකුගේ හෝ ශුද්‍රයකුගේ හෝ ගෘහස්ථයකුගේ හෝ ප්‍රව්‍රජිතයකුගේ හෝ දෙවියකුගේ හෝ මනුෂ්‍යයකුගේ හෝ නුයි ‘න සුතො උද කස්සචි’ යනු වේ.
එවං වග්ගුවදො සත්‍ථා - මෙසේ මනහර වදන් ඇති මිහිරි වදන් ඇති පෙම් වඩන වදන් ඇති සිත් ගන්නා වදන් ඇති කුරවිනද සෙයින් මනහර ගොස ඇතියේ; ඒ බුදුන්ගේ මුවින් අෂ්ටාඞ්ගසමන්‍වාගත වූ ඝෝෂය නික්මෙයි: නො පැකිළෙනුයේ ද, මැනවින් දත හැක්කේ ද, මධුර වූයේ ද, කනට සුව වූයේ ද, හැසුණේ ද, නො පැතුරුණේ ද, ගැඹුරු වූයේ ද, නිනද ඇත්තේ ද වේ. තවද ඒ බුදුහු පිරිස් පමණින් ස්වරයෙන් හඟවාලන සේක. ඒ බුදුන්ගේ ඝෝෂය පිරිසෙන් බැහැර නො නික්මේ. තවද ඒ බුදුහු බඹගොස ඇත්තාහු කුරවිකොවුල්හඬ මෙන් මිහිරි වදන් ඇති සේක් නුයි ‘එවං වග්ගුවදො’ යනු වේ. සත්‍ථා යනු: බුදුහු ශාස්තෘ වූහ, සාත්තුනායකයකු වැන්නහ. යම්සේ සාත්තුනායක සත්ත්‍වයන් කාන්තාරය තරණය කරවා ද, දුර්භික්‍ෂකාන්තාරය තරණය කරවා ද, නිරුදකකාන්තාරය තරණය කරවා ද, එතෙර කරවා ද, නිස්තරණය කරවා ද, ප්‍රතරණය කරවා ද, නිර්‍භය භූමියට පමුණුවා ද; එලෙසින් මැ බුදුහු සාර්‍ත්‍ථවාහ වූ සේක් වෛනෙයසත්ත්‍වයන් කතරින් තරවන සේක්, ජාතිකාන්තාරය තරණය කරවන සේක, ජරාකාන්තාරය තරණය කරවන සේක, ව්‍යාධිකාන්තාරය … මරණ - ශෝක - පරිදේව - දුඃඛ - දෞර්‍මනස්‍ය - උපායාස කාන්තාරය තරවන සේක, රාගකාන්තාරය තරවන සේක, ද්වේෂ - මෝහ - මාන - දෘෂ්ටි - ක්ලේශ - දුශ්චරිතකාන්තාරය තරවන සේක, රාග නමැති ගහනය තරවන සේක, ද්වේෂ - මෝහ - මාන - දෘෂ්ටි නමැති ගහනය තරවන සේක, ක්ලේශගහනය - දුශ්චරිතගහනය තරවන සේක, උත්තරණය නිස්තරණය ප්‍රතරණය කරවන සේක, නිර්‍භය වූ අමාමහනිවනට පමුණුවන සේක් නුයි මෙසේත් ‘බුදුහු සාර්‍ත්‍ථවාහ’ යැ. නොහොත් බුදුහු (නිවනට පමුණුවනුයෙන්) නේතෘ වන සේක, (දර්‍ශනකාලයෙහි සංවර - ප්‍රහාණ විනය වශයෙන් වෛනෙයයනට) විනේතෘ වන සේක, දෙශනාකාලයෙහි (සැක සිඳින හෙයින්) අනුනෙතෘ වන සේක, (සැක සිඳ අර්‍ත්‍ථය) පනවන සේක, (පැනවූ අර්‍තථයන්) නිශ්චය කරවන සේක, (පිළිවෙත්) දක්වන සේක, (ප්‍රතිපත්තිඵලයෙන්) පහදවන සේක් නුයි මෙසේත් බුදුහු ‘සාර්‍ත්‍ථවාහ’ යැ. නොහොත් බුදුහු (පෙර ස්වසන්තානයෙහි) නූපන්විරූ ආර්‍ය්‍යමාර්‍ගය ඉපදවූ සේක, (වෛනෙයසන්තානයෙහි) අසඤ්ජාතමාර්‍ගය උපදවන සේක, ප්‍රකාශ නො කළ මාර්‍ගය (විවරණ දීම් වශයෙන්) ප්‍රකාශ කරන සේක, (ප්‍රත්‍යවේක්‍ෂා වශයෙන්) මාර්‍ගය දන්නා සේක, (වෛනෙයසන්තානයෙහි ඉපැදවියයුතු ආර්‍ය්‍යමාර්‍ගය) දන්නාසුලු සේක, (බෝසත්නට පැවැසිය යුතු) මාර්‍ගයෙහි විචක්‍ෂණ වූ සේක. තවද ඒ බුදුන් විසින් හෙළිකළ මාර්‍ගය හේතු කොට මෙ කල්හි මාර්‍ගය අනුව යන ශ්‍රාවකයෝ (ශීලාදිගුණයෙන්) පසුපස යෙමින් වෙසෙත් නුයි මෙසේත් බුදුහු ‘සාර්‍ත්‍ථවාහ’ වූහ’ යි ‘එවං වග්ගුවදො සත්‍ථා’ යනු වේ.
තුසිතා ගණීමාගතො - බුදුහු තුසීපුරයෙන් සැවැ සිහි නුවණ ඇති වැ මවුකුස පිළිසඳ ගත්තාහු නුයි මෙසේත් ‘තුසිතා ගණීමාගතො’ යනු වේ. නොහොත් දෙවියෝ තුසිතයෝ යැයි කියනු ලැබෙති, ඔවුහු තුටු වූවාහු සතුටු වූවාහු සියමන වූවාහු ප්‍රමුදිත වූවාහු උපන් සතුටු සොම්නස් ඇත්තාහු ය; එ දෙව්ලොවින් ගණ මැදට ආවාහු නුයි. මෙසේත් ‘තුසිතා ගණීමාගතො’ යනු වේ. නොහොත් රහත්හු තුසිතයෝ යැයි කියනු ලැබෙති, ඔවුහු තුෂ්ටයෝ යැ, සන්තුෂ්ටයෝ යැ, තුටුසිත් ඇත්තෝ යැ, පරිපූර්‍ණ සංකල්ප ඇත්තෝ යි; රහතුන්ගේ ගණමැදට ආවාහු නුයි මෙසේත් ‘තුසිතා ගණීමාගතො’ යනු වේ. ගණී යනු: බුදුහු ගණී වූහ, ගණාචාර්‍ය්‍ය නුයි - ගණී යැ, ගණයට ශාස්තෘ වූවාහු නුයි - ගණී යැ, ගණයා පරිහරණය කෙරෙත් නුයි - ගණී යැ, ගණයාට අවවාද දෙත් නුයි - ගණී යැ , ගණයාට අනුශාසනා කෙරෙත් නුයි - ගණී යැ, විශාරද වැ ගණයා වෙත එළැඹෙත් නුයි ගණී යැ, ගණ තෙමේ ඔබගේ බස අසනු කැමැති වෙයි, (ඇසීමට) කන නමයි, දැනගැනීමට සිත එළවා නුයි - ගණී යැ; ගණයා අකුශලයෙන් නඟා කුශලයෙහි පිහිටිවාලන සේක් නුයි - ගණී යැ, භික්‍ෂුගණයා සම්බන්‍ධි ගණ ඇති සේක, (-භික්‍ෂුගණයට ගණී යැ) භික්‍ෂුණීගණයට ගණී යැ, උපාසක ගණයට ගණී යැ, උපාසිකාගණයට ගණී යැ, රාජගණයට ගණී යැ, ක්‍ෂත්‍රියගණයට - බ්‍රාහ්මණගණයට - වෛශ්‍යගණයට - ශුද්‍රගණයට - දෙවගණය - බ්‍රහ්මගණයට ගණී යැ; සමූහ ඇති සේක, ගණ ඇති සේක, ගණාචාර්‍ය්‍ය වූ සේකි; ආගතො යනු: සකස් නුවරට එළැඹියහ, පැමිණි සේක් නුයි ‘තුසිතා ගණීමාගතො’ යනු වේ.
එයින් වදාළහ ශාරිපුත්‍රස්ථවිරයන් වහන්සේ:
“න මෙ දිට්ඨො ඉතො පුබ්බේ -පෙ- තුසිතා ගණීමාගතො” යී.
16. 2.
පසැස් ඇති බුදුහු සදේවක ලෝකයාට යම්සේ පැනෙන සේක් නම්, (මිනිසුන්ට ද එසේ පැනෙති) නොහොත් සදේවක ලෝකයාට අවිපරීත වැ පැනෙන සේක. එකලා වූවාහු මැ (රාගාදි) සියලු අඳුරු දුරු කොට (නෛෂ්ක්‍රම්‍යාදි) රතියට පැමිණි සේකි.
සදෙවකස්ස ලොකස්ස - දෙවියන් සහිත වූ මරුන් සහිත වූ බඹුන් සහිත වූ ලොවට මහණබමුණන් සහිත වූ දෙවිමිනිසුන් සහිත වූ ප්‍රජාවට නුයි ‘සදෙවකස්ස ලොකස්ස’ යනු වේ.
යථා දිස්සති චක්ඛුමා - තවුතිසාබවනෙහි පරසතුමුල පඬුඇඹුල් සලයෙහි වැඩහිඳ දහම් දෙසන බුදුන් දෙවියෝ යම්සේ දකිත් නම් එසෙයින් මිනිස්සු දකිති; මිනිස්සු යම්සේ දකිත් නම්, දෙවියෝ එසේ දකිත්; යම්සේ දෙවියනට පැනෙන සේක් නම්, එසේ මිනිස්නට පැනෙන සේක. යම්සේ මිනිසුන්ට පැනෙන සේක් නම්, එසෙයින් දෙවියනට පැනෙන සේක් නුයි මෙසේත් ‘යථා දිස්සති චක්ඛුමා’ යනු වේ. තවද යම්සේ ඇතැම් මහණබමුණු කෙනෙක් නො දැමුණාහු දැමුණු ලෙසින් දක්නා ලැබෙත් ද, නො සන්හිඳුණා හු සන්හුන් ලෙසින් දක්නා ලැබෙත් ද, අනුපශාන්ත වූවාහු උපශාන්ත ලෙසින් දක්නා ලැබෙත් ද, නො නිවුණාහු නිවුණු ලෙසින් දක්නා ලැබෙත් ද,
1. “ස්වර්‍ණප්‍රතිරූප වූ මැටියෙන් කළ කුණ්ඩලාභරණයක් සෙයින් ද, රනින් වැසූ ලොහොමස්සක් සෙයින් ද, ලොවැ පිරිවරින් වැසුණාහු ඇතුළත රාගාදියෙන් අශුද්ධ වූවාහු පිටත චීවරාදියෙන් ශෝභමාන වූවාහු හැසිරෙත්” යයි.
බුදුහු එසේ නො දක්නා ලැබෙත්. බුදුහු විද්‍යාමාන වූ සැබෑ වූ තතු වූ යථාවත් වූ අවිපරීත වූ ස්වභාවයෙන් දැමුණාහු දැමුණු වණින් දක්නා ලැබෙති, සන්හුන් සේක් ශාන්තවර්‍ණයෙන් දක්නා ලැබෙති, උපශාන්ත වූ සේක් උපශාන්තවර්‍ණයෙන් දක්නා ලැබෙති, (ක්ලේශපරිනිර්‍වාණයෙන්) නිවුණාහු නිවුණු වණින් දක්නා ලැබෙත්. තවද භාග්‍යවත් බුදුවරයෝ අකල්පිත (- නො සැරසූ) ඉරියවු ඇත්තාහු පරිපූර්‍ණ ප්‍රාර්‍ත්‍ථනා ඇත්තාහු නුයි මෙසේත් ‘යථා දිස්සති චක්ඛුමා’ යනු වේ. නොහොත් බුදුහු පවිත්‍ර වූ කීර්‍තතිඝෝෂ ඇති සේක් පැතිරැගිය කීර්‍තතිඝෝෂ හා ප්‍රශංසා ඇත්තාහු නාවිමන්හි දු ගුරුළුවිමන්හි දු යක්විමන්හි දු අසුරවිමන්හි දු ගදඹවිමන්හි දු සිවුවරමුන්ගේ විමන්හි දු දෙව්රදවිමන්හි දු බඹවිමන්හි දු දෙව්විමන්හි දු එබඳු වූවාහු දු එයින් අතිරේක වූවාහු දු දක්නා ලැබෙත් නුයි මෙසේත් ‘යථා දිස්සති චක්ඛුමා’ යනු වේ. නොහොත් බුදුහු දශබලයෙන් චතුර්වෛශාරද්‍යයෙන් සිවුපිළිසිඹියාවෙන් ෂඩභිඥාවෙන් ෂඩ්විධ බුද්ධධර්‍මයෙන් ද තේජසින් ද බලයෙන් ද ගුණයෙන් ද වීර්‍ය්‍යයෙන් ද ප්‍රඥාවෙන් ද සමන්‍විත වූවාහු දක්නා ලැබෙති, දන්නා ලැබෙති, පැනෙන සේකි.
2. (උත්සන්න කුශලමූල ඇති) සත්පුරුෂයෝ දුර සිටියාහු නමුදු හිමවත් පර්‍වතය සෙයින් ප්‍රකාශ වෙති. මෙ ලොවැ (ආමිෂගරුක වූ) අසජ්ජනයෝ රෑ වීදි හී සෙයින් නො පැනෙන්නාහු යි.
මෙසේත් ‘යථා දිස්සති චක්ඛුමා’ යනු වේ. චක්ඛුමා යනු බුදුහු පසැසකින් චක්‍ෂුර්මත් වූහ: මසැසිනු දු චක්‍ෂුර්මත්හ, දිවැසිනු දු චක්‍ෂුර්මත්හ, පැනැසිනු දු චක්‍ෂුර්මත්හ, බුදුඇසිනු දු චක්‍ෂුර්මත්හ, සමතැසිනු දු චක්‍ෂුර්මත්හු යි.
කිසෙයින් බුදුහු මසැසිනු දු චක්‍ෂුර්මත් වූහ යත්: බුදුන්ගේ මසැස්හි නිල් පැහැය ද රන්වන් පැහැය ද රත් පැහැය ද කළු පැහැය ද සුදු පැහැය ද යන පඤ්ච වර්‍ණයෝ විද්‍යමාන වෙති. තව ද බුදුන්ගේ අක්‍ෂිරොම වෙයි, යම් තැනෙක්හි අක්‍ෂිරොම පිහිටියේ ද එතැන දියමෙරළියමල් සුදුසු සුනිල් පිරිසුදු දැකුම්කලු නිල් පැහැ වෙයි, එ ඉක්බිති කිණිහිරිමල් සුදුසු සුකසාවන් රන්වන් පිරිසුදු දැකුම්කලු කසාවන් පැහැ වෙයි. බුදුන්ගේ දෙනෙතග රතිදුගොව් සුදුසු සුරත් පිරිසුදු දැකුම්කලු රත්පැහැ වෙයි, මැද රුක්පෙණලඇට සුදුසු ඉතා කළු මෙළෙක් සිනිඳු පිරිසිදු දැකුම්කලු කළුපැහැ වෙයි, එ ඉක්බිති දවහත්තරු සුදුසු ඉතා සුදු හෙළ පඬෙර පිරිසුදු දැකුම්කලු සුදුපැහැ වේ. බුදුහු අත්බැව් ඇසුරු කළ පෙර පින්කමින් උපන් ඒ පස්පෑ දිස්නා පියවි මසැසින් දාවල්හි දු රැයිදු හාත්පස සියක් යොදුන් දකිති.
යම් කලෙක චතුරඞ්ගසමන්‍වාගත අන්‍ධකාරය වේ නම්: හිරු අස්තයට ගියේත් වේ ද; කෘෂ්ණපක්‍ෂයෙහි පොහොයත් වේ ද, ගහන වූ වනලැහැබත් වේ ද, මහත් කළු වලාකුළු නැගුණේ ත් වේ ද, මෙබඳු වූ චතුරඞ්ගසමන්‍වාගත අන්‍ධකාරයෙහි පවා හාත්පස යොදුනක් දක්නා සේක, බිතෙක් වේවයි දොරෙක් වේවයි පවුරෙක් වේවයි ගලෙක් වේවයි ගසෙක් වේවයි වැලෙක් වේවයි රූප දැකීමට එබඳු ආවරණයෙක් නැති, ඉදින් එක් තලඇටයෙක් ලකුණු කොට තලගැළෙක බහාලන්නේ නම්, ඒ තලඇටය මැ නගාගන්නා සේක. බුදුන්ගේ පියවි මසැස මෙසේ පිරිසුදු වේ. මෙසේ බුදුහු මසැසිනුදු චක්‍ෂුර්මත් වූ සේක.
කිසෙයින් බුදුහු දිවැසිනු දු චක්‍ෂුර්මත් වූහ යත්: බුදුහු විශුද්ධ වූ මිනිසැස ඉක්මවා සිටි දිවැසින් ච්‍යුත වන්නා වූ ද උපදනා වූ ද හීන වූ ද ප්‍රණීත වූ ද අභිරූප වූ ද විරූප වූ ද සුගතියට ගියා වූ ද සත්ත්‍වයන් බලන සේක: ‘අහෝ මේ භවත් සත්ත්‍වයෝ කායදුශ්චරිතයෙන් යුක්ත වූවාහු වාග්දුශ්චරිතයෙන් යුක්ත වූවාහු මනෝදුශ්චරිතයෙන් යුක්ත වූවාහු, ආර්‍ය්‍යෝපවාද කළාහු, මිත්‍ථ්‍යාදෘෂ්ටි ඇත්තාහු මිත්‍ථ්‍යාදෘෂ්ටිවශයෙන් සමාදන් වූ විවිධ කර්‍ම ඇත්තාහු ය, ඔහු කය බිඳීමෙන් මරණින් මත්තෙහි සුව රහිත වූ දුකට ගති වූ විවස වැ පතිත වන නිරයට පැමිණියාහු ය; යළි මේ භවත් සත්ත්‍වයෝ කායසුචරිතයෙන් යුක්ත වූවාහු වාක්සුචරිතයෙන් යුක්ත වූවාහු මනස්සුචරිතයෙන් යුක්ත වූවාහු ආර්‍ය්‍යෝපවාද නො කළාහු සම්‍යග්දෘෂ්ටි ඇත්තාහු සම්‍යග්දෘෂ්ටිවශයෙන් සමාදන් වූ කර්‍ම ඇත්තාහුය, ඔහු කාබුන් මරණින් මතු සුන්‍දර ගති ඇති සැපයෙන් අග්‍ර වූ ලෝකයට පැමිණියාහ’යි කම්වූ පරිද්දෙන් පැමිණි සත්ත්‍වයන් දැනගන්නා සේක, මෙසේ විශුද්ධ වූ මිනිසැස ඉක්මවා සිටි දිවැසින් ච්‍යුත වන්නා වූ ද උපදනා වූ ද හීන වූ ද ප්‍රණීත වූ ද අභිරූප වූ ද විරූප වූ ද සුගතියට ගියා වූ ද දුගතියට ගියා වූ ද සත්ත්‍වයන් බලන සේ ක, කම් වූ පරිදි පරලොව පැමිණි සත්ත්‍වයන් දැනගන්නා සේක. තවද බුදුහු කැමැති වන්නාහු නම්, එක් ලොකධාතුවකු දු බලන සේක, ලෝකධාතු දෙකකු දු බලන්නාහ, තුන් ලොකධාතුවකු දු බලන්නාහ, සතර ලොකධාතුවකු දු බලන්නාහ, පස් ලොකධාතුවකු දු බලන්නාහ, දස ලොකධාතුවකු දු බලන්නාහ, විසි ලොකධාතුවකු දු බලන්නාහ, තිස් ලොකධාතුවකු දු බලන්නාහ, සතලිස් ලොකධාතුවකු දු බලන්නාහ, පනස් ලොකධාතුවකු දු බලන්නාහ, සහස්‍රී චුලනීලොකධාතුව ද බලන්නාහ, ද්විසහස්‍රී මධ්‍යම ලෝකධාතුව ද බලන්නාහ, ත්‍රිසහස්‍රී මහාසහස්‍රීලොකධාතුව ද බලන්නාහ, තවද යම් පමණ කැමැතිවන සේක් නම්, ඒ තාක් බලන සේක, මෙසේ බුදුන් ගේ දිවැස පරිශුද්ධ වේ. මෙසේ බුදුහු දිවැසිනු දු චක්‍ෂුර්මත් වන සේක.
කිසෙයින් බුදුහු පැනැසිනුදු චක්‍ෂුර්මත් වූහ යත්: බුදුහු මහත් ප්‍රඥා ඇති සේක, පතළ ප්‍රඥා ඇති සේක, ශීඝ්‍රප්‍රඥා ඇති සේක, දිවෙන ප්‍රඥා ඇති සේක, තියුණු ප්‍රඥා ඇති සේක, විනිවිද යන ප්‍රඥා ඇති සේක, ප්‍රඥා ප්‍රභෙදයෙහි නිපුණ වූහ, ප්‍රභේදයට පැමිණි ප්‍රඥා ඇත්තාහ, අධිගම කළ ප්‍රතිසංවිද් ඇති සේක, චතුර්වෛශාරද්‍යයට පැමිණි සේක, දශබලධාරීහ, පුරුෂශ්‍රේෂ්ඨයහ, පුරුෂසිංහයහ, පුරුෂනාගයහ, පුරෂාජානෙයයහ, පුරුෂධෞරෙයයහ, අනන්තඥාන ඇති සේක, අනන්ත තේජස් ඇති සේක,
අනන්ත යශස් ඇති සේක, ප්‍රඥාධනයෙන් ආඪ්‍ය වූහ, මහත් වූ ප්‍රඥාධන ඇති සේක, ප්‍රඥාධනයෙන් ධනවත් සේක, (නිවනට පමුණුවන හෙයින්) නේතෘ වූහ, (වෛනෙයයන් හික්මවන හෙයින්) විනේතෘ වූහ, (සැක සිඳින හෙයින්) අනුනෙතෘ වූහ, අර්‍ත්‍ථය පනවන සේක, නිශ්චය කරවන සේක, පිළිවෙත් දක්වන සේක, ප්‍රතිපත්තිඵලයෙන් පහදවන සේක; තවද ඒ බුදුහු (සිය සතන්හි) නූපන් ආර්‍ය්‍යමාර්‍ගය ඉපද වූ සේක, (වෛනෙයසන්තානයෙහි) අසඤ්ජාත මාර්‍ගය උපදවන සේක, ප්‍රකාශ නො කළ මාර්‍ගය (විවරණ දීම් වශයෙන්) ප්‍රකාශ කරන සේක, ප්‍රත්‍යවේක්‍ෂා වශයෙන් මාර්‍ගය දන්නා සේක, මාර්‍ගය දන්නාසුලු වූහ, මාර්‍ගයෙහි විචක්‍ෂණ වූ සේක. තවද මෙ කල්හි මාර්‍ගය අනුව යන ශ්‍රාවකයෝ (ශීලාදි ගුණයෙන්) පසුපස යමින් වෙසෙත්. ඒ බුදුහු දතයුතු ඥේයධර්‍මය දන්නා සේක, දැක්ක යුතු ඥේය පථය නුවණැසින් දක්නා සේක, (දර්‍ශනපරිනායක හෙයින්) ඇසක් මෙන් වූහ, ඥානමය වූහ, ධර්‍මමය වූහ, ශ්‍රේෂ්ඨ වූහ, (දහම් දෙසන හෙයින්) වක්තෘ වූහ, ප්‍රවක්තෘ වූහ, (අර්‍ත්‍ථය දක්වන හෙයින්) නින්නෙතෘ වූහ, අමෘතය දෙන සේක, ධර්‍මස්වාමී සේක, තථාගත වූ සේක.
ඒ බුදුන් විසින් මඟනැණින් නොදන්නා ලද්දක් නුවණැසින් නො දක්නා ලද්දක් නුවණින් අවිදිත වූවක් ප්‍රත්‍යක්‍ෂ නො කරන ලද්දක් ප්‍රඥාවෙන් ස්පර්‍ශ නො කරන ලද්දක් නම් නැත. ඥේය නම් වූ දතයුතු යම් කිසි ධර්‍මයෙක් වේ නම්, අතීතානාගතප්‍රත්‍යුත්පන්නය ඇතුළු කොට (සඞ්ඛතාසඞ්ඛත වූ) සියලු ධර්‍මයෝ සර්‍වාකාරයෙන් භාග්‍යවත් බුදුන්ගේ ඥානමුඛයෙහි ආපාථයට පැමිණෙත්. ආත්මාර්‍ත්‍ථය ද පරාර්‍ත්‍ථය ද උභයාර්‍ත්‍ථය ද දෘෂ්ටධාර්මිකාර්‍තථය ද සාම්පරායිකාර්‍තථය ද උත්තාන (- ප්‍රකට) අර්‍ත්‍ථය ද ගම්භීරාර්‍තථය ද ගූඨාර්‍තථය ද ප්‍රතිච්ඡන්නාර්‍තථය ද නෙය්‍යාර්‍තථය ද නීතාර්‍තථය ද නිර්‍දොෂාර්‍තථය ද නික්ලෙශාර්‍තථය ද පරිශුද්ධාර්‍තථය ද පරමාර්‍තථය ද යන ඒ සියල්ල බුද්ධඥානය තුළ පැතිරැ පවතී. භාග්‍යවත් බුදුන්ගේ සියලු කායකර්‍මය ඥානය අනුව පවතී. සියලු වාක්කර්‍මය - භාග්‍යවත් බුදුන්ගේ සියලු මනඃකර්‍මය ඥානය අනුව පවතී. අතීතයෙහි භාග්‍යවත් බුදුන්ගේ ඥානය අප්‍රතිහත ( -අනාවරණ) යැ, අනාගතයෙහි ඥානය අනාවරණ යැ, වර්‍තමානයෙහි ඥානය අනාවරණ යි. දතයුත්ත යම් පමණ ද, ඥානය එපමණ යැ, ඥානය යම් පමණ ද, දතයුත්ත එ පමණ යි. ඥානය ඥේය කෙළවර කොට ඇත්තේ යැ. ඥේය (-දතයුත්ත) ඥානය කෙළවර කොට ඇත්තේ යැ. ඥේය ඉක්මැ ඥානයෙක් නො පවතී, ඥානය ඉක්මැ ඥෙයපථයෙක් නැති ඒ ධර්‍මයෝ අන්‍යොන්‍යපර්‍ය්‍යන්තයෙහි පවත්නාසුල්ලහ. යම්සේ මනා කොට පැහැසු සුමුගුපටල දෙකක්හුගේ යට සුමුගුපටල උපරිමය නො ඉක්මවා ද, උඩ සුමුගුපටල හෙට්ඨිමය නො ඉක්මැ සිටී ද, ඔවුහු ඔවුනොවුන්ගේ පර්‍ය්‍යන්තයෙහි සිටිනාසුලු වෙත් ද; එසෙයින් මැ භාග්‍යවත් බුදුන්ගේ ඥේයයත් ඥානයත් අන්‍යොන්‍යපර්‍ය්‍යන්තයෙහි සිටිනාසුල්ලහ; යම්තාක් ඥේය ද, ඒතාක් ඥාන යැ; යම්තාක් ඥානය ද ඒතාක් ඥේය යැ; ඥානය ඥෙයපර්‍ය්‍යන්තික යැ, ඥේයය ඥානපර්‍ය්‍යන්තික යි. ඥේය ඉක්මැ ඥානයෙක් නො පවතී, ඥානය ඉක්මැ ඥෙයපථයෙක් නැති. ඒ දහම්හු අන්‍යොන්‍යපර්‍ය්‍යන්තයෙහි සිටුනාසුල්ලහ.
සියලු දහම් විෂයෙහි භාග්‍යවත් බුදුන්ගේ ඥානය පවත්නේ යැ, සියලු දහම්හු භාග්‍යවත් බුදුන්ගේ මනෝද්වාරාවර්‍ජනයට අයත්හු වෙති, රුචියට අයත්හු වෙති, මනසිකාරය ප්‍රතිබද්ධ වෙති, චිත්තෝත්පාද ප්‍රතිබද්ධ වෙත්.
සියලු සතුන් විෂයෙහි භාග්‍යවත් බුදුන්ගේ ඥානය පවතී, බුදුහු සියලු සත්ත්‍වයන් ගේ ආශය (අදහස්) දනිති, අනුශය දනිති, චරිතය දනිති, අධිමුක්තිය දනිති, (නුවණැසෙහි) අල්ප වූ රාගාදි රජස් ඇති මහත් වූ රජස් ඇති, තියුණු (ශ්‍රද්ධාදි) ඉඳුරන් ඇති, මෘදු වූ ඉඳුරන් ඇති, සුන්‍දර වූ (ශ්‍රද්ධාදි) ආකාර ඇති, ගර්හිත වූ (අශ්‍රද්ධාදි) ආකාර ඇති, සුවිඥාප්‍ය වූ දුර්විඥාප්‍ය වූ භව්‍යාභව්‍ය සත්ත්‍වයන් දැනගන්නා සේක. මරුන් බඹුන් සහිත වූ දෙවියන් සහිත ලෝවැසි තෙම දෙවිමිනිසුන් සහිත වූ මහණ බමුණන් සහිත ප්‍රජා තොමෝ ඇතුළු බුදුනුවණෙහි පිරිවැටෙයි. තිමි - තිමිඞ්ගල පටන් කොට යම් මස්කැසුබු කෙනෙක් වෙත් නම්, ඔහු යම්සේ මහමුහුදෙහි හැසිරෙත් ද, එසෙයින් මරුන් බඹුන් සහිත සදේවක ලෝක තෙමේ මහණබමුණන් සහිත සදෙවමනුෂ්‍යප්‍රජාව ඇතුළු බුදුනුවණෙහි පවතී; යම්සේ විනතා පුත් ගුරුළු රජු පටන් කොට යම් කිසි පක්‍ෂි කෙනෙක් වෙත් නම්, ඔහු අහසැ පෙදෙසෙකැ හැසිරෙත් ද, එසෙයින් ම යම් කෙනෙක් නුවණින් සැරියුත් තෙරුන් සම වූවාහු නම්, ඔහු දු බුද්ධඥානයාගේ පෙදෙසෙක පවත්නාහු ය; බුද්ධඥානය දෙවිමිනිසුන් ගේ ප්‍රඥාව පැතිරැ මැඩගෙනැ සිටී. නිපුණ වූ කළ පරවාද ඇති වල් විදුනා දුනුවායන් බඳු ප්‍රසිද්ධ වූ යම් ක්‍ෂත්‍රියපණ්ඩිත කෙනෙක් බ්‍රාහ්මණපණ්ඩිත කෙනෙක් ගෘහපතිපණ්ඩිත කෙනෙක් ශ්‍රමණපණ්ඩිත කෙනෙක් ප්‍රඥාවෙන් දෘෂ්ටිගතයන් බිඳිමින් මෙන් හැසිරෙත් නම්, ඔහු ගූඪ වූ ද ප්‍රතිච්ඡන්න වූ ද, බොහෝ ප්‍රශ්න රචනා කොට බුදුන් කරා පැමිණ විචාරත්, බුදුන් විසින් ඒ ප්‍රශ්නයෝ සකාරණ වැ වදාරණ ලද්දාහු විසඳන ලද්දාහු මැ වෙත්. ඔවුහු බුදුන්ගේ ශ්‍රාවක බවට (උපාසක බවට හෝ) පැමිණියාහු මැ වෙත්. යළි බුදුහු මැ එහි ප්‍රඥාවෙන් අතිශයින් ප්‍රකාශ වෙත් නුයි මෙසේ බුදුහු පැනැසිනු දු චක්‍ෂුර්මත් වන සේක.
කිසෙයින් බුදුහු බුදුඇසිනු දු චක්‍ෂුර්මත් වූහ යත්: බුදුහු බුදුඇසින් ලොව බලන සේක් (නුවණැස්හි) අල්ප වූ (රාගාදි) කෙලෙස්රජස් ඇති මහත් වූ කෙලෙස්රජස් ඇති තියුණු වූ (ශ්‍රද්ධාදි) ඉඳුරන් ඇති මෘදු වූ ඉඳුරන් ඇති (ශ්‍රද්ධාදි) සුන්දරාකාර ඇති (අශ්‍රද්ධාදි) ගර්හිතාකාර ඇති සුවිඥාප්‍ය වූ දුර්විඥාප්‍ය වූ සත්ත්‍වයන් ඇතැම් කෙනකුන් පරලොව හා වද්‍යයන් භයවශයෙන් දක්නාසුලු වැ වසනුවන් ඇතැම් කෙනෙකුන් පරලොව හා වද්‍යයන් භයවශයෙන් දක්නාසුලු වැ නො වසනුවන් දුටු සේක; යම්සේ උපුල්විලෙකැ හෝ පියුම්විලෙකැ හෝ නෙළුඹුවිලෙකැ හෝ ඇතැම් උපුල් හෝ පියුම් හෝ නෙළුඹු දියෙහි හටගත්තාහු දියෙහි වැඩුණාහු දියෙන් නො නැඟුණාහු දියතුළ ගැලී පොහොනි වූවාහු ද, ඇතැම් උපුල් පියුම් හෝ නෙළුඹු දියෙහි හටගත්තාහු දියෙහි වැඩුණාහු දිය හා සම වැ සිටියාහු ද, ඇතැම් පියුම් උපුල් හෝ නෙළුඹු දියෙහි හටගත්තාහු දියෙහි වැඩුණාහු දියෙන් උඩට නැඟී දිය හා නො වැකුණාහු සිටිත් ද; එසෙයින් මැ බුදුහු බුදුඇසින් ලොව බලන සේක් අල්පරජස්ක වූ ද මහාරජස්ක වූ ද තියුණු ඉඳුරන් ඇත්තාවූ ද මෘදු ඉඳුරන් ඇත්තාවූ ද සුන්දරාකාර වූ ද ගර්හිතාකාර වූ ද සුවිඥාප්‍ය වූ ද දුර්විඥාප්‍ය වූ ද සත්ත්‍වයන් පරලොව හා වද්‍යයෙහි භය දක්නාසුලු වැ වසනුවන් ඇතැම් කෙනකුන් පරලෝක වද්‍යයෙහි භය දක්නාසුලු වැ නො වසනුවන් දුටු සේක;
‘මේ පුද්ගල තෙමෙ රාගචරිත ඇත්තෙක, මේ තෙමේ ද්වෙෂචරිතයෙක, මේ මොහචරිතයෙක, මේ විතර්‍කචරිතයෙක, මේ ශ්‍රද්ධාචරිතයෙක, මේ ඥානචරිත ඇත්තෙකැ’ යි බුදුහු දැනගන්නා සේක. බුදුහු රාගබහුල පුද්ගලයාට අශුභකථාව වදාරන සේක. ද්වෙෂබහුල පුද්ගලයාහට බුදුහු මෛත්‍රීභාවනාව ප්‍රකාශ කරන සේක. මොහබහුල පුද්ගලයා බුදුහු (පෙළ) උදෙසීමෙහි ද (අටුවා) පිළිවිසීමෙහි ද සුදුසු කල ධර්‍මශ්‍රවණයෙහි ද කලෙක ධර්‍මසාකච්ඡාවෙන් ගුරුන් ඇසුරු කිරීමෙහි ද සිටුවන සේක. බුදුහු විතර්‍ක බහුල පුද්ගලයාහට ආනාපානස්මෘතිය පවසන සේක. ශ්‍රද්ධාබහුල පුද්ගලයාට බුදුහු ප්‍රසාද උපදවන (චුල්ලවෙදල්ලාදි) සූත්‍රයක් ද බුදුන්ගේ බුද්ධත්‍වප්‍රතිවෙධය ද ධර්‍මය ස්වාඛ්‍යාත බව ද සඞ්ඝයා සුප්‍රතිපන්න බව ද තමා සතු සිල් ද පවසන සේක. ඥානචරිත පුද්ගලයාහට විදර්‍ශනා නිමිත්ත වූ අනිත්‍යාකාරය දුඃඛාකාරය අනාත්මාකාරය පවසන සේකි.
3. “යම්සේ සෙල්මුවා පව්වක් මත සිටි යේ මැ (ඇස් ඇති පුරුෂයෙක්) හාත්පස ජනතාව බලන්නේ ද, එසෙයින්, සොඳුරු නුවණැති සමතැස් ඇති බුදුරජාණෙනි, නුබ වහන්සේ ද දහම්මුවා පහයට නැගි, (තුමූ) ශෝක ඇත්තාහු, ශෝකයට බට ජාතිජරායෙන් මඩනා ලද ජනතාව බලනු මැනැවැ” යි.
මෙසේ බුදුහු බුදුඇසිනු දු චක්‍ෂුර්මත් වූ සේක.
කිසෙයින් බුදුහු සමතැසිනු දු චක්‍ෂුර්මත් වූහ යත්: සර්‍වඥතාඥානය ‘සමන්තචක්ඛු’ යයි කියනු ලැබේ. බුදුහු සර්‍වඥතාඥානයෙන් උපෙතයහ, සමුපෙතයහ, උපගතයහ, සමුපගතයහ, නො වෙන් වූහ, පරිපූර්‍ණ වූහ, සමන්‍විත වූ සේක.
4. ඒ තථාගතයන් විසින් මේ ත්‍රෛධාතුකලෝකයෙහි (මෙ කල හෝ) පැනැසින් නුදුටු කිසිවක් නැත, යළි (අතීත වූ) නො දත් කිසිවක් නැත. (අනාගත වූ) නො දැනෙන කිසි (ධර්‍මජාතයකු) දු නැත. දතයුතු වූ යම් ධර්‍මජාතයෙක් වී නම්, ඒ සියල්ල අවබෝධ කලහ. එහෙයින් තථාගතයෝ සමන්තචක්ඛු වූ සේකි.
මෙසේ බුදුහු සමතැසිනු දු ( -සර්‍වඥතාඥානයෙන්) චක්‍ෂුර්මත් වූවාහු නුයි ‘යථා දිස්සති චක්ඛුමා’ යනු වේ.
සබ්බං තමං විනොදෙත්‍වා - ප්‍රඥාලෝකය අඳුරු කරන, නුවණැස ඇති නො කරන, නො දැනීම ඇති කරන, පැනැස නසන, පීඩාකොටසෙහි වූ, නිවන පිණිස නො පවත්නා වූ, සියලු රාගාන්‍ධකාරය ද්වෙෂාන්‍ධකාරය මෝහාන්‍ධකාරය දෘෂ්ට්‍යන්‍ධකාරය ක්ලේශාන්‍ධකාරය දුශ්චරිතාන්‍ධකාරය දුරු කොට ත්‍යාග කොට පරිත්‍යාග කොට බැහැර කොට විගතාන්ත කොට අනුඅභාවයට පමුණුවා නුයි ‘සබ්බං තමං විනොදෙත්‍වා’ යනු වේ.
එකොව රතිමජ්ඣගා - බුදුහු අතුල්‍යයහ: ප්‍රව්‍රජ්‍යාසඞ්ඛ්‍යාතාර්‍තථයෙන් අතුල්‍යයහ, අද්වීතියාර්‍තථයෙන් අතුල්‍යයහ, තෘෂ්ණාප්‍රහාණාර්‍තථයෙන් අසහායයහ, එකාන්තවීතරාග නුයි අසහායයහ, එකාන්තවීතදොස නුයි අසහායයහ, එකාන්තවීතමොහ නුයි අසහායයහ, ඒකාන්තයෙන් නික්ලේශ නුයි අසහායයහ, එකායනමාර්‍ගයට ගියාහු නුයි එකයහ, නිරුත්තර වූ සම්‍යක්සම්බෝධිය අවබෝධ කළාහු නුයි එකයහ.
කිසෙයින් බුදුහු ප්‍රව්‍රජ්‍යාසඞ්ඛ්‍යාත අර්‍ත්‍ථයෙන් ‘එක’ වූහ යත්: බුදුහු තරුණ වූවාහු මැ අඳුන්වන් කෙස් ඇත්තාහු සොඳුරු යෞවනයෙන් යුත් පළමු වයසින් යුක්ත වූවාහු නො කැමැති වූ කඳුළින් තෙමුණු මුහුණු ඇති හඬන්නා වූ වැලැපෙන්නා වූ මවුපියනට අනාදර කොට ඥාතිසමූහයා හැරපියා සියලු ගෘහාවාසපරිරොධ (-දුර්‍ග)ය සිඳපියා අඹුදරු ආවරණය සිඳ ඥාතිපරිරොධය සිඳ සන්නිධිපරිරොධය සිඳ කෙස්රවුළු බහා කහවත් හැඳැ පෙරෙවැ ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදිවැ අකිඤ්‍චන (-කිසිවක් නැති) බවට පැමිණ එකලා වැ හැසිරෙති, වෙසෙති ඉරියවු පවත්වති වැටෙති රැකෙති යැපෙති යාපනය වෙත්. මෙසේ බුදුහු ප්‍රව්‍රජ්‍යාසඞ්ඛ්‍යාතයෙන් ‘එක’ යහ.
කිසෙයින් බුදුහු අද්වීතියාර්‍තථයෙන් ‘එක’ වූහ යත්: උන්වහන්සේ මෙසේ පැවිදි වූවාහු එකලා වැ අල්පශබ්ද වූ අල්පනිර්ඝෝෂ වූ ජනවාත රහිත වූ මිනිසුන්ගේ රාහස්‍යයට ස්ථාන වූ විවේකයට අනුරූප වූ වනයෙහි දුර සෙනසුන් වනපර්‍ය්‍යන්ත සෙනසුන් ඇසුරු කෙරෙති. උන්වහන්සේ එකලා වැ හැසිරෙති, එකලා වැ යෙති, එකලා වැ සිටිති, එකලා වැ හොවිති. එකලා වැ ගමට පිඬු සිඟා පිවිසෙති, එකලා වැ රහසැ හිඳිති, එකලා වැ සක්මන් කෙරෙති, එකලා වැ හැසිරෙති, වෙසෙති, ඉරියවු පවත්වති, වැටෙති රැකෙති යැපෙති යාපනය වෙත්. මෙසේ බුදුහු අද්වීතියාර්‍තථයෙන් ‘එක’ යහ.
කිසෙයින් බුදුහු තෘෂ්ණාප්‍රහාණාර්‍තථයෙන් ‘එක’ වූහ යත්: උන් වහන්සේ මෙසේ එකලා වූවාහු අද්වීතිය වූවාහු අප්‍රමත්ත වූවාහු කෙලෙස් තවන වීර්‍ය්‍ය ඇති වැ නිවනට මෙහෙයූ සිත් ඇති වැ වසන්නාහු නේරඤ්ජරා නදීතීරයෙහි බෝරුක්මුල මහා ප්‍රධන්වීර්‍ය්‍යය කරන සේක් කෘෂ්ණ කර්‍ම ඇති (නො මිදියැ දෙන හෙයින්) නමුචි නම් වූ ප්‍රමත්තයනට බන්‍ධු වූ සෙන් සහිත මරු විධ්වංසන කොට විසත්තිකා නම් වූ තෘෂ්ණාජාලිනිය දුරු කළහ, බැහැර කළහ, විගතාන්ත කළහ, අනභාවයට පැමිණවූ සේකි.
5. ‘තෘෂ්ණාව දෙවැනි කොට ඇති පුරුෂ තෙ දීර්‍ඝකාලයක් මුළුල්ලෙහි සැරිසරනුයේ ඉහාත්මභාව අනාගතාත්මභාව නොහොත් ඉත්‍ථම්භාව අන්‍යථාභාව සඞ්ඛ්‍යාත වූ සංසාරය නො ඉක්මවයි.
6. (අතීතාදි ස්කන්‍ධයන්හි) මෙසේ ආදීනව දැන, තෘෂ්ණාව දුකට කාරණ යයි දැන, පහවූ තෘෂ්ණා ඇති ආදාන (-ග්‍රහණ) රහිත වූ ස්මෘතිමත් වූ ක්‍ෂීණාස්‍රව මහණ තෙම හැසිරෙන්නේ යැ’ යි.
මෙසේ බුදුහු තෘෂ්ණා ප්‍රහීණාර්‍තථයෙන් ‘එක’ යහ.
කිසෙයින් බුදුහු එකාන්තවීතරාග නුයි ‘එක’ වූහ යත්: රාගය ප්‍රහීණ වන බැවින් ඒකාන්තයෙන් වීතරාග නුයි ‘එක’ යහ. ද්වේෂය ප්‍රහීණ වන බැවින් ඒකාන්තයෙන් වීතද්වේෂ නුයි ‘එක’ යහ. මෝහය ප්‍රහීණ වන බැවින් ඒකාන්තයෙන් පහවූ මෝහ ඇත්තාහු නුයි ‘එක’ යහ. ක්ලේශයන් ප්‍රහීණ වන බැවින් ඒකාන්තයෙන් නික්ලේශ වූවාහු නුයි ‘එක’ යහ.
කිසෙයින් බුදුහු එකායනමාර්‍ගයට ගියාහු නුයි ‘එක’ වූහ යත්: සතර සතිපට්ඨානයෝ යැ, සතර සම්‍යක් ප්‍රධානයෝ යැ, සතර ඍද්ධිපාදයෝ යැ, පඤ්චේන්‍ද්‍රියයෝ යැ, පඤ්ච බලයෝ යැ, සප්ත බෝධ්‍යඞ්ගයෝ යැ, ආර්‍ය්‍යඅෂ්ටාඞ්ගිකමාර්‍ග යැ, යන මේ ‘ඒකායනමාර්‍ගය’ යි කියනු ලැබේ.
7. ජාතික්‍ෂය සඞ්ඛ්‍යාත නිර්‍වාණය දක්නාසුලු වූ හිතයෙන් අනුකම්පා කරනසුලු වූ බුදුහු ඒකායනමාර්‍ගය දන්නා සේක. පෙර යම් කෙනෙක් චතුරෝඝය තරණය කළාහු නම් තෙල මාර්‍ගයෙන් තරණය කළාහු ය. තවද යම් කෙනෙක් (මතු) තරණය කරන්නාහු නම්, දැන් තරණය කෙරෙත් නම්, මේ මගින් තරණය කෙරෙත්.
මෙසේ බුදුහු එකායනමාර්‍ගයට ගියාහු නුයි ‘එක’ යහ.
කිසෙයින් බුදුහු එකලා වැ අනුත්තර වූ සම්‍යක්සම්බෝධිය අවබෝධ කළාහු නුයි ‘එක’ වූහ යත්: සතර මාර්‍ගඥානය ප්‍රඥෙන්ද්‍රියය ප්‍රඥාබලය ධර්‍මවිචයසම්බෝධ්‍යඞ්ගය වීමංසාව විදර්‍ශනාව සම්‍යග්දෘෂ්ටිය ‘බෝධි’ යයි කියනු ලැබේ. බුදුහු ඒ බොධිඥානයෙන් සියලු සංස්කාරයෝ අනිත්‍යයහ’ යි අවබෝධ කළහ (-දත්හ). ‘සියලු සංස්කාරයෝ දුක්හ’ යි දත්හ. ‘සියලු ධර්‍මයෝ අනාත්මයහ’ යි දත්හ. ‘අවිද්‍යාප්‍රත්‍යයෙන් සංස්කාරයෝ වෙති’ යි දත්හ … ‘ජාතිප්‍රත්‍යයෙන් ජරාමරණ වේ යැ’ යි දත්හ. ‘අවිද්‍යාවගේ අශෙෂනිරොධයෙන් සංස්කාරනිරෝධය වේ යැ’ යි දත්හ. ‘ජාතිනිරෝධයෙන් ජරාමරණ නිරෝධය වේ යැ’ යි දත්හ. ‘මේ දුකැ’ යි දත්හ. ‘මේ දුක්හෙතුව යැ’ යි දත්හ. ‘මේ දුක් නැසීම යැ’ යි දත්හ. ‘මේ දුක් නැසීමට පමුණුවන පිළිවෙතැ’ යි දත්හ. ‘මොහු ආස්‍රවයෝ යැ’ යි දත්හ… ‘මේ ආස්‍රවනිරොධයට පමුණුවන පිළිවෙතැ’ යි දත්හ. ‘මේ ධර්‍මයෝ දතයුත්තාහ’ යි දත්හ. හළයුත්තාහ’ යි - වැඩිය යුත්තාහ’ යි - ප්‍රත්‍යක්‍ෂ කළ යුත්තාහ’ යි දත්හ. සවැදෑරුම් ස්පර්‍ශායතනයන්ගේ පහළවීම ද නැසීම ද ආස්වාදය ද ආදීනවය ද නිස්සරණය ද දත්හ. යම් කිසිවක් සමුදයධර්‍ම නම් ඒ සියල්ල නැසෙන පියවි ඇතැ’ යි අවබෝධ කළහ. නොහොත් යම් කිසිවක් දතයුතු නම්, නැවත නැවත දතයුතු නම්, වෙසෙසින් දතයුතු නම්, මැනැවින් දතයුතු නම්, අධිගම කළයුතු නම්, නුවණින් ස්පර්‍ශ කළයුතු නම්, ප්‍රත්‍යක්‍ෂ කළයුතු නම්, ඒ සියල්ල ඒ බොධිඥානයෙන් දත්හ. අනුබෝධ කළහ. ප්‍රතිබොධ කළහ. වෙසෙසින් දත්හ. මැනැවින් දත්හ. ස්පර්‍ශ කළහ. ප්‍රත්‍යක්‍ෂ කළහ. මෙසේ බුදුහු එකලා වැ අනුත්තර වූ සම්‍යක්සම්බෝධිය අභිසම්බුද්ධ කළාහු නුයි ‘එක’ නම් වූහ.
රතිමජ්ඣගා - ‘රතිං’ යනු: නෛෂ්ක්‍රම්‍යරතියට විවෙකරතියට උපශමරතියට සම්බොධිරතියට පැමිණියහ - අධිගම කළහ; ස්පර්‍ශ කළහ, ප්‍රත්‍යක්‍ෂ කළාහු නුයි ‘ඒකෝ’ ව රතිමජ්ඣගා’ යනු වේ.
එයින් වදාළහ සැරියුත් මහතෙරණුවෝ:
“සදෙවකස්ස ලොකස්ස -පෙ- එකොව රතිමජ්ඣගා” යී.
16. 3.
මෙහි (-මේ ශාසනයෙහි) ක්‍ෂත්‍රියාදි බොහෝ ශිෂ්‍යයන් අතුරෙන් අර්ත්‍ථි වූ මම තෘෂ්ණා - දෘෂ්ටිනිඃශ්‍රය රහිත වූ ලාභාදියෙහි තාදී වූ කුහනවස්තු රහිත වූ ගණාචාර්‍ය්‍ය වූ සකස්පුරයට පැමිණි ඒ බුදුන් කරා ප්‍රශ්නහෙතුයෙන් පැමිණියෙමි.
තං බුද්ධං අසිතං තාදිං - ‘බුද්ධ’ නම්: යම් ඒ භාග්‍යවත් කෙනෙක් තුමූ මැ සර්‍වඥ වූවාහු ආචාර්‍ය්‍යයකු රහිත වැ පෙර නො ඇසූවිරූ දහම් විෂයෙහි තුමූ මැ සිවුසස් අවබෝධ කළාහු ද, ඒ සත්‍යයන්හි දු සර්‍වඥ බවට පැමිණියාහු ද, බලයන්හි දු වශී බවට පැමිණියාහු ද, (ඔහු යැ) බුද්ධ යනු. කවර අර්‍තථයෙකින් ‘බුද්ධ’ නම් වී ද යත්? සිවුසස් අවබෝධ කෙළේ නුයි ‘බුද්ධ’ යැ, ප්‍රජාවට අවබෝධ කරවනුයේ නුයි ‘බුද්ධ’ යැ, සර්‍වඥ බැවින් ‘බුද්ධ’ යැ, සියල්ල දක්නා හෙයින් ‘බුද්ධ’ යැ, අනෙකක්හු විසින් අවබෝධ නො කැරැවිය යුතු හෙයින් ‘බුද්ධ’ යැ, විවිධගුණ පහළ කරන හෙයින් ‘බුද්ධ’ යැ, ක්‍ෂීණාස්‍රව සඞ්ඛ්‍යාවෙන් ‘බුද්ධ’ යැ, නිරුපක්ලේශ සඞ්ඛ්‍යාවෙන් ‘බුද්ධ’ යැ, ඒකාන්තයෙන් වීතරාග නුයි ‘බුද්ධ’ යැ, ඒකාන්තයෙන් වීතද්වේෂ නුයි ‘බුද්ධ’ යැ, ඒකාන්තයෙන් වීතමෝහ නුයි ‘බුද්ධ’ යැ ඒකාන්තයෙන් කෙලෙස් රහිත නුයි ‘බුද්ධ’ යැ, එකායනමාර්‍ගයට ගියේ නුයි ‘බුද්ධ’ යැ, එකලා වැ අනුත්තර වූ සම්‍යක්සම්බෝධිය අවබෝධ කෙළේ නුයි ‘බුද්ධ’ යැ, අබුද්ධිය නැසූ හෙයින් බුද්ධිප්‍රතිලාභය හේතු කොට ගෙන බුද්ධ යැ. ‘බුද්ධ’ යන තෙල නාමය මෑණියන් විසින් නො කරන ලද, පියාණන් විසින් නො කරන ලද, බෑයකු විසින් නො කරන ලද, බූනක විසින් නො කරන ලද, සගයහළුවන් විසින් නො කරන ලද, නෑසහලේනෑයන් විසින් නො කරන ලද, මහණබමුණන් විසින් නො කරන ලද, දෙවියන් විසින් නො කරන ලද. භාග්‍යවත් බුදුවරයනට යම් ‘බුද්ධ’ යන නාමයෙක් වේ නම්, අර්‍හත්ඵලයාගේ අන්තයෙහි උපන් තෙල නාමය මහබෝමැඬ දී සර්‍වඥතාඥානයාගේ ප්‍රතිලාභය සමඟ අර්‍හත්ඵලය ප්‍රත්‍යක්‍ෂ කිරීමෙන් උපන් ප්‍රඥප්තියකැ’ යි ‘තං බුද්ධං’ යනු වේ.
අසිතං - යනු: තෘෂ්ණානිඃශ්‍රය ද දෘෂ්ටිනිඃශ්‍රය දැ’ යි නිඃශ්‍රය දෙකෙකි. තෘෂ්ණානිඃශ්‍රය කවරැ යත්: යම්තාක් තෘෂ්ණා කොටසින් සීමා කරන ලද ද අවධි කරන ලද ද හිම් කරන ලද ද අයත් කරන ලද ද මමායන කරන ලද ද: ‘මේ මාගේ යැ, තෙල මාගේ යැ, මෙතෙක් මාගේ යැ, මාගේ රූපයෝ යැ, ශබ්දයෝ යැ ගන්‍ධයෝ යැ රසයෝ යැ ස්ප්‍රෂ්ටව්‍යයෝ යැ, අතුරුණු යැ පොරෝණා යැ දැසිදස්හු යැ එළුබැටළු යැ කුකුළුහූරු යැ ඇත්අස්ගවවෙළඹහු යැ, කෙත් යැ වතු යැ අමුරනැ රත්රනැ ගම්නියම්ගම්රජදහන්හු යැ රට දනව් කොටු හා කොටුගුළු ද - සියලු මැ මහපොළොව’ තෘෂ්ණාවශයෙන් මමායන කෙරෙයි, යම්තාක් අටතුරාසියක් තෘෂ්ණාවිචරිතය වේ ද, මේ තෘෂ්ණානිඃශ්‍රය යි.
දෘෂ්ටිනිඃශ්‍රය කවරැ යත්: විංශතිවස්තුක සත්කායදෘෂ්ටි යැ, දශවස්තුක මිත්‍ථ්‍යාදෘෂ්ටි යැ, දශවස්තුක අන්තග්‍රාහිකාදෘෂ්ටි යැ, යන මෙබඳු වූ යම් දෘෂ්ටියක් දෘෂ්ටිගතයෙක් දෘෂ්ටි නමැති ගහනයෙක් දෘෂ්ටි නමැති කාන්තාරයෙක් දෘෂ්ටි නමැති විසූකායිකයෙක් ( -විලොමදෘෂ්ටියක්) දෘෂ්ටිචලනයෙක් දෘෂ්ටිසංයෝජනයෙක් දැඩිව ගැනීමෙක් පිහිටා ගැනීමෙක් (නිත්‍යාදිවශයෙන්) අභිනිවේශයෙක් පරාමර්‍ශයෙක් කුත්සිතමාර්‍ගයෙක් අයථාමාර්‍ගයෙක් මිත්‍ථ්‍යාස්වභාවයෙක් තීර්‍තථායතනයෙක් විපර්‍ය්‍යාසයෙන් ගැනීමෙක් අස්වභාවයෙන් ගැනීමෙක් පරිවර්‍තන කොට ගැනීමෙක් මිත්ථ්‍යාග්‍රාහයෙක් අස්වභාවයෙහි ‘ස්වභාවයැ’ යි ගැනීමෙක් වේ ද, යම්තාක් ද්වාෂෂ්ටිදෘෂ්ටිගතයෝ වෙත් ද, මේ දෘෂ්ටිනිඃශ්‍රය යි.
භාග්‍යවත් බුදුන් විසින් තෘෂ්ණානිඃශ්‍රය ප්‍රහීණ කරන ලද, දෘෂ්ටිනිඃශ්‍රය දුරු කරන ලද; තෘෂ්ණානිඃශ්‍රය ප්‍රහීණ කළ බැවින් දෘෂ්ටිනිඃශ්‍රය දුරැලූ බැවින් බුදුහු ඇස අශ්‍රිතයහ ( -ඇසිරි නො කළහ,) කන - නැහැය - දිව - කය - මනස අශ්‍රිතයහ, රූප - ශබ්ද - ගන්‍ධ - රස - ස්ප්‍රෂ්ටව්‍යයන් - කුලය - ගණයා - ආවාසය - ලාභය - යශස - ප්‍රශංසාව - සුඛය - චීවර - පිණ්ඩපාත - ශයනාසන - ග්ලානප්‍රත්‍යයභෛෂජ්‍යපරිෂ්කාර - කාමධාතුව රූපධාතුව අරූපධාතුව කාමභවය රූපභවය අරූපභවය සංඥාභවය අසංඥාභවය නෛවසංඥානාසංඥාභවය එකවෝකාරභවය චතුවෝකාරභවය පඤ්චවෝකාරභවය අතීතය අනාගතය වර්‍තමානය - දෘෂ්ටශ්‍රැතමුත විඥාතව්‍යධර්‍මයන්හි අශ්‍රිතයහ, අනිඃශ්‍රිතයහ, නො ඇලුණාහ, නො පැමිණියහ, නො මැඩුණාහ, නො බැසගත්හ. බැහැර වූවාහු නික්මගියාහු වෙසෙසින් මිදුණාහු විසංයුක්ත වූවාහු විගතමර්‍ය්‍යාදා කළ සිතින් යුක්ත ව වෙසෙත් නුයි ‘තං බුද්ධං අසිතං’ යනු වේ.
තාදිං - යනු: බුදුහු පස් අයුරෙකින් තාදීහ: ඉෂ්ටානිෂ්ටයෙහි තාදීහ, කෙලෙස් දුරුකළාහු නුයි තාදීහ, සසර තරණය කළාහු නුයි තාදීහ, රාගාදියෙන් මිදුණාහු නුයි තාදීහ, ශීලාදියෙන් නිර්දේශ කොට කියයුතු හෙයින් තාදීහ.
කිසෙයින් බුදුහු ඉෂ්ටානිෂ්ටයෙහි තාදී වූහ යත්: බුදුහු ලාභයෙහි දු තාදී වූහ, අලාභයෙහි දු - යශස්හි දු - අයශස්හි දු - ප්‍රශංසායෙහි දු - නින්‍දායෙහි දු - සුඛයෙහි දු - දුඃඛයෙහි දු තාදී (-සදෘශ) වූහ. ඉදින් එක් බාහුවක් සුවඳින් ගල්වන්නාහු නම්, ඉදින් එක් බාහුවක් වෑයෙන් සස්නාහු නම්, අර සුවඳ ගල්වන්නහු කෙරෙහි ස්නේහයෙක් නැත, අර වෑයෙන් සස්නහු කෙරෙහි කොපයකු ත් නැත; ස්නේහය හා කෝපය දුරු කළහ, අනුග්‍රහ නිග්‍රහ ඉක්මවූහ, ස්නෙහකොප වෙසෙසින් ඉක්මවූහ. මෙසේ බුදුහු ඉෂ්ටානිෂ්ට ආලම්බනයෙහි තාදී (-සමාන) වූ සේක.
කිසෙයින් බුදුහු ත්‍යක්තවත් නුයි තාදී වූහ යත්: භාග්‍යවත්හු විසින් රාගය ත්‍යක්ත යැ වාන්ත යැ මුක්ත යැ ප්‍රහීණ කරන ලද, දුරලන ලද්දේ ය, ද්වේෂය - මෝහය - ක්‍රෝධය - බද්ධවරය - මකුබව - යුගග්‍රාහය - ඊර්‍ෂ්‍යාව - මාත්සර්‍ය්‍යය - මායාව - ශඨබව - තදබව - කරණුත්තරියකරණය - මානය - අතිමානය - මදය - ප්‍රමාදය - සියලු ක්ලේශයෝ - සියලු දුශ්චරිතයෝ - සියලු දරථයෝ - සියලු පරිදාහයෝ - සියලු සන්තාපයෝ - සියලු අකුශලාභිසංස්කාරයෝ හරන ලද්දාහු ය, වමනය කරන ලද්දාහු ය, මුදන ලද්දාහු ය, ප්‍රහීණ කරන ලද්දාහු ය, හාත්පසින් දුරලන ලද්දාහු යි. මෙසේ බුදුහු ත්‍යක්තවත් ( -කෙලෙස් දුරුකළාහු) නුයි තාදී වූ සේක.
කිසෙයින් බුදුහු තීර්‍ණවත් නුයි තාදී වූහ යත්: බුදුහු කාමෝඝය තරණය කළහ, භවොඝය තරණය කළහ, දිට්ඨොඝය තරණය කළහ, අවිජ්ජෝඝය තරණය කළහ, සියලු සසරමඟ තරණය කළහ, උත්තීර්‍ණ වූහ, නිස්තීර්‍ණ වූහ, ඉක්මවූහ, මැනැවින් ඉක්මවූහ, වෙසෙසින් ඉක්මවූහ. ඒ බුදුහු වුසූ මඟබඹසර ඇතියහ, පසළොස් චරණධර්‍මයෙහි චීර්‍ණවශී වූහ, ඉක්මවූ සසරමඟ ඇතියහ, නිවන්දෙසට ගියහ, නිවන්කෙළ පැමිණියහ, රැකි බඹසර ඇතියහ, උත්තම සම්‍යග්දෘෂ්ටියට පැමිණියහ, වැඩූ මාර්‍ග ඇතියහ, පුහුන් කෙලෙස් ඇතියහ, පිළිවිදි රහත්පල ඇතියහ, පසක්කළ නිවන ඇතියහ.
ඔවුන් විසින් දුක පිරිසිඳින ලද, සමුදය ප්‍රහීණ කරන ලද, මාර්‍ගය වඩන ලද, නිරෝධය ප්‍රත්‍යක්‍ෂ කරන ලද; (ස්වභාවලක්‍ෂණාවබෝධයෙන්) දතයුත්ත වෙසෙසින් දැනගන්නා ලද, (සාමාන්‍යලක්‍ෂණාවබෝධයෙන්) දතයුත්ත හාත්පසින් දැනගන්නා ලද, හළයුත්ත හරනා ලද, වැඩිය යුත්ත වඩනා ලද, පසක්කළයුත්ත පසක්කරන ලද. ඒ බුදුහු නඟාපී අවිද්‍යාපරිඝය ඇතියහ, විසුරවාලූ (කර්‍මාභිසංස්කාර නමැති) පරිඛාව ඇතියහ, උදුරාපී (තෘෂ්ණා නමැති) එසිකාව ඇතියහ, (ඕරම්භාගිය සංයෝජන නමැති) අගුළු රහිතයහ, ආර්‍ය්‍ය (- පරිශුද්ධ) යහ, හෙළළූ මානධ්වජ ඇතියහ, බහාතැබූ (ස්කන්‍ධාදි) බර ඇතියහ, සතර යෝගයෙන් විසංයුක්තයහ, (කාමච්ඡන්‍දාදි) පසඟ උපායෙන් ප්‍රහීණ කළහ, ෂඩඞ්ගොපෙක්‍ෂාවෙන් සමන්‍විතයහ, ස්මෘති සඞ්ඛ්‍යාත උත්තම ආරක්‍ෂා ඇතියහ, (පටිසෙවනාදි) චතුර්විධ අපාශ්‍රය ඇතියහ, ප්‍රහීණ කළ ප්‍රත්‍යෙකසත්‍ය ඇතියහ, මැනැවින් දුරුකළ සියලු ඒසනා ඇතියහ, නො කැලැඹුණු සඞ්කල්ප ඇතියහ, දුරැලූ කායසංස්කාර ඇතියහ, මොනොවට මිදුණු සිත් ඇතියහ, මොනොවට මිදුණු ප්‍රඥා ඇතියහ, පරිපූර්‍ණයහ, වුසූ බඹසරවස් ඇතියහ, උත්තමපුරුෂයහ, පරමපුරුෂයහ, පරමප්‍රාප්තියට පැමිණියහ. ඒ බුදුහු (කුශලාකුශලවිපාකය) නො මැ රැස් කෙරෙති, නො වනසති, (කෙලෙස්) වනසා සිටියහ; (ප්‍රහාතව්‍යයක් නැති හෙයින්) නො මැ දුරු කෙරෙති, (තෘෂ්ණාදි විසින්) දැඩි වැ නො ගනිති, දුරලා සිටියහ; (තෘෂ්ණාවශයෙන්) නො මැ සීවනය කෙරෙති, (මානවශයෙන්) උත්කංසනය නො කෙරෙති, විගතබන්‍ධන වැ සිටියහ; (කෙලෙස්ගිනි) නො මැ නිවති, නො දල්වති, නිවා සිටියහ; අශෛක්‍ෂ වූ ශීලස්කන්‍ධයෙන් සමන්‍විත වන බැවින් (නො පිරිහී) සිටියහ, අශෛක්‍ෂ වූ සමාධිස්කන්‍ධයෙන් සමන්‍විත වන හෙයින් සිටියහ, අශෛක්‍ෂ වූ ප්‍රඥාස්කන්‍ධයෙන් සමන්‍විත වන හෙයින් සිටියහ, අශෛක්‍ෂ විමුක්තිස්කන්‍ධයෙන් සමන්‍විත වන හෙයින් සිටියහ, අශෛක්‍ෂ විමුක්තිඥානදර්‍ශනස්කන්‍ධයෙන් සමන්‍විත වන හෙයින් සිටියහ, චතුරාර්‍ය්‍යසත්‍යය (සිය සතන්හි) සම්පාදනය කොට සිටියහ, තෘෂ්ණාව ඉක්මවා සිටියහ, කෙලෙස්ගිනි ගෙවා සිටියහ, සසර යළි නො යන බැවින් සිටියහ, (නයග්‍රාහික) කථාව ගෙන සිටියහ, (කෙලෙසුන් කෙරෙන්) මිදුණු පලසමවත් සෙවුණා බැවින් සිටියහ, මෛත්‍රීපාරිශුද්ධියෙහි සිටියහ, කරුණාපාරිශුද්ධියෙහි සිටියහ, මුදිතාපාරිශුද්ධියෙහි සිටියහ, උපෙක්‍ෂාපාරිශුද්ධියෙහි සිටියහ. අත්‍යන්තපාරිශුද්ධියෙහි සිටියහ, තෘෂ්ණාදි අතම්මයභාවයෙන් පාරිශුද්ධියෙහි සිටියහ, කෙලෙසුන් කෙරෙන් මිදුණු බැවින් සිටියහ, (යථාලාභාදියෙන්) සන්තුෂ්ට වන බැවින් සිටියහ, ස්කන්‍ධයන්ගේ පර්‍ය්‍යන්තයෙහි සිටියහ, ධාතුපර්‍ය්‍යන්තයෙහි සිටියහ, ආයතනපර්‍ය්‍යන්තයෙහි සිටියහ, ගතිපර්‍ය්‍යන්තයෙහි සිටියහ, උත්පත්තිපර්‍ය්‍යන්තයෙහි සිටියහ, ප්‍රතිසන්‍ධිපර්‍ය්‍යන්තයෙහි සිටියහ, භවපර්‍ය්‍යන්තයෙහි සිටියහ, සංසාරපර්‍ය්‍යන්තයෙහි සිටියහ, වෘත්තපර්‍ය්‍යන්තයෙහි සිටියහ, අන්තිමභවයෙහි සිටියහ, අන්තිමශරීරයෙහි සිටියහ, බුදුහු අන්තිමදේහය ධරන සේක.
1 “මේ ඒ භාග්‍යවත්හුගේ පශ්චිම කෙළවර යැ. මේ අවසාන ශරීරය වෙයි, උන් වහන්සේට ජාතිය මරණය හා පුනර්‍භව සඞ්ඛ්‍යාත සංසාරප්‍රවෘත්තිය ද නැතැ” යි.
මෙසේ බුදුහු තීර්‍ණවූහු නුයි ‘තාදී’ වූ සේක.
කිසෙයින් බුදුහු මුක්තවූහු නුයි ‘තාදී’ වූහ යත්: භාග්‍යවත්හුගේ සිත රාගයෙන් මුක්ත යැ විමුක්ත යැ සුවිමුක්ත යි, ද්වේෂයෙන් - මෝහයෙන් - ක්‍රෝධයෙන් - බද්ධවෛරයෙන් - මකු බැවින් - යුගග්‍රාහයෙන් - ඊර්‍ෂ්‍යායෙන් - මාත්සර්‍ය්‍යයෙන් - මායාවෙන් - ශාඨ්‍යයයෙන් - ස්තම්භයෙන් - සාරම්භයෙන් - මානයෙන් - අතිමානයෙන් - මදයෙන් - ප්‍රමාදයෙන් - සියලු කෙලෙසුන් ගෙන් - සියලු දුශ්චරිතයන් ගෙන් - සියලු දරථයන් ගෙන් - සියලු පරිදාහයන් ගෙන් - සියලු සන්තාපයන් ගෙන් - සියලු අකුශලාභිසංස්කාරයන් ගෙන් සිත මුක්ත යැ, විමුක්ත යැ, සුවිමුක්ත යි. මෙසේ බුදුහු මුක්තවත් නුයි - ‘තාදී’ වූ සේක.
කිසෙයින් බුදුහු තන්නිර්‍දෙශ්‍ය හෙයින් තාදී වූහ යත්: බුදුහු ශීලය ඇති කල්හි සිල්වත්හ’යි තන්නිර්‍දෙශ්‍ය හෙයින් තාදීහ, ශ්‍රද්ධාව ඇති කල්හි ශ්‍රද්ධාවත්හ’ යි එයින් දැක්වියයුතු හෙයින් තාදීහ, වීර්‍ය්‍යය ඇති කල්හි වීර්‍ය්‍යවත්හ’ යි එයින් දැක්වියයුතු හෙයින් තාදීහ, ස්මෘතිය ඇති කල්හි ස්මෘතිමත්හ’ යි එයින් දැක්වියයුතු හෙයින් තාදීහ, සමාධිය ඇති කල්හි සමාහිතයහ’ යි තන්නිර්‍දෙශ්‍ය හෙයින් තාදීහ, ප්‍රඥාව ඇති කල්හි ප්‍රඥාවත්හ’ යි තන්නිර්‍දෙශ්‍ය හෙයින් තාදීහ, විද්‍යාව ඇති කල්හි ත්‍රෛවිද්‍යහ’ යි තන්නිර්‍දෙශ්‍ය හෙයින් තාදීහ, අභිඥාව ඇති කල්හි ෂඩභිඥ වූහ’ යි තන්නිර්‍දෙශ්‍ය හෙයින් තාදීහ, දශබලය ඇති කල්හි දශබලධාරීහ’ යි තන්නිර්‍දෙශ්‍ය හෙයින් තාදී වූහ. මෙසේ බුදුහු තන්නිර්‍දෙශ්‍ය හෙයින් තාදී වූ සේකැයි ‘තං බුද්ධං අසිතං තාදිං’ යනු වේ.
අකුහං ගණීමාගතං - ‘අකුහ’ නම්: කුහනවස්තු තුනෙකි: ප්‍රත්‍යයප්‍රතිෂෙධන සඞ්ඛ්‍යාත කුහනවස්තුව යැ, ඊර්‍ය්‍යාපථ සඞ්ඛ්‍යාත කුහනවස්තුව යැ සාමන්තජල්පන සඞ්ඛ්‍යාත කුහනවස්තුව යැයි.
ප්‍රත්‍යයප්‍රතිෂෙධන සඞ්ඛ්‍යාත කුහනවස්තුව කවරැ යත්: මෙහි ගෘහපතියෝ සිවුරු පිණ්ඩපාත සෙනසුන් ගිලන්පස බෙහෙසත්පිරිකරින් මහණක්හු පවරති. හෙතෙම ලාමක ආශා ඇතියේ ආශායෙන් මඩනා ලදුයේ සිවුරු පිණ්ඩපාත සෙනසුන් ගිලන්පස බෙහෙසත්පිරිකර කැමැති වූයේ වැඩියක් කැමැතිබව නිසා සිවුර ප්‍රතික්‍ෂේප කෙරෙයි, පිණ්ඩපාතය ප්‍රතික්‍ෂේප කෙරෙයි, සෙනස්න ප්‍රතික්‍ෂේප කෙරෙයි, ගිලන්පස බෙහෙසත් පිරිකර ප්‍රතික්‍ෂේප කෙරෙයි. හෙතෙම මෙසේ කියයි: මහණ හට මාහැඟි සිවුරෙන් කිම? ඉදින් මහණ තෙම සොහොනින් හෝ කසළගොඩින් හෝ අවුණුදොරින් හෝ කඩරෙදි අවුළා සඟළ කොට දරන්නේ නම්, තෙල සරුප් යැ. මහණහට මාහැඟි පිණ්ඩපාතයෙන් කිම? ඉදින් මහණ සිඟා හැසිරීමෙන් ලද පිඬුඅහරින් දිවි පවත්වන්නේ නම්, තෙල සරුප් යැ. මහණ හට මාහැඟි සෙනස්නෙන් කිම? ඉදින් මහණ රුක්ඛමූලික හෝ අබ්භෝකාසික හෝ වන්නේ නම්, තෙල සරුප් යැ. මහණ හට මාහැඟි වූ ගිලන්පස බෙහෙසත්පිරිකරින් කිම? ඉදින් මහණ පූතිමුත්‍රයෙන් අරළුකඩෙකින් බෙහෙත් කරන්නේ නම්, තෙල සරුප් යැයි. එතැන් පටන් රළු සිවුරු දරයි, රළු පිණ්ඩපාතය වළඳයි, රළු සෙනසුන් ඇසුරු කෙරෙයි, රළු වූ ගිලන්පස බෙහෙසත්පිරිකර සේවනය කෙරෙයි. ගෘහපතියෝ ඔහු මෙසේ දැනගනිති:
‘මේ මහණ අල්පෙච්ඡ යැ සන්තුෂ්ට යැ උතුම් විවෙක ඇත්තෙකැ කුලයා හා සසඟ නැත්තෙකැ පටන්ගත් වීර්‍ය්‍ය ඇත්තෙකැ ධූතාඞ්ගගුණ කියන්නෙකැ’ යි මතුමත්තෙහි චීවර පිණ්ඩපාත සේනාසන ගිලන්පස බෙහෙසත්පිරිකරින් පවරත්. හෙතෙම මෙසේ කියයි: තිදෙනකුන්ගේ හමුවීමෙන් සැදැහැති කුලපුත් තෙම බොහෝ කුසල් රැස් කෙරෙයි: ශ්‍රද්ධාව හමුවීමෙන් (- ඇතිබැවින්) සැදැහැති කුලපුත් තෙම බොහෝ කුසල් රැස් කෙරෙයි. දේයධර්‍මය ඇතිබැවින් සැදැහැති කුලපුත් තෙම බොහෝ කුසල් රැස් කෙරෙයි. දක්‍ෂිණාර්‍හයන් ඇතිබැවින් සැදැහැති කුලපුත් තෙම බොහෝ කුසල් රැස් කෙරෙයි. තවද තොපට මැ මේ ශ්‍රද්ධාව ඇත. දේයධර්‍මය ද විද්‍යාමාන වෙයි. මම ද ප්‍රතිග්‍රාහකයෙමි. ඉදින් මම් නො පිළිගනිම් නම්, මෙසේ තෙපි පිනින් පරිබාහිර වන්නහු යැ. මට මෙයින් ප්‍රයෝජන නැත. මෙසේ තෙපි පිනින් පරිබාහිර වන්නහු යැ. මට මෙයින් ප්‍රයෝජන නැත. එහෙත් තොපට මැ අනුකම්පා සඳහා පිළිගනිමි’. එතැන් පටන් බොහෝ සිවුරු ද පිළිගනී, බොහෝ පිණ්ඩපාතය ද පිළිගනී, බොහෝ සෙනසුන් ද පිළිගනී, බොහෝ ගිලන්පස බෙහෙසත්පිරිකර ද පිළිගනී. මෙබඳු වූ යම් බැම බිඳීමෙක් බැම බිඳින බවෙක් කුහනයෙක් කොහොන් බවෙක් විස්මාපිත බවෙක් වේ ද. මේ ‘පච්චයපටිසෙධන සඞ්ඛ්‍යාත කුහනවස්තුව’ යැ.
ඊර්‍ය්‍යාපථ සඞ්ඛ්‍යාත කොහොන් වස්තුව කවරැ යත්: මෙහි කිසිවෙක් පාපේච්ඡ වූයේ ඉච්ඡාවෙන් මඩනා ලදුයේ බුහුමන් කැමැති වූයේ ‘ජනයා මෙසේ මට බුහුමන් කරන්නේ යැ’ යි ගමන සකස් කෙරෙයි, සිටීම - හිඳීම - ශයනය සකස් කෙරෙයි, පතාගෙන යයි, පතාගෙන සිටී, පතාගෙන හිඳී, පතාගෙන ශයනය කෙරෙයි. සමාධියට පැමිණියකු සෙයින් යෙයි, සමාහිතයකු සෙයින් හිඳී, සමාහිතයකු සෙයින් ශයනය කෙරෙයි; ජනයා හමුයෙහි ධ්‍යාන කරනුයේ මැ වෙයි. මෙබඳු වූ ඊර්‍ය්‍යාපථයාගේ යම් ආදි කොට තැබීමෙක් තබන අයුරෙක් සකස් කොට තැබීමෙක් මුහුණු හකුළුවන බවෙක් මුහුණු හකුළුවන සුලු බවෙක් විස්මාපනයෙක් විස්මාපනාකාරයෙක් විස්මාපිත බවෙක් වේ ද; මේ ඊර්‍ය්‍යාපථසඞ්ඛ්‍යාත කුහනවස්තුව යැ.
සාමන්තජල්පනසඞ්ඛ්‍යාත කොහොන්වන කවරැ යත්: මෙහි කිසිවෙක් පාපේච්ඡ වූයේ ඉච්ඡාවෙන් මඩනා ලදුයේ බුහුමන් කැමැති වූයේ ‘ජනයා මට මෙසේ බුහුමන් කරන්නේය’ යි ලොවුතුරුදහම් පිළිබඳ වූ වදන් බෙණෙයි: යමෙක් මෙබඳු සිවුරු ධරා නම්, ඒ මහණ මහේශාක්‍ය (මහායශස්ක) යෙකැ’ යි බෙණෙයි. යමෙක් මෙබඳු පාත්‍රයක් ධරා නම් - ලෝතලියක් ධරා නම් - දියඩබරාවක් ධරා නම් - පෙරහනක් ධරා නම් - කෙස්සක් ධරා නම් - වහන්සඟළක් ධරා නම් - කාබහනක් ධරා නම් - ආයොගපට ධරා නම්, ඒ මහණ මහත් අනුභාව ඇත්තෙකැ’ යි, බෙණෙයි. යමක් හට මෙබඳු උපාධ්‍යාය කෙනෙක් වෙත් නම්, ඒ මහණ අනුභාව ඇත්තෙකැයි බෙණෙයි, යමකුට මෙබඳු ආචාර්‍ය්‍ය කෙනෙක් වෙත් නම් - සමානොපාධ්‍යායයෝ - සමානාචාර්‍ය්‍යයෝ - මිත්‍රයෝ - සංදෘෂ්ටයෝ - සම්භක්තයෝ - සහායයෝ වෙත් නම්, ඒ මහණ අනුභාව ඇත්තෙකැයි බෙණෙයි, යමෙක් මෙබඳු විහාරයෙක වෙසේ නම්, ඒ මහණ අනුභාව ඇත්තෙකැ’යි බෙණෙයි, යමෙක් මෙබඳු ගුරුළුවක්ගෙයෙක වෙසේ නම් - පහයෙක වෙසේ නම් - සඳලුපහයෙක වෙසේ නම් - ගුහායෙක වෙසේ නම් - ලෙනක වෙසේ නම් - කිළියෙක වෙසේ නම් - කුළුගෙයෙක වෙසේ නම් - අටල්ලෙක වෙසේ නම් - මළියෙක වෙසේ නම් - උද්දණ්ඩයෙක වෙසේ නම් - උවටැන්හලෙක වෙසේ නම් - මඬුයෙක වෙසේ නම් - රුක්මුලෙක වෙසේ නම්, ඒ මහණ අනුභාව ඇතියෙකැයි බෙණෙයි.
නොහොත් අතිශයින් හැකුළුණේ අතිශයින් මුහුණ හකුළුවනසුලු වූයේ අතිශයින් විස්මය කරවනුයේ අතිශයින් ප්‍රලාප කථා කරනුයේ තමාගේ මුඛමාත්‍රයෙන් ම අනුන් විසින් බුහුමන් කරන ලදුයේ ‘මේ මහණ තෙම මේ මෙබඳු වූ ශාන්ත වූ විහාරසමාපත්තිලාභී’ යයි එබඳු ගැඹුරු වූ ගූඪ වූ සියුම් වූ ප්‍රතිච්ඡන්න වූ ලෝකෝත්තර වූ ශුන්‍යතාප්‍රතිසංයුක්ත වූ කථාව කෙරෙයි. මෙබඳු වූ යම් බැමි බිඳීමෙක් කුහනයෙක් කොහොන් අයුරෙක් කොහොන්බවෙක් වේ ද, මේ සාමන්තජල්පන සඞ්ඛ්‍යාත කොහොන්වත යි.
භාග්‍යවත් බුදුන් විසින් මේ තුන් කොහොන්වත් ප්‍රහීණ කරන ලද්දාහු ය, සිඳින ලද්දාහු ය, සන්හිඳුවන ලද්දාහු ය, දුරලන ලද්දාහු ය, (ඔහු) උපතට නුසුදුසු වූවාහු ය, නුවණගින්නෙන් දවන ලද්දාහු ය. එහෙයින් බුදුහු අකුහනුයි ‘අකුහං’ යනු වේ.
ගණීමාගතං - ‘ගණී’ යනු: බුදුහු ගණී වූහ; ගණාචාර්‍ය්‍ය නුයි ගණී යැ, ගණයා හට ශාස්තෘ නුයි ‘ගණී’ යැ ගණයා පරිහරණය කෙරෙත් නුයි ‘ගණී’ යැ, ගණයා හට අවවාද කෙරෙත් නුයි ‘ගණී යැ, ගණයා හට අනුශාසනා කෙරෙත් නුයි - ‘ගණී’ යැ, විශාරද වැ ගණයා වෙත එළැඹෙත් නුයි ‘ගණී’ යැ. ගණ තෙමේ ඔවුන්ගේ බස් අසනු රිසි වෙයි, (ඇසීමට) කන නමයි, දැනගැනීමට සිත එළවා නුයි ‘ගණී’ යැ. ගණයා අකුශලයෙන් නඟා කුශලයෙහි පිහිටුවාලන සේක් නුයි ‘ගණී’ යැ, භික්‍ෂුගණයට ‘ගණී’ යැ, භික්‍ෂුණී ගණයට ගණී යැ, උපාසකගණයට ගණී යැ, උපාසිකාගණයට ගණී යැ, රාජගණයට ගණී යැ, ක්‍ෂත්‍රියගණයට ගණී යැ, බ්‍රාහ්මණගණයට ගණී යැ, වෛශ්‍යගණයට ගණී යැ, ශුද්‍රගණයට ගණී යැ, දෙවගණයට ගණී යැ, බ්‍රහ්මණගණයට ගණී වූ සේක. සමූහ ඇතියහ, ගණයා ඇතියහ, ගණාචාර්‍ය්‍ය වූහ, ආගතං යනු සකස්පුරයට ආගත උපාගත සමුපාගත සම්ප්‍රාප්ත වූවාහු නුයි ‘අකුහං ගණීමාගතං’ යනු වේ.
බහුන්නමිධ බද්ධානං - බොහෝ වූ ක්‍ෂත්‍රියයන් අතුරෙන් බ්‍රාහ්මණ - වෛශ්‍ය - ශුද්‍ර - ගෘහස්ථ - ප්‍රව්‍රජිත - දෙව - මනුෂ්‍යයන් අතුරෙන්; බද්ධානං - බද්ධ වූ ( -බැඳුණු) බැඳී හැසිරෙන පරිවාරක වූ ශිෂ්‍යයන් අතුරෙන් නුයි ‘බහුන්නමිධ බද්ධානං’ යනු වේ.
අත්‍ථි පඤ්හෙන ආගමං - ප්‍රශ්නයෙන් අර්ත්‍ථි වැ (- ප්‍රයෝජන ඇති වැ) පැමිණියම්හ, පැන පුළුවුස්නා කැමැති වැ පැමිණියම්හ, පැන අසනු කැමැති වැ පැමිණියම්හ’ යි - මෙසේ ත් ‘අත්‍ථි පඤ්හෙන ආගමං’ යනු වේ. නොහොත් ප්‍රශ්නාර්ත්‍ථි වූ පැන පුළුවුස්නා වූ පැන අසනු කැමැතියන්ගේ ඊම අභිමුඛයට පැමිණීම එළැඹීම පර්‍ය්‍යුපාසනය වන්නේ ය, ඇත් නුයි මෙසේත් ‘අත්‍ථි පඤ්හෙන ආගමං’ යනු වේ. නොහොත් ප්‍රශ්නයාගේ පැමිණීම නුඹ වහන්සේට ඇත, නුඹ වහන්සේත් ප්‍රභූ වූහු යැ, නුඹ වහන්සේ මා විසින් පුළුවුස්නා ලද්ද කියන්නට විසඳන්නට සමර්‍ත්‍ථ වූවහු ය, තෙල භාරය උසුලනු මැනැවැ’ යි ‘අත්‍ථි පඤ්හෙන ආගමං’ යනු වේ.
එයින් වදාළහ ශාරීපුත්‍රස්ථවිරයන් වහන්සේ:
“තං බුද්ධං අසිතං තාදිං -පෙ- අත්‍ථි පඤ්හෙන ආගමං” යී.
16. 4.
ජාති ආදියෙන් ජුගුප්සා කරන රුක්මුල හෝ සොහොන හෝ පර්‍වතයන් සම්බන්‍ධි ගුහාවන්හි හෝ (පස්කම්ගුණයෙන්) විවික්ත (ඇඳ පුටු ආදි) ආසනය සෙවුනා මහණ හට -
භික්ඛුනෝ විජිගුච්ඡතො - ‘භික්ඛුනෝ’ යනු පෘථග්ජනකල්‍යාණ භික්‍ෂුහට හෝ ශෛක්‍ෂ භික්‍ෂුහට හෝ; විජිගුච්ඡතො - ජාතියෙන් ජුගුප්සා කරන්නහුට, ජරාවෙන් - ව්‍යාධියෙන් - මරණයෙන් - ශෝකයෙන් - පරිදේවයෙන් - දුකින් - දොම්නසින් - උපායාසයෙන් ජුගුප්සා කරන්නහුට, නිරෑදුකින් - තිරිසන්යොන්හි දුකින් - ප්‍රේතවිෂයෙහි වූ දුකින් - මිනිස්ලොවැ (වධබන්‍ධනාදි) දුකින් - ගර්‍භාවක්‍රාන්තිමූලක දුකින් - ගර්‍භස්ථිතිමූලක දුකින් - ගර්‍භව්‍යුත්‍ථානමූලක දුකින් - උපන්නාහු පිළිජග්නා දුකින් - උපන්නහු පරා අයත් කොට ඇති දුකින් - පරොපක්‍රමයෙන් වූ දුකින් - දුඃඛදුඃඛයෙන් - සංස්කාරදුඃඛයෙන් - විපරිණාමදුඃඛයෙන් - චක්‍ෂුරෝගයෙන් වූ දුකින් - ශ්‍රොත්‍රරොගයෙන් වූ දුකින් - ඝ්‍රාණරොගයෙන් වූ දුකින් - ජිහ්වාරොගයෙන් වූ දුකින් - කායරොගයෙන් වූ දුකින් - ශීර්‍ෂරොගයෙන් වූ දුකින් - කර්‍ණරෝගයෙන් වූ දුකින් - මුඛරොගයෙන් වූ දුකින් - දන්තරොගයෙන් වූ දුකින් - කාසයෙන් ශ්වාසයෙන් පීනසින් දාහයෙන් ජ්වරයෙන් කුක්‍ෂිරොගයෙන් මුර්ඡායෙන් ලොහිතාතීසාරයෙන් ආමශූලයෙන් මහාවිරෙචනයෙන් කුෂ්ටයෙන් ගණ්ඩයෙන් කබරරොගයෙන් ක්‍ෂයරොගයෙන් අපස්මාරයෙන් දද්‍රෑයෙන් කණ්ඩුතියෙන් කුෂ්ටයෙන් නියහිරින් අතුල්පතුල් පැළීමෙන් රත්පිතින් මධුමෙහයෙන් අර්‍ශසින් පිළිකායෙන් භගන්දරායෙන් පිතින් උපදනා ආබාධයෙන් සෙමින් උපදනා ආබාධයෙන් වයින් උපදනා ආබාධයෙන් සාන්නිපාතික ආබාධයෙන් සෘතුවිපර්‍ය්‍යාසයෙන් උපදනා ආබාධයෙන් විෂමවිහරණයෙන් උපදනා ආබාධයෙන් උපක්‍රමයෙන් උපදනා ආබාධයෙන් කර්‍මවිපාකජ ආබාධයෙන් සිහිලෙන් උණුසුමින් සයින් පවසින් මලයෙන් මූයෙන් මැසි මදුරු වා අව් දිග්දෑපහසින් වූ දුකින්, මවගේ මරණයෙන් වූ දුකින් පියාගේ මරණයෙන් වූ දුකින් බෑයාගේ මරණයෙන් - බූනගේ මරණයෙන් - පුතා ගේ මරණයෙන් - දුව ගේ මරණයෙන් - නෑයන්ගේ විපතින් - භෝගයන් ගේ විපතින් - රොගව්‍යසනයෙන් - ශීලව්‍යසනයෙන් - දෘෂ්ටිව්‍යසනයෙන් වූ දුකින් ජුගුප්සා කරන්නහුට දුක්වන්නහුට පිළිකුල් වන්නහු නුයි ‘භික්ඛුනෝ විජිගුච්ඡතො’ යනුවේ.
භජතො රිත්තමාසනං - යම් තැනෙක හිඳී නම්, ඇඳ පුටුව බිස්ස තට්ටිකාව සම්කඩ තණඇතිරිය පන්ඇතිරිය කොළඇතිරිය යන මෙය ‘ආසන’ යි කියනු ලැබේ. ඒ ආසනය අසත්ප්‍රාය ( - ඉෂ්ට) වූ රූප දැකීමෙන් තුච්ඡ යැ ශුන්‍ය යැ අතිශයින් ශුන්‍ය යි; අසත්ප්‍රාය වූ ශබ්දශ්‍රවණයෙන් රික්ත යැ විවික්ත යැ අතිශයින් විවික්ත යි; අසත්ප්‍රාය වූ පඤ්චකාමගුණයන් ගෙන් රික්ත යැ විවික්ත යැ ප්‍රවිවික්ත යි. ඒ අතිශයින් විවික්ත (-වෙන්) වූ ආසනය භජනය කරන්නහුට මැනැවින් භජනය කරන්නහුට සෙවුනහුට වෙසෙසින් සෙවුනහුට පුනපුනා සෙවුනහුට එළැඹ සෙවුනහුට නුයි ‘භජතො රිත්තමාසනං’ යනු වේ.
රුක්ඛමූලං සුසානං වා - රුක්මුල මැ ‘රුක්ඛමූල’ යැ, සොහොන මැ ‘සුසානය’ නුයි ‘රුක්ඛමූලං සුසානං වා’ යනු වේ.
පබ්බතානං ගුහාසු වා - පර්‍වතයෝ මැ, ‘පබ්බත’ යැ, කඳුරැලි මැ ‘කන්‍දර’ යැ, ගල්ගුහා මැ ‘ගිරිගුහා’ යැ, පර්‍වතකුක්‍ෂීහු ‘පබ්බතන්තරිකා’ යී කියනු ලැබෙත් නුයි ‘පබ්බතානං ගුහාසු වා’ යනු වේ.
එයින් වදාළහ ශාරීපුත්‍රස්ථවිරයන් වහන්සේ:
“භික්ඛුනෝ විජිගුච්ඡතො -පෙ- පබ්බතානං ගුහාසු වා” යී.
16. 5.
මහණ තෙමේ නිර්‍ඝොෂ වූ සෙනස්නෙහි යම් භෛරවයෙකින් නො සැලෙන්නේ නම්, ඒ කුදුමහත් ( -හීනප්‍රණීත වූ) සෙනසුන්හි කිපමණ භෛරවයෝ වෙත් ද, නොහොත් එහි (කුවන්තො - ) නාද කරන භයානක අරමුණු වෙත්.
උච්චාවචෙසු සයනෙසු - ‘උච්චාවචෙසු’ යනු: උස් - මිටි වූ හීනප්‍රණීත වූ උත්තමාධම වූ විහාර යැ අඩ්ඪයොග යැ ප්‍රසාද යැ, හර්ම්‍ය යැ ගුහා යැ යන මේ ‘සයන’ යී කියනු ලැබේ නුයි ‘උච්චාවචෙසු සයනෙසු’ යනු වේ.
කුවන්තො තත්‍ථ භෙරවා - ‘කුවන්තො’ යනු: හඬගසන කූජනය කරන නාද කරන ශබ්ද කරන; නොහොත් කිවන්තො යනු: ඒ භෛරවයෝ කෙතෙක් ද? කිපමණ ද? කෙබඳු ද? කිපමණ බොහෝ ද යත්? සිංහයෝ යැ ව්‍යාඝ්‍රයෝ යැ දිවියෝ යැ වලස්සු යැ තරස්හු යැ වෘකයෝ යැ මීවෝ යැ ඇත්තු යැ සර්‍පයෝ යැ නුහුසුහු යැ සියපාහු යැ, කළ සොරකම් ඇති හෝ නැති හෝ සොරු හෝ සැහැසි මිනිස්සු හෝ වන්නාහු නුයි ‘කුවන්තො තත්‍ථ භෙරවා’ යනු වේ.
යෙහි භික්ඛු න වෙධ්‍යෙය - ‘යෙහි’ යනු: යම් භෛරවයන්ගෙන්, භෛරවයන් දැක හෝ අසා හෝ නො වෙවුළා නම්, අතිශයින් නො වෙවුළා නම්, හාත්පසින් නො වෙවුළා නම්, නො තැතිගනී නම්, හාත්පසින් නො තැතිගනී නම්, නො බිය වේ නම්, සන්ත්‍රාසයට නො පැමිණේ නම්, බියසුලු නො වූයේ නො තැතිගන්නා සුලු වූයේ ත්‍රස්ත නො වන සුලු වූයේ නො පලායනසුලු වූයේ වන්නේ නම්, ප්‍රහීණ වූ බියඅරමුණු ඇත්තේ පහවූ ලොමුදහ ඇති වැ වෙසෙන්නේ නම් යී ‘යෙහි භික්ඛු න වෙධ්‍යෙය’ යනු වේ.
නිග්ඝොසෙ සයනාසනෙ - අල්පශබ්ද වූ අල්පනිර්‍ඝොෂ වූ ජනවාත රහිත වූ මිනිසුන්ගේ රහස්‍ය ක්‍රියාවන්ට යෝග්‍ය වූ චිත්තසමාධියට අනුරූප වූ සෙනසුන්හි නුයි ‘නිග්ඝොසෙ සයනාසනෙ’ යනු වේ.
එයින් වදාළහ ශාරීපුත්‍රස්ථවිරයන් වහන්සේ:
“උච්චාවචෙසු සයනෙසු -පෙ- නිග්ඝොසෙ සයනාසනෙ” යී.
16. 6.
මහණ තෙම වනකෙළවර සෙනසුන්හි යම් උපද්‍රව කෙනකුන් මැඩපවත්වන්නේ නම්, නො ගියවිරූ අමාමහනිවන් දෙසට යනුවහුට ලොවැ කෙතෙක් උපද්‍රවයෝ වෙත් ද?
කති පරිස්සයා ලෝකේ - ‘කති’ යනු ඒ උවදුරු කීයක් ද? කෙතෙක් ද? කිපමණ ද? කිපමණ බොහෝ ද යත්: උපද්‍රවයෝ දෙදෙනෙකි: ප්‍රකට උපද්‍රවයෝ ද ප්‍රතිච්ඡන්න උපද්‍රවයෝ දැයි.
ප්‍රකට උපද්‍රවයෝ කවරහ යත්: සිහ යැ වග යැ දිවි යැ වලස් යැ තරස් යැ වෘක යැ මිහි යැ ඇත් යැ නාග යැ නුහුසු යැ සියපා යැ කළ සොරකම් ඇති හෝ නැති හෝ සොරු හෝ සැහැසි මිනිස්සු වන්නාහු ය, චක්‍ෂුරොග යැ ශ්‍රෝත්‍රරෝග යැ ඝ්‍රාණරොග යැ ජිහ්වාරෝග යැ කායරොග යැ ශීර්‍ෂරොග යැ කර්‍ණරොග යැ මුඛරොග යැ දන්තරෝග යැ කාස යැ ශ්වාස යැ පීනස යැ දාහ යැ ජ්වර යැ කුක්‍ෂිරොග යැ මුර්ඡා යැ රක්තාතීසාර යැ ආමශූල යැ මහාවිරෙචන යැ කුෂ්ට යැ ගණ්ඩ යැ කිලාස යැ ක්‍ෂයරොග යැ අපස්මාර යැ දද්‍රැ යැ කණ්ඩුති යැ කුෂ්ට යැ නියහිරි යැ අතුල්පතුල් පැළීම යැ රක්තපිත්ත යැ මධුමේහ යැ අර්‍ශස් යැ පොළ යැ භගන්‍දරා යැ පිත්තසමුත්‍ථාන ආබාධ යැ … ශීත යැ උෂ්ණ යැ ජිඝත්සා යැ පිපාසා යැ උච්චාර යැ ප්‍රස්‍රාව යැ මැසිමදුරු - වා අව් දික්දෑපහස්හු යි; මොහු ප්‍රකට උපද්‍රවයෝ යයි කියනු ලැබෙත්.
ප්‍රතිච්ඡන්න උපද්‍රවයෝ කවරහ යත්: කායදුශ්චරිත යැ වාග්දුශ්චරිත යැ මනෝදුශ්චරිත යැ, කාමච්ඡන්‍දනීවරණ යැ, ව්‍යාපාදනීවරණ යැ, ථීනමිද්ධනීවරණ යැ උද්ධච්චකුක්කුච්චනීවරණ යැ විචිකිච්ඡානීවරණ යැ රාග යැ ද්වේෂ යැ මෝහ යැ ක්‍රෝධ යැ බද්ධවෛර යැ මකුබව යැ යුගග්‍රාහ යැ ඊර්‍ෂ්‍යා යැ මාත්සර්‍ය්‍ය යැ මායා යැ ශඨබව යැ ස්තම්භ යැ සාරම්භ යැ මාන යැ අතිමාන යැ මද යැ ප්‍රමාද යැ සියලු ක්ලේශයෝ යැ, සියලු දුශ්චරිතයෝ යැ, සියලු දරථයෝ යැ, සියලු පරිදාහයෝ යැ, සියලු සන්තාපයෝ යැ, සියලු අකුශලාභිසංස්කාරයෝ යි. මොහු ප්‍රතිච්ඡන්න උපද්‍රවයෝ යයි කියනු ලැබෙත්.
පරිස්සයා - යනු: කවර අර්‍තථයෙකින් ‘පරිස්සය’ වූහ යත්: පරිසහනය කෙරෙත් නුයි පරිශ්‍රයෝ යැ පරිහාණයට වැටැත් නුයි පරිශ්‍රයයෝ යැ එහි වෙසෙත් නුයි පරිශ්‍රයයෝ යැ. කිසෙයින් පරිසහනය කෙරෙත් නුයි පරිශ්‍රය වූහ යත්: ඒ උපද්‍රවයෝ ඒ පුඟුල්හු සහනය කෙරෙති, හාත්පසින් සහනය කෙරෙති, අභිභවනය කෙරෙති, යටපත් කෙරෙති, හාත්පසින් ගනිති, මර්දනය කෙරෙත්; මෙසේ පරිසහනය කෙරෙත් නුයි පරිශ්‍රය වෙත්. කිසෙයින් පරිහාණයට වැටෙත් නුයි ‘පරිශ්‍රය’ වූහ යත්: ඒ උපද්‍රවයෝ කුශලධර්‍මයන්ගේ අන්තරාය පිණිස පිරිහීම් පිණිස පවත්නාහුය; කවර කුශලධර්‍මයන් ගේ ද යත්: සම්‍යක්ප්‍රතිපත්තිය අනුලෝම ප්‍රතිපත්තිය අවිරුද්ධ ප්‍රතිපත්තිය අන්වර්‍තථප්‍රතිපත්තිය ධර්‍මානුධර්‍මප්‍රතිපත්තිය ප්‍රාතිමෝක්‍ෂ ශීලයෙහි පරිපූරකාරිත්‍වය ඉන්‍ද්‍රියයන්හි පියු දොර ඇති බව භෝජනයෙහි පමණ දන්නා බව නිදි දුරු කිරීමෙහි යෙදීම ස්මෘතිසම්ප්‍රඥානය සතර සතිපට්ඨානභාවනාවෙහි යෙදීම සතර සම්‍යක්ප්‍රධානය සතර ඍද්ධිපාදය පඤ්චේන්‍ද්‍රියය පඤ්ච බලය සප්ත බෝධ්‍යඞ්ගය ආර්‍ය්‍යඅෂ්ටාඞ්ගිකමාර්‍ගභාවනානුයොගය යන මේ කුශලධර්‍මයන්ගේ අන්තරාය පිණිස පරිහාණය පිණිස පවත්නාහු ය. මෙසේ පරිහාණයට වැටෙත් නුයි ‘පරිශ්‍රය’ නම් වෙත්.