Mahāniddesa

Great Exposition

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-29 · 2295 segments

පෙන්වන කොටස් 1901-2000 න් 2295

පුරාණං නාභිනන්දෙය්‍ය - ‘පුරාණ’ යී ඉක්මැගිය රූප - වේදනා - සංඥා - සංස්කාර - විඥානය කියනු ලැබෙයි. අතීත වූ සංස්කාරයන් තෘෂ්ණාවශයෙන් දෘෂ්ටිවශයෙන් නො සතුටු වන්නේ යැ, සතුටුබස් නො කියන්නේ යැ, නො බැසගන්නේ යැ; අභිනන්‍දනය අභිවදනය බැසගැනීම ග්‍රාහය දැහැගැනීම පිවිසසිටීම හරන්නේ යැ, දුරු කරන්නේ යැ, විගතාන්ත කරන්නේ යැ, අනුඅභාවයට පමුණුවන්නේ නුයි ‘පුරාණං නාභිනන්දෙය්‍ය’ යනු වේ.
නවෙ ඛන්තිං න කුබ්බයෙ - ‘නව’ යී වර්‍තමාන රූප - වේදනා - සංඥා - සංස්කාර - විඥානය කියනු ලැබෙයි. වර්‍තමානසංස්කාරයන් තෘෂ්ණාවශයෙන් දෘෂ්ටිවශයෙන් රුචි නො කරන්නේ යැ, ඡන්‍දය නො කරන්නේ යැ, ප්‍රේමය නො කරන්නේ යැ, රාගය නො කරන්නේ යැ, නො දනවන්නේ යැ, නූපදවන්නේ යැ, නො නිපදවන්නේ යැ, වෙසෙසින් නූපදවන්නේ නුයි ‘නවෙ ඛන්තිං න කුබ්බයෙ’ යනු වේ.
හීයමානෙ න සොචෙය්‍ය - නැසෙන කල්හි හෙන කල්හි පිරිහෙන කල්හි නො වන කල්හි පහව යන කල්හි අතුරුදහන් වන කල්හි ශෝක නො කරන්නේ යැ, නො වෙහෙසෙන්නේ යැ, නො දැහැගන්නේ යැ, නො හඬන්නේ යැ. ළෙහි පැහැර නො හඬන්නේ යැ, සම්මෝහයට නො පැමිණෙන්නේ යැ; ඇස නැසෙන කල්හි හෙන කල්හි පිරිහෙන කල්හි නො වන කල්හි විගත වන කල්හි අතුරුදහන් වන කල්හි කන - නැහැය - දිව - කය - රූපය - ශබ්දය - ගන්‍ධය - රසය - ස්ප්‍රෂ්ටව්‍යය - කුලය - ගණයා - ආවාසය - ලාභය - යශස - ප්‍රශංසාව - සුවය - චීවරය - පිණ්ඩපාතය - සෙනස්න - ගිලන්පසබෙහෙසත් පිරිකර නැසෙන කල්හි හෙන කල්හි පිරිහෙන කල්හි නො වන කල්හි විගත වන කල්හි අතුරුදහන් වන කල්හි ශෝක නො කරන්නේ යැ, නො වෙහෙසෙන්නේ යැ, නො දැහැගන්නේ යැ, නො හඬන්නේ යැ, ළෙහි පැහැර නො හඬන්නේ යැ, සම්මෝහයට නො පැමිණෙන්නේ නුයි ‘හීයමානෙ න සොචෙය්‍ය’ යනු වේ.
ආකාසං න සිතො සියා - තෘෂ්ණාව ‘ආකාස’ යී කියනු ලැබෙයි: යම් රාගයෙක් බලවත් රාගයෙක් … අභිධ්‍යාවක් ලෝභ අකුශලමූලයෙක් වේ ද එය යි. කවර කරුණෙකින් තෘෂ්ණාව ‘ආකාස’ යී කියනු ලැබෙයි යත්: යම් තෘෂ්ණාවකින් රූපය ආකර්‍ෂණය කෙරේ ද, සමාකර්‍ෂණය කෙරේ ද, ගනී ද, දැහැගනී ද, අභිනිවේශය කෙරේ ද, වේදනාව - සංඥාව - සංස්කාරයන් - විඥානය - ගතිය - උත්පත්තිය - ප්‍රතිසන්‍ධිය - භවය - සංසාරය - වෘත්තය ආකර්‍ෂණ - සමාකර්‍ෂණ - ග්‍රහණ පරාමර්‍ෂණ - අභිනිවේශ කෙරේ ද; එකරුණෙන් තෘෂ්ණාව ‘ආකාස’ යී කියනු ලැබේ.
ආකාසං න සිතො සියා - තෘෂ්ණාව ඇසුරු කළේ නො වන්නේ යැ, තෘෂ්ණාව දුරු කරන්නේ යැ, බැහැර කරන්නේ යැ, විගතාන්ත කරන්නේ යැ, අනුඅභාවයට පමුණුවන්නේ යැ, තෘෂ්ණාවෙන් දුරු වූයේ වෙන් වූයේ වෙසෙසින් වෙන් වූයේ වන්නේ යැ, නික්මුණේ බැහැර වූයේ විමුක්ත වූයේ විමර්‍ය්‍යාදීකෘත සිතින් යුක්ත ව වාසය කරන්නේ නුයි ‘ආකාසං න සිතො සියා’ යනු වේ.
එයින් වදාළහ බුදුහු:
“පුරාණං නාභිනන්දෙය්‍ය -පෙ- ආකාසං න සිතො සියා” යී.
(මම් වූ කලි තෘෂ්ණාව රූපාදියෙහි ගිජුවන බැවින්) ගේධ යැයි කියමි. මහවතුරෙකැයි ද, (දිවෙන හෙයින්) ආජවයෙකැයි ද ජල්පනයෙකැයි ද ආලම්බනයෙකැයි ද ප්‍රකම්පනයෙකැයි ද කියමි. තෙල කාමපඞ්කය තෙමේ ඉක්මැවිය නො හැක්කේ යි.
ගෙධං බ්‍රෑමි මහොඝොති - ‘ගේධ’ යී තෘෂ්ණාව කියනු ලැබෙයි: යම් රාගයෙක් අධික රාගයෙක් … අභිධ්‍යාවක් ලෝභ අකුශලමූලයෙක් වේ ද එය යි. ‘මහොඝ’ යී තෘෂ්ණාව කියනු ලැබෙයි: යම් රාගයෙක් සංරාගයෙක් … අභිධ්‍යාවක් ලෝභ අකුසලමූලයෙක් වේ ද එය යි. ගෙධං බ්‍රෑමි මහොඝොති - ගේධය මහෞඝ යැයි කියමි, පවසමි, දෙසමි, පනවමි, පිහිටුවමි, විවරණය කරමි, විභාග කරමි, ප්‍රකට කරමි, ප්‍රකාශ කෙරෙම් නුයි ‘ගෙධං බ්‍රෑමි මහොඝොති’ යනු වේ.
ආජවං බ්‍රෑමි ජප්පනං - ‘ආජවා’ යී තෘෂ්ණාව කියනු ලබයි: යම් රාගයෙක් … අභිධ්‍යාවක් ලෝභ අකුශලමූලයෙක් වේ ද එය යි. ‘ජප්පනා’ යී තෘෂ්ණාව කියනු ලබයි: යම් රාගයෙක් … අභිධ්‍යාවක් ලෝභ අකුශලමූලයෙක් වේ ද එය යි. ආජවං බ්‍රෑමි ජප්පනං - ආජවය ‘ජප්පනා’ යැයි කියමි, පවසමි … ප්‍රකට කරමි, ප්‍රකාශ කෙරෙම් නුයි ‘ආජවං බ්‍රෑමි ජප්පනං’ යනු වේ.
ආරම්මණං පකම්පනං - ‘ආරම්මණ’ යී ද තෘෂ්ණාව කියනු ලැබෙයි: යම් රාගයෙක් … අභිධ්‍යාවක් ලෝභ අකුශලමූලයෙක් වේ ද එය යි. පකම්පන’ යී ද තෘෂ්ණාව කියනු ලැබෙයි: යම් රාගයෙක් … අභිධ්‍යාවක් ලෝභ අකුශල මූලයෙක් වේ ද එය නුයි ‘ආරම්මණං පකම්පනං’ යනු වේ.
කාමපඞ්කො දුරච්චයො - කාම නැමති මඩ කාමකදීමය කාමක්ලෙශය කාමලෙපය කාමපරිරොධය පසු කළ නො හැක්ක, ඉක්මැවිය නො හැක්ක, තරණය - ප්‍රතරණය - සමතික්‍රමණය ව්‍යතික්‍රමණය කළ නො හැක්කේ නුයි ‘කාමපඞ්කො දුරච්චයො’ යනු වේ.
එයින් වදාළහ බුදුහු:
“ගෙධං බ්‍රෑමි මහොඝොති -පෙ- කාමපඞ්කො දුරච්චයො” යී.
සත්‍යයෙන් නො ඉක් මැ සිටිනා වූ මුනි වූ ඒ ක්‍ෂීණාස්‍රව බ්‍රාහ්මණ තෙම නිර්‍වාණස්ථලයෙහි සිටී. හෙතෙම ඒකාන්තයෙන් සියලු ආයතනයන් දුරලා (සිටියේ) ශාන්ත වූයේ යයි කියනු ලැබේ.
සච්චා අවොක්කමං මුනි - සත්‍යවචනයෙන් නො ඉක්මෙනුයේ සම්‍යග්දෘෂ්ටියෙන් නො ඉක්මෙනුයේ ආර්‍ය්‍ය අෂ්ටාඞ්ගිකමාර්‍ගයෙන් නො ඉක්මෙනුයේ; මුනි යනු: ‘මොන’ යී ඥානය කියනු ලැබෙයි … සඞ්ගජාලය ඉක්මවා හෝ මුනි වූයේ නුයි ‘සච්චා අවොක්කමං මුනි’ යනු වේ.
ථලෙ තිට්ඨති බ්‍රාහ්මණො - ‘ථල’ යී අමාමහනිවන කියනු ලැබෙයි: යම් සියලු සංස්කාරයන්ගේ සන්හිඳීමෙක් සියලු උපධීන්ගේ දුරැලීමෙක් තෘෂ්ණාව ක්‍ෂය වීමෙක් විරාගයෙක් නිරෝධයෙක් නිර්‍වාණයෙක් වේ ද එය යි. බ්‍රාහ්මණො යනු: සප්ත ධර්‍ම කෙනෙකුන් බාහිත වන බැවින් බ්‍රාහ්මණ යැ … තාදී වූ හෙතෙම බ්‍රාහ්මණ යයි කියනු ලැබේ. ථලෙ තිට්ඨති බ්‍රාහ්මණො යනු: ස්ථලයෙහි සිටී, ද්වීපයෙහි සිටී, ත්‍රාණයෙහි සිටී, ලෙණයෙහි සිටී, සරණයෙහි සිටී: අභයයෙහි සිටී, අච්‍යුතයෙහි සිටී, අමෘතයෙහි සිටී, නිර්‍වාණයෙහි සිටී නුයි ‘ථලෙ තිට්ඨති බ්‍රාහ්මණො’ යනු වේ.
සබ්බං සො පටිනිස්සජ්ජ - ‘සබ්බං’ යි ද්වාදශායතන කියනු ලැබෙයි: ඇස ද රූපයෝ ද … මනස ද ධර්‍මයෝ දැයි. යම් තැනෙක සිට ආධ්‍යාත්මික බාහ්‍යායතනයන්හි ඡන්‍දරාගය ප්‍රහීණ වූයේ උසුන් මුල් ඇත්තේ තාලවස්තුවක් මෙන් කරන ලද්දේ අනුඅභාවය කරන ලද්දේ අනාගතයෙහි නූපදනා සැහැවි ඇතියේ වෙයි; මෙතෙකිනු දු සියල්ල ත්‍යාග කරන ලද්දේ වමනය කරන ලද්දේ මුදන ලද්දේ ප්‍රහීණ කරන ලද්දේ දුරලන ලද්දේ වෙයි. යම් තැනෙක සිට තෘෂ්ණාව ද දෘෂ්ටිය ද මානය ද ප්‍රහීණ වූවාහු උසුන් මුල් ඇත්තාහු තාලවස්තුවක් මෙන් කරන ලද්දාහු අනභාවය කරන ලද්දාහු මතු නූපදනා සැහැවි ඇත්තාහු වෙත් ද, මෙතෙකිනු දු සියල්ල ත්‍යක්ත - වාන්ත - මුක්ත - ප්‍රහීණ - ප්‍රතිනිඍෂ්ට වේ ද. යම් තැනෙක සිට පුණ්‍යාභිසංස්කාරය ද අපුණ්‍යාභිසංස්කාරය ද ආනෙඤ්ජාභිසංස්කාරය ද ප්‍රහීණ වූවාහු උසුන් මුල් ඇත්තාහු තාලවස්තුවක් මෙන් කරන ලද්දාහු අනභාවය කරන ලද්දාහු මතු නූපදනා ස්වභාව ඇත්තාහු වෙත් ද, මෙතෙකිනු දු සියල්ල ත්‍යක්ත වූයේ වාන්ත වූයේ මුක්ත වූයේ ප්‍රහීණ වූයේ දුරලන ලද්දේ වේ නුයි ‘සබ්බං සො පටිනිස්සජ්ජ’ යනු වේ.
ස චෙ සන්තෝ ති වුච්චති - හෙතෙම ශාන්ත යැ උපශාන්ත යැ වෙසෙසින් සන්හිඳුණේ යැ නිවුණේ යැ (ඵලයෙන්) පටිප්පස්සම්හිත වූයේ යයි කියනු ලැබෙයි, පවසනු ලැබෙයි, බණනු ලැබෙයි, දක්වනු ලැබෙයි, වහරනු ලැබේ නුයි ’ස චෙ සන්තෝ ති වුච්චති’ යනු වේ.
එයින් වදාළහ බුදුහු:
“සච්චා අවොක්කමං මුනි -පෙ- ස චෙ සන්තෝ ති වුච්චති” යී.
අනිත්‍යාදිවශයෙන් සංස්කෘත ධර්‍මයන් දැන තෘෂ්ණා - දෘෂ්ටිනිඃශ්‍රය රහිත වූ හෙතෙම ඒකාන්තයෙන් පණ්ඩිත වූයේ වෙයි. හෙතෙම සතර මාර්‍ගඥානවේදයට පැමිණියේ වෙයි. හෙතෙම සත්ත්‍වලෝකයෙහි මැනැවින් ඉරියවු පවත්වනුයේ මෙලොවැ කිසිවකුට ත් තෘෂ්ණා නො කෙරේ.
ස වෙ විද්වා ස වේදගු - ‘විද්වා’ යනු: විද්වත් වූයේ විද්‍යාවට පැමිණියේ නුවණැත්තේ වීමංසන ප්‍රඥා ඇත්තේ ධාරණ ප්‍රඥා ඇත්තේ; වේදගු යනු: යැයි සතර මාර්‍ගඥානය වේදයෝ කියනු ලැබෙති, … සියලු ශාස්ත්‍රවෙදය ඉක්මවා සියලු වේදනාවන්හි පහවූ ඡන්‍දරාග ඇති හෙතෙම වේදගු වේ යයි ‘ස වෙ විද්වා ස වේදගු’ යනු වේ.
ඤත්‍වා ධම්මං අනිස්සිතො - ‘ඤත්‍වා’ යනු: දැන දැනැගෙන තුලනය කොට තීරණය කොට විභාවන කොට විභූත කොට: ‘සියලු සංස්කාරයෝ අනිත්‍යයෝ යැ’ යි දැන දැනැගෙන තුලනය - තීරණය - විභාවනය - විභූත කොට ‘සියලු සංස්කාරයෝ දුක් වූහ’ යි … යම් කිසිවක් සමුදයධර්‍ම නම් ඒ සියල්ල නැසෙන සුලු යැ යි දැන දැනගෙන තුලනය කොට තීරණය කොට විභාවන කොට විභූත කොට, අනිස්සිතො යනු: නිඃශ්‍රය දෙකෙකි: තෘෂ්ණා නිඃශ්‍රය ද දෘෂ්ටිනිඃශ්‍රය දැ’ යි … මේ දෘෂ්ටිනිඃශ්‍රය යි, තෘෂ්ණානිඃශ්‍රය හැරදමා, දෘෂ්ටිනිග්‍රහය දුරලා, ඇස ඇසුරු නො කෙළේ - කන ඇසුරු නො කෙළේ - නැහැය ඇසුරු නො කෙළේ … දෘෂ්ට - ශ්‍රැත - මුත - විඥාතව්‍යධර්‍මයන් (තෘෂ්ණා දෘෂ්ටි විසින්) අනිඃශ්‍රිත වූයේ නො ඇලුණේ නො පැමිණියේ නො පිවිසියේ නො බැසගත්තේ (එයින්) නික්මුණේ බැහැර වූයේ වෙසෙසින් මිදුණේ විසංයුක්ත වූයේ විගතමර්‍ය්‍යාදා කළ සිතින් යුක්ත ව වෙසේ නුයි ‘ඤත්‍වා ධම්මං අනිස්සිතො’ යනු වේ.
සම්මා සො ලෝකේ ඉරීයානො - යම් තැනෙක සිට ආධ්‍යාත්මික බාහ්‍යායතනයන්හි ඡන්‍දරාගය ප්‍රහීණ වූයේ වේ ද, උසුන් මුල් ඇත්තේ තාලවස්තුවක් මෙන් කරන ලද්දේ අනභාවය කරන ලද්දේ මතු නූපදනා සැහැවි ඇත්තේ වේ ද, මෙතෙකිනු දු මනාකොට ලෝකයෙහි හැසිරෙයි, ඉරියවු පවත්වයි, වැටෙයි, රැකෙයි යැපෙයි යාපනය වේ. යම් තැනෙක සිට පුණ්‍යාභිසංස්කාරය ද අපුණ්‍යාභිසංස්කාරය ද ආනෙඤ්ජාභිසංස්කාරය ද ප්‍රහීණ වෙත් ද, උසුන් මුල් ඇත්තාහු තාලවස්තුවක් මෙන් කළාහු අනභාවය කළාහු මතු නූපදනා සැහැවි ඇත්තාහු වෙත් ද, මෙතෙකිනු දු ලොවැ මැනැවින් හැසිරෙයි, වෙසෙයි, ඉරියවු පවත්වයි, වැටෙයි, රැකෙයි යැපෙයි යාපනය වේ නුයි ‘සම්මා සො ලෝකේ ඉරීයානො’ යනු වේ.
න පිහෙතීධ කස්සචි - ‘පිහා’ යි තෘෂ්ණාව කියනු ලබයි: යම් රාගයෙක් අධිකරාගයෙක් … අභිධ්‍යාවක් ලෝභ අකුශල මූලයෙක් වේ ද එය යි; යමක්හු විසින් තෙල පිහා සඞ්ඛ්‍යාත තෘෂ්ණාව ප්‍රහීණ කරන ලද්දී නසන ලද්දී සන්හිඳුවන ලද්දී දුරලන ලද්දී අභව්‍යොත්පත්තික වූවා ඥානාග්නීන් දවන ලද්දී ද, හෙතෙම ක්‍ෂත්‍රියයකුට හෝ බමුණකුට හෝ වෛශ්‍යයකුට හෝ ශුද්‍රයකුට හෝ ගිහියකුට හෝ පැවිද්දකුට හෝ දෙවියකුට හෝ මිනිසකුට හෝ කිසිවකුට ත් තෘෂ්ණා නො කෙරේ නුයි ‘න පිහෙතීධ කස්සචි’ යනු වේ.
එයින් වදාළහ බුදුහු:
“ස වෙ විද්වා ස වේදගු -පෙ- න පිහෙතීධ කස්සචි” යී.
මේ සත්ත්‍වලෝකයෙහි යමෙක් වස්තුකාමක්ලෙශකාමයන් ද ඉක්මැවීමට දුෂ්කර වූ රාගාදි සඞ්ගය ද ඉක්මැවී නම්, සිඳින ලද තෘෂ්ණා ඇති රාගාදි බන්‍ධන රහිත වූ හෙතෙම ශෝක නො කෙරෙයි, නො සිතයි.
යො ච කාමෙ අච්චතරි සඞ්ගං ලෝකේ දුරච්චයං - ‘යො’ යනු යම්බඳු යම් යෝග ඇති (නවකම් ආදියෙන්) යථාවිහිත වූ යම් ප්‍රකාර ඇති යම් තනතුරකට පැමිණි යම් ධර්‍මයකින් යුක්ත වූ ක්‍ෂුත්‍රියයෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ වෛශ්‍යයෙක් හෝ ශුද්‍රයෙක් හෝ ගිහියෙක් හෝ පැවිද්දෙක් හෝ දෙවියෙක් හෝ මිනිසෙක් හෝ; කාම නම්: විස්තර හෙයින් වස්තුකාමයෝ ද ක්ලේශකාමයෝ දැ’ යි කාමයෝ දෙදෙනෙකි: … මොහු ක්ලේශකාමයෝ යයි කියනු ලැබෙත්. සඞ්ග නම්: සඞ්ගයෝ සතෙකි: රාගසඞ්ග යැ ද්වේෂ - මෝහ - මාන - දෘෂ්ටි - ක්ලේශ - දුශ්චරිතසඞ්ග යැයි. ලෝකේ යනු: අපායලෝකයෙහි මනුෂ්‍යලොකයෙහි; දෙවලොකයෙහි ස්කන්‍ධලෝකයෙහි ධාතුලොකයෙහි ආයතනලෝකයෙහි; සඞ්ගං ලෝකේ දුරච්චයං - යමෙක් ලොවැ පසු කළ නො හැකි, ඉක්මැවියැ නො හැකි, තරණය කළ නො හැකි වෙසෙසින් තරණය කළ නො හැකි, දුකසේ ඉක්මැවියැ යුතු, දුකසේ නැවැත්වියැ යුතු කාමයන් ද සඞ්ගයන් ද තරණය කෙළේ උත්තරණය කෙළේ ඉක්මැ වූයේ වෙසෙසින් නැවැත්වී නුයි ‘යො ච කාමෙ අච්චතරි සඞ්ගං ලෝකේ දුරච්චයං’ යනු වේ.
න සො සොචති නාජ්ඣෙති - විපරිණත (-පෙරැළුණු) වස්තුවට ශෝක නො කෙරෙයි, වස්තුව විපරිණත කල්හි හෝ ශෝක නො කෙරෙයි, ‘මාගේ ඇස පෙරැළිණැ’ යි ශෝක නො කෙරෙයි, මාගේ කන - මාගේ නැහැය - මාගේ දිව - මාගේ කය - මාගේ රූපයෝ - මාගේ ශබ්දයෝ - මාගේ ගන්‍ධයෝ - මාගේ රසයෝ - මාගේ ස්ප්‍රෂ්ටව්‍යයෝ - මාගේ කුලය - මාගේ ගණයා - ආවාසය - ලාභය - යශස - ප්‍රශංසාව - සුවය - සිවුර - පිණ්ඩපාතය - සෙනස්න - ගිලන්පසබෙහෙසත්පිරිකර - මාගේ මව - පියා - බෑයා - බූනැණිය - පුත්‍රයා - ධීතෘව - මිත්‍රයෝ - සගයෝ - නෑයෝ මාගේ සහලේනෑයෝ නැසුණාහ’ යි ශෝක නො කෙරෙයි, නො වෙහෙසෙයි, නො වැලැපෙයි, ළෙහි පැහැර නො හඬයි, සම්මෝහයට නො පැමිණේ නුයි ‘න සොචති’ යනු වේ. නාජ්ඣෙති යනු: නො සිතයි, ‘සමීපව නො සිතයි, අනෙකප්‍රකාරයෙන් නො සිතයි, අතිශයින් නො සිතයි; නොහොත් නූපදී, නො දිරයි, නො මැරෙයි, ච්‍යුත නො වෙයි, ප්‍රතිසන්‍ධියට නො පැමිණේ යයි නො සිතා නුයි ‘න සො සොචති නාජ්ඣෙති’ යනු වේ.
ජින්නසොතො අබන්‍ධනො - ‘සෝතා’ යී තෘෂ්ණාව කියනු ලබයි; යම් රාගයෙක් බලවත් රාගයෙක් … අභිධ්‍යාවක් ලෝභ සඞ්ඛ්‍යාත අකුශලමූලයෙක් වේ ද එය යි. යමක්හු විසින් තෙල ‘සෝත’ නම් වූ තෘෂ්ණාව ප්‍රහීණ කරන ලද්දී ද; හෙතෙම ‘ජින්නසොත’ යී කියනු ලැබෙයි. අබන්‍ධනො යනු: රාගබන්‍ධන යැ ද්වෙෂබන්‍ධන යැ මොහබන්‍ධන යැ මානබන්‍ධන යැ දෘෂ්ටිබන්‍ධන යැ ක්ලේශබන්‍ධන යැ දුශ්චරිතබන්‍ධන යැ යන තෙල බන්‍ධනයෝ යමක්හු විසින් ප්‍රහීණ කරන ලද්දාහු ද සමුච්ඡින්න වූවාහු ද … ඥතාග්නීන් දවන ලද්දාහු ද: හෙතෙම ‘අබන්‍ධන’ යයි කියනු ලැබේ නුයි ‘ජින්නසොතො අබන්‍ධනො’ යනු වේ.
එයින් වදාළහ බුදුහු:
“යො ච කාමෙ අච්චතරි -පෙ- ජින්නසොතො අබන්‍ධනො” යී.
අතීත සංස්කාරයන් ඇරැබැ උපදනා යම් ක්ලේශජාතයෙක් වේ නම් එය වියළව. අනාගත සංස්කාරයන් අරැබැ උපදනා රාගාදි කිඤ්චනය නහමක් තට වේවා. ඉදින් වර්‍තමානයෙහි රූපාදි සංස්කාරයන් තෘෂ්ණා දෘෂ්ටිවශයෙන් නො ගන්නෙහි නම්, උපශාන්ත වැ හැසිරෙන්නෙහි ය.
යං පුබ්බේ තං විසොසෙහි - අතීත සංස්කාරයන් අරබයා යම් කෙලෙස් කෙනෙක් උපදනාහු නම්, ඒ කෙලෙසුන් වියළව, වෙසෙසින් වියළව, නීරස කරව වෙසෙසින් නීරස කරව, බොල් කරව, දුරු කරව, බැහැර කරව, විගතාන්ත කරව, අනුඅභාවයට පමුණුව’ යි මෙසේ ත් - ‘යං පුබ්බේ තං විසොසෙහි’ යනු වේ. නොහොත් අතීත වූ නො මූකළ විපාක ඇති යම් කර්‍මාභිසංස්කාර කෙනෙක් වෙත් නම්, ඒ කර්‍මාභිසංස්කාරයන් ශොෂණ විශොෂණ කර, ශුෂ්ක විශුෂ්ක කර, බොල් කර, දුරු කර, බැහැර කර විගතාන්ත කර, අනභාවයට පමුණුවාල’ යි; මෙසේත් - ‘යං පුබ්බේ තං විසොසෙහි’ යනු වේ.
පච්ඡා තෙ මාහු කිඤ්චනං - ‘පච්ඡා’ යී අනාගතය කියනු ලැබෙයි. අනාගත සංස්කාරයන් අරබයා රාගකිඤ්චනය ද්වේෂ - මෝහ - මාන - දෘෂ්ටි - ක්ලේශ - දුශ්චරිතකිඤ්චනය යන යම් ධර්‍ම කෙනෙක් උපදනාහු නම්, මේ කිඤ්චනයෝ තට නහමක් වෙත්වා, නහමක් පහළ කර, නූපදව, නො හටගන්වව, නො නිපදව, වෙසෙසින් නො නිපදව, දුරු කර, බැහැර කර, විගතාන්ත කර, අනභාවයට පමුණුවාල’ යි ‘පච්ඡා තෙ මාහු කිඤ්චනං’ යනු වේ.
මජ්ඣෙ චෙ නො ගහෙස්සසි - ‘ප්‍රත්‍යුත්පන්න වූ රූප - වේදනා - සංඥා - සංස්කාර - විඥානයෝ ‘මජ්ඣ’ යී කියනු ලැබෙති. වර්‍තමාන සංස්කාරයන් තෘෂ්ණාවශයෙන් දෘෂ්ටිවශයෙන් නො ගන්නෙහි, දැඩිව නො ගන්නෙහි, ග්‍රහණය නො කරන්නෙහි, නො දැහැගන්නෙහි, නො සතුටු වන්නෙහි, නො කියන්නෙහි, නො සිතන්නෙහි, අභිනන්‍දනය අභිවදනය අධ්‍යවසානය ග්‍රාහය පරාමර්‍ශය අභිනිවේශය දුරු කරන්නෙහි, බැහැර කරන්නෙහි, විගතාන්ත කරන්නෙහි, අනභාවයට පමුණුවන්නෙහි යයි ‘මජ්ඣෙ චෙ නො ගහෙස්සසි’ යනු වේ.
උපසන්තො චරිස්සසි - රාගය නිවුණු බැවින් සන්හිඳුණු බැවින් වෙසෙසින් සන්හිඳුණු බැවින්, ද්වේෂය ශාන්ත බැවින් ශමිත බැවින් උපශමිත බැවින් … සියලු අකුශලාභිසංස්කාරයන් නිවුණු බැවින් සන්හිඳුණු බැවින් උපශමිත බැවින් ව්‍යුපශමිත බැවින් දවන ලද බැවින් නිවන ලද බැවින් විගත බැවින් දුරලන ලද බැවින් ශාන්ත වැ උපශාන්ත වැ ව්‍යුපශාන්ත වැ නිවුණේ සැහැල්ලු වැ හැසිරෙන්නෙහි වෙසෙන්නෙහි ඉරියවු පවත්වන්නෙහි වැටෙන්නෙහි රැකෙන්නෙහි යැපෙන්නෙහි යාපනය වන්නෙහි නුයි ‘උපසන්තො චරිස්සසි’ යනු වේ.
එයින් වදාළහ බුදුහු:
“යං පුබ්බේ තං විසොසෙහි -පෙ- උපසන්තො චරිස්සසි” යී.
යම් රහතෙක් හට නම්රූ දෙකෙහි මාගේ යයි ගන්නා ලද්දෙක් හැමලෙසින් නැද් ද, මමායිතයක් නැති බැවින් ශෝක නො කෙරේ ද, හෙතෙම ඒකාන්තයෙන් ලොවැ පිරිහීමට නො පැමිණේ.
සබ්බසො නාමරූපස්මිං යස්ස නත්‍ථි මමායිතං - ‘සබ්බසො’ යනු: සියල්ලෙන් සියල්ල සර්‍වථායෙන් සියල්ල අශේෂ කොට නිශෙශෂ කොට ගන්නා වචනයෙකි තෙල ‘සබ්බසො’ යනු. නාම නම්: සතර අරූපීස්කන්‍ධයෝ යැ; රූප නම්: සතර මහාභූතයෝ ද සතර මහාභූතයන් නිසා පවත්නා රූපය ද (යන අටවිසි රූපය යැ); යස්ස යනු: රහත් ක්‍ෂීණාස්‍රව හට, මමායිතං යනු: මමත්‍ව දෙකෙකි: තෘෂ්ණාමමත්‍වය ද, දෘෂ්ටිමමත්‍වය දැ’ යි … මේ දෘෂ්ටිමමත්‍වය යි. සබ්බසො නාමරූපස්මිං යස්ස නත්‍ථි මමායිතං - සර්‍වප්‍රකාරයෙන් නාමරූපයෙහි මමත්‍වයෝ යමක් හට නැද්ද, නො වෙත් ද, අවිද්‍යමාන වෙත් ද, නො ලැබෙත් ද, ප්‍රහීණ වූවාහු නසන ලද්දාහු සන්හිඳුණාහු දුරලන ලද්දාහු අභව්‍යොත්පත්තික වූවාහු ඥානාග්නීන් දවන ලද්දාහු නුයි ‘සබ්බසො නාමරූපස්මිං යස්ස නත්‍ථි මමායිතං’ යනු වේ.
අසතා ච න සොචති - නැසුණු වස්තුවට හෝ ශෝක නො කෙරෙයි, වස්තුව නැසුණු කල්හි හෝ ශෝක නො කෙරෙයි; ‘මාගේ ඇස නැසිණැයි ශෝක නො කෙරෙයි, මාගේ කන - නැහැය - දිව - කය - රූපයෝ - ශබ්දයෝ - ගන්‍ධයෝ - රසයෝ -ස්ප්‍රෂ්ටව්‍යයෝ - මාගේ කුලය - ගණයා - ආවාසය - මාගේ ලාභය … මාගේ නෑසහලේනෑයෝ නෑසුණාහ’ යි ශෝක නො කෙරෙයි, නො වෙහෙසයි, නො වැලැපෙයි, ළෙහි පැහැරැ නො හඬයි, මුළාවට නො පැමිණේ නුයි මෙසේත් ‘අසතා ච නො සොචති’ යනු වේ. නොහොත් අමධුර වූ දුඃඛවෙදනාවෙන් පහස්නා ලදුයේ මඩනා ලදුයේ බැසගන්නා ලදුයේ සමන්‍විත වූයේ ශෝක නො කෙරෙයි, නො වෙහෙසෙයි, නො වැලැපෙයි, ළෙහි පැහැරැ නො හඬයි, සම්මෝහයට නො පැමිණේ නුයි මෙසේත් ‘අසතා ච න සොචති’ යනු වේ. නොහොත් චක්‍ෂුරෝගයෙන් පහස්නා ලදුයේ මඩනා ලදුයේ … මැසි මදුරු අව් සුළං දිග්දෑ පහසින් පහස්නා ලදුයේ මඩනා ලදුයේ බැසගන්නා ලදුයේ සමන්‍විත වූයේ ශෝක නො කෙරෙයි, නො වෙහෙසෙයි, නො වැලැපෙයි, ළෙහි පැහැර නො හඬයි, සම්මෝහයට නො පැමිණේ නුයි මෙසේ ත් ‘අසතා ච න සොචති’ යනු වේ. නොහොත් නැති කල්හි අවිද්‍යමාන කල්හි නො ලැබෙන කල්හි ‘මට ඒකාන්තයෙන් වූයේ නම්, එය ඒකාන්තයෙන් මට නැත, මට ඒකාන්තයෙන් වන්නේ යැ, එය මම් නො ලබමී’ ශෝක නො කෙරෙයි, නො වෙහෙසෙයි, නො වැලැපෙයි, ළෙහි පැහැරැ නො හඬයි, බලවත් මෝහයට නො පැමිණේ නුයි මෙසේ ත් ‘අසතා ච න සොචති’ යනු වේ.
ස චෙ ලෝකේ න ජීයති - යමක් හට ‘මෙය මාගේ හෝ යැ, මෙය පරාගේ හෝ යැ’ යි ගන්නා ලද දැහැගන්නා ලද පිවිසැගත් බැසගත් ඇතුළු වැ ගත් කිසි රූපගතයෙක් වේදනා - සංඥා - සංස්කාර - විඥානගතයෙක් ඇත් නම්, ඔහුට ජාතිය ඇත. මේ කියන ලද මැ යැ:
1. රිය හා අසුන් ද මිණිකොඬොල් ද පිරිහුණු කල්හි, අඹුදරුවන් ද එසේ ම පිරිහුණු කල්හි, සියලු භෝගයන් නො සෙවුණා කල්හි, (මෙසේ) ශොකකාලයෙහි කුමක් හෙයින් නො තැවෙහි ද?
2. භෝගයෝ හෝ මිනිසා පළමු වැ හරිති. මිනිසා හෝ ඒ භෝගයන් ඉතා පළමු වැ දුරු කෙරෙයි, එම්බා කාමකාමිය, (-කාමයන් කැමැතිවන තෙනැත්ත) කාමභොගීහු (යම් හෙයකින්) අශාශ්වත වූවාහු ද, එහෙයින් මම (මහාජනයා) ශෝක කරන කල්හි ශෝක නො කෙරෙමි.
3. (යම් සේ) සඳ උදා වේ ද හාත්පසින් පිරේ ද යළි ගෙවේ ද, හිර (අඳුරු නසා) උදයට පැමිණ යළි අස්තයට යේ ද, එපරිද්දෙන් සත්තුකය මා විසින් ලොකධර්‍මයෝ දන්නා ලද්දාහු ද, එහෙයින් (මහාජනයා) ශෝක කරන කල්හි මම ශෝක නො කෙරෙම් යයි.
යමක් හට ‘මෙය මාගේ හෝ යැ. මෙය පරාගේ හෝ යැ’ යි ගන්නා ලද දැඩිව ගන්නා ලද පිවිසැ ගන්නා ලද බැසගන්නා ලද ඇතුළු වැ ගන්නා ලද කිසි රූපගතයෙක් වේදනා - සංඥා - සංස්කාර - විඥානගතයෙක් නැත් නම්, ඔහුට ජාතිය නැත. මේ කියන ලද මැ ය: “මහණ, සතුටු වෙහි දැ’යි, කුමක් ලැබ ද ඇවැත්නි; එසේ නම් මහණ, ශෝක කෙරෙහි දැ’ යි, ඇවැත්නි; කුමක් නැසිණි දැයි; එසේ නම් මහණ නො මැ සතුටු වෙහි ශෝක නො කෙරෙහි දැයි; එසේ යැ ඇවැත්නි.
4. ඒකාන්තයෙන් බාහිතපාපී වූ ක්ලේශපරිනිර්‍වාණයෙන් පිරිනිවි තෘෂ්ණාවශයෙන් සතුටු නොවන සුලු නිදුක් වූ ලොවැ තෘෂ්ණා සඞ්ඛ්‍යාත විසත්තිකාව තරණය කළ මහණක්හු බොහෝ කලකින් දකුම්හ” යි.
‘ස චෙ ලෝකේ න ජීයති’ යනු වේ.
එයින් වදාළහ බුදුහු:
“සබ්බසො නාමරූපස්මිං -පෙ- ස චෙ ලෝකේ න ජීයති” යී.
යම් ක්‍ෂීණාස්‍රවයක් හට ‘මෙය මාගේ යැ’ යි හෝ, යළි අනුන්ගේ යැයි හෝ රූපාදි කිඤ්චනයෙක් නැත් ද, හෙතෙම තෘෂ්ණා - දෘෂ්ටි - මමත්‍වය නො ලබනුයේ මට මෙය නැතැයි ශෝක නො කෙරේ.
යස්ස නත්‍ථි ඉදං මෙති පරෙසං වා’පි කිඤ්චනං - ‘යස්ස’ යනු: අර්‍හත් ක්‍ෂීණාස්‍රව හට; යමක් හට ‘මෙය මාගේ හෝ යැ, මෙය පරාගේ හෝ යැයි ගන්නා ලද දැඩිව ගන්නා ලද පිවිසැගත් බැසගන්නා ලද ඇතුළු වැ ගන්නා ලද කිසි රූපගතයෙක් වේදනා - සංඥා - සංස්කාර - විඥානගතයෙක් නැත් ද, නො වේ ද, විද්‍යාමාන නො වේ ද, නො ලැබේ ද, ප්‍රහීණ වූයේ සමුච්ඡින්න වූයේ සන්හිඳුණේ දුරලන ලද්දේ උපතට නුසුදුසු වූයේ නුවණ ගින්නෙන් දවන ලද්දේ නුයි මෙසේත් ‘යස්ස නත්‍ථි ඉදං මෙ’ති පරෙසං වා’පි කිඤ්චනං’ යනු වේ. තෙල වදාරන ලද මැ ය බුදුන් විසින්: “මහණෙනි, මේ කය තොපගේ නො වෙයි, අනුන්ගේ නො ද වෙයි. මහණෙනි, මේ කර්‍මයෙන් සකස් කළ සිතින් රැස් කළ වේදනීය වූ පුරාණ කර්‍මය’ යි දතයුතු යැ. මහණෙනි, එහි ලා ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවක තෙමේ ප්‍රතීත්‍යසමුත්පාදය මැ මනා කොට නුවණින් මෙනෙහි කෙරෙයි: “මෙසේ මේ ධර්‍මය ඇති කල්හි මෙය වෙයි, මොහුගේ ඉපදීමෙන් මෙය උපදී, මේ ධර්‍මය නැති කල්හි මෙය නො වෙයි, මොහුගේ නිරෝධයෙන් මෙය නිරුද්ධ වෙයි; ඒ මෙසේ යැ: ‘අවිද්‍යාව හේතු කොට (එකුන් තිස් ත්‍රෛභූමක කුශලාකුශලචෙතනා සඞ්ඛ්‍යාත) සංස්කාරයෝ පහළ වෙති, සංස්කාරයන් හේතු කොට දෙතිස් ලෞකික විපාක විඥානය පහළ වෙයි … මෙසේ මේ හුදු දුක්රැස පහළ වෙයි. යළි අවිද්‍යාවගේ මැ අශෙෂවිරාගනිරොධයෙන් කුශලාකුශලසංස්කාරයන්ගේ නිරෝධය වෙයි, … මෙසේ මේ හුදු දුක්රැස නිරුද්ධ වේ යැ” යි. මෙසේත් ‘යස්ස නත්‍ථි ඉදං මෙ’ ති පරෙසං වා’ පි කිඤ්චනං’ යනු වේ.
මේ වදාරන ලද මැය, බුදුන් විසින්:
1. මෝඝරාජය, සියලු කල්හි ස්මෘතිමත් වූයෙහි ලෝකය ශුන්‍ය හෙයින් බලව, සත්කායදෘෂ්ටිය උදුරාපියා, මෙපරිද්දෙන් මරණය තරණය කරනුයේ වන්නෙහි. මෙසේ ස්කන්‍ධලෝකය දක්නහු මෘත්‍යුරාජ තෙමේ නො දක්නේ ය’ යි.
මෙසේත් ‘යස්ස නත්‍ථි ඉදං මෙ’ ති පරෙසං වා’ පි කිඤ්චනං’ යනු වේ. මේ වදාරන ලද මැ ය, භාග්‍යවතුන් විසින්: “මහණෙනි, යමක් තොප ගේ නො වේ නම්, එය දුරු කරවු; එය තොප විසින් ප්‍රහීණ කරන ලද්දේ බොහෝ කලක් හිත පිණිස සුව පිණිස වන්නේ ය. මහණෙනි, කුමක් තොප ගේ නො වේ ද යත්? මහණෙනි, රූපය තොපගේ නො වෙයි, එය දුරු කරවු, එය තොප විසින් හැරපියන ලද්දේ බොහෝ කලක් හිතයට සුවයට වන්නේ ය. වේදනාව - සංඥාව - සංස්කාරයෝ - විඥානය තොපගේ නො වෙයි, එය හැරැපියවු; එය තොප විසින් හැරැපියන ලද්දේ බොහෝ කලක් හිතයට සුවයට වන්නේ යැ මහණෙනි, ඒ කිමැ යි සිතවු ද? මේ දෙව්රම්හි යම් තණ - දර - අතු - කොළ වේ නම්, එය ජනයා ගෙනයන්නේ හෝ දවන්නේ හෝ රිසි සේ කරන්නේ හෝ නම්; කිමැ තොපට මෙබඳු සිතෙක් වන්නේ ද: ‘ජනයා අප ගෙන යයි හෝ රිසි සේ කෙරෙයි හෝ දැ’ යි? ‘තෙල නො වේ මැය, ස්වාමීනි, ඊට කරුණු කිමැ යත්? ස්වාමීනි, තෙල අපගේ ආත්ම හෝ ආත්මනීය හෝ නො මැ වේ යැ’ යි, එසෙයින් මහණෙනි, යමක් තොපගේ නො වේ නම්, එය හැරපියවු, එය තොප විසින් හැරපියන ලද්දේ බොහෝ කලක් හිතයට සුවයට වන්නේ යැ. මහණෙනි, කුමක් තොප ගේ නො වේ ද යත්? මහණෙනි, රූපය තොපගේ නො වෙයි, එය හැරපියවු; එය තොප විසින් හැරපියන ලද්දේ බොහෝ කලක් හිතයට සුවයට වන්නේ යැ. වේදනාව - සංඥාව - සංස්කාරයෝ - විඥානය තොපගේ නො වෙයි, එය හැරැපියවු; එය තොප විසින් හැරපියන ලද්දේ බොහෝ කලක් හිතයට සුවයට වන්නේ ය” යි. මෙසේත් ‘යස්ස නත්‍ථි ඉදං මෙ’ ති පරෙසං වා’ පි කිඤ්චනං’ යනු වේ.
මේ කියන ලද මැය:
2. ”ග්‍රාමණිය, කේවල වූ ප්‍රත්‍යයප්‍රත්‍යයොත්පන්න ධර්‍මමාත්‍රයාගේ සමුත්පාදය ද, (ධ්‍රැවභාවාදියෙන්) අමිශ්‍ර වූ සංස්කාරසන්තතිය ද, තතු සේ දක්නහුට භයෙක් නො වේ.
3. යම් කලෙක ලෝකය තෘණ කාෂ්ට හා සම කොට විදර්‍ශනාප්‍රඥාවෙන් දකී නම්, එකල්හි අන් කිසිවක් නො පතයි, පිළිසඳ පිණිස අන් තැනෙක්හි ප්‍රාර්‍ත්‍ථනා නො කරයි.
මෙසේත් - ‘යස්ස නත්‍ථි ඉදං මෙ’ ති පරෙසං වා’ පි කිඤ්චනං’ යනු වේ. ‘වජිරා’ භික්‍ෂුණිය වසවත් මරුට මෙසේ කිව:
4. මාරය, (තෝ) සත්ත්‍වයෙකැ’යි කුමක් සලකයි ද? තාගේ දෘෂ්ටිගතයෙක් නො වේ ද? මේ කේවල වූ සංස්කාරපුඤ්ජයෙකි, මෙහි සත්ත්‍වයෙක් නො ලැබේ.
5. යම්සේ අවයව සමූහය හේතු කොට ගෙන ‘රථ’ යන වාචක ශබ්දය වේ ද, එසෙයින් ස්කන්‍ධසමූහය ඇති කල්හි ‘සත්ත්‍වයෙක’ යන සම්මතය වේ.
6. දුක මැ උපදී. දුක මැ පවතී, විඳී. දුක හැර අනෙකක් නො ලැබෙයි. දුකින් අන්‍ය වූවක් නිරුද්ධ නො වේ.
මෙසේත් - ‘යස්ස නත්‍ථි ඉදං මෙ’ ති පරෙසං වා’ පි කිඤ්චනං’ යනු වේ. “මහණෙනි, එසෙයින් මැ මහණ රූපයාගේ පැවැත්ම ඇති තාක් රූපය ආවර්‍ජනා කෙරෙයි, වේදනාව - සංඥාව - සංස්කාරයන් - විඥානයාගේ පැවැත්ම ඇති තාක් විඥානය ආවර්‍ජනා කෙරෙයි. රූපයාගේ පැවැත්ම පමණින් රූපය ආවර්‍ජනා කරන්නා වූ ඔහුට වේදනාව - සංඥාව - සංස්කාරයන් - විඥානයාගේ පැවැත්ම පමණින් විඥානය ආවර්‍ජනා කරන්නා වූ ඔහුට ‘මම යැ හෝ මාගේ යැ හෝ මම් වෙමී හෝ’ ඔහුට යම් දෘෂ්ටියකුත් වේ නම්, හෙ ද ඔහුට නො වේ යැ” යි. මෙසේත් - ‘යස්ස නත්‍ථි ඉදං මෙ’ ති පරෙසං වා’ පි කිඤ්චනං’ යනු වේ. “ආයුෂ්මත් අනඳ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට මේ කීහ: ‘ස්වාමීනි, ලෝකය ශුන්‍ය යැ, ලෝකය ශුන්‍ය යැ’ යි කියනු ලැබෙයි. ස්වාමීනි, කිපමණෙකින් ලෝකය ශුන්‍යය’ යි කියනු ලැබේ දැයි?” ‘අනඳයැ, යම් හෙයකින් ආත්මයෙන් හෝ ආත්මනීයයෙන් හෝ ශුන්‍ය වේ ද, එහෙයින් ලෝකය ශුන්‍ය යැ’ යි කියනු ලැබෙයි. ආනන්‍දය, ආත්මයෙන් හෝ ආත්මනීයයෙන් කුමක් ශුන්‍ය වේ ද යත්? ආනන්‍දය, චක්‍ෂුස ආත්මයෙන් හෝ ආත්මනීයයෙන් හෝ ශුන්‍ය යැ, රූපයෝ ශුන්‍යයෝ යැ - චක්‍ෂුර්විඥානය ශුන්‍ය යැ - චක්‍ෂුස්සංස්පර්‍ශය ශුන්‍යය - චක්‍ෂුස්සංස්පර්‍ශප්‍රත්‍යයෙන් සුව වූ හෝ දුක් වූ හෝ නො දුක් නො සුව වූ හෝ යම් වේදනාවක් උපදී නම්, හෙ ද ශුන්‍ය යැ - ශ්‍රෝතය ශුන්‍ය යැ - ශබ්දයෝ ශුන්‍යයෝ යැ - ඝ්‍රාණය ශුන්‍ය යැ - ගන්‍ධයෝ ශුන්‍යයෝ යැ - දිව ශුන්‍ය යැ - රසයෝ ශුන්‍යයෝ යැ - කය ශුන්‍ය යැ - ස්ප්‍රෂ්ටව්‍යයෝ ශුන්‍යයෝ යැ - මනස ශුන්‍ය යැ - ධර්‍මයෝ ශුන්‍යයෝ යැ - මනෝවිඥානය ශුන්‍ය යැ - මනස්සංස්පර්‍ශය ශුන්‍ය යැ - මනස්සංස්පර්‍ශප්‍රත්‍යයෙන් සුව වූ හෝ දුක් වූ හෝ නො දුක් නො සුව වූ හෝ යම් වේදනාවක් උපදී නම්, හෙ ද ආත්මයෙන් හෝ ආත්මනීයයෙන් හෝ ශුන්‍ය යි. ආනන්‍දය, යම් හෙයකින් ආත්මයෙන් හෝ ආත්මනීයයෙන් හෝ ශුන්‍ය වේ ද, එහෙයින් ලෝකය ශුන්‍ය යැ’ යි කියනු ලැබේ යැ” යි මෙසේත් - ‘යස්ස නත්‍ථි ඉදං මෙ’ ති පරෙසං වාපි කිඤ්චනං’ යනු වේ.
මමත්තං සො අසංවින්දං - ‘මමත්ත’ නම්: තෘෂ්ණාමමත්‍වය ද දෘෂ්ටිමමත්‍වය දැ’ යි මමත්‍වයෝ දෙදෙනෙකි …,… මේ දෘෂ්ටිමමත්‍වය යි. තෘෂ්ණාමමත්‍වය හැර දෘෂ්ටිමමත්‍වය දුරලා මමත්‍වය නො ලබනුයේ වෙසෙසින් නො ලබනුයේ නො පැමිණෙනුයේ ප්‍රතිලාභ නො කරනුයේ නුයි ‘මමත්තං සො අසංවින්දං’ යනු වේ.
නත්‍ථි මෙ’ ති න සොචති - විනාශ වූ වස්තුවට හෝ ශෝක නො කෙරෙයි, වස්තුව නැසෙන කල්හි හෝ ශෝක නො කෙරෙයි, ‘මාගේ ඇස නැසිණැ’ යි ශෝක නො කෙරෙයි, මාගේ කන … මාගේ නෑ සහලේනෑයෝ නැසුණාහ’ යි ශෝක නො කෙරෙයි, නො වෙහෙසෙයි, නො වැලැපෙයි, ළෙහි පැහැර නො හඬයි, සම්මෝහයට නො පැමිණේ නුයි ‘නත්‍ථි මෙ’ති න සොචති’ යනු වේ.
එයින් වදාළහ බුදුහු:
“යස්ස නත්‍ථි ඉදං මෙ’ ති -පෙ- නත්‍ථි මෙ’ති න සොචති” යී.
ඒ කම්පා නො වනසුලු පුද්ගලයා පුළුවුස්නා ලද මම ‘(හේ) ඊර්‍ෂ්‍යා නැත්තෙක, (රූපාදියෙහි) නො ගිජු වූයෙක, තෘෂ්ණා රහිතයෙක, සියලු තැන්හි සම පැවැතුම් ඇත්තෙක’ යන (ඔහු කෙරෙහි) මේ සතර අනුසස කියමි.
අනිට්ඨුරී අනනුගිද්ධො අනෙජො සබ්බධි සමො - නෛෂ්ඨුර්‍ය්‍යය කවරැ යත්: මෙහි කිසිවෙක් අන්‍යයාගේ ලාභ - සත්කාර - ගරු - බුහුමන් - වැඳුම් - පිදුම්හි ඊර්‍ෂ්‍යා ඇත්තේ වෙයි, ඊර්‍ෂ්‍යා කෙරෙයි, දොස් පහළ කෙරෙයි, ඊර්‍ෂ්‍යාව බඳී. මෙබඳු වූ යම් නිෂ්ඨුර බවෙක් ඊර්‍ෂ්‍යාවක් ඊර්‍ෂ්‍යාකාරයෙක් ඊර්‍ෂ්‍යා කරන බවෙක්, අසූයාවක් (-දොස් පහළකිරීමක්) අසූයාකාරයෙක් දොස් පහළ කරන බවෙක් වේ ද, මේ නෛෂ්ඨුර්‍ය්‍ය යි. යමක්හු විසින් තෙල නිෂ්ඨුරබව ප්‍රහීණ කරන ලද ද, සමුච්ඡින්න ද … ඥානාග්නීන් දග්ධ ද, හේ ‘අනිට්ඨුරී’ යයි කියනු ලැබේ. අනනුගිද්ධො යනු: ‘ගේධ’ යී තෘෂ්ණාව කියනු ලැබෙයි. යම් රාගයෙක් අධික රාගයෙක් … අභිධ්‍යාවක් ලෝභ අකුශලමූලයෙක් වේ ද, එය යි. යමක්හු විසින් තෙල ගේධය දුරු කරන ලද ද නසන ලද ද … නුවණ ගින්නෙන් දවන ලද ද, හෙතෙම ‘අනනුගිද්ධ’ යයි කියනු ලැබේ, හෙතෙම රූපයෙහි නො ගිජු වූයේ ශබ්දයෙහි … දෘෂ්ටශ්‍රැතමුතවිඥාතව්‍යධර්‍මයන්හි නො ගිජු වූයේ නො බැඳුණේ මුසපත් නො වූයේ නො වැතුරුණේ පහවූ ගේධ (-තෘෂ්ණා) ඇත්තේ පහවැ ගිය තෘෂ්ණා ඇත්තේ හළ තෘෂ්ණා ඇත්තේ වමනය කළ තෘෂ්ණා ඇත්තේ මුදන ලද තෘෂ්ණා ඇත්තේ ප්‍රහීණ කළ තෘෂ්ණා ඇත්තේ දුරලූ තෘෂ්ණා ඇත්තේ වීතරාග වූයේ විගත රාග - ත්‍යක්තරාග - වාන්ත රාග - මුක්තරාග - ප්‍රහීණරාග වූයේ දුරැලූ රාග ඇත්තේ තෘෂ්ණා රහිත වූයේ නිවුණේ සිහිල් වූයේ සුව විඳිනසුලු වූයේ ශ්‍රේෂ්ඨ වූ සිතින් යුක්ත වැ වෙසේ නුයි ‘අනිට්ඨුරී අනනුගිද්ධො’ යනු වේ.
අනෙජො සබ්බධි සමො - ‘එජා’ යී තෘෂ්ණාව කියනු ලබයි, යම් රාගයෙක් සංරාගයෙක් … අභිධ්‍යාවක් ලෝභ අකුශලමූලයෙක් වේ ද එය යි. යමක්හු විසින් තෙල එජා සඞ්ඛ්‍යාත තෘෂ්ණාව ප්‍රහීණ කරන ලද්දී සිඳින ලද්දී … නුවණ ගින්නෙන් දවන ලද්දී ද, හේ ‘අනෙජ’ යයි කියනු ලැබෙයි. එජාව ප්‍රහීණ වන බැවින් ‘අනෙජ’ යැ. හේ ලාභයෙහි දු නො සැලෙයි, අලාභයෙහි දු නො සැලෙයි, යශස්හි දු නො සැලෙයි, අයශස්හි දු නො සැලෙයි, ප්‍රශංසායෙහි දු නො සැලෙයි, නින්‍දායෙහි දු නො සැලෙයි, සුඛයෙහි දු නො සැලෙයි, දුඃඛයෙහි දු නො සැලෙයි; චඤ්චල නො වෙයි, නො වෙවුලයි, වෙසෙසින් නො වෙවුලයි, හාත්පසින් නො වෙවුලා නුයි ‘අනෙජ’ යැ. සබ්බධි සමො යනු ‘සබ්බධි’ යී දොළොස් ආයතනය කියනු ලැබෙයි: ඇස ද රූපයෝ ද … මනස ද ධර්‍මයෝ දැ’ යි. යම් තැනෙක සිට ආධ්‍යාත්මික බාහ්‍යායතනයන්හි ඡන්‍දරාගය ප්‍රහීණ වූයේ ද උසුන් මුල් ඇත්තේ ද තාලවස්තුවක් මෙන් කරන ලද්දේ ද, අනුඅභාවය කරන ලද්දේ ද මතු නූපදනා සැහැවි ඇත්තේ ද, හෙතෙම ‘සබ්බධි සම’ යයි කියනු ලැබේ. හේ සියලු තැන තාදී යැ, සියලු තැන මධ්‍යස්ථ යැ සියලු තැන උපේක්‍ෂා සහිත වූයේ නුයි ‘අනෙජො සබ්බධි සමො’ යනු වේ.
තමානිසංසං පබ්‍රෑමි පුච්ඡිතො අවිකම්පිනං - කම්පා නො වනසුලු පුද්ගලයා පුළුවුස්නා ලදුයෙම් විචාරන ලදුයෙම් අයදන ලදුයෙම් අධ්‍යෙෂිත වූයෙම් පහදවන ලදුයෙම් මේ සතර අනුසසුන් කියමි: හෙතෙම ඊර්‍ෂ්‍යා නැත්තේ යැ, ගිජු නො වූයේ යැ, තෘෂ්ණා රහිත යැ, සියලු තන්හි සමයැයි කියමි, පවසමි … ප්‍රකාශ කෙරෙම් නුයි ‘තමානිසංසං පබ්‍රෑමි පුච්ඡිතො අවිකම්පිනං’ යනු වේ.
එයින් වදාළහ බුදුහු:
“අනිට්ඨුරී අනනුගිද්ධො -පෙ- පුච්ඡිතො අවිකම්පිනං” යී.
තෘෂ්ණා රහිත වූ (සංස්කාරයන් දුඃඛාදි වශයෙන්) දතුවහුට (පුණ්‍යාභිසංස්කාරාදි) කිසි සංස්කාරයක් නැත. හෙතෙම සංස්කාරයෙන් වෙන් වූයේ සියලු තැන්හි ක්‍ෂේමය (-අභය) දක්නේ යි.
අනෙජස්ස විජානතො - ‘එජා’ යී තෘෂ්ණාව කියනු ලබයි, යම් රාගයෙක් බලවත් රාගයෙක් … අභිධ්‍යාවක් ලෝභ අකුශලමූලයෙක් වේ ද එය යි. යමක්හු විසින් තෙල එජා සඞ්ඛ්‍යාත තෘෂ්ණාව ප්‍රහීණ කරන ලද්දී සමුච්ඡින්න වූවා … ඥානාග්නීන් දවන ලද්දී ද, හෙතෙම ‘අනෙජ’ යී කියනු ලැබෙයි, එජාව ප්‍රහීණ වන බැවින් ‘අනෙජ’ යැ. හෙතෙම ලාභයෙහි දු කම්පා නො වෙයි. අලාභයෙහි දු කම්පා නො වෙයි, යශස්හි දු කම්පා නො වෙයි, අයශස්හි දු කම්පා නො වෙයි, ප්‍රශංසායෙහි දු කම්පා නො වෙයි, නින්‍දායෙහි දු කම්පා නො වෙයි, සුඛයෙහි දු කම්පා නො වෙයි, දුඃඛයෙහි දු කම්පා නො වෙයි; නො සැලෙයි, නො වෙවුලයි, අතිශයින් නො වෙවුලයි. අනෙජස්ස විජානතො - දතුවහුට වෙසෙසින් දතුවහුට ප්‍රතිවේධ කරන්නහුට; ‘සියලු සංස්කාරයෝ දුක් වූහ’ යි … යම් කිසිවක් සමුදයධර්‍ම නම්, ඒ සියල්ල නැසෙනසුලු යැ’ යි දන්නහුට හාත්පසින් දන්නහුට වෙසෙසින් දන්නහුට ප්‍රකර්‍ෂයෙන් දන්නහුට ප්‍රතිවේධ කරන්නහුට නුයි ‘අනෙජස්ස විජානතො’ යනු වේ.
නත්‍ථි කාචි නිසංඛිති - ‘නිසංඛිති’ යැයි පුණ්‍යාභිසංස්කාරය ද අපුණ්‍යාභිසංස්කාරය ද ආනෙඤ්ජාභිසංස්කාරය ද කියනු ලැබෙති. යම් තැනෙක පටන් පුණ්‍යාභිසංස්කාරය ද අපුණ්‍යාභිසංස්කාරය ද ආනෙඤ්ජාභිසංස්කාරය ද ප්‍රහීණ වූවාහු උසුන් මුල් ඇත්තාහු තාලාවස්තුවක් මෙන් කරන ලද්දාහු අනුඅභාවය කරන ලද්දාහු මතු නූපදනා ස්වභාව ඇත්තාහු වෙත් ද, මෙතෙකින් ‘නිසංඛිතිහු’ නැත, නො වෙති, විද්‍යමාන නො වෙති, නො ලැබෙත්, ප්‍රහීණ වූවාහු සමුච්ඡින්න වූවාහු සන්හිඳුවන ලද්දාහු දුරලන ලද්දාහු අභව්‍යොත්පත්තික වූවාහු නුවණගින්නෙන් දවන ලද්දාහු නුයි ‘නත්‍ථි කාචි නිසංඛිති’ යනු වේ.
විරතො සො වියාරම්භා - ‘වියාරම්භ’ යී පුණ්‍යාභිසංස්කාරය අපුණ්‍යාභිසංස්කාරය ආනෙඤ්ජාභිසංස්කාරය කියනු ලැබෙයි. යම් තැනෙක පටන් පුණ්‍යාභිසංස්කාරය ද අපුණ්‍යාභිසංස්කාරය ද ආනෙඤ්ජාභිසංස්කාරය ද ප්‍රහීණ වූවාහු උපුටා හළ මුල් ඇත්තාහු තාලවස්තුවක් මෙන් කරන ලද්දාහු මතු නූපදනා ස්වභාව ඇත්තාහු වෙත් ද, එ තැන් සිට (පුණ්‍යාභිසංස්කාරාදි) ආරම්භයෙන් විවිධාරම්භයෙන් දුරු වූයේ වෙන් වූයේ වෙසෙසින් වෙන් වූයේ නික්මුණේ වෙන් වැ ගියේ වෙසෙසින් මිදුණේ විසංයුක්ත වූයේ වන්නේ ය, විගතමර්‍ය්‍යාදා කළ සිතින් යුක්ත ව වෙසේ නුයි ‘විරතො සො වියාරම්භා’ යනු වේ.
ඛේමං පස්සති සබ්බධි - රාගය බියකරු යැ ද්වේෂය බියකරු යැ මෝහය බියකරු යැ … ක්ලේශයෝ බියකරුහු යැ, බියකරු රාගය ප්‍රහීණ කළ බැවින් සියලු තැන්හි ක්‍ෂේමය දකී, සියලු තැන්හි අභය දකී, සියලු තැන්හි පීඩා රහිත බව දකී, සියලු තැන්හි අනුපද්‍රවය දකී, සියලු තැන්හි නො ගැටුණු බව දකී නුයි ‘ඛේමං පස්සති සබ්බධි’ යනු වේ.
එයින් වදාළහ බුදුහු:
“අනෙජස්ස විජානතො -පෙ- ඛේමං පස්සති සබ්බධි” යී.
ක්‍ෂීණාස්‍රව මුනි තෙම (මාන විසින් තමා) සම වූවන් කෙරෙහි ලා නො කියයි, හීනයන් කෙරෙහි ලා නො කියයි, ශ්‍රේෂ්ඨයන් කෙරෙහි ලා නො කියයි. සන්හුන් කෙලෙස් ඇති පහවැගිය මාත්සර්‍ය්‍ය ඇති හෙතෙම (රූපාදි කිසි ධර්‍මයක්) නො ගනී, (එහෙයින් ම) නො බැහැර කෙරෙයි. බුදුහු මෙසේ වදාළ සේකි.
න සමෙසු න ඔමෙසු න උස්සෙසු වදතෙ මුනි - ‘මොන’ යී ඥානය කියනු ලැබෙයි, යම් ප්‍රඥාවක් ප්‍රකර්‍ෂජානනයක් … සඞ්ගජාලය ඉක්මවා සිටි හෙතෙම ‘මුනි’ වේ යයි. මුනි තෙම ‘මම් ශ්‍රේෂ්ඨ වෙමී’ හෝ ‘මම් සදෘශයෙමි’ හෝ ‘මම් හීනයෙමි’ හෝ නො පවසයි, නො කියයි, නො බෙණෙයි, නො දක්වයි, ව්‍යවහාර නො කෙරේ නුයි ‘න සමෙසු න ඔමෙසු න උස්සෙසු වදතෙ මුනි’ යනු වේ.
සන්තෝ සො වීතමච්ඡෙරො - ‘සන්තෝ’ යනු: රාගය ශාන්ත හෙයින් ශෂිත හෙයින් ‘ශාන්ත යැ, ද්වේෂය - මෝහය …. සියලු අකුශලාභිසංස්කාරයන් ශාන්ත වන බැවින් ශමිත වන බැවින් ව්‍යුපශමිත වන බැවින් දවන ලද බැවින් නිවුණු බැවින් විගත වන බැවින් දුරලන ලද බැවින් ශාන්ත යැ උපශාන්ත යැ ව්‍යුපශාන්ත යැ නිවුණේ යැ දුරලූ කෙලෙස් ඇත්තේ නුයි ‘සන්තෝ සො’ යනු වේ. වීතමච්ඡෙරො - මාත්සර්‍ය්‍ය පසෙකි: ආවාසමාත්සර්‍ය්‍ය යැ … ග්‍රාහ යැ; මේ මාත්සර්‍ය්‍ය යැයි කියනු ලැබේ. යමක්හු විසින් තෙල මාත්සර්‍ය්‍යය ප්‍රහීණ කරන ලද ද, හෙතෙම වීතමාත්සර්‍ය්‍ය යැ, විගතමාත්සර්‍ය්‍ය යැ, ත්‍යක්තමාත්සර්‍ය්‍ය යැ, වාන්තමාත්සර්‍ය්‍ය යැ, මුක්තමාත්සර්‍ය්‍ය යැ, ප්‍රහීණ කළ මාත්සර්‍ය්‍ය ඇත්තේ යැ, දුරලූ මාත්සර්‍ය්‍ය ඇත්තේ යැයි කියනු ලැබේ නුයි ‘සන්තෝ සො වීතමච්ඡෙරො’ යනු වේ.
නාදෙති න නිරස්සතීති භගවා - ‘නාදෙති’ යනු: රූපය නො ගනී, දැඩිව නො ගනී, ග්‍රහණ්‍ය නො කෙරෙයි, පරාමර්‍ශනය නො කෙරෙයි, අභිනිවේශය නො කෙරෙයි; වේදනාව - සංඥාව - සංස්කාරයන් - විඥානය - ගතිය - උත්පත්තිය - ප්‍රතිසන්‍ධිය - භවය - සංසාරය - වෘත්තය ආදානය නො කෙරෙයි, උපාදාන - ග්‍රහණ - පරාමර්‍ශ - අභිනිවේශ නො කෙරේ නුයි ‘නාදෙති’ යනු වේ. න නිරස්සති යනු: රූපය නො දුරු කෙරෙයි, නො බැහැර කෙරෙයි, විගතාන්ත නො කෙරෙයි, අනභාවයට නො පමුණුවයි; වේදනාව - සංඥාව - සංස්කාරයන් - විඥානය - ගතිය - උත්පත්තිය ප්‍රතිසන්‍ධිය - භවය - සංසාරය - වෘත්තය නො හැරපියයි, නො බැහැර කෙරෙයි, විගතාන්ත නො කෙරෙයි, අනභාවයට නො පමුණුවයි; භගවා යනු; ගෞරවාධි වචන යැ … මේ ‘භගවා’ යනු අර්‍හත්ඵලය ප්‍රත්‍යක්‍ෂ කිරීමෙන් උපන් ප්‍රඥප්තියකැ’ යි ‘නාදෙති න නිරස්සතීති භගවා’ යනු වේ.
එයින් වදාළහ බුදුහු:
“න සමෙසු න ඔමෙසු -පෙ- නාදෙති න නිරස්සතීති භගවා” යී.
පසළොස්වැනි ‘අත්තදණ්ඩ’ සූත්‍ර නිර්‍දෙශය සමාප්ත යි.