සංවෙගං කිත්තයිස්සාමි - සංවේගය උද්වෙගය තැතිගැනීම භය පෙළීම ගැටීම උපද්‍රවය උපසර්‍ගය (-ඇවිරීම) කීර්‍තනය කරන්නෙමි, ප්‍රකීර්‍තනය කරන්නෙමි, පවසන්නෙමි දෙසන්නෙමි පනවන්නෙමි පිහිටුවන්නෙමි විවරණය කරන්නෙමි විභාග කරන්නෙමි ප්‍රකට කරන්නෙමි ප්‍රකාශ කරන්නෙම් නුයි ‘සංවෙගං කිත්තයිස්සාමි’ යනු වේ.
යථා සංවිජිතං මයා - යම්සේ මා විසින් තමා මැ තෙමේ සංවේගයට පත් කරන ලදුයේ උද්වෙග කරන ලදුයේ සංවේගයට පමුණුවන ලදුයේ නුයි ‘යථා සංවිජිතං මයා’ යනු වේ.
එයින් වදාළහ බුදුහු:
“අත්තදණ්ඩං භයං ජාතං -පෙ- යථා සංවිජිතං මයා” යී.
15. 2.
දියත්තෙක මසුන් මෙන් (තෘෂ්ණාදියෙන්) සැලෙන සත්ත්‍වවර්‍ගයා දැක, ඔවුනොවුන් හා සමග විරුද්ධ වූවන් දැක, බිය මා කරා පැමිණියේ යැ. (- මට බිය උපන.)
ඵනදමානං පජං දිස්වා - ‘පජා’ යනු: සත්ත්‍වයනට නමෙකි. තෘෂ්ණාස්පන්දනයෙන් සැලෙන ප්‍රජාව දෘෂ්ටිස්පන්දනයෙන් සැලෙන ක්ලෙශස්පන්දනයෙන් සැලෙන දුශ්චරිතස්පන්දනයෙන් සැලෙන කායාදි ප්‍රයොගස්පන්දනයෙන් සැලෙන විපාකස්පන්දනයෙන් සැලෙන ප්‍රජාව, රාගයෙන් රත් වැ සැලෙන, ද්වේෂයෙන් දුෂ්ට වැ සැලෙන, මෝහයෙන් මූඪ වැ සැලෙන, මානයෙන් විනිබද්ධ වැ සැලෙන, ඖද්ධත්‍යයෙන් වික්‍ෂේපයට පැමිණැ සැලෙන, විචිකිත්සාවෙන් නිෂ්ඨාවට නො පැමිණැ සැලෙන, අනුශයෙන් තදබවට පැමිණැ සැලෙන, ලාභයෙන් සැලෙන, අලාභයෙන් සැලෙන, යශසින් සැලෙන, අයශසින් සැලෙන, ප්‍රශංසායෙන් සැලෙන, නින්‍දායෙන් සැලෙන, සුවයෙන් සැලෙන, දුකින් සැලෙන, ජාතියෙන් සැලෙන, ජරායෙන් සැලෙන, ව්‍යාධියෙන් සැලෙන, මරණයෙන් සැලෙන, ශෝකයෙන් පරිදේවයෙන් දුකින් දොම්නසින් උපායාසයෙන් සැලෙන, නිරෑදුකින් සැලෙන, තිරිසන්යොන්හි වූ දුකින් සැලෙන, ප්‍රේතවිෂයෙහි වූ දුකින් සැලෙන, -
මිනිස්ලොවැ වූ දුකින් සැලෙන, ගර්‍භාවක්‍රාන්තිමූලක දුකින් සැලෙන, ගර්‍භස්ථිතිමූලක දුකින් - ගර්‍භව්‍යුත්‍ථානමූලක දුකින් - උපන්නහු පිළිදග්නා දුකින් - උපන්නහු පරා අයත් දුකින් - ආත්මොපක්‍රම දුකින් - පරොපක්‍රම දුකින් - දුඃඛදුඃඛයෙන් - සංස්කාරදුඃඛයෙන් - විපරිණාම - දුඃඛයෙන් - චක්‍ෂුරෝගයෙන් වූ දුකින් - ශ්‍රොත්‍රරොගයෙන් - ඝ්‍රාණරොගයෙන් - ජිහ්වාරොගයෙන් - කායරොගයෙන් - ශිර්‍ෂරොගයෙන් - කර්‍ණරෝගයෙන් - මුඛරොගයෙන් - දන්තරොගයෙන් - කාසයෙන් - ශ්වාසයෙන් - පීනසින් - දාහයෙන් - ජ්වරයෙන් - කුක්‍ෂිරොගයෙන් - මුර්ඡායෙන් - ලොහිතාතීසාරයෙන් - ආමශූලයෙන් - විරෙචනයෙන් - කුෂ්ටරෝගයෙන් - ගණ්ඩරොගයෙන් - කබරයෙන් - ක්‍ෂයරොගයෙන් - අපස්මාරයෙන් - දදපොළින් - කුඩා පොළින් - මහපොළින් - නියහිරින් - අතුල් පතුල් පැළීමෙන් - රත්පිතින් - මධුමෙහයෙන් - අර්‍ශසින් - ලේපොළින් - භගන්දරයෙන් - පිතින් උපදනා රෝගයෙන් - සෙමින් උපදනා රෝගයෙන් - වයින් උපදනා රෝගයෙන් - සාන්නිපාතික රෝගයෙන් - ඍතුවිපර්‍ය්‍යාසයෙන් උපදනා රෝගයෙන් - විෂමවිහරණයෙන් උපදනා රෝගයෙන් - විෂම විහරණයෙන් උපදනා රෝගයෙන් - උපක්‍රමයෙන් හටගන්නා රෝගයෙන් - කර්‍මවිපාකයෙන් උපදනා රෝගයෙන් - ශීතයෙන් - උෂ්ණයෙන් - ජිඝත්සායෙන් - පිපාසායෙන් - උච්චාරයෙන් - ප්‍රස්‍රාවයෙන් - මැසි මදුරු වා අව් දික්දෑ පහසින් වූ දුකින් - මවගේ මරණයෙන් වූ දුකින් - පියාගේ මරණයෙන් වූ දුකින් - බෑයාගේ මරණයෙන් වූ දුකින් - බුනගේ මරණයෙන් වූ දුකින් - පුතා මළ දුකින් - දූ මළ දුකින් - නෑයන් මළ දුකින් - භොග විපත්ති දුකින් - රොගවිපත්ති දුකින් - ශීලවිපත්ති දුකින් - දෘෂ්ටිවිපත්ති දුකින් සැලෙන මොනොවට සැලෙන වෙසෙසින් සැලෙන වෙවුලන වෙසෙසින් වෙවුලන අතිශයින් වෙවුලන ප්‍රජාව; දිස්වා - දැක පෙනී තුලනය කොට තීරණය කොට විභාවනය කොට විභූත කොට නුයි ‘ඵනදමානං පජං දිස්වා’ යනු වේ.
මච්ඡෙ අප්පොදකෙ යථා - මඳ දියෙහි දිය සිඳුණු කල්හි කවුඩන් විසින් හෝ උකුස්සන් විසින් හෝ කොකුන් විසින් හෝ නසනු ලබන්නාවූ නඟනු ලබන්නා වූ කනු ලබන්නා වූ මත්ස්‍යයෝ යම් සේ සැලෙත්ද සර්‍වාකාරයෙන් සැලෙත් ද විවිධ වැ සැලෙත් ද, වෙවුලත් ද, වෙසෙසින් වෙවුලත් ද අතිශයින් වෙවුලත් ද, එපරිද්දෙන් ම ප්‍රජාව තෘෂ්ණාස්පන්දනයෙන් සැලෙති … දෘෂ්ටිව්‍යසන දුකින් සැලෙති සර්‍වාකාරයෙන් සැලෙති විවිධ වැ සැලෙති, වෙවුලති වෙසෙසින් වෙවුලති අතිශයින් වෙවුලත් නුයි ‘මච්ඡෙ අප්පොදකෙ යථා’ යනු වේ.
අඤ්ඤමඤ්ඤෙහි බ්‍යාරුද්ධෙ - සත්ත්‍වයෝ ඔවුනොවුන් විරුද්ධ වූවාහු ප්‍රතිවිරුද්ධ වූවාහු කෝපයෙන් පහළාහු වෙසෙසින් පහළාහු ගැටුණාහු වෙසෙසින් ගැටුණාහු රජුහු දු රජුන් සමග විවාද කෙරෙති, ක්‍ෂත්‍රියයෝත් ක්‍ෂත්‍රියයන් සමග විවාද කෙරෙති, බමුණෝත් බමුණන් සමග විවාද කෙරෙති, ගැහැවියෝත් ගැහැවියන් සමග විවාද කෙරෙති, මවු ද පුතා සමග විවාද කෙරෙයි, පුතාත් මව සමග විවාද කෙරෙයි, පියාත් පුතු සමග විවාද කෙරෙයි, පුතාත් පියා සමග විවාද කෙරෙයි, බෑයාත් බෑයා සමග විවාද කෙරෙයි, භගිනිය (-බූන) ද භගිනිය සමග විවාද කෙරෙයි, බෑයාත් බූන සමග විවාද කෙරෙයි, බූන ද බෑයා සම විවාද කෙරෙයි, යහලුවාත් යහලුවා සමග විවාද කෙරෙයි.
ඔවුහු එහි කලහ - විග්‍රහ - විවාදයට පැමිණියාහු ඔවුනොවුන්ට අතිනු දු පහර දෙති, කැටිනු දු පහර දෙති, දඬියෙනු දු පහර දෙති, අවියෙනු දු පහර දෙත්. ඔවුහු එහි මරණයට ද මරණමාත්‍ර වූ දුකට ද පැමිණෙත් නුයි ‘අඤ්ඤමඤ්ඤෙහි බ්‍යාරුද්ධෙ’ යනු වේ.
දිස්වා මං භයමාවිසි - ‘දිස්වා’ යනු: දැක පෙනී තුලනය - තීරණය - විභාවනය - විභූත කොට, බිය පෙළුම ගැටුම උපද්‍රවය උපසර්‍ගය පැමිණියේ නුයි ‘දිස්වා මං භයමාවිසි’ යනු වේ.
එයින් වදාළහ බුදුහු:
“ඵනදමානං පජං දිස්වා -පෙ- දිස්වා මං භයමාවිසි” යී.
15. 3.
නිරයාදි ලෝකය හාත්පසින් නිසරු යැ. සියලු දෙස අනිත්‍යතායෙන් කම්පිත යැ. (එයින්) තමහට ත්‍රාණය කැමැති වන්නෙම් ජරාදීන් නො මැඩුණු තැනක් නුදුටිමි.
සමන්තමසාරො ලෝකෝ - ‘ලෝක’ නම්: නිරයලෝක යැ තිරශ්චීනලෝක යැ ප්‍රෙතවිෂයලෝක යැ මනුෂ්‍යලෝක යැ දේවලෝක යැ ස්කන්‍ධලෝක යැ ධාතුලෝක යැ ආයතනලෝක යැ මෙලොව යැ පරලොව යැ බඹලොව යැ දෙව්ලොව යැ. (යන) මේ’ ලෝක’ යී කියනු ලැබේ. නිරයලොකය නිත්‍යසාර සාරයෙන් හෝ සුඛසාර (සඞ්ඛ්‍යාත) සාරයෙන් හෝ ආත්මසාර (සඞ්ඛ්‍යාත) සාරයෙන් හෝ නිත්‍යයෙන් හෝ ධ්‍රැවයෙන් හෝ ශාශ්වතයෙන් හෝ අවිපරිණාමස්වභාවයෙන් හෝ අසාර යැ නිස්සාර යැ සාරයෙන් අපගත යි. තිරශ්චීනයොනිලෝකය - ප්‍රේතවිෂයලෝකය - මනුෂ්‍යලෝකය - දේවලෝකය - ස්කන්‍ධලෝකය - ධාතුලෝකය - ආයතනලෝකය - මෙලොව - පරලොව - බඹලොව - දෙව්ලොව නිත්‍යසාර (සඞ්ඛ්‍යාත) සාරයෙන් හෝ සුඛසාරසාරයෙන් හෝ ආත්මසාරසාරයෙන් හෝ නිත්‍යයෙන් හෝ ධ්‍රැවයෙන් හෝ ශාශ්වතයෙන් හෝ අවිපරිණාමස්වාභාවයෙන් හෝ අසාර යැ නිස්සාර යැ ශාස්වතයෙන් හෝ අවිපරිණාමස්වභාවයෙන් හෝ අසාර යැ නිස්සාර යැ සාරයෙන් අපගත යි. තවද බටගස යම්සේ හර රහිත වූයේ නිසරු වූයේ හරයෙන් අපගත වූයේ ද, යම්සේ එරඬු ගස අසාර වූයේ නිසරු වූයේ සාරයෙන් අපගත ද, යම්සේ දිඹුල්ගස අසාර ද නිස්සාර ද සාරාපගත ද, යම්සේ වරණගස අසාර ද නිස්සාර ද සාරාපගත ද, යම්සේ එරබදුගස අසරු වූයේ නිසරු වූයේ හරයෙන් අපගත වූයේ ද, යම්සේ පෙණපිඬ අසරු ද නිසරු ද හර නැත් ද, යම්සේ දියබුබුළ අසරු ද, නිසරු ද හර නැත් ද, යම්සේ මිරිඟුව අසරු ද නිසරු ද සාරාපගත ද, යම්සේ කෙසෙල්කඳ අසරු ද නිසරු ද සාරාපගත ද, යම්සේ මායාව අසරු ද නිසරු ද සාරාපගත ද, එසෙයින් මැ නිරයලොකය නිත්‍යසාර (සඞ්ඛ්‍යාත) සාරයෙන් හෝ සුඛසාරසාරයෙන් හෝ ආත්මසාරසාරයෙන් හෝ නිත්‍යයෙන් හෝ ධ්‍රැවයෙන් හෝ ශාශ්වතයෙන් හෝ අවිපරිණාමස්වභාවයෙන් හෝ අසාර යැ නිස්සාර යැ සාරයෙන් අපගත වූයේ යි.
තිරශ්චීනයොනිලොකය - ප්‍රෙතවිෂයලොකය - මනුෂ්‍යලෝකය - දෙවලොකය නිත්‍යසාරසාරයෙන් හෝ සුඛසාරසාරයෙන් හෝ ආත්මසාරසාරයෙන් හෝ නිත්‍යයෙන් හෝ ධ්‍රැවයෙන් හෝ ශාශ්වතයෙන් හෝ අවිපරිණාමධර්‍මයෙන් හෝ අසාර යැ නිස්සාර යැ සාරාපගත යි. ස්කන්‍ධලෝකය - ධාතුලෝකය - ආයතනලොකය - මෙලොව - පරලොව - බඹලොව - දෙව්ලොව නිත්‍යසාරසාරයෙන් හෝ සුඛසාරසාරයෙන් හෝ ආත්මසාරසාරයෙන් හෝ නිත්‍යයෙන් හෝ ධ්‍රැවයෙන් හෝ ශාශ්වතයෙන් හෝ අවිපරිණාමධර්‍මයෙන් හෝ අසාර යැ නිස්සාර යැ සාරාපගත නුයි. ‘සමන්තමසාරො ලෝකෝ’ යනු වේ.
දිසා සබ්බා සමෙරිතා - පෙර දිග යම් සංස්කාර කෙනෙක් වෙත් නම්, ඔවුහු ද අනිත්‍යතායෙන් කම්පිත වූවාහුය මොනොවට කම්පිත වූවාහුය සැලුණාහුය ගැටුණාහුය, ජාතියෙන් අනුව ගියාහුය, ජරාවෙන් යුක්ත වූවාහුය, ව්‍යාධියෙන් මඩනා ලද්දාහුය, මරණයෙන් පහළාහුය දුකෙහි පිහිටියාහුය, ත්‍රාණ (ආරක්‍ෂා) රහිත වූවාහුය, රැකවරණ රහිත වූවාහුය, පිහිට නැත්තාහුය, (තුමූ) පිහිට නො වන්නාහුය. පැලදෙස යම් සංස්කාර කෙනෙක් - උතුරු දෙස යම් සංස්කාර කෙනෙක් - දකුණු දෙස යම් සංස්කාර කෙනෙක් - පූර්‍ව අනුදිශාවෙහි යම් සංස්කාර කෙනෙක් - පශ්චිම අනුදිශාවෙහි යම් සංස්කාර කෙනෙක් - උත්තර අනුදිශාවෙහි යම් සංස්කාර කෙනෙක් - දක්‍ෂිණ අනුදිශාවෙහි යම් සංස්කාර කෙනෙක් - යට දිශාවෙහි යම් සංස්කාර කෙනෙක් - උඩ දිශාවෙහි යම් සංස්කාර කෙනෙක් - දශදිශාවන්හි යම් සංස්කාර කෙනෙක් වෙත් නම් ඔවුහු ද අනිත්‍යතායෙන් කම්පිත වූවාහුය, සඞ්කම්පිත වූවාහුය, සැලුණාහුය, ගැටුණාහුය; ජාතියෙන් අනුව ගියාහුය, ජරාවෙන් යුක්ත වූවාහුය, ව්‍යාධියෙන් මඩනා ලද්දාහුය, මරණයෙන් පහළාහුය, දුකෙහි පිහිටියාහුය, පාලන රහිත වූවාහුය, රැකවරණ රහිත වූවාහුය, අසරණ වූවාහුය, සරණ නො වන්නාහු යි.
මේ කියන ලද මැ යැ:
1. “තවද තාගේ තෙල විමන උතුරු දෙස බබුළුවමින් දිලියේ නමුදු (ජාතිජරාභඞ්ග සඞ්ඛ්‍යාත) වූ රූපයෙහි දෝෂය දැක සියලු කල්හි ශීතාදියෙන් කම්පිත වූ රූපය දැක, එ කරුණෙන් සොඳුරු නුවණැති ශාස්තෘ තෙම රූපයෙහි නො ඇලෙ.”
2. “ලෝවැසි තෙම මරණයෙන් මඩනා ලද, ජරාවෙන් පිරිවරන ලද, තෘෂ්ණා නැමැති ශල්‍යයෙන් අවතීර්‍ණ යැ. සියලු කල්හි ඉච්ඡා (-ආශාවෙන්) දුමන ලද්දේ යි.”
3. “සියලු සත්ත්‍ව ලෝක තෙමේ හාත්පසින් දැල්වෙන ලද. සියලු ලෝකය දුමන ලද. සියලු ලෝකය ප්‍රජ්වලිත යැ. සියලු ලෝකය ප්‍රකම්පිත වූයේ ය යි.”
‘දිසා සබ්බා සමෙරිතා’ යනු වේ.
ඉච්ඡං භවනමත්තනො - තමාගේ භවනය පාලනය රැකවරණය දුක් නැසීම ප්‍රතිෂ්ඨාව උතුම් පැවැත්ම ඉස්නෙම් ඉවසනුයෙම් පතනුයෙම් කැමැති වනුයෙම් අභිජලප්නය කරනුයෙම් නුයි ‘ඉච්ඡං භවනමත්තනො’ යනු වේ.
නාද්දසාසිං අනොසිතං - (ජරාදිය විසින්) මඩනා ලදුවක් ම දිටිමි, නො මඩනා ලද්දක් නුදුටිමි. සියලු යොවුන් බව ජරාවෙන් මඩනා ලද. සියලු අරෝග බව ව්‍යාධියෙන් මඩනා ලද. සියලු ජීවිතය මරණයෙන් මඩනා ලද. සියලු ලාභය අලාභයෙන් මඩනා ලද. සියලු යශස අයශසින් මඩනා ලද. සියලු පැසැසුම් නින්දාවෙන් මඩනා ලද. සියලු සැපය දුකින් මඩනා ලදි.
4. “ලාභය ද අලාභය ද අයශස් ද යශස් ද නින්‍දාව ද ප්‍රශංසාව ද සුවය ද දුක ද යන මිනිසුන් කෙරෙහි වූ තෙල ධර්‍මයෝ අනිත්‍යයෝ ය, අශාශ්වතයෝ ය, පෙරළෙන ස්වභාව ඇත්තාහු ය” යි.
‘නාද්දසාසිං අනොසිතං’ යනු වේ.
එයින් වදාළහ බුදුහු:
“සමන්තමසාරො ලෝකෝ - පෙ - නාද්දසාසිං අනොසිතං” යී
15. 4.
යළි (යෞවනාදීන්ගේ) අවසානයෙහි මැ (ජරාදිය සමග) ප්‍රතිවිරුද්ධ වූ සත්ත්‍වයන් දැක මට අනභිරතිය උපන. අනතුරුව තෙල සත්ත්‍වයන් විෂයෙහි වූ නො දැක්ක හැකි සිත ඇසුරු කළ රාගාදි (සප්ත විධ) ශල්‍යය දිටිමි.
ඔසානෙ ත්‍ථෙව බ්‍යාරුද්ධෙ - ‘ඔසානෙ ත්‍වෙව’ යනු: ජරාව සියලු යොවුන් බව අවසාන කෙරෙයි, ව්‍යාධිය සියලු අරෝග බව අවසාන කෙරෙයි, මරණය සියලු ජීවිතය අවසාන කෙරෙයි, සියලු ලාභය අලාභය තෙමේ අවසාන කෙරෙයි, සියලු යශස් අපකීර්ත්තිය අවසාන කෙරෙයි, නින්‍දාව සියලු පැසැසුම් අවසාන කෙරෙයි, දුක සියලු සුවය අවසාන කෙරේ නුයි ‘ඔසානෙ ත්‍වෙව’ යනු වේ. බ්‍යාරුද්ධෙ - යොවුන් බව කැමැති සත්ත්‍වයෝ ජරාව හා ප්‍රතිවිරුද්ධ වූවාහුය, ආරෝග්‍යය කැමැති සත්ත්‍වයෝ ව්‍යාධිය හා ප්‍රතිවිරුද්ධ වූවාහුය, ජීවත්වනු කැමැති සත්ත්‍වයෝ මරණය සමග ප්‍රතිවිරුද්ධ වූවාහුය, කැමැති සත්ත්‍වයෝ මරණය සමග ප්‍රතිවිරුද්ධ වූවාහුය, ලාභ කැමැති සත්ත්‍වයෝ අලාභය හා ප්‍රතිවිරුද්ධ වූවාහුය, ප්‍රශංසා කැමැති සත්ත්‍වයෝ නින්‍දාව හා ප්‍රතිවිරුද්ධ වූවාහුය, සුව කැමැති සත්ත්‍වයෝ දුක හා ප්‍රතිවිරුද්ධ වූවාහුය (කෝපයෙන්) පහළාහු පිළිමල් වැ පහළාහු ගැටුණාහු වෙසෙසින් ගැටුණාහු නුයි ‘ඔසානෙ ත්‍වෙව බ්‍යාරුද්ධෙ’ යනු වේ.
දිස්වා මෙ අරතී අහු - ‘දිස්වා’ යනු: දැක පෙනී තුලනය කොට තීරණය කොට වෙසෙසින් සලකා විභූත කොට නුයි ‘දිස්වා’ යනු වේ. මෙ අරති යනු: යම් නො ඇල්මෙක් යම් නො ඇලුණු බවෙක් යම් නො ඇලුණු අයුරෙක් යම් උකටලිබවෙක් යම් හාත්පසින් බියවන බවෙක් වී නුයි ‘දිස්වා මෙ අරතී අහු’ යනු වේ.
අථෙත්‍ථ සල්ලමද්දක්ඛිං - ‘අථ’ යනු: පදසන්‍ධියැ … පදානුපූර්‍වතා යැ තෙල ‘අථ’ යනු. එත්‍ථ යනු : සත්ත්‍වයන් විෂයෙහි; සල්ල නම්: සත් ශල්‍ය කෙනෙකි: රාගශල්‍ය යැ ද්වෙෂශල්‍ය යැ මොහශල්‍ය යැ මානශල්‍ය යැ දෘෂ්ටිශල්‍ය යැ ශෝකශල්‍ය යැ කථඞ්කථාශල්‍ය යැ’ යි; අද්දක්ඛිං යනු: දිටිමි අවබෝධ කෙළෙම් නුයි ‘අථෙත්‍ථ සල්ලමද්දක්ඛිං’ යනු වේ.
දුද්දසං හදයස්සිතං - ‘දුද්දසං’ යනු: දුදර්‍ශ යැ නො දැක්ක හැකි යැ නො බැලියැ හැකි යැ නො දත හැකි යැ අවබෝධ කළ නො හැකි යැ ප්‍රතිවේධ කළ නො හැක්කැයි ‘දුද්දසං’ යනු වේ. හදයස්සිතං යනු: ‘හදය’ යි සිත කියනු ලැබෙයි; යම් සිතෙක් මනසෙක් මානසයෙක් හෘදයයෙක් භවාඞ්ගසිතෙක් මනසක් මනසඞ්ඛ්‍යාත ආයතනයෙක් මනෙන්ද්‍රියයෙක් විඥානයෙක් විඥානස්කන්‍ධයෙක් තදනුරූප වූ මනෝවිඥානධාතුයෙක් වේ ද එය යි. හෘදය (- සිත) ඇසුරු කළ හෘදයනිඃශ්‍රිත වූ සිත ඇසුරු කළ චිත්තනිඃශ්‍රිත වූ සිත හා සහගත (-නො වෙන්) වූ සමග උපන් සංසෘෂ්ට වූ සම්ප්‍රයුක්ත වූ එක් වැ උපදනා එක් වැ නිරුද්ධ වන (හෘදයවස්තු වශයෙන්) ඒකවස්තුක වූ (රූපාදි වශයෙන්) ඒකාලම්බන වූයේ නුයි ‘දුද්දසං හදයස්සිතං’ යනු වේ.
එයින් වදාළහ බුදුහු:
“ඔසානෙ ත්‍වෙව බ්‍යාරුද්ධෙ -පෙ- දුද්දසං හදයස්සිතං” යී.
15. 5.
යම් රාගාදී ශල්‍යයෙකින් අවතීර්‍ණ වූ (-විදුනා ලද) සත්ත්‍ව තෙමේ සියලු දිගට දිවෙන්නේ ද, (එහෙයින්) ඒ ශල්‍යය මැ උදුරාපියා (සියලු දිගට සියලු ගති ආදියෙහි) නො දිවෙයි. (චතුරෝඝයෙහි) නො ගැලේ.
යෙන සල්ලෙන ඔතිණ්ණො දිසා සබ්බා විධාවති - ‘සලල’ නම්: සත් ශල්‍ය කෙනෙකි: රාගශල්‍ය යැ ද්වෙෂශල්‍ය යැ මොහශල්‍ය යැ මානශල්‍ය යැ දෘෂ්ටිශල්‍ය යැ ශෝකශල්‍ය යැ කථඞ්කථාශල්‍ය යි.
රාගශල්‍යය කවරැ යත්: යම් රාගයෙක් බලවත් රාගයෙක් නැවත නැවත පැමිණැවීමෙක් කැමැති වීමෙක් නන්දි සඞ්ඛ්‍යාත රාගයෙක් චිත්තයා ගේ බලවද්රාගයෙක් … අභිධ්‍යාවක් ලෝභ අකුශලමූලයෙක් වේ ද මේ රාගශල්‍ය යි.
ද්වෙෂශල්‍යය කවරැ යත්: ‘මට අනර්‍තථ කළැ’ යි ආඝාත උපදී, ‘මට අනර්‍තථ කෙරෙයි’ ආඝාත උපදී, ‘මට අනර්‍තථ කරන්නේ වනැ’ යි ආඝාත උපදී … සැඩබවෙක් නො පිරුණු වචන ඇතිබවෙක් චිත්තයාගේ නො සතුටු බවෙක් වේ ද, මේ ද්වෙෂශල්‍ය යි.
මෝහශල්‍යය කවරැ යත්: දුඃඛසත්‍යයෙහි නො දැනීම … දුඃඛනිරෝධගාමිනී ප්‍රතිපදාර්‍ය්‍යසත්‍යයෙහි නො දැනීම, පූර්‍වාන්තයෙහි … අපරාන්තයෙහි … පූර්‍වාපරාන්තයෙහි නො දැනීම, ඉදම්ප්‍රත්‍යතා සඞ්ඛ්‍යාත ප්‍රතීත්‍යසමුත්පන්නධර්‍මයන්හි නො දැනීම (යන) මෙ බඳු වූ යම් නො දැක්මෙක් (දහම්) නො දැනීමෙක් (අනුරූප වශයෙන්) නො දැනීමෙක් අවබෝධ නො කිරීමෙක් ප්‍රතිවේධ නො කිරීමෙක් (අනිත්‍යාදි සාමාන්‍ය හෙයින්) නො ගැනීමෙක් හාත්පසින් බැස නො ගැනීමෙක් සමව නො බැලීමෙක් ප්‍රත්‍යවේක්‍ෂා නො කිරීමෙක් ප්‍රත්‍යක්‍ෂ නො කිරීමෙක් (චිත්තසන්තානයාගේ) අපවිත්‍ර බවෙක් බාලබවෙක් මෝහයෙක් බලවත් මෝහයෙක් සම්මොහයෙක් අවිද්‍යාවක් අවිද්‍යාඕඝයෙක් අවිද්‍යායෝගයෙක් අවිද්‍යානුශයයෙක් අවිද්‍යාපරියුට්ඨානයෙ (සිත මැඩගැනීමෙ) ක් අවිද්‍යා නමැති කනයමක් මෝහ අකුශලමූලයෙක් වේ ද, මේ මොහශල්‍ය යි.
මානශල්‍යය කවරැ යත්: ‘මම් ශ්‍රේෂ්ඨ වෙමි’ මානය වෙයි, ‘මම් සදෘශ වෙමි’ මානය වෙයි,‘මම් හීන වෙමි’ මානය වෙයි. මෙබඳු වූ යම් මානයෙක් මානාකාරයෙක් මානය කළ බවෙක් උන්නතියෙක් ඔසවා තැබීමෙක් මානධ්වජයෙක් දැඩිව ගැනීමෙක් චිත්තයාගේ කෙතුකම්‍යතාවක් වේ ද, මේ මානශල්‍ය යි.
දෘෂ්ටිශල්‍යය කවරැ යත්: විංශතිවස්තුක සත්කායදෘෂ්ටිය දශවස්තුකමිත්‍ථ්‍යාදෘෂ්ටිය දශවස්තුක අන්තග්‍රාහිකා දෘෂ්ටිය (යන) මෙබඳු වූ යම් දෘෂ්ටියක් දෘෂ්ටිගතයෙක් දෘෂ්ටිගහනයෙක් දෘෂ්ටිකාන්තාරයෙක් (සම්‍යග්දෂ්ටිය විනිවිදින හෙයින්) දෘෂ්ටිවිසූකායිකයෙක් දෘෂ්ටිවිෂ්පන්‍දිතයෙක් දෘෂ්ටිසංයෝජනයෙක් (අරමුණ දැඩිව) ගැනීමෙක් පිහිටාගැනීමෙක් (නිත්‍යාදි වශයෙන්) අභිනිවේශයෙක් පරාමර්‍ශයෙක් කුත්සිතමාර්‍ගයෙක් මිත්‍ථ්‍යාපථයෙක් මිත්‍ථ්‍යාස්වභාවයෙක් තීර්‍තථායතනයෙක් විපර්‍ය්‍යාසයෙන් ගැනීමෙක් විපරීත ව ගැනීමෙක් (නිත්‍යාදි වශයෙන්) පරිවර්‍තන කොට ගැනීමෙක් මිත්‍ථ්‍යාග්‍රාහයෙක් අස්වාභාවයෙහි ස්වභාව යයි ගැනීමෙක් වේ ද, යම් පමණ ද්වාෂෂ්ටි දෘෂ්ටිගතයෝ වෙත් ද, මේ දෘෂ්ටිශල්‍ය යි.
ශෝකශල්‍යය කවරැ යත්: ඥාතිව්‍යසනයෙන් හෝ මඩනා ලදහුගේ භොගව්‍යසනෙයෙන් හෝ මඩනා ලදහුගේ රොගව්‍යසනයෙන් හෝ මඩනා ලදහුගේ ශීලව්‍යසනයෙන් හෝ මඩනා ලදහුගේ දෘෂ්ටිව්‍යසනයෙන් හෝ මඩනා ලදහුගේ අන්‍යතරාන්‍යතර ව්‍යසනයෙකින් සමන්‍විත වූවහුගේ අන්‍යතරාන්‍යතර දුඃඛධර්‍මයෙකින් මඩනා ලදහුගේ ශෝකයෙක් ශොකාකාරයෙක් ශෝක කළ බවෙක් අන්තර්ශොකයෙක් ඇතුළත හාත්පසින් ශෝක කිරීමෙක් අන්තර්දාහයෙක් ඇතුළත හාත්පසින් දැවීමෙක් සිත දැවෙන අයුරෙක් දොම්නසෙක් වේ ද, මේ ශෝකශල්‍ය යි.
කථඞ්කථාශල්‍ය කවරැ යත්: දුඃඛයෙහි සැකය දුඃඛසමුදයෙහි සැකය දුඃඛනිරෝධයෙහි සැකය දුඃඛනිරෝධගාමිනී ප්‍රතිපත්තියෙහි සැකය පූර්‍වාන්තයෙහි සැකය අපරාන්තයෙහි සැකය පූර්‍වාපරාන්තයෙහි සැකය ඉදම්ප්‍රත්‍යයතාප්‍රතීත්‍යසමුත්පන්නධර්‍මයන්හි සැකය (යන) මෙබඳු වූ යම් සැකයෙක් සැක අයුරෙක් සැකයට පැමිණැවූ බවෙක් විමතියෙක් විචිකිත්සාවක් දෙපරිද්දෙන් පැවැත්මෙක් ද්විධාපථයෙක් සැකයෙක් අනෛකාන්තග්‍රාහයෙක් (අරමුණෙන්) බැහැර යෑමෙක් හාත්පසින් බැහැර යෑමෙක් (අරමුණට) නො බැසගැනීමෙක් සිතෙහි තදබවෙක් චිත්තවිලෙඛයෙක් වේ ද, මේ කථඞ්කථාශල්‍ය යි.
යෙන සල්ලෙන ඔතිණ්ණො දිසා සබ්බා විධාවති - රාගශල්‍යයෙන් මඩනා ලදුයේ විදුනා ලදුයේ පහස්නා ලදුයේ පෙළුණේ බැසගන්නා ලදුයේ සමන්‍විත වූයේ කයින් දුසිරිතෙහි හැසිරෙයි, බසින් දුසිරිතෙහි හැසිරෙයි, සිතින් දුසිරිතෙහි හැසිරෙයි, ප්‍රාණවධ දු කෙරෙයි, නො දුන් දැය ද හැරැගනී, ගෘහසන්‍ධි දු සිඳී, ගම් පැහැරීම ද ගෙවල් පැහැරීම ද මං පැහැරීම ද කෙරෙයි, පරඹුන් කරා ද යෙයි, මෘෂා ද බෙණෙයි. මෙසේත් රාගශල්‍යයෙන් මඩනා ලදුයේ විදුනා ලදුයේ පහස්නා ලදුයේ පීඩිත වූයේ බැසගන්නා ලදුයේ සමන්‍විත වූයේ දිවෙයි, වෙසෙසින් දිවෙයි, වේගයෙන් දිවෙයි, ඔබිනොබැ හැසිරෙයි. නොහොත් රාගශල්‍යයෙන් අවතීර්‍ණ වූයේ විද්ධ - ස්පෘෂ්ට - පරෙත - සමවහිත - සමන්‍වාගත වූයේ ධනය සොයමින් සීත පෙරටු කොට, උෂ්ණ පෙරටු කොට, මැසි මදුරු වා අව් දික්දෑපහසින් වෙහෙසෙමින් සාපවසින් මැරෙමින් නැවින් මහමුහුදට පිවිසෙයි: ත්‍රිගුල්ම ජනපදයට යෙයි. තක්කොලයට යෙයි, තක්‍ෂශිලාවට යෙයි, කාලමුඛයට යෙයි, පරාඞ්මුඛයට යෙයි, වෙසුඞ්ගයට යෙයි, වෙරාපථයට යෙයි, ජාවරටට යෙයි, තාමලීජනපදයට යෙයි, වගුරටට යෙයි, එඩවර්ධනයට යෙයි, ස්වර්‍ණකූටයට යෙයි, ස්වර්‍ණභූමියට යෙයි, තාම්‍රපර්ණ්ණියට යෙයි, සුප්පාරකජනපදයට යෙයි, භරුකච්ඡජනපදයට යෙයි, සෞරාෂ්ට්‍රයට යෙයි, අඞ්ගලොකයට යෙයි, ගඞ්ගණයට යෙයි, පරමගඞ්ගණයට යෙයි, යවනරටට යෙයි, පරමයවනයට යෙයි, නවකරටට යෙයි, මූලපදරටට යෙයි, මරුකාන්තාරයට යෙයි, ජණ්ණුපථයට යෙයි, අජපථයට යෙයි, මෙණ්ඩපථයට යෙයි, ශඞ්කුපථයට යෙයි, ඡත්‍රපථයට යෙයි, වංශපථයට යෙයි, සකුණපථයට යෙයි, මූෂිකපථයට යෙයි, දරීපථයට යෙයි, වෙත්‍රාධාරයට යෙයි. සොයනුයේ (භෝගයන්) නො ලැබෙයි එකල්හි නො ලැබීම හේතු කොට ද දුක් දොම්නස් විඳී. සොයනුයේ ලැබේ නම්, ලැබ ආරක්‍ෂාමූලක වූ ද දුක් දොම්නස් විඳී: ‘කවර උපායෙකින් මාගේ භෝගයන් රජවරු නො මැ හැරගන්නාහු ද සොරු නො පැහැරගන්නාහු ද ගිනි නො දවා ද වතුරු නො ගළා ද අප්‍රියදායාදයෝ නො හරනාහු දැ’ යි. මෙසේ රක්නා වූ පාලනය කරන්නා වූ ඔහුගේ ඒ භෝගයෝ වැනැසෙති, හෙතෙම විප්‍රයොගමූලක වූ ද දුක් දොම්නස් විඳී. මෙසේත් රාගශල්‍යයෙන් අවතීර්‍ණ වූයේ විදුනා ලදුයේ පහස්නා ලදුයේ පීඩිත වූයේ පිවිසියේ සමන්‍විත වූයේ දිවෙයි, වෙසෙසින් දිවෙයි, වේගයෙන් දිවෙයි, ඔබිනොබැ හැසිරේ.
ද්වෙෂශල්‍යයෙන් - මොහශල්‍යයෙන් - මානශල්‍යයෙන් අවතීර්‍ණ විද්ධ ස්පාෂ්ට පරෙත සමවහිත සමන්‍වාගත වූයේ කයින් දුසිරිතෙහි හැසිරෙයි, බසින් දුසිරිතෙහි හැසිරෙයි, සිතින් දුසිරිතෙහි හැසිරෙයි, ප්‍රාණවධ දු කෙරෙයි, නුදුන් දැය ද ගනී, ගෘහසන්‍ධි දු සිඳී, ගම් පැහැරීම ද කෙරෙයි, ගෙවල් පැහැරීම ද කෙරෙයි, මං පැහැරීම ද කෙරෙයි, පරඹුන් වෙත ද යෙයි, මුසවා ද බෙණෙයි, මෙසෙයින් මානශල්‍යයෙන් අවතීර්‍ණ වූයේ විදුනා ලදුයේ පහස්නා ලදුයේ මඩනා ලදුයේ ඇතුළත පිවිසියේ සමන්‍විත වූයේ ඉදිරියෙහි දිවෙයි, වෙසෙසින් දිවෙයි, වේගයෙන් දිවෙයි, ඔබිනොබැ හැසිරේ.
දෘෂ්ටිශල්‍යයෙන් අවතීර්‍ණ වූයේ විද්ධ වූයේ ස්පෘෂ්ට වූයේ පීඩිත වූයේ ප්‍රවිෂ්ට වූයේ සමන්‍විත වූයේ අචේලක (- නග්නශ්‍රමණ) වෙයි, හරන ලද ආචාර ඇතියේ වෙයි, අත ලෝනේ වෙයි, (භික්‍ෂා ගැනීම සඳහා) ‘එව වහන්සැ’ යි කියන ලදුයේ නො එයි, ‘සිට වහන්සැ’ යි කියන ලදුයේ නො සිටී, පළමු එළවූ භික්‍ෂාව නො ගනී, උදෙසා කළ භික්‍ෂාව නො ගනී, නිමන්ත්‍රණය නො ඉවසයි. හෙතෙම කළමුවින් නගා දුන් භික්‍ෂාව නො ගනී, සැළමුවින් නගා දෙන ලද්ද නො පිළිගනී, එළිපත අතර කොට දුන් භික්‍ෂාව නො ගනී, දඬු අතර කොට දුන් භික්‍ෂාව - මොහොල් අතර කොට දුන් භික්‍ෂාව නො පිළිගනී, වළඳන දෙදෙනකු ගෙන් එකකු නැගීසිට දුන් භික්‍ෂාව නො පිළිගනී, ගැබිනියක දුන් භික්‍ෂාව - කිරිපොවන තෙනැත්තියක දුන් භික්‍ෂාව - පුරුෂයන් අතරට ගිය තෙනැත්තිය දුන් භික්‍ෂාව - සංකීර්ර්‍තතනය කොට දුන් කල්හි නො ගනී. ශුනකයකු එළඹසිටි තැන භික්‍ෂාව - මැස්සන් මුළුමුළු වැ හුන් තැන දුන් භික්‍ෂාව නො පිළිගනී. මත්ස්‍යමාංස රහමෙර නො පිළිගනී, තුසදිය (- සෞවීරකරසය) පානය නො කෙරෙයි. හෙතෙම පිඬුසිඟන එක ගෙයක් ඇත්තේ හෝ එක ආලොපයකින් යැපෙන්නේ හෝ වෙයි, දෙ ගෙයක් ඇත්තේ හෝ දෙ ආලොපයකින් යැපෙන්නේ හෝ වෙයි … සප්තාගාරික හෝ සප්තාලොපික වූයේ වෙයි, එක් දත්තිය (කුඩා බත් තලිය) කින් ද යැපෙන්නේ වෙයි, බත්තලි දෙකකින් ද … බත්තලි සතකින් ද යැපෙන්නේ වෙයි; එකාභික (-එක දවසක් අතුරු කළ) ආහාරය ද වළඳයි, දෙ දවසක් අතුරු කළ ආහාරය ද වළඳයි … සප්තාහික ආහාරය ද වළඳයි. මෙසේ මෙබඳු අර්ධමාසික වූ ද වාරබත වැළඳීමෙහි යෙදී වෙසෙයි. මෙසේත් දෘෂ්ටිශල්‍යයෙන් අවතීර්‍ණ වූයේ විද්ධ වූයේ ස්පෘෂ්ට වූයේ පීඩිත වූයේ ප්‍රවිෂ්ට වූයේ සමන්‍වාගත වූයේ ධාවන - විධාවන - සන්‍ධාවන කෙරෙයි, සංසරණය කෙරේ.
නොහොත් දෘෂ්ටිශල්‍යයෙන් අවතීර්‍ණ වූයේ විදුනා - පහස්නා - මඩනා ලදුයේ පිවිසියේ සමන්‍විත වූයේ හෙතෙම අමුපලා කන්නේ හෝ වෙයි, බොඩහමුසහල් බුදින්නේ හෝ වෙයි, ස්වයංජාත වී (හූරුහැල්) බුදින්නේ හෝ වෙයි, සම්කැබැලි බුදින්නේ හෝ වෙයි, රුක්ලාටු බුදින්නේ හෝ වෙයි. කුඩු බුදින්නේ හෝ වෙයි, දමුබත් බුදින්නේ හෝ වෙයි, මුරුවට බුදින්නේ හෝ වෙයි, තල බුදින්නේ හෝ වෙයි, තණකොළ බුදින්නේ හෝ වෙයි, ගොම බුදින්නේ හෝ වෙයි, වනමුල්ඵල ආහාර කොට ඇත්තේ හෝ වැටුණු ගෙඩි බුදිනුයේ යැපෙයි. හේ සණවැහැරි ද දරයි, මිශ්‍රකවස්ත්‍ර ද දරයි, මළසිරුරින් බැහැර කළ වස්ත්‍ර ද දරයි, පාංශුකූල ද දරයි
රුක්සුඹුළු වස්ත්‍ර ද දරයි, අඳුන්මුවසමු දු දරයි, මැදින් පැළු අඳුන්මුවසමු දු දරයි, කුසවැහැරි දු දරයි, සුඹුලු වැහැරි දු දරයි, පුවරුවැහැරිදු දරයි, මිනිස් කෙයින් කළ කම්බිලි දු දරයි, අස්වලින් කළ කම්බිලි දරයි, බකමුහුණුපියාපතින් කළ වස්ත්‍ර දරයි. කෙස් රවුළු උදුරන්නේ ද වෙයි, කෙස් රවුළු ඉදිරීමෙහි යෙදී වාසය කෙරෙයි. ආසන ප්‍රතික්‍ෂේප කෙළේ උඩුකුරුව සිටිනේ ද වෙයි, උක්කුටික වීර්‍ය්‍යයෙහි යෙදුණේ උක්කුටික වූයේ ද වෙයි, කටුඇතිරියෙහි නියුක්ත වූයේ ද වෙයි, කටුඇතිරියෙහි ශයනය කෙරෙයි. පුවරුයෙහි ශයනය ද කෙරෙයි, උස්බිමැ ශයනය ද කෙරෙයි, රජස් දැලි දරනුයේ එක් ඇලයකින් හෝනේ වෙයි, අතුළ සේ හිඳිනා සුලු වූයේ අභ්‍යවකාශයෙහි යෙදුණේ වෙයි. විකෘත (ගූථ) භෝජනයෙහි යෙදුණේ විකෘතය බුදිනසුලු වූයේ ද වෙයි, දිය නුමුසු බත් බිදීමෙහි යෙදුණේ ප්‍රතික්‍ෂේප කළ සිහිල් දිය ඇත්තේ ද වෙයි. සවස තුන්වැනි කොට උදකාවරෝහණයෙහි යෙදුණේ වාසය කෙරෙයි. මෙසේ මෙබඳු අනේකප්‍රකාර වූ කය තවන හාත්පසින් තවන යෝගයෙහි යෙදුණේ වාසය කෙරෙයි. මෙසේත් දෘෂ්ටිශල්‍යයෙන් අවතීර්‍ණ වූයේ විදුනා ලදුයේ පහස්නා ලදුයේ මඩනා ලදුයේ ඇතුළත පිවිසියේ සමන්‍විත වූයේ ධාවනය විධාවනය සන්‍ධාවනය කෙරෙයි, සංසරණය කෙරේ.
ශෝකශල්‍යයෙන් අවතීර්‍ණ වූයේ විද්ධ - ස්පෘෂ්ට - පරෙත - සමවහිත - සමන්‍වාගත වූයේ ශෝක කෙරෙයි, වෙහෙසෙයි, විලාප කියයි, ළෙහි පැහැර හඬයි, සම්මෝහයට පැමිණේ. මේ වදාරණ ලද මැ ය, භාග්‍යවතුන් විසින්: “බමුණ, පෙර වූවක් කියමි: මේ සැවැත්නුවර මැ එක්තරා ගැහැනියකගේ මව මළා යැ. ඕ තොමෝ ඇගේ මරණයෙන් උමතු වූවා නට සිත් ඇත්තී වීදියෙන් වීදියට සන්‍ධියෙන් සන්‍ධියට පැමිණ මෙසේ කියයි: ‘මාගේ මව දුටුවහු ද? මාගේ මව දුටුවහු දැ’ යි. බමුණ, පෙර වූවක් කියමි: මේ සැවැතෙහි එක්තරා ගැහැනියකගේ පියා මළේ ය - බෑයා මළේ ය - බූන මළා යැ - පුත් මළේ ය - දුව මළා යැ - සැමියා මළේ ය. ඕ තොමෝ ඔහුගේ මරණයෙන් උමතු වූවා නට සිත් ඇත්තී වීදියෙන් වීදියට සන්‍ධියෙන් සන්‍ධියට පැමිණ මෙසේ කියයි: ‘මාගේ සැමියා දුටුවහු ද? මාගේ සැමියා දුටුවහු දැ’ යි. බමුණ, පෙර වූවක් කියමි: මේ සැවැතෙහි එක්තරා මිනිසකුගේ මව මළා ය. හෙතෙම ඇගේ මරණයෙන් උමතු වූයේ නට සිත් ඇත්තේ වීදියෙන් වීදියට සන්‍ධියෙන් සන්‍ධියට පැමිණ මෙසේ කියයි: ‘මාගේ මව දුටුවහු ද? මාගේ මව දුටුවහු දැ’ යි. බමුණ, පෙර වූවකි: මේ සැවැතෙහි මැ එක්තරා මිනිසකුගේ පියා මළේ ය - බෑයා මළේ ය - භගිනිය මළා යැ - පුතා මළේ ය - දුව මළා ය - භාර්‍ය්‍යාව මළා ය. හෙතෙම ඈගේ මරණයෙන් උමතු වූයේ නට සිත් ඇතියේ වීදියෙන් වීදියට සන්‍ධියෙන් සන්‍ධියට පැමිණ මෙසේ කියයි: ‘මාගේ භාර්‍ය්‍යාව දුටුවහු ද? මාගේ භාර්‍ය්‍යාව දුටුවහු දැ’ යි. බමුණ, පෙර වූවකි: මේ සැවැතෙහි මැ එක්තරා ගැහැනියක් ඥාතිකුලයට ගියා යැ. ඇගේ ඒ නෑයෝ සැමියාගෙන් අසිඳගෙන අන් මිනිසකුට දෙනු කැමැති වූහ. එහෙත් ඕ ඒ මිනිසා නො කැමැති වෙයි. ඉක්බිති ඕ ස්ත්‍රිය සැමියාට කිව: ‘සාමිදරුවාණෙනි, මේ නෑයෝ මා තොපගෙන් අසිඳගෙන අනෙකක් හට දෙනු කැමැත්තාහ. ඇපි දෙදෙන මැරෙම්හ’ යි. එකල ඒ මිනිසා ඒ ගැහැනිය දෙකඩ කොට සිඳ තමා නැසීය. “දෙදෙන පරලොව ගොස් එක්වම්හ” යි. මෙසේ ශෝකශල්‍යයෙන් අවතීර්‍ණ වූයේ විද්ධ - ස්පෘෂ්ට - පරෙත - සමවහිත සමන්‍වාගත වූයේ ධාවන - විධාවන - සන්‍ධාවන කෙරෙයි, සංසරණය කෙරේ.
කථඞ්කථාශල්‍යයෙන් අවතීර්‍ණ වූයේ විදුනා ලදුයේ පහස්නා ලදුයේ පීඩිත වූයේ පිවිසියේ සමන්‍විත වූයේ සැකයට පැමිණියේ වෙයි. විමතියට පැමිණියේ දෙසිත් වූයේ වෙයි: ‘මම් අතීතකාලයෙහි වූයෙම් දෝ හෝ අතීතයෙහි නො වූයෙම් දෝ හෝ (ජාත්‍යාදිය නිසා) අතීතයෙහි කුමක් වූයෙම් දෝ හෝ අතීතයෙහි කෙසේ වූයෙම් දෝ හෝ අතීතයෙහි (ජාත්‍යාදිය අතුරෙන්) කුමක් වැ කුමක් වූයෙම් දෝ හෝ, මම් අනාගතකාලයෙහි වන්නෙම් දෝ හෝ අනාගතයෙහි නො වන්නෙම් දෝ හෝ (ජාත්‍යාදිය නිසා) අනාගතයෙහි කුමක් වන්නෙම් දෝ හෝ අනාගතයෙහි කෙසේ වන්නෙමේ දෝ හෝ අනාගතයෙහි (ජාත්‍යාදිය අතුරෙන්) කුමක් වැ කුමක් වන්නෙම් දෝ හෝ, මේ වර්‍තමානකාලය අරබයා හෝ සැක ඇත්තේ වෙයි: මම් වෙම් දෝ හෝ නො වෙම් දෝ හෝ කුමක් වෙම් දෝ හෝ කෙසේ වෙම් දෝ හෝ මේ සත්ත්‍වයා කොයින් ආයේ දෝ හෝ කොහි යනසුලු වන්නේ දැ’ යි. මෙසේ කථඞ්කථාශල්‍යයෙන් අවතීර්‍ණ වූයේ විදුනා ලද්දේ පහස්නා ලද්දේ මැඩුණේ පිවිසියේ සමන්‍විත වූයේ ධාවන - විධාවන — සන්‍ධාවන කෙරෙයි, සංසරණය කෙරේ; ඒ රාගාදි ශල්‍යයන් උපදවයි. ඒ ශල්‍යයන් උපදවනුයේ ශල්‍යයන් ඉපදවීම් වශයෙන් පෙරදිගට දිවෙයි, පැළදෙසට දිවෙයි, උතුරු දෙසට දිවෙයි, දකුණු දෙසට දිවේ. ඒ රාගාදි ශල්‍යප්‍රයොගයෝ අප්‍රහීණ වූවාහු ය. ශල්‍යාභිසංස්කාරයන් අප්‍රහීණ වන බැවින් ගතියෙහි දිවෙයි, නිරයෙහි දිවෙයි, තිරිසන්යොන්හි දිවෙයි, ප්‍රේතවිෂයයෙහි දිවෙයි, මිනිස්ලොවැ දිවෙයි, දෙව්ලොවැ දිවෙයි, ගතියෙන් ගතියට උපතින් උපතට පිළිසඳින් පිළිසඳට භවයෙන් භවයට සසරින් සසරට වටින් වටට ධාවන - විධාවන - සන්‍ධාවනය කෙරෙයි. සංසරණය කෙරේ නුයි ‘යෙන සල්ලෙන ඔතිණ්ණො දිසා සබ්බා විධාවති’ යනු වේ.
තමෙව සල්ලමබ්බුයහ න ධාවති න සීදති - එ මැ රාගශල්‍යය ද්වෙෂශල්‍යය මෝහශල්‍යය මානශල්‍යය දෘෂ්ටිශල්‍යය ශෝකශල්‍යය කථඞ්කථාශල්‍යය බැහැර කොට බැහැර පියා උදුරා මොනොවට උදුරා උපුටා මොනොවට උපුටා හැර දුරු කොට විගතාන්ත කොට අනුඅභාවයට පමුණුවා පෙරදිගට නො මැ දිවෙයි, පැළදෙසට නො දිවෙයි, උතුරුදෙසට නො දිවෙයි, දකුණුදෙසට නො දිවෙයි. ඒ රාගාදිශල්‍යප්‍රයොගයෝ ප්‍රහීණ වූවාහු ය. ශල්‍යාභිසංස්කාරයන් ප්‍රහීණවන බැවින් ගතියෙහි නො දිවෙයි, නිරයෙහි නො දිවෙයි, තිරිසන්යොන්හි නො දිවෙයි, ප්‍රේතවිෂයෙහි නො දිවෙයි, මිනිස්ලොවැ නො දිවෙයි, දෙව්ලොවැ නො දිවෙයි, ගතියෙන් ගතියට - උපතින් උපතට - පිළිසඳින් පිළිසඳට - භවයෙන් භවයට - සසරින් සසරට - වටින් වටට නො දිවෙයි, වෙසෙසින් නො දිවෙයි, වේගයෙන් නො දිවෙයි, ඔබිනොබැ නො හැසිරේ නුයි ‘තමෙව සල්ලමබ්බුයහ’ යනු වේ. න ධාවති න සීදති - කාමොඝයෙහි නො ගැලෙයි, භවොඝයෙහි නො ගැලෙයි, දෘෂ්ට්‍යොඝයෙහි නො ගැලෙයි, අවිද්‍යොඝයෙහි නො ගැලෙයි, හාත්පසින් නො ගැලෙයි, ඇතුළත නො ගැලෙයි, නො පිවිසෙයි, නො යෙයි, නො බැසගනී නුයි ‘තමෙව සල්ලමබ්බුයහ න ධාවති න සීදති’ යනු වේ.
එයින් වදාළහ බුදුහු:
“යෙන සල්ලෙන ඔතිණ්ණො -පෙ- න ධාවති න සීදති” යී.
15. 6.
සත්ත්‍වලෝකයෙහි යම් පස්කම්ගුණ කෙනෙක් වෙත් නම්, ඒ නිමිති කොට (හස්තිශික්‍ෂාදි) අනෙක ශික්‍ෂා උගන්නා ලැබෙත්. (නුවණැති කුලපුත්‍ර තෙමේ) ඒ පස්කම්ගුණයන්හි හෝ හස්තිශික්‍ෂාදියෙහි ප්‍රයුක්ත වූයේ නො වන්නේ ය. (එහෙයින්) වස්තුකාමක්ලෙශකාමයන් සර්‍වාකාරයෙන් (අනිත්‍යාදි දර්‍ශනයෙන්) ප්‍රතිවේධ කොට තමාගේ (රාගාදිය) නිවීමට හික්මෙන්නේ යි.
තත්‍ථ සික්ඛානුගීයන්ති යානි ලෝකේ ගථිතානි - ‘සික්ඛා’ යනු: හස්තිශික්‍ෂා යැ අශ්වශික්‍ෂා යැ රථශික්‍ෂා යැ ධනුශ්ශික්‍ෂා යැ ශාලාක්‍යතන්ත්‍ර යැ ශල්‍යකර්‍ම යැ කායචිකිත්සා යැ භෞතිකවිද්‍යා යැ කෞමාරභෘත්‍ය යි. ගීයන්ති යනු: ගයනු ලැබෙති, කියනු ලැබෙති, බණනු ලැබෙති, දක්වනු ලැබෙති, ව්‍යවහාර කරනු ලැබෙත්. නොහොත් ගීයන්ති - පස්කම්ගුණ ප්‍රතිලාභය සඳහා ගන්නා ලැබෙති, උගන්නා ලැබෙති, දරනු ලැබෙති, විමසනු ලැබෙති, සලකනු ලැබෙත්. ‘ගථිත’ යී පස්කම්ගුණයෝ කියනු ලැබෙත්: ඉෂ්ට වූ කාන්ත වූ මනාප වූ ප්‍රියස්වභාව වූ කාමාස්වාදයෙන් යුත් ඇලුම් කටයුතු වූ චක්‍ෂුර්විඥානයෙන් දැක්කයුතු රූපයෝ යි. කවර කරුණෙකින් පස්කම්ගුණයෝ ‘ගථිත’ යි කියනු ලැබෙති යත්: බොහෝසෙයින් දිව්‍යමනුෂ්‍යයෝ පස්කම්ගුණයන් කැමැති වෙති, ඉවසති, පතති, රුචි කෙරෙති, අභිජල්පනය කෙරෙත්; එකරුණෙන් පස්කම්ගුණයෝ ‘ගථිත’ යි කියනු ලැබෙත්. ලෝකේ යනු: මිනිස්ලොවැ … ආයතනලෝකයෙහි නුයි ‘තත්‍ථ සික්ඛානුගීයන්ති යානි ලෝකේ ගථිතානි’ යනු වේ.
න තෙසු පසුතො සියා - ඒ ශික්‍ෂාවන්හි හෝ ඒ පස්කම්ගුණයන්හි හෝ නො ඇලුණේ වන්නේ යැ, ඊට නැමුණේ නො වන්නේ යැ, ඊට නැබුරු වූයේ නො වන්නේ යැ, ඊට බර වූයේ නො වන්නේ යැ, එහි මුසපත් වූයේ නො වන්නේ යැ, එය අධිපති කොට ඇත්තේ නො වන්නේ නුයි ‘න තෙසු පසුතො සියා’ යනු වේ.
නිබ්බිජ්ඣ සබ්බසො කාමෙ - ‘නිබ්බිජ්ඣ’ යනු: ප්‍රතිවේධ කොට ’සියලු සංස්කාරයෝ අනිත්‍යයහ’ යි ප්‍රතිවේධ කොට ‘සියලු සංස්කාරයෝ දුක්හ’ යි ප්‍රතිවේධ කොට … ‘යම් කිසිවක් සමුදයධර්‍ම නම්, ඒ සියල්ල නිරුද්ධ වන ස්වභාව ඇතැ’ යි ප්‍රතිවේධ කොට; සබ්බසො යනු: සියල්ලෙන් සියල්ල සියලු ලෙසින් සියල්ල අශේෂ කොට නිශෙශෂ කොට හාත්පසින් ගන්නා වචනයෙකි මේ ‘සබ්බසො’ යනු. කාමා යනු: විස්තර හෙයින් කාමයෝ දෙදෙනෙකි: වස්තුකාමයෝ ද ක්ලේශකාමයෝ දැ’ යි … මොහු ක්ලේශකාමයෝ යි කියනු ලැබෙත් නුයි ‘නිබ්බිජ්ඣ සබ්බසො කාමෙ’ යනු වේ.
සික්ඛෙ නිබ්බානමත්තනො - ‘සික්ඛා’ නම්: ශික්‍ෂා තුනෙකි: අධිශීලශික්‍ෂා යැ අධිචිත්තශික්‍ෂා යැ අධිප්‍රඥාශික්‍ෂා යැයි … මෝ අධිප්‍රඥාශික්‍ෂා යි. නිබ්බානමත්තනො යනු තමාගේ රාගය නිවීමට ද්වේෂය නිවීමට මෝහය නිවීමට … සියලු අකුශලාභිසංස්කාරයන් ශමනයට මතු මත්තෙහි ශමනයට සන්හිඳුවීමට නිර්‍වාපණයට (මාර්‍ගයෙන්) දුරලීමට (ඵලයෙන්) අපුනරුත්පත්තියට අධිශීලයෙහි ද හික්මෙන්නේ යැ, අධිචිත්තයෙහි ද හික්මෙන්නේ යැ අධිප්‍රඥාවෙහි ද හික්මෙන්නේ ය.
මේ ත්‍රිවිධ ශික්‍ෂාවන් ආවර්‍ජන කෙරෙමින් හික්මෙන්නේ යැ, දැනගනිමින් හික්මෙන්නේ යැ … ප්‍රත්‍යක්‍ෂ කටයුතු නිවන ප්‍රත්‍යක්‍ෂ කෙරෙමින් හික්මෙන්නේ යැ, හැසිරෙන්නේ යැ, මොනොවට හැසිරෙන්නේ යැ, සමාදන් වැ පවත්නේ නුයි ‘සික්ඛෙ නිබ්බානමත්තනො’ යනු වේ.
එයින් වදාළහ බුදුහු:
“තත්‍ථ සික්ඛානුගීයන්ති -පෙ- සික්ඛෙ නිබ්බානමත්තනො” යී.
15. 7.
(නිවනට හික්මෙන) මුනි තෙම සත්‍යයෙන් යුක්ත වූයේ වන්නේ යැ ප්‍රාගල්භ්‍ය රහිත වන්නේ ය, මායාවෙන් වෙන් වූයේ වන්නේ යැ, ප්‍රහීණ කළ පෛශුන්‍ය ඇත්තේ වන්නේ යැ, ක්‍රෝධ නො කරනුයේ ලොභපාපය ද මාත්සර්‍ය්‍යය ද ඉක්මවන්නේ යි.
සච්චො සියා අප්පගබ්භො - ‘සච්චො සියා’ යනු: සත්‍යවචනයෙන් සමන්‍විත වූයේ වන්නේ යැ, සම්‍යග්දෘෂ්ටියෙන් සමන්‍විත වූයේ වන්නේ යැ, ආර්‍ය්‍යඅෂ්ටාඞ්ගිකමාර්‍ගයෙන් සමන්‍විත වූයේ වන්නේ නුයි, ‘සච්චො සියා’ යනු වේ. අප්පගබ්භො යනු: ප්‍රාගල්භ්‍ය තුනෙකි: කායිකප්‍රාගල්භ්‍ය යැ වාචසිකප්‍රාගල්භ්‍ය යැ චෛතසිකප්‍රාගල්භ්‍ය යැයි … මේ චෛතසිකප්‍රාගල්භ්‍ය යයි. යමක්හු විසින් මේ තුන් ප්‍රාගල්භ්‍යයෝ ප්‍රහීණ කරන ලද්දාහු මුලසුන් කරන ලද්දාහු සන්හිඳුවන ලද්දාහු දුරලන ලද්දාහු අභව්‍යොත්පත්තික වූවාහු නුවණගින්නෙන් දවන ලද්දාහු ද, හේ ‘අප්පගබ්භ’ යී කියනු ලැබේ නුයි ‘සච්චො සියා අප්පගබ්භො’ යනු වේ.
අමායො රිත්තපෙසුනො - ‘මායා’ යී වාඤ්චනික හැසිරීම කියනු ලැබෙයි. මෙහි කිසිවෙක් කයින් දුසිරිතෙහි හැසිර, බසින් දුසිරිතෙහි හැසිර, සිතින් දුසිරිතෙහි හැසිර, එය වසනු නිසා ලාමක ආශාව පිහිටුවයි; ‘නහමක් මා දනීව’ යි කැමැති වෙයි; ‘නහමක් මා දනීව’ යි සලකයි; ‘නහමක් මා දනීව’ යි වචන කියයි; ‘නහමක් මා දනීව’ යි කයින් වෑයම් කෙරෙයි; මෙබඳු වූ යම් මායාවක් මායා ඇතිබවක් ඉක්මැයෑමක් වඤ්චාවක් (ප්‍රතිරූපයෙන් රවටන) නිකෘතියක් (පාපය) යටපත් කිරීමක් බැහැර කිරීමක් සැඟවීමක් හාත්පසින් සැඟවීමක් වැසීමක් හාත්පසින් වැසීමක් ප්‍රකාශ නො කිරීමක් ප්‍රකට නො කිරීමක් මොනොවට වැසීමක් පාපක්‍රියාවක් වේ ද, මෝ මායා යී කියනු ලබයි. යමක්හු විසින් තෙල මායාව ප්‍රහීණ කරන ලද්දී මුලුසුන් කරන ලද්දී සන්හිඳුවන ලද්දී දුරලන ලද්දී අභව්‍යොත්පත්තිකක වූවා නුවණගින්නෙන් දවන ලද්දී ද, හෙතෙම ‘අමාය’ යී කියනු ලැබෙයි. රිත්තපෙසුනො ‘පෙසුඤ්ඤ’ නම්: මෙහි කිසිවෙක් පිසුනුබස් කියන්නේ වෙයි … මෙසේ බිඳුවන අදහස් ඇතියේ පිසුනුබස් එළවා කියයි. යමකු විසින් තෙල පෛශුන්‍යය ප්‍රහීණ කරන ලද ද මුල් සිඳින ලද ද සන්හිඳුවන ලද ද දුරලන ලද ද උපතට නුසුදුසු කරන ලද ද නුවණගින්නෙන් දවන ලද ද, හෙතෙම ‘රිත්තපෙසුන’ යැ විවිත්තපෙසුන යැ පවිවිත්තපෙසුන යැයි කියනු ලැබේනුයි - ‘අමායො රිත්තපෙසුනො’ යනු වේ.
අක්කොධනො ලොභපාපං වෙවිච්ඡං විතරෙ මුනී - ‘අක්කොධනො’ යී මැ වදාරන ලද. තවද ක්‍රෝධය පළමු කොට කියයුත්තේ යැ; දස අයුරකින් ක්‍රෝධය උපදී: ‘මඩ අවැඩ කළැ’ යි ක්‍රෝධය උපදී … යමක් විසින් තෙල ක්‍රෝධය ප්‍රහීණ කරන ලද ද මුල් සිඳින ලද ද සන්හිඳුවන ලද ද දුරලන ලද ද උපතට නුසුදුසු කරන ලද ද නුවණගින්නෙන් දවන ලද ද, හෙතෙම ‘අක්කෝධන’ යී කියනු ලැබේ. ක්‍රොධවස්තුව පරිඥානය කළ බැවින් ‘අක්කෝධන’ යැ. ක්‍රොධහෙතුව සිඳින ලද බැවින් ‘අක්කෝධන’ යී. ලෝභ නම්: යම් ලොභයෙක් ලෝභාකාරයෙක් ලෝභ කළ බවක් … දැඩි ලොභයෙක් ලෝභ සඞ්ඛ්‍යාත අකුශලමූලයෙක් වේ ද එයයි: වෙවිච්ඡ යී පඤ්ච මාත්සර්‍ය්‍යයෝ කියනු ලැබෙත්. ආවාසමාත්සර්‍ය්‍යයැ … ග්‍රාහනය ( - දැඩිව ගැනීම) ‘මාත්සර්‍ය්‍ය’ යයි කියනු ලැබේ. මුනි යනු: ’මොන’ යී ඥානය කියනු ලැබෙයි … ‘සඞ්ගජාලමතිච්ච සො මුනි’. අක්කොධනො ලොභපාපං වෙවිච්ඡං විතරෙ මුනි - මුනි තෙම ලෝභ සඞ්ඛ්‍යාත පාපය ද මාත්සර්‍ය්‍යය ද තරණය කෙළේ ය, උත්තරණය කෙළේ ය, ප්‍රතරණය කෙළේ ය, ඉක්ම වූයේ ය, වෙසෙසින් ඉක්මවූයේ ය, ව්‍යතික්‍රමණය කෙළේ නුයි ‘අක්කොධනො ලොභපාපං වෙවිච්ඡං විතරෙ මුනි’ යනු වේ.
එයින් වදාළහ බුදුහු:
“සච්චො සියා අප්පගබ්භො -පෙ- වෙවිච්ඡං විතරෙ මුනි” යී.
15. 8.
නිවනෙහි නැමුණු සිත් ඇති සත්ත්‍ව තෙමේ (වේදනාදි ස්කන්‍ධත්‍රය සඞ්ඛ්‍යාත) නාමකායයාගේ අකර්‍මණ්‍ය බව (- මිද්ධය) ද කායාලස්‍යය ද චිත්තයාගේ අකර්‍මණ්‍ය බව ද මැඩපවත්වන්නේ යැ, ස්මෘතිවිප්‍රවාසය (සඞ්ඛ්‍යාත) ප්‍රමාදයෙන් නො වසන්නේ යැ, අතිමානයෙහි නො පවත්නේ යි.
නිද්දං තන්දිං සහෙ ථීනං - ‘නිද්දා’ නම්: ස්කන්‍ධත්‍රය සඞ්ඛ්‍යාත නාමකායයා ගේ අකල්‍ය (-ගිලන්) බවෙක් අකර්‍මණ්‍ය බවෙක් (මේඝය අහස මෙන්) කය පහත් කොට බැඳීමෙක් හාත්පසින් බැඳීමෙක් ඇතුළත ඇවිරීමෙක් (අකර්‍මණ්‍යභාවයෙන්) පෙළීමෙක් නිදීමෙක් කපිනිද්‍රාවක් නිදීමෙක් නිදන අයුරෙක් නිදිගත් බවෙක් වේ ද එයයි. තන්දිං යනු: තන්ද්‍රාවක් තන්ද්‍රාකාරයෙක් තන්ද්‍රාවෙන් මඩනා ලද සිත් ඇති බවෙක් ආලස්‍යයක් අලසබවක් ආලස්‍යාකාරයක් ආලස්‍යයෙන් මඩනා ලද සිත් ඇති බවක් වේ ද එය යි. ථීනං යනු: චිත්තයාගේ යම් ගිලන්බවෙක් අකර්‍මණ්‍ය බවෙක් එලෙන අයුරෙක් මැනවින් එලෙන අයුරෙක් හැකිළීමෙක් හැකිළෙන අයුරෙක් හැකුළුණු බවක් චිත්තයාගේ නො පැතිරීමෙක් නො පැතිරෙන අයුරෙක් නො පැතුරුණු බවෙක් වේ ද එයයි. නිද්දං තන්දිං සහෙ ථීනං - ගිලන් බව ද ආලසය්‍ය ද තදබව ද; සහෙ - සහනය කරන්නේ යැ, හාත්පසින් සහනය කරන්නේ යැ, මඩනේ යැ, යටපත් කරන්නේ යැ, අල්වාගන්නේ යැ, හාත්පසින් ගන්නේ යැ, මර්දනය කරන්නේ නුයි ‘නිද්දං තන්දිං සහෙ ථීනං’ යනු වේ.
පමාදෙන න සංවසෙ - ප්‍රමාදය කියැයුත්තේ යැ: කායදුශ්චරිතයෙහි හෝ වාග්දුශ්චරිතයෙහි හෝ මනෝදුශ්චරිතයෙහි හෝ පඤ්චකාමගුණයන්හි හෝ චිත්තයාගේ දුරැලීම (-ස්මෘති විරහය) නැවත නැවත දුරැලීම හෝ, කුශලධර්‍මයන්ගේ හෝ වැඩීමෙහි නො සකස් ව කරන බව සතතභාවයෙන් නො කරන බව නිරතුරු නො කරන බව හැකුළුණු පැවතුම් ඇති බව වීර්‍ය්‍යච්ඡන්‍දය හළ බව වීර්‍ය්‍යධුරය බහාතැබූ බව නො සෙවුණා බව නො වැඩීම බහුල නො කිරීම නො පිහිටීම නො යෙදීම ප්‍රමාද වීම, (යන) මෙබඳු වූ යම් ප්‍රමාදයෙක් ප්‍රමාදවන අයුරක් ප්‍රමාදවන බවක් වේ ද, මේ ‘ප්‍රමාද’ යයි කියනු ලැබේ. පමාදෙන න සංවසෙ ප්‍රමාදයෙන් නො වසන්නේ යැ, නො වෙසෙසින් වසන්නේ යැ, නො පැමිණ වසන්නේ යැ, හාත්පසින් නො වසන්නේ යැ; ප්‍රමාදය දුරුකරන්නේ යැ බැහැර කරන්නේ යැ, විගතාන්ත කරන්නේ යැ, අනුඅභාවයට පමුණුවන්නේ යැ; ප්‍රමාදයෙන් දුරු වූයේ වෙන් වූයේ වෙසෙසින් වෙන් වූයේ නික්මුණේ නික්මැගියේ වෙසෙසින් මිදුණේ නො යෙදුණේ විමර්‍ය්‍යාදීකෘත සිතින් යුක්ත ව වාසය කරන්නේ නුයි ‘පමාදෙන න සංවසෙ’ යනු වේ.
අතිමානෙ න තිට්ඨෙය්‍ය - ‘අතිමාන’ නම්: මෙහි කිසිවෙක් ජාතියෙන් හෝ ගෝත්‍රයෙන් හෝ … යම් කිසි වස්තුවකින් හෝ මෙරමා පහත් කොට සිතයි. මෙබඳු වූ යම් මානයෙක් මානාකාරයෙක් මාන කරන බවක් උන්නතියක් උඩඟුබවක් මානධ්වජයක් සිත දැඩි කොට ගැනීමක් චිත්තයා ගේ කෙතුකම්‍යතාවක් වේ ද, මෙ ‘අතිමානය’ යයි කියනු ලැබේ. අතිමානෙ න තිට්ඨෙය්‍ය අතිමානයෙහි නො සිටිනේ යැ, වෙසෙසින් නො සිටිනේ යැ, අතිමානය දුරු කරන්නේ යැ, බැහැර කරන්නේ යැ, විගතාන්ත කරන්නේ යැ, අනභාවයට පමුණුවන්නේ යැ: අතිමානයෙන් දුරු වූයේ වෙන් වූයේ වෙසෙසින් වෙන් වූයේ නික්මුණේ නික්මැගියේ විප්‍රමුක්ත විසංයුක්ත වූයේ විමර්‍ය්‍යාදීකෘත සිතින් යුක්ත ව වාසය කරන්නේ නුයි ‘අතිමානෙ න තිට්ඨෙය්‍ය’ යනු වේ.
නිබ්බානමානසො නරෝ - මෙහි කිසිවෙක් දන් දෙනුයේ සිල් සමාදන් වනුයේ පෙහෙවස්කම් කරනුයේ පියයුතු පරිභෝග කළයුතු පැන් එළවා තබනුයේ පිරිවෙන හමදිනුයේ සෑය වඳිනුයේ සෑයෙහි සුවඳමල්දම් නඟනුයේ සෑය පැදකුණු කරනුයේ තුන්බිමට අයත් යම් කිසි කුශලාභිසංස්කාරයක් රැස් කරනුයේ (දිව්‍යාදි) ගතිහෙතුයෙන් නො කෙරෙයි. උත්පත්තිය හේතුකොට - ප්‍රතිසන්‍ධිය හේතුකොට - භවය හේතු කොට - සංසාරය හේතු කොට - වෘත්තය හේතු කොට නො කෙරෙයි. ඒ සියල්ල විසංයොගයෙහි ප්‍රාර්‍ත්‍ථනා ඇතියේ නිවනට නැමුණේ නිවනට නැබුරු වූයේ නිවනට අභිමුඛව නැමුණේ රැස් කෙරේ නුයි - මෙසේත් ‘නිබ්බානමානසො නරෝ’ යනු වේ. නොහොත් සියලු ත්‍රෛභූමක සංස්කාරධාතුයෙන් සිත නවත්වා, නිර්‍වාණධාතුවට සිත එළවයි: යම් මේ සියලු සංස්කාරයන්ගේ සන්සිඳීමෙක් සියලු උපධීන්ගේ දුරලීමෙක් තෘෂ්ණාවගේ ක්‍ෂය වීමෙක් කෙලෙස්රජසුන්ගේ නො ඇලීමෙක් දුක්ඛනිරොධයෙක් නිර්‍වාණයෙක් වේ ද, තෙල ශාන්ත යැ තෙල ප්‍රණීත යැයි මෙසේත් ‘නිබ්බානමානසො නරෝ’ යනු වේ.
1. පණ්ඩිත වූ මනුෂ්‍යයෝ කාමසුඛයට හේතු වූ පුනර්‍භවය සඳහා දන් නො දෙති. වැලි ඔහු ඒකාන්තයෙන් (කාමාදි) උපධි ක්‍ෂය වීම පිණිස (අපුනර්භව සඞ්ඛ්‍යාත) නිර්‍වාණය සඳහා දන් දෙත්.
2. පණ්ඩිතයෝ උපධිසුඛය හේතු කොට පුනර්‍භවය සඳහා ධ්‍යානයන් නො වඩති. වැලි ඔහු උපධීන්ගේ ක්‍ෂය වීම පිණිස නිර්‍වාණය සඳහා ධ්‍යාන වඩත්.
3. ඔහු නිවන පතමින් ඊට නැමුණු සිත් ඇත්තාහු එහි ඇලුණාහු දන් දෙති. සයුර කරා පැමිණි ගඞ්ගාවන් මෙන් ඔහු නිවන පිහිට කොට ඇත්තාහු වෙත් නුයි -
‘නිබ්බානමානසො නරෝ’ යනු වේ.
එයින් වදාළහ බුදුහු:
“නිද්දං තන්දිං සහෙ ථීනං -පෙ- නිබ්බානමානසො නරෝ” යී.
15. 9.
මුසවායෙහි නො යෙදෙන්නේ යැ. (භූතොපාදායභෙද වූ) රූපයෙහි ස්නේහය නො කරන්නේ යැ. මානය ද (ත්‍රිවිධපරිඥායෙන්) පිරිසිඳ දැනගන්නේ යැ. සාහසචර්‍ය්‍යාවෙන් වෙන් ව හැසිරෙන්නේ යි.
මොසවජ්ජෙ න නිය්‍යෙථ - ‘මොසවජ්ජ’ යී මෘෂාවාදය කියනු ලැබෙයි. මෙහි කිසිවෙක් සභාවට ගියේ හෝ පිරිස්මැදට ගියේ හෝ නෑයන් මැදට ගියේ හෝ සෙනාමැදට ගියේ හෝ රාජකුලයා මැද මහාවිනිශ්චයෙහි සිටියේ හෝ ‘එව එම්බා පුරුෂය, යමක් දන්නෙහි නම් එය කියව’ යි අභිමුඛයට පමුණුවන ලද්දේ ශාක්‍ෂි කොට විචාරන ලද්දේ හෙතෙම නො දන්නේ හෝ ‘දනිමි’ කියයි. දන්නේ හෝ ‘නො දනිමි’ කියයි. නො දක්නේ හෝ ‘දක්මී’ කියයි. දක්නේ හෝ ‘නො දක්මී’ කියයි. මෙසේත් තමා හේතු කොට හෝ මෙරමා හේතු කොට හෝ අල්පමාත්‍ර ආමිෂයක් හේතු කොට හෝ දැන දැන මුසවා බෙණෙයි. මේ ‘මොසවජ්ජ’ යී කියනු ලැබෙයි. තවද තුන් අයුරකින් - සතර - පස් - ස - සත් - අට අයුරකින් … මේ අට අයුරින් මෘෂාවාදය වේ. මොසවජ්ජෙ න නිය්‍යෙථ මෘෂාවාදයෙහි නො යවනු ලබන්නේ යැ, නො කියනු ලබන්නේ යැ, නො වහනු ලබන්නේ යැ, නො හරිනු ලබන්නේ යැ, මෘෂාවාදය හරනේ යැ, දුරු කරන්නේ යැ, විගතාන්ත කරන්නේ යැ, අනුඅභාවයට පමුණුවන්නේ යැ. මෘෂාවාදයෙන් දුරු වූයේ වෙන් වූයේ වෙසෙසින් වෙන් වූයේ වන්නේ යැ; නික්මුණේ බැහැර වූයේ විප්‍රමුක්ත - විසංයුක්ත වූයේ විමර්‍ය්‍යාදීකෘත සිතින් යුක්ත වැ වාසය කරන්නේ නුයි ‘මොසවජ්ජෙ න නිය්‍යෙථ’ යනු වේ.
රූපෙ සෙනහං න කුබ්බයෙ - ‘රූප’ නම්: සතර මහාභූතයන් හා සතර මහාභූතයන් නිසා පවත්නා රූපයෝ යි. රූපෙ සෙනහං න කුබ්බයෙ රූපයෙහි ස්නේහය නො කරන්නේ යැ, ඡන්‍දය නො කරන්නේ යැ, ප්‍රේමය නො කරන්නේ යැ, රාගය නො කරන්නේ යැ, නො දනවන්නේ යැ, නූපදවන්නේ යැ, නො නිපදවන්නේ යැ, වෙසෙසින් නූපදවන්නේ නුයි ‘රූපෙ සෙනහං න කුබ්බයෙ’ යනු වේ.
මානඤ්ච පරිජානෙය්‍ය - ‘මාන’ නම්: එක් පරිද්දෙකින් මානය වෙයි: චිත්තයාගේ යම් උන්නතියක් වේ ද එයයි. දෙ පරිද්දෙකින් මානය වෙයි: ආත්මොත්කර්‍ෂණමානයැ, පරවම්භනමාන යැයි. තුන් පරිද්දෙකින් මානය වෙයි: ‘මම් ශ්‍රේෂ්ඨ වෙමී’ මානය වෙයි, ‘මම් සදෘශයෙමී’ මානය වෙයි, ‘මම් හීනයෙමී’ මානය වේ. සතර පරිද්දෙකින් මානය වෙයි: ලාභයෙන් මානය උපදවයි, යශසින් මානය උපදවයි, ප්‍රශංසායෙන් මානය උපදවයි, සුවයෙන් මානය උපදවයි. පස්පරිද්දෙමින් මානය වෙයි: ‘මනවඩන රූපයන් ලබන සුල්ලෙමී’ මානය උපදවයි, ‘මනවඩන ශබ්දයන් ලබනසුල්ලෙමී’ - ගන්‍ධයන් - රසයන් - ස්ප්‍රෂ්ටව්‍යයන් ලබනසුල්ලෙමී’ මානය උපදවයි. ස පරිද්දෙකින් මානය වෙයි: චක්‍ෂුඃසම්පත්තියෙන් මානය උපදවයි, ශ්‍රොත්‍රසම්පත්තියෙන් -ඝ්‍රාණසම්පත්තියෙන් - ජිව්හාසම්පත්තියෙන් - කායසම්පත්තියෙන් - මනස්සම්පත්තියෙන් මානය උපදවයි. සත් පරිද්දෙකින් මානය වෙයි: අතිමාන යැ මානාතිමාන යැ අවමාන යැ සදෘශමාන යැ අධිමාන යැ අස්මිමාන යැ, මිථ්‍යාමාන යැයි. අට පරිද්දෙකින් මානය වෙයි: ලාභයෙන් මානය උපදවයි, අලාභයෙන් අවමානය උපදවයි, යශසින් මානය උපදවයි, අයශසින් අවමානය උපදවයි, ප්‍රශංසායෙන් මානය උපදවයි, නින්දාවෙන් අවමානය උපදවයි, සුවයෙන් මානය උපදවයි, දුකින් අවමානය උපදවයි. නව පරිද්දෙකින් මානය වෙයි: ‘ශ්‍රෙෂ්ඨයාට ශ්‍රේෂ්ඨ වෙමී’ මානය වෙයි, ‘ශ්‍රෙෂ්ඨයාට සදෘශ වෙමී’ මානය වෙයි, ‘ශ්‍රෙෂ්ඨයාට හීන වෙමී’ මානය වෙයි, ‘සදෘශයාට ශ්‍රේෂ්ඨ වෙමී’ මානය වෙයි, ‘සදෘශයාට සදෘශ වෙමී’ මානය වෙයි, ‘සදෘශයාට හීන වෙමී’ මානය වෙයි, ‘හීනයාට ශ්‍රේෂ්ඨ වෙමී’ මානය වෙයි, ‘හීනයාට සදෘශ වෙමී’ මානය වෙයි, ‘හීනයාට හීන වෙමී’ මානය වේ. දස පරිද්දෙකින් මානය වෙයි: මෙහි කිසිවෙක් ජාතියෙන් හෝ ගෝත්‍රයෙන් හෝ * … අන්‍යතරාන්‍යතර වස්තුවකින් හෝ මානය උපදවයි. මෙබඳු වූ යම් මානයෙක් මානය කරන අයුරෙක් මානය කරන බවෙක් උන්නතියක් නඟා තැබීමෙක් මාන නමැති ධ්වජයෙක් සිත දැඩි කොට ගැනීමෙක් චිත්තයාගේ කෙතුකම්‍යතාවක් වේ ද, මේ මාන යයි කියනු ලැබේ.
මානඤ්ච පරිජානෙය්‍ය - මානය ඤාතපරිඤ්ඤා තීරණපරිඤ්ඤා පහානපරිඤ්ඤා යන ත්‍රිවිධ පරිඥාවෙන් පිරිසිඳ දැනගන්නේ යැ.
ඤාතපරිඤ්ඤා කවර යත්: මානය ඥාතපරිඥායෙන් දැනගනී: චිත්තයාගේ යම් උන්නතියක් වී නම්, මේ එක් පරිද්දෙකින් මාන යැ. ආත්මොත්කර්‍ෂණමාන යැ පරවම්භනමාන යැ යන මේ දෙ පරිද්දෙකින් මාන යැ, … මේ දස පරිද්දෙකින් මාන යැ මෙහි කිසිවෙක් ජාතියෙන් හෝ ගෝත්‍රයෙන් හෝ … අන්‍යතරාන්‍යතර වස්තුවෙකින් හෝ මානය උපදවා යයි දැනගනී, බලයි. මෝ තොමෝ ‘ඤාතපරිඤ්ඤා’ යැ.
තීරණපරිඤ්ඤා කවර යත්: තෙල මානය ප්‍රකට කොට අනිත්‍ය හෙයින් තීරණය කෙරෙයි, දුඃඛ හෙයින් … අනිශ්ශරණ හෙයින් තීරණය කෙරෙයි. මෝ තොමෝ ‘තීරණපරිඤ්ඤා’ යැ.
පහානපරිඤ්ඤා කවර යත්: මෙසේ තීරණය කොට මානය දුරු කෙරෙයි, බැහැර කෙරෙයි, විගතාන්ත කෙරෙයි, අනුඅභාවයට පමුණුවයි. මෝ තොමෝ ‘පහානපරිඤ්ඤා’ යි. මානං ච පරිජානෙය්‍ය යනු: මානය මේ ත්‍රිවිධපරිඥායෙන් පිරිසිඳ දැනගන්නේ නුයි ‘මානඤ්ච පරිජානෙය්‍ය’ යනු වේ.
සාහසා විරතො චරෙ - සාහසචර්‍ය්‍යාව කවර යත්: රාගයෙන් රත් වූවහුගේ රාගචර්‍ය්‍යාව සැහැසි කරුණෙකි, ද්වේෂයෙන් ද්විෂ්ට වූවහුගේ ද්වෙෂචර්‍ය්‍යාව සැහැසි කරුණෙකි, මෝහයෙන් මූඪ වූවහුගේ මොහචර්‍ය්‍යාව සැහැසි කරුණෙකි, මානයෙන් විනිබද්ධයාගේ මානචර්‍ය්‍යාව සැහැසි කරුණෙකි, දෘෂ්ටියෙන් පරාමෘෂ්ට වූවහුගේ දෘෂ්ටිචර්‍ය්‍යාව සැහැසි කරුණෙකි, විසුරුණු සිතැත්තහුගේ ඖද්ධත්‍යචර්‍ය්‍යාව සැහැසි කරුණෙකි, විසුරුණු සිතැත්තහුගේ ඖද්ධත්‍යචර්‍ය්‍යාව සැහැසි කරුණෙකි, නිෂ්ඨාවට නො ගියහුගේ විචිකිත්සාචර්‍ය්‍යාව සැහැසි කරුණෙකි. අනුශයයෙන් තද වූවහුගේ අනුශයචර්‍ය්‍යාව සැහැසි කරුණෙකි. සාහසා විරතො චරෙ - සැහැසි කරුණෙන් ( -හැසිරීමෙන්) දුරු වූයේ වෙන් වූයේ වෙසෙසින් වෙන් වූයේ වන්නේ යැ, නික්මුණේ බැහැර වූයේ වෙසෙසින් මිදුණේ විසංයුක්ත වූයේ විගතර්‍ම්‍යාදා කළ සිතින් යුක්ත ව වාසය කරන්නේ යැ, හැසිරෙන්නේ යැ, වෙසෙසින් හැසිරෙන්නේ යැ, ඉරියවු පවත්වන්නේ යැ, වැටෙන්නේ යැ, රැකෙන්නේ යැ, යැපෙන්නේ යැ, යාපනය වන්නේ නුයි ‘සාහසා විරතො චරෙ’ යනු වේ.
එයින් වදාළහ බුදුහු:
“මොසවජ්ජෙ න නිය්‍යෙථ -පෙ- සාහසා විරතො චරෙ” යී.
15. 10.
අතීත වූ රූපාදිඅරමුණට (තෘෂ්ණාදි විසින්) නො සතුටු වන්නේ යැ. වර්‍තමාන රූපාදියෙහි රුචිය නො කරන්නේ යැ. (රූපාදිය) නැසෙන කල්හි ශෝක නො කරන්නේ යැ, තෘෂ්ණාව ඇසුරු කළේ නො වන්නේ යි.