මහණ තෙම නින්දාවචනයෙන් නො කම්පා වන්නේ යැ. පසස්නා ලදුයේ උඩඟු නො වන්නේ යැ. මාත්සර්‍ය්‍ය සමග ලෝභය ක්‍රෝධය හා පෛශුන්‍යය ද දුරු කරන්නේ යි.
නින්දාය නප්පවෙධෙය්‍ය - මෙහි ඇතැම් කෙනෙක් මහණ හට නින්‍දා කෙරෙති; ජාතියෙන් හෝ ගෝත්‍රයෙන් හෝ කුලපුත්‍රභාවයෙන් හෝ වර්‍ණසෞන්‍දර්‍ය්‍යයෙන් හෝ ධනයෙන් හෝ අධ්‍යයනයෙන් හෝ කර්‍මායතනයෙන් හෝ ශිල්පයෙන් හෝ විද්‍යාවෙන් හෝ ශ්‍රැතයෙන් හෝ ප්‍රතිභානයෙන් හෝ අන්‍යතරාන්‍යතර වස්තුයෙකින් හෝ නින්‍දා කෙරෙති, ගරහති නුගුණ කියත්. නිගා කරන ලදුයේ ගරහන ලදුයේ නුගුණ කියන ලදුයේ නින්දාවෙන් ගර්‍හාවෙන් උපවාදයෙන් අකීර්ත්තියෙන් නුගුණ එළැවීමෙන් කම්පා නො වන්නේ යැ , ප්‍රකම්පා නො වන්නේ යැ, පුනපුනා කම්පා නො වන්නේ යැ, ත්‍රස්ත - උත්ත්‍රස්ත - පරිත්‍රස්ත නො වන්නේ යැ භය නො වන්නේ යැ, සන්ත්‍රාසයට නො පැමිණෙන්නේ යැ. නො බියසුලු වූයේ නො සැලෙනසුලු වූයේ නො තැතිගන්නාසුලු වූයේ නො පලායන සුලු වූයේ වන්නේ යැ. ප්‍රහීණ වූ භය අරමුණු ඇතියේ පහ වූ ලොමුදහ ඇතියේ වාසය කරන්නේ නුයි ‘නින්දාය නප්පවධෙය්‍ය’ යනු වේ.
න උන්නමෙය්‍ය පසංසිතො භික්ඛු - මෙහි ඇතැම් කෙනෙක් මහණ හට ප්‍රශංසා කෙරෙති: ජාතියෙන් හෝ ග්‍රොත්‍රයෙන් හෝ කුලපුත්‍රභාවයෙන් හෝ වර්‍ණසෞන්‍දර්‍ය්‍යයෙන් හෝ ධනයෙන් හෝ අධ්‍යයනයෙන් හෝ කර්‍මායතනයෙන් හෝ ශිල්පයෙන් හෝ විද්‍යාවෙන් හෝ ශ්‍රැතයෙන් හෝ ප්‍රතිභානයෙන් හෝ අන්‍යතරාන්‍යතර කාරණයෙකින් හෝ පසසති, තුති කෙරෙති, ප්‍රකට කෙරෙති, ගුණ කියත්. ප්‍රශංසිත - ස්තුත - කිර්‍තතිත - වර්ණණිත වූයේ ප්‍රශංසායෙන් ස්තුතියෙන් කීර්‍තතියෙන් ගුණ ප්‍රකාශ කිරීමෙන් උන්නතිය නො කරන්නේ යැ, උන්නාමය නො කරන්නේ යැ, මානය නො කරන්නේ යැ, ස්තම්භය නො කරන්නේ යැ, එයින් මානය නූපදවන්නේ යැ. එයින් තද වූයේ අතිශයින් තද වූයේ නැඟු හිස ඇත්තේ නො වන්නේ ය යි - ‘න උන්නමෙය්‍ය පසංසිතො භික්ඛු’ යනු වේ.
ලොභං සහ මච්ඡරියෙන කොධං පෙසුනියඤ්ච පනුදෙය්‍ය - ලෝභ නම්: යම් ලොභයෙක් ලෝභාකාරයෙක් ලෝභ කළ බවෙක් අධිකාරාගයෙක් ඇලෙන අයුරෙක් ඇලුණු බවෙක් අභිධ්‍යාවක් ලෝභ අකුශලමූලයෙක් වේ ද එය යි. මච්ඡරිය නම් - මාත්සර්‍ය්‍ය පසෙකි: ආවාසමාත්සර්‍ය්‍යය … ග්‍රාහයමාත්සර්‍ය්‍ය යයි කියනු ලැබේ. කෝධ නම්: චිත්තයාගේ යම් ආඝාතයෙක් ප්‍රතිඝාතයෙක් ප්‍රතිඝයෙක් ප්‍රතිවිරොධයෙක් කෝපයෙක් සම්ප්‍රකෝපයෙක් ද්වේෂයෙක් ප්‍රද්වෙෂයෙක් සම්ප්‍රද්වෙෂයෙක් වේ ද, සිත පෙරළුණු බවෙක් සිත දූෂ්‍ය වීමෙක් ක්‍රෝධයෙක් ක්‍රෝධාකාරයෙක් කිපුණු බවෙක් ද්වේෂයෙක් දූෂ්‍යාකාරයෙක් දූෂිත බවෙක් විපර්‍ය්‍යාසයෙක් විපර්‍ය්‍යාසකාරයෙක් විපර්‍ය්‍යස්ත බවෙක් විරෝධයෙක් ප්‍රතිවිරෝධයෙක් සැඩ බවෙක් නො පිරුණු වචන ඇති බවෙක් චිත්තයාගේ නො සතුටු බවෙක් වේ ද එය යි.
පෙසුනියං යනු මෙහි කිසිවෙක් පිසුනුබස් ඇතියේ වෙයි: මෙතැනින් අසා මොවුන්ගේ බිඳීමට එතැන කියන්නේ වෙයි, එතැන හෝ අසා අරුන්ගේ බිඳීමට මුන්ට කියන්නේ වෙයි. මෙසේ සමග වූවන් හෝ බිඳිනුයේ භින්න වූවන් හෝ සන්‍ධානය නො කරනුයේ වර්‍ග වීමෙහි සතුටු වූයේ වර්‍ග වීමෙහි ඇලුණේ වර්‍ගයෙහි සතුටු වූයේ වර්‍ග කරන බස් කියන්නේ වෙයි. එහෙයින් පෛශුන්‍ය යැයි කියනු ලැබේ. තවද දෙකරුණෙකින් පිසුනු එළවා කියයි: ප්‍රියකාම්‍යතායෙන් හෝ භෙදාධිප්‍රායෙන් හෝ යැ. කිසෙයින් ප්‍රියකාම්‍යතායෙන් පිසුනු කියා ද යත්: ‘මොහුට ප්‍රිය වූයෙම් වන්නෙමි, මනාප වූයෙම් වන්නෙමි, විස්වැසියෙම් වන්නෙමි, ආභ්‍යන්තරිකයෙම් වන්නෙමි, සුහෘද් වන්නෙමි, මෙ සෙයින් ප්‍රියකාම්‍යතායෙන් පිසුනු කියයි. කිසෙයින් භෙදාධිප්‍රායෙන් පිසුනු කියා ද යත්: ‘කෙසේ නම් මොහු වෙන් වන්නාහු ද, වර්‍ග වන්නාහු ද, දෙ කොටස් වන්නාහු ද, දෙ කඩ වන්නාහු ද, දෙ පක්‍ෂ වන්නාහු ද, බිඳෙන්නාහු ද, නො සමග වන්නාහු ද, දුකසේ නො සුවසේ වසන්නාහු දැ’ යි මෙසේ බිඳෙන අදහසින් පෙහෙසුන් බස් කියයි. ලොභං සහ මච්ඡරියෙන කොධං පෙසුනියඤ්ච පනුදෙය්‍ය - ලෝභය ද මාත්සර්‍ය්‍යය ද ක්‍රෝධය ද පෛශුන්‍යය ද දුරු කරන්නේ යැ වෙසෙසින් දුරු කරන්නේ යැ හරණේ යැ බැහැර කරන්නේ යැ විගතාන්ත කරන්නේ යැ අනභාවයට පමුණුවන්නේ ය යි ‘ලොභං සහ මච්ඡරියෙන කොධං පෙසුනියඤ්ච පනුදෙය්‍ය’ යනු වේ.
එයින් වදාළහ බුදුහු:
“නින්දාය නප්පවෙධෙය්‍ය -පෙ- කොධං පෙසුනියඤ්ච පනුදෙය්‍ය” යී.
14. 15.
මහණ තෙමේ ක්‍රයවික්‍රෙයයෙහි නො පිහිටන්නේ යැ. (ඇතුළතැ පිටතැ) කිසි තැනෙක්හි (අනුන් ලවා) උපවාද නො කරවන්නේ යැ. ගම්හි දු නො ඇලෙන්නේ යැ ලාභහේතුයෙන් ජනයාට ලපනය නො කරන්නේ යි.
කයවික්කයෙ න තිට්ඨෙය්‍ය - යම් ක්‍රයවික්‍රෙය කෙනෙක් විනයෙහි ප්‍රතික්‍ෂේප කරන ලද්දාහු නම්, ඔහු මේ අර්‍තථයෙහි අදහස් නො කරන ලදහ. කිසෙයින් ක්‍රයවික්‍රෙයයෙහි සිටී ද යත්: පස් සහධැමියන් සමග පාත්‍රයක් හෝ සිවුරක් හෝ අන් කිසි පිරිකරක් හෝ වඤ්ච කෙරෙමින් හෝ උදය (-වැඩියක්) පතමින් හෝ පරිවර්‍තන කෙරේ නම්, මෙසේ ක්‍රයවික්‍රෙයයෙහි සිටී. කිසෙයින් ක්‍රයවික්‍රෙයයෙහි නොසිටී ද යත්: පස් සහධැමියන් සමග පාත්‍රයක් හෝ සිවුරක් හෝ අන් කිසි පිරිකරක් හෝ වඤ්ච නො කෙරෙමින් හෝ උදය නො පතමින් හෝ පරිවර්‍තන කෙරේ නම්, මෙසේ ක්‍රයවික්‍රෙයයෙහි නො සිටී. කයවික්කයෙ න තිට්ඨෙය්‍ය - ක්‍රයවික්‍රෙයයෙහි නො සිටින්නේ යැ, නො පවත්නේ යැ, ක්‍රයවික්‍රෙය (-ගනුදෙනු) හරනේ යැ, දුරු කරන්නේ යැ, විගතාන්ත කරන්නේ යැ, අනුඅභාවයට පමුණුවන්නේ යැ. ක්‍රයවික්‍රෙයයෙන් දුරු වූයේ වෙසෙසින් දුරු වූයේ හාත්පසින් දුරු වූයේ වන්නේ යැ, නික්මුණේ නික්මැගියේ වෙසෙසින් මිදුණේ විසංයුක්ත වූයේ විගතමර්‍ය්‍යාදා කළ සිතින් යුක්ත ව වසන්නේ නුයි ‘කයවික්කයෙ න තිට්ඨෙය්‍ය’ යනු වේ.
උපවාදං භික්ඛු න කරෙය්‍ය කුහිඤ්චි - උපවාදකර ක්ලේශයෝ කවරහු ද යත්: ඍද්ධිමත් වූ දිවැස් ඇති පරසිත් දන්නා ඇතැම් මහණ බමුණු කෙනෙක් ඇත්තාහු ය, ඔහු දුර සිටියාහු ද දකිති. ළං වූවාහු ද නො පැනෙති. තමන්ගේ සිතින් අනුන්ගේ සිත දැන ගනිත්. ඍද්ධිමත් වූ දිවැස් ඇති පරසිත් දන්නා වූ දේවතාවෝ ද ඇත්තාහු යැ. ඔහු දුර සිට ද දකිති. සමීප වූවාහු ද නො පැනෙති. තම සිතින් මෙරමා සිත ද දැන ගනිත්. ඔහු (කායදුශ්චරිතාදි) ඖදාරික ක්ලේශයන්ගෙන් හෝ (කාමවිතර්‍කාදි) මධ්‍යම ක්ලේශයන්ගෙන් හෝ (ඥාතිවිතර්‍කාදි) සූක්‍ෂම ක්ලේශයන්ගෙන් හෝ උපවාද කරන්නාහු ය. ඖදාරික ක්ලේශයෝ කවරහු ද යත්: කායදුශ්චරිතය වාග්දුශ්චරිතය මනෝදුශ්චරිතය යන මොහු ඖදාරික ක්ලේශයෝ’ යි කියනු ලැබෙත්. මධ්‍යම ක්ලේශයෝ කවරහු ද යත්: කාමවිතර්‍ක යැ ව්‍යාපාදවිතර්‍ක යැ විහිංසාවිතර්‍ක යැ යන මොහු මධ්‍යම ක්ලේශයෝ යි කියනු ලැබෙත්. සූක්‍ෂම ක්ලේශයෝ කවරහු ද යත්: ඥාතිවිතර්‍ක යැ ජනපදවිතර්‍ක යැ අමරවිතර්‍ක යැ පරානුද්දයතාප්‍රතිසංයුක්ත වූ විතර්‍ක යැ ලාභසත්කාරකීර්‍තති ප්‍රතිසංයුක්ත වූ විතර්‍ක යැ අනවඥාත බව ප්‍රතිසංයුක්ත වූ විතර්‍ක යැ යන මොහු සූක්‍ෂමක්ලෙශයෝ යි කියනු ලැබෙත්. ඒ ඖදාරික ක්ලේශයන්ගෙන් හෝ මධ්‍යම ක්ලේශයන්ගෙන් හෝ සූක්‍ෂම ක්ලේශයන්ගෙන් හෝ ’න උපවදෙය්‍ය, උපවාද නො කරන්නේ යැ, උපවාදකර ක්ලේශයන් නො කරන්නේ යැ, නො දනවන්නේ යැ, නූපදවන්නේ යැ, නො නිපදවන්නේ යැ, නො පහළ කරන්නේ යැ. උපවාදකර ක්ලේශයන් හරනේ යැ, දුරු කරන්නේ යැ, විගතාන්ත කරන්නේ යැ, අනභාවයට පමුණුවන්නේ යැ. උපවාදකර ක්ලේශයන්ගෙන් දුරු වූයේ වෙන් වූයේ වෙසෙසින් වෙන් වූයේ වන්නේ යැ, නික්මුණේ නික්මැගියේ වෙසෙසින් මිදුණේ නො යෙදුණේ විගතමර්‍ය්‍යාදා කළ සිතින් යුක්ත ව වාසය කරන්නේ යි. කුහිඤ්චි යනු: අධ්‍යාත්මයෙහි හෝ බාහ්‍යයෙහි හෝ අධ්‍යාත්මබාහ්‍යයෙහි හෝ කොහි කිසිවෙක්හි කොතැනෙක්හි නුයි ‘උපවාදං භික්ඛු න කරෙය්‍ය කුහිඤ්චි’ යනු වේ.
ගාමෙ ච නාභිසජ්ජෙය්‍ය - කිසෙයින් ගම්හි ඇලෙයි යත්: මෙහි මහණ තෙම ගම්හි ගිහින් සමග සංසෘෂ්ට වැ වෙසෙයි, සමග සතුටු වනුයේ සමග ශෝක ඇතියේ (ඔවුන්) සුඛිත කල්හි සුඛිත වූයේ දුඃඛිත කල්හි දුඃඛිත වූයේ වෙයි. උපන් කළයුතු කිස ඇති කල්හි තමා උපයොගයට (කිස කළ යුතු බවට) පැමිණෙයි. මෙසේත් ගම්හි ඇලෙයි. නොහොත් මහණ තෙම පෙරවරුයෙහි හැඳපෙරෙවැ පාසිවුරු ගෙන නො රක්නා ලද කයින් නො රක්නා ලද වචනයෙන් නො රක්නා ලද සිතින් යුක්ත වැ නො එළැඹ සිටි සිහියෙන් අසංවර වූ ඉඳුරන්ගෙන් යුක්ත වැ ගමට හෝ නියම්ගමට හෝ පිඬු සිඟා යෙයි. හෙතෙම ඒ ඒ අරමුණෙහි ඇලෙයි. ඒ ඒ අරමුණට පිවිසෙයි, ඒ ඒ අරමුණෙහි බැඳෙයි. ඒ ඒ අරමුණෙහි අනයව්‍යසනයට පැමිණේ. මෙසේත් ගම්හි ඇලෙයි.
කිසෙයින් ගම්හි නො ඇලෙයි යත්: මේ සස්නෙහි මහණ තෙමේ ගම්හි ගිහීන් හා අසංසෘෂ්ට වූයේ වෙසෙයි: සමග සතුටු නො වනුයේ සමග ශෝකී නො වනුයේ (ඔවුන්) සුවපත් කල්හි සුවපත් නො වනුයේ දුප්පත් කල්හි දුප්පත් නො වනුයේ වෙයි, උපන් කළයුතු කිස ඇති කල්හි එය තමා විසින් කළ යුතු බවට නො පැමිණෙයි. මෙසේත් ගම්හි නො ඇලෙයි. නොහොත් මහණ තෙමේ පෙරවරුයෙහි හැඳපෙරෙවැ පාසිවුරු ගෙන රක්නා ලද කායද්වාරයෙන් යුක්ත වැ රක්නා ලද වාග්ද්වාරයෙන් යුක්ත වැ රක්නා ලද මනෝද්වාරයෙන් යුක්ත වැ එළැඹසිටි සිහියෙන් සංවර කළ ඉඳුරන් ගෙන් යුක්ත වැ ගමට හෝ නියම් ගමට හෝ පිඬු සිඟා යෙයි. හෙතෙම ඒ ඒ අරමුණෙහි නො ඇලෙයි. ඒ ඒ අරමුණෙහි නො පිවිසෙයි. ඒ ඒ අරමුණෙහි නො බැඳෙයි, ඒ ඒ අරමුණෙහි අනයව්‍යසනයට නො පැමිණේ. මෙසේත් ගම්හි නො ඇලේ. ගාමෙ ච නාභිසජ්ජෙය්‍ය - ගම්හි නො ඇලෙන්නේ යැ නො ගන්නේ යැ, නො බැඳෙන්නේ යැ, හාත්පසින් නො බැඳෙන්නේ යැ. (රාගයෙන්) නො ගෙතුණේ මුසපත් නො වූයේ නො මඩනා ලදුයේ වන්නේ යැ. පහවූ තෘෂ්ණා ඇතියේ විගත තෘෂ්ණා ඇතියේ වමනය කළ තෘෂ්ණා ඇතියේ … ශ්‍රේෂ්ඨ වූ සිතින් යුක්ත වැ වාසය කරන්නේ නුයි ‘ගාමෙ ච නාභිසජ්ජෙය්‍ය’ යනු වේ.
ලාභකම්‍යා ජනං න ලපයෙය්‍ය - ‘ලපනා’ කවරී ද යත්: ලාභසත්කාරකීර්ති ඇසුරු කළ ලාමක ඉච්ඡා (- ආශා) ඇති ඉච්ඡායෙන් මඩනා ලද ආමිෂයෙහි ලොල් වූ (රූපාදි) ලෝකධර්‍ම ගරු කොට වසන්නහුගේ අන්‍යයන්ට යම් ආදියෙහි බිණීමෙක් ලපනයෙක් මොනවට බිණීමෙක් උසස් කොට බිණීමෙක් හාත්පසින් උසස් කොට බිණීමෙක් උස් කොට බැඳීමෙක් හාත්පසින් පුනපුනා බැඳීමෙක් උසස් කොට දැක්වීමෙක් හාත්පසින් උසස් කොට දැක්වීමෙක් පුනපුනා ප්‍රිය වදන් කියන බවෙක් චාටුවචන ඇති බවෙක් මුද්ගසූපය වැනි වචන ඇති බවෙක් පරිහට (- දරුවන් නළවන) බවෙක් මෙරමා පිටුමස් කන බවෙක් වේ ද, එහි යම් මොළොක් වචන ඇති බවෙක් සිලුටු වචන ඇති බවෙක් ලිහිල් වචන ඇති බවෙක් මිහිරි වචන ඇති බවෙක් වේ ද, මෝ ‘ලපනා’ යයි කියනු ලබයි. තවද දෙ කරුණෙකින් ජනයාට බෙණෙයි: තමා හෝ පහත් කොට තබමින් මෙරමා උස් කොට තබමින් ජනයාට බෙණෙයි, තමා හෝ උස් කොට තබමින් මෙරමා පහත් කොට තබමින් ජනයාට බෙණෙයි. කිසෙයින් තමා නීච කොට තබමින් පරා උච්ච කොට තබමින් ජනලපනය කෙරෙයි යත්: ‘තෙපි මට බොහෝ උපකාර ඇතියව, මම් තොප නිසා සිවුරු පිණ්ඩපාත සෙනසුන් බෙහෙසත්පිරිකර ලැබෙමි, මේ අන්නු ද දෙන්නට හෝ කරන්නට හෝ සිතත් නම්, තොප නිසා තොප බලමින් (දෙන්නට සිතති) පැරණි මවු පියන් සතු මාගේ යම් නමෙක් වී නම්: මාගේ ඒ නම ද වැසිණි, තොප හේතු කොටගෙන මම ‘අසවල්හුගේ කුලුපග යැ, අසුවලගේ කුලුපග යැ’ යි ප්‍රකට වෙමි. මෙසෙයින් තමා නීච කෙරෙමින් පරා උසස් කෙරෙමින් ජනලපනය කෙරෙයි. කිසෙයින් තමා උසස් කෙරෙමින් පරා පහත් කෙරෙමින් ජනලපනය කෙරෙයි යත්: ‘මම තොපට බොහෝ උපකාරයෙමි, තෙපි මා කරා අවුත් බුදුන් සරණ ගියව, දහම් සරණ ගියව, සඟුන් සරණ ගියව, ප්‍රාණවධයෙන් වැළැක්කවු යැ, අදත්තාදානයෙන් කාමමිත්‍ථ්‍යාචාරයෙන් - මෘෂාවාදයෙන් - මදප්‍රමාදයට කාරණ වූ රහමෙර පීමෙන් වැළැක්කවු යැ, මම තොපට උදෙස් දෙමි, පරිපෘච්ඡා දෙමි,
පොහොය පවසමි, නවගම්හි පිහිට වෙමි. එතෙකු දු වත් තෙපි මා හැරපියා අනුනට සත්කාර කරව, ගරු කරව, බුහුමන් කරව, පුදව’ යි මෙසේත් තමා උසස් කෙරෙමින් පරා පහත් කෙරෙමින් ජනලපනය කෙරේ. ලාභකම්‍යා ජනං න ලපයෙය්‍ය - ලාභ හේතුයෙන් ලාභප්‍රත්‍යයෙන් ලාභ කාරණයෙන් ලාභ උපදවනු පිණිස ලාභ වඩනුයේ ජනලපනය නො කරන්නේ යැ, ලපනය හරනේ යැ දුරු කරන්නේ යැ විගතාන්ත කරන්නේ යැ අනභාවයට පමුණුවන්නේ යැ. ලපනයෙන් දුරු වූයේ වෙන් වූයේ හාත්පසින් වෙන් වූයේ වන්නේ යැ, නික්මුණේ නික්මැගියේ වෙසෙසින් මිදුණේ නො යෙදුණේ විගතමර්‍ය්‍යාදා කළ සිතින් යුක්ත වැ වාසය කරන්නේ නුයි ‘ලාභකම්‍යා ජනං න ලපයෙය්‍ය’ යනු වේ.
එයින් වදාළහ බුදුහු:
“කය වික්කයෙ න තිට්ඨෙය්‍ය -පෙ- ලාභකම්‍යා ජනං න ලපයෙය්‍ය” යී.
14. 16.
මහණ තෙමේ ආත්මවර්‍ණනා කරන්නෙක් නො ද වන්නේ යැ, ප්‍රත්‍යය සඳහා යොදන ලද බසක් නො ද කියන්නේ යැ, (කායාදි) බුහුටිබැව්හි නො හැසිරෙන්නේ යැ, විග්‍රාහික කථාව නො කියන්නේ යි.
න ච කත්‍ථිකො සියා භික්ඛු - මෙහි කිසිවෙක් කත්‍ථන විකත්‍ථන (-ආත්මවර්‍ණනාව) කරන්නේ වෙයි. හෙතෙම් කත්‍ථනය විකත්‍ථනය කෙරෙයි: ‘මම් ශීලසම්පන්නයෙමි හෝ ව්‍රතසම්පන්නයෙමි හෝ ශීලව්‍රතසම්පන්නයෙමි හෝ ජාතියෙන් හෝ ගෝත්‍රයෙන් හෝ කුලපුත් බැවින් හෝ පැහැපත් සිරුරු ඇති බැවින් හෝ ධනයෙන් හෝ අධ්‍යයනයෙන් හෝ කර්‍මායතනයෙන් හෝ ශිල්පයෙන් හෝ විද්‍යාවෙන් හෝ ශ්‍රැතයෙන් හෝ ප්‍රතිභානයෙන් හෝ අන්‍යතරාන්‍යතර වස්තුවකින් හෝ උසස් කුලයෙන් පැවිදි වූයෙමි’ හෝ ගැහැවිමහසල්කුලයෙන් පැවිදි වූයෙමි හෝ බොහෝ සැපත් ඇති කුලයෙන් පැවිදි වූයෙමි හෝ සෞත්‍රාන්තිකයෙමි හෝ විනයධරයෙමි හෝ ධර්‍මකථිකයෙමි හෝ ආරණ්‍යකයෙමි හෝ … නෙවසඤ්‍ඤානාසඤ්‍ඤායතනසමාපත්තිලාභී වෙමි හෝ’ තමාගේ ගුණ කියයි, වෙසෙසින් කියයි. මෙසේ සිය ගුණය නො කියන්නේ යැ, වෙසෙසින් නො කියන්නේ යැ, ගුණ කීම් හරනේ යැ දුරු කරන්නේ යැ විගතාන්ත කරන්නේ යැ, අනභාවයට පමුණුවන්නේ යැ. ගුණ කථනයෙන් දුරු වූයේ වෙන් වූයේ වෙසෙසින් වෙන් වූයේ වන්නේ යැ. නික්මැගියේ ප්‍රහීණ වූයේ වෙසෙසින් මිදුණේ වියෝග වූයේ විගතමර්‍ය්‍යාදා කළ සිතින් යුක්ත වැ වාසය කරන්නේ නුයි ‘න ච කත්‍ථිකො සියා භික්ඛු’ යනු වේ.
න ච වාචං පයුත්ත භාසෙය්‍ය - ප්‍රයුක්තවාචා කවරී ද යත්: මෙහි කිසිවෙක් චීවරප්‍රයුක්ත වූ වචන කියයි, පිණ්ඩපාතප්‍රයුක්ත වචන කියයි, සෙනාසනප්‍රයුක්ත වචන කියයි, ගිලන්පසබෙහෙසත්පිරිකර හා යෙදුණු වචන කියයි. මෙ ද ‘පයුත්තවාචා’ යී කියනු ලබයි. නොහොත් සිවුරු හේතුයෙන් පිණ්ඩපාත හේතුයෙන් ගිලන්පස බෙහෙසත්පිරිකර හේතුයෙන් සැබව ද කියයි, බොරු ද කියයි, පිසුනු ද කියයි, නො පිසුනු ද කියයි, රළුබස් ද කියයි, නො රළුබස් ද කියයි, සිස් වදන් ද කියයි, නො සිස් වදන් ද කියයි, නුවණින් දැන ද වචන කියයි. මෙ ද ‘පයුත්තවාචා’ යී කියනු ලබයි. නොහොත් පහන් සිතැති ව අනුනට දහම් දෙසයි: ‘මා ගේ දහම් අසන්නාහු නම් ඉතා යෙහෙක, අසා දහම්හි පහදනාහු නම් යෙහෙක, පැහැදුණාහු පඬුරු එළවන්නාහු නම් යෙහෙකැ යි. මෙ ද ‘පයුත්තවාචා’ යී කියනු ලබයි. න ච වාචං පයුත්ත භාසෙය්‍ය - යටත් පිරිසෙයින් දම්දෙසුම් වචනය පටන් ප්‍රයුක්ත වචනය නො පවසන්නේ යැ නො කියන්නේ යැ නො බණන්නේ යැ නො දක්වන්නේ යැ නො වහරන්නේ යැ ප්‍රයුක්ත වචනය හරනේ යැ දුරු කරන්නේ යැ විගතාන්ත කරන්නේ යැ අනභාවයට පමුණුවන්නේ යැ. ප්‍රයුක්ත වචනයෙන් දුරු වූයේ වෙන් වූයේ වෙසෙසින් වෙන් වූයේ වන්නේ යැ. නික්මැගියේ පහවැගියේ වෙසෙසින් මිදුණේ විසංයුක්ත වූයේ විමර්‍ය්‍යාදීකෘත සිතින් යුක්ත වැ වාසය කරන්නේ යැ’ යි ‘න ච වාචං පයුත්ත භාසෙය්‍ය’ යනු වේ.
පාගබ්භියං න සික්ඛෙය්‍ය - ‘පාගබ්භිය’ නම්: ප්‍රාගල්භ්‍ය තුනෙකි: කායික ප්‍රාගල්භ්‍ය යැ වාචසික ප්‍රාගල්භ්‍ය යැ චෛතසික ප්‍රාගල්භ්‍ය යැයි කියායි. කායික ප්‍රාගල්භ්‍යය කවරැ යත්: මෙහි කිසිවෙක් සඟමැදට ගියේ ද කායික ප්‍රාගල්භ්‍ය ( -නො සරුප් බව) දක්වයි, ගණමැදට ගියේ ද කායික නො සරුප් බව දක්වයි, බොජුන්හලට ගියේ ද කායික නො සරුප් බව දක්වයි, ගිනිහල්හි දු කායික නො සරුප් බව දක්වයි, දිය තොට ද කායික නො සරුප් බව දක්වයි, ඇතුළුගමට පිවිසෙනුයේ ද කායික නො සරුප් බව දක්වයි, ඇතුළුගමට පිවිසියේ ද කායික නො සරුප් බව දක්වයි.
කිසෙයින් සඟමැදට ගියේ කායික නො සරුප් බව දක්වා ද යත්: මෙහි කිසිවෙක් සඟමැදට ගියේ බුහුමන් රහිත වැ ස්ථවිර භික්‍ෂූන් ගටමිනු දු සිටී, ගටමිනු දු හිඳී, ඉදිරියෙහි දු සිටී, ඉදිරියෙහි දු හිඳී, උසස්නෙහි දු හිඳී, හිස වසා පෙරෙවැගෙන ද හිඳී, සිට ද බෙණෙයි, අත් සලමිනු දු බෙණෙයි. මෙසේ සඟමැදට ගියේ කායික නො සරුප්බව දක්වයි.
කිසෙයින් ගණමැදට ගියේ කායික නො සරුප් බව දක්වා ද යත්: මෙහි කිසිවෙක් ගණමැදට ගියේ බුහුමන් රහිත වැ ස්ථවිර භික්‍ෂූන් වහන් නැති වැ සක්මන් කරද්දී වහන් ඇති වැ සක්මන් කෙරෙයි, පහත් සක්මනෙහි සක්මන් කරද්දී උසස් සක්මනෙහි සක්මන් කෙරෙයි, පියවි බිමැ සක්මන් කරද්දී සක්මනෙහි සක්මන් කෙරෙයි, ගටමිනිදු සිටී. ගටමිනුදු හිඳී, ඉදිරියෙහි දු සිටී, ඉදිරියෙහි දු හිඳී, උසස්නෙහි දු හිඳී, හිස වසා පෙරෙවැ ද හිඳී, සිට ද බෙණෙයි, අත් සලසලා ද බෙණෙයි. මෙසේ ගණමැදට ගියේ කායික නො සරුප්බව දක්වයි.
කිසෙයින් බොජුන්හලැ කායික නො සරුප්බව දක්වා ද යත්: මෙහි කිසිවෙක් බොජුන්හලැ බුහුමන් රහිත වූයේ ස්ථවිර භික්‍ෂූන් මැදට පිවිස හිඳී, නවක භික්‍ෂූන් ද අසුනෙන් බැහැර කෙරෙයි, ගටමිනු දු සිටී, ගටමිනු දු හිඳී, ඉදිරියෙහි දු සිටී, ඉදිරියෙහි දු හිඳී, උසස්නෙහි දු හිඳී, හිස වසා පෙරෙවැගෙන ද හිඳී, සිට ද බෙණෙයි, අත් සලසලා ද බෙණෙයි. මෙසේ බොජුන්හලැ කායික නො සරුප් බව දක්වයි.
කිසෙයින් ගිනිහල්හි කායික ප්‍රාගල්භ්‍යය දක්වා ද යත්: මෙහි කිසිවෙක් ගිනිහල්හි බුහුමන් රහිත වැ ස්ථවිර භික්‍ෂූන් ගටමිනු දු සිටී, ගටමිනු දු හිඳී, ඉදිරියෙහි දු සිටී, ඉදිරියෙහි දු හිඳී, උසස්නෙහි දු හිඳී, නො පිළිවිසැ දර ඔවයි, නො පිළිවිසැ දොර පියයි. මෙසෙයින් ගිනිහල්හි කායික ප්‍රාගල්භ්‍යය දක්වයි.
කිසෙයින් දියතොටැ කායික නො සරුප්බව දක්වා ද යත්: මෙහි කිසිවෙක් දියතොටැ බුහුමන් නැති වැ ස්ථවිරභික්‍ෂූන් ගටමිනු දු (තොටට) බසී, ඉදිරියෙහි දු බසී, ගැටෙමිනු දු නහයි, ඉදිරියෙහි දු නහයි, උඩගඟ ද නහයි, ගැටෙමිනු දු ගොඩ නඟී, ඉදිරියෙනු දු ගොඩ නඟී, උඩතොටිනු දු ගොඩ නඟී. මෙසෙයින් දියතොටැ කායික නො සරුප්බව දක්වයි.
කිසෙයින් ඇතුළුගමට වදනේ කායික නො සරුප්බව දක්වා ද යත්: මෙහි කිසිවෙක් ඇතුළුගමට පිවිසෙනුයේ බුහුමන් රහිත වැ ස්ථවිර භික්‍ෂූන් ගටමිනු දු යෙයි, ඉදිරියෙහි දු යෙයි, පසු කොට ද ස්ථවිර භික්‍ෂූන් ඉදිරියෙහි යෙයි. මෙසෙයින් ඇතුළුගමට පිවිසෙනුයේ කායික නො සරුප්බව දක්වයි.
කිසෙයින් ඇතුළුගමට පිවිසියේ කායික නො සරුප්බව දක්වා ද යත්: මෙහි කිසිවෙක් ඇතුළුගමට පිවිසියේ ‘නො යව වහන්සැ’ යි කියනු ලබනුයේ පිවිසෙයි, ‘නො සිටිනු මැනවැ වහන්සැ’යි කියනු ලබනුයේ සිටී, ‘නො හිඳිනු මැනවැ වහන්සැ’ යි කියනු ලබනුයේ හිඳී, අනවකාශ ව ද පිවිසෙයි, අනවකාශයෙහි දු සිටී, අනවකාශයෙහි දු හිඳී. කුලස්ත්‍රීන් කුලධීතෲන් කුලවධූන් කුලකුමාරිකාවන් හිඳිනා පිළිසන් වූ (අන්‍යයන් ගෙන්) පිළිසන් කරන ලද කුලයන්ගේ යහන්ගෙවල් වෙත් නම් එහි දු සැහැසි වැ පිවිසෙයි. ළදරුවන්ගේ හිස ද පිරිමදී. මෙසෙයින් ඇතුළුගමට පිවිසියේ කායික නො සරුප්බව දක්වයි. මේ කායික ප්‍රාගල්භ්‍ය යයි.
වාචසික ප්‍රාගල්භ්‍යය කවරැ යත්: මෙහි කිසිවෙක් සඟමැදට ගියේ ද වාචසික නො සරුප්බව දක්වයි, ගණමැදට ගියේ ද වාචසික නො සරුප්බව දක්වයි, ඇතුළුගමට ගියේ ද වාචසික නො සරුප්බව දක්වයි.
කිසෙයින් සඟමැදට ගියේ වාචසික නො සරුප්බව දක්වා ද යත්: මෙහි කිසිවෙක් සඟමැදට ගියේ බුහුමන් රහිත වැ ස්ථවිර භික්‍ෂූන් නො පිළිවිසැ හෝ නො ඇණවන ලදු වැ හෝ අරමට ගිය භික්‍ෂූන්ට බණ කියයි, පැන විසඳයි, පාමොක් උදෙසයි, සිටගෙන ද බෙණෙයි අත් සලසලා ද බෙණෙයි, මෙසෙසින් සඟමැදට ගියේ වාචසික නො සරුප්බව දක්වයි.
කිසෙයින් ගණමැදට ගියේ වාචසික නො සරුප්බව දක්වා ද යත්: මෙහි කිසිවෙක් ගණමැදට ගියේ බුහුමන් රහිත වැ ස්ථවිර භික්‍ෂූන් නො පිළිවිසැ හෝ නො ඇණවන ලදු වැ හෝ අරමට ගිය භික්‍ෂූන්ට බණ කියයි, පැන විසඳයි, සිටගෙන ද බෙණෙයි, අත් සලසලා ද බෙණෙයි. ... අරමට ගිය මෙහෙණනට -උවසුන්ට - උවැසියනට බණ කියයි, පැන විසඳයි, සිටගෙන ද බෙණෙයි, අත් සලසලා ද බෙණෙයි. මෙසෙසින් ගණමැදට ගියේ වාචසික නො සරුප්බව දක්වයි.
කිසෙයින් ඇතුළුගමට පිවිසියේ වාචසික නො සරුප්බව දක්වා ද යත්: මෙහි කිසිවෙක් ඇතුළුගමට පිවිසියේ ගැහැනියකට හෝ කුමරියකට හෝ මෙසේ කියයි: ‘මේ නම් ඇත්තිය, මේ ගොත් ඇත්තිය, කුමක් ඇද් ද? කැඳ ඇද් ද? බත් ඇත් ද? කෑයුතු ඇත් ද? කුමක් බොන්නමෝ ද? කුමක් වළඳන්නමෝ ද? කුමක් කන්නමෝ ද? කුමක් හෝ ඇත් ද? කුමක් හෝ මට දෙවු දැ’ යි නන් දොඩයි. මෙසේ ඇතුළුගමට පිවිසියේ වාචසික නො සරුප්බව දක්වයි. මේ වාචසික ප්‍රාගල්භ්‍යය යි.
චෛතසික ප්‍රාගල්භ්‍යය කවරැ යත්: මෙහි කිසිවෙක් උසස් කුලයෙන් නො පැවිදි වූයේ උසස් කුලයෙන් පැවිදි වූවහු සමග සිතින් තමා සදෘශයකු කෙරෙයි. ගැහැවිමහසල්කුලයෙන් නො පැවිදි වූයේ ගැහැවිමහසල්කුලයෙන් පැවිදි වූවකු සමග සිතින් තමා සමාන කෙරෙයි. බොහෝ සැපත් ඇති කුලයෙන් නො පැවිදි වූයේ බොහෝ සැපත් ඇති කුලයෙන් පැවිදි වූවකු හා සිතින් සමාන කෙරෙයි. සෞත්‍රාන්තික නො වූයේ සූත්‍රාන්තයෙහි යෙදුණාහු හා සිතින් තමා සමාන කෙරෙයි. විනයධර නොවූයේ - ධර්‍මකථික නො වූයේ - ආරණ්‍යක නො වූයේ - පිණ්ඩපාතික නො වූයේ - පාංශුකූලික නො වූයේ - ත්‍රෛචීවරික නො වූයේ - සපදානචාරික නො වූයේ - ඛලුපච්ඡාභත්තික නො වූයේ - නෛසජ්ජික නො වූයේ - යථාසන්‍ථතිකාඞ්ග නො වූයේ යථාසන්‍ථතිකාඞ්ග ඇත්තහු හා සිතින් තමා සමාන කෙරෙයි. ප්‍රථමධ්‍යානලාභී නො වූයේ ප්‍රථමධ්‍යානලාභී වූවහු හා සිතින් තමා සමාන කෙරෙයි. ද්විතීයධ්‍යානලාභී නො වූයේ - තෘතීයධ්‍යානලාභී නො වූයේ - චතුර්‍තථධ්‍යානලාභී නො වූයේ - ආකාසානඤ්‍චායතනසමාපත්තිලාභී නො වූයේ - විඤ්‍ඤාණඤ්‍චායතනසමාපත්තිලාභී නො වූයේ - ආකිඤ්‍චඤ්‍ඤායතනසමාපත්තිලාභී නො වූයේ - නෙවසඤ්‍ඤානාසඤ්‍ඤායතනසමාපත්තිලාභී නො වූයේ නෙවසඤ්‍ඤානාසඤ්‍ඤායතනසමාපත්තිලාභී වූවහු හා සිතින් තමා සමාන කෙරෙයි. මේ චෛතසික ප්‍රාගල්භ්‍යය යි.
පාගබ්භියං න සික්ඛෙය්‍ය - ප්‍රගල්භ බවෙහි නො හික්මෙන්නේ යැ, නො හැසිරෙන්නේ යැ, හාත්පසින් නො හැසිරෙන්නේ යැ, මොනවට නො හැසිරෙන්නේ යැ, සමාදන් වැ නො පවත්නේ යැ. ප්‍රගල්භ බව හරනේ යැ, දුරු කරන්නේ යැ, විගතාන්ත කරන්නේ යැ, අනභාවයට පමුණු වන්නේ යැ. ප්‍රාගල්භ්‍යයෙන් දුරු වූයේ වෙන්වූයේ වෙසෙසින් වෙන් වූයේ වන්නේ යැ, බැහැර වූයේ පහව ගියේ විප්‍රමුක්ත - විසංයුක්ත වූයේ විමර්‍ය්‍යාදීකෘත සිතින් යුක්ත වැ වසන්නේ නුයි ‘පාගබ්භියං න සික්ඛෙය්‍ය’ යනු වේ.
කථං විග්ගාහිකං න කථයෙය්‍ය - විග්‍රාහික කථාව කවරැ යත්: මෙහි කිසිවෙක් මෙබඳු කථාව කරන්නේ වෙයි: ‘තෙපි මේ ධර්‍මවිනය නො දනිවු... ඉදින් පොහොනවු නම් මුදාගනිවු’ යැයි. මේ වදාරන ලද මැය බුදුන් විසින්: “මුගලන, විග්‍රාහික කථාව ඇති කල්හි කථාබාහුල්‍යය කැමැති විය යුතු යැ. කථාබාහුල්‍යය ඇති කල්හි ඖද්ධත්‍යය වෙයි. උද්ධතයා හට අසංවරය වේ. සංවර රහිත වූවහු ගේ සිත සමාධියෙන් දුරු වේ යැ” යි.
කථං විග්ගාහිකං න කථයෙය්‍ය - විග්‍රාහික කථාව නො කියන්නේ යැ, නො බණන්නේ යැ, නො දක්වන්නේ යැ, නො වහරන්නේ යැ, විග්‍රාහික කථාව හරනේ යැ, දුරු කරන්නේ යැ, විගතාන්ත කරන්නේ යැ, අනභාවයට පමුණුවන්නේ යැ. විග්‍රාහික කථාවෙන් දුරු වූයේ වෙන් වූයේ වෙසෙසින් වෙන් වූයේ වන්නේ යැ, නික්මැගියේ පහවැගියේ වෙසෙසින් මිදුණේ වන්නේ යැ. විසංයුක්ත වූයේ විමර්‍ය්‍යාදීකෘත සිතින් යුක්ත වැ වාසය කරන්නේ නුයි ‘කථං විග්ගාහිකං න කථයෙය්‍ය’ යනු වේ.
එයින් වදාළහ බුදුහු:
“න ච කත්‍ථිකො සියා භික්ඛු -පෙ- කථං විග්ගාහිකං න කථයෙය්‍ය” යී.
14. 17.
සම්‍යක් ප්‍රඥා ඇති මහණ තෙම මුසවා බිණීමෙහි නො යෙදෙන්නේ යැ කපටිකම් නො කරන්නේ යැ. යළි දිවි පැවැත්මෙන් ප්‍රඥාවෙන් හා ශීලව්‍රතයෙන් අන්‍යයන් ඉක්මවා නො සිතන්නේ යි.
මොසවජ්ජෙ න නිය්‍යෙථ - ‘මොසවජ්ජ’ යී මෘෂාවාදය කියනු ලැබෙයි. මෙහි කිසිවෙක් සභාවට ගියේ හෝ පිරිස් වෙත ගියේ හෝ … අල්පමාත්‍ර ලාභයක් හේතු කොට හෝ දැනැ දනැ බොරු කියන්නේ වෙයි. මේ ‘මොසවජ්ජ’යී කියනු ලැබේ. තවද තුන් අයුරෙකින් මෘෂාවාදය වෙයි: පළමු මැ ඔහුට ‘මෘෂා කියන්නෙමී’ සිත වෙයි, කියන්නහුට ‘මෘෂා කියමී’ සිත වෙයි, කීවහුට ‘මා විසින් මෘෂා කියන ලදැ’ යි සිත වේ යයි. මේ තුන් අයුරෙන් මෘෂාවාදය වේ. තවද සතර අයුරෙකින් - පස් අයුරෙකින් - ෂඩාකාරයෙකින් -සත් අයුරෙකින් - අට අයුරෙකින් මෘෂාවාදය වෙයි: පළමු මැ ඔහුට ‘මුසවා කියන්නෙමි’ සිත වෙයි. කියන්නහුට ‘මුසවා කියමි’ සිත වෙයි. කීවහුට ‘මා විසින් මුසවා කියන ලදැ’ යි සිත වෙයි. ලබ්ධිය සඟවා, කැමැත්ත සඟවා, රුචිය සඟවා, සංඥාව සඟවා, භාවය සඟවා; මේ අෂ්ටාකාරයෙන් මෘෂාවාදය වේ.
මොසවජ්ජෙ න නිය්‍යෙථ - මෘෂාවාදයෙහි නො යවනු ලබන්නේ යැ නො කියනු ලබන්නේ යැ නො වහනු ලබන්නේ යැ නො හරිනු ලබන්නේ යැ මෘෂාවාදය හරනේ යැ දුරු කරන්නේ යැ විගතාන්ත කරන්නේ යැ අනභාවයට පමුණුවන්නේ යැ, මෘෂාවාදයෙන් දුරු වූයේ වෙන් වූයේ වෙසෙසින් වෙන් වූයේ වන්නේ යැ, නික්මුණේ බැහැර වූයේ විප්‍රමුක්ත වූයේ විසංයුක්ත වූයේ විමර්‍ය්‍යාදීකෘත සිතින් යුක්ත ව වෙසෙන්නේ නුයි ‘මොසවජ්ජෙ න නිය්‍යෙථ’ යනු වේ.
සම්පජානෝ සඨානි න කයිරා - ‘සාඨෙය්‍ය’ කවරැ යත්: මෙහි කිසිවෙක් ශඨ වූයේ හාත්පසින් ශඨ වූයේ වෙයි. එහි යම් (අසද්ගුණ දක්වන) කෛරාටික බවෙක් ශඨබවෙක් ශඨ්‍යයෙක් කර්‍කශබවෙක් ඉතා කර්‍කශ බවෙක් දැඩි කර්‍කශ බවෙක් ඉතා දැඩි කර්‍කශ බවෙක් වේ ද, මේ ‘සාඨෙය්‍ය’ යී කියනු ලැබෙයි.
සම්පජානෝ සඨානි න කයිරා - දැනගෙන් ශඨබව නො කරන්නේ යැ නො දනවන්නේ යැ නූපදවන්නේ යැ වෙසෙසින් නූපදවන්නේ යැ ශාඨ්‍යය හරනේ යැ දුරු කරන්නේ යැ විගතාන්ත කරන්නේ යැ අනභාවයට පමුණුවන්නේ යැ; ශාඨ්‍යයෙන් දුරු වූයේ වෙන් වූයේ වෙසෙසින් වෙන් වූයේ වන්නේ යැ, නික්මුණේ පහවැගියේ විප්‍රමුක්ත විසංයුක්ත වූයේ විමර්‍ය්‍යාදීකෘත සිතින් යුක්ත වැ වාසය කරන්නේ නුයි ‘සම්පජානෝ සඨානි න කයිරා’ යනු වේ.
අථ ජීවිතෙන පඤ්‍ඤාය සීලබ්බතෙන නාඤ්‍ඤමතිමඤ්ඤෙ - ‘අථ’ යනු පදසන්‍ධි යැ … පදානුපූර්‍වතා යැ තෙල ‘අථ’ යනු. මෙහි කිසිවෙක් රූක්‍ෂ ජීවිකාවෙන් ජීවත්වනුයේ මෙරමා ප්‍රණීතජිවිකාවෙන් ජීවත්වන්නහුට අවමන් කෙරෙයි: ‘මේ කවරෙක් ද? බහුලාජීව ඇතියේ සියල්ල කාදමයි. ඒ මෙසේයැ: මූලබීජ යැ ස්කන්‍ධබීජ යැ පර්‍වබීජ යැ අග්‍රබීජ යැ බීජබීජය මැ පස්වැනි වෙයි. මොහුගේ දත්කුළ සෙනවළල්ලෙකි. එහෙත් ප්‍රවාදයෙන් ශ්‍රමණ ය’ යි. හෙතෙම ඒ රූක්‍ෂජීවිකාව හේතු කොට ගෙන ප්‍රණීතජීවිකාවෙන් ජීවත්වන මෙරමා ඉක්මවා සිතයි. මෙහි කිසිවෙක් ප්‍රණීතජීවිකාවෙන් ජීවත්වනුයේ රළුදිවියෙන් ජීවත්වන මෙරමා ඉක්මවා සිතයි: ‘මේ කවරෙක් ද? මදපිනැත්තෙක අල්පයශස්කයෙක චීවරපිණ්ඩපාත - සේනාසන - ගිලන්පසබෙහෙසත්පිරිකර නො ලබන සුල්ලෙකැ යි. හෙතෙම ඒ ප්‍රණීතජීවිකාව හේතු කොටගෙන රළුදිවියෙන් ජීවත්වන මෙරමා ඉක්මවා සිතයි. මෙහි කිසිවෙක් නුවණැත්තේ වෙයි. හෙතෙම විචාරන ලදුයේ පැන විසඳයි. ඔහුට මෙබඳු සිතෙක් වෙයි: ‘මම් ප්‍රඥාසම්පන්නයෙම් වෙමි. මේ අන්‍යයෝ වැලිත් ප්‍රඥාසම්පන්නයෝ නො වෙති’ යි. හේ ඒ ප්‍රඥාසම්පත්තියෙන් මෙරමා ඉක්මවා සිතයි. මෙහි කිසිවෙක් ශීලසම්පන්න වෙයි. ප්‍රාතිමෝක්‍ෂසංවරයෙන් සංවර වූයේ ආචාරගෝචර දෙකින් යුක්ත වූයේ අණුමාත්‍ර දෝෂයෙහි භයදක්නා සුලු වැ වෙසෙයි. ශික්‍ෂාකොට්ඨාසයන් සමාදන් වැ හික්මෙයි. ඔහුට මෙබඳු සිතෙක් වෙයි: ‘මම් ශීලසම්පන්නයෙම් වෙමි. මේ අන්‍යයෝ දුශ්ශීලයෝ යැ, පාපධර්‍ම ඇත්තාහ’ යි. හේ ඒ ශීලසම්පත්තියෙන් මෙරමා ඉක්මවා සිතයි. මෙහි කිසිවෙක් ව්‍රතසම්පන්න වෙයි: ආරණ්‍යක හෝ පිණ්ඩපාතික හෝ පාංශුකූලික හෝ තෙචීවරික හෝ සපදානචාරික හෝ බලුපච්ඡාභත්තික හෝ නෙසජ්ජික හෝ යථාසන්‍ථතික හෝ වෙයි. ඔහුට මෙබඳු සිතෙක් වෙයි: මම් ව්‍රතසම්පන්නයෙම් වෙමි, මේ අන්‍යයෝ ව්‍රතසම්පන්නයෝ නො වෙතී’ යි. හේ ඒ ව්‍රතසම්පත්තියෙන් මෙරමා ඉක්මවා සිතයි.
අථ ජීවිතෙන පඤ්‍ඤාය සීලබ්බතෙන නාඤ්‍ඤමතිමඤ්ඤෙ - රූක්‍ෂ ජීවිකාවෙන් හෝ ප්‍රණීතජීවිකාවෙන් හෝ ප්‍රඥාසම්පත්තියෙන් හෝ ශීලසම්පත්තියෙන් හෝ ව්‍රතසම්පත්තියෙන් හෝ මෙරමා ඉක්මවා නොසිතන්නේ යැ, අවමන් නො කරන්නේ යැ, ඒ රූක්‍ෂජීවිකාදිය හේතු කොටගෙන මානය නූපදවන්නේ යැ, එයින් තද වූයේ වෙසෙසින් තද වූයේ නැඟු හිස ඇතියේ නො වන්නේ යැයි - ‘අථ ජීවිතෙන පඤ්‍ඤාය සීලබ්බතෙන නාඤ්‍ඤමතිමඤ්ඤෙ’ යනු වේ.
එයින් වදාළහ බුදුහු:
“මොසවජ්ජෙ න නිය්‍යෙථ -පෙ- සීලබ්බතෙන නාඤ්‍ඤමතිමඤ්ඤෙ” යී.
14. 18.
බැහැරී මහණුන්ගේ හෝ බොහෝ ක්‍ෂත්‍රියාදීන්ගේ හෝ අනිටු වූ බොහෝ බස් අසා ගැටුණේ රළු බසින් ඔවුන්ට පෙරළා නො කියන්නේ යැ. යම් හෙයකින් සන්හුන් රාගාදි කෙලෙස් ඇත්තාහු ප්‍රතිපක්‍ෂ බව නො කෙරෙත් ද, එහෙයිනි.
සුත්‍වා දුසිතො බහුං වාචං සමණානං වා පුථුවචනානං - ‘දුසිතො’ යනු: දූෂ්‍ය වූයේ ආක්‍රෝශ කරන ලදුයේ ගටන ලදුයේ අවඥා කරන ලදුයේ ගර්‍හා කරන ලදුයේ නුගුණ කියන ලදුයේ; සමණ නම්: මෙ සස්නෙන් බැහැර පැවිද්දට පැමිණියාහු පරිව්‍රාජ බවට පැමිණියාහු; පුථුවචනානං - ක්‍ෂත්‍රියයෝ ද බ්‍රාහ්මණ - වෛශ්‍ය - ශුද්‍ර - ගෘහස්ථ - ප්‍රව්‍රජිත - දෙව - මනුෂ්‍යයෝ ද; ඔහු අනිෂ්ට වූ අකාන්ත වූ අමනාප වූ බොහෝ වචනයන්ගෙන් ආක්‍රෝශ කරන්නාහු ය, පරිභව කරන්නාහු ය, කෝප කරන්නාහු ය, වෙසෙසින් කෝප කරන්නාහු ය, හිංසා කරන්නාහු ය, වෙහෙසන්නාහු ය, පෙළන්නාහු ය, වෙසෙසින් පෙළන්නාහු ය, නසන්නාහු ය, වෙසෙසින් නසන්නාහු ය, උපඝාත කරන්නාහු ය. ඔවුන්ගේ අනිෂ්ට වූ අකාන්ත වූ අමනාප වූ බොහෝ බස් අසා, ශ්‍රවණය කොට, ගෙන, විමසා සලකා නුයි - ‘සුත්‍වා දුසිතො බහුං වාචං සමණානං වා පුථුවචනානං’ යනු වේ.
ඵරුසෙන නෙ න පටිවජ්ජා - ‘ඵරුසෙන’ යනු: පරුෂ වූ කර්‍කශ වූ බසින්; න පටිවජ්ජා - පෙරළා නො කියන්නේ යැ, ආක්‍රෝශ කරන්නහුට පෙරළා ආක්‍රෝශ නො කරන්නේ යැ, කෝප කරන්නහුට පෙරළා කෝප නො කරන්නේ යැ, ඩබර කරන්නහුට පෙරළා ඩබර නො කරන්නේ යැ, කලහ නො කරන්නේ යැ, භණ්ඩන - විග්‍රහ - මෙධග නො කරන්නේ යැ, කලහභණ්ඩනවිග්‍රහවිවාදමෙධග හරනේ යැ, දුරු කරන්නේ යැ, විගතාන්ත කරන්න යැ, අනභාවයට පමුණුවන්නේ යැ, කලහභණ්ඩනවිග්‍රහවිවාදමෙධගයෙන් දුරු වූයේ වෙන් වූයේ වෙසෙසින් වෙන් වූයේ වන්නේ යැ, නික්මුණේ නික්මැගියේ විප්‍රමුක්ත විසංයුක්ත වූයේ විමර්‍ය්‍යාදීකෘත සිතින් වෙසෙන්නේ නුයි ‘ඵරුසෙන නෙ න පටිවජ්ජා’ යනු වේ.
න හි සන්තෝ පටිසෙනිං කරොන්ති - ‘සන්තෝ’ යනු: රාගය ශාන්ත වන බැවින් ශාන්ත යැ, ද්වේෂය - මෝහය - උපනාහය … සියලු අකුශලාභිසංස්කාරයන් ශාන්ත - ශමිත - ව්‍යුපශමිත වන බැවින් දවන ලද - නිවන ලද - විගත කළ - උරලන ලද බැවින් ශාන්ත - උපශාන්ත - ව්‍යුපශාන්ත - නිර්‍වෘත - පටිප්පස්සද්ධ නුයි ශාන්ත යැ.
න හි සන්තෝ පටිසෙනිං කරොන්ති - ශාන්ත වූවාහු ප්‍රතිවිරොධය ප්‍රතිමල්ල බව ප්‍රතිභණ්ඩනය ප්‍රතිපක්‍ෂ බව නො කෙරෙති, නො දනවති, නූපදවති, නො නිපදවති, නො පහළ කෙරෙත් නුයි ‘න හි සන්තෝ පටිසෙනිං කරොන්ති’ යනු වේ.
එයින් වදාළහ බුදුහු:
සුත්‍වා දුසිතො බහුං වාචං -පෙ- න හි සන්තෝ පටිසෙනිං කරොන්ති” යී
14. 19.
මහණ තෙමේ තෙල (යථෝක්ත) ධර්‍මය දැන (අනිත්‍යාදිය) විමසනුයේ සියලු කල්හි ස්මෘතිමත් වූයේ (ත්‍රිවිධ ශික්‍ෂාවෙහි) හික්මෙන්නේ යැ. (රාගාදීන්ගේ) නිවීම ශාන්තිය යි දැන ගෞතමබුද්ධශාසනයෙහි නො පමා වන්නේ යි.
එතඤ්ච ධම්මමඤ්ඤාය - ‘එතං’ යනු කියන ලද දෙසන ලද පනවන ලද පිහිටුවන ලද විවෘත කළ විභාග කළ ප්‍රකට කළ ප්‍රකාශ කළ; ධම්මමඤ්ඤාය - දැන තුලනය කොට තීරණය කොට විභාවනය කොට ප්‍රකාශ කොට නුයි මෙසේත් ‘එතඤ්ච ධම්මමඤ්ඤාය’ යනු වේ. නොහොත් (කායසුචරිතාදි) සමය ද (කායදුශ්චරිතාදි) විසමය ද දශකුශලකර්‍මපථය ද දශ අකුශලකර්‍මපථය ද සාවද්‍ය (අකුශල) අනවද්‍ය (කුශල) හීන - ප්‍රණීත - කෘෂ්ණ - ශුක්ල - විඥයන් විසින් ගර්හිත වූ විඥප්‍රශස්ත වූ ද ධර්‍මය දැන, දැනගෙන, තුලනය කොට, තීරණය කොට, විභාවනය කොට විභූත කොට නුයි මෙසේත් ‘එතඤ්ච ධම්මමඤ්ඤාය’ යනු වේ. නොහොත් සම්‍යක්ප්‍රතිපත්තිය අනුලෝම ප්‍රතිපත්තිය අවිරුද්ධප්‍රතිපත්තිය අන්වර්‍තථප්‍රතිපත්තිය ධර්‍මානුධර්‍මප්‍රතිපත්තිය ප්‍රාතිමෝක්‍ෂශීලයෙහි පරිපූරකාරිත්‍වය ඉන්‍ද්‍රියයන්හි ගොපිතද්වාරතාව භෝජනයෙහි මාත්‍රඥතාව ජාගර්‍ය්‍යානුයෝගය ස්මෘතිසම්ප්‍රජන්‍යය සතර සතිපට්ඨාන සතර සම්‍යක්ප්‍රධාන සතර ඍද්ධිපාද පඤ්චේන්‍ද්‍රිය පඤ්ච බල සප්ත බෝධ්‍යඞ්ග ආර්‍ය්‍යඅෂ්ටාඞ්ගිකමාර්‍ගය නිර්‍වාණය ද නිර්‍වාණගාමිනී ප්‍රතිපත්තිය ද යන ධර්‍මය දැන දැනගෙන තුලනය කොට තීරණය කොට විභාවන කොට විභූත කොට නුයි මෙසේත් ‘එතඤ්ච ධම්මමඤ්ඤාය’ යනු වේ.
විචිනං භික්ඛු සදා සතෝ සික්ඛෙ - ‘විචිනං’ යනු: (සිවුසස්) සොයනුයේ වෙන වෙන ම සොයනුයේ (වඩනුයේ) තුලනය කරනුයේ තීරණය කරනුයේ විභාවන කරනුයේ විභූත කරනුයේ සියලු සංස්කාරයෝ අනිත්‍යයහ’ යි … යම් කිසිවක් සමුදයධර්‍ම නම්, ඒ සියල්ල නැසෙන සුලු යයි වඩනුයේ වෙන වෙනම වඩනුයේ තුලනය කරනුයේ තීරණය කරනුයේ විභාවනය කරනුයේ විභූත කරනුයේ නුයි ‘විචිනං භික්ඛු’ යනු වේ. සදා යනු : සැමදා සියලු කල … පශ්චිම වයස්හි; සතෝ යනු : සතර කරුණෙකින් සිහි ඇතියේ කයෙහි කායානුපස්සනා සතිපට්ඨානය වඩමින් සිහි ඇතියේ … හෙතෙම ‘සිහි ඇතියේ’ යයි කියනු ලැබේ.
සික්ඛෙ යනු: ශික්‍ෂා තුනෙකි: අධිශීලශික්‍ෂා යැ. අධිචිත්තශික්‍ෂා යැ, අධිප්‍රඥාශික්‍ෂා යැයි. මෝ අධිප්‍රඥාශික්‍ෂා නමු. මේ ත්‍රිවිධ ශික්‍ෂාවන් ආවර්‍ජන කෙරෙමින් හික්මෙන්නේ යැ, … හික්මෙන්නේ යැ හැසිරෙන්නේ යැ මැනැවින් හැසිරෙන්නේ යැ සමාදන් වැ පවත්නේ නුයි ‘විචිනං භික්ඛු සදා සතෝ සික්ඛෙ’ යනු වේ.
සන්තීති නිබ්බුතිං ඤත්‍වා - රාගයාගේ නිවීම ශාන්තිය යි දැන ද්වේෂයාගේ මෝහයාගේ … සියලු අකුශලාභිසංස්කාරයන්ගේ නිවීම ‘ශාන්තිය’ යි දැන දැනගෙන තුලනය - තීරණය - විභාවනය - විභූත කොට නුයි ‘සන්තීති නිබ්බුතිං ඤත්‍වා’ යනු වේ.
සාසනෙ ගොතමස්ස නප්පමජ්ජෙය්‍ය - ගෞතමයන්ගේ ශාසනයෙහි බුද්ධශාසනයෙහි ජිනශාසනයෙහි තථාගතශාසනයෙහි දෙවදෙවයන්ගේ ශාසනයෙහි අර්‍හත්ශාසනයෙහි; නප්පමජ්ජෙය්‍ය - සකස් කොට කරන සුලු වන්නේ යැ සතතභාවයෙන් කරන සුලු වූයේ නො නැවත කරන සුලු වූයේ නො හැකුළුණු පැවතුම් ඇතියේ කුශලධර්‍මයන්හි නො තැබූ වීර්‍ය්‍යච්ඡන්ද ඇතියේ නො තැබූ වීර්‍ය්‍යධුර ඇතියේ ‘කවදා මම නො පිරිපුන් ශීලස්කන්‍ධය හෝ පුරම් ද … නො පිරිපුන් සමාධිස්කන්‍ධය හෝ ප්‍රඥාස්කන්‍ධය - විමුක්තිස්කන්‍ධය - විමුක්තිඥානදර්‍ශනස්කන්‍ධය - කවදා මම් (මඟනැණින්) නො දැනගත් දුක හෝ දානගනිම් ද, නොපුහුන් කෙලෙසුන් හෝ දුරු කෙරෙම් ද, නො වැඩූ මඟ හෝ වඩම් ද, නො පසක් කළ නිවන හෝ පසක් කෙරෙම් දැ’ යි එහි යම් ඡන්දයකුත් වෑයමකුත් උත්සාහයකුත් දැඩි උත්සාහයකුත් නොනැවැත්මකුත් සිහියකුත් නුවණකුත් වේ ද, (එබඳු වූ) කෙලෙස් තවන වීර්‍ය්‍ය උත්තමවීර්‍ය්‍යය අධිෂ්ඨානය නැවත නැවත යෙදීම කුශලධර්‍මයන්හි අප්‍රමාදය නුයි ‘සාසනෙ ගොතමස්ස නප්පමජ්ජෙය්‍ය’ යනු වේ.
එයින් වදාළහ බුදුහු:
එතඤ්ච ධම්මමඤ්ඤාය -පෙ- සාසනෙ ගොතමස්ස නප්පමජ්ජෙය්‍ය” යී.
14. 20.
රූපාදිය අභිභවනය කළා වූ ඒ බුදුහු (කෙලෙසුන් විසින්) නො මැඩුණේ ‘මෙසේ වී ලැ’ යි නො තකන ලද ආත්මප්‍රත්‍යක්‍ෂ වූ ධර්‍මය යම් හෙයකින් දුටු සේක් ද, එහෙයින් මැ ඒ භාග්‍යවත්හුගේ ශාසනයෙහි නො පමා වූයේ සියලු කල්හි (ඒ බුදුනට තිදොරින්) නමස්කාර කෙරෙමින් (ත්‍රිවිධ ශික්‍ෂායෙහි) හික්මෙන්නේ යැයි (බුදුහු වදාළ සේකි.)
අභිභු හි සො අනභිභූතො - ‘අභිභූ’ යනු: රූපයන් අභිභවනය කෙළේ ශබ්ද - ගන්‍ධ - රස - ස්ප්‍රෂ්ටව්‍ය - ධර්‍මයන් අභිභවනය කෙළේ, කිසි කෙලෙස් කෙනකුන් විසින් අනභිභූත වූයේ (- නො මැඩුණේ) ක්ලෙශප්‍රත්‍යය වූ පුනර්‍භවය දෙන්නා වූ දුක් සහිත වූ දුඃඛවිපාක වු මත්තෙහි ජාතිජරාමරණයට කාරණ වූ ඒ හීන වූ ලාමක වූ අකුශලධර්‍මයන් අභිභවනය කෙළේ නුයි ‘අභිභු හි සො අනභිභූතො’ යනු වේ.
සක්ඛිධම්මමනිතීහමදස්සී - ‘සක්ඛිධම්මං’ යනු : ‘මෙසේ මෙසේ වීලැ’ යි නො වැ, මේ ‘මෙසේ ලැ’ යි නො වැ, පරම්පරාකථාවෙන් නො වැ, පිටකසම්පදායෙන් නො වැ, තර්‍කහේතුවෙන් නො වැ, න්‍යායහේතුවෙන් නො වැ, (මේ මැනැවැයි) ආකාර සැලැකීමෙන් නො වැ, අප විසින් විමසා ගන්නා ලද දෘෂ්ටිය හා සම යයි නොවැ, තුමූ මැ තමන් විසින් අවබෝධ කළ තම හට ප්‍රත්‍යක්‍ෂ වූ ධර්‍මය දුටුවහ, දර්‍ශනය කළහ, අවලෝකනය කළහ, ප්‍රතිවේධ කළහ’ යි ‘සක්ඛිධම්මමනිතීහමදස්සී’ යනු වේ.
තස්මා හි තස්ස භගවතො සාසනෙ - ‘තස්මා’ යනු: එහෙයින් එ කරුණෙන් ඒ හේතුයෙන් ඒ ප්‍රත්‍යයෙන් ඒ නිදානයෙන්; තස්ස භගවතො සාසනෙ - ඒ භාග්‍යවත්හුගේ ශාසනයෙහි ගෞතමශාසනයෙහි බුද්ධශාසනයෙහි ජිනශාසනයෙහි තථාගතශාසනයෙහි දේවදේවයන්ගේ ශාසනයෙහි අර්‍හත්ශාසනයෙහි නුයි ‘තස්මා හි තස්ස භගවතො සාසනෙ’ යනු වේ.
අප්පමත්තො සදා නමස්සමනුසික්ඛෙති භගවා - ‘අප්පමත්තො’ යනු: සකස් කොට කරන සුලු වූයේ … කුශලධර්‍මයන්හි අප්‍රමාද වූයේ, සදා යනු: සැමදා සියලුදා සියලු කල … පශ්චිම වයස් කොටසෙහි; නමස්සං යනු: කයින් හෝ නමස්කාර කරනුයේ චවනයෙන් හෝ නමස්කාර කරනුයේ සිතින් හෝ නමස්කාර කරනුයේ අර්ත්‍ථානුගතප්‍රතිපත්තියෙන් හෝ නමස්කාර කරනුයේ ධර්‍මානුධර්‍ම (- නවලොවුතුරු දහම් හා විදසුන් ඈ) ප්‍රතිපත්තියෙන් නමස්කාර කරනුයේ සත්කාර කරනුයේ ගරු කරනුයේ බුහුමන් කරනුයේ පුදනුයේ අපචායන කරනුයේ. අනුසික්ඛෙ - ශික්‍ෂා තුනෙකි: අධිශීලශික්‍ෂා අධිචිත්තශික්‍ෂා අධිප්‍රඥාශික්‍ෂා … මෝ අධිප්‍රඥාශික්‍ෂා යි: මේ ත්‍රිවිධ ශික්‍ෂාවන් ආවර්‍ජන කෙරෙමින් හික්මෙන්නේ යැ … ප්‍රත්‍යක්‍ෂ කළ යුතු නිවන ප්‍රත්‍යක්‍ෂ කෙරෙමින් හික්මෙන්නේ යැ, හැසිරෙන්නේ යැ මැනැවින් හැසිරෙන්නේ යැ සමාදන් වැ පවත්නේ යි. භගවා යනු: ගෞරවාධිවචන යැ … මේ ‘භගවා’ යනු: අර්‍හත්ඵලය ප්‍රත්‍යක්‍ෂ කිරීමෙන් හෝ සර්‍වධර්‍මයන් ප්‍රත්‍යක්‍ෂ කිරීමෙන් උපන් ප්‍රඥප්තියකැ’ යි ‘අප්පමත්තො සදා නමස්සමනුසික්ඛෙ’ති භගවා’ යනු වේ.
එයින් වදාළහ බුදුහු:
”අභිභු හි සො අනභිභූතො -පෙ- සදා නමස්සමනුසික්ඛෙති භගවා” යී
තුදුස්වැනි තුවටක සූත්‍ර නිර්‍දෙශය සමාප්ත යී.
15.
අත්‌තදණ්‌ඩසූත්‍රනිර්දේශය
ඉක්බිති අත්තදණ්ඩසූත්‍ර නිර්‍දෙශය කියනු ලැබේ.
15. 1.
ආත්මදණ්ඩය (-තමාගේ කායාදි දුශ්චරිතය) හේතු කොටගෙන දෘෂ්ටධාර්මිකාදි භය උපන. (එසේ කල්හි) ප්‍රතිවිරුද්ධ වූ ජනයා බලවු. මා විසින් යම්සේ (තමා මැ තම හට) සංවේග උපදවන ලද ද, (එපරිද්දෙන්) සංවේගය ප්‍රකාශ කරන්නෙමි.
අත්තදණ්ඩා භයං ජාතං - ‘දණ්ඩා’ යනු: දණ්ඩයෝ තිදෙනෙකි: කායදණ්ඩ යැ, වාග්දණ්ඩ යැ, මනොදණ්ඩ යැයි. ත්‍රිවිධ කායදුශ්චරිතය කායදණ්ඩ යැ, චතුර්විධ වාග්දුශ්චරිතය වාග්දණ්ඩ යැ, ත්‍රිවිධ මනෝදුශ්චරිතය මනොදණ්ඩ යි. භයං යනු: භය දෙකෙකි: දෘෂ්ටධාර්මිකභය යැ සාම්පරායිකභය යි. දෘෂ්ටධාර්මිකභය කවරැ යත්: මෙලොවැ කිසිවෙක් කයින් දුශ්චරිතයෙහි හැසිරෙයි, වචනයෙන් දුශ්චරිතයෙහි හැසිරෙයි, සිතින් දුශ්චරිතයෙහි හැසිරෙයි, ප්‍රාණවධ දු කෙරෙයි, නුදුන් දෙය ද ගනී, ගෘහසන්‍ධි දු සිඳී, ගම් පැහැරීම ද ගෙවල් පැහැරීම ද මං පැහැරීම ද කෙරෙයි, පරඹුන් කරා ද යෙයි, මුසවා ද බෙණේ. ඒ තුලුහු අල්වාගෙන ‘දේවයිනි, මේ අපරාධකාරී සොරෙක, මොහුට යමක් කැමැති නම් ඒ දඬුවම් පැණවුව මැනැවැ’ යි රජුට දක්වති. රජ ඔහුට පරිභව බෙණෙයි. හෙතෙම පරිභව හේතුවෙන් බිය උපදවයි, දුක් දොම්නස් විඳී. තෙල බිය දුක් දොම්නස් ඔහුට කොයිනැ යත්: ආත්මදණ්ඩයෙන් (- තම පවින්) උපන හටගත නිපන වෙසෙසින් නිපන පහළ වී. මෙතෙකිනුදු රජ නො සතුටු වෙයි. රජ ඒ තුලුහු සිරබැඳුමෙන් හෝ රැහැන් බැඳුමෙන් හෝ හැකිලි බැඳුමෙන් හෝ වේවැල් බැඳුමෙන් හෝ ලතාබන්‍ධනයෙන් හෝ ප්‍රක්‍ෂෙපබන්‍ධනයෙන් හෝ පරික්‍ෂෙපබන්‍ධනයෙන් හෝ ග්‍රාමබන්‍ධනයෙන් හෝ නිගමබන්‍ධනයෙන් හෝ නගරබන්‍ධනයෙන් හෝ රාෂ්ට්‍රබන්‍ධනයෙන් හෝ ජනපදබන්‍ධනයෙන් හෝ බන්දවයි, යටත් පිරිසෙයින් ‘තට මෙයින් බැහැර යන්නට නො ලැබේ’ යයි (පළිබෝධ සඳහා) කියැයුතු ද කෙරෙයි. හෙතෙම බන්‍ධන හේතුවෙන් ද දුක් දොම්නස් විඳී. තෙල බිය දුක් දොම්නස් ඔහුට කොයිනැ යත්: ආත්මදණ්ඩයෙන් උපන හටගත නිපන වෙසෙසින් නිපන පහළ විය. තෙල පමණෙකිනු දු රජ නො සතුටු වෙයි. රජ ඔහුගේ ධනය සියයක් හෝ දහසක් හෝ සියදහසක් හෝ ගෙන්වා ගනී. හෙතෙම ධනහානිය හේතු කොටගෙන ද දුක් දොම්නස් විඳී. තෙල බිය දුක් දොම්නස් ඔහුට කොයිනැ යත්: ආත්මදණ්ඩයෙන් උපන, හටගත නිපන වෙසෙසින් නිපන පහළ විය. මෙතෙකිනු දු රජ නො සතුටු වෙයි. රජ ඔහුට විවිධ කම්කටොලු කරවයි.
කසයෙනු දු තළවයි, වේවැලිනු දු තළවයි, අඩදඬියෙනු දු තළවයි, අත ද සිඳී, පය ද සිඳී, අත්පා ද සිඳී, කන ද සිඳී, නැහැය ද සිඳී, කන්නාසා ද සිඳී, බිලඞ්ගථාලික කම්කටොලු දු කෙරෙයි, සක්මුඬු දු කෙරෙයි, රාහුමුඛ කම්කටොලු ද කෙරෙයි, ජෝතිමාලික කම්කටොලු ද කෙරෙයි, හත්‍ථපජ්ජෝතික කම්කටොලු දු කෙරෙයි, එරුවතු කම්කටොලු දු කෙරෙයි, තිහිරිවත් කම්කටොලු දු කෙරෙයි එණෙය්‍යක කම්කටොලු දු කෙරෙයි, බිලියෙන් සම්මස්නහර ද උපුටයි, කහවණුවම් ද කෙරෙයි, කාරමු දු ගල්වයි, පරිඝපරිවර්තන කම්කටොලු ද කෙරෙයි පලාලපිට්ඨික කම්කටොලු ද කෙරෙයි, රත්කළ තෙලු දු ඉසී, ශුනකයන් ලවා ද කවයි, දිවස්හුල ද හිඳුවයි, කඩුවෙනු දු හිස සිඳී; හෙතෙම කම්කටොලු හෙතුයෙනු දු දුක් දොම්නස් විඳී. තෙල බියදුක් දොම්නස් ඔහුට කොයින් උපනැ යත්: ආත්මදණ්ඩයෙන් උපන, හටගත නිපන වෙසෙසින් නිපන පහළ වූයේ වන. රජ මේ සතර දඩුවමට පොහොසත් (-සමර්‍ත්‍ථ) වේ.
හෙතෙම සිය පව්කැමින් කාබුන් මරණින් මතු සැප නැති දුකට ගති වූ විවසව පතිත වන නිරයට පැමිණෙයි; ඔහුට නිරයපාලයෝ පඤ්චවිධ බන්‍ධන නම් කම්කටොලු කරවති: රත් වූ යවුලක් අතෙහි ගසති, රත් යවුලක් දෙවැනි අතෙහි ගසති, රත් යවුලක් පයෙහි ගසති, රත් යවුලක් දෙවැනි පයෙහි ගසති, රත් යවුලක් ළමැද ගසත්. හේ එහි තියුණු වූ කටුක වූ දුක් වේදනා විඳී. යම් තාක් ඒ පව්කම් නො ගෙවේ නම්, ඒ තාක් නො ද මියෙයි. තෙල බිය දුක් දොම්නස් ඔහුට කොයින් උපනැ යත්: ආත්මදණ්ඩ හේතුවෙන් ජාත යැ සඤ්ජාත යැ නිර්‍වෘත යැ අභිනිර්‍වෘත යැ ප්‍රාදුර්භූත යි. යමපල්හු ඒ පව්කම් කළහු බිමැ හොවා කෙටේරියෙන් සස්ති; හේ එහි තියුණු කටුක දුක් වේදනා විඳී. යම් තාක් ඒ පව්කම් නො ගෙවේ නම්, ඒ තාක් නො ද මියෙයි. යමපල්හු ඒ පව්කම් කළහු ඌර්ධ්වපාද කොට අධඃශීර්‍ෂ කොට ගෙන වෑයෙන් සස්ති. ඒ පව්කම් කළහු නිරයපාලයෝ (ගින්නෙන් දිලියෙන) රියෙහි යොදා හාත්පසින් දැල්වෙන අතිශයින් දිලියෙන ගිනිදැල් සහිත වූ පොළොවෙහි ඉදිරියට ඇවිදුවන්නාහු ද නවතන්නාහු ද වෙති, පව්කම් කළ ඔහු යමපල්හු ආදීප්ත වූ සම්ප්‍රජ්වලිත වූ ජ්වාලා සහිත වූ මහත් අඞ්ගාරපර්‍වතයට නංවති. බස්වන්නාහු ද වෙත් … යමපල්හු පව්කම් කළ ඔහු ඌර්ධ්වපාද අධඃශීර්‍ෂ කොට ගෙන තප්ත වූ ආදීපත් වූ සම්ප්‍රජ්වලිත වූ ජ්වාලා සහිත වූ ලෝහකුම්භියෙහි ප්‍රක්‍ෂේප කෙරෙත්. හේ එහි පෙණපිඬක් බඳු දේහ ඇති වැ පැසෙයි. හේ එහි පෙණපිඬක් බඳු දේහ ඇති වැ පැස්නේ වරක් උඩට ද නැඟෙයි, වරක් යටට ද බසී. වරක් සරස ද ඇවිදී. හේ එහි තීව්‍ර වූ කටුක වූ දුක් වේදනා විඳී. යම් තාක් ඒ පව්කමේ නො ගෙවේ නම්, ඒ තාක් නො ද මියෙයි. තෙල බිය දුක් දොම්නස් ඔහුට කොයින් උපනැ යත්: ආත්මදණ්ඩයෙන් (සිය කැමින්) උපන, සඤ්ජාත යැ නිර්‍වෘත යැ ප්‍රාදුර්භූත යි. ඒ පව්කම් කළ ඔහු යමපල්හු මහානිරයෙහි ප්‍රක්‍ෂේප කෙරෙත්. ඒ මහානිරය වූ කලි:
1. (ඒ මහානිරය) සතර කන් ඇත්තේ යැ, සතර දොර යැ, වෙන වෙන මැ කොටස් වශයෙන් බෙදන ලද, යපවුරෙන් පරික්‍ෂිප්ත යැ, යපියනින් වසන ලද.
2. ඒ මහානරකයාගේ යපොළොව ජ්වලිත වූවා තේජසින් යුක්ත යැ. හාත්පස සියක් යොදුන් තැනැ සියලු කල්හි පැතිරැ සිටී.
3. (ඒ අෂ්ට මහානරකයෝ) නිරතුරු තවන්නාහු ඝෝර වූවාහු (කල්පස්ථායී) ගිනිසිළු ඇත්තාහු ළංවියැ නො හැක්කාහු ලොමුදහන පියවි ඇත්තාහු බිහිසුණු වූවාහු බිය උපදවන්නාහු දුක් වූවාහු ද වෙත්.
4. පෙරදිග බිතින් නැගුණු ගිනිකඳ පව්කම් කළ සත්ත්‍වයන් දවමින් (ගොස්) පැසුළු බිතැ වැදෙයි.
5. පශ්චිම භිත්තියෙන් නැගුණු ගිනිකඳ පව්කම් කළ සත්ත්‍වයන් දවමින් ගොස් පූර්‍වභිත්තියෙහි වැදෙයි.
6. උතුරු බිතින් නැගුණු ගිනිකඳ පව්කම් කළවුන් දවමින් ගොස් දකුණු බිතැ වැදෙයි.
7. දකුණු බිතින් නැගුණු ගිනිකඳ පව්කම් කළවුන් දවමින් ගොස් උතුරු බිතැ වැදෙයි.
8. යට පොළොවිනු දු බිය එළවන ගිනිකඳ නැඟී පව්කම් කළවුන් දවමින් ගොස් ඡදනයෙහි (- සියන්හි) පැහැරැ සිටී.
9. ඡදනයෙන් බිය එළවන ගිනිකඳ නැඟී පාපකර්‍ම කළ සත්ත්‍වයන් දවමින් ගොස් බිම පැහැරැ සිටී.
10. අවීචිනරකය උඩ යට බලනුවහුට හාත්පසින් දිලියෙන අතිශයින් තැවුණු දැල්වුණු යකබලක් මෙනි.
11. එහි මහද්රෞද්‍ර වූ මහදරුණුකම් කරන සුලු වූ අතිශයින් පව්කම් ඇති සත්ත්‍වයෝ පැසෙති, නො ද මියෙත්.
12. ඒ නිරෑවැසියන්ගේ කය ගිනි වැන්න. කර්‍මයන්ගේ දැඩි සේ බල හළු නො වෙයි, දැලි නො වේ.
13. (කිසි කලෙක පූර්‍වද්වාරය විවෘත වූ කල්හි) ඒ දිගට ද දිවෙති, යළි පශ්චිමද්වාරයට දිවෙති, උත්තරද්වාරයට දිවෙති, යළි දක්‍ෂිණද්වාරයට දිවෙත්.
14. යම් යම් දිශාවකට වේගයෙන් දිවෙත් නම්, (සම්ප්‍රාප්ත කල්හි) ඒ ඒ ද්වාරය වැසෙයි. නික්මැ යන ආශා ඇති ඒ නිරිසත්හු මිදෙන උපාය සොයන්නාහු වෙත්.
15. කර්‍මහේතුයෙන් ඔහු එයින් නික්මෙන්නට නො ලැබෙති. යම් හෙයකින් ඔවුන් විසින් නො පැසුණු විපාක ඇති පාපකර්‍මය බොහෝ කොට කරන ලද ද එහෙයිනි.
තෙල බිය දුක් දොම්නස් ඔහුට කොයින් උපනැ යත්: ආත්මදණ්ඩය හේතු කොට ජාත යැ සඤ්ජාත යැ නිර්‍වෘත යැ අභිනිර්‍වෘත යැ ප්‍රාදුර්භූත යි. යම් නිරයදුකක් තිරිසන්යොන්හි යම් දුකක් ප්‍රේතවිෂයෙහි යම් දුකක් මානුෂ වූ යම් දුකකුත් වෙත් නම්, එ දුක් කොයින් උපන්නාහු ද, කොයින් හටගත්තාහු ද, කොයින් නිපන්නාහු ද, කොයින් වෙසෙසින් නිපන්නාහු ද, කොයින් පහළ වූවාහු ද යත්: ආත්මදණ්ඩයෙන් ජාත - සඤ්ජාත - නිර්‍වෘත -අභිනිර්‍වෘත - ප්‍රාදුර්භූත වූවාහුය.
අත්තදණ්ඩං භයං ජාතං ජනං පස්සථ මෙධගං - ක්‍ෂත්‍රියයෝ ද බ්‍රාහ්මණයෝ ද වෛශ්‍යයෝ ද ශුද්‍රයෝ ද ගෘහස්ථයෝ ද ප්‍රව්‍රජිතයෝ ද දේවතාවෝ ද මනුෂ්‍යයෝ ද යන හිංසාවට පැමිණි ජනයා කලහ කරන - විරුද්ධ වූ - ප්‍රතිවිරුද්ධ වූ - ආහත වූ - ප්‍රත්‍යාහත වූ - පීඩිත වූ - ප්‍රතිපීඩිත වූ ජනයා බලවු, දකිවු, අවලොකනය කරවු, නැවත නැවත සිතවු, නැවත නැවත පරීක්‍ෂා කරවු යයි ‘ජනං පස්සථ මෙධගං’ යනු වේ.