Mahāniddesa

Great Exposition

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-29 · 2295 segments

පෙන්වන කොටස් 1601-1700 න් 2295

2. ඒ තථාගතයන් විසින් මේ ත්‍රෛධාතුකලෝකයෙහි (මෙ කල හෝ පැනැසින් නුදුටු කිසිවක් නැත, යළි (අතීත වූ) නො දත් කිසිවක් නැත, (අනාගත වූ) නො දැනෙන කිසි (ධර්‍මජාතයෙකු) දු නැත. දතයුතු වූ යම් ධර්‍මජාතයෙක් වේ නම් ඒ සියල්ල අවබෝධ කළහ. එහෙයින් තථාගතයෝ ‘සමන්තචක්ඛු’ වූහ.
මෙසේ බුදුහු සර්‍වඥතාඥානයෙනු දු ‘විවටචක්ඛු’ වූවාහු නුයි ‘අකිත්තයී විවටචක්ඛු’ යනු වේ.
සක්ඛිධම්මං පරිස්සයවිනයං - ‘සක්ඛිධම්මං’ යනු: ‘මෙසේ මෙසේ වී ලැ’යි නො වැ, ‘තෙල මෙසේ ලැ’ යි නො වැ, පරම්පරාකථාවෙනු දු නො වැ. ‘පිටක සම්ප්‍රදාය හා සම වේ යැ’ යි නො වැ, තර්‍කහේතුවෙනු දු නො වැ, නයග්‍රහණයෙනු දු නො වැ, (‘මේ සොඳුරු යැ’ යි ) කරුණු සැලකීමෙනු දු නො වැ ‘අපට රුචි වූ දෘෂ්ටිය හා සම වේ යැ’ යි නො වැ, තෙමේ මැ තමා විසින් නුවණින් අවබෝධ කළ, තමා විසින් ප්‍රත්‍යවේක්‍ෂා කළ ධර්‍මය නුයි ‘සක්ඛිධම්මං’ යනු වේ.
පරිස්සයවිනයං - පරිස්සය යනු: ප්‍රකට උපද්‍රවයෝ ද, ප්‍රතිච්ඡන්න උපද්‍රවයෝ දැයි පරිශ්‍රය දෙකෙකි:
ප්‍රකට උපද්‍රවයෝ කවරහ යත්: සිහ යැ වග යැ දිවි යැ වලස් යැ තරස් යැ වෘක යැ මහිෂ යැ ඇත් යැ අහි යැ නුහුසු යැ කළ සොරකම් ඇති හෝ නැති හෝ සොරු හෝ සහැසියෝ හෝ වන්නාහුය. චක්‍ෂුරොග යැ ශ්‍රෝත්‍රරෝග යැ ඝ්‍රාණරොග යැ ජිහ්වාරෝග යැ කායරොග යැ ශීර්‍ෂරොග යැ මුඛරොග යැ දන්තරෝග යැ කාශ යැ ශ්වාස යැ පීනස යැ දාහ යැ ජව ර යැ කුක්‍ෂිරොග යැ මුර්ඡා යැ ලොහිතාතීසාර යැ ආමශූල යැ මහාවිරේචන යැ කුෂ්ට යැ ගණ්ඩ යැ කබර යැ ක්‍ෂයරොග යැ වස්මර යැ දද යැ කණ්ඩුති යැ මහාකුෂ්ට යැ නියහිරි යැ අතුල් පතුල් පැළීම යැ රත්පිත යැ මධුමේහ යැ අර්ශස් යැ පොළ යැ භගන්‍දරා යැ පිතින් උපදනා රෝග යැ සෙමින් උපදනා රෝග යැ වයින් උපදනා රෝග යැ තුන්දොසින් උපදනා රෝග යැ, ඍතු විපර්‍ය්‍යාසයෙන් උපදනා රෝග යැ විෂම පැවැත්මෙන් උපදනා රෝග යැ උපක්‍රමයෙන් හටගන්නා රෝග යැ කර්‍මවිපාකයෙන් හටගන්නා රෝග යැ, ශීත - උෂ්ණ - සා - පවස් - මල - මූ යැ, මැසි - මදුරු - වා - අව් - දික්දැපහස් යැ යන මොහු හෝ යි. මොහු ප්‍රකට උපද්‍රවයෝ යැයි කියනු ලැබෙත්.
ප්‍රතිච්ඡන්න උපද්‍රවයෝ කවරහ යත්: කායදුශ්චරිත යැ වාග්දුශ්චරිත යැ මනෝදුශ්චරිත යැ, කාමච්ඡන්‍දනීවරණ යැ ව්‍යාපාදනීවරණ යැ ථීනමිද්ධනීවරණ යැ උද්ධච්චකුක්කුච්චනීවරණ යැ විචිකිච්ඡානීවරණ යැ, රාග යැ ද්වේෂ යැ මෝහ යැ ක්‍රෝධ යැ බද්ධවෛර යැ මකුබව යැ යුගග්‍රාහ යැ ඊර්‍ෂ්‍යා යැ මාත්සර්‍ය්‍ය යැ මායා යැ ශාඨ්‍ය යැ ස්තබ්ධ යැ කරණුත්තරියකරණ යැ මාන යැ අතිමාන යැ මද යැ ප්‍රමාද යැ, සියලු ක්ලේශයෝ යැ, සියලු දුශ්චරිතයෝ යැ, සියලු දරථයෝ යැ, සියලු පරිදාහයෝ යැ, සිලු සන්තාපයෝ යැ සියලු අකුශලාභිසංස්කාරයෝ යැ, යන මොහු ප්‍රතිච්ඡන්න උපද්‍රවයෝ යැයි කියනු ලැබෙත්.
පරිස්සයා යනු: කවර අරුතෙකින් පරිශ්‍රය වූවාහු ද යත්: පරිසහනය කෙරෙත් නුයි පරිශ්‍රයයෝ යැ, පරිහාණයට වැටෙත් නුයි පරිශ්‍රයයෝ යැ එහි වෙසෙත් නුයි පරිශ්‍රයයෝ යි. කිසෙයින් පරිසහනය කෙරෙත් නුයි පරිශ්‍රය වූහ යත්? ඒ උපද්‍රවයෝ ඒ පුඟුල්හු සහනය කෙරෙති, හාත්පසින් සහනය කෙරෙති, අභිභවනය කෙරෙති, යටපත් කෙරෙති, හාත්පසින් අල්වාගනිති, මර්දනය කෙරෙත්. මෙසෙයින් පරිසහනය කෙරෙත් නුයි පරිශ්‍රය නම් වෙත්. කිසෙයින් පරිහාණයට වැටෙත් නුයි පරිශ්‍රය වූහ යත්? ඒ උපද්‍රවයෝ කුශලධර්‍මයන්ගේ අන්තරාය පිණිස පිරිහීම පිණිස පවත්නාහුය. කවර කුශලධර්‍මයන්ගේ ද යත්? සම්‍යක්ප්‍රතිපත්තිය අනුලොමප්‍රතිපත්තිය අවිරුද්ධප්‍රතිපත්තිය අනවර්‍තථප්‍රතිපත්තිය ධර්‍මානුධර්‍මප්‍රතිපත්තිය ප්‍රාතිමොක්‍ෂසීලයෙහි පරිපූරකාරිත්‍වය ඉන්‍ද්‍රියයන්හි ගොපිනද්වාර ඇතිබව භෝජනයෙහි මාත්‍රඥ බව නිදි දුරුකිරීමෙහි යෙදීම ස්මෘතිසම්ප්‍රඥානය, සතර සීවටන් භාවනාවෙයි යෙදීම සතර සම්‍යක්ප්‍රධානය සතර ඍද්ධිපාදය පඤ්චේන්‍ද්‍රියය පඤ්චබලය සප්ත බෝධ්‍යඞ්ගය ආර්‍ය්‍ය අෂ්ටාඞ්ගික මාර්‍ගය (යන මොවුන්ගේ) භාවනාවෙහි යෙදීම - (යන) මේ කුශලධර්‍මයන් ගේ අන්තරාය පිණිස පිරිහීම පිණිස පවතිත්. මෙසේත් පරිහාණයට වැටෙත් නුයි පරිශ්‍රය නම් වෙත්.
කිසෙයින් එහි වෙසෙත් නුයි පරිශ්‍රය වූහ යත්: ඒ ආත්මභාවයෙහි තෙල ලාමක අකුශලධර්‍මයෝ ආත්මභාවය ඇසුරු කොට උපදිත්. යම්සේ බිලයෙහි බිලාශ්‍රය ප්‍රාණීහු හොවිත් ද, දියෙහි ජලාශ්‍රය ප්‍රාණීහු හොවිත් ද, වෙනෙහි වනාශ්‍රය ප්‍රාණීහු හොවිත් ද, රුකෙහි වෘක්‍ෂාශ්‍රය ප්‍රාණීහු හොවිත් ද, එසෙයින් ම ඒ අත්බවෙහි තෙල ලාමක අකුශලධර්‍මයෝ ආත්මභාවය ඇසුරු කොට උපදිත් නුයි මෙසේත් එහි වෙසෙත් නුයි පරිශ්‍රය නම් වෙත්.
මේ වදාරන ලද මැයි බුදුන් විසින්:
“මහණෙනි, සාන්තේවාසික වූ (- අන්තේවාසික කෙලෙස් සමග වසන ) සාචාර්‍ය්‍යක වූ (- සමුදාචරණ කෙලෙස් සමග වසන) මහණ තෙමේ දුකසේ නො සුවසේ වෙසෙයි. මහණෙනි, කිසෙයින් සාන්තේවාසික වූ සාචාර්‍ය්‍යක වූ මහණ දුකසේ නො සුවසේ වෙසෙයි යත්: ‘මහණෙනි, මෙහි මහණක් හට ඇසින් රූපයක් දැක, (නොයෙක් අරමුණෙහි හැසිරීම් වශයෙන් උපන්) සඞ්කල්පනා ඇති සංයෝජනයන්ට හිත වූ ලාමක අකුශලධර්‍ම කෙනෙක් උපදනාහු නම්, ඒ ලාමක අකුශලධර්‍මයෝ ඔහුගේ සිත තුළ වෙසෙති, ඔහුගේ සන්තානය අනුව ගොස් වෙසෙත් නුයි එහෙයින් සාන්තේවාසික යී කියනු ලැබෙයි. ඒ ලාමක අකුශලධර්‍මයෝ ඔහු කෙරෙහි නිරතුරු හැසිරෙති, ඔහු හෝ හසුරුවත් නුයි එහෙයින් ’සාචරියක’ යී කියනු ලැබේ. තවද මහණෙනි, මහණක්හට කනින් ශබ්දයක් අසා නැහැයෙන් ගන්‍ධයක් ආඝ්‍රාණය කොට - දිවින් රසයක් විඳ - කයින් පහසක් පැහැස - මනසින් දහමක් දැන අරමුණෙහි හැසිරීමෙන් උපන් සඞ්කල්පනා ඇති සංයෝජනයන්ට හිත වූ ලාමක අකුශලධර්‍ම කෙනෙක් උපදනාහු නම් ඒ ලාමක අකුශලධර්‍මයෝ ඔහුගේ සිත තුළ වෙසෙති, ඔහුගේ සන්තානය අනුව ගොස් වෙසෙත් නුයි එහෙයින් ‘සාන්තේවාසික’ යි කියනු ලැබෙයි. ඒ ලාමක අකුශලධර්‍මයෝ ඔහු කෙරෙහි හැසිරෙති. ඔහු හෝ හසුරුවත් නුයි එහෙයින් ‘සාචරියක’ යයි කියනු ලැබේ. මෙසේත් මහණෙනි, සාන්තේවාසික වූ සාචරියක වූ මහණ දුකසේ නො සුවසේ වෙසේ යයි. මෙසේත් එහි වෙසෙත් නුයි පරිශ්‍රය වෙත්.
වදාරන ලද මැය බුදුන් විසින්:
“මහණෙනි, මේ ඇතුළත මලයෝ ඇතුළත අමිත්‍රයෝ ඇතුළත සතුරෝ ඇතුළත වධකයෝ ඇතුළත පසමිතුරෝ තිදෙනෙක් වෙති. කවර තිදෙනෙක් ද යත්: මහණෙනි, ලෝභය ඇතුළත මල යැ ඇතුළත අමිත්‍ර යැ ඇතුළත සතුරු යැ ඇතුළත වධක යැ ඇතුළත පසමිතුරු යි. මහණෙනි, ද්වේෂය - මහණෙනි, මෝහය අන්තර්මල යැ අන්තරමිත්‍ර යැ අන්තර් සපත්න යැ අන්තර් වධක යැ අන්තර් ප්‍රත්‍යනීක යි. මහණෙනි, මොහු තිදෙන අන්තර් මලයෝ යැ අන්තරමිත්‍රයෝ යැ අන්තර් සපත්නයෝ යැ අන්තර් වධකයෝ යැ අන්තර් ප්‍රත්‍යනීකයෝ යැ” යි.
3. ලෝභය අනර්‍තථ උපදවන්නේ යැ. ලෝභය (කුසල්) සිත වළහන්නේ යැ. අභ්‍යන්තරයෙහි උපන් භයෙකැ. බාලජන තෙමේ එය නොදනී.
4. ලෝභී තෙමේ (ලොවී - ලොවුතුරා) අර්‍ත්‍ථය නො දනී. ලුබ්ධ තෙමේ දහම් නො දකී. යම් හෙයකින් ලෝභය තෙමේ මිනිසා අභිභවා ද එකල්හි බහලාන්‍ධකාරය වේ.
5. ද්වේෂය අනර්‍තථජනක යැ. ද්වේෂය කුසල් සිත වළහන්නේ යැ. ඇතුළත උපන් භයෙකැ. බාලජන තෙමේ එය නො දැනගනී.
6. කිපියේ අර්‍ත්‍ථය නො මැ දනී. කිපියේ අනර්‍තථහේතුව නො දකී. යම් හෙයකින් ක්‍රෝධය මිනිසා අභිභවා ද එකල්හි බහලාන්‍ධකාරය වේ.
7. මෝහය අනර්‍තථජනක යැ. මෝහය කුසල්සිත වළහන්නේ යැ. සිත තුළ උපන් භයෙකැ. බාලජන තෙමේ එය අවබෝධ නො කෙරේ.
8. මූඪ වූයේ ලෞකික - ලෝකොත්තරාර්‍තථය නො දනී. මූඪ තෙමේ අනර්‍තථහේතුව නො දකී. යම් හෙයකින් මෝහය තෙමේ මිනිසා අභිභවා ද එකල්හි බහල වූ මෝහාන්‍ධකාරය වේ යයි.
මෙසේත් තත්‍රාශය නුයි පරිශ්‍රයයෝ යි.
මේ වදාරන ලද මැය බුදුන් විසින්:
“මහරජ, මේ ධර්‍මයෝ තිදෙනෙක් පුරුෂයාගේ අධ්‍යාත්මයෙහි උපදනාහු අහිත පිණිස දුක් පිණිස නො සුවසේ වාසය පිණිස උපදනාහුය. කවර තිදෙනෙක් ද යත්: මහරජ, ලෝභය පුරුෂයාගේ සිත තුළ උපදනේ අහිතට දුකට නො සුවවිහරණයට උපදී. මහරජ, ද්වේෂය … මහරජ, මෝහය පුරුෂයාගේ අධ්‍යාත්මයෙහි උපදනේ අහිතට දුකට අඵාසුවිහරණයට උපදී. මහරජ, මේ තුන් ධර්‍මයෝ පුරුෂයාගේ අධ්‍යාත්මයෙහි උපදනාහු අහිතට දුකට අඵාසුවිහරණයට උපදනාහු” යි.
9. ලෝභය ද ද්වේෂය ද මෝහය ද තම සිත තුළ උපන්නාහු ස්වකීය ඵලය හුණගස සෙයින් පව්සිත් ඇති මිනිසා වනසත්.
මෙසේත් තත්‍රාශය නුයි පරිශ්‍රය නම් වෙත්.
මේ වදාරන ලද මැයි බුදුන් විසින්:
10. රාගයත් ද්වේෂයත් මේ ආත්මභාවය නිදාන කොට ඇත්තාහුය. අරතිය රතිය හා රොමහර්‍ෂයෝ මේ අත්බවින් උපන්නාහ. පාපවිතර්‍කයෝ මේ අත්බවින් ඉපිද කුමරහු හුයින් පා බැඳි කවුඩක්හු සෙයින් හැරපියත්.
මෙසේත් තත්‍රාශය නුයි පරිශ්‍රය නම් වෙත්.
පරිස්සයවිනයං - උපද්‍රවප්‍රහාණය උපද්‍රව සන්හිඳීම උපද්‍රව හැරැපීම උපද්‍රව දුරැලීම වූ අමාමහ නිවන නුයි ‘සක්ඛිධම්මං පරිස්සයවිනයං’ යනු වේ.
පටිපදං වදෙහි භද්දන්තෙ - ප්‍රතිපත්තිය වදාළ මැනැව, සම්‍යක් ප්‍රතිපත්තිය අනුලොමප්‍රතිපත්තිය අවිරුද්ධප්‍රතිපත්තිය අනවර්‍තථප්‍රතිපත්තිය ධර්‍මානුධර්‍මප්‍රතිපත්තිය ප්‍රාතිමෝක්‍ෂශීලයෙහි පරිපූරකාරිත්‍වය ඉන්‍ද්‍රියයන්හි ගොපිතද්වාරතාව භෝජනයෙහි මාත්‍රඥතාව ජාගර්‍ය්‍යානුයෝගය ස්මෘතිසම්ප්‍රජන්‍යය සතර සතිපට්ඨාන සතර සම්‍යක්ප්‍රධාන සතර ඍද්ධිපාද පඤ්චේන්‍ද්‍රිය පඤ්ච බල සප්ත බෝධ්‍යඞ්ග ආර්‍ය්‍යඅෂ්ටාඞ්ගිකමාර්‍ගය හා නිර්‍වාණය ද නිර්‍වාණගාමිනීප්‍රතිපත්තිය ද, වදෙහි - පැවසුව මැනව, දෙසුව මැනව, පැනවුව මැනව, තැබුව මැනව, විවෘත කළ මැනව, විභාග කළ මැනව, ප්‍රකට කළ මැනව, ප්‍රකාශ කළ මැනවැ යි ‘පටිපදං වදෙහි’ යනු වේ. භද්දන්තෙ යනු ඒ නිර්මිත බුදුහු භාග්‍යවත් බුදුන් ආමන්ත්‍රණය කෙරෙති. නොහොත් නුඹ වහන්සේ යම් දහමක් පැවසූහු ද පැනවූහු ද තැබූහු ද විවෘත කළහු ද විභාග කළහු ද ප්‍රකට කළහු ද දෙසූහු ද, ඒ සියල්ල සුන්‍දර යැ භද්‍ර යැ කල්‍යාණ යැ අනවද්‍ය යැ සේවිතව්‍ය නුයි ‘පටිපදං වදෙහි භද්දන්තෙ’ යනු වේ.
පාතිමොක්ඛමථවාපි සමාධිං ‘පාතිමෝක්ඛං’ යනු: කුශලධර්‍මයන්ගේ සමාපත්තියට ( - ලැබීමට) ශීලය ප්‍රතිෂ්ඨා යැ ආදි යැ පාද යැ සංයම යැ සංවර යැ ද්වාර යැ ප්‍රමුඛ යි. අථවාපි සමාධිං - සිත (අරමුණෙහි නිශ්චලව) යම් සිටීමෙක් මොනවට සිටීමෙක් බැසගෙන සිටීමෙක් (උද්ධච්ච - විචිකිච්ඡා වසයෙන්) චිත්තයාගේ නො පැතිරීමෙක් සිත නො විසිරීමෙක් චිත්තයාගේ නො පැතුරුණු බවෙක් සමථයෙක් සමාධීන්‍ද්‍රියයෙක් සමාධිබලයෙක් සම්‍යක්සමාධියෙක් නුයි ‘පාතිමොක්ඛමථවාපි සමාධිං’ යනු වේ.
එයින් කීහ ඒ නිර්මිත බුදුහු:
“අකිත්තයි විවටචක්ඛු -පෙ- පාතිමොක්ඛමථවාපි සමාධිං” යී.
ඇසින් (රූපදර්‍ශනයට) ලොල් වූයේ නො මැ වන්නේ යැ. ග්‍රාම්‍ය (තිරශ්චීන) කථාවෙන් කන වළහන්නේ යැ. (මූලරසාදි) රසයෙහි දු නො ගිජු වන්නේ යැ. ලොවැ (රූපාදි) කිසිවක් (තෘෂ්ණා - දෘෂ්ටි) මමත්‍වයෙන් නො ගන්නේ යි.
චක්ඛුහි නේව ලොලස්ස - කිසෙයින් චක්ඛුලොල වෙයි යත්: මෙහි කිසි මහණෙක් (සක්දොර උපන් ලෝභ විසින්) ඇසින් ලොල්වූයේ චක්‍ෂුර්ලෞල්‍ය යෙන් සමන්‍විත වෙයි. ’නුදුටු රූපාලම්බනය දැක්ක යුතු යැ, දක්නා ලද්ද ඉක්මැවියැ යුතු යැ’ යි අරමින් අරමට උයනින් උයනට ගමින් ගමට නිගමයෙන් නිගමයට නුවරින් නුවරට රටින් රටට දනව්වෙන් දනව්වට දීර්‍ඝ චාරිකාවෙහි නො නිමි චාරිකාවෙහි යෙදුණේ රූපදර්‍ශනය සඳහා හැසිරෙයි. මෙසේත් චක්ඛුලොල වෙයි.
නොහොත් මහණ තෙමේ ඇතුළුගමට පිවිසියේ වේමගට පිළිපන්නේ අසංවර වැ යෙයි: ඇතුන් බලමින් අසුන් බලමින් රිය බලමින් පාබළ සෙන් බලමින් ස්ත්‍රීන් බලමින් පුරුෂයන් බලමින් කුමරුන් බලමින් කුමරියන් බලමින් ඇතුළු අවුණ (- කඩතුළ) බලමින් ගෙදොර බලමින් උඩ බලමින් යට බලමින් දිශාවිදිශා බලමින් යෙයි. මෙසේත් චක්ඛුලොල වෙයි -
නොහොත් මහණ තෙම ඇසින් රූපයක් දැක (ක්ලේශවස්තු වූ) නිමිති ගන්නේ වෙයි, (හස්තපාදාදි) ආකාර විසින් ගන්නේ වෙයි, යම් කරුණෙකින් චක්‍ෂුරින්‍ද්‍රියය අසංවෘත වැ වසන මොහු අභිධ්‍යා - දෞර්‍මනස්‍ය සඞ්ඛ්‍යාත ලාමක අකුශලධර්‍මයෝ අනුබඳනාහු නම් ඒ චක්‍ෂුරින්‍ද්‍රියයාගේ සංවරය පිණිස නො පිළිපදී, චක්‍ෂුරින්‍ද්‍රියය නො රකී. චක්‍ෂුරින්‍ද්‍රියයෙහි සංවරයට නො පැමිණෙයි; මෙසේත් චක්ඛුලොල වෙයි. තවද යම්සේ ඇතැම් භවත් මහණ බමුණු කෙනෙක් කම්පල අදහා දුන් බොජුන් වළඳා ඔවුහු මෙබඳු වූ විසුළු දැකීමෙහි යෙදී වෙසෙති: ඒ මෙසේ යැ: නැටුම් ගැයුම් වැයුම් නළුමුළු භාරතාදිය කියන තැන කස්තල ඝනතාල (කුළු තාලම් හෝ මළසිරුර මන්ත්‍රයෙන් නඟාලීම) කළ පිඹීම (බුම්මංඩි?) ප්‍රතිභානචිත්‍ර සැඬොලුන්ගේ සණදොවුන්කෙළි වස්කුලල් ඇට දෙවීම ඇත්පොර අස්පොර මිහිපොර වැහැප්පොර ගවපොර බැටෙළුපොර එළුපොර කුකුළුපොර වටුපොර දඬුපොර මිටුපොර මල්ලපොර යුද පෙරමුණ බලසෙන් ගණන තැන කඳවුර බලඇණි දැකීම යනු හෝ යැ. මෙසේත් ‘චක්ඛුලොල’ වේ.
කිසෙයින් ‘චක්ඛුලොල’ නො වෙයි යත්: මේ ශාසනයෙහි කිසි මහණෙක් ඇසින් ලොල් නො වූයේ චක්‍ෂුර්ලෞල්‍යයෙන් යුක්ත නො වූයේ වෙයි: නුදුටු දෙය දැක්ක යුතු යැ, දුටුදෙය ඉක්මැවිය යුතු යැයි අරමින් අරමට නො යෙයි, උයනින් උයනට - ගමින් ගමට - නිගමයෙන් නිගමයට - නුවරින් නුවරට - රටින් රටට - දනව්වෙන් දනව්වට රූපදර්‍ශනය පිණිස දීර්‍ඝචාරිකාවෙහි නො නිමි චාරිකාවෙහි නො යෙදුණේ වෙයි. මෙසේත් ‘චක්ඛුලොල’ නො වූයේ වෙයි. නොහොත් මහණ තෙමේ ඇතුළු ගමට පිවිසියේ වීදියට පිළිපන්නේ සංවර වැ යෙයි: ඇතුන් නො බලමින් අසුන් නො බලමින් රිය නො බලමින් පාබලසෙන් නො බලමින් ගෑනුන් නො බලමින් පිරම්නින් නො බලමින් කුමරුන් නො බලමින් කුමරියන් නො බලමින් ඇතුළු අවුණු නො බලමින් ගෙදොර නො බලමින් උඩ නො බලමින් යට නො බලමින් දිශාවිදිශා නො බලමින් යෙයි. මෙසේත් ‘චක්ඛුලොල’ නො වූයේ වෙයි. -
නොහොත් මහණ තෙමේ ඇසින් රූපයක් දැක නිමිති වශයෙන් නො ගන්නේ අනුව්‍යඤ්ජන වශයෙන් නො ගන්නේ වෙයි. යම් කරුණෙකින් චක්‍ෂුරින්‍ද්‍රියය අසංවර වැ වසන මොහු අභිධ්‍යා දොම්නස් සඞ්ඛ්‍යාත ලාමක අකුශලධර්‍මයෝ අනුබඳනාහු නම්, ඒ චක්‍ෂරින්ද්‍රියයාගේ සංවරය පිණිස පිළිපදී, චක්‍ෂුරින්‍ද්‍රියය රකී, චක්‍ෂුරින්‍ද්‍රියයෙහි සංවරයට පැමිණෙයි: මෙසේත් ‘චක්ඛුලොල’ නො වූයේ වෙයි. තවද යම්සේ ඇතැම් භවත් මහණ බමුණු කෙනෙක් කම්පල අදහා දෙන ලද බොජුන් වළඳා ඔවුහු මෙබඳු වූ විසුළු දස්නෙහි නො යෙදී වෙසෙති. ඒ මෙසේ යැ; නැටුම් ගැයුම් වැයුම් රඟමඬුලු (හාරතාදිය) පැවසීම … බල ඇණි දැකීම යනාදිය යි. මෙබඳු විසුළු දස්නෙන් වැළැකුණේ වෙයි. මෙසේත් ‘චක්ඛුලොල’ නො වූයේ වේ.
චකඛූහි නේව ලොලස්ස - චක්‍ෂුර්ලෞල්‍යය (ඇසින් රූප දැක්මෙහි ලොල් බව) බැහැර කරන්නේ යැ, දුරු කරන්නේ යැ, විගතාන්ත කරන්නේ යැ, අනුඅභාවයට පමුණුවන්නේ යැ. චක්‍ෂුර්ලෞල්‍යයෙන් දුරු වූයේ වෙන් වූයේ වෙසෙසින් වෙන් වූයේ නික්මුණේ නික්මැගියේ වෙසෙසින් මිදුණේ නො යෙදුණේ වන්නේ යැ, විගතමර්‍ය්‍යාදා කළ සිතින් යුක්ත වැ වාසය කරන්නේ නුයි ‘චකඛූහි නේව ලොලස්ස’ යනු වේ.
ගාමකථාය ආවරයෙ සොතං - දෙතිස් තිරශ්චීනකථාව ‘ග්‍රාමකථා යැ’ යි කියනු ලැබෙයි. ඒ මෙසේ යැ: රජුන් පිළිබඳ (ගෘහාශ්‍රිත) කථා යැ චෝරකථා යැ මහාමාත්‍යකථා යැ සේනාකථා යැ භයකථා යැ යුද්ධකථා යැ ආහාර පිළිබැඳි කථා යැ පානකථා යැ වස්ත්‍රකථා යැ යානකථා යැ ශයනකථා යැ මාලාකථා යැ ගන්‍ධකථා යැ ඥාතිකථා යැ ග්‍රාමකථා යැ නිගමකථා යැ නගරකථා යැ ජනපදකථා යැ ස්ත්‍රීකථා යැ පුරුෂකථා යැ ශූරකථා යැ වීථි පිළිබැඳි කථා යැ දියතොට (හෝ කළදැසින්) පිළිබැඳි කථා යැ පූර්‍වප්‍රෙත (- පෙර නෑයන්) පිළිබැඳි කථා යැ නන්වැදෑරුම් (නිරර්‍ත්‍ථක) කථා යැ ලෝකායතකථා යැ සමුද්‍රාඛ්‍යානකථා යැ වෘද්ධි - හානි පිළිබැඳි කථා යැ යනාදිය යි.
ගාමකථාය ආවරයෙ සොතං - ගම්වැසියන්ගේ කථාවෙන් ශ්‍රෝත්‍රේන්‍ද්‍රිය ආවරණය කරන්නේ යැ වළහන්නේ යැ මොනොවට වළහන්නේ යැ රක්නේ යැ ගෝපනය කරන්නේ යැ වසන්නේ යැ පසිඳින්නේ නුයි ‘ගාමකථාය ආවරයෙ සොතං’ යනු වේ.
රසෙ ච නානුගිජ්ඣෙය්‍ය - ‘රස’ නම් මූලරස යැ ස්කන්‍ධරස යැ ත්‍වක් රස යැ පත්‍රරස යැ පුෂ්පරස යැ ඵලරස යැ, අම්බිල යැ මධුර යැ තික්ත යැ කටුක යැ ලවණ යැ ක්‍ෂාර යැ ලපිල ( - ඇඹුල්මුසු) යැ කසට යැ මිහිරි යැ අමිහිරි යැ ශීත යැ උෂ්ණරස යි. රසයෙහි ගිජු වූ ඇතැම් මහණ බමුණු කෙනෙක් වෙති. ඔවුහු දිවගින් අග්‍රරස සොයමින් ඇවිදිති. ඔවුහු ඇඹුලක් ලැබ නො ඇඹුලක් සොයති. නො ඇඹුලක් ලැබ ඇඹුලක් සොයති … සිහිලක් ලැබ උණුසුමක් සොයති, උණුසුමක් ලැබ සිහිලක් සොයති. ඔවුහු යමක් යමක් ලැබ ඒ ඒ ලද දෙයින් නො සතුටු වෙති: මතුමත්තෙහි සොයත්. මනවඩන රසයන්හි ඇලුණාහු ගිජු වූවාහු ගෙතුණාහු මුසපත් වූවාහු බැසගත්තාහු ලග්න වූවාහු ලග්නිත වූවාහු වෙළුණාහුය. යමක්හු විසින් තෙල රසතෘෂ්ණාව ප්‍රහීණ කරන ලද්දී සිඳින ලද්දී .. නුවණගින්නෙන් දවන ලද්දී ද, හෙතෙම නුවණින් ප්‍රත්‍යවේක්‍ෂා කොට ආහාරය වළඳයි: ක්‍රීඩා පිණිස නො වෙයි … පහසුවිහරණය ද වේ යයි. යම්සේ ආරුහණය පමණින් ව්‍රණය ආලේප කරන්නේ ද, තවද යම්සේ බර ඇද ගන්නා පමණින් ගැල්අකුර තෙල් ගල්වන්නේ ද, යම්සේ කාන්ත්තාරය තරණය කරන පමණින් පුත්‍රමාංසාහාරය හෝ අනුභව කරන්නේ ද, එසෙයින් ම මහණ තෙමේ නුවණින් ප්‍රත්‍යවේක්‍ෂා කොට ආහාරය වළඳයි: ක්‍රීඩා පිණිස නො මැ වෙයි … අනවද්‍යභාවය ද පහසුවිහරණය ද වන්නේ යැයි. රසතෘෂ්ණාව හරනේ යැ දුරු කරන්නේ යැ විගතාන්ත කරන්නේ යැ අනභාවයට පමුණුවන්නේ යැ. රසතෘෂ්ණාවෙන් දුරු වූයේ වෙන් වූයේ වෙසෙසින් වෙන් වූයේ නික්මුණේ නික්මැගියේ වෙසෙසින් මිදුණ් විසංයෝග වූයේ වන්නේ යැ, විගතමර්‍ය්‍යාදා කළ සිතින් යුක්ත වැ වාසය කරන්නේ නුයි ‘රසෙ ච නානුගිජ්ඣෙය්‍ය’ යනු වේ.
න ච මමායෙථ කිඤ්චි ලෝකස්මිං - ‘මමත්ත’ යනු: තෘෂ්ණාමමත්‍වය ද, දෘෂ්ටිමමත්‍වය දැයි මමත්‍ව දෙකෙකි … මේ දෘෂ්ටිමමත්‍වය යි. තෘෂ්ණාමමත්‍වය හැර දෘෂ්ටිමමත්‍වය දුරලා ඇස මමායනය නො කරන්නේ යැ, නො ගන්නේ යැ, පරාමර්‍ශ නො කරන්නේ යැ, අභිනිවේශය නො කරන්නේ යැ, කන - දිව - කය - රූප - ශබ්ද - ගන්‍ධ - රස - ස්ප්‍රෂ්ටව්‍ය - කුලය - ගණයා - ආවාසය - ලාභ - යශස් - ප්‍රශංසාව - සුවය - සිවුර - පිණ්ඩපාත - සෙනසුන් - ගිලන්පස බෙහෙසත් පිරිකර - කාමධාතුව - රූපධාතුව - අරූපධාතුව - කාමභවය - රූපභවය - අරූපභවය - සංඥාභවය - අසංඥාභවය - නෛවසංඥා - නාසංඥාභවය - එකවෝකාරභවය - චතුවෝකාරභවය - පඤ්චවෝකාරභවය - අතීතය - අනාගතය - වර්තමානය - දෘෂ්ට - ශ්‍රැත - මුත - විඥාතව්‍යධර්‍මයන් මමායන නො කරන්නේ යැ, නො ගන්නේ යැ. නො පරාමර්‍ශ කරන්නේ යැ, අභිනිවේශය නො කරන්නේ යි. කිඤ්චි යනු: කිසි රූපගතයක වෙදනාගතයක් සංඥාගතයක් සංස්කාරගතයක් විඥානගතයක්; ලෝකස්මිං යනු : අපායලෝකයෙහි … අනාගතලෝකයෙහි නුයි ‘න ච මමායෙථ කිඤ්චි ලෝකස්මිං’ යනු වේ.
එයින් වදාළහ බුදුහු:
“චකඛූහි නේව ලොලස්ස -පෙ- න ච මමායෙථ කිඤ්චි ලෝකස්මිං” යී.
මහණ තෙම යම් කලෙක රොගසපර්‍ශයෙන් මඩනා ලදුයේ වන්නේ නම්, (එකල්හි) පරිදේවනා නො කරන්නේ ය. (කාමභවාදි) භවය ද නො පතන්නේ ය. භය අරමුණු නිමිති කොට ද කම්පා නො වන්නේ යි.
ඵස්සෙන යදා ඵුට්ඨස්ස - ‘ඵස්ස’ නම්: රොගස්පර්‍ශ යැ, රෝග පහසින් ස්පර්‍ශ කරන ලදුයේ මඩනා ලදුයේ ඇතුළත පිවිසියේ සමන්‍වාගත වූයේ වන්නේ නම්, චක්‍ෂුරෝගයෙන් ස්පර්‍ශ කරන ලදුයේ මඩනා ලදුයේ පිවිසියේ සමන්‍විත වූයේ වන්නේ නම්, ශ්‍රොත්‍රරොගයෙන් - ඝ්‍රාණරොගයෙන් ජිහ්වාරොගයෙන් - කායරොගයෙන් - ශීර්‍ෂරොගයෙන් - කර්‍ණරෝගයෙන් - මුඛරොගයෙන් - දන්තරොගයෙන් - කාශයෙන් - ශ්වාසයෙන් - පීනසින් - දාහයෙන් - ජ්වරයෙන් - කුක්‍ෂිරොගයෙන් - මුර්ඡාවෙන් - ලෝහිත - පිත්තයෙන් - ආමශූලයෙන් - මහාවිරේචනයෙන් - කුෂ්ටයෙන් - ගණ්ඩයෙන් - ශ්වේතකුෂ්ට (කබරරොග) යෙන් - ක්‍ෂයරොගයෙන් - අපස්මාරයෙන් - දදයෙන් - කණ්ඩුතියෙන් - මහාකුෂ්ටයෙන් - නියපහාරින් වූ රෝගයෙන් - අතුල් පතුල් පැළීමෙන් - රක්තපිත්තයෙන් - මධුමෙහයෙන් - අර්‍ශසින් - පොළයෙන් - භගන්දරයෙන් - පිත්තජ ආබාධයෙන් - ශ්ලේෂ්මජ ආබාධයෙන් - වාතජ ආබාධයෙන් - සන්නිපාතික ආබාධයෙන් - ඍතුජ ආබාධයෙන් - විෂමවිහරණයෙන් වූ ආබාධයෙන් - ඖපක්‍රමික ආබාධයෙන් - කර්‍මවිපාකජ ආබාධයෙන් - ශීතයෙන් උෂ්ණයෙන් - ජිඝත්සායෙන් - පිපාසායෙන් - උච්චාරයෙන් ප්‍රස්‍රාවයෙන් - මැසි මදුරු - වා අව් - දීර්‍ඝ ජාතීන්ගේ පහසින් ස්පර්‍ශ කරන ලදුයේ මඩනා ලදුයේ සමවහිත වූයේ සමන්‍විත වූයේ නුයි ‘ඵස්සෙන යදා ඵුට්ඨස්ස’ යනු වේ.
පරිදෙවං භික්ඛු න කරෙය්‍ය කුහිඤ්චි - නම කියා හැඬීම, ගුණ කියා හැඬීම නම කියා හඬන අයුර ගුණ කියා හඬන අයුර නම කියා හඬන බව ගුණ කියා හඬන බව, බස සිස් බස විරූප වූ හිස් බස. පුනපුනා කීම පුනපුනා කියන අයුර පුනපුනා කියන බව නො කරන්නේ යැ, නො දැනවන්නේ යැ, නූපදවන්නේ යැ, නො නිපදවන්නේ යැ, වෙසෙසින් නො නිපදවන්නේ යි. කුහිඤ්චි - කොහි වත් කිසිවෙක්හි කිසි තැනෙක්හි අධ්‍යාත්මයෙහි හෝ බාහ්‍යයෙහි හෝ අධ්‍යාත්මබාහ්‍යයෙහි හෝ නුයි ‘පරිදෙවං භික්ඛු න කරෙය්‍ය කුහිඤ්චි’ යනු වේ.
භවඤ්ච නාභිජප්පෙය්‍ය - කාමභවය නො පතන්නේ යැ, රූපභවය නො පතන්නේ යැ, අරූපභවය නො පතන්නේ යැ, ප්‍රජල්පනය නො කරන්නේ යැ, වෙසෙසින් ජල්පනය නො කරන්නේ යැ’ යි ‘භවඤ්ච නාභිජප්පෙය්‍ය’ යනු වේ.
භෙරවෙසු ච න සම්පවෙධෙය්‍ය - ‘භේරව’ නම්: එක් අයුරෙකින් භයත් භෛරවයත් හේ (එකෙක්) මැ ය. මේ වදාරන ලද මැ ය. බුදුන් විසින්: “තෙල ඒකාන්තයෙන් ඒ භයඅරමුණ පැමිණේ” යයි බාහ්‍යාලම්බනය වදාරන ලද්දේය: සිංහයෝ යැ ව්‍යාඝ්‍රයෝ යැ දිවියෝ යැ වලස්සු යැ තරස්සු යැ මිහිවෝ යැ අස්හු යැ ඇත්හු යැ සර්‍පයෝ යැ නුහුසු යැ සියපා යැ කළ සොරකම් ඇති හෝ නැති හෝ සොරු හෝ සැහැසියෝ වන්නාහු ය. යළි අන් අයුරෙකින් අධ්‍යාත්මයෙහි වූ සිත්හි උපදනා බිය භයාකාරය තැතිගන්නා බව ලොමුදහ ගැන්ම චිත්තයාගේ උද්වේගය උත්‍රාසය ‘භය’ යී කියනු ලැබෙයි, ජාතිය නිසා උපදනා බිය ජරාභය ව්‍යාධිභය මරණභය රාජභය චෝරභය අග්නිභය උදකභය තමා නුගුණ කීමෙන් උපදනා බිය මෙරමා නුගුණ කීමෙන් උපදනා බිය දඬුවමින් උපදනා බිය දුගතිය නිසා උපදනා බිය මුහුදුරළ නිසා උපදනා බිය මස්කැලන්ගෙන් උපදනා (හෝ කිඹුල්) බිය දියසුළි නිසා උපදනා බිය සැඬමසුන් (සුසුකා) නිසා උපදනා බිය දිවි පැවැතුම් හේතුවෙන් උපදනා බිය ගර්‍හාවෙන් උපදනා බිය පිරිස්හි තැති ගැනීමෙන් වන බිය කාමයෙන් වන බිය දුගතිබිය (යන) මෙයින් උපදනා බිය, භයාකාරය, තැති ගන්නා බව, ලොමුදහ ගැන්ම, චිත්තයාගේ උද්වේගය, උත්‍රාසය යි. භෙරවෙසු ච න සම්පවෙධෙය්‍ය - භය අරමුණු දැක හෝ අසා හෝ නො වෙවුලන්නේ යැ වෙසෙසින් නො සැලෙන්නේ යැ පුනපුනා නො සැලෙන්නේ යැ, නො තැවෙන්නේ යැ වෙසෙසින් නො තැවෙන්නේ යැ පුනපුනා නො තැවෙන්නේ යැ, නො බිය වන්නේ යැ, සන්ත්‍රාසයට නො පැමිණෙන්නේ යැ, බියසුලු නො වන්නේ යැ, නො තැතිගන්නා සුලු ත්‍රස්ත නො වන සුලු - නො පලායන සුලු වන්නේ යැ, ප්‍රහීණ වූ භය අරමුණු ඇති වැ පහවූ රොමොද්ගම ඇති වැ වාසය කරන්නේ යැ යි ‘භෙරවෙසු ච න සම්පවෙධෙය්‍ය’ යනු වේ.
එයින් වදාළහ බුදුහු:
“ඵස්සෙන යදා ඵුට්ඨස්ස -පෙ- භෙරවෙසු ච න සම්පවෙධෙය්‍ය” යී.
නැවත (මහණ තෙම) ආහාර - පානයන් හා ඛාද්‍යයන් සම්බන්‍ධි වූ ද යළි වස්ත්‍රයන් සම්බන්‍ධි වූ ද (කිසිවක්) ලැබ සන්නිධිය (රැස් කිරීම) නො කරන්නේ යැ, ඒ ආහාරාදිය නො ලබනුයේ නො ද තැවෙන්නේ යි.
අන්නානමථො පානානං ඛාදනීයානමථො’පි වත්‍ථානං - ‘අන්නානං’ යනු (හැල් අදි) බත් යැ යවකොමු යැ හත්සුණූ මාළු යැ මසි; පානානං යනු අෂ්ට පානයෝ යැ: අඹපැනැ දඹපැනැ ඇටකෙසෙල්පැනැ මස්කෙසෙල්පැනැ මිහිපැනැ මිදිපැනැ මිදිපැනැ හෝලුපැනැ බොරළුදමනුපැනැ; අන්‍යත් අෂ්ටපානයෙකි: කොසඹපැනැ ඩෙබරපැනැ මහඩෙබරපැනැ සෘතපාන යැ තෛලපාන යැ ක්‍ෂීරපාන යැ යාගු (කැඳ) පාන යැ (ශාකාදි) රසපාන යි; ඛාදනීයානං යනු: (හැල් ආදි) පිටියෙන් කළ ඛාද්‍ය යැ පූවඛාද්‍ය යැ මූලඛාද්‍ය යැ ත්‍වක්ඛාද්‍ය යැ පත්‍රඛාද්‍ය යැ පුෂ්පඛාද්‍ය යැ ඵලඛාද්‍ය යි; වත්‍ථානං යනු ෂට්චීවර යැ: කොමුපිළී කපුපිළී තිහිරිපිළී පළස සණවැහැරි මුසුපිළී යැයි ‘අන්නානමථො පානානං ඛාදනීයානමථො’පි වත්‍ථානං’ යනු වේ.
ලද්ධා න සන්නිධිං කයිරා - ‘ලද්ධා’ යනු: ලැබ ලබාගෙන අධිගමය කොට වින්දනය කොට ප්‍රතිලාභ කොට, විස්මය කරැවීමෙන් නො වැ, ලපනායෙන් නො වැ, (කායවාක්) නෛමිත්තිකතායෙන් නො වැ, (මෙරමා ගුණ) පිංසනතායෙන් නො වැ, ලාභයෙන් ලාභ සෙවීමෙන් නො වැ, කෘෂ්ටදානයෙන් වෙණුදානයෙන් - පත්‍රදානයෙන් - පුෂ්පදානයෙන් - ඵලදානයෙන් - නහනු දීමෙන් - සුණු - මැටි - දැහැටිදඬු - මුව දෝනා දිය දීමෙන් නො වැ, චාටුබස් කීමෙන් නො වැ, මුද්ගසූපය වැනි බොරු මුසු කථායෙන් නො වැ, (දරුවන් නැළැවීමාදි) පාරිහට්ටතායෙන් නො වැ, පිට්ඨිමංසිකතා (-ගෙවලට පිවිස හිඳිනා බැවින්) නො වැ, වාස්තු විද්‍යාවෙන් නො වැ, (අඞ්ගශාස්ත්‍රාදි) තිරශ්චීනවිද්‍යාවෙන් නො වැ, අඞ්ගවිද්‍යාවෙන් - නක්‍ෂත්‍රවිද්‍යාවෙන් - මෙහෙවර ගමනින් - (ගෙන් ගෙට) හසුන්පත් ගෙන යෑමෙන් - (ගමින් ගමැ) හසුන් පිළිහසුන් ගෙන යෑමෙන් - වෙදකමින් - නවකමින් - පිඬු පෙරළා පිඬු දීමෙන් - දානානුදානයෙන් නො වැ, දැහැමෙන් සෙමෙන් ලැබ, ලබා ගෙන අධිගමය කොට වින්දනය කොට ප්‍රතිලාභ කොට නුයි ‘ලද්ධා’ යනු වේ. ත සන්නිධිං කයිරා - ආහාරසන්නිධි පානසන්නිධි වස්ත්‍රසන්නිධි යානසන්නිධි ශයනසන්නිධි ගන්‍ධසන්නිධි ආමිසසන්නිධි නො කරන්නේ යැ, නො දනවන්නේ යැ නූපදවන්නේ යැ නො නිපදවන්නේ යැ වෙසෙසින් නො නිපදවන්නේ නුයි ‘ලද්ධා න සන්නිධිං කයිරා’ යනු වේ.
න ච පරිත්තසෙ තානි අලභමානො - ‘ආහාර හෝ නො ලැබෙමි, පාන හෝ නො ලැබෙමි, වස්ත්‍ර හෝ - කුලය හෝ - ගණයා හෝ - ආවාසය හෝ - ලාභ හෝ - යශස් හෝ - පැසැසුම් හෝ - සුව හෝ - සිවුරු හෝ - පිණ්ඩපාත හෝ - සෙනසුන් හෝ ගිලන්පස බෙහෙසත් පිරිකර හෝ නො ලැබෙමි, ග්ලානොපස්ථායකයකු හෝ නො ලැබෙමි, අප්‍රකටයෙම් වෙමි’ නො තැතිගන්නේ යැ, උත්ත්‍රස්ත නෙ වන්නේ යැ, පරිත්‍රස්ත නො වන්නේ යැ, නො බිය වන්නේ යැ, තැති ගැනුමට නො පැමිණෙන්නේ යැ, නො බියසුලු නො සැලෙනසුලු නො තැතිගන්නාසුලු නො පලායනසුලු වන්නේ යැ, පහවූ බිය අරමුණු ඇතියේ පහවගිය ලොමුදහ ඇතියේ වෙසෙන්නේ නුයි ‘න ච පරිත්තසෙ තානි අලභමානො’ යනු වේ.
එයින් වදාළහ බුදුහු:
“අන්නානමථො -පෙ- න ච පරිත්තසෙ තානි අලභමානො” යී.
ධ්‍යාන කරනුයේ පාදලෞල්‍යයෙක් නො වන්නේ යැ, කුකුසින් දුරු වන්නේ යැ, නො පමා වන්නේ යැ. යළි මහණ තෙම අල්පශබ්ද වූ අසුන් සෙනසුන්හි වාසය කරන්නේ යි.
ඣායී න පාදලොලස්ස - ‘ඣායී’ යනු: පළමුවන දැහැනිනු දු ධ්‍යාන කරනුයේ, දෙවැනි දැහැනිනු දු - තෙවැනි දැහැනිනු දු - සිවුවැනි දැහැනිනු දු ධ්‍යාන කරනුයේ, සවිතර්‍කසවිචාරධ්‍යානයෙනු දු ධ්‍යාන කරනුයේ, අවිතර්‍ක විචාරමාත්‍රධ්‍යානයෙනු දු - අවිතර්‍ක අවිචාර ධ්‍යානයෙනු දු - සප්‍රීතික ධ්‍යානයෙනුදු - නිෂ්ප්‍රීතික ධ්‍යානයෙනු දු - ප්‍රීතිසහගත ධ්‍යානයෙනු දු - සාතසහගත ධ්‍යානයෙනු දු - සුඛසහගත ධ්‍යානයෙනු දු - උපේක්‍ෂාසහගත ධ්‍යානයෙනු දු - ශුන්‍යතධ්‍යානයෙනු දු - අනිමිත්තධ්‍යානයෙනු දු - අප්‍රණිහිත ධ්‍යානයෙනු දු - ලෞකිකධ්‍යානයෙනු දු - ලෝකෝත්තර ධ්‍යානයෙනු දු ධ්‍යාන කරනුයේ, ධ්‍යානයෙහි ඇලුණේ එකඟ බවෙහි යෙදුණේ ස්වාර්‍තථගරුක වූයේ නුයි ‘ඣායී’ යනු වේ.
න පාදලොලස්ස - කිසෙයින් ‘පාදලොල’ වෙයි යත්: මෙහි කිසි මහණෙක් පාදලොල වූයේ පාදලෞල්‍යයෙන් යුක්ත වූයේ වෙයි:
අරමින් අරමට උයනින් උයනට ගමින් ගමට නිගමින් නිගමට නුවරින් නුවරට රටින් රටට දනව්වෙන් දනව්වට දීර්‍ඝචාරිකාවෙහි නො නවත්නා චාරිකාවෙහි යෙදුණේ වෙසෙයි. මෙසේත් පාදලොල වෙයි. නොහොත් මහණ ඇතුළු සඟරම්හි ද පාදලොල වූයේ පාදලෞල්‍යයෙන් යුක්ත වූයේ වෙයි. ප්‍රයෝජන නැති වැ කාරණ නැති වැ උඬගු වූයේ නො සන්හුන් සිත් ඇතියේ පිරිවෙනින් පිරිවෙනට වෙහෙරින් වෙහෙරට යෙයි, අර්‍ධයොගයෙන් අර්‍ධයොගයට යෙයි, ප්‍රාසාදයෙන් ප්‍රාසාදයට යෙයි, සඳලුගෙයින් සඳලුගෙට යෙයි, ගුහාවෙන් ගුහාවට යෙයි, ලෙනින් ලෙනට - කිළියෙන් කිළියට - කුළුගෙන් කුළුගෙට - අටල්ලෙන් අටල්ලට - මහලින් මහලට - උද්දණ්ඩ (එක් වහලින් යුත් ගෙය) යෙන් උද්දණ්ඩයට - බඬුහලින් බඬුහලට - උවටැන්හලින් උවටැන්හලට - මණ්ඩලයෙන් මණ්ඩලයට - රුක්මුලින් රුක්මුලට යෙයි. තවද යම් තැනෙක භික්‍ෂූහු හිඳිත් නම්, එහි යෙයි; එහි එකක් හට හෝ දෙවැන්නා වෙයි, දෙදෙනකුන්ට හෝ තෙවැන්නා වෙයි, තිදෙනකුන්ට හෝ සිවුවැන්නා වෙයි. එහි දී බොහෝ නිරර්‍ත්‍ථක කථා පවසයි. ඒ මෙසේ යැ: රාජකථා යැ චෝරකථා යැ මහාමාත්‍යකථා යැ සේනාකථා යැ භයකථා යැ යුද්ධකථා යැ ආහාරකථා යැ පානකථා යැ වස්ත්‍රකථා යැ යානකථා යැ ශයනකථා යැ මාලාකථා යැ ගන්‍ධකථා යැ ඥාතිකථා යැ ග්‍රාමකථා යැ නිගමකථා යැ නගරකථා යැ ජනපදකථා යැ ස්ත්‍රීකථා යැ පුරුෂකථා යැ සූරකථා යැ වීථිකථා යැ කුම්භස්ථාන (=පැන් තොට පිළිබැඳි) කථා යැ අතීත ඥාතීන් පිළිබැඳි කථා යැ නන්වැදෑරුම් නිරර්‍තථකකථා යැ ලෝකායතකථා යැ සමුද්‍රාක්ඛ්‍යානකථා යැ - වෘද්ධි - හානි පිළිබැඳි කථා යැ යනාදිය යි. මෙසේ ත් පාදලොල වේ.
න පාදලොලස්ස - පාදලෞල්‍යය දුරු කරන්නේ යැ, සන්හිඳුවන්නේ යැ විගතාන්ත කරන්නේ යැ අනුඅභාවයට පමුණුවන්නේ යැ, පාදලෞල්‍යයෙන් දුරු වූයේ වන්නේ යැ, නො ඇලුණේ වෙසෙසින් වෙන්වූයේ නික්මුණේ නික්මැගියේ වෙසෙසින් මිදුණේ නො යෙදුණේ විගතමර්‍ය්‍යාදා කළ සිතින් යුක්ත ව වාසය කරන්නේ යැ හැසිරෙන්නේ යැ වෙසෙසින් හැසිරෙන්නේ යැ ඉරියවු පවත්වන්නේ යැ වැටෙන්නේ යැ රැකෙන්නේ යැ යැපෙන්නේ යැ යාපනය වන්නේ යැ, විවේකයෙහි සතුටු වූයේ විවේකයෙහි ඇලුණේ අධ්‍යාත්මයෙහි වූ චිත්තසමාධියෙහි යෙදුණේ වන්නේ යැ, බැහැර නො කළ ධ්‍යාන ඇත්තේ විදර්‍ශනාවෙන් සමන්‍විත වූයේ ශුන්‍යාගාරයෙහි කරන ශමථවිදර්‍ශනා භාවනාව වඩන්නේ යැ ධ්‍යාන කරනුයේ ධ්‍යානයෙහි ඇලුණේ එකාග්‍රතාවෙහි යෙදුණේ ස්වාර්‍තථය ගරු කරන්නේ නුයි ‘ඣායී න පාදලොලස්ස’ යනු වේ.
විරමෙ කුක්කුච්චා නප්පමජ්ජෙය්‍ය - ‘කුක්කුච්ච’ නම්: අත්කුකුස ද කුකුස් යැ, පාකුකුස ද කුකුස් යැ, අත්පාකුකුස ද කුකුස් යැ, අකැපයෙහි කැපසංඥා ඇතිබව යැ, කැපයෙහි අකැප සංඥා ඇතිබව යැ, නිවරදෙහි වද්‍යසංඥා ඇතිබව යැ, වරදෙහි අවද්‍යසංඥා ඇතිබව යැ, මෙබඳු වූ යම් කුකුසක් කුකුස් අයුරක් කුකුසට පැමිණි බවක් චිත්තයාගේ විපිළිසරයෙක් මනෝවිලේඛයෙක් වේ නම්, මේ කුකුසැයි කියනු ලැබෙයි. තවද දෙකරුණෙකින් කුකුස සිතැ විපිළිසර මනෝවිලේඛය උපදී:
කළ බැවින් ද නො කළ බැවින් දැයි. කිසෙයින් (අකුශලය) කළ බැවින් හා (කුශලය) නො කළ බැවින් කුකුස සිත්හි විපිළිසර චිත්තවිලේඛය උපදී ද යත්: ‘මා විසින් කායදුශ්චරිතය කරන ලද, මා විසින් කායසුචරිතය නො කරන ලදැ’ යි කුකුස සිතේ විපිළිසර මනෝවිලේඛය උපදී; ‘මා විසින් වාග්දුශ්චරිතය කරන ලද, මා විසින් වාක්සුචරිතය නො කරන ලදැ’ යි කුකුස සිතේ විපිළිසර මනෝවිලේඛය උපදී; මා විසින් මනෝදුශ්චරිතය කරන ලද, මා විසින් මනස්සුචරිතය නො කරන ලදැ’ යි … ‘මා විසින් ප්‍රාණවධ කරන ලද, ‘මා විසින් ප්‍රාණඝාත විරමණය නො කරන ලදැ’ යි කුකුස් … උපදී; ‘මා විසින් අදත්තාදාන කරන ලද …‘මා විසින් කාමමිත්‍ථ්‍යාචාර කරන ලද … මා විසින් මෘෂාවාද කියන ලද … මා විසින් පෛශුන්‍යවාක් කියන ලද … මා විසින් පරුෂවචන කියන ලද … මා විසින් සම්ඵප්‍රලාප කියන ලද … මා විසින් අභිධ්‍යා කරන ලද … මා විසින් ව්‍යාපාද කරන ලද …. මා විසින් මිත්‍ථ්‍යාදෘෂ්ටි ගන්නා ලද, මා විසින් සම්‍යග්දෘෂ්ටි නො ගන්නා ලදැ’ යි කෞකෘත්‍යය චිත්තවිප්‍රතිසාරය මනෝවිලේඛය උපදී. මෙසෙයින් කෘත හෙයින් ද අකෘත හෙයින් ද කෞකෘත්‍යය චිත්තවිප්‍රතිසාරය මනෝවිලේඛය උපදී.
නොහොත් ‘ප්‍රාතිමෝක්‍ෂශීලයෙහි පරිපූරකාරී නො වූයෙමී’ කෞකෘත්‍යය චිත්තවිප්‍රතිසාරය මනෝවිලේඛය උපදී. ඉන්‍ද්‍රියයන්හි අගොපිතද්වාර ඇත්තෙම් වූයෙමී … භෝජනයෙහි අමාත්‍රඥයෙම් වීමි … නිදි දුරුකිරීමෙහි නො යෙදුණෙම් වීමි … ස්මෘතිසම්ප්‍රජන්‍යයෙන් යුක්තයෙම් නො වූයෙමී … මා විසින් සතර සතිපට්ඨානයෝ නො වඩන ලදහයි … මා විසින් සතර සම්‍යක්ප්‍රධානයෝ නො වඩන ලදහයි … මා විසින් සතර ඍද්ධිපාදයෝ නො වඩන ලදහයි … මා විසින් පඤ්චේන්‍ද්‍රියයෝ නො වඩන ලදහයි … මා විසින් පඤ්චබලයෝ නො වඩන ලදහයි … මා විසින් සප්තබෝධ්‍යඞ්ගයෝ නො වඩන ලදහයි … මා විසින් ආර්‍ය්‍යඅෂ්ටාඞ්ගිකමාර්‍ගය නො වඩන ලදැයි මා විසින් දුඃඛසත්‍යය අපරිඥාත යැයි … මා විසින් සමුදය අප්‍රහීණ යැයි … මා විසින් මාර්‍ගය නො වඩන ලදැයි … මා විසින් නිරෝධය ප්‍රත්‍යක්‍ෂ නො කරන ලදැයි කෞකෘත්‍යය චිත්තවිප්‍රතිසාරය මනෝවිලේඛය උපදී.
විරමෙ කුක්කුච්චා - කෞකෘත්‍යයෙන් හාත්පසින් වෙන් වන්නේ යැ, වෙසෙසින් වෙන් වන්නේ යැ, සර්‍වප්‍රකාරයෙන් වෙන් වන්නේ යැ, කුකුස දුරු කරන්නේ යැ බැහැර කරන්නේ යැ විගතාන්ත කරන්නේ යැ අනභාවයට පමුණුවන්නේ යැ; කුකුසින් දුරු වූයේ වෙන් වූයේ වෙසෙසින් දුරු වූයේ නික්මුණේ නික්මැගියේ වෙසෙසින් මිදුණේ නො යෙදුණේ විගතමර්‍ය්‍යාදා කළ සිතින් යුක්ත ව වාසය කරන්නේ නුයි ‘විරමෙ කුක්කුච්චා’ යනු වේ.
නප්පමජ්ජෙය්‍ය - සත්කාර කොට කරන සුලු වන්නේ යැ සතතභාවයෙන් කරන සුලු වන්නේ යැ නො නැවැත කරන සුලු වන්නේ යැ, නො හැකුළුණු පැවැතුම් ඇතියේ නො තැබූ වීර්‍ය්‍යච්ඡන්‍දය ඇතියේ නො තැබූ වීර්‍ය්‍යධුර ඇතියේ කුශලධර්‍මයන්හි නො පමා වූයේ වන්නේ යැ; කවර දවසෙක මම් අපරිපූර්‍ණ වූ ශීලස්කන්‍ධය හෝ පුරන්නෙම් ද, පරිපූර්‍ණ වූ ශීලස්කන්‍ධය හෝ ඒ ඒ තැන්හි ප්‍රඥාවෙන් අනුග්‍රහණය කරන්නෙම් දැ’ යි, එහි යම් ඡන්‍දයෙක් වෑයමෙක් උත්සාහයෙක් අධික උත්සාහයෙක් ස්ථිර බවෙක් නො නැවැත්මෙක් ස්මෘතියක් හා සම්ප්‍රජන්‍යයකුත් වේ ද, (එබඳු වූ) කෙලෙස් තවන වීර්‍ය්‍යය උත්තම වීර්‍ය්‍යය අධිෂ්ඨානය නැවත නැවත යෙදීම කුශලධර්‍මයන්හි අප්‍රමාදය වන්නේ යැ; කවර දවසෙක මම අපරිපූර්‍ණ වූ සමාධිස්කන්‍ධය - ප්‍රඥාස්කන්‍ධය - විමුක්තිස්කන්‍ධය - විමුක්තිඥානදර්‍ශනස්කන්‍ධය - ‘කවර දවසෙක මම් අපරිඥාත වූ දුක හෝ අශෙෂයෙන් දැන ගන්නෙම් ද, අප්‍රහීණ වූ ක්ලේශයන් හෝ ප්‍රහීණ කරන්නෙම් ද, අභාවිත වූ මාර්‍ගය හෝ වඩන්නෙම් ද, ප්‍රත්‍යක්‍ෂ නො කළ නිරෝධය ප්‍රත්‍යක්‍ෂ කරන්නෙම් දැ’ යි එහි යම් ඡන්‍දයෙක් වෑයමෙක් උත්සාහයෙක් අධික උත්සාහයෙක් ස්ථිර බවෙක් නො නවත්නා බවෙක් ස්මෘතියක් හා සම්ප්‍රජන්‍යයකුත් වේ ද, (එබඳු වූ) කෙලෙස් තවන වීර්‍ය්‍යය උත්තම වීර්‍ය්‍යය අධිෂ්ඨානය අනුයෝගය කුශලධර්‍මයන්හි අප්‍රමාදය වන්නේ නුයි ‘විරමෙ කුක්කුච්චා නප්පමජ්ජෙය්‍ය’ යනු වේ.
අථාසනෙසු සයනෙසු අප්පසද්දෙසු භික්ඛූ විහරෙය්‍ය - ‘අථ’ යනු පදසන්‍ධි යැ … ඇඳ පුටුව බිස්ස තට්ටිකාව සම්කඩ තණඇතිරිය පන් ඇතිරිය පිදුරුඇතිරිය (යන) යම් තැනෙක හිඳී නම් (එය) ‘ආසන’ යයි කියනු ලැබෙයි; විහාරය අර්‍ධයොගය ප්‍රාසාදය සඳලුගෙය ගුහාව (යන මේ) සෙනස්න ‘සයන’ යයි කියනු ලැබේ නුයි ‘අථාසනෙසු සයනෙසු’ යනු වේ.
අප්පසද්දෙසු භික්ඛු විහරෙය්‍ය - අල්පශබ්ද වූ අල්පනිර්‍ඝොෂ වූ ජනවාත රහිත වූ මිනිසුන්ගේ රහස්‍යකාරණයට යෝග්‍ය වූ විවේකයට සුදුසු වූ සෙනසුන්හි හැසිරෙන්නේ යැ වෙසෙන්නේ යැ වාසය කරන්නේ යැ ඉරියව් පවත්වන්නේ යැ වැටෙන්නේ යැ රැකෙන්නේ යැ යපන යාපනය වන්නේ නුයි ‘අථාසනෙසු සයනෙසු අප්පසද්දෙසු භික්ඛු විහරෙය්‍ය’ යනු වේ.
එයින් වදාළහ බුදුහු:
“ඣායී න පාදලොලස්ස -පෙ- අප්පසද්දෙසු භික්ඛු විහරෙය්‍ය” යී.
කෙලෙස් තවන වෙර ඇතියේ නිදි බහුල නො කරන්නේ යැ, නිදි වැරීම සෙවුනේ යැ, තන්‍ද්‍රා (අලස බව) ද මායාව ද හාස්‍යය ද ක්‍රීඩාව ද විභූෂණ සහිත වූ මෙවුන්දම් ද වෙසෙසින් දුරු කරන්නේ යි.
නිද්දං න බහුලීකරෙය්‍ය - රෑදාවල ස කොටසක් කොට පස් කොටසක් නිදි වරන්නේ යැ, එක් කොටසක් නිදන්නේ නුයි ‘නිද්දං න බහුලීකරෙය්‍ය’ යනු වේ.
ජාගරියං භජෙය්‍ය ආතාපී - මෙ සස්නෙහි මහණ දහවල සක්මනින් හා හිඳීමෙන් නීවරණධර්‍මයන්ගෙන් (හෝ සියලු අකුශලයන්ගෙන්) සිත පිරිසුදු කරන්නේ යැ, රෑ පෙරයම චඞ්ක්‍රමණයෙන් හා නිෂද්‍යාවෙන් ආවරණීය ධර්‍මයන්ගෙන් සිත විශුද්ධ කරන්නේ යැ, රෑ මැදියම දකුණු පයෙහි වම්පය මදක් ඇද තබා ස්මෘතිසම්‍යග්ඥානයෙන් යුක්ත වූයේ උත්‍ථාන සංඥාව මෙනෙහි කොට දකුණැලයෙන් සිංහශය්‍යාව කරන්නේ යැ, රෑ අලුයම නැගීසිට චඞ්ක්‍රමණයෙන් නිෂද්‍යාවෙන් ආවරණීය ධර්‍මයන්ගෙන් සිත පරිශුද්ධ කරන්නේ යි. ජාගරියං භජෙය්‍ය නිදිවැරීම බජනේ යැ මැනවින් බජනේ යැ, සෙවුනේ යැ නිරතුරු සෙවුනේ යැ වෙසෙසින් සෙවුනේ යැ පිළිසෙවුනේ නුයි ‘ජාගරියං භජෙය්‍ය’ යනු වේ. ආතාපී ‘ආතප්ප’ යී වීර්‍ය්‍යය කියනු ලැබෙයි. යම් චෛතසික වීර්‍ය්‍යාරම්භයෙක් කුසීතභාවයෙන් නික්මැයෑමෙක් පරාක්‍රමයෙක් උද්‍යෝගයෙක් ව්‍යායාමයෙක් උත්සාහයෙක් අධිමාත්‍ර උත්සාහයෙක් ස්ථිර බවෙක් කුශලසන්තානය ධැරීමෙක් නො ලිහිල් වූ පරාක්‍රම ඇති බවෙක් නො තැබූ වීර්‍ය්‍යචඡන්දය ඇති බවෙක් නො තැබූ වීර්‍ය්‍යධුර ඇතිබවෙක් ධුරය දැඩි කොට ගැනීමෙක් වීර්‍ය්‍යයෙක් වීර්ය්‍යේන්‍ද්‍රියයෙක් වීර්‍ය්‍යබලයෙක් සම්‍යග්ව්‍යායාමයෙක් වේ ද මේ ‘කෙලෙස් තවන වීර්‍ය්‍යයෙන් උපේත වූ සමුපේත වූ යුක්ත වූ සංයුක්ත වූ නො වෙන් වූ සම්පූර්‍ණ වූ සමන්‍වාගත වූ හෙතෙම ‘ආතාපී’ යයි කියනු ලැබේ නුයි ‘ජාගරියං භජෙය්‍ය ආතාපී’ යනු වේ.
නන්දිං මායං හස්සං ඛිඩ්ඩං මෙථුනං විප්පජහෙ සවිභූසං - ‘නන්දිං’ යනු: යම් මැලිබවෙක් මැලි අයුරෙක් මැලියෙන් මඩනා ලද බවෙක් මැලියෙන් මැඩුණු සිත් ඇති බවෙක් අලසබවෙක් අලස අයුරෙක් ආලස්‍යයෙන් මඩනා ලද බවෙක් වේ ද, මෝ ‘නන්දි’ යී කියනු ලබයි; මායා නම්: වඤ්‍චනික ක්‍රියාව යැ, මෙහි කිසිවෙක් කයින් දුශ්චරිතයෙහි හැසිරැ, බසින් … සිතින් දුශ්චරිතයෙහි හැසිරැ ‘එය ප්‍රතිච්ඡාදන හේතුයෙන් ලාමක වූ ඉච්ඡාව පිහිටුවයි, ‘නහමක් මා දනීව’ යි කැමැති වෙයි, ‘නහමක් මා දනීව’ යි සලකයි, ‘නහමක් මා දනීව’ යි වචන බෙණෙයි, ‘නහමක් මා දනීව’ යි කයින් උත්සාහ කෙරෙයි; යම් මෙබඳු වූ මායාවක් මායා ඇතිබවෙක් ඉක්මවා යෑමෙක් වඤ්චනාවක් රැවැටීමෙක් පාපයන් යටපත් කිරීමෙක් බැහැර කිරීමෙක් සැඟවීමෙක් හාත්පසින් සැඟවීමෙක් වැසීමෙක් හාත්පසින් වැසීමෙක් ප්‍රකට නො කිරීමෙක් ප්‍රකාශ නො කිරීමෙක් මොනවට වැසීමෙක් පාපක්‍රියාවක් වේ ද, මේ ‘මායා’ යී කියනු ලබයි; හස්සං යනු: මෙහි කිසිවෙක් පමණ ඉක්මවා දත් විවෘත කොට සිනාසෙයි; මේ වදාරන ලද මැයැ, භාග්‍යවතුන් විසින්: “මහණෙනි, පමණ ඉක්මවා දත් විදහා යම් සිනාසීමෙක් වේ ද, මේ ආර්‍ය්‍යවිනයෙහි කුමරුන් කළයුතු දැය” යි. ඛිඩ්ඩං නම්: කායික ක්‍රීඩා ද වාචසික ක්‍රීඩා දැ’ යි ක්‍රීඩා දෙකෙකි: කායික ක්‍රීඩා කවර යත්: ඇතුන් සමග ද කෙළිති, අසුන් සමග ද කෙළිති, රිය සමග ද කෙළිති, දුනුවලිනු දු කෙළිති, අටපදයෙහි දු කෙළිති, දසපදයෙහි දු කෙළිති, අහස්හි දු කෙළිති, පරිහාරපථයෙහි දු කෙළිති, සන්තිකා කෙළි දු කෙළිති, පසැටිනු දු කෙළිති, ඝටිකායෙන් (- කල්ලි) ද කෙළිති,
ලාවටිනු දු කෙළිති, ගුළ (- පන්දු) යෙනු දු කෙළිති, පත්නළයෙනු දු කෙළිති, කුඩා නඟුලිනු දු කෙළිති, පරිවර්‍තන කෙළි දු කෙළිති, පත් බමරිනු දු කෙළිති, පත්නැළියෙනු දු කෙළිති, කුඩා රියෙනු දු කෙළිති, කුඩා දුන්නෙනු දු කෙළිති, අකුරුකෙළි දු කෙළිති, සිතැඟිකෙළියෙනු දු කෙළිති, යථාවද්‍යයෙනු දු කෙළිත්. මෝ කායික ක්‍රීඩා යැ. වාචසිකක්‍රීඩා කවර යත්: මුවබෙරය මුවපණාබෙරය මුවපටහය මුඛවාලිකය (- සීරුසන්) මුවඩමරුය නාටකය ඔල්වරහඬය ගායනය සිනාකෙළිය යන මේ වාචසික ක්‍රීඩා යි.
මෙථුනධම්ම නම්: යම් ඒ අසද්ධර්‍මයෙක් ග්‍රාමධර්‍මයෙක් වසලධර්‍මයෙක් දුළුල් දහමෙක් ඖදකාන්තිකධර්‍මයෙක් රහස්‍යධර්‍මයෙක් ද්වයංද්වයසමාපත්තියක් වේ ද එයයි. කවර කරුණෙකින් ‘මෙථුනධම්ම’ යී කියනු ලැබෙයි යත්: රාගයෙන් රත් වූ වෙසෙසින් රත් වූ කෙලෙසින් තෙත් වූ කුසල් සිත මැඩගෙන් සිටියා වූ කුසල්සිත ගෙවාගෙන සිටියා වූ (ස්ත්‍රී - පුරුෂ) දෙදෙනාගේ කෙලෙසුන්ගෙන් සම වූ දෙදෙනාගේ ස්වභාවය නුයි - එකරුණෙන් ‘මෙථුනධම්ම’ යී කියනු ලැබෙයි. යම් සේ කලහකරුවෝ දෙදෙන මෙථුනකයෝ ( - සදෘශයෝ) යයි කියනු ලැබෙත් ද, ඩබරකරුවෝ දෙදෙන - බසින් කලහ කරනුවෝ දෙදෙන - අධිකරණකාරකයෝ (- නඩු කියනුවෝ) දෙදෙන - විවාදකරුවෝ දෙදෙන - වාදීහු දෙදෙන - කථා කරනුවෝ දෙදෙන සමානයෝ යැයි කියනු ලැබෙත් ද, එසෙයින් ම රත් වූ වෙසෙසින් රත් වූ ක්ලේශයෙන් තෙත් වූ කුසල් සිත යටපත් වූ කුසල් සිත ගෙවාගෙන සිටි දෙදෙනාගේ සදෘශ වූ දෙදෙනාගේ ස්වභාව නුයි - එ කරුණෙන් ‘මෙථුනධම්ම’ යී කියනු ලැබේ.
විභූස නම්: සැරැසුම් දෙකෙකි: ගිහිගේ වැසියාගේ සැරසුමෙක් ඇත. පැවිද්දාගේ සැරැසුමෙක් ඇත. ගිහිගේවැසියාගේ සැරැසුම කවරැ යත්: (කතුරෙන්) හිසකෙස් කැපීම ද (දැළි තබා) රවුළු බෑම ද මල් ගඳ විලෙවුන් ද අබරණ ද පළඳනා ද වස්ත්‍ර ද බඳපට ද (හෝ රසන්දම) හිස්වෙළුම ද, ඇඟ ඉළීම ඇඟ මැඩීම (දරුවන්) නැහැවීම සම්බාහනය කැඩපත අඳුන් මල් විලෙවුන් මුවසුණු මුඛාලෙප හස්තබන්‍ධන සිළුබැඳුම දඬුනළ කඩු ඡත්‍රය විසිතුරු වහන් නළල්පට සිළුමිණ විල්විදුනා දික්දාවලු ඇති සුදු වත් යනාදිය යි. මේ ගිහි වැසියාගේ සැරැසුමැ. පැවිද්දාගේ සැරසුම් කවරැ යත්: චීවරමණ්ඩනය පාත්‍රමණ්ඩනය ශයනාසනමණ්ඩනය මේ කුණු කය හෝ බාහිර පරිෂ්කාරයන් හෝ මණ්ඩනය සැරැසීම කෙළැවීම හාත්පසින් කෙළැවීම කැමැති බව ගිජු බව චපල බව චාපල්‍යය යන මේ පැවිද්දාගේ සැරසුමි.
තන්දිං මායං හස්සං ඛිඩ්ඩං මෙථුනං විප්පජහෙ සවිභූසං - මැලිබව ද මායා (-වංචා) ව ද හාස්‍යය ද ක්‍රීඩාව ද සැරැසුම් සහිත වූ පිරිවර සහිත වූ පිරිබඩ සහිත වූ පිරිකර සහිත වූ මෙවුන්දම් ද හරනේ යැ දුරු කරන්නේ යැ විගතාන්ත කරන්නේ යැ අනභාවයට පමුණුවන්නේ නුයි ‘තන්දිං … සවිභූසං’ යනු වේ.
එයින් වදාළහ බුදුහු:
“නිද්දං න බහුලීකරෙය්‍ය -පෙ- මෙථුනං විප්පජහෙ සවිභූසං” යී.
බුද්ධාදි මාමක වූ මහණ තෙමේ අථර්‍වණමන්ත්‍ර ප්‍රයෝගය ද ස්වප්න ශාස්ත්‍රය ද (මණිලක්‍ෂණාදි) ලක්‍ෂණශාස්ත්‍රය ද යළි නකත් කීම ද නො කරන්නේ යැ. විරුත (මෘගවාක්‍ය) ශාස්ත්‍රය ද ගබ් ගැන්වීම ද චිකිත්සාව ද නො සෙවුනේ යි.
ආථබ්බණං සුපිනං ලක්ඛණං නො විදහෙ අථො’ පි නක්ඛත්තං - අථර්‍වණ (මෙරමා නසන) මන්ත්‍ර දන්නාහු අතර්‍වණමන්ත්‍ර (සූනියම්) කෙරෙති, නුවර ඇවුරූ කල හෝ යුද පැමිණි කල හෝ සතුරු සේනාවෙහි විරුද්ධ වූ සතුරන් කෙරෙහි ශරීරකම්පා උපදවති, උවදුරු උපදවති, රෝග උපදවති, ජ්වර උපදවති, ආමශූල (හෝ ඉදිමුම්) උපදවති, පාචන උපදවති, රක්තාතීසාර කෙරෙත්. මෙසේ ආතර්‍වණිකයෝ අථර්‍වණමන්ත්‍ර යොදත්.
ස්වප්නපාඨකයෝ සිහින පවසති: ‘යමෙක් පෙරවරුයෙහි සිහින දකී නම් මෙබඳු විපාක වෙයි, යමෙක් මධ්‍යාහ්නයෙහි සිහින දකී නම්, මෙසේ විපාක වෙයි, යමෙක් සවස් කලැ සිහින දකී නම්, මෙසේ විපාක වෙයි, යමෙක් පෙරයමැ … මැදියමැ … අලුයමැ … යමෙක් දකුණැලයෙන් හෝනේ … යමෙක් වමැලයෙන් හෝනේ … යමෙක් උඩුබැලි වැ හෝනේ … යමෙක් යටිහුරු වැ හෝනේ … යමෙක් චන්‍ද්‍රයා දකී නම් යමෙක් සූර්‍ය්‍යයා දකී නම් යමෙක් මහමුහුද දකී නම් යමෙක් මහමෙර දකී නම් යමෙක් ඇතකු දකී නම් යමෙක් අසකු දකී නම් යමෙක් රිය දකී නම් යමෙක් පාබළ දකී නම් යමෙක් කඳවුරු දකී නම් යමෙක් රමණී අරම් දකී නම් යමෙක් රමණී උයන් දකී නම් යමෙක් රමණී බිම් පෙදෙස් දකී නම් යමෙක් රමණී පොකුණු දකී නම්, මෙසේ විපාක වේ යැ’ යි මේ පරිද්දෙන් ස්වප්නපාඨකයෝ සිහින ප්‍රකාශ කෙරෙත්.
ලක්‍ෂණපාඨකයෝ ලක්‍ෂණ ප්‍රකාශ කෙරෙති: ‘මණිලක්‍ෂණය දණ්ඩලක්‍ෂණය වස්ත්‍රලක්‍ෂණය ඛඞ්ගලක්‍ෂණය හී ලකුණ දුනු ලකුණ අවි ලකුණ ස්ත්‍රීලක්‍ෂණ පුරුෂලක්‍ෂණ කුමාරිකාලක්‍ෂණ කුමාරලක්‍ෂණ දැසිලකුණ දස්ලකුණ ඇත්ලකුණ අස්ලකුණ මිහිලකුණ වැහැබ්ලකුණ ගවලකුණ බැටෙළුලකුණ එළුලකුණ කුකුළුලකුණ වටුලකුණ ගොය්ලකුණ කණ්ණිකාලක්‍ෂණ කච්ඡපලක්‍ෂණ මෘගලක්‍ෂණ යනාදිය’ යි මෙසේ ලක්‍ෂණ පාඨකයෝ ලක්‍ෂණ ප්‍රකාශ කෙරෙත්.
නක්‍ෂත්‍රපාඨකයෝ නකත් පවසති: නකත් අටවිස්සෙකි; මේ නකතින් ගෙවැදි යැ යුත්තේ යැ මේ නකතින් මුහුළු බැන්ද යුතු යැ, මේ නකතින් ආවාහවිවාහ කරැවියැ යුතු යැ, මේ නකතින් බිජු (කොටුවින්) අළ යුතු යැ, මේ නකතින් සංවාසයට යා යුතු යැ’ යි මෙසේ නැකැත්තෝ නකත් පවසති.
ආථබ්බණං සුපිනං ලක්ඛණං නො විදහෙ අථො’ පි නක්ඛත්තං - සිහින ද නිමිති ද නො කරන්නේ යැ නො හැසිරෙන්නේ යැ, වෙසෙසින් නො හැසිරෙන්නේ යැ, මොනොවට ගෙන නො පවත්නේ යැ, නොහොත් නො ගන්නේ යැ, නො දරන්නේ යැ, නො විමසන්නේ යැ, නො සලකන්නේ යැ නො යොදන්නේ නුයි ‘ආථබ්බණං සුපිනං ලක්ඛණං නො විදහෙ අථො’ පි නක්ඛත්තං’ යනු වේ.
විරුතඤ්ච ගබ්භකරණං තිකිච්ඡං මාමකො න සෙවෙය්‍ය - ‘විරුතං’ යී මෘගවාක්‍යය කියනු ලැබෙයි; මෘගවාක්‍යපාඨකයෝ සතුන්ගේ හඬ දක්වති: ලිහිණින්ගේ හෝ සිවුපාවුන්ගේ හෝ නාදය හැඬීම් දැනගනිති. මෙසේ මෘගවාක්‍යපාඨකයෝ සතුන්ගේ හැඬීම දක්වත්. ගර්‍භසංස්ථාපකයෝ ගැබ් පිහිටුවති; දෙකෙරුණෙකින් ගැබ නො පිහිටයි: පණුවන් හේතු කොට හෝ වාතකොපයන් හේතු කොට හෝ යැ; පණුවන් හෝ වාතකොපයන් හෝ නැසීම පිණිස බෙහෙත් දෙත් නුයි මෙසේ ගර්‍භසංස්ථාපකයෝ ගැබ් පිහිටුවත්. තිකිච්ඡා නම්: චිකිත්සා පසෙකි: ශාලාක්‍ය යැ ශල්‍යකර්‍ම යැ කායචිකිත්සා යැ භූතවිද්‍යා යැ කෞමාරභෘත්‍ය යැයි. මාමකො යනු: බුද්ධ මාමක ධර්‍මමාමක සඞ්ඝමාමක වූයේ, හෙතෙම හෝ බුදුන් මාමයන කෙරෙයි, බුදුහු හෝ ඒ පුද්ගලයා විමසන සේක; මේ වදාරන ලද මැය බුදුන් විසින්: “මහණෙනි, යම් ඒ මහණ කෙනෙක් කුහක වූවාහු තද වූවාහු ප්‍රත්‍යය පිළිබඳ වචන කියන්නාහු සැරසෙන පියවි ඇත්තාහු උපචාර අර්පණාසමාධි රහිත වූවාහු වෙත් ද, මහණෙනි, ඒ භික්‍ෂූහු මට මාමක වූවාහු නො වෙති, තවද මහණෙනි, ඒ භික්‍ෂූහු මේ ශාසනයෙන් බැහැර වූවාහු වෙති, ඒ භික්‍ෂූහු මේ ශාසනයෙහි වැඩීමට වැඩුණුබවට විපුල බවට නො ද පැමිණෙත්. තවද මහණෙනි, යම් භික්‍ෂු කෙනෙක් කුහක නො වූවාහු ලපක නො වූවාහු ධීර වූවාහු නො තද වූවාහු මොනොවට එකඟ සිත් ඇත්තාහු වෙත් ද, මහණෙනි, ඒ භික්‍ෂූහු මට මාමක වූවාහු වෙති, තවද මහණෙනි, ඒ භික්‍ෂූහු මේ ශාසනයෙන් නො බැහැර වූවාහු වෙති, ඒ භික්‍ෂූහු මේ ශාසනයෙහි වෘද්ධියට විරෑඪ බවට විපුල බවට ද පැමිණෙත්.
1. කුහක වූ (ක්‍රෝධ - මාන වශයෙන්) තද වූ (ප්‍රත්‍යය පිළිබඳ කථාවෙන්) උපලාපක වූ (ප්‍රකට) කෙලෙස්සිගු ඇති නැඟුණු මානනළ ඇති චිත්තෛකාග්‍රතා රහිත වූ ඔවුහු සම්මාසම්බුදුන් වදාළ ශාසනධර්‍මයෙහි නො වැඩෙත්.
2. කුහක නො වූ ලපක නො වූ ධීර වූ නො තද වූ සුසමාහිත සිත් ඇති ඔවුහු ඒකාන්තයෙන් සම්මාසම්බුදුන් වදාළ ධර්‍මයෙහි වෙසෙසින් වැඩෙත්” යී.
විරුතඤ්ච ගබ්භකරණං තිකිච්ඡං මාමකො න සෙවෙය්‍ය - විරුත ශාස්ත්‍රය ද ගර්‍භසංස්ථාපනය ද චිකිත්සාව ද බුද්ධාදිමාමක වූ මහණ තෙම නො සෙවුනේ යැ, නිසෙවනය නො කරන්නේ යැ, සංසෙවනය නො කරන්නේ යැ, ප්‍රතිසෙනවය නො කරන්නේ යැ, නො හැසිරෙන්නේ යැ, සමාචරණය නො කරන්නේ යැ, සමාදන් වැ නො පවත්නේ යැ; නොහොත් නො ගන්නේ යැ, නුගන්නේ යැ, සිත්හි නො තබන්නේ යැ, නො විමසන්නේ යැ, (අනුනට කීම් වශයෙන්) නො යොදන්නේ යැයි ‘විරුතඤ්ච ගබ්භකරණං තිකිච්ඡං මාමකො න සෙවෙය්‍ය’ යනු වේ.
එයින් වදාළහ බුදුහු:
“ආථබ්බණං සුපිනං -පෙ- තිකිච්ඡං මාමකො න සෙවෙය්‍ය” යී.