මොනෙය්‍යයෝ තිදෙනෙකි: කායමෝනෙය්‍ය යැ වචීමොනෙය්‍ය යැ මනෝමෝනෙය්‍ය යැයි: කායමොනෙය්‍යය කවරැ යත්: ත්‍රිවිධ කාය දුශ්චරිතයන් ගේ ප්‍රහාණය කායමෝනෙය්‍ය යැ, ත්‍රිවිධකායසුචරිතය කායමෝනෙය්‍ය යැ කය අරමුණු කොට උපන් නුවණ කායමෝනෙය්‍ය යැ, කායපරිඥාව කායමෝනෙය්‍ය යැ, පරිඥාසහගත වූ මාර්‍ගය කායමෝනෙය්‍ය යැ, කයෙහි ඡන්‍දරාගය දුරැලීම කායමෝනෙය්‍ය යැ, කායසංස්කාර නිරෝධය ඇති චතුර්‍තථධ්‍යානසමාපත්තිය කායමෝනෙය්‍ය යැ’ මේ කායමෝනෙය්‍ය නමි.
වචීමොනෙය්‍යය කවරැ යත්: චතුර්විධ වාග්දුශ්චරිතයන්ගේ ප්‍රහාණය වචීමොනෙය්‍ය යැ, චතුර්විධ වාක්සුචරිතය වචීමොනෙය්‍ය යැ, වාක් අරමුණු කොට උපන් නුවණ වචීමොනෙය්‍ය යැ වාක්පරිඥාව වචීමොනෙය්‍ය පරිඥාසහගත මාර්‍ගය වචීමොනෙය්‍ය යැ වාක්හි ඡන්‍දරාගප්‍රහාණය වචීමොනෙය්‍ය යැ, වාක්සංස්කාරනිරොධය ඇති ද්විතීයධ්‍යානසමාපත්තිය වචීමොනෙය්‍ය යැ, මේ වචීමොනෙය්‍ය නමි.
මනෝමෝනෙය්‍යය කවරැ යත්: ත්‍රිවිධ මනොදුශ්චරිතයන්ගේ ප්‍රහාණය මනෝමෝනෙය්‍ය යැ, ත්‍රිවිධ මනස්සුචරිතය මනෝමෝනෙය්‍ය යැ, සිත අරමුණු කොට උපන් නුවණ මනෝමෝනෙය්‍ය යැ චිත්තපරිඥාව මනෝමෝනෙය්‍ය යැ, පරිඥාසහගත මාර්‍ගය මනෝමෝනෙය්‍ය යැ, සිතෙහි ඡන්‍දරාගප්‍රහාණය මනෝමෝනෙය්‍ය යැ, චිත්තසංස්කාරයන්ගේ නිරෝධය ඇති සංඥාවෙදයිතනිරෝධසමාපත්තිය මනෝමෝනෙය්‍ය යැ, මේ මනෝමෝනෙය්‍ය නමි.
5. (කායවාග්මනොදුශ්චරිතය දුරැලීම් වශයෙන්) කායමුනි වූ වාග්මුනි වූ මනොමුනි වූ අනාස්‍රව වූ (ඵලයෙහි සිටි හෙයින් මොනෙය්‍යසම්පන්න වු මුනිහු සියලු කෙලෙසුන් දුරු කෙළේ යයි කියත්.
6. කායමුනි වූ වාග්මුනි වූ මනොමුනි වූ අනාස්‍රව වූ මොනෙය්‍යසම්පන්න වූ මුනිහු සෝදා හළ පව් ඇත්තෙකැ යි කියත්.
මේ තුන් මොනෙය්‍යධර්‍මයන්ගෙන් සමන්‍විත වූ මුනීහු සදෙනෙකි; අගාරමුනිහු යැ අනගාරමුනිහු යැ ශෛක්ෂමුනිහු යැ අශෛක්ෂමුනිහු යැ ප්‍රත්‍යෙකමුනිහු යැ මුනිමුනිහු යැයි.
අගාරමුනිහු කවරහු ද යත්: දක්නාලද නිවන ඇති ශික්‍ෂාත්‍රය ශාසනය ඇති යම් ගිහිගේ වැසි කෙනෙක් වෙත් ද, මොහු අගාරමුනිහු යැ; අනගාරමුනිහු කවරහු ද යත්? දුටු නිවන ඇති දත් සසුන් ඇති යම් පැවිදි කෙනෙක් වෙත් ද, මොහු අනගාරමුනි හුයැ; සප්ත ශෛක්‍ෂයෝ සෙඛමුනිහු යැ; රහත්හු අසෙඛමුනිහු යැ; පසේබුදුවරයෝ පවෙවකමුනීහු යැ; තථාගත වූ අර්‍හත් සම්‍යක්සම්බුද්ධයෝ මුනිමුනිහු යයි කියනු ලැබෙත්.
7. මූඪප්‍රකෘති ඇති අවිඥ තෙම මෞනභාවය (- නො බැණ සිටීම) හේතු කොටගෙන මුනි වූයේ නො වෙයි. තවද පණ්ඩිත වූ යමෙක් තුලාව ගෙන සිටියක්හු සෙයින් උත්තම වූ ශීලසමාධ්‍යාදිය ගෙන -
8. අකුශලධර්‍මයන් දුරු කෙරේ ද, හේ මුනි නම් වෙයි. යට කී කරුණෙන් හෙතෙම මුනි වූයේ යැ. යමෙක් ස්කන්‍ධාදි ලෝකයෙහි අධ්‍යාත්ම බාහිරාදි උභයාර්‍තථයන් දැනගනී ද, එ කරුණෙන් හෙතෙම මුනි යයි කියනු ලැබේ.
9. යමෙක් කුශලාකුශලප්‍රභෙද වූ සඳසත් ධර්‍මය ද සියලු ස්කන්‍ධාදි ලෝකයෙහි අධ්‍යාත්මබාහිරාදි ධර්‍මය ද දැන රාගාදි සඞ්ගය හා තෘෂ්ණාදෘෂ්ටිජාලය ඉක්මවා සිටියේ ද ඒ ක්‍ෂීණාස්‍රව මුනි තෙම දෙවිමිනිසුන් විසින් පුදනලදුයේ වේ.
විපපමුත්තො - මුනිහුගේ සිත රාගයෙන් මුක්ත යැ විමුක්ත යැ සුවිමුක්ත යැ, ද්වේෂයෙන් … මෝහයෙන් සිත මුක්ත - විමුක්ත - සුවිමුක්ත යැ. සියලු අකුශලාභිසංස්කාරයන් ගෙන් සිත මුක්ත යැ විමුක්ත යැ සුවිමුක්ත නුයි ‘ස පන්නහාරො මුනි විපපමුත්තො’ යනු වේ.
න කප්පියො නූපරතො න පත්ථියො ‘ති භගවා - ‘කප්ප’ යනු, තෘෂ්ණා කල්පය ද දෘෂ්ටිකල්පය දැ යි කල්ප දෙකෙකි. මේ දෘෂ්ටිකල්පය යි, ඔහු විසින් තෘෂ්ණාකල්පය ප්‍රහීණ යැ, දෘෂ්ටිකල්පය දුරලන ලද; තෘෂ්ණාකල්පය ප්‍රහීණ වන බැවින් දෘෂ්ටිකල්පය දුරලූ බැවින් තෘෂ්ණාකල්පය හො දෘෂ්ටිකල්පය හෝ නො කෙරෙයි. නො දනවයි නූපදවයි නො නිපදවයි. නො පහළ කෙරේ නුයි ‘න කප්පියො’ යනු වේ. නූපරතො - සියලු බාලපෘථග්ජනයෝ ඇලෙති, කල්‍යාණපෘථග්ජනයා පටන් සියලු ශෛක්‍ෂයෝ නො පැමිණි මාර්‍ගයා ගේ පැමිණීම පිණිස අනධිගත වූ ඵලයාගේ අධිගමය පිණිස පසක් නො කළ නිවන ප්‍රත්‍යක්‍ෂ කිරීම පිණිස නො ඇලෙති; විරාගයට පැමිණෙති, වෙසෙසින් විරාගයට පැමිණෙත්, ක්‍ෂීණාස්‍රව තෙම දුරුවූයේ වෙන්වූයේ සර්‍වාකාරයෙන් වෙන්වූයේ නික්මැගියේ පහවගියේ වෙසෙසින් මිදුණේ විසංයුක්ත වූයේ විගතමර්‍ය්‍යාදා කළ සිතින් යුක්ත ව වෙසේ නුයි ‘න කප්පියො නූපරතො’ යනු වේ.
න පත්ථියො - යනු: ‘පත්‍ථනා’ යී තෘෂ්ණාව කියනු ලබයි, යම් රාගයෙක් අධික රාගයෙක් … අභිධ්‍යාවක් ලොභඅකුශලමූලයෙක් වේ ද එය යි. යමක්හු විසින් තෙල ප්‍රාර්‍ත්‍ථනාව තෘෂ්ණාව ප්‍රහීණ කරන ලද්දී සිඳින ලද්දී සන්හිඳුවන ලද්දී උපතට නුසුදුසු වූවා නුවණගින්නෙන් දවන ලද්දී ද, හෙතෙම ‘න පත්ථිය’ යී කියනු ලැබෙයි. භගවා යනු: ගෞරව නාමයෙකි, තවද - නැසූ රාග ඇත් නුයි ‘භගවත්’ යැ, නැසූ ද්වේෂ ඇත් නුයි ‘භගවත්’ යැ, නැසූ මෝහ ඇත් නුයි ‘භගවත්’ යැ, නැසූ මාන ඇත් නුයි ‘භගවත්’ යැ, නැසූ දෘෂ්ටි ඇත් නුයි ‘භගවත්’ යැ, නැසූ කෙලෙස් කටු ඇත් නුයි ‘භගවත්’ යැ, නැසූ කෙලෙස් ඇත් නුයි ‘භගවත්’ යැ, දහම්රුවන් භාග - විභාග - ප්‍රතිවිභාග කෙළේ නුයි ‘භගවත්’ යැ භවයන් අන්ත කෙළේ නුයි ‘භගවත්’ යැ වැඩූ සිල් වැඩූ සිත වැඩූ නුවණ ඇත් නුයි ‘භගවත්’ යැ. බුදුහු අල්පශබ්ද වූ අල්පනිර්‍ඝොෂ වූ ජනවාත රහිත වූ මිනිසුන්ගේ රහස් කරුණට ස්ථාන වූ විවේකයට අනුරූප වූ වනසෙනසුන් වනයෙහි දුරසෙනසුන් වනකෙළවර සෙනසුන් ඇසුර කළාහු නුයි ‘භගවත්’ යැ. බුදුහු සිවුරු පිඬුවා සෙනසුන් ගිලන්පස බෙහෙත්පිරිකරට හිමි වූවාහු නුයි හෝ ‘භගවත්’ යැ. බුදුහු අර්‍තථරසයට ධර්‍මරසයට විමුක්තිරසයට අධිශීලයට අධිචිත්තයට අධිප්‍රඥාවට හිමි වූවාහු නුයි හෝ ‘භගවත්’ යැ. බුදුහු සතර ධ්‍යානයන්ට සතර අප්‍රාමාණ්‍යයන්ට සතර අරූපසමාපත්තීන්ට හිමි වූවාහු නුයි හෝ ‘භගවත්’ යැ. බුදුහු අෂ්ට විමොක්ෂයන්ට අෂ්ට අභිහායතනයන්ට නව අනුපූර්‍වවිහාරසමාපත්තීන්ට හිමි වූවාහු නුයි හෝ ‘භගවත්’ යැ. බුදුහු දශ සංඥා භාවනාවන්ට දශ කෘත්ස්නසමාපත්තීන්ට අනාපානස්මෘති සමාධියට අශුභසමාපත්තියට හිමිවූවාහු නුයි හො ‘භගවත්’ යැ. බුදුහු සතර ස්මෘතිප්‍රස්ථානයන්ට සතර සම්‍යක්ප්‍රධානයන්ට සතර සෘද්ධිපාදයන්ට පඤ්චේන්‍ද්‍රියන්ට පඤ්ච බලයන්ට සප්ත බොධ්‍යඞගයන්ට ආර්‍යාෂ්ටාඞගිකමාර්ගයට හිමි වූවාහු නුයි හෝ ‘භගවත්’ යැ. බුදුහු දශ තථාගතබලයන්ට සතර වෛශාරද්‍යයන්ට සතර ප්‍රතිසංවිද්ධර්‍මයන්ට ෂඩ්භිඥාවන් ෂඩ්විධ බුද්ධධර්‍මයන්ට හිමි වූවාහු නුයි හෝ ‘භගවත්’ නම් වූහ. ‘භගවත්’ යන තෙල නාමය මෑණියන් විසින් නො කරන ලද, පියාණන් විසින් නො කරන ලද, භ්‍රාතෘහු විසින් නො කරන ලද, භගිනිය විසින් නො කරන ලද, මිත්‍රාමාත්‍යයන් විසින් නො කරන ලද, නෑසහලේනෑයන් විසින් නො කරන ලද, මහණබමුණන් විසින් නො කරන ලද, දේවතාවන් විසින් නො කරන ලද, යම් මේ ‘භගවත්’ යන නාමයක් වේ ද, භාග්‍යවත් බුදුවරයන්ට අර්‍හන්මාරර්‍ගාන්තයෙහි උපන් තෙල නාමය බොධිමණ්ඩයෙහි සර්‍වඥතාඥානයාගේ ප්‍රතිලාභය සමග අර්‍හත්ඵලප්‍රත්‍යක්ෂකරණයෙන් හෝ සර්‍වධර්‍මයන් ප්‍රත්‍යක්‍ෂ කිරීමෙන් උපන් ප්‍රඥප්තියක් වී නුයි ‘න කප්පියො නූපරතො න පත්ථියොති භගවා යනු වේ.
එයින් වදාළහ බුදුහු:
“ස සබ්බධමෙමසු -පෙ- න පත්ථියො ‘ති භගවා” යී.
තෙළෙස්වැනි මහාවියූහ සූත්‍රනිර්දේශය සමාප්තයි.
14.
තුවට්‌ටකසූත්‍රනිර්දේශය
ඉක්බිති ‘තුවටක’ සූත්‍රනිර්දේශය කියනු ලැබේ:
14. 1.
ආදිත්‍යබන්‍ධු වූ මහර්ෂි වූ මුබ පුළුවුස්මි: යෝගාවචර මහණ තෙම (කායාදි) ත්‍රිවිධ විවේකය ද (නිවනට කරුණු වූ) බොධිපාක්‍ෂිකධර්‍මය ද කවර කරුණෙකින් දැක (කායාදි) ලෝකයෙහි (රූපාදි) කිසි ධර්‍මයක් උපාදානය නො කෙරෙමින් (රාගාදි කෙලෙසුන්) සන්හිඳුවන්නේ ද?
පුච්ඡාමි තං ආදිච්චබන්‍ධු - ‘පුච්ඡා’ යනු පෘච්ඡා තුනෙකි; අදිට්ඨජොතනා පුච්ඡා යැ, දිට්ඨසංසන්දනා පුච්ඡා යැ, විමතිච්ඡෙදනා පුච්ඡා යි.
අදිට්ඨජොතනා පුච්ඡා කවර යත්: ධර්‍මයන්ගේ තථලක්‍ෂණය පියවින් නො දන්නා ලද නො දක්නා ලද තුලනය නො කරන ලද තීරණය නො කරන ලද ප්‍රකට නො කරන ලද නුවණින් නො වඩන ලද වේ ද, ඒ ධර්‍මයාගේ ලක්‍ෂණය දැනීමට තුලනයට තීරණයට ප්‍රකට කිරීමට ප්‍රශ්න විචාරයි. මෝ අදිට්ඨජොතනා පුච්ඡා යැ.
දිට්ඨසංසන්දනා පුච්ඡා කවර යත්: පියවින් තථලක්‍ෂණය දන්නා ලද දක්නා ලද තුලනය කරන ලද තීරණය කරන ලද ප්‍රකට කරන ලද විභාවන කරන ලද වේ ද, අන්‍ය පණ්ඩිතයන් හා සසඳාලීම පිණිස ප්‍රශ්න විචාරයි. මෝ දිට්ඨසංසන්දනා පුච්ඡායැ.
විමතිච්ඡෙදනාපුච්ඡා කවර යත්: ‘මෙසේ දෝ හෝ නො වේ දෝ හෝ කිමෙක් දෝ හෝ කෙසේ දෝ හෝ’ යි පියවින් සැකයට පැමිණිය් විමතියට පැමිණියේ හටගත් සැක ඇත්තේ වේ ද, හෙතෙම සැක සිඳීම සඳහා ප්‍රශ්න විචාරයි. මෝ ‘විමතිච්ඡෙදනා පුච්ඡා’ යැ; මේ තුන් ප්‍රශ්නයෝ යි.
අන්‍යවූ ද ප්‍රශ්න තුනෙක් වෙයි: මනුෂ්‍යපෘච්ඡා යැ, අමනුෂ්‍යපෘච්ඡා යැ නිර්මිතපෘච්ඡා යැයි.
මනුෂ්‍යපුච්ඡා කවර යත්: මනුෂ්‍යයෝ භගවත් බුදුන් කරා එළඹ පැන පුළුවුස්ති - භික්‍ෂූහු විචාරති, භික්‍ෂුණීහු විචාරති, උපාසකයෝ විචාරති, උපාසිකාවෝ විචාරති, රජවරු විචාරති, ක්‍ෂත්‍රියයෝ විචාරති, බමුණෝ විචාරති, වෛශ්‍යයෝ විචාරති, ශුද්‍රයෝ විචාරති, ගැහැවියෝ විචාරති, පැවිද්දෝ විචාරත්; මෝ මනුෂ්‍යපෘච්ඡා යැ.
අමනුෂ්‍යපුච්ඡා කවර යත්: අමනුෂ්‍යයෝ භාග්‍යවත් බුදුන් කරා එළඹ පැන පුළුවුස්ති - නාගයෝ විචාරති, සුපර්‍ණයෝ විචාරති, යක්‍ෂයෝ විචාරති, අසුරයෝ විචාරති, ගන්‍ධර්‍වයෝ විචාරති, වරම්රජහු විචාරති, ඉන්ද්‍රයෝ විචාරති, බ්‍රහ්මයෝ විචාරති, දේවතාවෝ විචාරත්; මෝ අමනුෂ්‍යපෘච්ඡා යැ.
නිර්මිතපෘච්ඡා කවර යත්: බුදුහු මනෝමය වූ සියලු අඟපසඟ ඇති අවිකල ඉඳුරන් ඇති යම් බුදුරුවක් මවත් ද, ඒ නිර්මිත බුදුහු භාග්‍යවත් වූ ඒ බුදුන් කරා එළඹ පැන පුළුවුස්ති, බුදුහු විසඳන සේක. මෝ නිර්මිතපෘච්ඡා යැ. මොහු තුන් පෘච්ඡා යි.
අනෙකුදු ප්‍රශ්න තුනෙක් වෙයි: ආත්මාර්‍තථපෘච්ඡා යැ, පරාර්‍තථපෘච්ඡා යැ, උභයාර්‍තථපෘච්ඡා යැයි. අනෙකුදු ප්‍රශ්න තුනෙකි: දෘෂ්ටධාර්මිකාර්‍තථපෘච්ඡා යැ, සාමපරායිකාර්‍තථපෘච්ඡා යැ, පරමාර්‍තථපෘච්ඡා යැයි. අනෙකුදු ප්‍රශ්න තුනෙකි: අනවද්‍යාර්‍තථපෘච්ඡා යැ, නික්ලෙශර්‍තථපෘච්ඡා යැ, ව්‍යවදානාර්‍තථපෘච්ඡා යැයි. අනෙකුදු ප්‍රශ්න තුනෙක් වෙයි: අතීතපෘච්ඡා යැ, අනාගතපෘච්ඡා යැ, වර්‍තමානපෘච්ඡා යැයි. අනෙකුදු තුන් ප්‍රශ්නයෙකි: අධ්‍යාත්මපෘච්ඡා යැ, බාහ්‍යපෘච්ඡා යැ, අධ්‍යාත්මබාහ්‍යපෘච්ඡා යැයි. අන්‍ය වූ ද ප්‍රශ්න තුනෙකි: කුශලපෘච්ඡා යැ, අකුශලපෘච්ඡා යැ, අව්‍යාකෘතපෘච්ඡා යැයි. අන්‍ය වූ ද ප්‍රශ්න තුනෙකි: ස්කන්‍ධපෘච්ඡා යැ, ධාතුපෘච්ඡා යැ, ආයතනපෘච්ඡා යැයි. අන්‍යවූ ද තුන් ප්‍රශ්නයෙකි: සතිපට්ඨානපෘච්ඡා යැ, සම්‍යක්ප්‍රධානපෘච්ඡා යැ, ඍද්ධිපාධපෘච්ඡා යැයි. අන්‍ය වූ ද තුන් ප්‍රශ්නයෙකි: ඉන්ද්‍රියපෘච්ඡා යැ, බලපෘච්ඡා යැ, බොධ්‍යඞ්ගපෘච්ඡා යැයි. අන්‍ය වූ ද තුන් ප්‍රශ්නයෙකි: මාර්‍ගපෘච්ඡා යැ, ඵලපෘච්ඡා යැ, නිර්‍වාණපෘච්ඡා යැයි.
පුච්ඡාමි තං - මුබ පුළුවුස්මි, මුබ අයැදිමි, මුබ ආරාධනය කෙරෙමි, මුබ පහදවමි, මට වදාළ මැනවැයි. ‘පුච්ඡාමි තං’ යනු වේ. ආදිච්චබන්‍ධුං ‘ආදිච්ච’ යි හිරු කියනු ලැබෙයි, හිරු ගෝත්‍රයෙන් ගෞතම යැ. භගවත්හු ද ගෝත්‍රයෙන් ගෞතම යැ. බුදුහු හිරුට ගෝත්‍රයෙන් ඥාතීහ, ගෝත්‍රයෙන් බන්‍ධු වූහ. එහෙයින් බුදුහු ආදිත්‍යබන්‍ධු වූහ’ යි ‘පුච්ඡාමි තං ආදිච්චබන්‍ධුං’ යනු වේ.
විවේකං සන්තිපදං ච මහෙසිං - ‘විවේකො’ යනු: විවේක තුනෙකි: කාය විවේක යැ, චිත්තවිවේක යැ, උපධිවිවේක යැයි.
කායවිවේකය කවරේ ද යත්: මේ ශාසනයෙහි මහණ ආරණ්‍ය යැ වෘක්‍ෂමූල යැ පර්‍වත යැ කන්‍දර යැ ගිරිගුහා යැ ශමශාන යැ වානප්‍රස්ථ යැ අභ්‍යවකාශ යැ පලාලපුඤ්ජ යැ යන විවේක සෙනාසනයක් ඇසුරු කෙරෙයි, කයිනු දු විවික්ත වැ වෙසෙයි. හෙතෙම එකලා වැ යෙයි, එකලා වැ සිටියි, එකලා වැ හිඳී, එකලා වැ හොවී, එකලා වැ ගමට පිඬුපසිඟා යයි, එකලා වැ පෙරළා එයි, එකලා වැ රහසැ හිඳී, එකලා වැ සක්මන් කෙරෙයි, එකලා වැ හැසිරෙයි වෙසෙයි ඉරියව් පවත්වයි වැටෙයි රැකෙයි යැපෙයි යාපනය වේ. මේ කායවිවේක යැ.
චිත්තවිවේකය කවරැ යත්: පළමුවන දැහැනට සමවන්හුගේ සිත නීවරණයන්ගෙන් වෙන් වෙයි, දෙවැනි දැහැනට සමවන්හුගේ සිත විතර්‍කවිචාරයන්ගෙන් වෙන් වෙයි, තෙවැනි දැහැනට සමවන්හුගේ සිත ප්‍රීතියෙන් වෙන් වෙයි, සිවුවැනි දැහැනට සමවන්හුගේ සිත සුවදුක් දෙකින් වෙන් වෙයි, ආකාසානඤ්චායතනයට සමවන්හුගේ සිත රූපසංඥාවෙන් ප්‍රතිඝසංඥාවෙන් නානාත්මසංඥාවෙන් වෙන් වෙයි, විඤ්ඤාණඤ්චායතනයට සමවන්හුගේ සිත ආකාසානඤ්චායතන සංඥාවෙන් වෙන් වෙයි, ආකිඤ්චඤ්ඤායතනයට සමවන්හුගේ සිත විඤ්ඤාණඤ්චායතන සංඥාවෙන් වෙන් වෙයි, නේවසඤ්ඤානාසඤ්ඤායතනයට සමවන්හුගේ සිත ආකිඤ්චඤ්ඤායතන සංඥාවෙන් වෙන් වෙයි, සෝවාන්හුගේ සිත සත්කායදෘෂ්ටියෙන් විචිකිත්සායෙන් ශීලව්‍රතපරාමර්‍ශයෙන් දෘෂට්‍යනුශයෙන් විචිකිත්සානුශයෙන් ඔවුන් හා එක්වැ සිටි කෙලෙසුන්ගෙන් ද වෙන් වෙයි. සෙදගැමිහුගේ සිත ඖදාරික වූ කාමරාගසංයෝජනයෙන් ද, ප්‍රතිඝසංයෝජනයෙන් ද, ඖදාරික වූ කාමරාගානුශයෙන් ද, ප්‍රතිඝානුශයෙන් ද, තදේකස්ථ ක්ලේශයන්ගෙන් ද වෙන් වෙයි. අනගැමිහුගේ සිත අණුසහගත වූ කාමරාගසංයෝජනයෙන් හා ප්‍රතිඝසංයෝජනයෙන් ද, අණුසහගත වූ කාමරාගානුශයෙන් හා ප්‍රතිඝානුශයෙන් ද, තදේකස්ථ ක්ලේශයන්ගෙන් ද වෙන් වෙයි. රහත්හුගේ සිත රූපරාගයෙන් අරූපරාගයෙන් මානයෙන් ඖද්ධත්‍යයෙන් අවිද්‍යාවෙන් ද, මානානුශයෙන් භවරාගානුශයෙන් අවිද්‍යානුශයෙන් ද, තදේකස්ථ ක්ලේශයන්ගෙන් ද බාහ්‍ය වූ සියලු සංස්කාරනිමිත්තයන්ගෙන් ද වෙන් වෙයි. මේ චිත්තවිවේක යැ.
උපධිවිවේකය කවරැ යත්: ක්ලේශයෝ ද ස්කන්‍ධයෝ ද අභිසංස්කාරයෝ ද උපධි යි කියනු ලැබෙයි. සියලු සංස්කාරයන් සන්හිඳුණු සියලු උපධි දුරැලූ තෘෂ්ණා ක්‍ෂය වූ කෙලෙස්රජස් නො ඇලුණු දුක නිරුද්ධ වූ තෘෂ්ණාවෙන් නික්මුණු ඒ අමාමහනිවන උපධිවිවේක යයි කියනු ලැබේ. මේ උපධි විවේක යයි.
ගණසඞ්ගණිකායේන් වෙන් වූ කය ඇති (ප්‍රථමධ්‍යානාදි) නිෂ්කාම්‍යයෙහි ඇලුණවුන්ට කායවිවේකය ද, පිරිසිදු සිත් ඇති පරමපාරිශුද්ධියට පැමිණියවුන්ට චිත්තවිවේකය ද, විසංඛාරයට (- අරමුණු කිරීම් වශයෙන් නිවනට) පැමිණි උපධි රහිත පුද්ගලයන්ට උපධිවිවේකය ද වේ.
සන්ති - යනු: එක අයුරෙකින් ශාන්තිය ද ශාන්තිපදය ද එ මැ අමාමහ නිවන යැ, සියලු සංස්කාරයන් සන්හිඳුණු සියලු උපධීන් දුරුවැ සිටි තෘෂ්ණාක්‍ෂය වූ විරාග වූ දුඃඛනිරෝධ වූ ඒ නිර්‍වාණය යි. මේ වදාරන ලද මැය භාග්‍යවතුන් විසින්: යම් මේ සර්‍වසංස්කාරයන්ගේ ශමථයෙක් සර්‍වොපධීන්ගේ දුරැලීමෙක් තෘෂ්ණාක්‍ෂයයෙක් විරාගයෙක් නිරෝධයෙක් නිර්‍වාණයෙක් වේ ද, තෙල ශාන්තපද යැ, තෙල ප්‍රණීතපද යැයි. නොහොත් අන්‍ය වූ අකාරයෙකින් යම් ධර්‍ම කෙනෙක් ශාන්ති (-නිර්‍වාණ) ප්‍රතිලාභය පිණිස ශාන්තිය (ඥානයෙන්) ස්පර්‍ශ කිරීම පිණිස ශාන්තිය ප්‍රත්‍යක්‍ෂ කිරීම පිණිස පවත්නාහු ද, ඒ කවරහු ද යත්: සතර සතිපට්ඨානයෝ යැ, සතර සම්‍යක්ප්‍රධානයෝ යැ සතර ඍද්ධිපාදයෝ යැ, පඤ්චේන්‍ද්‍රියයෝ යැ පඤ්ච බලයෝ යැ සප්තබෝධ්‍යඞ්ගයෝ යැ ආර්‍ය්‍ය අෂ්ටාඞ්ගිකමාර්‍ග යැ යන මොහු යි. මේ ධර්‍මයෝ ශාන්තිපද යැ ත්‍රාණපද යැ ලෙනපද යැ සරණ පද යැ අභයපද යැ අච්‍යුතපද යැ අමෘතපද යැ නිර්‍වාණපද යැයි කියනු ලැබෙත්.
මහේසි - යනු: බුදුහු මහර්ෂි යැ, මහත් වූ ශීලස්කන්‍ධය එෂණ ගවේෂණ පර්‍ය්‍යෙෂණ කෙළේ නුයි මහර්ෂි යැ; මහත් වූ සමාධිස්කන්‍ධය මහත් වූ ප්‍රඥාස්කන්‍ධය - මහත් වූ විමුක්තිස්කන්‍ධය - මහත් වු විමුක්තිඥානදර්‍ශනස්කන්‍ධය එෂණ ගවේෂණ පර්‍ය්‍යෙෂණ කෙළේ නුයි මහර්ෂි යැ, මහත් වූ තමස්කායයා ගේ ප්‍රදාලනය, මහත් වූ විපර්‍ය්‍යාසයා ගේ බිඳීම, මහත් වූ තෘෂ්ණාශල්‍යය ඉදිරීම, මහත් වු දෘෂ්ටිසඞ්ඝාටය ලෙහීම, මහත් වූ මානධවජය හෙළීම, මහත් වූ අභිසංස්කාරය සන්හිඳුවීම, මහත් වූ ඕඝය තරණය කිරීම, මහත් වූ (පස්කඳ) බර බහා තැබීම, මහත් වූ සසරවට සිඳීම, මහත් වූ (කෙලෙස්) තැවුලිය නිවීම, මහත් වූ (ක්ලේශ) පරිදාහය සන්හිඳුවීම, මහත් වූ ධර්‍මධවජය එසැවීම එෂණ ගවේෂණ පර්‍ය්‍යෙෂණ කෙළේ නුයි මහර්ෂි යැ, මහත් වූ සතිපට්ඨානයන් - මහත් සම්‍යක්ප්‍රධානයන් - මහත් ඍද්ධිපාදයන් - මහත් ඉන්‍ද්‍රියයන් - මහත් බලයන් - මහත් බෝධ්‍යඞ්ගයන් - මහත් වූ ආර්‍ය්‍යඅෂ්ටාඞ්ගිකමාර්‍ගය - මහත් වූ පරමාර්‍තථ වූ අමාමහනිවන එෂණ ගවේෂණ පර්‍ය්‍යෙෂණ කෙළේ නුයි මහර්ෂි යැ; නොහොත් මහේශාඛ්‍ය වූ සත්ත්‍වයන් විසින් ‘කොහි යැ බුදුහු, කොහි යැ භාග්‍යවත්හු, කොහි යැ දෙවියනට දෙවි වූවෝ, කොහි යැ නරශ්‍රෙෂ්ඨයෝ ය’ යි එෂිත ගවෙෂිත පර්‍ය්‍යෙෂිත නුයි මහර්ෂි නම් වෙත් යයි, ‘විවේකං සන්තිපදඤ්ච මහෙසිං’ යනු වේ.
කථං දිස්වා නිබ්බාති භික්ඛු - කිසෙයින් දැක බලා තුලනය කොට තීරණය කො විමසා විභූත කොට තමා ගේ රාගය නිවා ද? ද්වේෂය නිවා ද? මෝහය නිවා ද? ක්‍රෝධය - උපනාහය - මක්ඛය - පලාසය - ඊර්‍ෂ්‍යාව - මාත්සර්‍ය්‍යය - මායාව - ශාඨ්‍යය - ස්තම්භය - සාරම්භය - මානය - අතිමානය - මදය - ප්‍රමාදය - සියලු කෙලෙසුන් සියලු දුශ්චරිතයන් - සියලු දරථයන් - සියලු පරිදාහයන් - සියලු සන්තාපයන් - සියලු අකුශලාභිසංස්කාරයන් නිවා ද? ශමනය උපශමනය ව්‍යුපශමනය කෙරේ ද? සන්හිඳුවා ද? භික්ඛු යනු: පෘථග්ජනකල්‍යාණ භික්‍ෂු හෝ ශෛක්‍ෂ භික්‍ෂු හෝ නුයි ‘කථං දිස්වා නිබ්බාති භික්ඛු’ යනු වේ.
අනුපාදියානො ලෝකස්මිං කිඤ්චි - සතර උපාදානයන්ගෙන් උපාදානය නො කරනුයේ නො ගන්නේ නො දැහැගන්නේ නො පිවිසෙනුයේ; ලෝකස්මිං යනු: අපායලෝකයෙහි මිනිස්ලොවැ දෙව්ලොවැ ස්කන්‍ධලෝකයෙහි ධාතුලෝකයෙහි ආයතනලෝකයෙහි; කිඤ්චි යනු: කිසි රූපගතයක් වෙදනාගතයක් සංඥාගතයක් සංස්කාරගතයක් විඥානගතයක් නුයි ‘අනුපාදියානො ලෝකස්මිං කිඤ්චි’ යනු වේ.
එයින් කීහ ඒ නිර්මිත බුදුහු:
“පුච්ඡාමි තං -පෙ- අනුපාදියානො ලෝකස්මිං කිඤ්චි” යී.
14. 2.
බුදුහු මෙසේ වදාළ සේක: ‘ප්‍රපඤ්ච සඞ්ඛ්‍යාත තෘෂ්ණාදෘෂ්ටිහුගේ (අවිද්‍යාදි ක්ලේශ) මූලය ද මම් වෙමි’ පැවැති මානය ද නුවණින් සියල්ල වළහන්නේ යැ, අධ්‍යාත්මයෙහි යම් කිසි තෘෂ්ණාවක් උපදනේ ද ඔවුන්ගේ ප්‍රහාණය පිණිස හැමකල්හි (එළඹ සිටි) සිහි ඇති වැ හික්මෙන්නේ යි.
මූලං පපඤ්චසඞ්ඛායාති භගවා මන්තා අස්මීති සබ්බමුපරුන්‍ධෙ - ප්‍රපඤ්චයෝ මැ ‘පපඤ්චසඞ්ඛා’ නම, තෘෂ්ණාව ‘පපඤ්චසඞ්ඛා’ යැ, දෘෂ්ටිය පපඤ්චසඞ්ඛා යැ, තෘෂ්ණාප්‍රපඤ්චයා ගේ මූලය කවරැ යත්? අවිද්‍යාව මූල යැ, අයෝනිසෝ මනසිකාරය මූල යැ, අස්මිමානය මූල යැ, අහිරිකය මූල යැ, අනොත්තප්පය මූල යැ, උද්ධච්චය මූල යැ; මේ තෘෂ්ණාප්‍රපඤ්චයාගේ මූලය යි. දෘෂ්ටිප්‍රපඤ්චයාගේ මූලය කවරැ යත්? අවිද්‍යාව මූල යැ, අයෝනිසෝ මනසිකාරය මූල යැ, අස්මිමානය මූල යැ, අහිරිකය මූල යැ, අනොත්තප්පය මූල යැ, උද්ධච්චය මූල යැ, මේ දෘෂ්ටිප්‍රපඤ්චයාගේ මූලය යි.
භගවා යනු : ගෞරව නාමයෙකි; තවද බිඳහළ රාග ඇත් නුයි භගවත් යැ, නැසූ ද්වේෂ ඇත් නුයි - නැසූ මෝහ ඇත් නුයි - නැසූ මාන ඇත් නුයි - නැසූ දෘෂ්ටි ඇත් නුයි - නැසූ කෙලෙස්කටු ඇත් නුයි - නැසූ කෙලෙස් ඇත් නුයි භගවත් යැ. දහම්රුවන් භාග - විභාග - ප්‍රතිවිභාග කෙළේ නුයි භගවත් යැ භවයන් අන්ත කෙළේ නුයි - භාවිතකාය නුයි - භාවිතශීල - භාවිතචිත්ත - භාවිතප්‍රඥා ඇත් නුයි භගවත් යැ: නොහොත් බුදුහු අල්පශබ්ද වූ අල්පනිර්‍ඝොෂ ජනවාත රහිත වූ මනුෂ්‍යයන්ගේ රාහස්‍යයට කාරණ වූ විවේකයට යෝග්‍ය වූ වනසෙනසුන් වෙනෙහි දුර සෙනසුන් වනකෙළවර සෙනසුන් භජනය කළාහු නුයි භගවත් යැ, බුදුහු චීවර - පිණ්ඩපාත - සේනාසන - ගිලානපච්චයභෙසජ්ජ - පරික්ඛාරයනට හිමි වූවාහු නුයි භගවත් යැ, බුදුහු අර්‍තථරසයට ධර්‍මරසයට විමුක්තිරසයට අධිශීලයට අධිචිත්තයට අධිප්‍රඥාවට හිමි වූවාහු නුයි භගවත් යැ, බුදුහු සතර ධ්‍යානයන්ට සතර අප්‍රාමාණ්‍යයන්ට සතර අරූපසමාපත්තීන්ට හිමි වූවාහු නුයි හෝ භගවත් යැ, බුදුහු අෂ්ටවිමොක්‍ෂයන්ට අෂ්ට අභිභායතනයන්ට නව අනුරූපවිහාරසමාපත්තීන්ට හිමි වූවාහු නුයි - බුදුහු දශ සංඥාභාවනාවන්ට දසකසිණසමාපත්තීන්ට අනාපානසතිසමාධියට අසුභසමාපත්තියට හිමි වූවාහු නුයි - බුදුහු සතර සතිපට්ඨානයන්ට සතර සම්‍යක්ප්‍රධානයන්ට සතර ඍද්ධිපාදයන්ට පඤ්චේන්‍ද්‍රියයන්ට පඤ්ච බලයන්ට සප්ත බොධ්‍යඞ්ගයන්ට ආර්‍ය්‍යඅෂ්ටාඞ්ගිකමාර්‍ගයට හිමි වූවාහු නුයි - බුදුහු දස තථාගතබලයන්ට චතුර්වෛශාරද්‍යයන්ට සතර ප්‍රතිසංවිද්ධර්‍මයන්ට ෂඩභිඥාවන් ෂඩ්බුද්ධධර්‍මයන්ට හිමි වූවාහු නුයි හෝ ‘භගවත්’ නමි. තෙල ‘භගවත්’ යන නාමය මෑණියන් විසින් නො කරන ලද, පියාණන් විසින් - බෑයකු විසින් - බූනක විසින් - සගයහළුවන් විසින් - නෑසහලේනෑයන් විසින් - මහණබමුණන් විසින් - දේවතාවන් විසින් නො කරන ලද, මේ ‘භගවත්’ යන තෙල නාමය භාග්‍යවත් බුදුවරයන්ට අර්‍හන්මාර්‍ගයාගේ අන්තයෙහි බෝමුල දී සර්‍වඥතාඥානයාගේ ප්‍රතිලාභය සමග රහත්ඵලය ප්‍රත්‍යක්‍ෂ කිරීමෙන් හෝ සර්‍වධර්‍මයන් ප්‍රත්‍යක්‍ෂ කිරීමෙන් උපන් ප්‍රඥප්ත්තියක් වී නුයි - ‘මූලං පපඤ්චසඞ්ඛායා ති භගවා’ යනු වේ.
මන්තා අස්මීති සබ්බමුපරුන්‍ධෙ - ‘මන්තා’ යී ප්‍රඥාව කියනු ලබයි; යම් ප්‍රඥාවක් … අමෝහයෙක් ධර්‍මවිචයයෙක් සම්‍යග්දෘෂ්ටියෙක් වේ ද එයයි. අස්මි යනු රූපයෙහි මම් වෙමි යන මානය මම් වෙමි යන ඡන්‍දය, මම් වෙමි යන අනුසය, වේදනායෙහි - සංඥායෙහි - සංස්කාරයන්හි - විඥානයෙහි අස්මි යන මානය අස්මි යන ඡන්‍දය, අස්මි යන අනුසය නුයි ‘මූලං පපඤ්චසඞ්ඛායාති භගවා මන්තා අස්මීති’ යනු වේ.
සබ්බමුපරුන්‍ධෙ - තෘෂ්ණාදෘෂ්ටිප්‍රපඤ්චයාගේ මූලය ද අස්මිමානය ද ප්‍රඥාවෙන් සියල්ල වළහන්නේය, වෙසෙසින් වළහන්නේය, නිරුද්ධ කරන්නේය, සන්හිඳුවන්නේය, අස්තයට පමුණුවන්නේය, දුරැලන්නේ නුයි මූලං පපඤ්චසඞ්ඛායාති භගවා මන්තා අස්මීති සබ්බමුපරුන්‍ධෙ’ යනු වේ.
යා කාචි තණ්හා අජ්ඣත්තං - ‘යා කාචි’ යනු: සියල්ලෙන් සියල්ල සර්‍වථායෙන් සියල්ල අශේෂ කොට නිශ්ශේෂ කොට ගන්නා වචනයෙකි තෙල ‘යා කාචි’ යනු. තණ්හා යනු: රූපතෘෂ්ණා යැ … ධර්‍මතෘෂ්ණා යී. අජ්ඣත්තං යනු: ඕ තෘෂ්ණාව අධ්‍යාත්මයෙහි උපදනී නුයි හෝ ‘අජ්ඣත්තං’ යනු වේ; නොහොත් ‘අජ්ඣත්තං’ යී සිත කියනු ලැබෙයි, යම් සිතෙක් මනසෙක් මානසයෙක් හදයෙක් භවාඞ්ගසිතෙක් මනසෙක් මනායතනයෙක් මනෙන්ද්‍රියයෙක් විඥානයෙක් විඥානස්කන්‍ධයෙක් තදනුරූප වූ මනෝවිඥාන - ධාතුවෙක් වේ ද එය යි: ඕ තෘෂ්ණාව සිත හා සහගත වූවා සහජාත - සංසෘෂ්ට - සම්ප්‍රයුක්ත - ඒකෝත්පාද - ඒකනිරෝධ - ඒකවස්තුක - ඒකාලම්බන වූවා නුයි ද ‘අජ්ඣත්ත’ වේ නුයි ‘යා කාචි තණ්හා අජ්ඣත්තං’ යනු වේ.
තාසං විනයා සදා සතෝ සික්ඛෙ - ‘සදා’ යනු: සැමදා සැමකල සැමවිට දිනපතා නිරතුරු එක්ව අනෙකක් හා අමිශ්‍රව පිළිවෙළින් ගැටී දියරළක් මෙන් අවිරලව නො සිඳී එක්ව පැහැසී පෙරබත පසුබත පෙරයම මැදියම පැසුම්යම කෘෂ්ණපක්‍ෂයෙහි ශුක්ලපක්‍ෂයෙහි වසන්හි හිමත්හි ගිමන්හි පෙරවියෙහි මැදිවියෙහි පසුවියෙහි; සතෝ යනු: සතර කරුණෙකින් සිහි ඇතියේ: කයෙහි කායානුපස්සනාසතිපට්ඨානය වඩමින් සිහි ඇතියේ වේදනායෙහි … චිත්තයෙහි … ධර්‍මයන්හි ධමමානුපස්සනාසතිපට්ඨානය වඩමින් සිහි ඇතියේ. අන්‍යත් සතර කරුණෙකින් සිහි ඇතියේ: මුළා සිහිය දුරු කිරීමෙන් සිහි ඇතියේ; සිහියෙන් කටයුතු ධර්‍මයන් කළ හෙයින් සිහි ඇතියේ; සිහියට ප්‍රතිපක්‍ෂ වූ ධර්‍මයන් නැසූ බැවින් සිහි ඇතියේ, සතියට නිමිත්ත වූ ධර්‍මයන් නො නට බැවින් සිහි ඇතියේ; අන්‍යත් සතර කරුණෙකින් සිහි ඇතියේ: සිහියෙන් සමන්‍විත වන බැවින් සිහි ඇතියේ, සිහිය වසීභාවයට පැමිණ වූ හෙයින් සිහි ඇතියේ, සිහිය ප්‍රගුණ වන බැවින් සිහි ඇතියේ, සිහිය නො පසුබස්නා බැවින් සිහි ඇතියේ; අන්‍යවූ ද සතර කරුණෙකින් සිහි ඇතියේ; විද්‍යමාන බැවින් (හෝ වස්තුත්‍රයෙහි ඇලුණු බැවින්) සිහි ඇතියේ, කෙලෙස් සන්හිඳු වූ බැවින් සිහි ඇතියේ, නිවුණු බැවින් සිහි ඇතියේ, සත්පුරුෂධර්‍මයෙන් සමන්‍විත බැවින් සිහි ඇතියේ, බුද්ධානුස්මෘතියෙන් - ධර්‍මානුස්මෘතියෙන් - සඞ්ඝානුස්මෘතියෙන් - ශීලානුස්මෘතියෙන් - ත්‍යාගානුස්මෘතියෙන් - දෙවතානුස්මෘතියෙන් - ආනාපානස්මෘතියෙන් - මරණසතියෙන් - කායගතාසතියෙන් - උපශමානුස්මෘතියෙන් සිහි ඇතියේ, යම් ස්මෘතියක් අනුස්මෘතියක් ප්‍රතිස්මෘතියක් වේ ද, සිහියක් සිහි කරන බවක් ධරන බවක් සිහි කරවන බවක් නො මුළාවන බවක් වේ ද, ස්මෘතියෙක් ස්මෘතින්‍ද්‍රියයෙක් ස්මෘතිබලයෙක් සම්‍යක්ස්මෘතියෙක් ස්මෘතිසම්බෝධ්‍යඞ්ගයෙක් එකායනමාර්‍ගයෙක් වේ ද, මෝ ‘සති’ යයි කියනු ලබයි. මේ සතියෙන් යුක්ත වූයේ වෙසෙසින් යුක්ත වූයේ උපගත වූයේ සමූපගත වූයේ සමෘද්ධ වූයේ වෙසෙසින් සමෘද්ධ වූයේ සමන්‍විත වූයේ ද හෙතෙම ‘සිහි ඇතියේ’ යයි කියනු ලැබේ.
සික්ඛෙ යනු: ශික්‍ෂා තුනෙකි: අධිශීලශික්‍ෂා අධිචිත්තශික්‍ෂා අධිප්‍රඥාශික්‍ෂා යයි.
අධිශීලශික්‍ෂා කවරැ යත්: මේ සස්නෙහි මහණ සිල්වත් වෙයි, ප්‍රාතිමෝක්‍ෂසංවරයෙන් සංවර වූයේ ආචාර - ගෝචර දෙකින් යුක්ත වූයේ මඳ පමණ වූ අකුශලයෙහි භය දක්නාසුලු වූයේ වෙසෙයි, ඒ ඒ ශික්‍ෂාපදය සමාදන් වැ හික්මෙයි, ක්‍ෂුද්‍රශීලස්කන්‍ධ යැ මහාශීලස්කන්‍ධ යැ, ශීලය පිහිට යැ ආදි යැ චරණ (-පාද) යැ සංයම යැ සංවරයැ, කුශලධර්‍මයන්ගේ ප්‍රතිලාභයට ද්වාරය වෙයි, උත්තම වේ. මෝ අධිශීලශික්‍ෂා යැ.
අධිචිත්තශික්‍ෂා කවරැ යත්: මේ සස්නෙහි මහණ කාමච්ඡන්‍දයෙන් වෙන් ව අකුශලධර්‍මයන් ගෙන් වෙන් ව සවිතර්‍ක වූ සවිචාර වූ විවේකයෙන් උපන් ප්‍රීතිය හා සුව ඇති ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසෙයි. විතර්‍කවිචාරයන්ගේ සන්හිඳීමෙන් අධ්‍යාත්මයෙහි සම්ප්‍රසාදය ඇති චිත්තයාගේ ඒකෝදිභාවය ඇති අවිතර්‍ක වූ අවිචාර වූ සමාධියෙන් උපන් ප්‍රීතිය හා සුව ඇති ද්විතීයධ්‍යානයට පැමිණ වෙසෙයි, ප්‍රීතිය ද ඉක්මවීමෙන් උපේක්‍ෂාවෙන් යුක්ත ව වෙසෙයි, ස්මෘති ඇතියේ සම්‍යක්ප්‍රඥා ඇතියේ කයින් ධ්‍යානසුඛය ද විඳී, උපේක්‍ෂා ඇත්තේ ය ස්මෘතිමත් ය සුඛවිහරණ ඇත්තේ යයි ආර්‍ය්‍යන් ප්‍රකාශ කරන ඒ තෘතීයධ්‍යානයට පැමිණ වෙසෙයි, කායිකසුඛය ද කායිකදුඃඛය ද ප්‍රාහණයෙන් පළමු මැ සොම්නස්දොම්නසුන් අතුරුදහන් වීමෙන් දුක් නැති සුව නැති උපේක්‍ෂාව හා ස්මෘතිපාරිශුද්ධිය ඇති චතුර්‍ත්‍ථධ්‍යානයට පැමිණ වෙසෙයි. මෝ අධිචිත්තශික්‍ෂා යැ.
අධිප්‍රඥාශික්‍ෂා කවරැ යත්: මේ සස්නෙහි මහණ ප්‍රඥාවත් වෙයි, නිර්දෝෂ වූ ලොභාදිය සිඳීමට පොහොසත් වූ මනාකොට දුක් ක්‍ෂය කිරීමට පමුණුවන උදයව්‍යයගාමිනී ප්‍රඥාවෙන් සමන්‍විත වූයේ වෙයි, හෙතෙම මේ දුකැ’ යි තතු සේ දැනගනී, ‘මේ දුඃඛසමුදයැ’ යි තතු සේ දැනගනී, ‘මේ දුඃඛනිරෝධ යැ’ යි තතු සේ දැනගනී, ‘මෝ දුඃඛනිරෝධගාමිනී ප්‍රතිපදාව යැ’ යි තතු සේ දැනගනී; මොහු ආස්‍රවයෝ යැයි තතු සේ දැනගනී, මේ ආස්‍රවසමුදයැයි තතු සේ දැනගනී, මේ ආස්‍රවනිරෝධ යැයි තතු සේ දැනගනී, මෝ ආස්‍රවනිරොධගාමිනි ප්‍රතිපදාව යැයි තතු සේ දැනගනී. මෝ අධිප්‍රඥාශික්‍ෂා යි.
තාසං විනයා සදා සතෝ සික්ඛෙ - ඒ තෘෂ්ණාවන්ගේ විනය පිණිස ප්‍රතිවිනය පිණිස ප්‍රහාණය පිණිස සන්හිඳුවීම පිණිස දුරලීම පිණිස නූපදීම පිණිස අධිශීලයෙහි ද හික්මෙන්නේය, අධිචිත්තයෙහි ද හික්මෙන්නේ ය, අධිප්‍රඥාවෙහි ද හික්මෙන්නේය; මේ ත්‍රිවිධ ශික්‍ෂාවන් ආවර්‍ජන කෙරෙමින් හික්මෙන්නේය, දැනගනිමින් - දක්මින් - ප්‍රත්‍යවේක්‍ෂා කෙරෙමින් හික්මෙන්නේය, සිත පිහිටුවමින් හික්මෙන්නේය, සැදැහැයෙන් සනිටුහන් කෙරෙමින් - වීර්‍ය්‍යය දැඩිව ගනිමින් - සිහි එළවමින් - සිත පිහිටුවමින් - නුවණින් දැන ගනිමින් - වෙසෙසින් දතයුත්ත මනාකොට දැනගනිමින් - සමාන්‍යලක්‍ෂණාවබොධයෙන් දතයුත්ත හාත්පසින් දැනගනිමින් - ප්‍රහීණ කළ යුත්ත ප්‍රහීණ කෙරෙමින් - වැඩිය යුතු මාර්‍ගය වඩමින් - පසක් කළයුතු නිවන පසක් කෙරෙමින් හික්මෙන්නේය, හැසිරෙන්නේය, මොනොවට හැසිරෙන්නේය සමාදන් ව පවත්නේ නුයි ‘තාසං විනයා සදා සතෝ සික්ඛෙ’ යනු වේ.
එයින් වදාළහ බුදුහු:
“මූලං පපඤ්චසඞ්ඛාය -පෙ- සදා සතෝ සික්ඛෙ” යී.
14. 3.
තමා කෙරෙහි වූ ද නොහොත් (උපාධ්‍යායාදි) බැහැර වූ ද යම් කිසි (කුලීනත්‍වාදි) ගුණයක් දන්නේ නම් ඒ හේතුකොටගෙන මානය නො කරන්නේය. ඒ උන්නතිය බුද්ධාදීන් විසින් නිබ්බුති යයි නො කියන ලද්දී ද එහෙයිනි.
යං කිඤ්චි ධම්මමභිජඤ්ඤා අජ්ඣත්තං - කුශලධර්‍මයෙහි හෝ අව්‍යාකෘතධර්‍මයෙහි හෝ යම් කිසි තමාගේ ගුණයක් දන්නේ නම් - තමාගේ ගුණයෝ කවරහ යත්? උසස් කුලයෙන් පැවිදි වූයෙම් හෝ වෙමි, ගැහැවි මහසල් කුලයෙන් පැවිදි වූයෙම් හෝ වෙමි, මහත් භොග ඇති කුලයෙන් පැවිදි වූයෙම් හෝ වෙමි, ගැහැවියන් සහිත පැවිද්දන් අතුරෙහි ප්‍රකටයෙම් යශස් ඇත්තෙම් හෝ වෙමි, සිවුරු පිඬුවා සෙනසුන් ගිලන්පස බෙහෙත්පිරිකර ලබන්නෙම් හෝ වෙමි, සූත්‍ර හදාරනුයෙම් හෝ වෙමි, විනයධරයෙම් හෝ වෙමි, ධර්‍මකථිකයෙම් හෝ වෙමි, ආරණ්‍යකයෙම් හෝ වෙමි, පිණ්ඩපාතිකයෙම් හෝ වෙමි, පාංශුකූලිකයෙම් හෝ වෙමි, ත්‍රෛචීවරිකයෙම් හෝ වෙමි, සපදානවාරිකයෙම් හෝ වෙමි, ඛලුපච්ඡාභත්තිකයෙම් හෝ වෙමි, නෙසජ්ජිකයෙම් හෝ වෙමි, යථාසන්‍ථතිකාඞ්ග ඇතියෙම් හෝ වෙමි, ප්‍රථමධ්‍යානලාභී හෝ වෙමි, ද්වීතියධ්‍යානලාභී හෝ වෙමි, තෘතීයධ්‍යානලාභී හෝ වෙමි, චතුර්‍ත්‍ථධ්‍යානලාභී හෝ වෙමි, ආකාසානඤ්චායතනසමාපත්තිලාභී හෝ වෙමි, විඤ්ඤාණඤ්චායතනසමාපත්තිලාභී හෝ වෙමි, ආකිඤ්චඤ්ඤායතනසමාපත්ති - නෙවසඤ්ඤානාසඤ්ඤායතනසමාපත්තිලාභී හෝ වෙමි. මොහු තමාගේ ගුණයෝ යැයි කියනු ලැබෙති. යම් කිසි තමාගේ ගුණයක් දන්නේ නම් හාත්පසින් දන්නේ නම් වෙසෙසින් දන්නේ නම් මැනැවින් දන්නේ නම් අවබෝධ කරන්නේ නම් යී ‘යං කිඤ්චි ධම්මමභිජඤ්ඤා අජ්ඣත්තං’ යනු වේ.
අථවාපි බහිද්ධා - උපාධ්‍යායයන්ගේ හෝ ආචාර්‍ය්‍යයන්ගේ හෝ ඒ ගුණයෝ වන්නාහු නුයි ‘අථවාපි බහිද්ධා’ යනු වේ.
න තෙන ථාමං කුබ්බෙථ - තමාගේ ගුණයෙන් හෝ අනුන්ගේ ගුණයෙන් හෝ ථාමය නො කරන්නේය, තදබව නො කරන්නේය, මානය නො කරන්නේය, උන්නතිය නො කරන්නේය, උඩඟුබව නො කරන්නේය, එයින් මානය නූපදවන්නේය, එයින් තද වූයේ දැඩි වූයේ නැඟූ හිස ඇත්තේ නො වන්නේ යයි ‘න තෙන ථාමං කුබ්බෙථ’ යනු වේ.
න හි සා නිබ්බුති සතං වුත්තා - සාධුන් ශාන්තයන් සත්පුරුෂයන් බුදුවරුන් බුදුසව්වන් පසේබුදුවරුන් විසින් ඒ උන්නතිය නිර්‍වෘතියයි නො කියන ලද්දීය, නො පවසන ලද්දීය, නො දෙසන ලද්දීය, නො පනවන ලද්දීය, නො තබන ලද්දීය, අවිවාතය, අවිභක්ත ය, ප්‍රකට නො කරන ලද, ප්‍රකාශ නො කරන ලද්දී නුයි ‘න හි සා නිබ්බුති සතං වුත්තා’ යනු වේ.
එයින් වදාළහ බුදුහු:
“යං කිඤ්චි ධම්මමභිජඤ්ඤා -පෙ- න හි සා නිබ්බුති සතං වුත්තා” යී.
14. 4.
ඒ මානයෙන් මම් උතුමැයි ද හීනයෙම් ද නොහොත් සදෘශයෙම් ද නො හඟනේ යැ. (කුලීනත්‍වාදි) විවිධාකාරයෙන් යුක්ත වූයේ තමා විකල්පනය කෙරෙමින් නො සිටිනේ යි.
සෙය්‍යො න තෙන මඤ්ඤෙය්‍ය - ජාතියෙන් හෝ ග්‍රොත්‍රයෙන් හෝ කුලපුත්‍රභාවයෙන් හෝ වර්‍ණසෞන්‍දර්‍ය්‍යයෙන් හෝ ධනයෙන් හෝ අධ්‍යයනයෙන් හෝ කර්‍මායතනයෙකින් හෝ ශිල්පායතනයෙකින් හෝ විද්‍යාවෙකින් හෝ ශ්‍රැතයෙන් හෝ ප්‍රතිභානයෙන් හෝ අන්‍යතරාන්‍යතර වස්තුවෙකින් හෝ ‘මම් ශ්‍රෙෂ්ඨයෙමී’ අතිමානය නූපදවන්නේ නුයි ‘සෙය්‍යො න තෙන මඤ්ඤෙය්‍ය’ යනු වේ.
නීචෙය්‍යො අථවාපි සරික්ඛො - ජාතියෙන් හෝ ග්‍රොත්‍රයෙන් හෝ අන්‍යතරාන්‍යතර වස්තුවෙකින් හෝ හෝ ‘මම් හීනයෙමි’ අවමානය නූපදවන්නේය. ජාතියෙන් හෝ ග්‍රොත්‍රයෙන් හෝ කුලපුත් බැවින් හෝ වර්‍ණසෞන්දර්‍ය්‍යෙන් හෝ ධනයෙන් හෝ අධ්‍යයනයෙන් හෝ කර්‍මායතනයෙකින් හෝ ශිල්පායතනයෙකින් හෝ විද්‍යාවෙකින් හෝ ශ්‍රැතයෙන් හෝ ප්‍රතිභානයෙන් හෝ අන්‍යතරාන්‍යතර වස්තුවෙකින් හෝ ‘මම සදෘශයෙමී’ මානය නූපදවන්නේ නුයි ‘නීචෙය්‍යො අථවා පි සරික්ඛො යනු’ වේ.
ඵුට්ඨො අනෙකරූපෙහි - අනේකවිධ වූ ආකාරයන්ගෙන් පහස්නා ලදුයේ යුක්ත වූයේ රැස් වූයේ සමන්‍විත වූයේ නුයි ‘ඵුට්ඨො අනෙකරූපෙහි’ යනු වේ.
නාතුමානං විකප්පයං තිට්ඨෙ - ‘ආතුමා’ යී තෙමේ කියනු ලැබෙයි. තමා කල්පන කෙරෙමින් විකල්පන කෙරෙමින් විකල්පයට පැමිණෙමින් නො සිටිනේ නුයි ‘නාතුමානං විකප්පයං තිට්ඨෙ’ යනු වේ.
එයින් වදාළහ බුදුහු:
“සෙය්‍යො න තෙන මඤ්ඤෙය්‍ය -පෙ- නාතුමානං විකප්පයං තිට්ඨෙ” යී.
14. 5.
මහණ තෙමේ අධ්‍යාත්මයෙහි ම (රාගාදිය) සන්හිඳුවන්නේය. අන්‍ය වූ අශුද්ධිමාර්‍ගයෙන් ශාන්තිය නො සොයන්නේය. අධ්‍යාත්මයෙහි (රාගාදිය) සන්හිඳුණු (ක්‍ෂීණාස්‍රවහට) ආත්මදෘෂ්ටිය නැත. උච්ඡේදදෘෂ්ටිය හෝ කොයින් ද?
අජ්ඣත්තමෙව උපසමෙ - අධ්‍යාත්මයෙහි රාගය සන්හිඳුවන්නේ ය, ද්වේෂය සන්හිඳුවන්නේ ය, මෝහය සන්හිඳුවන්නේ ය, ක්‍රෝධය - උපනාහය - මක්ඛය - පලාසය - ඊර්‍ෂ්‍යාව - මාත්සර්‍ය්‍යය - මායාව - සාඨ්‍යය - ස්තම්භය - සාරම්භය - මානය - අතිමානය - මදය - ප්‍රමාදය - සියලු ක්ලේශයන් - සියලු දුශ්චරිතයන් - සියලු දරථයන් - සියලු පරිදාහයන් - සියලු සන්තාපයන් -සියලු අකුශලාභිසංස්කාරයන් ශමනය කරන්නේය, ව්‍යුපශමනය කරන්නේය, නිවන්නේ ය, දුරලන්නේ නුයි ‘අජ්ඣත්තමෙව උපසමෙ’ යනු වේ.
නාඤ්ඤතො භික්ඛු සන්තිමෙසෙය්‍ය - (සතිපට්ඨානාදියෙන්) අන්‍ය වූ අශුද්ධිමාර්‍ගයෙන් මිත්‍ථ්‍යාප්‍රතිපදායෙන් අනෛර්‍ය්‍යාණිකපථයෙන්, සතිපට්ඨානයන්ගෙන් වෙන් ව සම්‍යක්ප්‍රධානයන්ගෙන් වෙන් ව ඍද්ධිපාදයන්ගෙන් වෙන් ව ඉන්‍ද්‍රියයන්ගෙන් වෙන් ව බලයන්ගෙන් වෙන් ව බෝධ්‍යඞ්ගයන් ගෙන් වෙන් ව ආර්‍ය්‍යඅෂ්ටාඞ්ගිකමාර්‍ගයෙන් වෙන් ව ශාන්තිය උපශාන්තිය ව්‍යුපශාන්තිය නිවන පටිප්පස්සද්ධිය නො සොයන්නේ ය, ගවේෂණය නො කරන්නේය, පර්‍ය්‍යෙෂණය නො කරන්නේ යි ‘නාඤ්ඤතො භික්ඛු සන්තිමෙසෙය්‍ය’ යනු වේ.
අජ්ඣත්තං උපසන්තස්ස - අධ්‍යාත්මයෙහි රාගය සන්හුන්නහුට ද්වේෂය සන්හුන්නහුට මෝහය සන්හුන්නහුට … සියලු අකුශලාභිසංස්කාරයන් සන්හුන්නහුට උපශාන්ත වූවහුට ව්‍යුපශාන්ත වූවහුට නිවුණහුට දුරලුවහුට නුයි ‘අජ්ඣත්තං උපසන්තස්ස’ යනු වේ.
නත්‍ථි අත්තා කුතො නිරත්තා වා - ‘නත්‍ථි’ යනු ප්‍රතික්‍ෂේප යැ; අත්තා යනු: ආත්මදෘෂ්ටිය නැත. නිරත්තා යනු : උච්ඡේදදෘෂ්ටිය නැත. ‘ආත්ම යැ’ යි ගන්නා ලද්දක් නැත, ‘නිරාත්ම යැ’ යි හළ යුත්තක් නැත. යමකුට ගන්නා ලද්දක් ඇත් නම් ඔහුට හළයුත්තකු දු ඇත, යමකුට හළයුත්තක් නැත් නම් ඔහුට ගතයුත්තකු දු නැත. රහත් තෙම ගැනීම ද හැරීම ද ඉක්මවූයේ ය, වෘද්ධිය ද හානිය ද ඉක්මවා සිටියේ ය. හෙතෙම වැස නිම වූ දශ ආර්‍ය්‍යවාස ඇත්තේ ය. වසඟ කළ චරණධර්‍ම ඇත්තේ ය … ඔහුට ජාතිමරණසංසාරය පුනර්‍භවය නැත් නුයි ‘නත්‍ථි අත්තා කුතො නිරත්තා වා’ යනු වේ.
එයින් වදාළහ බුදුහු:
“අජ්ඣත්තමෙව උපසමෙ -පෙ- කුතො නිරත්තා වා” යී.
14. 6.
මහාසාගරයාගේ (යොදුන් සාරදහසක් පමණ වූ) මධ්‍යභාගයෙහි යම් සේ රළ නො හටගනී ද, (නිශ්චල ව) සිටියේ වේ ද, එසෙයින් තෘෂ්ණා රහිත වූ ක්‍ෂීණාස්‍රව තෙම (අටලෝදහමින් නො සැලී) සිටියේ වන්නේ ය. එබඳු මහණ කිසිවෙක්හි (රාගාදි) උස්සදයක් නො කරන්නේ යි.
මජ්ඣෙ යථා සමුද්දස්ස ඌමි නො ජායති ඨිතො හොති - සමුද්‍රය යට පත්ලෙන් සූවාසුදහසක් යොදුන් ගැඹුරු යැ. යටින් සතලිස්දහසක් යොදුන් ජලය මස්කැස්බන්ගෙන් කම්පා වෙයි. මත්තෙහි සතලිස්දහසක් යොදුන් දිය වාතයෙන් කම්පා වෙයි. මැද සාරදහසක් යොදුන් දිය නො සැලෙයි, ඔබිනොබ නො සැලෙයි, නිශ්චල වෙයි, නො වෙවුලයි, නො පෙරැළෙයි, නො කැරැකෙයි, කම්පා නො වූයේ නො ගැටුණේ නො සැලුණේ නො කැලැඹුණේ නො කැරැකුණේ සන්හිඳුණේ වෙයි. එහි රළ නූපදී, සමුද්‍රය සිටියේ වේ නුයි මෙසේත් ‘මජ්ඣෙ යථා සමුද්දස්ස ඌමි නො ජායති ඨිතො හොති’ යනු වේ. නොහොත් (යුගන්‍ධරාදි) සත් පර්‍වයතයන් අතරැ සප්ත සීදන්තර මහාසමුද්‍රයෝ වෙති, එහි දිය කම්පන විකම්පන නො වෙයි, නො සැලෙයි, නො වෙවුලයි, නො පෙරැළෙයි, නො කැරැකෙයි. කම්පා නො වූයේ නො ගැටුණේ නො සැලුණේ නො කැලැඹුණේ නො බැමුණේ සන්හිඳුණේ වෙයි, එහි රළ නූපදී, සමුද්‍රය සිටියේ වේ නුයි මෙසේත් ‘මජ්ඣෙ යථා සමුද්දස්ස ඌමි නො ජායති ඨිතො හොති’ යනු වේ.
එවං ඨිතො අනෙජස්ස - ‘එවං’ යනු ඖපම්‍යසම්ප්‍රතිපාදන යැ, ඨිතො යනු: ලාභයෙහි දු නො සැලෙයි, අලාභයෙහිදු නො සැලෙයි, යශස්හි දු නො සැලෙයි, අයශස්හි දු නො සැලෙයි, ප්‍රශංසායෙහි දු නො සැලෙයි නින්‍දායෙහි දු නො සැලෙයි, සුවයෙහි දු නො සැලෙයි, දුකෙහි දු නො සැලෙයි, ඔබිනොබැ නොසැලෙයි, නිශ්චල වෙයි, නො වෙවුලයි, නො පෙරැළෙයි, පරිභ්‍රම නො වේ නුයි මෙසේ සිටියේ; අනෙජස්ස යනු: ‘එජා’ යී තෘෂ්ණාව කියනු ලබයි. යම් රාගයෙක් සංරාගයෙක් … අභිධ්‍යාවක් ලෝභ අකුශලමූලයෙක් වේ ද එයයි. යමක්හු විසින් තෙල එජාව තෘෂ්ණාව ප්‍රහීණ කරන ලද්දී මුලුසුන් කරන ලද්දී සන්හිඳුවන ලද්දී දුරලන ලද්දී අභව්‍යොත්පත්තික වූවා නුවණගින්නෙන් දවන ලද්දී ද, හේ ‘අනෙජ’ යයි කියනු ලැබේ. එජාව ප්‍රහීණ බැවින් ‘අනෙජ’ යී. හේ ලාභයෙහි දු නො සැලෙයි, අලාභයෙහි දු - යශස්හි දු - අයශස්හි දු - ප්‍රශංසායෙහි දු - නින්‍දායෙහි දු - සුවයෙහි දු - දුකෙහි දු නො සැලෙයි, නිශ්චල වෙයි, නො වෙවුලයි, ඔබිනොබැ නො වෙවුලයි, නො පෙරැළේ නුයි ‘එවං ඨිතො අනෙජස්ස’ යනු වේ.
උස්සදං භික්ඛු න කරෙය්‍ය කුහිඤ්චි - ‘උස්සද’ යනු: උත්සද සතෙකි; රාගොත්සදය ද්වෙෂොත්සදය මොහොත්සදය මානොත්දය දෘෂ්ට්‍යුත්සදය ක්ලෙශොත්දය කර්‍මොත්සය නො කරන්නේ ය. නො පහළ කරන්නේ ය. කුහිඤ්චි යනු: කිසිවෙක්හි කිසි තැනෙක්හි කවර තැනෙක්හි අධ්‍යාත්මයෙහි හෝ බාහ්‍යයෙහි හෝ අධ්‍යාත්මබාහ්‍යයෙහි හෝ නුයි ‘උස්සදං භික්ඛු න කරෙය්‍ය කුහිඤ්චි’ යනු වේ.
එයින් වදාළහ බුදුහු:
“මජ්ඣෙ යථා සමුද්දස්ස -පෙ- උස්සදං භික්ඛු න කරෙය්‍ය කුහිඤ්චි” යී.
14. 7.
අනාවරණ වූ පසැස් ඇතියේ උවදුරු දුරු කරන්නා වූ තමන් අයත් වූ නොහොත් තමන් විසින් ප්‍රත්‍යක්‍ෂ කළ ධර්‍මය වදාළේ ය. මුබට කල්‍යාණයෙක් වේවා. නොහොත් මුබගේ භද්‍ර වූ ප්‍රතිපදාව වදාළ මැනවි. ප්‍රතිමොක්‍ෂය ද යළි සමාධිය ද වදාළ මැනැවි.
අකිත්තයී විවටචක්ඛු - ‘අකිත්තයී’ යනු: දක්වන ලද පවසන ලද දෙසන ලද පනවන ලද තබන ලද විවෘත කරන ලද විභාග කරනලද ප්‍රකට කරන ලද ප්‍රකාශ කරන ලද නුයි ‘අකිත්තයී’ යනු වේ. විවටචක්ඛු යනු: බුදුහු පසැසකින් විවටචක්ඛු වූහ: මසැසිනු දු විවටචක්ඛු යහ, දිවැසිනු දු විවටචක්ඛු යහ, පැනැසිනු දු විවටචක්ඛු යහ, බුදුඇසිනු දු විවටචක්ඛු යහ, සමතැසිනු දු විවටචක්ඛු වූහ.
කිසෙයින් බුදුහු මසැසිනුදු ‘විවටචක්ඛු’ වූහ යත්: භාග්‍යවත්හුගේ මසැස්හි නිල්පැහැය ද රන්වන් පැහැය ද රත්පැහැය ද කළුපැහැය ද සුදුපැහැය ද යන පඤ්චවර්‍ණයෝ විද්‍යමාන වෙති. තවද බුදුන්ගේ අක්‍ෂිරොම යම් තැනෙක්හි පිහිටියේ ද එතැන දියමෙරළියමල් සිදිසි සුනිල් පිරිසුදු දැකුම්කලු නිල්පැහැ වෙයි. එ ඉක්බිති කිණිහිරිමල් සදිසි සුකසාවන් රන්වන් පිරිසුදු දැකුම්කලු කසාවන් පැහැ වෙයි. බුදුන්ගේ දෙනෙතග රතිඳුගොව් සදිසි සුරත් පිරිසිදු දැකුම්කලු රත්පැහැ වෙයි. මැද රුකපෙණල ඇට සදිසි ඉතා කළු මොළොක් සිනිඳු පිරිසිදු දැකුම්කලු කළුපැහැ වෙයි. ඉනික්බිති දවහත්තරු සදිසි ඉතා සුදු සිත පඬෙර පිරිසිදු දැකුම්කලු සුදුපැහැ වේ. බුදුහු අත්බැව ඇසුරු කළ පෙර පින්කමින් උපන් ඒ පියවි මසැසින් දහවල්හි දු රැයි දු හාත්පසින් යොදුනක් දකිති. යම් කලෙක චතුරඞ්ගසමන්‍වාගත අන්‍ධකාරය වේ ද; හිරු අස්තයට ගියේ වේ ද, කෘෂ්ණපක්‍ෂයෙහි පොහොයත් වේ ද, ගහන වූ වනලැහැබත් වේ ද, මහත් කළු වලාකුළු නැඟුණේත් වේ ද, මෙබඳු වූ චතුරඞ්ගසමන්‍වාගත අන්‍ධකාරයෙහි පවා හාත්පස යොදුනක් දකිති, එහි ඒ බිත්තියක් හෝ දොරක් පවුරක් ගලක් ගසක් වැලක් හෝ රූපදර්‍ශනයට ආවරණයෙක් නොවේ. ඉදින් එක් තලඇටයෙක් ලකුණු කොට තලගැලෙක බහාලන්නේ නම්, ඒ තලඇටය මැ නඟාගන්නා සේක. බුදුන්ගේ පියවි මැසැස මෙසේ පිරිසිදු වේ. මෙසේ බුදුහු මසැසිනුදු විවටචක්ඛු වන සේක.
කිසෙයින් බුදුහු දිවැසිනුදු ‘විවටචක්ඛු’ වූහ යත්: බුදුහු විශුද්ධ වූ මිනිසැස ඉක්මැ සිටියා වූ දිවැසින් ච්‍යුත වන්නාවූ ද උපදනා වූ ද හීන වූ ද ප්‍රණීත වූ ද අභිරූප වූ ද විරූප වූ ද සුගතියට ගියා වූ ද දුගතියට ගියා වූ ද සත්ත්‍වයන් බලන සේක: ‘යහහ, මේ භවත් සත්ත්‍වයෝ කායදුශ්චරිතයෙන් යුක්ත වූවාහු වාග්දුශ්චරිතයෙන් යුක්ත වූවාහු මනෝදුශ්චරිතයෙන් යුක්ත වූවාහු ආර්‍ය්‍යයනට උපවාද කළාහු මිත්‍ථ්‍යාදෘෂ්ටි ඇත්තාහු මිත්‍ථ්‍යාදෘෂ්ටි වශයෙන් සමාදන් වූ විවිධ කර්‍ම ඇත්තාහු ය. ඔහු කය බිඳීමෙන් මරණින් මත්තෙහි අය රහිත වූ දුකට ගති වූ විවසව පතිත වන නිරයට පැමිණියාහු ය. යළි මේ භවත් සත්ත්‍වයෝ කායසුචරිතයෙන් යුක්ත වූවාහු වාක්සුචරිතයෙන් යුක්ත වූවාහු මනස්සුචරිතයෙන් යුක්ත වූවාහු (බුද්ධාදි) ආර්‍ය්‍යයනට උපවාද නො කළාහු සම්‍යග්දෘෂ්ටි ඇත්තාහු සම්‍යග්දෘෂ්ටි වශයෙන් සමාදන් වූ විවිධ කර්‍ම ඇත්තාහු ය. ඔහු කාබුන් මරණින් මතු සුන්‍දර ගති ඇති සැපයෙන් අග්‍ර වූ ලෝකයට පැමිණියාහ’ යි කම් වූ පරිද්දෙන් පැමිණි සත්ත්‍වයන් දැනගන්නා සේක. මෙසේ විශුද්ධ වූ මිනිසැස ඉක්මැ සිටි දිවැසින් ච්‍යුත වන්නාවූ ද උපදනාවූ ද හීන වූ ද ප්‍රණීත වූ ද අභිරූප වූ ද විරූප වූ ද සුගතියට ගියා වූ ද දුගතියට ගියා වූ ද සත්ත්‍වයන් බලනා සේක. කම් වූ පරිදි (පරලොව) පැමිණි සත්ත්‍වයන් දැනගන්නා සේක. තවද බුදුහු කැමැති වන්නාහු නම් එක් ලෝකධාතුවකු දු බලන සේක. ලෝකධාතු දෙකක් ද - තුන් ලෝකධාතුවකුදු - සිවු ලෝකධාතුවකු දු - පස් ලෝකධාතුවකු දු බලන සේක. දස ලෝකධාතුවකු දු - විසි ලෝකධාතුවකු දු තිස් ලෝකධාතුවකු දු සතලිස් ලෝකධාතුවකු දු පනස් ලෝකධාතුවකු දු සියක් ලෝකධාතුහු ද බලන සේක, සහස්‍රී චූලතීලෝකධාතුව ද බලන සේක. ද්විසහස්‍රී මධ්‍යමලෝකධාතුව ද බලන සේක, ත්‍රිසහස්‍රීමහාසහස්‍රීලෝකධාතුව ද බලන සේක. තවද යම් පමණ කැමැති වන සේක් නම්, එපමණ බලන සේක. බුදුන්ගේ දිවැස මෙසේ පරිශුද්ධ වේ. මෙසේ බුදුහු දිවැසිනු දු ‘විවටටචක්ඛු’ වන සේක.
කිසෙයින් බුදුහු පැනැසිනු දු ‘විවටචක්ඛු’ වූහ යත්? බුදුහු මහත් ප්‍රඥා ඇතියහ. පතළ ප්‍රඥා ඇතියහ, ශීඝ්‍ර ප්‍රඥා ඇතියහ, දිවෙන ප්‍රඥා ඇතියහ, තියුණු ප්‍රඥා ඇතියහ, විනිවිද යන ප්‍රඥා ඇතියහ, ප්‍රඥාප්‍රභෙදයහි නිපුණයහ, ප්‍රභේදයට පැමිණි ඥාන ඇතියහ, අධිගම කළ ප්‍රතිසංවිද් ඇතියහ, චතුර්වෛශාරද්‍යයට පැමිණියහ, දශබලධාරීහ, පුරුෂශ්‍රේෂ්ඨයහ, පුරුෂසිංහයහ, පුරුෂනාගයහ, පුරුෂජානෙයහ, පුරුෂධෞරෙයහ, අනන්තඥානයහ, අනන්ත තේජස් ඇතියහ, අනන්ත යශස් ඇතියහ. (ප්‍රඥාධනයෙන්) ආඪ්‍යයහ, මහත් වූ ප්‍රඥාධන ඇතියහ, ප්‍රඥාධනවත්හ. (නිවනට පමුණුවන හෙයින්) නේතෘ වූහ, (වෛනෙයයන් විනයන කරන හෙයින්) විනේතෘ වූහ, (සැක සිඳුනා හෙයින්) අනුනෙතෘ වූහ. (අර්‍ත්‍ථය) පනවනුවහ, නිශ්චය කරවනුවහ, (පිළිවෙත්) දක්වනුවහ, (ප්‍රතිපත්තිඵලයෙන්) පහදනුවහ. තවද ඒ බුදුහු (නූපන් විරූ) අරීමඟ සිය සතන්හි ඉපැදවූහ, (වෛනෙය සන්තානයෙහි) අසඤ්ජාතමාර්‍ගය උපදවනුවහ, ප්‍රකාශ නො කළ මාර්‍ගය (විවරණ වශයෙන් ප්‍රකාශ කරනුවහ, (ප්‍රත්‍යවේක්‍ෂා වශයෙන්) මාර්‍ගය දතුවහ, මාර්‍ගය දන්නා සුල්ලහ, මාර්‍ගයෙහි විචක්‍ෂණයහ. තවද මෙකල්හි මාර්‍ගය අනුව යන ශ්‍රාවකයෝ (ශීලාදි ගුණයෙන්) පසුපස යමින් වෙසෙත්. ඒ බුදුහු දතයුතු ඥේය ධර්‍මය දනිති. දැක්ක යුතු ඥෙයපථය නුවණැසින් දකිති. (දර්‍ශන පරිණායක හෙයින්) ඇසක් මෙන් වූහ, ඥානමය වූහ, ධර්‍මමය වූහ, ශ්‍රේෂ්ඨ වූහ, (දහම් දෙසන හෙයින්) වක්තෘ වූහ, ප්‍රවක්තෘ වූහ, (අර්‍ත්‍ථය දක්වනුයෙන් නින්නෙතෘ වූහ, අමෘතය දෙනුවහ, ධර්‍මස්වාමීහ, තථාගත වූහ. ඒ බුදුන් විසින් (මඟනැණින්) නො දන්නා ලද්දක් (නුවණැසින්) නො දක්නා ලද්දක් අවිදිත වූවක් නො පසක් කරන ලද්දක් ප්‍රඥාවෙන් ස්පර්‍ශ නො කරන ලද්දක් නැති. ඥේය නම් වූ දතයුතු යම් කිසි ධර්‍මයෙක් වේ ද, අතීතානාගතප්‍රත්‍යුත්පන්නය ඇතුළු කොට සඞ්ඛතාසඞ්ඛත වූ සියලු ධර්‍මයෝ සර්‍වාකාරයෙන් භාග්‍යවත් බුදුන් ගේ ඥානමුඛයෙහි ආපාථයට පැමිණෙත්. ආත්මාර්‍ත්‍ථය ද පරාර්‍ත්‍ථය ද උභයාර්‍ත්‍ථය ද දෘෂ්ටධාර්මිකාර්‍තථය ද සාම්පරායිකාර්‍තථය ද උත්තානාර්‍තථය ද ගමභීරාර්‍තථය ද ගූඪාර්‍තථය ද ප්‍රතිච්ඡන්නාර්‍තථය ද නෙය්‍යාර්‍තථය ද නීතාර්‍තථය ද නිර්‍දෙෂාර්‍තථය ද නික්ලෙශාර්‍තථය ද පරිශුද්ධාර්‍තථය ද පරමාර්‍තථර්‍තථය ද යන ඒ සියල්ල බුද්ධඥානය තුළ පැතිර පවතී. භාග්‍යවත් බුදුන්ගේ සියලු කායකර්‍මය ඥානය අනුව පවතී. සියලු වාක්කර්‍මය ඥානය අනුව පවතී. සියලු මනඃකර්‍මය ඥානය අනුව පවතී. අතීතයෙහි භාග්‍යවත් බුදුන්ගේ ඥානය අප්‍රතිහත (- අනාවරණ) යැ, අනාගතයෙහි ඥානය අනාවරණ යැ, ප්‍රත්‍යුත්පන්නයෙහි ඥානය අනාවරණ යැ. දතයුත්ත යම් පමණ ද ඥානය එ පමණ යැ. ඥානය යම් පමණ ද දතයුත්ත එ පමණ යැ. ඥානය ඥේය පර්‍ය්‍යන්තික යැ, ඥේයය ඥානපර්‍ය්‍යන්තික යැ, ඥේයය ඉක්මැ ඥානයෙක් නො පවතී, ඥානය ඉක්මැ ඥෙයපථයෙක් නැති, ඒ ධර්‍මයෝ අන්‍යොන්‍යපර්‍ය්‍යන්තයෙහි පවත්නා සුල්ලහ. යම්සේ මනාකොට පැහැසු සුමුගුපටල (- තහඩු) දෙකක්හුගේ යට සුමුගුපටල උපරිමය නො ඉක්මවා ද, උඩ සුමුගුපටල හෙට්ඨිමය නො ඉක්මැ සිටී ද, ඔවුහු ඔවුනොවුන්ගේ කෙළවර සිටුනා සුලු වෙත් ද, එසෙයින් භාග්‍යවත් බුදුන්ගේ ඥේයයත් ඥානයත් අන්‍යොන්‍යපර්‍ය්‍යන්තයෙහි පවත්නා සුල්ලහ; යම් තාක් ඥේයය ද ඒ තාක් ඥාන යැ, යම් තාක් ඥානය ද ඒ තාක් ඥේය යැ; ඥානය ඥෙයපර්‍ය්‍යන්තික යැ, ඥේයය ඥානපර්‍ය්‍යන්තික යැ; ඥේයය ඉක්මැ ඥානය නො පවතී, ඥානය ඉක්මැ ඥෙය්‍ය පථයෙක් නැති, ඒ දහම්හු අන්‍යොන්‍යපර්‍ය්‍යන්තයෙහි සිටුනා සුල්ලහ.
සියලු දහම් විෂයෙහි භාග්‍යවත් බුදුන්ගේ ඥානය පවතී. සියලු දහම්හු භාග්‍යවත් බුදුන්ගේ මනෝද්වාරාවර්‍ජනයට අයත්හු වෙති, රුචිය ප්‍රතිබද්ධයහ, මනසිකාර ප්‍රතිබද්ධයහ, චිත්තෝත්පාද ප්‍රතිබද්ධයහ, සියලු සතුන් විෂයෙහි භාග්‍යවත් බුදුන්ගේ ඥානය පවතී. බුදුහු සියලු සතුන් ගේ ආශය දනිති, අනුශය දනිති, චරිතය දනිති, අධිමුක්තිය දනිති. (නුවණැසෙහි) අල්ප වූ රාගාදි රජස් ඇති මහත් වූ රජස් ඇති තියුණු වූ (ශ්‍රද්ධාදි) ඉඳුරන් ඇති මෘදු වූ ඉඳුරන් ඇති සුන්‍දර වූ (ශ්‍රද්ධාදි) ආකාර ඇති ගර්හිත වූ (අශ්‍රද්ධාදි) ආකාර ඇති සුවිඥාප්‍ය වූ දුර්විඥාප්‍ය වූ භව්‍යාභව්‍ය සත්ත්‍වයන් දැනගනිත්. මරුන් බඹුන් සහිත වූ දෙවියන් සහිත ලෝවැසි තෙම - දෙවිමිනිසුන් සහිත වූ මහණබමුණන් සහිත ප්‍රජාව, ඇතුළු බුදුනුවණෙහි පවතී. තිමි - තිමිඞ්ගල පටන් යම් මස් - කැසුබු කෙනෙක් වෙත් නම්, ඔහු යම් සේ ඇතුළු මහමුහුදෙහි හැසිරෙත් ද, එසෙයින් මරුන් බඹුන් සහිත වූ සදේවක ලෝක තෙමේ - ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත සදෙවමනුෂ්‍යප්‍රජාව ඇතුළු බුදුනුවණෙහි පවතී. යම්සේ වීනතා පුත් ගුරුළුරජහු පටන් යම් කිසි පක්‍ෂි කෙනෙක් වෙත් නම්, ඔහු අහසැ පෙදෙසෙකැ හැසිරෙත්ද, එසෙයින් මැ යම් කෙනෙක් නුවණින් සැරියුත් තෙරුන් සම වූවාහු නම්, ඔවුහු ද බුද්ධඥානයාගේ පෙදෙසෙක පවත්නා හුය. බුද්ධඥානය දෙවිමිනිසුන්ගේ ප්‍රඥාව පැතිරැ මැඩගෙනැ සිටී. නිපුණ වූ කළ පරවාද ඇති වල්විදුනා දුනුවායන් බඳු ප්‍රසිද්ධ වූ යම් ක්‍ෂත්‍රිය බ්‍රාහ්මණ - ගෘහපති - ශ්‍රමණපණ්ඩිත කෙනෙක් ප්‍රඥාවෙන් දෘෂ්ටිගතයන් බිඳිමින් මෙන් හැසිරෙත් නම් ඔහු ගුඪ වූ ද ප්‍රතිච්ඡන්න වූ ද බොහෝ ප්‍රශ්න රචනා කොට බුදුන් වෙත පැමිණ විචාරත් ද, භාග්‍යවතුන් විසින් ඒ ප්‍රශ්නයෝ සකාරණ ව කියන ලද්දාහු විසඳන ලද්දාහු මැ වෙත්. ඔවුහු භාග්‍යවතුන්ගේ ශ්‍රාවක බවට (උපාසක බවට හෝ) පැමිණියාහු මැ වෙත්. යළි බුදුහු මැ එහි ප්‍රඥාවෙන් අතිශයින් ප්‍රකාශ වෙත් නුයි මෙසේ බුදුහු පැනැසිනු දු ‘විවටචක්ඛු’ වූහ.
කිසෙයින් බුදුහු බුදුඇසිනු දු ‘විවටචක්ඛු’ වූහ යත්: බුදුහු බුදුඇසින් ලොව බලන සේක් (නුවණැස්හි) අල්ප වූ (රාගාදි) කෙලෙස්රජස් ඇති මහත් වූ කෙලෙස්රජස් ඇති තියුණු වූ (ශ්‍රද්ධාදි) ඉඳුරන් ඇති මෘදු වූ ඉඳුරන් ඇති (ශ්‍රද්ධාදි) සුන්දරාකාර ඇති ගර්හිත වූ (අශ්‍රද්ධාදි) ආකාර ඇති සුවිඥාප්‍ය වූ දුර්විඥාප්‍ය වූ සත්ත්‍වයන්, ඇතැම් කෙනකුන් පරලොව හා වද්‍යයන් භයවශයෙන් දක්නා සුලු වැ වසනුවන්, ඇතැම් කෙනකුන් පරලොව හා වද්‍යයන් භයවශයෙන් දක්නා සුලු වැ නො වසනුවන් දුටු සේක. යම්සේ උපුල්විලකැ හෝ පියුම්විලකැ හෝ නෙළුඹුවිලකැ හෝ ඇතැම් උපුල් පියුම් හෝ නෙළුම් දියෙහි හටගත්තාහු දියෙහි වැඩුණාහු දියෙන් නො නැඟුණාහු ඇතුළත ගැලී පොහොනි වූවාහු ද, ඇතැම් උපුල් පියුම් හෝ නෙළුම් දියෙහි හටගත්තාහු දියෙහි වැඩුණාහු දිය හා සම වැ සිටියාහු ද, ඇතැම් උපුල් හෝ පියුම් හෝ නෙළුම් හෝ දියෙහි හටගත්තාහු දියෙහි වැඩුණාහු දියෙන් උඩට නැගී දිය හා නො වැකුණාහු සිටිත් ද, එසෙයින් ම බුදුහු බුදුඇසින් ලොව බලන සේක් අල්පරජස්ක වූ ද මහාරජස්ක වූ ද තියුණු ඉඳුරන් ඇත්තාවූ ද මෘදු ඉඳුරන් ඇත්තාවූ ද සුන්දරාකාර වූ ද ගර්හිතාකාර වූ ද සුවිඥාප්‍ය වූ ද දුර්විඥාප්‍ය වූ ද සත්ත්‍වයන්, පරලෝකයෙහිත් වද්‍යයෙහිත් භය දක්නාසුලු වැ වසනුවන්, ඇතැම් කෙනකුන් පරලෝක වද්‍යයෙහි භය දක්නාසුලු වැ නො වසනුවන් දුටු සේක.
‘මේ පුද්ගල තෙම රාගචරිතයෙක, මේ ද්වෙෂචරිතයෙක, මේ මොහචරිතයෙක, මේ විතර්‍කචරිතයෙක, මේ ශ්‍රද්ධාචරිතයෙක, මේ ඥානචරිතයෙකැ’ යි බුදුහු දැනගන්නා සේක. බුදුහු රාග බහුල පුද්ගලයාහට අශුභකථාව වදාරති. ද්වෙෂබහුල පුද්ගලයාහට බුදුහු මෛත්‍රීභාවනාව පවසති. බුදුහු මෝහ බහුල පුද්ගලයා උදෙසීමෙහි ද පරිපෘච්ඡා (- අටුවා) යෙහි කලෙක (-සුදුසු කල්හි) ධර්‍මශ්‍රවණයෙහි ද කලෙක ධර්‍මසාකච්ඡාවෙන් ගුරුන් ඇසුරු කිරීමෙහි ද (ඇදුරන් වෙත) සිටුවන සේක. බුදුහු විතර්‍ක බහුල පුද්ගලයාහට ආනාපානසතිය දෙසන සේක. ශ්‍රද්ධා බහුල පුද්ගලයාට බුදුහු ප්‍රසාද උපදවන සූත්‍රයක් ද බුදුන්ගේ බුදධත්ත්‍වප්‍රතිවෙධය ද ධර්‍මය ස්වාඛ්‍යාත බව ද සඞ්ඝයා සුප්‍රතිපන්න බව ද තමා සතු ශීලයන් ද පවසන සේක. ඥානචරිත පුද්ගලයාහට බුදුහු (උදයව්‍යයාදි) විදර්‍ශනානිමිත්ත වූ අනිත්‍යාකාරය දුඃඛාකාරය අනාත්මාකාරය පවසන සේකි.
1. යම්සේ සෙල්මුවා පව්වක් මත සිටි යේ මැ (ඇස් ඇති පුරුෂයෙක්) හාත්පස ජනතාව බලන්නේ ද, එසෙයින් ඔබ ද සුන්‍දර ප්‍රඥා ඇති සමන්තචක්‍ෂුස් වූ භාග්‍යවත්නි, දහම්මුවා පහයට නැඟී (තුමූ) පහවූ ශෝක ඇත්තහු ශෝකයට බල ජාතිජරායෙන් මඩනා ලද ජනතාව බලනු මැනැවැ’ යි.
මෙසේ බුදුහු බුදුඇසිනුදු ‘විවටචක්ඛු’ වූහ.
කිසෙයින් බුදුහු සමන්තාත් චක්‍ෂුසිනු දු ‘විවටචක්ඛු’ වූහ යත්: ‘සමන්ත චක්ඛු’ යි සර්‍වඥතාඥානය කියනු ලැබෙයි. බුදුහු සර්‍වඥතාඥානයෙන් උපෙතයහ, සමුපෙතයහ, උපගතයහ, සමූපගතයහ, නො වෙන් වූහ, පරිපූර්‍ණයහ සමන්‍විත වූහු.