“පත්ථයමානස්ස -පෙ- ස කෙන වෙධෙය්‍ය කුහිං ච ජජප්පෙ” යී.
13. 9.
ඇතැම් මහණබමුණු කෙනෙක් යම් දහමක් උතුමැයි කියත් නම්, යලි අන්‍යයෝ එ මැ දහම හීන යයි කියති. මේ මහණබමුණන්ගේ කවර වාදයෙක් සත්‍ය වූයේ ද? මොහු සියල්ලෝ මැ කුශලවාද ඇත්තාහු මැ වෙත් ද?
යමාහු ධම්මං පරමත්ති එකෙ - ඇතැම් මහණබමුණු කෙනෙක් යම් දහමක් දෘෂ්ටියක් ප්‍රතිපදාවක් මාර්‍ගයක් ‘මේ පරම යැ අග්‍ර යැ ශ්‍රේෂ්ඨ යැ විශිෂ‍්ට යැ පාමොක් යැ උතුම් යැ ප්‍රවර යැයි මෙසේ පවසති, මෙසේ කියති, මෙසේ බෙණෙති, මෙසේ දක්වති, මෙසේ ව්‍යවහාර කෙරෙත් නුයි ‘යමාහු ධම්මං පරමත්ති එකෙ’ යනු වේ.
තමෙව හීනත්ති පනාහු අඤ්ඤෙ - ඇතැම් මහණබමුණෝ එ මැ දහම දෘෂ්ටිය ප්‍රතිපදාව මාර්‍ගය ‘තෙල හීන යැ තෙල නිහීන යැ තෙල අවමත යැ තෙල ලාමක යැ තෙල ඡත්තක යැ තෙල අල්ප ය’ යි මෙසේ පවසති, මෙසේ කියති, මෙසේ බෙණෙති, මෙසේ දක්වති, මෙසේ ව්‍යවහාර කෙරෙත් නුයි ‘තමෙව හීනත්ති පනාහු අඤ්ඤෙ’ යනු වේ.
සච්චො නු වාදො කතමෝ ඉමෙයං - මේ මහණබමුණන්ගේ කවර වාදයෙක් සත්‍ය වූයේ නො සිස් වූයේ නො වෙනස් වූයේ විද්‍යාමාන වූයේ යථාස්වභාව වූයේ අවිපරීත වූයේ දැයි ‘සච්චො නු වාදො කතමෝ ඉමෙයං’ යනු වේ.
සබ්බේව හි’මෙ කුසලාවදානා - මේ සියලු මැ මහණබමුණෝ ස්වකීය ලබ්ධියෙහි කුශලවාද ඇත්තාහු පණ්ඩිතවාද ඇත්තාහු සථිරවාද ඇත්තාහු න්‍යායවාද ඇත්තාහු හේතුවාද ඇත්තාහු ලක්ෂණවාද ඇත්තාහු කාරණවාද ඇත්තාහු ස්ථානවාද ඇත්තාහු යි ‘සබ්බේව හි’මෙ කුසලාවදානා’ යනු වේ.
එයින් කීහ ඒ මැවුණු බුදුහු:
“යමාහු ධම්මං -පෙ- සබ්බේව හි’මෙ කුසලාවදානා” යී.
13. 10.
(ඇතැම් මහණබමුණෝ) තමන් තමන්ගේ මැ ධර්‍මය පරිපූර්‍ණ යැ යි කියති, යලි අන්‍යයාගේ ධර්‍මය හීන යැයි කියත්. මෙසේ ත් දැඩි වැ ගෙන විවාද කෙරෙති, තමන් තමන්ගේ මැ දෘෂ්ටිසම්මතිය සැබවැයි කියත්.
සකං හි ධම්මං පරිපුණ්ණමාහු - ඇතැම් මහණබමුණු කෙනෙක් තමන් තමන්ගේ මැ ධර්‍මය දෘෂ්ටිය ප්‍රතිපදාව මාර්‍ගය ‘මෙය සමස්තයැ පරිපූර්‍ණ යැ අලාමක යැ’ යි මෙසේ පවසති … මෙසේ ව්‍යවහාර කෙරෙත් නුයි ‘සකං හි ධම්මං පරිපුණ්ණමාහු’ යනු වේ.
අඤ්ඤස්ස ධම්මං පන හීනමාහු - ඇතැම් මහණබමුණෝ අන්‍යයාගේ ධර්‍මය දෘෂ්ටිය ප්‍රතිපදාව මාර්‍ගය ‘තෙල හීන යැ තෙල නිහීන යැ තෙල අවමත යැ තෙල ලාමක යැ තෙල ඡත්තක යැ තෙල අල්ප යැ’ යි මෙසේ පවසති, මෙසේ කියති, මෙසේ බෙණෙති, මෙසේ දක්වති, මෙසේ ව්‍යවහාර කෙරෙත් නුයි ‘අඤ්ඤස්ස ධම්මං පන හීනමාහු ’ යනු වේ.
එවම්පි විග්ගය්හ විවාදයන්ති - මෙසේ ගෙන දැඩිව ගෙන ග්‍රහණය කොට දැහැගෙන පිවිසගෙන විවාද කෙරෙති, කලහ කෙරෙති, ඩබර කෙරෙති, විග්‍රහ කෙරෙති, විරුද්ධවාද කෙරෙති, අරගල කෙරෙත්: ‘තෙපි මේ ධර්‍මවිනය නො දන්නවු යැ … ඉදින් පොහොනවු නම් මුදා ගනුව ය’ යි ‘එවම්පි විග්ගය්හ විවාදයන්ති’ යනු වේ.
සකං සකං සම්මුතිමාහු සච්චං - ‘ශාශ්වත යැ ලෝකය, මේ මැ සැබව අන්‍යය සිස් යැ’ යි ‘සකං සකං සම්මුතිමාහු සච්චං’ අශාශ්වත යැ ලෝකය … සත්ත්‍ව තෙමේ මරණින් මත්තෙහි නො මැ වෙයි, නො වන්නේ නො වෙයි, මේ මැ සැබවැ අන්‍යය තුච්ඡ යැ’ යි ‘සකං සකං සම්මුතිමාහු සච්චං’ යනු වේ.
එයින් වදාළහ බුදුහු:
“සකං හි ධම්මං -පෙ- කං සකං සම්මුතිමාහු සච්චං” යී.
13. 11.
ඉදින් මෙරමා විසින් අවමන් කළ කරුණෙන් හීන වූයෙක් වන්නේ නම්, ධර්‍මයන් අතුරෙහි කිසිවෙක් විශිෂ්ට වූයේ නො වන්නේය. යම් හෙයකින් බොහෝ මහණබමුණෝ මෙරමාගේ දහම නිහීන හෙයින් කියත් ද, ස්වකීය ධර්‍මයෙහි දැඩිව කියන්නාහු වෙත් ද එහෙයිනි.
පරස්ස චෙ වම්හයිතෙන හීනො - ඉදින් මෙරමා විසින් අවමන් කළ කරුණෙන් නිගා කළ කරුණෙන් ගැරහූ කරුණෙන් නුගුණ කී කරුණෙන් මෙරමා බාලයෙක් හීනයෙක් නිහීනයෙක් අවමතයෙක් ලාමකයෙක් ඡත්තකයෙක් පරිත්තයෙක් වේ නම් යී ‘පරස්ස චෙ වම්හයිතෙන හීනො’ යනු වේ.
න කෝචි ධම්මේසු විසෙසි අස්ස - ධර්‍මයන් අතුරෙහි කිසිවෙක් අග්‍ර වූයේ ශ්‍රේෂ්ඨ වූයේ පාමොක් වූයේ උතුම් වූයේ ප්‍රවර වූයේ නො වන්නේ නුයි ‘න කෝචි ධම්මේසු විසෙසි අස්ස’ යනු වේ.
පුථූ හි අඤ්ඤස්ස වදන්ති ධම්මං නිහීනතො - බොහෝ දෙනාගේ දහම හීන හෙයින් නිහීන හෙයින් ඔමක හෙයින් ලාමක හෙයින් ඡත්තක හෙයින් පරිත්ත හෙයින් කියති උපවාද කෙරෙති නිගා කෙරෙති ගරහත්. බොහෝ දෙනා ද එකක්හුගේ දහම හීන - නිහීන - ඔමක - ලාමක - ඡත්තක - පරිත්ත හෙයින් කියති නුගුණ කියති නිගා කෙරෙති ගරහත්. එකෙකුදු බොහෝ දෙනාගේ දහම හීන - නිහීන - ඔමක - ලාමක - ඡත්තක - පරිත්ත හෙයින් කියයි නුගුණ කියයි නිගා කෙරෙයි ගරහයි. එකෙකුදු එකක්හුගේ දහම හීන - නිහීන - ඔමක - ලාමක - ඡත්තක - පරිත්ත හෙයින් කියයි නුගුණ කියයි නිගා කෙරෙයි ගරහා නුයි ‘පුථූ හි අඤ්ඤස්ස වදන්ති ධම්මං නිහීනතො’ යනු වේ.
සම්හි දළ්හං වදානා - ධර්‍මය ස්වකීය මාර්‍ග යැ දෘෂ්ටිය ස්වමාර්‍ග යැ ප්‍රතිපදාව ස්වමාර්‍ග යැ මාර්‍ගය ස්වමාර්‍ග යයි ස්වකීය මාර්‍ගය හේතු කොග ගෙන දෘඪවාද ඇත්තාහු ස්ථිර වාද ඇත්තාහු බලවත් වාද ඇත්තාහු අවස්ථිතවාද ඇත්තාහු නුයි ‘සම්හි දළ්හං වදානා’ යනු වේ.
එයින් වදාළහ බුදුහු:
“පරස්ස චෙ -පෙ- නිහිනතො සම්හි දළ්හං වදානා” යී.
13. 12.
තවද (ඒ තීර්‍තථකයෝ ලබ්ධිමාර්‍ගයන්ට යම්සේ පසසත් නම් ස්වකීය ශාස්තෘ ආදීන්ට පූජාවන් එසේ ම පවත්නේ ය. ඉදින් (ඔහු එහි ප්‍රමාණ වන්නාහු නම්) සියලු මැ වාදයෝ සත්‍ය වන්නාහුය. යම් හෙයකින් ඔවුන් ගේ ශුද්ධිය තමන් තමන් කෙරෙහි පිහිටියේ ද එහෙයිනි.
සධම්මපූජා ච පනා තථෙව - සද්ධම්මපූජා කවරී ද යත්: “මේ ශාස්තෘ තෙම සර්‍වඥ යැ” යි ස්වකීය ශාස්තෘහට සත්කාර කෙරෙයි ගරු කෙරෙයි බුහුමන් කෙරෙයි පූජා කෙරෙයි; මෝ ‘සධම්මපූජා’ යැ. ස්වකීය ධර්‍මාඛ්‍යානයට - ස්වකීය ගණයාට - ස්වකීය දෘෂ්ටියට - ස්වකීය ප්‍රතිපත්තියට ‘මේ මාර්‍ගය නෛර්‍ය්‍යාණික යැ’ යි ස්වකීය මාර්‍ගයට සත්කාර කෙරෙයි ගරු කෙරෙයි බුහුමන් කෙරෙයි පූජා කෙරෙයි. මෝ සධම්මපූජා යි. සධම්ම පූජා ච පනා තථෙව - ස්වකීය ශාස්තෘ ආදීන්ට පූජාව අවිපරීත යැ නො සිස් යැ විද්‍යාමාන යැ යාථාවත් යැ නො වෙනස් නුයි ‘සධම්මපූජා ච පනා තථෙව’ යනු වේ.
යථා පසංසන්ති සකායනානි - ධර්‍මය සිය මඟ යැ, දෘෂ්ටිය සිය මඟ යැ, ප්‍රතිපත්තිය සිය මඟ යැ, මාර්‍ගය සිය මඟයැ යි. ස්වකීය මාර්‍ගයන්ට පසසති තුති කෙරෙති ප්‍රකට කෙරෙති ගූණ කියත් නුයි ‘යථා පසංසන්ති සකායනානි’ යනු වේ.
සබ්බේව වාදා තථියා භවෙය්‍යුං - සියලු මැ වාදයෝ අවිපරීතයෝ තත්ථ්‍යයෝ විද්‍යාමානයෝ යාථාවත් වූවෝ නො වෙනස් වූවෝ වන්නාහු නුයි ‘සබ්බේව වාදා තථියා භවෙය්‍යුං’ යනු වේ.
සුද්ධී හි නෙසං පච්චත්තමෙව - ඒ මහණබමුණන් ශුද්ධිය විශුද්ධිය පරිශුද්ධිය මුක්තිය විමුක්තිය පරිමුක්තිය තමන් තමන් කෙරෙහි මැ වේ නුයි ‘සුද්ධී හි නෙසං පච්චත්තමෙව’ යනු වේ.
එයින් වදාළහ බුදුහු:
“සධම්මපූජා ච -පෙ- සුද්ධී හි නෙසං පච්චත්තමෙව” යී.
13. 13.
බාහිතපාපී වූ බ්‍රාහ්මණහට මෙරමා විසින් එළැවිය යුතු ඥානයෙක් යම්හෙයකින් නැත් ද, දෙසැටදිටු දහම්හි (මෙය මැ සැබවැයි) නිශ්චය කොට දැඩි වැ ගන්නා ලද්දකුත් නැත් ද, එහෙයින් දෘෂ්ටිවිවාදයන් ඉක්මවූ හෙතෙම අන් දහමක් ශ්‍රේෂ්ඨ විසින් නො මැ දක්නේ යි.
න බ්‍රාහ්මණස්ස පරනෙය්‍යමත්ථී - ’න’ යනු: ප්‍රතික්‍ෂේප යැ; ‘බ්‍රාහ්මණ නම් සත් ධර්‍ම කෙනකුන් බාහිත හෙයින් ‘බ්‍රාහ්මණ යැ, … හේ බ්‍රාහ්මණ යි. න බ්‍රාහ්මණස්ස පරනෙය්‍යමත්ථී - බ්‍රාහ්මණහට මෙරමා විසින් එළැවියැ යුතු බවෙක් නැත; බ්‍රාහ්මණ තෙමේ මෙරමා විසින් අවබෝධ කරවියැ යුතු බවෙක් නැත; බ්‍රාහ්මණ තෙමේ මෙරමා විසින් අවබෝධ කරවිය යුත්තේ නො වෙයි, මෙරමා විසින් හැදැහිය යුත්තේ නො වෙයි, පරප්‍රත්‍යය රහිත වූයේ වෙයි, මෙරමා පිළිබඳ වූ පැමිණීම් ඇත්තේ නො වෙයි; නො මුළා වූයේ සම්‍යක්ප්‍රඥා ඇත්තේ ස්මෘතිමත් වූයේ දැනගනී දක්නේයි. ’සියලු සංස්කාරයෝ අනිත්‍යයෝ යැ’ යි බ්‍රාහ්මණහට මෙරමා විසින් එළවියැ යුතු බවෙක් නැත, බ්‍රාහ්මණ තෙමේ මෙරමා විසින් අවබෝධ කරවිය යුත්තේ නො වෙයි, මෙරමා බසින් හැදැහියැ යුත්තේ නො වෙයි, පරප්‍රත්‍යය වූයේ නො වෙයි, මෙරමා පිළිබඳ පැමිණීම් ඇත්තේ නො වෙයි, නො මුළා වූයේ සම්‍යක්ප්‍රඥා ඇත්තේ ස්මෘතිමත් වූයේ (තෙමේ) මැ දැනගනි, දක්නේ යි. ‘සියලු සංස්කාරයෝ දුඃඛයෝ ය’ යි … යම් කිසිවෙක් සමුදයධර්‍ම වේ නම් ඒ සියල්ල නැසෙන සුලු ය’ යි බ්‍රාහ්මණහට පරා විසින් එළවියැ යුත්තෙක් නැත, බ්‍රාහ්මණ තෙම පරනෙය්‍ය වූයේ නො වෙයි, පරා පිළිබඳ හැදහීම් ඇත්තේ නො වෙයි, පරප්‍රත්‍යය වූයේ නො වෙයි, පරා අයත් ගමන් ඇත්තේ නො වෙයි. අසම්මූඪ වූයේ සම්‍යක්ප්‍රඥා ඇත්තේ ස්මෘතිමත් වූයේ (තෙමේ ම) දැනගනී දක්නේ නුයි ‘න බ්‍රාහ්මණස්ස පරනෙය්‍යමත්ථී’ යනු වේ.
ධම්මේසු නිච්ඡෙය්‍ය සමුග්ගහීතං - ‘ධම්මේසු’ යනු: දෙසැට දිටුගතයන්හි; නිච්ඡෙය්‍ය යනු: නිශ්චය කොට විනිශ්චය කොට විමසා වෙසෙසින් විමසා තුලනය කොට තීරණය කොට හෙළි කොට විභූත කොට අවධි කොට ගැනීමෙක් කොටස් වශයෙන් ගැනීමෙක් උත්තමග්‍රහණයෙක් කොට්ඨාසග්‍රහණයෙක් රාශි වශයෙන් ගැනීමෙක් විශෙෂරාශි වශයෙන් ගැනීමෙක් ‘මේ සැබව අවිපරිණාම යැ තත්ථ්‍ය යැ විද්‍යාමාන යැ යථාවත් යැ අවිපරීත යැ’ යි ගන්නා ලද්දෙක් දැහැගන්නා ලද්දෙක් පිහිටාගන්නා ලද්දෙක් ඇතුළු වැ ගන්නා ලද්දෙක් ඇලීගන්නා ලද්දෙක් නැත, විද්‍යාමාන නො වයි, නො ලැබෙයි, ප්‍රහීණ යැ සමුච්ඡින්න යැ සන්හිඳුවන ලද දුරලන ලද උපතට නො සුදුසු කරන ලද නුවණගින්නෙන් දවන ලද නුයි ‘ධම්මේසු නිච්ඡෙය්‍ය සමුග්ගහීතං’ යනු වේ.
තස්මා විවාදානි උපාතිවත්තො - ‘තස්මා’ යනු: එහෙයින් එකරුණෙන් ඒ හේතුයෙන් ඒ ප්‍රත්‍යයෙන් ඒ නිදානයෙන් දෘෂ්ටිකලහයන් දෘෂ්ටිභණ්ඩනයන් දෘෂ්ටිවිග්‍රහයන් දෘෂ්ටිවිවාදයන් දෘෂ්ටිමෙධගයන් පසු කෙළේ ඉක්මැවූයේ මැනවින් ඉක්මැවූයේ වෙසෙසින් ඉක්මැවූයේ නුයි ‘තස්මා විවාදානි උපාතිවත්තො’ යනු වේ.
න හි සෙට්ඨතො පස්සති ධම්මමඤ්ඤං - සතිපට්ඨානයන් හැර සම්‍යක්ප්‍රධානයන් හැර ඍද්ධිපාදයන් හැර ඉන්‍ද්‍රියයන් හැර බලයන් හැර බොධ්‍යඞගයන් හැර ආර්‍ය්‍යඅෂ්ටාඞ්ගිකමාර්‍ගය හැර අන්‍ය ශාස්තෘවක්හු ධර්‍මාඛ්‍යානයක් ගණයක් දෘෂ්ටියක් ප්‍රතිපත්තියක් මාර්‍ගයක් අග්‍ර වූ ශ්‍රේෂ්ඨ වූ විශිෂ්ට වූ පාමොක් වූ උතුම් වූ ප්‍රවර වූ දහමක් නො බලයි නො දකී අවලොකනය නො කෙරෙයි නො සිතයි නො විමසා නුයි ‘න හි සෙට්ඨතො පස්සති ධම්මමඤ්ඤං’ යනු වේ.
එයින් වදාළහ බුදුහු:
“න බ්‍රාහ්මණස්ස -පෙ- න හි සෙට්ඨතො පස්සති ධම්මමඤ්ඤං” යී.
13. 14.
ඇතැම් මහණබමුණු කෙනෙක් තෙල එපරිද්දෙන් ම දනිමි දකිමි (කියන්නාහු) දෘෂ්ටියෙන් ශුද්ධිය හදහති. (යම්හෙයකින් ඔවුනතුරෙන් එකෙකු දු) ඉදින් දුටුයේ නමුදු තමාගේ ඒ දර්‍ශනයෙන් (දුඃඛපරිඥානාදි කුමක් සිදුකරන ලද ද, ඔහු (ආර්‍ය්‍යමාර්‍ගය) ඉක්මවා අන් මඟෙකින් ශුද්ධිය කියත් ද, නොහොත් (බුද්ධාදීහු) ඔවුන් ඉක්මවා අන් මඟෙකින් ශුද්ධිය කියත් ද, එහෙයිනි.
ජානාමි පස්සාමි තෙථෙව එතං - ‘ජානාමි’ යනු: පරචිත්තවිජානනඥානයෙන් දනිමි, පූර්‍වෙනිවාසානුසමෘතිඥානයෙන් හෝ දනිමි; ‘පස්සාමි’ යනු: මසැසින් හෝ දකිමි, දිවැසින් හෝ දකිමි; තථෙව එතං - තෙල සැබව විද්‍යාමාන යැ යථාවත් යැ අවිපරීත නුයි ‘ජානාමි පස්සාමි තථෙව එතං’ යනු වේ.
දිට්ඨියා එකෙ පච්චෙනති සුද්ධිං - ඇතැම් මහණබමුණු කෙනෙක් ශුද්ධිය විශුද්ධිය පරිශුද්ධිය මුක්තිය විමුක්තිය පරිමුක්තිය හදහති; ලෝකය ශාශ්වත යැ මේ මැ සැබව, අන්‍යය මෝඝ යැ යි දෘෂ්ටියෙන් ඇතැම් මහණ බමුණු කෙනෙක් ශුද්ධිය විශුද්ධිය පරිශුද්ධිය මුක්තිය විමුක්තිය පරිමුක්තිය හදහති; ‘ලෝකය අශාශ්වත යැ … තථාගතයා මරණින් මතු නො මැ වෙයි, නො වන්නේ නො වෙයි, මේ මැ සැබව අන්‍යය මෝඝ ය’ යි දෘෂ්ටියෙන් ඇතැම් මහණබමුණු කෙනෙක් ශුද්ධිය විශුද්ධිය පරිශුද්ධිය මුක්තිය විමුක්තිය පරිමුක්තිය හදහත් නුයි ‘දිට්ඨියා එකෙ පච්චෙනති සුද්ධිං’ යනු වේ.
අදක්ඛි චෙ කිං හි තුමස්ස තෙන - ‘අදක්ඛි’ යනු: පරසිත් දන්නා නුවණින් හෝ, පෙරවිසූ කඳපිළිවෙළ සිහි කරන නුවණින් හෝ, මසැසින් හෝ, දිවැසින් හෝ දුටුයේ නුයි ‘අදක්ඛි චෙ’ යනු වේ. කිං හි තුමස්ස තෙන - ඔහුගේ ඒ දැක්මෙන් කුමක් කරන ලද ද? දුඃඛපරිඥාවක් නැත, සමුදයප්‍රහාණයෙක් නැත, මාර්‍ගභාවනායෙක් නැත, ඵලය ප්‍රත්‍යක්‍ෂ කිරීමෙක් නැත, රාගයාගේ සමුච්ඡෙදප්‍රහාණයෙක් නැත, ද්වේෂයාගේ සමුච්ඡෙදප්‍රහාණයෙක් නැත, මෝහයාගේ සමුච්ඡෙදප්‍රහාණයෙක් නැත, ක්ලේශයන්ගේ සමුචෙඡදප්‍රහාණයෙක් නැත, සංසාරවෘත්තයාගේ සිඳීමෙක් නැත් නුයි ‘අදක්ඛි චෙ කිං හි තුමස්ස තෙන’ යනු වේ.
අතිසිත්වා අඤ්ඤෙන වදන්ති සුද්ධිං - ඒ තීර්‍තථකයෝ ශුද්ධිමාර්‍ගය විශුද්ධිමාර්‍ගය පරිශුද්ධිමාර්‍ගය පණ්ඩරමාර්‍ගය ප්‍රභාවත් මාර්‍ගය ඉක්මවා මොනවට ඉක්මවා වෙසෙසින් ඉක්මවා සතර සීවටන් හැරපියා සම්‍යක්ප්‍රධානයන් - ඍද්ධිපාදයන් - ඉන්‍ද්‍රියයන් - බලයන් - බොධ්‍යඞගයන් - ආර්‍ය්‍යඅෂ්ටාඞ්ගිකමාර්‍ගය හැරපියා ශුද්ධිය විශුද්ධිය පරිශුද්ධිය මුක්තිය විමුක්තිය පරිමුක්තිය පවසති, කියති බෙණෙති දක්වති ව්‍යවහාර කෙරෙත් නුයි මෙසේත් ‘අතිසිත්වා අඤ්ඤෙන වදන්ති සුද්ධිං’ යනු වේ. නොහොත් බුදුවරයෝ ද බුදුසව්වෝද පසේබුදුහු ද ඒ තීර්‍තථකයන්ගේ අශුද්ධිමාර්‍ගය අවිශුද්ධිමාර්‍ගය අපරිශුද්ධිමාර්‍ගය අපණ්ඩරමාර්‍ගය අප්‍රභාසවර මාර්‍ගය ඉක්මවා මොනවට ඉක්මවා වෙසෙසින් ඉක්මවා සතර සතිපට්ඨානයන් ගෙන් සතර සම්‍යක්ප්‍රධානයන්ගෙන් සතර ඍද්ධිපාදයන් ගෙන් පඤ්චෙන්ද්‍රීයයන් ගෙන් පඤ්චබලයන් ගෙන් සප්තබොධ්‍යඞගයන්ගෙන් ආර්‍ය්‍යඅෂ්ටාඞ්ගිකමාර්‍ගයෙන් ශුද්ධිය විශුද්ධිය පරිශුද්ධිය මුක්තිය විමුක්තිය පරිමුක්තිය පවසති, කියති බෙණෙති දක්වති ව්‍යවහාර කෙරෙත් නුයි මෙසේත් ‘අතිසිත්වා අඤ්ඤෙන වදන්ති සුද්ධිං’ යනු වේ.
එයින් වදාළහ බුදුහු:
“ජානාමි පස්සාමි -පෙ- අතිසිත්වා අඤ්ඤෙන වදන්ති සුද්ධිං” යී.
13. 15.
සත්ත්‍ව තෙමේ (පරචිත්තවිජානනඥානාදියෙන්) බලනුයේ නාමරූපය (නිත්‍යාදි විසින්) දක්නේ ය, දැක ඒ නාමරූපයන් ම (නිත්‍යාදි විසින්) දැනගන්නේය. ඒකාන්තයෙන් (හෙතෙම) බොහෝ කොට හෝ මඳ ව හෝ දක්නේ ය. බුද්ධාදි කුශලයෝ ඒ දර්‍ශනයෙන් සංසාර ශුද්ධිය නො මැ කියත්.
පස්සං නරෝ දක්ඛති නාමරූපං - බලන්නා වූ සත්ත්‍ව තෙමේ පරසිත් දන්නා නුවණින් හෝ දක්නේ පෙර විසූ කඳපිළිවෙළ සිහිකරන නුවණින් හෝ දක්නේ මසැසින් හෝ දක්නේ දිවැසින් හෝ දක්නේ නාමරූපය මැ නිත්‍ය හෙයින් සුඛහෙයින් ආත්ම හෙයින් දක්නේ ය. ඒ ධර්‍මයන්ගේ ඉපදීම හෝ නැසීම හෝ ආස්වාදය හෝ ආදීනවය හෝ නිස්සරණය හෝ නො දක්නේ නුයි ‘පස්සං නරෝ දක්ඛති නාමරූපං’ යනු වේ.
දිස්වාන වා ඤස්සති තානිමෙව - ‘දිස්වා’ යනු: පරසිත් දන්නා නුවණින් හෝ දැක, පෙර විසූ කඳපිළිවෙළ සිහි කරන නුවණින් හෝ දැක මසැසින් හෝ දැක, දිවැසින් හෝ දැක, නාමරූපය ම දැක නිත්‍ය හෙයින් සුඛ හෙයින් ආත්මහෙයින් දැනගන්නේය; ඒ ධර්‍මයන්ගේ ඉපදීම හෝ නැසීම හෝ ආස්වාදය හෝ ආදීනවය හෝ නිස්සරණය හෝ නො දැනගන්නේ නුයි ‘දිස්වාන වා ඤස්සති තානිමෙව’ යනු වේ.
කාමං බහුං පස්සතු අප්පකං වා - ඒකාන්තයෙන් බොහෝ කොට හෝ මඳ කොට හෝ නාමරූපය බලනුයේ නිත්‍ය හෙයින් සුඛ හෙයින් ආත්ම හෙයින් දක්නේ නුයි ‘කාමං බහුං පස්සතු අප්පකං වා’ යනු වේ.
න හි තෙන සුද්ධිං කුසලා වදන්ති - ‘කුසලා’ යනු: බුද්ධාදි යම් කෙනෙක් තුමූ ස්කන්‍ධයන්හි දක්‍ෂ වූවාහු ද ධාතූන්හි - ආයතනයන්හි - ප්‍රතීත්‍යසමුත්පාදයෙහි - සතිපට්ඨානයන්හි - සම්‍යක්ප්‍රධානයන්හි - ඍද්ධිපාදයන්හි - ඉන්‍ද්‍රියයන්හි - බලයන්හි - බොධ්‍යඞගයන්හි - මාර්‍ගයෙහි - ඵලයෙහි - නිර්‍වාණයෙහි දක්‍ෂ වූවාහු ද ඒ දක්‍ෂයෝ පරසිත් දන්නා නුවණින් හෝ පෙරවිසූ කඳපිළිවෙළ සිහි කරන නුවණින් හෝ මසැසින් හෝ දිවැසින් හෝ නාමරූප දැකීමෙන් ශුද්ධිය විශුද්ධිය පරිශුද්ධිය මුක්තිය විමුක්තිය පරිමුක්තිය නො පවසති, නො කියති නො බෙණෙති නො දක්වති නො ව්‍යවහාර කෙරෙත් නුයි ‘න හි තෙන සුද්ධිං කුසලා වදන්ති’ යනු වේ.
එයින් වදාළහ බුදුහු:
“පස්සං නරෝ -පෙ- න හි තෙන සුද්ධිං කුසලා වදන්ති” යී.
13. 16.
(යමෙක් දෘෂ්ටියෙහි) පිහිටා කියන්නේ වේ ද (හෙතෙම) නො මැ සුවසේ හික්මියැ හැකි වෙයි. සිතින් ගන්නා ලද දෘෂ්ටිය පෙරටු කොට හැසිරෙනුයේ යම් ශාස්තෘ ආදියක් ඇසුරු කරනුයේ එහි ශුභවාද ඇතියේ ඒ ස්වකීය දෘෂ්ටියෙහි ශුද්ධිය කියන්නේ වේ ද, හෙතෙම ඒ දෘෂ්ටිය එසේ මැ දුටුයේ වේ.
නිවිස්සවාදී න හි සුබ්බිතායො - ‘ශාශ්වත යැ ලෝකය මේ මැ සැබව අන්‍යය මෝඝ යැ’ යි පිහිටා කියනුයේ; ‘අශාශ්වත යැ ලෝකය … ‘සත්ත්‍ව තෙමේ මරණින් මතු නො මැ වෙයි නො වන්නේ නො වෙයි, මේ මැ ‘සැබව අන්‍යය මෝඝ යැ’ යි පිහිටා කියනුයේ ; න හි සුබ්බිනායො - පිහිටා කියන පුද්ගල තෙම හික්මවනු දුෂ්කර යැ විමසවනු දුෂ්කර යැ දක්වනු දුෂ්කර යැ පහදවනු දුෂ්කර වේ නුයි ‘නිවිස්සවාදී න හි සුබ්බිතායො’ යනු වේ.
පකප්පිතං දිට්ඨි පුරෙක්ඛරානො - කල්පිත වූ ප්‍රකල්පිත වූ අභිසංස්කෘත වූ මොනොවට පිහිටුවන ලද දෘෂ්ටිය පෙරටු කොට හැසිරෙයි, දෘෂ්ටිය ධ්වජ කොට ඇතියේ, දෘෂ්ටි කෙහෙලි කොට ඇතියේ දෘෂ්ටිය අධිපති කොට ඇතියේ දෘෂ්ටියෙන් පිරිවරන ලදුයේ හැසිරේ නුයි ‘පකප්පිතං දිට්ඨි පුරෙක්ඛරානො’ යනු වේ.
යං නිස්සිතො තත්‍ථ සුභංවදානො - ‘යං නිස්සිතො’ යනු: යම් ශාස්තෘවක්හු ධර්‍මාඛ්‍යානයක් ගණයක් දෘෂ්ටියක් ප්‍රතිපත්තියක් මාර්‍ගයක් ඇසුරු කෙළේ ඇලුණේ එළැඹියේ පිවිසියේ බැසගත්තේ නුයි ‘යං නිස්සිතො’ යනු වේ: තත්‍ථ යනු: ස්වකීය දෘෂ්ටියෙහි සිය කැමැත්තෙහි සිය රුචියෙහි සිය ලබ්ධියෙහි; සුභංවදානො යනු: ස්වකීය ලබ්ධියෙහි ශුභවාද ඇතියේ ශොභනවාද - පණ්ඩිතවාද - ස්ථිරවාද - න්‍යායවාද - හේතුවාද - ලක්ෂණවාද - කාරණවාද - ස්ථානවාද ඇතියේ නුයි ‘යං නිස්සිතො තත්‍ථ සුභංවදානො’ යනු වේ.
සුද්ධිංවදො තත්‍ථ තථද්දසා සො - ‘ශුද්ධිවාද ඇතියේ විශුද්ධිවාද - පරිශුද්ධිවාද - පණ්ඩරවාද - ප්‍රභාස්වරවාද ඇතියේ; නොහොත් ශුද්ධිය දක්නේ විශුද්ධිය දක්නේ පරිශුද්ධිය දක්නේ පණ්ඩරදර්‍ශන ඇතියේ ප්‍රභාස්වරදර්‍ශන ඇතියේ නුයි - ‘සුද්ධිංවදො’ යනු වේ; තත්‍ථ යනු: ස්වකීය ලබ්ධියෙහි සත්‍යය තත්ථ්‍යය භූත යැ තාථාවත් යැ අවිපරීත යැ’ යි දුටුයේ යැ දැක්කේ යැ දර්‍ශනය කෙළේ යැ ප්‍රතිවේධ කෙළේ නුයි ‘සුද්ධිංවදො තත්‍ථ තථද්දසා සො’ යනු වේ.
එයින් වදාළහ බුදුහු:
“නිවිස්සවාදී -පෙ- සුද්ධිංවදො තත්‍ථ තථද්දසා සො” යී.
13. 17.
ක්‍ෂීණාස්‍රව බ්‍රාහ්මණ තෙමේ නුවණින් දැන තෘෂ්ණාදෘෂ්ටිකල්පයට නො පැමිණෙයි. දෘෂ්ටියෙහි හැසිරෙනුයේ නො වයි. සමාපත්තිඥානාදියෙන් කළ තෘෂ්ණාබන්ධ ඇත්තේ නො ද වෙයි.. තවද හෙතෙම පුහුදුනුවන් කෙරෙන් උපන් දෙසැට දෘෂ්ටීන් දැන උපෙක්ෂා කෙරෙයි. අන්‍යයෝ දැඩිව ගනිත්.
න බ්‍රාහ්මණො කප්පමූපෙති සඞඛං - ’න’ යනු: ප්‍රතික්‍ෂේප යැ බ්‍රාහ්මණො - සප්ත ධර්‍ම කෙනකුන් බැහැර කළ බැවින් බ්‍රාහ්මණ යැ … හේ බ්‍රාහ්මණ යැයි කියනු ලැබේ. කප්පා යනු: තෘෂ්ණාකල්ප යැ දෘෂ්ටිකල්ප යැයි කල්ප දෙකෙකි … මේ දෘෂ්ටිකල්ප යයි. සඞ්ඛා යයි ඥානය කියනු ලැබෙයි යම් ප්‍රඥාවක් පජානනයෙක් … අමොහසඞ්ඛ්‍යාත ධර්‍මවිචයයෙක් සම්‍යග්දෘෂ්ටියක් වේ ද එයයි න බ්‍රාහ්මණො කප්පමූපෙති සඞඛං - ක්‍ෂීණාස්‍රව බ්‍රාහ්මණ නුවණින් දැන තුලනය කොට තීරණය කොට විභාවන කොට විභූත කොට ‘සියලු සංස්කාරයෝ අනිත්‍යයෝ යැ’ යි ‘සියලු සංස්කාරයෝ දුඃඛයෝ යැ’ යි … යම් කිසිවෙක් සමුදයධර්‍ම වේ නම් ඒ සියල්ල නැසෙන සුලු ය’ යි නුවණින් දැන තුලනය කොට තීරණය ‘කොට විභාවන කොට විභූත කොට තෘෂ්ණා කල්පයට හෝ දෘෂ්ටිකල්පයට හෝ නො එයි, නො පැමිණෙයි, නො එළැඹෙයි, නො ගනී, නො දැහැගනී, නො පිවිසියේ නුයි ‘න බ්‍රාහ්මණො කප්පමූපෙති සඞඛං’ යනු වේ.
න දිට්ඨිසාරී නපි ඤාණබන්ධු - ඔහු විසින් දෙසැට දිටුගතයෝ ප්‍රහීණ කරන ලද්දාහු ය, සිඳින ලද්දාහු ය, සංහිඳුවන ලද්දාහු ය, දුරලන ලද්දාහු ය, උපතට නො සුදුසු කරන ලද්දාහු ය, නුවණගින්නෙන් දවන ලද්දාහු ය; හෙතෙම දෘෂ්ටිය විසින් නො යවනු ලැබෙයි, නො නියනු ලැබෙයි, නො වහනු ලැබෙයි, නො හරිනු ලැබෙයි, ඒ දෘෂ්ටිගතය සාරහෙයින් නො ද දැහැගනී. නො පැමිණේ නුයි ’න දිට්ඨිසාරී’ යනු වේ. න පි ඤාණබන්ධු - අෂ්ටසමාපත්තිඥානයෙන් හෝ පඤාභිඥාඥානයෙන් හෝ මිථ්‍යාඥානයෙන් හෝ තෘෂණාබන්ධය හෝ දෘෂ්ටිබන්ධය හෝ නො කෙරෙයි, නො දනවයි, නූපදවයි, නො නිපදවයි, අතිශයින් නූපදවා නුයි ‘න දිට්ඨිසාරී න’ පි ඤාණබන්ධු’ යනු වේ.
ඤත්‍වා ච සො සම්මුතියො පුථුජ්ජා - ‘ඤත්‍වා’ යනු: දැන, දැනගෙන තුලනය කොට තීරණය කොට විභාවන කොට විභූත කොට, සියලු සංස්කාරයෝ අනිත්‍යයෝ යැ’යි දැන දැනගෙන තුලනය - තීරණය - විභාවනය කොට විභූත කොට, ‘සියලු සංස්කාරයෝ දුඃඛයෝ යැ’යි …යම් කිසි සමුදයධර්‍මයෙක් වේ නම් ඒ සියල්ල නැසෙන සුලු යැ’යි දැන දැනගෙන තුලනය - තීරණය - විභාවනය කොට විභූත කොට නුයි ‘ඤත්‍වා ච සො’ යනු වේ; සම්මුතියො’ යි දෙසැටදිටුගතයෝ දෘෂ්ටිසම්මතීහු කියනු ලැබෙත්; පුථුජ්ජා යනු: ඒ සම්මතීහු බොහෝ වූ නානා ජනයන් විසින් උපදවන ලද්දාහු නුයි හෝ ‘පුථුජ්ජා’ නම් වෙත් නුයි ‘ඤත්‍වා ච සො සම්මුතියො පුථුජ්ජා’ යනු වේ.
උපෙක්ඛති උග්ගණ්හන්ති මඤ්ඤෙ - අන්‍යයෝ තෘෂ්ණාවශයෙන් දෘෂ්ටිවශයෙන් ගනිති. දැහැගනිති, පිවිසෙත්; රහත් තෙම උපෙක්ෂා කෙරෙයි නො ගනී නො දැහැගනී නො පිවිසේ නුයි ‘උපෙක්ඛති උග්ගණ්හන්ති මඤ්ඤෙ’ යනු වේ.
එයින් වදාළහ බුදුහු:
“න බ්‍රාහ්මණො -පෙ- උග්ගණ්හන්ති මඤ්ඤෙ” යී.
13. 18.
ක්‍ෂීණාස්‍රව මුනි තෙම මෙලො වැ චතුර්විධ ග්‍රන්‍ථයන් හැරපියා හටගත් විවාද ඇතියන් අතුරෙහි (ඡන්‍දාදීන්) වර්‍ග ව නො හැසිරෙනුයේ අශාන්තයන් අතුරෙහි ශාන්ත වූයේ උපේක්‍ෂායෙන් යුක්ත වූයේ වෙයි, හෙතෙම දෘඪග්‍රහණ රහිත වෙයි, අන්‍යයෝ (තෘෂ්ණා දෘෂ්ටි විසින්) දැඩිව ගනිත්.
විසජ්ජ ගන්ථානි මුනීධ ලෝකේ - ‘ගන්ථා’ යනු: සතර ග්‍රන්‍ථ කෙනෙකි. අභිධ්‍යාකායග්‍රන්‍ථ යැ, ව්‍යාපාදකායග්‍රන්‍ථ යැ, ශීලව්‍රතපරාමර්‍ශකායග්‍රන්‍ථ යැ ඉදම්සත්‍යාභිනිවෙශකායග්‍රනථ යැයි; තමාගේ දෘෂ්ටියෙහි රාගය අභිධ්‍යාකායග්‍රන්‍ථ යැ, පරවාදයන්හි කෝපය නො සතුට ව්‍යාපාදකායග්‍රන්‍ථ යැ, තමා ගේ ශීලය හෝ ව්‍රතය හෝ ශීලව්‍රතය හෝ දැඩිව ගනී, (මේ) ශීලව්‍රත පරාමර්‍ශකායග්‍රන්ථ යැ, තමාගේ දෘෂ්ටිය ඉදම්සත්‍යාභිනිවෙශකායග්‍රනථ යයි. විසජ්ජ යනු: ග්‍රන්‍ථයන් පරිත්‍යාග කොට හෝ ‘විසජ්ජ’ යනු වේ. නොහොත් ග්‍රන්‍ථයන් ග්‍රථිත වූවන් ග්‍රන්‍ථිත වූවන් බඳනා ලදුවන් වෙසෙසින් බඳනා ලදුවන් හාත්පසින් බඳනා ලදුවන් ලග්න වූවන් ලග්නිත වූවන් හාත්පසින් බැඳුණවුන් ක්ලේශබන්‍ධනයන් පොළාපියා හෝ හැරදමා; යම් සේ ගමනට සැරසූ දෝලාවක් හෝ රියක් හෝ ගැලක් හෝ යානයක් හෝ විසුරුවත් ද, සුණු කෙරෙත් ද, එසෙයින් ම ග්‍රන්‍ථයන් පරිත්‍යාග කොට හෝ හැරපියා නොහොත් ග්‍රන්‍ථයන් ග්‍රථිත - ග්‍රන්‍ථිත - බද්ධ - විබද්ධ - ආබද්ධ - ලග්න - ලග්නිත - පරිබද්ධ වූවන් ක්ලෙශබන්ධයන් පොළාපියා හෝ හැරදමා; මුනි යනු: ‘මොන’ යී ඥානය කියනු ලැබෙයි; ඉධ යනු: මේ දෘෂ්ටියෙහි … මේ මිනිස්ලොවැ නුයි ‘විසජ්ජ ගන්ථානි මුනීධ ලෝකේ’ යනු වේ.
විවාදජාතෙසු න වග්ගසාරී - විවාදයක් උපන් කල්හි හටගත් කල්හි නිපන් කල්හි වෙසෙසින් නිපන් කල්හි පහළ වූ කල්හි (අන්‍යයන්) ඡන්‍දයෙන් අගතියට යන කල්හි ද්වේෂයෙන් අගතියට යන කල්හි භයින් අගතියට යන කල්හි මෝහයෙන් අගතියට යන කල්හි, ඡන්‍දාගතියට නො යෙයි, ද්වෙෂාගතියට නො යෙයි, භයාගතියට නො යෙයි. මෝහාගතියට නො යෙයි, රාගවශයෙන් නො යෙයි, ද්වෙෂවශයෙන් - භයවශයෙන් - මොහවශයෙන් - මානවශයෙන් - දෘෂ්ටිවශයෙන් - ඖද්ධත්‍යවශයෙන් - විචිකිත්සාවශයෙන් - අනුශයවශයෙන් නො යෙයි; වර්‍ග වූ ධර්‍මයන් විසින් නො යවනු ලැබෙයි, නො පමුණුවනු ලැබෙයි, නො වහනු ලැබෙයි, නො හරිනු ලැබේ නුයි ‘විවාදජාතෙසු න වග්ගසාරී’ යනු වේ.
සන්තෝ අසන්තෙසු උපෙක්ඛකො සො - ‘සන්තෝ’ යනු: රාගය සන්හිඳුවන ලද හෙයින් ශාන්ත යැ, ද්වේෂය ශාන්ත වන බැවින් ශාන්ත යැ, මෝහය ශාන්ත වන බැවින් ශාන්ත යැ … සියලු අකුශලාභිසංස්කාරයන් ශාන්ත වන බැවින් ශමිත වන බැවින් ව්‍යුපශමිත වන බැවින් දවන ලද වන බැවින් නිවන ලද වන බැවින් විගත වන බැවින් දුරලන ලද වන බැවින ශාන්ත යැ උපශාන්ත යැ ව්‍යුපශාන්ත යැ නිර්‍වෘත යැ දුරලන ලද්දේ නුයි ’සන්තෝ’ යනු වේ. - අසන්තෙසු අශාන්තයන් අතුරෙහි අනුපශාන්තයන් - අව්‍යුපශාන්තයන් - නො නිවුණවුන් (කෙලෙස්) නො දුරලන ලදුවන් අතුරෙහි නුයි ‘සන්තෝ අසන්තෙසු ’යනු වේ. උපෙක්ඛකො සො - රහත් තෙමේ ෂඩඞගොපෙක්ෂායෙන් සමන්‍විත වූයේ යැ; ඇසින් රූපයන් දැක නො මැ සතුටු සිත් ඇතියේ වෙයි, නො සතුටු සිත් ඇතියේ නො වෙයි, උපෙක්ෂා ඇතියේ සිහි ඇතියේ නුවණැතියේ වෙසෙයි; කනින් ශබ්දයක් අසා … භාවිත වූ සිත් ඇතියේ මොනොවට දැමුණේ මරණකාලය අපේක්‍ෂා කෙරේ නුයි ‘සන්තෝ අසන්තෙසු උපෙක්ඛකො සො’ යනු වේ.
අනුග්ගහො උග්ගණ්හන්ති මඤ්ඤෙ - අන්‍යයෝ තෘෂ්ණාවශයෙන් දෘෂ්ටිවශයෙන් ගනිති, දැහැගනිති, පිවිස ගනිත්; රහත් තෙම උපෙක්ෂා කෙරෙයි, නො ගනී නො දැහැගනී නො පිවිසේ නුයි ‘අනුග්ගහො උග්ගණ්හන්ති මඤ්ඤෙ’ යනු වේ.
එයින් වදාළහ බුදුහු:
“විසජ්ජ ගන්ථානි -පෙ- උග්ගණ්හන්ති මඤ්ඤෙ” යී.
13. 19.
ඉක්මැගිය (රූපාදීන් අරබයා උපන් කාමාදි) ආස්‍රවයන් හැර වර්‍තමාන (රූපාදිය අරබයා උපදනා) ආස්‍රවයන් නො කරන්නාවූ ඡන්‍දාදි වසයෙන් අගතියට නො යන්නා වූ නො ද දෘෂ්ටියෙහි පිහිටා කියන්නා වූ දෘෂ්ටිගතයන් ගෙන් වෙසෙසින් මිදුණා වූ ධීර වූ ඒ ක්‍ෂීණාස්‍රව තෙම (කෘතාකෘතවශයෙන්) තම හට නො ගරහනු යේ ලොවැ (තෘෂ්ණාදෘෂ්ටි) විසින් නො ඇලෙන්නේ යි.
පුබ්බාසවෙ හිත්වා නවෙ අකුබ්බං - ‘පුබ්බාසවා’ යී ඉක්මැගිය රූපවෙදනා සංඥාසංස්කාරවිඥානයෝ කියනු ලැබෙති, අතීත සංස්කාරයන් අරබයා යම් කෙලෙස් කෙනෙක් උපදනාහු නම්, ඒ කෙලෙසුන් හැර ත්‍යාග කොට පරිත්‍යාග කොට දුරු කොට බැහැර කොට විගතාන්ත කොට අනභාවයට පමුණුවා නුයි ‘පුබ්බාසවෙ හිත්වා’ යනු වේ. න වෙ අකුබ්බං ‘නවා’ යී වර්‍තමාන රූපවෙදනාසංඥාසංස්කාරවිඥානයෝ කියනු ලැබෙති; වර්‍තමාන සංස්කාරයන් ඇරබ ඡන්‍දය නො කරනුයේ ප්‍රේමය නො කරනුයේ රාගය නො කරනුයේ නො දනවනුයේ මැනවින් නො දනවනුයේ නො නිපදවනුයේ නූපදවනුයේ නුයි ‘පුබබාසවෙ හිත්වා නවෙ අකුබ්බං’ යනු වේ.
න ඡන්දගු නො’පි නිවිස්සවාදී - ඡන්‍දයෙන් අගතියට නො යයි, ද්වේෂයෙන් අගතියට නො යයි, භයින් අගතියට නො යයි, මෝහයෙන් අගතියට නො යයි, රාගවශයෙන් නො පැමිණෙයි, ද්වෙෂවශයෙන් - මොහවශයෙන් - මානවශයෙන් - දෘෂ්ටිවශයෙන් - ඖද්ධත්‍ය වශයෙන් - විචිකිත්සා වශයෙන් - අනුශයවශයෙන් නො යයි, වර්‍ග වූ ධර්‍මයන්ගෙන් නො යවනු ලැබෙයි, නො පමුණුවනු ලැබෙයි, නො වහනු ලැබෙයි, නො හරිනු ලැබේ නුයි ‘න ඡන්දගූ’ යනු වේ. නො’පි නිවිස්සවාදී ‘ශාශ්වත යැ ලෝකය මේ මැ සැබැව, අන්‍යය මෝඝ යැ’ යි නො පිහිටා කියනුයේ … සත්ත්‍ව තෙමේ මරණින් මතු නො මැ වෙයි, නො වන්නේ නො වෙයි, මේ මැ සැබව, අන්‍යය මෝඝ යැ’ යි නො පිහිටා කියනුයේ නුයි ‘න ඡන්දගු නො’පි නිවිස්සවාදී’ යනු වේ.
ස විප්පමුත්තො දිට්ඨිගතෙහි ධීරො - ඔහු විසින් ද්වාෂෂ්ටිදෘෂ්ටිගතයෝ ප්‍රහීණ කරන ලද්දාහුය, සිඳින ලද්දාහුය, සන්හිඳුවන ලද්දාහුය දුරලන ලද්දාහුය උපතට නුසුදුසු කරන ලද්දාහුය, නුවණගින්නෙන් දවන ලද්දාහුය, හෙතෙම දෘෂ්ටිගතයන් ගෙන් වෙසෙසින් මිදුණේ වෙන් වූයේ විගතමර්‍ය්‍යාදා කළ සිතින් යුක්ත ව වෙසෙයි. ධීරො යනු: ධීර වූයේ පණ්ඩිත වූයේ ප්‍රඥාවත් වූයේ බුද්ධිමත් වූයේ නුවණැතියේ විමංසනප්‍රඥා ඇතියේ තීරණප්‍රඥා ඇතියේ නුයි ‘ස විප්පමුත්තො දිට්ඨිගතෙහි ධීරො’ යනු වේ.
න ලිප්පති ලෝකේ අනත්තගරහී - ‘ලෙප’ නම්: තෘෂ්ණාලේපය ද දෘෂ්ටිලෙපය දැයි ලෙපයෝ දෙදෙනෙකි: … මේ දෘෂ්ටිලෙපයයි; ඔහු විසින් තෘෂ්ණාලේපය ප්‍රහීණ යැ, දෘෂ්ටිලෙපය දුරලන ලද? තෘෂ්ණාලේපය ප්‍රහීණ බැවින් දෘෂ්ටිලෙපය දුරලූ බැවින් නො ඇලුණේ අපායලෝකයෙහි නො ඇලෙයි, මිනිස්ලොවැ නො ඇලෙයි, දෙව්ලොවැ නො ඇලෙයි, ස්කන්‍ධලෝකයෙහි නො ඇලෙයි, ධාතුලොකයෙහි නො ඇලෙයි, ආයතනලෝකයෙහි නො ඇලෙයි, නො තැවැරෙයි, හාත්පසින් නො ඇලෙයි, නො ඇලුණේ නො වැකුණේ නො තැවැරුණේ නික්මුණේ නික්මැගියේ වෙසෙසින් මුදුණේ විසංයුක්ත වූයේ විමර්‍ය්‍යාදීකෘත සිතින් යුක්තව වෙසේ නුයි ‘න ලිප්පති ලෝකේ’ යනු වේ. අනත්තගරහී - දෙකරුණෙකින් තම හට ගරහයි: කළ හෙයින් හා නො කළ හෙයින් හා යැ; කිසෙයින් කළ හෙයින් හා නො කළ හෙයින් හා තමහට ගරහා ද යත්? ‘මා විසින් කායදුශ්චරිතය කරන ලද, කායසුචරිතය නො කරන ලදැ’ යි තමහට ගරහයි, මා විසින් වාග්දුශ්චරිතය කරන ලද … මා විසින් මනෝදුශ්චරිතය කරන ලද … මා විසින් ප්‍රාණවධ කරන ලද … මා විසින් මිතථ්‍යාදෘෂ්ටිය කරන ලද … මා විසින් සම්‍යග්දෘෂ්ටිය නො කරන ලදැ’ යි තම හට ගරහයි, මෙසේ කළ හෙයින් හා නො කළ හෙයින් හා තම හට ගරහයි; නොහොත් ‘ශීලයෙහි පරිපූරකාරී නො වූයෙමි තම හට ගරහයි, ඉන්‍ද්‍රියයන්හි පියූ දොර ඇතියෙම් නො වීමි … බොජුන්හි පමණ දතුයෙම් නො වීමි … නිදි දරු කිරීමෙහි නො යෙදුනෙම් විමි … සිහිනුවණින් සමන්‍විත වූයෙම් නො වීමි … මා විසින් සතර සතිපට්ඨානයෝ නො වඩන ලදහ’යි - සතර සම්‍යක්ප්‍රධානයෝ නො වඩන ලදහ’ යි - සතර ඍද්ධිපාදයෝ නො වඩන ලදහ’ යි - පඤ්චේන්‍ද්‍රියයෝ නො වඩන ලදහ’ යි - පඤ්චබලයෝ නො වඩන ලදහයි - සප්තබෝධ්‍යඞ්ගයෝ නො වඩන ලදහයි - ආර්‍ය්‍යඅෂ්ටාඞ්ගිකමාර්‍ගය නො වඩන ලදැයි - දුඃඛසත්‍යය මා විසින් අපරිඥාත යැ යි - දුඃඛසමුදය මා විසින් අප්‍රහීණ යැ යි - මාර්‍ගය මා විසින් අභාවිත යැ යි - නිරෝධය මා විසින් ප්‍රත්‍යක්‍ෂ නො කරන ලදැයි තම හට ගරහයි; මෙසේ කළ හෙයින් ද නො කළ හෙයින් ද තම හට ගරහයි, මෙසේ තම හට ගරහන සුලු වෙයි. ඒ මෙබඳු කර්‍මය නො කරනුයේ නො දනවනුයේ නූපදවනුයේ නො නිපදවනුයේ නො පහළ කරනුයේ තමහට නො ගරහනුයේ ‘න ලිප්පති ලෝකේ අනත්තගරහී’ යනු වේ.
එයින් වදාළහ බුදුහු:
“පුබ්බාසවෙ හිත්වා -පෙ- න ලිප්පති ලෝකේ අනත්තගරහී” යී.
13. 20.
ඒ ක්‍ෂීණාස්‍රව තෙම යම් කිසි රූපාලම්බනයෙක් හෝ ශබ්දාලම්බනයෙක් හෝ ගන්‍ධරස ස්ප්‍රෂ්ටව්‍යාලම්බනයෙක් හෝ (ධර්‍මාලම්බනයෙක් හෝ වේ ද) ඒ සර්‍වධර්‍මයන්හි මරසෙන් වනසා සිටියේ වෙයි. ඒ රහත් තෙම බහාතැබූ බර ඇතියේ (කෙලෙසුන් කෙරෙන්) වෙසෙසින් මිදුණේ තෘෂ්ණාදෘෂ්ටි කල්පය නො කෙරෙයි, උපරති සහිත ද නො වෙයි. තෘෂ්ණා රහිත වූයේත් වේ. (බුදුහු මෙසේ වදාළ සේකි.)
ස සබ්බධම්මෙසු විසෙනිභූතො යං කිඤ්චි දිට්ඨං ව සුතං මුතං වා - ‘සේනා’ යී මරසෙන් කියනු ලැබෙයි, කායදුශ්චරිතය මාරසෙන් යැ, වාග්දුශ්චරිතය - මනෝදුශ්චරිතය මාරසෙනා යැ, රාගය ද්වේෂය මෝහය ක්‍රෝධය උපනාහය මකුබව යුගග්‍රාහය ඉර්‍ෂ්‍යාය මාත්සර්‍ය්‍යය මායාව ශඨබව තදබව කරණුත්තරියකරණය මානය අතිමානය මදය ප්‍රමාදය සියලු කෙලෙස් සියලු දුසිරිත් සියලු දරථයෝ සියලු පරිදාහයෝ සියලු සන්තාපයෝ සියලු අකුශලාභිසංස්කාරයෝ මාරසෙනා යි.
මේ වදාරන ලද මැය, භාග්‍යවතුන් විසින් :
1. කාමයෝ තාගේ පළමුවැනි සේනාව යැ. දෙවැන්නී අරති යයි කියනු ලබයි. සාපවස් දෙක තාගේ තෙවැනි සේනාව යැ, සිවුවැන්නී තෘෂ්ණාව යයි කියනු ලබයි.
2. ථීනමිද්ධය තාගේ පස්වැනි සේනාව යැ, සවැන්නී බියසුලු බව යයි කියනු ලබයි, විචිකිත්සාව තාගේ සත්වැනි සේනාව යැ, මකුබව හා තදබව තාගේ අටවැනි සෙනාවයි.
3. ලාභය ප්‍රශංසාවය සත්කාරය හා මිත්ථ්‍යාවෙන් ලද යශස ද (නව වැනි වෙයි) යමෙකු ත් තමා උසස් කරන්නේ පරහට අවඥාත් කෙරේ ද, (එද දසවැනි වේ.)
4. අන්තකය, කෘෂණධර්‍මයෙන් සමන්‍විත වූ තාගේ තෙල (දසවිධ) සේනා තොමෝ මහණබමුණන් පෙළන්නී වෙයි, අසූර වූ පුරුෂ තෙම ඒ මරසෙනඟ නො දිනයි, යළි (සූර තෙමේ) ජයග්‍රහණය කොට මඟපලසුව ලබා’ යයි.
යම් හෙයකින් සතර ආර්‍ය්‍යමාර්‍ගයෙන් සියලු මරසෙනඟත් සියලු ප්‍රතිපක්ෂකර ක්ලේශයෝත් දිනන ලද්දාහු ද පරදවන ලද්දාහු ද බිඳුණාහු සුණුවිසුණු වූවාහු විමුඛබවට පමුණුවන ලද්දාහු ද, හෙතෙම විසෙනිභූත යයි කියනු ලැබෙයි; හේ රූපයාතනයෙහි නික්ලේශ වූයේ නුයි ‘ස සබ්බධමෙමසු විසෙනිභූතො යං කිඤ්චි දිට්ඨං ව සුතං මුතං වා’ යනු වේ.
ස පන්නහාරො මුනි විප්පමුත්තො - ‘භාර’ නම් තුන් බරෙකි; ස්කන්‍ධභාරය ක්ලෙශභාරය අභිසංස්කාරභාරය යි; ස්කන්‍ධභාරය කවරැ යත්? ප්‍රතිසන්ධියෙහි රූපය වේදනාව සංඥාව සංස්කාරයෝ විඥානය (යන) මේ ස්කන්‍ධභාරය යි; ක්ලෙශභාරය කවරැ යත්? රාගය ද්වේෂය මෝහ … සියලු අකුශලාභිසංස්කාරයෝ යැ, මේ ක්ලෙශභාරය යි; අභිසංස්කාරභාරය කවරැ යත්? පුණ්‍යාභිසංස්කාර යැ අපුණ්‍යාභිසංස්කාර යැ ආනඤජාභිසංස්කාර යැ (යන) මේ අභිසංස්කාරභාරය යි, යම් තැනෙක පටන් ස්කන්‍ධභාරය ත් ක්ලෙශභාරය ත් අභිසංස්කාරභාරයත් ප්‍රහීණ වූවාහු වෙත් ද, උසුන් මුල් ඇත්තාහු තාලවස්තුවක් මෙන් කරන ලද්දාහු අනුඅභාවය කරන ලද්දාහු මත්තෙහි නූපදනා පියවි ඇත්තාහු වෙත් ද, හෙතෙම තැබූ බර ඇත්තේ යැ, හෙළු බර ඇත්තේ යැ. බහාතැබූ බර ඇත්තේ යැ මොනොවට බහාතැබූ බර ඇත්තේ යැ, නික්‍ෂේප කළ බර ඇත්තේ යැ සන්හිඳුවන ලද බර ඇත්තේ යැයි කියනු ලැබේ.
මුනි යනු : ‘මොන’ යී ඥානය කියනු ලැබෙයි, යම් ප්‍රඥාවක් ප්‍රකර්‍ෂයෙන් දැනීමෙක් අනිත්‍යාදිය විමසීමෙක් ප්‍රකර්‍ෂයෙන් විමසීමෙක් සිවුසස් දහම් විමසීමෙක් අනිත්‍යාදිය සැලකීමෙක් උපලක්‍ෂණයෙක් ප්‍රත්‍යුපලක්‍ෂණයෙක් පණ්ඩිත බවෙක් කුසල බවෙක් නිපුණ බවෙක් (අනිත්‍යාදීන්ගේ විභාවනයෙක් සිතීමෙක් පරීක්‍ෂාවක් භූරී සඞ්ඛ්‍යාත ප්‍රඥාවක් කෙලෙස් නසන ප්‍රඥාවක් පරිණායකප්‍රඥාවක් විදර්‍ශනාවක් සම්ප්‍රජන්‍යයක් පතෝදය වැනි ප්‍රඥාවක් ප්‍රඥේන්‍ද්‍රියයෙක් ප්‍රඥාබලයෙක් ප්‍රඥාශස්ත්‍රයෙක් ප්‍රඥාප්‍රාසාදයෙක් ප්‍රඥාලෝකයෙක් ප්‍රඥාවභාසයෙක් ප්‍රඥාප්‍රද්‍යොතයෙක් ප්‍රඥාරත්නයෙක් අමෝහයෙක් ධර්‍මවිචයෙයෙක් සම්‍යග්දෘෂ්ටියෙක් වේ ද එයයි. ඒ ඥානයෙන් සමන්‍විත වූ මුනි තෙම මොනප්‍රාප්ත යැ.