“පරස්ස චෙ හි -පෙ- න කෝචි බාලො සමණෙසු අත්‍ථි” යි.
12. 14.
යම් කෙනෙක් මෙයින් අන්‍ය වූ දහමක් (- දෘෂ්ටියක්) කියා නම්, අපරිපූර්‍ණ වූ ඔහු ශුද්ධිය වැරැද්දාහුය, මෙසේත් තීර්‍තථකයෝ බොහෝ දෘෂ්ටිවශයෙන් කියති, යම් හෙයකින් ඔවුහු ස්වකීය දෘෂ්ටිරාගයෙන් ඇලුණාහු ද එහෙයිනි.
අඤ්ඤං ඉතො යාභිවදන්ති ධම්මං අපරද්ධා සුද්ධිමකෙවලි තෙ - යම් කෙනෙක් මෙයින් අන්‍ය වූ දහමක් දෘෂ්ටියක් ප්‍රතිපදාවක් මාර්‍ගයක් කියත් නම්, ඔවුහු ශුද්ධිමාර්‍ගය විශුද්ධිමාර්‍ගය පරිශුද්ධිමාර්‍ගය පණ්ඩරමාර්‍ගය ප්‍රභාවත්මාර්‍ගය වැරැද්දාහුය පැරැද්දාහුය පිරිහුණාහුය ගිලිහුණාහුය නො දැන පරාජයට පැමිණියාහුය; අකෙවලි තෙ - ඔවුහු අසමස්තයෝ යැ, ඔවුහු අපරිපූර්‍ණයෝ යැ, හීන - නිහීන - ඔමක - ලාමක - ඡත්තක - පරිත්තක වූවාහු නුයි ‘අඤ්ඤං ඉතො යා’භිවදන්ති ධම්මං අපරද්ධා සුද්ධිමකෙවලි තෙ’ යනු වේ.
එවමපි තිත්ථ්‍යා පුථුසො වදන්ති - ‘තිත්ථ’ යි දෘෂ්ටිගතය කියනු ලැබෙයි, දෘෂ්ටිගතිකයෝ ‘තිත්ථිය’ යි කියනු ලැබෙත්, බොහෝ දෘෂ්ටිගතිකයෝ නානා දෘෂ්ටිගතයන් පවසති කියති බෙණෙති දක්වති වහරත් නුයි ‘එවමපි තිත්ථ්‍යා පුථුසො වදන්ති’ යනු වේ.
සන්දිට්ඨිරාගෙන හි තෙභිරත්තා - ස්වකීය දෘෂ්ටියෙහි දෘෂ්ටිරාගයෙන් රැඳුණාහු වෙසෙසින් රැඳුනණාහු නුයි ‘සන්දිටඨිරාගෙන හි තෙභිරත්තා’ යනු වේ.
එයින් වදාළහ බුදුහු:
“අඤ්ඤං ඉතො -පෙ- සන්දිට්ඨිරාගෙන හි තෙභිරත්තා” යි.
12. 15.
මෙසේ (අභිරක්ත වූ තීර්‍තථකයෝ) මෙහි ම ශුද්ධිය කියති, අන්‍යධර්‍මයන්හි විශුද්ධිය නො කියත්; මෙසේ ත් ස්වකීය මාර්‍ගයෙහි බොහෝ සෙයින් බැසගත් තීර්‍තථකයෝ ඒ ස්ව ලබ්ධියෙහි දෘඪවාද ඇත්තාහු වෙත්.
ඉධෙව සුද්ධිං ඉති වාදයන්ති - මෙහි ශුද්ධිය විශුද්ධිය පරිශුද්ධිය මුක්තිය විමුක්තිය පරිමුක්තිය පවසති, කියති බෙණෙති දක්වති ව්‍යවහාර කෙරෙත්: ‘ශාශ්වත යැ ලෝකය, මෙය මැ සැබව, අන්‍යය මෝඝ යැයි මෙහි ශුද්ධිය විශුද්ධිය පරිශුද්ධිය මුක්තිය විමුක්තිය පරිමුක්තිය පවසති කියති බෙණෙති දක්වති ව්‍යවහාර කෙරෙත්. ‘අශාශ්වත යැ ලෝකය, සත්ත්‍ව තෙමේ මරණින් මතු නො මැ වෙයි, නො වන්නේ නො වෙයි, මෙය මැ සැබව, අන්‍යයසිස් යැ’යි මෙහි ශුද්ධිය විශුද්ධිය පරිශුද්ධිය මුක්තිය විමුක්තිය පරිමුක්තිය පවසති කියති බෙණෙති දක්වති ව්‍යවහාර කෙරෙත් නුයි ‘ඉධෙව සුද්ධිං ඉති වාදයන්ති’ යනු වේ.
නාඤ්ඤෙසු ධම්මේසු විසුද්ධිමාහු - තමාගේ ශාස්තෘහු ධර්‍මාඛ්‍යානය ගණයා දෘෂ්ටිය ප්‍රතිපදාව මාර්‍ගය හැර සියලු පරවාදයන් දුරු කෙරෙති, බැහැර කෙරෙති, විසුරුවත්: ‘ඒ ශාස්තෘ අසර්‍වඥ යැ, ධර්‍මය ස්වාඛ්‍යාත නො වෙයි, ගණයා සුප්‍රතිපන්න නො වෙයි, දෘෂ්ටිය සොඳුරු නො වෙයි, ප්‍රතිපදාව සුප්‍රඥප්ත නොවෙයි මාර්‍ගය නෛර්‍ය්‍යාණික නොවෙයි එහි ශුද්ධිය විශුද්ධිය පරිශුද්ධිය මුක්තිය විමුක්තිය පරිමුක්තිය හෝ නැත, එහි (සත්ත්‍වයෝ) ශුද්ධ - විශුද්ධ පරිශුද්ධ හෝ නො වෙති, මුක්ත - විමුක්ත - පරිමුක්ත හෝ වන්නාහු නැති, හීනයෝ යැ නිහීනයෝ යැ ඔමකයෝ යැ ලාමකයෝ යැ ඡත්තකයෝ යැ පරිත්තයෝ යැ’ යි මෙසේ පවසති, මෙසේ කියති මෙසේ බෙණෙති මෙසේ දක්වති මෙසේ ව්‍යවහාර කෙරෙත් නුයි ‘නාඤ්ඤෙසු ධම්මේසු විසුද්ධිමාහු’ යනු වේ.
එවම්පි තිත්ථ්‍යා පුථුසො නිවිට්ඨා - ‘තිත්ථං’ යි දෘෂ්ටිගතය කියනු ලැබෙයි, තිත්ථියා’ යී දෘෂ්ටිගතිකයෝ කියනු ලැබෙත්; බොහෝ තීර්‍තථකයෝ බොහෝ දෘෂ්ටිගතයන්හි පිවිසියාහු ඇලුණාහු පැමිණියාහු ඇතුළු වූවාහු බැසගත්තාහු නුයි ‘එවම්පි තිත්ථ්‍යා පුථුසො නිවිට්ඨා’ යනු වේ.
සකායෙන තත්‍ථ දළ්හං වදාතා - ධර්‍මය ස්වකීය මාර්‍ග යැ, දෘෂ්ටිය ස්වකීය මාර්‍ග යැ, ප්‍රතිපදාව ස්වකීය මාර්‍ග යැ, මාර්‍ගය ස්වකීය මාර්‍ග යැ ස්වකීය මාර්‍ගයෙහි දැඩි වාද ඇත්තාහු ස්ථිරවාද ඇත්තාහු බලවත් වාද ඇත්තාහු පිහිටා කියන ලද වාද ඇත්තාහු නුයි. ‘සකායෙන තත්‍ථ දළ්හං වදාතා’ යනු වේ.
එයින් වදාළහ බුදුහු:
“ඉධෙව සුද්ධිං ඉති -පෙ- සකායෙන තත්‍ථ දළ්හං වදාතා” යි.
12. 16.
තවද ස්වකීය දෘෂ්ටිමාර්‍ගයෙහි මැ දැඩිව කියන්නාවූ තීර්‍ත්‍ථක තෙම ඒ ස්වකීය මාර්‍ගයෙහි ලා අන්‍ය වූ කවරක්හු බාල යැයි දක්වන්නේ ද, හෙතෙම අන්‍යයා බාලයක්හු කොට අශුද්ධිධර්‍ම ඇත්තක්හු කොට කියනුයේ තෙමේ මැ කලහය එළවන්නේ යි.
සකායනෙ වාපි දළ්හං වදානො - ධර්‍මය ස්වකීය මාර්‍ග යැ, දෘෂ්ටිය ස්වමාර්‍ග යැ, ප්‍රතිපදාව ස්වමාර්‍ග යැ මාර්‍ගය ස්වමාර්‍ග යැ ස්වකීය දෘෂ්ටිමාර්‍ගයෙහි දැඩි වාද ඇත්තේ ස්ථිරවාද ඇත්තේ බලවත් වාද ඇත්තේ පිහිටා කියන ලද වාද ඇත්තේ නුයි ‘සකායතෙ වාපි දළ්හං වදානො’ යනු වේ.
කං තත්‍ථ බාලොති පරං දහෙය්‍ය - ‘තත්‍ථ’ යනු: ස්වකීය දෘෂ්ටියෙහි ස්වකීය කැමැත්තෙහි ස්වකීය රුචියෙහි ස්වකීය ලබ්ධියෙහි බාල හෙයින් නිහීන හෙයින් ඔමක හෙයින් ලාමක හෙයින් ඡත්තක හෙයින් පරිත්ත හෙයින් අන්‍ය වූ කවරක්හු සලකන්නේ ද, කවරක්හු බලන්නේ ද කවරක්හු දක්නේ ද කවරක්හු අවලොකනය කරන්නේ ද, කවරක්හු සිතන්නේ ද, කවරක්හු විමසන්නේ දැයි ‘කං තත්‍ථ බාලොති පරං දහෙය්‍ය’ යනු වේ.
සයං ව සො මෙධගමාවහෙය්‍ය පරං වදං බාලමසුද්ධිධම්මං - මෙරමා බාල යැ හීන යැ නිහීන යැ ඔමක යැ ලාමක යැ ඡත්තක යැ පරිත්ත යැ ආශුද්ධිධර්‍ම ඇත්තේ යැ අවිශුද්ධිධර්‍ම ඇත්තේ යැ අපරිශුද්ධිධර්‍ම ඇත්තේ යැ අනවදාතධර්‍ම ඇත්තේ යැ’ යි මෙසේ පවසනුයේ මෙසේ කියනුයේ මෙසේ බණනුයේ මෙසේ දක්වනුයේ මෙසේ වහරනුයේ තෙමේ මැ කලහය භණ්ඩනය විග්‍රහය විවාදය මෙධගය එළවන්නේය මොනවට එළවන්නේය, හැර ගන්නේය මොනවට හැරගන්නේය, අදින්නේය මොනවට අදින්නේය, ගන්නේය, දැහැගන්නේය, පිහිටාගන්නේ නුයි ‘සයං ව සො මෙධගමාවහෙය්‍ය පරං වදං බාලමසුද්ධිධම්මං’ යනු වේ.
එයින් වදාළහ බුදුහු:
“සකායනෙ වාපි -පෙ- පරං වදං බාලමසුද්ධි ධම්මං” යි.
12. 17.
හෙතෙම ලබ්ධිවිනිශ්චයෙහි සිට තෙමේ මැ (ශාස්තෘ ආදිය) ප්‍රමාණ කොට ගෙන ලෝකයෙහි බොහෝ සෙයින් (- මතුමත්තෙහි) විවාදයට පැමිණෙයි. (මෙසේ ලබ්ධියෙහි දෝෂ දුටු) පුද්ගල තෙමෙ සියලු දෘෂ්ටිවිනිශචයන් හැරපියා ලෝකයෙහි කලහ නො කරන්නේ යි.
විනිච්ඡයෙ ඨත්වා සයං පමාය - ‘විනිච්ඡය’ යී ද්වාෂෂ්ටිදෘෂ්ටිගතයෝ කියනු ලැබෙති, විනිශ්චයදෘෂ්ටියෙහි සිට පිහිටා ගෙන දැහැගෙන පිවිසගෙන නුයි ‘විනිච්ඡයෙ ඨත්වා’ යනු වේ; සයං පමාය - ‘මේ ශාස්තෘ සර්‍වඥ ය’ යි හෙතෙම මැනැ පමණ කොට, ‘මේ ධර්‍මය ස්වාඛ්‍යාත යැ’යි තෙමේ මැනැ පමණ කොට, ’මේ ගණයා සුප්‍රතිපන්න යැ’ මෝ දෘෂ්ටිය භද්‍ර යැ ‘මෝ ප්‍රතිපදාව සුප්‍රඥප්ත’ යැ, ‘මේ මාර්‍ගය නෛර්‍ය්‍යාණික යැ’යි තෙමේ මැනැ පමණ කොට නුයි ‘විනිච්ඡයෙ ඨත්වා සයං පමාය’ යනු වේ.
උද්ධං සො ලෝකස්මිං විවාදමෙති - ‘උද්ධං’ යී අනාගතය කියනු ලැබෙයි, තමා ගේ වාදය මතුයෙහි තබා තෙමේ මැ කලහ - භණ්ඩන - විග්‍රහ - විවාද - මෙධගයට එයි පැමිණෙයි එළැඹෙයි, ග්‍රහණය කෙරෙයි පරාමර්‍ෂ කෙරෙයි අභිනිවේශය කෙරේ නුයි මෙසේ ත් - ‘උද්ධං සො ලෝකස්මිං විවාදමෙති’ යනු වේ; නොහොත් තමා මතුයෙහි ලා කථා කරන අනෙකක්හු සමග කලහ කෙරෙයි, ඩබර කෙරෙයි, විග්‍රහ කෙරෙයි, විවාද කෙරෙයි, මෙධග කෙරෙයි: ‘තෝ මේ ධර්‍මවිනය නො දන්නෙහි … නොහොත් ඉදින් පොහෝනෙහි නම් (තමා) මුදාගතැ’ යි මෙසේත් ‘උද්ධං සො ලෝකස්මිං විවාදමෙති’ යනු වේ.
හිත්වාන සබ්බානි විනිච්ඡයානි - ‘විනිච්ඡය’ යි ද ද්වාෂෂ්ටිදෘෂ්ටිගතයෝ කියනු ලැබෙති; දෘෂ්ටිවිනිශචයයන් සියලු දෙසැට දෘෂ්ටීන් හැර ත්‍යාග කොට පරිත්‍යාග කොට බැහැර කොට දුරු කොට නසා විගතාන්ත කොට අනභාවයට පමුණුවා නුයි ‘හිත්වාන සබ්බානි විනිච්ඡයානි’ යනු වේ.
න මෙධගං කුරුතෙ ජන්තු ලෝකේ - කලහ නො කෙරෙයි, ඩබර නො කෙරෙයි, විග්‍රහ නො කෙරෙයි, විවාද නො කෙරෙයි, මෙධග නො කෙරෙයි; මේ වදාළේ මැයි; භාග්‍යවතුන් විසින් - “ගිනිවෙස්න, මෙසේ මිදුණු සිත් ඇති මහණ තෙම කිසිවක්හු සමග සංවාද නො කෙරෙයි, කිසිවක්හු සමග විවාද නො කෙරෙයි, තවද ලෝකයෙහි යමක් කියන ලද නම්, දැඩිව නො ගනිමින් එයින් ව්‍යවහාර කෙරේ යැ” යි ජන්තු යනු: සත්ත්‍ව - නර - මාණව - පුරුෂ - පුද්ගල - ජීව - ජාගු - ජන්තු - ඉන්දගු - මනුජ තෙම; ලෝකේ යනු: අපායලෝකයෙහි … ආයතනලෝකයෙහි නුයි ‘න මෙධගං කුරුතෙ ජන්තු ලෝකේ’ යනු වේ.
එයින් වදාළහ බුදුහු:
“විනිච්ඡයෙ ඨත්වා -පෙ- න මෙධගං කුරුතෙ ජන්තු ලෝකේ” යි.
දොළොස්වැනි ‘චූලවියූහ’ සූත්‍රනිර්දේශය සමාප්ත යි.
13.
මහාවියූහසූත්‍රනිර්දේශය
ඉක්බිති ‘මහාවියුහ’ සූත්‍රනිර්දේශය කියනු ලැබේ:
13. 1.
ස්වකීය දෘෂ්ටිය දැඩි වැ ගෙන වසන්නාවූ යම් කිසි මහණබමුණු කෙනෙක් ‘මේ (අපගේ ලබ්ධිය) මැ සැබව, අන්‍යය තුච්ඡ යැ’ යි ද කියත් නම්, ඔහු සියල්ලෝ මැ (තමන් වෙන) නින්‍දාව පුනපුනා එළවත් ද? නොහොත් ඒ දෘෂ්ටි නිමිති කොට ගෙන ප්‍රශංසාත් ලබත් ද?
යෙ කෙචි මෙ දිට්ඨිපරිබ්බසානා - ‘යෙ කෙචි’ යනු: සියල්ලෙන් සියල්ල සර්‍වථායෙන් සියල්ල අශේෂ කොට නිශ්ශේෂ කොට හාත්පසින් ගන්නා වචනයෙකි, තෙල වචනයෙකි, තෙල ‘යෙ කෙචි’ යනු; දිට්ඨිපරිබ්බසානා - දෘෂ්ටිගතික වූ ඇතැම් මහණබමුණු කෙනෙක් වෙති. ඔවුහු දෙසැට දිටු අතුරෙන් එක්තරා දෘෂ්ටිගතයක් ගෙන දැඩිව ගෙන ග්‍රහණය කොට දැහැගෙන පිවිසගෙන තමතමාගේ දෘෂ්ටියෙහි වෙසෙති මොනොවට වෙසෙති වෙසෙසින් වෙසෙති හාත්පසින් වෙසෙත්. යම්සේ ගෙහිමියෝ හෝ ගෙවල වෙසෙත් ද, ඇවැත් බහුලයෝ හෝ ඇවැත්හි වෙසෙත් ද, කෙලෙස් බහුලයෝ හෝ කෙලෙස්හි වෙසෙත් ද, එපරිද්දෙන් ඇතැම් මහණබමුණු කෙනෙක් … හාත්පසින් වෙසෙත් නුයි ‘යෙ කෙචි මෙ දිට්ඨිපරිබ්බසානා’ යනු වේ.
ඉදමෙව සච්චනති ච වාදයන්ති - ‘ශාශ්වත යැ ලෝකය, මෙය මැ සැබැව අන්‍යය මෝඝ යැ’ යි පවසති කියති බෙණෙති දක්වති ව්‍යවහාර කෙරෙත්. ‘අශාශ්වත යැ ලෝකය … සත්ත්‍වයා මරණින් මත්තෙහි නො මැ වෙයි, නො වන්නේ නො වෙයි. මෙය මැ සැබැව අන්‍යය මෝඝ යැ’ යි පවසති කියති බෙණෙති දක්වති ව්‍යවහාර කෙරෙත් නුයි ‘ඉදමෙව සච්චනති ච වාදයන්ති’ යනු වේ.
සබ්බේව තෙ නින්දමන්වානයන්ති - ඒ සියලු මැ මහණබමුණෝ නින්‍දාවට ම පැමිණෙති, ගර්‍හාවට ම, පැමිණෙති අකිර්‍තතියට ම පැමිණෙති, සියල්ලෝ නිගා කරන ලද්දාහු ම වෙති, ගරහන ලද්දාහු ම වෙති, අවමන් කරන ලද්දාහු ම වෙත් නුයි ‘සබ්බේව තෙ නින්දමන්වානයන්ති’ යනු වේ.
අථො පසංසමපි ලභන්ති තත්‍ථ - එහි ස්වකීය දෘෂ්ටියෙහි ස්වකීය කැමැත්තෙහි ස්වකීය රුචියෙහි ස්වකීය ලබ්ධියෙහි ප්‍රශංසාව ස්තුතිය කීර්තිය ගුණ වැඩීම ලබති පිළිලබති පැමිණෙති විඳිත් නුයි ‘අථො පසංසම්පි ලභන්ති තත්‍ථ’ යනු වේ.
එයින් කීහ ඒ මැවුණු බුදුහු:
“යෙ කෙචි මෙ -පෙ- අථො පසංසමපි ලභන්ති තත්‍ථ” යී.
13. 2.
තෙල ප්‍රශංසා සඞ්ඛ්‍යාත වාදඵලය අල්ප මැ ය. (රාගාදීන්ගේ) සන්හිඳීම පිණිස සමර්‍ත්‍ථ නො වේ. විවාදයාගේ (ජය - පරාජයාදි) ඵල දෙකක් කියමි. (විවාදයාගේ) තෙල ආදීනවය ද දැක, අවිවාදභූමි සඞ්ඛ්‍යාත නිවන ක්‍ෂේම යයි දක්මින් විවාද නො කරන්නේ යි.
අප්පඤහි එතං න අලං සමාය - ‘අප්පඤහි එතං’ යනු: තෙල අල්ප යැ, තෙල පහත් යැ, තෙල මඳ යැ, තෙල පවිටු යැ, තෙල අහේතුක යැ, තෙල පරිත්ත නුයි ‘අප්පඤහි එතං’ යනු වේ. න අලං සමාය - රාගයාගේ ශමනයට ද්වේෂයාගේ ශමනයට මෝහයාගේ ශමනයට ක්‍රෝධ - උපනාහ මක්ඛ පලාස - ඊර්‍ෂ්‍යා - මාත්සර්‍ය්‍ය - මායා - සාඨෙය්‍ය - ස්තම්භ - සංරම්භ - මාන - අතිමාන - මද - ප්‍රමාදයාගේ සියලු කෙලෙසුන්ගේ සියලු දුශ්චරිතයන්ගේ සියලු දරථයන්ගේ සියලු පරිදාහයන්ගේ සියලු සන්තාපයන්ගේ සියලු අකුශලාභිසංස්කාරයන්ගේ ශමනයට උපශමනයට සන්හිඳුවීමට අමාමහනිවනට (මාර්‍ගයෙන්) කෙලෙසුන් දුරලීමට (ඵලයෙන්) අනුත්පාදනිරොධයට සමර්‍ත්‍ථ නො වේ නුයි ‘අප්පඤහි එතං න අලං සමාය’ යනු වේ.
දුවෙ විවාදස්ස ඵලානි බ්‍රෑමි - දෘෂ්ටිකලහයාගේ දෘෂ්ටිභණ්ඩනයාගේ දෘෂ්ටිවිග්‍රහයාගේ දෘෂ්ටිවිවාදයාගේ දෘෂ්ටිමෙධගයාගේ ඵල දෙකෙක් වෙති; ජය - පරාජය වෙයි, ලාභ - අලාභවෙයි, යශස් - අයශස් වෙයි, නින්‍දා - ප්‍රශංසා වෙයි, සුව - දුක් වෙයි, සොම්නස් - දොම්නස් වෙයි, ඉටු - අනිටු වෙයි, අනුනය - ප්‍රතිඝ වෙයි, අනුග්‍රහ - නිග්‍රහ වෙයි, ස්නෙහ - කෝප වේ; නොහොත් ඒ කර්‍මය නිරයෙහි ඉපදීම පිණිස පවත්නේය, තිරිසන්යොන්හි ඉපදීම පිණිස පවත්නේය, ප්‍රේතවිෂයෙහි ඉපදීම පිණිස පවත්නේ යැ’ යි කියමි පවසමි පනවමි පිහිටුවමි, විවරණ කෙරෙමි, විභාග කෙරෙමි, ප්‍රකට කෙරෙමි, ප්‍රකාශ කෙරෙමි නුයි ‘දුවෙ විවාදස්ස ඵලානි බ්‍රෑමි’ යනු වේ.
එතම්පි දිස්වා න විවාදයෙථ - ‘එතම්පි දිස්වා’ යනු : තෙල ආදීනවය දැක බලා තුලනය කොට තීරණය කොට විභාවන කොට විභූත කොට ද දෘෂ්ටිකලහයන්හි දෘෂ්ටිභණ්ඩනයන්හි දෘෂ්ටිවිග්‍රහයන්හි දෘෂ්ටිවිවාදයන්හි දෘෂ්ටිමෙධගයන්හි නුයි ‘එතම්පි දිස්වා’ යනු වේ. න විවාදයෙථ - කලහ නො කරන්නේය, ඩබර නොකරන්නේය විග්‍රහ නො කරන්නේය, විවාද නො කරන්නේය, මෙධග නො කරන්නේය, කලහ භණ්ඩන විග්‍රහ විවාද මෙධග හරනේය, දුරුකරන්නේය විගතාන්ත කරන්නේය, අනභාවයට පමුණුවන්නේය, කලහයෙන් භණ්ඩන - විග්‍රහ - විවාද - මෙධගයෙන් දුරු වූයේ වෙන් වූයේ වෙසෙසින් වෙන්වූයේ නික්මැගියේ බැහැරි වූයේ වෙසෙසින් මිදුණේ නො යෙදුණේ වන්නේය, විගතමර්‍ය්‍යා කළ සිතින් යුක්ත ව වාසය කරන්නේ නුයි ‘එතම්පි දිස්වා න විවාදයෙථ’ යනු වේ.
ඛෙමාභිපස්සං අවිවාදභූමිං - ‘අවිවාදභූමි’ යී අමාමහනිවන කියනු ලැබෙයි: යම් ඒ සියලු සංස්කාරයන්ගේ සන්හිඳීමෙක් සියලු උපධීන්ගේ දුරලීමෙක් තෘෂණාක්ෂයෙක් විරාගයෙක් නිරෝධයෙක් නිර්‍වාණයෙක් වේ ද එය යි, තෙල අවිවාද භූමිය ක්‍ෂේම හෙයින් ත්‍රාණ හෙයින් ලෙන හෙයින් සරණ හෙයින් අභය හෙයින් අච්‍යුත හෙයින් අමෘත හෙයින් නිර්‍වාණ හෙයින් බලනුයේ දක්නේ අවලොකනය කරනුයේ සිතනුයේ විමසනුයේ නුයි ‘ඛෙමාභිපස්සං අවිවාදභූමිං’ යනු වේ.
එයින් වදාළහ බුදුහු:
“අප්පඤහි එතං -පෙ- ඛෙමාභිපස්සං අවිවාදභූමිං” යී.
13. 3.
පුහුදුනුවන් කෙරෙන් පහළ වූ යම් කිසි දෘෂ්ටි කෙනෙක් වෙත් ද, විද්වද් තෙමේ තෙල සියලු මැ දෘෂ්ටීන්ට නො පැමිණෙයි. (තෘෂ්ණා දෘෂ්ටි) උපය රහිත වූ හෙතෙම දෘෂ්ට - ශ්‍රැත - මුතශුද්ධියෙහි රුචි නො කරනුයේ රූපාදි උපයකට කිම පැමිණෙන්නේ ද.
යා කාචි මා සම්මුතියො පුථුජ්ජා - ‘යා කාචි’ යනු: සියල්ලෙන් සියල්ල සර්‍වාථයෙන් සියල්ල අශේෂ කොට නිශ්ශේෂ කොට හාත්පසින් ගන්නා වචනයෙකි: තෙල ‘යා කාචි’ යනු: සම්මුතියො - ‘සම්මුති’ යී ද්වාෂෂ්ටිදෘෂ්ටිගතයෝ කියනු ලැබෙති, ඒ දෘෂ්ටිසම්මුතීහු; පුථුජ්ජා - පුහුදුනුවන් විසින් උපදවන ලද සම්මුතීහු නුයි ‘පුථුජ්ජා’ නම් වෙති; බොහෝ නානා ජනයන් විසින් උපදවන ලද සම්මුතීහු නුයි හෝ ‘පුථුජ්ජා’ නම් වෙත් නුයි.’ යා කාචිමා සම්මුතියො පුථුජ්ජා’ යනු වේ.
සබ්බාව එතා න උපේති විද්වා - විද්වද් තෙමේ විද්‍යාවට පැමිණියේ නුවණැතියේ විමංසනප්‍රඥා ඇතියේ තීරණප්‍රඥා ඇතියේ තෙල සියලු මැ දෘෂ්ටිසම්මුතීන්ට නො එයි, නො පැමිණෙයි, උපගමනය නො කෙරෙයි, නො ගනී, නො දැනගනී, නො පිවිසගනී නුයි ‘සබ්බාව එතා න උපේති විද්වා’ යනු වේ.
අනුපයො සො උපයං කිමෙය්‍ය - ‘උපය’ නම්: තෘෂ්ණා උපය ද දෘෂ්ටි උපය දැයි උපයයෝ දෙදෙනෙකි. … මේ දෘෂ්ටිඋපය නමි. ඔහු විසින් තෘෂ්ණා උපය ප්‍රහීණ යැ, දෘෂ්ටිඋපය දුරලන ලද්දේය. තෘෂ්ණාඋපය ප්‍රහීණ වන බැවින් දෘෂ්ටිඋපය දුරලූ බැවින් උපය රහිත වූ පුද්ගල තෙම කිම රූපය ‘මාගේ ආත්මය’ යි පැමිණෙන්නේ ද එළැඹෙන්නේ ද ග්‍රහණය කරන්නේ ද පරාමර්‍ශනය කරන්නේ ද අභිනිවේශය කරන්නේ ද, කිම වේදනාව - සංඥාව - සංස්කාරයන් - විඥානය - ගතිය - උත්පත්තිය - ප්‍රතිසන්‍ධිය - භවය - සංසාරය - කිම වෘත්තයට පැමිණෙන්නේ ද, එළඹෙන්නේ ද, ග්‍රහණය කරන්නේ ද, පරාමර්‍ෂණය කරන්නේ ද, අභිනිවේශය කරන්නේ දැ’ යි ‘අනුපයො සො උපයං කිමෙය්‍ය’ යනු වේ.
දිට්ඨෙ සුතෙ ඛන්තිමකුබ්බමානො - රූපායතන සඞ්ඛ්‍යාත දෘෂ්ටියෙහි හෝ දෘෂ්ටිශුද්ධියෙහි හෝ ශබ්දායතන සඞ්ඛ්‍යාත ශ්‍රැතයෙහි හෝ ශ්‍රැතශුද්ධියෙහි හෝ ගන්ධරසස්ප්‍රෂ්ටව්‍යායතන සඞ්ඛ්‍යාත මුතයෙහි හෝ මුතශුද්ධියෙහි හෝ රුචිය නො කරනුයේ ඡන්‍දය නො කරනුයේ ප්‍රේමය නො කරනුයේ රාගය නො කරනුයේ නූපදවනුයේ වෙසෙසින් නූපදවනුයේ නො නිපදවනුයේ නො පහළ කරනුයේ නුයි ‘දිට්ඨෙ සුතෙ ඛන්තිමකුබ්බමානො’ යනු වේ.
එයින් වදාළහ බුදුහු:
“යා කාචි -පෙ- දිට්ඨෙ සුතෙ ඛන්තිමකුබ්බමානො” යී.
13. 4.
ශීලය මැ උතුමැයි හඟනාවූ ඇතැම් මහණබමුණු කෙනෙක් සංයම මාත්‍රයෙන් ශුද්ධිය කියති. (හස්තිව්‍රතාද) ව්‍රතය සමාදන්ව එළැඹසිටියාහු ‘මේ දෘෂ්ටියෙහි මැ හික්මෙනුවම්හ. එකල්හි මේ සත්ත්‍වයාගේ ශුද්ධිය වේ’ යයි භවයට පැමිණියාහු මැ කියති. (එහෙත් ඔහු) කුශලවාද ඇත්තාහු වෙත්.
සිලුත්තමා සඤ්ඤමෙනාහු සුද්ධිං - ශීලය මැ උතුමැයි සිතන්නාවූ ඇතැම් මහණබමුණු කෙනෙක් වෙති. ඔවුහු ශීලමාත්‍රයෙන් සංයමමාත්‍රයෙන් සංවරමාත්‍රයෙන් අව්‍යතික්‍රමමාත්‍රයෙන් ශුද්ධිය විශුද්ධිය පරිශුද්ධිය මුක්තිය විමුක්තිය පරිමුක්තිය පවසති කියති බෙණෙති දක්වති ව්‍යවහාර කෙරෙත්. ශ්‍රමණමණ්ඩිකාපුත්‍ර තෙම මෙසේ කියයි: “ගෘහපතිය යම් කරුණු සතරෙකින් සමන්‍විත වූ පුද්ගලයා පිරිපුන් කුසල් ඇති උතුම් කුසල් ඇති උත්තම වූ අර්‍හත්ත්‍වයට පැමිණි අයොධ්‍ය වූ (- වාදයෙන් නො පැරැදවිය හැකි) ශ්‍රමණයා යැ” යි දක්වමි. කවර සතරෙකිනැ යත්:
ගෘහපතිය, මෙහි (යමෙක්) කයින් පව්කම් නො කෙරේ ද, ලාමක වූ තෙපුල් නො බෙණේ ද, ලාමක වූ සංකල්පය නො සිතා ද, ලාමක ආජීවයෙන් ජීවත් නො වේ ද, ගෘහපතිය, මේ කරුණු සතරින් යුක්ත වූ පුද්ගලයා පරිපූර්‍ණ වූ කුසල් ඇති උත්තම වූ කුසල් ඇති උත්තම වූ අර්‍හත්ත්‍වයට පැමිණි අයොධ්‍ය වූ ශ්‍රමණයා’ යී කියමි.” මෙ පරිද්දෙන් ශීලය මැ උතුමැයි වාද ඇති ඇතැම් මහණබමුණු කෙනෙක් ඇත්තාහුය; ඔවුහු ශීලමාත්‍රයෙන් සංයමමාත්‍රයෙන් සංවරමාත්‍රයෙන් අව්‍යතික්‍රමමාත්‍රයෙන් ශුද්ධිය විශුද්ධිය පරිශුද්ධිය මුක්තිය විමුක්තිය පරිමුක්තිය පවසති කියති බෙණෙති දක්වති ව්‍යවහාර කෙරෙත් නුයි ‘සිලුත්තමා සඤ්ඤමෙනාහු සුද්ධිං’ යනු වේ.
වතං සමාදාය උපට්ඨිතා යෙ - ‘වත’ නම්: හස්තිව්‍රතය හෝ අශ්වව්‍රතය හෝ ගෝව්‍රතය හෝ කුකකුරව්‍රතය හෝ කාකව්‍රතය හෝ වාසුදෙවව්‍රතය හෝ බලදෙවව්‍රතය හෝ පූර්‍ණභද්‍රව්‍රතය හෝ මණිභද්‍රව්‍රතය හෝ අග්නිව්‍රතය හෝ නාගව්‍රතය හෝ සුපර්‍ණව්‍රතය හෝ යක්ෂව්‍රතය හෝ අසුරව්‍රතය හෝ ගාන්ධර්‍වව්‍රතය හෝ මහාරාජව්‍රතය හෝ චන්ද්‍රව්‍රතය හෝ සූර්‍ය්‍යව්‍රතය හෝ ඉන්ද්‍රව්‍රතය හෝ බ්‍රහ්මව්‍රතය හෝ දෙවව්‍රතය හෝ දිශාව්‍රතය හෝ ගෙන සමාදන්ව ආදානය කොට සමාදානය කොට ග්‍රහණය කොට පරාමර්‍ෂණය කොට අභිනිවේශය කොට එළැඹ සිටියාහු ප්‍රත්‍යුපස්ථිත වූවාහු ඇලුණාහු පැමිණියාහු බැසගත්තාහු වැදගත්තාහු නුයි ‘වතං සමාදාය උපට්ඨිතා යෙ’ යනු වේ.
ඉධෙව සික්ඛෙමෙ අථස්ස සුද්ධිං - ‘ඉධ’ යනු: ස්වකීය දෘෂ්ටියෙහි ස්වකීය ක්‍ෂාන්තියෙහි ස්වකීය රුචියෙහි ස්වකීය ලබ්ධියෙහි; සික්ඛෙමෙ හික්මෙම්හ හැසිරෙම්හ මොනොවට හැසිරෙම්හ සමාදන්ව පවතුම්හයි ‘ඉධෙව සික්ඛෙමෙ’ යනු වේ. අථසස සුද්ධිං - එකල්හි ඔහුගේ ශුද්ධිය විශුද්ධිය පරිශුද්ධිය මුක්තිය විමුක්තිය පරිමුක්තිය වේ නුයි ‘ඉධෙව සික්ඛෙමෙ අථස්ස සුද්ධිං’ යනු වේ.
භවූපනීතා කුසලාවදානා - ‘භවූපනීතා’ යනු: භවයට එළඹියාහු භවයට පැමිණියාහු භවයට පැසගත්තාහු භවයෙහි ඇලුණාහු නුයි ‘භවූපනීතා’ යනු වේ; කුසලාවදානා - ස්වකීය ලබ්ධියෙහි කුසලයම්හ යන වාද ඇත්තාහු පණඩිතවාද ඇත්තාහු සථිරවාද ඇත්තාහු න්‍යායවාද ඇත්තාහු හේතුවාද ඇත්තාහු ලක්ෂණවාද ඇත්තාහු කාරණවාද ඇත්තාහු ස්ථානවාද ඇත්තාහු නුයි ‘භවූපනීතා කුසලාවදානා’ යනු වේ.
එයින් වදාළහ බුදුහු:
“සිලුත්තමා -පෙ- භවූපනීතා කුසලාවදානා” යී.
13. 5.
ඉදින් ශීලව්‍රතයෙන් ගිලිහුණේ වේ නම්, හෙතෙම ශීලව්‍රතකර්‍මය වරදවා ගෙන කම්පා වෙයි. තවද හෙතෙම ගෙන් නික්මැගොස් නො රට වසන පුරුෂයෙක් සාර්‍තථයෙන් පසුවූයේ (ඒ ගෙය හෝ සාර්‍තථය හෝ පතන්නාක් මෙන්) ඒ ශීලව්‍රතශුද්ධිය ජල්පනය කෙරෙයි. පතන්නේත් වේ.
සචෙ චුතො සිලබ්බතතො හොති - දෙකරුණෙකින් ශීලව්‍රතයෙන් ච්‍යුත වෙයි (-ගිලිහෙයි): මෙරමා විසින් වෙන් කිරීමෙන් හෝ ච්‍යුත වෙයි. නො පැමිණෙනුයේ හෝ ච්‍යුත වෙයි. කිසෙයින් පරවිච්ඡින්දනායෙන් ච්‍යුත වේ ද යත්: අනෙකෙක් වියෝග කෙරෙයි: ‘ඒ ශාස්තෘ තෙම අසර්‍වඥ යැ, ධර්‍මය ස්වාඛ්‍යාත නො වෙයි. ගණයා සුප්‍රතිපන්න නො වෙයි. දෘෂ්ටිය භද්‍ර නො වෙයි. ප්‍රතිපදාව සුප්‍රඥප්ත නො වෙයි. මාර්‍ගය නෛර්‍ය්‍යාණික නො වේ. මෙහි ශුද්ධිය විශුද්ධිය පරිශුද්ධිය මුක්තිය විමුක්තිය පරිමුක්තිය හෝ නැත. මෙහි (සත්ත්‍වයෝ) ශුද්ධ විශුද්ධ පරිශුද්ධ හෝ නො වෙති. මුක්ත විමුක්ත පරිමුක්ත හෝ නො වෙත්. හීනයෝ යැ නිහීනයෝ යැ අවමතයෝ යැ ලාමකයෝ යැ ඡත්තකයෝ යැ පරිත්තයෝ යැ’ යි මෙසේ අනෙකෙක් වියෝග කෙරෙයි. මෙසේ වියෝග කරනු ලබනුයේ ශාස්තෘහු කෙරෙන් ච්‍යුත වෙයි. ධර්‍මාඛ්‍යානයෙන් ගිලිහෙයි. ගණයා කෙරෙන් ගිලිහෙයි. දෘෂ්ටියෙන් ගිලිහෙයි. පිළිවෙතින් ගිලිහෙයි. මාර්‍ගයෙන් ගිලිහෙයි. මෙසේ පරවිච්ඡින්දනායෙන් ච්‍යුත වේ. කෙසේ (ගුණයට) නො පැමිණෙනුයේ ච්‍යුත වේ ද යත්; ශීලය නො පුරනුයේ ශීලයෙන් ච්‍යුත වෙයි. ව්‍රතය නො පුරනුයේ ව්‍රතයෙන් ච්‍යුත වෙයි. ශීලව්‍රතය නො පුරනුයේ ශීලව්‍රතයෙන් ච්‍යුත වෙයි. මෙසේ අසම්පාදනය කරනුයේ ච්‍යුත වේ නුයි ‘සචෙ චුතො සිලබ්බතතො හොති’ යනු වේ.
ස වෙධති කමමං විරාධයිත්වා - ‘ස වෙධති’ යනු: ශීලය හෝ ව්‍රතය හෝ ශීලව්‍රතය හෝ මා විසින් වරදන ලද, මා විසින් අපරාධ කරන ලද, මා විසින් පිරිහෙළන ලද, මා විසින් ගලිත කරන ලද. නො දැනීමෙන් මම පැරැදුණෙමී, වෙවුලයි වෙසෙසින් වෙවුලයි. හාත්පසින් වෙවුලානුයි ‘ස වෙධති’ යනු වේ. කමමං විරාධයිත්වා - පුණ්‍යාභිසංස්කාරය හෝ අපුණ්‍යාභිසංස්කාරය හෝ ආනෙඤජාභි සංස්කාරය හෝ මා විසින් වරදනා ලද මා විසින් පරදනා ලද මා විසින් පිරිහෙළන ලද, මා විසින් ගලිත කරන ලද නොදැනීමෙන් මම පැරදුණෙමී’ වෙවුලයි හාත්පසින් වෙවුලානුයි ‘ස වෙධති කමමං විරාධයිත්වා’ යනු වේ.
ස ජප්පති පත්ථයතිච්ච සුද්ධිං - ‘ස ජප්පති’ යනු: ශීලය හෝ ජල්පනය කෙරෙයි (ගුණ කියයි) ව්‍රතය හෝ ජල්පනය කෙරෙයි, ශීලව්‍රතය හෝ ජල්පනය කෙරෙයි, වෙසෙසින් ගුණ කියයි, හාත්පසින් ගුණ කියා නුයි ‘ස ජප්පති’ යනු වේ. පත්ථයතිච්ච සුද්ධිං - ශීලසුද්ධිය පතයි, ව්‍රතශුද්ධිය හෝ පතයි, සීලව්‍රතශුද්ධිය හෝ පතයි, කැමැති වෙයි, අභිජල්පනය කෙරේ නුයි ’ස ජප්පති පත්ථයතිච්ච සුද්ධිං’ යනු වේ.
සත්ථාවහිනො පවසං ඝරම්හා - යම් සේ පුරුෂයෙක් ගෙයින් නික්මෙනුයේ සාර්‍ත්‍ථ (- සමූහ) යක් සමග වසනුයේ සාර්‍තථයෙන් වෙන්වැගියේ ඒ සාර්‍තථය හෝ ලුහුබඳී ද, සිය ගෙට හෝ පෙරළා ඒ ද, එපරිද්දෙන් ඒ දෘෂ්ටිගතික තෙම ඒ ශාස්තෘහු හෝ ගනී, අනිත් ශාස්තෘවක්හු හෝ ගනී, ඒ ධර්‍මාඛ්‍යානය හෝ ගනී, අනිත් ධර්‍මාඛ්‍යානය හෝ ගනී, ඒ ගණයා හෝ ගනී, අනිත් ගණයක් හෝ ගනී, ඒ දෘෂ්ටිය හෝ ගනී, අන් දෘෂ්ටියක් හෝ ගනී, ඒ ප්‍රතිපදාව හෝ ගනී, අන් ප්‍රතිපදාවක් හෝ ගනී, ඒ මාර්‍ගය හෝ ගනී, අන් මාර්‍ගයක් හෝ ගනී, පරාමර්‍ශනය කෙරෙයි, අභිනිවේශය කෙරේ නුයි ‘සත්ථාවහීනො පවසං ඝරම්හා’ යනු වේ.
එයින් වදාළහ බුදුහු:
“සචෙ චුතො -පෙ- සත්ථාවහීනො පවසං ඝරම්හා” යී.
13. 6.
(ආර්‍ය්‍යශ්‍රාවක තෙමේ) සියලු ශීලව්‍රතය ද, යලි සාවද්‍යානවද්‍ය (-සියලු අකුශල හා ලෞකික කුශල) කර්‍මය ද හැරපියා තෙල (පඤචකාමගුණාදි භේද වූ) ශුද්ධිය ද, (අකුශලාදි භේද වූ) අශුද්ධිය ද මෙසේ නො පතනුයේ දෘෂ්ටිශාන්තිය දැඩිව නො ගෙන (ශුද්ධි අශුද්ධි දෙකින්) වෙන් වූයේ හැසිරෙන්නේ යි.
සීලබ්බතං වාපි පහාය සබ්බං - සියලු ශීලශුද්ධීන් හැර බැහැර කොට දුරු කොට විගතාන්ත කොට අනුඅභාවයට පමුණුවා, සියලු ව්‍රතශුද්ධීන් හැර බැහැර කොට දුරු කොට විගතාන්ත කොට අනභාවයට පමුණුවා සියලු ශීලව්‍රතශුද්ධින් හැර බැහැර කොට දුරු කොට විගතාන්ත කොට අනභාවයට පමුණුවා නුයි ‘සීලබ්බතං වාපි පහාය සබ්බං’ යනු වේ.
කම්මඤ්ච සාවජ්ජ’නවජ්ජමෙතං - කෘෂ්ණ වූයේ කෘෂ්‍ණවිපාක ඇතියේ සාවද්‍යකර්‍ම යයි කියනු ලැබෙයි. ශුක්ල වූයේ ශුක්ලවිපාක ඇතියේ අනවද්‍යකර්‍ම යයි කියනු ලැබෙයි. සාවද්‍ය (-අකුශල) කර්‍මය ද, අනවද්‍ය ( - ලෞකික කුශල) කර්‍මය ද, හැර බැහැර කොට දුරු කොට විගතාන්ත කොට අනභාවයට පමුණුවා නුයි ’ කම්මඤ්ච සාවජ්ජ’නවජ්ජමෙතං’ යනු වේ.
සුද්ධිං අසුද්ධිංන්ති අපත්ථයානො - ‘අසුද්ධිං’ යනු: අශුද්ධිය පතති, අකුශලධර්‍මයන් පතති; ‘සුද්ධිං’ යනු: ශුද්ධිය පතති, පඤ්චකාමගුණයන් පතති; ‘අසුද්ධිං පත්ථෙන්ති’ - අකුශලධර්‍මයන් පතති, පඤ්චකාමගුණයන් පතති; ‘සුද්ධිං පත්ථෙන්ති’ - දෙසැටදිටුගතයන් පතති, ‘අසුද්ධිං පත්ථෙන්ති’ - අකුශලධර්‍මයන් පතති, පඤ්චකාමගුණයන් පතති, දෙසැටදිටුගතයන් පතති, ‘සුද්ධිං පත්ථෙන්ති’ - ත්‍රෛධාතුක කුශල ධර්‍මයන් පතති; ‘අසුද්ධිං පත්ථෙන්ති’ - අකුසල් දහම් පතති, පස්කම්ගුණ පතති, දෙසැටදිටුගතයන් පතති, තුන්බිමට අයත් කුසල්දහම් පතත්; ‘සුද්ධිං පත්ථෙන්ති’ - කල්‍යාණ - පෘථග්ජනයෝ මාර්‍ගවිදර්‍ශනාවට බැසගැනීම පතති, ශෛක්‍ෂයෝ අග්‍රධර්‍ම වූ අර්‍හත්ත්‍වය පතති, රහත්බව පැමිණි කල්හි රහත් තෙම අකුසල්දහම් නො මැ පතයි, නො ද පස්කම්ගුණ පතයි, නො ද දෙසැටදිටුගතයන් පතයි ත්‍රෛධාතුක කුශලධර්‍මයන් නො ද පතයි, නියාමාවක්‍රාන්තිය නො ද පතයි අග්‍රධර්‍ම වූ අර්‍හත්ත්‍වය නො ද පතයි; ප්‍රාර්‍ත්‍ථනා ඉක්මවා සිටි රහත් තෙම වෘද්ධිය හා පරිහාණිය ඉක්මවූයේ යැ, හෙතෙම වැස නිමවූ දශ ආර්‍ය්‍යවාස ඇත්තේ ය, සිල් හා අටසමවත්හි චීර්‍ණවශී යැ; තරණය කළ ජාතිජරාමරණසංසාරය ඇත්තේ යැ, ඔහුට පුනර්‍භවය නැත් නුයි ‘සුද්ධිං අසුද්ධිංන්ති අපත්ථයානො’ යනු වේ.
විරතො චරෙ සන්තිමනුග්ගහාය - ‘විරතො’ යනු ශුද්ධි අශුද්ධි දෙකින් දුරු වූයේ වෙන්වූයේ වෙසෙසින් වෙන්වූයේ නික්මුණේ නික්මැගියේ වෙසෙසින් මිදුණේ විසංයුක්ත වූයේ විගතමර්‍ය්‍යාදා කළ සිතින් යුක්ත ව වෙසේ නුයි ‘විරතො’ යනු වේ. චරෙ - හැසිරෙන්නේය වෙසෙන්නේය ඉරියවු පවත්වන්නේ ය වැටෙන්නේය රැකෙන්නේය යැපෙන්නේය යපනය වන්නේ නුයි ‘විරතො චරෙ’යනු වේ. සන්තිමනුග්ගහාය - සන්ති’ යී දෙසැට දිටුගතයෝ කියනු ලැබෙති. දෘෂ්ටිශාන්ති නො ගන්නේ පරාමර්‍ශනය නො කරනුයේ අභිනිවේශය නො කරනුයේ නුයි ‘විරතො චරෙ සන්තිමනුග්ගහාය’ යනු වේ.
එයින් වදාළහ බුදුහු:
“සීලබ්බතං වාපි -පෙ- විරතො චරෙ සන්තිමනුග්ගහාය” යී.
13. 7.
තවද (ඇතැම් මහණබමුණු කෙනෙක් බුද්ධාදීන් විසින්) ජුගුප්සිත වූ ඒ අමරතපස් හෝ දෘෂ්ටශුද්ධිය හෝ ශ්‍රැතශුද්ධිය හෝ මුතශුද්ධිය හෝ ඇසුරු කොට (අක්‍රියදෘෂ්ටියෙන් හෝ) උද්ධංසරවාද ඇති වැ පුනපුනා භවයෙහි නො හළ තෘෂ්ණා ඇත්තාහු ශුද්ධිය කියත්.
තමුපනිස්සාය ජිගුච්ඡිතං වා - කායපීඩනාදි තපසින් පාපජුගුප්සාව පවසන්නාවූ තපෝජුගුප්සාව සාර කොට ඇති තපෝජුගුප්සාව ඇසුරු කළ හාත්පසින් ඇසුරු කළ (එහි) ඇලුණු බැසගත් පිවිසියා වූ ඇතැම් මහණබමුණු කෙනෙක් ඇත් නුයි ‘තමුපනිස්සාය ජිගුච්ඡිතං වා’ යනු වේ.
අථවාපි දිට්ඨං ව සුතං මුතං වා - දෘෂ්ට (- රූපායතන) ය හෝ දෘෂ්ටශුද්ධිය හෝ ශ්‍රැතය හෝ ශ්‍රැතශුද්ධිය හෝ මුතය හෝ මුතශුද්ධිය හෝ නිසා ඇසුරු කොට ගෙන දැහැගෙන පිවිස ගෙන නුයි ‘අථවාපි දිට්ඨං ව සුතං මුතං වා’ යනු වේ.
උද්ධංසරා සුද්ධිමනුත්ථුනන්ති - උද්ධංසරවාද ඇති ( - සංසාරයෙන් ශුද්ධිය පවසන) ඇතැම් මහණ බමුණු කෙනෙක් වෙති, සංසාරයෙන් ශුද්ධිය පවසන ඒ මහණ බමුණෝ කවරහු ද යත්? අත්‍යන්තශුද්ධිය පවසන සංසාරශුද්ධිය පවසන අක්‍රියදෘෂ්ටි ඇති ශාශ්වතදෘෂ්ටි ඇති ඒ මේ මහණබමුණෝ උද්ධංසරවාද ඇත්තාහු වෙත්. ඔවුහු සංසාරයෙන් ශුද්ධිය විශුද්ධිය පරිශුද්ධිය මුක්තිය විමුක්තිය පරිමුක්තිය පසසති පවසති කියති බෙණෙති දක්වති ව්‍යවහාර කෙරෙත් නුයි ‘උද්ධංසරා සුද්ධිමනුත්ථුනන්ති’ යනු වේ.
අවිතතණ්හා සෙ භවාභවෙසු - ‘තණ්හා’ යනු: රූපතෘෂ්ණා යැ ශබ්දතෘෂ්ණා යැ ගන්‍ධතෘෂ්ණා යැ රසතෘෂ්ණා යැ ස්ප්‍රෂ්ටව්‍යතෘෂ්ණා යැ ධර්‍මතෘෂ්ණා යි.
භවාභවෙසු - කාමභව රූපාරූපභවයෙහි, කර්‍මවෘත්තයෙහි පුනර්‍භවික වූ විපාකවෘත්තයෙහි, කාමභවයෙහි කර්‍මභවයෙහි, කාමභවයෙහි පුනර්‍භවයෙහි, රූපභවයෙහි කර්‍මභවයෙහි, රූපභවයෙහි පුනර්‍භවයෙහි, අරූපභවයෙහි කර්‍මභවයෙහි, අරූපභවයෙහි පුනර්‍භවයෙහි, පුනපුනාභවයෙහි පුනපුනා පස්ගතියෙහි පුනපුනා උපතෙහි පුනපුනා පිළිසඳෙහි පුනපුනා ආත්මභවය පහළවීමෙහි නො පහවූ තෘෂ්ණා ඇත්තාහු අවිගතතෘෂ්ණා ඇත්තාහු නො හළ තෘෂ්ණා ඇත්තාහු නො පුහුන් තෘෂ්ණා ඇත්තාහු නො බැහැර කළ තෘෂ්ණා ඇත්තාහු නුයි ‘අවිතතණ්හා සෙ භවාභවෙසු’ යනු වේ.
එයින් වදාළහ බුදුහු:
“තමුපනිස්සාය -පෙ- අවිතතණ්හා සෙ භවාභවෙසු” යී.
13. 8.
(මෙසේ) පතනුවනහුට වැලිත් තෘෂ්ණාජල්පිතයෝ වෙති. තවද තෘෂ්ණා දෘෂ්ටින් ප්‍රකල්පිත වූ වස්තූන් නිමිති කොට අතිශයින් සැලීම ද වෙයි. මෙලොව යම් ක්ෂීණාස්‍රවයක් හට ච්‍යුති - උත්පත්ති නැත් ද, හෙතෙම කිනම් රාගාදියකින් සැලෙන්නේ ද, කොහි ජල්පනය කරන්නේ ද.
පත්ථයමානස්ස හි ජප්පිතානි - ‘පත්‍ථනා’ යී තෘෂ්ණාව කියනු ලබයි, යම් රාගයෙක් සංරාගයෙක් … අභිධ්‍යාවක් ලෝභ අකුශලමූලයෙක් වේ ද, එයයි. පත්ථයමානස්ස - පතනුවහුට කැමැති වන්නහුට ඉවසනුවහුට රිසිවන්නහුට අභිජල්පනය කරන්නහුට නුයි ‘පත්ථයමානස්ස හි’ යනු වේ. ජප්පිතානි - ‘ජප්පනා’ යී තෘෂ්ණාව කියනු ලබයි, යම් රාගයෙක් සංරාගයෙක් … අභිධ්‍යාවක් ලෝභ අකුශලමූලයෙක් නුයි ‘පත්ථයමානස්ස හි ජප්පිතානි’ යනු වේ.
පවෙධිතං වාපි පකප්පිතෙසු - ‘පකප්පනා’ යනු: තෘෂ්ණාප්‍රකල්පනය ද දෘෂ්ටිප්‍රකල්පනය දැයි ප්‍රකල්පනා දෙකෙකි … මෝ දෘෂ්ටිප්‍රකල්පනා යි. පවෙධිතං වාපි පකප්පිතෙසු - ප්‍රකල්පිත වූ වස්තුව ‘අසිඳගනිති’ සැක ඇත්තාහු ද සැලෙති, අසිඳුනා කල්හි දු සැලෙති, අසිඳගත් කල්හි දු සැලෙත්, ප්‍රකල්පිත වූ වස්තුව ‘පරිවර්‍තන වෙතී’ සැක ඇත්තාහු ද සැලෙති, පෙරළෙන කල්හි දු සැලෙති, පෙරළුණු කල්හි දු සැලෙති, වෙවුලති, අතිශයින් වෙවුලත් නුයි ‘පවෙධිතං වාපි පකප්පිතෙසු’ යනු වේ.
චුතූපපාතො ඉධ යස්ස නත්‍ථි - ‘යස්ස’ යනු: අර්‍හත් ක්‍ෂීණාස්‍රව හට යමක් හට (මෙලොවින්) යෑම පෙරළා ඊම ගමනාගමනය මරණය ගතිය පුනපුනා භවය ච්‍යුතිය උත්පත්තිය නිපැත්ම බිඳීම ජාතිය හා ජරාමරණයත් නැත් ද නො වෙත් ද විද්‍යාමාන නො වෙත් ද නො ලැබෙත් ද, ප්‍රහීණ වූවාහු සමුච්ඡින්න වූවාහු සන්හිඳුණාහු දුරලන ලද්දාහු උපතට නුසුදුසු වූවාහු නුවණගින්නෙන් දවන ලද්දාහු නුයි ‘චුතූපපාතො ඉධ යස්ස නත්‍ථි’ යනු වේ.
ස කෙන වෙධෙය්‍ය කුහිං ච ජප්පෙ - හෙතෙම කවර රාගයෙකින් සැලෙන්නේ ද, කවර ද්වෙෂයෙකින් - කවර මොහයෙකින් - කවර මානයෙකින් කවර දෘෂ්ටියෙකින් - කවර ඖද්ධත්‍යයෙකින් - කවර විචිකිත්සායෙකින් - කවර අනුශයධර්‍මයෙකින් සැලෙන්නේ ද, (රාගයෙන්) රක්ත යැ හෝ දුෂ්ට යැ හෝ මූඪ යැ හෝ (මානයෙන්) විනිබද්ධ යැ හෝ (දෘෂ්ටියෙන්) පරාමෘෂ්ට යැ හෝ වික්ෂෙපයට පැමිණියේ යැ හෝ නිෂ්ඨාවට නො ගියේ යැ හෝ තදබවට ගියේ යැ හෝ (යන) ඒ කර්‍මාභිසංස්කාරයෝ ප්‍රහීණයෝ යැ, අභිසංස්කාරයන් ප්‍රහීණ වූ බැවින් ගතිය හේතු කොට ගෙන කුමකින් සැලෙන්නේ ද, නිරයෙහි උපදනා සත්ත්වයෙකැ හෝ තිරිසන්යොන්හි උපදෙනකැ හෝ ප්‍රේතවිෂයෙහි උපදනෙකැ හෝ මිනිස් වන්නෙකැ හෝ දෙවි වන්නෙකැ හෝ රූපී යැ හෝ අරූපී යැ හෝ සංඥී යැ හෝ අසංඥී යැ හෝ නෛවසංඥීනාසංඥී යැ හෝ යම් හෙයකින් කම්පා වන්නේ නම් සැලෙන්නේ නම් වෙසෙසින් සැලෙන්නේ නම් ඒ හේතුව නැත, ප්‍රත්‍යය නැති, කාරණය නැත් නුයි ‘ස කෙන වෙධෙය්‍ය’ යනු වේ. කුහිං ච ජප්පෙ - කොහි හෝ (තෘෂ්ණාවශයෙන්) ජල්පනය කරන්නේ ද, කවර කරුණෙක ජල්පනය කරන්නේ ද, කො තැන්හි ජල්පනය ප්‍රජල්පනය අභිජල්පනය කරන්නේ දැ යි ‘ස කෙන වෙධෙය්‍ය කුහිං ච ජප්පෙ’ යනු වේ.
එයින් වදාළහ බුදුහු: