Mahāniddesa

Great Exposition

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-29 · 2295 segments

පෙන්වන කොටස් 1201-1300 න් 2295

සකං සකං දිට්ඨි පරිබ්බසාතා - දෘෂ්ටිගතික වූ ඇතැම් මහණබමුණු කෙනෙක් වෙති, ඔහු දෙසැට දිටු අතුරෙන් අන්‍යතරාන්‍යතර දෘෂ්ටියක් ගෙන දැඩිව ගෙන ග්‍රහණය කොට පරාමර්‍ෂ කොට පිවිසැගෙන තමතමා ගේ දෘෂ්ටියෙහි වෙසෙති මොනොවට වෙසෙති පිවිසැ වෙසෙති හාත්පසින් වෙසෙත්; ගෙහිමියෝ හෝ සිය ගෙවල යම් සේ වෙසෙත් ද, ඇවැත් බහුලයෝ හෝ ඇවැත්හි වෙසෙත් ද, කෙලෙස් බහුලයෝ හෝ කෙලෙස්හි වෙසෙත් ද, එසෙයින් ම දෘෂ්ටිගතික වූ ඇතැම් මහණබමුණු කෙනෙක් වෙති, ඔහු දෙසැට දිටු අතුරෙන් අන්‍යතරාන්‍යතර දෘෂ්ටියක් ගෙන දැඩිව ග්‍රහණය කොට පරාමර්‍ෂ කොට අභිනිවේශ කොට තමතමාගේ දෘෂ්ටියෙහි වෙසෙති පිවිසැ වෙසෙති වෙසෙසින් වෙසෙති හාත්පසින් වෙසෙත් නුයි ‘සකං සකං දිට්ඨිපරිබ්බසානා’ යනු වේ.
විග්ගය්හ නානා කුසලා වදන්ති - ‘විග්ගය්හ’ යනු : ගෙන දැඩිව ගෙන ග්‍රහණය කොට දැහැගෙන පිහිටාගෙන; නානා වදන්ති - විවිධ ව කියති, එකිනෙක කියති, වෙන වෙනම කියති, එකක් නො කියති, නො බෙණෙති නො දක්වති, ව්‍යවහාර නො කෙරෙත්; කුසලා - ස්වකීය ලබ්ධියෙහි කුසලවාද ඇත්තාහු පණ්ඩිතවාද - ස්ථිරවාද - න්‍යායවාද - හේතුවාද - ලක්ෂණවාද - කාරණවාද - ස්ථානවාද ඇත්තාහු නුයි ‘විග්ගය්හ නානා කුසලා වදන්ති’ යනු වේ.
එවං පජානාති ස වෙදි ධම්මං - යමෙක් මේ දහම දෘෂ්ටිය ප්‍රතිපදාව මාර්‍ගය දනී නම්, හෙතෙම ධර්‍මය දත්තේ ය, දැනගත්තේ ය, දැක්කේ ය, අවබෝධ කෙළේ නුයි ‘එවං පජානාති ස වෙදි ධම්මං’ යනු වේ.
ඉදං පටික්කොසමකෙවලී සො - යමෙක් මෙ දහම දෘෂ්ටිය ප්‍රතිපදාව මාර්‍ගය ගරහා ද; අකෙවලී සො - හෙ අසමස්ත යැ, හේ අපරිපූර්‍ණ යැ, නිහීන යැ අවමත යැ අප්‍රත්‍ය යැ අල්පවූයේ නුයි ‘ඉදං පටික්කොසමකෙවලී සො’ යනු වේ.
එයින් කීහ ඒ මැවුණු බුදුහු:
“සකං සකං දිට්ඨි - පෙ - ඉදං පටික්කොසමකෙවලී සො” යී.
මෙසේ (ස්වකීය ලබ්ධිය) දැඩිව ගෙන විවාද කෙරෙති, මෙරමා බාල යැයි ද අදක්‍ෂ යැයි ද කියති, මේ මහණබමුණන්ගේ කවර වාදයෙක් සත්‍ය වූයේ ද? මේ සියලු මැ මහණබමුණෝ පණඩිතවාද ඇත්තාහු ද?
එවම්පි විග්ගය්හ විවාදයන්ති - මෙසේ ගෙන වෙසෙසින් ගෙන ග්‍රහණය කොට දැහැගෙන පිහිටාගෙන විරුද්ධවාද කෙරෙති, කලහ කෙරෙති, ඩබර කෙරෙති, විග්‍රහ කෙරෙති, විවාද කෙරෙති, මෙධග කෙරෙත්; ‘තෙපි මේ ධර්‍මවිනය නො දන්නවුය, … ඉදින් පොහොසත්හු නම්, (තෙමේ මැ) මුදාලව’ යි ‘එවමපි විග්ගය්හ විවාදයන්ති’ යනු වේ.
බාලො පරො අකකුසලොති චාහු - මෙරමා බාල යැ හීන යැ නිහීන යැ අවමත යැ ලාමක යැ අහේතුක යැ අල්ප යැ අදක්‍ෂ යැ අපණ්ඩිත යැ අවිද්‍යාවට පැමිණියේ යැ අඥාන යැ අවීමංසක යැ දුෂ්ප්‍රාඥ යැයි මෙසේ පවසති, මෙසේ කියති, මෙසේ බෙණෙති, මෙසේ දක්වති, මෙසේ ව්‍යවහාර කෙරෙත් නුයි ‘බාලො පරො අකකුසලොති චාහු’ යනු වේ.
සච්චො නු වාදො කතමෝ ඉමෙසං - මේ මහණබමුණන්ගේ කවර වාදයෙක් සත්‍ය ද? නො සිස් ද? අවිපරීත ද? විද්‍යාමාන ද? යථා ස්වභාව ද? විපරීත නො වේ ද? යී ‘සච්චො නු වාදො කතමෝ ඉමෙසං’ යනු වේ.
සබ්බේව හිමෙ කුසලාවදානා - මේ සියලු මැ මහණබමුණෝ ස්වලබ්ධියෙහි කුශලවාද ඇත්තෝ යැ පණ්ඩිතවාද - ස්ථිරවාද - න්‍යායවාද - හේතුවාද - ලක්ෂණවාද - කාරණවාද - ස්ථානවාද ඇත්තාහු නුයි ‘සබ්බේව හි’මෙ කුසලාවදානා’ යනු වේ.
එයින් කීහ ඒ මැවුණු බුදුහු:
“එවම්පි විග්ගය්හ විවාදයන්ති - පෙ - සබ්බේව හිමෙ කුසලාවදානා” යි
ඉදින් මෙරමාගේ දෘෂ්ටිය අනුඥා නො කරනුයේ බාලයෙක් මෘග (සදෘශ) යෙක් ලාමක ප්‍රඥා ඇතියෙක් වේ නම්, (එකල්හි) සියලු මැ මහණබමුණෝ බාලයෝ වෙති අතිශයින් නිහීනප්‍රඥා ඇතියෝ වෙත්, මේ සියලු මැ මහණ බමුණෝ තමතමාගේ දෘෂ්ටියෙහි වසන්නාහු ද, එහෙයිනි.
පරස්ස චෙ ධම්ම මනානුජානං - අන්‍යයාගේ ධර්‍මය දෘෂ්ටිය ප්‍රතිපදාව මාර්‍ගය නො දන්නේ නො දක්නේ අනුඥා නො කරනුයේ නො පිළිගන්නේ නො අනුමෝදන් වනුයේ නුයි ‘පරස්ස චෙ ධම්ම මනානුජානං’ යනු වේ.
බාලො මගො හොති නිහිනඤ්ඤො - මෙරමා අපණ්ඩිත වූයේ වෙයි, හීන වූයේ නිහීන - ඔමක - ලාමක ඡත්තක - පරිත්ත වූයේ හීනප්‍රඥා ඇත්තේ නිහීනප්‍රඥා ඇත්තේ අවමතප්‍රඥා ඇත්තේ ලාමකප්‍රඥා ඇත්තේ ඡත්තකප්‍රඥා ඇත්තේ පරිත්තප්‍රඥා ඇත්තේ නුයි ‘බාලො මගො හොති නිහිනපඤ්ඤො’ යනු වේ.
සබ්බේව බාලා සුනිහීනපඤ්ඤා - මේ සියලු මැ මහණබමුණෝ බාලයෝ යැ හීනයෝ යැ නිහීනයෝ යැ අවමතයෝ යැ ලාමකයෝ යැ අහේතුකයෝ යැ අල්පයෝ යැ සියල්ලෝ මැ හීනප්‍රඥා ඇත්තෝ යැ අවමත ප්‍රඥා ඇත්තෝ යැ ලාමකප්‍රඥා ඇත්තෝ යැ ඡත්තකප්‍රඥා ඇත්තෝ යැ අල්ප වූ ප්‍රඥා ඇත්තාහු නුයි ‘සබ්බේව බාලා සුනිහීනපඤ්ඤා’යනු වේ.
සබ්බෙවිමෙ දිට්ඨිපරිබ්බසානා - මේ සියලු මැ මහණබමුණෝ දෘෂ්ටිගතිකයෝ යැ, ඔහු දෙසැට දිටු අතුරෙන් අන්‍යතරාන්‍යතර දෘෂ්ටියක් ගෙන වෙසෙසින් ගෙන ග්‍රහණය කොට දැහැගෙන පිහිටාගෙන ස්වකීය ස්වකීය දෘෂ්ටියෙහි වෙසෙති, මොනවට වෙසෙති, පැමිණ වෙසෙති, හාත්පසින් වෙසෙත්; ගෙහිමියෝ හෝ සිය ගෙවල යම් සේ වෙසෙත් ද, ඇවැත් බහුලයෝ හෝ ඇවැත්හි වෙසෙත් ද, කෙලෙස් බහුලයෝ හෝ කෙලෙස්හි වෙසෙත් ද, එසෙයින් මේ සියලු මැ මහණබමුණෝ දෘෂ්ටිගතිකයෝ යැ … හාත්පසින් වෙසෙත් නුයි ‘සබ්බේවිමෙ දිට්ඨිපරිබ්බසානා’ යනු වේ.
එයින් වදාළහ බුදුහු:
“පරස්ස චෙ ධම්ම මනානුජානං -පෙ- සබ්බෙවිමෙ දිට්ඨිපරිබ්බසානා” යී
ඉදින් ස්වකීය දෘෂ්ටියෙන් පිරිසුදු නො වූවාහු සංශුද්ධප්‍රඥා ඇත්තාහු දක්‍ෂ වූවාහු බුද්ධිමත් වූවාහු වෙත් නම්, ඒ මහණබමුණන් අතුරෙන් කිසිවෙක් පිරිහුණු නුවණැතියේ නො වෙයි, යම් හෙයකින් දෘෂ්ටිය ඔවුන් විසිනු දු එසේ සමාදන් වූවාහු ද එහෙයිනි.
සන්දිට්ඨියා චෙව න වෙවදාතා - ස්වකීය දෘෂ්ටියෙහි ස්වකීය ක්‍ෂාන්තියෙහි ස්වකීය රුචියෙහි ස්වකීය ලබ්ධියෙහි නො බබළන්නාහු අපරිශුද්ධ වූවාහු ප්‍රභාස්වර නො වූවාහු සංක්ලිෂ්ට වූවාහු සංක්ලේෂික වූවාහු නුයි ‘සන්දිට්ඨියා චෙව න වෙවදාතා’ යනු වේ.
සංසුද්ධපඤ්ඤා කුසලා මුතීමා - ‘සංසුද්ධපඤ්ඤා’ යනු ශුද්ධප්‍රඥා ඇත්තාහු පරිශුද්ධප්‍රඥා ඇත්තාහු අවදාතප්‍රඥා ඇත්තාහු හාත්පසින් බබළන ප්‍රඥා ඇත්තාහු, නොහොත් ශුද්ධදර්‍ශන ඇත්තාහු විශුද්ධදර්‍ශන ඇත්තාහු පරිශුද්ධදර්‍ශන ඇත්තාහු ව්‍යවදාතදර්‍ශන ඇත්තාහු පර්‍ය්‍යාවදාතදර්‍ශන ඇත්තාහු නුයි ‘සංසුද්ධපඤ්ඤා’ යනු වේ. කුසලා - දක්‍ෂ වූවාහු පණ්ඩිත වූවාහු ප්‍රඥාවත් වූවාහු බුද්ධිමත් වූවාහු ඥානවත් වූවාහු විමංසනප්‍රඥා ඇත්තාහු තීරණප්‍රඥා ඇත්තාහු නුයි ‘සංසුද්ධපඤ්ඤා කුසලා ’ යනු වේ. මුතිමා - ස්මෘතිමත් වූවාහු පණ්ඩිත -ප්‍රඥාවත් - බුද්ධිමත් - ඥානවත් - විමංසන - ප්‍රඥාවත් වූවාහු නුයි ‘සංසුද්ධපඤ්ඤා කුසලා මුතීමා’ යනු වේ.
තෙසං න කෝචි පරිහිනපඤ්ඤො - ඒ මහණබමුණන් අතුරෙන් හීනප්‍රඥා ඇති නිහීනප්‍රඥා ඇති පහත් වූ ප්‍රඥා ඇති ලාමක වූ ප්‍රඥා ඇති ඡත්තකප්‍රඥා ඇති අල්ප වූ ප්‍රඥා ඇති කිසිවෙක් නැති, සියල්ලෝ මැ ශ්‍රේෂ්ඨප්‍රඥා ඇත්තාහු විශිෂ්ටප්‍රඥා ඇත්තාහු ප්‍රමුඛප්‍රඥා ඇත්තාහු උත්තම ප්‍රඥා ඇත්තාහු ප්‍රවරප්‍රඥා ඇත්තාහු නුයි ‘තෙසං න කෝචි පරිහිනපඤ්ඤො’ යනු වේ.
දිට්ඨි හි තෙසම්පි තථා සමත්තා - ඒ මහණබමුණන් විසින් දෘෂ්ටිය එපරිද්දෙන් සපුරන ලද්දී මොනවට ගන්නා ලද්දී ග්‍රහණය කරන ලද්දී පරාමර්‍ෂ කොට ගන්නා ලද්දී අභිනිවේශ කරන ලද්දී පිවිස ගන්නා ලද්දී බැසගන්නා ලද්දී නුයි ‘දිට්ඨි හි තෙසම්පි තථා සමත්තා’ යනු වේ.
එයින් වදාළහ බුදුහු:
“සන්දිට්ඨියා වෙව - පෙ - දිට්ඨි හි තථා සමත්තා” යී.
මම තෙල ද්වාෂෂ්ටිදෘෂ්ටිජාතය සත්‍ය යැයි නො ද කියමි, යම් හෙයකින් කලහකාරක වූ දෙදෙනෙක් ඔවුනොවුන් බාල හෙයින් කියත් ද, (ඔහු) තමතමාගේ ලබ්ධිය සැබවැයි වාද කළාහු ද, එහෙයින් මැ වාදකාරක වූ අන්‍යයා බාලයෙකැයි සලකත්.
න චාහමෙතං තථියන්ති බ්‍රෑමි - ‘න’ යනු: ප්‍රතික්‍ෂේප යැ; ‘එතං’ යනු: ද්වාෂෂ්ටිදෘෂ්ටිගතයෝ; මම තෙල දෘෂ්ටිගතය නො සිස් යැ අවිපරීත යැ විද්‍යාමාන යැ සංවිද්‍යාමාන යැ අවිසංවාදක යැයි නො කියමි, නො පවසමි, නො දෙසමි, නො පනවමි, නො තබමි, විවරණය නො කරමි, විභාග නො කරමි, ප්‍රකට නො කරමි, ප්‍රකාශ නො කෙරෙමි, ‘න චාහමෙතං තථියන්ති බ්‍රෑමි’ යනු වේ.
යමාහු බාලා මිථු අඤ්ඤාමඤ්ඤං - ‘මිථු’ යනු: දෙදෙනෙක්, කලහකරුවෝ දෙදෙන ඩබර කරුවෝ දෙදෙන බසින් කලහ කරනුවෝ දෙදෙන විවාදකරුවෝ දෙදෙන අධිකරණකරුවෝ දෙදෙන වාදකරුවෝ දෙදෙන සංලාප කරනුවෝ දෙදෙන, ඔවුහු ඔවුනොවුන් බාල හෙයින් හීන හෙයින් නිහීන හෙයින් ඔමක හෙයින් ලාමක හෙයින් ඡත්තක හෙයින් පරිත්ත හෙයින් මෙසේ පවසති මෙසේ කියති මෙසේ බෙණෙති මෙසේ ව්‍යවහාර කෙරෙත් නුයි ‘යමාහු බාලා මිථු අඤ්ඤාමඤ්ඤං’ යනු වේ.
සකං සකං දිට්ඨිමකංසු සච්චං - ‘ලෝකය ශාශ්වත යැ, මෙය මැ සැබව, අන්‍යය සිස් යැ’ යි - ‘සකං සකං දිට්ඨිමකංසු සච්චං ’ යනු වේ.
තස්මා හි බාලො’ති පරං දහන්ති - ‘තස්මා’ යනු: එ හෙයින් එ කරුණෙන් ඒ හේතුයෙන් ඒ ප්‍රත්‍යයෙන් ඒ නිදානයෙන් මෙරමා බාල හෙයින් හීනහෙයින් නිහීන හෙයින් ඔමකහෙයින් ලාකමහෙයින් ඡත්තක හෙයින් සලකති, බලති දකිති අවලොකනය කෙරෙති, සිතති,විමසත් නුයි ‘තස්මා හි බාලො’ති පරං දහන්ති’ යනු වේ.
එයින් වදාළහ බුදුහු:
“න චාහමෙතං -පෙ- තස්මා හි බාලොති පරං දහන්ති” යි.
ඇතැම් මහණබමුණු කෙනෙක් යම් දෘෂ්ටිසත්‍යයක් සැබැවැයි කියත් ද, එයින් අන්‍ය වූ මහණබමුණෝ ඒ දෘෂ්ටිසත්‍යය තුච්ඡ වූ මෘෂායෙකැයි කියත්. (ඔහු) මෙසේත් දෘෂ්ටිය දැඩිව ගෙන විවාද කෙරෙති. කුමක් හෙයින් ශ්‍රමණයෝ එක් සත්‍යයක් නො කියත් ද?
යමාහු සච්චං තථියන්ති එකෙ - ඇතැම් මහණබමුණු කෙනෙක් යම් දහමක් දෘෂ්ටියක් ප්‍රතිපදාවක් මාර්‍ගයක් මේ සැබව නො සිස් යැ අවිපරීත යැ විද්‍යාමාන යැ සංවිද්‍යාමාන යැ අවිසංකෙත යැයි මෙසේ පවසති, මෙසේ කියති, මෙසේ බෙණෙති, මෙසේ දක්වති, මෙසේ ව්‍යවහාර කෙරෙත් නුයි ‘යමාහු සච්චං තථියන්ති එකෙ’ යනු වේ.
තමාහු අඤ්ඤෙ තුච්ඡං මුසාති - ඇතැම් මහණබමුණු කෙනෙක් ඒ මැ ධර්‍මය දෘෂ්ටිය ප්‍රතිපදාව මාර්‍ගය ‘තෙල සිස් යැ තෙල මෘෂා යැ තෙල අභූත යැ තෙල බොරු යැ තෙල අසංවිද්‍යාමාන යැ’ යි මෙසේ පවසති, මෙසේ කියති මෙසේ බෙණෙති මෙසේ දක්වති මෙසේ ව්‍යවහාර කෙරෙත් නුයි ‘තමාහු අඤ්ඤෙ තුච්ඡං මුසාති’ යනු වේ.
එවම්පි විග්ගය්හ විවාදයන්ති - මෙසේ ගෙන වෙසෙසින් ගෙන ග්‍රහණය කොට දැහැගෙන පිහිටාගෙන විරුද්ධවාදකෙරෙති කලහ කෙරෙති ඩබර කෙරෙති විග්‍රහ කෙරෙති විවාද කෙරෙති මෙධග කෙරෙති; ‘තෙපි මේ ධර්‍මවිනය නො දන්නවු යැ … ඉදින් සමර්‍ත්‍ථ වූවහු නම් මුදාගනැ’ යි (කියත්) නුයි ‘එවම්පි විග්ගය්හ විවාදයන්ති’ යනු වේ.
කස්මා න ඒකං සමණා වදන්ති - ‘කස්මා’ යනු: කුමක් හෙයින් කිකරුණෙන් කවර හේතුයෙන් කවර ප්‍රත්‍යයෙන් කවර නිදානයකින් කවර සමුදයකින් කවර දැයකින් කවර ප්‍රභවයකින් එකක් නො කියත් ද? නොයෙක් ලෙස කියත් ද? විවිධ ව කියත් ද එකිනෙක කියත් ද වෙන වෙන කියත් ද පවසත් ද බෙණෙත් ද දක්වත් ද ව්‍යවහාර කෙරෙත් දැයි ‘කස්මා න ඒකං සමණා වදන්ති’ යනු වේ.
එයින් වදාළහ බුදුහු:
“යමාහු සච්චං -පෙ- කස්මා න ඒකං සමණා වදන්ති” යි.
සත්‍යය එකෙක් මැ (නිරෝධය හෝ මාර්‍ගය හෝ) වෙයි, දෙවැන්නෙක් නැත, යම් සත්‍යයක් දන්නාවූ පුද්ගල තෙමේ විවාද නො කරන්නේ නම් එය යි; ඒ මහණබමුණෝ නානා සත්‍යයන් තුමූ මැ කියති, එ කරුණෙන් මහණබමුණෝ එක් සත්‍යයක් නො කියත්.
ඒකං හි සච්චං න දුතියමත්ථි - එක් සත්‍ය යැයි දුඃඛනිරෝධ සඞ්ඛ්‍යාත නිර්‍වාණය කියනු ලැබෙයි, යම් සියලු සංස්කාරයන්ගේ සන්හිඳීමෙක් සියලු උපධීන්ගේ දුරැලීමෙක් නැසීමෙක් ක්ලේශවිරාගයෙක් නිරෝධයෙක් නිර්‍වාණයෙක් වේ ද එයයි: නොහොත් එක් සත්‍ය යැයි මාර්‍ගසත්‍යය කියනු ලැබෙයි, නෛර්‍ය්‍යාණිකසත්‍යය දුඃඛනිරෝධගාමිනී ප්‍රතිපදා සඞ්ඛ්‍යාත ආර්‍ය්‍ය අෂ්ටාඞ්ගික මාර්‍ගය යි, ඒ කවරේ ද යත්: සම්‍යග්දෘෂ්ටිය සම්‍යක් සංකල්පය සම්‍යග්වචනය සම්‍යක්කර්‍මාන්තය සම්‍යගාජීවය සම්‍යග්ව්‍යායාමය සම්‍යක්ස්මෘතිය සම්‍යක්සමාධිය නුයි ‘ඒකං හි සච්චං න දුතියමත්ථි’ යනු වේ.
යස්මිං පජා නො විවදෙ පජානං - ‘යස්මිං’ යනු: යම් සත්‍යයක්; ‘පජා’ යනු: සත්ත්‍වයනට නමෙකි; පජානං - යම් සත්‍යයක් ප්‍රකර්‍ෂයෙන් දන්නහු හාත්පසින් දන්නාහු වෙසෙසින් දන්නාහු මැනවින් දන්නාහු සිතින් අවබෝධ කරන්නාහු කලහ නො කරන්නාහු ය, ඩබර නො කරන්නාහු ය, විග්‍රහ නො කරන්නාහු ය, විවාද නො කරන්නාහු ය, මෙධග නො කරන්නාහු ය, කලහ භණ්ඩන විග්‍රහ විවාද මෙධග හරනාහු ය, දුරලන්නාහු ය, බැහැර කරන්නාහු ය, අනභාවයට පමුණුවන්නාහු නුයි ‘යස්මිං පජා නො විවදෙ පජානං’ යනු වේ.
නානා තෙ සච්චානි සයං ඵුනන්ති - ඔවුහු නානා සත්‍යයන් තුමූ මැ පසසති, පවසති, කියති, බෙණෙති දක්වති බැව්හර කෙරෙත්; ‘ලෝකය ශාශ්වත යැ, මෙය මැ සැබව, අන්‍යය සිස් යැ’ යි පසසති පවසති කියති බෙණෙති දක්වති ව්‍යවහාර කෙරෙත් නුයි ‘නානා තෙ සච්චානි සයං ඵුනන්ති’ යනු වේ.
තස්මා න ඒකං සමණා වදන්ති - ‘තස්මා’ යනු: එහෙයින් එකරුණෙන් ඒ හේතුයෙන් ඒ ප්‍රත්‍යයෙන් ඒ නිදානයෙන් එකක් නො කියති, නොයෙක් සේ කියති, විවිධ ව කියති අනන්මන කියති, වෙන වෙන මැ කියති පවසති බෙණෙති දක්වති ව්‍යවහාර කෙරෙත් නුයි ‘තස්මා න ඒකං සමණා වදන්ති’ යනු වේ.
එයින් වදාළහ බුදුහු:
“ඒකං හි සච්චං -පෙ- තස්මා න ඒකං සමණා වදන්ති” යි.
විරුද්ධවාද ඇති (ස්වලබ්ධියෙහි) පණ්ඩිතවාද ඇති (ඔහු) කුමක් හෙයින් නානා සත්‍යයන් කියත් ද? (ඔවුන් විසින්) බොහෝ වූ නානා සත්‍යයන් අසන ලද්දාහු ද? නොහොත් ඔවුහු තර්‍කමාත්‍රයක් අනුව යෙත් ද?
කස්මා නු සච්චානි වදන්ති නානා - ‘කස්මා’ යනු: කුමක් හෙයින් කිකරුණෙන් කවර හේතුයෙකින් කවර ප්‍රත්‍යයෙකින් කවර නිදානයෙකින් සත්‍යයන් නන් ලෙස කියත් ද? විවිධ ව කියත් ද? අනන්මන කියත් ද? වෙන වෙන ම පවසත් ද? කියත් ද? වෙන වෙන මැ පවසත් ද? කියත් ද? බෙණෙත් ද? දක්වත් ද? ව්‍යවහාර කෙරෙත් දැ’යි ‘කස්මා නු සච්චානි වදන්ති නානා’ යනු වේ.
පවාදියා සෙ කුසලාවදානා - ‘පවාදියා සෙ’ යනු: විවිධ ව කියත් නුයි ද ‘පාවාදියා සෙ’ යනු වේ; නොහොත් තමතමාගේ දෘෂ්ටිගතය පවසති, කියති බෙණෙති දක්වති ව්‍යවහාර කෙරෙත්: ‘ශාශ්වත යැ ලෝකය, මෙ මැ සැබව, අන්‍යය තුච්ඡ යැ’ යි පවසති, කියති බෙණෙති දක්වති ව්‍යවහාර කෙරෙත්. ‘අශාශ්වත යැ ලෝකය … සත්ත්‍වයා මරණින් මත්තෙහි නො මැ වෙයි, නො වන්නේ නො වෙයි. මේ මැ සැබව, අන්‍යය තුච්ඡ යැ’ යි පවසති, කියති බෙණෙති දක්වති ව්‍යවහාර කෙරෙත්. කුසලාවදානා - ස්වලබ්ධියෙහි කුශල යැ යන වාද ඇත්තාහු පණ්ඩිතවාද ඇත්තාහු ස්ථිරවාදඇත්තාහු න්‍යායවාද ඇත්තාහු හේතුවාද ඇත්තාහු ලක්ෂණවාද ඇත්තාහු කාරණවාද ඇත්තාහු සථානවාද ඇත්තාහු නුයි ‘පවාදියා සෙ කුසලාවදානා’ යනු වේ.
සච්චානි සුතානි බහූති නානා - බොහෝ වූ නන් වැදැරුම් වූ විවිධ වූ අනන්මන වූ වෙන් වෙන් වූ සත්‍යයෝ අසන ලද්දාහු දැ’ යි ‘සච්චානි සුතානි බහූති නානා’ යනු වේ.
උදාහු තෙ තක්කමනුස්සරන්ති - නොහොත් තර්‍කයෙන් සංකල්පයෙන් යවනු ලැබෙති, පමුණුවනු ලැබෙති, වහනය කරනු ලැබෙති, මොනොවට හරිනු ලැබෙත් නුයි - මෙසේ ත් ‘උදාහු තෙ තක්කමනුස්සරන්ති’ යනු වේ. නොහොත් තර්‍කයෙන් හාත්පසින් එළවන ලද තමාගේ හැඟීමෙන් විමසන ලද ස්වකීය ප්‍රතිභානය පවසති කියති බෙණෙති දක්වති ව්‍යවහාර කෙරෙත් නුයි - මෙසේත් ‘උදාහු තෙ තක්කමනුස්සරන්ති’ යනු වේ.
එයින් කීහ ඒ මැවුණු බුදුහු:
“කස්මා නු සච්චානි -පෙ- උදාහු තෙ තක්කමනුස්සරන්ති” යි.
ලොවැ සංඥාමාත්‍රයෙන් නිත්‍ය යයි ගන්නා ලද ග්‍රහණයන් තබා නන්වැදෑරුම් වූ බොහෝ සත්‍යයෝ නො මැ වෙති, දෘෂ්ටිවිෂයෙහි (තමා ගේ ) මිථ්‍යාසංකල්පමාත්‍රය ද උපදවා (මාගේ වචනය) සැබව, තාගේ වචනය) බොරු යැ යන යුග්මධර්‍මය (- දෙ කරුණ) කියත්.
නහෙව සච්චානි බහූති නානා - බොහෝ වූ නානා වූ විවිධ වූ අන්‍යෝන්‍ය වූ වෙන් වෙන් වූ සත්‍යයෝ නො මැ වෙත් නුයි ’ නහෙව සච්චානි බහුති නානා’ යනු වේ.
අඤ්ඤත්‍ර සඤ්ඤාය නිච්චානි ලෝකේ - සංඥාමාත්‍රයෙන් නිත්‍ය යයි ගන්නා ලද ග්‍රහණයෙන් වෙන් ව ලොවැ දුඃඛනිරෝධ යයි කියන ලද නිර්‍වාණ නම් වූ එක මැ සත්‍යය කියනු ලැබෙයි, බණනු ලැබෙයි, දක්වනු ලැබෙයි, ව්‍යවහාර කරනු ලැබේ; යම් සියලු සංස්කාරයන්ගේ සන්හිඳීමෙක් සියලු උපධීන්ගේ දුරැලීමෙක් තෘෂ්ණාව නැසීමෙක් ක්ලෙශවිරාගයෙක් නිරෝධයෙක් නිර්‍වාණයෙක් වේ ද එය යි. නොහොත් එක් සත්‍ය යැ’යි මාර්‍ගසත්‍යය කියනු ලැබෙයි, නෛර්‍ය්‍යාණික සත්‍යය දුඃඛනිරෝධගාමිනී ප්‍රතිපදාව ආර්‍ය්‍යඅෂ්ටාඞ්ගික මාර්‍ගය යි, ඒ කවරේ ද යත්? සම්‍යග්දෘෂ්ටිය … සම්‍යක් සමාධිය නුයි ‘අඤ්ඤත්‍ර සඤ්ඤාය නිච්චානි ලෝකේ’ යනු වේ.
තක්කඤ්ච දිටඨිසු පකප්පයිත්වා සච්චං මුසා’ ති ද්වයධම්මමාහු - තර්‍කය විතර්‍කය සඞ්කල්පය තර්‍කණය කොට විතර්‍කණය සඞ්කල්පනය කොට දෘෂ්ටිගතයන් උපදවති, මොනවට උපදවති, නිපදවති, වෙසෙසින් නිපදවත්, දෘෂ්ටිගතයන් (මතු මත්තෙහි) උපදවා මොනොවට උපදවා නිපදවා වෙසෙසින් නිපදවා මාගේ (- වදන) සැබව, තාගේ (වදන) බොරු යයි මෙසේ පවසති, මෙසේ කියති, මෙසේ බෙණෙති, මෙසේ දක්වති, මෙසේ ව්‍යවහාර කෙරෙත් නුයි ‘තක්කඤ්ච දිටඨිසු පකප්පයිත්වා සච්චං මුසාති ද්වයධම්මමාහු’ යනු වේ.
එයින් වදාළහ බුදුහු:
“න හෙව සච්චානි -පෙ- සච්චං මුසාති ද්වයධම්මමාහු” යි.
(රූපාලම්බන සඞ්ඛ්‍යාත) දෘෂ්ටශුද්ධිය ද ශීලව්‍රතශුද්ධිය ද (ගන්ධරසස්ප්‍රෂ්ටව්‍යලම්බන සඞ්ඛ්‍යාත) මුතශුද්ධිය ද යන මොවුන් නිසා අසම්මානය දක්නේ නොහොත් දොම්නස් උපදවනුයේ දෘෂ්ටිවිනිශචයෙහි සිට පහටුවනුයේ මෙරමා හීන යයි ද අදක්‍ෂ යයි ද කියයි.
දිට්ඨෙ සුතෙ සීලවතෙ මුතෙ වා එතෙ ච නිස්සාය විමානදස්සී - රූපාලම්බනය හෝ දෘෂ්ටශුද්ධිය හෝ, ශබ්දාලම්බනය හෝ ශ්‍රැතශුද්ධිය හෝ, ශීලය හෝ ශීලශුද්ධිය හෝ, ව්‍රතය හෝ ව්‍රත ශුද්ධිය හෝ ගන්‍ධ - රස - ස්ප්‍රෂ්ටව්‍යාලම්බනය හෝ මුතශුද්ධිය හෝ නිසා ඇසුරු කොට ග්‍රහණය කොට දැහැගෙන පිහිටාගෙන නුයි ‘දිටෙඨ සුතෙ සීලවතෙ මුතෙ වා’ යනු වේ.
එතෙ ච නිස්සාය විමානදස්සි - සම්මාන නො කෙරේ නුයි ද විමානදර්ශී යැ, නොහොත් දොම්නස් දනවා නුයි ද විමානදර්ශී නුයි ‘දිට්ඨෙ සුතෙ සීලවතෙ මුතෙ වා එතෙ ච නිස්සාය විමානදස්සී’ යනු වේ.
විනිච්ඡයෙ ඨත්වා පහස්සමානො - ‘විනිච්ඡය’ යී ද්වාෂෂ්ටිදෘෂ්ටිගතයෝ කියනු ලැබෙත්. දෘෂ්ටිවිනිශ්චයෙහි විනිශ්චය (- සනිටුහන්) කොට ගත් දෘෂ්ටියෙහි සිට පිහිටා ග්‍රහණය කොට දැඩිව ගෙන පිහිටා ගෙන නුයි ‘විනිච්ඡයෙ ඨත්වා’ යනු වේ. පහස්සමානො - තුටු වූයේ පහටු වූයේ තුටුසිත් ඇතියේ පිරුණු සංකල්ප ඇතියේ; නොහොත් දත් විදහා සිනහසෙනුයේ නුයි ‘විනිච්ඡයෙ ඨත්වා පහසසමානො’ යනු වේ.
බාලො පරො අක්කුසලොති චාහ - මෙරමා බාල යැ හීන යැ නිහීන යැ අවමත යැ ලාමක යැ ඡත්තක යැ අල්ප යැ අදක්‍ෂ යැ අපණ්ඩිත යැ නුවණ නැත්තේ යැ විමංසනප්‍රඥා රහිත යැ තීරණප්‍රඥා රහිත යැ දුෂ්ප්‍රාඥ යැයි මෙසේ පවසයි, මෙසේ කියයි, මෙසේ බෙණෙයි, මෙසේ දක්වයි, මෙසේ ව්‍යවහාර කෙරේ නුයි ‘බාලො පරො අක්කුසලොති චාහ’ යනු වේ.
එයින් වදාළහ බුදුහු:
“දිට්ඨෙ සුතෙ -පෙ- බාලො පරො අක්කුසලොති චාහ” යි.
යම් මැ කරුණෙකින් මෙරමා බාලයෙකැයි හඟී නම්, යලි එ කරුණෙන් ම තමා ‘පණ්ඩිත වෙමි’ කියයි, තෙමේ මැ තමහට (මම) පණ්ඩිතයෙමි කියන්නාවූ හෙතෙම එය මැ කියනුයේ අනෙකක්හු ගරහයි.
යෙනෙව බාලොති පරං දහාති - යම් මැ හේතුවකින් යම් ප්‍රත්‍යයෙකින් යම් කරුණෙකින් යම් පහළවීමෙකින් මෙරමා බාලහෙයින් හීන හෙයින් නිහීන හෙයින් අවමත හෙයින් ලාමක හෙයින් අහේතුක හෙයින් අල්ප හෙයින් සලකා නම් බලා නම් දකී නම් අවලෝකන කෙරේ නම් සිතා නම් විමසා නම් යී ‘යෙනෙව බාලො’ති පරං දහාති’ යනු වේ.
තෙනාතුමානං කුසලො’ති චා’හ - ‘ආතුමා’ යී තෙමේ කියනු ලැබෙයි, හෙ තෙමේ ද ඒ හේතුයෙන් ම ඒ ප්‍රත්‍යයෙන් ඒ කරුණෙන් ඒ පහළවීමෙන් තමා ‘මම් දක්‍ෂයෙමි පණ්ඩිතයෙමි ප්‍රඥාවත්මි බුද්ධිමත්මි ඥානවත්මි වීමංසනප්‍රඥා ඇත්තෙමි තීරණප්‍රඥා ඇත්තෙමි (කියා) නුයි ‘තෙනාතුමානං කුසලො’ති චා’හ’ යනු වේ.
සයමත්තනා සො කුසලාවදානො - ස්වකීය ලබ්ධියෙහි තෙමේ ම තම හට ‘මම් දක්‍ෂයෙමි, යන වාද ඇත්තේ පණ්ඩිතවාද ඇත්තේ සථිරවාද ඇත්තේ න්‍යායවාද ඇත්තේ හේතුවාද ඇත්තේ ලක්ෂණවාද ඇත්තේ කාරණවාද ඇත්තේ ස්ථානවාද ඇත්තේ නුයි ‘සයමත්තනා සො කුසලාවදානො’ යනු වේ.
අඤ්ඤං විමානෙති තදෙව පාවා - සම්මාන නො කෙරේ නුයි ද, ‘අඤ්ඤං විමානෙති’ යනු වේ. නොහොත් දොම්නස දනවා නුයි ‘අඤ්ඤං විමානෙති’ යනු වේ. තදෙව පාවා - මෙසේ හෝ පුද්ගල තෙම මිථ්‍යාදෘෂ්ටි ඇත්තෙක විපරීත දර්‍ශන ඇත්තෙකැ’ යි එය ම එ දෘෂ්ටිගතය ම කියා නුයි ‘අඤ්ඤං විමානෙති තදෙව පාවා’ යනු වේ.
එයින් වදාළහ බුදුහු:
“යෙනෙව බාලොති -පෙ- අඤ්ඤං විමානෙති තදෙව පාවා” යි.
හෙතෙම ද්වාෂෂ්ටිදෘෂ්ටියෙන් සම්පූර්‍ණ වූයේ ( - ඉදිමුණේ) දෘෂ්ටිමානයෙන් මත් වූයේ පරිපූර්‍ණයෙමී මාන ඇතියේ තමා මැ තෙමේ සිතින් අභිෂේක කරන ලදුයේ වෙයි, යම් හෙයෙකින් ඔහු විසින් ඒ දෘෂ්ටිය එපරිදේදෙන් ගන්නා ලද්දී ද එහෙයිනි.
අතිසාරදිටඨියා සො සමත්තො - ‘අතිසාරදිටඨි’ යයි දෙසැට දිටුගතයෝ කියනු ලැබෙති, කවර කරුණෙකින් ද්වාෂෂ්ටිදෘෂ්ටිගතයෝ ‘අතිසාරදිටඨි’ යැයි කියනු ලැබෙත් ද යත්: ඒ සියලු දෙසැට දෘෂ්ටීහු කාරණ ඉක්මවූවාහුය ලක්‍ෂණ ඉක්මවූවාහුය ලක්‍ෂණ ඉක්මවූවාහුය ස්ථාන ඉක්මවූවාහුය, ඒ කරුණෙන් ද්වාෂෂ්ටිදෘෂ්ටිගතයෝ ‘අතිසාරදිටඨි’ යැයි කියනු ලැබෙති; සියලු මැ දෘෂ්ටීහු අතිසාර දෘෂ්ටිහු යැ, කවර කරුණෙකින් සියලු මැ දෘෂ්ටීහු ‘අතිසාරදිටඨි’ යැයි කියනු ලැබෙත් ද? ඔවුහු ඔවුනොවුන් ඉක්මවා මොනොවට ඉක්මවා වෙසෙසින් ඉක්මවා දෘෂ්ටිගතයන් උපදවති, මොනොවට උපදවති - නිපදවති වෙසෙසින් නිපදවත්; එ කරුණෙන් සියලු මැ දෘෂ්ටීහු ‘අතිසාරදිටඨි’ යයි කියනු ලැබෙත්. අතිසාරදිටඨියා සො සමත්තො - දෙසැට දෘෂ්ටියෙන් සම්පූර්‍ණ වූයේ පරිපූර්‍ණ වූයේ අනූන වූයේ නුයි ‘අතිසාරදිටඨියා සො සමත්තො’ යනු වේ.
මානෙන මත්තො පරිපුණ්ණමානී - ස්වකීය දෘෂ්ටියෙහි දෘෂ්ටිමානයෙන් මත්වූයේ පමත්වූයේ උමතු වූයේ ඉතා මත්වූයේ නුයි ‘මානෙන මත්තො ’ යනු වේ; පරිපුණ්ණමානී පරිපූර්‍ණමාන ඇතියේ සම්පූර්‍ණමාන ඇතියේ අනූනමාන ඇතියේ නුයි ‘මානෙන මත්තො පරිපුණ්ණමානී’ යනු වේ.
සයමෙව සාමං මනසාභිසිත්තො - ‘මම් දක්‍ෂයෙමි පණ්ඩිතයෙමි ප්‍රඥාවත්මි බුද්ධිමත්මි ඥානවත්මි වීමංසනප්‍රඥා ඇත්තෙමි තීරණප්‍රඥා ඇත්තෙමි’ යි තෙමේ ම තමා විසින් අභිෂේක කෙරේ නුයි ‘සයමෙව සාමං මනසාභිසිත්තො’ යනු වේ.
දිට්ඨි හි සා තස්ස තථා සමත්තා - ඔහු විසින් ඒ දෘෂ්ටි තොමෝ එපරිද්දෙන් පුරන ලද්දී සමාදන් වූවා ගන්නා ලද්දී දැහැගන්නා ලද්දී පිහිටා ගන්නාලද්දී පිවිසියා බැසගන්නා ලද්දී නුයි ‘දිට්ඨි හි සා තස්ස තථා සමත්තා’ යනු වේ.
එයින් වදාළහ බුදුහු:
“අතිසාරදිටඨියා සො -පෙ- දිට්ඨි හි සා තස්ස තථා සමත්තා” යි.
ඉදින් (යමෙක් දෘෂ්ටිවිනිශ්චයෙහි සිටි) අන්‍යයාගේ නින්දාවචනයෙන් නිහීනයෙක් වේ නම්, තෙමේත් ඔහු සමග ම නිහීනප්‍රඥා ඇත්තේ වෙයි. යලි තෙමේ මැ ඉදින් වේදාන්තයට ගියා වූ ධීරයෙක් වේ නම්, ශ්‍රමණයන් කෙරෙහි බාල වූ කිසිවෙක් නැත්තේ යි.
පරස්ස චෙ හි වචසා නිහීනො - ඉදින් අන්‍යයාගේ වචනයෙන් භාෂිතයෙන් නින්දාහෙතුයෙන් අවමානහෙතුයෙන් උපවාදකාරණයෙන් අන්‍යයා බාලයෙක් හීනයෙක් නිහීනයෙක් අවමතයෙක් ලාමකයෙක් අහේතුකයෙක් අල්පයෙක් වේ නම් යී ‘පරස්ස චෙ හි වචසා නිහීනො’ යනු වේ.
තුමො සහා හොති නිහිනපඤ්ඤෙ - හෙතෙමේ ත් ඔහු සමග මැ හීනප්‍රඥා ඇත්තේ වෙයි, නිහීනප්‍රඥා ඇත්තේ අවමතප්‍රඥා ඇත්තේ ලාමක ප්‍රඥා ඇත්තේ අහෙතුකප්‍රඥා ඇත්තේ අල්ප වූ ප්‍රඥා ඇත්තේ වේ නුයි ‘තුමො සහා හොති නිහිනපඤ්ඤෙ’ යනු වේ.
අථ චෙ සයං වේදගු හොති ධීරො - යලි ඉදින් තෙමේ වේදාන්තයට පැමිණියේ වේ නම්, ධීර වූයේ ප්‍රඥාවත් වූයේ බුද්ධිමත් වූයේ නුවණැත්තේ වීමංසනප්‍රඥා ඇත්තේ තීරණප්‍රඥා ඇත්තේ වී නම් යී ‘අථ චෙ සයං වේදගු හොති ධීරො’ යනු වේ.
න කෝචි බාලො සමණෙසු අත්‍ථි - ශ්‍රමණයන් කෙරෙහි කිසි බාලයෙක් හීනයෙක් නිහීනයෙක් අවමතයෙක් ලාමකයෙක් ඡත්තකයෙක් පරිත්තයෙක් නැති. සියල්ලෝ මැ ශ්‍රෙෂ්ඨප්‍රඥා ඇත්තාහු විශිෂ්ඨප්‍රඥා ඇත්තාහු ප්‍රමුඛප්‍රඥා ඇත්තාහු උත්තමප්‍රඥා ඇත්තාහු ප්‍රවරප්‍රඥ ඇත්තාහු නුයි ‘න කෝචි බාලො සමණෙසු අත්‍ථි’ යනු වේ.
එයින් වදාළහ බුදුහු: