එයින් කීහ, ඒ නිර්මිත බුදුහු:
“ඡන්‍දො නූ ලොකසමිං - පෙ - යෙ චා’පි ධම්මා සමණෙන වුත්තා” යි.
11. 6.
මෙ ලොවැ, සුව යැයි ද දුකැයි ද යමක් කියත් නම්, ඒ සාතාසාත වේදනාව නිසා ඡන්‍දය උපදී, ලොවැ සත්‍ව තෙමේ භූතෝපාදායරූපයන්හි විනාශය ත් උත්පත්තියත් දැක තෘෂ්ණා - දෘෂ්ටිවිනිශ්චය කරන්නේ යි.
සාතං අසාතන්ති යමාහු ලෝකේ – ‘සාත’ නම්, සුඛවේදනාව හා ඉෂ්ටවස්තුව යැ: අසාත - නම්: දුඛවෙදනාව හා අනිෂටවස්තුව යැ; යමාහු ලෝකේ - යමක් පවසත් නම්, යමක් කියත් නම් යමක් බෙණෙත් නම් යමක් දක්වත් නම් යමක් වහරත් නම් නුයි ‘සාතං අසාතන්ති යමාහු ලෝකේ’ යනු වේ.
තමූපනිස්සාය පහොති ඡන්‍දො − සාතාසාත (වේදනාව හා වස්තුව) නිසා සැපදුක් නිසා සොම්නස් දොම්නස් නිසා ඉටුඅනිටු නිසා අනුනය ප්‍රතිඝ නිසා ඡන්‍දය වෙයි පහළ වෙයි උපදී හටගතී නිපදී වෙසෙසින් නිපදී නුයි ‘තමූපනිස්සාය පහොති ඡනදො’ යනු වේ.
රූපෙසු දිස්වා විභවං භවඤච - ‘රෑපෙසු’ යනු: සතර මහාභූතයෝ ද සතර මහාභූතයන් නිසා උපදනා රූපය ද වේ; රූපයන්ගේ භවය කවරැ යත්? රූපයන් ගේ යම් භවයෙක් ජාතියෙක් හටගැනීමෙක් නිපැදීමෙක් වෙසෙසින් නිපැදීමෙක් පහළ වීමෙක් වේ ද, මේ රූපයන්ගේ භවයයි; රෑපයන්ගේ විභවය කවරැ යත් ? රෑපයන්ගේ යම් ක්‍ෂයවීමෙක් වැනැසීමෙක් භෙදයෙක් පරිභේදයෙක් අනිත්‍ය බවෙක් අතුරුදහන් වීමෙක් වේ ද, මේ රූපයන් ගේ විභව යයි. රෑපෙසු දිස්වා විභවං භවඤච - රූපයන්හි හටගැනීම ද වැනැසීම ද දැක බලා තුලනය කොට තීරණය කොට සලකා ප්‍රකට කොට නුයි ‘රෑපෙසු දිස්වා විභවං භවඤච’ යනු වේ.
විනිච්ඡය- කුරුතෙ පතතු ලෝකේ – ‘විනිච්ඡය’ නමි: තෘෂ්ණා - විනිශ්චය ද දෘෂ්ටිවිනිශචය දැයි විනිශ්චය දෙකෙකි. කෙසේ තෘෂණාවිනිශචය කෙරෙයි යත්? මෙහි එකක් හට නූපන් භොගයො ත් නූපදිති, උපන් භෝගයෝ ත් ක්‍ෂය වීමට යෙති; ඔහුට මෙසේ සිතෙක් වෙයි: ‘කවර උපායයෙකින් මට නූපන් භෝගයෝ ත් නූපදිත් ද, උපන් භොගයෝත් ක්‍ෂය වීමට යෙත් දැ’ යි. යලි ඔහුට මෙසේ සිත් වෙයි: “මදයට ප්‍රමාදයට කරුණු වූ රහමෙර පීමෙහි නැවත නැවත යෙදුණු මට නූපන් භෝගයෝ ත් නූපදිති, උපන් භොගයො ත් පිරිහෙති: නො කල්හි වීථිසඤචාරයෙහි පුනපුනා යෙදුණු මට නූපන් භොගයො ත් නූපදිතී, උපන් භොගයො ත් පිරිහීමට යෙති, නෘත්‍යාදිය දැකීම් වශයෙන් පිරිස්හි හැසිරීමෙහි පුනපුනා යෙදුණු මට - ප්‍රමාදයට කරුණු වූ ද්‍යුතයෙහි පුනපුනා යෙදුණු මට - පාපමිත්‍රානුයොගයෙහි පුනපුනා යෙදුණු මට - ආලස්‍යයෙන් යුක්ත බැව්හි පුනපුනා යෙදුණු මට නූපන් භෝගයෝ ත් නූපදිති, උපන් භොගයො ත් පිරිහීමට යෙති’ මෙසේ නුවණ උපදවා සවැදෑරුම් වූ භෝගයන් ගේ විනාසයෙහි දොරටු සේවනය නො කෙරෙයි, සවැදරුම් වූ භෝගයන් ගේ ආයද්වාරයන් සේවනය කෙරෙයි; මෙසේත් තෘෂ්ණා විනිශ්චය කෙරෙයි.
නොහොත් ගොවිතැනින් හෝ වෙළෙඳාමෙන් හෝ ගවපාලනයෙන් හෝ ධනුශිල්පයෙන් හෝ රාජ්‍යසෙවායෙන් හෝ එක්තරා ශිල්පයෙකින් හෝ උත්සාහ කෙරෙයි; මෙසේ ත් තෘෂණාවිනිශචය කෙරෙයි. කෙසේ දෘෂ්ටිවිනිශචය කෙරෙයි යත් ? සසම්භාර චක්‍ෂුස උපන් කල්හි ‘මා ගේ ආත්මය උපනැ’යි දෘෂ්ටිවශයෙන් දැනගනී, චක්‍ෂුස නැසුණු කල්හි, ‘මා ගේ ආත්මය නැසිණ, මා ගේ ආත්මය ඉක්මැ ගියේ යැ’යි දෘෂ්ටිවශයෙන් දැනගනී; මෙසේ ත් දෘෂ්ටිවිනිශචය කෙරෙයි, ශ්‍රෝත්‍රය - ඝ්‍රාණය - ජිහ්වාව -කායය - රෑපය - ශබ්දය - ගන්‍ධය - රසය - ස්ප්‍රෂ්ටව්‍යය උපන්කල්හි ‘මා ගේ ආත්මය උපනැ’යි දෘෂ්ටිවශයෙන් දැනගනී, ස්ප්‍රෂ්ටව්‍යය නැසුණු කල්හි ‘මා ගේ ආත්මය නැසිණ, මා ගේ ආත්මය පහව ගියේ වනැ’යි දෘෂ්ටි වශයෙන් දැනගනී, (-දෘෂ්ටිය ගනි යයි සේයි.) මෙසේ ත් දෘෂ්ටිවිනිශ්චය කෙරෙයි, උපදවයි, මොනොවට උපදවයි, නිපදවයි, වෙසෙසින් නිපදවයි. ජන්තු - සත්‍ව- නර -මාණව … මනුජ තෙමේ ලෝකේ–අපායලෝකයෙහි... ආයතනලෝකයෙහි නුයි ‘විනිචඡයං කුරුතෙ ජන්තු ලෝකේ’ යනු වේ.
එයින් වදාළහ බුදුහු:
“සාතං අසාතන්ති -පෙ- විනිචඡයං කුරුතෙ ජන්තු ලෝකේ” යී.
11. 7.
ක්‍රෝධය ද මෘෂාවාදය ද විචිකිත්සාව ද යන මේ ධර්‍මයෝ ද සාතාසාත දෙක ඇති කල්හි මැ වෙති, විචිකිත්සා සහිත වූ පුද්ගල තෙම ඥානදර්‍ශනඥානාධිගමය පිණිස ත්‍රිවිධ ශික්‍ෂාවෙහි හික්මෙන්නේ ය, බුද්ධශ්‍රමණයන් විසින් දැන (අනිත්‍යාදි) ධර්‍මයෝ දෙසන ලද්දාහු ය
කොධො මොසවජ්ජං ච කථඞකථා ච - ‘කොධො’ යනු: මෙබඳු වූ චිත්තයාගේ යම් ආඝාතයෙක් ප්‍රතිඝාතයෙක්... ‘මොසවජ්ජ’යී මෘෂාවාදය කියනු ලැබෙයි; ‘කථඞකථා’යී විචිකිත්සාව කියනු ලබයි; ඉෂ්ටවස්තුව නිසා ද කෝපය උපදී, අනිෂ්ටවස්තුව නිසා ද කෝපය උපදි; ඉෂ්ටවස්තුව නිසා ද මෘෂාවාදය උපදී, අනිෂ්ටවස්තුව නිසා ද මෘෂාවාදය උපදි; ඉෂ්ටවස්තුව නිසා ද විචිකිත්සාව උපදී, අනිෂ්ටවස්තුව නිසා ද විචිකිත්සාව උපදී;
කිසෙයින් අනිෂ්ටවස්තුව නිසා කෝපය උපදී ද යත්: පියවින් මැ අනිෂටවස්තුව නිසා කෝපය උපදී; ‘මට අනර්‍තථ කෙළේ යැ’යි කෝපය උපදී, මට අනර්‍තථ කෙරෙයි කෝපය උපදී, ‘මට අනර්‍තථ කරන්නේ යැ’යි කෝපය උපදී, ‘මාගේ ප්‍රිය වූ මනාප වූවහුට අනර්‍තථ කෙළේය - අනර්‍තථ කරයි – අනර්‍තථ කරන්නේයැ’යි කෝපය උපදී; මා ගේ අප්‍රිය අමනාප වූවහුට අර්‍ත්‍ථ කෙළේය – අර්‍ත්‍ථ කරයි - අර්‍ත්‍ථ කරන්නේයැ’යි කෝපය උපදී, මෙසේ අනිෂ්ට වස්තුව නිසා ක්‍රෝධය උපදී. කිසෙයින් ඉෂ්ටවස්තුව නිසා ක්‍රෝධය උපදී ද යත්: ඉෂ්ටවස්තුව ‘අසිඳ ගනිතී’ සැක ඇත්තහුට ද ක්‍රෝධය උපදී, ඉෂ්ටවස්තුව අසිඳුනා කල්හි දු ක්‍රෝධය උපදී, ඉෂ්ටවස්තුව අසිඳගත් කල්හි දු ක්‍රෝධය උපදී, ඉෂ්ටවස්තුව ‘වෙනස් වෙතී’ සැක ඇත්තහුට ද ක්‍රෝධය උපදී, ඉෂ්ටවස්තුව වෙනස් වන කල්හි දු ක්‍රෝධය උපදී, ඉෂ්ටවස්තුව වෙනස් වූ කල්හි දු ක්‍රෝධය උපදී; මෙසේ ඉෂ්ටවස්තුව නිසා ක්‍රෝධය උපදී.
කිසෙයින් අනිෂටවස්තුව නිසා මෘෂාවාදය උපදී ද යත්: මෙහි එකෙක් අන්ද්‍රබන්ධනයෙන් (−යදමින්) හෝ බඳනා ලදුයේ ඒ බන්‍ධනය මුදනු සඳහා දැන දැන බොරු කියයි, රැහැනින් හෝ බඳනා ලදුයේ − හැකිළි බැඳුමෙන් හෝ බඳනා ලදුයේ − වේ වැලින් හෝ බඳනා ලදුයේ– ලතාබන්ධනයෙන් හෝ බඳනා ලදුයේ − සිරබැඳුමෙන් හෝ බඳනා ලදුයේ– පවුරුබැඳුමෙන් හෝ බඳනා ලදුයේ − ගම් නියම්ගම් නගර රටබැඳුමෙන් හෝ බඳනා ලදුයේ – දනවුබැඳුමෙන් හෝ බඳනා ලදුයේ ඒ බන්‍ධනය මුදනු සඳහා දැන දැන බොරැ කියයි; මෙසේ අනිෂ්ට වස්තුව නිසා මුසාවාදය උපදී. කිසෙයින් ඉෂ්ටවස්තුව නිසා මුසාවාදය උපදී ද යත්? මෙහි එකෙක් මනවඩන රෑපයන් හේතු කොට දැන දැන බොරු කියයි, මන වඩන ශබ්දයක්- ගන්‍ධ - රස ස්ප්‍රෂ්ටව්‍යයන් හේතු කොට - සිවුරු හේතුයෙන් පිණ්ඩපාත – සෙනසුන් - ගිලන්පස බෙහෙත් පිරිකර හේතුයෙන් දැන දැන බොරු කියයි. මෙසේ ඉෂ්ටවස්තුව නිසා මෘෂාවාදය උපදී. කිසෙයින් අනිෂටවස්තුව නිසා විචිකිත්සාව (-සැකය) උපදී ද යත්? චක්‍ෂුරෝගයෙන් මිදෙම් දෝ හෝ චක්‍ෂුරෝගයෙන් නො මිදෙම් දෝ හෝ ශ්‍රොත්‍රරොගයෙන් ඝ්‍රාණරොගයෙන් - ජීහවාරොගයෙන් − කායරොගයෙන් − ශිර්‍ෂරොගයෙන් කර්‍ණරෝගයෙන් – මුඛරොගයෙන් - දනතරොගයෙන් මිදෙම් දො හෝ, දන්ත රෝගයෙන් නො මිදෙම් දෝ හෝ’යි මෙසේ අනිෂටවස්තුව නිසා සැක උපදී, කෙසේ ඉෂ්ටවස්තුව නිසා සැක උපදී ද යත්? මනවඩන රෑපයන් ලැබෙම් දෝ හෝ, ‘මනවඩන රූපයන් නො ලැබෙම් දෝ හෝ, මනවඩන ශබ්ද– ගන්‍ධ – රස - ස්ප්‍රෂ්ටව්‍යයන් - කුලයා - ගණයා - ආවාසය - ලාභය- යශස් - පැසැසුම් – සුව – සිවුරු පිණ්ඩපාත - සෙනසුන් - ගිලන්පසබෙහෙත්පිරිකර නො ලැබෙම් දෝ හෝ’යි මෙසේ ඉෂ්ටවස්තුව නිසා සැක උපදී නුයි ‘කොධො මොසවජ්ජං ව කථඞකථා ච’ යනු වේ.
එතෙ පි ධම්මා දවයමෙව සනතෙ - සාතාසාත (දෙක) ඇති කල්හි සුව - දුක් ඇති කල්හි සොම්නස් දොම්නස් ඇති කල්හි ඉටු අනිටු ඇති කල්හි අනුනය ප්‍රතිඝයන් විද්‍යාමාන කල්හි සංවිද්‍යාමාන කල්හි ඇති කල්හි ලැබෙන කල්හි නුයි ‘එතෙපි ධම්මා දවයමෙව සනෙත’ යනු වේ.
කථඞකථි ඤාණපථාය සික්ඛෙ - ඥානය ඥානපථ යැ, ඥාතයා ගේ අරමුණ ද ඥානපථ යැ, ඥානය හා සහජාත වූ ධර්‍මයෝ ද ඥානපථ යි; යම් සේ ආර්‍ය්‍යමාර්‍ගය ආර්‍යපථ වී ද, දෙවමාර්‍ගය දෙවපථ වී ද, බ්‍රහ්මමාර්‍ගය බ්‍රහ්මපථ වී ද, එසෙයින් ම ඥානය ත් ඥානපථ යැ, ඥතයා ගේ ආරම්මණය ත් ඥානපථ යැ, ඥානය සමග උපන් චිත්ත චෛතසික ධර්‍මයෝත් ඥානපථ යි. සිකෙබ - ශික්‍ෂා තුනෙකි: අධිශීලශික්‍ෂා යැ, අධිචිත්තශික්‍ෂා යැ, අධිප්‍රඥාශික්‍ෂා යැයි, අධිශීලශික්‍ෂා කවරී ද යත්? මේ ශාසනයෙහි මහණ තෙම සිල්වත් වෙයි, ප්‍රාතිමෝක්‍ෂසංවරයෙන් සංවර වූයේ ආචාරගොවර දෙකින් සමන්‍විත වූයේ අණුමාත්‍ර වරදෙහි භය දක්නාසුලු වූයේ වෙසෙයි, මොනොවට ගෙන ශික්‍ෂාකොටඨාසයන්හි හික්මෙයි; ක්‍ෂුද්‍රශීලසකන්‍ධ යැ, මහත්ශීලසකන්ධ යැ (යන) ශීලය චාතුර්භූමක කුශලධර්‍මයන් ගේ ප්‍රතිලාභයට ප්‍රතිෂ්ඨා වෙයි, ආදි වෙයි, පාදය වෙයි, සංයමය වෙයි, සංවරය වෙයි, ද්වාරය වෙයි, ප්‍රමුඛ වේ. මෝ අධිශීලශික්‍ෂා යැ. අධිචිත්තශික්‍ෂා කවරී ද යත්? මේ සස්නෙහි මහණ තෙමේ කාමචඡන්දනීවරණයෙන් වෙන්ව මැ… සිවුවැනි දැහැනට පැමිණ වාසය කෙරෙයි; මෝ අධිචිත්තශික්‍ෂා යැ. අධිප්‍රඥාශික්‍ෂා කවරී ද යත්? මේ සස්නෙහි මහණ තෙමේ ප්‍රඥාවත් වෙයි, නිර්‍දෙෂ වූ නිර්වේධය පිණිස පවත්නා වූ මනා කොට නිවනට පමුණුවන්නා වූ අභිවෘදධිගාමිනී ප්‍රඥාවෙන් පරිපූර්‍ණ වූයේ වෙයි, හෙතෙම ‘මෙ දුකැ’යි තත්වූ පරිද්දෙන් දැනගනී,… ‘මෙ දුක් නැසීමට පමුණුවන පිළිවෙතැ’යි තත්වූ පරිද්දෙන් දැනගනී; මොහු ආශ්‍රවයෝ යැයි තත්වූ පරිද්දෙන් දැනගනී,...‘මේ ආශ්‍රවනිරෝධයට පමුණුවන ප්‍රතිපදාව යැ’යි තත් වූ පරිද්දෙන් දැනගනී. මෝ තොමෝ අධිප්‍රඥාශික්‍ෂා යි.
කථඞකථි ඤාණපථාය සික්ඛෙ – විචිකිත්සාවත් පුද්ගල තෙමේ සැක සහිත වූයේ චිතතවිලෙඛ (-සිතේ හිරි) සහිත වූයේ දෙසිත් සහිතවූයේ විචිකිත්සා සහිත වූයේ නුවණ ලැබීම පිණිස ඥානස්පර්‍ශය පිණිස නුවණ ප්‍රත්‍යක්‍ෂ කිරීම පිණිස අධිශීලයෙහි ද හික්මෙන්නේය, අධිචිත්තයෙහි ද හික්මෙන්නේය අධිප්‍රඥාවෙහි ද හික්මෙන්නේය; මෙහි ත්‍රිවිධ ශික්‍ෂාවන් ආවර්‍ජන කෙරෙමින් හික්මෙන්නේය, දනිමින් හික්මෙන්නේය, දක්මින් හික්මෙන්නේය, ප්‍රත්‍යවේක්‍ෂා කරමින් හික්මෙන්නේය, සිතෙහි පිහිටුවමින් හික්මෙන්නේය, සැදැහැයෙන් සනිටුහන් කෙරෙමින් හික්මෙන්නේය, වීර්‍ය්‍යය දැඩිව ගනිමින් හික්මෙන්නේය, සිහියට එළවමින් හික්මෙන්නේය, සිත පිහිටුවමින් හික්මෙන්නේය, නුවණින් දැනගනිමින් හික්මෙන්නේය, (ස්වලක්ෂණාවබෝධයෙන්) දතයුත්ත විශිෂ්ටඥානයෙන් දැනගනිමින් හික්මෙන්නේය, (සාමාන්‍යලක්‍ෂණාවබෝධයෙන් කෘත්‍යවසයෙන්) දතයුත්ත හාත්පසින් දැනගනිමින් හික්මෙන්නේය, හළයුතු සමුදය දුරුකරමින් හික්මෙන්නේය, වැඩියයුතු මාර්‍ගය වඩමින් හික්මෙන්නේය, ප්‍රත්‍යක්‍ෂ කටයුතු නිවන ප්‍රත්‍යක්‍ෂ කරමින් හික්මෙන්නේය, හැසිරෙන්නේය, මොනොවට හැසිරෙන්නේය, සමාදන්ව පවත්නේ නුයි ‘කථඞකථි ඤාණපථාය සිකෙබ’ යනු වේ.
ඤතවා පවුත්තා සමණෙන ධම්මා - ‘ඤතවා’ යනු; දැන දැනගෙන තුලනය කොට තීරණය කොට විභාවන කොට විභූත කොට කියන ලද්දාහු වෙසෙසින් කියන ලද්දාහු දක්වන ලද්දාහු දෙසන ලද්දාහු තබන ලද්දාහු ප්‍රකට කරන ලද්දාහු විභාග කරන ලද්දාහු නො ගැඹුරු කරන ලද්දාහු ප්‍රකාශ කරන ලද්දාහු යැ; ‘සියලු සංස්කාරයෝ අනිත්‍යයෝ යැ’යි දැන දැනගෙන තුලනය කොට තීරණය කොට විභාවන කොට විභූත කොට උකතයහ, ප්‍රොක්ත - ආවක්ෂිත – දේශිත - ප්‍රඥප්ත - ප්‍රස්ථාපිත - විවෘත - විභක්ත - උතතානීකෘත - ප්‍රකාශිතයහ,’ ‘සියලු සංස්කාරයෝ දුඃඛයහ’යි … ‘සියලු ධර්‍මයෝ අනාත්මයහ’යි - ‘අවිද්‍යාප්‍රත්‍යයෙන් සංස්කාරයෝ වෙති...ජාතිප්‍රත්‍යයෙන් ජරාමරණය වේ යයි -අවිද්‍යාවගේ නිරෝධයෙන් සංස්කාර නිරෝධ යයි...ජාතිනිරොධයෙත් ජරාමරණනිරෝධය වේ යයි - මේ දුඃඛනිරෝධගාමිනීප්‍රතිපදාර්‍ය්‍යසත්‍ය යැයි – මොහු ආස්‍රවයෝ යැයි … මේ ආස්‍රවනිරෝධගාමිනීප්‍රතිපදාව යැයි – මෙ ධර්‍මයෝ අවබෝධ කළයුත්තාහ’යි මේ ධර්‍මයෝ පරිජානනය කළයුත්තාහ’යි - මේ ධර්‍මයෝ ප්‍රහීණ කළ යුත්තාහ’යි - මේ ධර්‍මයෝ ප්‍රත්‍යක්‍ෂ කළයුත්තාහ’යි - සවැදෑරුම් ස්පර්‍ශායතනයන්ගේ ඉපදීම ද නැසීම ද අසවාදය ද ආදීනවය ද නිස්සරණය ද පඤචොපාදානස්කන්‍ධයන් ගේ සතර මහාභූතයන්ගේ - යම් කිසි සමුදයධර්‍මයක් වේ නම් ඒ සියල්ල නැසෙන පියවි ඇතැ’යි දැන දැනගෙන තුලනය කොට තීරණය කොට විභාවන කොට විභූත කොට කියන ලද්දෝ යැ වෙසෙසින් කියන ලද්දෝ යැ දක්වන ලද්දෝ යැ දෙසන ලද්දෝ යැ පනවන ලද්දෝ යැ තබන ලද්දෝ යැ විවෘත කරන ලද්දෝ යැ. විභාග කරන ලද්දෝ යැ නො ගැඹුරු කරන ලද්දෝ යැ පවසන ලද්දෝ යි. මේ වදාළේ මැනු, භාග්‍යවතුන් විසින් : - ‘මහණෙනි, මම මාර්‍ගාවබොධය පිණිස දහම් දෙසමි, අනභිඥාව පිණිස නො දෙසමි: මහණෙනි, මම නිදාන (-ප්‍රත්‍යය) සහිත ව දහම් දෙසමි, ප්‍රත්‍යය රහිත කොට නො දෙසමි, මහණෙනි, මම නෛර්‍ය්‍යාණික කොට දහම් දෙසමි, අනෛර්‍ය්‍යාණික කොට නො දෙසමි, මහණෙනි, අභිඥාව පිණිස දහම් දෙසන අනභිඥාව පිණිස නො දෙසන, සනිදාන කොට දහම් දෙසන අනිදාන කොට නො දෙසන, නෛර්‍ය්‍යාණික කොට දහම් දෙසන අනෛර්‍ය්‍යාණික කොට නො දෙසන ඒ මා විසින් අවවාද කටයුත්තේය, අනුශාසනා කළයුත්තීය. තවද මහණෙනි, ‘භාග්‍යවත්හු සම්‍යක්සමබුදධයහ, ධර්‍මය සවාකඛ්‍යාත යැ, සඩඝ තෙමේ සුප්‍රතිපන්න යැයි තොපගේ සතුටට පමණ යැ ප්‍රමෝදායට පමණ යැ, සොම්නසට පමණ වේ. තවද මෙ වෙය්‍යාකරණය දෙසනු ලබත කල්හි දශසහස්‍රීලෝකධාතුව කම්පා වී’ යයි. ‘ඤතවා පවුත්තා සමණෙන ධම්මා” යනු වේ.
එයින් වදාළහ බුදුහු:
“කොධො මොසවජ්ජඤච - පෙ - ඤතවා පවුතත සමණෙන ධම්මා” යී
11. 8.
සුඛ වේදනාව ද දුක් වේදනාව ද (යන මෙහු) කුමක් හේතු කොටඋපදනාහු ද ? කුමක් අවිද්‍යාමාන කල්හි මොහු පහළ නො වෙත් ද ? යලි ඒ සාතාසාතයන්ගේ විනාශය ද පහළ වීම ද යන යම් මේ අර්‍තථයෙක් යමක් කරුණු කොට ඇත්තේ ද, තෙල කාරණය මට ප්‍රකාශ කළ මැනව.
සාතං අසාතං ච කුතොනිදානා – සාත අසාතවෙදනාවෝ කුමක් නිදාන කොට ඇත්තාහු ද ? කොයින් උපන්නාහු ද ? කොයින් හට– ගත්තාහු ද ? කොයින් නිපන්නාහු ද ? කොයින් පහළ වූවාහු ද ? කුමක් කරුණු කොට ඇත්තාහු ද ? කුමක් සමුදය කොට - කුමක් ජාති කොට කුමක් ප්‍රභව කොට ඇත්තාහු දැ’යි සාතාසාතයන්ගේ මූලය විචාරති... සමුදය විචාරති, පුළුවුස්ති අයැදිති අධ්‍යෙෂණ කෙරෙති පහදවත් නුයි ‘සාතං අසාතං ච කුතොනිදානා’ යනු වේ.
කිසමිං අයනේත න භවනති හෙතෙ – කුමක් අවිද්‍යාමාන කල්හි අසංවිද්‍යාමාන කල්හි නැති කල්හි නො ලැබෙන කල්හි සාතවෙදනාත් අසාතවෙදනාත් නො වෙත් ද, නූපදිත් ද, නො හටගනිත් ද, නො නිපදිත් ද, නො පහළ වෙත් දැ’යි ‘කිස්මිං අසනෙත න භවන්ති හෙතෙ’ යනු වේ.
විභවං භවඤචාපි යමෙතමතථං - සාතාසාතයන්ගේ භවය (–හට ගැනීම) කවරේ ද යත්? සාතාසාතයන්ගේ යම් භවයෙක් ප්‍රභවයෙක් ජාතියෙක් සඤජාතියෙක් නිර්වෘත්තියෙක් අභිනිර්වෘත්තියෙක් ප්‍රාදුර්‍භාවයෙක් වේ ද මේ සාතාසාතයන්ගේ ඉපැද්ම යැ; සාතාසාතයන්ගේ විනාශය කවරේ ද යත්? සාතාසාතයන්ගේ යම් ක්‍ෂය වීමෙක් ව්‍යය වීමෙක් බිඳීමෙක් හාත්පසින් බිඳීමෙක් අනිත්‍ය බවෙක් අතුරුදහන් වීමෙක් වේ ද, මෙ සාතාසාතයන්ගේ විනාශය යි. යමෙතමතථං යනු: යම් පරමාර්ථයෙක් නුයි ‘විභවං භවඤාපි යමෙතමතථං’ යනු වේ.
එතං මෙ පබ්‍රෑහි යතොනිදානං – ‘එතං’ යනු; යමක් විචාරම් ද, යමක් අයදිම් ද, යමක් අධ්‍යෙෂණය කෙරෙම් ද, යමක් පහදවම් ද; පබ්‍රෑහි - කියනු මැනව, වදාළ මැනව, ප්‍රකාශ කළ මැනව, දෙසුව මැනව, පනවනු මැනව, තබනු මැනව, විවෘත කළ මැනව, විභාග කළ මැනව, ප්‍රකට කළ මැනව, ප්‍රකාශ කළ මැනවැ’යි ‘එතං මෙ පබ්‍රෑහි’ යනු වේ. යතොනිදානං - යම් කරුණක් යම් සමුදයක් යම් ඉපැද්මක් යම් ප්‍රභවයක් නුයි ‘එතං මෙ පබ්‍රෑහි යතොනිදානං’ යනු වේ.
එයින් කීහ. ඒ නිර්මිත බුදුහු:
“සාතං අසාතං ච -පෙ- එතං මෙ පබ්‍රෑහි යතොනිදානං” යී.
11. 9.
සුඛවේදනාව ද, දුක්වේදනාව ද ස්පර්‍ශය ප්‍රත්‍යය කොට ඇත්තේ ය, ස්පර්‍ශය අවිද්‍යාමාන කල්හි මොවුහු නො පහළ වෙති, (සුවදුක් වේදනාවන් ගේ) විනාශය ද ඉපැදීම ද යන යම් අර්‍තථයෙක් මේ පහස කරුණු කොට උපදී ද, තෙල අර්‍ත්‍ථය ඔබට කියමි.
ඵසසනිදානං සාතං අසාතං – ‘සුඛවේදනාවට කරුණු වූ පහස නිසා සුඛවේදනාව උපදී. එ මැ සුඛවේදනීය වූ ස්පර්‍ශයාගේ නිරෝධයෙන් තදනුරූප වේදනා ඇති සුඛවේදනීය වූ යම් පහසක් නිසා උපන් යම් සුඛවේදනාවක් වී නම්, එය නිරුද්ධ වෙයි. එය සන්හිඳෙයි. දුක්වේදනාවට නිමිත්ත වූ පහස නිසා දුක් වේදනා උපදී, එ මැ දුඃඛවේදනීය වූ ස්පර්‍ශයාගේ නිරෝධයෙන් තදනුරූප වූ වේදනා ඇති දුඃඛවේදනීය වූ යම් පහසක් නිසා උපන් යම් දුක් වේදනාවක් වූ නම්, එය නිරුද්ධ වෙයි. එය සන්හිඳෙයි. උපෙකෂාවෙදනාවට නිමිත්ත වූ ස්පර්‍ශය නිසා උපෙකෂාවෙදනාව උපදී. එ මැ උපෙක්‍ෂවෙදනාවට හිත වූ ස්පර්‍ශයාගේ නිරෝධයෙන් තදනුරූප වේදනා ඇති උපේක්‍ෂාවේදනාවට හිත වූ යම් පහසක් නිසා උපන් යම් උපෙක්ෂාවෙදනාවක් වූ නම්, එය නිරුද්ධ වෙයි. එය සන්හිඳෙයි. ඵස්සනිදානං සාතං අසාතං - සුවදුක් වේදනාවෝ පහස නිදාන කොට ඇත්තාහු ය, පහස සමුදය කොට ඇත්තාහු ය, පහස ජාති කොට ඇත්තාහු ය, ස්පර්‍ශය ප්‍රභව කොට ඇත්තාහු නුයි – ‘ඵස්ස නිදානං සාතං අසාතං’ යනු වේ.
ඵස්සේස අසනේත න භවන්ති හෙතෙ – ස්පර්‍ශය අවිද්‍යාමාන කල්හි අසංවිද්‍යාමාන කල්හි නැති කල්හි නො ලැබෙන කල්හි සාතාසාතයෝ නොවෙති, ප්‍රභවනොවෙති, නූපදිති, නො හටගනිති, නො නිපදිති, නො වැඩෙති, නො පහළ වෙත් නුයි ‘ඵස්සේස අසනේත න භවනති හෙතෙ’ යනු වේ.
විභවං භාවඤචාපි යමෙතමත්ථං – භවදෘෂ්ටිය ද ස්පර්‍ශය නිදාන කොට ඇත්තීය, විභවදෘෂටිය ද ස්පර්‍ශය නිදාන කොට ඇත්තීය; යමෙතමත්ථං - යම් පරමාර්‍තථයක් නුයි ‘විභවං භවඤාපි යමෙතමත්ථං’ යනු වේ.
එතං තෙ පබ්‍රෑමි ඉතොනිදානං – ‘එතං’ යනු: යමක් විචාරවු ද; යමක් අයැදිවු ද, යමක් අධ්‍යෙෂණ කරවු ද, යමක් (සඳහා) පහදවවු ද, පබ්‍රෑමි – කියමි පවසමි දෙසමි පනවමි තබමි විවෘත කෙරෙමි විභාග කෙරෙමි ප්‍රකට කෙරෙමි, ප්‍රකාශ කෙරෙම් නුයි ‘එතං තෙ පබ්‍රෑමි’ යනු වේ. ඉතොනිදානං - මේ පහස නිදාන කොට ඇත්තේය, පහස උත්පත්ති කොට ඇත්තේ ය, පහස ජාති කොට ඇත්තේ ය, ස්පර්‍ශය ප්‍රභව කොට ඇත්තේ නුයි ‘එතං තෙ පබ්‍රෑමි ඉතො නිදානං’ යනු වේ.
එයින් වදාළහ. බුදුහු:
“ඵසසනිදානං - පෙ - එතං තෙ පබ්‍රෑමි ඉතොනිදානං” යී.
11. 10.
ලෝකයෙහි ස්පර්‍ශ තෙමේ කුමක් නිදාන (-මූලකාරණ) කොට ඇත්තේ ද? තෘෂ්ණාදාෂ්ටිපරිග්‍රහයෝ ත් කොතැනින් පහළ වූවාහු ද? කුමක් අවිද්‍යාමාන කල්හි තෘෂ්ණදෘෂ්ටිමමත්වය නැත්තේ ද ? කුමක් ඉක්ම ගිය කල්හි (වකබුසමඵසසාදි) පහස්හු ස්පර්‍ශ නො කෙරෙත් ද?
ඵස්සො නු ලොකසමිං කුතොනිදානො - පහස කුමක් කරුණු කොට ඇත්තේ ද ? කොයින් උපන්නේ ද ? කොයින් හටගත්තේ ද ? කොයින් නිපන්නේ ද ? කොයින් වැඩුණේ ද ? කොතැනින් පහළ වූයේ ද ? කුමක් නිදාන කොට ඇත්තේ ද ? කුමක් සමුදය කොට - කුමක් ජාති කොට - කුමක් ප්‍රභව කොට ඇත්තේ දැ’යි ස්පර්‍ශයාගේ මූලය විචාරති, හේතුව විචාරති … සමුදය විචාරති, අසති, අයැදිති, අධ්‍යෙෂණ කෙරෙති, පහදවත් නුයි ‘ඵස්සො නු ලොකසමිං කුතොනිදානො’ යනු වේ.
පරිග්ගහා චාපි කුතො පහූතා - පරිග්‍රාහයෝ කොයින් වූවාහු ද? කොයින් උපන්නාහු ද? කොයින් හටගත්තාහු ද? කොයින් නිපන්නාහු ද? කොයින් වැඩුණාහු ද? කොයින් පහළ වූවාහු ද? කුමක් නිදාන කොට ඇත්තාහු ද ? කුමක් සමුදය කොට ඇත්තාහු ද ? කුමක් ජාති කොට ඇත්තාහු ද ? කුමක් ප්‍රභව කොට ඇත්තාහු දැ’යි පරිග්‍රහයන්ගේ මූලය විචාරති, හේතුව විචාරති...සමුදය විචාරති, පුළුවුස්ති, යාඥා කෙරෙති අධ්‍යෙෂණ කෙරෙති, පහදවත් නුයි - ‘පරිග්ගහා චාපි කුතො පහූතා’ යනු වේ.
කිසමිං අසන්නේන මමත්තමතථි - කුමක් අවිද්‍යාමාන කල්හි අසංවිද්‍යාමාන කල්හි නො ලැබෙන කල්හි මමත්වයෝ නැත් ද, අවිද්‍යාමාන වෙත් ද අසංවිද්‍යාමාන වෙත් ද නො ලැබෙත් ද ප්‍රහීණ වූවාහු සමුචඡිනන වූවාහු සන්හිඳුණාහු දුරලන ලද්දාහු උපතට නුසුදුසු වූවාහු නුවණගින්නෙන් දවන ලද්දාහු නුයි ‘කිසමිං අසන්නේන මමත්තමතථි’ යනු වේ.
කිස්මිං විභුතෙ න ඵුසන්ති ඵස්සා - කුමක් ඉක්මැවූ කල්හි නො වැඩූ කල්හි ඉක්මැගිය කල්හි මොනවට ඉක්මැගිය කල්හි ව්‍යතික්‍රමණය කළ කල්හි ස්පර්‍ශයෝ ස්පර්‍ශ නො කෙරෙත් දැයි ‘කිසමිං විභූතෙ න ඵුසන්ති ඵස්ස’ යනු වේ.
එයින් කීහ. ඒ නිර්මිත බුදුහු:
“ඵස්සො නු ලොකසමිං - පෙ - කිසමිං විභුතෙ න ඵුසන්ති ඵස්ස” යි.
11. 11.
සම්ප්‍රයුක්ත නාමය ද වස්ත්වාලම්බන රූපය ද නිසා ස්පර්‍ශය වෙයි, තෘෂ්ණදෘෂ්ටිපරිග්‍රහයෝ ඉච්ඡා (-ආශා) ව නිදාන කොට ඇත්තාහු ය, ඉච්ඡාසඞඛ්‍යාත තෘෂ්ණාව නැති කල්හි මමත්‍වය නැත්තේ ය, රූපය ඉක්මැගිය කල්හි ස්පර්‍ශයෝ ස්පර්‍ශ නො කෙරෙත්.
නාමං ච රූපං ච පටිච්ච ඵස්සො - චක්‍ෂුස ද රූපයන් ද නිසා චක්‍ෂුර්විඥානය උපදී, (චකබුරූප විඥාන යන) තිදෙනාගේ එක්වීමෙන් ස්පර්‍ශය උපදී, ප්‍රසාද චක්‍ෂුස ද රූපාලම්බනයෝ ද රූප කොටසෙහි වෙති, (තිදෙනා ගේ සංගතියෙත් උපන්) චක්‍ෂුසමඵසසය හැර (සෙසු) සම්ප්‍රයුකතධර්‍මයෝ නාම කොටසෙහි වෙති, මෙසේ ත් නාමය ත් රූපයත් නිසා ස්පර්‍ශය උපදී;
ශ්‍රෝත්‍රප්‍රසාදය ද ශබ්දයන් ද නිසා ශ්‍රෝත්‍රවිඥානය උපදී, තිදෙනා ගේ එක්වීමෙන් ස්පර්‍ශය උපදී; ශ්‍රොත්‍රප්‍රසාදයත් ශබ්දයෝත් රූප කොටසෙහි වෙති; සොතසමඵසසය හැර (සෙසු) සම්ප්‍රයුක්ත ධර්‍මයෝ නාම කොටසෙහි වෙති, මෙසේත් නාමයත් රූපයත් නිසා ස්පර්‍ශය උපදී. ඝ්‍රාණය ද ගන්‍ධයන් ද නිසා ඝ්‍රාණවිඥානය උපදී, තිදෙනාගේ එක්වීමෙන් ස්පර්‍ශය වෙයි; ඝ්‍රාණයත් ගන්‍ධයෝත් රූපයෙහි වෙති, ඝ්‍රාණසංස්පර්‍ශය හැර (සෙසු) සම්ප්‍රයුකතධර්‍මයෝ නාමයෙහි වෙති, මෙසේත් නාමයත් රූපයත් නිසා ස්පර්‍ශය උපදී. දිව ද රසයන් ද නිසා ජිහචාවිඥානය උපදී, තිදෙනා ගේ සඩගතියෙත් ස්පර්‍ශය වෙයි; දිවත් රසයත් රූපයෙහි වෙති, ජිහ්වාසංස්පර්‍ශය හැර සමප්‍රයුකතධර්‍මයෝ නාමයෙහි වෙති, මෙසේත් නාමයත් රූපයත් නිසා ස්පර්‍ශය උපදී. කය ද ස්ප්‍රෂ්ටව්‍යයන් ද නිසා කායවිඥානය උපදී, තිදෙනාගේ සඩගතියෙන් ස්පර්‍ශය වෙයි; කයත් ස්ප්‍රෂටව්‍යයෝත් රූපයෙහි වෙති, කාසසංස්පර්‍ශය හැර සම්ප්‍රයුක්ත ධර්‍මයෝ නාමයෙහි වෙති, මෙසේත් නාමයත් රූපයත් නිසා ස්පර්‍ශය උපදී, මනස ද ධර්‍මයන් ද නිසා මනෝවිඥානය උපදී, තිදෙනාගේ සඞගතියෙන් ස්පර්‍ශය වෙයි; හෘදයවසතුරූපය රූපයෙහි වෙයි, රූපී ධර්‍මයෝ රූපයෙහි වෙති, මනස්සංස්පර්‍ශය හැර සම්ප්‍රයුක්තධර්‍මයෝ නාමයෙහි වෙති, මෙසේත් නාමයත් රූපයත් නිසා ස්පර්‍ශය උපදී.
ඉච්ඡානිදානානි පරිග්ගහානි - ‘ඉච්ඡා’යී තෘෂ්ණාව කියනු ලබයි, යම් රාගයෙක් සංරාගයෙක්....අභිධ්‍යාවක් ලෝභ අකුශලමූලයෙක් වේ ද එය යි. පරිග්ගහා - පරිග්‍රහයෝ දෙදෙනෙකි: තෘෂ්ණාපරිග්‍රහය ද දෘෂ්ටිපරිග්‍රහය දැයි ... මේ දෘෂ්ටිපරිග්‍රහය යි. ඉචඡානිදානානි පරිග්ගහානි - පරිග්‍රහයෝ ඉච්ඡා (-ඊප්සා) ව නිදාන කොට ඇත්තාහ, ඊප්සාව හේතු කොට ඇත්තාහ, ඊප්සාව ප්‍රත්‍යය කොට ඇත්තාහ, ඊප්සාව කරුණු කොට ඇත්තාහ, ඊප්සාවෙත් පහළවූවාහු නුයි - ‘ඉචඡානිදානානි පරිග්ගහානි’ යනු වේ.
ඉච්ඡාය‘සන්ත්‍යා න මමත්තමතථි – ‘ඉච්ඡා’යී තෘෂ්ණාව කියනු ලබයි; යම් රාගයෙක් සංරාගයෙක් … ලෝභ අකුශලමූලයෙක් වේ ද එය යි; මමත්තාමමත්වයෝ දෙදෙනෙකි: තෘෂ්ණාමමත්වය ද දෘෂ්ටිමමත්වය දැයි … මේ දෘෂ්ටිමමත්වය යි. ඉච්ජාය‘සන්ත්‍යා ත මමත්තමත්ථි - ඊප්සාව අවිද්‍යාමාන කල්හි අසංවිද්‍යාමාන කල්හි නැති කල්හි නො ලැබෙන කල්හි මමත්වයෝ නැත, නො වෙති, විද්‍යාමාන නො වෙති, නො ලැබෙත්, ප්‍රහීණ වූවාහු සමුච්ඡින්න වූවාහු සන්හිඳුණාහු දුරලන ලද්දාහු උපතට නුසුදුසු වූවාහු නුවණගින්නෙන් දවන ලද්දාහු නුයි ‘ඉච්ඡාය‘සන්ත්‍යා න මමත්තමතථි’ යනු වේ.
රූපෙ විභූතෙ න ඵුසන්ති ඵස්සා - ‘රූපෙ’ යනු: සතර මහාභූතයෝ ද සතර මහාභූතයන් නිසා පවත්නා රූපය ද; රූපෙ විභූතෙ – සතර අයුරකින් රූපය ඉක්මවන ලද වෙයි; ඥාතවිභූතයෙන් තීරණවිභූතයෙන් ප්‍රහාණවිභූතයෙන් සමතික්‍රමවිභූතයෙනි: කිසෙයින් ඥාතවිභූතයෙන් රූපය විභූත (-ඉක්මවන ලද) වේ ද යත් ? රූපය (මෙසේ) දැන ගනී. යම් කිසි රූපයෙක් වේ නම් , සතර මහාභූතයෝ ද සතර මහාභූතයන් නිසා පවත්නා රූපය දැයි සියලු රූපය දැන ගනී, දකී;
මෙසෙයින් ඥාතවිභූතයෙන් (නූවණත් ඉක්මවීමෙන්) රූපය විභූත වෙයි. කිසෙයින් තීරණවිභූතයෙන් රූපය විභූත වේ ද යත්? මෙසේ ප්‍රකට කොට රූපය තීරණය කෙරෙයි: අනිත්‍ය හෙයින් දුඃඛ හෙයින් රෝග හෙයින් ගණ්ඩ හෙයින් සලතා හෙයින් ව්‍යසන හෙයින් ආබාධ හෙයින් පර හෙයින් පලෝක (-බිඳීම) හෙයින් ඊති (–විපත්ති) හෙයින් උපද්‍රව හෙයින් භය හෙයින් උපස්සගී හෙයින් සැලෙන හෙයින් බිඳෙනසුලු හෙයින් අධ්‍රැව (–අස්ථිර) හෙයින් අත්‍රාණ හෙයින් අලෙන හෙයින් අසරණ හෙයින් රිත්ත (–සිස්) හෙයින් තුච්ඡ හෙයින් ශූන්‍ය හෙයින් අනාත්ම හෙයින් ආදීනව හෙයින් විපරිණාමස්වභාව හෙයින් අසාර හෙයින් ව්‍යසනමුල හෙයින් වධක හෙයින් විගතභව හෙයින් සාස්‍රව හෙයින් සඞ්ඛත (-හේතුප්‍රත්‍යයෙන් සකස් කළ) හෙයින් මාරාමිෂ හෙයින් ජාතිධර්‍ම (ජාතිය පියවි කොට ඇති) හෙයින් ජරාධර්‍ම හෙයින් ව්‍යාධිධර්‍ම හෙයින් මරණධර්‍ම හෙයින් ශෝකපරිදෙවදුඃඛ– දෞමනස්‍යඋපායාසධර්‍ම හෙයින් සංකෙලශධර්‍ම (-තෘෂ්ණාදි සංකෙලශයන්ට විෂයස්වභාව) හෙයින් සමුදය හෙයින් අසතඞගම හෙයින් ආස්වාද හෙයින් ආදීනව හෙයින් නිස්සරණ හෙයින් තීරණ කෙරෙයි, මෙසෙයින් තීරණවිභූතයෙන් රූපය විභූත වෙයි. කිසෙයින් ප්‍රහාණවිභූතයෙත් රූපය විභූත වේ ද යත්? මෙසේ තීරණය කොට රූපයෙහි ඡන්‍දරාගය දුරු කෙරෙයි, බැහැර කෙරෙයි, විගතාන්ත කෙරෙයි, අනභාවයට පමුණුවයි; මේ වදාරන ලද මැයි, භාග්‍යවතුන් විසින්: “මහණෙනි, රූපයෙහි යම් ඡනදරාගයෙක් වේ නම්, එය දුරු කරවු, මෙසේ ඒ රූපය ප්‍රහීණ වන්නේ ය, උසුන් මුල් ඇත්තේ තාලවස්තුවක් මෙන් කරන ලද්දේ අනභාවය කරන ලද්දේ මතු නූපදනා පියවි ඇත්තේ යැ”යි. මෙසෙයින් ප්‍රහාණවිභූතයෙත් රූපය විභූත වෙයි. කිසෙයින් සමතික්‍රමවිභූතයෙත් රූපය විභූත වේ ද යත්? සතර අරූපසමාපතතීන් ලද්දහු විසින් රූපයෝ ඉක්මවන ලද්දාහු විභාවිත වූවාහු අතික්‍රමණය-සමතික්‍රමණය-ව්‍යතික්‍රමණය කරන ලද්දාහු වෙති; මෙසෙයින් සමතික්‍රමවිභූතයෙන් රූපය විභූත වෙයි. මේ සතර කාරණයන් ගෙන් රූපය විභූත වේ. රූපය විභූත වූ (ඉක්මවූ) කල්හි ස්පර්‍ශ නො කෙරෙත්. ඵස්ස - රූපය විභූත කල්හි විභාවිත කල්හි අතික්‍රානත කල්හි සමතික්‍රානත කල්හි ඉක්මගිය කල්හි චකබුසමඵසස සොතසමඵසස ඝානසමඵසස ජීවභාසමඵසස කායසමඵසස යන පඤ්ච ස්පර්‍ශයෝ ස්පර්‍ශ නො කෙරෙත් නුයි - ‘රූපෙ විභූතෙ න පූසනති ඵස්ස’ යනු වේ.
එයින් වදාළහ බුදුහු:
“නාමං ච රූපං ච - පෙ - රූපෙ විභූතෙ න ඵුසනති ඵස්ස” යී.
11. 12.
කෙසේ පිළිපන්නහුට රූපය නො වේ ද ? යලි සැප දුක් (ඉටු අනිටු රූපය) හෝ කෙසේ නො වේ ද ? තෙල (රූප -සුඛ - දුක්ඛය) යම් සේ නො වේ නම් (එසේ) මට දේශනා කළ මැනව, එය දැන ගනුම්හ’යි මට සිතෙක් වී.
කථං සමෙතස්ස විභොති රූපං - ‘කථං සමෙතස්ස’ යනු: කෙසේ යෙදුණහුට කෙසේ පිළිපන්නාහුට කෙසේ ඉරියවු පවත්වන්නහුට කෙසේ වැටෙන්නහුට කෙසේ පාලනය වන්නහුට කෙසේ යැපෙන්නහුට කෙසේ යපනය වන්නහුට රූපය නො වේ ද? නො පැවැතේ ද ? ඉක්මවනු ලැබේ ද ? මොනොවට ඉක්මවනු ලැබේ ද ? වෙසෙසින් ඉක්මවනු ලැබේ දැ’යි – ‘කථං සමෙතස්ස විභොති රූපං’ යනු වේ.
සුඛං දුඛං වා‘පි කථං විභොති – සුවය ද දුක ද කෙසේ නො වේ ද? නො පැවැතේ ද ? ඉක්මවනු ලැබේ ද ? මොනොවට ඉක්මවනු ලැබේ ද ? වෙසෙසින් ඉක්මවනු ලැබේ දැ’යි – ‘සුඛං දුඛං වා‘පි කථාං විභොති’ යනු වේ.
එතං මෙ පබ්‍රෑහි යථා විභොති - ‘එතං’ යනු: යමක් විචාරම් ද, යමක් යදිම් ද, යමක් ආරාධනා කෙරෙම් ද, යමක් (සඳහා) පහදවම් නුයි – ‘එතං’ යනු වේ; මෙ පබ්‍රෑහි – මට කිව මැනව වදාළ මැනව දෙසුව මැනව පැනවුව මැනව තැබුව මැනව විවෘත කළ මැනව විභාග කළ මැනව ප්‍රකට කළ මැනව ප්‍රකාශ කළ මැනවැ’යි ‘එතං මෙ පබ්‍රෑහි, යනු වේ. යථා විභොති - යම් සේ නො වේ ද නො පැවැතේ ද අතික්‍රමණ සමතික්‍රමණ කරනු ලැබේ ද වෙසෙසින් ඉක්මවනු ලැබේ දැ’යි – ‘එතං මෙ පබ්‍රෑහි යථා විභොති’ යනු වේ.
තං ජානිස්සාම ඉති මෙ මනෝ අහු - ‘තං ජානිස්සාම’ යනු: එය දැනගනුම්හ, හාත්පසින් දැනගනුම්හ වෙසෙසින් දැනගනුම්හ මැනවින් දැනගනුම්හ (සිතින්) අවබෝධ කරම්හ’යි, ‘තං ජානිස්සාම’ යනු වේ. ඉති මෙ මනෝ අහු - මෙසේ මාගේ මනස විය, මෙසේ මා ගේ සිත විය, මෙසේ මාගේ සඩකලපය විය, මෙසේ මාගේ විඥානය වී නුයි– ‘තං ජානිස්සාම ඉති මෙ මනෝ අහු’ යනු වේ.
එයින් කීහ. ඒ නිර්මිත බුදුහු:
“කථං සමෙතස්ස -පෙ- ඉති මෙ මනෝ අහු” යි.
11. 13.
(රූපය නො වන සේ පිළිපන් හෙතෙම) ප්‍රකෘතිසංඥාවෙන් සංඥා ඇත්තේ නො වෙයි, විකෘතිසංඥාවෙන් විසංඥ වූයේ නො වෙයි, සංඥා විරහිත වූයේ ද නො වෙයි, ඉක්මවූ සංඥා ඇත්තේ ද නො වෙයි, මෙසේ (සංඥා සංඥතාදිභාවයෙහි නො සිට) පිළිපන්නහුට රූපය නො වෙයි, තෘෂ්ණාදි ප්‍රපඤයෝ සංඥානිදාන කොට ඇත්තාහු ම වෙත් ද එහෙයිනි.
න සඤඤසඤඤි න විසඤඤසඤඤි - ප්‍රකෘතිසංඥාවෙහි සිටි යම් කෙනෙක් වෙත් නම් ඔහු ‘සඤඤසඤඤිහු’ යයි කියනු ලැබෙති, යථා සමෙතයක්හු ගේ රූපය විභවයට යේ නම්) හෙතෙම ප්‍රකෘතිසංඥායෙහි සිටියේ නො ද වෙයි; උමතුවෝ ද ක්ෂිප්තචිතතයෝ (-යක්උමතුවෝ) ද ‘විසඤඤසඤඤිහු’ යයි කියනු ලැබෙති, හෙතෙම උමතුවෙක් නො ද වෙයි, ක්‍ෂිප්තචිතතයෙක් ද නො වේ නුයි - ‘න සඤඤසඤඤි න විසඤඤසඤඤි’ යනු වේ.
නොපි අසඤඤි න විභුතසඤඤි - නිරෝධසමාපත්ති සමාපන්නයෝ ද අසංඥසත්ත්‍වයෝ ද ‘අසඤඤිහු’ යයි කියනු ලැබෙති, හෙතෙම නිරෝධ– සමාපන්නයෙක් නො ද වෙයි, අසංඥසත්ත්‍වයෙක් ද නො වේ. සතර අරුපසමාපත්තිලාභීහු ‘විභූතසඤඤිහු’ යයි කියනු ලැබෙති, හෙතෙම සතර අරූපසමාපතතිලාභී වූයේ ද නො වේ නුයි - ‘නො‘පි අසඤඤි න විභූතසඤඤි’ යනු වේ.
එවං සමෙතස්ස විභොති රූපං – ‘මෙහි මහණ තෙම සුඛයාගේ ද ප්‍රහාණයෙන් … සතරවැනි දැහැනට පැමිණ වෙසෙයි, හෙතෙම මෙසේ (සතරවැනි දැහැනින්) සිත එකඟවූ කල්හි (උපේක්‍ෂා සමෘතිපාරිශුදධියෙන්) පිරිසිදු කල්හි (පරිශුද්ධ හෙයින්) ප්‍රභාස්වර කල්හි (රාගාදි අඞගන නැසූ හෙයින්) අනඞගන කල්හි (අනඞගන හෙයින් ම) පහවූ උපක්ලේශ ඇති කල්හි (සුභාවිත හෙයින්) මෘදුවූ කල්හි (මෘදු හෙයින් ම) කර්‍මක්‍ෂම වූ කල්හි (මේ පරිශුද්ධභාවාදියෙහි සිටි හෙයින් ම) ස්ථිත කල්ගි (සිටි හෙයින් ම) අචල බවට පැමිණි කල්හි ආකාසානඤ්චායතනසමාපත්තිය ලැබීම සඳහා සිත එළවයි නතුකරයි, අරූපසමාපත්තියෙන් යුක්ත වූයේ යයි; එවං සමෙතස්ස - මෙසේ පිළිපන්නහුට මෙසේ ඉරියවු පවත්වන්නහුට මෙසේ වැටෙන්නහුට මෙසේ යැපෙන්නහුට මෙසේ යපනය වන්නහුට රූපය නො වෙයි, නො පැවැතෙයි, ඉක්මවනු ලැබෙයි, මනාකොට ඉක්මවනු ලැබෙයි, වෙසෙසින් ඉක්මවනු ලැබේ නුයි - ‘එවං සමෙතස්ස විභොති රූපං’ යනු වේ.
සඤ්ඤානිදාන හි පපඤ්චසඞඛා - ප්‍රපඤචයෝ ම ‘පපඤචසඞඛ’ නම් වෙති; තෘෂ්ණාව ප්‍රපඤචසඞඛ යැ, දෘෂ්ටිය ප්‍රපඤචසඞඛ යැ, මානය ප්‍රපඤචසඞඛ යැ, (ඔහු) සංඥාව නිදාන කොට ඇත්තාහු සංඥාව සමුදය කොට ඇත්තාහු සංඥාව ජාති කොට ඇත්තාහු සංඥාව ප්‍රභව කොට ඇත්තාහු නුයි -‘ සඤඤානිදානා හි පපඤචසඞඛා’ යනු වේ.
එයින් වදාළහ. බුදුහු:
“න සඤඤසඤඤි - පෙ - සඤඤානිදාන හි පපඤචසඞඛා” යි.
11. 14.
යමක් විචාළමෝ නම්, එය අපට දේශනා කළහ, අනෙකකුදු ඔබ ගෙන් විචාරම්හ, එ ද වදාළ මැනව, මේ ලොවැ, පණ්ඩිතවාද ඇති ඇතැම් මහණ බමුණු කෙනෙක් මේ අරූපසමාපත්තිමාත්‍රයෙන් ම සත්ත්‍වයා ගේ අග්‍ර වූ ශුද්ධිය කියත් ද? නොහොත් තෙල අරූපසමාපත්තියෙන් අනෙකු දු ශුදධියක් කියත් ද?
යං තං අපුච්ජිම්හ අකිත්තයී නො - යමක් විචාළමෝ යාඥා කළමෝ? අධ්‍යෙෂණ කළමෝ පැහැදවූම්හු නම් එය; අකිත්තයි නො - කීර්‍තනය කරන ලද පවසන ලද දෙසන ලද පනවන ලද තබන ලද විවෘත කරන ලද විභාග කරන ලද ප්‍රකට කරන ලද ප්‍රකාශ කරන ලද නුයි ‘යං තං අපුච්ජිම්හ අකිත්තයි නො’ යනු වේ.
අඤ්ඤං තං පුච්ඡාම තදිඞඝ බ්‍රෑහි - අනෙකක් ඔබ විචාරම්හ, අනෙකක් ඔබ පුළුවුසුම්හ, අනෙකක් ඔබ අතිශයින් විචාරම්හ, අනෙකක් ඔබ අධ්‍යෙෂණ කරම්හ අනෙකකට ඔබ පහදවම්හ, මත්තෙහි ඔබ විචාරම්හ; තදිඞඝ බ්‍රෑහි - වදාළ මැනව, ප්‍රකාශ කළ මැනව, දෙසුව මැනව, පැනවුව මැනව, තැබුව මැනව, විවෘත කළ මැනව, විභාග කළ මැනව, ප්‍රකට කළ මැනව, ප්‍රකාශ කළ මැනැවැයි - ‘අඤ්ඤං තං පුච්ඡාම තදිඞඝ බ්‍රෑහි’ යනු වේ.
එත්තාවතග්ගං නු වදන්ති හෙකෙ යකඛස්ස සුද්ධිං ඉධ පණ්ඩිතා සෙ - ඇතැම් මහණබමුණු කෙනෙක් තෙල අරූපසමාපත්තීහු අග්‍ර යැ ශ්‍රේෂ්ඨ යැ විශිෂ්ට යැ පාමොක් යැ උතුම් යැ ප්‍රවර යැයි පවසති කියති බෙණෙති දක්වති ව්‍යවහාර කෙරෙත්. යකඛස්ස - සත්ත්‍වයාගේ; නරමානව - පුරුෂ - පුද්ගල - ජීව - ජාගු - ජන්තු - ඉන්දගු - මනුජයාගේ; සුද්ධිං - ශුද්ධිය විශුද්ධිය පරිශුද්ධිය මුක්තිය විමුක්තිය පරිමුක්තිය; ඉධ පණ්ඩිතා සෙ - මෙ ලොවැ ස්වකීය ලබ්ධියෙහි (ඇපි පණ්ඩිතියම්හ’යි) පණ්ඩිතවාද ඇත්තාහු සථිරවාද - න්‍යායවාද - හේතුවාද - ලක්ෂණවාද - කාරණවාද - ස්ථානවාද ඇත්තාහු නුයි ‘එත්තාවතග්ගං නු වදන්ති හෙකෙ යකඛස්ස සුද්ධිං ඉධ පණ්ඩිතා සෙ’ යනු වේ.
උදාහු අඤ්ඤම්පි වදන්ති එත්තේතා - නොහොත් ඇතැම් මහණබමුණු කෙනෙක් තෙල අරූසමවත් ඉක්මවා මැනවින් ඉක්මවා පසු කොට,තෙල අරූපසමාපතතියෙන් අන්‍ය වූ මත්තෙහි යක්‍ෂ (- සත්ත්‍ව)යාගේ ශුදධියක් විශුදධියක් පරිශුදධියක් මුක්තියක් විමුක්තියක් පරිමුක්තියක් පවසත් ද බෙණෙත් ද, දක්වත් ද, ව්‍යවහාර කෙරෙත් දැයි - ‘උදාහු අඤඤම්පි වදන්ති එතතෝ’ යනු වේ.
එයින් කීහ ඒ නිර්මිත බුදුහු :
“යන්තං අපුච්ඡිමහ - පෙ - උදාහු අඤඤම්පි වදන්ති එත්තෝ” යී.
11. 15.
මෙ ලොවැ පණ්ඩිතිමානී වූ (ශාශ්වතවාදී) ඇතැම් මහණබමුණු කෙනෙක් මේ අරූපසමාපත්තිමාත්‍රයෙනුදු සත්ත්‍වයාගේ අග්‍ර වූ ශුද්ධිය කියත් මැයි. යලි ඔවුනතුරෙහි (උච්ේඡදවාදී) ඇතැම් මහණබමුණු කෙනෙක් අනුපාදිශෙෂයෙහි පණඩිතවාද ඇත්තාහු උච්ේඡදය (ශුදධියයි) කියත්.
එත්තාවතග්ගම්පි වදන්ති හෙකෙ යකඛස්ස සුද්ධිං ඉධ පණ්ඩිතා සෙ - ශාශ්වතවාදය පවසන ඇතැම් මහණබමුණු කෙනෙක් වෙති. (ඔහු) මේ අරූපසමාපත්තීන් අග්‍ර යැ ශ්‍රේෂ්ඨ යැ විශිෂ්ට යැ පාමොක් යැ උතුම් යැ ප්‍රවර යැයි පවසති කියති බෙණෙති දක්වති ව්‍යවහාර කෙරෙත්. යකඛස්ස - සත්තවයාගේ නර - මාණව - පුරුෂ - පුද්ගල - ජීව - ජාගු - ජන්තු - ඉන්දගු - මනුජයාගේ; සුද්ධිං - විශුද්ධිය පරිශුද්ධිය මුක්තිය විමුක්තිය පරිමුක්තිය; ඉධ පණ්ඩිතා සෙ - මෙ ලොවැ ස්වකීය දෘෂ්ටියෙහි පණඩිතවාද ඇත්තාහු සථිරවාද - න්‍යායවාද - හේතුවාද - ලක්ෂණවාද - කාරණවාද - සථානවාද ඇත්තාහු නයි ‘එත්තාවතග්ගම්පි වදන්ති හෙකෙ ‘යකඛස්ස සුද්ධිං ඉධ පණ්ඩිතා සෙ’ යනු වේ.
තෙසං පනෙ’කෙ සමයං වදන්ති අනුපාදිසෙසෙ කුසලාවදානා - ඒ මහණබමුණන් අතුරෙන් උච්ඡේදවාද ඇති ඇතැම් මහණබමුණු කෙනෙක් භවයෙන් තැති ගැනුණාහු විභව (උච්ේඡද) යට සතුටු වෙති, ඔහු සත්ත්‍වයා ගේ නො පැවැත්ම උපශමය ශාන්තිය අනුත්පාදය අපනුරුත්පත්තිය වේ යයි කියත්. භවත්නි, යම් හෙයකින් මේ ආත්මය කය බිඳීමෙන් මරණින් මතු සිඳීයේ ද වැනැසේ ද නො වේ ද, මෙතෙකින් අනුපාදිශෙෂය වේ. කුසලාවදානා - ස්වකීය ලබ්ධියෙහි කුසලවාද ඇත්තාහු පණ්ඩිතවාද - සථිරවාද - න්‍යායවාද - හේතුවාද - ලක්ෂණවාද - කාරණවාද - ස්ථානවාද ඇත්තාහු නුයි ‘තෙසං පනෙකෙ සමයං වදන්ති අනුපාදිසෙසෙ කුසලාවාදානා’ යනු වේ.
එයින් වදාළහ බුදුහු:
“එත්තාවතග්ගම්පි - පෙ - අනුපාදිසෙසෙ කුසලාවදානා” යී
11. 16.
තවද තෙල දෘෂටිගතිකයන් (මොහු ශාශවතොචේද) ‘දෘෂ්ටි ඇසුරු කළාහු යැ’ යි දැන, තෘෂ්ණාදෘෂ්ටිනිඃශ්‍රයන් දැන, ඒ පණ්ඩිත වූ බුද්ධමුනි තෙම (දුඃකඛානිත්‍යාදි විසින්) ධර්‍මයන් දැන (අනුපාදාවිමොක්ෂයෙන්) මිදුණේ විරුද්ධවාදයට නො පැමිණෙයි, ඒ ධීර තෙම පුනපුනා භවයට ද නො පැමිණේ.
එතෙ ච ඤත්‍වා උපනිස්සිතාති - ‘එතෙ’ යනු: දෘෂ්ටිගතිකයන්; උපනිස්සිතාති - ශාශ්වතදෘෂ්ටිනිඃශ්‍රිතයෝ යැයි දැන, උච්ේඡදෘෂ්ටිනිඃශ්‍රිතය යැයි දැන, ශාශ්වතොඡෙඡදදෘෂටිනිඃශරිතයෝ යැයි දැන, දැනගෙන තුලනය කොට තීරණය කොට සලකා ප්‍රකට කොට නුයි - ‘එතෙ ච ඤතවා උපනිස්සිතාති’ යනු වේ.
ඤත්‍වා මුනී නිස්සයෙ සො විමංසි - ‘මුනි’ යනු: ‘මොන’ යී ඥානය කියනු ලැබෙයි මුනි තෙම (ඔවුන්) , ශාශ්වතදෘෂ්ටිනිඃශරිතයෝ යැයි දැන, උචෙඡදෘෂටිනිඃශ්‍රිතයෝ යැයි දැන, ශාශ්වතොඡෙඡදදෘෂටිනිඃශරිතයෝ යැයි දැන, දැනගෙන තුලනය කොට තීරණය කොට විභාවන කොට; විභූත කොට, සො විමංසි - පණ්ඩිත වූයේ ප්‍රඥාවත් වූයේ බුද්ධිමත් වූයේ නුවණැත්තේ විභාවී වූයේ මේධාවී වූයේ නුයි - ‘ඤතවා මුනී නිස්සයෙ සො විමංසි’ යනු වේ.
ඤත්‍වා විමුතෙතා න විවාදමෙති - දැන දැනගෙන තුලනය කොට තීරණය කොට විභාවන කොට විභූත කොට; විමුතෙතා - අත්‍යන්ත වූ අනුපාදාවිමොක්ෂයෙන් මිදුණේ මැනවින් මිදුණේ වෙසෙසින් මිදුණේ හාත්පසින් මිදුණේ ‘සර්‍වසංස්කාරයෝ අනිත්‍යයෝ යැ’ යි දැන දැනගෙන තුලනය කොට තීරණය කොට විභාවන කොට විභූත කොට අත්‍යන්ත අනුපාදාවිමොක්ෂයෙන් මුක්ත විමුක්ත සුවිමුක්ත පරිමුක්ත වූයේ, ‘සර්‍වසංස්කාරයෝ දුඃඛයෝ යැ’ යි … ‘සර්‍වසංස්කාරයෝ අනාත්මයෝ යැ’ යි … ’යම් කිසි සමුදයධර්‍මයෙක් වේ නම්, ඒ සියල්ල නැසෙනසුලු යැ’ යි දැන දැනගෙන තුලනය කොට තීරණය කොට විභාවන කොට විභූත කොට අත්‍යන්ත අනුපාදාවිමොක්ෂයෙන් මුක්ත විමුක්ත සුවිමුක්ත පරිමුක්ත වූයේ නුයි - ‘ඤතවා විමුතෙතා’ යනු වේ; න විවාදමෙති - කලහ නො කෙරෙයි, ඩබර නො කෙරෙයි, විග්‍රහ නො කෙරෙයි, විරුද්ධවාද නො කෙරෙයි, කෝලාහල නො කෙරෙයි; මේ වදාරන ලද මයැ, භාග්‍යවතුන් විසින්: ‘ගිනිවෙස්න, මෙසේ මිදුණු සිත් ඇති මහණ තෙම කිසිවක්හු සමග සංවාද නො කෙරෙයි, කිසිවක්හු සමග විවාද නො කෙරෙයි, ලොවැ යමකුත් කියන ලද නම්, දැඩිව නො ගනිමින් එයින් ව්‍යවහාර කෙරේ යැ” යි -‘ඤතවා විමුතෙතා න විවාදමෙති’ යනු වේ.
භවාභවාය න සමෙති ධීරො - ‘භවාභවාය’ යනු: කාමභවයෙහි හා රූපාරූපභවයෙහි කර්මවෘත්තයට (පුනර්‍භවික වූ) විපාකවෘත්තයට, කාමධාතුයෙහි කර්‍මවෘතතයට, කාමධාතුයෙහි විපාකවෘතතයට, රූපධාතුයෙහි කර්‍මවෘතතයට රූපධාතුයෙහි විපාකවෘත්තයට, අරූපධාතුයෙහි කර්‍මවෘතතයට, අරූපධාතුයෙහි විපාකවෘත්තයට, පුනපුනා භවයට පුනපුනා ගතියට පුනපුනා උපතට පුනපුනා පිළිසඳට පුනපුනා අත්බවට නැවත නැවත පහළ වීමට නො එයි, නො පැමිණෙයි, නො ගනී, නො පරාමර්‍ෂ කෙරෙයි, නො පිවිසේ; ධීරො - ධීර වූයේ පණ්ඩිත වූයේ ප්‍රඥාවත් වූයේ බුද්ධිමත් වූයේ නුවණැත්තේ විභාවී මේධාවී නුයි - ‘භවාභවාය න සමෙති ධීරො’ යනු වේ.
එයින් වදාළහ බුදුහු:
“එතෙ ච ඤත්‍වා - පෙ - භවාභවාය න සමෙති ධීරො” යි.
එකොළොස් වැනි කලහවිවාද සූත්‍රනිර්දේශය යි.
12.
චූළවියූහසූත්‍රනිර්දේශය
ඉක්බිති ‘චූලවියූහ’ සූත්‍රනිර්දේශය කියනු ලැබේ:
12. 1.
තමතමාගේ දෘෂ්ටියෙහි වෙසෙන්නාහු (ඒ දෘෂ්ටිය) දෘඪග්‍රහයෙන් ගෙන (ඇපි එහි) දක්‍ෂයම්හ’යි වෙන වෙන ම කියති. (යමෙක්) මෙසේ දනී නම්, හෙතෙම දහම් දැනගත්තේ ය, මෙය ගරහන්නා වූ (යමෙක් වේ නම් හෙතෙම) ලාමක වන්නේ යයි ද (කියත්.)