5. යමක්හු විසින් අධ්‍යාත්ම වූ ද බාහිර වූ ද සියලු ලෝකයෙහි (චක්‍ෂුරාදි) ෂඩින්ද්‍රියයෝ (ත්‍රිලක්‍ෂණයට නඟා) වෙසෙසින් වඩන ලද්දාහු ද, භාවිත ඉන්‍ද්‍රිය ඇති ඒ දන්ත වූ පුද්ගල තෙම (ස්වපරසන්තති සඞ්ඛ්‍යාත) මෙ ලොව හා පරලොව හා දැන මරණකාලය බලාපොරොත්තු වේ යයි.
උපෙක්ඛකො සදා - හැමදා සියලුදා සියලු කල දිනපතා නිරතුරු පශ්චිම වයස් කොටසෙහි; සතෝ - සතර කරුණකින් සිහි ඇතියේ: කයෙහි කායානුපස්සනාසතිපට්ඨානය වඩමින් සිහි ඇතියේ, වේදනාවන්හි - චිත්තයෙහි - ධර්‍මයන්හි ධම්මානුපස්සනාසතිපට්ඨානය වඩමින් සිහි ඇතියේ... හෙතෙම සිහි ඇතැයි කියනු ලැබේ නුයි ‘උපෙක්ඛකො සදා සතෝ’ යනු වේ.
න ලෝකේ මඤ්ඤතෙ සමං - ‘මම් සදෘශයෙමී’ ජාතියෙන් හෝ ගෝත්‍රයෙන් හෝ... එක්තරා වස්තුවකින් හෝ මානය නූපදවා නුයි ‘න ලෝකේ මඤ්ඤතෙ සමං’ යනු වේ.
න විසෙසී න නීචෙය්‍යො - ‘මම් ශ්‍රේෂ්ඨ වෙමී’ ජාතියෙන් හෝ ගෝත්‍රයෙන් හෝ... එක්තරා වස්තුවකින් හෝ අතිමානය නූපදවයි; ‘මම් හීන වෙමී’ ජාතියෙන් හෝ... එක්තරා වස්තුවකින් හෝ මානය නූපදවා නුයි ‘න විසෙසී න නීචෙය්‍යො’ යනු වේ.
තස්ස නො සන්ති උස්සදා - ‘තස්ස’ යනු: අර්‍හත් ක්‍ෂීණාස්‍රව හට; උස්සදා යනු: උස්සදයෝ සතෙකි: රාගොත්සදය ද්වෙෂ - මෝහ - මාන - දෘෂ්ටි - ක්ලේශ - කර්‍මොත්සද යැ’යි; ඒ රහත් හට මේ උත්සදයෝ නැත, නො වෙති, අවිද්‍යාමාන වෙති, නො ලැබෙත්; ප්‍රහීණ වූවාහු සමුච්ඡින්න වූවාහු සන්හිඳුණාහු දුරලන ලද්දාහු අභව්‍යොත්පත්තික වූවාහු ඥානාග්නීන් දග්ධ වූවාහු නුයි ‘තස්ස නො සන්ති උස්සදා’ යනු වේ.
එයින් වදාළහ බුදුහු:
“උපෙක්ඛකො -පෙ- තස්ස නො සන්ති උස්සදා” යී.
10. 9.
යම් ක්‍ෂීණාස්‍රවයක් හට (තෘෂ්ණදෘෂ්ටි) නිඃශ්‍රය බව නැත් ද, (යමෙක් අනිත්‍යාදි ආකාරයෙන් සියලු) ධර්‍මය දැන අනිඃශ්‍රිත වූයේ ද, යමකුට භවදෘෂ්ටියෙහි හෝ විභවදෘෂ්ටියෙහි තෘෂ්ණාව අවිද්‍යමාන වේ ද; (ඔහු උපශාන්ත යයි කියමි.)
යස්ස නිස්සයතා නත්‍ථි - ‘යස්ස’ යනු: අර්‍හත් ක්‍ෂීණාස්‍රවයක් හට; නිස්සයතා - තෘෂ්ණානිඃශ්‍රය ද දෘෂ්ටිනිඃශ්‍රය දැ’යි නිඃශ්‍රය දෙකෙකි... ඔහු විසින් තෘෂ්ණානිඃශ්‍රය නසන ලද, දෘෂ්ටිනිඃශ්‍රය දුරලන ලද, තෘෂ්ණානිඃශ්‍රය ප්‍රහීණ හෙයින් දෘෂ්ටිනිඃශ්‍රය දුරැලූ හෙයින් නිඃශ්‍රය බව යමක් හට නැත්ද නො වේ ද අවිද්‍යමාන ද නො ලැබේ ද, ප්‍රහීණ වූවා ඥානාග්නීන් දග්ධ නුයි ‘යස්ස නිස්සයතා නත්‍ථි’ යනු වේ.
ඤත්‍වා ධම්මං අනිස්සිතො - ‘ඤත්‍වා’ යනු: දැන දැනගෙන තුලනය කොට තීරණය කොට විභාවන කොට විභූත කොට, සියලු සංස්කාරයෝ අනිත්‍යහ’යි, ‘සියලු සංස්කාරයෝ දුක්හ’යි, ‘සියලු ධර්‍මයෝ අනාත්මහ යි. උපදනා පියවි ඇති ඒ සියල්ල නැසෙනසුලු යැ’යි දැන... විභූත කොට; අනිස්සිතො - තෘෂ්ණා දෘෂ්ටි යැයි නිඃශ්‍රයයෝ දෙදෙනෙකි... තෘෂ්ණානිඃශ්‍රය නසා දෘෂ්ටිනිඃශ්‍රය දුරලා චක්‍ෂුස අනිඃශ්‍රිත වූයේ ශ්‍රෝත - ඝ්‍රාණ - ජිහ්වා - මනස අනිඃශ්‍රිත වූයේ, රූප ශබ්ද - ගන්‍ධ - රස - ස්ප්‍රෂ්ටව්‍යයන් - කුලය - ගණයා - ආවාසය. දෘෂ්ට ශ්‍රැත මුත විඥාතව්‍ය ධර්‍මයන් ඇසුරු නො කෙළේ නො ඇලුණේ නො පැමිණියේ නො පිවිසියේ නො බැසගත්තේ නික්මුණේ නික්මැගියේ වෙසෙසින් මිදුණේ විංසයුක්ත වූයේ විගතමර්‍ය්‍යාදා කළ සිතින් වෙසේ නුයි ‘ඤත්‍වා ධම්මං අනිස්සිතො’ යනු වේ.
භවාය විභවාය වා තණ්හා යස්ස න විජ්ජති - ‘තණ්හා’ යනු: රූපයෙහි තෘෂ්ණාව ශබ්ද - ගන්‍ධ - රස - ස්ප්‍රෂ්ටව්‍ය - ධර්‍මතෘෂ්ණා යි යස්ස - අර්‍හත් ක්‍ෂීණාස්‍රව හට; භවාය - භවදෘෂ්ටියෙහි; විභවාය - විභවදෘෂ්ටියෙහි; භවාය - ශාශ්වතදෘෂ්ටියෙහි හෝ; විභවාය උච්ඡේදදෘෂ්ටියෙහි; භවාය - පුන පුනා භවයෙහි පුනපුනා ගතියෙහි පුනපුනා උත්පත්තියෙහි පුනපුනා ප්‍රතිසන්‍ධියෙහි පුනපුනා ආත්මභාවයාගේ පහළ වීමෙහි තෘෂ්ණාව යමක් හට නැත් ද නො වේ ද විද්‍යාමාන නො වේ ද නො ලැබේ ද, ප්‍රහීණ වූවා සමුච්ඡින්න වූවා සන්හිඳුණි දුරලන ලද්දී උපතට නුසුදුසු වූවා නුවණගින්නෙන් දවන ලද්දී නුයි ‘භවාය විභවාය වා තණ්හා යස්ස න විජ්ජති’ යනු වේ.
එයින් වදාළහ බුදුහු:
යස්ස නිස්සයතා නත්‍ථි -පෙ- තණ්හා යස්ස න විජ්ජති” යී.
10. 10.
වස්තුකාමක්ලේශකාමයන්හි අපේක්‍ෂා රහිත වූ ඒ රහත්හු ‘උපශාන්ත ය’යි කියමි. ඔහුට (අභිධ්‍යාකායාදි) ග්‍රන්‍ථයෝ විද්‍යාමාන නො වෙති. හෙතෙම තෘෂ්ණාව තරණය කෙළේ යි.
තං බ්‍රෑමි උපසන්තො - (යට දැක්වූ) ඔහු සන්හිඳුණේ යැ වෙසෙසින් සන්හිඳුණේ යැ නිවුණේ යැ නැසූ කෙලෙස් ඇත්තේ යැයි පවසමි ඔහු කියමි බෙණෙමි - දක්වමි - ව්‍යවහාර කෙරෙම් නුයි ‘තං බ්‍රෑමි උපසන්තො’ යනු වේ.
කාමෙසු අනපෙක්ඛිනං - ‘කාමා’ යනු: උදෙස් විසින් කාමයෝ දෙදෙනෙකි: වස්තුකාමයෝ ද ක්ලේශකාමයෝ දැයි. වස්තුකාමයන් පරිජානනය කොට ක්ලේශකාමයන් හැර දුරු කොට බැහැර කොට විගතාන්ත කොට අනභාවයට පමුණුවා. කාමෙසු අනපෙක්ඛිනං - පහවූ කාම ඇත්තේ හරන ලද - වමනය කළ - මුදන ලද - ප්‍රහීණ කළ - දුරලන ලද කාම ඇත්තේ; කාමයන්හි පහවූ රාග ඇත්තේ විගතරාග වූයේ ත්‍යක්තරාග වාන්තරාග මුක්තරාග - ප්‍රහීණරාග - ප්‍රතිනිඍෂ්ටරාග වූයේ තෘෂ්ණා රහිත වූයේ නිවුණේ සිහිල් වූයේ සුව විඳින සුලු වූයේ ශ්‍රේෂ්ඨ වූ සිතින් යුක්ත ව වෙසේ නුයි ‘කාමෙසු අනපෙක්ඛිනං’ යනු වේ.
ගන්‍ථා තස්ස න විජ්ජන්ති - ‘ගන්‍ථා’ යනු: ග්‍රන්‍ථයෝ සතර දෙනෙකි: අභිධ්‍යාකායග්‍රන්‍ථ යැ, ව්‍යාපාදග්‍රන්‍ථ යැ, ශීලව්‍රතපරාමර්‍ශකායග්‍රන්‍ථ යැ, ඉදංසත්‍යාභිනිවෙශකායග්‍රන්‍ථ යැයි; තමා ගන්නා ලද දෘෂ්ටියෙහි රාගය අභිධ්‍යාකායග්‍රන්‍ථ යැ, පරවාදයන්හි කෝපය හා නො සතුට ව්‍යාපාදකායග්‍රන්‍ථ යැ, තමාගේ ශීලය හෝ ව්‍රතය හෝ ශීලව්‍රතය දැඩිව ගැනීම ශීලව්‍රතපරාමර්‍ශකායග්‍රන්‍ථ යැ, තමා (නුනුවණින්) ගත් දෘෂ්ටිය ඉදංසත්‍යාභිනිවෙශකායග්‍රන්‍ථ යයි. තස්ස - අර්‍හත් ක්‍ෂීණාස්‍රව හට; ගන්‍ථා තස්ස න විජ්ජන්ති - ග්‍රන්‍ථයෝ ඔහුට නැත, නො වෙති, විද්‍යමාන නො වෙති, නො ලැබෙති, ප්‍රහීණයහ සමුච්ඡින්නයහ සන්හිඳුණාහ, දාරලන ලද්දාහු අභව්‍යොත්පත්තිකයහ ඥානාග්නීන් දග්ධ වූවාහු නුයි - ‘ගන්‍ථා තස්ස න විජ්ජන්ති’ යනු වේ.
අතරී සො විසත්තිකං - ‘විසත්තිකා’ යී තෘෂ්ණාව කියනු ලබයි, යම් රාගයෙක් සංරාගයෙක්... අභිධ්‍යාවක් ලොභඅකුශලමූලයෙක් වේ ද, එය යි. විසත්තිකා - කිනම් අරුතෙකින් ‘විසත්තිකා’ වූ ද යත්? පතළ වූවා නුයි විසත්තිකා යැ, විශාලවූවා නුයි විසත්තිකා යැ, විස්තෘත නුයි විසත්තිකා යැ, විෂමවූවා නුයි විසත්තිකා යැ, ඉවසා නුයි විසත්තිකා යැ, (සිත) වෙසෙසින් හකුළුවා නුයි විසත්තිකා යැ, විසංවාදන කරන්නී නුයි විසත්තිකා යැ, විෂ (=දුඃඛ හේතු කර්‍ම)යට මූල වූවා නුයි විසත්තිකා යැ, විෂඵල ඇත් නුයි විසත්තිකා යැ, විෂපරිභොග ඇත් නුයි විසත්තිකා යැ; තවද විශාල වූ ඒ තෘෂ්ණාව රූපයෙහි ශබ්ද - ගන්‍ධ - රස - ස්ප්‍රෂ්ටව්‍යයෙහි කුලයෙහි ගණයෙහි ආවාසයෙහි... දෘෂ්ටශ්‍රැතමුතවිඥාතව්‍ය ධර්‍මයන්හි පතළා විස්තාන වූවා නුයි විසත්තිකා නමු. අතරී සො විසත්තිකං- හෙතෙම මේ විසත්තිකා නම් තෘෂ්ණාව තරණය කෙළේ ය, උත්තරණය ප්‍රතරණය සමතික්‍රමණය කෙළේ ය, ඉක්මැ වූයේ නුයි ‘අතරී සො විසත්තිකං’ යනු වේ.
එයින් වදාළහ බුදුහු:
“තං බ්‍රෑමි උපසන්තොති -පෙ- අතරී සො විසත්තිකං” යී.
10. 11.
ඒ ක්‍ෂීණාස්‍රව හට පුත්‍රයෝ ද (ගෙරිසරක් ආදි) පසුවර්‍ගයෝ ද නැත්තාහු ය, කෙත් වත් ද නැත. තවද ඔහු කෙරෙහි ශාශ්වතදෘෂ්ටිය හෝ උච්ඡේදදෘෂ්ටිය හෝ නො ලැබේ.
න තස්ස පුත්තා පසවො ඛෙත්තං වත්‍ථුඤ්ච විජ්ජති - ‘න’ යනු: ප්‍රතික්‍ෂේප යැ; තස්ස - අර්‍හත් ක්‍ෂීණාස්‍රව හට; පුත්තා - පුත්‍රයෝ සතර දෙනෙකි: අත්‍රජපුත්‍ර යැ, ක්‍ෂෙත්‍රජපුත්‍ර යැ, දින්නකපුත්‍ර යැ, අන්තේවාසික පුත්‍ර යැයි. පසවො - එළුතිරෙළු යැ, කුකුළුහූරු යැ, ඇත්අස්ගවවෙළඹහු යි. ඛෙත්තං - හැල්කෙත යැ, වීකෙත යැ, මුංකෙත යැ, මෑකෙත යැ, යවකෙත යැ, තිරිඟුකෙත යැ, තලකෙත යි. වත්‍ථුං - ගෙවතු යැ, කොටුවතු යැ, පෙරවතු යැ, පසුවතු යැ, අරම්වතු යැ, වෙහෙරවතු යි. න තස්ස පුත්තා පසවො ඛෙත්තං වත්‍ථුඤ්ච විජ්ජති - ඔහුට පුත්‍රපරිග්‍රහයෙන් (=පුත්‍රයන් ගේ අයැතියෙක්) හෝ... නැත, නො වෙයි විද්‍යමාන නො වෙයි නො ලැබේ; (ඔහු විසින් පරිග්‍රහයෝ) ප්‍රහීණ කරන ලද්දාහු සිඳින ලද්දාහු සන්හිඳුණාහු දුරලන ලද්දාහු උපතට නො සුදුසු වූවාහු නුවණගින්නෙන් දවන ලද්දාහු නුයි. ‘න තස්ස පුත්තා පසවො ඛෙත්තං වත්‍ථුඤ්ච විජ්ජති’ යනු වේ.
අත්තා වා පි නිරත්තා වා න තස්මිං උපලබ්හති - අත්තා - ශාශ්වත දෘෂ්ටිය නැත; නිරත්තා - උච්ඡේදදෘෂ්ටිය නැත; ‘ආත්ම’යැ’යි ගතයුත්තෙක් නැත. ‘නිරාත්ම යැ’යි හළයුත්තෙක් නැත; යම් පුද්ගලයකුට (තෘෂ්ණාදි වශයෙන්) ගතයුත්තෙක් නැත් නම්, ඔහුට හළ යුත්තෙක් නැත, යමක් හට හළයුත්තෙක් නැත් නම්, ඔහුට ගතයුත්තෙක් නැත; ගැනීමත් හැරීමත් ඉක්මැ වූ රහත් තෙම වැඩීමත් පිරිහීමත් ඉක්මැවූයේ යැ. හෙතෙම වුසූ බඹසරවස් ඇත්තේ යැ, පුරුදු කළ චරණධර්‍ම ඇත්තේ යැ...ඔහුට ජාතිමරණසංසාරය පුනර්‍භවය නැත් නුයි ‘අත්තා වා’පි නිරත්තා වා න තස්මිං උපලබ්හති’ යනු වේ.
එයින් වදාළහ බුදුහු:
“න තස්ස පුත්තා පසවො -පෙ- න තස්මිං උපලබ්හති” යී.
10. 12.
යම් (රාගාදි) දොසකින් (දිව්‍යමනුෂ්‍යාදි) පාථග්ජනයෝ ද, (ශාසනයෙන් පිටත්හි) මහණබමුණෝ ද, (ඒ රහත්හු රාගරක්ත යැ යනාදීන්) කියන්නාහු නම්, ඒ දෝෂය ඔහු විසින් නො පෙරටු කරන ලද්දේය. එහෙයින් (හෙතෙම) නින්දාවචනයන්හි කම්පා නො වේ.
යෙන නං වජ්ජුං පුථුජ්ජනා අථො සමණබ්‍රාහ්මණා - ‘පුථුජ්ජනා යනු: බොහෝ කෙලෙසුන් උපදවත් නුයි පුහුදුනුවෝ යැ, බොහෝ වූ නො නැසූ සත්කායදෘෂ්ටි ඇත්තාහු නුයි පුහුදුනුවෝ යැ, බොහෝ ශාස්තෲන්ගේ මුහුණු බලන්නාහු නුයි පුහුදුනුවෝ යැ, බොහෝ වූ නිරයාදි සියලු ගතිවලින් නො නැගීසිටියාහු නුයි පුහුදුනුවෝ යැ, බොහෝ වූ නානා කර්‍මාභිසංස්කාරයන් රැස් කෙරෙත් නුයි පුහුදුනුවෝ යැ, බොහෝ වූ නානා ඕඝයන් ගෙන් වහනය කරනු ලැබෙත් නුයි පුහුදුනුවෝ යැ, බොහෝ වූ නානා සන්තාපයන් ගෙන් තැවෙත් නුයි පුහුදුනුවෝ යැ, බොහෝ වූ නානා පරිදාහයන් ගෙන් දැවෙත් නුයි පුහුදුනුවෝ යැ, බොහෝ වූ පස්කම්ගුණයන්හි ඇලුණාහු ගිජුවූවාහු ගෙතුණාහු මුසපත් වූවාහු ඇතුළත් වූවාහු ලග්න වූවාහු ලග්නිත වූවාහු පරිරුද්ධ වූවාහු නුයි පුහුදුනුවෝ යැ, බොහෝ වූ පඤ්චනීවරණයන්ගෙන් ආවෘත - නිවෘත - අපවෘත - පිහිත - ප්‍රතිච්ඡන්න - අධෝමුඛ වූවාහු නුයි - පුහුදුනුවෝ යි. සමණා - මේ ශාසනයෙන් බැහැර යම් කිසි පැවිද්දකට පැමිණියාහු පැවිදි වූවාහු යැ. බ්‍රාහ්මණා - යම් කිසි භොවාදි බමුණෝ යැ. යෙන නං වජ්ජුං පුථුජ්ජනා අථො සමණබ්‍රාහ්මණාති - පෘථග්ජනයෝ යම් රාගයකින් (නුගුණ) කියන්නාහු නම්, යම් ද්වේෂයකින් - මොහයකින් - මානයකින් - දෘෂ්ටියකින් - ඖද්ධත්‍යයකින් - විචිකිත්සාවකින් - යම් අනුශයධර්‍මයන්ගෙන් රාගරක්ත යැ හෝ ද්විෂ්ට යැ - මූඪ යැ - විනිබද්ධ යැ - පරාමෘෂ්ට යැ - වික්‍ෂේපයට ගියේ යැ - අනිෂ්ඨාවට ගියේ යැ හෝ තදබවට ගියේ යැයි හෝ කියන්නාහු නම්, ඒ අභිසංස්කාරයෝ ප්‍රහීණ කරන ලද්දාහුය, අභිසංස්කාරයන් ප්‍රහීණ කළ හෙයින් යම් හේතුවකින් ඔහු නෙරිසත් වන්නේ යැයි හෝ තිරිසන් යෝනි ඇත්තෙකැයි හෝ ප්‍රෙතගති ඇත්තෙකැයි හෝ මිනිසෙකැයි හෝ දෙවියෙකැයි හෝ රූපී යැ හෝ අරූපී යැ හෝ සංඥී යැ හෝ අසංඥී යැ හෝ නෛවසංඥීනාසංඥී යැයි හෝ එක්තරා ගතියකින් කියන්නාහු නම්, යම් හෙයකින් කියන්නාහු නම්, බණන්නාහු නම්, දක්වන්නාහු නම්, වහරන්නාහු නම්, ඒ හේතුව නැත, ප්‍රත්‍යය නැත, කාරණය නැත් නුයි ‘යෙන නං වජ්ජුං පුථුජ්ජනා අථො සමණබ්‍රාහ්මණා’ යනු වේ.
තං තස්ස අපුරෙක්ඛතං - ‘තස්ස’ යනු ඒ අර්‍හත් ක්‍ෂීණාස්‍රවයා විසින් පුරෙක්ඛාරා - තෘෂ්ණාපුරස්කාරය දෘෂ්ටිපුරස්කාරය දැයි පෙරටු කිරීම් දෙකෙකි... ඔහු විසින් තෘෂ්ණාපුරස්කාරය නසන ලද්දේය, දෘෂ්ටිපුරස්කාරය දුරලන ලද්දේය. තෘෂ්ණාපුරස්කාරය නැසූ හෙයින් දෘෂ්ටිපුරස්කාරය දුරලූ හෙයින් තෘෂ්ණාව හෝ දෘෂ්ටිය හෝ පෙරටු කොට නො හැසිරෙයි, තෘෂ්ණාධ්වජ ඇතියේ - තෘෂ්ණා කෙහෙලි ඇතියේ - තෘෂ්ණාධිපති බව ඇත්තේ - දෘෂ්ටිධ්වජ ඇතියේ - දෘෂ්ටිකෙතු ඇතියේ - දෘෂ්ට්‍යධිපතිභාවය ඇත්තේ නො හැසිරෙයි, තෘෂ්ණාව විසින් හෝ දෘෂ්ටිය විසින් හෝ පිරිවරන ලදුයේ නො හැසිරේ නුයි ‘තං තස්ස අපුරෙක්ඛතං’ යනු වේ.
තස්මා වාදෙසු නෙජති - ‘තස්මා’ යනු: එහෙයින් එකරුණෙන් ඒ හේතුයෙන් ඒ ප්‍රත්‍යයෙන් ඒ නිදානයෙන්; වාදෙසු - උපවාදයන්හි නින්‍දායෙන් ගර්‍හායෙන් අකීර්‍තතියෙන් නො කැපෙයි නො කම්පා වෙයි නො සැලෙයි නො වෙවුලයි ඉතා නො වෙවුලයි පුනපුනා නො වෙවුලා නුයි ‘තස්මා වාදෙසු නෙජති’ යනු වේ.
එයින් වදාළහ බුදුහු:
“යෙන නං වජුජුං -පෙ- තස්මා වාදෙසු නෙජති” යී.
10. 13.
පහවූ තෘෂ්ණා ඇති නො මසුරු වූ ක්‍ෂීණාස්‍රව මුනි තෙම විශිෂ්ටයන් කෙරෙහි (තමා ඇතුළත් කොට අතිමාන වශයෙන්) නො කියයි, සමානයන් කෙරෙහි ලා නො කියයි, හීනයන් කෙරෙහි ලා නො කියයි. තෘෂ්ණාදෘෂ්ටිකල්ප රහිත වූයේ කල්පනයට නො පැමිණේ.
වීතගෙධො අමච්ඡරී - ‘ගේධ’ යයි තෘෂ්ණාව කියනු ලබයි; යම් රාගයෙක් සංරාගයෙක්...අභිධ්‍යාවක් ලෝභ අකුශලමූලයෙක් වේ ද එය යි. යමක්හු විසින් තෙල ගේධය නසන ලද ද සිඳින ලද ද සන්හිඳුවන ලද ද දුරලන ලද ද උපතට නුසුදුසු කරන ලද ද නුවණගින්නෙන් දවන ලද ද හෙතෙම ‘වීතගේධ’ යයි කියනු ලැබේ. හෙතෙම රූපයෙහි අගිද්ධ යැ... දෘෂ්ටශ්‍රැතමුතවිඥාතව්‍ය ධර්‍මයන්හි නො ගිජු යැ, නො ගෙතුණේ යැ, නො මුසපත් වූයේ යැ, නො බැසගත්තේ යැ, වීතගේධ යැ විගත - ත්‍යක්ත - මුක්ත - ප්‍රහීණ - ප්‍රතිනිඍෂ්ටගෙධ යැ, තෘෂ්ණා රහිත වූයේ...ශ්‍රේෂ්ඨ වූ සිතින් යුක්ත ව වෙසේ නුයි ‘වීතගෙධො’ යනු වේ. අමච්ඡරී - ‘මච්ඡරිය’ නම්: ආවාස - කුල - ලාභ - වර්‍ණ - ධර්‍මමාත්සර්‍ය්‍ය යැයි මාත්සර්‍ය්‍ය පසෙකි. මෙබඳු වූ යම් මසුරු බවෙක්... ග්‍රාහයෙක් වේ නම්, මේ මච්ඡරිය යී කියනු ලැබෙයි. යමක්හු විසින් තෙල මාත්සර්‍ය්‍යය නසන ලද ද සිඳින ලද ද සන්හිඳුවන ලද ද දුරලන ලද ද උපතට නුසුදුසු කරන ලද ද නුවණගින්නෙන් නසන ලද ද හෙතෙම, ‘අමච්ඡරී’ යයි කියනු ලැබේ නුයි ‘වීතගෙධො අමච්ඡරී’ යනු වේ.
න උස්සෙසු වදතෙ මුනි න සමෙසු න ඔමෙසු - ‘මුනි’ යනු ‘මොන’යී නුවණ කියනු ලැබෙයි... ‘මම් ශ්‍රෙෂ්ඨයෙමී’ හෝ ‘මම් සදෘශයෙමී’ හෝ ‘මම් හීනයෙමී’ හෝ නො පවසයි නො කියයි නො බෙණෙයි නො දක්වයි, නො වහරා නුයි ‘න උස්සෙසු වදතෙ මුනි න සමෙසු න ඔමෙසු’ යනු වේ.
කප්පං නෙති අකප්පියො - ‘කප්ප නම්: තෘෂ්ණාකල්ප යැ දෘෂ්ටිකල්ප යැයි කල්පනයෝ දෙදෙනෙකි. ඔහු විසින් තෘෂ්ණාකල්පය ප්‍රහීණ යැ, දෘෂ්ටිකල්පය ප්‍රතිනිඍෂ්ට යැ, තෘෂ්ණාකල්පය ප්‍රහීණ බැවින් දෘෂ්ටිකල්පය ප්‍රතිනිඍෂ්ට බැවින් තෘෂ්ණාකල්පයට හෝ දෘෂ්ටිකල්පයට හෝ නො පැමිණෙයි නො එළඹෙයි නො ගනී නො පරාමර්‍ෂ කෙරෙයි නො පිවිසේ නුයි ‘කප්පං නෙති’ යනු වේ. අකප්පියො - ‘කප්පා’ යනු කල්පයෝ දෙදෙනෙකි: තෘෂ්ණාකල්පය දෘෂ්ටිකල්පය දැයි... තෘෂ්ණාකල්පය ප්‍රහීණ හෙයින් දෘෂ්ටිකල්පය ප්‍රතිනිඍෂ්ට හෙයින් තෘෂ්ණාකල්පය හෝ දෘෂ්ටිකල්පය හෝ කල්පනය නො කෙරෙයි, නූපදවයි, වෙසෙසින් නූපදවයි, නො නිපදවයි, වෙසෙසින් නො නිපදවා නුයි ‘කප්පං නෙති අපක්පියො’ යනු වේ.
එයින් වදාළහ බුදුහු:
“වීතගෙධො අමච්ඡරී -පෙ- කප්පං නෙති අපක්පියො” යී
10. 14.
ලොවැ යම් ක්‍ෂීණාස්‍රවයක්හට මාගේ යැයි ගන්නා ලද දැයෙක් නැත් ද, යළි අවිද්‍යමාන බැවින් ශෝක නො කෙරේ ද, සියලු ධර්‍මයන්හි ඡන්දාදිවශයෙන් අගතියට නො යේ ද, ඒ රහත් තෙම ඒකාන්තයෙන් ‘ශාන්තයෙකැ’යි කියනු ලැබේ.
යස්ස ලෝකේ සකං නත්‍ථි - ‘යස්ස’ යනු: අර්‍හත් ක්‍ෂීණාස්‍රවයක්හට සකං නත්‍ථි - යමක්හට ‘මේ මාගේ හෝ යැ, මේ මෙරමාගේ හෝ යැ’යි ගන්නා ලද පරාමර්‍ශනය කළ අභිනිවේශ කළ ඇතුළත් වැ සිටි බැසගන්නා ලද කිසි රූපගතයෙක් වේදනා-සඤ්ඤා - සඞ්ඛාර - විඤ්ඤාණ - ගතයෙක් නැත් ද අවිද්‍යමාන ද... නුවණගින්නෙන් දවන ලද නුයි ‘යස්ස ලෝකේ සකං නත්‍ථි’ යනු වේ.
අසතා ච න සොචති - ‘විපරිණත (-වෙනස් වූ) වස්තුවට හෝ ශෝක නො කෙරෙයි, වස්තුව වෙනස් වූ කල්හි හෝ ශෝක නො කෙරෙයි, මාගේ ඇස වෙනස් වී යැයි ශෝක නො කෙරෙයි, මාගේ කන - නැහැය - දිව - කය - මනස - රූප - ශබ්ද - ගන්‍ධ - රස - ස්ප්‍රෂ්ටව්‍යයෝ - කුලය - ගණයා - ආවාසය - ලාභය - යශස - ප්‍රශංසාව - සුඛය - චීවර - පිණ්ඩපාත - සේනාසන - ගිලානපච්චයභෙසජ්ජපරික්ඛාර - මවු - පියා - බෑයා - බූනැණිය - පුත්‍රයා - දුහිතාව - මිත්‍රයෝ - සහායයෝ - නෑයෝ - මාගේ සහලේනෑයෝ වෙනස් වූහ’යි ශෝක නො කෙරෙයි, නො වෙහෙසෙයි, නො වැලැපෙයි, ළෙහි පැහැර නො හඬයි, සම්මෝහයට නො පැමිණේ නුයි මෙසේ ත් - අසතා ච න සොචති’ යනු වේ. නොහොත් අසාත (-අමධුර) වූ දුඃඛවෙදනාවෙන් ස්පර්‍ශ කරන ලදුයේ මඩනා ලදුයේ පිවිසියේ සමන්‍විත වූයේ ශෝක නො කෙරෙයි... සම්මෝහයට නො පැමිණෙයි, චක්‍ෂුරෝගයෙන් ස්පර්‍ශ කරන ලදුයේ පීඩිත වූයේ සමවහිත වූයේ සමන්‍විත වූයේ ශෝක නො කෙරෙයි... සම්මෝහයට නො පැමිණෙයි, ශ්‍රොතරොගයෙන් - ඝ්‍රාණරොගයෙන් - ජිහ්වාරොගයෙන් - කායරොගයෙන් - ශීර්‍ෂරොගයෙන් කර්‍ණරෝගයෙන් - මුඛරොගයෙන් - දන්තරොගයෙන් - කාශයෙන් - ශ්වාසයෙන් - පීනසයෙන් - දාහයෙන් - ජ්වරයෙන් - කුක්‍ෂිරොගයෙන් - මූර්ඡායෙන් - අතිසාරයෙන් - ආමශූලයෙන් - වීරෙචනයෙන් - කුෂ්ටයෙන් - ගණ්ඩයෙන් - කිලාසයෙන් - ශොෂයෙන් - අපස්මාරයෙන් - දද්‍රැයෙන් - කණ්ඩුතියෙන් - මහාකුෂ්ටයෙන් - නියපහරින් - අතුල්පතුල් පැළීමෙන් - රත්පිතින් - මධුමෙහයෙන් - අර්ශසින් - පොළයෙන් - භගන්දරයෙන් - පිත්තරෝගයෙන් - ශෙලෂ්මරොගයෙන් - වාතරෝගයෙන් - සාන්නිපාතිකරොගයෙන් - ඍතුවිපර්‍ය්‍යාසයෙන් උපන් රෝගයෙන් - විෂමවිහරණයෙන් උපන් රෝගයෙන් - උපක්‍රමයෙන් උපන් රෝගයෙන් - කර්‍මවිපාකජ ආබාධයෙන් - සීතයෙන් - උෂ්ණයෙන් - සයින් - පවසින් - මැසිමදුරු වා අව් දිග්දෑ පහසින් ස්පර්‍ශ කරන ලදුයේ පීඩිත වූයේ පිවිසියේ සමන්‍විත වූයේ ශෝක නො කෙරෙයි, නො වෙහෙසෙයි, නො වැලැපෙයි, ළෙහි පැහැර නො හඬයි, සම්මෝහයට නො පැමිණේ නුයි මෙසේත් - ‘අසතා ච න සොචති’ යනු වේ.
නොහොත් නැත්තාවූ අවිද්‍යමාන වූ නොලැබෙන්නාවූ වස්තුවෙහි මට ඒදෙය ඒකාන්තයෙන් වූයේ ය, ඒ පෙර උපන් දෙය දැන් මට නැත, යමක් මට වන්නේ නම්, මම් එය ඒකාන්තයෙන් නො ලබමී’ ශෝක නො කෙරෙයි, නො වෙහෙසෙයි, නො වැළැපෙයි, ළෙහි අත් ගසා නො හඬයි, බලවත් මෝහයට නො පැමිණේ නුයි මෙසේත් - ‘අසතා ච න සොචති’ යනු වේ.
ධම්මේසු ච න ගච්ඡති - ඡන්‍දයෙන් අගතියට නො යෙයි, ද්වේෂයෙන් අගතියට නො යෙයි, මෝහයෙන් අගතියට නො යෙයි, භයින් අගතියට නො යෙයි, රාගවශයෙන් නො යෙයි, ද්වෙෂවශයෙන් - මොහවශයෙන් - මානවශයෙන් - දෘෂ්ටිවශයෙන් - ඖද්ධත්‍යවශයෙන් - විචිකිත්සා වශයෙන් - අනුශය වශයෙන් නො යෙයි, ව්‍යග්‍ර වූ ධර්‍මයන් විසින් නො ද යවනු ලැබෙයි, පමුණුවනු ලැබෙයි, වහනය කරනු ලැබෙයි, හරිනු ලැබේ නුයි ‘ධම්මේසු ච න ගච්ඡති’ යනු වේ.
ස වෙ සන්තොති වුච්චති - හෙතෙම ශාන්ත යැ උපශාන්ත යැ ව්‍යුපශාන්ත හැ නිවුණේ යැ පහවූ ක්ලේශදරථ ඇත්තේ යැ’යි වුච්චති පවසනු ලැබෙයි කියනු ලැබෙයි බණනු ලැබෙයි, දක්වනු ලැබෙයි ව්‍යවහාර කරනු ලැබේ නුයි ‘ස වෙ සන්තොති වුච්චති’ යනු වේ.
එයින් වදාළහ බුදුහු:
“යස්ස ලෝකේ -පෙ- ස වෙ සන්තොති වුච්චති” යී.
දසවැනි ‘පුරාභේද’ සූත්‍ර නිර්‍දෙශය යි.
11.
කලහවිවාදසූත්‍රනිර්දේශය
ඉක්බිති ‘කලහවිවාද’ සූත්‍රනිර්දේශය කියනු ලැබේ:
11. 1.
කලහයෝත් විවාදයෝත් කොතැනින් උපන්නාහු ද? පරිදේව ශෝකයෝ ද මාත්සර්‍ය්‍යයෝ ද මාන - අතිමානයෝ ද පිසුනු වචනයෝ ද යන ඒ (අටවැදෑරුම්) ක්ලෙශධර්‍මයෝ කොතැනින් උපන්නාහු ද ඒ අර්තථය වදාළ මැනවි.
කුතො පහූතා කලහා විවාදා - ‘කලහ’ නම්: එක් අයුරෙකින් කලහයැ. ‘විවාද’ නමුදු එය මැ යි, යමෙක් කලහය නම්, හේ විවාද යැ, යමෙක් විවාදය නම් හේ කලහ යයි, නොහොත් අන් අයුරෙකින් විවාදය කියනු ලැබෙයි: කලහයාගේ පූර්‍වභාගය විවාද යයි; රජහු ද රජුන් සමග විවාද කෙරෙති, ක්ෂිත්‍රියයෝ ද ක්ෂිත්‍රියයන් සමග විවාද කෙරෙති, බමුණෝ බමුණන් සමග විවාද කෙරෙති, ගැහැවියෝ ද ගැහැවියන් සමග විවාද කෙරෙති, මවු ද පුතු සමග විවාද කෙරෙයි, පුතා ද මව සමග විවාද කෙරෙයි, පියා ද පුතු සමග විවාද කෙරෙයි, පුතා ද පියහු සමග සමග විවාද කෙරෙයි, සොහොයුරා ද සොහොයුරු සමග විවාද කෙරෙයි, සොහොයුරා ද සොහොයුරිය සමග විවාද කෙරෙයි, සොහොයුරී ද සොහොයුරු සමග විවාද කෙරෙයි, යහළුවා ද යහළුවා සමග විවාද කෙරෙයි; මේ විවාදයයි.
කලහය කවරේ ද? ගිහිවැසියෝ දඬුවමෙහි යෙදුණාහු කයින් වචසින් කලහ කෙරෙති. පැවිද්දෝ ඇවැත් අවදනාහු කයින් වචසින් කලහ කෙරෙත්. මේ කලහ යයි.
කුතො පහූතා කලහා විවාදා - කලහයෝ ද විවාදයෝ ද කොතැනින් වූවාහුද කොයින් උපන්නාහු ද කොයින් හටගත්තාහු ද කොයින් නිපන්නාහු ද කොයින් වෙසෙසින් නිපන්නාහුද කොයින් පහළ වූවාහු ද කුමක් නිදාන කොට ඇත්තාහු ද කුමක් සමුදය කොට ඇත්තාහු ද කුමක් ජාති කොට ඇත්තාහු ද කුමක් ප්‍රභව කොට ඇත්තාහු දැයි කලහයාගේ ද විවාදයාගේ ද මූලය විචාරයි, හේතුව - නිදානය - සම්භවය - ප්‍රභවය - සමුත්ථානය - ආහාරය - ආලම්බනය - ප්‍රත්‍යය - සමුදය විචාරයි, වෙසෙයින් විචාරයි, ආයාචනය කෙරෙයි, කැමැති කරවයි, පහදවා නුයි ‘කුතො පහූතා කලහා විවාදා’ යනු වේ.
පරිදෙවසොකා සහමච්ඡරා ච - ‘පරිදේව’ නම්: නෑයන්ගේ විනාශයෙන් පහස්නා ලද්දහුගේ හෝ භොගවිනාශයෙන් හෝ රොගව්‍යසනයෙන් හෝ - ශීලව්‍යසනයෙන් හෝ - දෘෂ්ටිව්‍යසනයෙන් හෝ - එක්තරා ව්‍යසනයකින් හෝ යුක්ත වූවහුගේ එක්තරා දුඃඛහෙතුවකින් හෝ පහස්නා ලද්දාහුගේ නම කියා හැඬීමෙක් ගුණ කියා හැඬීමෙක් හඬන අයුරෙක් ගුණ කියා හඬන අයුරෙක් හඬන බවෙක් ගුණ කියා හඬන බවෙක් ප්‍රලාපයෙක් විප්‍රලාපයෙක් පුනපුනා ලපනයෙක් ලාලප්පනාකාරයෙක් ලාලප්පිත බවෙක් වේ එය යි. ‘සෝක’ නම්: ඥාති ව්‍යසනයෙන් හෝ පහස්නා ලද්දහුගේ භොග - රෝග - ශීල - දෘෂ්ටිව්‍යසනයෙන් හෝ පහස්නා ලද්දහුගේ එක්තරා ව්‍යසනයකින් හෝ යුක්ත වූවහුගේ එක්තරා දුඃඛහෙතුවකින් ස්පර්‍ශ කරන ලද්දහුගේ ශෝකයෙක් ශොකාකාරයෙක් ශෝක කළ බවෙක් අභ්‍යන්තර ශෝකයෙක් අභ්‍යන්තරයෙහි පරිශොකයෙක් අභ්‍යන්තරදාහයෙක් අභ්‍යන්තරපරිදාහයෙක් සිත දැවෙන අයුරෙක් දොම්නසෙක් ශෝක නමැති හුලෙක් වේ ද එයයි. ‘මච්ඡර’ නම්: ආවාසමාත්සර්‍ය්‍ය යැ කුල - ලාභ - වර්‍ණ - ධර්‍මමාත්සර්‍ය්‍යය යැයි මාත්සර්‍ය්‍ය පසෙකි. මෙබඳු වූ යම් මසුරු බවෙක් මසුරු ආකාරයෙක් මාත්සර්‍ය්‍යයෙන් යුක්ත බවෙක් සඟවනු කැමැති බවෙක් අනාර්‍ය්‍ය බවෙක් කටුකත්වයෙන් සිත හකුළුවන බවෙක් සිත හාත්පසින් ගන්නා ලද බවෙක් වේ ද, මේ මාත්සර්‍ය්‍ය යි කියනු ලැබේ. තවද ස්කන්ධමාත්සර්‍ය්‍යය ද - ධාතු - ආයතන මාත්සර්‍ය්‍ය ද මාත්සර්‍ය්‍ය යැ; ග්‍රාහය මාත්සර්‍ය්‍ය යැයි කියනු ලැබේ නුයි ‘පරිදෙවසොකා සහමච්ඡරා ච’ යනු වේ.
මානාතිමාතා යහපෙසුතා ච - ‘මාන’ නම්: මේ ලොවැ එකෙක් ජාතියෙන් හෝ ගෝත්‍රයෙන් - කුලයෙන් - කුලපුත්‍රභාවයෙන් - වර්‍ණසෞන්‍දර්‍ය්‍යයෙන් - ධනයෙන් - අධ්‍යයනයෙන් - කර්‍මායතනයකින් - ශිල්පායතනයකින් විද්‍යාස්ථානයකින් - ශ්‍රැතයෙන් හෝ ප්‍රතිභානයෙන් හෝ එක්තරා වස්තුවකින් හෝ මානය උපදවයි. ‘අතිමාන’ නම්: මෙ ලොවැ එකෙක් ජාතියෙන් හෝ ගෝත්‍රයෙන් … එක්තරා වස්තුවකින් හෝ මෙරමා ඉක්මවා සිතයි.
‘පෙසුඤ්ඤ’ නම්: මේ ලොවැ එකෙක් පෛශුන්‍යවචන ඇත්තේ වෙයි: මෙතැනින් අසා මුන්ගේ භේදය පිණිස එතැන කියන්නේ වෙයි, නොහොත් එතැනින් අසා උන්ගේ බිඳීම පිණිස මුන්ට කියන්නේ වෙයි; මෙසේ සමග වූවන් හෝ බිඳිනුයේ භින්න වූවන් හෝ භේදය දැඩි කරනුයේ වර්‍ගය (=අසමගිය) සතුටු වූයේ වර්‍ග වූවන් කෙරෙහි ඇලුණේ වර්‍ග වූවන් දැන සතුටු වනුයේ වර්‍ග කරන බස් කියනුයේ වෙයි. මේ පෙසුඤ්ඤ’ යයි කියනු ලැබේ. තවද දෙ කරුණෙකින් පිසුනුබස් එළවා කියයි: ප්‍රියකාම්‍යතායෙන් හෝ භෙදාධිප්‍රාය ඇත්තේ හෝ යැ. කෙසේ ප්‍රියකාම්‍යතායෙන් පිසුනු කියා ද? යත්: ‘මොහුට ප්‍රියයෙම් වෙමි, මන වඩනුයෙම් වෙමි, විස්වැසි වෙමි , ඇතුළත් වූයෙම් වෙමි, යහළු වෙමි, මෙසේ ප්‍රිය කැමති බැවින් පිසිනු කියයි. කෙසේ භෙදාධිප්‍රාය ඇත්තේ පිසුනු කියා ද? යත්: ‘කෙසේ නම් මොහු නානා වන්නාහු ද, වෙන් වන්නාහු ද වර්‍ග වන්නාහු ද, විවිධ වන්නාහු ද, දෙ කඩවන්නාහු ද, දෙපක්ෂ වන්නාහු ද, බිඳෙන්නාහු ද, සමගම නොවන්නාහු ද, දුකසේ නො සුවසේ වසන්නාහු දැ’ යි මෙසේ භේද කරන සිත් ඇතියේ පිසුනු එළවා කියා නුයි ‘මානාතිමානා සහපෙසුනා ච’ යනු වේ.
කුතො පහූතා තෙ තදිඞ්ඝ බ්‍රෑහි - කලහය ද විවාදය ද පරිදේවය ද ශෝකය ද මාත්සර්‍ය්‍යය ද මානය ද අතිමානය ද පෛශුන්‍යය ද යන මේ අටකෙලෙස්හු කොතැනින් වූවාහු ද? කොහි උපන්නාහු ද? කොහි හටගත්තාහු ද? කොහි උපන්නාහු ද? කොහි වෙසෙසින් උපන්නාහු ද? කොහි පහළ වූවාහු ද? කුමක් නිදාන - සමුදය - ජාති - ප්‍රභව කොට ඇත්තාහු දැ’ යි මේ අටකෙලෙසුන්ගේ මූලය විචාරයි, හේතුව - නිදානය සම්භවය - සමුත්ථානය - ආහාරය - ආලම්බනය - ප්‍රත්‍යය විචාරයි, වෙසෙසින් විචාරයි, යාඥා කෙරෙයි, අධ්‍යෙෂණය කෙරෙයි (කියනු සඳහා) පහදවා නුයි ‘කුතො පහූතා තෙ’ යනු වේ. තදිඞ්ඝ බ්‍රෑහි - වදාළ මැනව, ප්‍රකාශ කළ මැනව, දේශනා කළ මැනව, පනවනු මැනව, විස්තරයෙන් තබනු මැනව, විවරණ - විභජන කරනු මැනව, ප්‍රකට කරනු මැනව, ප්‍රකාශ කරනු මැනවැයි ‘කුතො පහූතා තෙ තදීඞ්ඝ බ්‍රෑහි’ යනු වේ.
එයින් කීහ ඒ නිර්මිත බුදුහු:
“කුතො පහූතා කලහා විවාදා - පෙ - තෙ තදිඞ්ඝ බ්‍රෑහි” යි.
11. 2.
කලහයෝ ද විවාදයෝ ද පරිදේව - ශෝකයෝ ද මාත්සර්‍ය්‍යයෝ ද මානාතිමානයෝ ද පෛශුනායෝ ප්‍රියවස්තූහු කෙරෙන් උපන්නාහුය. කලහයෝ ද විවාදයෝ ද (පරිදේව - ශෝක - මාන - අතිමාන - පෛශුන්‍යයෝ ද) මාත්සර්‍ය්‍යයෙහි යෙදුණාහු වෙති. විවාද උපන් කල්හි පිසුනු වචනයෝ වෙත්.
පියප්පහූතා කලහා විවාදා පරිදෙවසොකා සහමච්ඡාර ච - ‘පියා’ යනු: ප්‍රියයෝ දෙදෙනෙකි: සත්‍වයෝ ද සංස්කාරයෝ දැයි: කවර සත්තවයෝ ප්‍රියයෝ ද යත්? මෙලොවැ මවු හෝ පියා හෝ බෑයා හෝ බූනැණිය හෝ පුතා හෝ දූ හෝ මිතුරෝ හෝ යහළුවෝ හෝ නෑයෝ හෝ ඔහුට වැඩ කැමැති වූ හිත කැමැති වූ සුව කැමැති වූ යොගක්ෂෙමය කැමැති වූ යම් කෙනෙක් වෙත් ද මේ සත්තවයෝ ප්‍රියයෝ වෙත්. කවර සංස්කාරයෝ ප්‍රියයෝ ද යත්? මනවඩන රූපයෝ මනවඩන ශබ්දයෝ මනවඩන ගන්‍ධයෝ මනවඩන රසයෝ මනවඩන ස්ප්‍රෂ්ටව්‍යයෝ යැ, මේ සංස්කාරයෝ ප්‍රිය වෙත්. ප්‍රියවස්තුව ‘අසිඳ ගනිති’ සැක ඇත්තාහු ද කලහ කෙරෙති, අසිඳුනා කල්හි දු කලහ කෙරෙති, අසිඳගත් කල්හි දු කලහ කෙරෙති, ප්‍රියවස්තුව ‘පෙරැළෙති’ සැක ඇත්තාහු ද - පෙරැළෙන කල්හි දු පෙරැළුණු කල්හි දු කලහ කෙරෙති, ප්‍රියවස්තුව ‘අසිඳ ගනිති’ සැක ඇත්තාහු ද විවාද කෙරෙති, අසිඳුනා කල්හි දු - අසිඳගත් කල්හි දු - ප්‍රියවස්තුව ‘පෙරැළෙති’ සැක ඇත්තාහු ද - පෙරැළෙන කල්හි දු පෙරැළුණු කල්හි දු විවාද කෙරෙති, ප්‍රියවස්තුව ‘අසිඳ ගනිති’ සැක ඇත්තාහු ද පරිදේවනා කෙරෙති, අසිඳුනා කල්හි දු අසිඳගත් කල්හි දු, ප්‍රියවස්තුව ‘පෙරැළෙති’ සැක ඇත්තාහු ද - පෙරැළෙන කල්හි දු පෙරැළුණු කල්හි දු පරිදේවනා කෙරෙත්, ප්‍රියවස්තුව ‘අසිඳ ගනිති’ සැක ඇත්තාහු ද ශෝක කෙරෙති, අසිඳ ගන්නා කල්හි දු - අසිඳගත් කල්හි දු - ප්‍රියවස්තුව ‘පෙරැළෙති’ සැක ඇත්තාහු ද - පෙරැළෙන කල්හි දු පෙරැළුණු කල්හි දු ශෝක කෙරෙත්. ප්‍රියවස්තුව රකිති, ගෝපනය කෙරෙත්, අයත් කෙරෙති, මමායන කෙරෙති, මසුරු කෙරෙත්.
මානාතිමානා සහපෙසුනා ච - ප්‍රියවස්තුව නිසා මානය උපදවති ප්‍රියවස්තුව නිසා අතිමානය උපදවත්. කිසෙයින් ප්‍රියවස්තුව නිසා මානය උපදවති? යත්: ‘අපි මනවඩන රූප ශබ්ද ගන්‍ධ රස ස්ප්‍රෂ්ටව්‍යයන් ලබන සුල්ලම්හ එහෙත් මේ අන්‍යයෝ මනවඩන රූප ශබ්ද ගන්‍ධ රස ස්ප්‍රෂ්ටව්‍යයන් නො ලබන සුල්ලහ’ යි මෙසේ ප්‍රියවස්තුව නිසා මානය උපදවත්. කෙසේ ප්‍රියවස්තුව නිසා අතිමානය උපදවති? යත් ‘අපි මනවඩන රූප ශබ්ද ගන්‍ධ රස ස්ප්‍රෂ්ටව්‍යයන් ලබන සුල්ලම්හ, මේ අන්‍යයෝ වැලිත් මනවඩන රූප ශබ්ද ගන්‍ධ රස ස්ප්‍රෂ්ටව්‍යයන් නො ලබන සුල්ලහ’ යි මෙසේ ප්‍රියවස්තුව නිසා අතිමානය උපදවත්.
පෙසුඤඤං - මෙහි එකෙක් පිසුනුබස් කියනුයේ වෙයි: මෙතැනින් අසා මොවුන්ගේ භේදය පිණිස එතැන කියන්නේ වෙයි. මෙසේ බිඳුවන අදහස් ඇතියේ පිසුනුබස් එළවා කියා නුයි ‘මානාතිමානා සහපෙසුනා ච’ යනු වේ.
මචෙඡරයුතතා කලහා විවාදා - කලහය ද විවාදය ද පරිදේවය ද ශෝකය ද මානය ද අතිමානය ද පෛශුන්‍යය ද යන සප්ත ක්ලේශයෝ මාත්සර්‍ය්‍යයෙහි යෙදුණාහු අතිශයින් යෙදුණාහු හාත්පසින් යෙදුණාහු වෙසෙසින් යෙදුණාහු නුයි ‘මචෙඡරයුතතා කලහා විවාදා’ යනු වේ.
විවාදජාතෙසු ච පෙසුනාති - විවාදය උපන් කල්හි හටගත් කල්හි නිපන් කල්හි වෙසෙසින් නිපන් කල්හි පහළ වූ කල්හි පිසුනුබස් එළවා කියති: මෙතැනින් අසා මොවුන්ගේ භේදය පිණිස එතැන කියති, එතැනින් හෝ අසා ඔවුන්ගේභෙදය පිණිස මොවුන්ට කියති: මෙසේ සමඟ වූවන් හෝ බිඳින්නාහු භේද වූවන්ගේ හෝ භේදය දැඩි කරන්නාහු වර්‍ගය කැමැති වූවාහු වර්‍ග වීමෙහි ඇලුණාහු වර්‍ග වීමට සතුටු වන්නාහු වර්‍ග කරන බස් කියන්නාහු වෙත්. මෙ ‘පෙසුඤ්ඤ’යි කියනු ලැබෙයි. තවද දෙකරුණෙකින් පිසුනු කියති: ප්‍රියකාම්‍යතායෙන් භෙදායිප්‍රායයෙත් හෝ යැ. කිසෙයින් ප්‍රියකාම්‍යතායෙන් පිසුනු කියති ? යත්: මොහුට ප්‍රිය වම්හ. මනාප වම්හ, විස්වැසි වම්හ, ආභ්‍යන්තරික වම්හ, සුහෘද් වම්හ’යි මෙසේ ප්‍රියකාම්‍යතායෙන් පෛශුන්‍යවචන කියත්. කිසෙයින් භෙදායිප්‍රාය ඇත්තාහු පිසුනුබස් එළවා කියති යත්? ‘කෙසේ නම් මොහු නානා වන්නාහු ද වෙන් වන්නාහු ද වර්‍ග වන්නාහු ද ද්විධා වන්නාහු ද දෙකඩ වන්නාහු ද දෙ පක්‍ෂ වන්නාහු ද බිඳෙන්නාහු ද සමාගම් නො වන්නාහු ද දුකසේ නො සුවසේ වාසය කරන්නාහු දැ”යි මෙසේ භෙදාධිප්‍රායයෙන් පෛශුන්‍ය කියත් නුයි ‘විවාදජාතෙසු ච පෙසුතාති’ යනු වේ.
එයින් වදාළහ. බුදුහු:
“පියප්පහූතා - පෙ - විවාදජාතෙසු ච පෙසුනාති” යි.
11. 3.
ලෙවැ ප්‍රියවස්තූහු කොයින් උපන්නාහු ද ? නොහොත් කුමක් හේතු කොට ඇත්තාහු ද ? තවද ලොවැ ක්‍ෂත්‍රියාදි යම් කෙනෙක් ලෝභය හේතුකොටගෙන හැසිරෙත් නම්, (ඒ ලෝභය) කුමක් හේතු කොට ඇත්තේ ද? ආශාවත් (ඒ ආශවගේ) සමෘද්ධියත් කොයින් උපන්නාහු ද ? (කුමක් නිදාන කොට ඇත්තාහු ද ?) යම් ධර්‍ම කෙනෙක් සත්‍වයා හට පරලොවැ පිහිට පිණිස වෙත් නම්, ඒ ධර්‍මයෝ කොයින් උපන්නාහු ද ? (කුමක් නිදාන කොට ඇත්තාහු ද ?)
පියා සු ලෝකස්මිං කුතොනිදානා- ප්‍රියවස්තූහු කුමක් නිදාන කොට ඇත්තාහු ද ? කොයින් උපන්නාහු ද ? කොයින් හටගත්තාහු ද ? කොයින් නිපන්නාහු ද ? කොයින් වෙසෙසින් නිපන්නාහු ද ? කොයින් පහළ වූවාහු ද ? කුමක් නිදාන කොට ඇත්තාහු ද ? කුමක් උත්පත්ති කොට ඇත්තාහු ද ? කුමක් ජාති කොට ඇත්තාහු ද ? කුමක් ප්‍රභව කොට ඇත්තාහු දැ යි ප්‍රියවස්තූන්ගේ මූලය විචාරති … සමුදය විචාරති, පුළුවුස්ති අයැදිති අධ්‍යෙෂණ කෙරෙති පහදවත් නුයි ‘පියා සු ලෝකස්මිං කුතො නිදානා’ යනු වේ.
යෙ චාපි ලොභා විවරනති ලෝකේ - ‘යෙ චා පි’ යනු: ක්‍ෂත්‍රියයෝ ද බ්‍රාහ්මණයෝ ද වෛශ්‍යයෝ ද ශුද්‍රයෝ ද ගෘහස්ථයෝ ද ප්‍රව්‍රජිතයෝ ද දෙවියෝ ද මනුෂ්‍යයෝ ද, ලොභා– යම් ලෝභයෙක් ලෝභ කරන අයුරෙක් ලෝභ කරන බවෙක් ඇලීමෙක් ඇලෙන අයුරෙක් ඇලුණු බවෙක් දැඩි ලොභයෙක් ලෝභ අකුශලමූලයෙක් වේ ද; විචරනති - හැසිරෙති වෙසෙති ඉරියවු පවත්වති පාලනය කෙරෙති යැපෙති යාපනය කෙරෙත්; ලෝකේ අපායලෝකයෙහි මනුෂ්‍ය - දෙව – ස්කන්‍ධ - ධාතු – අයතතලොකයෙහි නුයි ‘යෙ චාපි ලොභා විවරනති ලෝකේ’ යනු වේ.
ආසා ව නිටඨා ච කුතො නිදානා - ආශාව ත් ආශාසමෘදධිය ත් කුමන හෙතු ඇත්තාහු ද? කොයින් උපන්නාහු ද ? කොයින් හටගත්තාහු ද ? කොයින් නිපන්නාහු ද ? කොයින් නැඟුණාහු ද ? කොයින් පහළ වූවාහු ද ? කුමක් නිදාන කොට - කුමක් සමුදය කොට - කුමක් ජාති කොට - කුමක් ප්‍රභව කොට ඇත්තාහු දැ’යි ආශාවේ ත් ආශාසමෘද්ධිය ගේ ත් මූලය විචාරති...සමුදය විචාරති, පුළුවුස්ති අයැදිති අධ්‍යෙෂණ කෙරෙති පහදවත් නුයි ‘ආසා ව තිටඨා ච කුතොනිදානා’ යනු වේ.
යෙ සම්පරායාය නරස්ස හොන්ති - යම් ධර්‍ම කෙනෙක් සත්‍වයා හට (පරලොවට) පිහිට වෙත් ද ප්‍රතිෂ්ඨා වෙත් ද ත්‍රාණ වෙත් ද රක්‍ෂාස්ථාන වෙත් ද සරණ වෙත් ද. මිනිසා ඒ සමෘද්ධිය පරායණ කොට ඇත් නුයි -‘යෙ සම්පරායාය නරස්ස හොන්ති’ යනු වේ.
එසින් කීහ, ඒ නිර්මිත බුදුහු:
“පියා සු ලොකසමිං - පෙ - යෙ සම්පරායා නරස්ස හොන්ති” යි
11. 4.
ලොවැ ප්‍රියවස්තූහු කාමචඡන්දය නිදාන කොට ඇත්තාහුය, තවද ලොවැ, යම් කෙනෙක් ලෝභය හේතු කොට හැසිරෙත් ද, (ඔවුන්ගේ ඒ ලොහයත් කාමචඡන්දය හේතු කොට ඇත්තේය,) අශාව ත් ආශා සමෘද්ධියත් මේ කාමචඡන්දය ම නිදාන කොට ඇත්තාහු ය, යම් ධර්‍ම කෙනෙක් සත්ත්‍වයා හට පරලොව පිහිට පිණිස වෙත් නම් , (ඔහු ද කාමචඡන්දයෙන් ම උපන්නාහු යි.)
ඡන්දනිදානානි පියානි ලෝකේ - ‘ඡන්‍ද’ නම්: කාමවස්තූන් කෙරෙහි යම් කාමවඡන්දයෙක් කාමරාගයෙක් කාමනන්‍දියෙක් කාමතෘෂ්ණා යෙක් කාමස්නේහයෙක් කාමපරිදාහයෙක් කාමමූර්ඡායෙක් කාමයන්හි ගැලීමෙක් කාමෞඝයෙක් කාමයෝගයෙක් කාමොපාදානයෙක් කාමච්ඡන්‍දනීවරණයෙක් වේ ද, එයයි; තවද ඡන්‍ද පසෙකි:පර්‍ය්‍යෙෂණ (=සෙවීම) ඡන්‍දය, ප්‍රතිලාභච්ඡන්දය, පරිභොගච්ඡන්‍දය, සන්නිධි (=රැස්කිරීම) ඡන්‍දය, විසර්‍ජන (=වියදම් කිරීම) ඡන්‍දය දැයි; එහි පර්‍ය්‍යෙෂණඡන්දය කවරැ යත්? මෙහි එකෙක් කාමයෙන් මඩනා ලදුයේ මැ කැමැති වූයේ හටගත් ඡන්‍දය ඇත්තේ රූපයන් සොයයි, ශබ්ද - ගන්‍ධ - රස - ස්ප්‍රෂ්ටව්‍යයන් සොසයි, මේ පර්‍ය්‍යෙෂණචඡන්ද යයි. ප්‍රතිලාභච්ඡන්දය කවරැ යත් ? මෙහි එකෙක් කාමයෙන් මඩනා ලදුයේ මැ අර්ත්‍ථි වූයේ හටගත් ඡන්‍දය ඇත්තේ රූපයන් ලබයි, ශබ්දගන්ධ - රස - ස්ප්‍රෂ්ටව්‍යයන් ලබයි, මේ ප්‍රතිලාභවජන්ද යයි.
පරිභොගච්ඡන්දය කවරැ යත්: මෙහි එකෙක් කාමයෙන් මඩනා ලදුයේ මැ අර්ත්‍ථි වූයේ හටගත් ඡන්‍දය ඇත්තේ රූපයන් පරිභෝග කෙරෙයි, ශබ්ද - ගන්‍ධ - රස - ස්ප්‍රෂ්ටව්‍යයන් පරිභෝග කෙරෙයි, මේ පරිභොගච්ඡන්ද යයි. සන්නිධිඡන්දය කවරැ යත් ? මෙහි එකෙක් කාමයෙන් මඩනා ලදුයේ මැ අර්ත්‍ථි වූයේ හටගත් ඡන්‍දය ඇත්තේ ‘විපතෙහි වන්නේයැ’ යි ධන රැස් කෙරෙයි, මේ සන්නිධිඡන්දය යයි, විසජජනච්ඡන්දය කවරැ යත්? මෙහි එකෙක් කාමයෙන් මඩනා ලදුයේ මෑ අර්ත්‍ථි වූයේ හටගත් ඡන්‍දය ඇත්තේ ‘මොවුහු මා රක්‍ෂණ ගෝපනය කරන්නාහුය, පිරිවරා සිටිත්නාහ’යි ඇතරුවන්ට අසරුවන්ට රියැදුරන්ට දුනුවායන්ට පාබලසෙනඟට ධනය වියදම් කරයි, මෙ විසජීනච්ඡන්ද යයි. පියානි - ප්‍රියයෝ දෙදෙනෙකි: සත්‍වයෝ හෝ සංස්කාරයෝ හෝ යැ;...මේ ප්‍රියවූ සංස්කාරයෝ යි. ඡන්දනිදානානි පියානි ලෝකේ - ප්‍රිය වූ සත්ත්වසංස්කාරයෝ ඡන්‍දය නිදාන කොට ඇත්තාහුය, ඡන්‍දය උත්පත්ති කොට ඇත්තාහුය, ඡන්‍දය ජාති කොට ඇත්තාහුය, ඡන්‍දය ප්‍රභව කොට ඇත්තාහු නුයි ‘ඡන්දනිදානා ති පියාති ලෝකේ’ යනු වේ.
යෙ චාපි ලොභා විචරන්ති ලෝකේ – ‘යෙ චාපි’ යනු: ක්‍ෂත්‍රියයෝ ද බ්‍රාහ්මණයෝ ද වෛශ්‍යයෝ ද ගැහැවියෝ ද පැවිද්දෝ ද දෙවියෝ ද මිනිස්සු ද ; ලොභා - යම් ලොභයෙක් ලොභකාරයෙක් ලෝභ කරන බවෙක් ඇලීමෙක් ඇලෙන අයුරෙක් ඇලුණු බවෙක් අභිධ්‍යාවක් ලෝභ අකුශලමූලයෙක් වේ ද එයයි. විචරනති – හැසිරෙති වෙසෙති ඉරියවු පවත්වති, වැටෙති රැකෙති යැපෙතී යාපනය වෙත්; ලෝකේ – අපායලෝකයෙහි.... ආයතනලෝකයෙහි නුයි ‘යෙ චාපි ලොභා විචරන්ති ලෝකේ’ යනු වේ.
ආසා ච නිටඨා ච ඉතො නිදානා - ‘ආසා’යී තෘෂ්ණාව කියනු ලබයි. යම් රාගයෙක් සංරාගයෙක්...අභිධ්‍යාවෙක් ලෝභ සඞ්ඛ්‍යාත අකුශලමූලයක් වේ ද එයයි; නිට්ඨා - මෙලො වැ එකෙක් රූපයන් සොයනුයේ රූපය ලබයි, රූපසමෘදධිය ඇත්තේ වෙයි, ශබ්ද - ගන්‍ධ - රස - ස්ප්‍රෂ්ටව්‍යයන් - කුලය - ගණයා - ආවාසාය - ලාභය යශස් - ප්‍රශංසාව - සුඛය - චීවර-පිණ්ඩපාත - සේනාසන – ගිලන්පසබෙහෙත්පිරිකර - සූත්‍රාන්තය - විනය - අභිධර්‍මය -ආරණ්‍යකාඞ්ගය -පිණ්ඩපාතිකාඞ්ගය - පංසුකූලිකාඞගය–තෙචීවරිකාඞගය - සපදානචාරිකාඞගය - ඛලුපචචඡාභතතිකාඞගය - නෙසජ්ජිකාඞගය– යථාසන්ථතිකාඞගය - ප්‍රථමධ්‍යානය – ද්විතීය - තෘතීය – චතුර්‍ත්‍ථධ්‍යානය - ආකාසානඤ්චායතනසමාපත්තිය - විඤඤානඤ්චායතන - ආකිඤ්චඤ්ඤායතන – නෙවසඤඤානාසඥඤායතනසමාපතතිය සොයනුයේ නෙවසඤඤානාසඤඤායතනසමාපත්තිය ලබයි, නෙවසඤඤානාසඤඤායතත සමාපත්ති සමෘදධිය ඇත්තේ වේ.
1. ආශාව හේතු කොට (ගොවියා) කෙත සායි, ආශාව හෙතු කොට බිජුවට වපුරනු ලැබෙයි, ධනය රැස්කර ගන්නා වූ වෙළෙන්දෝ ආශාව හේතු කොට (නැවින්) මුහුදට යෙති, යම් ආශාවකින් මම් මෙහි සිටිම් නම්, ඒ මාගේ ආශාව සමෘද්ධ වේව’යි.
ආශාසමෘදධිය ‘නිට්ඨා, (ඵලනිෂ්පත්ති) යයි කියනු ලැබේ. ආසා ච නිටඨා ව ඉතොනිදානා - ආශාවත් නිෂ්ඨාව (-සමෘදධිය) ත් මේ (රූපඡන්දාදි) ඡන්‍දය නිදාන කොට ඇත්තාහුය, ඡන්‍දය උත්පත්ති කොට - ඡන්‍දය ජාති කොට - ඡන්දය ප්‍රභව කොට ඇත්තාහු නුයි ‘ආසා ච නිටඨා ච ඉතොනිදානා’ යනු වේ.
යෙ සම්පරයාය නරස්ස හොන්ති - යම් ධර්‍ම කෙනෙක් සත්‍වයා හට පරායණ වෙත් ද, ප්‍රතිෂ්ඨා වෙත් ද, ත්‍රාණ වෙත් ද, රක්ෂාසථාන වෙත් ද, සරණ වෙත් ද, මිනිසා, ඒ ආශා සමෘද්ධිය පරායණ කොට ඇත් නුයි ‘යෙ සම්පරායාය නරස්ස හොන්ති’ යනු වේ.
එයින් වදාළහ බුදුහු:
“ඡන්දනිදානානි - පෙ - යෙ සම්පරයාය නරස්ස හොන්ති” යි.
11. 5.
ලොව, කාමචඡන්ද තෙමේ කුමක් නිදාන කොට ඇත්තේ ද ? (තෘෂ්ණා දෘෂ්ටි) විනිශචයයෝ හෝ කොයිබින් උපන්නාහු ද ? ක්‍රෝධය ත් මෘෂාවාදයත් විචිකිත්සාව ත් බුදධශ්‍රමණයත් විසින් දෙසූ යම් අකුශලධර්‍ම කෙනෙකුත් වෙත් නම්, ඔවුහු ත් කොයිබින් උපන්නාහු ද ?
ඡන්‍දො නූ ලොකසමිං කුතොනිදානො - කාමචඡන්ද තෙමේ කුමක් නිදාන කොට ඇත්තේ ද ? කොතැනින් උපන්නේ ද ? කොයින් හට ගත්තේ ද ? කොයින් නැඟුණේ ද ? කොයිබින් පහළ වූයේ ද ? කුමක් නිදාන කොට - කුමක් සමුදය කොට - කුමක් ජාති කොට - කුමක් ප්‍රභව කොට ඇත්තේ දැ’යි ඡන්දයා ගේ මූලය විචාරති … සමුදය විචාරති පුළුවුස්ති අයැදිති අධ්‍යෙෂණ කෙරෙති, පහදවත් නුයි ‘ඡන්‍දො නූ ලෝකස්මිං කුතො නිදානො’ යනු වේ.
විනිච්ඡයා වා පි කුතො පහූතා - තෘෂ්ණා - දෘෂ්ටිවිනිශචයයෝ කොයින් වූවාහු ද? කොයින් උපන්නාහු ද ? කොයින් හටගත්තාහු ද? කොයින් නිපන්නාහු ද ? කොයින් පැනනැඟුණාහු ද ? කොයින් පහළ වූවාහු ද ? කුමක් නිදාන - සමුදය -ජාති -ප්‍රභව කොට ඇත්තාහු දැ’යි විනිශචයයන්ගේ මූලය විචාරති … සමුදය විචාරති පුළුවුස්ති අයැදිති අධ්‍යෙෂණ කෙරෙති පහදවත් නුයි ‘චිනිචඡයා වා’පි කුතො පහූතා’ යනු වේ.
කොධො මොසවජ්ජඤච කථඞකථා ච -‘කොධො’ යනු: මෙබඳු වූ චිත්තයා ගේ යම් ආඝාතයෙක් ප්‍රතිඝාතයෙක් ප්‍රතිඝයෙක් ප්‍රතිවිරොධයෙන් කොපයෙක් සම්ප්‍රකෝපයෙක් දවේෂයක් ප්‍රදේවෂයෙක් සම්ප්‍රදෙවෂයෙක් චිත්තයාගේ විකෘතියෙක් සිතෙහි දූෂ්‍ය බවෙක් කිපීමෙක් කිපෙන අයුරෙක් කිපුණු බවෙක් දූෂ්‍ය වීමෙක් දූෂ්‍යාකාරයෙක් දූෂ්‍ය බවෙක් විකෘතියෙක් විකෘතාකාරයෙක් විකෘත බවෙක් විරෝධයෙක් ප්‍රතිවිරොධයෙක් චණ්ඩ බවෙක් නො පිරුණු වචන ඇතිබවෙක් සිත පිළිබඳ නො සතුටු බවෙක් වේ ද එයයි. ‘මොසවජ්ජ’ යී මෘෂාවාදය කියනු ලැබෙයි; ‘කථඞකථා’යී විචිකිත්සාව කියනු ලබා නුයි ‘කොධො මොසවජ්ජං ච කථඞකථා ච’ යනු වේ.
යෙ චා’පි ධම්මා සමණෙන වුත්තා - ‘යෙ චාපි’ යනු: යම් ධර්‍ම කෙනෙක් ක්‍රෝධයත් මෘෂාවාදයත් විචිකිත්සාවත් සමග සහගත වූවාහු ද සහජාත - සංසෘෂ්ට - සම්ප්‍රයුක්ත වූවාහු ද එක් වැ උපදනාහු එක් වැ නිරුද්ධ වන්නාහු සමාන වස්තු ඇත්තාහු සමාන අරමුණු ඇත්තාහු වෙත් ද මොවුහු ‘යම් ධර්‍මයෝ’ යි කියනු ලැබෙත්. නොහොත් යම් කෙලෙස් කෙනෙක් අන්‍යසවභාව ඇත්තාහු අන් කරුණෙකින් වූවාහු වෙත් ද, මොවුහු ‘යම් ධර්‍ම යෝ’ යි කියනු ලැබෙත්. සමණෙන වුත්තා - නිවුණු පව් ඇති ශ්‍රමණයා විසින්, නැසූ පව් ඇති බ්‍රාහ්මණයා විසින්, බුන් කෙලෙස්මුල් ඇති භික්‍ෂුහු විසින්, සියලු අකුශලමූලබනධනයෙන් මිදුණහු විසින් කියන ලද පවසන ලද ප්‍රකාශ කරන ලද දෙසන ලද පනවන ලද පිහිටුවන ලද විවෘත කළ විභාග කළ ප්‍රකට කළ ප්‍රකාශ කරන ලද්දාහු නුයි ‘යෙ චා’පි ධම්මා සමණෙන වුත්තා’ යනු වේ.