නවවැනි ‘මාගන්‍දිය’ සූත්‍රනිර්දේශය යි.
10.
පුරාභෙදසූත්‍රනිර්දේශය
ඉක්බිති ‘පුරාභේද’ සූත්‍රනිර්දේශය කියනු ලැබේ:
10. 1.
කෙබඳු දර්‍ශනයකින් යුක්ත වූ කෙබඳු ශීලයකින් යුක්ත වූ පුද්ගල තෙම උපශාන්ත යැයි කියනු ලැබේ ද? ගොයුමාණෙනි, මා විසින් පුළුවුස්නා ලදුවහු ඒ උත්තම පුද්ගලයා වදාළ මැනව.
කථංදස්සී කථංසීලො උපසන්තොති වුච්චති - ‘කථංදස්සී’ යනු කෙබඳු වූ කවර සංස්ථාන ඇති කවර ප්‍රකාර වූ කවර ආකාර වූ දර්‍ශනයකින් සමන්‍විත වූයේ නුයි ‘කථංදස්සී’ යනු වේ. කථංසීලො කිදෘශ වූ කෙසේ සිටි කවර ප්‍රකාර වූ කවර ආකාර වූ ශීලයකින් සමන්‍විත වූයේ නුයි ‘කථංදස්සී කථංසීලො’ යනු වේ.
උපසන්තොති වුච්චති - ශාන්ත වූයේ උපශාන්ත වූයේ සන්හිඳුණේ තෘෂ්ණා රහිත වූයේ නිවුණේ (කෙලෙස්) දුරලන ලද්දේ යයි කියනු ලැබෙයි පවසනු ලැබෙයි කථනය කරනු ලැබෙයි බණනු ලැබෙයි දක්වනු ලැබෙයි වහරනු ලැබේ. ‘කථංදස්සී’යී අධිප්‍රඥාව අසයි, ‘කථංසීලො’යී අධිශීලය අසයි, ‘උපසන්තො’යී අධිචිත්තය අසා නුයි ‘කථංදස්සී කථංසීලො උපසන්තොති වුච්චති’ යනු වේ.
තං මෙ ගොතම පබ්‍රෑහි - ‘තං’ යනු: යම් පුද්ගලයකු අසම් ද යමකු අයැදිම් ද, යමකු ආරාධනා කෙරෙම් ද, පහදවම් ද; ඔහු ‘ගොතම’යී ඒ නිර්මිත බුදුහු භාග්‍යවත් බුදුන් ගෝත්‍රයෙන් ආමන්ත්‍රණ කෙරෙති; ‘පබ්‍රෑහි’ කියනු මැනව පවසවු පනවවු තබනු මැන, විවෘත කරනු මැන, විභාග කරනු මැන, පහළ කරනු මැන, ප්‍රකාශ කරනු මැනවැ යි’ ‘තං මෙ ගොතම, පබ්‍රෑහි’ යනු වේ.
පුච්ඡිතො උත්තමං නරං - අසන ලදුවහු විචාරන ලදුවහු අයදන ලදුවහු අරියන ලදුවහු පහදවන ලදුවහු; උත්තමං නරං අග්‍ර වූ ශ්‍රේෂ්ඨ වූ විශිෂ්ට වූ පාමොක් වූ උතුම් වූ ප්‍රවර වූ පුද්ගලයා නුයි ‘පුච්ඡිතො උත්තමං නරං’ යනු වේ.
එයින් කීහ ඒ නිර්මිත බුදුහු:
“කථංදස්සී -පෙ- උත්තමං නරං” යී.
10. 2.
(බුදුහු මෙසේ වදාරති:) යමෙක් ශරීරය බිඳීමෙන් පෙර මැ ප්‍රහීණ වූ තෘෂ්ණා ඇත්තේ පූර්‍වාන්ත සඞ්ඛ්‍යාත අතීතය (තෘෂ්ණා දෘෂ්ටීන්) ඇසිරි නො කෙළේ ප්‍රත්‍යුත්පන්නයෙහි (රාගරක්ත යැ යනාදීන්) නො ගිණියැ යුත්තේ වේ ද, ඒ රහත් මහණහට අනාගතයෙහි (තෘෂ්ණාදෘෂ්ටි වශයෙන්) පෙරටු කරන ලද්දෙක් නැත. (ඔහු උපශාන්ත යයි කියමි.)
වීතතණ්හො පුරා බෙදා - කය බිඳීමෙන් පෙර ආත්මභාවය බිඳීමෙන් පෙර කලෙවරය තැබීමෙන් පෙර ජීවිතේන්‍ද්‍රියයාගේ සිඳීමෙන් පෙර, ප්‍රහීණ තෘෂ්ණා ඇත්තේ පහවැගිය තෘෂ්ණා ඇත්තේ හරන ලද තෘෂ්ණා ඇත්තේ වමනය කළ තෘෂ්ණා ඇත්තේ මුදන ලද තෘෂ්ණා ඇත්තේ ගෙවන ලද තෘෂ්ණා ඇත්තේ දුරලන ලද තෘෂ්ණා ඇත්තේ වීතරාග වූයේ විගතරාග වූයේ ත්‍යක්තරාග වූයේ වාන්තරාග වූයේ මුක්තරාග වූයේ ප්‍රහීණරාග වූයේ ප්‍රතිනිඍෂ්ටරාග වූයේ නිර්‍වෘත වූයේ සිහිල් වූයේ (කායිකචෛතසික) සුඛානුභවනය කරනුයේ ශ්‍රේෂ්ඨ වූ සිතින් යුක්ත වැ වෙසෙයි.
භගවා - යනු: ගෞරවාධිවචන යැ තවද: භග්නරාග නුයි - භගවත් යැ, භග්නද්වෙෂ නුයි භගවත් යැ, භග්නමොහ නුයි - භගවත් යැ, භග්නදෘෂ්ටි නුයි - භග්නමාන නුයි - භග්නකණ්ටක නුයි - භග්නක්ලෙශ නුයි - භගවත් යැ; ධර්‍මරත්නය භාග - විභාග - ප්‍රතිවිභාග කෙළේ නුයි - භගවත් යැ, භවයන් කෙළවර කෙළේ නුයි - භගවත් යැ, භාවිතකාය - භාවිතචිත්ත - භාවිතප්‍රඥා ඇත් නුයි භගවත් යැ. බුදුහු අල්පශබ්ද වූ අල්පනිර්‍ඝොෂ වූ ජනවාත රහිත වූ මනුෂ්‍යයන්ගේ රාහස්‍යයනට ස්ථාන වූ විවේකයට අනුරූප වූ වනයෙහි දුරසෙනසුන් හා ඉතා දුරසෙනසුන් සේවනය කළාහු නුයි හෝ භගවත් යැ, බුදුහු චීවරපිණ්ඩපාතසෙනාසනග්ලානප්‍රත්‍යයභෛෂජ්‍යපරිෂ්කාරයනට හිමි වූවාහු නුයි භගවත් යැ, බුදුහු අර්ත්‍ථරසයට ධර්‍මරසයට විමුක්තිරසයට අධිශීලයට අධිචිත්තයට අධිප්‍රඥාවට හිමි වූවාහු නුයි හෝ භගවත් යැ, බුදුහු සතර ධ්‍යානයන්ට සතර අප්‍රාමාණ්‍යයන්ට සතර අරූපසමාපත්තීන්ට හිමි වූවාහු නුයි හෝ භගවත් යැ, බුදුහු අෂ්ටවිමොක්‍ෂයන්ට අෂ්ට අභිහායතනයන්ට නව අනුපූර්‍වවිහාරසමාපත්තීන්ට හිමි වූවාහු නුයි හෝ භගවත් යැ, බුදුහු දශ සංඥාභාවනාවන්ට දශ කෘත්සනසමාපත්තීන්ට ආනාපානස්මෘති සමාධියට අශුභසමාපත්තියට හිමි වූවාහු නුයි හෝ භගවත් යැ, බුදුහු සතර ස්මෘතිප්‍රස්ථානයන්ට සතර සම්‍යක්ප්‍රධානයන්ට සතර ඍද්ධිපාදයන්ට පඤ්චේන්‍ද්‍රියයන්ට පඤ්ච බලයන්ට සප්ත බොධ්‍යඞ්ගයන්ට ආර්‍ය්‍යඅෂ්ටාඞ්ගික මාර්‍ගයට හිමි වූවාහු නුයි හෝ - භගවත් යැ, බුදුහු දශ තථාගතබලයන්ට චතුර්වෛශාරද්‍යයන්ට චතුර්ප්‍රතිසංවිද්ධර්‍මයන්ට ෂඩභිඥාවන්ට ෂඩ්බුද්ධ ධර්‍මයන්ට හිමි වූවාහු නුයි හෝ භගවත් යැ, ‘භගවත්’ යන තෙල නාමය මව විසින් නො කරන ලද, පියා විසින් - බෑයකු විසින් - බූනක විසින් මිතුරු - යහළුවන් විසින් - නෑසහලේනෑයන් විසින් - මහණබමුණන් විසින් දෙවියන් විසින් නො කරන ලද, ‘භගවත්’ යන යම් ප්‍රඥප්තියක් වී ද භගවත් බුදුවරුන්ට රහත්පෙලෙන් උපන් තෙල නාමය බෝමුල දී සර්‍වඥතාඥානය ලැබීම සමග සර්‍වධර්‍මයන් ප්‍රත්‍යක්‍ෂ කිරීමෙන් උපන් ප්‍රඥප්තියක් නුයි ‘වීතතණ්හො පුරාභෙදා ඉති භගවා’ යනු වේ.
පුබ්බමන්තමනිස්සිතො - ‘පුබ්බන්ත’යී අතීතකාලය කියනු ලැබෙයි. අතීතකාලය නිසා තෘෂ්ණාව ප්‍රහීණ කරන ලද්දී දෘෂ්ටිය දුරලන ලද්දී වෙයි, තෘෂ්ණාව ප්‍රහීණ හෙයින් දෘෂ්ටිය දුරැලූ හෙයින් මෙසේත් පූර්‍වාන්තය අනිඃශ්‍රිත වෙයි; නොහොත් අතීත කාලයෙහි මෙබඳු රූ ඇතියෙම් වීමී’ එහි ඇලීම නො එළවයි, ‘මෙබඳු වේදනා ඇතියෙම් වීමි, මෙබඳු සංඥා ඇතියෙම් වීමී, මෙබඳු සංස්කාර ඇතියෙම් වීමී, මෙබඳු විඥාන ඇතියෙම් වීමී’ එහි ඇලීම නො එළවයි. මෙසේත් පූර්‍වාන්තය අනිඃශ්‍රිත වෙයි; නොහොත් ‘මාගේ ඇස අතීතයෙහි මෙසේ විය, රූපයෝ මෙසේ වූහ’යි එහි විඥානය ඡන්‍දරාගය පිළිබැදි වූයේ නො වෙයි, විඥානය ඡන්‍දරාග ප්‍රතිබද්ධ නො වූ හෙයින් එය නො කැමැති වෙයි; එය නො කැමැති වනුයේ මෙසේත් ‘පුබ්බමන්තමනිස්සිතො’ යනු වේ. ‘මාගේ ශ්‍රෝතප්‍රසාදය අතීතකාලයෙහි මෙසේ විය, ශබ්දයෝ මෙසේ වූහ’යි - ‘මාගේ ඝ්‍රාණපුසාදය අතීතයෙහි මෙසේ විය, ගන්‍ධයෝ මෙසේ වූහ’යි - ‘මාගේ ජිහ්වාප්‍රසාදය අතීතයෙහි මෙසේ විය, රසයෝ මෙසේ වූහ’යි - ‘මාගේ කායප්‍රසාදය අතීතයෙහි මෙසේ විය, ස්ප්‍රෂ්ටව්‍යයෝ මෙසේ වූහ’යි - ‘මාගේ භවාඞ්ග චිත්තය මෙසේ විය, මාගේ ත්‍රෛභූමක ධර්‍මාලම්බනයෝ මෙසේ වූහ’යි එහි විඥානය ඡන්‍දරාගප්‍රතිබද්ධ වූයේ නො වෙයි, විඥානය ඡන්‍දරාගප්‍රතිබද්ධ නො වූ හෙයින් එය නො කැමැති වෙයි, එය නො කැමැති වනුයේ මෙසේත් -‘පුබ්බමන්තමනිස්සිතො’ යනු වේ. නොහොත් පෙර මාගමක සමග යම්බඳු ඒ ඒ කෙළිසිනාබස් වී නම් එය ආස්වාද නො කෙරෙයි, එය නො කැමැති වෙයි, එයින් නො ද සතුටට පැමිණේ. මෙසේත් -‘පුබ්බමන්තමනිස්සිතො’ යනු වේ.
වෙමජ්ඣෙනුපසඞ්ඛෙය්‍යො - ‘වෙමජ්ඣෙ’යී පවත්නා කාලය කියනු ලැබෙයි; වර්‍තමානකාලය අරබයා තෘෂ්ණාව ප්‍රහීණ වූවා, දෘෂ්ටිය දුරලන ලද්දී වෙයි, තෘෂ්ණාව ප්‍රහීණ බැවින් දෘෂ්ටිය දුරැලූ බැවින් ‘රාගයෙන් රක්ත’ යැයි නො ගිණියැ යුත්තේ යැ, ‘දුෂ්ට’ යැයි - ‘මූඪ’ යැයි - මානයෙන් බැඳිණැ’ යි - ‘දෘෂ්ටියෙන් පරාමෘෂ්ට’ යැයි - ඖද්ධත්‍යයෙන් වික්‍ෂේපයට පැමිණිණැ’යි - විචිකිත්සායෙන් අනිෂ්ඨාවට ගියේයැ’යි - ‘අනුශයෙන් දැඩිබවට ගියේයැ’යි නො ගිණියැ යුත්තේ යැ; ඒ කර්‍මාභිසංස්කාරයෝ ප්‍රහීණයහ, ප්‍රහීණ බැවින් ‘නෙරිසත් වනැ’යි හෝ ‘තිරිසන්යෝනි ඇතියෙකැ’යි හෝ ‘ප්‍රෙතගති ඇතියෙකැ’යි හෝ ‘මිනිස් වන්නේයැ’යි හෝ ‘දෙවි වන්නේයැ’යි හෝ ‘රූපී යැ’යි හෝ ‘අරූපී යැ’යි හෝ ‘සංඥී යැ’යි හෝ ‘අසංඥී යැ’යි හෝ ‘නෛවසංඥීනාසංඥී යැ’යි හෝ ගතියෙන් නො ගිණියැ යුත්තේ ය; යම් හෙයෙකින් සඞ්ඛ්‍යාවට යන්නේ නම්, ඒ හේතුව නැත ඒ ප්‍රත්‍යය නැත කාරණය නැත් නුයි ‘වෙමජ්ඣෙනුපසඞ්ඛෙය්‍යො’ යනු වේ.
තස්ස නත්‍ථි පුරෙක්ඛතං - ‘තස්ස’ යනු: අර්‍හත් ක්‍ෂීණාස්‍රව හට, පුරෙක්ඛාර නම්: තෘෂ්ණාපුරස්කාරය ද දෘෂ්ටිපුරස්කාරය දැ’යි දෙ පුරස්කාර කෙනෙක් වෙති... ඔහු විසින් තෘෂ්ණාපුරස්කාරය ප්‍රහීණ යැ දෘෂ්ටිපුරස්කාරය දුරලන ලද, තෘෂ්ණාපුරස්කාරය ප්‍රහීණ වන බැවින් දෘෂ්ටිපුරස්කාරය දුරැලූ බැවින් තෘෂ්ණාව හෝ දෘෂ්ටිය හෝ පෙරටු කොට නො හැසිරෙයි, තෘෂ්ණාධ්වජ ඇතියේ නො වෙයි, තෘෂ්ණාකෙතු ඇතියේ - තෘෂ්ණාව අධිපති කොට ඇතියේ දෘෂ්ටිධ්වජ ඇතියේ - දෘෂ්ටිකෙතු ඇතියේ දෘෂ්ටිය අධිපති කොට ඇතියේ නො වෙයි; තෘෂ්ණාව විසින් හෝ දෘෂ්ටිය විසින් හෝ පිරිවරන ලදුයේ නො හැසිරෙයි; මෙසේ ත් ‘තස්ස නත්‍ථි පුරෙක්ඛතං’ යනු වේ. නොහොත් ‘අනාගතකාලයෙහි මෙබඳු රූ වෙම්ව’යි එහි නන්‍දිය (-තෘෂ්ණාව) නො එළවයි, ‘මෙබඳු වේදනා ඇති වෙම්ව’යි ‘මෙබඳු සංඥා ඇති වෙම්ව’යි - ‘මෙබඳු සංස්කාර ඇති වෙම්ව’යි - අනාගතයෙහි මෙබඳු විඥාන ඇති වෙම්ව’යි එහි සතුට නො එළවයි; මෙසේත් - ‘තස්ස නත්‍ථි පුරෙක්ඛතං’ යනු වේ. නොහොත් ‘මාගේ ඇස අනාගතකාලයෙහි මෙසේ වන්නේය, රූපයෝ මෙසේ වන්නාහ’යි නො ලද්දහු ගේ ලැබීම පිණිස සිත නො පිහිටුවයි; චිත්තයා ගේ ප්‍රාර්‍ත්‍ථනා නො තබන හෙයින් ඊට සතුටු නො වෙයි, ඊට සතුටු නො වන්නේ මෙසේ ත් - ‘තස්ස නත්‍ථි පුරෙක්ඛතං’ යනු වේ. මාගේ ශ්‍රෝතප්‍රසාදය අනාගතයෙහි මෙසේ වන්නේය, ශබ්දයෝ මෙසේ වන්නාහ’යි - මාගේ ඝ්‍රාණප්‍රසාදය අනාගතයෙහි මෙසේ වන්නේය, ගන්‍ධයෝ මෙසේ වන්නාහ’යි - ‘මාගේ ජිහ්වාප්‍රසාදය අනාගතයෙහි මෙසේ වන්නේය, රසයෝ මෙසේ වන්නාහ’යි - මාගේ කායප්‍රසාදය අනාගතයෙහි මෙසේ වන්නේය, ස්ප්‍රෂ්ටව්‍යයෝ මෙසේ වන්නාහ’යි - ‘මාගේ භවාඞ්ගචිත්තය අනාගතයෙහි මෙසේ වන්නේය, ත්‍රෛභූමකධර්‍මාලම්බනයෝ මෙසේ වන්නාහ’යි නො ලද්දහුගේ ලැබීම පිණිස සිත නො පිහිටුවයි, චිත්තයාගේ ප්‍රාර්‍ත්‍ථනා නො තබන හෙයින් ඊට සතුටු නො වෙයි, ඊට සතුටු නො වනුයේ මෙසේ ත් ‘තස්ස නත්‍ථි පුරෙක්ඛතං’ යනු වේ. නොහොත් ‘මම් මේ ශීලයෙන් හෝ ව්‍රතයෙන් හෝ තපසින් හෝ බ්‍රහ්මචර්‍ය්‍යයෙන් හෝ දෙවියෙක් හෝ දෙවාන්‍යතරයෙන් හෝ වන්නෙමී’ නො ලද්දහු ලැබීම පිණිස සිත නො පිහිටුවයි, සිත නොපිහිටුවීම හේතු කොට ගෙන ඊට නො කැමැති වනුයේ මෙසේත් ‘තස්ස නත්‍ථි පුරෙක්ඛතං’ යනු වේ.
එයින් වදාළහ බුදුහු:
“වීතතණ්හො පුරාභෙදා -පෙ- තස්ස නත්‍ථි පුරෙක්ඛතං” යී.
10. 3.
යමෙක් නො කිපෙන පියවි ඇතියේ නො තැතිගන්නා සුලු වූයේ තමා හුවා නො දක්වන සුලු වූයේ කුකුස් රහිත වූයේ නුවණින් විමසා බණනු යේ උඩඟු නො වූයේ වේ ද ඒ ක්‍ෂීණාස්‍රව මුනි තෙම ඒකාන්තයෙන් වචනයෙන් සංයම වූයේ වේ. (ඔහු උපශාන්ත යයි කියමි.)
අක්කොධනො අසන්තාසී - ‘අක්කොධනො’ යී මැ කියන ලද, තවද පළමු කොට ක්‍රෝධය කියයුතු යැ: දස අයුරෙකින් ක්‍රෝධය උපදී: ‘මට අවැඩ කෙළේ යැ’යි ක්‍රෝධය උපදී, ‘මට අවැඩ කෙරේ යැයි - ‘මට අවැඩ කරන්නේ’යි ක්‍රෝධය උපදී: ‘මාගේ ප්‍රිය මනාප වූවහුට අවැඩ කෙළේයැ අවැඩ කරයි - අවැඩ කරන්නේ යැ’යි ක්‍රෝධය උපදී; ‘මා ගේ අප්‍රිය අමනාප වූවහුට වැඩ කෙළේයැ - වැඩ කරයි - වැඩ කරන්නේයැ’යි ක්‍රෝධය උපදී; යළි අස්ථානයෙහි හෝ ක්‍රෝධය උපදී, යම් මෙබඳු වූ චිත්තයා ගේ ආඝාතයෙක් ප්‍රතිඝාතයෙක් ප්‍රතිඝයෙක් ප්‍රතිවිරොධයෙක් කොපයෙක් ප්‍රකොපයෙක් සම්ප්‍රකෝපයෙක් ද්වේෂයෙක් ප්‍රද්වෙෂයෙක් සම්ප්‍රද්වෙෂයෙක් සිත පෙරැළීමෙක් සිත දූෂ්‍ය වීමෙක් ක්‍රෝධයෙක් ක්‍රොධාකාරයෙක් ක්‍රෝධ කරන බවෙක් ද්වේෂයෙක් දූෂ්‍යාකාරයෙක් දූෂ්‍යවන බවෙක් පෙරැළීමෙක් පෙරැළෙන අයුරෙක් පෙරළුණු බවෙක් විරෝධයෙක් ප්‍රතිවිරොධයෙක් සැඬබවෙක් නො පිරුණු බසෙක් චිත්තයාගේ නො සතුටු බවෙක් වේ ද, මේ ක්‍රෝධ යයි කියනු ලැබේ.
තවද, ක්‍රෝධයාගේ අඩුවැඩි බව දතයුතු යැ: කිසිවිටෙක ක්‍රෝධ තෙමේ සිත කළඹන මතුයෙක් වෙයි, තව මුහුණ කුළනු හකුළනු වූයේ නො ද වෙයි; කිසිවිටෙක කෝපය මුහුණ කුළන හකුළන පමණ වූයේ වෙයි, තව හනු සොලවනු වූයේ නො ද වෙයි; කිසි විටෙක කෝපය හනු සොලවනුයේ වෙයි, තව පරොස්බස් කියන පමණ වූයේ නො ද වෙයි; කිසි විටෙක කෝපය පරොස්බස් කියන පමණ වෙයි, තවම වට පිට බලනු වූයේ නො ද වෙයි; කිසිවිටෙක කෝපය වට පිට බලන පමණ වූයේ වෙයි, තවම දඬු සැත් නො ද ගන්නේ වෙයි; කිසිවිටෙක කෝපය දඬු සැත් ගන්නා පමණ වූයේ වෙයි, තවම දඬු සැත් නඟනුයේ නො ද වෙයි; කිසිවිටෙක කෝපය දඬුසැත් කියපාන (-නඟන) පමණ වූයේ වෙයි, තවම දඬු සැත් දමාගසනුයේ නො ද වෙයි; කිසි විටෙක කෝපය දඬුසැත් දමාගසන පමණ වූයේ වෙයි, තවම (මෙරමා සිරුර) සිදුරු කරනු වූයේ නො ද වෙයි; කිසි විටෙක කෝපය සිරුර සිදුරු බිදුරු කරන පමණ වූයේ වෙයි, තවම සිරුර සුණු විසුණු කරනුයේ නො ද වෙයි; කිසි විටෙක කෝපය සිරුර සුණු විසුණු කරන පමණ වූයේ වෙයි. තවම අඟපසඟ ඇද කඩනුයේ නො ද වෙයි; කිසි විටෙක කෝපය අඟපසඟ ඇද කඩන පමණ වූයේ වෙයි, තවම දිවි තොර කරනුයේ නො ද වෙයි; කිසි විටෙක කෝපය දිවි තොර කරන පමණ වූයේ වෙයි, තවම මෙරමා දිවි නසා සිය දිවි නැසීම පිණිස සිටියේ නො ද වෙයි; යම් කලෙක ක්‍රෝධය සතුරා නසා තමා ත් නසා ද, මෙතෙකින් ක්‍රෝධ තෙමේ ඉතා බලවත් බවට ගියේ ඉතා මහත් බවට පැමිණියේ වේ.
යමක්හු විසින් ඒ ක්‍රෝධය ප්‍රහීණ වූයේ නසන ලද්දේ සන්හිඳුණේ දුරලන ලද්දේ අභව්‍යොත්පත්තික වූයේ නුවණගින්නෙන් දවන ලද්දේ වේ ද, හෙ තෙම ‘අක්කෝධන’ යී කියනු ලැබේ. ක්‍රෝධය (අනගැමිමගින්) ප්‍රහීණ කළ බැවින් නො කිපෙනුයේ යැ; ක්‍රොධවස්තුව පරිඥාත බැවින් නො කිපෙනුයේ යැ; ක්‍රෝධ හේතුව සිඳින ලද බැවින් නො කිපෙනුයේ නුයි ‘අක්කෝධන’ වේ. අසන්තාසී - මෙ ලොවැ කිසිවෙක් බියසුලු වෙයි, ඉතා බියසුලු වෙයි, හාත්පසින් බියසුලු වේ. හේ ත්‍රස්ත වෙයි, ඉතා ත්‍රස්ත වෙයි, හාත්පසින් ත්‍රස්ත වෙයි, බියට පැමිණෙයි, සන්ත්‍රාසයට පැමිණෙයි: කුලය හෝ නො ලබමි, ගණයා හෝ - ආවාසය - ලාභ - යශස් - පැසැසුම් - සුව - චීවර - පිණ්ඩපාත - සේනාසන - ගිලන්පසබෙහෙත්පිරිකර - ග්ලානොපස්ථායකයකු හෝ නො ලබමි, නො පැනෙනුයෙම් වෙමී’ ත්‍රස්ත වෙයි, ඉතා ත්‍රස්ත වෙයි, හාත්පසින් ත්‍රස්ත වෙයි; තැති ගැනීමට පැමිණේ. මේ ශාසනයෙහි මහණ තෙම බියසුලු නො වෙයි, ඉතා බියසුලු නො වෙයි, හාත්පසින් බියසුලු නො වෙයි. හෙ තෙම ත්‍රස්ත - උත්‍රස්ත - පරිත්‍රස්ත - නො වෙයි, භය නො වෙයි, සන්ත්‍රාසයට නො පැමිණෙයි: ‘කුලය හෝ නො ලබමි, ගණයා - ආවාසය - ලාභ - යශස් - ප්‍රශංසා - සුඛ - චීවර - පිණ්ඩපාත - සේනාසන - ගිලන්පසබෙහෙත්පිරිකර - ග්ලානොපස්ථායකයකු හෝ නො ලබමි, නො පැනෙනුයෙම් වෙමී’ ත්‍රස්ත - උත්‍රස්ත - පරිත්‍රස්ත නො වෙයි, භය නො වෙයි, සන්ත්‍රාසයට නො පැමිණේ නුයි ‘අක්කොධනො අසන්තාසී’ යනු වේ.
අවිකත්‍ථි අකුක්කුචො - මෙ ලොවැ කිසිවෙක් සිය ගුණය කියන සුලු වූයේ විවිධාකාරයෙන් ගුණ කියනසුලු වූයේ වෙයි; හෙතෙම කත්‍ථන විකත්‍ථන කෙරෙයි: ‘මම් ශීලසම්පන්නයෙමී’ හෝ ‘ව්‍රතසම්පන්නයෙමී’ හෝ ශීලව්‍රතසම්පන්නයෙමී’ හෝ ජාතියෙන් හෝ ගෝත්‍රයෙන් - කුලපුත්‍රභාවයෙන් - වර්‍ණසෞන්‍දර්‍ය්‍යයෙන් - ධනයෙන් - අධ්‍යයනයෙන් - කර්‍මායතනයෙන් හෝ ශිල්පායතනයෙන් හෝ විද්‍යාවෙන් හෝ ශ්‍රැතයෙන් හෝ ප්‍රතිභානයෙන් හෝ එක්තරා වස්තුවකින් හෝ, උසස් කුලයෙන් (නික්ම) පැවිදි වූයෙමී හෝ මහාසාරකුලයෙන් පැවිදි වූයෙමී හෝ මහාභෝග ඇති කුලයෙන් පැවිදි වූයෙමී හෝ බොහෝ සම්පත් ඇති කුලයෙන් පැවිදි වූයෙමී හෝ ගැහැවියන් සහිත පැවිද්දන් අතුරෙහි ප්‍රසිද්ධයෙමි පිරිවර ඇත්තෙමි හෝ චීවරපිණ්ඩපාතසෙනාසන ගිලන්පසබෙහෙත්පිරිකර ලබන සුලු වෙමී හෝ සෞත්‍රාන්තිකයෙමි - විනයධරයෙමි - ධර්‍මකථිකයෙමී හෝ ආරණ්‍යකාඞ්ග ඇත්තෙමි හෝ පිණ්ඩපාතික - පාංශුකූලික - ත්‍රෛචීවරික - සපදානචාරික - ඛලුපච්ඡාහත්තික - නෙසජ්ජික - යථාසන්‍ථතිකාඞ්ග ඇත්තෙමි හෝ, ප්‍රථමධ්‍යානලාභී වෙමී හෝ ද්විතීයධ්‍යාන - තෘතීයධ්‍යාන - චතුර්‍ත්‍ථධ්‍යාන ලාභී වෙමී හෝ, ආකාසානඤ්චායතනසමාපත්තිය විඤ්ඤාණඤ්චායතනසමාපත්තිය ආකිඤ්චඤ්ඤායතනසමාපත්තිය නෙවසඤ්ඤානාසඤ්ඤාසමාපත්තිලාභී වෙමී’ හෝ කත්‍ථන විකත්‍ථන කෙරෙයි; මෙසේ කත්‍ථන විකත්‍ථන නො කෙරෙයි, කත්‍ථනයෙන් විකත්‍ථනයෙන් (-ආත්මශලාඝායෙන්) දුරු වූයේ වෙන් වූයේ වෙසෙසින් වෙන් වූයේ නික්මුණේ නික්මැ ගියේ වෙසෙසින් මිදුණේ විසංයුක්ත වූයේ විගතමර්‍ය්‍යාදා කළ සිතින් යුක්ත ව වෙසේ නුයි ‘අවිකත්‍ථි’ යනු වේ.
අකුක්කුචො - ‘කුක්කුච්ච’ නම්: අත්කුකුස (=අතින් කළ කුත්සිත ක්‍රියාව) ද කුකුස යැ, පාකුකුස ද කුකුස යැ, අත්පාකුකුස ද කුකුස යැ, නො කැපයෙහි කැපයැ යන් සන් (=සංඥා) ඇතිබව - කැපයෙහි අකැපසන් ඇතිබව - විකාලයෙහි කාලයැ’යි සන් ඇතිබව - කාලයෙහි විකාලයැ’යි සන් ඇතිබව - නිවරදෙහි වරදැයි හැඟීම - වරදෙහි නිවරදැයි හැඟීම යැ යන මෙබඳු යම් කුකුසෙක් කුකුස් අයුරෙක් කුකුස් කළබවෙක් සිතෙහි විපිළිසරෙක් චිත්තවිලෙඛයෙක් වේ ද, මේ ‘කුක්කුච්ච’ යයි කියනු ලැබේ. තවද දෙ කරුණෙකින් කුකුස චිත්තවිප්පටිසාරය චිත්තවිලෙඛය උපදී: කළ බැවින් හා නො කළ බැවින් හා යැ, කළබැවින් හා නො කළ බැවින් හා කුකුස... විලේඛය කෙසේ උපදී ද යත්? ‘මා විසින් කායදුශ්චරිතය කරන ලද, මා විසින් කාය සුචරිතය නො කරන ලදැ’යි කුකුස චිත්තවිප්පටිසාරය චිත්තවිලෙඛය උපදී; ‘මා විසින් වාග්දුශ්චරිතය කරන ලද, වාක්සුචරිතය නො කරන ලදැ’යි... ‘මා විසින් මනෝදුශ්චරිතය කරන ලද, මා විසින් මනස්සුචරිතය නො කරන ලදැ’යි කුකුස සිතෙහි විපිළිසර සිතෙහි විලේඛය උපදී; ‘මා විසින් ප්‍රාණඝාතය කරන ලද, මා විසින් ප්‍රාණඝාතවිරමණය නො කරන ලදැ’යි... ‘මා විසින් අදත්තාදානය කරන ලද, මා විසින් අදත්තාදානවිරමණය නො කරන ලදැ’යි... ‘මා විසින් කාමමිත්‍ථ්‍යාචාරය කරන ලද, මා විසින් කාමමිත්‍ථ්‍යාචාරයෙන් විරමණය නො කරන ලදැ’යි... ‘මා විසින් මෘෂා කියන ලද, මා විසින් මෘෂාවාදවිරමණය නො කරන ලදැ’යි - ‘මා විසින් පිසුනුබස් කියන ලද, පිසුනු බසින් වැළැකීම නො කරන ලදැ’යි - ‘මා විසින් පරුෂවචන කියන ලද, පරුෂවචනයෙන් වැළැකීම නො කරන ලදැ’යි - ‘මා විසින් ප්‍රලාප කියන ලද, ප්‍රලාපයෙන් වැළැකීම නො කරන ලදැ’යි - ‘මා විසින් අභිධ්‍යාව (-දැඩිලෝභය) කරන ලද, අනභිධ්‍යාව මා විසින් නො කරන ලදැ’යි - ‘මා විසින් ව්‍යාපාද කරන ලද, අව්‍යාපාද මා විසින් නො කරන ලදැ’යි - ‘මා විසින් මිත්‍ථ්‍යාදෘෂ්ටි ගන්නා ලද, සම්‍යග්දෘෂ්ටි මා විසින් නො ගන්නා ලදැ’යි කුකුස සිතට විපිළිසර මනෝවිලේඛය උපදී; මෙසේ කළ බැවින් ද නො කළ බැවින් ද කෞකෘත්‍ය චිත්තවිප්‍රතිසාර මනොවිලෙඛ උපදී; නොහොත් ඉන්‍ද්‍රියයන්හි නො පියු දොර ඇතියෙම් වීමී - භෝජනයෙහි පමණ නො දතුයෙම් වීමී - නිදිවැරීමෙහි නො යෙදුණෙමී - සිහිනුවණින් සමන්විතයෙම් නො වීමී - මා විසින් සතර සීවටන් නො වඩන ලදැ’යි - සතර සම්‍යක්ප්‍රදහන මා විසින් නො වඩන ලදැ’යි - සතර ඍද්ධිපාද මා විසින් නො වඩන ලදැ’යි - පඤ්චේන්‍ද්‍රියයෝ මා විසින් නො වඩන ලදහ’යි - පඤ්චබලයෝ මා විසින් නො වඩන ලදහ’යි - සප්තබෝධ්‍යඞ්ගයෝ මා විසින් නො වඩන ලදහ’යි - ආර්‍ය්‍යඅෂ්ටාඞ්ගිකමාර්‍ගය මා විසින් නො වඩන ලදැ’යි - මා විසින් දුඃඛසත්‍යය අපරිඥාත යැ’යි - සමුදයසත්‍යය අප්‍රහීණ යැ’යි - මාර්‍ගසත්‍යය අභාවිත යැ’යි - නිරෝධසත්‍යය මා විසින් ප්‍රත්‍යක්‍ෂ නො කරන ලදැ’යි කෞකෘත්‍යය චිත්තවිප්‍රතිසාරය මනෝවිලේඛය උපදී. යමක්හු හට තෙල කුකුස ප්‍රහීණ ද සමුච්ඡින්න ද සන්හිඳිණි ද නැසිණි ද උපතට නුසුදුසු වී ද, නුවණගින්නෙන් දැවිණි ද, හෙතෙම ‘අකුක්කුච්ච’ යැයි කියනු ලැබේ නුයි’ අවිකත්‍ථි අකුක්කුචො’ යනු වේ.
මන්තභාණී අනුද්ධතො - ‘මන්තා’යී ප්‍රඥාව කියනු ලබයි, යම් ප්‍රඥාවක්... අමෝහයෙක් ධර්‍මවිචයයෙක් සම්‍යග්දෘෂ්ටියක් වී ද එය යි; මන්තා (-ප්‍රඥා)යෙන් විමස විමසා වචන කියයි, බොහෝ බසුදු කියනුයේ බොහෝ බණනුයේ බොහෝ දක්වනුයේ බොහෝ කොට ත් වහරනුයේ දුෂ්කථිත වූ දුර්භණිත වූ දුල්ලපිත වූ නපුරු කොට කියන ලද දුබැසි වූ බසක් නො කියා නුයි ‘මන්තභාණී’ යැ; අනුද්ධතො - එහි ‘උද්ධච්චය’ කවරැ යත්? සිතෙහි යම් උඩඟු බවෙක් නො සන්හුන් බවෙක් සිතෙහි විසුරුණු බවෙක් චිත්තයා ගේ භ්‍රාන්ත (-තැතිගත්) බවෙක් වේ නම්, මේ ‘උද්ධච්ච’ යයි කියනු ලැබේ. යමක්හු හට මේ උද්ධත බව ප්‍රහීණ ද සම්චුඡින්න වී ද සන්හිඳිණි ද නැසිණි ද අභව්‍යොත්පත්තික ද, ඥානාග්නීන් දැවිණි ද, හේ ‘අනුද්ධත’ යයි කියනු ලැබේ නුයි ‘මන්තභාණී අනුද්ධතො’ යනු වේ.
ස වෙ වාචායතො මුනි - මෙ සස්නෙහි මහණ තෙම මෘෂාවාදය හැර මෘෂාවාදයෙන් වැළැකුණේ වෙයි, සැබෑ කියනුයේ සැබැවින් සැබව ගළපනුයේ තිර වූයේ හැදැහිය යුතු බස් ඇතියේ ලෝකයා නො රවටනුයේ වෙයි; පිසුනු බස් හැරපියා පිසුනු බසින් වැළැකුණේ වෙයි: මෙතැනින් අසා මුන්ගේ බිඳුමට අතැන නො කියනුයේ, අතැනින් අසා අරුන්ගේ බිඳුමට මොවුන්ට නො කියනුයේ වෙයි, මෙසේ භින්න වූවන් ද සමග කරනුයේ සමග වූවන් හෝ දැඩි කරනුයේ සමගියෙහි ඇලුම් ඇතියේ සමග වූවන් කෙරෙහි ඇලුණේ සමග වූවන්ට සතුටු වූයේ සමග කරන බස් කියනුයේ වෙයි. රළුබස් හැරපියා රළුබසින් වැළැකුණේ වෙයි, යම් වචනයෙක් නිදොස් ද කනට සුව ද පෙම් උපදවා ද සිතට වදී ද, පුරෙහි වූවා ද බොහෝ දෙනාට කැමැති ද බොහෝ දෙනාගේ මන වඩා ද, එබඳු වචන කියන්නේ වෙයි. නිසරු (-ප්‍රලාප) බස් හැරපියා නිසරුබසින් වැළැකුණේ වෙයි, කල් බලා කියනුයේ සැබවක් ම කියනුයේ වැඩදායක තෙපුල් කියනුයේ ධර්‍මවාදී වූයේ විනයවාදී වූයේ සුදුසු කල කරුණු සහිත වූ පිරිසිඳීම් ඇති වැඩ සහිත වූ ළෙහි තැබිය යුතු වූ තෙපුලක් ම කියන්නේ වෙයි, සතර වාක්සුචරිතයෙන් සමන්‍විත වූයේ සතර දොසින් වෙන්වූ තෙපුලක් ම කියයි, දෙතිස් තිරිසන් කථාවෙන් දුරු වූයේ වෙන් වූයේ වෙසෙසින් වෙන් වූයේ නික්මුණේ බැහැර වූයේ වෙසෙසින් මිදුණේ නො යෙදුණේ විගතමර්‍ය්‍යාදා කළ සිතින් යුක්ත ව වෙසෙයි; දශ කථාවස්තූන් කියයි, ඒ මෙසේ යැ: අල්පෙච්ඡකථාව කියයි, ඉතරෙතරප්‍රත්‍යයසන්තොෂකථාව කියයි, විවේකනිශ්‍රිත කථාව කියයි, අසංසර්‍ගකථාව - වීර්‍ය්‍යාරම්භකථාව - ශීලකථාව - සමාධිකථාව - ප්‍රඥාකථාව - විමුක්තිකථාව - විමුක්තිඥානදර්‍ශනකථාව - සතිපට්ඨාන - සම්‍යක්ප්‍රධාන - ඍද්ධිපාද - ඉන්‍ද්‍රිය - බල - බෝධ්‍යඞ්ග - මාර්‍ග - ඵල - නිර්‍වාණකථාව කියයි; වචනයෙන් සංයම වූයේ දැමුණේ හාත්පසින් දැමුණේ ගෝපන වූයේ ගෝපිත වූයේ රැකුණේ සන්හිඳුණේ යැ; මුනි - ‘මොන’යී ඥානය කියනු ලැබෙයි, යම් ප්‍රඥාවක්... ‘ස වෙ වාචායතො මුනි’ යනු වේ.
එයින් වදාළහ බුදුහු:
“අක්කොධනො -පෙ- වාචායතො මුනි” යී
10. 4.
යමෙක් අනාගතයෙහි තෘෂ්ණා රහිත වේ ද, ඉක්මැගිය දැයට ශෝක නො කෙරේ ද, වර්‍තමාන චක්ඛුසම්ඵස්සාදියෙහි ආත්මාදිභාවවිවේකය දකී ද, දෙසැට දිටු අතුරෙන් කිසි දෘෂ්ටියකින් නො පමුණුවනු ලැබේ ද, (ඔහු උපශාන්ත යයි කියමි.)
නිරාසන්ති අනාගතෙ - ‘ආසත්ති’යී තෘෂ්ණාව කියනු ලබයි, යම් රාගයෙක් සංරාගයෙක්... අභිධ්‍යාවක් ලෝභ අකුශලමූලයෙක් වේ ද එය යි; යමක්හු විසින් මේ ආසත්ති සඞ්ඛ්‍යාත තෘෂ්ණාව ප්‍රහීණ කරන ලද්දී සමුච්ඡින්න වූවා සන්හිඳුවන ලද්දී දුරලන ලද්දී උපතට නුසුදුසු වූවා නුවණගින්නෙන් දවන ලද්දී ද, මෙසේ ත් - ‘නිරාසත්ති අනාගතෙ’ යනු වේ. නොහොත් ‘අනාගතයෙහි මෙබඳු රූ ඇති වෙම්ව’යි එහි තෘෂ්ණාව නො එළවයි, ‘මෙබඳු වේදනා ඇති වෙම්ව’යි - සංඥා - සංස්කාර - විඥාන ඇති වෙම්ව’යි එහි තෘෂ්ණාව නො එළවයි, මෙසේ ත් - ‘නිරාසත්ති අනාගතෙ’ යනු වේ. නොහොත් ‘අනාගතයෙහි මෙසේ මාගේ චක්‍ෂුඃප්‍රසාදය වන්නේය, මෙසේ රූපයෝ වන්නාහ’යි නො ලද්දහුගේ ලැබීමට සිත නො පිහිටුවයි, සිත පිළිබඳ ප්‍රාර්‍ත්‍ථනා නො තබන හෙයින් ඊට සතුටු නො වෙයි, ඊට සතුටු නො වන්නේ මෙසේ ත් - ‘නිරාසත්ති අනාගතෙ’ යනු වේ. ‘අනාගතයෙහි මාගේ ශ්‍රෝතප්‍රසාදය මෙසේ වන්නේය, ශබ්දයෝ මෙසේ වන්නාහ’යි... අනාගතයෙහි මා ගේ භවාඞ්ගමනස මෙසේ වන්නේය, ත්‍රෛභූමකධර්‍මාලම්බනයෝ මෙසේ වන්නාහ’යි නො ලද්දහු ගේ ලැබීමට සිත නො පිහිටුවයි, චිත්තයා ගේ ප්‍රාර්‍ත්‍ථනා නැති බැවින් ඊට නො කැමැති වෙයි, ඊට නො කැමැති වන්නේ මෙසේ ත් - ‘නිරාසත්ති අනාගතෙ’ යනු වේ. නොහොත් ‘මම් මේ ශීලයෙන් හෝ ව්‍රතයෙන් හෝ තපසින් හෝ බ්‍රහ්මචර්‍ය්‍යයෙන් හෝ දෙවියෙක් හෝ දේවාන්‍යතරයෙක් හෝ වන්නෙමී’ නො ලද්දහු ගේ ලැබීමට චිත්තප්‍රණිධිය නො පිහිටුවයි, චිත්තප්‍රණිධි නො තබන හෙයින් ඊට සතුටු නො වෙයි, ඊට සතුටු නො වන්නේ මෙසේත් - ‘නිරාසත්ති අනාගතෙ’ යනු වේ.
අතීතං නානුසොචති - නැසුණු වස්තුවට හෝ ශෝක නො කෙරෙයි, වස්තුව නැසෙන කල්හි හෝ ශෝක නො කෙරෙයි, ‘මා ගේ ඇස නැසිණැ’යි ශෝක නො කෙරෙයි, කන - නැහැය - දිව - කය - රූප - ශබ්ද - ගන්‍ධ - රස - ස්ප්‍රෂ්ටව්‍ය - මාගේ කුලය - ගණයා - ආවාසය - ලාභ - යශස් - ප්‍රශංසා - සුඛ - චීවර - පිණ්ඩපාත - සේනාසන - ගිලානපච්චයභෙසජ්ජපරික්ඛාර - මව - පියා - සහෝදරයා - සහෝදරිය - පුතා - දුව - මිත්‍රයෝ - සහායයෝ - නෑයෝ - සහලේනෑයෝ නැසුණාහ’යි ශෝක නො කරයි, නො වෙහෙසෙයි, නො හඬයි, සම්මෝහයට නො පැමිණේ නුයි ‘අතීතං නානුසොචති’ යනු වේ.
විවේකදස්සී ඵස්සෙසු - ‘ඵස්ස’ නම්: චක්‍ෂුර්වඥානසහජාත ස්පර්‍ශය ශ්‍රෝත - ඝ්‍රාණ - ජිහ්වා - කාය - මනොවිඥානසහජාත ස්පර්‍ශය අධිවචන (-මනෝද්වාරික) ස්පර්‍ශය ප්‍රතිඝ(-පඤ්චද්වාරික) ස්පර්‍ශය සුඛවේදනා උපදවන ස්පර්‍ශය දුඃඛ - උපෙක්‍ෂාවෙදනීය ස්පර්‍ශය කුශලචිත්තසහජාත ස්පර්‍ශය අකුශල - අව්‍යාකෘත - කාමාවචර - රූපාවචර - අරූපාවචර - ශුන්‍යත - අනිමිත්ත - අප්‍රණිහිත - ලෞකික - ලෝකෝත්තර - අතීත - අනාගත - ප්‍රත්‍යුත්පන්න ස්පර්‍ශය යන මෙබඳු වූ යම් පහසෙක් පහස්නා අයුරෙක් සංස්පර්‍ශාකාරයෙක් සංස්පර්‍ශ කළ බවෙක් වේ ද, මේ ‘ඵස්ස’ යයි කියනු ලැබේ.
විවේකදස්සී ඵස්සෙසු - චක්‍ෂුඃසංස්පර්‍ශය ආත්මයෙන් හෝ ආත්මනීයභාවයෙන් හෝ නිත්‍ය බැවින් - ධ්‍රැව - ශාශ්වත - අවිපරිණාමභාවයෙන් හෝ වෙන් කොට දකී, ශ්‍රෝතසංස්පර්‍ශය... ඝ්‍රාණ - ජිහ්වා - කාය - මනෝ - අධිවචනසංස්පර්‍ශය - පටිඝ - සුඛවේදනීය - දුක්ඛවෙදනීය - කුසල - අකුසල - අව්‍යාකෘත - කාමාවචර - රූපාවචර - අරූපාවචර - ලෞකිකස්පර්‍ශය ආත්මභාවයෙන් හෝ ආත්මනීය - නිත්‍ය - ධ්‍රැව - ශාශ්වත - අවිපරිණාමස්වභාවයෙන් හෝ වෙන් කොට දකී; නොහොත් අතීතස්පර්‍ශය අනාගත වූ ද වර්‍තමාන වූ ද පහසුන් ගෙන් වෙන් කොට දකී, අනාගතස්පර්‍ශය අතීත ප්‍රත්‍යුත්පන්නස්පර්‍ශයන්ගෙන් ද වෙන් කොට දකී, වර්‍තමානස්පර්‍ශය අතීත අනාගතස්පර්‍ශයන්ගෙන් ද වෙන් කොට දකී; නොහොත් යම් ඒ පහස් කෙනෙක් ආර්‍ය්‍ය වූවාහු අනාශ්‍රව වූවාහු ලෝකෝත්තර වූවාහු ශුන්‍යතා ප්‍රතිසංයුක්ත වූවාහු ද, ඒ ස්පර්‍ශයෙන් වෙන් වූවන් කොට දකී, රාගයෙන් ද්වේෂයෙන් මෝහයෙන් ක්‍රෝධයෙන් උපනාහයෙන් මක්ඛයෙන් පලාසයෙන් ඊර්‍ෂ්‍යායෙන් මාත්සර්‍ය්‍යයෙන් මායාවෙන් ශාඨ්‍යයෙන් ස්තම්භයෙන් මානයෙන් අතිමානයෙන් මදයෙන් ප්‍රමාදයෙන් සියලු කෙලෙසුන්ගෙන් සියලු දුශ්චරිතයන්ගෙන් සියලු දරථයන්ගෙන් සියලු පරිදාහයන්ගෙන් සියලු සන්තාපයන්ගෙන් සියලු අකුශලාභිසංස්කාරයන්ගෙන් වෙන් වූවන් කොට දකී නුයි ‘විවේකදස්සී ඵස්සෙසු’ යනු වේ.
දිට්ඨිසු ච න නීයති - ඔහු විසින් ද්වාෂෂ්ටිදෘෂ්ටිගතයෝ ප්‍රහීණ කරන ලද්දාහු සිඳින ලද්දාහු සන්හිඳුවන ලද්දාහු දුරලන ලද්දාහු අභව්‍යොත්පත්තික වූවාහු ඥානාග්නීන් දග්ධ වූවාහුය, හේ දෘෂ්ටිය විසින් නො යවනු ලැබෙයි නො පමුණුවනු ලැබෙයි නො හරිනු ලැබෙයි, ඒ දෘෂ්ටිගතයට සාරහෙයින් නො ද පැමිණෙයි, නො පෙරළා ඒ නුයි ‘දිට්ඨිසු ච න නීයති’ යනු වේ.
එයින් වදාළහ බුදුහු:
“නිරාසන්ති අනාගතෙ -පෙ- දිට්ඨිසු ච න නීයති” යී.
10. 5.
යමෙක් රාගාදිය ප්‍රහීණ කෙළේ කුහක නො වූයේ තෘෂ්ණා රහිත වූයේ නො මසුරු වූයේ කායාදි ප්‍රගල්භ රහිත වූයේ ජුගුප්සා නො කටයුතු වූයේ පිසුනු කීමෙහි නො යෙදුණේ ත් වේ ද, (ඔහු උපශාන්ත යයි කියමි.)
පතිලීනො අකුහකො - ‘පතිලීනො’ යනු: රාගය ප්‍රහීණ කළ බැවින් ‘පතිලීන’ යැ, ද්වේෂය - මෝහය ප්‍රහීණ කළ බැවින් - ක්‍රෝධය - උපනාහය - මකුබව - යුගග්‍රාහය - ඊර්‍ෂ්‍යාව - මාත්සර්‍ය්‍යය... සියලු අකුශලාභිසංස්කාරයන් ප්‍රහීණ කළ බැවින් ‘පතිලීන’ යැ; මේ වදාරන ලද මැය, භාග්‍යවතුන් විසින්: ‘කෙසේ නම් මහණෙනි, මහණ තෙමේ පතිලීන වේ ද? මහණෙනි, මේ මහණහුගේ අස්මිමානය ප්‍රහීණ වූයේ උසුන් මුල් ඇත්තේ තාල වස්තුවක් මෙන් කරන ලද්දේ අනභාවය කරන ලද්දේ මතු නූපදනා පියවි ඇත්තේ වෙයි. මෙසේ මහණෙනි, මහණ පතිලීන වේ යැ”යි ‘පතිලීනො’ යනු වේ.
අකුහකො - කුහනවස්තු තුනෙකි ප්‍රත්‍යයප්‍රතිෂෙධනසඞ්ඛ්‍යාත කුහන වස්තුව යැ ඊර්‍ය්‍යාපථසඞ්ඛ්‍යාත කුහනවස්තුව යැ සාමන්තජල්පනසඞ්ඛ්‍යාත කුහනවස්තුව යැයි.
ප්‍රත්‍යයප්‍රතිෂෙධනසඞ්ඛ්‍යාත කුහනවස්තුව කවරැ යත්? මෙහි ගැහැවියෝ මහණක් හට සිවුරු පිණ්ඩපාත සෙනසුන් ගිලන්පසබෙහෙත්පිරිකරින් පවරති, හෙතෙම පාපේච්ඡ වූයේ ආශායෙන් මඩනා ලදුයේ සිවුරු... බෙහෙත් පිරිකර කැමැති වූයේ බොහෝ කැමැති බව නිසා චීවරය ප්‍රතික්‍ෂේප කරයි. පිණ්ඩපාතය - සෙනස්න - ගිලන්පසබෙහෙත්පිරිකර ප්‍රතික්‍ෂේප කරයි. හේ මෙසේ කියයි: ‘මහණහට මාහැඟි සිවුරෙන් කිම? යම් හෙයකින් මහණ තෙමේ සොහොනින් හෝ කසළගොඩින් හෝ අවුණු දොරින් හෝ රෙදිකැබැලි රැස් කොට සඟළ කොට දරන්නේ නම් තෙල සරුප් වෙයි; මහණ හට මාහැඟි පිණ්ඩපාතයෙන් කිම? යම් හෙයකින් මහණ සිඟා හැසිරීමෙන් පිණ්ඩපාතයෙන් ලද ආලොපයෙන් ජීවිකාව කරන්නේ නම්, තෙල සරුප් වෙයි. මහණ හට මාහැඟි සෙනස්නෙන් කිම? යම් හෙයකින් මහණ රුක්ඛමූලික හෝ සෝසානික හෝ අබ්හොකාසික හෝ වන්නේ නම්, තෙල සරුප් වෙයි. මහණ හට මාහැඟි ගිලන්පසබෙහෙත්පිරිකරින් කිම? යම් හෙයකින් මහණ පූතිමූත්‍රයෙන් හෝ අරළුකඩෙකින් හෝ බෙහෙත් කරන්නේ නම්, තෙල සරුප් යැයි. එතැන් පටන් රළු සිවුරු දරයි, රළු පිණ්ඩපාතය වළඳයි, රළු සෙනසුන් ඇසුරු කරයි, රළු ගිලන්පසබෙහෙත්පිරිකර සේවනය කරයි. ගෘහපතියෝ ඔහු මෙසේ දැනගනිති: ‘මේ මහණ අල්පෙච්ඡ යැ, සන්තුෂ්ට යැ ‘ප්‍රවිවික්ත යැ’ අසංසෘෂ්ට යැ, ආරබ්ධවීර්‍ය්‍ය යැ, ධූතවාද යැ’යි චීවර... බෙහෙත්පිරිකරින් මතුමත්තෙහි පවරත්. හෙතෙම මෙසේ කියයි: “තිදෙනකුන්ගේ සම්මුඛ භාවයෙන් ශ්‍රද්ධාවත් කුලපුත්‍ර තෙමේ බොහෝ පින් රැස් කරයි: ශ්‍රද්ධාව හමු වීමෙන් සැදැහැති කුලපුත් තෙම බොහෝ පින් රැස් කරයි, දෙය්‍යධර්‍මය ඉදිරිපත් වීමෙන්... ප්‍රතිග්‍රාහකයන් සම්මුඛ වීමෙන් සැදැහැවත් කුලපුත්‍ර තෙම බොහෝ පින් රැස් කරයි; තොපට වැලිත් මෝ ශ්‍රද්ධාව ඇත් මැය, දෙය්‍යධර්‍මය ද විද්‍යමාන වෙයි, මම ද ප්‍රතිග්‍රාහක වෙමි; ඉදින් මම් නො පිළිගනිම් නම්, මෙසේ කල්හි තෙපි පිනින් පරිබාහිර වන්නහුය, මට මෙයින් ප්‍රයෝජනයෙක් නැත, තොපට මැ අනුකම්පා පිණිස පිළිගනිමි”යි එතැන් පටන් බොහෝ සිවුරුත් පිළිගනී, බොහෝ පිණ්ඩපාතයත් - බොහෝ සෙනාසනත් - බොහෝ ගිලන්පසබෙහෙත්පිරිකරත් පිළිගනී. මෙබඳු වූ යම් මුහුණ හැකිළීමෙක් මුහුණ හකුළුවන සුලු බවෙක් විස්මය කරවීමෙක් කුහනාකාරයෙක් කුහිත (-කොහොන්) බවෙක් වේ ද, මේ ප්‍රත්‍යයප්‍රතිෂෙධනසඞ්ඛ්‍යාත කුහනවස්තු යැ.
ඊර්‍ය්‍යාපථසඞ්ඛ්‍යාත කුහනවස්තුව කවරැ යත්? මෙහි කිසිවෙක් පවිටු වූ අදහස් ඇතියේ ඉච්ඡායෙන් මඩනා ලදුයේ බුහුමන් කරවන අදහස් ඇතියේ ‘මෙසේ ජන තෙමේ මා බුහුමන් කරන්නේ යැ’යි ගමන සකස් කෙරෙයි, සිටීම - හිඳීම - ශයනය සකස් කෙරෙයි. පතාගෙන (-සිත පිහිටුවා) යෙයි. පතා ගෙන සිටී. පතාගෙන හිඳී, පතාගෙන නිදයි. ධ්‍යාන සමාපන්නයකු මෙන් ගමන් යෙයි. සමාහිතයකු මෙන් සිටී. සමාහිතයකු මෙන් හිඳී, සමාහිතයකු මෙන් නිදයි. හමුයෙහි ධ්‍යාන කරන්නේ ද වෙයි. මෙබඳු යම් ඉරියවු ආදියෙහි තැබීමෙක් තබන අයුරෙක් මොනොවට තැබීමෙක් මුහුණ හැකිළීමෙක් මුහුණ හකුළුවන බවෙක් විස්මය කැරැවීමෙක් විස්මය පැවැත් වීමෙක් කොහොන් බවෙක් වේ ද, මේ ඊර්‍ය්‍යාපථසඞ්ඛ්‍යාත කුහනවස්තුව යැ.
සාමන්තජල්පන සඞ්ඛ්‍යාත කුහනවස්තුව කවරැ යත්? මෙහි කිසිවෙක් පවිටු අදහස් ඇතියේ ආශායෙන් මඩන ලදුයේ ‘ජනයා මා මෙසේ සල කරන්නේයැ’යි බුහුමන් කරවන අදහස් ඇතියේ ආර්‍ය්‍යධර්‍මයන් ඇසුරු කළ බස් බෙණෙයි: ‘යමෙක් මෙබඳු සිවුරක් ධරා නම් ඒ මහණ මහත් අනුභාව ඇත්තේ යැ’යි බෙණෙයි, යමෙක් මෙබඳු පාත්‍රයක් ධරා නම්, ලොහො තලුවක් - ඩබරාවක් - පෙරහනක් - කෙස්සක් - වහනක් - කාබානක් - අයොගයක් ධරා නම්, ඒ මහණ මහත් අනුභාව ඇත්තේ යැ’යි බෙණෙයි. ‘යමක් හට මෙබඳු වූ උපාධ්‍යායයෙක් වේ නම්, ඒ මහණ මහානුභාව ඇත්තේ යැ’යි බෙණෙයි. මෙබඳු වූ ආචාර්‍ය්‍යයෙක් - සමානොපාධ්‍යායයෝ - සමානාචාර්‍ය්‍යයෝ - මිත්‍රයෝ - දෘෂ්ටමාතුමිත්‍රයෝ - සම්භක්තයෝ - සහායයෝ වෙත් නම්, ඒ මහණ මහේශාක්‍ය යැ’යි කියයි. ‘යමෙක් මෙබඳු විහාරයෙක වෙසේ නම්, දික් පහයෙක - සිවුරැස්පහයෙක - සඳලු ඇති ගෙයෙක - ගල් ගුහායෙක - ගල්ලෙනෙක - කිළියෙක - කුළුගෙයෙක - අටල්ලෙක - මහලෙක - දිග්හලෙක - උපස්ථානශාලායෙක - මණ්ඩපයෙක - රුක්මුලෙක වෙසේ නම්, ඒ මහණ මහත් අනුභාව ඇත්තේ යැ’යි කියයි. නොහොත් ඉතා හැකිළෙනුයේ ඉතා මුහුණුහකුළුවන සුලු වූයේ ඉතා විස්මය කරවනුයේ ඉතා ප්‍රලාප තෙපුල් බණනුයේ සිය මුවින් මැ (අනුන් විසින්) සම්භාවනා කරන ලද්දේ ‘මේ මහණ මෙබඳු වූ ශාන්ත වූ විහාරසමාපත්තීන් ලබනසුලු යැ’යි එබඳු වූ ගැඹුරු වූ ගූඪ වූ සියුම් වූ මුවහ කටයුතු වූ ලෝකෝත්තර වූ නිර්‍වාණප්‍රතිසංයුක්ත වූ කථා කියයි. මෙබඳු යම් මුහුණ හැකුළුමෙක් මුහුණ හකුළුවන බවෙක් විස්මය කැරැවීමෙක් විස්මය පැවැත්වීමෙක් කොහොන් බවෙක් වේ ද, මේ සාමන්තජල්පනසඞ්ඛ්‍යාත කුහනවස්තුව යැයි කියනු ලැබේ.
යමක්හු විසින් මේ තුන් කුහනවසුතූහු ප්‍රහීණ කරන ලද්දාහු... ඥානාග්නීන් දග්ධ වූවාහු ද, හේ ‘අකුහක’ යැයි කියනු ලැබේ නුයි ‘පතිලීනො අකුහකො’ යනු වේ.
අපිහාලු අමච්ඡරී - ‘පිහා’යී තෘෂ්ණාව කියනු ලබයි. යම් රාගයෙක්... ලොභඅකුශලමූලයෙක් වේ ද එය යි. යමක්හු විසින් තෙල පිහාව තෘෂ්ණාව ප්‍රහීණ කරන ලද්දී - නුවණගින්නෙන් දවන ලද්දී ද හේ ‘අපිහාලු’ යැයි කියනු ලැබෙයි. හෙතෙම රූපයන් නො කැමැති වෙයි. ශබ්ද - ගන්‍ධ - රස - ස්ප්‍රෂ්ටව්‍යයන් - කුලය - ගණයා - ආවාසය - ලාභය - යශස් - ප්‍රශංසා - සුඛය, චීවර - පිණ්ඩපාත - සේනාසන - ගිලන්පසබෙහෙසත්පිරිකර, කාමධාතුව - රූප - අරූපධාතුව, කාමභවය - රූප - අරූප - සංඥා - අසංඥා - නෛවසංඥානාසංඥා - එකවොකාර - චතුවෝකාර - පඤ්චවෝකාරභවය, අතීත - අනාගත - ප්‍රත්‍යුත්පන්නය, දෘෂ්ටශ්‍රැතමුතවිඥාතව්‍යධර්‍මයන් නො කැමැති වෙයි, නො රිසි වෙයි, නො ඉවසයි, නො පතයි, අභිජල්පනය නො කෙරේ නුයි ‘අපිහාලු’ යනු වේ. අමච්ඡරී ‘ආවාසමච්ඡරිය කුලමච්ඡරිය වණ්ණමච්ඡරිය ලාභමච්ඡරිය ධම්මමච්ඡරිය’යි මාත්සර්‍ය්‍ය පසෙක් වෙයි; මෙබඳු යම් මසුරුබවෙක් මසුරු කරන අයුරෙක් මසුරුකමින් යුත් බවෙක් (සම්පත්) සඟවනු කැමැතිබවෙක් තදමසුරුබවෙක් කටුකබැවින් සිත හැකිළීමෙක් සිත හාත්පසින් ගත්බවෙක් වේ ද, මේ ‘මච්ඡරිය’යී කියනු ලැබේ. තවද ස්කන්‍ධමාත්සර්‍ය්‍ය්‍ය ද ‘මච්ඡරිය’ යැ ධාතුමාත්සර්‍ය්‍යය ද - ආයතනමාත්සර්‍ය්‍යය ද ‘මච්ඡරිය’ යැ, ග්‍රාහයැ යන මේ ‘මච්ඡරිය’යී කියනු ලැබෙයි. යමක්හු විසින් තෙල මාත්සර්‍ය්‍යය ප්‍රහීණ කරන ලද ද... නුවණ ගින්නෙන් දවන ලද ද, ‘අමච්ඡරී’ යැයි කියනු ලැබේ නුයි ‘අපිහාලු අමච්ඡරී’ යනු වේ.
අප්පගබ්භො අජෙගුච්ඡො - ‘පාගබ්භිය’ නම්: කායික ප්‍රාගල්භ්‍ය (-බුහුටිබව) යැ, වාචසික ප්‍රාගල්භ්‍ය යැ, චෛතසික ප්‍රාගල්භ්‍ය යැයි ප්‍රාගල්භ්‍යයෝ තිදෙනෙක් වෙති. කායික ප්‍රාගල්භ්‍ය කවරැ යත්? මෙහි කිසිවෙක් සඟමැදට පැමිණියේ ද කායිකප්‍රාගල්භ්‍ය (-නො සරුප් බුහුටිබව) දක්වයි, ගණමැදට ගියේද - භොජනශාලායෙහි දු - ගිනිහල්ගෙයි දු - දිය තොටෙහි දු - ඇතුළුගමට පිවිසෙනුයේ ද - ඇතුළුගමට පිවිසියේ ද - කායිකප්‍රගල්භතාව දක්වයි.
කෙසේ සඟමැදට පැමිණියේ කායික ප්‍රාගල්භ්‍යය දක්වා ද යත්? මෙහි එකෙක් සඟමැදට පැමිණියේ නො කළ බුහුමන් ඇතියේ ස්ථවිර භික්‍ෂූන් ගටමිනු දු සිටී, ගටමිනු දු හිඳී, ඉදිරියෙහි දු සිටී, ඉදිරියෙහි දු හිඳී, උසස්නෙහිදු හිඳී, හිස් වසා පෙරවැ හිඳී. සිට ද බෙණෙයි, අත සලසලා ද බෙණෙයි. මෙසේ සඟමැදට පැමිණියේ කායිකප්‍රාගල්භ්‍යය දක්වයි.
කෙසේ ගණමැදට පැමිණියේ කායිකප්‍රාගල්භ්‍යය දක්වාද යත්? මෙහි එකෙක් ගණමැදට පැමිණියේ බුහුමන් රහිත වූයේ ස්ථවිරභික්‍ෂූන් වහන් නැති වැ සක්මන් කරන කල්හි වහන් නැඟී සක්මන් කෙරෙයි, පහත් සක්මනැ සක්මන් කරන කල්හි උස් සක්මැන සක්මන් කෙරෙයි, බිමැ සක්මන් කරන කල්හි සක්මනෙහි සක්මන් කෙරෙයි, ගටමිනු දු සිටී, ගටමිනු දු හිඳී, ඉදිරියෙහි දු සිටී, ඉදිරියෙහි දු හිඳී, උසස්නෙහි දු හිඳී, හිස් වසා පෙරවැ හිඳී, සිට ද බෙණෙයි, අත සල සලා ද බෙණෙයි. මෙසේ ගණයා මැදට පැමිණියේ කායික වූ ප්‍රාගල්භ්‍යය (-නො සරුප් බුහුටිබව) දක්වයි.
කෙසේ බොජුන්හල්හි කායික ප්‍රාගල්භ්‍යය දක්වා ද යත්? මෙහි එකෙක් බොජුන්හල්හි බුහුමන් රහිත වූයේ ස්ථවිර භික්‍ෂූන් හුන් තැනට වැද හිඳී. නවක භික්‍ෂූන් ද අස්නෙන් පිළිබහයි. ගැටෙමිනු දු සිටී. ගැටෙමිනු දු හිදී. ඉදිරියෙහි දු සිටී. ඉදිරියෙහි දු හිඳී. උසස්නෙහි දු හිඳී. හිස වසා පෙරවැ ගෙන ද හිඳී. සිට ද බෙණෙයි. අත සල සලා ද බෙණෙයි. මෙසේ බොජුන්හල්හි කායිකප්‍රාගල්භ්‍යය දක්වයි.
කෙසේ ගිනිහල්ගෙයි කායිකප්‍රාගල්භ්‍යය දක්වා ද යත්? මෙහි එකෙක් ජන්තාඝරයෙහි බුහුමන් රහිත වූයේ ස්ථවිරභික්‍ෂූන් ගටමිනි දු සිටී... නො පිළිවිසැ දර හා බහාලයි. නො පිළිවිසැ දොර හා පියා ලයි. අත සල සලා ද බෙණෙයි. මෙසේ ජන්තාඝරයෙහි කායිකප්‍රාගල්භ්‍යය දක්වයි.
කෙසේ පැන්තොටැ කායිකප්‍රාගල්භ්‍යය දක්වා ද යත්? මෙහි එකෙක් පැන්තොට බුහුමන් රහිත වූයේ ස්ථවිරභික්‍ෂූන් ගටමිනු දු බසී. පෙරටුව ද බසී. ගටමිනු දු නහයි. ඉදිරියෙහි දු නහයි. උඩුගංහි දු නහයි. ගටමිනු දු නැඟෙයි, පෙරටුව ද නැඟෙයි, උඩිනු දු නැඟෙයි. මෙසේ පැන්තොටැ කායික ප්‍රගල්භ බව දක්වයි.
කෙසේ ගොදුරුගමට වදනේ කායිකප්‍රාගල්භ්‍යය දක්වා ද යත්? මෙහි එකෙක් ගොදුරුගමට වදනේ නො කළ බුහුමන් ඇතියේ ස්ථවිරභික්‍ෂූන් ගටමිනු දු යෙයි. පෙරටුව ද යෙයි. ඉක්මවා ද ස්ථවිරභික්‍ෂූන්ට පෙරටු වැ යෙයි. මෙසේ ගොදුරුගමට පිවිසෙනුයේ ද කායිකප්‍රාගල්භ්‍යය දක්වයි.
කෙසේ ඇතුළුගමට පිවිසියේ කායිකප්‍රාගල්භ්‍යය දක්වා ද යත්? මෙහි එකෙක් ඇතුළුගමට පිවිසියේ ‘නො පිවිසෙන්න වහන්සැ’යි කියනු ලබන්නේ පිවිසෙයි. ‘නො සිටින්න වහන්සැ’යි කියනු ලබන්නේ සිටී. ‘නො හිඳින්න වහන්සැ’යි කියනු ලබන්නේ හිඳී. අනවකාශයට ද පිවිසෙයි, අනවකාශයෙහි දු සිටී, අනවකාශයෙහි දු හිඳී, කුලවැස්සන්ගේ (පියවින්) මුවහවූ ද (තිරආදියෙන්) මුවහකළා වූ ද කුලස්ත්‍රීන් කුලදුහිතෲන් කුලසුණ්හාවන් හිඳිනා යම් ඔවරක (-ඇතුළුගබඩා) වෙත් නම් එහි දු ලාහෙලා පිවිසෙයි. කුමරුන් හිස ද පිරිමදී. මෙසේ ඇතුළුගමට පිවිසියේ කායිකප්‍රාගල්භ්‍යය දක්වයි.
වාචසික ප්‍රාගල්භ්‍යය කවර යත්? මෙහි එකෙක සඟමැදට ගියේ ද - ගණ මැදට ගියේ ද - ඇතුළුගමට පිවිසියේ ද වාචසිකප්‍රාගල්භ්‍යය දක්වයි:
කෙසේ සඟමැදට ගියේ වාචසික ප්‍රාගල්භ්‍යය දක්වා ද යත්? මෙහි එකෙක් සඟමැදට ගියේ නො කළ බුහුමන් ඇතියේ ස්ථවිරභික්‍ෂූන් නො පිළිවිසැ හෝ නො ඇණවන ලද වැ හෝ බණ කියයි. පැන විසඳයි. පාමොක් උදෙසයි. සිටියේ ද බෙණෙයි. අත සල සලා ද බෙණෙයි. මෙසේ සඟමැදට ගියේ වාචසිකප්‍රාගල්භ්‍යය දක්වයි.
කෙසේ ගණමැදට ගියේ වාචසිකප්‍රාගල්භ්‍යය දක්වා ද යත්? මෙහි එකෙක් ගණමැදට ගියේ නො කළ බුහුමන් ඇතියේ ස්ථවිරභික්‍ෂූන් නො පිළිවිසැ හෝ නො පවරන ලදුයේ හෝ අරමට වන් මහණුන්ට බණ කියයි, පැන විසඳයි, සිටියේ ද බෙණෙයි, අත සල සලා ද බෙණෙයි, අරමට වන් මෙහෙණනට - උවසුවනට - උවැසියනට බණ කියයි, පැන විසඳයි, සිටියේ ද බෙණෙයි. අත සල සලා ද බෙණෙයි. මෙසේ ගණමැදට ගියේ වාචසිකප්‍රාගල්භ්‍යය දක්වයි.
කෙසේ ඇතුළුගමට පිවිසියේ වාචසිකප්‍රාගල්භ්‍යය දක්වා ද යත්? මෙහි එකෙක් ගොදුරුගමට පිවිසියේ ස්ත්‍රියකට හෝ කුමරියකට හෝ මෙසේ කියයි: ‘මෙ නම් ඇත්තිය, මෙ ගොත් ඇත්තිය, කුමක් ඇද්ද? කැඳ ඇත් ද, බත් ඇත් ද? කෑයුතු ඇත් ද? කුමක් බොන්නමෝ ද? කුමක් වළඳන්නමෝ ද? කුමක් කන්නමෝ ද? කුමක් හෝ ඇද්ද? කුමක් හෝ මට දෙවු දැ’යි නන් දොඩයි; මෙසේ අන්තරඝරයට පිවිසියේ වාචසික ප්‍රාගල්භ්‍යය දක්වයි. මේ වාචසිකප්‍රාගල්භ්‍යය යි.
චෛතසීකප්‍රාගල්භ්‍යය කවරේ ද යත්? මෙහි එකෙක් උසස් නො වූ කුලයෙන් නික්මැ පැවිදි වූයේ උසස් කුලයෙන් පැවිදිවූවකු හා තමා සම කොට සිතින් දහයි, නො මහත්කුලයෙන් නික්මැ පැවිදි වූයේ... නො මහත් භොග ඇති කුලයෙන් නික්මැ පැවිදි වූයේ... උදාරභොගවත් නො වූ කුලයෙන් නික්මැ පැවිදි වූයේ... සෞත්‍රාන්තිකයකු හා තමා සදෘශ කොට සිතින් දහයි, විනයධර නො වූයේ - ධර්‍මකථික නො වූයේ - ආරණ්‍යක නො වූයේ - පිණ්ඩපාතික නො වූයේ - පංසුකූලික නො වූයේ - තෙචීවරික නො වූයේ - සපදානචාරික නො වූයේ - ඛලුපච්ඡාභත්තික නො වූයේ - නෙසජ්ජික නො වූයේ - යථාසන්‍ථතික නො වූයේ - ප්‍රථමධ්‍යානලාභී නො වූයේ - ප්‍රථමධ්‍යානලාභියකු හා තමා සදෘශ කොට සිතින් දහයි,... නෙවසඤ්ඤානාසඤ්ඤායතනසමාපත්තිලාභී නො වූයේ නෙවසඤ්ඤානාසඤ්ඤායතනසමාපත්තිලාභියකු හා තමා සදෘශ කොට සිතින් දහයි. මේ චෛතසීකප්‍රාගල්භ්‍යය යි.
යමක්හු විසින් මේ ත්‍රිවිධ ප්‍රගල්භභාවයෝ ප්‍රහීණ කරන ලද්දාහු සමුච්ඡින්න වූවාහු සන්හිඳුවන ලද්දාහු දුරලන ලද්දාහු අභව්‍යොත්පත්තික වූවාහු ඥානාග්නීන් දග්ධ වූවාහු ද හේ අප්‍රගල්භ යයි කියනු ලැබේ නුයි ‘අප්පගබ්භො’ යනු වේ.
අජෙගුච්ඡො - ජුගුප්සා (-පිළිකුල්) කටයුතු පුද්ගලයෙක් ඇත, ජුගුප්සා නො කටයුතු පුද්ගලයෙක් ඇත. ජුගුප්සා කටයුතු පුද්ගලයා කවරේ ද යත්? මෙහි එක් පුද්ගලයෙක් දුශ්ශීල වෙයි, ලාමකස්වභාව ඇතියේ අපවිත්‍ර වූ සැකයෙන් සිහි කළයුතු හැසිරීම් ඇතියේ සැඟ වූ කායවාක්කර්‍ම ඇතියේ අශ්‍රමණ වූයේ ‘ශ්‍රමණයෙමී’ ප්‍රතිඥා ඇත්තේ අබ්‍රහ්මචාරී වූයේ ‘බ්‍රහ්මචාරී වෙමී’ ප්‍රතිඥා ඇත්තේ (කුසල් නැතියෙන්) ඇතුළත කුණු වූයේ රාගයෙන් තෙත් වූයේ කසළ වැනි වූයේ වේ. මේ පුද්ගල තෙම ජුගුප්සා කට යුත්තේ යයි කියනු ලැබේ. නොහොත් කිපෙන සුලු වූයේ උපායාස බහුල කොට ඇත්තේ වෙයි, මඳකුදු කියන ලදුයේ ලැගෙයි කිපෙයි ප්‍රකෘතිය හරී තදබවට පැමිණෙයි කොපයත් ද්වේෂයත් නො සතුටත් පහළ කෙරෙයි. මේ පුද්ගල තෙමේ ජුගුප්සා කටයුතු වෙයි. නොහොත් කිපෙන සුලු වූයේ බද්ධවෛර ඇත්තේ වෙයි, මකු වූයේ යුගග්‍රාහ ඇත්තේ වෙයි, ඊර්‍ෂ්‍යා කරනුයේ මසුරු වූයේ වෙයි, ශඪ (-කෛරාටික) වූයේ මායා ඇත්තේ වෙයි, තද වූයේ අධිකමාන ඇත්තේ වෙයි, පාපේච්ඡ වූයේ මිත්‍ථ්‍යාදෘෂ්ටි ඇත්තේ වෙයි, ස්වදෘෂ්ටිය පරාමර්‍ශ කරනුයේ දැඩි ව ගන්නේ දුර ලන්නට නො හැකි වූයේ වේ. මේ පුද්ගල තෙමේ ජුගුප්සිතව්‍ය යැයි කියනු ලැබේ.
කවර පුද්ගලයෙක් ජුගුප්සා නො කටයුත්තේ වේ ද යත්? මේ සස්නෙහි මහණ තෙමේ සිල් ඇත්තේ වෙයි, ප්‍රාතිමෝක්‍ෂසංවරයෙන් සංවර වූයේ වෙසෙයි, ආචාරයෙන් හා ගෝචරයෙන් යුක්ත වූයේ අණු මාත්‍ර වූ වරදෙහි දු භය දක්නේ මොනොවට ගෙන ශික්‍ෂා කොටසෙහි හික්මෙයි; මේ පුද්ගල තෙමේ ජුගුප්සා නො කටයුතු යැයි කියනු ලැබේ. නොහොත් නො කිපෙන සුලු වූයේ උපායාස බහුල කොට නැත්තේ වෙයි, බොහෝ කොට ද කියන ලදුයේ නො ඇලෙයි, නො කිපෙයි, ප්‍රකෘතිය නො හරී, තදබවට නො පැමිණෙයි, කෝපය ත් ද්වේෂය ත් නො සතුට ත් නො පහළ කෙරෙයි. මේ පුද්ගල තෙම ජුගුප්සා නො කටයුතු යැයි කියනු ලැබේ. නොහොත් නො කිපෙනසුලු වූයේ බද්ධවෛර නැත්තේ වෙයි, නො මකු වූයේ යුගග්‍රාහ නැත්තේ වෙයි, ඊර්‍ෂ්‍යා නැත්තේ නො මසුරු වෙයි, ශඨ නො වූයේ මාහා රහිත වෙයි, නො තද වූයේ අතිමාන රහිත වෙයි, ලාමක ආශා රහිත වූයේ මිත්‍ථ්‍යාදෘෂ්ටි නැත්තේ වෙයි, ස්වකීය දෘෂ්ටිය පරාමර්‍ශ නො කරනුයේ දැඩි කොට නො ගන්නේ සුවසේ දුරැලියැ හැක්කේ වෙයි; මේ පුද්ගල තෙමේ අජුගුප්සිතව්‍ය යයි කියනු ලැබේ. සියලු මැ බාලපෘථග්ජනයෝ ජුගුප්සා කට යුත්තෝ යැ කල්‍යාණපෘථග්ජනයා පටන් අෂ්ටාර්‍ය්‍යපුද්ගලයෝ ජුගුප්සා නො කටයුත්තාහු නුයි ‘අප්පගබ්භො අජෙගුච්ඡො’ යනු වේ.
පෙසුනෙය්‍යෙ ච නො යුතො - ‘පෙසුඤ්ඤ’ නම්: මෙහි එකෙක් පිසුනු බස් කියන්නේ වෙයි: මෙ තැනින් අසා මුන්ගේ බිඳුමට එතැන කියන්නේ වෙයි, එතැනින් හෝ අසා අරුන්ගේ බිඳීමට මුන්ට කියන්නේ වෙයි, මෙසේ සමහවූවන් හෝ බිඳිනුයේ භෙදවූවන් හෝ දැඩි කරනුයේ වර්‍ග වීමෙහි ඇලුණේ වර්‍ග වූවන් කෙරෙහි රුචි ඇත්තේ වර්‍ග වූවන්ට සතුටු වනුයේ වර්‍ග කරන බස් කියන්නේ වෙයි; මේ පෛශුන්‍ය යයි කියනු ලැබේ.
තවද දෙකරුණෙකින් පිසුනු එළවා කියයි: ප්‍රියකාම්‍යතායෙන් හෝ භෙදාධිප්‍රාය ඇති වැ හෝ යැ. කෙසේ ප්‍රිය කැමැති බැවින් පිසුනු කියා ද යත්? මොහුට ප්‍රිය වන්නෙමි, මනාප වන්නෙමි, විස්වැසි වන්නෙමි, ආභ්‍යන්තරික වන්නෙමි, සුහෘද් වන්නෙමී’ මෙසේ ප්‍රියකාම්‍යතායෙන් පිසුනු බස් කියයි. කෙසේ භෙදාධිප්‍රායයෙන් පිසුනුබස් කියා ද යත්? මොහු කෙසේ නම් නානා වන්නාහු ද? වෙන් වන්නාහු ද? වර්‍ග වන්නාහු ද? දෙපරිදි වන්නාහු ද? දෙකඩ වන්නාහු ද? දෙ පක්‍ෂ වන්නාහු ද? බිඳෙන්නාහු නො එක්වන්නාහු ද? දුකසේ නො සුවයෙන් වෙසෙන්නාහු දැ’යි මෙසේ භේද කරන අදහස් ඇති වැ පිසුනු කියයි. යමක්හු විසින් තෙල පෛශුන්‍යය ප්‍රහීණ ද සමුච්ඡින්න ද සන්හිඳුවන ලද ද, දුරලන ලද ද, අභව්‍යොත්පත්තික ද ඥානාග්නීන් දග්ධ ද, හෙතෙම පෛශුන්‍යයෙහි නො යෙදුණේ අතිශයින් නො යෙදුණේ සංයුක්ත නො වූයේ නුයි ‘පෙසුනෙය්‍යෙ ච නො යුතො’ යනු වේ.
එයින් වදාළහ බුදුහු:
“පතිලීනො අකුහකො -පෙ- පෙසුනෙය්‍යෙ ච නො යුතො” යී.
10. 6.
(යමක් හට) පස්කම්ගුණයෙහි තෘෂ්ණාව නො පවතී ද, (යමෙක්) අතිමානයෙහි නො යෙදුණේත් වේ ද, සිනිඳු වූ කායකර්‍මාදියෙන් යුක්ත ද, ප්‍රතිභානයෙන් සමන්‍විත වූයේ ද, (පරප්‍රත්‍යයෙන්) නො හදහා ද, (වීතරාග හෙයින්) නො රඳනේ ත් වේ ද, (ඔහු උපශාන්ත යයි කියමි.)
සාතියෙසු අනස්සාවී - ‘සාතියා’යී පස්කම් ගුණයෝ කියනු ලැබෙත්. කුමක් හෙයින් පස්කම්ගුණයෝ ‘සාතියා’යී කියනු ලැබෙත් ද යත්? බොහෝ සෙයින් දෙවිමිනිස්හු පස් කම්ගුණයන් ආශා කෙරෙති, ඉවසති පතති කැමැති වෙති අභිජල්පන කෙරෙත්; එ කරුණෙන් පස් කම්ගුණයෝ ‘සාතිය’යී කියනු ලැබෙති. යම් කෙනකුන්ට මෝ පඤ්චකාමගුණයෙහි තෘෂ්ණාව අප්‍රහීණ වූවා ද, ඔවුන්ට චක්‍ෂුර්ද්වාරයෙහි (ජවනසම්ප්‍රයුක්ත) රූපාලම්බනතෘෂ්ණාව උපදී, හාත්පසින් උපදී, ගලයි, පවතී. ශ්‍රොත්‍රද්වාරයෙහි ශබ්දතෘෂ්ණාව - ඝ්‍රාණද්වාරයෙහි ගන්‍ධතෘෂ්ණාව - ජිහ්වාද්වාරයෙහි රසතෘෂ්ණාව - කායද්වාරයෙහි ස්ප්‍රෂ්ටව්‍යතෘෂ්ණාව - මනෝද්වාරයෙහි ධර්‍මතෘෂ්ණාව උපදී, හාත්පසින් උපදී, ගලයි පවතී; යම් කෙනකුන් විසින් මෝ පඤ්චකාමගුණ තෘෂ්ණාව ප්‍රහීණකරන ලද්දී සිඳින ලද්දී සන්හිඳුණි දුරලන ලද්දී අභව්‍යොත්පත්තික වූවා ඥානාග්නීන් දවන ලද්දී ද, ඔවුන්ට චක්‍ෂුර්ද්වාරයෙහි රූපතෘෂ්ණාව නූපදී - ශ්‍රොත්‍රද්වාරයෙහි ශබ්දතෘෂ්ණාව... මනෝද්වාරයෙහි ධර්‍මතෘෂ්ණාව නූපදී, හාත්පසින් නූපදී, නො ගලයි, නො පවතීනුයි ‘සාතියෙසු අනස්සාවී’ යනු වේ.
අතිමානෙ ච නො යුතො - අතිමානය කවරැ යත්? මෙහි එකෙක් ජාතියෙන් හෝ ගෝත්‍රයෙන් හෝ... එක්තරා කරුණකින් හෝ මෙරමා ඉක්මැ සිතයි; මෙබඳු යම් මානයෙක් මාන කරන අයුරෙක් මාන කරන බවෙක් උන්නතියෙක් නඟා තැබීමෙක් මානධ්වජයෙක් දැඩිව ගැනීමෙක් චිත්තයාගේ කෙතුකම්‍යතාවක් වේ ද, මේ අතිමාන යයි කියනු ලැබේ. යමක්හු විසින් තෙල අතිමාන ප්‍රහීණ කරන ලද්දේ... නුවණගින්නෙන් දවන ලද්දේ ද, හෙතෙම අතිමානයෙහි ද නො යෙදුණේ යුක්ත නො වූයේ ප්‍රයුක්ත නො වූයේ හාත්පසින් නො යෙදුණේ නුයි ‘අතිමානෙ ච නො යුතො’ යනු වේ.
සණ්හො ච පටිභානවා - ‘සණ්හො’ යනු: මෘදු වූ කායකර්‍මයෙන් යුක්ත වූයේ නුයි ‘සණ්හ’යැ මෘදු වූ වාක්කර්‍මයෙන් - මෘදු වූ මනඃකර්‍මයෙන් - මෘදු වූ සතිපට්ඨානයන් ගෙන් - මෘදු වූ සම්‍යක්ප්‍රධානයන් ගෙන් - ඍද්ධිපාදයන්ගෙන් ඉන්‍ද්‍රියයන් ගෙන් බලයන් ගෙන් - බෝධ්‍යඞ්ගයන් ගෙන් - මෘදු වූ ආර්‍ය්‍ය අෂ්ටාඞ්ගිකමාර්‍ගයෙන් සමන්‍විත වූයේ නුයි ‘සණ්හ’ යැ; පටිභානවා - පර්‍ය්‍යාප්තිප්‍රතිභානවත් යැ, පරිපෘච්ඡාප්‍රතිභානවත් යැ, අධිගමප්‍රතිභානවත් යැයි ප්‍රතිභානවත්හු තිදෙනෙක් වෙති: කවරෙක් පර්‍ය්‍යාප්තිප්‍රතිභානවත් ද යත්? මේ සස්නෙහි එකක්හු විසින් සුත්ත යැ ගෙය්‍ය - වෙය්‍යාකරණ - ගාථා - උදාන - ඉතිවුත්තක - ජාතක - අබ්භූතධම්ම - වෙදල්ල යැ (යන නවාඞ්ගය) පියවින් මැ පුහුණු කරන ලද වෙයි, ඔහුට පර්‍ය්‍යාප්තිය නිසා ඥානය අභිමුඛ වෙයි; මේ පර්‍ය්‍යාප්තිප්‍රතිභානවත් යැ. කවරෙක් පරිපෘච්ඡාප්‍රතිභානවත් වේ ද යත්? මේ සස්නෙහි එකෙක් ආත්මාර්ත්‍ථයන් ද න්‍යායාර්ත්‍ථයන් ද ලක්‍ෂණයන් ද කාරණයන් ද ස්ථානාස්ථානයන් ද පුළුවුස්නේ වෙයි, ඔහුට ඒ පිළිවිසීම නිසා ඥානය අභිමුඛ වෙයි, මේ තෙම පරිපෘච්ඡාප්‍රතිභානවත් යැ. කවරෙක් අධිගමප්‍රතිභානවත් වේ ද යත්? මේ සස්නෙහි එකක්හු විසින් සතර සතිපට්ඨානයෝ අධිගත වූවාහු වෙති, සතර සම්‍යක්ප්‍රධානයෝ - සතර ඍද්ධිපාදයෝ - පඤ්චේන්‍ද්‍රියයෝ - පඤ්ච බලයෝ - සප්ත බෝධ්‍යඞ්ගයෝ - ආර්‍ය්‍යඅෂ්ටාඞ්ගිකමාර්‍ගය - සතර ආර්‍ය්‍යමාර්‍ගයෝ - සතර ශ්‍රාමණ්‍යඵලයෝ - සතර ප්‍රතිසංවිද්හු - ෂඩ්භිඥාවෝ අධිගත වූවාහු වෙත්. ඔහු විසින් අර්‍ත්‍ථය දන්නා ලද, ධර්‍මය දන්නා ලද, නිරුක්තිය දන්නා ලදු. අර්‍ත්‍ථ (- හේතුඵල)ය ප්‍රකට වූ කල්හි අර්‍ත්‍ථය නුවණට අභිමුඛ වෙයි, ධර්‍ම (-ප්‍රත්‍යය)ය ප්‍රකට වූ කල්හි ධර්‍මය නුවණට අභිමුඛ වෙයි, නිරුක්තිය ප්‍රකට වූ කල්හි නිරුක්තිය නුවණට අභිමුඛ වෙයි, මේ ත්‍රිවිධඥානයෙහි ප්‍රභෙදගත වූ ඥානය ‘පටිභානපටිසම්භිදා’ නමු, මේ පටිභානපටිසම්භිදායෙන් උපේත සමුපේත උපාගත සමුපාගත උප්පන්න සමුප්පන්න සමන්‍වාගත වෙයි, හේ ‘ප්‍රතිභානවත්’යයි කියනු ලැබෙයි. යමක් හට පර්‍ය්‍යාප්තිය නැත් නම්, පරිපෘච්ඡාව නැත් නම්, අධිගමය නැත් නම්, ඔහුට කුමක් වැටහෙන්නේ දැ’යි ‘සණ්හො ච පටිභානවා’ යනු වේ.
න සද්ධො න විරජ්ජති - ‘න සද්ධො’ යනු: තෙමේ මැ තමා විසින් අවබෝධ කළ තම හට ප්‍රත්‍යක්‍ෂ වූ ධර්‍මය අන් මහණකුගේ හෝ බමුණකුගේ හෝ දෙවියකුගේ හෝ මරකුගේ හෝ බඹකුගේ හෝ කිසිවක්හුගේ බසින් නො හදහයි; ‘සියලු සංස්කාරයෝ අනිත්‍යයෝ යැ’යි තෙමේ මැ තමා විසින් අවබෝධ කළ... ‘සියලු සංස්කාරයෝ දුඃඛයෝ යැ’යි, සියලු ධර්‍මයෝ අනාත්මයෝ යැ’යි... ‘අවිද්‍යාප්‍රත්‍යයෙන් සංස්කාරයෝ වෙතී’... ‘ජාතිප්‍රත්‍යයෙන් ජරාමරණ වේ යැ’යි... ‘මේ දුඃඛසත්‍ය යැ’යි... ‘මෝ දුඃඛනිරෝධගාමිනීප්‍රතිපදාව යැ’යි... ‘මොහු ආස්‍රවයෝ යැ’යි... ‘මෝ ආස්‍රවනිරොධගාමිනීප්‍රතිපදාව යැ’යි... ‘මේ ධර්‍මයෝ දතයුත්තාහ’යි... ‘මේ ධර්‍මයෝ ප්‍රත්‍යක්‍ෂ කටයුත්තාහ’යි තෙමේ මැ තමා විසින් අවබෝධ කළ... සවැදෑරුම් ස්පර්‍ශායතනයන්ගේ පහළවීම ද විනාශය ද ආස්වාදය ද ආදීනවය ද නිස්සරණය ද, පඤ්චොපාදානස්කන්‍ධයන්ගේ සමුදය ද... සතර මහාභූතයන්ගේ සමුදය ද අස්තඞ්ගමය ද ආස්වාදය ද ආදීනවය ද නිස්සරණය ද තෙමේ මැ තමා විසින් අවබෝධ කළ... ‘යම් කිසි සමුදයධර්‍මයෙක් වේ නම් ඒ සියල්ල නිරුද්ධ වන පියවි ඇතැ’යි තෙමේ මැ තමා විසින් අවබෝධ කළ තම හට ප්‍රත්‍යක්‍ෂ වූ ධර්‍මය අන් කිසි මහණකුගේ හෝ බමුණකුගේ හෝ දෙවියකුගේ හෝ මරකුගේ හෝ බඹකුගේ හෝ බසින් නො හදහයි. මේ වදාරන ලද මැය, බුදුන් විසින්:
“ශාරිපුත්‍රයෙනි, තෙපි ශ්‍රද්ධේන්‍ද්‍රිය වඩන ලදුයේ නැවත නැවත වඩන ලදුයේ නිවනෙහි ඇතුළත් වෙයි, නිවන පිහිට කොට ඇත, නිවන කෙළවර කොට ඇතැ”යි හදහවු ද? වීර්‍ය්‍යෙන්‍ද්‍රිය - ස්මෘතීන්‍ද්‍රිය - සමාධීන්‍ද්‍රිය - ප්‍රඥේන්‍ද්‍රිය භාවිත බහුලීකෘත වූයේ අමතෝගධ අමතපරායණ අමතපරියොසාන වේ යයි හදහවු දැ”යි. ස්වාමීනි, මම් මෙහිලා භාග්‍යවතුන් වහන්සේගේ (වචනය) හැදැහීමෙන් අවබෝධ නො කෙරෙමි, සද්ධින්‍ද්‍රිය - වීරියින්ද්‍රිය - සතින්‍ද්‍රිය - සමාධින්‍ද්‍රිය - ප්‍රඤ්ඤින්ද්‍රිය භාවිත බහුලීකෘත වූයේ අමෘතයෙහි ඇතුළත් වූයේ අමෘතය ප්‍රතිෂ්ඨා කොට ඇත්තේ අමෘතය නිෂ්ඨා කොට ඇත්තේය’යි. ස්වාමීනි. යම් කෙනකුන් විසින් තෙල නො දන්නා ලද්දේ (නුවණින්) නො දක්නා ලද්දේ අවබෝධ නො කරන ලද්දේ ප්‍රත්‍යක්‍ෂ නො කරන ලද්දේ ප්‍රඥාවෙන් ස්පර්‍ශ නො කරන ලද්දේ වේ නම්, ඔවුහු එහිලා මෙරමා බස් හැදැහීමෙන් අවබෝධ කරන්නාහුය: ‘ශ්‍රද්ධේන්‍ද්‍රිය භාවිත බහුලීකෘත වූයේ - වීර්‍ය්‍යෙන්‍ද්‍රිය - ස්මෘතීන්‍ද්‍රිය - සමාධීන්‍ද්‍රිය - ප්‍රඥේන්‍ද්‍රිය භාවිත බහුලීකෘත වූයේ අමතෝගධ අමතපරායණ අමතපරියොසාන වේ යැ’යි. තවද ස්වාමීනි, යම් කෙනකුන් විසින් තෙල දන්නා ලද දක්නා ලද අවබෝධ කරන ලද ප්‍රත්‍යක්‍ෂ කරන ලද ප්‍රඥාවෙන් ස්පර්‍ශ කරන ලද නම්, ඔවුහු එහි නිසැකයෝ යැ, විචිකිත්සා රහිතයෝ යැ: සද්ධින්‍ද්‍රිය - විරිය - සති - සමාධි - පඤ්ඤින්‍ද්‍රිය භාවිත බහුලීකෘත වූයේ අමතෝගධ අමතපරායණ අමතපරියොසාන කොට ඇත්තේ යයි. ස්වාමීනි, මා විසින් වැලිත් තෙල ඥාත යැ දෘෂ්ට යැ විදිත යැ ශාක්‍ෂාත්කෘත යැ ප්‍රඥාවෙන් ස්පර්‍ශ කරන ලද, මම් එහි නිසැකයෙමි, විචිකිත්සා රහිතයෙමි. සද්ධින්‍ද්‍රිය - විරිය - සති - සමාධි - පඤ්ඤින්‍ද්‍රිය භාවිත බහුලීකෘත වූයේ අමතෝගධ අමතපරායණ අමතපරියොසාන කොට ඇතැ’යි. ‘සාධු! සාධු!! ශාරිපුත්‍රයෙනි, සැබව ශාරිපුත්‍රයෙනි, යම් කෙනකුන් විසින් තෙල අඥාත අදෘෂ්ට අවිදිත අශාක්‍ෂාත්කෘත ප්‍රඥාවෙන් අපෘෂ්ට වන්නේ නම්, ඔහු එහි පරප්‍රත්‍යයෙන් අවබෝධ කරන්නාහුය: සද්ධින්‍ද්‍රිය... පඤ්ඤින්‍ද්‍රිය භාවිත බහුලීකෘත වූයේ අමතෝගධ අමතපරායණ අමතපරියොසාන වේ”යයි.
1. යම් පුද්ගලයෙක් (තමා අධිගත හෙයින්) අනුන්ගේ බසින් නො හදහා ද, අකත නම් වූ නිවන ප්‍රත්‍යක්‍ෂ කොට දන්නේ ද, වෘත්තසන්‍ධි (සංසාරසන්‍ධි) සිඳපූයේ ද, නසන ලද ප්‍රතිසන්‍ධ්‍යවකාශ ඇත්තේ ද, වමනය කළ සියලු ආශා ඇත්තේ ද, හෙතෙම ඒකාන්තයෙන් උත්තමපුරුෂ නම් වේ.
න විරජ්ජති - සියලු බාලපෘථග්ජනයෝ ඇලෙති, කල්‍යාණපෘථග්ජනයා පටන් සප්ත ශෛක්‍ෂයෝ විරාගයට පැමිණෙති, ක්‍ෂීණාස්‍රව තෙම නො මැ ඇලෙයි, විරාගයට නො පැමිණේ. හෙතෙම රාගය ක්‍ෂය කිරීමෙන් වීතරාග හෙයින් ද්වේෂය ක්‍ෂය කිරීමෙන් වීතදෝස හෙයින් මෝහය ක්‍ෂය කිරීමෙන් වීතමෝහ හෙයින් විරක්ත යැ, වැස නිමවූ මගබඹසර ඇත්තේ යැ, පුරුදු කළ චරණධර්‍ම ඇත්තේ යැ... ඔහුට ජාති මරණසංසාරය පුනර්‍භවය නැත් නුයි ‘න සද්ධො න විරජ්ජති’ යනු වේ.
එයින් වදාළහ බුදුහු:
“සාතියෙසු -පෙ- න සද්ධො න විරජ්ජති” යී.
10. 7.
යමෙක් ලාභප්‍රාර්ත්‍ථනාවෙන් නො හික්මේ ද, අලාභයෙහිත් නො කිපේ ද, (විරෝධ නැත්තෙන්) අවිරොධ වේ ද, තෘෂ්ණාවෙන් රසයෙහි ගේධය (-ගිජුබව)ට නො පැමිණේ ද; (ඔහු උපශාන්ත යයි කියමි.)
ලාභකම්‍යා න සික්ඛති අලාභෙ ච න කුප්පති - කිසෙයින් ලාභප්‍රාර්ත්‍ථනාවෙන් හික්මේ ද යත්? ‘මේ සස්නෙහි මහණෙක් චීවර පිණ්ඩපාත සේනාසන ගිලන්පසබෙහෙත් පිරිකර ලබනසුලු මහණක්හු දකී. ඔහුට මේ සිත වෙයි: ‘මේ ආයුෂ්මත් තෙම කවර කරුණෙකින් සිවුරු... බෙහෙත්පිරිකර ලබනසුලු දැ’යි; ඔහුට මේ සිත වෙයි: ‘මේ ආයුෂ්මත් සෞත්‍රාන්තික යැ, එයින් මේ ආයුෂ්මත් සිවුරු... බෙහෙත් පිරිකර ලබන සුලු’යැයි. හෙතෙම ලාභ හේතුයෙන් ලාභ නිසා ලාභ කරුණෙන් ලාභ නිපදවනු පිණිස ලාභය උපද වන්නේ සූත්‍රාන්තය පුහුණු කරයි; මෙසේත් ලාභප්‍රාර්ත්‍ථනාවෙන් හික්මෙයි. නොහොත් මහණෙක් සිවුරු... බෙහෙත් පිරිකර ලබනසුලු මහණක්හු දකී. ඔහුට මේ සිත වෙයි: ‘කුමකින් මේ ආයුෂ්මත් සිවුරු... ලබනසුලු වේ දැ’යි. ඔහුට මේ සිත වෙයි: ‘මේ ආයුෂ්මත් විනයධර යැ... ධර්‍මකථික යැ, එහෙයින් මේ ආයුෂ්මත්... ලබනසුලු වේ ය’යි. හෙතෙම ලාභ හේතුයෙන්... ලාභය උපදවනුයේ අභිධර්‍මය පුහුණු කරයි; මෙසේ ලාභ කැමැත්තෙන් හික්මෙයි. නොහොත් මහණෙක් චීවර... ලාභී වූ මහණක්හු දකී. ඔහුට මෙබඳු සිතෙක් වෙයි: ‘කුමක් හෙයින් මේ ආයුෂ්මත් චීවර...ලබනසුලු වේ දැ’යි. ඔහුට මේ සිත වෙයි: ‘මේ ආයුෂ්මත් වූ කලි ආරණ්‍යක යැ - පිණ්ඩපාතික යැ - පංසුකූලික යැ - තෙචීවරික යැ - සපදානචාරික යැ - ඛලුපච්ඡාභත්තික යැ - නෙසජ්ජික යැ - යථාසන්‍ථතික යැ. එයින් මේ ආයුෂ්මත් තෙම චීවර... පරිෂ්කාරයන් ලබනසුලු වේ ය’යි. හෙතෙම ලාභ හේතුවෙන්... ලාභය උපදවනුයේ ආරණ්‍යක වෙයි... යථාසන්ත්‍ථතික වේ. මෙසේත් ලාභප්‍රාර්ත්‍ථනාවෙන් හික්මෙයි.
කිසෙයින් ලාභප්‍රාර්ත්‍ථනාවෙන් නො හික්මේ ද යත්? මෙ සස්නෙහි මහණ තෙම ලාභ හේතුයෙන් නො වැ ලාභය නො නිසා ලාභකරුණෙන් නො වැ ලාභ නූපදවනු පිණිස ලාභය නො නිපදවනුයේ යම්තාක් ආත්මදමනය පිණිස ආත්මසමාධානය පිණිස ආත්මපරිනිර්‍වාණය පිණිස සූත්‍රාන්තය- විනය - අභිධර්‍මය පුහුණු කෙරෙයි. මෙසේත් ලාභප්‍රාර්ත්‍ථනාවෙන් නො හික්මෙයි. නොහොත් මහණ තෙම ලාභ හේතුවෙන් නො වැ... ලාභය නො නිපදවනුයේ යම්තාක් අපිස්බව ම නිසා සතොස්බව ම නිසා කෙලෙස් නැසීම ම නිසා උත්තමවිවේකය ම නිසා මේ කුශලධර්‍මයන්ගෙන් ප්‍රයෝජන ඇතිබව ම නිසා ආරණ්‍යක වෙයි,පිණ්ඩපාතික...යථාසන්‍ථතික වෙයි. මෙසේත් ලාභකාම්‍යයෙන් නො හික්මේ නුයි - ‘ලාභකම්‍යා න සික්ඛති’ යනු වේ.
අලාභෙ ච න කුප්පති - කිසෙයින් අලාභයෙහි කිපේ ද යත්? මෙහි එකෙක් ‘කුලය හෝ නො ලබමි, ගණයා හෝ - ආවාසය හෝ - ලාභය හෝ - යශස් හෝ - පැසැසුම් හෝ - සුව හෝ නො ලබමි, සිවුරු හෝ - පිණ්ඩපාත - සෙනසුන් - ගිලන්පසබෙහෙත්පිරිකර හෝ නො ලබමි ගිලානොපස්ථායකයකු හෝ නො ලබමි, නො පැනෙනුයෙම් වෙමී’ කිපෙයි’, ව්‍යාපාදයට පැමිණෙයි, තදබවට පැමිණෙයි, කොපයත් ද්වේෂයත් නො සතුටත් පහළ කෙරෙයි; මෙසේ අලාභයෙහි කිපෙයි. කිසෙයින් අලාභයෙහි නො කිපේ ද යත්: මෙ සස්නෙහි මහණ තෙම ‘කුලය හෝ නො ලබමි, ගණයා හෝ නො ලබමි... නො පැනෙනුයෙම් වෙමී’ නො කිපෙයි, ව්‍යාපාදයට නො පැමිණෙයි, තදබවට නො පැමිණෙයි, කොපයත් ද්වේෂයත් නො සතුටත් පහළ නො කෙරෙයි. මෙසේ අලාභයෙහි දු නො කිපේ නුයි ‘ලාභකම්‍යා න සික්ඛති අලාභෙ ච න කුප්පති’ යනු වේ.
අවිරුද්ධො ච තණ්හාය රසෙ ච නානුගිජ්ඣති - ‘විරුද්ධො’ යනු: චිත්තයාගේ යම් ආඝාතයෙක් ප්‍රතිඝාතයෙක් ප්‍රතිඝයෙක් ප්‍රතිවිරොධයෙක් කිපීමෙක් ප්‍රකොපයෙක් සම්ප්‍රකෝපයෙක් ද්වේෂයෙක් ප්‍රද්වෙෂයෙක් චිත්තයාගේ ප්‍රකෘතිය හැරීමෙක් සිත දූෂ්‍ය වීමෙක් ක්‍රෝධයෙක් ක්‍රොධාකාරයෙක් ක්‍රෝධ වූ බවෙක් ද්වේෂයෙක් දූෂ්‍යාකාරයෙක් දූෂිත බවෙක් ව්‍යාපාදාකාරයෙක් ව්‍යාපාදයට පැමිණි බවෙක් විරෝධයෙක් ප්‍රතිවිරොධයෙක් චණ්ඩ බවෙක් නො පිරිපුන් වචන ඇති බවෙක් සිතෙහි නො සතුටු බවෙක් වේ ද, මේ ‘විරෝධ’යයි කියනු ලැබේ. යමක්හු විසින් තෙල විරෝධය ප්‍රහීණ කරන ලද ද සන්හිඳුවන ලද ද දුරලන ලද ද අභව්‍යොත්පත්තික වූයේ ද ඥානාග්නීන් දග්ධ ද, හෙතෙම ‘අවිරුද්ධ’ යයි කියනු ලැබේ. තණ්හා යනු: රූපතණ්හා යැ සද්ද - ගන්‍ධ - රස - ඵොට්ඨබ්බ - ධම්මතණ්හා යැ; රස නම්: මුල්රස යැ කඳෙහි රස යැ පොතුරස යැ පත්රස යැ මල්රස යැ පලරස යැ ඇඹුලැ මිහිරැ තිත්ත යැ කුළු යැ ලුණුරස යැ කරරස යැ ලපිල - (නො කසටරස) යැ කසටරස යැ මිහිරි යැ නො මිහිරි යැ සිහිල් රස යැ හුණුරස යි; රසයෙහි ගිජු වූ මහණ බමුණු කෙනෙක් ඇත්තාහ. ඔහු දිවගින් අග්‍රරස සොයමින් ඇවිදිති: ඔහු ඇඹුලක් ලැබ නො ඇඹුලක් සොයති, නො ඇඹුලක් ලැබ ඇඹුල් සොයති, මිහිරක් ලැබ අමිහිරි දෑ සොයති, අමිහිරක් ලැබ මිහිරි දෑ සොයති, තිත්ත දැයක් ලැබ නො තිත්ත දෑ සොයති, නො තිත්ත දෑ ලැබ තිත්ත දෑ සොයති, කුළු දෑ ලැබ නො කුළු දෑ සොයති, නො කුළු දෑ ලැබ කුළු දැයක් සොයති, ලුණක් ලැබ ලුණු නැත්තක් සොයති, ලුණුනැති දෑ ලැබ ලුණු ඇති දෑ සොයති.
කරරසයක් ලැබ නො කරරස සොයති, නො කරරස දැයක් ලැබ කරරස සොයති, නො කසටක් ලැබ කසට සොයති, කසට දෑ ලැබ නො කසට දෑ සොයති, මිහිරක් ලැබ අමිහිරි දෑ සොයති, අමිහිරක් ලැබ මිහිරි දෑ සොයති. සිහිලක් ලැබ හුණු දෑ සොයති, හුණු දැයක් ලැබ සිහිල් සොයත්. ඔවුහු යම් යම් දැයක් ලැබ ඒ ඒ දැයින් නො සතුටු වෙති, මතුමත්තෙහි සොයති. මන වඩන රසයෙහි රැඳුණාහු ගිජු වූවාහු ගෙතුණාහු මුසපත් වූවාහු වැතුරුණාහු ලැගුණාහු ඇලුණාහු බැසගත්තාහු ය. යමක්හු විසින් තෙල රසතෘෂ්ණාව ප්‍රහීණ කරන ලද්දී සිඳින ලද්දී සන්හිඳුවන ලද්දී දුරලන ලද්දී උපතට නුසුදුසු වූවා නුවණගින්නෙන් දවන ලද්දී ද.
හෙතෙම නුවණින් විමසා අහර වළඳයි, කෙළි පිණිස නො මැ වළඳයි, මද පිණිස... අලඞ්කාර පිණිස - සැරැසුම් පිණිස නො වළඳයි, යම්තාක් මේ කය පැවැත්ම පිණිස යැපීම පිණිස බඩගිනි වේදනා නැසීම පිණිස බඹසරට අනුග්‍රහ පිණිස වළඳයි, මෙසේ ‘පැරණි බඩගිනි වේදනා නසමි, අලුත් වේදනාත් නූපදවමි, මාගේ යැපීම ද වන්නේය, අනවද්‍යභාවය ද සුව විහරණය ද වන්නේය; යම්සේ මස්වැඩීම පමණට වුණය ආලේප කරන්නේ ද, තවද යම්සේ බර ගෙන යන පමණට අක්‍ෂය තෙල් ගල්වන්නේ ද, තවද යම්සේ කතරමග තරණය කරන පමණට පුත්‍රමාංසාහාරය අනුභව කරන්නේ ද, එපරිද්දෙන් ම මහණ තෙම නුවණින් ප්‍රත්‍යවේක්‍ෂා කොට අහර වළඳයි, නො මැ කෙළි පිණිස වළඳයි,... මාගේ ජීවිත යාත්‍රාව ද අනවද්‍යතාව ද ඵාසුවිහරණය ද වන්නේ යැ’යි. රසතෘෂ්ණාව දුරු කෙරෙයි, බැහැර කෙරෙයි, විගතාන්ත කෙරෙයි, අනභාවයට පමුණුවයි. රසතෘෂ්ණාවෙන් දුරු වූයේ වෙන් වූයේ නික්මුණේ නික්මැ ගියේ වෙසෙසින් මිදුණේ විසංයුක්ත වූයේ වන්නේය, විගතමර්‍ය්‍යාදා කළ සිතින් යුක්ත ව වෙසේ නුයි ‘අවිරුද්ධො ච තණ්හාය රසෙ ච නානුගිජ්ඣති’ යනු වේ.
එයින් වදාළහ බුදුහු:
“ලාභකම්‍යා න සික්ඛති -පෙ- රසෙ ච නානුගිජ්ඣති” යී.
10. 8.
යමෙක් ෂඩඞ්ගොපෙක්‍ෂාවෙන් සමන්‍විත වූයේ හැමකල්හි ස්මෘතිමත් වූයේ ලොවැ (කිසිවක්හු හා) සම කොට නො සිතා ද, (මම) ශ්‍රෙෂ්ඪ වෙමි නො සිතා ද හීන වෙමී මන් නැත්තේ වේ ද, ඒ පුද්ගලයා හට උත්සදයෝ නො වෙති. (ඔහු උපශාන්ත යයි කියමි).
උපෙක්ඛකො සදා සතෝ - ‘උපෙක්ඛකො’ යනු ෂඩඞ්ගොපෙක්‍ෂාවෙන් සමන්‍වාගත වූයේ ඇසින් රූපයක් දැක (ලොභවශයෙන්) නො මැ සතුටු සිත් ඇත්තේ වෙයි, (ද්වෙෂවශයෙන්) ද්විෂ්ට සිත් ඇත්තේ නො වෙයි, සිහි ඇතියේ නුවණැතියේ උපේක්‍ෂා සහිත වූයේ වෙසෙයි; කනින් ශබ්දයක් අසා...සිතින් ධර්‍මාලම්බනයක් දැන නො මැ සොම්නස් ඇත්තේ වෙයි, දොම්නස් ඇත්තේ නො වෙයි, සිහි නුවණ ඇතියේ උපේක්‍ෂා සහිත වූයේ වෙසෙයි, ඇසින් මනාප වූ රූපයක් දැක නො ගිජු වෙයි, නො සතුටු වෙයි, රාග නූපදවයි; ඔහු ගේ චක්‍ෂුරාදි කාය සිටියේ (නිශ්චල වූයේ) මැ වෙයි, අධ්‍යාත්මයෙහි සිත සිටියේ සුනිශ්චල වූයේ සුවිමුක්ත වූයේ වෙයි.
යළි ඇසින් මැ අමනාප වූ රූපයක් දැක නො මකු වූයේ (ක්‍රෝධවශයෙන්) නො පිහිටි සිත් ඇතියේ නො හැකුළුණු සිත් ඇතියේ ව්‍යාපාද රහිත සිත් ඇත්තේ වෙයි; ඔහුගේ කය නිශ්චල වූයේ මැ වෙයි. සිත නිශ්චල වූයේ අධ්‍යාත්මයෙහි සුසංස්ථිත සුවිමුක්ත වූයේ වෙයි. කනින් ශබ්දයක් අසා... නැහැයෙන් ගන්‍ධයක් ආඝ්‍රාණය කොට දිවින් රසයක් ආස්වාද කොට - කයින් පහසක් ස්පර්‍ශ කොට - මනසින් ධර්‍මයක් දැන ඉෂ්ටාලම්බනයට නො ගිජු වෙයි, නො සතුටු වෙයි, රාග නූපදවයි. ඒ රහත්හුගේ කය නිශ්චල වූයේ මැ වෙයි, අධ්‍යාත්මයෙහි සිත නිශ්චල වූයේ මොනොවට පිහිටියේ වෙසෙසින් මිදුණේ වෙයි. යළි සිතින් මැ අමනාප වූ ධර්‍මාලම්බනයක් දැන නො මකු වෙයි, (ක්‍රෝධවශයෙන්) නො පිහිටි සිත් ඇතියේ නො හැකුළුණු සිත් ඇතියේ ව්‍යාපාද රහිත සිත් ඇතියේ වෙයි. ඔහුගේ කය නිශ්චල වූයේ මැ වෙයි, අධ්‍යාත්මයෙහි සිත පිහිටියේ සුසංස්ථිත සුවිමුක්ත වෙයි. ඇසින් රූපයක් දැක මනාපාමනාපරූපයන්හි ඔහුගේ කය සිටියේ (-නිශ්චල වූයේ) මැ වෙයි, සිත අධ්‍යාත්මයෙහි සිටියේ සුපිහිටියේ සුවිමුක්ත වෙයි. කනින් ශබ්දයක් අසා... මනසින් ධර්‍මයක් දැන මනාපාමනාපධර්‍මයන්හි ඔහුගේ කය සිටියේ මැ වෙයි, සිත... සුවිමුක්ත වෙයි. ඇසින් රූපයක් දැක ඇලුම් කටයුතු වස්තුවෙහි නො ඇලෙයි, ද්වේෂ ඉපදවියැ යුත්තෙහි ද්වේෂය නූපදවයි, මුළාවියැ යුත්තෙහි මුළා නො වෙයි, කිපියැ යුත්තෙහි නො කිපෙයි, කෙලෙසියැ යුත්තෙහි නො කෙලෙසෙයි, මත්වියැ යුත්තෙහි නො මත් වෙයි. කනින් ශබ්දයක් අසා... මනසින් ධර්‍මයක් දැන රජනීය වස්තුවෙහි නො ඇලෙයි, දොසනීයයෙහි - මොහනීයයෙහි - කොපනීයයෙහි - කිලෙසනීයයෙහි - මදනීය වස්තුවෙහි නො මත් වෙයි. රූපාලම්බනයෙහි (චක්‍ෂුර්විඥානයෙන්) දුටු පමණ වූයේ ශබ්දායතනයෙහි ශ්‍රැතමාත්‍ර වූයේ මුතාලම්බනයෙහි මුත (-පැමිණ ගන්නා ලද) මාත්‍ර වූයේ ධම්මාරම්මණයෙහි විඥානමාත්‍ර වූයේ වෙයි; චක්‍ෂුර් විඥානයෙන් දුටු) රූපාරම්මණයෙහි (තෘෂ්ණාදෘෂ්ටිලෙපයෙන්) නො ඇලෙයි, ශබ්දාලම්බනයෙහි නො ඇලෙයි, ගන්‍ධරසස්ප්‍රෂ්ටව්‍යාලම්බනයෙහි නො ඇලෙයි, ධර්‍මාලම්බනයෙහි නො ඇලෙයි; රූපාලම්බනයෙහි තෘෂ්ණා නැත්තේ දූෂ්‍ය නො වූයේ අනිඃශ්‍රිත වූයේ නො බැඳුණේ වෙසෙසින් මිදුණේ නො යෙදුණේ විමර්‍ය්‍යාදීකෘත සිතින් යුක්ත ව වෙසෙයි, ශ්‍රැතයෙහි - මුතයෙහි - විඥාතයෙහි තෘෂ්ණා නැත්තේ... විමර්‍ය්‍යාදීකෘත සිතින් යුක්ත වැ වෙසෙයි.
රහත්හට ඇස ලැබෙයි, රහත් තෙම ඇසින් රූප දකී, ඡන්‍දරාගයෙක් රහත් හට නැත, රහත් තෙම වෙසෙසින් මිදුණු සිත් ඇත්තේ ය. රහත්හට ශ්‍රෝතප්‍රසාදය ලැබෙයි, රහත් තෙම කනින් ශබ්ද අසයි, ඡන්‍දරාගය රහත් හට නැත, රහත් තෙම සුවිමුක්තචිත්ත යැ. රහත් හට ඝ්‍රාණය - රහත් තෙම සුවිමුක්තචිත්ත යැ. ජිහ්වාප්‍රසාදය - කායප්‍රසාදය - රහත් හට මනස ලැබෙයි, රහත් තෙම මනසින් ධර්‍මය දැනගනී, ඡන්‍දරාගය රහත් හට නැත, රහත් තෙම සුවිමුක්තචිත්ත යැ. ඇස රූපාරාම යැ, රූපයෙහි ඇලුණේ යැ, රූපයෙහි සතුටු වූයේ යැ, එය රහත්හු විසින් දමනය කරන ලද, ගෝපනය කරන ලද, රක්නා ලද, සංවර කරන ලද, යළි ඒ ඇස සංවර පිණිස දහම් දෙසයි. කන ශබ්දාරාම යැ... නැහැය ගන්‍ධාරාම යැ - දිව රසාරාම යැ - කය ස්ප්‍රෂ්ටව්‍යාරාම යැ - මනස ධර්‍මය ඇලුම් කොට ඇත්තේ යැ, ධර්‍මරත යැ ධර්‍මයෙහි සතුටු වූයේ යැ. ඒ මනස රහත්හු විසින් දන්ත යැ ගුප්ත යැ රක්‍ෂිත යැ සංවෘත යි, ඒ මනස සංවර පිණිස දහම් දෙසයි.
1. දැමුණු ඇතකු අසකු මැ බොහෝදෙනා රැස්වූ තැනට පමුණුවති, රජ ද දැමුණු ඇතකු පිට මැ නැෙඟෙයි, යමෙක් අනුන් බිණු පරොස්බස් ඉවසා නම් දැමුණා වූ හෙතෙම මිනිසුන් අතුරෙහි උත්තම යි.
2. අශ්වතරයෝ දැමුණාහු මැ උතුම් වෙති, ආජානේය අශ්වයෝ ද සෛන්‍ධවයෝ ද කුඤ්ජර නම් වූ මහඇත්හු ද දැමුණාහු මැ උතුම් වෙති, ඊට වඩා (මාර්‍ගභාවනාවෙන්) ආත්මදමනය කරන ලද්දේ උත්තම යි.
3. දැමුණු මහණ තෙම (පූර්‍වභාගයෙහි ඉන්‍ද්‍රියදමනයෙන්) දැමුණා වූ (අපරභාගයෙහි ආර්‍ය්‍යමාර්‍ගභාවනාවෙන්) මනාව දැමුණා වූ සිතින් අගත නම් වූ නිර්‍වාණදිශාවට යම්සේ යේ ද, මේ ඇත්ආදි යානයෙන් එසේ නො මැ යන්නේ යි.
4. යම් කෙනෙක් ත්‍රිවිධමානයෙහි කම්පා නො වෙත් ද, පුනර්‍භවයෙන් මිදුණාහු ද, (රහත්ඵල සඞ්ඛ්‍යාත) දන්තභූමියට පැමිණියාහු ද ඔවුහු මේ සත්ත්‍වලෝකයෙහි දිනුවාහු නම් වෙත්.