Mahāniddesa

Great Exposition

මූලාශ්‍රය සහ සංස්කරණ විස්තර

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-29 · 2295 segments

කියවීමේ විකල්පමෙම උපාංගයේ පමණක් සුරැකේ

ඔබගේ පෞද්ගලික සටහන

ඔබට පමණක් පෙනේ. මූලාශ්‍ර පාඨයේ කොටසක් නොවේ.

පෙන්වන කොටස් 101-200 න් 2295

පාඨයක් සොයන්න හෝ පිටුව වෙනස් කරන්න
kn-mn:32.4
2. 1.
kn-mn:32.5
යම් මිනිසෙක් ගුහා සඞ්ඛ්‍යාත ශරීරයෙහි ඇලුණේ බොහෝ රාගාදි කෙලෙසුන් විසින් වැසුණේ රාගාදි වශයෙන් සිටුනේ මෝහන සඞ්ඛ්‍යාත පස්කම් ගුණයෙහි දැඩි වැ බැසගත්තේ වේ ද, එබඳු වූ ඒ සත්ත්‍ව තෙම ත්‍රිවිධ විවේකයෙන් දුර මැ වෙයි. යම් හෙයකින් සත්ලොව්හි කාමයෝ සුවයෙන් නො හළ හැක්කාහු ද එහෙයිනි.
kn-mn:32.6
සත්තො ගුහායං බහුනාභිඡන්නො - ‘සත්තො’ යනු කියනලද මැය. එතෙකුදු වත් පළමු කොට ‘ගුහා’ කියැ යුතු යැ. “ගුහා”යී කය කියනු ලැබේ. ‘කාය’ යැ හෝ, (රාගාදි ව්‍යාලයන් වෙසෙන හෙයින්) ‘ගුහා’ යැ හෝ, (රාගාදීන් විසින් දවන හෙයින්) ‘දේහ’ යැ හෝ, (ප්‍රමත්ත කරන හෙයින්) ‘සන්‍දේහ’ යැ හෝ, (සසර සැරිසරන හෙයින්) ‘නාවා’ යැ හෝ, (ඊර්‍ය්‍යාපථ ඇති බව හෙයින්) ‘රථ’ යැ හෝ, (ඉතා උස් වැ නැඟි හෙයින්) ‘ධජ’ යැ හෝ, (කෘමිකුලයනට ආවාස බැවින්) ‘වම්මිකයැ’ හෝ (මනාපාමනාපයන් සංසරත්හෙයින් ) ‘නගර’ යැ හෝ, (රොගාදීන්ට නීඩකැදැලි වන බැවින්) ‘නීඩ’ යැ හෝ, (ප්‍රතිසන්‍ධියට නිවාසගෘහ වන හෙයින්) ‘කුටි’ යැ හෝ, (පූතිභාවයෙන්) ‘ගණ්ඩ’ යැ හෝ, (බිඳෙන හෙයින්) ‘කුම්භ’ යැ හෝ, කයට මේ අධිවචන යි.
kn-mn:32.7
සත්තො ගුහායං - කායගුහායෙහි ශක්ත යැ විශක්ත යැ ආශක්ත යැ ලග්න යැ ලගිත යැ පරිබුද්ධ (-නො හැර සිටියේ) යැ. යම් සේ භිත්තිඛීලයෙ කැ හෝ නාගදන්තයෙකැ හෝ භාණ්ඩයෙක් ශක්ත විශක්ත ආශක්ත ලග්න ලගිත පරිබුද්ධ වේ ද, එසෙයින් කායගුහායෙහි ශක්ත යැ විශක්ත යැ ආශක්ත යැ ලග්න යැ ලගිත යැ පරිබුද්ධ යි.
kn-mn:32.8
මේ වදාරන ලද මැයි භාග්‍යවතුන් විසින්:
kn-mn:32.9
“රාධ, රූපයෙහි යම් ඡන්‍දයෙක් යම් රාගයෙක් යම් නන්‍දියෙක් යම් තෘෂ්ණායෙක් යම් තෘෂ්ණා-දෘෂ්ටි උපයයන් දැඩි කොට ගන්නා අකුශලචිත්තයට අධිෂ්ඨානාභිනිවෙශ වූ අනුශය කෙනෙක් වෙද්ද, එහි ශක්ත වූයේ (ඇලුණේ) එහි වෙසෙසින් ඇලුණේ වේ ද, එහෙයින් ‘සත්ත්‍ව’ යැ යි කියනු ලැබේ. වේදනායෙහි... සංඥායෙහි... සංස්කාරයන්හි... විඥානයෙහි රාධ යැ, යම් ඡන්‍දයෙක් යම් රාගයෙක් යම් නන්‍දියෙක් යම් තෘෂ්ණායෙක් යම් තෘෂ්ණාදෘෂ්ටි සඞ්ඛ්‍යාත උපයයන් දැඩි කොට ගන්නා අකුශලචිත්තයට අධිෂ්ඨාන-අභිනිවෙශ වූ අනුශය කෙනෙක් වෙද්ද, එහි (යම්හෙයකින්) ඇලුණේ වෙසෙසින් ඇලුණේ වේ ද, එහෙයින් ‘සත්ත්‍ව’ යැ යි කියනු ලැබෙයි. ‘සත්ත’ යනු වෙසෙසින් ඇලීම ප්‍රකාශ කිරීම යැ” යි.
kn-mn:34.1
සත්තො ගුහායං බහුනාභිඡන්නො - බොහෝ කෙලෙසුන් විසින් ඡන්න (වැසුණේ) යැ: රාගයෙන් ඡන්න යැ, ද්වේෂයෙන් මෝහයෙන්... ක්‍රෝධයෙන්... උපනාහයෙන්... ම්‍රක්ෂයෙන්... යුගග්‍රාහයෙන්... ඊර්‍ෂ්‍යායෙන් මාත්සර්‍ය්‍යයෙන් මායායෙන්... ශාඨ්‍යයෙන්... ස්තම්භයෙන්... සංරම්භයෙන් මානයෙන්... අතිමානයෙන්... මදයෙන්... ප්‍රමාදයෙන් ඡන්න යැ, සියලු කෙලෙසුන් විසින් සියලු දුශ්චරිතයන් විසින් සියලු දරථයන් විසින් සියලු පරිදාහයන් විසින් සියලු සන්තාපයන් විසින් සියලු අකුශලාභිසංස්කාරයන් විසින් ඡන්න යැ, (පුනපුනා උපදෙනෙන්) උපර්‍ය්‍යුපරි ඡන්න යැ, ආවෘත (වළකන ලද) යැ, නිවෘත යැ, අපවෘත (යටකොට වසනලද) යැ, පිහිත යැ, ප්‍රතිච්ඡන්න යැ, යටිහුරු කොට තබන ලද නුයි ‘සත්තො ගුහායං බහුනාභිඡන්නො’ යනු වේ.
kn-mn:34.2
තිට්ඨං නරෝ මොහනස්මිං පගාළ්හො - ‘තිට්ඨං නරෝ’ යනු: නර (සත්ත්‍ව) තෙම සිටුනේ රාගවශයෙන් රත් වූයේ සිටි ද්වෙෂවශයෙන් ද්විෂ්ට වූයේ සිටී. මොහවශයෙන් මූඪ වූයේ සිටී. මානවශයෙන් නානාලම්බනයෙහි බැඳී සිටී. දෘෂ්ටිවශයෙන් පරාමෘෂ්ට වැ සිටී. ඖද්ධත්‍යවශයෙන් වික්ෂෙපයට පැමිණැ සිටී. විචිකිත්සාවශයෙන් නිෂ්ඨාවට නො පැමිණැ සිටී. අනුශයවශයෙන් ස්ථිර බවට පැමිණියේ සිටී. මෙසෙයිනු දු ‘තිට්ඨං නරෝ’ යනු වේ.
kn-mn:34.3
මේ වදාරන ලද මැයි භාග්‍යවතුන් විසින්:
kn-mn:34.4
“මහණෙනි, චක්‍ෂුර්විඥානයෙන් දතයුතු වූ ඉෂ්ට වූ කාන්ත වූ මනවඩන්නා වු ප්‍රියස්වරූප වූ කාමයෙන් යුක්ත වු ඇලුම් කටයුතු වූ රූපාලම්බනයෝ ඇත්තාහ. මහණතෙම ඒ අරමුණට තෘෂ්ණාවශයෙන් සතුටු වේ නම්, පසසා නම්, බැසගෙන සිටී නම්; මහණෙනි, ශ්‍රෝතවිඥානයෙන් දතයුතු වූ ... ශබ්දයෝ ඇත ඝ්‍රාණවිඥානයෙන් දතයුතු වූ ... ගන්‍ධයෝ ඇත ... ජිහ්වාවිඥානයෙන් දතයුතු වූ ... රසයෝ ඇත ... කායවිඥානයෙන් දතයුතු වූ ... ස්ප්‍රෂ්ටව්‍යයෝ ඇත්තාහ ... මනෝවිඥානයෙන් දතයුතු වූ ඉෂ්ට වූ කාන්ත වූ මනාප වූ ප්‍රියස්වරූප වූ කාමූපසංහිත වූ රජනීය වූ ධර්‍මාලම්බනයෝ ඇත්තාහ. මහණතෙම ඒ අරමුණට (තෘෂ්ණාවශයෙන්) සතුටු වේ නම්, පසසා නම්, බැසගෙන සිටී නම්” මෙසේත් ‘තිට්ඨං නරෝ’ යනු වේ.
kn-mn:34.5
මේ වදාරන ලද මැයි භාග්‍යවතුන් විසින්:
kn-mn:34.6
“මහණෙනි, (තෘෂ්ණා-දෘෂ්ටි උපය විසින්) රූපයට පැමිණි හෝ විඥානය සිටුනේ රූපය අරමුණු කොට ඇතියේ රූපය ප්‍රතිෂ්ඨා කොට ඇතියේ සිටී. (සප්‍රීතික) තෘෂ්ණාජලයෙන් තෙමන ලදුයේ වෘද්ධියට විරූඪ බවට විපුල බවට පැමිණෙයි. මහණෙනි, (තෘෂ්ණාදෘෂ්ටිවශයෙන්) වේදනාවට පැමිණි හෝ මහණෙනි, සංඥාවට පැමිණි හෝ... මහණෙනි, සංස්කාරයන්ට පැමිණි හෝ විඥානය සිටුනේ සංස්කාරයන් අරමුණු කොට ඇතියේ සංස්කාරයන් ප්‍රතිෂ්ඨා කොට ඇතියේ සිටී. තෘෂ්ණොදකයෙන් තෙමන ලදුයේ වෘද්ධියට විරූඪ බවට විපුල බවට පැමිණේ” යයි මෙසේත් ‘තිට්ඨං නරෝ’ යනු වේ.
kn-mn:36.1
මේ වදාරන ලද මැයි භාග්‍යවතුන් විසින්:
kn-mn:36.2
“මහණෙනි, ඉදින් කවලීකාරාහාරයෙහි රාගය ඇත්නම්, නන්‍දිය ඇත්නම්, තෘෂ්ණාව ඇත්නම්, එහි (කර්‍මය දුවවා පිළිසඳ ගැනීමට පොහොසත් බැවින්) විඥානය පිහිටියේ වැඩුණේ වෙයි. යම් තැනෙක්හි විඥානය පිහිටියේ වැඩුණේ නම්, එහි නාමරූපයාගේ අවක්‍රාන්තිය ඇත. යම් තැනෙක්හි නාමරූපාවක්‍රාන්තිය ඇත්නම්, එහි සංස්කාරයන්ගේ වෘද්ධිය ඇත. යම් තැනෙක්හි සංස්කාරයන්ගේ වෘද්ධිය ඇත්නම්, එහි මත්තෙහි පුනර්‍භවාභිනිර්වෘත්තිය ඇත. යම් තැනෙක්හි මතු පුනර්‍භවයාගේ පහළවීම ඇත්නම්, එහි මත්තෙහි ජාති-ජරා-මරණ ඇත. යම් තැනෙක්හි මත්තෙහි ජාති-ජරා-මරණ ඇත්නම්, මහණෙනි, එය ශෝක සහිත යැ, පීඩා සහිත යැ, දැඩි ආයාස සහිත යයි කියමි” මෙසේත් ‘තිට්ඨං නරෝ’ යනු වේ.
kn-mn:36.3
“මහණෙනි, ස්පර්‍ශාහාරයෙහි... මහණෙනි, මනස්සඤ්චෙතනාහාරයෙහි... මහණෙනි, විඥානාහාරයෙහි ඉදින් රාගය ඇත්නම්, නන්‍දිය ඇත්නම්, තෘෂ්ණාව ඇත්නම්, එහි ප්‍රතිසන්‍ධිවිඥානය පිහිටියේ වැඩුණේ වෙයි. යම් තැනෙක්හි විඥානය පිහිටියේ වැඩුණේ වේ නම්, එහි නාමරූපාවක්‍රාන්තිය ඇත. යම් තැනෙක්හි නාමරූපාවක්‍රාන්තිය ඇත් නම්, එහි සංස්කාරයන්ගේ වැඩීම ඇත. යම් තැනෙක්හි සංස්කාරවෘද්ධිය ඇත්නම්, එහි පුනර්‍භවයාගේ පහළවීම ඇත. යම් තැනෙක්හි පුනර්‍භවයාගේ පහළවීම ඇත් නම්, එහි මත්තෙහි ජාති-ජරා-මරණ ඇත. යම් තැනෙක්හි ආයති ජාති-ජරා-මරණ ඇත්නම්, මහණෙනි, එය සශොක යැ සදර යැ සඋපායාස යැයි කියමි” මෙසේත් ‘තිට්ඨං නරෝ’ යනු වේ.
kn-mn:36.4
මොහනස්මිං පගාළ්හො - ‘මෝහන’ යැ යි පඤ්චකාමගුණයෝ කියනු ලැබෙත්: චක්‍ෂුර්විඥේය වූ ඉෂ්ට වූ කාන්ත වූ මනාප වු ප්‍රියස්වරූප වු කාමෝපසංහිත වූ රජනීය වූ රූපයෝ යැ, ශ්‍රෝත්‍රවිඥේය වූ ... ශබ්දයෝ යැ, ඝ්‍රාණවිඥේය වු ... ගන්‍ධයෝ යැ, ජිහ්වාවිඥේය වූ ... රසයෝ යැ, කායවිඥේය වූ ඉෂ්ට වූ කාන්ත වූ මනාප වු ප්‍රියරූප වු කාමෝපසංහිත වූ රජනීය වූ ස්ප්‍රෂ්ටව්‍යයෝ යි. කුමක් හෙයින් පඤ්චකාමගුණයෝ ‘මෝහන’ යි කියනු ලැබෙති යත්: යම් හෙයකින් බෙහෙවින් දෙවිමිනිස්හු පස්කම් ගුණයෙහි මුළාවෙත් ද, වෙසෙසින් මුළාවෙත් ද, සර්‍වාකාරයෙන් මුළාවෙත් ද, මූඪ වූවාහි වෙසෙසින් මූඪ වූවාහු සර්‍වාකාරයෙන් මූඪ වූවාහු අවිද්‍යායෙන් අන්‍ධ කරන ලද්දාහු ආවෘත - නිවෘත - අපවෘත - පිහිත - ප්‍රතිච්ඡන්න - ප්‍රතිකුඤ්චිත වූවාහු වෙත් ද, එකරුණෙන් පස්කම් ගුණ ‘මෝහන’ යැ යි කියනු ලැබෙත්. මොහනස්මිං පගාළ්හො - මොහනයෙහි පිවිසියේ ඇතුළු වූයේ ඇතුළත බැසගත්තේ ගැලුණේ නුයි ‘තිට්ඨං නරෝ මොහනස්මිං පගාළ්හා’ යනු වේ.
kn-mn:38.1
දූරෙ විවෙකා හි තථාවිධො සො - ‘විවෙක’ යනු විවෙක තුනෙකි: කායවිවේක යැ, චිත්තවිවේක යැ, උපධිවිවෙක යි.
kn-mn:38.2
කායවිවේකය කවරැ යත්: මෙ සසුන්හි මහණ අරණ්‍ය වෘක්‍ෂමූල පර්‍වත කන්‍දර ගිරිගුහා ශ්මසාන වානප්‍රස්ථ අභ්‍යවකාශ පලාලපුඤ්ජ යන ජනශුන්‍ය වූ සෙනසුනක් ඇසුරු කෙරේ. කයිනු දු විවික්ත වැ හිඳී. එකලා වැ හොවී. එකලා වැ ගමට පිඬු සිඟා යෙයි. එකලා වැ පෙරළා එයි. එකලා වැ රහසැ හිඳී. එකලා වැ සක්මන්හි සිටී. එකලා වැ හැසිරෙයි. එකලා වැ වෙසෙයි. ඉරියවු පවත්වයි. ඉරියවු උපදවයි. පාලනය කෙරෙයි. යැපෙයි යපනය කරවා. මේ යැ කායවිවේක නම්.
kn-mn:38.3
චිත්තවිවෙකය කවරැ යත්: පළමුවන ධ්‍යානයට සමවන්හුගේ සිත නීවරණයන්ගෙන් වෙන් වෙයි. දෙවැනි ධ්‍යානයට සමවන්හුගේ සිත විතර්‍ක - විචාරයන් ගෙන් වෙන් වෙයි. තුන්වැනි ධ්‍යානයට සමවන්හුගේ සිත ප්‍රීතියෙන් වෙන් වෙයි. සතරවැනි ධ්‍යානයට සමවන්හුගේ සිත සුවදුක් දෙකින් වෙන් වෙයි. අකාසානඤ්චායතනයට සමවන්හුගේ සිත රූපසංඥා - ප්‍රතිඝසංඥා - නානාත්වසංඥාවෙන් වෙන් වෙයි. විඤ්ඤාණඤ්චායතනයට සමවන්හුගේ සිත ආකාසානඤ්චායතනසංඥාවෙන් වෙන් වෙයි. ආකිඤ්චඤ්ඤායතනයට සමවන්හුගේ සිත විඤ්ඤාණඤ්චායතනසංඥාවෙන් වෙන් වෙයි. නේවසඤ්ඤානාසඤ්ඤායතනයට සමවන්හුගේ සිත ආකිඤ්චඤ්ඤායතනසංඥාවෙන් වෙන් වෙයි. සෝවන්හුගේ සිත සත්කායදෘෂ්ටියෙන් විචිකිත්සායෙන් ශීලව්‍රතපරාමර්‍ශයෙන් දෘෂ්ට්‍යනුශයෙන් විචිකිත්සානුශයෙන් හා ඔවුන් සමග එක්වැ සිටි කෙලෙසුන්ගෙන් ද වෙන් වෙයි. සැදැගැමිහුගේ සිත ඖදාරික කාමරාගසංයෝජනයෙන් ප්‍රතිඝසංයෝජනයෙන් ඖදාරික කාමරාගානුශයයෙන් ප්‍රතිඝානුශයයෙන් හා ඔවුන් සමග එක්වැ සිටි කෙලෙසුන් ගෙන් ද වෙන් වෙයි. අනගැමිහුගේ සිත අණුසහගත (-සියුම් වූ) කාමරාගසංයෝජනයෙන් ප්‍රතිඝසංයෝජනයෙන් අණුසහගත කාමරාගානුශයයෙන් ප්‍රතිඝානුශයයෙන් හා තදෙකස්ථිත ක්ලේශයන්ගෙන් ද වෙන් වෙයි රහත්හුගේ සිත රූපරාගයෙන් අරූපරාගයෙන් මානයෙන් ඖද්ධත්‍යයෙන් අවිද්‍යායෙන් මානානුශයයෙන් භවරාගානුශයයෙන් අවිද්‍යානුශයයෙන් තදෙකස්ථිතක්ලෙශයන්ගෙන් හා බාහ්‍ය වූ සර්‍වසංස්කාර නිමිත්තයන්ගෙන් ද වෙන් වූයේ වේ. මේ යැ චිත්තවිවේක නම්.
kn-mn:38.4
උපධිවිවේකය කවරැ යත්: ක්ලේශයෝත් ස්කන්ධයෝත් අභිසංස්කාරයෝත් උපධියි කියනු ලැබෙත්. යම් සර්‍වසංස්කාරයන්ගේ සන්හිඳීමෙක් සර්‍වොපධීන්ගේ දුරැලීමෙක් තෘෂ්ණාවගේ ක්‍ෂය කිරීමෙක් විරාගයෙක් නිරෝධයෙක් නිර්‍වාණයෙක් වේද, ඒ අමෘත නිර්‍වාණය ‘උපධිවිවෙක’යි කියනු ලැබේ. මේ යැ උපධිවිවෙක නමු. ගණසඞ්ගණිකායේන් වෙන් වූ කය ඇති ප්‍රථමධ්‍යානාදි නෛෂ්කාම්‍යයෙහි අභිරත වූවන්ට කායවිවේකය ද, පරිශුද්ධ වූ සිත් ඇති උත්තම වෝදාන(පරිශුද්ධි) යට පැමිණියවුන්ට චිත්තවිවෙකය ද, උපධිරහිත වූ විසංඛාරගත (=නිවනට පැමිණි) පුද්ගලයන්ට උපධිවිවේකය ද වේ.
kn-mn:40.1
දූරෙ විවෙකා හි - මෙසෙයින් කායගුහායෙහි ඇලුණු මෙසේ බොහෝ කෙලෙසුන් විසින් වැසුණු මෙසේ පඤ්චකාමගුණමොහනයෙහි ගැලුණු යමෙක් වේ ද, හෙතෙම කායවිවෙකයෙනුදු දුරැ වෙයි. චිත්තවිවෙකයෙනුදු දුරැ වෙයි. උපධිවිවෙකයෙනුදු දුරැ ඉතා දුරැ අතිශයින් දුරැ නො ළංහි නො හාත්පසැ අනාසන්නයෙහි බැහැර සිටියේ වේ. තථාවිධො - තාදෘශ වූයේ තදාකාර වූයේ තත්ප්‍රකාර වූයේ තත්ප්‍රතිභාග වූයේ, ඒ යමෙක් මොහනයෙහි ගැලුණේ වේ ද, එහෙයින් ‘දූරෙ විවෙකා හි තථාවිධො සො’ යනු වේ.
kn-mn:40.2
කාමා හි ලෝකේ න හි සුප්පහායා - කාමා යනු: උද්දාන විසින් කාමයේ දෙදෙනෙකි: වස්තුකාමයෝ ද ක්ලේශකාමයෝ දැ යි. වස්තුකාමයෝ කවරහ: මනවඩන රූපයෝ මනවඩන ශබ්දයෝ මනවඩන ගන්‍ධයෝ මනවඩන රසයෝ මනවඩන ස්ප්‍රෂ්ටව්‍යයෝ ද, අතුරුණු පොරෝණා දැසිදස්හු එළුතිරෙළුහු කුකුළුහූරහු ඇත්-ගව-අස්-වෙළඹහු කෙත් වත් කහවණු රන් ගම්-නියම්ගම්-රජදහන්හු ද රට දනව් ද කෝස ද කොටුගුළු ද යම් කිසි රජනීය වස්තුවෙක් වේද, මොහු යැ වස්තුකාමයෝ.
kn-mn:40.3
තවද අතීත කාමයෝ යැ අනාගතකාමයෝ යැ ප්‍රත්‍යුත්පන්න කාමයෝ යැ අධ්‍යාත්මකාමයෝ යැ බාහ්‍යකාමයෝ යැ අධ්‍යාත්ම- බාහ්‍යකාමයෝ යැ හීනකාමයෝ යැ මධ්‍යමකාමයෝ යැ ප්‍රණීතකාමයෝ යැ අපායිකකාමයෝ යැ මානුෂිකකාමයෝ යැ දිව්‍යකාමයෝ යැ ප්‍රත්‍යුපස්ථිත (එළැඹ සිටි) කාමයෝ යැ නිර්මිත (මවනලද) කාමයෝ යැ පරනිර්මිත (පරා විසින් මවන ලද) කාමයෝ යැ අනිර්මිත කාමයෝ යැ පරිගෘහීත (තමා අයත් කළ) කාමයෝ යැ අපරිගෘහීත කාමයෝ යැ මමායිත (මාගේ යැයි ගන්නා ලද) කාමයෝ යැ අමමායිත කාමයෝ යැ, සියලු මැ කාමාවචරධර්‍මයෝ යැ සියලු මැ රූපාවචරධර්‍මයෝ යැ සියලු මැ අරූපාවචර ධර්‍මයෝ යැ යන මොහු තෘෂ්ණාවස්තු වූවාහු තෘෂ්ණාලම්බන වූවාහු කමනීය හෙයින් රජනීය හෙයින් මදනීය හෙයින් කාමයෝ යි. මොහු වස්තුකාමයෝ යැයි කියනු ලැබෙත්.
kn-mn:40.4
ක්ලේශකාමයෝ කවරහ? ඡන්දකාම යැ රාගකාම යැ ඡන්දරාගකාම යැ, සංකල්පකාම යැ රාගකාම යැ සංකල්පරාගකාම යැ, කාමවස්තු විෂයෙහි යම් කාමච්ඡන්‍දයෙක් කාමරාගයෙක් කාමනන්‍දියෙක් කාමතෘෂ්ණායෙක් කාමස්නෙහර්‍යෙක් කාමපරිදාහයෙක් කාමමූර්ච්ඡායෙක් කාමාධ්‍යවසානයෙක් (බැස ගැනීමෙක්) කාමෞඝයෙක් කාමයෝගයෙක් කාමොපදානයෙක් කාමච්ඡන්‍දනීවරණයෙක් වේ ද -
kn-mn:42.1
1. “කාමය, තාගේ මුල දිටිමි. කාමය, තෝ සංකල්පයෙන් උපදනෙහි. දැන් මම තා නො පතමි. කාමය, තෝ මෙසෙයින් නූපදනෙහි” යයි.
kn-mn:42.2
මොහු ක්ලේශකාමයෝ යැයි කියනු ලැබෙත්.
kn-mn:42.3
ලෝකේ - අපායලෝකයෙහි මනුෂ්‍යලොකයෙහි දෙවලොකයෙහි ස්කන්‍ධලෝකයෙහි ධාතුලොකයෙහි ආයතනලෝකයෙහි ය; කාමා හි ලෝකේ න හි සුප්පහායා - යම් හෙයකින් කාමයෝ ලොව්හි දුකසේ ප්‍රහීණ කළ යුත්තාහු ද දුකසේ හළ යුත්තාහු ද දුකසේ පරිත්‍යාග කළ යුත්තාහු ද දුකසේ නිර්‍මද කළ යුත්තාහු ද දුකසේ මිදිය යුත්තාහු ද දුකසේ විනිර්වෙෂ්ටන කළ යුත්තා හු ද දුස්තර වූවාහු ද වෙසෙසින් දුස්තර වූවාහු ද දුස්සමතික්‍රම වූවාහු ද දුර්විනිවර්‍ත වූවාහු ද, එහෙයින් ‘කාමා හි ලෝකේ න හි සුප්පහායා’ යනු වේ.
kn-mn:42.4
එයින් වදාළහ බුදුහු:
kn-mn:42.5
“සත්තො ගුහායං -පෙ- න හි සුප්පහායා” යි.
kn-mn:42.6
2. 2.
kn-mn:42.7
කාමතෘෂ්ණාව නිදාන කොට ඇති භවසුඛයෙහි බැඳුණු, යලි අනාගතයෙහි හෝ අතීතයෙහි හෝ වස්තුකාමයන් කැමැති වන, මේ ප්‍රත්‍යුත්පන්න කාමයන් හෝ යට දැක්වූ අතීතානාගතකාමයන් හෝ ප්‍රාර්‍ත්‍ථනා කරන ඒ සත්ත්‍වයෝ දුකසේ මිදියැ යුත්තාහ. අනෙකක්හු විසින් නො මැ මුදනු හැක්කාහු වෙත්.
kn-mn:42.8
ඉච්ඡානිදානා භවසාතබද්ධා - ‘ඉච්ඡා’ යි තෘෂ්ණාව කියනු ලබා: යම් රාගයෙක් සංරාගයෙක් අනුනයෙක් අනුරෝධයෙක් නන්‍දියක් නන්‍දිරාගයෙක් චිත්තයාගේ සංරාගයෙක් ඉච්ඡාවක් මූර්ච්ඡාවක් අධ්‍යවසානයෙක් ගෙධයෙක් පරිගෙධයෙක් සඞ්ගයෙක් පඞ්කයෙක් එජාවක් මායාවක් (සසර උපදවන) ජනිකාවක් සංජනනියක් සීවනියක් (බැඳීමෙක්) ජාලිනියක් සරිතාවක් විසත්තිකාවක් (බඳනා හෙයින්) සූත්‍රයෙක් (රූපාදියෙහි පතළ හෙයින්) විසතාවක් අයූහනය කරවීමෙක් ද්විතීයාවක් ප්‍රණිධියක් භවනෙත්තියක් (ගහනහෙයින්) වනයෙක් වනථයෙක් තෘෂ්ණාසන්ථවයෙක් ස්නේහයෙක් අපේක්‍ෂාවක් (අරමුණෙහි බඳනා හෙයින්) ප්‍රතිබන්‍ධුයෙක් ආශාවක් ආශංසනාවක් ආශංසිත බවෙක් රූපාශාවක් ශබ්දාශාවක් ගන්ධාශාවක් රසාශාවක් ස්ප්‍රෂ්ටව්‍යාශාවක් ලාභාශාවක් ධනාශාවක් පුත්‍රාශාවක් ජීවිතාශාවක්, (තෘෂ්ණා වශයෙන්) ජල්පනයෙක් ජල්පනාකාරයෙක් ජල්පිත බවෙක් ලොල් බවෙක් ලෞල්‍යාකාරයෙක් ලෞල්‍යසමඞ්ගී බවෙක් පුච්ඡඤ්චික (නඟුට සලන = ලාභයෙහි සැලෙන) බවෙක් මධුරකාම්‍යතාවක්, අධර්‍මරාගයෙක් විෂමලොභයෙක් නිකාන්තියෙක් කැමැතිවන ආකාරයෙක් ප්‍රාර්‍ත්‍ථනාවක් පිහායනයෙක් සම්ප්‍රාර්ථනාවක්, කාමතෘෂ්ණාවක් භවතෘෂ්ණාවක් විභවතෘෂ්ණාවක් රූප (භව) තෘෂ්ණාවක් අරූපතෘෂ්ණාවක් නිරොධතෘෂ්ණාවක්, රූප (යෙහි) තෘෂ්ණාවක් ශබ්දතෘෂ්ණාවක් ගන්ධතෘෂ්ණාවක් රසතෘෂ්ණාවක් ස්ප්‍රෂ්ටව්‍යතෘෂ්ණාවක් ධර්‍මතෘෂ්ණාවක්, (තෘෂ්ණා) ඕඝයෙක් යෝගයෙක් ග්‍රන්‍ථයෙක් උපාදානයෙක් ආවරණයෙක් නීවරණයෙක් ඡදනයෙක් බන්‍ධනයෙක් උපක්ලෙශයෙක් අනුශයයෙක් පර්‍ය්‍යුත්‍ථානයෙක් ලතාවක් විවිධෙච්ඡාවක්, දුඃඛමූලයෙක් දුඃඛනිදානයෙක් දුඃඛප්‍රභවයෙක් මාරපාශයෙක් මාරබලිසයෙක් මාරවිෂයයෙක් තෘෂ්ණානදියක් තෘෂ්ණාජාලයෙක් තෘෂ්ණාගර්දූලයෙක් තෘෂ්ණාසමුද්‍රයෙක්, අභිධ්‍යාවක් විෂමලොභයෙක් අකුශලමූලයෙක් වේ ද එය යි.
kn-mn:44.1
ඉච්ඡානිදානා - ඉච්ඡාව නිදාන කොට ඇත්තාහු ඉච්ඡාව හේතු කොට ඇත්තාහු ඉච්ඡාව ප්‍රත්‍යය කොට ඇත්තාහු ඉච්ඡාව කාරණ කොට ඇත්තාහු ඉච්ඡාව ප්‍රභව කොට ඇත්තාහු නුයි ‘ඉච්ඡානිදාන’ නම් වෙත්.
kn-mn:44.2
භවසාතබද්ධා - සුඛවේදනාව එක් භවසාතයෙක, සුඛවේදනාව ද ඉෂ්ටවස්තුව දැයි භවසාත දෙකෙක. යෞවනය ආරෝග්‍යය හා ජීවිතය (ජීවිතේන්‍ද්‍රිය පවත්නා බව) දැයි භවසාත තුනෙක. ලාභ යැ යශස් යැ ප්‍රශංසා යැ සුඛ යැයි භවසාත සතරකෙ, මනාපික (මනවඩන) රූප යැ මනාපික ශබ්ද යැ මනාපික ගන්‍ධ යැ මනාපික රස යැ මනාපික ස්ප්‍රෂ්ටව්‍ය යැයි භවසාත පසෙක, චක්ෂුඃසම්පත් යැ ශ්‍රොතසම්පත් යැ ඝ්‍රාණසම්පත් යැ ජිහ්වාසම්පත් යැ කායසම්පත් යැ මනස්සම්පත් යැයි භවසාත සයෙකි. භවසාතබද්ධා - සුඛවේදනාවෙන් ඉෂ්ටවස්තුයෙහි සත්ත්‍වයෝ බඳනා ලද්දාහ, යෞවනයෙහි බද්ධයහ, ආරෝග්‍යයෙහි බද්ධයහ, ජීවිතයෙහි - ලාභයෙහි - යශස්හි - ප්‍රශංසායෙහි - සුඛයෙහි බද්ධයහ, මනාපිකරූපයන්හි බද්ධයහ, මනාපික ශබ්ද - ගන්‍ධ - රස - මනාපික ස්ප්‍රෂ්ටව්‍යයන්හි බද්ධයහ, චක්ෂුඃසම්පත්හි බද්ධයහ, ශ්‍රෝත - ඝ්‍රාණ - ජිහ්වා - කාය - මනස්සම්පත්හි බද්ධයහ, වෙසෙසින් බැඳුණාහ. හාත්පසින් බැඳුණාහ, ලග්න වූහ, ලගිත වූහ, පරිබද්ධ වූවාහු නුයි ‘ඉච්ඡානිදානා භවසාතබද්ධා’ යනු වේ.
kn-mn:44.3
තෙ දුප්පමුඤ්චා න හි අඤ්ඤමොක්ඛා - භවයෙහි ආස්වාදවස්තු වූ ඒ ධර්‍මයෝ හෝ දුකසේ හළ යුත්තාහ. සත්ත්‍වයෝ මැ හෝ තෙල භවසාත වස්තුහු කෙරෙන් දුර්මොචයෝ යි. ඒ භවයෙහි සාතවස්තුහු දුකසේ හළ යුත්තාහ කිසෙයින යත්: සුඛවේදනාව දුකසේ මිදිය යුත්තී යැ, ඉෂ්ටවස්තුව දුකසේ හළ යුතු යැ, යෞවනය - ආරෝග්‍යය - ජීවිතය - ලාභය - යශස් - ප්‍රශංසාව - සුඛය දුකසේ හළ යුතු යැ, මනාපික රූපයෝ දුස්ප්‍රමුව්‍යයෝ යැ, මනාපික ශබ්දයෝ - ගන්‍ධයෝ - රසයෝ - ස්ප්‍රෂ්ටව්‍යයෝ දුස්ප්‍රමුව්‍යයහ, චක්ෂුස්සම්පද් දුස්ප්‍රමුව්‍ය යැ, ශ්‍රෝත්‍ර - ඝ්‍රාණ - ජිහ්වා - කාය - මනස්සම්පද් දුස්ප්‍රමුව්‍ය යැ, දුර්මොච යැ, දුර්නිවෙෂ්ට යැ, දුර්විනිවෙෂ්ට යැ, දුස්තර යැ, දුස්ප්‍රතර යැ, දුස්සමතික්‍රම යැ, දුර්විනිවර්‍ත යි. මෙසේ ඒ භවසාත වස්තූහු දුකසේ මිදියැ යුත්තාහ.
kn-mn:44.4
සත්ත්‍වයෝ තෙල වස්තුයෙන් දුකසේ මිදියැ යුත්තාහු කිසෙයින යත්: සුඛවේදනායෙන් සත්ත්‍වයෝ දුකසේ මිදියැ යුත්තාහ, ඉෂ්ටවස්තුහු කෙරෙන් - යෞවනයෙන් - ආරොග්‍යයෙන් - ජීවිතයෙන් - ලාභයෙන් - යශසින් - ප්‍රශංසායෙන් - සුවයෙන් දුකසේ මිදිය යුත්තාහ, මනවඩන රූපයෙන් - ශබ්දයෙන් - ගන්‍ධයෙන් - රසයෙන් - ස්ප්‍රෂ්ටව්‍යයෙන් දුර්මොචයෝ යැ, චක්ෂුස්සම්පත්තියෙන් - ශ්‍රෝත්‍ර - ඝ්‍රාණ - ජිහ්වා - කාය - මනස්සම්පත්තියෙන් දුර්මෝචයෝ යැ, අතිශයින් නොමිදිය හැක්කාහ, නො නැඟිය හැක්කාහ, අතිශයින් නො නඟා සිටුවිය හැක්කාහ, දුර්නිවෙෂ්ටයෝ යැ, දුර්විනිවෙෂ්ටයෝ යැ, දුස්තරයෝ යැ, අතිශයින් දුස්තරයෝ යැ, නො ඉක්මවිය හැක්කාහ, නො නැවැත්විය හැක්කාහුයැ. මෙසේ සත්ත්‍වයෝ තෙල සාතවස්තු කෙරෙන් නො මිදිය හැක්කාහු නුයි ‘තෙ දුප්පමුඤ්චා’ යනු වේ.
kn-mn:44.5
න හි අඤ්ඤමොක්ඛා - ඔවුහු තමන් මහමඩෙහි ගැලුණාහු මහමඩෙහි ගැලුණු අනෙකක්හු නගාසිටුවන්නට නො හැකි වෙත්.
kn-mn:46.1
මේ වදාරන ලද මැයි බුදුන් විසින්:
kn-mn:46.2
චුන්දය, යමෙක් තෙමේ ගැඹුරු (මහ) මඩෙහි ගැලුණේ ද හෙතෙම ඒකාන්තයෙන් ගැඹුරු මඩෙහි ගැලුණු අනෙකක්හු නඟාසිටුවන්නේ යැ යන මේ කාරණය නො වෙයි. චුන්දය, යමෙක්තෙමේ නො දැමුණේ නො හික්මුණේ කෙලෙස් පිරිනිවනින් නො පිරිනිවියේ ත් වේ නම් හෙතෙම ඒකාන්තයෙන් අනෙකක්හු දමන්නේ යැ හික්මවන්නේ යැ පිරිනිවන්නේ යැ යන මේ කරුණ නො වේ” යයි. මෙසේත් අනෙකක් හු විසින් නො මිදියැ හෙන්නාහ. නොහොත් මුදවන අන් කිසිවෙක් නැත. ඉඳින් ඔහු මිදෙන්නාහු නම්, ස්වකීය (ඥාන) ශක්තියෙන් ස්වකීය බලයෙන් ස්වකීය වීර්‍ය්‍යයෙන් ස්වකීය පරාක්‍රමයෙන් ස්වකීය පුරුෂශක්තියෙන් ස්වකීය පුරුෂබලයෙන් ස්වකීය පුරුෂවීර්‍ය්‍යයෙන් ස්වකීය පුරුෂපරාක්‍රමයෙන් තමා විසින් සම්‍යක්ප්‍රතිපදාවට අනුලොමප්‍රතිපදාවට අවිරුද්ධ ප්‍රතිපදාවට අන්වර්ථප්‍රතිපදාවට ධර්‍මානුධර්‍මප්‍රතිපදාවට පිළිපදනාහු මිදෙන්නාහු නුයි ‘න හි අඤ්ඤමොක්ඛා’ යනු වේ.
kn-mn:46.3
මේ වදාරන ලද මැයි භාග්‍යවතුන් විසින්:
kn-mn:46.4
1. “ධෝතකය, මම් ලොව්හි කාඞ්ක්‍ෂා සහිත වූ කිසිවක්හු මුදන්නට නො හැකි වෙමි. (වෑයම් නොකරමි.) උත්තම ධර්‍මය විශිෂ්ටඥානයෙන් අවබෝධ කෙරෙමින් මෙසේ තෝ මේ චතුරෝඝය තරණය කෙරෙහි” යයි
kn-mn:46.5
මෙසේ ත් අනෙකක්හු විසින් නො මැ මිදිය හැක්කාහ.
kn-mn:46.6
මේ වදාරනලද මැයි භාග්‍යවතුන් විසින්:
kn-mn:46.7
2. “යමක්හු විසින් තමා මැ පව්කම් කරන ලද ද, හෙතෙම සිවුඅපාදුක් විඳිනුයේ තෙමේ මැ කෙලෙසෙයි. යළි යමක්හු විසින් තමා පව්කම් නො කරන ලද ද, හෙතෙම සුගතියට පැමිණියේ තෙමේ මැ විශුද්ධ වෙයි. කුශලාකුශලකර්‍මසඞ්ඛ්‍යත ශුද්ධිය ද අශුද්ධි ය ද කාරකසන්තානයෙහි - තමා කෙරෙහි විවා දනවයි. අනෙකෙක් අනෙකක්හු විශුද්ධ නො කෙරේ” යයි.
kn-mn:46.8
මෙසේ ත් අනෙකක්හු විසින් නො මැ මිදියැ හෙන්නාහ.
kn-mn:46.9
මේ වදාරන ලද මැයි භාග්‍යවතුන් විසින්:
kn-mn:46.10
“එසෙයින් මැ බමුණ, අමාමහනිවන ඇත් මැය. (පූර්‍වභාගවිදර්‍ශනාදියෙහි පටන්) නිවනට පමුණුවන ආර්‍ය්‍යමාර්‍ගය ඇත. සමාදන් කරවන (පිළිවෙතැ පිහිටුවන) මම් සිටිම් මැය. එතෙකුදු වුවත් මාගේ සව්වෝ මා විසින් මෙසේ අවවාද කරනු ලබන්නාහු මෙසේ අනුශාසනා කරනු ලබන්නාහු ඇතැම් කෙනෙක් මැ අත්‍යන්තනිෂ්ඨාව වූ නිවන සම්පාදනය කෙරෙති. ඇතැම් කෙනෙක් සම්පාදනය නො කෙරෙත්. මෙහි ලා (මොවුන් කෙරෙහි) බමුණ, මම් කුමක් කෙරෙම් ද, බමුණ, තථාගතයෝ පිළිවෙත් මඟ කියන සුල්ලහ. බුදුහු මාර්‍ගය ප්‍රකාශ කෙරෙත්. තුමූ පිළිවෙත්හි පිළිපදිමින් මිදෙන්නාහ”යි මෙසේත් අනෙකක්හු විසින් නො මැ මිදිය හැක්කාහු නුයි ‘තෙ දුප්පමුඤ්චා න හි අඤ්ඤමොක්ඛා’ යනු වේ.
kn-mn:48.1
පච්ඡා පුරෙ වාපි අපෙක්ඛාමානා - ‘පච්ඡා’ යි අනාගතය කියනු ලැබෙයි. ‘පුරෙ’ යි අතීතය කියනු ලැබේ. තවද අතීතය නිසා අනාගතයත් ප්‍රත්‍යුත්පන්නයත් ‘පච්ඡා’ නමැ, අනාගතය නිසා අතීතයත් ප්‍රත්‍යුත්පන්නයත් ‘පුරෙ’ නමැ. කිසෙයින් අතීතයෙහි අපේක්‍ෂා කෙරෙයි යත්: අතීත කාලයෙහි මෙබඳු රූප ඇත්තෙකිම් වීමි යි ඒ අතීතරූපාරම්මණයෙහි තෘෂ්ණාව එළවයි. මෙබඳු වේදනා ඇතියෙකිම් වීමි ... මෙබඳු සංඥා ඇතියෙකිම් වීමි ... මෙබඳු සංස්කාර ඇතියෙකිම් වීමි ... මෙබඳු විඥාන ඇතියෙකිම් වීමි අතීත කලැ’ යි එහි තෘණ්හාව එළවයි. මෙසේත් අතීතයෙහි අපෙක්ෂාව කෙරෙයි. නොහොත් අතීතයෙහි මාගේ ඇස මෙබඳු විය, රූපයෝ මෙබඳු වූහ යි ඒ චක්‍ෂු රූපයන්හි විඥානය (ජවනචිත්තය) ඡන්‍දරාගයෙන් ඇලුණේ වෙයි. ඒ ජවනවිඥානය ඡන්‍දරාගයෙන් බැඳුණු හෙයින් ඒ අරමුණට තෘෂ්ණාවශයෙන් සතුටු වෙයි. එය තෘෂ්ණාවශයෙන් අභිනන්‍දනය කරණුයේ මෙසේත් අතීතයෙහි අපේක්‍ෂාව කෙරෙයි. නොහොත් අතීතයෙහි මාගේ කන මෙබඳු විය, ශබ්දයෝ මෙබඳු වූහ යි ... අතීතයෙහි මාගේ ඝ්‍රාණය මෙබඳු විය, ගන්‍ධයෝ මෙබඳු වූහ යි ... අතීතයෙහි මාගේ දිව මෙබඳු විය, රසයෝ මෙබඳු වූහ යි ... අතීතයෙහි මාගේ කය මෙබඳු විය, පහස්හු මෙබඳු වූහ යි ... අතීතකාලයෙහි මාගේ මනස මෙබඳු විය, ධර්‍මයෝ මෙබඳු වූහ යි ඒ මනොධර්‍මයන්හි ජවනවිඥානය ඡන්‍දරාගයෙන් බැඳුණේ වෙයි. විඥානය ඡන්‍දරාගයෙන් බැඳුණු හෙයින් ඒ අරමුණට තෘෂ්ණාවශයෙන් සතුටු වෙයි. ඊට සතුටු වනුයේ මෙසේත් අතීතයෙහි අපෙක්ෂාව කෙරෙයි. නොහොත් පෙර ඔහුගේ මාගම සමග යම් ඒ හසිතලපිත ක්‍රීඩිතයෝ වූවාහු ද, එය ආස්වාදනය කෙරෙයි. එය කැමැති වෙයි. යළි එයින් සතුටට පැමිණෙයි. මෙසේත් අතීතයෙහි අපෙක්ෂාව කෙරේ.
kn-mn:48.2
කිසෙයින් අනාගතයෙහි අපේක්‍ෂාව කෙරෙයි යත්: අනාගතකාලයෙහි මෙබඳු රූ ඇති වෙම්ව යි ඒ අනාගතරූපයෙහි තෘෂ්ණාව එළවයි. මෙබඳු වේදනා ඇති වෙම්ව ... මෙබඳු සංඥා ඇති වෙම්ව යි ... මෙබඳු සංස්කාර ඇති වෙම්ව යි ... අනාගතයෙහි මෙබඳු විඥාන ඇති වෙම්ව යි එහි තෘෂ්ණාව එළවයි. මෙසේත් අනාගතයෙහි අපේක්‍ෂාව කෙරෙයි. නොහොත් අනාගතයෙහි මට මෙබඳු ඇසෙක් වේවා, මෙබඳු රූපයෝ වෙත්ව යි නො ලැබුණු චක්ෂූරූපයන්ගේ ප්‍රතිලාභය පිණිස සිත පිහිටුවයි. සිත පිහිටුවීම හේතුකොටගෙන එය තෘෂ්ණා වශයෙන් අභිනන්‍දනය කෙරෙයි. එය අභිනන්‍දනය කරනුයේ මෙසේත් අනාගතාපෙක්ෂාව කෙරෙයි. නොහොත් අනාගතයෙහි මට මෙබඳු කනෙක් වේවා, මෙබඳු ශබ්දයෝ වෙත්ව යි ... අනාගතයෙහි මට මෙබඳු ඝ්‍රාණයෙක් වේවා, මෙබඳු ගන්‍ධයෝ වෙත්ව යි ... අනාගතයෙහි මට මෙබඳු දිවක් වේවා, මෙබඳු රසයෝ වෙත්වයි ... අනාගතයෙහි මට මෙබඳු කයෙක් වේවා, මෙබඳු පහස්හු වෙත්ව යි ... අනාගතයෙහි මට මෙබඳු මනසෙක් වේවා, මෙබඳු ධර්‍මයෝ වෙත්ව’යි නො ලත් අරමුණු ලැබීම පිණිස සිත පිහිටුවයි. චිත්තප්‍රණිධානප්‍රත්‍යයෙන් ඒ අරමුණට සතුටු වෙයි. ඊට සතුටු වනුයේ මෙසේත් අනාගතාපෙක්ෂාව කෙරෙයි නොහොත් මම් මේ ශීලයෙන් හෝ ව්‍රතයෙන් හෝ තපසින් හෝ බ්‍රහ්මචර්‍ය්‍යයෙන් හෝ දෙවියෙක් හෝ දේවන්‍යතරයෙක් වන්නෙමි යි නො ලත් අරමුණු ලැබීම පිණිස සිත පිහිටුවයි. සිත පිහිටුවීම් කරුණෙන් ඊට සතුටු වෙයි. ඊට සතුටු වනුයේ මෙසේත් අනාගතාපෙක්ෂාව කෙරේ නුයි ‘පච්ඡා පුරෙ වාපි අපෙක්ඛමානා’ යනු වේ.
kn-mn:50.1
ඉමෙව කාමෙ පුරිමෙව ජප්පං - ‘ඉමෙව කාමෙ’ යනු: ප්‍රත්‍යුත්පන්න පඤ්චකාමගුණයන් කැමැති වන්නාහු ඉවසන්නාහු පතන්නාහු රුචි වන්නාහු වෙසෙසින් ගුණ කියන්නාහු; පුරිමෙව ජප්පං - අතීතපඤ්චකාමගුණයන් (ගුණවශයෙන්) කියන්නාහු ප්‍රකාරයෙන් කියන්නාහු වෙසෙසින් කියන්නාහු නුයි ‘ඉමෙව කාමෙ පුරිමෙව ජප්පං’ යනු වේ.
kn-mn:50.2
එයින් වදාළහ බුදුහු:
kn-mn:50.3
“ඉච්ඡානිදානා -පෙ- පුරිමෙව ජප්පං” යි.
kn-mn:50.4
2. 3.
kn-mn:50.5
ඔහු ක්ලේශකාමයෙන් වස්තුකාමයෙහි ගිජු වූවාහු යෙදුණාහු සම්මෝහයට පැමිණියාහු නිරයට යන්නාහු මසුරු වූවාහු හෝ බුද්ධාදීන්ගේ අවවාද නො ගන්නාහු කායවිෂමාදි විෂමයෙහි පිහිටියාහු මරණදුකට පැමිණියාහු ‘මෙයින් සැව පරලොව ගියමෝ කුමක් වනුමෝ හො’යි පරිදේවනා කෙරෙත්.
kn-mn:50.6
කාමෙසු ගිද්ධා පසුතා පමූළ්හා - ‘කාම’ නම් උද්දාන හෙයින් කාමයෝ දෙදෙනෙකි. වස්තුකාමයෝ ද ක්ලේශකාමයෝ දැයි ... මොහු වස්තුකාමයෝ යැයි කියනු ලැබෙත් ... මොහු ක්ලේශකාමයෝ යැයි කියනු ලැබෙත්. ගේධ යි තෘෂ්ණාව කියනු ලබා; යම් රාගයෙක් සංරාගයෙක් ... අභිධ්‍යාවක් ලොභඅකුශලමූලයෙක් වේ ද, එය යි. ක්ලේශකාමයෙන් වස්තුකාමයන්හි ඇලුණාහු ගිජු වූවාහු ගෙතුණාහු මුසපත් වූවාහු බැසගත්තාහු ලැගුණාහු එක් වූවාහු හාත්පසින් බැඳුණාහු නුයි ‘කාමෙසු ගිද්ධා’ යනු වේ. පසුතා - යම් කෙනෙක් කාමයන් එෂණ - ගවේෂණ - පර්‍ය්‍යෙෂණ කෙරෙත් ද, ඒ කාමයන් පිණිස හැසිරෙන්නාහු තද්බහුල වූවාහු තද්ගුරුක වූවාහු ඊට නැමුණාහු ඊට නැඹුරු වූවාහු ඊට බර වූවාහු එහි වැතුරුණාහු එය අධිපති කොට ඇත්තාහු වෙත් නම්, ඔහු ද කාමපසුතයෝ යැ. යම් කෙනෙක් තෘෂ්ණාවශයෙන් රූපයන් එෂණ - ගවේෂණ - පර්‍ය්‍යෙෂණ කෙරෙත් ද, ... ශබ්දයන් ... ගන්‍ධයන් ... රසයන් ... ස්ප්‍රෂ්ටව්‍යයන් එෂණ - ගවේෂණ - පර්‍ය්‍යෙෂණ කෙරෙත් ද, තච්චරිත තද්බහුල තද්ගුරුක තන්නිම්න තත්ප්‍රවණ තත්ප්‍රාග්භාර තදධිමුක්ත වූවාහු තදාධිපත්‍ය කොට ඇත්තාහු වෙත් නම්, ඔහු ද කාමපසුතයෝ යැ. යම් කෙනෙක් තෘෂ්ණාවශයෙන් රූපයන් ලබත් ද, (අත්පත් කෙරෙත් ද) ... ස්ප්‍රෂ්ටව්‍යයන් තෘෂ්ණාවශයෙන් ලබත් ද, තච්චරිත ... තදධිපතිත්ව කොට ඇත්තාහු වෙත් නම්, ඔහු ද කාමපසුතයෝ යැ; යම් කෙනෙක් තෘෂ්ණාවශයෙන් රූපයන් පරිභෝග කෙරෙත් ද, ... ස්ප්‍රෂ්ටව්‍යයන් පරිභෝග කෙරෙත් ද, තච්චරිත වූවාහු ... තදධිපතිත්ව කොට ඇත්තාහු වෙත් නම්, ඔහු ද කාමපසුතයෝ යැ. යම්සේ කලහ කරනුයේ කලහපසුත වේ ද, කර්‍මාන්ත කරනුයේ කම්මපසුත වේ ද, ගෝචරයෙහි හැසිරෙනුයේ ගොචරපසුත වේ ද, ධ්‍යාන ඇතියේ ඣානපසුත වේ ද, එසෙයින් මැ යම් කෙනෙක් කාමයන් එෂණ ගවේෂණ පර්‍ය්‍යෙෂණ කෙරෙත් නම්, ඒ පිණිස හැසිරෙත් නම්, එය බහුල කොට එය ගරු කොට ඊට නිම්න ව ඊට ප්‍රවණ ව ඊට බර ව එහි වැතිරැ එය අධිපති කොට වෙසෙත් නම්, ඔහු ද කාමපසුතයෝ යැ.
kn-mn:52.1
යම් කෙනෙක් තෘෂ්ණාවශයෙන් රූපයන් ... පර්‍ය්‍යෙෂණ කෙරෙත් නම්, ශබ්ද - ගන්‍ධ - රස - ස්ප්‍රෂ්ටව්‍යයන් ... සොයත් නම්, තච්චරිත තද්බහුල තද්ගුරුක තන්නිම්න තත්ප්‍රවණ තත්ප්‍රාග්භාර තදධිමුක්ත වෙත් නම්, එය අධිපති කොට ඇත්තාහු නම්, ඔහු ද කාමපසුතයෝ යැ. යම් කෙනෙක් තෘෂ්ණාවශයෙන් රූපයන් ප්‍රතිලාභ කෙරෙත් නම්, ශබ්ද - ගන්‍ධ - රස - ස්ප්‍රෂ්ටව්‍යයන් ප්‍රතිලාභ කෙරෙත් නම්, තච්චරිත... තදධිමුක්ත වූවාහු තදධිපතිත්ව කොට ඇත්තාහු නම්, ඔහු ද කාමපසුතයෝ යැ. යම් කෙනෙක් තෘෂ්ණාවශයෙන් රූපයන් පරිභෝග කෙරෙත් නම්, ශබ්ද ගන්‍ධ රස ස්ප්‍රෂ්ටව්‍යයන් පරිභෝග කෙරෙත් නම්, තච්චරිත තද්බහුල තද්ගුරුක තන්නිම්න තත්ප්‍රවණ තත් ප්‍රාග්භාර තදධිමුක්ත වූවාහු තදධිපතිත්ව කොට ඇත්තාහු නම්, ඔහු ද කාමපසුතයෝ යි.
kn-mn:52.2
පමූළහා - දෙවිමිනිස්හු බෙහෙවින් පස්කම්ගුණයෙහි මුළා වෙති, වෙසෙසින් මුළා වෙති, සර්‍වාකාරයෙන් මුළා වෙත්. මූඪ වූවාහු ප්‍රමූඪ වූවාහු සම්මූඪ වූවාහු සම්ප්‍රමූඪ වූවාහු අවිද්‍යාවෙන් අන්‍ධ කරන ලද්දාහු අවුරන ලද්දාහු (ඇවුරුණාහු නැවැතුණාහු) වැතුරුණාහු වැසුණාහු පිළිසන් වූවාහු පිහිකුළු වූවාහු නුයි ‘කාමෙසු ගිද්ධා පසුතා පමූළ්හා’ යනු වේ.
kn-mn:52.3
අවදානියා තෙ විසමෙ නිවිට්ඨා - ‘අවදානියා’ යනු: යටට (අපායට) යෙත් නුයි ද ‘අවදානිය’ නම් වෙත්: මසුරු වූවාහු ද ‘අවදානිය’ යි කියනු ලැබෙති. බුදුන්ගේ බුදුසව්වන්ගේ වදන වදන්මඟ දෙසුම අනුසස්න නො ගනිත් නුයි ‘අවදානිය’ නම් වෙත්. කිසෙයින් අපායට යෙත් නුයි ‘අවදානිය’ නම් වෙති යත්: ‘අවං ගච්ඡන්ති’ (අපායට යෙති) යනු: නිරයට යෙති, තිරිසන්යෝනියට යෙති, ප්‍රේතවිෂයට යෙති; මෙසේ අපායට යෙත් නුයි ‘අවදානිය’ නම් වෙත්. කිසෙයින් මත්සරීහු (=මසුරෝ) ‘අවදානිය’ යි කියනු ලැබෙති යත්: මාත්සර්‍ය්‍ය පසෙක: ආවාසමාත්සර්‍ය්‍ය යැ, කුලමාත්සර්‍ය්‍ය යැ, ලාභමාත්සර්‍ය්‍ය යැ, වර්‍ණමාත්සර්‍ය්‍ය යැ, ධර්‍මමාත්සර්‍ය්‍ය යි. මෙ බඳු වූ යම් මසුරුකමක් මසුරුඅයුරක් මසුරුබවක් සිය සම්පත් සඟවනු කැමතිබවක් අනාර්‍ය්‍ය බවක් කටුක බැවින් සිත හකුළුවන බවක් සිත් නො ගත්බවක් වේ නම්, මෙය මාත්සර්‍ය්‍ය යි කියනු ලැබේ. තවද පඤ්චස්කන්‍ධයෙහි මසුරුබව ද ‘මච්ඡරිය’ නම, ධාතුමාත්සර්‍ය්‍ය ද ... ආයතනමාත්සර්‍ය්‍ය ද ‘මච්ඡරිය’ නම, ග්‍රාහය ද ‘මච්ඡරිය’ නමි. මෙය මාත්සර්‍ය්‍ය යි කියනු ලැබේ. මේ මාත්සර්‍ය්‍ය හේතුවෙන් බුදුවදන් නො දැනීමෙන් යුත් ජනයෝ ප්‍රමත්තයෝ යැ. මෙසෙයින් මත්සරීහු ‘අවදානිය’ යි කියනු ලැබෙත්. කිසෙයින් බුදුන්ගේ බුදුසව්වන්ගේ වදන වදන්මග දෙසුම අනුසස්න නො ගනිත් නුයි ‘අවදානිය’ නම් වෙති යත්? බුදුන්ගේ බුදුසව්වන්ගේ වදන වදන්මග දෙසුම අනුසස්න නො ගනිති, නො අසනු කැමති වෙති, කන නො නමති, දැනීමට සිත නො එළවති, අවවාද නො අසන්නාහු බස් පිළිගෙන නො කරන්නාහු පිළිලොම් වැ පවත්නාහු මුහුණ වෙනතක නමත්. මෙසෙයින් බුදුන්ගේ බුදුසව්වන්ගේ වදන වදන්මග දෙසුම අනුසස්න නො ගනිත් නුයි ‘අවදානිය’ නම් වෙත්.
kn-mn:54.1
තෙ විසමෙ නිවිට්ඨා - ‘විසමෙ’ යනු: විෂම වූ කායකර්‍මයෙහි පිවිසියාහු, විෂම වූ වාක්කර්‍මයෙහි පිවිසියාහු, විෂම වූ මනඃකර්‍මයෙහි පිවිසියාහු, විෂම වූ ප්‍රාණඝාතයෙහි පිවිසියාහු, විෂම වූ අදත්තාදානයෙහි ... විෂම වූ කාමමිථ්‍යාචාරයෙහි ... විෂම වූ මෘෂාවාදයෙහි ...විෂම වූ පෛශූන්‍යවචනයෙහි ...විෂම වූ පරුෂවචනයෙහි ...විෂම වූ සම්ඵප්‍රලාපයෙහි ... විෂම වූ අභිධ්‍යායෙහි ... විෂම වූ මිථ්‍යාදෘෂ්ටියෙහි පිවිසියාහු, විෂම වූ කායාදි සංස්කාරයෙහි ... විෂම වූ පඤ්චකාමගුණයෙහි ... විෂම වූ පඤ්චනීවරණයෙහි පිවිසියාහු වෙසෙසින් පිවිසියාහු පිහිටියාහු ඇලුණාහු පැමිණියාහු පිවිස සිටියාහු බැසගත්තාහු ලැගුණාහු එක් වූවාහු පරිබද්ධ වූවාහු නුයි ‘අවදානියා තෙ විසමෙ නිවිට්ඨා’ යනු වේ.
kn-mn:54.2
දුක්ඛූපනීතා පරිදෙවයන්ති - ‘දුක්ඛූපනීතා’ යනු: දුකට පත් වූවාහු දුකට සැපත් වූවාහු දුකට පැමිණියාහු මරපත් වූවාහු මරසැපත් වූවාහු මාරොපගත වූවාහු මරණපත් වූවාහු මරණසැපත් වූවාහු මරණොපගත වූවාහු. පරිදෙවයන්ති යනු: බෙණෙති පුනපුනා බෙණෙති ශෝක කෙරෙති වෙහෙසෙති වැලැපෙති ළෙහි පැහැරැ හඬති මුළාවට පැමිණෙත් නුයි ‘දුක්ඛූපනීතා පරිදෙවයන්ති’ යනු වේ.
kn-mn:54.3
කිං සු භවිස්සාම ඉතො චුතා සෙ - ‘මෙයින් සැවැ (=මෙලොවින් චුත වැ) කුමක් වනුමෝ ද, නෙරිසත් වනුමෝ ද, තිරිසන්යෝනියෙහි උපදනුමෝද, මිනිස් වනුමෝ ද, දෙවි වනුමෝ ද, රූපභවයෙහි උපදනුමෝද, අරූපභවයෙහි උපදනුමෝද, සංඥීභවයෙහි උපදනුමෝද, අසංඥීභවයෙහි උපදනුමෝද, ඇපි අනාගතයෙහි වනුමෝ ද, අනාගතයෙහි නො වන්නමෝ ද, අනාගතයෙහි (ක්ෂත්‍රියාදීන් අතුරෙන්) කුමක් වනුමෝ ද, අනාගතයෙහි (දීර්‍ඝ-හ්‍රස්වාදි සටහන් වශයෙන්) කෙසේ වනුමෝ ද, අනාගතයෙහි ඇපි (ක්ෂත්‍රියාදීන් අතුරෙන්) කුමක් වැ (බ්‍රහ්මණාදීන් අතුරෙන්) කුමක් වනුමෝ දැ’යි සැකයට පැමිණියාහු විමතියට පැමිණියාහු හටගත් සැක ඇත්තාහු බෙණෙති පුනපුනා බෙණෙති ශෝක කෙරෙති වෙහෙසෙති වැලැපෙති ළෙහි පැහැර හඬති මුළාවට පැමිණෙත් නුයි ‘කිං සු භවිස්සාම ඉතො චුතා සෙ’ යනු වේ.
kn-mn:54.4
එයින් වදාළහ බුදුහු:
kn-mn:54.5
“කාමෙසු ගිද්ධා -පෙ- ඉතො චුතා සෙ” යී.
kn-mn:54.6
2. 4.
kn-mn:54.7
යම් හෙයකින් සත්ත්‍ව තෙමේ ලෝකයෙහි යම්කිසි (නිරවශේෂ වූ) කායදුශ්චරිතාදි විෂමය (විෂම කරන හෙයින්) විෂමයෙකැයි දන්නේ නම්, එහෙයින් ඒ විෂම වූ කායකර්‍මාදියට හේතු වූ විෂමයෙහි නො හැසිරෙන්නේ යැ. යම් හෙයකින් ධීරයෝ මේ ජීවිතය අල්ප ය යි කියත් ද, එහෙයින් මේ ශාසනයෙහි මැ ත්‍රිවිධ ශික්‍ෂාවෙහි හික්මෙන්නේ යැ හෙවත් ත්‍රිවිධශික්ෂාව සමාදන් වැ පවත්නේ යි.
kn-mn:54.8
තස්මා හි සික්ඛෙථ ඉධෙව ජන්තු - ‘තස්මා’ යනු: එහෙයින් ඒ කරුණෙන් ඒ හේතුවෙන් ඒ ප්‍රත්‍යයෙන් ඒ නිදානයෙන් පස්කම්හි තෙල ආදීනවය දක්නේ නුයි තස්මා යනු වේ. ‘සික්ඛෙථ’ යනු: අධිශීලශික්‍ෂා යැ, අධිචිත්තශික්ෂා යැ, අධිප්‍රඥාශික්‍ෂා යැයි ශික්‍ෂා තුනෙකි.
kn-mn:56.1
අධිශීලශික්‍ෂා කවරැ යත්: මේ සස්නෙහි මහණ ප්‍රාතිමොක්ෂ සංවරයෙන් සංවෘත වූයේ සිල්වත් වෙයි, ආචාර - ගෝචර දෙකින් යුක්ත වූයේ අණුමාත්‍ර වූ ද වරදෙහි භය දක්නාසුලු වූයේ වෙසෙයි. ශික්‍ෂාපදයන් - ශික්ෂාකොට්ඨාසයන් අතුරෙහි හික්මියැ යුතු සියලු ශික්‍ෂාව මොනොවට ගෙනැ හික්මෙයි. (සංඝාදිසෙසාදි සාවශෙෂ සඞ්ඛ්‍යාත) ක්ෂුද්‍රශීලස්කන්ධ යැ (පාරාජිකාදි නිරවශේෂ සඞ්ඛ්‍යාත) මහාශීලස්කන්ධ යැ යන ශීලය චාතුර්භූමකකුශලධර්‍මයන්ගේ ප්‍රතිලාභයට ප්‍රතිෂ්ඨා යැ ආදි යැ චරණ (-පාද) යැ සංයම යැ සංවර යැ උත්තම යැ ප්‍රමුඛ යි. මෝ අධිශීලශික්‍ෂා නමු.
kn-mn:56.2
අධිචිත්තශික්ෂා කවරැ යත්: මේ සස්නෙහි මහණ වස්තුකාම - ක්ලෙශකාමයන්ගෙන් වෙන් ව මැ (ශෙෂනීවරණසඞ්ඛ්‍යාත) අකුශලධර්‍මයන් ගෙන් වෙන් ව මැ (අරමුණට සිත නගන) විතර්‍කය සමග පවත්නා වූ (අරමුණෙහි සිත හසුරුවන) විචාරය සමග පවත්නා වූ (නීවරණවිගමයෙන් වූ) විවේකයෙන් හෝ විවේකයෙහි උපන් ප්‍රීතිය හා සැපය ඇති පළමුවන දැහැනට පැමිණ වෙසෙයි. විතර්‍ක විචාර සන්හිඳීමෙන් ස්වකීය අධ්‍යාත්මයෙහි පැහැදීම ඇති සමාධිචිත්තයාගේ ශ්‍රේෂ්ඨ වූ උදය ඇති, හෙවත් (විතර්‍කවිචාරාභාවයෙන්) එකලා වැ සම්ප්‍රයුක්තධර්‍මයන් නඟාසිටුවන (භාවනාවෙන් ප්‍රහීණ හෙයින්) විතර්‍ක - විචාර රහිත වූ ප්‍රථමධ්‍යානසමාධියෙන් හෝ සම්ප්‍රයුක්තසමාධියෙන් හටගත් ප්‍රීතිය හා සැපය ඇති දෙවැනි දැහැනට පැමිණ වෙසෙයි. ප්‍රීතිය ද ඉක්මැවීමෙන් විතර්‍කවිචාරයන් ද සන්හිඳුවීමෙන් ධ්‍යානොපෙක්ෂා ඇති වැ වාසය කරන්නේ ද වෙයි, (ස්මරණලක්ෂණ) සිහි ඇති වැ (අසම්මොහලක්ෂණ) නුවණ ද ඇති වැ නාමකායසම්ප්‍රයුක්ත වූ සැපය (ධ්‍යානයෙන් නැඟීසිටිය ද) රූපකායයෙන් විඳී, යම් ධ්‍යානයක් හේතු කොටගෙන ‘උපෙක්ෂා ඇත්තේ යැ ස්මෘතිමත් යැ සුඛවිහරණ ඇත්තේ යැ’යි ආර්‍ය්‍යයෝ ප්‍රශංසා කෙරෙත් නම්, ඒ තුන්වැනි දැහැනට පැමිණ වෙසෙයි. පළමු උපචාරක්‍ෂණයෙහි මැ කායික සැපයත් කායික දුකත් ප්‍රහාණ කිරීමෙන් සොම්නස්දොම්නසුන් (=චෛතසික සැපදුක්) පළමු මැ අතුරුදහන් වීමෙන් දුක් නැති සැප නැති උපේක්‍ෂාවෙන් උපදවන ලද ස්මෘතිපාරිශුද්ධිය (පිරිසිදුසිහි) ඇති සිවුවැනි දැහැනට පැමිණ වෙසේ. මෝ අධිචිත්තශික්ෂා නමු.
kn-mn:56.3
අධිප්‍රඥා ශික්‍ෂා කවරැ යත්: මේ සස්නෙහි මහණ උදයව්‍යය ගාමිනී වූ ආර්‍ය්‍ය (නිර්දෝෂ) වූ නිර්‍වෙදපක්ෂයෙහි වූ මනා සේ නිවනට පමුණුවන්නා වූ නුවණින් පරිපූර්‍ණ වූයේ ප්‍රඥාවත් වෙයි. හෙතෙම ‘මේ දුකැ’යි තතු සේ දැනගනි. මේ දුක්සමුදය යැයි තතු සේ දැනගනී. මේ දුක් නිරෝධය යැයි තතු සේ දැනගනී. මේ දුක් නිරෝධයට පමුණුවන පිළිවෙතැ’යි තතු සේ දැනගනී. මොහු ආස්‍රවයෝ යැයි තතු සේ දැනගනී. මේ ආස්‍රවසමුදය යැයි තතු සේ දැනගනී. මේ ආස්‍රවනිරෝධ යැයි තතු සේ දැනගනී. මේ ආස්‍රවනිරොධයට පමුණුවන පිළිවෙතැ’යි යැයි තතු සේ දැනගනී. මෝ අධිප්‍රඥාශික්‍ෂා නමු.
kn-mn:58.1
මේ ත්‍රිවිධ ශික්‍ෂාවන් (වෙන වෙන මැ පුරන්නට) සිතමින් හික්මෙන්නේ යැ, (මේ ශික්‍ෂා යැයි) දනිමින් හික්මෙන්නේ යැ, දක්මින් හික්මෙන්නේ යැ, (දුටු සේ) ප්‍රත්‍යවේක්‍ෂා කෙරෙමින් හික්මෙන්නේ යැ, සිත නො සැලෙන සේ පිහිටුවමින් හික්මෙන්නේ යැ, සැදැහැයෙන් ඇලෙමින් හික්මෙන්නේ යැ, වීර්‍ය්‍යය දැඩි ව ගනිමින් හික්මෙන්නේ යැ, සිහි එළවමින් හික්මෙන්නේ යැ, සිත එකඟ කෙරෙමින් හික්මෙන්නේ යැ, නුවණින් දැනගනිමින් හික්මෙන්නේ යැ, (ස්වභාව ලක්‍ෂණයෙන්) දත යුතු දැය දනිමින් හික්මෙන්නේ යැ, (සාමාන්‍ය ලක්‍ෂණයෙන්) දත යුතු දැය හාත්පසින් දැනගනිමින් හික්මෙන්නේ යැ, හළ යුතු සමුදය දුරු කෙරෙමින් හික්මෙන්නේ යැ, වැඩිය යුතු මඟ වඩමින් හික්මෙන්නේ යැ, පසක් කළ යුතු නිවන පසක් කෙරෙමින් හික්මෙන්නේ යැ, (අධිශීලයෙහි) හැසිරෙන්නේ යැ, (අධිචිත්තයෙහි) මොනොවට හැසිරෙන්නේ යැ, (අධිප්‍රඥාව) මොනොවට ගෙන පවත්නේ යි.
kn-mn:58.2
ඉධ යනු: මේ බුදුරදුන් විසින් දක්නා ලදුයෙහි, මේ ක්‍ෂාන්තියෙහි, මේ රුචියෙහි, මේ ග්‍රහණයෙහි, මේ ධර්‍මයෙහි, මේ විනයෙහි, මේ ධර්‍ම-විනයෙහි, මේ ප්‍රවචනයෙහි, මේ බ්‍රහ්මචර්‍ය්‍යයෙහි, මේ ශාස්තෘශාසනයෙහි, මේ අත්බවෙහි, මේ මිනිස්ලොවැ; එයින් කියනු ලැබේ ‘ඉධ’ යි. ජන්තු යනු: සත්ත්‍ව නර... මනුජ නුයි ‘තස්මා හි සික්ඛෙථ ඉධෙව ජන්තු’ යනු වේ.
kn-mn:58.3
යං කිඤ්චි ජඤ්ඤා විසමන්ති ලෝකේ - ‘යං කිඤ්චි’ යනු: සියල්ලෙන් සියල්ල සියලු පරිද්දෙන් සියල්ල අශේෂ කොට නිරවශේෂ කොට ගැනීම් වචනයෙකි මේ. ‘යං කිඤ්චි’ යනු: විසමන්ති ජඤ්ඤා - විෂම වූ කායකර්‍මය විෂම යයි දන්නේ නම්, විෂම වූ වාක්කර්‍මය... මනඃකර්‍මය... විෂම වූ ප්‍රාණඝාතය විෂම යයි දන්නේ නම්, විෂම වූ අදත්තාදානය... කාමමිත්ථ්‍යාචාරය... මෘෂාවාදය... පෛශුන්‍යය... පරුෂවචනය... ප්‍රලාපවචනය... විෂම වූ අභිධ්‍යාව ... ව්‍යාපාදය... මිත්‍ථ්‍යාදෘෂ්ටිය... විෂම වූ කායසංස්කාරයෝ... විෂම වූ පඤ්චකාමගුණයෝ... විෂම වූ පඤ්චනීවරණයෝ විෂමයෝ යැ යි දන්නේ නම්, හාත්පසින් දන්නේ නම්, වෙසෙසින් දන්නේ නම්, මොනොවට දන්නේ නම්, ප්‍රතිවේධ කරන්නේ නම්; ලෝකේ අපායලෝකයෙහි... ආයතනලෝකයෙහි නුයි ‘යං කිඤ්චි ජඤ්ඤා විසමන්ති ලෝකේ,’ යනු වේ.
kn-mn:58.4
න තස්ස හේතු විසමං චරෙය්‍ය - විෂම වූ කායකර්‍මය හේතු කොට විෂමයෙහි නො හැසිරෙන්නේ යැ, විෂම වූ වාක්කර්‍මය... මනඃකර්‍මය හේතු කොට... විෂම වූ ප්‍රාණඝාතය හේතු කොට විෂමයෙහි නො හැසිරෙන්නේ යැ, විෂම වූ අදත්තාදානය... කාමමිතථ්‍යාචාරය... මෘෂාවාදය... පෛශුන්‍යය... පරුෂවචනය... සම්පප්‍රලාපය... අභිධ්‍යාව... ව්‍යාපාදය... මිත්‍ථ්‍යාදෘෂ්ටිය... විෂම වූ සංස්කාරයන් හේතු කොට... විෂම වූ පඤ්චකාමගුණයන්... විෂම වූ පඤ්චනීවරණයන් හේතු කොට... විෂම වූ චේතනාව... විෂම වූ ප්‍රාර්‍ත්‍ථනාව... විෂම වූ ප්‍රණිධිය හේතු කොට විෂමයෙහි නො හැසිරෙන්නේ යැ, හාත්පසින් නො හැසිරෙන්නේ යැ, මොනොවට විෂමයෙහි නො හැසිරෙන්නේ යැ, මොනොවට ගෙන නො පවත්නේ නුයි ‘න තස්ස හේතු විසමං චරෙය්‍ය’ යනු වේ.
kn-mn:60.1
අප්පඤ්භිදං ජීවිතං ආහු ධීරා - ‘ජීවිතං’ යනු: (අරූපධර්‍මයන්ගේ) ආයුසය සිටීම යපනය යාපනය (=යැපීම) ඉරීයනය පැවැත්ම පාලනය ජීවිතය ජීවිතේන්‍ද්‍රිය යි. තවද දෙ කරුණෙකින් ජීවිතය අල්ප වෙයි: ස්ථිතික්ෂණය මඳබැවින් හෝ ජීවිතය අල්ප යැ, කෘත්‍යලක්ෂණ හෝ සම්පත්තීලක්ෂණ රසය මඳබැවින් හෝ ජීවිතය අල්ප යි. කිසෙයින් ඨිතිපරිත්තතායෙන් ජීවිතය අල්ප වෙයි? යත්: අතීත චිත්තක්ෂණයෙහි ජීවත් විය, ජීවත් නො වෙයි, ජීවත් නො වන්නේ ය; අනාගතචිත්තක්ෂණයෙහි ජීවත් වන්නේ යැ, ජීවත් නො වෙයි, ජීවත් නො වී; වර්‍තමාන චිත්තක්ෂණයෙහි ජීවත් වෙයි, ජීවත් නො වී, ජීවත් නො වන්නේ යි.
kn-mn:60.2
1. (සංස්කාරස්කන්‍ධ සඞ්ඛ්‍යාත) ජීවිතය ද, (රූපස්කන්‍ධ සඞ්ඛ්‍යාත) ආත්මභාවය ද, (වෙදනාස්කන්ධ සඞ්ඛ්‍යාත) සුඛදුඃඛයෝ ද, (ධ්‍රැවසුඛශුභාත්මභාව රහිත හෙයින්) කේවල වූවාහු (විඥානස්කන්‍ධ සඞ්ඛ්‍යාත) එක් සිතක් සමග යෙදුණාහු (ජීවිතාදීන්ගේ) ක්‍ෂණය අල්පවශයෙන් පවත්නේ යැ.
kn-mn:60.3
2. යම් දෙවි කෙනෙක් කප් සුවාසූදහසක් ආයු ගෙන (නේවසඤ්ඤානාසඤ්ඤායතනයෙහි) සිටිත් නම්, ඔහු පවා දෙ සිතෙකින් යුක්ත වූවාහු නො මැ ජීවත් වෙති.
kn-mn:60.4
3. මෙ ලොවැ මළහු ගේ හෝ ජීවත් වන්නහු ගේ හෝ යම් ස්කන්‍ධ කෙනෙක් නිරුද්ධ වූවාහු ද, (චුතියෙන් උඩ නිරුද්ධ වූ හෝ ප්‍රවෘත්තියෙහි නිරුද්ධ වූ හෝ) ඒ සියලු මැ ස්කන්‍ධයෝ සදෘශයෝ ය, (නිරුද්ධ වූ ස්කන්‍ධයන් පෙරළා අවුත් ගැළැපීමක් නැති බැවින්) ගියාහු අප්‍රතිසන්ධිකයෝ යැයි කියනු ලැබෙත්.
kn-mn:60.5
4. යම් ස්කන්‍ධ කෙනෙක් අනන්තර (=අතීත) වැ සිට බිඳීගියාහු ද, යම් අනාගත ස්කන්‍ධ කෙනෙකුන් බිඳීයන්නාහු ද, ඒ අතුරැ නිරුද්ධ වූ වර්‍තමානස්කන්ධයන්ගේ ලක්‍ෂණයෙහි විෂම බවෙක් (නානාත්‍වයෙක්) නැති.
kn-mn:60.6
5. නූපන් අනාගතස්කන්ධයෙන් නූපන්නේ යැ, ක්ෂණප්‍රත්‍යුත්පන්න වූ වර්‍තමානස්කන්ධයෙන් ජීවත් වෙයි, සත්ත්‍ව තෙම චිත්තයාගේ බිඳීමෙන් මළේ නමැ, (මළේ යැ යන) ප්‍රඥප්තිය පරමාර්ත්ථ (-චිත්තභඞ්ග)ය ඇසුරු කොට ඇත්තී යැ.
kn-mn:60.7
6. ඡන්‍ද විසින් පරිණාමිත වූවාහු නතු වූ පරිදි පවත්නාහු යැ. ෂඩායතනප්‍රත්‍යයයෙන් නුසුන් ධාරා ඇති වැ පවතිත්.
kn-mn:60.8
7. බිඳුණු ස්කන්‍ධයෝ නිධානයට (=රැස් වීමට) නො ගියාහු යැ, අනාගතයෙහි දු ඔවුන් ගේ රැස් වීමෙක් නැති. හිදිඅගැ අබඇට සෙයින් ස්ථිතික්ෂණයෙහි උපන්නාහු මැ සිටිත්.
kn-mn:60.9
8. ඉපැදැ පවත්නාවූ ඒ ස්කන්ධධර්‍මයන්ගේ ද බිඳීම පෙරටු කරන ලද්දේ යැ. නැසෙන පියවි ඇත්තාහු පැරැණි ස්කන්‍ධයන් හා අමිශ්‍ර වූවාහු සිටිත්.
kn-mn:60.10
9. නො දක්නා තැනින් මැ පැමිණෙති. නැසීමෙන් මතු නො දක්නා බවට මැ යෙති. අහසැ විදුලි කෙටීමක් මෙන් උපදනාහු ද නැසෙන්නාහු ද වෙත්.
kn-mn:60.11
මෙසේ ඨිතිපරිත්තතායෙන් ජීවිතය අල්ප වේ.
kn-mn:62.1
කිසෙයින් සරසපරිත්තතායෙන් ජීවිතය අල්ප වෙයි යත්: (නැහැසිදුරින් ඇතුළත පිවිසෙන වාත සඞ්ඛ්‍යාත) ආශ්වාසය නිසා පවත්නේ යැ ජීවිතය, ප්‍රශ්වාසය නිසා පවත්නේ යැ ජීවිතය, අශ්වාසප්‍රශ්වාස පිළිබඳ යැ ජීවිතය, පෘථිව්‍යාදි මහාභූතයන් පිළිබඳ යැ ජීවිතය, කවලීකාරාහාරය පිළිබඳ යැ ජීවිතය, උණුසුම (=කර්‍මජතෙජස) පිළිබඳ යැ ජීවිතය, භවාඞ්ගවිඥානය පිළිබඳ යැ ජීවිතය. මේ ආශ්වාසාදීන්ගේ මූලකාරණය (=හේතුව) ද දුබල යැ, මොවුන් ගේ අවිද්‍යාදි පූර්‍වහෙතුහු ද දුබලයෝ යැ, ආරම්මණාදි සාධාරණ ප්‍රත්‍යයයෝ ද දුබලයෝ යැ, ප්‍රධාන වැ සිට උපදවන ඒ තෘෂ්ණාව ද දුබල යැ, මොවුන්ගේ එක් වැ උපන් රූපාරූපධර්‍මයෝ ද දුබලයෝ යැ, මොවුන්ගේ එක් වැ යෙදුණු අරූපධර්‍මයෝ ද දුබලයෝ යැ, මොවුන්ගේ සහජ (=එක් සිතෙහි උපන්) ධර්‍මයෝ ද දුබලයෝ යැ, ච්‍යුතිප්‍රතිසන්‍ධි විසින් යොදවන වෘත්තමූලක වූ ඒ තෘෂ්ණාව ද දුබල යැ, මොහු ඔවුනොවුන් නිරතුරු දුබලයෝ යැ, මොහු ඔවුනොවුන් අනවස්ථිතයෝ යැ, මොහු ඔවුනොවුන් පිරිහෙළති, ඔවුනොවුන් රැකීමෙක් නැති, මොහු ඔවුනොවුන් නො ද සිටුවති, (මොවුන්ගේ) උත්පාදකධර්‍මයෙක් ද නැත්.
kn-mn:62.2
10. එකෙක් එකක්හුගේ වශයෙන් නො ද පිරිහෙයි, මේ සියලු මැ ස්කන්‍ධයෝ සර්‍වප්‍රකාරයෙන් බිඳීමට යා යුත්තාහු යැ, මේ වර්‍තමානස්කන්ධයෝ පූර්‍වහෙතුප්‍රත්‍යයයන් විසින් උපදවන ලද්දාහු ය, උත්පාදක වූ ඒ පූර්‍වහෙතුප්‍රත්‍යයයෝ පළමු වැ මළාහු යැ, පූර්‍වහෙතුප්‍රත්‍යයයෝ ද වර්‍තමාන ප්‍රත්‍යයසමුත්පන්නයෝ ද ඔවුනොවුන් කිසි කලෙක නො දුටු විරූහ.
kn-mn:62.3
මෙසේ සරසපරිත්තතායෙන් ජීවිතය අල්ප වේ.
kn-mn:62.4
තවද - චාතුර්මහාරාජික දෙවියන්ගේ ජීවිතය පිණිස මිනිසුන්ගේ ජීවිතය අල්ප යැ, ජීවිතය පරිත්ත යැ, ජීවිතය මඳ යැ, ජීවිතය ක්‍ෂණික යැ, ජීවිතය සැහැල්ලු යැ, ජීවිතය ඉත්‍වර (අදීර්‍ඝ) යැ, ජීවිතය කල් නො පවත්නේ යැ, ජීවිතය අචිරස්ථායී යැ, ත්‍රයස්ත්‍රිංශත් දෙවියන්ගේ යාමදෙවියන්ගේ - තුෂිතදෙවියන්ගේ - නිර්‍මාණරතී දෙවියන්ගේ - පරනිර්‍මමිතවශවර්‍තති දෙවියන්ගේ - බ්‍රහ්මකායික දෙවියන්ගේ ජීවිතය නිසා මිනිසුන්ගේ ජීවිතය අල්ප යැ, පරිත්ත යැ, මඳ යැ ක්‍ෂණික යැ ලහුක යැ ඉත්තර යැ අනද්ධනිය යැ අචිරස්ථායී වේ. වදාළේ මැ නු භාග්‍යවතුන් වහන්සේ විසින්:
kn-mn:62.5
“මහණෙනි, මිනිසුන්ගේ මේ ආයුස අල්ප යැ, පරලොව යා යුත්තේ යැ, නුවණින් දත යුතු යැ, කුසල් කළ යුතු යැ, බඹසර විසියැ යුතු යැ, උපන්හුගේ නො මැරීමෙක් නැති. මහණෙනි, යමෙක් කලක් ජීවත් වේ නම් හෙතෙම අවුරුදු සියයක් ජීවත්වෙයි. අධික වූයේ නම් ස්වල්පයක් මැයි.
kn-mn:62.6
11. මිනිසුන් ගේ ආයුස අල්ප යැ. සාධුපුරුෂ තෙම ඒ මඳ වූ ආයුසට ලජ්ජි වන්නේ යැ. හිස ගිනි ගත්තකු සෙයින් කුසල්හි හැසිරෙන්නේ යැ. මරහු ගේ නොපැමිණීමෙක් නම් නැති.
kn-mn:62.7
12. රෑදාවල්හු ඉක්මැ යෙති. ජීවිතේන්‍ද්‍රියය අභාවයට යෙයි. කුඩා නදීන්ගේ දියත්තක් සෙයින් මිනිසුන්ගේ ආයුස ගෙවේ.
kn-mn:64.1
අප්පඤ්හිදං ජීවිතං ආහු ධීරා - ‘ධීරා’ යනු: ධෘතිමත් නුයි ධීරයෝ යැ, ධෘතිසම්පන්න නුයි ධීරයෝ යැ, ගරහන ලද පව් ඇත් නුයි ධීරයෝ යි. ප්‍රඥාව ‘ධී’ යයි කියනු ලැබෙයි; යම් ප්‍රඥාවක් දැනීම් ආකාරයෙක් අනිත්‍යාදිය විමසීමෙක් ප්‍රකර්‍ෂයෙන් විමසීමෙක් සිවුසස්දහම් විමසීමෙක් අනිත්‍යාදීන්ගේ සැලැකීමෙක් උපලක්‍ෂණයෙක් ප්‍රත්‍යුපලක්‍ෂණයෙක් පණ්ඩිතබවෙක්, කුශල (=දක්‍ෂ)බවෙක් නිපුණබවෙක් විභාවනයෙක් සිතීමෙක් දැනීමෙක් උපපරීක්‍ෂාවක් (විස්තෘත හෙයින්) භූරීසඞ්ඛ්‍යාත ප්‍රඥාවක් කෙලෙසුන් නසන හෙයින් මෙධාවක් (ලක්ෂණප්‍රතිවෙධයට පමුණුවන හෙයින්) පරිණායිකාවක් විදර්‍ශනාවක් සම්ප්‍රජන්‍යයෙක් (නො දැමුණු සිත මාර්‍ගවීථියට නඟන හෙයින්) ප්‍රඥා නැමැති ප්‍රතෝදයෙක් (කෙවිටෙක්) ප්‍රඥාවක් ප්‍රඥේන්‍ද්‍රියයෙක් ප්‍රඥාබලයෙක් ප්‍රඥාශස්ත්‍රයෙක් ප්‍රඥාප්‍රාසාදයෙක් ප්‍රඥාලෝකයෙක් ප්‍රඥාවභාසයෙක් ප්‍රඥාප්‍රද්‍යොතයෙක් ප්‍රඥාරත්නයෙක් අමෝහයෙක් ධර්‍මවිචයයෙක් සම්‍යග්දෘෂ්ටියක් වූවා ද, ඒ ප්‍රඥාවෙන් සමන්‍විත හෙයින් ධීරයෝ යි. තවද ස්කන්ධධීරයෝ යැ, ධාතු - ආයතන - ප්‍රතීත්‍යසමුත්පාද - ස්මෘති - ප්‍රස්ථාන - සම්‍යක්ප්‍රදහන - ඍද්ධිපාද - ඉන්‍ද්‍රිය - බෝධ්‍යඞ්ග - මාර්‍ග - ඵල - නීර්‍වාණධීරයෝ යැ. ඒ ධීරයෝ මෙසේ කියති: මිනිසුන්ගේ ජීවිතය අල්ප යැ පරිත්ත යැ මඳ යැ ලහුක යැ ඉත්තර යැ අනද්ධනීය යැ අචිරස්ථායී යැ යි මෙසේ කීහු. මෙසේ කියති, මෙසේ බෙණෙති, මෙසේ දක්වති, මෙසේ වහරත් නුයි ‘අප්පඤ්හිදං ජීවිතං ආහු ධීරා’ යනු වේ.
kn-mn:64.2
එයින් වදාළහ බුදුහු:
kn-mn:64.3
“තස්මා හි -පෙ- ආහු ධීරා” යනු.
kn-mn:64.4
2. 5.
kn-mn:64.5
කාමාදිභවයෙහි නොහොත් පුනපුනා භවයෙහි අවිගත තෘෂ්ණා ඇති හීන වූ කායදිකර්‍ම ඇති සත්ත්‍වයෝ මරණමුඛයෙහි වැලැපෙති, ලොවැ කාමාදිභවයෙහි තෘෂ්ණායෙන් මඩනා ලද තෘෂ්ණාදිස්පන්දනයෙන් පොපියනු වූ මේ සත්ත්‍වසමූහයා මම් මසැස් ආදියෙන් දකිම්.
kn-mn:64.6
පස්සාමි ලෝකේ පරිඵන්දමානං - ‘පස්සාමි’ යනු: මසැසිනුදු බලමි, දිවැසිනුදු බලමි, පැනැසිනුදු බලමි, බුදුඇසිනුදු බලමි, සමතැසිනුදු බලමි, දක්මි, අවලෝකන කෙරෙමි, සිතමි, විමසමි. ‘ලෝකේ’ යනු: අපාය ලෝකයෙහි මනුෂ්‍යලොකයෙහි දෙවලොකයෙහි ස්කන්ධලොකයෙහි ධාතුලොකයෙහි ආයතනලෝකයෙහි.
kn-mn:66.1
පරිඵන්දමානං - තෘෂ්ණාස්පන්දනයෙන් පොපියනු = සැලෙනු වු, දෘෂ්ටිස්පන්දනයෙන් සැලෙනු වූ, ක්ලෙශස්පන්දනයෙන් සැලෙනු වූ, ප්‍රයොගස්පන්දනයෙන් සැලෙනු වූ, විපාකස්පන්දනයෙන් සැලෙනු වූ, දුශ්චරිතස්පන්දනයෙන් සැලෙනු වූ, රාගයෙන් රක්ත වැ සැලෙනු වූ ද්වේෂයෙන් ද්විෂ්ට වැ සැලෙනු වූ මෝහයෙන් මූඪ වැ සැලෙනු වූ මානයෙන් අරමුණෙහි බැඳී සැලෙනු වූ දෘෂ්ටියෙන් පරාමෘෂ්ට වැ සැලෙනු වූ ඖද්ධත්‍යයෙන් වික්ෂෙපයට පැමිණ සැලෙනු වූ විචිකිත්සායෙන් සන්නිට්ඨානයට නො පැමිණ සැලෙනු වූ අනුශයයන්ගෙන් ස්ථිර බවට පැමිණ සැලෙනු වූ ලාභයෙන් සැලෙනු වූ, අලාභයෙන් - යශසින් - අයශසින් - ප්‍රශංසායෙන් - නින්‍දායෙන් - සුඛයෙන් - දුඃඛයෙන් සැලෙනු වූ, ජාතියෙන් සැලෙනු වූ, ජරායෙන් - ව්‍යාධියෙන් මරණයෙන් - සෝක-පරිදේව-දුක් - දොම්නස්-උපායාසයන්ගෙන් සැලෙනු වූ, නිරෑදුකින් සැලෙනු වූ, තිරිසන්යොන්හි දුකින් - ප්‍රේතවිෂයයෙහි වූ දුකින් - මිනිස්ලොවැ වූ දුකින් සැලෙනු වූ, ගර්‍භාවක්‍රාන්තිමූලික දුකින් - ගර්‍භස්ථිතිමූලක දුකින් -ගර්‍භව්‍යුත්ථානමූලක දුකින් සැලෙන වූ, උපන්නහු පිළිජග්නාදුකින් - උපන්නහු පරා අයත් කොට ඇති දුකින් - ආත්මොපක්‍රමමූලක දුකින් - පරොපක්‍රමමූලකදුකින් - දුඃඛදුඃඛ සඞ්ඛ්‍යාත කායිකචෛතසිකදුඃඛවෙදනායෙන් - සංස්කාරදුඃඛයෙන් - විපරිණාම දුඃඛයෙන් සැලෙනු වූ, චක්ෂූරොගදුඃඛයෙන් සැලෙනු වූ, ශ්‍රෝත්‍රරෝග දුඃඛයෙන් - ඝ්‍රාණරොගදුඃඛයෙන් - ජිහ්වාරොගදුඃඛයෙන් - කායරොගදුඃඛයෙන් - කර්‍ණරොගදුඃඛයෙන් - මුඛරොගදුඃඛයෙන් - දන්තරොගදුඃඛයෙන්, කාසයෙන් ශ්වාසයෙන් පීනසයෙන් දාහයෙන් ජ්වරයෙන් කුක්ෂිරොගයෙන් මූර්ඡායෙන් ලොහිතාතීසාරයෙන් ආමශූලයෙන් මහා විරෙචනයෙන් කුෂ්ටයෙන් ගණ්ඩයෙන් ශ්වේතකුෂ්ටයෙන් ශොෂව්‍යාධියෙන් අපස්මාරයෙන් දද්‍රැ (=දද)යෙන් කණ්ඩුතියෙන් මහාකණ්ඩුතියෙන් නියපහරින් හටගත් රෝගයෙන් විතස්තිකායෙන් (=අතුල්පතුල් පැළීමෙන්) රක්තපිත්තයෙන් මධුමෙහයෙන් අර්‍ශසින් රත්පිළිකාරොගයෙන් භගන්දරායෙන් පිතින් උපදනා රෝගයෙන් සෙමින් උපදනා රෝගයෙන් වයින් උපදනා රෝගයෙන් සාන්නිපාතික රෝගයෙන් ඍතුපරිණාමයෙන් උපදනා රෝගයෙන් විෂම වූ ස්ථානනිෂද්‍යාදියෙන් උපදනා රෝගයෙන් වධබන්‍ධනාදි උපක්‍රමයෙන් උපදනා රෝගයෙන් කර්‍මවිපාකයෙන් උපදනා රෝගයෙන් ශීතයෙන් උෂ්ණයෙන් ජිඝත්සායෙන් පිපාසායෙන් උච්චාර(=මළකිස)යෙන් ප්‍රස්‍රාව (=මූකිස)යෙන් මදුරු වා අවු දික්දැපහසින් වූ දුකින් මව මළ දුකින් පියා මළ දුකින් බෑයන් මළ දුකින් බූන් මළ දුකින් පුතුන් මළ දුකින් දූන් මළ දුකින් නෑයන්ගේ වැසනින් වූ දුකින් භෝගව්‍යසනයෙන් වූ දුකින් රෝගව්‍යසන දුකින් ශීලව්‍යසන දුකින් දෘෂ්ටිව්‍යසන දුකින් සැලෙනුවහු පුනපුනා සැලෙනුවහු වෙසෙසින් සැලෙනුවහු වෙවුළනුවහු වෙසෙසින් වෙවුළනුවහු පුනපුනා වෙවුළනුවහු බලමි දක්මි අවලෝකන කෙරෙමි සිතමි විමසමි නුයි - ‘පස්සාමි ලෝකේ පරිඵන්දමානං’ යනු වේ.
kn-mn:68.1
පජං ඉමං තණ්හාගතං භවෙසු - ‘පජා’ යනු: සත්නට නමෙකි. තණ්හා යනු: රූපතෘෂ්ණා යැ ශබ්දතෘෂ්ණා යැ ගන්‍ධතෘෂ්ණා යැ රසතෘෂ්ණා යැ ස්ප්‍රෂ්ටව්‍යතෘෂ්ණා යැ ධර්‍මතෘෂ්ණා යැ භවතෘෂ්ණා යැ විභවතෘෂ්ණා යි. තෘෂ්ණාවට පිවිසි තෘෂ්ණාවෙන් වැසුණු තෘෂ්ණාවට පැමිණි තෘෂ්ණාවෙන් හෙළන ලද මඩනා ලද්දහු හාත්පසින් ගන්නාලද සිත් ඇතියහු; භවෙසු - කාමභවයෙහි රූපභවයෙහි අරූපභවයෙහි නුයි: ‘පජං ඉමං තණ්හාගතං භවෙසු’ යනු වේ.
kn-mn:68.2
හීනා නරා මච්චුමුඛෙ ලපන්ති - ‘හීනා නරා’ යනු: හීන වූ කායකර්‍මයෙන් යුක්ත වූවාහු නුයි හීනනරයෝ = සත්ත්‍වයෝ; හීන වූ වාක්කර්‍මයෙන් යුක්ත වූවාහු නුයි හීනනරයෝ, හීන වූ මනඃකර්‍මයෙන් යුක්ත වූවාහු - හීන වූ ප්‍රාණඝාතයෙන් යුක්ත වූවාහු - හීන වූ අදත්තාදානයෙන් - හීන වූ කාමමිත්ථ්‍යාචාරයෙන් - හීන වූ මෘෂාවාදයෙන් - හීන වූ පෛශුන්‍යවචනයෙන් - හීන වූ පරුෂවචනයෙන් - හීන වූ සම්ඵප්‍රලාපයෙන් - හීන වූ අභිධ්‍යායෙන් - හීන වූ ව්‍යාපාදයෙන් - හීන වූ මිත්‍ථ්‍යාදෘෂ්ටියෙන් - හීන වූ සංස්කාරයන්ගෙන් - හීන වූ පඤ්චකාමගුණයන්ගෙන් - හීන වූ පඤ්චනීවරණයෙන් - හීන වූ චේතනායෙන් - හීන වූ ප්‍රාර්‍ථනායෙන් - හීන වූ ප්‍රණිධියෙන් යුක්ත වූවාහු නුයි හීන වූවාහු නිහීන වූවාහු ඔමක වූවාහු ලාමක වූවාහු අප්‍රත්‍යය වූවාහු පරිත්ත වූවාහු නුයි හීන වූ සත්ත්‍වයෝ; මච්චුමුඛෙ ලපන්ති - ‘මච්චුමුඛෙ’ යනු: මාරමුඛයෙහි මරණමුඛයෙහි මෘත්‍යු=මරු වෙත පැමිණියාහු, මරු වෙත සපැමිණියාහු මරුට උපගත වූවාහු, මරණයට පැමිණියාහු, සපැමිණියාහු, මරණොපගත වූවාහු කියති, පුනපුනා කියති, ශෝක කෙරෙති, වෙහෙසෙති, පරිදේවනා කෙරෙති, ළෙහි පැහැරැ හඬති. සම්මෝහයට පැමිණෙත් නුයි - ‘හීනා නරා මච්චුමුඛෙ ලපන්ති’ යනු වේ.