8. ආරාමදූසක ජාතක යි.
412. වර්‍ණවත් වූ මධුරනාද ඇති දැකුම්කලු වූවා හු ද, රළුබසින් යුතු වූවාහු නම් මෙලොව ද පරලොව ද කිසිවක්හුහටත් ප්‍රිය නො වෙති.
413. කළුපැහැති දුර්වර්‍ණ වූ තලකැලැල් ඇති මේ කෙවිලිය සිලිටි බසින් බොහෝ වූ ප්‍රාණීන්ට ප්‍රිය වූවා නො දක්නෙහි ද?
414. එහෙයින් මටසිලිටි කථා ඇති වන්නේ යැ. නුවණින් පිරිසිඳ කථා කරන මත්තභාණී වන්නේ යැ. උඩඟු නො වන්නේ යැ. ඔහුගේ මධුර භාෂිතය අර්‍ත්‍ථයත් ධර්‍මයත් ප්‍රකාශ කරයි.
9. සුජාත ජාතක යි.
415. සියලු නෑයන් විසින් මහමුහුණු රජ කරන ලද්දේ යැ, ඉදින් නෑයන් විසින් අනුදන්නාලද්දෙම් නම් මම වචනයක් කියමි.
416. යහළුව, අප විසින් අනුදන්නා ලද්දෙහි යැ. හේතුව හා ප්‍රවේණි ධර්‍මය කියව, ප්‍රඥාවත් ප්‍රඥාලෝකයත් ඇති තරුණ පක්‍ෂීහු ඇත් මැ යි.
417. තොප හැමට සෙත් වේවා, මහමුහුණු අභිෂේක කරනු මට රිසි නො වෙයි. නො කිපියහුගේ මුහුණ බලව. කිපියේ කුමක් කරන්නේ දැයි නො දනිමි.
10. උලූක ජාතක යි.
දෙවැනි පදුමවර්‍ග යි.
එහි උද්දානය:
පදුම ජාතක යැ, මුදුපාණි ජාතක යැ, සයුරෙහි ගැලීම කියන චුල්ලපලෝභන ජාතක යැ, මහායූපය ඇති මහාපණාද ජාතකය හා ඛුරප්ප ජාතක යැ, යළි ශෝක කරන කුන්‍දලිය ඇති වාතග්ගසින්‍ධව ජාතක යැ, (කුඤ්ජර) කක්කටක ජාතක යැ, (රුක්ඛ) ආරාමදූසක ජාතක යැ, (ඛරවාච) සුජාත ජාතක යැ, උලූක ජාතක යැ යන දසය යි.
3. ආරණ්‍ය වර්‍ගය
418. යහළු ශෘගාලය, වනවැසි වූ බොහෝ කල් තපස් රක්නා වූ ඍෂීන් විසින් දුකසේ කරන ලද ළිඳ කුමට මළ මූත්‍රයෙන් දූෂණය කෙළෙහි ද?
419. යම් තැනෙකැ දිය බී එහි මල මූත්‍ර කරමෝ නම් තෙල සිවලුන්ගේ දහමෙකි. පිය මුතුන්ගේ දහමෙකි. එයට දොස් නගන්නට නො සුදුස්සෙහි.
420. ඒ තොපගේ දහම මෙබඳු වී නම් අදහම කෙබඳු වේ ද? තොපගේ දහමක් හෝ අදහමක් හෝ කිසි කලෙක අපි නො දක්මහ.
1. උදපාන දූසක ජාතක යි.
421. යම්බඳු පාපමිත්‍ර සංසර්‍ගය හේතු කොටගෙන කායචිත්ත සුඛය පිරිහේ ද, පණ්ඩිත පුරුෂ තෙම ඒ පාපමිත්‍රයා විසින් අභිභවනය කළයුතු දැය තමාගේ දෙ ඇස් මෙන් කැල මැ රැකගන්නේ යැ.
422. යම්බඳු කල්‍යාණමිත්‍රයකු සමග සංසර්‍ග හේතුවින් කාය චිත්තසුඛය වැඩේ ද ඒ කල්‍යාණමිත්‍රයාගේ සියලු කටයුත්තෙහි පණ්ඩිත පුරුෂ තෙම පැවැත්ම තමා හා සම කරන්නේ යැ.
423. එව ව්‍යාඝ්‍රයෙනි, පෙරළා එව මහවනයට එළඹෙවු වගුන් රහිත වනය නො සිඳීවා ව්‍යාඝ්‍රයෝ වන විරහිත වූවාහු නො වෙත්වා.
2. ව්‍යග්ඝ ජාතක යි.
424. පිරූ බත් පාත්‍රයක් ගත්තකු මෙන් (මේ) කවරෙක් ද? (කාර්තික පූජායෙහි ලද) පූර්‍ණ පාත්‍රයක් අතැති බමුණකු මෙන් (මේ) කවරෙක් ද? කවර පෙදෙසක පිඬු සිඟා හැසුරුනේ ද? කවර ශ්‍රද්ධාවන්තයකු කරා එළැඹියේ ද?
425. මම මූඪ වඳුරෙක්මි. ස්පර්‍ශ නො කටයුතු තැන් ස්පර්‍ශ කෙළෙමි. තෙපි මා මුදනු මැනැවි. මිදුණෙම් පර්‍වතයට යමි. තොපට යහපතක් වේවා!
426. ඉදිබුවෝ කාශ්‍යප ගෝත්‍රය ඇත්තෝ වෙති. වඳුරෝ කොණ්ඩඤ්ඤ ගෝත්‍ර ඇත්තෝ වෙති. කාශ්‍යපය, කොණ්ඩඤ්ඤයා මුදව, කාශ්‍යප ගෝත්‍රයෙහි උපන්හු විසින් කොණ්ඩඤ්ඤ ගෝත්‍රයෙහි උපන් මොහු හා නො සම මෛථුන කෘත්‍යයෙක් කරන ලදී.
3. කච්ඡප ජාතක යි.
427. සිළු ඇති සෙර වූ මේඝය මුතුන් කොට ඇති මේ කෙකිනි කවරක් ද? කෙකින්න මෑතට නැඟිළුව, මාගේ මිතුරු කවුඩා චණ්ඩ ය.
428. මම සිළු ඇති කෙකිනි නො වෙමි. මම ලොල් වූ කවුඩෙක්මි. තොපගේ වචනය නො කළ නිසා පියාපත් සිඳුනා ලද්දෙම් වෙමි. ගොදුරු බිමැ සිට ආයෙහි මා බලව.
429. යහළුව, මෙබඳු දුකකට නැවැත පත් වන්නෙහිය. තොපගේ ආචාරසීලය එවැනිය. මනුෂ්‍යයන්ගේ භෝගයෝ පක්‍ෂියා විසින් සුවසේ බුදින්නට යෝග්‍ය නො වෙත්.
4. ලෝල ජාතක යි.
430. සිත්කලු වූ මේ කෙකිනි කවුඩු කැදැල්ලේ හිඳී. හෝ කවරක් ද? මාගේ මිතුරු කවුඩා නපුරුය. මේ ඔහුගේ කැදැල්ල ය.
431. සබඳිනි පක්‍ෂිය, බොඩහමු බුදිනාව, මා අඳුනන්නෙහි නො වේ ද? තොප කී අවවාද නො කොට පියාපත් සිඳුනා ලද්දෙම් වෙමි. ගොදුරු බිමැ සිට ආයෙහි මා බලව.
432. යහළුව, මෙබඳු දුකකට නැවැත පත්වන්නෙහිය. තොපගේ ආචාර සීලය එවැනිය. මනුෂ්‍යයන්ගේ භෝගයෝ පක්‍ෂියා විසින් සුවසේ බුදින්නට යෝග්‍ය නො වෙත්.
5. රුචිර ජාතක යි.
433. මහරජාණෙනි, නුඹ වහන්සේගේ ශ්‍රද්ධාව ද ශීලය ද දැන අඳුන්වන් වූ මඟුලැතු කරණ කොටගෙන කලිඟුරජු සමීපයෙහි ඇතු ගෙන එම්හයි ස්වර්‍ණරජතාදිය විනිමය වශයෙන් ගතුම්හ.
434. කැඳබත් ආදී ආහාර අනුන්ගෙන් ලබා ජීවත් වන්නෝ ද, එසේ අනුන්ගෙන් නො ලබා ජීවත් වන්නෝ ද යන මොවුනතුරෙන් කිසිවෙක් කිසිවක් පතා කෙනකු කරා යේ නම් ඔවුන්ගේ අයැදුම් පිළිකෙව් නො කටයුතු ය. මේ මවුපියන්ගේ වචනය යි.
435. බමුණෙනි, රජුන්ට සුදුසු රජුන්ගේ පරිහරණයට සුදුසු පිරිවර ඇති රන්දැලින් අලංකාර කළ (හෙවත් රන් අබරණින් සැරසූ) ඇත්ගොව්වන් සහිත මේ ඇත්රජු තොපට දෙමි. කැමැති මඟෙකින් ගෙන යවු.
6. කුරුධම්ම ජාතක යි.
436. පරෙවිය, පනස් අවුරුද්දකට වැඩි කලක් ගල්ගුහාවෙහි විසුම්හ. සන්සුන් සිතැති පක්‍ෂීහු මා සැක නො කරන්නෝ පෙර මගේ අත්පසට එති.
437. පක්‍ෂිය, දැන් ඒ පක්‍ෂීහු කුමට කලකිරුනාහු පර්‍වතයෙන් අන් ගිරිකඳුරකට යෙත් ද? පෙරැ පරිදි මේ පක්‍ෂීහු මට ගරු නො කෙරෙතියි සිතමි. නැතහොත් දිගුකල් මොවුහු පිටත වැසැ පැමිණි හෙයින් මේ ඔහු ම යයි නො හඳුනත් ද?
438. තොප දනුම්හ. අපි මූඪ නො වම්හ. තෙපි ඒ තවුස් මය. අපිදු ඔහු මය අන්‍යයෝ නො වම්හ. තොපගේ මේ සිත පක්‍ෂි ජනයා කෙරෙහි දුෂ්ට ය. ආජීවකය, එහෙයින් තට බිය වම්හ.
7. රෝමක ජාතක යි.
439. සැහැල්ලු සිතැති මිත්‍ර ද්‍රෝහියාගේ මේ දුක (හිංසාව) කැමැති හැමදේ දෙන ස්වාමියකු (කරන දෙයක්) සේ සිතා කවර හෙයින් ඉවසා සිටින්නෙහි ද?
440. මොහු අඟින් ඇන නසව. පාදයෙන් මැඩ පියව. වළකනුයෙක් නොවී නම් මෝඩයෝ බොහෝ කිපෙන්නාහ.
441. මෙතෙම (සෙස්සන්) මා මෙන්ය යි සිතන්නේ සෙස්සන්ට ද මෙසේ කරන්නේය. ඔහු එහිලා ඒ වඳුරා මරන්නාහ. මට ඒ පවින් මිදීම වන්නේ ය.
8. මහිස ජාතක යි.
442. යම්සේ මාර්‍ගයෙහි මාණවක තෙම වනයෙහි හැසිරෙන වැඩ කැමැතිව කියන සිවල් දෙන අවැඩ කැමැතියකැ යි සිතා ද අවැඩ කැමැති කෑරලා වැඩ කැමැත්තකු යි සිතා ද.
443. එලෙස ම මෙලොව ඇතැම් පුඟුලෙක් එබඳු වේ. හිත කැමැතියන් විසින් වචනය කියන ලද්දේ නො කටයුතු කොට ගන්නේ යි.
444. යම් කෙනෙක් ඔහු බියෙන් පසසත් ද හුවා බෙණෙත් ද ඔවුන් මිතුරුය යි හේ සිතයි. කෑරලාගේ බස විශ්වාස කළ මාණවයා මෙනි.
9. සතපත්ත ජාතක යි.
445. ඒකාන්තයෙන් මෘගරාජයා මල්ගොටු සෑදීමට දක්‍ෂ යයි හඟිමි. ඒ එසේම ය. ලා ලූ මල්ගොටු දූෂණය කරයි, හෙවත් නසයි. මනාපතර අන් මල්ගොටු කරතී හඟිම්.
446. මාගේ පියා හෝ මව හෝ මල්ගොටු කිරීමට දක්‍ෂ නො වෙති. කළ කළ දේ නසම්හ. මේ වඳුරු කුලය මෙබඳු ස්වභාව ඇත්තේ ය.
447. යම්බඳු වූ තොපගේ දහම මෙබඳු වී නම් නො දහස කෙබඳු වේ ද? තොපගේ දහම හෝ අදහම කිසිකලෙකත් නො දකුම්හ.
10. පුටදූසක ජාතක යි.
තෙවැනි අරණ්‍යවර්‍ග යි.
එහි උද්දානය:
උදපානදූසක ජාතක යැ, ව්‍යග්ඝ ජාතක යැ, (කපි) කච්ඡප ජාතක යැ, (සිඛිනී) ලෝල ජාතක යැ, රුචිර ජාතක යැ, (සුජනාධිප) කුරුධම්ම ජාතක යැ, රෝමක ජාතක යැ, යළි (දූසක) මහිස ජාතක යැ, සතපත්ත ජාතක යැ, (පුටකම්ම) පුටදුසක ජාතක යැ යන දසය යි.
4. අබ්භන්තර වර්‍ගය
448. යම් අඹගසෙකැ ඵලය දිව්‍යභෝජනයට සුදුසු ද අබ්භන්තර නමැති ඒ අඹගසෙහි අඹ කා දොළ ඇති ඉතිරිය සක්විත්තකු ප්‍රසූත කරයි.
449. සොඳුර, තී අගබිසෝ වෙහි ඒ තෙපි සැමියාට ප්‍රියමනාප වූවහු ය. රජතෙම තිට මේ අබ්භන්තර නමැති අඹගසේ ගෙඩි ගෙනෙන්නේය.
450. මාතෘ පිතෘ ස්වාමි යන ත්‍රිවිධ ස්වාමීන්ට වැඩ පිණිස වෑයම් කරන්නාවූ ජීවිත පරිත්‍යාග කරන ශූර පුරුෂයා යම්බඳු ස්වර්‍ග සැපතකට පැමිණේ ද මම ද එය ලබන්නෙම් වෙමි.
1. අබ්භන්තර ජාතක යි.
451. උසස් කුශල ධර්‍මයන්ගෙන් හෙබියා වූ පුඟුලෙක් එබඳු කුශල ධර්‍මයට ආශා ඇති පුඟුලකු ඇසුරු කෙරේ ද (එහෙයින්) හෙතෙම පැසැසුම් ලබන්නේ හෝ උතුම් වන්නේ හෝ වෙයි. එකකු සමග මෙත් වඩා මරණයට කැප වූ සියයක් පමණ එයින් මිදුවෙමි.
452. සියලු ලෝකවාසීන් සමග එක්ව (මෛත්‍රී භාවනා වඩා) කවර හෙයින් පරලොවැ ස්වර්‍ග ගාමී නොවන්නේ ද? කසී රට වැසියෙනි, මෙය අසව්.
453. බරණැස් නගරයේ වෙසෙන කංස නමැති මහරජ තෙමේ මෙවදන් කියා දුන්න හා හියවුර හැරපියා ශීලසංයමයට පැමිණියේ ය.
2. සෙය්‍යංස ජාතක යි.
454. ව්‍යාඝ්‍රය තෝ පෙරැ මේ පෙදෙසේ සියලු හූරන් මැඩ ගෙන (හූරන් කෙරෙහි) උතුම් හූරන් මරමින් හැසිරුනෙහි ය. දැන් තෝ තනිව බැහැර වැ සිතමින් සිටින්නෙහි ය. ව්‍යාඝ්‍රය අද තාගේ කායශක්තිය නැත්තේ ද?
455. මේ හූරෝ පෙරැ භයින් පීඩිත වැ රැකෙන තැන් සොයන්නෝ වෙන් වෙන් වැ දිශාවෙන් දිශාවට යති. දැන් ඔහු එක් රැස් වැ එක්වලා නාද කෙරෙති. යම් තැනෙක සිටියා වූ මොහු අද මා විසින් මැඩලිය නො හැකියෝ යි.
456. රැස් වූ හූරු සමූහයාට නමස්කාර වේවා! අද්භූත වූ මිතුරු බවක් තෙමේ දැකැ කියමි. යම් තැනෙකලා දළැති හූරෝ ව්‍යාඝ්‍රයා දිනූ ද, දළ බල කොට ඇති හූරන්ගේ සමගි බලය නිසා සතුරා මැඩ මරණයෙන් මිදුණාහ.
3. වඩ්ඪකීසූකර ජාතක යි.
457. හස්ති ශිල්පාදි උගත් ශිල්ප ඇත්තා වූ ද ශිල්ප නැත්තාවූ ද ධන රැස්කිරීමේ මහත් වෑයම ඇති පින් නැති ජනයෝ බොහෝ ධනය රැස් කෙරෙද් ද පින් ඇත්තේ ම ඒ ධනය අනුභව කෙරේ.
458. හැමතන්හි ම කළ පින් ඇතියාහට අන්‍ය ප්‍රාණීන් අභිභවා අනායතනයෙහි දු බොහෝ වූ භෝගයෝ උපදිත්.
459. අලාමක වූ කළ පින් ඇති සත්‍වයනට ශ්‍රීමත් වූ කුකුළෝ ද මාණික්‍යයෝ ද ආරක්‍ෂායෂ්ටි ද පුණ්‍යලක්‍ෂණ ස්ත්‍රීහු ද උපදනාහු යි.
4. සිරි ජාතක යි.
460. තිහක් පමණ දෙනා සත් අවුරුද්දක් මැණික් ගුහාවෙහි විසුම්හ. මාණික්‍යයේ දීප්තිය වනසම්හයි, අප විසින් මන්ත්‍රණය කරන ලද්දේ වී.
461. මැණික යම් තාක් ගටමෝ ද බෙහෙවින් නිර්‍මල වෙයි. බමුණ තොප ම විචාරම්හ. මේ කරුණෙහිලා කුමක් කටයුතු දැයි ඔබ සිතන්නෙහි ද?
462. මේ මැණික වෙරළුමිණෙක කර්‍කශ නො වෙයි. නිර්‍මලය සුන්‍දර ය. මෙහි සිරිය නසන්නට නො පිළිවන සූකරයෙනි ඉවත යව යි කී ය.
5. මණිසූකර ජාතක යි.
463. සාලුක නම් සූකරයාගේ ස්වභාවය නහමක් පතව, සාලුකයා මරණ භෝජනය අනුභව කරයි. උහුගේ අහරට උත්සාහ නො කොට බොල් මුසු පිදුරු කව, මේ දීර්‍ඝායු ලබන්නට හේතු යි.
464. දැන් සේවකයන්ගෙන් යුක්ත වූ ඒ වෛවාහික ආගන්තුක පුරුෂ තෙම මෙහි අවුදින් සිටියේ යි. අනතුරු ව මොහොල් බඳු උඩුතොල ඇති මරණ පිණිස හෝනා වූ සාලුක නම් සූකරයා දක්නෙහි.
465. මොහොලක් වැනි උඩුතොල ඇති ව වැතිර සිටුනා කපාලූ සූකරයා දැක ගොන්නු අපගේ රඩු (පිදුරු) ම උතුමැ යි සිතූහ.
6. සාලුක ජාතක යි.
466. උමතු නො වූයේ කේලාම් නො කියනුයේ නො නටනුයේ කුහුල්කතා නැත්තේ මෝඩයන් සමීපයේ ලාභ නො ලබයි. මේ තට අපගේ ලාභානුශාසනා යි.
467. බමුණ යශස්ලාභයට ද ධනලාභයට ද තමා නැසෙන පරිදි අධර්‍මචර්‍ය්‍යායෙන් වන ජීවිකා වෘත්තියෙක් වේ නම් ඊට ද නින්‍දා වේවා!
468. අධාර්මික සෙවුමෙන් දිවි පවත්වනුවාට වඩා අගාරික වැ හෙවත් පැවිදිව පාත්‍රයක් ගෙන සිඟා ලද අහරෙන් පවත්වන මේ දිවිපැවැත්ම ශ්‍රේෂ්ඨ යි.
7. ලාභගරහ ජාතක යි.
469. මත්ස්‍යයෝ (මසුරන්) දහසකට වඩා අගිතී යන්න අදහන්නෙක් නැත. මෙහි මට ද මාසක සතක් ඇත. මම ද ඒ මාළු වැළ මිල දී ගතිමි.
470. මසුන්ට කෑම දී මට පින් අනුමෝදන් කෙළේ ය. තා අනුමෝදන් කළ ඒ පින සිහි කරන මා විසින් තොපගේ ධනය රක්නා ලදී.
471. දුෂ්ටසිත් ඇතියාට දෙලෝ දියුණුව සිදු නො වේ. අධර්‍මකර්‍ම කරන්නෙක් පියා සතු වස්තුව සොහොයුරාට වඤ්චා කෙළේ ද දෙවියෝ ඔහු නො පුදත්.
8. මච්ඡුද්දාන ජාතක යි.
472. මහරජ, වෙන වෙන රිසි ඇති අපි එකගෙයි වසම්හ. මම ගම්වරයක් කැමැත්තෙමි. බැමිණි ගවයන් සියයක් කැමැත්තී ය.
473. ඡත්ත මාණවක ආජානේය අසුන් යෙදූ රියක් ද, ලේලි මිණිකොඬොලක් ද, පුණ්ණිකා නම් මිඩි තොමෝ කුලුමොහොල් සහිත වනක් ද කැමැති ය.
474. බමුණාට ගම්වරයක් ද බැමිණියට ගවයන් සියයක් ද ඡත්‍ර නම් බ්‍රාහ්මණපුත්‍රයාහට ආජානේය අසුන් යෙදූ රියක් ද ලේලියට මිණිකොඬොලක් ද හීන වූ මේ පූර්ණිකා දාසියට වනක් මොහොලක් ද පිළියෙළ කොට දෙවු.
9. නානාච්ඡන්‍ද ජාතක යි.
475. ආචාර සීලය ම හොබනේ ල, සීලය ලෝකයේ අනුත්තර ය, බලව දරුණු විෂ ඇති නයා පවා සිල්වතැ යි හිංසා කරනු නො ලැබේ.
476. සිල්වතා යම් සීලයක් නිසා ආර්‍ය පැවැතුම් ඇත්තේ ය යි කියනු ලැබේ ද, ලොවැ නිර්‍භය තත්ත්‍වයෙකැ යි දන්නා ලද ද එබඳු සීලය මම සමාදන් වෙමි.
477. සිල්වතා නෑයන්ට ප්‍රිය වෙයි. මිතුරන් අතරේ ද බබළයි. මරණින් මතු දෙව්ලොවැ උපදී.
10. සීලවිමංස ජාතක යි.
සතරවැනි අබ්භන්තර වර්‍ග යි.
එහි උද්දානය:
(දුම) අබ්භන්තර ජාතක යැ, උතුම් වූ සෙය්‍යංස ජාතක යැ, ව්‍යඝ්‍රයා නැසූ වඩ්ඨකීසූකර ජාතක යැ, (මණි) සිරි ජාතක යැ, මණිසූකර ජාතක යැ, සාලුක ජාතක යැ, (අනුසාසනි) ලාභගරහ ජාතක යැ, මච්ඡුද්දාන ජාතක යැ, (මණිකුණ්ඩල) නානාච්ඡන්‍ද ජාතක යැ (කිරෙන) සීලං කිර යනාදි වූ සීලවිමංස ජාතක යැ යන මෙයින් දසය වේ.