347. බොහෝ ලෝම ඇති මහත් වූ ගෙල හා බැඳි නර ශීර්‍ෂයෝ බොහෝ වෙති. මොවුනතුරෙහි කිසිවෙක් මැ කන් (ප්‍රඥාවත් නැණවත්හු) ඇත්තේ යි.
5. මූලපරියාය ජාතක යි.
348. දුශ්ශීලයා පහර දී, ක්‍ලාන්තකරවා මරා දන් දේ ද, එබඳු දන් වළඳන ඒ පුද්ගලයා ද පාපයෙන් තැවරේ.
349. ඉදින් දුශ්ශීල තෙම අඹුදරුවනුදු මරා දන් දේ ද, එය වළඳන ප්‍රඥාවන්තයා පාපයෙන් නො තැවැරේ.
6. තේලෝවාද ජාතක යි.
350. පාදඤ්ජලී කුමාරයා ඒකාන්තයෙන් ම අප හැමට වඩා ප්‍රඥාවෙන් ඉතා බබළයි. එය එසේ මැ යැ. තොල් බිඳියි, මතුයෙහි අන් කරුණක් ඒකාන්තයෙන් බලයි.
351. මෙතෙම (පාදඤ්ජලී කුමාරයා) දහම ද නො දහම ද දියුණුව ද පිරිහීම ද නො දනී. තොල් බිඳුම විනා අන් කිසිවක් නො දනී.
7. පාදඤ්ජලී ජාතක යි.
352. හැමදෙනා විසින් කෑලගස දක්නා ලද. මේ කරුණෙහි කුමට සැක කරවු ද? සියලු තන්හි (කෑලගස පෙන්නූ අවස්ථාවන්හි) රියැදුරා නො විචාරන ලදි.
353. එපරිදි සියලු විදර්‍ශනා ඥානයෙන් යම් කෙනකුන් විසින් ස්පර්‍ශායතනාදී ධර්‍මයෝ නො දන්නා ලද ද ඔවුහු ඒකාන්තයෙන් කෑලගස පිළිබඳ සැකකළ සොහොයුරන් සේ ධර්‍මයන්හි සැක කරත්.
8. කිංසුකෝපම ජාතක යි.
354. සාලකය, තෝ එක ම පුතා වූයෙහි ය. අපගේ ගෙහි අධිපති වන්නෙහි ය. රුකින් බසිහි, එව දැන් ගෙට යම්හ.
355. මා තොපගේ මිතුරෙකැ යි සිතහි ද? යම් හෙයකින් උණ යටියෙන් මා පහළෙහි ද, එ හෙයින් තොප හා නො එමි. විලිකුන් අඹ උයන්හි රමණය කරම්හ. තෙපි සුවසේ ගෙට යව.
9. සාලක ජාතක යි.
356. රාගාදි කෙලෙසුන් සන්සිඳීමෙහි ඇලුණු මේ තවුස් සීතල නිසා හටගත් බියෙන් පෙළුණේ (ගෙදොර) සිටී. අනේ මේ තවුස් මේ ගෙට පිවිසේවා! සියලු සීත පීඩා දුරු කෙරේවා!
357. මේ කෙලෙස් සන්සිඳීමේ ඇලුණු තවුසෙක් නො වෙයි. මේ වෘක්‍ෂශාඛා ගෝචර කොට ඇති වඳුරෙකි. හෙතෙම ගිය ගිය තැන මල මූ කිරීම් ඇදියෙන් දූෂණය කරන්නෙකි, කිපෙන්නෙකි, ලාමකයෙකි. ඉදින් පිවිසියේ වී නම් මේ ගෙය ද දූෂණය කරන්නේ යි.
10. කපි ජාතක යි.
දසවැනි සිගාල වර්‍ගයි.
එහි උද්දානය:
සිවලා රජ වූ සබ්බදාඨ ජාතක යැ, සුනඛ ජාතක යැ, එසේ මැ (කෝසිය) ගුත්තිල ජාතක යැ, (ඉච්ඡති) විතිච්ඡ ජාතක යැ, (කාලඝසො) මූලපරියාය ජාතක යැ, තෙලොවාද ජාතක යැ, (ඔට්ඨ) පාදඤ්ජලි ජාතක යැ, (සාරථිනා) කිංසුකෝපම ජාතකයෙන් හි සාලක ජාතක යැ, කපි ජාතක ය යන මෙයින් දසය වේ.
දුක නිපාතය නිමියේ යි.
වර්‍ග උද්දානය:
දළ්හ වර්‍ගය ද, අන්‍ය සන්‍ථව වර්‍ගය ද, කල්‍යාණ ධර්‍ම වර්‍ගය ද, අසදිස වර්‍ගය ද, රුහක වර්‍ගය ද, නතංදළ්හ වර්‍ගය ද, යළි බිරණත්‍ථම්හක වර්‍ගය ද, කාසාව වර්‍ගය ද, උපාහන වර්‍ගය ද, සිගාල වර්‍ගය ද යන මෙයින් වර්‍ග දසය වේ.
3. තික නිපාතය
1. සඞ්කප්ප වර්‍ගය
358. කාමවිතර්‍ක සම්ප්‍රයුක්ත රාගජලයෙන් දෝනා ලද විතර්‍ක ශිලායෙහි මුවත් තැබූ, නො සැරසූ හී වඩුවකු විසිනුදු නො කළ -
359. දකුණු කන්සිළුව දක්වා ඇද නො හැරියාවූ ද මොනරපත් ආදියෙන් නො සාදන ලද සියලඟ දවන්නා වූ ඒ කෙලෙස් ඊයෙන් (මගේ) හදවත විදින ලද්දේ -
360. විදිනා ලද තැනකුදු ලේ වැගිරෙන තැනකුදු නො දක්මි. ඉතා අනුවණ ලෙසින් සිත වැඩී ද එහෙයින් මා විසින් මේ දුක පමුණුවා ගන්නා ලදී.
1. සංකප්ප ජාතක යි.
361. තලමිටක් නිසා මා අත්කරගන්වා තෙපි මා උණ ලීයෙන් තැලූහු ද, අද දක්වා ඒ පහර මා සිත්හි ඇත.
362. බමුණ, යම්බඳු මගේ අතකරගන්වා තෙවරක් තැලූහු ද, (මෙහි) පැමිණි හෙයින් ජීවිතයෙහි නො ඇලෙතී සිතම්.
363. යම් ආර්‍ය්‍යයෙක් නො කටයුතු කරන්නහු දඬුවමින් වළකා ද එය හික්මවනු පිණිසය. වෛර පිණිස නො වේ යයි පඬිවරු දනිති.
2. තිලමුට්ඨි ජාතක යි.
364. මේ මාණික්‍ය රත්නය නිසා මට උදාර වූ බොහෝ ආහාරපාන උපදී. තොපට එය නො දෙමි. පමණ ඉක්ම යාච්ඤා කරව. එසේ හෙයින් තොපගේ අසපුවට ද යළි නො එන්නෙමි.
365. තෙල් පහණ උලා මුවහත් කළ කඩුවක් ගත් තරුණයකු මෙන් තෙපි මැණික්ගල ඉල්ලනුයේ මා තැති ගැන්වූහ. අධිකව යාච්ඤා කරව, තොපට එය නො දෙමි. තොපගේ අසපුවට ද යළි නො එන්නෙමි.
366. යමකුට යමක් ප්‍රිය යයි දන්නේ ද එය නො ඉල්ලන්නේ ය. අධික යාචනයෙන් ද්වේෂ්‍ය වෙයි. බමුණහු විසින් මැණික අයදනා ලද නාරජ එතැන් පටන් නො දැක්මට මැ පැමිණියේ යි.
3. මණිකණ්ඨ ජාතක යි.
367. (අශ්ව වෘෂභාදීන්) කා ඉතිරි වූ තණ ද කැඳබත් ද කා වැඩුණ හෙයින් මෙය තට භෝජනය විය. දැන් එය කුමක් හෙයින් නො කන්නේ ද?
368. බමුණුතුමනි, යම් තැනෙකැ බොහෝදෙනා උපතින් උසස් බව හා ආචාරශීලයෙන් යුතු බව නො දනිත් ද එහි දී කැඳවතුර ද කුඩු ද පරිභෝග කරමි.
369. ඔබ වනාහි මා ශ්‍රේෂ්ඨ අශ්වයෙකැයි හොඳින් දන්නෙහි ය. දන්නකු වන ඔබ වෙත පැමිණ දන්නෙක් වන මම ඔබේ කුඩු නො කමි.
4. කුණ්ඩකකුච්ඡි සින්‍ධව ජාතක යි.
370. ඒ කුරුල්ලා යම් තාක් ආහාරයෙහි පමණ මෙතරම්ය යි දැන සිටියේ ද, එතෙක් ජීවත් විය. මා පියන් ද පෝෂණය කෙළේය.
371. යම් කලෙකැ ඒ කුරුල්ලා අහරෙහි පමණ නො දත්තේ ද අධික ලෙස ආහාර අනුභව කෙළේ ද, එකලැ මුහුදෙහි ම හැලුණේය.
372. අහරෙහි පමණ නො දන්නෝ යම් හෙයකින් ගිලෙද් ද, දන්නෝ නො ගිලෙද්ද, එහෙයින් අහරෙහි පමණ දැනීමත් එහි ගිජු නො වීමත් මැනවි.
5. සුක ජාතක යි.
373. දියෙන් ප්‍රයෝජන ඇති වෙළෙන්දෝ පැරැණි ළිඳක් සාරන්නහු කළුයකඩ, තඹ, ඊයම්, රිදී, රන්, මුතු හා දියමන්ති ද ලදහ.
374. එයින් අසතුටු වූ ඔවුහු වැඩි වැඩියක් සෑරූහ. එහි (ළිඳෙහි) හුන් දරුණු තෙදැති නයා තෙදින් (විසෙන්) ඔවුන් නැසී ය.
375. එහෙයින් සාරන්න. පමණට වඩා නො සාරන්න. පමණ ඉක්මවා සෑරීම ලාමකය, (හෙවත් මෝඩ කමකි). සෑරීමෙන් ධනය ලදී. පමණට වඩා සෑරීමෙන් නසන ලදී.
6. ජරූදපාන ජාතක යි.
376. මේ විලිමුවා නිවාස තනන්නට දක්‍ෂයකු නොවේ. මෙතෙම කළ කළ දේවල් දූෂණය කිරීමේ ලෝලයෙකි. මේ වඳුරු කුලය නම් (කළ දෙය දූෂණය කිරීම වැනසීම යන) මෙබඳු ස්වභාව ඇත්තේය.
377. විමර්‍ශන ඥානයෙන් යුක්තයකුට මෙබඳු රළුලොම් නැත. මේ මෙරමා අස්වසන්නා වූ මෘගයකු නොවේ. මොහු කිසිත් නො දනීය යි ජනසන්‍ධ රජතුමා විසින් මට අනුසාසනා කරන ලදී. හෙවත් කියන ලදී.
378. එබඳු වඳුරු ජාතික සත්ත්‍ව තෙමේ මව, පියා, සහෝදරයා, සහෝදරිය හෝ යහළුවකු පෝෂණය නො කරන්නේය යි දශරථ රජු විසින් මට මේ ශාස්ත්‍රය කියන ලදී.
7. ගාමණීචණ්ඩ ජාතක යි.
379. සඳහිරු දෙදෙනා යම් පමණ තැන් මෙර පැදැකුණු කෙරෙද්ද යම් පමණ දිසා බබුළුවත් ද, යම් පමණ බබළන ස්වභාවය ඇත්තාහු ද ඒතාක් තන්හි පොළොව ඇසුරු කොට වෙසෙන යම් පමණ මනුෂ්‍ය ප්‍රාණීහු වෙත් ද ඔහු හැම දෙනා මන්‍ධාතු රජුගේ දාසයෝ යැ.
380. කහවණු වැස්සෙන් පවා කාමයෙහි තෘප්තියක් නො පෙනේ. කාමයෝ අල්ප ආස්වාද ඇත්තාහ යි ද, දුකට හේතු වන්නාහයි ද මෙසේ පණ්ඩිත තෙම දැනැ.
381. හේ (පණ්ඩිතයා) දිව්‍ය වූ කාමසම්පතෙහි දු ඇල්මට නො පැමිණේ. සම්මාසම්බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක නිවනෙහි ඇලුණේ වෙයි.
8. මන්‍ධාතු ජාතක යි.
382. විද්‍යාවෙන් නිපද වූ කිසිවක් මේ තාපසයාට නැත. තොපගේ නෑයෙක් හෝ යහළුවෙක් හෝ නොවේ. ත්‍රිදණ්ඩයක් ඇති තිරීටවච්ඡ නම් වූ මෙතෙම කවර කරුණක් නිසා බොහෝ රසැති අග්‍රභෝජනය වළඳන්නේ ද.
383. සටනින් පරදවන ලද්දේ ජලය රහිත බියකරු වනයෙහි හුදෙකලාව විපතට පත් මට ආපදායෙහි ළිඳෙන් ගොඩ එන්නට අත දිගු කෙළේය. ඒ උපකාරය නිසා දුකින් පෙළුණු මම ගොඩ ආවෙමි.
384. මේ තාපසයාගේ උපකාරයෙන් මෙහි පැමිණියෙමි. පරලොවෙන් මිදී මෙලොව වසමි. දරුව, තිරීටවච්ඡ තවුසා ලාබ (සිවුපසය) ලබන්නට නිස්සෙකි. පරිභෝග කටයුතු දේ ද, යාග කිරීමට ගන්නා යාගද්‍රව්‍ය ද දෙවු.
9. තිරීටවච්ඡ ජාතක යි.
385. යමක්හු සඳහා සතුරාගෙන් වුව ද යමක් ඉල්ලා ගන්නට දුරස්ථානයකට වුව යෙත් ද, මම ඒ උදරයාගේ දූතයෙක්මි. රජතුමනි මට නො කිපුන මැනැවි.
386. සත්ත්‍වයෝ රෑ දාවල්හි යම් උදරයක්හුගේ වසඟයට යෙත් ද මම ඒ උදරයාගේ දූතයෙක්මි. රජතුමනි මට නො කිපුන මැනැවි.
387. බමුණ, වෘෂභ රාජයකු සහිතව රතු පැහැති ගවයන් දහසක් තොපට දෙමි. දූතයෙක් දූතයකුට කෙසේ නො දෙන්නේ ද? අපි දු ඔහුගේ ම (උදරයාගේ) දූතයෝ වෙමු.
10. දූත ජාතක යි.
පළමුවන සංකප්ප වර්‍ග යි.
එහි උද්දානය:
උසිකාරය පවසන සංකප්ප ජාතක යැ, තිලමුට්ඨි ජාතක යැ (මණි) කණ්ඨ ජාතක යැ, අස්රජකු ඇති කුණ්ඩකකුච්ඡිසින්‍ධව ජාතක යැ, (විහඞ්ගම) සුක ජාතක යැ, ආශීවිෂයකු ඇති ජරූදපාන ජාතක යැ, ජනසන්‍ධ රජු ඇති ගාමණීචණ්ඩ ජාතක යැ, යළි කහවණු වැසි සඳහන් මන්‍ධාතු ජාතක යැ, තිරීටවච්ඡ ජාතක යැ, යළි දූත ජාතකයෙන් දසය වේ.
2. පදුම වර්‍ගය
388. යම් සේ හිසකෙස් ද රැවුළු ද කැපූ කැපූසේ යළි වැඩේ ද එලෙස තොපගේ නාසය නැවත හටගනීවා. ඉල්ලන ලදුයෙහි පියුමක් දෙව.
389. යම් සේ ශරත් සමයෙහි ගෙන තැන්පත් කළ සරු බිජුවට කෙතෙහි වපුළේ මනා සේ වැඩේ ද, එපරිදි ඔබේ නාසය නැවත හටගනීවා. ඉල්ලන ලදුයෙහි පියුමක් දෙව.
390. තුලුහු දෙදෙන මැ මල් දෙන්නේයයි සිතා බොරු කියති. ඔහු කියත්වයි නො කියත්වයි. නාසිකාවගේ වැඩීමෙක් නැත මිතුර, ඉල්ලන ලද්දෙහි පියුම් දෙව යි.
1. පදුම ජාතකය
391. ඉදින් අත්තල මොළොක් වී නම්, හස්තියා සුසික්‍ෂිත වී නම්, රැය අඳුරු වී නම් වැසි ද වස්නේ වී නම් අපගේ අදහස එකැතින් සඵල වන්නේ යි.
392. පුරුෂයන්ගෙන් තෘප්ත නො වන්නා වූ මෘදු සම්භාෂණ ඇති පුරවන්නට බැරි ගඟක් සමාන වූ ස්ත්‍රීහු තමාට වසඟයන් අපායේ ගිල්ලති. මෙය දැන ඇය දුරින් දුරු කරන්න.
393. තෙල ස්ත්‍රීහු රුචියෙන් වේවයි ධන හේතුයෙන් වේවයි යම් පුරුෂයකු ඇසුරු කෙරෙත් ද තමා සිටි තැන දවන ගින්න සේ සේවනය කළහු ම වහා දවති.
2. මුදුපාණි ජාතක යි.
394. අභිද්‍යමාන උදකයෙහි තෙමේ ඍද්ධිබලයෙන් අවුත් ස්ත්‍රිය හා මිශ්‍රභාවයට ගොස් මහසයුරේ ගිලෙහි.
395. මේ ඉතිරියෝ කාමයෙන් (පුරුෂයන්) පොළොඹවන්නෝය. මහාමායා ඇත්තෝය. බඹසර නම් වූ උතුම් හැසිරීම නසා පුරුෂයන් අපායේ ගිල්වත්. මෙය දැන ඇය දුරින් ම දුරු කරන්නේ යැ.
396. තෙල ස්ත්‍රීහු කැමැත්තෙන් වේවයි ධන හේතුවින් වේවයි යම් පුරුෂයකු ඇසුරු කෙරෙත් ද, තමා සිටි තැනැ දවන ගින්න සේ සේවනය කළහු ම වහා දවත්.
3. චුල්ලපලෝහන ජාතක යි.
397. යම් රජක්හුගේ ස්වර්‍ණමය වූ ප්‍රාසාදය සරසින් සොළොස් හීසනක් පමණ වේ ද, උසින් දහස් හීසනක් පමණ වේ යයි කීහු ද එ රජ පණාද නම.
398. උසින් දහස්කඩ පමණ වූ ඒ මාලිගාව සියක් මහල් ඇත්තේ යැ ධ්වජ බහුල වූයේ යැ. නිල්මැණිකින් සදනලද්දේ යැ. එහි සදහසක් නළුවෝ සප්තප්‍රකාර වැ නැටූහ.
399. භද්දජී යම් සේ කියා නම් එකල්හි තෙලපහය මෙසේ වී. එකල්හි තොපට (විස්කම් ලවා මාලිගාව කරවූ) වතාවත්කරු සක්දෙව් රජ මම වීමි.
4. මහාපණාද ජාතක යි.
400. චාප (දුනු) වේගයෙන්, හරනා ලද මහහීතල ද තෙල් සණලා මුවහත් කළ කඩු ද දැක මරණය එළැඹ සිටි ඒ හයෙහි තොපට කුමක් හෙයින් තැතිගැන්මෙක් නො වී ද.
401. චාපවේගයෙන් හරනාලද, ඊතල ද, තෙල්සණ ලා මුවහත් කළ කඩු ද දැක මරණය සමීප වැ සිටි ඒ හයෙහි උදාර වූ මහත් සතුටක් ලදිමි.
402. ප්‍රීත වූ ඒ මම සතුරන් මැඩීමි. පළමු මාගේ ජීවිතය හරනාලද. ජීවිතයෙහි ආලය කරන ශූර තෙම කිසි කලෙක ශූරක්‍රියා නො කරන්නේ යි.
5. ඛුරප්ප ජාතක යි.
403. යම් කරුණෙකින් කෘශ වැ පඬුවන් වී ද, යම් (ප්‍රේම) කරුණෙකින් ආහාර අරුචි වී ද, තී පතන ඒ ප්‍රියයා ආයේ යැ. දැන් කුමට පලායෙහි ද?
404. පළමු මැ සංසර්‍ග මිත්‍රත්‍වය නො හටගනී. යම් හෙයෙකින් ස්ත්‍රීන්ගේ ගර්‍ව සඞ්ඛ්‍යාත යසස පිරිහේ ද, එහෙයින් දරුව, පලායෙමි.
405. යම් ස්ත්‍රියක් තමා සමීපයට ආ ප්‍රශස්ත කුලයෙහි උපන් පුරුෂයා නො කැමති වේ ද, ඕ තොමෝ “වාතග්ග” නම් අසු නො කැමැති වූ ‘කුන්‍දලී’ නම් කොටළුදෙන මෙන් දිගුකලක් ශෝක කරන්නී යැ.
6. වාතග්ගසින්‍ධව ජාතක යි.
406. දිග ඇස් ඇති ඈට මැ හම ඇති දියෙහි වෙසෙන ලෝම රහිත වූ “සිංගිමිග” නම් කකුළුවෙක, ඔහු විසින් මඩනා ලද්දෙම් අසරණ වැ හඬමි. ප්‍රාණ සම වූ මා නො හැරපියව.
407. සැටවිය ඉක්ම ථාමහීන වූ කුඤ්ඡර ස්වාමීනි, විපතට පත් තොප නො හරින්නෙමි. සතර දිග පැතිරැගිය මුහුද අවසන් කොට සිටි මහපොළොවටත් වඩා තොප මට ප්‍රිය යැ.
408. මුහුදෙහි ද ගඞ්ගානදියෙහි ද නර්‍මදා නදියෙහි ද යම් කකුළු කෙනෙක් ඇද්ද, ඒ හැමට වඩා ජලයෙහි උපන් තෙපි රූසපුයෙන් හා මහත්ත්‍වයෙන් ශ්‍රේෂ්ඨ වූවහු යැ. හඬන්නා වූ මාගේ සැමියා මුදව.
7. කක්කටක ජාතක යි.
409. රැස් වූ හැමදෙනා අතුරෙහි යමෙක් ඒකාන්තයෙන් ශ්‍රේෂ්ඨය යි ප්‍රසිද්ධ වූයේ ද ඔහුගේ ප්‍රඥාව ද මෙබඳු විය, අන්‍යයන් ගැන කවර කථා ද?
410. බමුණ, තෙපි හේතු නො දැන මෙසේ නින්‍දා කරව. පොළොවට ඇද තිබෙන මුල නො දැක කෙසේ ගස අඳුනන්නහු ද?
411. මම තොපටත් වනයෙහි වෙසෙන අනෙක් වානරයන්ටත් නින්‍දා නො කරමි. තොප වැන්නවුන් ආරාමරෝපක ධුරයට පත් කළ විශ්වසේන රජතුමා මැ නින්‍දා කටයුතු වෙයි.