5932. සකල ස්ත්‍රී ලක්‍ෂණයන්ගෙන් ශෝභමාන වූ කන්‍යාව (ඔබ දියණිය) රනින් සරසා දැසිදස් සමූහයා විසින් පෙරටු කරන ලදුවැ මගේ බිරිඳ ලෙස දැන් එවුව මැනැව.
5933. වේදේහය, ඔබේ පැමිණීම ශුභ සම්ප්‍රාප්තියෙකි. තව ද නපුරු කොටැ ඊමෙක් ද නොවේ. නැකැත් පමණක් විමසව. රනින් සැරැසූ දියණිය දැසි දස් ගණයා පෙරටු කොටැ ඔබට දෙන්නෙමි.
5934. ඉක්බිති වේදේහ රජ නකත් විචාළේ ය. නකත් විචාරා බ්‍රහ්මදත්ත රජුට හසුන් යැවී ය.
5935. සකල ස්ත්‍රී ලක්‍ෂණයන්ගෙන් ශෝභමාන වූ කන්‍යාව රනින් සරසා දැසි දස්සන් පෙරටු කොටැ මගේ බිරිඳ ලෙසින් දැන් එවනු මැනැයි දූතයන් යැවී.
5936. සකල ස්ත්‍රී ලක්‍ෂණයන්ගෙන් ශෝභමාන වූ කන්‍යාව රනින් සරසා දැසි දස්සන් පෙරටු කොට ඔබට බිරිඳ ලෙසින් දෙන්නෙමි යි චූළනී රජ දැන්වී.
5937. (වේදේහරජ) ඇත් අස් රිය පාබළ සේනාවෝ රැස්ව සිටිත්. දැල් වූ විලක්කු ද බැබළේ. පණ්ඩිතවරු මේ කිමෙකැ යි සිතන්නාහු ද?
5938. සන්නාහ සන්නද්ධ ඇත් අස් රිය පා බළ සේනාවෝ රැස් වැ සිටිත්. දැල්වූ විලක්කු ද බැබළේ. පණ්ඩිතවරු “මොහු කුමක් කරන්නාහු දැ” යි දනිත් ද?
5939. (මහෞෂධ) මහරජ, මහත් බල ඇති චූළනී රජ තෙමෙ ඔබ යා නොදී රකියි. ප්‍රකෝප වූ බ්‍රහ්මදත්තරජ උදාසන ඔබ නසන්නේ ය.
5940. (වේදේහරජ) මා හද සැලෙයි. මුව ද වියැළෙන්නේ ය. ගිනි වැදුනකු අවුවේ ලූ සෙයින් නිවීමට නො පැමිණෙන්නෙමි.
5941. කඹුරන්ගේ උදුන යම් සේ ඇතුළ දවයි ද පිටත නො දවයි ද, එසේ මා ඇතුළුහද දැවෙයි. පිටත නො දැවෙයි.
5942. (මහෞෂධ) මහරජ, ප්‍රමාදයට පැමිණ මගේ වචන ඉක්මැවූයේ භින්න මන්ත්‍ර ඇත්තෙහි ය. ඔබ හා මන්ත්‍රණය කළ පණ්ඩිත ජනයෝ ම ඔබ රකිත්වා.
5943. අභිවෘද්ධිය කැමැති හිතවත් ඇමැතියාගේ වචන නො පිළිගෙන තමා පිණැවීමෙහි මැ ඇලුණු ඔබ මළපුඬුවැ වැටුණු මුවකු වැනිය.
5944. යම් සේ මත්ස්‍යයෙක් මසින් වැසුණු වක් වූ බිළිය නො දැක ඇමෙහි ගිජු වැ තමනට පැමිණෙන මරණය නො දක්නේ ද.
5945. මහරජ, එසේ මැ ඔබ ද චූළනී රජුගේ දුව පිළිබඳ කාමයෙන් මුළා වූවාහු ඇම ගිලි මසු මෙන් තම මරණය නො දන්නාහ.
5946. ඉදින් පඤ්චාල නුවරට යන්නෙහි නම් වහා සිය දිවි හරනෙහි ය. වීථියට පිළිපන් මෘගයකු සේ මහත් බියට පැමිණෙන්නෙහි ය.
5947. මහරජ, අනාර්‍ය්‍යස්වරූප පුරුෂ තෙමේ ඇකයෙහි වූ සර්‍පයකු දෂ්ට කරන්නා සේ විපත් පමුණුවන්නේ ය. නුවණැත්තේ ඔහු හා මිත්‍රත්‍වයක් නො කරන්නේ ය. අසත්පුරුෂයා හා එක්වීම ඒකාන්තයෙන් දුකකි.
5948. මහරජ, යම් හෙයකින් මේ තෙමේ සිල්වතෙක උගතෙකැ යි දන්නේ ද, එ බඳු පුද්ගලයා සමග නුවණැත්තේ මිත්‍ර වන්නේ ය. සත්පුරුෂයා හා එක්වීම ඒකාන්තයෙන් සුව එළවන්නේ ය.
5949. මහරජ, යම් උතුම් මඞ්ගලාර්‍ත්‍ථයක් මා සමඟ කී ඔබ මැ කෙළ තොලු වෙති. නඟුල් කෙළවර ගත් මම කෙසේ සෙස්සන් සේ මඞ්ගලාර්‍ත්‍ථයන් දන්නෙම් ද?
5950. යමෙක් මාගේ රත්නලාභයට අන්තරාය පිණිස කථා කරයි ද ඒ මොහු ගෙලෙන් ගෙනැ මාගේ විජිතයෙන් නෙරවු.
5951. (වේදේහරජ) මහෞෂධ පණ්ඩිතය, නුවණැත්තෝ අතීතය නමැති හුලින් නො විදිත්. කිම, දැඩි වැ බැඳි අසකුට කෙවිටෙන් අණින්නාක් මෙන් මා පෙළන්නෙහි ද?
5952. ඉදින් මට මිදීමක් දක්නෙහි නම් හෝ බියෙන් තොර වීමට යමක් දන්නෙහි නම් හෝ ඉන් මට අනුශාසනා කරව. අතීතයෙන් පහරදීමෙන් ඇති (ප්‍රයෝජනය) කිම?
5953. (මහෞෂධ) මෙයින් මිදීමට මිනිසකු විසින් කළ හැකි දේ ඉක් මැ ගියේ ය. මෙය අභිභවනය කිරීමට නො හැක්ක. ඔබ මිදැවීමට නොහැක්කෙමි. මහරජ, (මෙයින් මිදීමට) ඔබ මැ මඟක් දනුව.
5954. ඍද්ධිමත් වූ යශස් ඇත්තා වූ ආකාශචාරී හස්තීහු ඇත්තාහ. යමකුට එබඳු හස්තීහු වෙත් නම් ඔහු හෝ ගෙනැ යන්නා හ.
5955. ඍද්ධිමත් වූ යශස් ඇත්තා වූ ආකාශචාරී අශ්වයෝ ඇත්තාහ. යමකුට එ බඳු අශ්වයෝ වෙත් නම් ඔහු හෝ රැගෙන යන්නාහ.
5956. ඍද්ධිමත් වූ යශස් ඇත්තා වූ ආකාශචාරී පක්‍ෂීහු ඇත්තාහ. යමකුට එබඳු පක්‍ෂීහු වෙත් නම් ඔහු හෝ රැගෙන යන්නාහ.
5957. ඍද්ධිමත් වූ යශස් ඇත්තා වූ ආකාශචාරී යක්‍ෂයෝ ඇත්තාහ. යමකුට එබඳු යක්‍ෂයෝ වෙත් නම් ඔහු හෝ රැගෙන යන්නාහ.
5958. මහරජ, මිනිසුන් විසින් කළ හැකි කාර්‍ය්‍යයෝ ඉක්ම ගියහ. මෙම කාර්‍ය්‍යය දුෂ්කර ද අභිභවනය කිරීමට අපහසු ද වෙයි. අහසින් ගෙනැ ගොස් මිදැවීමට ද මම අපොහොසත්මි.
5959. (සේනක) මහසයුරට වැටී තෙරක් නො දක්නා වූ පිහිටක් මිනිසෙක් යම් තැනක (දිවයිනක්) ලබන්නේ නම් එතැන අපමණ සුවයක් විඳින්නේ ය.
5960. මහෞෂධ පණ්ඩිතය, එ නිසා අපට ද රජුට ද පිහිට තෙපිය. මන්ත්‍රීන් අතරැ තෙපි මැ ශ්‍රේෂ්ඨ වන්නහු ය. අප දුකින් මිදෙවුව මැන.
5961. මිනිසුන් විසින් කළ හැකි කාර්‍ය්‍යයෝ ඉක්ම ගියහ. මේ බිය දුෂ්කර වූවක් ද අභිභවනය කිරීමට අපහසු වූවක් ද වන්නේ ය. මෙයින් මුදන්නට මම නො පොහොසත්මි. සේනකය, තෙපි මැ මඟක් දනුව.
5962. (වේදේහරජ) මගේ මේ වචනය අසව. මේ මහත් බිය බලව. දැන් සේනකයන් විචාරමි. මෙහිලා තෝ කවරක් සිතන්නෙහි ද?
5963. (සේනක) “බ්‍රහ්මදත්ත රජ අපට බොහෝ කලක් දුක් දී නො මරාවා” යි දොර පටන් ගෙට ගිනි දල්වමු. ආයුධ ගනිමු. ඔවුනොවුන් වධ කොට ගෙනැ වහා දිවි අත් හරිමු.
5964. (රජ) මගේ මේ වචනය අසව. මේ මහත් බිය බලව. දැන් පුක්කුසයන් විචාරමි. මෙහි ලා තෝ කුමක් සිතන්නෙහි ද?
5965. (පුක්කුස) බ්‍රහ්මදත්ත රජ අපට බොහෝ කලක් දුක් දී නො මරාවා යි විස කා මියෙමු. වහා දිවි අත් හරිමු.
5966. (රජ) මගේ මේ වචනය අසව. මේ මහත් බිය බලව. දැන් කාවින්‍දයන් විචාරමි. මෙහි ලා තෝ කුමක් සිතන්නෙහි ද?
5967. (කාවින්‍ද) බ්‍රහ්මදත්ත රජ අපට බොහෝ කලක් දුක් දී නො මරාවා යි රැහැනෙන් බැඳී මියෙමු. ප්‍රපාතයට හෝ පනිමු.
5968. (රජ) මගේ මේ වචනය අසව. මේ මහත් බිය බලව. දැන් දේවින්‍දයන් විචාරමි. මෙහිලා තෝ කුමක් සිතන්නෙහි ද?
5969. (දේවින්‍ද) දොර පටන් ගෙට ගිනි හෝ දල්වමු. ආයුධ ගෙනැ ඔවුනොවුන් වධ කොටැ වහා දිවි අත් හරිමු. මහොසධය අපට සුවසේ මිදීමට නම් නො හැක්කේ ය.
5970. (රජ වැලපෙහි) යම් සේ කෙසෙල් ගස්හි හරය සොයන්නේ ඒ නො ලබයි ද, එසේ ගැලවීමට උපායක් සොයන අපි ප්‍රශ්නයට පිළිතුරක් මොවුන්ගෙන් නො ලද්දෙමු.
5971. යම් සේ හිඹුල් ගස්හි හර සොයන්නේ ඒ නො ලබයි ද එසේ ගැලවීමට උපාය සොයන අපි ප්‍රශ්නයට පිළිතුරක් මොවුන්ගෙන් නො ලද්දෙමු.
5972. දිය නැති මහවනය ඇතුනට සෙයින් අඥාන දුෂ්ට මනුෂ්‍යයන් සමීපයෙහි අපගේ වාසය ඒකාන්තයෙන් නො සුදුසු පෙදෙසකැ විසීමකි.
5973. මගේ හදවත වෙවුලයි. මුඛය ද වියැළෙයි. ගිනි වැදුනකු අවුවේ හෙලූ කලෙක සේ සැනැසීමක් නො ලබමි.
5974. කඹුරන්ගේ උදුන යම් සේ ඇතුළ දවයි ද පිටත නො දවයි ද, එසේ මැ මාගේ හදවත ද ඇතුළ දැවේ. පිටත නො දැවේ.
5975. ඉක්බිති මහාප්‍රාඥ වූ අර්‍ත්‍ථදර්ශී මහෞෂධ පණ්ඩිත තෙමේ දුකට පත් වේදේහරජු දැක මේ වචනය කීය.
5976. මහරජ බිය නො වනු මැන. රාජශ්‍රේෂ්ඨය, බිය නො වනු මැන. රාහු ගිලගත් චන්‍ද්‍රයා සේ මම ඔබ මුදවන්නෙමි.
5977. මහරජ, බිය නො වනු මැන. රාජශ්‍රේෂ්ඨය, බිය නො වනු මැන. රාහු ගිලගත් සූර්‍ය්‍යයා සේ මම ඔබ මුදවන්නෙමි.
5978. මහරජ, බිය නො වනු මැන. රාජශ්‍රේෂ්ඨය, බිය නො වනු මැන. මඩෙහි ගිලුණු ඇතකු සේ මම ඔබ මුදවන්නෙමි.
5979. මහරජ, බිය නො වනු මැන. රාජශ්‍රේෂ්ඨය, බිය නො වනු මැන. පේළාවෙකැ බැඳුණු නාගයෙකු සේ මම ඔබ මුදවන්නෙමි.
5980. මහරජ, බිය නො වනු මැන. රාජශ්‍රේෂ්ඨය, බිය නො වනු මැන. පඤ්ජරයෙහි බද්ධ පක්‍ෂියකු සේ මම ඔබ මුදවන්නෙමි.
5981. මහරජ, බිය නො වනු මැන. රාජශ්‍රේෂ්ඨය, බිය නො වනු මැන. දැලට හසු වූ මසුන් සේ මම ඔබ මුදවන්නෙමි.
5982. මහරජ, බිය නො වනු මැන. රාජශ්‍රේෂ්ඨය, බිය නො වනු මැන. බලවාහන සහිතවම මම ඔබ මුදවන්නෙමි.
5983. මහරජ, බිය නො වනු මැන. රාජශ්‍රේෂ්ඨය, බිය නො වනු මැන. කැටෙකින් කපුටු රළක් සේ පඤ්චාල සේනාව පල වා හරින්නෙමි.
5984. යම් ඇමැතියෙක් දුකට පත් රජු දුකින් නො මුදන්නේ නම් එ බඳු ඇමැතියා කුමටද? ඔහුගේ නුවණ කුමටද?
5985. මාණවකයෙනි, එව, නැඟිටිවු, උමං දොර විවර කරවු. ඇමැතියන් සමග වේදේහ රජ උමඟින් ගමන් කරන්නේ ය.
5986. මහෞෂධ පණ්ඩිතයන්ගේ බස් ඇසූ අනුචර ජනයෝ උමන් දොර ද යතුරු යෙදූ දොර කවුළු ද විවර කළහ.
5987. සේනකයා ඉදිරියෙහි ද මහෞෂධ පණ්ඩිත තෙමේ පසු පස්හි ද ඇමැති ජනයා පිරිවරන ලද වේදේහ රජ මැද ද යෙත්.
5988. උමඟින් නික්මුණු වේදේහ රජ නැවට නැංගේ ය. මහෞෂධ පණ්ඩිත තෙමේ නැවට නැඟි රජුට අනුශාසනා කළේ ය.
5989. දේවයන් වහන්ස, මේ ඔබේ මයිලණුවන්ගේ පුත් ය. මහරජ, මේ ඔබේ නැන්දණිය යි. යම්සේ මව කෙරෙහි පවත්නේ ද එසේ නැන්දණිය කෙරෙහි ද පවතුව.
5990. මහරජ, යම්සේ එක මව කුසැ උපන් සොහොයුරා කෙරෙහි පවත්නේ ද එසේ මේ පඤ්චාලචණ්ඩ කුමරුට ද ආදර කළයුත්තේ ය.
5991. මහරජ, මෝ තොප විසින් අතිශයින් රුචි කරනු ලබන පඤ්චාලචණ්ඩි රජකුමරිය යි. ඕ තොමෝ තොපගේ බිරිඳ යි. ඇය සමඟ කැමැති සේ පවතිනු මැනැවි.
5992. මහෞෂධ පණ්ඩිතය, වහා නැවු නැඟෙව. කුමක් නිසා ඉවුරැ සිටිනෙහි ද, අපි ඉතා අපහසුවෙන් මිදුණමෝ වම්හ. දැන් වහා පලායම්හ.
5993. මහරජ, මම සේනාවට නායක වෙමි. සේනාව හැර පියා මම් පමණක් මුදවන්නෙම් නම් ඒ සත්පුරුෂ දහම නො වෙයි.
5994. මහරජ, තොපගේ සේනාව ඒ නගරයෙහි හැර දමන ලද්දේ ය. මහරජ, බඹදත්රජු විසින් දෙනු ලබන ඒ සේනාව රැගෙන එන්නෙමි.
5995. පණ්ඩිතය, මඳසෙනඟ ඇති තෙපි මහසෙනඟ ඇත්තාට කෙසේ විරුද්ධ වැ සිටිනවු ද? බලවතා විසින් දුර්‍වලයා පෙළනු ලබන්නේ මැ ය.
5996. මඳසෙනඟ ඇති නුවණැත්තා මහා සේනා ඇති අඥානයා ජයගනී. උදාහිරු අඳුර දුරු කරන්නාක් මෙන් නුවණැති රජ අනුවණ රජු ජයග්‍රහණය කරයි.
5997. සේනකය, නුවණැත්තන් හා වාසය ඒකාන්තයෙන් සුව ගෙනැ දෙන්නේ ය. පඤ්ජරයෙහි බැඳුණු පක්‍ෂීන් සේ ද දැලෙහි බැඳුණු මසුන් සේ ද සතුරන් අතට පත් අප මහෞෂධ පණ්ඩිතතෙමේ මුදවාලිය.
5998. මහරජ, එය එසේ මැ ය. නුවණැත්තෝ ඒකාන්තයෙන් සුව ගෙනැ දෙන්නෝ ය. මැදිරියෙහි බැඳුණු පක්‍ෂීන් සේ ද දැල්හි බැඳුණු මසුන් සේ ද සතුරන්ගේ අතට පත් අප මහෞෂධ පණ්ඩිතතෙමේ මුදවා ලීයැ.
5999. මහත් බල ඇති චූළනීබ්‍රහ්මදත්ත රජ මුළු රෑ රකවල් කොටැ අරුණලු නැඟෙන කලැ උපකාරී නුවරට එළැඹියේ ය.
6000. මහාබල ඇති පඤ්චාලදේශවාසී බ්‍රහ්මදත්ත රජ සැට අවුරුද්දෙන් මද නැඟී හිඳුනා වූ බලවත් හස්තියකු පිටට පැන නැඟී සිය සෙනඟට මෙසේ කී යැ.
6001. මැණික් ඔබා කරන ලද සන්නාහයෙන් සන්නද්ධ වූ රජ බොහෝ යුද්ධශිල්පයන්හි දක්‍ෂ වූ අතින් දුනුහී ගෙන රැස් වූ පණිවිඩකාර යෝධයන්ට පළමු කොට පැවසී යැ.
6002. ඇතුන් නැඟෙන්නා වූ ද අසුන් නැඟෙන්නා වූ ද රිය නැඟෙන්නා වූ ද පයින් ගමන් කරන්නා වූ මහ සෙනඟ ද රැස් වූ අතිදක්‍ෂ වාළවේධී ධනුර්ධරයන් ද (ඇමැතී ය.)
6003. බලවත් වූ සැට හවුරුද්දෙන් මද නැඟී හිඳුනා වූ දළ ඇති හස්තීන් මෙහෙයවවු. වේදේහ රජු විසින් නිර්‍මාණය කරවන ලද නගරය ඇත්තු මඩිත්වා.
6004. දුනුවෙයින් මුදාහළ, නියන් බඳු මුවඇති සුදු පැහැති තියුණු අග ඇති ඇට විදුනා (ශරයෝ) මතුමත්තෙහි (හී වර්‍ෂා සෙයින්) වැටෙත්වා.
6005. සන්නාහයෙන් සැරැසුණු, විසිතුරු දඬුවලින් යුත් ආයුධ අතින් ගත්, ඇතුන් ඉදිරියට වුව පනින්නා වූ නො සැලෙනසුලු මහත් බල ඇති තරුණ යෝධයෝ ඇතුන් වෙතැ එකතුවෙත්වා.
6006. තෙලින් මුවහත් කළ ගිනිසිළු සේ ප්‍රභාස්වර වූ අඩයටි සියක්රැසින් යුත් (ඕසධී) තාරකා සෙයින් බබළමින් සිටීවා.
6007. ආයුධ බලයෙන් යුත්, යුද්ධ සැට්ට හා අඟු පළඳනා දරන්නා වූ සංග්‍රාමයන්හි නො පසු බස්නා වූ මෙ වැනි යෝධයන් වෙතින් කෙසේ නම් වේදේහයා මිදෙන්නේ ද? ඉදින් පක්‍ෂියකු සේ අහසින් ගමන් කළ ද නො මිදෙන්නේ මැ ය.
6008. එක් එක් කෙනකු වෙන වෙන මැ තෝරා ගන්නාලද සියල්ල තිස්නව දහසක් වූ මාගේ යෝධයන්ට සම වූවන් මේ මුළු පොළොවෙහි ඇවිද බැලුව ද නො දක්මි.
6009. සැට හවුරුද්දෙන් මඳ නැඟී හිඳුනා වූ මනා වැ සරසන ලද බලවත් දළ ඇතුන් මතැ රන්වන් කුමාරවරු බබළත්.
6010. නඳුනුයනැ දෙව්පුතුන් සේ රන්වන් හඳනා පොරෝනා වෙන් හා ස්වර්‍ණවර්‍ණාලංකාරයෙන් විභූෂිත යෝධයෝ ඇතුන් පිටැ බබළත්.
6011. පෙටියන් බඩ පෑ සමාන වර්‍ණ ඇති තෙලෙහි මුවහත් තබන ලද ප්‍රභාස්වර වූ, නුවණැති මිනිසුන් විසින් නිමවන ලද මනා වැ මුවහත් කරන ලද සම වූ ධාරා (මුවහත) ඇති-
6012. මලකඩින් තොර හිරු රැස් සේ බබළන්නා වූ ඉතා පිරිසුදු යකඩින් නිමැවුණු දැඩි වූ වහා පහර දෙන යෝධයන් විසින් ගන්නා ලද-
6013. රන් කම් කළ මිටින් යුත් ලෙහෙවන් කොපු දරන අසිපත්හු ඔබ මොබ පෙරළෙන්නාහු වැසි වලාකුළු අතරැ විදුලිය සේ බබළත්.
6014. දැරූ සන්නාහ ඇති ශූර වූ කඩු පලිස් දැරීමෙහි අතිදක්‍ෂ වූ ඇත්කඳ වුව දෙකඩ කිරීමෙහි සමත් කඩු ශිල්පයෙහි හික්මුණු පතාක නම් අහසෙහි කරනම් ගසන යෝධයෝ ඇත්තාහ.
6015. මෙ බඳු යෝධයන් විසින් පිරිවරන ලද තට මෙයින් මිදීමෙක් නම් නැත්තේ ය. යම් ක්‍රමයෙකින් තෝ මිථිලා පුරයට යන්නෙහි නම් එ වැනි රාජානුභාවයෙක් නො දක්නෙමි.
6016. (මහරජ), කිම වහ වහා උතුම් ඇතු මෙහෙයවන්නෙහි? ප්‍රීතිමත් ස්වභාවයෙන් පෙරට එන්නෙහි, ආත්මාර්‍ත්‍ථය සිද්ධ වී ය යි සිතන්නෙහි ද?
6017. (මහරජ), චාපසංඛ්‍යාත දුන්න දමාපුව මැනව. හී හකුළාපුව මැනව. වෛඩූර්‍ය්‍යමාණික්‍යයෙන් අලඞ්කෘත සන්නාහය තැබුව මැනව.
6018. ප්‍රසන්න මුඛ වර්‍ණ ඇත්තෙහි. මඳ සිනා පෙරදැරි කොටැ බෙණෙන්නෙහි. මරණාසන්නයෙහි වනාහි එවැනි වර්‍ණසම්පත්තියෙක් වේ.
6019. මහරජ, තොපගේ ගර්‍ජනාව හිස් ය. ක්‍ෂත්‍රීයය, තෙපි භින්නමන්ත්‍රණ ඇති වූවහු ය. කොටළුවකුට ජාති සෛන්‍ධවයකු අල්වාපියනු නො පිළිවන් සේ තොප විසිනුදු වේදේහ රජ අල්වාපියනු නො හැක්කේ ම ය.
6020. වේදේහ රජ ඊයේ ඇමැතිවරුන් හා පිරිවර ජනයන් සමඟ ගඟ තරණය කළේ ය. ඔහු ලුහුබඳින්නේ හංස රාජයකු ලුහුබැඳ යන කවුඩකු මෙන් බිමැ හෙන්නේ ය.
6021. මෘගාධම සිවල්ලු රාත්‍රිකාලයෙහි සුපුෂ්පිත කෑල වෘක්‍ෂයක් (සඳරැසින්) දැක මස්වැදැලි ය යි සිතන්නෝ පිරිවරා සිටියහ.
6022. හිරු නැඟැ රැය පහන් වූ කලැ සුපිපි කෑල ගස දැකැ ශෘගාලයෝ සුන් වූ ආසා ඇත්තෝ වූහ.
6023. මහරජ, එසෙයින් තෙපි දු වේදේහ රජු පිරිවරා සිටැ කෑලගස වටා සිටි සිවලුන් සේ සුන් වූ ආසා ඇත්තෝ වැ යන්නාහුය.
6024. යමෙක් මා අතට පත් පසමිතුරු වේදේහයා මිදුයේ ද ඒ මොහුගේ අත් පා කන් නාසා ද සිඳිවු.
6025. යමෙක් මා අතට පත් පසමිතුරු වේදේහයා මිදුයේ ද ඒ මොහුගේ ඇඟ මස් පිසිය යුතු (මෘගාදීන්ගේ) මසක් මෙන් කපා හුලැ ඇනැ පිසත්වා.
6026. යම් සේ වෘෂභයකුගේ හෝ සිංහයකුගේ හෝ ව්‍යාඝ්‍රයකුගේ හෝ සම නඟා හුල් ගසා බිමැ අතුරනු ලබන්නේ වෙයි ද,
6027. එසේ මැ යමෙක් මා අතපත් පසමිතුරු වේදේහයා මුදා හළේ ද, ඒ මොහු බිමැ වතුරුවා සැතින් විදවන්නෙමි.
6028. ඉදින් මාගේ අත්පා හෝ කන්නාසා හෝ සිඳින්නෙහි නම් වේදේහ රජ පඤ්චාලචණ්ඩ කුමරාගේ ද එසේ සිඳවන්නේ ය.
6029. ඉදින් මාගේ අත්පා හෝ කන්නාසා හෝ සිඳවන්නෙහි නම් වේදේහ රජ පඤ්චාලචණ්ඩි කුමරියගේ ද එසේ සිඳවන්නේ ය.
6030. ඉදින් මාගේ අත්පා හෝ කන්නාසා හෝ සිඳින්නෙහි නම් වේදේහ රජ නන්‍දා දෙවියගේ ද එසේ සිඳවන්නේ ය.
6031. ඉදින් මාගේ අත්පා හෝ කන්නාසා හෝ සිඳින්නෙහි නම් වේදේහ රජ ඔබගේ පුත්‍රදාරාවන්ගේ ද එසේ සිඳවන්නේ ය.