Jātaka

Birth Stories

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-29 · 7679 segments

පෙන්වන කොටස් 6601-6700 න් 7679

විංශති නිපාතයෙහි සිරිමන්‍ද ප්‍රශ්නය යි.
5838. යම් තැනෙක අත්සුණු සල්පිලක් ඇද්ද ඉන් ඔබ්බෙහි කැඳ සල්පිලක් ඇද්ද ඉනුත් ඔබැ සුපිපි කොබෝලීල ගසෙක් ඇත්තේ ය. එතැන් සිට යම් අතෙකින් අනුභව කරම් ද ඒ අතැ මඟ යන්නට කියමි. යම් අතෙකින් අනුභව නො කරම් ද එ මඟැ යන්නට නො කියමි. මේ යවමැදුම්ගමැ අප ගෙට මඟ ය. මේ සැඟැවුණු මඟ දැනගන්නෙහි ය.
ඡන්නපථ ප්‍රශ්නය යි.
5839. යමෙක් අත් පා වලින් ද ගසයි මුහුණට ද අනියි, එහෙත් මෙසේ කරන්නා වූ හේ ප්‍රියයෙක් ද වන්නේ ය. මහරජ, මෙයින් කවරකු දක්නෙහි ද?
5840. කවරෙක් නම් ඇවිළැගත් ගිනි ඇති කල්හි ගිනි සොයමින් ඇවිදින්නේ රැයෙහි කණ මැදිරියකු දැකැ ගිනි ය යි සිතා ද.
5841. හෙතෙම වැරැදි හැඟීමෙන් ඒ කණමැදිරියා මතැ ගොම වැරැටි හා තණකොළ රැස් කොට පිඹින්නේ නමුදු ගිනි දල්වන්නට අසමත් වන්නේ ද?
5842. එසෙයින් අඥානයා අනුපායයෙන් අර්‍ත්‍ථය නො ලබන්නේ ය. ගවඅඟින් කිරි දොවන්නේ කිරි නො ලබන්නාක් මෙනි.
5843. මනුෂ්‍යයෝ අමිත්‍රයනට නිග්‍රහයෙන් ද මිත්‍රයනට සංග්‍රහයෙන් ද විවිධොපක්‍රමයන්ගෙන් අර්‍ත්‍ථ සිද්ධියට පැමිණෙත්.
5844. සේනා ප්‍රධානීන්ගේ සිත් ගැනීමෙන් ද හිතවතුන්ගේ උපක්‍රමයෙන් ද පෘථිවි පාලකයෝ මුළු පොළොව තමන් සතුකර ගනිත්.
ඛජ්ජොපණක ප්‍රශ්නය යි.
5845. (ඇමැති) සේනකයන් කීවේ සැබෑවක් මැ ය. මහත් වූ නුවණැති ඔබ මඳ ව්‍යඤ්ජනයෙන් යුක්ත යවබත අනුභව කරන්නාහු ය. ශ්‍රී තොමෝ එසේම යැ, (ශ්‍රේෂ්ඨ වන්නී ය.) තොපගේ ධෛර්‍ය්‍යයත් ස්මෘතියත් පරිහානියට පත් තොප නො රක්නේ ය.
5846. සැපත දුකින් මුහුකුරුවන්නා වූ කල් නොකල් විමසා අභිප්‍රාය සඟවන්නා වූ තැනැත්තා අර්‍ත්‍ථයේ ද්වාරයන් විවෘත කරන්නේ ය. එනිසා මම යවබතින් තුස්නෙමි.
5847. (මහෞෂධ) වීර්‍ය්‍යය කිරීමට සුදුසු කල් දැනැ නුවණින් අර්‍ත්‍ථය මුහුකුරුවා සිංහ විජෘම්භණයෙන් විජෘම්භණය කරන්නෙමි. ඒ සමෘද්ධියෙන් යුක්ත වූ මා නැවැත දක්නෙහි ය.
5848.(වේදේහරජ) සැපයට පත්වූ අසමත් ඇතැම්හු පාපයන් නො කරත්. නුවණමඳ ඇතැම්හු පරෝපවාද බියෙන් පව් නො කරත්. අතිශයින් දක්‍ෂ වූ විපුලාර්‍ත්‍ථ චින්තී වූ තෙපි කවර හෙයින් මට දුක් ඇති නො කරන්නහු ද?
5849. (මහෞෂධ) ආත්ම සුඛ හේතුයෙන් නැණවත්හු පාපයන් නො කරත්. සාධුජනයෝ දුකින් පෙළුණෝ ද සැපතින් පිරිහුණෝ ද ඡන්‍දයෙන් හෝ ද්වේෂයෙන් හෝ ධර්‍මය අත් නො හරිත්.
5850. (වේදේහරජ) මෘදු වූ හෝ දරුණු වූ හෝ යම් උපක්‍රමයෙකින් දීන වූ තමා නඟා සිටුවන්නේ ය. පසු වැ ධර්‍මයෙහි හැසිරෙන්නේ ය.
5851. (මහෞෂධ) යම් රුකෙක සෙවණැ හිඳින්නේ හෝ නිදන්නේ හෝ වේ ද එම ගසැ අත්තක් හෝ නො බිඳින්නේ ය. (බිඳින්නේ නම්) හේ මිත්‍රද්‍රෝහී පවිටෙක් වන්නේ ය.
5852. යම් කෙනකුන් වෙතින් පුරුෂ තෙමේ ධර්‍මය දැනගන්නේ ද යම් සත්පුරුෂ කෙනෙක් ඔහුගේ සැක දුරු කෙරෙත් ද ඒකාන්තයෙන් හේ ඔහුට පිහිට ද සරණ ද වන්නේ ය. නුවණැත්තේ ඔහු සමඟ පවත්නා මිත්‍රභාවය නො නසන්නේ ය.
5853. කම්සැප සෙවුනා වූ අලස ගිහියා යහපත් නො වේ. සංයමයෙන් තොර පැවිද්දා ද යහපත් නො වේ. නො විමසා ක්‍රියා කරන රජ යහපත් නො වේ. යම් පණ්ඩිතයෙක් ක්‍රෝධ කරන සුලු නම් හෙ ද යහපත් නො වේ.
5854. මහරජ, ක්‍ෂත්‍රිය තෙමේ විමසා ක්‍රියා කරන්නේ ය. නො විමසා ක්‍රියා කිරීම යහපත් නො වේ. විමසා ක්‍රියා කරන්නාගේ යශස ද කීර්තිය ද වැඩේ.
භූරි ප්‍රශ්නය යි.
5855. යමෙක් අත් පා වලින් ගසයි ද, මුහුණටත් අනියි ද, මහරජ, හේ ඒකාන්තයෙන් ප්‍රියයෙක් ද වෙයි. ඒ කවරකු ලෙස දක්නෙහි ද?
5856. යමකුට රිසිසේ අක්‍රෝශ කරයි ද, (එහෙත් ආක්‍රෝශ වශයෙන් කියූ) ඒ කාරණයාගේ ඊම නො කැමැති වෙයි ද මහරජ, හේ ඒකාන්තයෙන් ප්‍රිය වන්නේ ය. ඒ කවරකු ලෙස දක්නෙහි ද?
5857. යමෙක් මුසායෙන් ගටා බෙණෙයි ද බොරුයෙන් චෝදනා කෙරෙයි ද මහරජ, හේ ඒකාන්තයෙන් ප්‍රිය වන්නේ ය. ඒ කවරකු ලෙස දක්නෙහි ද?
5858. ඇතැමෙක් ආහාරපාන හා වස්ත්‍ර ශයනාසනයන් ද රැගෙන යත්. එහෙත් එසේ ගෙන යන්නා වූ ඔව්හු ඒකාන්තයෙන් ප්‍රිය වෙත්. මහරජ, ඒ කවරුන් ලෙස දක්නෙහි ද?
දේවතා පුච්ඡිත ප්‍රශ්නයෝ යි.
5859. මෙහි පැමිණි පඤ්ච පණ්ඩිතවරුනි, මට වැටැහෙන එක් ප්‍රශ්නයෙක් ඇත. එය අසවු. නින්‍දා කටයුතු වූ හෝ ප්‍රශංසා කටයුතු වූ හෝ රහස කවරකුට හෙළි කළ යුත්තේදැ යි වේදේහ රජ පිළිවිසී.
5860. මහරජ, ඔබ මැ අපට එය ප්‍රකාශ කරනු මැනව. ඔබ අපගේ ස්වාමියා ද, බර උසුලන්නා ද වෙති. පඬිවරු පස්දෙන ඔබගේ අදහස හා කැමැත්ත විමසා පිළිතුරු කියන්නාහයි සේනක කීය.
5861. (වේදේහ රජ) යම් ස්ත්‍රියක් ආචාර ශීලයෙන් යුක්ත ද අනුන් වසඟයෙහි නො පවතී ද ස්වාමියාගේ කැමැත්ත අනුව වසන්නේ ද, ප්‍රිය මනාප වන්නී ද එබඳු බිරිඳට නින්‍දා කටයුතු හෝ ප්‍රශංසා කටයුතු හෝ රහස කියැ යුත්තේ ය.
5862. (සේනක) යමෙක් දුකට පත් ආතුරයාට සරණ වැ පිහිට වැ උපකාරී වැ පවතී ද එ බඳු මිත්‍රයාට නින්‍දා කටයුතු හෝ ප්‍රශංසා කටයුතු හෝ රහස හෙළි කරන්නේ ය.
5863. (පුක්කුස) ඉදින් යමකුට ජ්‍යේෂ්ඨ හෝ මධ්‍යම හෝ කණිෂ්ඨ හෝ සොහොයුරෙක් වේ ද හෙ ද ශීලයෙහි මනා වැ පිහිටියේ ස්ථිර සිතැත්තේ නම් එවැනි සොහොවුරාට නින්‍දා කටයුතු හෝ ප්‍රශංසා කටයුතු හෝ රහස හෙළි කරන්නේ ය.
5864. (කාවින්‍ද) ඉදින් යමෙක් පියා ගේ සිතට අනුව ක්‍රියා කරන්නේ ද මහත් ප්‍රඥායෙන් යුක්ත වූයේ පියාට අනුජාත වේ ද එ බඳු පුතුට නින්‍දා කටයුතු හෝ ප්‍රශංසා කටයුතු හෝ රහස හෙළි කරන්නේ ය.
5865. (දේවින්‍ද) දෙපා ඇත්තනට නායක මහරජ, යම් මවක් ස්නේහයෙන්, ප්‍රිය උපදවමින් සිය පුතු පෝෂණය කරන්නී ද එ බඳු මවට නින්‍දා කටයුතු හෝ ප්‍රශංසා කටයුතු හෝ රහස හෙළි කරන්නේ ය.
5866. (මහෞෂධ) සැඟැවියැ යුතු දේ සැඟැවීම මැ යහපත් වන්නේ ය. රහස හෙළි කිරීම පැසසිය යුතු නොවේ. නුවණැත්තේ කාර්‍ය්‍ය සිද්ධිය නොවී නම් (කාර්‍ය්‍ය සිද්ධිය තෙක්) රහස දරන්නේ ය. සිද්ධ වූ අර්‍ත්‍ථ ඇත්තේ රිසි සේ කියන්නේ ය.
5867. මහරජ ඔබේ සිත් පෙරැළියට හේතු කවරේ ද? කවර හෙයින් ඔබෙන් වචනයක් නො අසම් ද? කුමක් සිතමින් දොම්නස් වූයෙහි ද? දේවයිනි, මාගෙන් වූ යම් අපරාධයෙක් හෝ ඇත් දැයි උඳුම්බරාදේවි විචාළාය.
5868. මහාප්‍රාඥ වූ මහෞෂධ පණ්ඩිත මැරිය යුතුය යි මා විසින් වධයට අණ කරන ලද්දේ ය. ඒ ගැන සිතමින් දොම්නස් වූයෙම් වෙමි. දේවිය, ඔබ කළ අපරාධයෙක් නැත යි රජතෙමේ කීය.
5869. මහාප්‍රාඥය, ඊයේ ගියා වූ තෙපි දැන් එන්නහු ය. කුමක් අසා තොපගේ සිත කුමකට සැක කෙරේ ද? කවරෙක් තොපට කුමක් කීයේ ද? ඒකාන්තයෙන් ඒ වචනය මට කියව, එය අසන්නෙමි යි වේදේහ රජ මහෞෂධ පඬිතුමාගෙන් පිළිවිසී.
5870. (මහෞෂධ) මහරජ, මහෞෂධ පණ්ඩිත මැරිය යුතු යැ යි ඉදින් ඔබ විසින් සේනකාදීන් සමග මන්ත්‍රණය කරන ලද ද. රැයෙහි හුදෙකලා වූයේ බිරිඳට එය කීහ. ඔබ විසින් හෙළිකළ ඒ රහස මා විසින් අසන ලද්දේ ය.
5871. සේනක තෙමේ සල් උයනැ සිටැ යම් ලාමක වූ පාප කර්‍මයක් කළේ ද, එය මිත්‍රයකුට කීයේ ය. ඒ හෙළි කළ රහස මා විසින් අසන ලදී.
5872. මහරජ, ඔබගේ පුක්කුස නම් වූ රාජපුරුෂයාට රජුන් විසින් නො ළං වියයුතු රෝගයෙක් උපන. හේ රහසිගත වැ සෝවුරාට කීයේ ය. එසේ රහස හෙළි කිරීම මා විසින් අසන ලදී.
5873. කාවින්‍දයා නරදේව නම් යකකු විසින් ස්පර්‍ශ කරන ලද්දේ ය. මේ ආබාධය නො සරුප් සබා ඇත්තේ ය. හේ එය රහසිගත වැ පුත්‍රයාට කීයේ ය. එසේ රහස හෙළි කිරීම මා විසින් අසන ලදී.
5874. සක්දෙව්රජ ඔබගේ මී මුත්තණුවනට මහඟු අෂ්ටවඞ්ක නම් මාණික්‍ය රත්නයක් දුන්නේ ය. ඒ මිණි රුවන දැන් දේවින්‍දයා අතට පත්වැ ඇත. හේ එය මවට රහසේ කීය. රහස හෙළි කිරීම මා විසින් අසන ලදී.
5875. සැඟැවිය යුත්ත සැඟැවීම මැ මැනැවි. රහස හෙළි කිරීම ප්‍රශස්ත නොවේ. නුවණැත්තේ කාර්‍ය්‍ය නිෂ්පත්තිය නොවූ රහස දරන්නේ ය. කාර්‍ය්‍ය සංසිද්ධියෙන් ඉක්බිති වැ රිසිසේ කියන්නේ ය.
5876. සැඟැවිය යුත්ත හෙළි නො කටයුත්තේ ය. එද නිධානයක් සේ ආරක්‍ෂා කළ යුතු ය. නුවණැත්තහු විසින් රහස් හෙළි කිරීම උචිත නොවේ.
5877. නුවණැත්තා ස්ත්‍රියට ද හතුරාට ද යමෙක් ආමිෂ හේතුයෙන් පෙළඹේ නම් ඔහුට ද කෛරාටික සිතැත්තාට ද (රහස් හෙළි නො කරන්නේ ය.)
5878. යම් මිනිසෙක් අනුන් විසින් නො දත යුතු රහසක් (යමකුට) කීයේ නම් රහස් හෙළිවේ ය යන බියෙන් හෝ ඔහුගේ දාසයකු සෙයින් සියල්ල ඉවසයි.
5879. මන්ත්‍රණය කළවුන් අතරැ යම් තාක් දෙනා ඔහුගේ රහස් දනිත් ද, ඔහුට එපමණ තැති ගැනුම් ඇති වේ. එනිසා රහස නො හළ යුත්තේ ය. හෙළි නො කළ යුත්තේ ය.
5880. රහස දවල් කාලයෙහි විවේක වැ කියැ යුත්තේ ය. රැයෙහි සීමාව ඉක්ම වූ වචන (හඬ නගා ) නො කියන්නේ ය. අසලැ සිටින්නෝ ඒකාන්තයෙන් මන්ත්‍රණය ශ්‍රවණය කරන්නාහ. එයින් මන්ත්‍රණය භේදයට පැමිණෙයි.
පඤ්චපණ්ඩිත ප්‍රශ්නය යි.
5881. මහෞෂධ පණ්ඩිතය, පඤ්චාල දේශවාසී බ්‍රහ්මදත්ත රජ සියලු බළ සෙනඟ සමග ආයේ ය. ඒ මේ පඤ්චාල රජු සතු සේනාව අපමණ ය.
5882. ඒ සේනා තොමෝ පිටින් ගෙනා දැව ඇති වඩු සේනාවෙන් යුක්ත ය, පාබළ සෙනගින් යුක්තය, සකල සංග්‍රාමොපායයන්හි දක්‍ෂය. සතුරන් හිස් සිඳලීමෙහි දක්‍ෂය, දශවිධ ශබ්දයෙන් හා බෙර සක් හඬින් ද ප්‍රබෝධවත් ය.
5883. ලෝහවිද්‍යාවෙන් නිර්මිත වූ කවච ආදියෙන් හා ආභරණයන්ගෙන් බබළන්නීය. ධජ පතාකයන්ගෙන් ද වමින් නැඟිය යුතු ඇතුන් හා අසුන්ගෙන් ද විවිධ ශිල්පීන්ගෙන් ද යුක්ත වූවාය. අති දක්‍ෂ යෝධයන්ගෙන් මනාව පිහිටියා ය.
5884. මෙ මැ සේනාවෙහි මහාප්‍රාඥ වූ රහස් මන්ත්‍රණ ඇති දශ පණ්ඩිත කෙනෙක් වෙති. රජුගේ මව ද එකොළොස්වැන්නී වූවා පඤ්චාලසේනාවට අනුශාසනා කරයි.
5885. තව ද රටවල් පැහැර ගැන්මෙන් පෙළුණු පඤ්චාලීනට යටත් වූ යසස් ඇති එක්සියයක් රජදරුවෝ ද මෙහි බ්‍රහ්මදත්ත රජුට අනුගත වැ සිටිත්.
5886. යමක් කියන්නාහු නම් එය කරන්නා වූ රජුට නො කැමැත්තෙන් නමුදු ප්‍රිය වචන කියන්නා වූ නො කැමැත්තෙන් යටත්වූවෝ ද පඤ්චාලරජු අනුව යති.
5887. ඒ (සිවුරඟ) සේනාවෙන් මිථිලා පුරය ත්‍රිසන්‍ධියෙකින් වටකරන ලද්දේ ය. විදේහයන්ගේ රාජධානිය හාත්පසින් කණිනු ලැබේ.
5888. මස්තකයෙහි තාරකා පහළ වූවාක් සෙයින් (දඬු වැට පහන් ගෙන) හාත්පසින් වටකරන ලදය. මහෞෂධයෙනි කෙසේ මිදීම වන්නේ දැයි දනුව. මෙසේ වේදේහ රජ පිළිවිසි.
5889. දේවයන් වහන්ස, පා දිගු කළ මැනව. කාමයන් අනුභව කළ මැනව. සිත් අලවා වෙසෙනු මැනව. පඤ්චාලීය සේනාව හැර දමා බ්‍රහ්මදත්තරජ පලායන්නේ ය යි මහෞෂධ පඬිතෙමේ කීය.
5890. (කේවට්ට) සමඟිය කැමැති (බ්‍රහ්මදත්ත) රජ තෙමේ ඔබ වහන්සේට රත්නයන් (පඬුරු කොටැ) එවන්නේ ය. පඤ්චාල නගරයේ සිට මිහිරි වූ ප්‍රියවචන ඇති දූතයෝ ද එත්වා.
5891. යම් බසක් සතුට ඇති කෙරේ ද එ බඳු මෘදු වචන මැ තෙපලත්වා. පඤ්චාලයෝ ද විදේහයෝ ද යන දෙ පස එකමුතු වෙත්වා. (සමගි වෙත්වා.)
5892. (වේදේහරජ) කෙසේ ද කේවට්ටය, මහොසධයන් හා සමඟිය වී ද, කිම තෙපි කමා කරනු ලැබූහු ද, කිම මහොසධයෝ තුටු වූහු ද? (තොරතුරු) මට කියව.
5893. මහරජ, හේ අනාර්‍ය්‍යස්වරූප ඇති පුරුෂයෙකි. සතුටු කථා නැත්තෙකි. උඩඟු වූවෙකි. අපණ්ඩිතස්වාභව ඇත්තේ ය. ගොළුවකු සේද බිහිරකු සේද කිසිත් නො තෙපළේ ය යි කේවට්ට කීය.
5894. රජ මෙසේ සිතයි. ඒකාන්තයෙන් මේ මන්ත්‍රපදය දක්නට ඉතා අපහසුය. නරවීරයා (මහෞෂධ) විසින් මෙහි යථාර්‍තය දක්නා ලද්දේ ය. ඒ එසේමැ යි. මා ගත වෙවුල යි. සියරට හැර කවරෙක් නම් තෙමේ මැ මෙරමා අතට පත්වන්නේ ද?
5895. (රජ) නුවණින් ඉතා උතුම් තැනට පත් යම් පණ්ඩිත කෙනෙක් වෙත් ද ඒ අප සදෙනාගේ ම අදහස සම වෙයි. මහෞෂධය, (පඤ්චාල නුවරට) යාම හෝ නො යාම හෝ මෙහි සිටීම හෝ පිළිබඳ වැ තෙපි දු අදහසක් ප්‍රකාශ කරව.
5896. (මහෞෂධ) මහරජ, චූළනීබ්‍රහ්මදත්ත රජ මහත් බල ඇත්තෙක, මහත් අනුභාව ඇත්තෙකැ යි දන්නෙහි. වැද්දකු දඩ මුවකු කරණ කොටගෙන අල්ලාගත් මුවකු මෙන් බ්‍රහ්මදත්තරජ ද ඔබ මරනු රිසි වෙයි.
5897. යම් සේ මත්ස්‍යයෙක් මසින් වැසුණු වක් වූ බිළිය ගිලීද, ඇමට ගිජු ඒ මත්ස්‍ය තෙමේ තමාගේ මරණය නො දකීද,
5898. එසේ මැ මහරජ, කාමයෙහි ගිජු වූ ඔබ ද මත්ස්‍යයා තමාගේ මරණය නො දන්නා සේ චූළනීරජුගේ දුව (පිළිබඳ කාරණය) නො දන්නාහු ය.
5899. ඉදින් ඔබ පඤ්චාල නුවරට යන්නහු නම් වහා සිය දිවි හරනහු ය. ගම්දොර මගටවන් මුවකු සේ මහත් බියට පැමිණෙන්නහු ය.
5900. (රජ) යම් කෙනෙක් මඞ්ගලාර්‍ත්‍ථයන් පිළිබඳවැ තා සමඟ කථා කළෝ ද ඒ අපි මැ මෝඩ කෙළතොල්ලෝ වෙමු. නඟුල් කෙළවර ගෙනැ වැඩුනා වූ තෝ කෙසේ නම් අන්‍ය (කේවට්ටාදි) පණ්ඩිතයන් සේ උත්තමාර්‍ත්‍ථයන් දන්නෙහි ද?
5901. යමෙක් මගේ රත්නලාභයට අන්තරාය පිණිස කථා කරයි ද ඒ මොහු ගෙලෙන් ගෙනැ මගේ රටින් නෙරවු.
5902. ඉක්බිති හෙතෙම (මහෞෂධ පණ්ඩිත) වේදේහ රජු වෙතින් ඉවත් වැ ගොස් පණිවුඩකරු වූ මාඪර නම් ගිරා පණ්ඩිතයන් ඇමති ය:
5903. යහළු රන්වන් පියාපත් ඇත්ත, මෙහි එව. මට එක් මෙහෙවරක් කරන්නෙහි ය. පඤ්චාල රජුට යහන් බලන එක් සැළලිහිණියක් ඇත.
5904. ඕ තොමෝ සියල්ලෙහි දක්‍ෂ වන්නී ය. ඇය රහසින් විචාරව. රජුත් කේවට්ටයාත් අතරැ (වන) සියලු මන්ත්‍රණ ඕ දන්නී ය.
5905. ස්වර්‍ණවර්‍ණ පක්‍ෂ පත්‍ර ඇති මාඪර නම් ගිරා පණ්ඩිතයා ද එසේ ය යි පිළිගෙන ශාරිකාව වෙතැ ගියේ ය.
5906. ගිරා පණ්ඩිතයා ද එතැනින් පිටත් වැ ගොස් ඉක්බිති රන් මැදිරියේ වෙසෙන මිහිරි සේ බෙණෙන ශාරිකාව ඇමතී ය:
5907. රන් මැදිරියේ වෙසෙන්නිය, තිගේ සුව කෙසේ ද? වෛශ්‍ය කුලයෙහි උපන්න, කිම නිරෝග වැ වෙසෙන්නී ද? රන් මැදිරියේ වෙසෙන තී මී මුසු විලඳ ලබන්නී ද?
5908. (සැළලිහිණිය) යහළු, මම සුවසේ ද නිරෝග වැ ද වෙසෙමි. තවද, ගිරා පණ්ඩිතය, මට විලඳ හා මී ද ලැබේ.
5909. යහළු, තෙපි කොහි සිට පැමිණ සිටින්නහු ද, කවුරුන් විසින් එවන ලද්දහු ද, මින් පෙරැ තෙපි දක්නා ලද හෝ අසන ලද හෝ නො වෙමි.
5910. (ගිරාපණ්ඩිත) මම සිවිරජුගේ ප්‍රාසාදයෙහි ශයන පාලකයා වීමි. ඒ දැහැමි රජ බැඳුම්හි සිටියවුන් බැඳුමින් මිදී ය.
5911. පියබස් බෙණෙන එක් සැළලිහිණියක් මට බිරිඳ වූවා ය. මා රන්මැදිරියේ බලා සිටිය දී ම ඕ උකුස්සකු විසින් මරණ ලද්දී ය.
5912. ඈ පිළිබඳ කාමයෙන් මත්වූයෙමි. තී සමීපයට ආයෙමි. ඉදින් අවසර ලබන්නෙමි නම් අපි දෙදෙන එක් වැ වසමු.
5913. (සැළලිහිණිය) ගිරවා ගිරවියක ද, සැළලිහිණියා සැළලිහිණියක ද කැමැති වන්නේ ය. ගිරවකු හා සැළලිහිණියක අතරැ කෙබඳු සංවාසයෙක් ද?
5914. කාමියෙක් යමක කැමැත්තේ නම් ඇය සැඩොලක වුව ද කැමැති වන්නේ ය. තවද කාම සේවනයෙහිදී සියල්ලෝ මැ සම වන්නෝ ය. අසමානයෝ නැත්තාහ යි ගිරා පණ්ඩිත කීය.
5915. සිවි රජුගේ මවු තොමෝ ජම්බාවතී නම් සැඩොලක් වූවා ය. ඕ කෘෂ්ණගෝත්‍රයේ උපන් වාසුදේව රජුගේ ප්‍රිය බිරිඳ ද අගමෙහෙසිය ද වූවා ය.
5916. පෙරැ රථාවතී නම් කිඳුරියක් වූවා ය. ඕ තොමෝ වච්ඡ නම් තවුසකු කැමැති කරවාගත්තා ය. මනුෂ්‍යයෙක් තිරිසනක සමග වාසය කළේ ය. කාමයෙහි අසමානබවක් නැත.
5917. මිහිරිබස් ඇති ශාරිකාව, එසේ නම් මම යන්නෙමි. මේ සියල්ල තී හැර දැමීමට කරුණු ය. තෝ මා ඉක්මවා සිතන්නෙහි.
5918. (සැළලිහිණිය) ගිරා පණ්ඩිතය, ඉක්මන් තැනැත්තාට ශ්‍රී තොමෝ දුරු වන්නී ය. එ නිසා රජු දක්නා තෙක් මෙහි රැඳෙව. මිහිඟු බෙර හඬ අසන්නෙහි ය. රජුගේ අනුභාව දක්නෙහි ය.
5919. (ගිරාපණ්ඩිත) පඤ්චාලරජුගේ, ඕසධීතාරකාව සේ රුසිරින් වොරඳනා දූකුමරිය වේදේහරජුට දෙන්නේ ය යන මහත් ඝෝෂාවක් පසල්දනවුවල දී අසන ලද්දේය. ඒ විවාහය සිදුවන්නේ ද?
5920. (සැළලිහිණිය) මාඪරය, යම් සේ වේදේහ රජු හා පඤ්චාලරජුගේ මෙන් තොපගේ පසමිතුරන් අතරැ හෝ එබඳු විවාහයෙක් නො වේවා.
5921. පඤ්චාලරජ වේදේහ රජු මෙහි ගෙන්වා නසන්නේ ය. වේදේහරජු සමග මිතුරු බවක් නම් නො වන්නේ ය.
5922. (ගිරාපණ්ඩිත) ශාරිකා සමීපයෙහි විසීමට මා අවස්ථාව ලදැ යි සිවිරජුට හා මෙහෙසියට දන්වා එනතෙක් සත් රැයකට මට අවසර දෙව.
5923. එසේ නම් ම විසින් අනුමත කළ තොප සත් රැයකින් (ආපසු) මා වෙත නො පැමිණියහොත් මගේ මළගමට පැමිණෙන්නට ලැබෙන්නේ යැ යි සිතනු යි ශාරිකා කීය.
5924. ඉක්බිති මාඪර නම් ගිරා පණ්ඩිත තෙමේ එතැනින් පිටත් වැ ගොස් ශාරිකාවගේ වචනය මහෞෂධ පණ්ඩිතයනට කීයේ ය.
5925. යමකුගේ ගෘහයෙහි සම්පත්තීන් අනුභව කරන්නේ නම් සත්පුරුෂතෙමේ ඔහුගේ මැ අර්‍ත්‍ථය උදෙසා ක්‍රියා කරන්නේ ය.
5926. මහරජ, එසේනම් මම පළමු කොට යශස් ඇති වේදේහ රජුට (ඔබට) නිවෙස් තැනීමට පඤ්චාලරජුගේ රමණීය පුරවරයට යන්නෙමි.
5927. මහරජ, ඉසුරුමත් වේදේහයනට නිවෙස් මවා යම් දිනෙක ඔබට පණිවුඩයක් එවන්නෙම් ද එකලැ එහි පැමිණෙනු මැනැවි.
5928. ඉසුරුමත් වේදේහ රජුට නිවෙස් තැනීමට මහෞෂධ පඬිතුමා පළමුව පඤ්චාල රජුගේ රමණීය පුරවරයට ගියේ ය.
5929. වේදේහරජුට නිවෙස් සාදා ඉක්බිති වැ “මහරජ ඔබට නිවෙස් මැවීමි. පැමිණෙනු මැනැවැ” යි (මිථිලාධිපති වේදේහ රජුට ) පණිවුඩකරුවකු යැවී ය.
5930. ඉක්බිති වේදේහ රජ තෙමේ සිවුරඟ සෙනඟ සමග අප්‍රමාණ වූ අශ්වාදී සේනාවන් ඇති සමෘද්ධිමත් කම්පිල්ලිය නගරය දක්නා පිණිස පිටත්විය.
5931. ඉක්බිති වේදේහරජ එහි ගොස් “මහරජ ඔබගේ පා වැඳුමට ආයෙමි” යි බඹදත්රජුට හසුන් යැවී ය.