Jātaka

Birth Stories

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-29 · 7679 segments

පෙන්වන කොටස් 6501-6600 න් 7679

5745. නාරදුනි, ඒකාන්තයෙන් පුරුදු කළ උතුම් සත්පුරුෂයන්ගේ ස්වභාවයක් කියව. මෙවැනි විපත් පැමිණි සඳෙහි මාවැනි පැණවතුන්ගේ වෙනස පෙනේ.
5746. පඬිතුමනි, පූර්‍ණකයා තොප මුදල් වියදමකින් තොරව ලබා ගත්තේද? දූකෙළි කෙළ දිනා ගත්තේ ද? මෙතෙමේ පඬිතුමා දැහැමින් ලද බව කියයි. තෙපි මොහු අතට කෙසේ පත්වූවහු ද?
5747. මට අධිපති යම් රජෙක් වී ද, මෙතෙම දූකෙළියෙහි දී ඔහු පැරදවීය. පැරදි රජ තෙම මොහුට මා දුන්නේ ය. ඒ හේතුවෙන් අසාහසික ව දැහැමි ව ලබන ලදිමි.
5748. මහා නාගරාජයා පඬිතුමාගේ බස් අසා තුටුපහටු වැ අලාමක ප්‍රඥා ඇති ඔහුගේ අත අල්ලා ගෙන බිරිඳ සමීපයට ගියේය.
5749. විමලාවෙනි, යම් හෙයෙකින් (තොප ගත) පඬු පැහැ වී ද, ආහාර අරුචි වී ද, මෙවැනි ගුණවැණුම් ඇතියකු කිසිතැනෙක නැත. මේ ඒ අඳුරු දුරලන විධුර පඬිතුමා වේ.
5750. යමකුගේ හදවතින් තොපට ප්‍රයෝජන ඇත්තේ ද ඒ ප්‍රභාකර පඬිතුමා මේ පැමිණියේය. ඔහුගේ කතා අසව. යළි මොහු දැකුම දුලබ වේ.
5751. විමලා නම් නාගකන්‍යාව මහපැණැති ඔහු දැක උපන් සොම්නස් ඇතිව දසනඛසමෝධානයෙන් යුතුව කුරුරට වාසීන්ගේ උතුම් පඬිතුමාට මෙසේ කීය.
5752. මනුෂ්‍ය වූ තෙපි නුදුටු විරූ නාග භවනය දැක විෂ්මිත වැ මරණ බියෙන් පීඩිතවැ නො වඳියි. මේ කරුණ ප්‍රාඥයනට සුදුසු නො වේ.
5753. නාමෙණෙවියනි, මම විෂ්මිත වූයෙම් නො වෙමි. මරණ බියෙන් පීඩිතයෙම් නො වෙමි. වධයට පැමිණියේ නො වඳින්නේ ය. වධයට පැමිණියාහු ලවා නො වඳවන්නේය.
5754. මනුෂ්‍යයෙක් යමකු නසනු කැමැත්තේ නම් (එකල්හි) ඔහුට වඳින්නේ කෙසේද? ඔහු ලවා වන්‍දවා ගන්නේ කෙසේද? ඒකාන්තයෙන් මේ ක්‍රියා යුතු නො වෙයි.
5755. පඬිතුමනි, තෙපි යම්සේ කියවු ද, මෙය මෙසේය. තෙපි සත්‍යයක් කියහු. වධයට පැමිණියේ නො වඳින්නේය. වධයට පැමිණියහු ලවා හෝ නො වඳවන්නේය.
5756. මනුෂ්‍යයෙක් කෙනකු නසන්නට කැමැත්තේ නම් (වධාර්‍හයා) වඳින්නේ කෙසේද? ඔහු ලවා වන්‍දවාගන්නේ කෙසේද? ඒකාන්තයෙන් ඒ ක්‍රියා යුතු නො වෙයි.
5757. නාමෙණෙවියනි, තාවකාලික ඔබගේ මේ විමානය නාගඍද්ධිය නාගතේජස කායික හා චෛතසික බල නාලොවැ උපත (යන මේවා) බොහෝ කල් පවත්නා සේ සිතා පව්කම් නො කරන්න. මේ විමන කෙසේ ලබනලදදැ යි විතාරමි.
5758. නාමෙණෙවියනි, මේ විමන හේතු රහිතව ලද්දක් ද? නැතහොත් ඍතු විපර්‍ය්‍යාසයක් නිසා හටගැනුණක් ද? එසේත් නො වේ නම් තමාම සාදන ලද්දක් ද? නැතහොත් දේවදින්න ද? ඔබ ලද විමන, ලද හේතුව මට කියන්න.
5759. (පඬිතුමනි,) මේ විමන මා විසින් අහේතුක ව ලැබූවක් නො වෙයි, ඍතු විපර්‍ය්‍යාසයක් නිසා ලද්දේ ද නො වෙයි, තමා ම සාදා ගන්නාලද ද නො වෙයි, දෙවියන් විසින් දෙන ලද්දේ ද නො වේ. මා කළ ලාමක නො වන පුණ්‍යකර්‍ම බලයෙන් ලබන ලද්දේ වෙයි.
5760. නාමෙණෙවියනි, පෙර භවයෙහි කවර ව්‍රතයක් පුරුදු කරන ලද ද? කිනම් බ්‍රහ්මචර්‍ය්‍යයක් පුරන ලද ද? මෙය මොනොවට පුරුදු කළ කවර කර්‍මයක විපාකයෙක් ද? නාගඍද්ධිය, නාග තේජස, කායික හා චෛතසික බලය ද නාලොව උපත ද මේ මහා විමානය ද කෙසේ ලද්දේ ද?
5761. පඬිතුමනි, පෙරැ මිනිස් ලොව දී මම ද මාගේ ස්වාමිපුරුෂ ද යන අපි දෙදෙන ශ්‍රද්ධා ඇති දානපතීහු වීමු. මාගේ නිවෙස එකල පැන්හලක් වැන්න, අපි මහණ බමුණන් සන්තර්‍පණය කෙළෙමු.
5762. මල්දම් සුවඳවිලවුන් පහන් දැල්වීමට අවශ්‍ය දෑ ඇඳ පුටු නිවාස වස්ත්‍ර හා ආහාරපාන එහි දී (මනුෂ්‍යලෝකයේ දී) සකස් කොට පිදීමු.
5763. පඬිතුමනි, එය මාගේ ව්‍රතසමාදානය යි. එය මාගේ බඹසර යි. මනාසේ පුහුණු කළ කුශල කර්‍මයන් නිසා නාග ඍද්ධිය නාගතේජස නාගබලය කායික චෛතසික වීර්‍ය්‍යය නාලොව උපත හා මාගේ මහාවිමානය යන මේවා ලබන ලදි.
5764. මෙසේ මේ විමන ලද තොප පුණ්‍ය කර්‍මයන්ගේ ඵලවිපාක දන්නහු ය. ඔබ නැවත මෙම විමනෙහි වසන්නහු නම්, අප්‍රමාද ව කුශලක්‍රියාවන්හි හැසිරෙන්නහුයි බෝසතාණන් වහන්සේ කීහ.
5765. පඬිතුමනි, යම් කෙනකුන්ට ආහාරපාන දෙමු නම්, එබඳු (ගැනීමට සුදුසු) මහණ බමුණෝ නාලොව නැත්තාහ. අපි යළි මේ විමනෙහි වසමු ද එබඳු අයුරක් මේ කරුණ විචාරණ මට කියනු මැනවි.
5766. නාමෙණෙවියනි, ඔබට මෙහි උපන් පුත්‍රයෝ ද ස්වාමිපුරුෂයා ද සේවකයෝ ද ඇතියහ. ඔවුන් කෙරෙහි වචනයෙන් ද ක්‍රියායෙන් ද ද්වේෂ නො කරන්න.
5767. නාමෙණෙවිය, තෙපි වචනයෙන් හා කර්‍මයෙන් (ක්‍රියායෙන්) මෙත් සිත් රකිමින් දිව්හිමියෙන් මෙහි (මේ විමනේ) සිට මෙයින් ච්‍යුත වැ දෙව්ලොවට යන්නහු ය.
5768. පඬිතුමනි, ඔබ යමකුට ඇමැති වී ද ඒ ශ්‍රේෂ්ඨ රජ තෙම ඔබෙන් වෙන් ව (වෙන්වීම නිසා) ඒකාන්තයෙන් ශෝක කෙරෙයි. දුකට පැමිණියේ නමුදු දැඩි ගිලන් පුරුෂ තෙමේ ඔබ හා එක් වැ සැප ලබන්නේ ය.
5769. නාමෙණෙවියනි, ඒකාන්තයෙන් පුරුදු කළ උතුම් සත්පුරුෂයන්ගේ ස්වභාවයක් කියව. මෙවැනි විපත් පැමිණි සඳ මා වැනි පැනවතුන්ගේ වෙනස පෙනේ.
5770. පඬිතුමනි, පූර්‍ණකයා ඔබ මුදල් වියදමකින් තොරව ලබා ගත්තේ ද? දූකෙළියෙන් දිනා ගත්තේ දැයි කියව, මෙතෙමේ, (ඔබ) දැහැමින් ලද බව කියයි. ඔබ මොහු අතට පත්වූයේ කෙසේ ද?
5771. මට අධිපති යම් රජෙක් එහි (කුරුරට) වී ද, මෙ තෙම දූකෙළියෙහි දී ඔහු පැරැද විය. පැරදුණ රජ තෙම මොහුට මා දුන්නේ ය. අසාහසික ව දැහැමින් (ඔහු විසින්) ලද්දේ වෙමි.
5772. වරුණ නාගරාජයා යම් මැ ප්‍රශ්නයක් විධුර පඬිතුමාගෙන් ඇසී ද, (ඉරන්‍දති) නාග කන්‍යාව ද එම ප්‍රශ්නය විධුර පඬිතුමාගෙන් ඇසුවා ය.
5773. පුළුවුස්නා ලද පණ්ඩිත තෙම වරුණ නාරද යම්සේ සතුටු කෙළේ ද එසේ ම නාගකන්‍යාව ද සතුටු කෙළේ ය.
5774. පණ්ඩිත තෙම, නාරජු හා නාමෙණෙවිය යන දෙදෙන ම සතුටු සිතැති බව දැන බිය රහිත වූයේ ලොමුදහගැනීම නැති ව වරුණ නාරජුට මෙලෙස කී ය:
5775. නාරජතුමනි, මිත්‍රද්‍රෝහි ක්‍රියාවක් කරමි යි නහමක් පැකිළෙව. ඒ මම වෙමි. හදවතින් හෝ මසින් හෝ යමකින් තොපට ප්‍රයෝජන ඇද්ද මේ සිරුර ඒ කිස කෙරෙයි. තොපගේ සිතැඟි පරිදි මම ක්‍රියා කරන්නෙමි.
5776. පණ්ඩිතයන්ගේ ප්‍රඥාව මැ හදවත යි. ඒ අපි තොපගේ ප්‍රඥාවෙන් තුටුපහටු වූම්හ. දැන් පූර්‍ණක ද බිරිය ලබයි. හෙතෙම, අද ම තොප කුරුරට වාසීන් වෙතට පමුණුවාවා!
5777. පූර්‍ණක යක්‍ෂ තෙමේ ඉරන්‍දතිය ලදින් ඔද වැඩුණු සිතැත්තේ කුරුරටවාසීන්ගේ ශ්‍රේෂ්ඨ ඇමැතිහට මෙසේ කීය:
5778. පඬිතුමනි, තෙපි මා හා බිරිඳ සමඟි කළහු ය. මමත් තොපට කළමනා දැයක් කරමි. පඬිතුමනි, තොපට මේ මාණික්‍ය රත්නය දෙමි. අද ම තොප ඉඳිපත් නුවරට පමුණුවමි.
5779. කාත්‍යායන ය, තොපගේ ප්‍රිය භාර්‍ය්‍යාව හා සමග තෙල ප්‍රියසංවාස සංවේතන මෛත්‍රිය අනෙකකු විසින් නොදිනිය හැකි වේවා තොප සතුට ම ධනය කොට ඇත්තෙක් වැ සොම්නස් සිතැත්තේ ප්‍රීතිමත් වැ වෙසේවා! මිණිරුවන දී මා ඉඳිපත් නුවරට පමුණුවව.
5780. පූර්‍ණක යක්‍ෂයා කුරුරට වාසීන්ගේ ඇමැති විධුරපඬි ඉදිරි අසුනෙහි හිඳුවා ගත්තේ ය. අලාමක ප්‍රඥා ඇති විධුර පඬිතුමා රැගෙන ඉඳිපත් නගරයට පැමිණවී.
5781. මිනිසාගේ සිත යම්සේ වහා ගමන් කරන්නේ ද එයට වඩා වේගයෙන් මනෝමය සෛන්‍ධවයාගේ ගමන සිදුවිය. පූර්‍ණකතෙමේ කුරුරට වැස්සන්ගේ ඇමැති ඉඳිපත් නුවරට පැමිණවී.
5782. පඬිතුමනි, තෙල ඉඳිපත් නගරය පෙනේ. සිත්කලු අඹ උයන්හි කොටස් ද පෙනේ. මම ද බිරිය හා එක් වීමි. තෙපිදු සිය නිවෙසට පැමිණියහු.
5783. පූර්‍ණක යක්‍ෂයා කුරුරට ඇමැතිවරයා ධර්‍මසභායෙහි බස්වා අලාමක පෙණුමැති හේ ආජානේය අසු පිට නැගී අහසින් ගියේ ය.
5784. රජ තෙම පඬිතුමා දැකැ ඉතා ප්‍රමුදිත වැ (අස්නෙන්) නැගීසිට බුහුමන් පෙරදැරිව පිළිගෙන, අකම්පිත වූයේ ධම්සභා මධ්‍යයෙහි සැරැසූ ධර්‍මාසනයෙහි (තමා) අබිමුවෙහි (රජතුමාට මූණලා) හිඳුවී ය.
5785. රියැදුරු සැරහූ රිය (යුතු තැනට) පමුණුවන්නා සේ, තෙපි අප යහපත් කටයුත්තෙහි පමුණුවන්නහු, කුරුරට වාසීහු තොපගේ දැකුමෙන් ප්‍රීත වෙති. විතාරණ මේ කරුණ මට කියනු මැනැවි. ඒ මාණවකයාගෙන් තොපගේ මිදීම සිදුවූයේ කෙසේ ද?
5786. රජතුමනි, යමකුට මාණවකයා යයි කීවේ ද හේ මිනිසෙක් නො වේ. නරවිරුවාණෙනි, ඔබ පූර්‍ණක නමැති යකා (ගැන) අසා තිබේ ද හේ කුවේර රජුගේ ඇමැතියා යි.
5787. භූමින්‍ධර නාග භවනයෙහි වසන වරුණ නාගරාජයා විශාල ය, පවිත්‍ර ය, පැහැපත් ය, බලවත් ය. ඔහුගේ අනුජාන දූහිතෘ වූ ඉරන්‍දති නමැති නාගකන්‍යාව (ලබන්නට) පූර්‍ණක කැමැති විය.
5788. මනා මැද පෙදෙස ඇති ඒ ප්‍රියාව බලාපොරොත්තුවෙන් හේ මා මරන්නට වෑයම් කෙළේ ය. හේ බිරිඳ හා සමහන් විය. නාරදුගේ අනුමැතිය ලැබැ මම ද ආයෙමි. මා මේ මැණික ලද්දේ ය. (රජ රටවැසියන්ට මෙසේ කියයි:)
5789. රජ මැදුර අබියස හටගත් රුකක් මා විසින් සීනෙන් දකිනලද ය. එම රුකැ නුවණ නමැති කඳ ඇත. සීලය නමැති අතු ඇත. උභයලෝකාර්‍ත්‍ථ සිද්ධිය ගෙන දෙන ඒ ප්‍රඥා නමැති රුක පස්ගෝරස නමැති ඵල දරන්නේ ය. ඇතුන් හා අසුන් ගවයන්ගෙන් යුක්ත ය.
5790. මහජනයා නැටුම් ගැයුම් වැයුම් (ඈ පුද විසින්) පවත්වද්දී එක්තරා පුරුෂයෙක් (මහාජනයා පලවාහැර) මේ ගස කපා ගෙන ගියේ ය. ඒ නැණ රුක අප වෙත යළි ආයේය. තෙපි මේ රුකට පුද සත්කාර කරව්.
5791. යම්කිසි කෙනෙක් මාගේ උපකාර ලැබ සතුටු වෙත් ද අද ඒ සියල්ලෝ ම සිය සතුට පහළ කෙරෙත්වා! මේ රුකට මහත් පූජා සත්කාර කොට බුහුමන් කරවු.
5792. මාගේ රාජ්‍යයෙහි බන්‍ධනගත යම් සත්ත්‍ව කෙනෙක් වෙත් ද ඒ සියල්ලෝ බන්‍ධනයෙන් මුදත්වා! යම්සේ මේ පඬිතුමා මිදුණේ ද, එසේ හැම සත්හු ද බැඳුම්වලින් මුදනු ලබත්වා!
5793. මේ මාසය මුළුල්ලෙහි නඟුල් (කුඹුරෙන් ගොඩ ගෙන) තැන්පත් කොට තබත්වා! බමුණෝ මස්රසැති ව බත බුදිත්වා! මත්පැන් බොන්නෝ පානාගාරයෙහි සිට පිරී උතුරායන ඔඩම් වලින් රිසිසේ මත්පැන් බොත්වා!
5794. මහමඟැ අසල සිටින වෙසඟනෝ නිතර සළෙලුන් කැඳවත්වා! යම්සේ මහජනයා ඔවුනොවුන් නො පෙළත් ද එසේ දැඩි ආරක්‍ෂා සංවිධාන කෙරෙත්වා! මෙ අයුරින් මේ රුකට ගරුබුහුමන් කරවු.
5795. ඇතොවුර ස්ත්‍රීහු ද කුමාරවරු ද වෛශ්‍යයෝ ද බමුණෝ ද බොහෝ ආහාරපාන පඬිතුමාට යැවූහ.
5796. ඇතරුවෝ යැ අසරුවෝ යැ රථිකයෝ යැ පාබළ සේනා යැ යන මොහු පඬිතුමාට බොහෝ ආහාරපාන යැවූහ.
5797. රැස් වූ දනවුවැස්සෝ ද නියම්ගම්වැස්සෝ ද පඬිතුමාට ආහාරපාන යැවූහ.
5798. පැමිණි පඬිතුමා දැක බොහෝ දෙන සතුටු වූහ. පඬිතුමා යළි පැමිණි කල්හි පිළී හිසැ සිසාරා ඔකඳ වූහු.
අටවන විධුරපණ්ඩිත ජාතක යි.
9. උම්මග්ග ජාතකය
5799. සර්‍වසංහාරක ගන්‍ධයෙක් නම් නැති. පිරිසුදු පුවඟු මල් සුවඳ හමයි. මේ ධූර්‍තස්ත්‍රී බොරු කියයි. මැහැල්ල සැබෑවක් කිවු.
සත්දරු පැනය.
5800. රාජශ්‍රේෂ්ඨය, ඔබ පියා පුතුට වඩා උතුම් ය යි හඟින්නහු නම් ඔබගේ අශ්වතරයාට වඩා මේ කොටළුවා ම උතුම් වන්නේ ය. අශ්වතරයාගේ පියා කොටළුවා වන බැවිනි.
ගද්‍රභ පැනය.
එකුන්විසි පැන නිමි.
5801. මහෞෂධ පණ්ඩිතය, තොරණ අගැ වසන මේ කටුසු තෙමේ පෙරැ මෙසේ මාන ඇත්තේ නො වෙයි. කිනම් කරුණෙකින් කටුසු තෙමේ (මානයෙන්) තද වූයේ දැ යි දනුව.
5802. පෙරැ නො ලද විරූ අඩ මස්සක් ලැබ මේ බොහොඬා විදේහයෙහි මිථීලාපුර අගරජු ඉක්මවා සිතයි.
කකණ්ටක පැනය.
5803. යම් ස්ත්‍රියක් අතිශය රූප සම්පත් ඇත්තී ද ආචාර ශීලයෙන් යුක්ත වන්නී ද වෙයි. එබඳු ස්ත්‍රියක යම් පුරුෂයෙක් නො පතයි නම් මහෞෂධය, මෙය තෙපි හදහන්නහු ද?
5804. මහරජ, මම එය හදහමි, පුරුෂයා භාග්‍ය නැත්තෙකි. ශ්‍රීකාන්තාවත් කාලකණ්ණියාත් කිසි කලෙකත් එක් නො වන්නාහ.
සිරිකාලකණ්ණි පැනය.
5805. මේ ලොවැ කිසි කලෙකත් සත් පියවරෙකුදු එක් වැ කළ ගමන් නැති පසමිතුරු දෙදෙනෙක් පෙරැ නො වූ විරූ ලෙසින් එක් වැ හැසිරෙත් නම් ඊට හේතු කවරේ ද?
5806. ඉදින්, අද පෙරබත් කාලයෙහි මේ පැනයට පිළිතුරු සපයන්නට අසමත් වන්නහු නම් තොප සියලු දෙන ම රටින් නෙරපන්නෙමි. නුවණ නැත්තන්ගෙන් මට ප්‍රයෝජනයක් නැත්තේ ය.
5807. මහාජනයා රැස් වූ කල්හි මහත් වූ ජන කෝලාහල ඇති කලැ විසිරුණු සිත් ඇත්තමෝ නොයෙක් සිතිවිලි ඇත්තමෝ මේ පැනයට පිළිතුරු සපයන්නට නො පොහොසතුම්හ.
5808. මහරජ, පණ්ඩිතයෝ ඒකාග්‍ර වූ චිත්තයෙන් යුක්ත වැ එකිනෙකා රහෝගත වැ විවේකයෙහි සිටියාහු අරුත් සලකා නිශ්චය කොට කියන්නට සමත් වන්නාහ.
5809. (සේනක) රජ ඇමති පුතුනට එළුමස ප්‍රිය මනාප වෙයි. ඔහු ශුනක මස් නො බුදිත්. එතෙකුදුවත් එළුවාගේත් ශුනඛයාගේත් මිත්‍රභාවය වන්නේය.
5810. (පුක්කුස) අසු පිටැ ඇතිරීමෙහි සුවය සලකා එළුවාගේ සම නහන්නාහ. බලු සම එසේ නො අතුරත්. එකලැ ශුනකයාගේ හා එළුවාගේ මිත්‍රභාවය වන්නේ ය.
5811. (කාවින්‍ද) එළුවා ඇඹරීගිය අං ඇත්තෙකි. ශුනකයාට විපාණයෝ නැත්තාහ. එළුවා තණ කන්නේ ය. බල්ලා මස් බුදින්නේ ය. එතෙකුදුවත් එළුවාගේත් බල්ලාගේත් මිත්‍රභාවය වන්නේ ය.
5812. (දේවින්‍ද) එළුවා තණ හා කොළ කන්නේ ය. බල්ලා තණ හා කොළ නො කන්නේ ය. බල්ලා සාවුන් බළලුන් කයි. එතෙකුදුවත් එළුවාගේත් බල්ලාගේත් මිත්‍රභාවය වන්නේය.
5813. (මහෞෂධ) අඩඅටපා හෙවත් සිවුපා ඇති අට කුරින් යුත් එළුවා මස් ගෙනෙන වේලෙහි නො පෙනී සිට බල්ලාට මස් ගෙනෙයි. බල්ලා එළුවාට තණ ගෙනෙ යි.
5814. ප්‍රාසාදයෙහි මතුමහලැ සිටි වේදේහරජ ඔවුනොවුන්ගේ අහර හුවමාරුව දුටුයේ වන, නරේන්‍ද්‍ර තෙමේ බල්ලාගේත් එළුවාගේත් මිත්‍රභාවය ප්‍රත්‍යක්‍ෂයෙන් දිටී.
5815. (වේදේහ රජ) නුවණැත්තෝ ගැඹුරු බවට ගිය සියුම් අරුත් දැනැ සුභාෂිතයෙන් පවසත් ද. මෙබඳු පඬිවරයෝ යම්බඳු වූ මාගේ කුලයෙහි වෙසෙත් ද මට ඒකාන්තයෙන් වූයේ මහත් ලාභයෙකි.
5816. සුභාෂිතයෙන් ඉතා සතුටු වූයෙම් පණ්ඩිතයන් වූ තොපට වෙළඹුන් යෙදූ රියක් ද සශ්‍රීක වූ ග්‍රාමයක් ද බැගින් දෙමි.
(ද්වාදශ නිපාතයෙහි) මෙණ්ඩක ප්‍රශ්නය යි.
5817. සේනකය, “ප්‍රඥාවෙන් යුක්ත සම්පත්තියෙන් තොර වූයේ ද සම්පත්තියෙන් යුක්ත ප්‍රඥාවෙන් තොර වූයේ ද යන මොවුන් දෙදෙනා අතුරෙන් නුවණැත්තෝ කවරකු උතුම් කොට සලකන්නාහු දැ” යි මෙහි අරුත් පුළුවුස්මි.
5818. (සේනක) මහරජ, නුවණ ඇත්තෝ ද නුවණ නැත්තෝ ද සිප් හැදෑරුවෝ ද නො හැදෑරුවෝ ද සුජාතිමත්හු ද හීනජාති ඇති සම්පත් ඇත්තාගේ මෙහෙකරුවෝ වෙත්. මේ කරුණ දැක මම නුවණැත්තේ හීනය යි ද සම්පත්තියෙන් යුක්ත වූයේ ම උතුම් යයි ද කියමි.
5819. මහාප්‍රාඥ වූ සියලු ධර්‍ම දක්නා වූ මහෞෂධය, තොප පිළිවිසිමි. අඥාන වූ එහෙත් සම්පත් ඇත්තා වූ ද ප්‍රඥාවෙන් යුක්ත වූ එහෙත් අල්පභෝග ඇත්තා වූ ද දෙදෙන අතුරෙන් කවරෙක් වඩා උතුමැ යි නුවණැත්තෝ කියත් ද?
5820. (මහෞෂධ) මෙලෝ සම්පත් මැ උතුමැ යි සලකන බාලයා පව්කම් කරයි. මෙලොව දක්නා වූ පරලොව නො දක්නා වූ අඥානයා දෙලොවින් මැ පැරැදෙයි. මේ කාරණය දැකැ නුවණැත්තේ ශ්‍රේෂ්ඨ යැයි ද යශසින් යුක්ත වූ ඥානයෙන් හීන වූයේ ශ්‍රේෂ්ඨ නො වේ යැ යි ද මම කියමි.
5821. (සේනක) මේ සිප්සතර භෝගයන් නො එළවයි. (එයින්) ඥාතීහු ද නො වෙත්. ශරීරාවකාශයෙක් ද නො වේ. කෙළතොලු වැ සුව විඳිනා ගෝරිමන්‍ද සිටාණන් බැලුව මැනැව. ශ්‍රී තොමෝ ඔහු සේවනය කරයි. මේ දැකැ නුවණැත්තේ ශ්‍රේෂ්ඨ නො වේ. අඥාන වූ සම්පත් ඇත්තා මැ උතුමැ යි කියමි.
5822. (මහෞෂධ) අල්ප ප්‍රාඥයා ඉසුරු සුවය ලැබ එහි ඇලේ. දුඃඛ ස්පර්‍ශයෙන් අතිශය මුළාවට පැමිණේ. ආගන්තුක සුව දුකින් පහස්නා ලද්දේ අව්වෙහි ලූ මසකු සෙයින් සැලේ. මම මේ කරුණ දැක නුවණැත්තේ ම උතුම් වේ. ඉසුරුමත් බාලයා උතුම් නො වේ ය යි කියමි.
5823. (සේනක) වනයෙහි මිහිරි ඵලයන්ගෙන් යුක්ත වූ වෘක්‍ෂය හාත්පසැ යම්සේ පක්‍ෂීහු හැසිරෙත් ද එසේ මැ ආඪ්‍ය වූ ධනයෙන් හා භෝගයෙන් යුක්ත පුද්ගලයා ද ධනය නිසා බොහෝ දෙන සේවනය කරති. මේ කරුණ දැකැ මම ප්‍රඥා ඇත්තේ හීන ය. යශස් ඇත්තේ මැ උතුමැ යි කියමි.
5824. (මහෞෂධ) බලවත් වූ බාලයා යහපත් නො වේ. හේ සැහැසිකමින් ධනය ලබයි. වලප්නා වූ මැ ඒ මෝඩයා (නිරය පාලයෝ) මහානිරයට පමුණුවත්. මම මේ කරුණ දැකැ නුවණැත්තේ මැ උතුම් වෙයි. ඉසුරුමත් බාලයා උතුම් නො වේ ය යි කියමි.
5825. (සේනක) යම් කිසි කුඩා නදීහු මහගඟ කරා ගලා බසිද් ද ඒ සියල්ලෝ පෙරැ නම් ගොත් හැරැ දමත්. (ගඟ යන වහරටම යෙති ) ගඟ මුහුදට වදනා කල ද පෙර නම නො පැනෙයි, (මුහුද යන නම ලබයි). ඒකාන්තයෙන් ලෝ වැස්සෝ සම්පත්තිය මැ පිහිට කොට ඇත්තාහ. මම මේ කරුණ දැකැ නුවණැත්තේ නිහීන ය. සම්පත් ඇත්තේ මැ උතුමැයි කියමි.
5826-5827. (මහෞෂධ) තෙපි යම් මේ මහාසාගරයක් ගැන කීහු ද එයට අප්‍රමාණ කාලයක් මුළුල්ලේ නදීහු ගලා බසිත්. ඒ සාගරය නිරතුරු මහත් වූ රළවේග ඇත්තේ ය. එහෙත් මහ සයුර වෙරළ නො ඉක්මව යි. එබැවින් බාලයාගේ කථාවෝ ප්‍රාඥයා නො ඉක්මවති. කිසි කලෙකත් සම්පත්තිය ප්‍රඥාව ඉක්මවා නො යයි. මම මේ කරුණ දැකැ ප්‍රාඥයා මැ උතුම් වෙයි. ඉසුරුමත් බාලයා උතුම් නො වේ ය යි කියමි.
5828. (සේනක) කායාදීන්හි සංයමයක් නැත්තේ ද ඉසුරුමත් තැනැත්තේ අධිකරණයෙහි සිටියේ මෙරමාගේ අර්‍ත්‍ථය ප්‍රකාශ කෙරෙයි, (ඒ විනිශ්චය මණ්ඩලයෙන්) ඥාතිමධ්‍යයෙහි ඔහුගේ මැ වචනය පිළිගැනෙයි. එය සම්පත්තිය මැ කරවයි. ප්‍රඥාව නො වේ. මම මේ කරුණ දැකැ නුවණැත්තේ හීන ය. යශස් ඇත්තේ මැ උතුම් වන්නේ ය යි කියමි.
5829. (මහෞෂධ) මන්‍දප්‍රාඥ බාලයා තමා හෝ මෙරමා හෝ උදෙසා මුසවා කියයි. සබා මැදැ නින්‍දා ලබන හේ පරලොවැ දුගතිගාමී වෙයි. මම මේ කරුණ දැකැ නුවණැත්තේ මැ උතුම් වන්නේ ය. ඉසුරුමත් බාලයා උතුම් නො වන්නේ ය යි කියමි.
5830. (සේනක) සහල් නැළියක් පමණකුදු නැති නිර්ධන දිළිඳු මහනුවණැත්තේ ඉදින් යම් අර්‍ත්‍ථයක් කියන්නවුන් ඔහුගේ ඒ වචනය නෑයන් මැද නො නැඟෙන්නේ ය. ශ්‍රිය ද නුවණැත්තාට නො වේ. මම මේ කරුණ දැකැ නුවණැත්තේ නිහීන ය. ඉසුරුමත් තැනැත්තේ මැ උතුම් වන්නේ ය යි කියමි.
5831. (මහෞෂධ) තමාගේ හෝ මෙරමාගේ හෝ ප්‍රයෝජනය උදෙසා නුවණැත්තේ බොරු නො කියයි. හේ සභාමධ්‍යයෙහි පූජිත වෙයි. පරලොවැ ද සුගතිගාමී වෙයි. මම මේ කරුණ දැකැ නුවණැත්තේ මැ උතුම් වන්නේ ය. ඉසුරුමත් බාලයා උතුම් නො වන්නේ ය යි කියමි.
5832. (සේනක) හස්තිගවාශ්වයෝ ද මාණික්‍ය කුණ්ඩලාභරණයෝ ද සමෘද්ධිමත් කුලයන්හි කාන්තාවෝ ද ඉසුරුමත් නොවූ සියල්ලෝ ද ඉසුරුමත් තැනැත්තාට ම උපභෝග පිණිස පවත්නාහ. (නිර්ධන නුවණැත්තා පිණිස නො පවතිත්.) මම මේ කරුණ දැකැ ප්‍රාඥයා නිහීන ය. ඉසුරුමත් තැනැත්තේ මැ උතුම් වන්නේ යයි කියමි.
5833. (මහෞෂධ) අසංවිහිත කර්‍මාන්ත ඇති දුෂ්ටමන්ත්‍රණයෙන් යුත් මන්ත්‍රීන් ඇති දුෂ්ප්‍රාඥ බාලයා උරගයකු දිරුණු සැව හරනා සේ ශ්‍රී තොමෝ අත් හරින්නී ය. මම මේ කරුණ දැකැ නුවණැත්තේ ම උතුම් වන්නේ ය. ඉසුරුමත් බාලයා උතුම් නො වන්නේ ය යි කියමි.
5834. (සේනක) ස්වාමීනි, පණ්ඩිත වූ අපි පස් දෙන සියල්ලෝ ම බදැඳිලි වැ ඔබ වෙතැ එළැඹියෙමු. භූතයන්ට අධිපති වූ ශක්‍රදිව්‍යරාජයා සේ ඔබ අප මැඬැ ඉසුරුමත් වැ සිටින්නහු ය. මේ කරුණ දැකැ මම ප්‍රාඥයා හීන ය. ඉසුරුමත් තැනැත්තේ මැ උතුම් වන්නේ ය යි කියමි.
5835. (මහෞෂධ) නුවණ ඇත්තන් විසින් කළයුතු යමක් උපන් කලැ ඉසුරුමත් බාල තෙමේ නුවණැත්තාගේ ගැත්තකු සේ වෙයි. නුවණැත්තේ දක්‍ෂ ලෙසින් යමක් සංවිධානය කෙරේ ද එහි ලා මුග්ධයා මහත් සේ මුළාවට පැමිණෙයි. මම මේ කරුණ දැකැ නුවණ ඇත්තේ මැ උතුම් වන්නේ ය. ඉසුරුමත් බාලයා උතුම් නො වන්නේ ය යි කියමි.
5836. ඒකාන්තයෙන් සත්පුරුෂයන් විසින් නුවණ මැ පසස්නා ලද්දේ ය. සම්පත්හි අන්‍ධබාල මනුෂ්‍යයෝ ඇලුණාහු වෙති. එහෙයින් ශ්‍රී තොමෝ ඔවුන් කැමැති වෙයි. බුද්ධිමතුන්ගේ ඥානය අසමාන වන්නේ ය. ශ්‍රී තොමෝ කවර කලෙකත් ප්‍රඥා ඇත්තහු ඉක්ම නො යයි.
5837. (වේදේහ රජ) නිවැරැදි සේ ධර්‍මය දක්නා වූ මහෞෂධ පණ්ඩිතය, අපි යමක් විචාළමෝ නම් ඒ අපට කීවහු ය. ප්‍රශ්න විසැඳීම පිළිබඳ තුටු වූ මම ගවයන් දහසක් ද හස්තිරාජයකු ද ආජානේය සෛන්‍ධවයන් යෙදූ මේ රිය දසය ද ගම්වර සොළසක් ද තොපට දෙමි.