Jātaka

Birth Stories

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-29 · 7679 segments

පෙන්වන කොටස් 6301-6400 න් 7679

5553. ස්ත්‍රී පුරුෂයන්ගෙන් ගැවසුණා වූ මැසි පිට මැසි බඳින ලද කෙළිබිම් ද වෙයි. එහැම මිණිරුවන්හි නිමැවුණු අසිරි බලව.
5554. මුෂ්ටිමල්ලයන්ගේ රඟමඬලෙහි අධිකව අත්පොළසන් දෙන්නන් ද, ජයග්‍රාහකයන් ද, පරාජිතයන් ද මැණිකෙහි නිර්මිත අයුරු බැලුව මැනැවි.
5555. බලව, පර්‍වත පාමුලැ සිංහයෝ ද ව්‍යාඝ්‍රයෝ ද ඌරෝ ද වලස්සු ද වෘකයෝ ද කළුහිසැති වලස්සු ද බොහෝ වෙසෙති.
5556. කගවේණෝ ගවරු මීමෝ රෝහිත මුවෝ රූරුමුවෝ ඒනිමුවෝ ඌරෝ ගෝන්නු යන මෘගයෝ ද,
5557. කෙසෙල් මුවෝ ද, (තවත්) ඉතා විසිතුරු මෘගයෝ (ජාතිහු) ද වලබළල්ලු ද සාවෝ ද මීමින්නෝ ද මෙහි වෙති. නොයෙක් මෘගසමූහයාගෙන් ගැවසුණුසේ මිණිරුවන්හි නිමැවුණු අසිරි බලව.
5558. මැනැවින් (සකස්කළ) තොටුපළ ඇති රන්වන් වැලි අතුළ මත්ස්‍ය සමූහයාගෙන් ගැවසීගත් පිවිතුරු ජලය ඇති ගංගාවෝ ගලා බසිත්.
5559. (ගඟෙහි) කිඹුල්ලු යැ මෝරු යැ ශිශුමාර යැ කැස්බෝ යැ පෙටියෝ ය ලූල්ලු යැ වලයෝ යැ මොද මස්සු යැ රේමස්සු ය යන මේ සත්ත්‍වයෝ ද ඇත.
5560. නානා වෘක්‍ෂ රාශියෙන් යුක්ත, නානාවිධ පක්‍ෂිගණයා ඇති, වෛඩූර්‍ය්‍ය පාෂාණයන්හි හැපී හඬ නගන ගංගාවෝ (මෙහි) ඇතියහ. එ හැම මිණිරුවන්හි නිමැවුණු අසිරි බලව.
5561. මෙහි (මාණික්‍යයෙහි) මනා ලෙස බෙදුණු සිව් දිගුන් ඇති, නොයෙක් පක්‍ෂි සමූහයා ගැවසීගත්, නොයෙක් මත්ස්‍ය වර්‍ගයා ද වෙසෙන තඩාගයෝ ද වෙත්. එය බලව.
5562. හාත්පස්හි ජලයෙන් වට වූ සාගරය කුණ්ඩලාභරණ කොට ඇති වනරොදින් යුතු මිහිතලය මිණිරුවන්හි නිමැවුණු අසිරි බලව.
5563. පෙරදිග පූර්‍වවිදේහය ද පැසුළුදිග අපරගෝයානය ද, (උතුරු දිගෙහි) උතුරුකුරු දිවයින ද, (දකුණෙහි) දඹදිව ද මිණිරුවන්හි නිමැවුණු අසිරි බලව.
5564. සතර දිසා ආලෝක කරන මහමෙර සිසාරා යන සඳ ද හිරු ද මිණිරුවන්හි නිමැවුණු අසිරි බලව.
5565. මහමෙර ද, හිමාලය ද, සයුර ද මහත් අනුභාව ඇති සතරවරම් දෙවිරජවරුන් ද මිණිරුවන්හි නිමැවුණු අසිරි බලව.
5566. ආරාම ද වනලැහැබ් ද ගල්තලා ද කිඳුරන් ගැවසුන සිත් ගන්නා පර්‍වත ද මිණිරුවන්හි නිමැවුණු අසිරි බලව.
5567. ඵාරුසක චිත්‍රලතා මිස්සක නන්‍දන යන වනයන් (උයන්) ද, විජයොත්පහය ද මාණික්‍යයෙහි නිර්මිතව ඇති අයුරු බලව.
5568. සුධර්‍මා නමැති දෙව් සබය ද තව්තිසා දෙව්ලොව ද (මල්) පිපුණු පරසතු රුක ද එරාවණ ඇතු ද මාණික්‍යයෙහි නිර්මිතව ඇති අයුරු බලව.
5569. අහසින් මතු වූ විදුලිය වැනි දෙවඟනන් බලව. නන්‍දන වනයෙහි හැසිරෙන දෙවඟනන් මාණික්‍යයෙහි නිර්මිතව පෙණෙන අයුරු බලව.
5570. දිව්‍යපුත්‍රයන් පොළඹවන දිව්‍යාංගනාවන් බලව. හැසිරෙන දෙව්පුතුන් මැණිකෙහි නිර්මිතව පෙණෙන අයුරු බලව.
5571. වෙරළුමිණි මුවා පුවරු අතුළ දීප්තිමත් පැහැයෙන් යුක්ත වූ දහසකට අධික දිව්‍යප්‍රාසාද මාණික්‍යයෙහි නිර්මිත අයුරු බලව.
5572. තව්තිසා යාම තුසිත නිර්‍මාණරති පරනිර්මිත වසවර්ති යන දෙව්ලෝහි දෙවියන් මාණික්‍යයෙහි මැවී ඇති අයුරු බැලුව මැනැවැ.
5573. අතිශයින් පවිත්‍ර ප්‍රසන්න ජලය ඇති හෙල්මැල්ලෙන් හා පියුම් උපුලින් ගැවැසි පොකුණු බැලුව මැනැවි.
5574. මාණික්‍යයෙහි සුදුහිරි දසයක් ද සිත්ගන්නා නිල්හිරි දසයක් ද, පිඟුවන්හිරි සයක් හා පසළොසක් ද, කසාවන්හිරි තුදුසක් ද වෙයි.
5575. රන්පැහැ හිරි විස්සක් ද රිදීපැහැ හිරි විස්සක් ද රත් ඉඳුගොව්වන් පැහැ බඳු හිරි තිසක් ද මාණික්‍යයෙහි ඇත.
5576. මාණික්‍යයෙහි කළු හිරි දසයක් හා සයක් ද මදටිය පැහැ හිරි විසිපහක් ද වේ. කළුපැහැ හා මදටියපැහැහිරි බඳුවදමලින් හා නිලුපුලින් මුසු වැගියෙන් විචිත්‍රිත ය.
5577. දෙපා ඇතියනට උතුම් රජතුමනි, මේ හැම අංගයන්ගෙන් හෙබි රැස් ඇති පැහැ විහිදෙන පරදුව බලව. (දූකෙළියෙහි යමෙක් දිනා ද ඔහුට අයත් වන්නේ ය.)
මණිකාණ්ඩ යි.
5578. පූර්‍ණක ක්‍රීඩා ශාලාව සාදා අවසන් ය. දාදුකෙළින තැනට එන්නේ මැනැවැ. මෙවැනි මාණික්‍යයක් ඔබට නැත. ක්‍රීඩාවෙහි යෙදෙන අපි සැහැසි ලෙස නොව දැහැමි ලෙස දිනන්නමු. දිනුවහුට කල් නොයවා ධනය දෙනු යෙහේ.
5579. සුප්‍රකට පඤ්චාල රජ ද, සූරසේන රජ ද, මච්ඡ රජ ද, කේකක දනව්වේ රජු සමග මදුරට රජ ද යන තුලුහු අපේ මේ සටන අසඨ වැ බලත්වා! සභායෙහි කිසි සාක්‍ෂ්‍යයක් නො කරන්නේ නො වේ. (හැමදෙනා දකිති යි සේ යි.)
5580. කුරුරට වැසියන්ගේ රජතුමා ද පූර්‍ණක යක්‍ෂයා ද දාදු ක්‍රීඩායෙන් මත් වැ ක්‍රීඩාශාලාවට පිවිසියහ. රජ තෙම සූවිසි අයස්ථාන සොයමින් පරාජය (වන පිළ) තෝරා ගත්තේ ය. යක්‍ෂ තෙම දිනුම් පිළ තෝරා ගත්තේ ය.
5581. ඔව්හු දෙදෙන ක්‍රීඩා ශාලාවෙහි දූකෙළි කෙළියහ. රජුන් සමීපයෙහිත් මිතුරන් මැද්දෙහිත් නරවීර වූ ශ්‍රේෂ්ඨ වූ රජු පරදවා යක්‍ෂයා දිනුවේ ය. එහි සූදුවෙහි මම දිනිමි යි ඉමහත් ඝෝෂයක් විය. (නාදය පැතුරුණේ ය.)
5582. (පූර්‍ණක) රජතුමනි, ජය හෝ පරාජය හෝ ව්‍යායාම කරනුවන් අතුරෙන් එක්තරයකුට වෙයි. නිරිඳුනි, උත්තම ධනයෙන් පිරිහී ගියහු. මා විසින් තෙපි දිනන ලදුව. වහා මට දිනුම දෙව.
5583. (රජ) ඇත්තු ද ගවයෝ ද අශ්වයෝ ද මිණිකොඬොල් ද, පොළොවෙහි මා සතු යම් රත්නසමූහයක් වේ ද කාත්‍යායනය, ඒ ධනය අතුරෙන් උතුම් ධනයක් ගනුව. ගෙන රිසි දිසාවෙකින් යව.
5584. (පූර්‍ණක) ඇත්තු ද ගවයෝ ද අශ්වයෝ ද මිණිකොඬොල් ද, මේ පොළොවෙහි තොප සතු රුවන් රැසක් වේ ද, ඒ ධනයෙන් විධුර නමැති ඇමති තෙම ඉතා උතුමි. හේ මා විසින් දිනන ලද. ඔහු මට පරදු කොට දෙව.
5585. (රජ) හේ මාගේ පණ ද පිහිට ද ගතිය ද ප්‍රතිෂ්ඨාස්ථානයද ආරක්‍ෂාස්ථානය ද ඉතා උත්තම ප්‍රතිෂ්ඨාස්ථානය ද වෙයි. හේ මාගේ ධනයට සම කළ නො හැක්ක. තෙල, විධුර ඇමති මාගේ පණ හා සම වෙයි.
5586. (පූර්‍ණක) මාගේ ද තොපගේ ද විවාදය බොහෝ කල් පවත්නේ ය. එහෙයින් ඔබ වෙත ගොස් විචාරමු. තෙල තැනැත්තේ ම මේ කරුණු අපට ප්‍රකාශ කෙරේවා! හේ යමක් කියා ද එය අප දෙදෙනාට ප්‍රමාණ වේවා!
5587. (රජ) මාණවකය, ඒකාන්තයෙන් තොප කියන්නේ සත්‍යයෙක. සැහැසි නො වෙයි. ඔහු වෙත ගොස් අසමු. ඔහුගේ ප්‍රකාශයෙන් අපි දෙදෙනා තුටු වෙමු.
5588. (පූර්‍ණක) කුරු රටෙහි (සත්‍ය) ධර්‍මයෙහි පිහිටි විධුර නමැති ඇමැතියෙක් ඇතැ යි දෙවියෝ කියති. එය සත්‍යයක් ද? (ඔබ) රජුගේ දාසයෙක් ද? නැතහොත් නෑයෙක් ද? ලොවෙහි විධුර යන ප්‍රඥප්තිය කවරකු වී ද?
5589. (විධුර පණ්ඩිත) සමහරු ගෙයිදා මිඬිය කුසැ උපන් දාසයෝ ද වෙති. සමහරු මිල දී ගත් දාසයෝ වෙති. සමහරු (තුමූ ම) දාසබවට පත් වූවාහු වෙති. සමහරු බිය නිසා දාසබවට පත් වූවෝ වෙති. මිනිසුන් අතර දාසයෝ සතර කොටසක් ම වෙත්.
5590. ඒකාන්තයෙන් මම ද දාසයෝනියකින් උපන්මි. වැඩ ද රජහට යැ, අවැඩ ද රජහට යැ, දුරුරට ද ගොස් මම දේවයන්ට දාස වෙමි. මාණවකය, රජ තෙම මා දැහැමින් තොපට දෙන්නේ යැ.
5591. (පූර්‍ණක) අද මාගේ මේ දෙවැනි දිනීම ය, පුළුවුස්නා ලද ඇමැති තෙම මෙම පැනය විසඳී ය. රජතුමා එකත්නෙන් අධර්‍ම ස්වභාව ඇත්තේ ය. විධුර පඬිතුමන්ගේ සුභාෂිතය මට නො අනුදන්නෙහි ය.
5592. (රජ) මම දාසයෙක් වෙමි, නෑයෙක් නො වෙමි යි මෙලෙස අපගේ පැනය විසඳුවේ නම්, මාණවකය, ධන අතුරෙන් උතුම් ම ධනය වූ මොහු ගෙන, කැමති දිසාවකින් යවයි කීය.
ද්‍යුතකාණ්ඩ යි.
5593. (රජ) විධුර පණ්ඩිතයනි, සිය නිවෙසෙහි වෙසෙන ගිහියාට (තම) ආරක්‍ෂාව කෙසේ වන්නේ ද? (චතුර්විධ) සංග්‍රහය කෙසේ වේ ද?
5594. කෙසේ නිදුක් වේ ද? කෙසේ සත්‍යවාදී වේ ද? කෙසේ මෙලොවින් පරලොව ගොස් ශෝක නො කෙරේ ද?
5595. දම්සෙබෙහි ඤාණගති ඇති, ධෛර්‍ය්‍යය ඇති, විපුල ප්‍රඥා ඇති, සූක්‍ෂම අර්‍ත්‍ථ දන්නා නුවණ ඇති හැම දහම් පිරිසිඳ දන්නා නුවණ ඇති විධුර පඬිතෙමේ රජුහට මෙය කී ය:
5596. අනුන් අයත් බිරියන් හා වැරැදි හැසිරීම නො කටයුතු. රසවත් අහර තනිව රස නො විඳියයුතු. ඥාන වර්ධනයට හේතු නොවන ලෝකායත ශාස්ත්‍රය නො සෙවියයුතු.
5597. සිල්වත් වීම ය වත්සපන් වීම ය කුසල්දහම්හි අප්‍රමාද වීම ය තියුණු නුවණැති වීම ය යටත් පැවැත්ම ය මසුරු නො වීම ය සුවච බව ය මිහිරි කථාව ය මොළොක් බව ය (යන මේ ගති) ඇත්තෙක් වන්නේ ය.
5598. මිතුරනට සංග්‍රහ කරන්නේ දුගී මගී ආදීන්ට බෙදා දී වළඳනුයේ කටයුතු සංවිධාන කරනුයේ හැම කල්හි මහණ බමුණන් ආහාරපානයෙන් සතුටු කරන්නේ යැ.
5599. දහම් කැමැතිවීම ය දැනීම දියුණු කිරීම සඳහා මහණ බමුණන්ගෙන් පිළිවිසීම (ප්‍රශ්න කිරීම) සිල්වතුන් හා උගතුන් ගෞරව පූර්‍වකව ඇසුරු කිරීම ය (යන මේ කටයුතු) කරන්නේ ය.
5600. සිය නිවසෙහි වෙසෙන ගිහියාගේ ආරක්‍ෂා සහිත පැවැත්ම මෙසේ යැ. ඔහුගේ චතුර්විධ සංග්‍රහය ද මෙසේ වන්නේ ය.
5601. සත්‍යවාදී මාණවක තෙම මෙසේ (පිළිපැදීම නිසා) ව්‍යාබාධ රහිත වන්නේ ය. මෙලොවින් පරලොවට ගොස් පරලොව දී ශෝක නො කරන්නේ යි.
ගෘහවාස ප්‍රශ්න යි.
5602. ස්වාමියා විසින් තෙපි මට දෙනලද්දාහු යැ. එව දැන් යමු. මාගේ ම අභිවෘද්ධිය පතා පිළිපදින්න (ක්‍රියා කරන්න). මෙය සනාතන ධර්‍මයෙකි. (පෙර සිට පවත්නා නැණවතුන්ගේ ස්වභාවය යි.)
5603. මාණවකය, තා විසින් මම ලබන ලදිමි යි දනිමි. ස්වාමීහු විසින් මම තොපට දෙන ලද්දෙමි. දරුවන්ට අනුශාසනා පිණිස යම් පමණ කල් යේ ද එ පමණ (කල්) තුන් දිනක් අපගේ නිවසේ වසමු.
5604. තොප කියන ලෙස සියල්ල මට සිදුවේවා. තුන් දවසක් ගෙදර වසමු. පින්වත් තෙමේ, අද ගෘහයේ අනුශාසනා කෙරේවා. තොප ගිය පසු දරුවන්ට සෙත් ලැබෙන්නේ යම් ලෙසකින් නම් එසේ අනුශාසනා කෙරේවා.
5605. මහාභෝග ඇති යක්‍ෂ තෙම යහපතැයි කියා විධුර පඬිතුමා සමග පිටත් වී. උසස් පැවතුම් ඇති යක්‍ෂතෙමේ ඇතුන් ද අසුන් ද හැසිරෙන අන්තඃපුරයට පිවිසියේ ය.
5606. කොඤ්චය, මයූරය, පියකේතය යන නම් ඇති තුන් ප්‍රාසාදයෝ වෙති. ඒ පහයන් අතරෙන් අතිශය මනෝහර වූ ද බොහෝ ආහාරපාන ඇත්තා වූ ද ශක්‍රයාගේ භවන වැනි වූ ද තමා වෙසෙන පහයට එළැඹියේ ය.
5607. එහි දෙව්ලෝහි දෙවඟනන් මෙන් සරසන ලද ස්ත්‍රීහු උතුම් වූ නෘත්‍ය ගීත වාද්‍යයෙන් ඔවුනොවුන්ට ස්පර්ධා කෙරෙති.
5608. දහම්රක්නා බෝසත් තෙම එදවසැ යක්‍ෂයා මාගමුන් හා ආහාරපානයෙන් ද සමග කොට ස්වකීය අර්‍ත්‍ථය මැ මෙනෙහි කරමින් භාර්‍ය්‍යාව වෙත එළඹියේ ය.
5609. සඳුන් ගඳ කලල් තවර කළ ජාම්බොනද ස්වර්‍ණ සදෘග ශරීර ඇත්තා වූ බිරිඳ අමතා, පින්වතිය, එව. මාගේ කීම අහන්න. තඹපැහැති නෙත් ඇත්තිය, මාගේ දරුවන් කැඳවයි කීය.
5610. අනුජ්ජා තොමෝ හිමිහු බස් අසා, නිලුපුල්වන් නෙත් ඇති චේතාවෙනි, ආභරණවලින් විභූෂිත මාගේ දරුවන් කැඳවන්නැ යි තඹපැහැති නිය හා මනා ඇස් ඇති යෙහෙළියට කීවා ය.
5611. මහබෝසතාණන් වහන්සේ තමා වෙත පැමිණි දරුවන්ගේ හිස සිඹැ (දරුවෙනි) රජතුමා විසින් මේ මාණවකයාට මම දෙන ලද්දෙමි යි කීහ.
5612. ඔහුට අයිති මම, අද මා සතු සැප ඇත්තෙක් වූයෙමි. එහෙත් පසුව ඔහුට යටත් වෙමි. හේ මා රැගෙන කැමැති මගෙකින් යන්නට පළමු (තොපට) අනුශාසනා කරන්නට ආවෙමි. (තොපගේ) ආරක්‍ෂාව නො සලසා කෙසේ මම යන්නෙම් ද?
5613. ජනයා පාලනය කරන, බොහෝ සම්පත් ඇති කුරුරට රජ, පෙර සිදුවූ කෙබඳු පැරණි දේ තෙපි දන්නහු ද? පියා තොපට කවර අනුශාසනාවක් කෙළේදැ යි තොප පුළුවුස්නේ නම් මෙසේ මා දුන් අවවාද කියවු.
5614. තෙපි සියල්ලෝ මා හා සම අසුන් ගනිත්වා යි රජ තොපට කීවේ නම්, රජකුලයෙහි කවරෙක් රජු හා සමානාසනික වේදැ යි රජුට ඇඳිලිබැඳ කියවු. දේවයන් වහන්ස, මෙලෙස නො කියන්නේ මනා ය. මෙය (රජතුමා හා සමව අසුන් ගැනුම) අපේ පාරම්පරික චාරිත්‍රය නො වෙයි. දේවයන් වහන්ස, සිංහ රාජයකු, නීච ජාතියෙහි වූ සිවලකු හා සමව අසුන් ගැනුම කෙසේ වන්නේ දැ යි.
පෙක්ඛන කාණ්ඩ යි.
5615. නො සැඟවුණ (පැහැදිලි) සිතුවිලි ඇති විධුර පඬිතුමා මිතුරන්ට, ඇමැතියන්ට, නෑයන්ට සහ සුහදයන්ට (හිතවතුන්ට) මෙය කීය:
5616. ආර්‍ය්‍යයෙනි, එවු එපරිද්දෙන් රජකුලයට පත් පුරුෂයා යම්සේ සම්පතට පැමිණේ ද, මා කියන රාජපරිචර්‍ය්‍යාව (රජමැදුරේ සේවය) මා සමීපයේ සිට අසවු.
5617. අප්‍රකට තැනැත්තා ද අදක්‍ෂ තැනැත්තා ද අඥාන තැනැත්තා ද මුළා වූ සිහි ඇති තැනැත්තා ද රජ මැදුරට පැමිණ කිසි කලෙක යශස් නො ලබයි.
5618. යම් කලෙක රජතුමා සේවකයාගේ ආචාර සම්පත්තිය ඥාන සම්පත්තිය හා පවිත්‍රතාව වටහා ගනී ද, එකලැ ඔහු විශ්වාස කරයි. සඟවාලියයුතු රහස පවා නො සඟවා කියයි.
5619. යම්සේ මැනැවින් ධරනලද ඔසවාලූ තුලාව (තරාදිය) සමදණ්ඩ වැ සිටී ද එසේ මැ රාජ නියෝග ලද සේවකයා නො සැලේ ද හෙතෙම රජකුලෙහි වසන්නේ යැ (රජගෙහි සේවාවට නිසිවෙයි.)
5620. යම්සේ මැනවින් ධරන ලද ඔසවාලූ තුලාව සමදණ්ඩ වැ සිටී ද, එසෙයින් සියලු රාජකාර්‍ය්‍යය කරන හේ රජකුලෙහි වසන්නේ ය.
5621. නුවණැත්තේ රාජකාර්‍ය්‍යයෙහි දවලහි හෝ රාත්‍රියෙහි හෝ මෙහෙයන ලදුයේ නො සැලේ නම් හේ රජගෙහි වසන්නේ ය.
5622. නුවණැත්තේ රාජකෘත්‍යයෙහි යෙදුනේ දහවල් හෝ රාත්‍රියෙහි හෝ සියල්ල සම්පාදනය කරන්නේ ද හේ රජගෙහි වසන්නේ ය.
5623. රජතුමා සඳහා යම් මාර්‍ගයක් මනාව පිළියෙළ කරන ලද ද ඒ මාර්‍ගයෙන් යව යි (රජතුමා විසින් කියන ලද ද) ඒ මගෙහි නො යන්නේ ය.
5624. රජතුමාට සමාන ලෙස පස්කම් සැප කිසිවිටෙක නො විඳින්නේ ය. හැම තන්හි එයට වඩා අඩුතරමින් කම්සැප විඳින්නේ ය. හේ රජගෙහි වසන්නේ ය.
5625. රජතුමාට සමාන අයුරින් වස්ත්‍ර නො ඇඳීම, මල්මාලා නො දැරීම සහ විලෙවුන් නො ගැල්වීම ද කරන්නේ ය. ඉරියව් පැවැත්වීම හා ශබ්ද කිරීම ද රජතුමාට සමාන නොවන ලෙසින් අනිත් ආකාරයකින් කරන්නේ ය. හේ රජගෙහි වසන්නේ ය.
5626. රජතුමා ඇමතියන් හා භාර්‍ය්‍යාවන් පිරිවරා (යම් විටෙක) ක්‍රීඩා කරන්නේ ද එවිට ඥානසම්පන්න ඇමැති රජතුමාගේ බිරියන් විශ්වාස නො කරන්නේ ය. (ඔවුන් හා විශ්වාසයට නො යන්නේ ය.)
5627. අහංකාර රහිත ව චපල පැවැතුම් නැත්තෙක් ව මුහුකුරා ගිය ප්‍රඥා ඇත්තෙක් ව සංවෘත ෂඩින්‍ද්‍රිය ඇත්තෙක් ව රජගෙහි වසන්නේ ය.
5628. රජතුමාගේ බිරියන් හා ක්‍රීඩා නො කරන්නේ ය. රහසිගත ව (ඔවුන් හා) සාකච්ඡා නො කරන්නේ ය. ඔහුගේ (රජතුමාගේ) භාණ්ඩාගාරයෙන් ධනය හොරකම් නො කරන්නේ ය. ඒ පුද්ගල තෙම රජගෙහි වසන්නේ ය. (රජුගේ සමීපවාසයට සුදුස්සෙක් වන්නේ ය.)
5629. අධික නිද්‍රෝපගතයෙක් නො වන්නේ ය. මත්වීම පිණිස සුරා නො බොන්නේ ය. ඔහුගේ අභය ස්ථානයන්හි (අභයභූමිවලැ) වෙසෙන මුවන් නො මරන්නේ ය. හේ රජගෙහි වසන්නේ ය.
5630. මම කාර්මිකයෙක් වෙමි යි රජතුමාගේ පුටුවට, ඇඳට, සිංහාසනයට, ඇතු පිටට, රථයට නො නඟින්නේ ය. හේ රජගෙහි වසන්නේ ය.
5631. නැණවත් සේවකයා රජතුමාට දුර තැනක හෝ ඉතා සමීප තැනක හෝ නො සිට රජතුමා කරන දෙය බලමින් සිය ස්වාමියාට පෙනෙන තැන සිටිනේ ය.
5632. රජ එකැතින් ම මිතුරෙක් නො වේ. රජතුමා තමාට සමාන ද නො වේ. ඇසට වැටුණ වීනන්ඩුව ඇසේ පියවි ගතිය වහා හරනා සේ රජවරු වහා කිපෙති.
5633. රජතුමා විසින් මම පුදන ලද්දේ වෙමි යි සිතා නැණවත් පණ්ඩිත මනුෂ්‍යයා (සේවකයා) පිරිස්මැදට ගිය රජතුමාට පරුෂ බසින් කතා නො කරන්නේ ය.
5634. ලද දොර ඇත්තේ (දොරටුපාලයකු වූයේ) නමුදු අවසර ලබා ම පිවිසෙන්නේ ය. රජුන් විශ්වාස නො කරන්නේ ය. ගින්න සමීපයේ (සිටින කලෙක) මෙන් සිහියෙන් සිටින්නේ ය.
5635. රජතුමා සිය පුතාට හෝ සිය සහෝදරයාට හෝ ගම් වලින් හෝ නියම්ගම්වලින් හෝ ජනපදවලින් හෝ කිසිවක් දෙමි යි සේවකයන් සමග කියා ද එකලැ සේවකයා තුෂ්ණීම්භූත ව මධ්‍යස්ථ වන්නේ ය. ගුණාගුණ (හොඳ නරක) නො කියන්නේ ය.
5636. ඇත්, අස්, රිය, පාබළ යන සිවුරඟ සේනාවන්හි කාර්‍ය්‍යයන් හා ඔවුන්ගේ හැසිරීම් අනුව රජතුමා වේතන වැඩිකරයි නම් සේවකයා ඔවුන්ගේ ලාභයට අන්තරාය නො කරන්නේ ය.
5637. යම් සේවකයෙක් නැණවත් ද දුන්නක් සේ සිහින් වූ උදර ඇත්තේ ද නො මේරු උණගසක් සේ චලනය වේ ද රජතුමාට විරුද්ධ පැවැතුම් නැත්තේ ද හේ රජගෙහි වසන්නේ ය.
5638. (යමෙක්) දුන්නක් සේ සිහින් වූ උදර ඇත්තේ ද (දිව ඇතත්) දිව නැත්තකු සෙයින් මාළුවකු මෙන් වූයේ අල්ප වූ කථා ඇත්තේ ද ස්වල්ප වශයෙන් බුදින සුලු වේ ද දක්‍ෂ ද ශූර ද හේ රජගෙහි වසන්නේ ය.
5639. යමෙක් (සිය) තෙද පිරිහීයාම දකිමින් ස්ත්‍රීන් කරා යළි යළිත් නො යන්නේය එසේ යන නුවණ පිරිහුණු පුද්ගලයා කාශස්වාසයනට ද කාය පීඩාවට ද කය දුබලවීමට ද පත් වේ.
5640. රජුන් සමීපයේ සිට පමණට වඩා කතා නො කරන්නේ ය. හැමකල නිහඬ නො වන්නේ ය. සුදුසු වේලාවෙහි නො විසිරුණ ප්‍රමාණවත් කතා කරන්නේ ය.
5641. නො කිපෙන සුලු වූ අන්‍යයන් හා නො ගැටෙන්නා වූ සත්‍ය වූ සියුම් වූ ප්‍රියශූන්‍ය නො වූ කතා ඇත්තෙක් වන්නේ ය. හිස් වචන නො කියන්නේ ය. හේ රාජභවනයෙහි වසන්නේ ය.
5642. (යමෙක්) මවුපියන් පෝෂණය කරන්නේ ද කුලදෙටුවන් පුදන්නේ ද හිරි ඔතප් ඇත්තේ ද හෙතෙම රජගෙහි වසන්නේ ය.
5643. (යමෙක්) ආචාරසම්පන්න වූයේ ද ශිල්ප ඇත්තේ ද හික්මවාගත් ඉඳුරන් ඇත්තේ ද සිය ජීවිතය ගුණවත් කරගත්තේ ද නො සැලෙන ස්වභාව ඇත්තේ ද මාන රහිත ද අප්‍රමාද ව (නුමුළා සිහි ඇති ව) ක්‍රියා කරනුයේ ද පිරිසුදු වූයේ ද උවටැන් කිරීමට දක්‍ෂවූයේ ද හේ රජගෙහි වසන්නේ ය.
5644. (යමෙක්) වැඩිහිටියන් කෙරේ යටහත් පැවතුම් ඇත්තේ ද සාදර සගෞරව වූයේ ද සුවච පැවැතුම් ඇත්තේ ද මොළොක් වදන් ඇත්තේ ද හේ රජගෙහි වසන්නේ ය.
5645. රහස් සෙවීමට අන් රජුන් විසින් එවන ලද ජනයා දුරින් දුරු කරන්නේ ය. තමාගේ රජු ම ස්වාමියා ලෙස සලකන්නේ ය. අන් රජකු සමීපයෙහි නො වසන්නේ ය.
5646. (යමෙක්) සිල්වත් වූ බහුශ්‍රුත වූ මහණ බමුණන් මැනැවින් ඇසුරු කරනුයේ ද හේ රජගෙහි වසන්නේ ය.
5647. (යමෙක්) සිල්වත් වූ බහුශ්‍රුත වූ මහණ බමුණන් (පෙහෙවස් සමාදන් වී) අනුව වසනුයේ ද හේ රජගෙහි වසන්නේ ය.
5648. (යමෙක්) සිල්වත් වූ බහුශ්‍රුත වූ මහණ බමුණන් ආහාරපාන දීමෙන් සන්තර්‍පණය කෙරේ ද හේ රජගෙහි වසන්නේ ය.