5353. ඉක්මන් කොට මා සරසව, මාගේ යෙහෙළියන් ද සරසත්වා, හෙට (දෙවියන්ගේ රැස්වීමෙන් සැරැසුණු) පසළොස්වක් පොහොය වේ. පිය මහරජු වෙත යමි යි කීවා ය.
5354. ඈට මල්දම් ය අගනා සඳුන් ය මැණික් ය සක් ය මුතු ය රුවන් ය යන දෑ ද නානා වර්‍ණ වස්ත්‍ර ද සරසනු පිණිස එළවූහ.
5355. රන්මුවා පුටුවෙහි හුන් යහපත් ශරීරවර්‍ණයෙන් යුත් රුජා නමැති රාජ කන්‍යාව පිරිවරා සිටි බොහෝ ස්ත්‍රීහු දෙවඟනන් මෙන් අතිශයින්ම බැබැළුණාහ.
5356. යෙහෙළියන් මැදට පැමිණි සියලු අබරණින් සැරැහුණු රුජා නමැති ඒ රාජකන්‍යා තොමෝ ද වළාකුලකට වදනා විදුලියක් මෙන් චන්‍දක නැමැති පහයට පිවිසියා ය.
5357. විනයෙහි ඇලුණු රුජා වේදේහ රජු වෙත පැමිණ වැඳ සත්රුවනින් විසිතුරු රන් කම් කළ පුටුවෙක එකත් පස් වැ හිඳගත්තා ය.
5358. වේදේහ රජ තෙමේ දෙවඟනන් සමූහයකට බඳු එ පිරිස දැක යෙහෙළියන් මැදට පත් රුජා නම් රාජ කන්‍යාවට මේ වචනය කී ය:
5359. කිම දියණියනි, මා කරවා දුන් පහයෙහි සිත් අලවා වෙසෙහි ද? ගෘහොද්‍යානයෙහි පිහිටි පොකුණෙහි (ජල ක්‍රීඩා කිරීම වශයෙන්) සිත් අලවා වෙසෙහිද නන් වැදෑරුම් කන දෑ හැම දවස් තිට එළවත් ද?
5360. කිම කුමරියෙනි, තෙපි ක්‍රීඩාරතියෙහි ඇලුණහු නානාවිධ මල්දම් ගොතා එක්වන් මල්ගුළා කරවු ද?
5361. කුමන වස්තුවකින් තිට අඩුවක් වෙයි ද, එය වහා ම එළවත්වා! අබ, මැටි, තල කල්කයෙන් පැහැපත් කළ මුහුණු ඇත්තිය, සඳ වැනි දෙයෙහි පවා කැමැත්තෙහි නම් මට කියව සපයා දෙමි යි රජ තෙමේ කී ය.
5362. වේදේහ රජුගේ බස් අසා රුජා නම් රාජකන්‍යාව පියරජහට මෙය පැවැසූ ය: මහරජුනි, ජනාධිපති වන ඔබ වෙතින් මේ සියල්ල ලැබෙයි.
5363. පියාණෙනි, හෙට දිව්‍ය වූ පසළොස්වක් පොහෝ දවස ය. කහවණු දහසක් මට දෙනු මැනැවි. පෙරැ දුන් පරිදි සියලු යාචකයන් කෙරෙහි දෙන්නෙමි යි පැවැසූ ය.
5364. රුජා කුමරියගේ බස් අසා අංගාති රජ තෙමේ මෙසේ කී ය: තී විසින් අවැඩ වන ලෙස නිෂ්ඵල පරිදි බොහෝ වස්තුව විනාශ කරන ලදී.
5365. නිති පෙහෙවස් වෙසෙමින් ආහාරපාන අනුභව නො කෙරෙහි ය. නියති විසින් තෙල නො වැළඳියයුතු වෙයි. නො වළඳන්නාහට පින් නැතැ යි කී ය.
5366. බීජක තෙමේ ද එ කල කාශ්‍යප නුවටාගේ බස් අසා නැවත නැවතත් ප්‍රශ්වාස කරන්නේ හඬමින් උණු කඳුළු වැගිරවී ය.
5367. රූජා දියණියනි, යම් පමණ කල් ජීවත් වෙහි ද ඒ තාක් කල් අහර දුරු නො කරව. යහපත් දියණියනි, පරලොවක් නැත, නිකරුණේ කුමට වෙහෙසෙහි දැ යි ඇසී ය.
5368. යහපත් ශරීර වර්‍ණ සම්පන්න වූ රූජා රාජකන්‍යා තොමෝ වේදේහ නම් පියරජුගේ බස් අසා (අතීතයෙන් ජාති සතක් ද අනාගතයෙන් ජාති සතක් ද) පූර්‍වාපර දහම් දන්නී පියරජුට මෙ බස් පැවසූ:
5369. යමෙක් අඥානයන් සෙවුනේ වෙයි ද හේ අඥාන භාවයට මැ පැමිණෙයි යනු මා විසින් පෙරැ අසන ලද්දේ ම ය. මෙය වනාහි දැන් ඇස් හමුවෙහි දක්නා ලදී.
5370. යම් පරිදි මංමුළා වූයෙක් මංමුළා වූවකු කරා එළැඹ අතිශයින් මුළා වේ ද එසෙයින් දෘෂ්ටිමුඪයා ද අතිශයින් මුළාවට පැමිණෙයි. (දේවයන් වහන්ස,) අලාක සෙනෙවියා ද බීජක දාසයා ද (ගුණ නුවටා කරා එළැඹ,) මුළා වන්නට සුදුසු වෙත්.
5371. දේවයන් වහන්ස, නුඹ වහන්සේ වූකලි නුවණැතියහ, එහෙයින් ධීරයහ, අර්‍ත්‍ථානර්‍ත්‍ථ දැනුමෙහි සමර්‍ත්‍ථයහ. කිසෙයින් බාලයන් හා සදෘශ ව ලාමක දෘෂ්ටියට පැමිණියහු ද?
5372. ඉදින් සංසාරමාර්‍ගයෙන් ශුද්ධිය වේ නම් ගුණ නුවටාගේ පැවිද්ද නිරර්‍ත්‍ථක යැ. දිලියෙන ගින්නට පනන පළඟැටියකු සෙයින් අතිශයින් මුළා වූයේ නග්නභාවයට පැමිණියේ ය.
5373. සංසාරයෙන් ශුද්ධිය වේ ය යි පළමු මැ මිසදිටු ගත් බොහෝ ජනයෝ නො දන්නාහු කර්‍මය ද කර්‍මඵලය ද නසති. ඔවුන් විසින් පළමු මැ ගන්නා ලද පරාජයග්‍රාහය වරදවා ගන්නා ලද මැ වෙයි. ඔහු (බිලිය ගිලැ සිටි) මසකු බිලියෙන් (මුදවාලියැ නොහැක්කා) සේ අනර්‍ත්‍ථයෙන් මුදවාලියැ නො හැකි වෙති.
5374. මහරජාණෙනි, ඔබට වැඩ පිණිස උපමාවක් කියමි. මෙලොවැ ඇතැම් පණ්ඩිත පුරුෂයෝ උපමායෙනුදු අර්‍ත්‍ථය දැනගනිත්.
5375. යම් පරිදි වෙළඳුන්ගේ නැවක් අපමණ වූ බර ගෙනයන්නී අධික වූ වස්තුභාරය ගෙන සයුරෙහි ගැලේ ද,
5376. එසෙයින් මැ මිනිසෙක් අකුශලය මඳින් මඳ රැස් කරනුයේ අධික වූ අකුශලභාරය ගෙන නිරයෙහි ගැලෙයි.
5377. මිහිපල්තුමනි, අලාත සෙනෙවියාගේ (ගෝඝාතක) අකුශලභාරය තව නො පිරුණේයැ. හේ යම් පාපයෙකින් දුගතියට යේ ද ඒ පාපකර්‍මය රැස්කරන්නේ ද වෙයි.
5378. මිහිපල්තුමනි, අලාත සෙනෙවියා විසින් පූර්‍වභවයෙහි ම කරනලද (පුෂ්පපූජා සංඛ්‍යාත) යම් පිනක් ඇද්ද දේවයිනි, මේ තෙමේ මෙකල යම් සුවයක් විඳී නම් මේ කුශලයාගේ විපාක යැ.
5379. ඔහුගේ ඒ පින ගෙවීයේ මැ ය. ඒ එසේ මැ යි. අකුශලයෙහි ඇලුණු හේ ඍජු වූ කුශලමාර්‍ගය හැරපියා අකුශලමාර්‍ගයෙහි යෙයි.
5380. යම්සේ දැඩිව ගන්නාලද තරාදිය භාණ්ඩ ගැනීම පිණිස තුලා තැටිය එල්වා තැබූ කල්හි බඩු නගන ලදුයේ පහතට බසී ද බැහැර කළ කල්හි තුලාහිස උඩට නඟී ද,
5381. එසෙයින් ම මිනිසා කුශලය මඳින් මඳ රැස්කරනුයේ ස්වර්‍ගයට පමුණුවන කුශලයෙහි ඇලුණු බීජක දාසයා මෙන් මධුර විපාක ඇති කුශලයෙහි මැ ඇලුණේ වෙයි.
5382. දැන් බීජක දාසයා තමා කෙරෙහි යම් දුකක් දකී ද ඔහු විසින් පෙර කළ යම් (ආක්‍රෝශ) පාපයෙක් වී නම් මේ තෙමේ ඒ පාපඵලය විඳී.
5383. ඔහුගේ ඒ පාපය ගෙවී යේ මැ ය. එතෙකුදුවත් ආචාරවිනයෙහි ඇලුණු නුඹ වහන්සේ කාශ්‍යප ගෝත්‍ර ඇති ආජීවකයා කරා එළැඹ අකුශලමාර්‍ගයට නහමක් යේවා.
5384. මහරජාණෙනි, සත්පුරුෂ වූ හෝ අසත්පුරුෂ වූ හෝ සිල්වත් වූ හෝ දුශ්ශීල වූ හෝ යම් යම් එකකු සෙවුණේ ද හේ ඔහුගේ මැ වසෙයට පැමිණෙයි.
5385. යමෙක් යම් බඳු (පුඟුලකු) මිතුරු කෙරේ ද යම් බඳු වූවකු සෙවුනේ ද හේ ඒකාන්තයෙන් එබඳු වූයේ වෙයි. සහවාසය එබඳු මැ යි.
5386. විස පෙවූ සරයෙක් හියවුරෙහි බහාලන ලද්දේ හියවුර විසයෙන් ආලිප්ත වන්නා සේ පාපමිත්‍රයා පාපයෙන් පහස්නා ලද්දේ තමා සේවනය කරන අන්‍යයා ද (පාපයෙන්) තවරයි. (තමා හා සම අදහස් ඇත්තකු කෙරෙයි සේ යි.) නුවණැති පුරුෂ පාපයෙන් තැවැරෙන බියෙන් පාපමිත්‍රයන් ඇත්තෙක් නො වන්නේ යැ.
5387. යම් මිනිසෙක් කුණු මස් කුසතණයෙන් බඳී ද (එයින්) කුස තණ ද කුණුගඳ හමයි. බාලයන් සේවනය ද එ බඳු යි.
5388. යම් මිනිසෙක් තුවරලා කොළපතෙකින් බඳී නම් ඒ කොළ පත ද සුවඳ විහිදුවයි. පණ්ඩිතජන සේවනය ද එබ ඳු යි.
5389. එහෙයින් පත්‍රපුටයාගේ සුවඳ විහිදීම මෙන් (පණ්ඩිත සේවනයෙන්) තමාගේ ඥාන පරිපාකය දැන පණ්ඩිත පුරුෂ අසත්පුරුෂයන් නො සෙවුනේ යැ. සත්පුරුෂයන් සේවනය කරන්නේ යැ. අසත්පුරුෂයෝ (තමා සෙවුනාහු) නිරයට පමුණුවති. සත්පුරුෂයෝ සුගතියට පමුණුවත්.
5390. දේවයන් වහන්ස, මම ද තමා විසින් සැරිසරන ලද ජාති සතක් සිහිකරමි. මෙයින් සැවැ යායුතු වූ අනාගත වූ ද සත් ජාතියක් මැ සිහිකරමි.
5391. ජනාධිපති රජතුමනි, පෙර මාගේ යම් සත්වැනි ජාතියක් වූ ද, එකල මගධ රට රජගහ නුවර තරහල් පුත් වීමි.
5392. මා විසින් පවිටු මිතුරකු නිසා බොහෝ පව් කරන ලද, පරදාරාවන් වෙහෙසමින් අපි නො මැරෙනුවන් මෙන් හැසුරුනම්හ.
5393. රැස්කරනලද ඒ කර්‍මය හළුයෙන් වැසුණු ගිනිඅඟුරක් සෙයින් නිහිත වැ සිටියේ යැ. ඉක්බිති අන්‍ය කර්‍මයකින් වංසරට උපන්මි.
5394. මහරජාණෙනි, කොසඹෑනුවර සමෘද්ධ වූ සම්පත්තියෙන් ආඪ්‍ය වූ මහත් ධන ඇති සිටු කුලයෙකැ නිතර පූජාසත්කාර ඇති එක මැ පුත් වීමි.
5395. එහි පණ්ඩිත වූ ඇසූපිරූ තැන් ඇති යහපත් ක්‍රියාවන්හි ඇලුණු මිත්‍රයකු සහාය වශයෙන් ඇසුරු කෙළෙමි. හෙතෙම මා කුශලකර්‍මයෙහි පිහිටුවීය.
5396. බොහෝ තුදුස්වක් පසළොස්වක් දිනයන්හි පෙහෙවස් විසීමි. ඒ කර්‍මය ජලාන්තයක පිහිටි නිධානයක් මෙන් වැසී සිටියේ ය.
5397. වැළි, මා සතු පව්කම් අතුරෙන් මගධයෙහි දී කළ යම් මේ පරදාරසේවන කර්‍මයක් වේ ද ඒ (කර්‍මයාගේ) විපාකය අනුභව කළ නපුරු විෂක් මෙන් මා වෙත එළැඹියේ ය.
5398. වේදේහ (රජාණෙනි) මම එයින් සැවැ සිය පව්කම් හේතුයෙන් රෞරව නරකයෙහි බොහෝ කලක් පැසුණෙමි. එය සිහි කරන්නෙම් (සිතට) සැපක් නො ලබමි.
5399. මහරජාණෙනි, එහි බොහෝ වර්‍ෂ ගණනක් මුළුල්ලෙහි බොහෝ දුක් ගෙවා භෙණ්ණාකට දේශයෙහි බීජෝද්ධරණය කරන ලද එළුවෙක් වීමි.
5400. මා විසින් පිටින් ද රියෙන් ද ඇමතිපුත්තු උසුලනලදහ. (මේ සියල්ල) මාගේ ඒ පරදාරගමන කර්‍මයාගේ විපාකය යි.
5401. වේදේහයෙනි, එයින් චුත වූ මම මහවනයෙහි වඳුරෙක් වීමි. (එහිදු) ප්‍රගල්භ වූ ප්‍රධාන වානරයා විසින් උපුටන ලද ඵල (බීජ) ඇත්තෙම් වීමි. එ ද මාගේ ඒ පරදාරගමන කර්‍මයාගේ විපාකයෙකි.
5402. වේදේහයෙනි, එයින් ච්‍යුත වූ මම දසණ්න ජනපදයෙහි ගොනෙක් වීමි. (එහි දු,) උපුටන ලද බීජ ඇත්තෙම් ජවයෙහි යහපත් වීමි. මා විසින් (එහි) බොහෝ කලක් විය (බර) උසුලන ලදී. (එ ද) මාගේ ඒ පරදාරගමන කර්‍මයාගේ විපාකයෙකි.
5403. වේදේහයෙනි, එයින් ච්‍යුත වූ මම වජ්ජි ජනපදයෙහි කුලයකට (උත්පත්ති වශයෙන්) පැමිණියෙමි. අතිශයින් දුර්‍ලභ වූ මනුෂ්‍යාත්මයෙහි ස්ත්‍රියක් ද නො වීමි. පුරුෂයෙක් ද නො වීමි. (නපුංසක වීමි. එය ද) මාගේ ඒ පරදාරගමන කර්‍මයාගේ විපාකයෙකි.
5404. වේදේහයෙනි, එයින් ච්‍යුත වූ මම තව්තිසා භවනයෙහි නන්‍දන වනයෙහි කැමැති කැමැති වෙස් ගැනීමට සමර්‍ත්‍ථ වූ අප්සරාවක් වැ උපන්මි.
5405. විසිතුරු වස්ත්‍ර හා ආභරණ ඇත්තී පැළැඳි මිණි කොඬොල් ඇත්තී නෘත්‍යගීතයෙහි දක්‍ෂ වූවා ශක්‍රයාගේ භාර්‍ය්‍යාවක් වීමි.
5406. වේදේහයෙනි, එහි සිටි මම මේ (යට කියන ලද) ජාතීන් සිහි කෙළෙමි. මෙයින් ච්‍යුත වැ යම් තැනකට යන්නෙම් ද ඒ අනාගත ජාති සතක් ද සිහි කෙළෙමි.
5407. කොසඹෑනුවර දී මා විසින් යම් කුශලයක් කරන ලද ද එය තමාගේ වාරයෙන් විපාක දීමට එළැඹියේ ය. මෙයින් ච්‍යුත වූ මම දෙව් ලොව ද මිනිස් ලොව ද සැරිසරන්නෙමි.
5408. මහරජ, මෙසේ සත්ජාතියෙක නිතර පූජා සත්කාර කරන ලද්දී වෙමි. (යට කී) ජාති සයෙහි ස්ත්‍රීභාවයෙන් නො මිදුණෙමි.
5409. දේවයන් වහන්ස, සත්වැනි ගතියෙහි දෙවියන් අතර උතුම් වූ මහත් ඍද්ධි ඇති පුරුෂදේව වූ දිව්‍ය ප්‍රත්‍රයෙක් වන්නෙමි.
5410. අද ද නන්‍දන උයනෙහි (මාගේ පරිවාර දිව්‍යස්ත්‍රීහු) (ඒකතෝවණට ආදි වශයෙන්) රැස් කළ මල් (මා සඳහා) ගොතන්නාහ. ජව නම් වූ දිව්‍යපුත්‍රයෙක් මා සඳහා (ගසින්) වැටෙන මල් පිළිගනී ද (හේ මාගේ සැමියා යි).
5411. යම් මේ (ගත වූ) සොළොස් වසක් වේ ද එය දෙව්ලොව ඇසිල්ලක් මෙනි. මිනිස් ගණනින් සියක් වසක් (තව්තිසා) දෙව්ලොව එක් රෑ දාවලෙකි. (එක් දවසෙකි.)
5412. මෙසේ නො ගිණිය හැකි ජාතියෙකැ පවා කර්‍මයෝ (සත්‍වයා) අනුව යෙති. කුශල වූ අකුශල වූ හෝ කර්‍මය (විපාක නොදී) නො නස්නේ ය. (මේ අපරාපරියවේදනීය කර්‍මය යි.)
5413. යමෙක් මතු මතු ජාතීන්හි පුනපුනා පුරුෂයකු වීමට කැමැත්තේ නම් දෙවූ පා ඇත්තකු මඩ (දුරු කරන්නා සේ) පරදාර කර්‍මය දුරු කරන්නේ ය.
5414. යම් ස්ත්‍රියක් මතු මතු ජාතීන්හි පුනපුනා පුරුෂයකු වන්නට රිසි වේ නම් පරිචාරිකාවන් ඉන්‍ද්‍රයාහට (අත් පා මෙහෙ කරන්නා) මෙන් සිය සැමියාට අත් පා මෙහෙ කරන්නේ ය.
5415. යමෙක් දිව්‍ය භොග ද දිව්‍ය ආයුෂ යසස හා සුව ද කැමැත්තේ නම් පව් දුරු කොට ත්‍රිවිධ සුචරිත ධර්‍මයෙහි හැසිරෙන්නේ ය.
5416. නුවණැති ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් කයින් වචනින් මනසින් නො පමා වී නම් (එය) තමහට වැඩ පිණිස වෙයි.
5417. මේ සත්‍වලෝකයෙහි යසස් ඇති පරිපූර්‍ණ සියලු භෝග ඇති යම් කිසි මිනිස් කෙනෙක් වෙත් ද ඔවුන් විසින් නිසැක ව ම පෙරපින් කරන ලද්දේ ය. නානා ප්‍රකාර වූ සියලු සත්‍වයෝ කර්‍මය ස්වකීය කොට ඇත්තාහ.
5418. දේවයන් වහන්ස, තමා ද සිතනු මැනැවැ. ජනෙන්‍ද්‍රය, (රජ්ජුරුවන් වහන්ස,) අප්සරාවන් හා සමාන වූ අලඞ්කෘත වූ රන්දැලින් වසන ලද්දා වූ ඔබගේ යම් මේ (සොළොස් දහසක්) ස්ත්‍රීහු කුමකින් හටගත්තාහු ද?
5419. සුන්‍දර ව්‍රත ඇති රූජා නම් කන්‍යා තොමෝ මෙ පරිද්දෙන් පිය වූ අඞ්ගාති රජු තුටු කරවූ, මුළා වූ රජුට (යහපත් මග) කිවූ, ධර්‍මය පැවැසූ.
5420. ඉක්බිති නාරද නම් බ්‍රහ්ම තෙම දඹදිව බලන්නේ අඞ්ගාති රජු දිටී. (එහෙයින්) බ්‍රහ්මලෝකයෙන් මනුෂ්‍යප්‍රජාව වෙත එළැඹියේ ය.
5421. ඉක්බිති වේදේහ රජු ඉදිරියෙහි ප්‍රාසාදය සමීපයෙහි (අහසෙහි) සිටියේය. පැමිණි ඔහු දැක රුජා තොමෝ (ඒ) ඍෂිවරයා වැන්දා ය.
5422. වැළි රජ බිය වූ සිත් ඇත්තේ අසුනෙන් බැස නාරද (බ්‍රහ්මයා) විචාරන්නේ මෙ වදන් කී ය:
5423. දෙවියකු බඳු ශරීරවර්‍ණ ඇති රාත්‍රිය හොබවන චන්‍ද්‍රයා වැනි වූ (තෙපි) කොහි සිට ආවහුද? මා විසින් විචාරන ලද්දේ නම්ගොත් කියව. මිනිස් ලොවැ තොප කෙසේ දනිත් ද?
5424. මම වනාහි දැන් දෙව්ලොවින් එමි. රාත්‍රිය හොබවන චන්‍ද්‍රයා මෙන් (මෙහි හැසිරෙන්නෙම්) තොප විසින් විචාරන ලද්දෙම් නම්ගොත් කියමි. නමින් නාරද යී ද ගෝත්‍රයෙන් කාශ්‍යප යි ද මා දනිත්.
5425. (තොපගේ) යම්බඳු වූ ශරීරවර්‍ණයක් වේ නම් එය ද තෙපි අහසෙහි යන්නහු ය, සිටිනහු ය, සිටිනහු ය, (යන මෙ) කරුණ ද ඒකාන්තයෙන් ආශ්චර්‍ය්‍යයෙකි. නාරද ඍෂිවරය, මෙ කරුණ තොප විචාරමි. කවර කරුණෙකින් තොපගේ මේ ඍද්ධිය වී ද?
5426. වාක්සත්‍යය, ත්‍රිවිධ සුචරිත ධර්‍මය හා ධ්‍යාන ධර්‍මය, ඉන්‍ද්‍රිය දමනය, ක්ලේශත්‍යාගය හා දේයධර්‍ම පරිත්‍යාගය යන මේ ගුණයෝ මා විසින් පෙර භවයෙහි මොනොවට පුරුදු කරන ලදහ. මනාව සෙවුනාලද එ (ගුණ) ධර්‍ම හේතුවෙන් රිසි තැනකට යා හැකි මනෝජව (ඉද්ධි බල) ඇත්තේ වෙමි.
5427. කුශලකර්‍මයන්ගේ ඵලදායක බව ආශ්චර්‍ය්‍ය කොට කියන්නාහු ය. ඉදින් තෙල කරුණු තොප කියන පරිදි වේ නම් නාරද තපස්විනි, මෙ කරුණ තොප විචාරමි. විචාරන ලද්දේ මනා ලෙස මට ප්‍රකාශ කරව.
5428. භූමිපාලය, (යම් කරුණෙක්හි) යම් සැකයක් කෙරෙහි ද, මහරජ, තොපගේ ඒ කාරණය මා විචාරව. කාරණයෙන් ද, නුවණින් ද ප්‍රත්‍යයෙන් ද මම තොප නිසැක බවට පමුණුවමි.
5429. නාරද මුනිවරය, ඒ කරුණ තොප විචාරමි. නාරද මුනිවරය, මා විසින් විචාරන ලද්දේ මුසා නො කියව. ජනයා යමක් කියා ද (එබඳු) දෙවියෝ ඇත් ද? පරලොව ඇත් ද?
5430. (මහරජ) ජනයා යමක් කියා ද? (එබඳු) දෙවියෝ ඇත් ම ය. මව්පියෝ ද ඇත් ම ය. පරලොව ද ඇත්තේ ම ය. කාමයන්හි ගිජු වූ මෝහයෙන් යුක්ත වූ අතිශයින්ම මුළා වූ දනෝ පරලොව නො දනිත්.
5431. නාරද තවුසාණෙනි, ඉදින් මළවුන් සඳහා පරලොව නිවෙසක් ඇතියි හදහවු නම් මට මෙලොව දී (කහවණු) පන්සියයක් දෙව. තොපට පරලොව දී (කහවණු) දහසක් දෙන්නෙමි.
5432. ඉදින් (තොප) සිල්වතෙක, (මහණ බමුණන්ගේ) අදහස දන්නෙකැයි දනුමෝ නම් භවත්හට (කහවණු) පන්සියයක් (පොලියට) දෙම්හ. රෞද්‍ර ක්‍රියා ඇත්තා වූ නිරයෙහි වසන්නා වූ තොප (කරා එළඹ) පරලොව දී කවරෙක් දහසක් ඉල්ලන්නේ ද?
5433. යමෙක් මෙලොව දී ම නො දැහැමි ස්වභාව ඇත්තේ ද පවිටු හැසිරීම් ඇත්තේ ද අලස වූයේ ද රෞද්‍රක්‍රියා ඇත්තේ ද නුවණැත්තෝ ඔහුට ණය නො දෙත්. එබඳු තැනැත්තාගෙන් ණය ආපසු ලැබීමක් නො වේ.
5434. (ධනය ඉපදවීමෙහි) දක්‍ෂ වූ උත්සාහවත් වූ සිල්වත් වූ සත්‍ය වචන ඇති පුරුෂයා දැන (ධනවත්හු), (තොපගේ) කර්‍මාන්ත කොට (අපගේ ධනය) පසුව ගෙනෙව’යි තුමූ ම ධනයෙන් පවරත්.
5435. මහරජ, මෙයින් ච්‍යුත වූයේ එහි (නිරයෙහි) ලෝතුඩු ඇති කපුටු සමූහයා විසින් අදිනුලබන්නේ දක්නෙ හිය. කවුඩන් ගිජුලිහිණියන් හා උකුස්සන් විසින් කනු ලබන සිඳින ලද සිරුර ඇති ව නිරයෙහි වෙසෙන ලේ වැගිරෙන (තොපගෙන්) පරලොව දී කවරෙක් නම් කහවණු දහසක් ඉල්වන්නේ ද?
5436. එහි (ඒ ලෝකාන්තරික නරකයෙහි චක්‍ෂුර්විඥානයාගේ උත්පත්තිය වළකන) අතිශය අන්‍ධකාරය ඇත්තේ ය. සඳහිරු නැත්තා හ. ඒ නිරය හැමකල්හි ඝන වූ අන්‍ධකාරයෙන් යුක්ත ය. භයානක ස්වරූප ඇත්තේ ය. (මෙහි යම් රාත්‍රියක් වේ ද) ඒ රාත්‍රිය ද නැත්තේ ය. දිවා කාලය ද නො පැනේ. එබඳු තැනෙක ධනය කැමති කවරෙක් හැසිරෙන්නේ ද?
5437. මහත් වූ ශක්තිමත් වූ ඉතා වැඩුණු කය ඇති කඹුරුවන් වූ ද ශ්‍යාම වර්‍ණ වූ ද සුනඛයෝ දෙදෙනෙක් මෙලොවින් ච්‍යුත වැ පරලොව යන්නහු අයෝමය දත්වලින් කති.
5438. නිරයෙහි වෙසෙන දරුණු වූ දුෂ්ට වූ දුක් එළවන්නා වූ (ඒ) සුනඛයන් විසින් කනු ලබන සිඳුණ සිරුර ඇති ලේ වැගිරෙන ඔහු ගෙන් පරලොව දී කවරෙක් දහසක් ඉල්වන්නේ ද?
5439. ඝෝර වූ කාලූපකාල{*} නම් නිරයෙහි පසමිතුරු වූ එනම් ඇති නිරයපල්ලෝ පෙර (මිසදිටු ගැනුම නම් වූ) පව්කම් කළ මිනිසාට මොනොවට තියුණු කළ හීයෙන් ද අඩයටියෙන් ද පහර දෙත්. විදීම ද කෙරෙත්.
5440. නිරයෙහි (ඔබමොබ) හැසිරෙන්නා වූ කුසෙහි ඇලයෙහි ද පහර දෙනු ලබන්නා වූ පළන ලද උදර ඇති සිඳුණු සිරුරු ඇති ලේ වැගිරෙන තොපගෙන් පරලොව දී කවරෙක් දහසක් ඉල්වන්නේ ද?
5441. ඒ නිරයෙහි අඩයටි ඊ තෝමර හෙල්ල යන විවිධ ආයුධයුතු වැසි වසී, දිලියෙන අඟුරු මෙන් ගිනිදැල් සහිත ආයුධ පව්කරන්නන් මත වැටෙයි, හෙණ මෙන් ගිනි ගෙන දිලියෙන ගල් වැසි වසී.
5442. ඒ නිරයෙහි නො ඉසිලිය හැකි උණුසුම් වාතය ඇත්තේ ය. එහි අල්ප වූ ද සුවයෙක් නො ලැබේ. සැඟවෙන තැන් නැති වැ පීඩාවට පත් වැ ඒ ඒ තැන දිවෙන තොප (තොපගෙන්) (ඒ) පරලොව දී කවරෙක් දහසක් ඉල්වන්නේ ද?
5443. රථයන්හි යොදන ලදුව දුවන්නා වූ ගින්නෙන් දිලියෙන පොළොවෙහි ඇවිදිනා වූ කෙවිටි දඬුවලින් මෙහෙයවනුලබන්නා වූ තොප (තොපගෙන්) පරලොව දී කවරෙක් දහසක් ඉල්වන්නේ ද?
5444. පරලොව දී කරමුවහතින් ගැවසීගත් දුටුවන් බිය උපදවන ගින්නෙන් දිලියෙන භයානක පර්‍වතයට නගින්නා වූ සිඳුණු සිරුරු ඇති ලේ වැගිරෙන තොප (තොපගෙන්) කවරෙක් නම් (කහවණු) දහසක් ඉල්වන්නේ ද?
5445. පරලොව දී ගින්නෙන් දිලෙන භයානක පර්‍වතයක් වැනි අඟුරුරැසට නගින්නා වූ මොනොවට දැවුණු සිරුරු ඇති බැගෑපත් වැ හඬන්නා වූ තොප (තොපගෙන්) කවරෙක් (කහවණු) දහසක් ඉල්වන්නේ ද?
5446. නිරිසතුන්ගේ ලේ බොන්නා වූ අයෝමය තියුණු කටුවලින් ගැවසීගත් වෘක්‍ෂයෝ මේකුළු මෙන් ඉතා උස් වෙති.
5447. පරදාරගමන පාපකර්‍මයෙහි යෙදුණු ස්ත්‍රීහු ද පුරුෂයෝ ද අඩයටිගත් අත් ඇති යමගේ නියෝග ඉටුකරන්නන් (යම පල්ලන්) විසින් මෙහෙයනලද්දහු ඒ රුකට නගිත්.
5448-5449. නිරයෙහි ඇති ඒ ඉඹුල්රුකට නැගෙන්නා වූ ලේ වැකුණු සමින් තොර වූ කඩකඩ වූ කය ඇති පීඩිත වූ දැඩි වේදනා ඇති මොහොතක් පාසා උණුසුම් සුසුම් හෙළන පෙර කළ පව් කම් නැමැති අපරාධ ඇති රුක් අගින් හා වෙළෙප් අගින් පහරනලද තොප වෙත එළඹ කවරෙක් ඒ ධනය ඉල්වන්නේ ද?
5450. නිරිසතුන්ගේ ලේ බොන්නා වූ තියුණු වූ අයෝමය අසිපත්‍රයන්ගෙන් ගැවසීගත් වෘක්‍ෂයෝ මේඝකූට මෙන් ඉතා උස්වැ සිටුනාහ.
5451. පරලොවදී තියුණු අසිපත්වලින් සිඳිනු ලබන කැපුණු සිරුර ඇති වැ ලේ වගුරුවමින් ඒ අසිපත්රුක් වෙත එළඹෙන තොප (වෙත පැමිණ) කවරෙක් (කහවණු) දහසක් ඉල්වන්නේ ද?
5452. දුක් වූ ඒ අසිපත් නිරයෙන් නික්මුණු පමණෙකින් ම වේතරණී නදියට වැටුණු තොප වෙත එළැඹ කවරෙක් ඒ ධනය ඉල්වන්නේ ද?
5453. පරුෂ වූ කරදියෙන් යුත් රත් වූ (එහෙයින් ම) දුදුළු වූ වේතරණී නදිය අයෝමය පොකුරු පතින් ගැවසුණි තියුණු පතින් යුතු ව ගලයි.