5159. හිස් වූ කැදැල්ල දැක්මෙන් එහා මෙහා දුවන, නැසුණු පැටවුන් ඇති ළිහිණියක මෙන් ප්‍රිය පුතු නො දක්නා මම ඒ ඒ තැන දුවමි.
5160. හිස් වූ කැදැල්ල දැක්මෙන් පැටවුන් නැසුණු බව දත් කබරුස්සක මෙන් භූරිදත්ත නමැති පුතු නො දක්නා මම බොහෝ කල් සිට දුකින් තැවෙමි.
5161. භූරිදත්ත නමැති පුතු නො දක්නා ඒ මම දිය සිඳුණු කුඩා විලෙකැ සක්වාළිහිණියක මෙන් බොහෝ කල් මුළුල්ලෙහි දුකින් තැවෙමි.
5162. කඹුරු උදුනැ යම්සේ ඇතුළතැ මැ ගිනි ඇවිළේ ද පිටත නො ඇවිළේ ද එ මෙන් භූරිදත්ත නො දක්නා මම සොවින් දැවෙමි යි මෑණියෝ වැලැපුණාහ.
5163. භූරිදත්ත නාරජුගේ භවනයෙහි අඹුදරුවෝ යුගත් මාරුතයෙන් ඇලළීගිය සල්ගස් මෙන් ශෝකයෙන් වෙසෙති යි (බුදුහු වදාළහ.)
5164. අරිට්ඨ යැ සුභග යැ යන නාරජහු දෙදෙන අනතුරු වැ භූරිදත්ත නමැති නාරජුගේ භවනයෙහි මේ ශබ්දය ඇසීමෙන් එහි දිවගියහ.
5165. මෑණියනි, අස්වැසෙවු, ශෝක නො කරවු, සත්ත්‍වයෝ වනාහි මෙ බඳු ස්වභාව ඇත්තෝ මැ වෙති. මැරෙති උපදිති යන මෙය ලෝකයේ පිරිනැමීම යැ යි කීහ.
5166. පුත, මම ද දනිමි. සත්ත්‍වයෝ මෙ බඳු ස්වභාව ඇත්තෝ මැ යැ. එහෙත් භූරිදත්ත නො දක්නා මම සොවින් පෙළුනා වෙමි.
5167. පුත සුදස්සන, ඉදින් අද රෑ භූරිදත්ත නො දක්නී නම් මගේ ජීවිතය හරින්නෙමි යි සිතමි. එ දනුව යි මෑණියෝ පැවැසූහ.
5168. මෑණියෙනි, සැනසෙනු මැනැවි. ශෝක නො කළ මැනැවි. සොහොයුරා සොයා ගෙන එන්නෙමු. සොහොයුරා සොයමින් දිසානුදිසාවනට යන්නෙමු.
5169. පර්‍වත ගිරිදුර්‍ගයන්හි ද ගම්නියම්ගම්හි ද ඇවිසැ සොයන්නෙමු. රෑ දසයකින් හෙවත් දස දවසකින් මොබ ආ සහෝදරයා බලනු මැනැවි යි පුත්‍රයෝ පැවැසූහ.
5170. (මා) අතින් මිදුණු සර්‍පයා ඔබගේ පයෙහි බලවත් සේ පතිත විය. කිම, ඔබ දෂ්ට කෙළේ ද? බිය නො වෙව, සුවපත් වෙව යි ආලම්බායන කී ය.
5171. මේ නාගයා සුළු පමණින් වත් මට දුකක් ඉපැදැවීමට නො පොහොසත් ය. යම් පමණ අහිතුණ්ඩිකයෝ වෙත් ද මට වැඩි සමතෙක් නැතැ යි (තාපස වේසයෙන් ආ සුදස්සන නැමැති නාරජ කී ය.)
5172. බමුණු වෙසින් කවර නම් අන්‍ධ බාලයෙක් මා යුද්ධයට කැඳවමින් මෙ පිරිස වෙත පැමිණියේ ද? පිරිස මාගේ බස අසාවා යි ආලම්බායන කී ය.
5173. ආලම්බායන තෝ නාගයා මගින් මා සමඟ යුද කරව, මම මැඩි පැටවක මගින් තා සමඟ යුද කරන්නෙමි. අපගේ යුදයෙහි පන්දහසකින් පරදු තැබුම වේවයි සුදස්සන තෙමේ කී ය.
5174. එම්බා මාණවකය, මම වනාහි ධනය ඇති, වස්තුවෙන් පරිපූර්‍ණ වූවෙක්මි. තෝ වනාහි දිළින්දෙක් වෙහි ය. තට කවර ඇපයක් තිබේ ද මේ දූකෙළියෙහි තැබිය යුතු කවර නම් ධනයක් වේ ද?
5175. මේ දූකෙළිය සඳහා ධනය මට ඇත, තැබිය හැකි ඇප ද ඇත. එහෙයින් එහි දී පන්දහස දක්වා පරදු තැබුම වන්නේ නම් යෙහෙකැ යි ආලම්බායන තෙමේ කී ය.
5176. මහරජ, ඔබට යහපතක් වේවා, ම බස ඇසුව මැනැවි. කීර්තිමත් රජතෙමේ මට පන්දහසකට ඇප වේවා යි සුදස්සන තෙමේ මයිල් රජුට කී ය.
5177. බ්‍රාහ්මණය, පියා විසින් ගත් ණයක් ඇද්ද නැතහොත් තමා වූ යම් ණයක් හෝ වේ ද? කුමකට මෙ බඳු බොහෝ ධන තෝ මාගෙන් ඉල්ලන්නෙහි දැ යි රජ තෙමේ ඇසී ය.
5178. මහරජ, ආලම්බායන තෙමේ නාගයා කරණ කොට ගෙන යුදයෙහි දි මා දිනන්නට කැමැත්තේ වෙයි. මම මැඬිපැටවක ලවා බ්‍රාහ්මණයා දෂ්ට කරවමි.
5179. රට වර්ධනය කරවන මහරජ, අද ඔබ ඒ නයින්ගේ නැටුම් බලන්නට ක්‍ෂත්‍රිය සමූහයා පිරිවරන ලදු වැ වඩනේ මැනැවැ යි සුදස්සන තෙමේ කී ය.
5180. මාණවකය, ශිල්පවාදයෙන් ඔබ ඉක්මවා නො හඟිමි. ඔබ වනාහි ශිල්ප හේතු කොට ගෙන මත් වූවහු ය. එහෙයින් මේ නාගයාහට බුහුමන් නො කෙරෙහි යැ යි ආලම්බායන තෙමේ කී ය.
5181. අපි දු ශිල්පවාදයෙන් බ්‍රාහ්මණයා ඉක්මවා නො හඟිමු. ඔබ විෂ නැති මේ නයාගෙන් ද බොහෝ සේ ජනයා මුළා කරන්නෙහි ය.
5182. එය මම යම්සේ දනිම් ද, මහාජන තෙමේ එසේ දනී නම් ආලම්බායන, ඔබ අත්සුණු මිටකුදු නො ලබන්නෙහි ය. ධනය නම් කොහින් ලබන්නෙහි දැ යි සුදස්සන තෙමේ ඇසී ය.
5183. රළු වූ අඳුන් දිවිසම් දරන ජටාධර අඳුන් නොලා නො සැරැසුණු දත්ත පිරිසට ආයේයැ. තෙපි මෙ වැනි අනුභවසම්පන්න නාගයා විෂ නැත්තෙකැ යි අවමන් කරව.
5184. උග්‍ර විෂ තෙදින් පරිපූර්‍ණ වූ ඒ නාරජුට ළං වැ එය දැන ගන්නෙහි ය. නා රජතෙමේ තොප වහාම අළු ගොඩක් කෙරේ යැ යි සිතමි යි ආලම්බායන තෙමේ කුපිත වැ කී ය.
5185. තොපගේ මේ රතු හිසැ’ති සර්‍පයාගේ විෂ ඇත් නම් ගැරැඬි යැ, දියබරි යැ, පණුවුළු යැ යන සතුන්ට ද විෂ ඇතැ යි සුදස්සන තෙමේ කී ය.
5186. මෙ ලොවැ දායකයෝ දන්දීම හේතු කොටගෙන දෙව්ලොවැ උපදිති යන මෙය සංයමයෙන් හා තපසින් යුත් රහතුන්ගෙන් මා විසින් අසන ලදී. ඉදින් දිය යුතු දෙයක් තොපට ඇතහොත් ජීවත් වෙමින් දන් දෙව.
5187. මේ නාගයා මහත් ඍද්ධි ඇති තේජස් ඇති කිසිවකු හට ඉක්මැ විය නො හැක්කකි. ඔහු ලවා තොප දෂ්ට කරවන්නෙමි. හේ තා අළු කරන්නේ යැ යි ආලම්බායන තෙමේ කී ය.
5188. යහළු ආලම්බායනය, මෙ ලොවැ දන් දෙන දායකයෝ දෙව්ලොවැ උපදිතැ යි යන මෙය සංයම ඇති තපස්වීන්ගෙන් මා විසිනුදු අසන ලදයැ. ඉදින් දියයුතු දෙයක් ඇතහොත් එය ජීවත් වන තෙපි මැ දෙව.
5189. අච්චිමුඛී නමැති මේ මැඬි පැටි උග්‍ර විෂ තේජසින් පරිපූර්‍ණ වූවා ය. ඇය ලවා තා දෂ්ට කරවමි. ඕ තා හළු කරන්නී ය.
5190. ධ්‍රතරාෂ්ට නමැති නාරජුට යම් දුවක් වූ ද මාගේ අසමාන මවු දරු නැගණි වූ ද උග්‍ර විෂ තේජසින් පරිපූර්‍ණ ඒ මේ අච්චිමුඛී නමැති මැඬි පැටි දකිනු ලැබේවා යි සුදස්සන තෙමේ කීය.
5191. බ්‍රහ්මදත්ත මහරජ, යම් හෙයකින් මේ විෂ පොළොවෙහි ඉසින්නේ නම් තණකොළ ලිය වැල් ද ඖෂධවර්‍ගයෝ ද නිසැක වැ වියළෙන්නාහ යි දනු මැනවැ යි කී ය.
5192. එම්බා බ්‍රහ්මදත්ත මහරජ, ඉදින් මේ විෂ අහසට දමන්නෙම් නම් සත්ත්‍වසක් මුළුල්ලෙහි වැසි නො වස්නේ ය. පිනිබිඳුවකුදු නො වැටෙති දනුව යි කීය.
5193. බ්‍රහ්මදත්ත මහරජ, ඉදින් මේ විෂ දියට (මුහුදට) ඉසින්නෙම් නම් දියෙහි උපදින මස්කැසුබු ඈ යම් පමණ සත්ත්‍වයෝ වෙද්ද ඒ සියලු සත්ත්‍වයෝ මැරෙන්නාහ යි දැන ගන්නැ යි සුදස්සන තෙමේ කීය.
නගර ප්‍රවේශ කාණ්ඩය යි.
5194. පව් සේදීමට සුදුසු යැ යි ලෝවැස්සන් විසින් සම්මත කැරුණු පයාග නම් කොටැ පිහිටි මෙබඳු දිය නහන මා කවර නම් භූතයෙක් යමුනා ගඟෙහි ගිල්වමින් ඇදගති දැ යි වැදි බමුණා ඇසී ය.
5195. ලොවට අධිපති යසපිරිවර ඇති යම් මේ ධෘතරාෂ්ට්‍ර නමැති නා රජෙක් හාත්පසින් බරණැස් නුවර පෙණයෙන් වැසුයේ ද මම ඒ නා රජුගේ පුත් වෙමි. බමුණ මා සුහග යැ යි දනිති යි සුහග නාරජ කීය.
5196. ඉදින් තෙපි වනාහි දිගාසිරි ඇති බැවින් අමර නම් නාගයනට අධිපති කංශ නමැති ධෘතරාෂ්ට්‍ර නාරජුගේ පුත් වවු නම් තොපගේ පිය තෙමේ මහේශාක්‍ය නාරජෙකි. ඔබ මවු තොමෝ මිනිසුන් අතර අසමාන තැනැත්තක යැ. එ බන්දෙක් බ්‍රාහ්මණයකුගේ දාසයකුවත් දියෙහි ගිල්වීමට නුසුදුසු යැ (මහානුභාව බමුණකු ගැන කවර කථායැ යි වැදි බමුණා කීය.)
5197. එම්බා බ්‍රාහ්මණය තෙපි රුකක් ඇසුරු කරමින් දිය බොන්නට ආ මුවකු විද්දහු ය. ඊතල වේගය නිසා තැති ගත් විදිනු ලැබූ මුවා ඈතට ගියේ ය.
5198. තෙපි මහ වනයෙහි (දුවගොස් මැරී වැටුණු) ඒ මුවා දැක්කහු ය. ඒ තෙපි මුවමස් කද රැගෙන සවස නුග රුකක් වෙත පැමිණියහු ය.
5199. ගිරා සැළලිහිණියන් විසින් පැවැත්වෙන නාද ඇති පැසුණු පල කරණකොටගෙන පිඟුවන් ගැවැසී ගත් ඇටුවන් ඇති නුග රුකින් යුත් මේ භූමිය කොවුලන් විසින් පැවැත්වෙන නාද ඇති සිත්කලු නිතර නිල් තෘණයෙන් ගැවැසී ගත්තකි.
5200. ඒ නුග රුකෙහි සිටි තොපට ඍද්ධියෙන් ද, යසසින් ද දිලියෙන මහත් අනුභාව ඇති නාගකන්‍යාවන් පිරිවැරූ මාගේ ඒ සොහොයුරු තෙමේ පෙනුණේ ය.
5201. ඒ තෙපි මගේ සොහොයුරු භූරිදත්ත නමැති ඒ නාරජු විසින් කැමැති සියලු සම්පත්තියෙන් සතුටු කැරුණේ බුහුමන් කැරුණේ ද වවු ය. ද්‍රෝහ නො කළයුතු ඔහුට තෙපි ද්‍රෝහ කළවු ය. තොපට ඒ පාපකර්‍මය දැන් මෙහි පැමිණියේ වෙයි.
5202. ගෙල වහා දිගු කරව. තා මරමි. සොහොයුරාහට කළ අපරාධය සිහිකරන මම තාගේ හිස සිඳිමි යි සුහග තෙමේ කීය.
5203. බමුණා මන්ත්‍ර හදාරයි. ඉල්ලීමට සුදුසු වෙයි, පුදන ලද ගිනි ඇත්තේ ද වෙයි. මේ තෙ කරුණින් බමුණු තෙමේ වධ නො කොට යුත්තෙකැ යි වැදි බමුණා කීය.
5204. යමුනා නදී යට පෙදෙසෙහි ධෘතරාෂ්‍ට්‍ර නා රජුගේ රන්මුවා යම් නුවරක් යමුනා ගඟ අසබඩ හිමාලය පර්‍වතය දක්වා බැබැළේ ද?
5205. එ නුවර පුරුෂ ශ්‍රේෂ්ඨ වූ සමාන මාතෘක මාගේ ඒ සොහොයුරෝ වෙසෙති. ඔහු යම් පරිදි කියද්ද බමුණ, තොප එහි දී එ පරිදි වන්නේ යැ යි සුහග තෙමේ කී ය.
සුහග කාණ්ඩය යි.
5206. සුහග ය, ලොවැ යාගයෝ ය වේදයෝ ය යන මොහු අලාමක ය. ලාමක බමුණන් විසින් යොදන ලදහ. (බමුණෝ ද අලාමකහ.) එහෙයින් නො ගැරහියයුතු බමුණාට අවමන් කරන තැනැත්තේ වස්තුව ද සත්පුරුෂ ධර්‍මය ද දුරු කරයි කියා දොරටුව අසල සිටි කාණාරිෂ්ට තෙමේ කීය.
(වැලිදු හේ කියයි)
5207. ආර්‍ය්‍ය බමුණෝ වේදය ඉගෙනීමට ද ක්‍ෂත්‍රියයෝ පෘථිවි පාලනයට ද, වෛශ්‍යයෝ සී සාන්නට ද, ශුද්‍රයෝ මෙහෙවර කරන්නට ද පැමිණෙත්වා යි මහබඹ තෙමේ කීය. වෙන වෙන ම එසේ පැමිණෙන්නෝ තම තමන්ගේ කුලයට සුදුසු පරිදි පැමිණියහ. මෙසේ මොවුහු මහබඹු විසින් මවන ලදහ යි කියති.
5208. ධාතා යැ විධාතා යැ වරුණ යැ කුවේර යැ සෝම යැ යම යැ චන්‍දිමා යැ වායු යැ සූරිය යැ යි යන මේ දෙව් රජවරු වනාහි නොයෙක් අයුරින් යාග කොට බමුණන්ට කැමැති සියලු සම්පත් දීමේ තනතුරුවලට පත්වූහ.
5209. පන්සියක් පමණ අදනා ලද මහදුන්න ඇති බලවත් බිහිසුණු මහසෙන් ඇති (දහසක් බාහුවෙන් ඇදෙන දුනු දිය අදින බැවින්) සහස්සබාහු නමැති, පොළොවෙහි අසමාන යම් අර්ජුන යැ යි රජෙක් වී ද හෙ ද එකලැ ගිනි දෙවියා පිදී යැ.
5210. යම් බරණැස් රජෙක් බොහෝ කල් මුළුල්ලෙහි සතුටු සිත් ඇත්තේ පහන් සිතින් බමුණන් වැළඳ වී ද සුහගය, හෙතෙමේ එක්තරා මහත් අනුභාව ඇති දෙව්රජෙක් වී යැ.
5211. යම් රජෙක් මහත් ආහාර ඇති අලාමක ප්‍රභාව ඇති ගිනි දෙවියා ගිතෙලින් තුටු කරන්නට හැකි වූයේ ද ඒ මුචලින්‍ද නමැති රජ තෙමේ උතුම් ගිනි දෙවියාට යාග කිරීමෙන් දෙව්ලොවට පැමිණියේ යැ.
5212. මහත් අනුභා ඇති දහසක් හවුරුදු ජීවත් වූ දැකුම් කලු වූ, උදාර වූ යම් රජෙක් අපමණ රිය සෙනඟ හැරදමා පැවිදි වූයේ ද ඒ දුදීප නමැති රජ තෙමේ ද දෙව්ලොවට පැමිණියේ යැ.
5213. සුහග, සාගර නමැති යම් රජෙක් සයුර හිම්කොට ඇති මහපොළොව ජයගෙන යහපත් ස්වර්‍ණමය යාගස්තම්භයක් එසවූයේ ද සුහග ය, ගිනිදෙවියා පුදන ඒ රජ තෙමේ ද එක් මහේශාක්‍ය දෙවියෙක් වී.
5214. එම්බා සුහග, යම් රජකුගේ අනුභාවයෙන් ගඞ්ගා පැවැත්තාහු ද සමුදුර හට ගත්තේ ද පාදයෙහි ලොම් ඇති ඒ අඟුරජ තෙමේ ගිනිදෙවියා පුදා ශක්‍රපුරයට පැමිණියේ යැ.
5215. එම්බා සුහග, දැන් යමෙක් දෙව්ලොවැ සක්දෙව් රජුගේ සේනාපති වැ මහත් ඍද්ධියෙන් හා යසපිරිවරින් යුත් උතුම් දෙවියෙක් වේ ද හෙ ද පෙරැ සෝමයාගයෙන් පව් සෝදා හැරැ එක් මහේශාක්‍ය දෙවියෙක් වූයේ යැ.
5216. සොහොවුරු සුහග, යම් ඍද්ධි ඇති යසස් ඇති මහබඹෙක් මෙ ලොව ද පරලොව ද භාගිරථී ගඞ්ගාව ද හිමවත් පව්ව ද ගිජ්ඣ පර්‍වතය ද යන මේ සියල්ල කෙළේ ද හෙ ද ගිනිදෙවියා පිදී ය.
5217. මාලාගිරි යැ හිමවත් යැ ගිජ්ඣ යැ සුදස්සන යැ නිසභ යැ කාකනේරු යැ යන මේ පර්‍වතයෝ වෙද්ද සෙසු මහත් පර්‍වතයෝ ද යාග කරන බමුණන් විසින් ගඩොලින් බැඳුණු ආසන සඳහා කරන ලද්දාහු වෙතැ යි කී හු.
5218. හදාරනලද වේද ඇති වේදමන්ත්‍ර පරිච්ඡේද ඇති පිරූ තපස් ඇති බමුණා ඉල්ලීමට සුදුස්සෙකැ යි ද කී ය. සමුද්‍ර තීරයෙහි දිය ස්නානය කරන එබඳු බමුණකු සාගරය තෙමේ ඇද ගත්තේ ය. එ බැවින් සමුද්‍රය පානය කළ නො හැකි ලුණුදිය ඇත් බවට පත් කෙළේ ය.
5219. සක්දෙවිඳුගේ යාගයනට සුදුසු බොහෝ බමුණෝ පොළොවෙහි ඇත. පෙරදිග යැ පැසුළුදිග යැ දකුණුදිග යැ උතුරු දිග යැ යන මේ දිසාවන්හි ඇති ඒ බමුණෝ දැනුදු සක්දෙවිඳුහට සතුටු උපදවති යි කාණාරිෂ්ට තෙමේ කී ය.
(ඒ අසා භූරිදත්ත මෙසේ කියයි:)
5220. එම්බා අරිෂ්ට, වේද ඉගෙනීම වනාහි නුවණ ඇත්තන්ට පරාජය නම් අකුසල ග්‍රහණය ද නුවණ නැත්තන්ට ජය නම් කුසලග්‍රහණය ද වෙයි. වේදත්‍රය මිරිඟු ස්වභාව ඇතැ යි නො සිතන්නාහු එයට පැමිණෙති. මායා කොටස් ඇති මේ වේදයෝ නැණැත්තාහු නො ඉක්මවති හෙවත් නො රවටති.
5221. දියුණුව නසන මිත්‍රද්‍රෝහි මිනිසා රැකීමට වේදයෝ සමත් නො වෙති. පිදු ගිනි ද සදොස් සිත් ඇති අකුසල් කරන මිනිසා ආරක්‍ෂා නො කෙරෙයි.
5222. ඉදින් ධන හා සම්පත් සහිත මිනිස්සු දර හා තෘණ ද මුසු කොට සියල්ල දල්වත්. අසමාන තේජස් ඇති ඒ ගින්න සියල්ල දවන්නේ සෑහීමට නො පැමිණෙයි. දෙ දිවකින් රස දැනුමට සමත් අරිෂ්ටය, කවරෙක් ඒ ගින්න සුලභ භික්‍ෂා ඇත්තක් කරන්නේ ද?
5223. යම්සේ පෙරළෙන ස්වභාව ඇති කිරි දී බවට පැමිණ යළි වෙඬරු බවටත් පැමිණේ ද ගිනි ද මෙසේ පෙරළෙන ස්වභාව ඇත්තේ වේ. ගිනිගාන දඬු හා යෙදීමෙන් ගිනි හටගනී.
5224. වියැළි නො වියැළි කාෂ්ඨයන්හි ඇවිළ ගත් හෙවත් ඇතුළට පිවිසි ගිනි නො දිස්වේ. ගිනිගාන දඬුගත් මිනිසකු විසින් අලළනු නො ලබන්නේ ක්‍රියා රහිත ව ගිනි නො හටගනී.
5225. ඉදින් ගිනි වියැළි නො වියැළි කාෂ්ඨයන්හි ඇතුළත වෙසේ නම් ලොව සියලු වනයෝ වියැළෙන්නාහ. වියැළි කාෂ්ඨයෝ ද ගිනි ඇවිළ ගන්නාහ.
5226. ඉදින් යමෙක් දුමසිළු ඇති මහත් තේජස් ඇති ගින්නට දර හා තෘණ අනුභව කරවමින් පින් කෙරෙහි නම් අඟුරු දවන්නෝ ද, ලුණු සාදන්නෝ ද, අරක්කැමියෝ ද, මළ මිනී දවන්නෝ ද පින් කරන්නාහ.
5227. ඉදින් මොහු වනාහි පින් නො කෙරෙත් නම් මෙ ලොවැ මන්ත්‍ර හදාරන බමුණෝ ගිනි තැප පින් කෙරෙද්ද? මෙ ලොවැ කිසි මිනිසෙක් දුම්සිළු ඇති මහත් තේජස් ඇති ගින්නට අනුභව කරවමින් පිනක් නම් නො කෙරේ.
5228. දෙදිව් ඇත්ත, ලෝවැසියන් පුදනලද්දා වූ ම ගින්න නො මනා ගඳ ඇති බොහෝ දෙනාට අප්‍රිය වූ යම් කුණපයක් මිනිස්සු දුරු කෙරෙත් ද, එබඳු නො පසස්නාලද කුණපය කෙසේ නම් අනුභව කරන්නේ ද?
5229. සමහරු ගින්න දෙවියන් අතුරෙන් කෙනෙකැ යි කියති. නුවණ නැති මිලේච්ඡයෝ වනාහි ජලය දෙවියෙකැ යි කියති. මේ සියල්ලෝ ම බොරු කියති. ගින්න දෙවියන් අතරෙන් අයෙක් නො වේ. ජලය ද දෙවියෙක් නො වේ.
5230. පව් කරන්නෙක් ඉඳුරන් නැති සිත් නැති සත්ත්‍වයන්ගේ බත් පිසීම් ආදි කටයුතු කරන වෙස්සානර නමැති ගින්න පුදා කෙසේ නම් සුගතියට යන්නේ ද?
5231. මෙලොවැ ජීවිකාව ප්‍රයෝජන කොට ඇත්තාහු (බමුණෝ) බ්‍රහ්මයා සියල්ලන් මැඩ පවත්වන්නෙකැයි ද ගිනි දෙවියා පුදන්නෙකැ යි ද කියති. සියලු අනුභාව ඇති සියල්ලන් වසඟ කරන බ්‍රහ්මයා තෙමේ නො මවන ලද්දේ කවර හෙයින් මවන ලද ගින්න වඳින්නෙක් වන්නේ ද?
5232. (එම්බා අරිෂ්ටය), මේ බමුණෝ සිනාවට සුදුසු නුවණැතියන්ගේ සිතීමට නො හොබනා බොරුවක් ලාභසත්කාර හේතු කොට පෙරැ පැතිරැ වූහ. ඔව්හු ලාභසත්කාර නො ලැබෙන කල සතුන් හා සම්බන්‍ධකොට (ශාන්තිධර්‍ම නමැති යාගයක් නිපැදැවූහ. නොහොත් ශාන්තිධර්‍ම නමැති යාගසූත්‍රයක් ගෙතූහ.)
5233. ආර්‍ය්‍ය වූ බමුණෝ මන්ත්‍ර ඉගෙනීමට ද, ක්‍ෂත්‍රියයෝ පොළොව පාලනයට ද, වෛශ්‍යයෝ සී සෑමට ද, ශුද්‍රයෝ ඔවුන්ගේ මෙහෙ කිරීමට ද වෙන් වෙන් වශයෙන් තම තමන්ගේ කුලප්‍රදේශයනට අනුව පැමිණියහ. මොවුහු මහබඹු විසින් මැවුණාහ යි කියති.
5234. යම්සේ බමුණන් විසින් මෙය කියන ලද්දේ ද, (ඉදින්) මෙය සැබෑ බසෙක් වේ නම් ක්‍ෂත්‍රිය නො වූවෙක් කිසි කලෙකත් රජය නො ලබන්නේ ය. බමුණු නො වූවෙක් මන්ත්‍ර නො හදාරන්නේය. වෛශ්‍යයන් මිස අනෙකක් නො සී සාන්නේ ය. ශුද්‍ර තෙමේ අන්‍යයන්ගේ මෙහෙකරු බැවින් නො මිදෙන්නේ ය.
5235. යම් හෙයකින් මේ වචනය බොරු වේ ද, එහෙයින් බඩ වැඩීම හේතුකොටගෙන මේ බමුණෝ බොරු ද කියති. ඒ බොරුව මද නුවණැත්තෝ අදහති. ප්‍රාඥයෝ තුමූ මැ ඒ බොරුව සදොස් ය යි දකිති.
5236. ක්‍ෂත්‍රියයෝ අයබදු නො ගනිති. වෛශ්‍යයෝ අයබදු නො දෙති. බමුණෝ ආයුධ රැගෙන හැසිරෙති. එසේ කැළැඹුණු වෙසෙසින් බිඳුණු ඒ ලෝකය කවර හෙයින් බඹ තෙම ඍජු නො කෙරෙයි ද?
5237. ඉදින් බොහෝ සත්ත්‍වයනට ස්වාමී වූ ඒ බ්‍රහ්ම තෙම සියලු ලෝකයෙහි අධිපති වේ නම් කවරහෙයින් සියලු ලෝකය දුක් සහිතවූවක් කෙළේ ද? කවර හෙයින් සියලු ලොව සැපවත් නො කෙළේ ද?
5238. ඉදින් බොහෝ සත්ත්‍වයනට ස්වාමි වූ ඒ බඹ තෙම සියලු ලො වැ අධිපති වේ නම් මායා ය, මුසා ය, මද ය යන මේ නො දහමින් යුතු කොට ලොව කුමක් සඳහා මැවී ද.
5239. ඉදින් බොහෝ සත්ත්‍වයනට ස්වාමි වූ ඒ බ්‍රහ්මයා සියලු ලොවැ අධිපති වූ වේ නම්, එම්බා අරිෂ්ට, කුසල් දහම් ඇති කලැ යම් බඹෙක් නො දහම් ඇති කෙළේ ද හේ නො දැහැමියෙකි.
5240. පණු ය, පළඟැටි ය, සර්‍ප ය, මැඩි ය, කෘමි ය, මැසි ය යන මොවුන් නසා පිරිසිදු වෙයි යන මේ අනාර්‍ය්‍ය ස්වරූප වූ ධර්‍මයෝ කාම්බෝජ රටවැසි (අනාර්‍ය්‍යවූ) බොහෝ දෙනාගේ බොරු ය.
5241. ඉදින් යාගයෙහි දී යමෙක් නසා ද හේ පිරිසිදු වෙයි නම් ඒ නැසුණු තැනැත්තේ දෙව්ලොවට යේ නම් බමුණෝ බමුණකු ම මරන්නාහ. යම් කෙනෙක් ඔවුන්ගේ වදන් අදහන්නාහු නම් ඔවුන් ද මරවන්නාහු ය.
5242. කිසි මෘග කෙනෙක් තමා නසන්නට නො යදිති. සිවුපාවෝ ද නො යදිති. ගවයෝ ද නො යදිති. මෙ ලොව ජීවත්වීම ප්‍රයෝජන කොට ඇත්තෝ යාගයන්හි දී පණ ඇති සිවුපාවුන් සල්වමින් මරති.
5243. ඒ නුවණ නැති පසු ආදීන් යාගස්තම්භයෙහි බඳිනු ලබනකල මේ යාගස්තම්භය තොපට පරලොව දී කැමැති වස්තුව දෙන්නේ වෙයි පරලොව ශාස්වත වන්නේ ය යි විසිතුරු වර්‍ණනාවන්ගෙන් මුහුණ සතුටු කෙරෙති.
5244. ඉදින් යාගස්තම්භයෙහි මැණික් ය, සක් ය, මුතු ය, ධාන්‍ය ය, ධන ය, රිදී ය, රත්රන් ය, යන මෙය වේ නම් ඉදින් වියැළි නො වියැළි කාෂ්ටයන්හි ද දෙව්ලොව කැමති සියලු වස්තුව දීම වේ නම් ත්‍රිවේ ද ය දන්නා බමුණෝ ම බෙහෙවින් යාග කරන්නාහු ය. බමුණෝ අන් කිසිවකු ලවා යාග නො කරවන්නාහු වෙති.
5245. යාගස්තම්භයෙහි මැණික් ය, සක් ය, මුතු ය, ධාන්‍ය ය, ධන ය, රිදී ය, රත්රන් ය යන මෙය කොයින් ද, වියැළි නො වියැළි කාෂ්ටයන්හි දෙව්ලොව කැමති සියලු වස්තුව දීම කොයින් ලැබෙන්නේ ද?
5246. පෙළඹුණු අඥාන මිනිසුන් ඇති කපටි රුදුරු බමුණෝ තෙපි ගිනි ගෙන පුදා මට වස්තුව දෙව, තෙපි කැමති සියලු සම්පත් ලැබැ සුඛිත වෙව” යි විචිත්‍ර වර්‍ණනාවෙන් ඔවුන්ගේ මුහුණු සතුටු කෙරෙති.
5247. ඒ ගිනි පුද කරන හලට ඇතුළු වැ හිසකෙස් රැවුල් බාවා නිය ද කප්වා විචිත්‍ර වර්‍ණනාවෙන් මුහුණ තුටු කෙරෙති. වේද කථාවලින් ඔහුගේ සම්පත් විනාශයට පමුණුවති.
5248. හුදෙකලා වූ බකමූණකු ලැබූ කපුටන් මෙන් ඒ කුහක බමුණෝ බොහෝ දෙන එක් වැ ඔහු වංචා කොට ඔහුගේ රස බොජුන් අනුභවකොට හිස මුඩුකොට යාගස්ථානයෙහි පසෙකට දමති.
5249. මෙසේ හුදෙකලා වූ හෙ තෙම බොහෝ බමුණන් විසින් රැස් වැ රවටන ලද්දේ වේ. ඒ බමුණෝ නොයෙක් යුක්ති කරණකොට පැහැර ගන්නාහු නො පෙනෙන දෙව් සැපතින් පෙනෙන ධනය රැගෙන යති.
5250. රජුන් විසින් අනුශාසනා කරන ලද අයබදු ගන්නා රාජපුරුෂයන් මෙන් ඔහුගේ එම ධනය රැගෙන යති. අරිෂ්ටය, ලොවැ සොරුන් හා සමාන අසත්පුරුෂ වධයට සුදුසු එබඳු වූ ඒ බමුණෝ කුමක් හෙයින් නො මරවනු ලබත් ද?
5251. ඔවුහු සක්දෙවිඳුගේ දකුණත ය යි යාගස්ථානයන්හිදී කෑල ලීයක් සිඳිති. ඉදින් එය සැබෑ නම් ශක්‍ර දේවේන්‍ද්‍රයා කපන ලද අත් ඇත්තෙකි. ඉන්‍ද්‍ර ඔහුගේ කවර නම් බලයකින් අසුරයන් දිනා ද?
5252. බමුණන්ගේ ඒ වචනය හිස්මැ ය. සක්දෙවිඳු අත් ඇත්තෙකි. ඒ උතුම් දෙවි තෙම සතුරන් නසන්නෙකි. කිසිවකු විසිනුදු නො නැසිය හැක්කේ ය. බමුණන්ගේ මේ වේද මන්ත්‍රයෝ තුච්ඡස්වභාව ඇත්තාහ. මෙය ලෝකයෙහි පෙනෙන රැවටීමකි.
5253. මාලාගිරි ය, හිමවත් ය, ගිජ්ඣ ය, සුදස්සන ය, නිසභ ය, කාකනේරු ය යන මේ පර්‍වතයෝ ද සෙසු මහත් පර්‍වතයෝ ද යාග කරන බමුණන් විසින් ආසන සඳහා ගඩොලින් කරන ලදහ යි කියති.
5254. යම් බඳු ගඩොලකින් යාග කරන බමුණන් විසින් ආසන කරන ලදහ යි කියද්ද මේ පර්‍වතයෝ එ බඳු අයුරු ඇත්තෝ නො වෙති. නො සෙල්වෙන පිහිටි ගල් ඇති අන් අයුරු ඇත්තෝ යි.