4964. ඉදින් දරුවන් කරණ කොටගෙන යාග කොට මෙයින් චුත වූවාහු දෙව්ලොවට පැමිණෙත් නම් මේ ඛණ්ඩහාල නම් පෙරෙවි බමුණු ද තමාගේ දරුවන් මරා එසේ යාග කෙරේවා.
4965. මෙසේ දන්නා ඛණ්ඩහාල නම් පෙරෙවි බමුණු කවර හෙයින් දරුවන් නො නැසුවේ ද? සියලු නෑයන් ද, තමන් ද කවර හෙයින් නො නැසුවේ ද?
4966. යම් කෙනෙක් මෙබඳු මහායාග කෙරෙද්ද, කරවද්ද, අනුමෝදන් වෙද් ද ඒ සියල්ලෝ නරකයට යෙති යි චන්‍ද්‍ර කුමාර තෙම කීය.
4967. කෙසේ නම් නුවරැ දරුවන් කැමැති ගෘහපතියෝ ද ඔවුන්ගේ භාර්‍ය්‍යාවරු ද තමන්ගේ ඖරස පුත්‍රයා නො මරනු මැනවැ යි රජුට දොස් නො පවරද් ද?
4968. කෙසේ නම් නුවරැ දරුවන් කැමැති ගෘහපතියෝ ද ඔවුන්ගේ භාර්‍ය්‍යාවෝ ද ආත්මජ පුත්‍රය නො මරව යි රජුට උපක්‍රෝශ නො කරත් ද?
4969. (මම) රජහට වැඩ කැමැත්තෙමි. හැම කල්හි දනවු වැසියනට හිත වූයෙම් ද වෙමි. කිසිවෙක් මා හා සමග ප්‍රතිඝ කරන්නෙ නො වෙයි. (එසේ වතුදු) දනවුවැසියා (තොපගේ පුත් ගුණවත යැ යි) රජහට නො දන්වයි.
4970. එම්බා ගෘහණියනි, තෙපි යව, ‘සිංහයන් බඳු නිවරද කුමරුන් නො මරව’ යි පියරජුටත්, ඛණ්ඩහාල බමුණුටත් කියව.
4971. එම්බා ගෘහිණියනි, තෙපි යව, සියලු ලෝවැසියා විසින් අපේක්‍ෂා කරනලද කුමරුන් නො මරව යි පියරජුටත් ඛණ්ඩහාල බමුණුටත් කියව.
4972. මම සොම්මර හෝ පුප්සඬු කුලයක උපනි නම් යෙහෙකි. කුලුපොතු කුලයෙහි හෝ උපනි නම් පියරජ තෙම අද මා යාගය පිණිස නො මරවයි.
4973. සියලු ස්ත්‍රීවරුනි, යව, ආර්‍ය්‍ය වූ ඛණ්ඩහාල නමැති පෙරෙවි බමුණහුගේ පාමුල හඬා වැටෙන්න. මා කළ කිසි අපරාධයක් නො දකිමි.
4974. සියලු ස්ත්‍රීවරුනි, යන්න, ආචාර්‍ය්‍ය වූ ඛණ්ඩහාල නමැති පෙරෙවි බමුණහුගේ පාමුල හඬා වැටෙන්න. ස්වාමීනි, ඔබට අපි කවර නම් ද්‍රෝහයක් කෙළෙමු ද? (ඉදින් චන්‍ද්‍ර කුමාරයා කළ වරදක් ඇතහොත් එය කමා කළ මැනවැ යි කියා හඬා වැටෙව් කියා යැවු.)
4975. සේලා නම් සොහොයුරිය සොහොවුරන් වෙත පැමිණි ස්වභාව දැකැ දෙව්ලොව යනු කැමති මපියාණනි, මේ ඔබ විසින් නැංවුණු යාගයක් දැ යි බැගෑපත් වැ වැලැපුණා ය.
4976. චන්‍ද්‍ර කුමාරයාගේ වාසුල නමැති පුත්‍ර කුමාර තෙම අපි තරුණ බවට නො පැමිණි ළදරුවෝ වෙමු. අප පියා නො මැරුව මැනවැ යි රජුගේ පාමුල හඬා වැටුණි.
4977. වාසුල නම් කුමාරය, මේ තෙම තොපගේ පියා ය. පියා සනසව. අන්තඃපුරයෙහි මේ කුමාර තෙම හඬමින් මට බොහෝ දුක් ඉපදැ විය. දැන් මේ කුමාරවරුන් මුදා හරිවු. පුතුන් මරා කරන යාගයෙන් මට කම් නැති වේවා යි රජ කීය.
4978. (මහරජතුමනි), තෙල යාගය දුෂ්කර යැ, දුර්‍ලභ යැ යි කැලැ මැ කියන ලද්දෙහි. එසේ ඇති කල්හිදු එළවන ලද අපගේ යාගයට ආකුල කෙරෙහි.
4979. යම් කෙනෙක් මෙවන් මහායාග කරත් ද යම් කෙනෙකුත් මෙවන් යාග කරවත් ද, යම් කෙනෙකුත් යාග කරන්නවුන්ගේ මෙවන් යාග අනුමෝදන් වෙත් ද, එ හැම දෙන සුගතියට යෙති.
4980. ඒකරාජය, සර්‍වරත්නයෙන් එළවන ලද තොපගේ යාගය පිළියෙල කරනලද යැ. දේවයිනි, යාගයට නික්මෙව. තෙපි ස්වර්‍ගයට ගියහු තුටු වන්නහු යැ.
4981. චන්‍ද්‍ර කුමාරයාගේ තෙල සත්සියයක් පමණ වූ තරුණ භාර්‍ය්‍යාවෝ කෙහෙවලු මුදාගෙන හඬමින් මහමඟ ඔහු අනුව යෙති.
4982. සොවින් නික්මුණු අන්‍ය ස්ත්‍රීහු නඳුනුයන්හි ච්‍යුතවන දෙව්පුතකු පිරිවරනලද දෙවඟනන් මෙන් කෙහෙ මුදාගෙන හඬමින් මහමඟ ඔහු අනුව යෙති.
4983. පිරිසුදු කසීසළු ධරන කුණ්ඩලාභරණ පැළැඳි අගිල් සඳුන් තවර කළ චන්‍ද්‍ර, සූර්‍ය්‍ය කුමරුවෝ ඒකරාජ රජුගේ යාගයට යෙත්.
4984. පිරිසුදු කසීසළු ධරන කුණ්ඩලාභරණ පැළැඳි අගිල් සඳුන් විලෙවුන් දුන් චන්‍ද්‍ර, සූර්‍ය්‍ය කුමරුවෝ මවගේ ළෙහි ශෝක ඇති කොට ගෙන යනු ලැබෙති.
4985. පිරිසුදු කසීසළු ධරන කුණ්ඩලාභරණ පැළැඳි අගිල් සඳුන් තවර කළ චන්‍ද්‍ර, සූර්‍ය්‍ය කුමාරයෝ දෙදෙන ජනයාගේ ළෙහි ශෝක ඇති කොට ගෙන යනු ලැබෙති.
4986. මස්රස සහිත සුවඳ හැල් බත් බුදින, නැහැවියන් විසින් මොනොවට නහවන ලද, පළන් කුණ්ඩලාභරණ ඇති, අගිල් සඳුන් තවර කළ චන්‍ද්‍ර, සූර්‍ය්‍ය කුමරුවෝ දෙදෙන ඒකරාජ රජහුගේ යාගයට ගෙන යනු ලැබෙති.
4987. මස්රස සහිත සුවඳ හැල් බත් බුදින, නැහැවියන් විසින් මොනොවට නහවන ලද, පළන් කුණ්ඩලාභරණ ඇති, අගිල් සඳුන් තවර කළ චන්‍ද්‍ර, සූර්‍ය්‍ය කුමරුවෝ දෙදෙන මවගේ ළෙහි ශෝක ඇති කොට ගෙන යනු ලැබෙති.
4988. මස්රස සහිත සුවඳ හැල් බත් බුදින, නැහැවියන් විසින් මනාකොට නහවන ලද, පළන් කොඬොල් ඇති අගිල් සඳුන් තවර කළ චන්‍ද්‍ර, සූර්‍ය්‍ය කුමාරයෝ දෙදෙන ජනයාගේ ළෙහි ශෝක ඇති කොට ගෙන යනු ලැබෙත්.
4989. පෙර, උතුම් ඇත්කඳෙහි හුන් යම් කුමර කෙනෙකුන් ඇත් සෙනඟින් යුතු වැ පිරිවර ජනයා පසුගමන් කෙරෙත් ද අද ඒ සඳ-හිරු කුමරහු දෙදෙන මැ පාගමනින් යෙති.
4990. පෙර, උතුම් අස්වාහනයට ගිය යම් කුමර කෙනකුන් අස්සෙනඟින් යුතු වැ පිරිවර ජනයා පසුගමන් කෙරෙත් ද, අද ඒ සඳහිරු කුමරහු දෙදෙන මැ පාගමනින් යෙති.
4991. පෙර, උතුම් රියට ගිය යම් කුමර කෙනකුන් රිය සෙනඟින් යුතු වැ පිරිවර ජනයා පසුගමන් කෙරෙත් ද, අද ඒ සඳහිරු කුමරහු දෙදෙන මැ පාගමනින් යෙති.
4992. පෙර යම් කුමර කෙනෙක් රන් අබරණින් සරසනලද අස් සෙනඟින් යුතු වැ නික්මැ ගියාහු ද, අද ඒ සඳහිරු කුමරහු දෙදෙන මැ පාගමනින් යෙත්.
4993. කොස්ලිහිණියනි, ඉදින් මස් කැමැත්තෙහි නම් යව, පුප්පවතී නුවරට පූර්‍ව දිශාවෙහි (යාගාවාටයෙක් ඇත.) මෙහි ඒකරාජ නම් රජ (පෙරෙවි බමුණුහට මුළාවූයේ පුතුන් සතර දෙනාගෙන් යුතු වැ යාග කෙරෙයි.
4994. කොස්ලිහිණියනි, ඉදින් මස් කැමැත්තෙහි නම් යව, පුෂ්පවතී නම් නුවරට පූර්‍ව දිශාවෙහි (යාගාවාටයෙක් ඇත.) මෙහි ඒකරාජ නම් රජ දූහිතෘ කන්‍යාවන් සතර දෙනාගෙන් යුතු වැ යාග කෙරෙයි.
4995. කොස්ලිහිණියනි, ඉදින් මස් කැමැත්තෙහි නම් යව පුෂ්පවතී නුවරට පූර්‍ව දිශායෙහි (යාගාවාටයෙක් ඇත.) මෙහි ඒකරාජ නම් රජ පෙරෙවි බමුණු බසට මුළාවූයේ මෙහෙසියන් සතර දෙනාගෙන් යාග කෙරෙයි.
4996. කොස්ලිහිණියනි, ඉදින් මස් කැමැත්තෙහි නම් යව. පුෂ්පවතී නුවරට පූර්‍ව දිශායෙහි (යාගාවාටයෙක් ඇත.) මෙහි ඒකරාජ නම් රජ (පෙරෙවි බමුණු බසට) මුළාවූයේ ගැහැවියන් සතර දෙනකුන්ගෙන් යාග කෙරෙයි.
4997. කොස්ලිහිණියනි, ඉදින් මස් කැමැත්තෙහි නම් යව. පුෂ්පවතී නුවරට පූර්‍වදිශායෙහි (යාගාවාටයෙක් ඇත.) මෙහි ඒකරාජ නම් රජ පෙරෙවිබමුණු බසට මුළා වූයේ ඇතුන් සතර දෙනකුන්ගෙන් යාග කෙරෙයි.
4998. කොස්ලිහිණියනි, ඉදින් මස් කැමැත්තෙහි නම් යව. පුෂ්පවතී නුවරට පූර්‍වදිශායෙහි (යාගාවාටයෙක් ඇත.) මෙහි ඒකරාජ නම් රජ පෙරෙවිබමුණු බසට මුළා වැ අසුන් සතර දෙනකුන්ගෙන් යාග කෙරෙයි.
4999. කොස්ලිහිණියනි, ඉදින් මස් කැමැත්තෙහි නම් යව. පුෂ්පවතී නුවරට පූර්‍වදිශායෙහි (යාගාවාටයෙක් ඇත.) මෙහි ඒකරාජ නම් රජ පෙරෙවි බමුණු බසට මුළා වැ වෘෂභයන් සතර දෙනකුන්ගෙන් යාග කෙරෙයි.
5000. කොස්ලිහිණියනි, ඉදින් මස් කැමැත්තෙහි නම් යව. පුෂ්පවතී නුවරට පූර්‍වදිශායෙහි (යාගාවාටයෙක් ඇත.) මෙහි ඒකරාජ නම් රජ පෙරෙවි බමුණු බසට මුළා වැ සර්‍වචතුෂ්කයෙන් යුතු වැ යාග කෙරෙයි.
5001. මේ චන්‍ද්‍ර කුමරුගේ ප්‍රාසාදය යි. මෙ ඉතා සිත්කලු වූ අන්තඃපුරය යි. දැන් ඒ චන්‍ද්‍ර ප්‍රමුඛ ආර්‍ය්‍යපුත්‍රයෝ සතර දෙන වධයට ගෙනයන ලදහ.
5002. මෙ චන්‍ද්‍ර කුමාරයාගේ කූටාගාරය රනින් කළ මල්දමින් ගැවැසිගත්තේ යැ. දැන් ඒ චන්‍ද්‍රකුමාරාදි ආර්‍ය්‍යපුත්‍රයෝ සතර දෙන වධයට ගෙනයන ලදහ.
5003. මෙ ඔබගේ උයන හැම කල්හි මොනොවට පිපියේ සිත්කලු වූයේ යැ. දැන් ඒ සඳකුමරු ප්‍රමුඛ ආර්‍ය්‍යපුත්‍රයෝ සතර දෙන වධයට ගෙනයන ලදහ.
5004. මෙ ඔබගේ හෝපලු උයන හැම කල්හි මොනොවට පිපියේ සිත්කලු වූයේ යැ. දැන් ඒ සඳකුමරු ප්‍රමුඛ ආර්‍ය්‍යපුත්‍රයෝ සතර දෙන වධයට ගෙනයන ලදහ.
5005. මෙ ඔබගේ කිණිහිරි උයන හැම කල්හි මොනොවට පිපියේ සිත්කලු වූයේ යැ. දැන් ඒ සඳකුමරු ප්‍රමුඛ ආර්‍ය්‍යපුත්‍රයෝ සතර දෙන වධයට ගෙනයන ලදහ.
5006. මෙ ඔබගේ පළොල් උයන හැම කල්හි මොනොවට පිපියේ සිත්කලු වූයේ යැ. දැන් ඒ සඳකුමරු ප්‍රමුඛ ආර්‍ය්‍යපුත්‍රයෝ සතර දෙන වධයට ගෙනයන ලදහ.
5007. මෙ ඔබගේ අඹ උයන හැම කල්හි මොනොවට පිපියේ සිත්කලු වූයේ යැ. දැන් ඒ සඳකුමරු ප්‍රමුඛ ආර්‍ය්‍යපුත්‍රයෝ සතර දෙන වධයට ගෙනයන ලදහ.
5008. මෙ ඔබගේ පොකුණ පියුම් පඬෙරින් ගැවැසිගත්තේ යැ. රන්කම් කළ නැව ද මල්දමින් විසිතුරු යැ, ඉතා සිත්කලු යැ. දැන් ඒ ආර්‍ය්‍යපුත්‍රයෝ සතර දෙන වධයට ගෙනයන ලදහ.
5009. මෙ ‘ඓරාවණ’ නම් වූ වරුණදන්ත ඇති මඟුල් ඇත් තෙම ඔබගේ හස්තිරත්න යැ. දැන් ඒ ආර්‍ය්‍යපුත්‍රයෝ සතර දෙන වධයට ගෙනයන ලදහ.
5010. මෙ ‘ඒකඛුර’ නම් මඟුලස් තෙම ඔබගේ අශ්වරත්න යැ. දැන් ඒ ආර්‍ය්‍යපුත්‍රයෝ සතර දෙන වධයට ගෙනයන ලදහ.
5011. මෙ ඔබගේ අශ්වරථය සැළලිහිණියකට බඳු හඬ ඇත්තේ සුන්‍දර වූයේ යැ. රුවනින් විසිතුරු වූයේ යැ. යම් රථයෙකැ ආර්‍ය්‍යපුත්‍රයෝ නඳුනුයන්හි දෙවියන් මෙන් ශෝභමාන වූහුද ඒ රථය යි. දැන් ඒ ආර්‍ය්‍යපුත්‍රයෝ සතර දෙන වධයට ගෙනයන ලදහ.
5012. මුළා වූ රජතෙම කෙසේ නම් රන්වන් වූ ජාතියෙන් සම වූ සුන්‍දර වූ රත්සඳුන් අලෙව් දුන් සිරුරු ඇති පුතුන් සතර දෙනාගෙන් යාග කරන්නේ ද?
5013. මුළා වූ රජ තෙම කෙසේ නම් රන්වන් වූ ජාතියෙන් සම වූ සුන්‍දර වූ රත්සඳුන් අලෙව් දුන් සිරුරු ඇති කන්‍යාවන් සතර දෙනාගෙන් යාග කරන්නේ ද?
5014. මුළා වූ රජ තෙම කෙසේ නම් රන්වන් වූ ජාතියෙන් සම වූ සුන්‍දර වූ රත්සඳුන් අලෙව් දුන් සිරුරු ඇති මෙහෙසියන් සතර දෙනාගෙන් යාග කරන්නේ ද?
5015. මුළා වූ රජ තෙම කෙසේ නම් රන්වන් වූ ජාතියෙන් සම වූ සුන්‍දර වූ රත්සඳුන් අලෙව් දුන් සිරුරු ඇති ගැහැවියන් සතර දෙනකුන්ගෙන් යාග කරන්නේ ද?
5016. යම්සේ ග්‍රාමනිගමයෝ ශූන්‍ය වූවාහු මිනිසුන් නැත්තාහු මහවනයෝ වෙත් ද, චන්‍ද්‍ර සූර්‍ය්‍ය කුමරුවන් යාග කළ කල්හි පුෂ්පවතී නගරය එසේ වන්නේ යි.
5017. දේවයිනි, ඉදින් උතුම් වූ සඳකුමරු නසා නම් වැඩ නැත්තී වූ මම් පසින් ගැවැසුණු සිරුරු ඇත්තී උමතු වන්නමු. මාගේ ප්‍රාණයෝ නිරුද්ධ වෙති.
5018. දේවයිනි, ඉදින් උතුම් වූ හිරු කුමරු නසා නම් වැඩ නැත්තී වූ මම පසින් ගැවැසුණු සිරුරු ඇත්තී උමතු වන්නමු. මාගේ ප්‍රාණයෝ නිරුද්ධ වෙති.
5019. ඝට්ටියා යැ ඕපරක්ඛී යැ පොක්ඛරක්ඛී යැ නායිකා යැ යන මොහු ඔවුනොවුන් ප්‍රිය තෙපුල් බණන්නාහු චන්‍ද්‍ර සූර්‍ය්‍ය කුමරුන් හමුවෙහි නටන්නාහු කවර හෙයින් රමණය නො කරන්නාහු ද (නෘත්‍යගීතයෙහි) උන් හා සම වූ අන් ස්ත්‍රී කෙනෙක් නැත.
5020. ඛණ්ඩහාලය, චන්‍ද්‍ර කුමරු වධයට ගෙනගිය කල්හි මට යම් හෘදයශෝකයෙක් වේ ද මාගේ මේ හෘදයශෝකය තාගේ මවු තොමෝ ලබාවා.
5021. ඛණ්ඩහාලය, සූර්‍ය්‍ය කුමරු වධයට ගෙනගිය කල්හි මට යම් හෘදයශෝකයෙක් වේ ද මාගේ මේ හෘදයශෝකය තාගේ මවු තොමෝ ලබාවා.
5022. ඛණ්ඩහාලය, චන්‍ද්‍රකුමරු වධයට ගෙනගිය කල්හි මට යම් පුත්‍රශෝකයෙක් වේ ද, මාගේ මේ හෘදයශෝකය තාගේ භාර්‍ය්‍යා තොමෝ ලබාවා.
5023. ඛණ්ඩහාලය, සූර්‍ය්‍ය කුමරු වධයට ගෙනගිය කල්හි මට යම් හෘදශෝකයෙක් වේ ද, මාගේ මේ හෘදයශෝකය තාගේ භාර්‍ය්‍යා තොමෝ ලබාවා.
5024. ඛණ්ඩහාලය, යමෙක් සිංහයන් බඳු වූ නිදොස් කුමරුවන් ඝාතන කරවී ද, ඒ තාගේ මවු තොමෝ දරුවන් නහමක් දකීවා හිමියා ද නහමක් දකීවා.
5025. ඛණ්ඩහාලය, යමෙක් සියලු ලෝවැසියා විසින් අපේක්‍ෂා කරනලද කුමරුවන් ඝාතන කරවී ද, ඒ තාගේ මවු දරුවන් නො දකීවා හිමියා ද නො දකීවා.
5026. ඛණ්ඩහාලය, යමෙක් සිංහ සදෘශ වූ නිදොස් කුමරුන් ඝාතන කරවී ද, ඒ තාගේ භාර්‍ය්‍යා තොමෝ දරුවන් නහමක් දකීවා හිමියා ද නහමක් දකීවා.
5027. ඛණ්ඩහාලය, යමෙක් සියලු ලෝවැසියා විසින් අපේක්‍ෂා කරන ලද කුමරුන් ඝාතන කරවී ද, ඒ තාගේ භාර්‍ය්‍යා තොමෝ දරුවන් නහමක් දකීවා, හිමියා ද නහමක් දකීවා. (මවුබිසෝ ආක්‍රෝශ කළා.)
5028. දේවයිනි, අප නහමක් ඝාතන කෙරේවා. අප ඛණ්ඩහාල බමුණුහට දස් කොට දෙව. හැකිලිබැඳුම් ඇතියමෝ ද ඇතුන් අසුන් පාලනය කරම්හ.
5029. දේවයන් වහන්ස, අප ඝාතනය නො කරව. අප ඛණ්ඩහාල බමුණුහට දස් කොට දෙව. හැකිලිබැඳුම් ඇතියමෝ ද ඇත් ඉලත්ති (වසුරු) බැහැර ලම්හ.
5030. දේවයන් වහන්ස, අප ඝාතනය නො කරව. අප ඛණ්ඩහාල බමුණුහට දස් කොට දෙව. හැකිලිබැඳුම් ඇතියමෝ ද අස් ඉලත්ති බැහැර ලම්හ.
5031. දේවයන් වහන්ස, අප ඝාතනය නො කරව. අප මුබ කැමැති යමක්හට දස් කොට දෙව. අපි රටින් නෙරන ලදුවමෝ ද පිඬුසිඟා හැසිරෙම්හ. (සිඟාකා ඇවිදුම්හ.)
5032. දරුවන් කැමැති දිළිඳු ස්ත්‍රීහු ද දෙවොල් ආරාධනා කරති. ඇතැම්හු අභිමත ආහාර (දොළ) ද නො ලැබ දරුවන් නො ලබත් මැ යි.
5033. අපට දරුවෝ උපදිත් ව යි, එයින් මුනුබුරො උපදිත් ව යි පැතුම් කෙරෙති. දේවයිනි, එසේ ඇති කල්හි නො කරුණෙන් අප යාග පිණිස ඝාතන කරව.
5034. පියාණෙනි, දෙවියන් යැදීමෙන් දරුවන් ලබති. පියාණෙනි, අප ඝාතනය නො කරව. දුකසේ ලද පුතුන්ගෙන් මේ යාගය නො කරව.
5035. දෙවියන් යැදීමෙන් දරුවන් ලබති. පියාණෙනි, අප ඝාතනය නො කරව. බැගෑපත් වැ ලද පුතුන් වන අප කෙරෙන් මව වෙන් නො කරව.
5036. මෑණියනි, බොහෝ දුක්විඳ චන්‍ද කුමාරයා පෝෂණය කළ තෙපි පුතු කෙරෙන් පිරිහෙවු. තොපගේ පාසඟළ වඳිමි. මපියා භොග සහිත පරලොව ලබාවා.
5037. මෑණියනි, ඔබගෙන් වියෝ වන බැවින් මා වැළැඳ ගනු මැනැවි. ඔබගේ පා වඳින්නට දුන මැනැවි. ඒකරාජ නමැති රජුගේ යාගය පිණිස නැවැත නො එන පරිදි වෙන් වැ විසීමට යමි.
5038. මෑණියනි, (වියෝ වන) මා වැළඳැ ගනු මැනැවි. නුඹගේ පා සඟළ වඳනට අවසර දුන මැනැවි. දැන් මම මෑණියන්ගේ හෘදයෙහි ශෝක උපදවා නැවත නො එන පරිදි වෙන් වැ විසීමට යමි.
5039. මෑණියනි, මා වැළැඳැ ගනු මැනැවි නුඹගේ පාසඟළ වඳනට අවසර දුන මැනැවි. දැන් මම මහාජනයාගේ හෘදයෙහි ශෝක උපදවා නැවැත නො එන පරිදි වෙන් වැ විසීමට යෙමි යි චන්‍ද කුමාරයා වැලැපුණේ ය.
5040. ගෝතමීපුත්‍රය, එසේනම් මේ අන්තිම දැක්ම බැවින් කේශ කලාපය පියුම්පත් වෙළුමෙන් සකස් කිරීමෙන් බැඳ ගන්න ඇතුළත සපුමල් පතින් මුසු මේ වෙළීම ඔබගේ පෙර සිට පැවති චාරිත්‍රයෙකි.
5041. යම් විලෙවුනෙකින් විලේපනය කරන ලද්දේ රජ පිරිසෙහි හොබනේ ද මේ අවසන් සැරසුම බැවින් රත්සඳුන් විලේපනය කරව.
5042. පුත, මනා කොටැ හඳනා ලද යම් බඳු වස්ත්‍රයකින් රජපිරිසෙහි හොබනේ ද එබඳු මෘදු වස්ත්‍ර හැඳගනුව. (ලක්‍ෂයක් අගනා) අන්තිම කසීසළුව හැඳගනුව.
5043. පුත, අතෙහි පළඳින ලද යම්බඳු අබරණින් රජපිරිසෙහි හොබනේ ද එ බඳු මුතු මැණික් රත්රන් යන මෙයින් සැරැසුණු අත් අබරණ පළඳින්නැ යි (මෑණියෝ කීහ.)
5044. දනන්හට ප්‍රධාන මහ පොළොවට අධිපති ජනපදයට හිමි වූ මේ රජ තෙමේ දරුවන් කෙරෙහි ඇති මහත් ආදරය නූපදව යි කියා සිතමි (යි චන්‍දා නම් අගබිසොව පැවැසූ.)
5045. මටත් දරුවෝ ප්‍රිය වෙති, ආත්මය ද ප්‍රිය ය, ලෙහෙළි වූ තෙපි ද අඹුවෝ ද මට ඉතා ප්‍රිය වෙති. දෙව්ලොව පතන මම එහෙයින් යාග පිණිස දරුවන් මරන්නෙමි (යි රජ තෙමේ කීය.)
5046. දේවයිනි, එසේනම් පළමු කොටැ මා මරනු. සරසන ලද යහපත් සිවුමැලි වූ ඔබ ගේ පුතා මරණයට නො පැමිණේවා, චන්‍ද්‍ර කුමාරයා ගේ මරණ දුක මා හදය නො පළාවා.
5047. දේවයිනි, එසේනම් මා පළමු කොටැ මරව. චන්‍දකුමාරයා හා සමාන දෙව්ලෝ ඇත්තක් වන්නෙමි. ඔබ ද පින් රැස් කළ මැනැවි. එකවර නැසුණු අපි දෙදෙනා සුව අනුභව කරමින් පරලොව හැසිරෙමු (යි චන්‍ද්‍රා දේවී පැවැසූ.)
5048. චන්‍ද්‍රාවනි, තීගේ මරණයට කැමැති නොවව. විශාල ඇස් ඇත්තිය, සැමියාගේ සොහොවුරෝ තව බොහෝය. ගෝතමී පුතු චන්‍දකුමාරයා මරා යාග කළ කල ඔව්හු තී පංචකාමයෙන් ඇලුම් කරවන්නාහ (යි රජ තෙමේ කී.)
5049. මෙසේ පැවැසූ කල සඳබිසෝසඳ අතුල්තලින් හෙවත් අල්ලෙන් තමන්හට පහර දුනි. හෙවත් ගසා ගති. මගේ ජීවිතයෙන් ප්‍රයෝජන නැත, විස බොමි, මැරෙමි.
5050. දේවයිනි, ඖරෂ පුත්‍රයන් නො මරව යි යම් කෙනෙක් නො කියද්ද, එහෙයින් මෙ රජහට මිත්‍රයෝ ද අමාත්‍යයෝ ද යහළුවෝ ද නැතැ යි සිතමි.
5051. දේවයිනි, තමහට මැ දා වැ උපන් දරුවන් නො මරව යි යම් කෙනෙක් නො කියද්ද, එහෙයින් මේ රජහට මිත්‍රයෝ ද නෑයෝ ද යහළුවෝ ද නැතැ යි සිතමි.
5052. මහරජ, පැළැඳි මල්මාලා ඇති අඟුපළඳනාවෙන් සැරැසුණු ඒ මේ මාගේ පුත්‍රයෝ ද ඇත. ඔවුන්ගෙන් ද යාග කළ මැනැවි. එකල ගෝතමීපුත් සඳකුමරු මුදාවා.
5053. මහරජ මා මරා කොටස් කොට සත් තැනෙක යාග කළ මැනැවි. නිදොස් වූ සිංහයකු බඳු මාගේ වැඩිමහලු පුතු නො මරනු මැනැවි.
5054. මහරජ, මා මරා කොටස් කොටැ සත් තැනෙක යාග කළ මැනැවි. සියලු ලෝවැසියන්ගේ බලාපොරොත්තු ඇති දෙටු පුතු නො මරව (යි චන්‍ද්‍රාදේවී පැවැසූ.)
5055. එම්බා චන්‍ද්‍රාවනි, ප්‍රිය වචන පවසන කල්හි මුතු මැණික් වෛදූර්‍ය්‍යමය වූ කුඩා වූ ද මහත් වූ ද බොහෝ අබරණ තිට ම විසින් දෙන ලදයැ. ම විසින් තිට දෙන මේ අන්තිම දීම ය යි චන්‍ද්‍රකුමාරයා පැළැඳි අබරණ දුනි.
5056. මෙයින් පෙරැ යම් රාජ කුමාර කෙනකුන්ගේ ස්කන්‍ධයන්හි පිපුණු මල්දම් පෙරළුනාහු ද අද ඒ මුවහත් කඩුව පවත්නේ ය.
5057. මෙයින් පෙරැ යම් රාජ කුමාර කෙනකුන්ගේ ස්කන්‍ධයන්හි විසිතුරු මල්දම් පෙරළුනාහු ද අද ඒ කුමාරයින්ගේ ස්කන්‍ධයන්හි විෂ පෙවූ තියුණු - මුවහත් කඩුව පවත්නේ ය.
5058. රාජ කුමාරයින්ගේ ශරීරයන්හි ඒකාන්තයෙන් ම නොබෝ කලකින් කඩුව හෙන්නේ ය. එසේ වූ නමුදු මහද නො පැළෙයි. මහද ඉතා දැඩි බැඳුමෙන් යුත් වූයේ විය.
5059. හැඳි පිරිසුදු කශීසළු ඇති පැළැඳි කුණ්ඩලාභරණ ඇති ගල්වන ලද අගිල් සඳුන් සුවඳ ඇති සඳහිරු කුමරුවෝ ඒකරාජ නම් රජහු ගේ යාගයට ගෙන යනු ලබන්නාහ.
5060. හැඳි පිරිසුදු කශීසළු ඇති පැළැඳි කුණ්ඩලාභරණ ඇති ගල්වන ලද අගිල් සඳුන් සුවඳ ඇති සඳහිරු කුමරුවෝ, මෑණියන්ගේ හෘදයෙහි ශෝක උපදවා ඒකරාජ නම් රජහු ගේ යාගයට ගෙන යනු ලබන්නාහ.
5061. හැඳි පිරිසුදු කශීසළු ඇති පැළැඳි කුණ්ඩලාභරණ ඇති ගල්වන ලද අගිල් සඳුන් සුවඳ ඇති සඳහිරු කුමරුවෝ මහාජනයාගේ හෘදයෙහි ශෝක උපදවා ඒකරාජ නම් රජහුගේ යාගයට ගෙන යනු ලබන්නාහ.
5062. මස්රසයෙන් යුත් සුවඳ ඇල් සහල් බොජුන් අනුභව කළ නහවන්නවුන් රන්සුණු නහනුවෙන් උළා කළ නැහැවුම් ඇති පැළැඳි කුණ්ඩලාභරණ ඇති අගිල් සඳුන් සුවඳ ගල්වන ලද චන්‍ද්‍ර සූර්‍ය්‍ය දෙකුමරුවෝ ඒකරාජ නම් රජුගේ යාගයට ගෙන යනු ලබන්නාහ.
5063. මස්රසයෙන් යුත් සුවඳ ඇල් සහල් බොජුන් අනුභව කළ නහවන්නවුන් රන්සුණු නහනුවෙන් උළා කළ නැහැවුම් ඇති පැළැඳි කුණ්ඩලාභරණ ඇති අගිල් සඳුන් සුවඳ ගල්වන ලද චන්‍ද්‍ර සූර්‍ය්‍ය දෙකුමරුවෝ මෑණියන්ගේ සිතෙහි ශෝක උපදවා ඒකරාජ නම් රජුගේ යාගයට ගෙන යනු ලබන්නාහ.