Jātaka

Birth Stories

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-29 · 7679 segments

පෙන්වන කොටස් 5501-5600 න් 7679

4763. අධර්‍මයෙහි පිහිටි ක්‍ෂත්‍රිය ය බ්‍රාහ්මණ ය වෛශ්‍ය ය ශුද්‍ර ය යන සිව්පිරිස නරකයෙහි හිස යට කොටැ වැටෙති. සියලු සිවුපිරිස උතුම් ධර්‍මයෙහි හැසිරැ පිරිසිදු වෙති හෙවත් නිවන් දකිති.
4764. සුජම්පතී නම් සක්දෙව් රජ තෙමේ මේ (උඩ සඳහන් පරිදි) කියා සැක ඇති වේදේහ රජුට අනුශාසනා කොටැ දෙව් ලොවට ගියේ ය.
4765. යම් පමණ දේවතාවෝ සුධර්‍මා නම් දෙව්සබයෙහි රැස් වූහු ද පින්වත් දේවතාවෙනි දාන සීලාදී පින් කරන මිනිසුන්ගේ උස් පහත් විපාකයෝ බොහෝ ය. මා කියන ගුණ වර්‍ණනාව අසනු මැනැවි.
4766. කුසල් කැමැති මේ නිමිරජ තෙමේ ඉතා නුවණැත්තේ වේ. සතුරන් හික්මවන සියලු විදේහ රට වැසියනට රජ වූ හෙ තෙමේ දන් දුන්නේ ය.
4767. ඒ දන් දෙන එරජුහට මෙ බඳු අදහසක් පහළ විය. එනම් දන් දීම ය බ්‍රහ්මචර්‍ය්‍ය ය යන මෙයින් කවර නම් ගුණ ධර්‍මයෙක් මහත් විපාක ඇත්තේ ද යනු යි. සක්දෙව් රජ තෙමේ කී ය.
4768. ලෝකයෙහි ඒකාන්තයෙන් ලොමුදහගන්නා වූ දෙයක් පහළ විය. එනම් පිරිවර ඇති වේදේහ රජුට දිව්‍යරථයක් පහළ වී යයි මහාජනක තෙමේ කී ය.
4769. මහත් දේවර්ධි ඇති දිව්‍ය රථාචාරී වූ මාතලී නම් දෙව්පුත් තෙමේ මියුලු නුවර වාසස්ථාන කොට ඇති වේදේහ රජුට දේවයන් වහන්ස රථයට නැංග මැනැවැ යි ආරාධනා කෙළේ ය.
4770. දිසාවනට අධිපති දේවයන් වහන්ස, මේ රියට නැඟ එනු මැනැවි. සක්දෙව් රජ සහිත ඒ තව්තිසා වැසි දෙවියෝ ඔබ දක්නට කැමැත්තාහු වෙති ඔබ සිහි කරමින් මැ ඒ දෙවියෝ සුධර්‍මා නම් දෙව්සබයෙහි රැස් වැ සිටිති යි මාතලී දෙව්පුත් තෙමේ කී ය.
4771. ඉක්බිති මියුලු නුවර වාසස්ථාන කොට ඇති වේදේහ රජ තෙමේ ඉක්මනින් හුනස්නෙන් නැගිට අභිමුඛ වැ දෙව්රියට නැංගේ ය.
4772. දෙව්රියට නැංග නිමි රජුට මාතලී දෙව්පුත් තෙමේ මෙය කී ය: දිසාවනට අධිපති දේවයන් වහන්ස, යම් මඟකින් ගොස් පව්කම් කළ සත්ත්‍වයෝ වෙසෙද්ද ඒ ස්ථානය දැක්ක හැකි ය. යම් මඟකින් ගොස් පින්කම් කළ සත්ත්‍වයෝ වෙසෙද්ද ඒ ස්ථානය දැක්ක හැකි ය. ඒ දෙමඟින් කවර මඟෙකින් ඔබ ගෙනයම් දැ යි මාතලී දෙව්පුත් තෙමේ ඇසී.
4773. මාතලී නමැති දිව්‍ය රථාචාර්‍ය්‍යය, පව්කම් කළ සත්ත්‍වයෝ වෙත් නම් යම් මඟෙකින් ගොස් ඒ ස්ථානය දැක්ක හැකි ද පින්කම් කළ සත්ත්‍වයෝ වෙත් නම් යම් මඟෙකින් ගොස් ඒ ස්ථානය දැක්ක හැකි ද ඒ දෙමඟින් මැ මා ගෙන යව යි නිමි රජ තෙමේ කී ය.
4774. දිසාවනට අධිපති දේවයන් වහන්ස, පව්කම් කළ සත්ත්‍වයෝ වෙත් නම් ඔවුන් යම් මඟෙකින් ගොස් දැක්ක හැකි ද පින්කම් කළ සත්ත්‍වයෝ වෙත් නම් ඔවුන් යම් මඟෙකින් ගොස් දැක්ක හැකි ද මේ දෙමඟින් කවර මඟෙකින් ඔබ පළමු කොට ගෙන යන්නෙම් දැ යි මාතලී දෙව්පුත් ඇසී.
4775. නිරයෙහි පව්කම් කළ සත්ත්‍වයන් වෙසෙන තැන් ද දරුණු පව් කළ සතුන් උපදින තැන් ද දුස්සීලයන් අකුසල විපාකයෙන් උපන් තැන් ද ඇතහොත් ඒ නරකයන් පළමු කොට දක්නට කැමැත්තෙමි යි නිමි රජ තෙමේ කී ය.
4776. මාතලී දෙව්පුත් තෙමේ නිමි රජහට කැකෑරෙමින් පැසෙන රත් වූ ගිනිසිළු බඳු පැහැ ඇති යා නො හැකි ලෝ දියෙන් යුත් වේතරණී නම් නදිය දැක් වී.
4777. නිමි රජ තෙමේ ඒකාන්තයෙන් ඉතා යා නොහැකි නරකයෙහි වැටෙන ජනයා දැක මාතලී දෙව්පුත්හට මෙසේ කී: එම්බා මාතලී රථාචාර්‍ය්‍යය, මට මෙය දැක්මෙන් භය උපදී. එම්බා මාතලිය තොප විචාරමි. යම් මේ මනුෂ්‍යයෝ වෙද්ද ඔහු කිනම් පව්කම් කළාහු වේතරණී නරකයෙහි වැටෙද්දැ යි ඇසී.
4778. මෙසේ ඇසූ මාතලී දෙව්පුත් තෙමේ ඔහුට ප්‍රකාශ කෙළේ ය. පාපකර්‍ම පිළිබඳ විපාක දත් හෙ තෙමේ නො දන්නා නිමි රජුට මෙසේ කී:
4779. මිනිස් ලොව ඉතා පහත් ස්වභාව ඇති බලවත් යම් කෙනෙක් දුබලයනට පීඩා කෙරෙද්ද නන් අයුරින් ආක්‍රෝශ පරිභව කෙරෙද්ද දරුණු ක්‍රියා ඇති ඔහු පව් රැස් කොට නිරතුරු ඒකාන්තයෙන් ඒ මිනිස්සු වේතරණී නම් නරකයට වැටෙති යි මාතලී දෙව්පුත් තෙමේ කී.
4780. රත් පැහැති බල්ලෝ ද කබර පැහැති බල්ලෝ ද ගිජු ලිහිණියෝ ද භයානක කපුටු සමූහයෝ ද මස් කඩ කඩා කති. මේ දැක මට භය උපදී. එම්බා සාරථිය ඔබ විචාරමි. කවුඩන් කනු ලබන යම් මේ නිරිසත්තු කිනම් පාපකර්‍මයක් කළාහු දැ යි ඇසී.
4781. මෙසේ ඇසූ මාතලී දෙව්පුත් තෙමේ ඔහුට ප්‍රකාශ කෙළේ ය. පාපකර්‍ම විපාක දන්නා හෙ තෙමේ නො දන්නා නිමි රජුට මෙසේ කී:
4782. මසුරු බැවින් අනුන්ට නොදෙන, අනුන්ට දෙන දේත් වළකන හෙයින් මසුරු වූ ඉතා පහත් ස්වභාව ඇති යම් කිසි කෙනෙක් මහණ බමුණන්ට නින්‍දා පරිභව කෙරෙද්ද හිංසා ආක්‍රෝශ කෙරෙද්ද දරුණු පාපකර්‍ම ඇති ඔහු පව් රැස් කොට නිරයට යෙත්. ඒ මේ නිරිසතුන්ගේ මස් කවුඩෝ අනුභව කරති යි මාතලී දෙව්පුත් කී.
4783. ගිනිදැල් සහිත වූ යපොළොව ආක්‍රමණය කෙරෙති, රත් වූ මුගුරුවලින් තැළෙති. සාරථිය, මට මෙය දැකීමෙන් භය උපදී. එම්බා මාතලී නම් දේවසාරථිය, ඔබගෙන් අසමි: යමුගුරුවලින් තැලෙන නිරිසත්තු සයනය කෙරෙද්ද? මේ සත්ත්‍වයෝ කිනම් පාපකර්‍මයක් කළාහු දැ යි නිමි රජ ඇසී.
4784. මෙසේ ඇසූ මාතලී දෙව්පුත් ඔහුට ප්‍රකාශ කෙළේ ය. පාපකර්‍ම විපාක දන්නා හෙ තෙමේ නො දන්නා නිමි රජුට මෙසේ කී:
4785. මිනිස් ලොවැ ඉතා පහත් ස්වභාව ඇති යම් කෙනෙක් නිවැරැදි පුරුෂයකුට හෝ ස්ත්‍රියකට හිංසා ආක්‍රෝශ පරිභව කෙරෙද්ද භයානක පව්කම් ඇති ඔවුහු පව් රැස් කොට නිරයට යෙති. යමුගුරුවලින් තැළෙන යපොළොවෙහි සයනය කරන්නෝ ඒ මේ නිරිසත්තු ය යි මාතලී නම් දේවසාරථී කී.
4786. හාත්පසින් දැවෙන ශරීර ඇති හඬන අනික් කෙනෙක් ගිනි අඟුරු වළට වැටෙති; (ඔවුන්ගේ ඇඟට ගිනි අඟුරු දමති). සාරථිය, මෙය දැක්මෙන් භය උපදී. සාරථිය, ඔබ විචාරමි: යම් මේ නිරිසත්තු මේ අඟුරු වළට වැටෙත් ද මේ සත්ත්‍වයෝ කිනම් පාපකර්‍මයක් කළාහු දැ යි ඇසී.
4787. මෙසේ ඇසූ මාතලී දෙව්පුත් තෙමේ ඔහුට ප්‍රකාශ කෙළේ ය. පාපකර්‍ම විපාක දන්නා හෙ තෙමේ නො දන්නා නිමි රජුට මෙසේ කී:
4788. යම් කිසි කෙනෙක් සමූහයා සතු ධනය හේතු කොට ගෙන බොරු සාක්‍ෂි කියා ධනය පිළිබඳ ණය නසා ලද්ද, මහරජ ඔව්හු ජනසමූහය පිළිබඳ ණය මෙසේ බොරුවෙන් විනාශ කොට භයානක පව්කම් කරන්නාහු පව් රැස් කොට නිරයට යෙති. ඔව්හු අඟුරුවළට වැටීමෙන් කම්පා වෙති යි කී.
4789. ඇවිල ගත් දිලියෙන ගිනිදැල් සහිත මහත් ලෝ සැළිය පෙනේ. රථාචාර්‍ය්‍යය මෙය දැක්මෙන් භය උපදී. එම්බා සාරථිය, ඔබ විචාරමි: යටිකුරු වූ හිස් ඇති යම් මේ නිරිසත්තු ලෝ සැළියට වැටෙද්ද, මේ සත්ත්‍වයෝ කිනම් පව් කළාහු දැ යි ඇසී.
4790. මෙසේ ඇසූ මාතලී දෙව්පුත් ඔහුට ප්‍රකාශ කෙළේ ය. පාපකර්‍ම විපාක දන්නා හෙ තෙම නො දන්නා නිමි රජුට මෙසේ කී:
4791. මෙ ලොව ඉතා අධම ස්වභාව ඇති යම් කෙනෙක් සිල්වත් මහණ බමුණන්ට හිංසා ආක්‍රෝශ කෙරෙද්ද දරුණු පව්කම් ඇති ඔව්හු පව් රැස් කොට නරකයට යෙති. යටිකූර හිස් ඇති මේ ජනයෝ ලෝකුඹු නිරයට වැටෙති යි දේවසාරථී තෙම කී.
4792. තවද ගිනිගෙන දිලියෙන යොතින් ගෙළ වෙළා උණු ලෝදියෙහි දමා තෙමා ගෙළ සිඳිති. මෙය දැක්මෙන් මට භය උපදී. එම්බා දේව සාරථිය ඔබ විචාරමි: යම් මේ නිරිසත්තු සිඳින ලද හිස් ඇත්තෝ හොවිත් ද මොව්හු කිනම් පව්කම් කළාහු දැ යි ඇසී.
4793. මෙසේ ඇසූ මාතලී දෙව්පුත් ඔහුට ප්‍රකාශ කෙළේ ය: පාපකර්‍ම විපාක දන්නා හෙ තෙම නො දන්නා නිමි රජුට මෙසේ කී.
4794. සත්ත්‍වලෝකයෙහි ඉතා අධමස්වභාව ඇති යම් කෙනෙක් පක්‍ෂීන් අල්වා ගෙන පිහාටු ගලවා ගෙළ සිඳ මරත් ද මහරජ, එසේ කිරීමෙන් දරුණු පව්කම් කරන ඔව්හු පව් රැස් කොට නරකයට පැමිණෙති. සුන් වූ හිස් ඇති ඒ මේ නිරිසත්තු සයනය කරති යි කී ය.
4795. දිය බහුල වූ නො ගැඹුරු ඉවුරු ඇති මනා තොට ඇති මේ නදිය ගලා බසී. ග්‍රීස්මයෙන් තැවුණු සත්ත්‍වයෝ පැන් බොති. ඔවුන් පානය කළ ජලය බොල් බවට පත් වේ.
4796. සාරථිය මෙය දැක්මෙන් මට භය උපදී. එම්බා දේව සාරථිය, ඔබ විචාරමි: ඔවුන් බොන ඒ පැන් බොල් බවට පැමිණේ. මේ නිරිසත්තු කිනම් පව්කම් කළාහු දැ යි ඇසී.
4797. මෙසේ ඇසූ මාතලී දෙව්පුත් ඔහුට ප්‍රකාශ කෙළේ ය. පාපකර්‍ම විපාක දන්නා හෙ තෙළ නො දන්නා නිමි රජුට මෙසේ කී:
4798. මෙ ලොව අපිරිසිදු කර්‍මාන්ත ඇති හෙවත් පව් කරන යම් කෙනෙක් පිරිසුදු සප්තවිධ ධාන්‍යයෙන් යම් ධාන්‍යයක් බොල් හා මුසු කොට මිලයට ගන්නා තැනැත්තාහට දෙද්ද ග්‍රීෂ්මයෙන් තැවුණු පැන් බොනු කැමැති ඔවුන් බොන පැන් බොල් බවට පැමිණේ ය යි කී.
4799. ඊ අඩයටි තෝමර යන මෙයින් අඬන නිරිසතුන්ගේ උභය පාර්ශ්වය විදිත්. සාරථිය, මට වනාහි මෙය දැක්මෙන් භය උපදී. එම්බා මාතලී නම් සාරථිය, ඔබ විචාරමි. යම් මේ නිරි සත්තු අඩයටි ආදි ආවුදවලින් නැසුණෝ හොවිද්ද, මේ නිරිසත්තු කිනම් පව් කළාහු දැ යි ඇසී.
4800. මෙසේ ඇසූ මාතලී දෙව්පුත් ඔහුට ප්‍රකාශ කෙළේ ය. පාපකර්‍ම විපාක දන්නා හෙ තෙම නො දන්නා නිමි රජුට මෙසේ කී:
4801. පාපකර්‍ම ඇති යම් කෙනෙක් සත්ත්‍වලෝකයෙහි ධන ධාන්‍ය ය රන්රිදී ය එළුබැටළු ය ගවමහිස ය යන මෙයින් හිමියන් විසින් නුදුන් යම් දෙයක් සොර සිතින් ගෙන දිවි පවත්වද්ද, දරුණු පව්කම් ඇති ඔව්හු පව් රැස් කොට නිරයට යෙති. ඒ මේ නිරි සත්තු ආවුදවලින් නැසුණාහු හොවිත්.
4802. යළි මේ නිරිසතුන්ගෙන් ඇතැමෙක් බෙල්ලෙන් බඳනා ලදහ; සමහරු කඩ කඩ කොටැ කපා වෙන් කරන ලද; තවද සමහරු යපොළොවෙහි මස් ගොඩවල් බවට පත් කරන ලද. සාරථිය මෙය දැක්මෙන් මට භය උපදී. දේවසාරථිය, ඔබ විචාරමි: මේ නිරිසත්තු කිනම් පව් කළාහු ද, යම් මේ සත්ත්‍වයෝ මස් කරන ලද්දාහු හොවිද්ද මොව්හු කිනම් පව් කළාහු දැ යි ඇසී ය.
4803. මෙසේ ඇසූ මාතලී දෙව්පුත් ඔහුට ප්‍රකාශ කෙළේ ය. පාපකර්‍ම විපාක දන්නා හෙ තෙම නො දන්නා නිමි රජුට මෙසේ කී:
4804. එළුවන් මරා ඌරන් මරා දිවි පවත්වන්නාවූ ද මසුන් මරා දිවි පවත්වන්නාවූ ද ඔවුහු ගව මහිස එළු බැටෙළුවන් මරා මස් කොට මස්ලොඹුවල විකිණීමට කොටස් වශයෙන් තැබූහු ද ඒ දරුණු පව්කම් ඇත්තෝ පව් රැස් කොටැ නරකයට යෙති. කොටස් කළ මස් බවට පත් ඒ මේ නිරිසත්තු හොවිති.
4805. මල මුත්‍ර පිරුණු දුර්‍ගන්‍ධ වූ මේ විල දුගඳ හමයි. සාදුකින් පෙළෙන සත්ත්‍වයෝ එය අනුභව කරති. මාතලිය, මෙය දැක්මෙන් මට භය උපදී. එම්බා දේවසාරථිය, ඔබ විචාරමි: යම් මේ නිරිසත්තු මලමූත්‍ර අනුභව කෙරෙද්ද ඔවුහු කිනම් පව්කම් කළාහු දැ යි ඇසී.
4806. මෙසේ ඇසූ මාතලී දෙව්පුත් ඔහුට ප්‍රකාශ කෙළේය. පාපකර්‍ම විපාක දන්නා හෙ තෙම නො දන්නා නිමි රජුට මෙසේ කී.
4807. මේ යම්කිසි සත්ත්‍ව කෙනෙක් අත් පා කැපීම් ආදී වශයෙන් මිනිසුන්හට දරුණු වද දෙද්ද යහළුවන් වෙහෙසන අනුන්හට හිංසා පීඩා කිරීමෙහි නියුතු දරුණු පව් කරන්නාවූ මිතුරන්හට ද්‍රෝහ කරන අඥාන වූ ඔව්හු පව් රැස් කොට නරකයට පැමිණ අශුචි අනුභව කෙරෙතී කී.
4808. ලේ සැරව පිරුණු දුගඳ වූ මේ විල අපවිත්‍ර වූ දුර්‍ගන්‍ධය පතුරුවයි. ග්‍රීෂ්මයෙන් තැවුණු සත්ත්‍වයෝ එය බොති. සාරථිය, මෙය දැකීමෙන් මට භය උපදී. එම්බා දෙවසාරථිය, ඔබ විචාරමි. යම් මේ නිරිසත්තු ලේ සැරව අහර කොට ඇත්තාහු ද ඔව්හු කිනම් පව් කළාහු දැ යි ඇසී ය.
4809. මෙසේ ඇසූ මාතලී දෙව්පුත් ඔහුට ප්‍රකාශ කෙළේ ය. පාපකර්‍ම විපාක දන්නා හෙ තෙම නො දන්නා නිමි රජුට මෙසේ කී:
4810. යම් කෙනෙක් මේ සත්ත්‍වලෝකයෙහි ගිහි වැ සිට මව හෝ පියා හෝ රහතන් හෝ මරත් ද දරුණු පව්කම් ඇති ඔව්හු නරකයට යෙති. ඒ මේ නිරිසත්තු ලේ සැරව අනුභව කරන්නෝ වෙතියි කී ය.
4811. සිය ගණන් උල් ගැසූ සමක් මෙන් බිලියෙන් විදින ලද දිව බලනු මැනවි. ගොඩ දැමූ මසුන් මෙන් මේ සත්ත්‍වයෝ කවර හෙයින් සැලෙත් ද, හඬමින් කෙළ වගුරුවද්ද?
4812. සාරථිය, මෙය දැක්මෙන් මට භය උපදී. එම්බා දෙවසාරථිය, ඔබ විචාරමි: යම් මේ නිරිසත්තු ගිලින ලද බිලී ඇත්තාහු හොවිත් ද මේ සත්තු කිනම් පව් කළාහු දැ යි ඇසී ය.
4813. මෙසේ ඇසූ මාතලී දෙව්පුත් ඔහුට ප්‍රකාශ කෙළේ ය. පාපකර්‍ම විපාක දන්නා හෙ තෙම නො දන්නා නිමි රජුට මෙසේ කී:
4814. බඩු මිල නියම කරන ස්ථානයෙහි නියුතු යම් කිසි මිනිස් කෙනෙක් ඒ ඒ දේ අගය කිරීම් වශයෙන් හෙවත් මිල ප්‍රමාණ කිරීම් වශයෙන් වෙළඳුන්ගේ ලාභයට හානි පමුණුවද්ද වස්තු ආශාවෙන් හොර කිරුම් මිනුම් ආදි කූට ක්‍රියායෙන් ඇමෙන් වැසූ බිලිය රැගෙන මසකු මරන්නට ළං වන්නා සේ තුලාකූට ආදිය කෙරෙද්ද,
4815. තමන්ගේ කර්‍මබලයෙන් ඉදිරිපත් කළ එ වැනි කූටකම් කරන්නාහට රැකෙන තැනක් නම් නැත. ඒ දරුණු පව්කම් ඇත්තාහු පව් රැස් කොට නරකයට යෙති. ඒ මේ නිරිසත්තු ගිලි බිලී ඇත්තෝ හොවිති යි කී.
4816. යමපල්ලන් විසින් කැපූ ශරීර ඇති පිළිකුල් මේ ස්ත්‍රීහු හිස අත් බැඳ ගෙන හඬති. ලේ සැරව තැවරුණු ශරීර ඇති වදබිමෙහි ගෙරින් මෙන් කැපූ ඔව්හු යපොළොවෙහි හැම කල්හි ඉගටිය පමණ ගැලුනාහු ගින්නෙන් දිලියෙන පර්‍වත වැනි යකඳන් ඉක්මවා පවතිත්.
4817. සාරථිය, මේ දැක්මෙන් මට භය උපදී. එම්බා දෙව සාරථිය, ඔබ විචාරමි. යපොළොවෙහි හැම කල්හි ඉඟ තෙක් ගැලුණු ගිනිදැල් සහිත යම් ස්ත්‍රීහු යකඳන් ඉක්මැ පවත්නෝ ද මේ ස්ත්‍රීහු කිනම් පව්කම් කළාහු දැ යි ඇසී.
4818. මෙසේ ඇසූ මාතලී දෙව්පුත් ඔහුට (නිමිරජුට) ප්‍රකාශ කෙළේ ය. පාපකර්‍ම විපාක දන්නා හෙ තෙම නො දන්නා නිමි රජුට මෙසේ කී.
4819. මේ මිනිස් ලොවැ අපිරිසුදු ක්‍රියා ඇති සමහර කුල ස්ත්‍රීහු අසංයත පරිදි ක්‍රියා කළහ. ධූර්‍ත ස්වරූප ඇති ඔව්හු සිය සැමියා හැර පඤ්චකාම රති හා සෙසු ක්‍රීඩා පිණිස ද අන් සැමියන් හා සිත් පරිදි හැසුරුණාහ. ඔව්හු නිරයට පැමිණ ගිනිදැල් සහිත පර්‍වත වැනි යකඳන් ඉක්මවා පවතිත්.
4820. මේ සමහර කෙනකු පා අල්ලා හිස යටිකුරු කොට ගෙන නරකයෙහි හෙළන්නාහ. මාතලිය, මෙය දැක්මෙන් මට භය උපදී. එම්බා දේවසාරථිය, ඔබ විචාරමි. යම් මේ නිරිසත්තු හිස යටිකුරු කොට නරකයෙහි හෙළනු ලබද්ද ඒ මොව්හු මිනිස් වූවාහු කිනම් පාපකර්‍මයක් කළාහු දැ යි ඇසී.
4821. මෙසේ ඇසූ මාතලී දෙව්පුත් ඔහුට ප්‍රකාශ කෙළේ ය. පාපකර්‍ම විපාක දන්නා හෙ තෙම නො දන්නා නිමි රජුට මෙසේ කී:
4822. මිනිස් ලොවැ අයහපත් කර්‍ම ඇති යම් කෙනෙක් පරදාරාවන් කෙරෙහි ඉක්මවා හැසිරෙද්ද එවැන්නෝ උතුම් බඩු සොරකම් කරන්නෝ ය. නරකයට පැමිණි ඒ මේ නිරිසත්තු යටිකුරු හිස් ඇත්තෝ වැ නරකයෙහි හෙළනු ලබති.
4823. ඒ නිරිසත්තු බොහෝ වර්‍ෂ සමූහයන් මුළුල්ලෙහි නරකයෙහි දුක් විඳිති. තමන්ගේ කර්‍ම බලයෙන් ඉදිරිපත් කළ පව්කරුවාට ආරක්‍ෂාවීමට ස්ථාන නැත. දරුණු පව්කම් කළ ඔව්හු පව් රැස් කොට නරකයට යති. ඒ මේ පව් කළ නිරිසත්තු හිස් යටිකුරු කොට නරකයට හෙළනු ලබත් ය යි කී.
4824. දරුණු ස්වභාව ඇති කුඩා මහත් කම්කටුලු නරකයෙහි පෙනේ. සාරථිය, මෙය දැක්මෙන් මට භය උපදී. එම්බා දේවසාරථිය, ඔබ විචාරමි. මේ නිරිසත්තු ඉතා තියුණු රළු කටුක වූ දුක් වේදනා විඳිත්. මේ සත්ත්‍වයෝ කිනම් පව් කළාහු දැ යි ඇසී.
4825. මෙසේ ඇසූ මාතලී දෙව්පුත් ඔහුට ප්‍රකාශ කෙළේ ය. පාපකර්‍ම විපාක දන්නා හෙ තෙම නො දන්නා නිමි රජුට මෙසේ කී:
4826. මේ මිනිස් ලොවැ ඉතා ලාමක දෘෂ්ටි ඇති මෝහයෙන් විශ්වාසයට අනුව පව් කෙරෙද්ද අන්‍ය ජනයා ලවා ද මිථ්‍යාදෘෂ්ටිය සමාදන් කරවද්ද අධම දෘෂ්ටි ඇති ඔව්හු පව් රැස් කොට නරකයට යෙති. මේ නිරිසත්තු තියුණු රළු කටුක දුක් වේදනා විඳිති යි කී.
4827. මහරජ, පව්කම් කළ සතුන් වසන තැන් ද දරුණු පව්කම් කළ සතුන්ගේ උප්පත්තිස්ථානයෝ ද දුස්සීල සත්ත්‍වයන්ගේ උපදනා ස්ථානයෝ ද ඔබ විසින් දක්නා ලදහ. දේවයන් වහන්ස, දැන් (මේ නරකයෙහි දුක් දුටු ඉක්බිති) සක්දෙව් රජුහු ගේ දිව්‍යසම්පත් දක්නා පිණිස යනු මැනවි යි මාතලී කී.
නිරය කාණ්ඩය.
4828. කැරැලි පහක් ඇති මේ විමානය පෙනේ. එහි යහන මැද මාලා පැළැඳ ගත් මහත් අනුභාසම්පන්න ස්ත්‍රියක් කුදුමහත් දිව්‍ය ඍද්ධීන් දක්වමින් හිඳී.
4829. සාරථිය, මෙය දැක්මෙන් මට සතුට උපදී. එම්බා දේවසාරථිය, ඔබ විචාරමි. දෙව්ලොවට පැමිණි යම් ස්ත්‍රියක් තුටු වෙයි ද මේ ස්ත්‍රී තොමෝ කිනම් යහපතක් කළා දැ යි ඇසී.
4830. නිමි රජු විසින් ඇසූ මාතලී දෙව්පුත් ඔහුට එය ප්‍රකාශ කෙළේ ය. පුණ්‍යකර්‍ම විපාක දත් හෙ තෙම නො දන්නා රජුට මෙසේ කී ය:
4831. ඉදින් මිනිස්ලොව බමුණකුගේ ගෘහදාසියක කුස උපන් බීරණී නමින් දාසියක් වූවා යැ යි ඔබ අසන ලද ද, ඕ ආගන්තුක සත්කාර දැන, දුර සිට ආ පුතු දැක්මෙන් එක්වර ම උපන් සතුටු ඇති මව මෙන් නිරතුරු සතුටින් උපස්ථාන කෙළේ ද සිල්වත් පරිත්‍යාග ගුණයෙන් යුත් ඕ තොමෝ මේ විමානයෙහි සතුටින් වෙසේ ය යි කී.
4832. මැවුණු දිලිසෙන විමාන සතක් බැබළෙති. එහි මහත් දේව ඍධි ඇති සියලු දෙව් අබරණින් සැරසුණු දිව්‍ය පුත්‍රයෙක් දිව්‍ය ස්ත්‍රී සමූහයා විසින් පිරිවරන ලද්දේ හාත්පසින් ඇවිදියි,
4833. සාරථිය, මෙය දැක්මෙන් මට සතුට උපදී. එම්බා දේවසාරථිය, ඔබ විචාරමි. දෙව්ලොවට පැමිණි යමෙක් මේ විමානයෙහි සතුටු වේ ද මේ සත්ත්‍ව තෙම කිනම් යහපතක් කෙළේ දැ යි ඇසී.
4834. නිමි රජු විසින් ඇසූ මාතලී දෙව්පුත් තෙමේ ඔහුට එය ප්‍රකාශ කෙළේ ය. පුණ්‍යකර්‍ම විපාක දත් හෙ තෙම නො දන්නා රජුට මෙසේ කී ය:
4835. මේ තෙමේ පෙර දානපති බැව්හි පිහිටා දන් දුන් සෝණදින්න නම් ගහපති ය. මේ තෙම භික්‍ෂූන් ගේ ප්‍රයෝජනයට විහාර සතක් කැරැවී.
4836. එහි වැඩ වෙසෙන භික්‍ෂූන් වහන්සේට සකස් කොට උපස්ථාන කෙළේ ය. ඍජු වූ ගුණවත් භික්‍ෂූන් කෙරෙහි විශේෂයෙන් පැහැදුණු සිතින් සිව්පස පිදුයේ ය.
4837. පක්‍ෂය සම්බන්‍ධ තුදුස්වක් පසළොස්වක් දිනයන්හි ද අටවක් දිනයෙහි ද පාටිහාරිය පක්‍ෂයෙහි ද අඞ්ග අටකින් යුත් සිල් සමාදන් වැ,
4838. හැම කල්හි සීල සංවරයෙන් යුත් වූයේ පෙහෙවස් ද විසුයේ ය. සිල් රැකි දන් දුන් හෙ තෙම මේ විමානයෙහි තුටු වේ.
4839. පළිඟුවලින් මැනැවින් නිමැවුණු උතුම් ස්ත්‍රී සමූහයා ගැවසීගත් උතුම් කුළුගෙවලින් හෙබි ආහාරපානයෙන් ද නෘත්‍ය ගීතයෙන් ද යුත් මේ විමානය බබළයි.
4840. සාරථිය, මෙය දැක්මෙන් මට සතුට උපදී. එම්බා දේවසාරථිය, ඔබ විචාරමි. දෙව්ලොවට පැමිණි යම් කෙනෙක් මේ විමානයෙහි සතුටු වෙද්ද මේ ස්ත්‍රීහු කිනම් යහපතක් කළාහු දැ යි ඇසී ය.
4841. නිමි රජු විසින් ඇසූ මාතලී දෙව්පුත් තෙම ඔහුට එය ප්‍රකාශ කෙළේ ය. පුණ්‍යකර්‍ම විපාක දත් හෙ තෙම නො දන්නා රජුට මෙසේ කී ය:
4842. මේ මිනිස් ලොව යම්කිසි ස්ත්‍රී කෙනෙක් සිල්වත් උපාසිකාවෝ වූහු ද දීමෙහි ඇලුණු නිති පහන් සිතැති සත්‍යයෙහි පිහිටි පෙහෙවස් රැකීමෙහි නො පමා වූ ඔව්හු සිල් රැක්කාහු ද දාන සංවිභාගයෙහි ද ඇලුණු ඒ ස්ත්‍රීහු මේ විමානයෙහි සතුටු වෙත් යි කී ය.
4843. වෙරළුමිණි බිත්තිවලින් මනා කොට නිමැවුණු සිත්කලු භූමියෙන් යුත් ප්‍රමාණ වශයෙන් කොටස් කර බෙදූ මේ විමානය බබළයි.
4844. පණාබෙර ද (අළිඟු බෙර) මිහිඟු බෙර හා නෘත්‍යගීතයෝ ද මැනවින් වාදනය කැරුණු ඇසුමට සුදුසු සිත්කලු දිව්‍යශබ්ද නිකුත් කෙරෙති.
4845. මෙසේ ඉතා සිත්කලු බවට පැමිණි මනෝඥ වූ පෙනෙන ඇසෙන යම් රූපයක් හෝ ශබ්දයක් වේ නම් එබන්දක් මම කිසි කලෙක නුදුටු නෑසූ විරීමි.
4846. සාරථිය, මෙය දැක මට සතුට උපදී. එම්බා දේවසාරථි වූ මාතලී, තොප විචාරමි. ස්වර්‍ගයට පැමිණි යම් කෙනෙක් මේ විමානයන්හි සතුටුවෙත් ද, මිනිස් වූ මොහු කවර නම් යහපතක් කළෝ ද?
4847. නිමි රජු විසින් ඇසූ මාතලී දේවසාරථි තෙම ඔහුට (මෙසේ) ප්‍රකාශ කෙළේ ය. පුණ්‍යකර්‍ම විපාක දත් හෙතෙම නොදන්නා රජුට මෙසේ කී ය.
4848. මේ මිනිස්ලොවැ යම් කිසි සිල්වත් උපාසක වූ මනුෂ්‍ය කෙනෙක් (කෙලෙස් ගිනි නිවීමෙන්) සිහිල් වූ රහතුන් උදෙසා අරම් ද ළින්පොකුණු ද පැන්හල් ද (දුර්‍ගමස්ථානයෙහි) සේතුබන්‍ධ ද සකසා පිළියෙළ කොට දුන්නාහු ද,
4849. ඍජුප්‍රතිපත්ති ඇති රහතුන් කෙරෙහි සිවුරු ද පිඬුවා ද ගිලන්පස ද සෙනසුන් ද පහන් සිතින් දුන්නාහු ද,
4850-4851. පක්‍ෂය සම්බන්‍ධී වූ තුදුස්වක් පසළොස්වක් අටවක් පොහෝ දිනයෙහි ද (එයට පෙරගමන් පසුගමන් විසින්) ප්‍රාතිහාර්‍ය්‍ය පක්‍ෂයෙහි ද අෂ්ටාඞ්ග සමන්‍වාගත වූ පෙහෙවස් වුසූහු ද, හැම කල්හි සීලයෙහි සංවර වූ ද සංයත වූ ද බෙදා වැළඳුවා වූ ද ඔහු විමානයෙහි තුටු වෙත්.
4852. පිළිමිණියෙන් නිමවනලද කුළුගෙයින් බබළන වරඟන සමූහයෙන් ගැවැසීගත් මේ විමන බබළයි.
4853. මේ විමන ආහාරපානයෙන් ද නෘත්‍යගීතයෙන් ද යුක්ත වූයෙ යැ. නදියක් ද සිසාරා යෙයි, නොයෙක් මල්රුකින් යුක්ත යැ.
4854. සාරථිය, මෙය දැක මට සතුටු උපදි. දේවසාරථී මාතලිය තොප විචාරමි. යමෙක් ස්වර්‍ගයට පැමිණියේ විමානයෙහි තුටු වේ ද මේ මනුෂ්‍ය තෙම මනුෂ්‍ය වැ කවර පිනක් කෙළේ ද?
4855. ඔහු විසින් පුළුවුස්නාලද දේවසාරථී මාතලී දෙව්පුත් ප්‍රකාශ කෙළේ යැ. පින්කම්හි විපාක දන්නා හෙතෙම නො දන්නා රජුට මෙසේ කී යැ.
4856. තෙල ගෘහපති කිම්බිලායෙහි දානපතියෙක් වී. ආරාම ද ළින් පොකුණු ද පැන්හල් ද දුර්‍ගයෙහි සේතුබන්‍ධ ද (කෙලෙස් ගිනි නිවීමෙන්) සිහිල් වූ රහතුන් උදෙසා සකසා පිළියෙළ කොට දින.
4857. සිවුරු ද පිඬුවා ද ගිලන්පස ද සෙනසුන් ද පහන් සිතින් (කායවඞ්කාදි නැතියෙන්) අවඞ්ක වූ රහතුන් කෙරෙහි දින.
4858-4859. පක්‍ෂය සම්බන්‍ධී වූ තුදුස්වක් පසළොස්වක් අටවක් පොහෝ දිනයෙහි ද ප්‍රාතිහාර්‍ය්‍ය පක්‍ෂයෙහි ද අෂ්ටාඞ්ග සමන්‍වාගත වූ පෙහෙවස් විසී. හැම කල්හි සීලයෙහි සංවර වූ සංයම වූ දන් දුන් හෙ තෙම විමන්හි තුටු වේ.
4860. පිළිමිණියෙන් නිමවනලද කුළුගෙයින් හෙබි උත්තම ස්ත්‍රී සමූහයා විසින් ගැවැසිගත් මෙ විමන බබළ යි.
4861. මෙ විමන ආහාරපානයෙන් ද නෘත්‍යගීතයෙන් ද යුක්ත වූයේ යැ. නොයෙක් මල්රුකින් යුත් නදියක් ද සිසාරා යයි.
4862. කිරිපලු යැ ගිවුළු යැ අඹ යැ සල් යැ දඹ යැ තිඹිරි යැ පියල් යැ යන නිතිපලගත් රුක් බොහෝ වෙති.
4863. සාරථිය මෙය දැකැ මට සතුටු උපදී. දේවසාරථි මාතලිය තොප විචාරමි. යමෙක් ස්වර්‍ගයට පැමිණියේ විමානයෙහි තුටු වේ ද මෙ තෙම මනුෂ්‍ය වැ කවර පිනක් කෙළේ ද?