Jātaka

Birth Stories

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-29 · 7679 segments

පෙන්වන කොටස් 5401-5500 න් 7679

4664. විලිකුන් තිඹිරි ද මොර ද මී ද මිහිරි එරමිණිය ද යන කුඩා ඵල වර්‍ග මෙහි බොහෝ ය. මහරජ, හොඳ හොඳ ඵල අනුභව කළ මැනවි.
4665. පර්‍වත ගුහාවෙන් ගෙනා මේ සිහිල් පැන් වෙයි. ඉඳින් මහරජ, තෙපි කැමැත්තාහු නම් බොනු මැනව යි පිළිසඳර කථා වශයෙන් පැවසී ය.
4666. අන්‍ධයෝ වනයෙහි මේ ඵල වර්‍ග දක්නට නො හැක්කෝ වෙති. මෙය ගෙනාවේ කවරෙක් ද? මේ යහපත් පලතුරු රැස් කිරීම අඳ නො වූවකුගේ කටයුත්තක් මෙන් මට වැටහේ යැ යි රජ තෙමේ කීය.
4667. තරුණ යෞවන ඉතා නො මහත් සාම කුමාරයා යහපත් දැකුම් ඇත්තෙකි. තව ද ඔහුගේ දිගු කාළවර්‍ණ කෙස් මස් කොටන කති අග මෙන් නැමුණේ ය.
4668. ඒ සාම කුමාරයා පලවැල ගෙනවුත් තබා මෙයින් කමඬලාව රැගෙන දිය ගෙනෙන්නට මිගසම්මත ගඟට ගියේ දැන් ළඟ ම ඇතැ යි හඟිමි යි පණ්ඩිත තෙමේ කී ය.
4669. තොප මෙහෙ කරන යමෙක් වේ ද යහපත් දැකුම් ඇති සාම යැ යි යම් කුමාරයකු හට කියන්නාහු ද ඒ කුමරු මුවෙකු යි සිතා මම විද මැරීමි.
4670. ඔහුගේ දික්වූ කේශ කලාපය කාළවර්‍ණය. සූන නම් මස් කොටන කැති අග මෙන් වක් වූ කෙසඟ ඇත. ලේ තැවරුණු ඒ දිගු නිල් කේශ කලාපයෙහි වැතිර මා විසින් මැරූ සාම කුමාර තෙමේ වැලිතලාවෙහි හොත්තේ යයි පිළියක් රජ තෙමේ කී ය.
4671. එම්බා දුකුල පණ්ඩිතයෙනි, සාම කුමාරයා නැසුවේ යයි කියන කවරෙකු හා කථා කරන්නහු ද? සාම කුමාරයා නසන ලදැයි අසා මාගේ හෘදය කම්පා වේ.
4672. සුළඟින් කම්පා වන ඇසතු ළපල්ලක් මෙන් සාම කුමාරයා නසන ලදැයි අසා මා හද වෙව්ල යි, පාරිකා නම් අන්‍ධ මව් කී ය.
4673. එම්බා පාරිකාවෙනි, ඒ මේ කසීරජ මිගසම්මත නම් ගං ඉවුරෙහි දී මුවා මරමි යි ක්‍රෝධ සිතින් සාම කුමාරයාට ඊයකින් විද්දේය. රජුට අපි පව් සිතිවිලි නො කැමැත්තෝ වෙමු යි පණ්ඩිත තෙමේ කීය.
4674. දුකසේ ලැබූ යම් ප්‍රිය පුතෙක් අන්‍ධ අප වනයෙහි දී රැක බලා පෝෂණය කෙළේ ද ඒ එක මැ පිය පුතු මැරූ ඔහු කෙරෙහි කෙසේ නම් සිත කෝප නො කෙරෙම් දැයි මව් ඇසුය.
4675. දුකෙන් ලැබූ යම් ප්‍රිය පුත්‍ර යම් කුමාරයෙක් මහවනයෙහි අඳ මව්පියන් පෝෂණය කෙළේ නම් ඒ එක මැ පුතු නැසූ කලැ ද ක්‍රෝධ නො කිරීම මැනව යි දුකුල පණ්ඩිත තෙමේ කී ය.
4676. පින්වත්නි, සාම කුමරු නැසිනැ යි කීමෙන් දැඩි කොට නො වැළපුන මැනවි. මම උපස්ථායකයෙක් වැ මේ මහවනයෙහි තොප පෝෂණය කරන්නෙමි.
4677. මම ධනුශිල්පයෙහි ද දක්‍ෂ වෙමි. දළ්හධර්‍ම ය යි ප්‍රසිද්ධ මම උවැටන් කරන්නෙක් වැ මේ මහවනයෙහි තොප පෝෂණය කොට රැකබලා ගන්නෙමි යි රජ තෙමේ කී ය.
4678. සිංහාදී වන මෘගයන් කා දැමූ මස් ද අල මුල් පලවැල ද සොයමින් මම උපස්ථායකයෙක් වැ මේ මහවනයෙහි තොප දෙදෙනා පෝෂණය කිට රැක බලා ගන්නෙමි යි රජ තෙමේ කීය.
4679. මහරජ, මේ ස්වභාව ධර්‍මයක් නොවේ. මෙය අපහට නො හොබී. ඔබ අප රජ තුමා ය. අපි ඔබ පා වඳිමු යි කීහ.
4680. පින්වත් වැදි පුතුනි, ඔබ දහම් දෙසන්නාහු ය. සත්කාර ද කරන ලදී. දුකුල පණ්ඩිතයෙනි අද පටන් ඔබ මාගේ පියාණෝ ය. එම්බා පාරිකාවෙනි, ඔබ ද මාගේ මෑණියෝ ය යි රජ තෙමේ කී ය.
4681. කසී රජතුමනි, ඔබට නමස්කාර වේවා! කසීරට වර්ධනය කරන පින්වතුනි, ඔබතුමන්ට නමස්කාර වේවා! ඔබට ඇඳිලි බඳිමි. සාම කුමාරයා යම් තැනක වේ ද එතැනට අප පමුණුවනු මැනවි.
4682. ඔහුගේ පා පිරිමදිමින් දැකුම්කලු මුහුණු පිරිමැද බලා ලං කොට ඔහු සමග මරණයට පත්වන්නෙමු යි ඒ අඳ මව්පියෝ කීහ.
4683. නැසුණු සාම කුමාරයා යම් තැනෙක බිම වැටුණු චන්‍ද්‍රයා මෙන් සයනය කරයි ද එ පෙදෙස චණ්ඩ මෘගයන් ගැවසී ගත් ඉතා උස් භූමියකි. එය අහසේ කෙළවර සේ පෙනෙයි.
4684. නැසුණු සාම කුමාරයා යම් තැනෙක බිම වැටුණු සූර්‍ය්‍ය දිව්‍ය පුත්‍රයා මෙන් හොත්තේ ද එ පෙදෙස චණ්ඩ වනමෘගයන් ගැවසී ගත් ඉතා උස් භූමියකි. එය අහසේ කෙළවර සේ පෙනෙයි.
4685. යම් තැනෙක නැසුණු සාම කුමාරයා පසින් වැකුණේ හෝ වී ද එ පෙදෙස වල් මෘගයන්ගෙන් ගැවසීගත් උස් භුමියෙකි. අහස් කෙළවර මෙන් පෙනේ.
4686. සාම කුමාරයා යම් තැනෙක නැසුණේ ද එතැන වන මෘගයන් ගැවසීගත් ඉතා උස් ප්‍රදේශයකි. එය අහස් කෙළවර මෙන් පෙනේ. එහෙයින් මේ අසපුවෙහි මැ වාසය කරන්න යි රජ තෙමේ කී ය.
4687. මහරජ, සීයක්, දාහක්, දසදාහක් ද වන මෘගයෝ ඇත්තාහු මේ වනයෙහි අපට මෙතෙක් සිදුවන භයක් ඔවුන්ගෙන් නැත යි ඔහු කීහ.
4688. ඉක්බිති කසීරජ තෙමේ මහවන්යෙහි අන්‍ධ වූ ඔවුන්ගේ අත් අල්වා ගෙන සාම කුමරු නැසුණේ යම් තැනක නම් එ තැනට ගියේය.
4689. මහවනයෙහි හැරදැමූ මිහිමත වැටුණු සඳමඬල මෙන් විත් කා ඇදවැටුණු පස් වැකුණු සාම නම් පුත්‍රයා දැකැ,
4690. වනයෙහි හැරදැමූ බිම හුනු හිරුමඬල මෙන් පසින් ගැවසුණු සාම නම් තම ප්‍රිය පුතා දැකැ
4691. මහවනයෙහි හැරදැමූ බිම වැටුණු පස් වැකුණු සාම නම් ප්‍රිය පුත්‍රයා දැක හැඳින ගෙන දැඩි ශෝකයෙන් හැඩුහ.
4692. මහවනයෙහි වැටුණු පස් වැකුණු ශරීර ඇති තම ප්‍රිය සාම නම් පුතා දැකැ පින්වත, අධර්‍මය දැන් ලෝකයෙහි පවතී ය යි හිස අත් බැඳගෙන මව්පියෝ හැඬූහ.
4693. අද යමෙක් මෙසේ මරණයට පැමිණි කළ කිසි කථාවකුදු අප හා නො කෙරෙහි ද යහපත් දැකුම් ඇති පුත සාමය, බොහෝ කොට නිදියෙහි ද?
4694. අද යමෙක් මෙසේ මරණයට පැමිණි කළ කිසි කථාවකුදු අප හා නො කෙරෙහි ද යහපත් දැකුම් ඇති පුත සාමය, බලවත් වැ මත් වෙහි ද?
4695. අද යමෙක් මෙසේ මරණයට පැමිණි කළ කිසි කථාවකුදු අප හා නො කෙරෙහි ද යහපත් දැකුම් ඇති පුත සාමය, විශේෂයෙන් ප්‍රමාද වෙහි ද?
4696. අද යමෙක් මෙසේ මරණයට පැමිණි කල කිසි කථාවකුදු අප හා නො කෙරෙහි ද යහපත් දැකුම් ඇති පුත සාමය, දැඩි වැ කිපුනෙහි ද?
4697. අද යමෙක් මෙසේ මරණයට පැමිණි කල්හි කිසි කථාවකුදු අප හා නො කෙරෙහි ද යහපත් දැකුම් ඇති සාමය, දැඩි එඩි ඇති වෙහි ද?
4698. යහපත් දැකුම් ඇති සාම නම් පුත, නුඹ බෙහෙවින් අපගත සිත් අත්තෙහි ය. යමෙක් අද මෙසේ කලුරිය කළ කල්හි කතාබස් නො කෙරෙයි ද එමෙනි.
4699. අඳ මව්පියන්ට ඇත පා මෙහෙවර කරන මේ සාම කුමාරයා කලුරිය කෙළේය. දැන් ඉතින් කවරෙක් නම් අවුල් වූ මඩ තැවරුණු දළමඬුලු සෝදා පිළියෙළ කරන්නේ ද?
4700. අඳ මව්පියන්ට ඇත පා මෙහෙවර කරන මේ සාම කුමාරයා කලුරිය කෙළේය. අද කවරෙක් නම් හමදනා මුස්න රැගෙන ආශ්‍රමය හමදී ද?
4701. අඳ මව්පියන්ට අත් පා මෙහෙවර කරන මේ සාම කුමාරයා කලුරිය කෙළේය. සිහිල් වූ උණු ජලයෙන් දැන් කවරෙක් නම් නහවන්නේ ද?
4702. අඳ මව්පියන්ට අත් පා මෙහෙවර කරන මේ සාම කුමාරයා කලුරිය කෙළේය. දැන් ඉතින් කවරෙක් නම් වනමුල් පලවැල අනුභව කරවන්නේ දැයි (අඳ මව්පියෝ වැලපුනාහ.)
4703. මිගසම්මත නම් ගං වෙරෙළෙහි වැටුණු මැටි තැවරුණු ශරීර ඇති සාම නැමැති ප්‍රිය පුත්‍රයා දැක පුත්‍ර ශෝකයෙන් බලවත් පීඩාවට පත් මව් තොමෝ සත්‍ය ක්‍රියා කළාය;
4704. යම් සත්‍යයෙකින් මේ සාම කුමාරයා පෙර ධර්‍මයෙහි හැසුරුණේ වී ද ඒ සත්‍ය වචනයෙන් සාම කුමාරයා ගේ විෂ නැසේවා:
4705. යම් සත්‍යයෙකින් මේ සාම කුමාරයා පෙර බ්‍රහ්මචාරී වී ද ඒ සත්‍ය වචනයෙන් සාම කුමාරයාගේ විෂ නැසේවා.
4706. යම් සත්‍යයෙකින් මේ සාම කුමාරයා සත්‍ය වචන ඇත්තෙක් වීද ඒ සත්‍ය වචනයෙන් සාම කුමාරයාගේ විෂ නැසේවා.
4707. යම් සත්‍යයෙකින් සාම කුමාරයා මව්පියන්ට උපස්ථාන කෙළේ ද ඒ සත්‍ය වචනයෙන් සාම කුමාරයාගේ විෂ නැසේවා.
4708. යම් සත්‍යයෙකින් සාම කුමාරයා කුලදෙටුවන් පිදී ද ඒ සත්‍ය වචනයෙන් සාම කුමාරයාගේ විෂ නැසේවා.
4709. යම් සත්‍යයෙකින් සාම කුමාරයා පණටත් වඩා මට ප්‍රිය වී ද ඒ සත්‍ය වචනයෙන් සාම කුමාරයාගේ විෂ නැසේවා.
4710. මා විසින් ද තොපගේ පියාණන් විසින් ද යම්කිසි පිනක් කරන ලද ද ඒ කුශල නම් වූ සත්‍යය හේතු කොටගෙන සාම කුමාරයාගේ විෂ නැසේවා.
4711. මිගසම්මත ගං වෙරළෙහි වැටුණු පස් තැවරුණු සාම නම් පුතු දැක පුත්‍ර ශෝකයෙන් අතිශයින් පෙළුණු පිය තෙමේ මෙසේ සත්‍යක්‍රියා කෙළේය:
4712. යම් සත්‍යයෙකින් මේ සාම කුමාරයා පෙර ධර්‍මයෙහි හැසුරුණේ වී ද ඒ සත්‍ය වචනයෙන් සාම කුමාරයාගේ විෂ නැසේවා:
4713. යම් සත්‍යයෙකින් මේ සාම කුමාරයා පෙර බ්‍රහ්මචාරී වී ද ඒ සත්‍ය වචනයෙන් සාම කුමාරයාගේ විෂ නැසේවා.
4714. යම් සත්‍යයෙකින් මේ සාම කුමාරයා සත්‍ය වචන ඇත්තෙක් වීද ඒ සත්‍ය වචනයෙන් සාම කුමාරයාගේ විෂ නැසේවා.
4715. යම් සත්‍යයෙකින් සාම කුමාරයා මව්පියන්ට උපස්ථාන කෙළේ ද ඒ සත්‍ය වචනයෙන් සාම කුමාරයාගේ විෂ නැසේවා.
4716. යම් සත්‍යයෙකින් සාම කුමාරයා කුලදෙටුවන් පිදී ද ඒ සත්‍ය වචනයෙන් සාම කුමාරයාගේ විෂ නැසේවා.
4717. යම් සත්‍යයෙකින් සාම කුමාරයා පණටත් වඩා මට ප්‍රිය වී ද ඒ සත්‍ය වචනයෙන් සාම කුමාරයාගේ විෂ නැසේවා.
4718. තොපගේ මව විසින් ද මා විසින් ද කළ යම් පිනක් ඇත්ද ඒ කුශල සත්‍යය බලයෙන් සාම කුමාරයාගේ විෂ නැසේවා යි සත්‍යක්‍රියා කෙළේ ය.
4719. ගන්‍ධමාදන පර්‍වතයෙහි අන්තර්‍ධාන වූ දේවතා තොමෝ සාම කුමාරයාට අනුකම්පාවෙන් මේ සත්‍යක්‍රියා කළාය:
4720. ගන්‍ධමාදන පර්‍වතයෙහි මම බොහෝ කල් මුළුල්ලෙහි සිට වෙසන්නී වෙමි. සාම කුමරු ට වඩා අතිශයින් ප්‍රියවන අන් කිසිවෙක් මට නැත. මේ සත්‍ය වචනය හේතු කොටගෙන සාම කුමාරයාගේ විෂ නැසේවා.
4721. ගන්‍ධමාදන පර්‍වතයෙහි සියලු මැ වෘක්‍ෂයෝ සුවඳින් යුත් වෙති. ඒ සත්‍ය වචනය හේතු කොටගෙන සාම කුමාරයාගේ විෂ නැසේවා.
4722. ඔවුන් දුකින් වැලැපෙමින් හඬද්දී යහපත් දැකුම් ඇති තරුණ සාම කුමාරයා වහාම නැගී සිටියේ ය.
4723. සාම නම් මම වෙමි. ඔබට යහපතක් වේවා! විෂ බැස ගියෙන් මම සුවසේ නැගී සිටිමි. බලවත් සේ නො වැළපෙනු මැනව මිහිරි බස් තෙපලනු මැනව යි සාම කුමාරයා කී ය.
4724. මහරජ, ඔබට මෙහි යහපත් පැමිණීමක් වේවා! ඔබගේ අයහපත් පැමිණීමක් නො වේවා! මෙහි පැමිණි ඔබ අපට අධිපති ය . මෙහි ඔබ කැමති යමක් ඇත්නම් අනුභව කළ මැනවි.
4725. විලිකුන් මිහිරි තිඹිරි හා මොර ද මිහි ද එරමිණිය ද යන ඵල බොහෝ ය. මහරජ, හොඳ හොඳ ඵල අනුභව කළ මැනවි.
4726. කඳුරැළියෙන් ගෙනා සිහිල් පැන් ඇත. ඉඳින් මහරජ, ඔබ කැමැත්තහු නම් බොනු මැනවි. බෝසත් තෙමේ රජු සමග පිළිසඳර කථා වශයෙන් පැවසීය.
4727. සාම කුමාරයෙනි, මම මුළා වෙමි. බෙහෙවින් මුළා වෙමි. මට සියලු දිශා මුළා වී වැටහෙති. පරලොව පත් ඔබ දිටිමි. දැන් ජීවත් වෙහි. කෙසේ දිවි ලදුයෙහි දැයි රජ තෙමේ ඇසී ය.
4728. මහරජ, දිවි ඇති නමුදු දැඩි දුඃඛ වේදනා ඇති භාවාඞ්ගයට පැමිණි සිත් හසර ඇති පුරුෂයා ජීවත් වන්නහු මළහ යි ලෝවැසි තෙමේ දනිති.
4729. මහරජ, දිවි ඇති නමුදු දැඩි දුඃඛ වේදනා ඇති නිරුද්ධ වූ ආශ්වාස ප්‍රශ්වාස ඇති පුරුෂයා ජීවත් වන්නාහු මළහ යි ලෝවැසි තෙමේ දනිති.
4730. යම් මනුෂ්‍යයෙක් මව්පියන් දැහැමින් පෝෂණය කෙරේ ද මව්පියන් පෝෂණය කරන ඒ ඒ ජනයාට දෙවියෝ ද පිළියම් කරති.
4731. යම් මනුෂ්‍යයෙක් මව්පියන් දැහැමින් පෝෂණය කෙරේ ද මෙලෙව්හි ද ඔහු පසසත්. පරලෙව්හි ස්වර්‍ගයෙහි සතුටු වන්නේ ය යි සාම කුමාරයා කී ය.
4732. ඒ මම බොහෝ සෙයින් මුළාවෙමි. සියලු දිශා මට නො වැටහෙති. සාම කුමාරයිනි, තොප සරණ යෙමි තෙපි ද මට පිහිට වව.
4733. මහරජ, මව්පියන් පෝෂණය කිරීමෙහි ධර්‍මයෙහි හැසිරුණ මැනවි. මහරජ, මේ ලෝකයෙහි දී ගුණධර්‍මයෙහි හැසිර පරලොව දී ස්වර්‍ගයට යන්නේ මැනවි.
4734. මහරජ, අඹුදරුවන් කෙරේ ද දැහැමින් වසනු මැනවි. මහරජ, මේ ලෝකයෙහි දී ගුණධර්‍මයෙහි හැසිර පරලොව දී ස්වර්‍ගයට යන්නේ මැනවි.
4735. මහරජ, මිත්‍රාමාත්‍යයන් කෙරෙහි දැහැමින් හැසිරෙනු මැනවි. මහරජ, මේ ලෝකයෙහි දී ගුණධර්‍මයෙහි හැසිර පරලොව දී ස්වර්‍ගයට යන්නේ මැනවි.
4736. මහරජ, රථවාහන කෙරෙහි ද සේනා කෙරෙහි ද දැහැමින් හැසිරෙනු මැනවි. මහරජ, මේ ලෝකයෙහි දී ගුණධර්‍මයෙහි හැසිර පරලොව දී ස්වර්‍ගයට යන්නේ මැනවි.
4737. මහරජ, ගම් නියම්ගම් කෙරෙහි දැහැමින් හැසිරෙනු මැනවි. මහරජ, මේ ලෝකයෙහි දී ගුණධර්‍මයෙහි හැසිර පරලොව දී ස්වර්‍ගයට යන්නේ මැනවි.
4738. මහරජ, රටෙහි ද ජනපදයන්හි ද දැහැමින් හැසිරෙනු මැනවි. මහරජ, මේ ලෝකයෙහි දී ගුණධර්‍මයෙහි හැසිර පරලොව දී ස්වර්‍ගයට යන්නේ මැනවි.
4739. මහරජ, ශ්‍රමණ බ්‍රාහ්මණයන් කෙරෙහි දැහැමින් හැසිරෙනු මැනවි. මහරජ, මේ ලෝකයෙහි දී ගුණධර්‍මයෙහි හැසිර පරලොව දී ස්වර්‍ගයට යන්නේ මැනවි.
4740. මහරජ, සිව්පාවුන් කෙරෙහි ද පක්‍ෂීන් කෙරෙහි ද දැහැමින් හැසිරෙනු මැනවි. මහරජ, මේ ලෝකයෙහි දී ගුණධර්‍මයෙහි හැසිර පරලොව දී ස්වර්‍ගයට යන්නේ මැනවි.
4741. මහරජ, ධර්‍මයෙහි හැසුරුණ මැනවි. පුරුදු කළ ධර්‍මය සැප ගෙන දෙන්නේ වේ. මේ ලෝකයෙහි දී ගුණධර්‍මයෙහි හැසිර පරලොව දී ස්වර්‍ගයට යන්නේ මැනවි.
4742. මහරජ, ධර්‍මයෙහි හැසිරුණ මැනවි. පුරුදු පුහුණු කළ ධර්‍මය සැප ගෙන දෙන්නේ වේ. ශක්‍රයා සහිත වූ දෙවියෝ ද බ්‍රහ්මයා සහිත වූ බ්‍රහ්මයෝ ද මැනැවින් පුරුදු කළ ධර්‍මය හේතු කොට ගෙන දෙව්ලොවට පැමිණියහ. මහරජ, ධර්‍මයෙහි නො පමා වනු මැනව යි සාම කුමාරයා පිළියක් රජුට දශරාජ ධර්‍ම දේශනා කෙළේය.
තෙවන සාම ජාතක යි.
4. නිමි ජාතකය
4743. යම් කලෙකැ නුවණැ’ති කුසල් කැමැති නිමි නම් රජෙක් වී ද එ කලැ මෙ බඳු දක්‍ෂ පණ්ඩිතයෝ ලොවැ උපදිද්දැ යි කියා දෙවිමිනිස්සු අපට ඒකාන්තයෙන් ආශ්චර්‍ය්‍යයෙකැ යි ගුණ කී හ.
4744. සතුරන් දමනය කරන සියලු විදේහ රට වැසියන්ගේ රජ තෙමේ දන් දුනි. ඒ දන් දෙන රජහට මෙ බඳු අදහසක් පහළ විය. එනම් දානය හෝ බඹසර හෝ යන මෙයින් කවර නම් පිනක් මහත් විපාක ඇත්තේ ද යනු යි.
4745. දෙවියනට අධිපති වූ නුවණැස් දහසක් ඇති සක්දෙවි රජ තෙමේ ඒ රජුගේ අදහස් දැනැ තමන්ගේ ශරීරාලෝකයෙන් අඳුරු දුරු කරමින් ඔහු හමුවෙහි පහළ විය.
4746. ලොමුදහගත් ඒ නිමි රජ තෙමේ සක්දෙව් රජු දැකීමෙන් බිය පත් වැ මෙසේ කී ය: ඔබ දෙවියෙක් ද ගඳඹෙක් ද එසේ නැතහොත් පුරින්‍ද ද නම් වන සක්දෙව්රජ දැ යි.
4747. මෙ බඳු ශරීර වර්‍ණයෙක් මින් පෙරැ මා විසින් දක්නාලද හෝ අසනලද හෝ නො වෙයි. වහන්ස, තෙපි මට කියව. ඇපි තොප කෙසේ දනුමෝ ද?
4748. ඒ සක්දෙව් රජ තෙමේ ආලෝකයට බියෙන් ලොමු දහගත් නිමි රජු දැනැ මෙසේ කී. මම සක්දෙව් රජ වෙමි. ඔබ වෙත ආයෙමි.
4749. මිනිසුන්ට අධිපති මහරජ මාගෙන් යම් පැනයක් අසනු කැමැත්තෙහි නම් එය භය නැති වැ අසනු මැනැවැ යි කී ය.
4750. (සක්දෙව් රජු විසින් කළ අවකාශ ඇති නිමි රජ තෙමේ සක්දෙව් රජුට මෙසේ කී:) මහත් වූ බාහු ඇති සියලු දෙවියනට අධිපති එම්බා සක්දෙව් රජ, ඔබ විචාරමි. දානය ද බ්‍රහ්මචර්‍ය්‍යය ද යන මේ දෙකින් කවර නම් ගුණ ධර්‍මයෙක් වෙසෙසින් මහත් විපාක ඇත්තේ ද?
4751. රජු විසින් ඇසූ බ්‍රහ්මචර්‍ය්‍යා විපාක දන්නා සක්දෙව් රජ තෙමේ නො දන්නා නිමි රජුට මෙසේ කී ය.
4752. ලාමක බ්‍රහ්මචර්‍ය්‍යාවෙන් රජකුලයෙහි උපදී, මධ්‍යම බ්‍රහ්මචර්‍ය්‍යාවෙන් දෙවිබවට පැමිණෙයි, උතුම් බ්‍රහ්මචර්‍ය්‍යාවෙන් පිරිසුදු වේ.
4753. ගෙවල් නැති තපස් රක්නා යම් කෙනෙක් බ්‍රහ්මසමූහයෙහි උපදිද්ද දන් දෙන කිසිවකු විසින් ඒ බ්‍රහ්මසමූහයෝ නො ලබන්නාහු වෙති.
4754. මහරජ, පෙරැ බරණැස් නුවර, දුදීප ය සාගර ය සේල ය මුචලින්‍ද ය භගීරස ය උසීර ය අට්ඨක ය අස්සක ය පුථුජ්ජන යැ යි යන,
4755. මේ රජවරු ද සෙසු බොහෝ ක්‍ෂත්‍රියබ්‍රාහ්මණයෝ ද නොයෙක් අයුරින් දන් දී කාමාවචර භූමි සඞ්ඛ්‍යාත දෙව්ලොව ඉක්මවා නො පැවැත්තාහ.
4756. හුදෙකලා වූ යම් කෙනෙක් නො ඇලෙද්ද යම් කෙනෙක් හුදෙකලා වැ විවේකයෙන් ඇති වූ සතුට නො ලබද්ද ඔහු ඉන්‍ද්‍රයා හට මෙන් සමාන සම්පත් ඇත්තාහු නමුදු ඒ පින්වත්හු අනුන් අයත් සුව ඇත්තාහු මැ වෙති.
4757-4758. ගෙවල් නැති සීලයෙන් හා තපසින් ද සමාපත්තියෙන් ද යුත් යාමහනු ය සෝමයාග ය මනෝජවය ය සමුද්ද ය මාඝ ය භරත ය ඉසිකාලිරක්ඛී ය යන මේ සත් ඍෂීහු ද අඞ්ගීරස ය කස්සප ය කිසවච්ඡ ය අකිත්ති ය යන මේ ඍෂීහු සතර දෙන ද සමග වූ එකොළොස් ඍෂිවරු ඒකාන්තයෙන් කාමාවචර දෙව්ලොව ඉක්මැවූහ හෙවත් බ්‍රහ්මලෝකයෙහි උපන්හ.
4759. හිමවතට උතුරු දිගින් ගැඹුරු වූ ඉක්මැවිය නො හැකි සීදා නම් නදියක් විය. එහි දෙපස හැම කල්හි රන් පර්‍වතයෝ ඇවිළෙන ගිනි මෙන් දිලියෙති.
4760. ඒ ගඟෙහි වංක ස්ථානයන්හි නොහොත් ගඟ දෙපස තුවරලා ගස් ඇත. එහි දෙපස පර්‍වතයෝ මල්පල දරන වැඩුණු රුක්වලින් යුක්ත වූහ. ඒ මනහර දෙපසෙහි පෙරැ එක් කලෙක දස දහසක් පමණ පුරාණ ඍෂිවරයෝ වූහ.
4761. මම දානයෙන් උතුම් වීමි. සීලයෙන් ද ඉන්‍ද්‍රිය දමනයෙන් ද නිරුත්තර වූ උතුම් ව්‍රත සමාදානයෙන් හුදකලා වැ උපචාර අර්‍පණා සමාධි ඇති දහසක් ඍෂිවරුන්ට බොහෝ කාලයක් උපස්ථාන කෙළෙමි.
4762. ජාතියෙන් උසස් වූ ද උසස් නො වූ ද එක තාපසයකු කෙරෙහි වත් වෙනසක් නො කොටැ ඒ ඍජු භාවයට පැමිණි සිත් ඇති තාපස සමූහයන් නිතර වැන්දෙමි. සත්ත්‍වයෝ වනාහි කර්‍මබන්‍ධු වූවෝ වෙති.