Jātaka

Birth Stories

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-29 · 7679 segments

පෙන්වන කොටස් 5301-5400 න් 7679

4563. මනාව හික්මුණු කෘශ වූ මධ්‍යභාග ඇති ඒ සත්සියයක් භාර්‍ය්‍යාවෝ කවර හෙයින් අප හරනෙහි දැ යි අත් ඔසවාගෙනැ හැඬූහ.
4564. කීකරු වූ ප්‍රිය තෙපුල් ඇති ඒ සත්සියයක් භාර්‍ය්‍යාවෝ කවරහෙයින් අප හරනෙහි දැ යි අත් ඔසවාගෙන හැඬූහ.
4565. සියලු අලඞ්කාරයෙන් සැරැසුණු ඒ සත්සියයක් භාර්‍ය්‍යාවන් ද හැර පැවිද්ද විසින් පෙරටු කළ රජ තෙම නික්මැ ගියේ ය.
4566. මනාකොට හික්මුණු කෘශ වූ ශරීර මධ්‍ය ප්‍රදේශ ඇති ඒ සත්සියයක් භාර්‍ය්‍යාවන් හැර පැවිද්ද විසින් පෙරටු කළ රජ තෙම නික්මැ ගියේ ය.
4567. කීකරුවූ ප්‍රිය තෙපුල් ඇති ඒ සත්සියයක් භාර්‍ය්‍යාවන් හැර පැවිද්ද විසින් පෙරටු කළ රජ නික්මැ ගියේ ය.
4568. එ රජ තෙම සියක් පළමකින් කළ සියගණන් රේඛා ඇති රන්තලිය හැර දෙවැනි අභිෂේකයක් මෙන් ඒ මැටි පාත්‍රය ගත්තේ ය.
4569. (මහරජ ඔබගේ නුවර පෙරමග) ගෙවල් ගින්නෙන් ඇවිල ගියේ ය. ගිනිදැලින් සම වැ දිලිසේ. බඩු ගබඩා කොටස් වශයෙන් දැවෙයි. එහි රිදී, රන්, මුතු, වෙරළුමිණි ද බොහෝ ය.
4570. මැණික් ද, සක්මුතු ද, පිළී කොඩි ද, රසඳුන් ද, අඳුන් දිවිසම් ද, දළමුවා බඩු ද, තඹ ආදී ලෝහ භාණ්ඩ ද, කාළ ලෝහ භාණ්ඩ ද බොහෝ වෙයි. මහරජ එනු මැනව. නවතිනු මැනව. ඔබ සතු ධනය නො නසනු මැනවැ යි (සීවලී බිසව කීවා ය.)
4571. යම්බඳු අපට කිසිවක් නැත්තේ ද ඒ අපි ඒකාන්තයෙන් ඉතා සුවසේ ජීවත් වම්හ. මියුලු නුවර දැවෙන කල්හි මා සතු කිසිවක් නො දැවෙන්නේ ය යි (රජ තෙම කීය.)
4572. මහරජ, වනගත සොරු පැමිණියහ. ඔබසතු ඒ රට වනසති. මහරජ, එනු මැනව. නවතිනු මැනව. මේ රට නො නසනු මැනවැ යි (සීවලී බිසව කීවා ය.)
4573. යම්බඳු අපට කිසිවක් නැත්තේ ද ඒ අපි ඒකාන්තයෙන් ඉතා සුවසේ ජීවත් වම්හ. රට පහරන කලැ මාගේ කිසිවක් නො නැසේ.
4574. යම්බඳු අපට අයත් කිසිවක් නැද්ද අපි ඒකාන්තයෙන් සුවසේ ජීවත් වම්හ. ආභස්සර නම් බඹලෝ වැසි දෙවියන් මෙන් ප්‍රීතිය ආහාර කොට ඇත්තෝ වන්නෙමු යි (රජ තෙම කී ය.)
4575. මේ මහා ජන ඝෝෂය කවර හෙයින් ද? ගමෙහි මෙන් මේ කිලිකිලි යන ශබ්දය කුමක් ද? ශ්‍රමණ වූ ඔබ මැ විචාරමු. කවර හෙයින් මේ මහජනයා රැස්වේ දැ යි (නාරද නම් තාපස තෙම ඇසී ය.)
4576. ඔවුන් හැර යන මා නිසා මේ මහාජනයා මෙහි රැස් වූයේ ය. කෙලෙස් සීමාව ඉක්මවා යන අනගාරිය මුනි සංඛ්‍යාත තපසට පැමිණීම් පිණිස සතුටින් යන මා දැන ගෙන කුමට විචාරන්නෙහි දැ යි (රජ තෙම ඇසී ය.)
4577. මේ පැවිදි සිරුර දරන්නේ කෙලෙස් නැසුවේ යැ යි නො සිතව. මේ කෙලෙස් සමූහය මෙපමණකින් තරණය කළහැකි ද නො වේ. උපද්‍රවයෝ බොහෝ යැ යි (තාපස තෙම කී ය.)
4578. යමෙක් මේ ලොව්හි ද පරලොව්හි ද කාමසම්පත් නො පතන්නේ නම් එසේ වෙසෙන මට කවර උවදුරෙක් වන්නේ දැ යි (බෝසත් තෙම කී ය.)
4579. නින්ද ය අලසබව ය ඈනුම් ඇරීම ය නො ඇල්ම ය බත්මත ය යන බොහෝ උවදුරු තොපගේ සිරුරෙහි පිහිටා වෙසෙතැ යි (නාරද තාපස තෙම කී ය.)
4580. පින්වත් බ්‍රාහ්මණය, මට යහපත් අනුශාසනා කෙරෙහි. නිදුකාණෙනි, ඔබ කවරෙක් දැ යි බ්‍රාහ්මණ වූ ඔබ මැ විචාරමි යි (බෝසත් තෙම කී ය.)
4581. නාරද යනු මාගේ නමයි, ගෝත්‍ර වශයෙන් කාශ්‍යප යැ යි මා දනිති. පින්වත් තොප සමීපයට පැමිණියෙමි. සත්පුරුෂයන් හා සමාගමය යහපති.
4582. ඒ තොපට සියලු සතුටු විහරණ වේවා, සිවු බඹවිහරණය පවතීවා, යමක් අඩු වෙයි නම් එය ඉවසීමෙන් හා සන්හිඳීමෙන් සම්පූර්‍ණ කළ මැනවි.
4583. අවමානය ද දුරු කළ මැනවි. අතිමානය ද දුරු කළ මැනවි. දශ කුසලකර්‍ම ද පඤ්චාභිඥා අෂ්ටසමාපත්ති ද මහණදම් ද සකස් කොට පවතිනු මැනවැ යි (නාරද තාපස තෙම අවවාද කොට ගියේ ය.)
4584. එම්බා මහාජනක රජතුමනි, බොහෝ ඇතුන් ද අසුන් ද නගරයන් හා ජනපදයන් ද හැර පැවිදි වූ ඔබ මැටි පාත්‍රයෙහි ඇලුණහු ය.
4585. එම්බා මහාජනක රජතුමනි, කිම එ දනව් වැස්සෝ ද මිත්‍රාමාත්‍යයෝ ද, නෑයෝ ද ඔබට කිසි අපරාධයක් කළාහු ද කවර හෙයින් මේ මැටි පාත්‍රය කැමති වූහු දැ යි (මිගාජින නම් තාපස තෙම ඇසී ය.)
4586. එම්බා මිගාජින තවුසනි, ඒකාන්තයෙන් ම මම කවර කලෙකවත් අධර්‍මයෙන් කිසි නෑයෙකු නො දිනුවෙමි. නෑයෝ ද මා නො දිනූහ යි බෝසත් තෙමේ කී ය.
4587. එම්බා මිගාජින තවුසනි, යම් ක්ලේශවස්තුවක ඇලුණු පෘථග්ජනයෙක් නැසේ ද බැඳේ ද මෙහි මෙහි කෙලෙසුන් විසින් අනුභව කරන කෙලෙසුන් විසින් ම මඩ ගොහුරුවක් කරන ලද ලෝකයාගේ පැවැත් ම දුටු මම මේ කාරණය ම උපමා කොට පිඬු සිඟන්නෙක් වීමි යි බෝසත් තෙමේ කීය.
4588. මහරජ, ඔබගේ පින්වත් අනුශාසක තෙමේ කවරෙක් ද? ඔබ කියන පිරිසිදු බස කවරකුගේ වචනයක් ද? ශ්‍රමණ වේශය හෝ ශ්‍රමණ විද්‍යාව හෝ හැර යම්සේ දුක් ඉක්මවා ද එසේ පවත්නා ශ්‍රමණයකු නො ම කියද්ද එහෙයිනැ යි මිගාජින තෙමේ කී ය.
4589. පින්වත් මිගාජින තවුසනි, ඒකාන්තයෙන් මම කිසි කලෙක කිසියම් ශ්‍රමණයකුට හෝ කිසියම් බ්‍රාහ්මණයෙකුට හෝ සත්කාර කොට ඇසීමට නො පැමිණියෙමියි බෝසත් තෙමේ කී ය.
4590-4591. පින්වත් මිගාජින තවුසනි, මනහර ගී ගයන කල මිහිරි නද ඇති වාද්‍ය වයන කල වයන තූර්‍ය්‍ය ඝෝෂ ඇති කල කුලුතාලම් ශබ්ද ඇති කල මහත් රාජානුභාවයෙන් ද ශෝභාවෙන් ද දිලියෙමින් යන ඒ මම ඵල කැමැති මිනිසුන් විසින් විනාශ කළ එම ඵල දරන අඹ රුකක් ප්‍රාකාරයෙන් වටකළ උයනෙහි දිටිමි.
4592. මිගාජින නම් තවුසාණෙනි, ඒ මම ද වනාහි උයන් සිරි බලා ඇතු පිටින් බැස ඵල දරන වැනැසුණු අඹරුක මුලට පැමිණියෙමි.
4593. විනාශ කළ කොළ අතු පවා වැනසූ ඵල විනාශ කළ අඹරුක දැක ඉක්බිති සිත්කලු නීලවර්‍ණයෙන් බබළන මේ අනික් ඵල නැති අඹරුක දිටිමි.
4594. යම්සේ ඵල ඇති අඹරුක වනසන ලද ද එසේ ම බොහෝ කරදර ඇති ඉසුරුමත් අපට ද සතුරෝ හිංසා නො කරන්නාහු ද?
4595. සම හේතු කොටගෙන අඳුන් දිවියා නසනු ලැබේ. දළ හේතු කොටගෙන ඇතා නසනු ලැබේ. ධනය හේතු කොට ගෙන ධනවතා නසනු ලැබේ. වාසස්ථානයක් නැති බැඳුමක් නැති පැවිද්දහු කවරෙක් නසා ද? ගෙඩි ඇති අඹරුක ද ගෙඩි නැති අඹරුක ද යන ඒ දෙරුක මාගේ ශාස්තෘවරයෝ වූවහ යි බෝසත් තෙමේ කී ය.
4596. මහරජ, ඔබ පැවිදි වූහ යි ඇතරුවෝ ද සේනාවන්හි නතු වූවෝ ද රථ සේනාවෝ ද පාබළ සේනාවෝ ද යන සියලු මහජන තෙමේ බියෙන් තැති ගති.
4597. මහජනයා අස්වසා නුවරට ආරක්‍ෂා සලසා දීඝාවුකුමාර නමැති පුතා රජයෙහි පිහිටුවා ඉන්පසු පැවිදි වන්නහු නම් මැනවැ යි සීවලී දේවි පැවසූ.
4598. එම්බා දේවිය, මවිසින් දනවුවැස්සෝ හරන ලදහ. මිත්‍රයෝ ද නෑයෝ ද හැරදමන ලදහ. විදේහවාසීන්ගේ රට වර්ධනය කරන දීඝාවු නම් පුත්‍රයෝ ඇත, ඔව්හු මියුලු නුවර රජය කරවන්නාහ යි රජ තෙමේ කීය.
4599. එම්බා දේවිය, මාගේ යම් වචනයකට කැමැති ද එසේ නම් එව, එයින් තිට අනුශාසනා කරමි. රජය කරවන තී කය, වචන, සිත යන යමකින් දුගතියට යන්නෙහි ද එබඳු දුසිරිත් බොහෝ පව් කරන්නෙහි ය.
4600. අනුන් විසින් නිමැවුණු දෙන ලද ආහාරයකින් යැපෙව, මේ පිඬු සිඟා යැපීම නම් නුවණැත්තන්ගේ ස්වභාව ධර්‍මයෙකැ යි බිසොවට අවවාද කෙළේ ය.
4601. ඉදින් යමෙකු සතරවැනි බත් අනුභව කරන කලැ අනුභව නො කරන්නේ ද අනාථ මරණ ඇත්තේ ම ක්‍ෂුධාවෙන් මිය යන්නේ ද, වැලි තැවරුණු අයහපත් අහර අනුභව කරන්නේ ද කුලපුත්‍ර ස්වභාව ඇති සත්පුරුෂ තෙමේ මෙ බඳු ආහාර අනුභව නො කරන්නේ ය. මහරජ, යම් බල්ලකු ඉඳුල් කළ අහරක් ඔබ වළඳන්නහු නම් ඒ වැළඳීම යහපත් නො වේ. ශෝභන නො වේ ය යි බිසොව කීවා.
4602. එම්බා සීවලී දේවිය, ගිහියකු විසින් ද සුනඛයකු විසින් ද හැර දැමූ යමක් වේ නම් ඒ පිණ්ඩපාතය මා නො කෑ යුත්තක් නො වේ. මෙ ලෙව්හි දැහැමින් ලද යම්කිසි භෝගයෝ වෙත් නම් ඒ සියල්ල අනුභව කටයුතු ය. නිවැරැදි ය යි පැවැසුණු බව රජ තෙමේ කීය.
4603. නිතර මව ළඟ සයනය කරන ස්වභාව ඇති එම්බල දැරිය කවර හෙයින් තීගේ එක් අතක් ශබ්ද කෙරේ ද එක් අතක් ශබ්ද නො කෙරේ දැ යි රජ තෙමේ ළදැරිය ගෙන් ඇසී ය.
4604. ශ්‍රමණයන් වහන්ස, මාගේ මේ අත්හි පැළඳි වළලු දෙකෙකි. ශබ්දය හටගන්නේ එකට හැපීමෙන් ය. දෙවැන්නක් ඇත්තහුගේ ම මේ ස්වභාවය වෙයි.
4605. ශ්‍රමණයන් වහන්ස, මාගේ මේ අතෙහි එක් වළල්ලක් දමන ලදී. දෙවැන්නක් නැති බැවින් එය නිශ්ශබ්ද ය. කෙලෙස් පහ කළ මුනිවරයකු මෙන් එය නිහඬ වැ සිටී.
4606. දෙවැන්නක ඇත්තේ විවාදයට පත් වූයේ වෙයි. හුදෙකලා වූයේ කවුරුන් සමග විවාද කරන්නේ ද? එහෙයින් සඟ සැප කැමති ඒ ඔබට හුදෙකලා බව කැමති වේව යි ළදැරිය කීවා ය.
4607. එම්බා සීවලී දේවිය, ළදැරිය කියූ ගාථා ඇසුවෙහි ය. වැඩකාරියක් වන ඕ තොමෝ දෙවැන්නෙක් ඇත්තහුගේ මැ මේ ස්වභාවය වේය යි මට නින්‍දා කළාය.
4608-4609. සොඳුර, මඟීන් යන එන මෙ දෙමං සන්‍ධියෙකි. මෙයින් තී කැමති මඟක් ගනුව. නැවත මම අනික් මඟ ගනිමි. සීවලී දේවිය, මාගේ ස්වාමියා ය යි තී නො කියව. මම ද මාගේ භාර්‍ය්‍යාව ය යි නො කියමි රජ තෙම කී ය. මෙ බස කියන්නෝ මැ ථූණ නම් නුවරට පැමිණියහ.
4610. එහි රජ තෙමේ තමන් අනුභව කරන වේලාව පැමිණි කල හී වඩුවාගේ කොටුව වෙත පැමිණ සිටියේ ය. එහි ද ඒ හී වඩුවා එක් ඇසක් වසා එක් ඇසින් ඇදය බලයි.
4611. යහළු හී වඩුව, මෙසේ මැනැවින් බලන්නෙහි නම් මාගේ බස් අසව. එක් ඇසක් පියා එක් ඇසකින් බලව යන යමක් ඇත්නම් එය යි.
4612. පින්වත් ශ්‍රමණයන් වහන්ස, දෑසින් බලන කළ විශාල වූවාක් මෙන් වැටහෙයි. ඇද තැනට නො පැමිණ ඇද නැති කරන්නට සුදුසු නො වේ.
4613. එක් ඇසක් පියාගෙන එක් ඇසකින් බලන්නහුට ඇද තැන බලා ඍජු කිරීම සුදුසු වේ.
4614. දෙවැන්නක ඇත්තේ විවාදයට පැමිණියේ වෙයි. හුදෙකලා වූයේ කවරකු සමග විවාද කරන්නේ ද? ස්වර්‍ගයට යනු කැමති ඒ ඔබට හුදෙකලා වීම කැමති වේව යි හී වඩු තෙමේ අවවාද කෙළේය.
4615. එම්බා සීවලී දේවිය, හී වඩුවා කියූ ගාථා ඇසුවෙහි ද? දෙවැන්නක ඇත්තහුගේ මේ ස්වභාවය යි කියා හී වඩුවා මට අපහාස කෙළේය.
4616-4617. සොඳුර මඟීන් යන එන මේ දෙමං සන්‍ධියෙකි. මෙයින් තී කැමති මඟක් ගනු. ඉක්බිති මේ අනික් මඟ මම ගනිමි. මගේ සැමියා යැ යි තී මට නො කියව. මම ද මගේ භාර්‍ය්‍යාව ය යි නැවත නො කියමි රජ තෙමේ කී ය. එම්බා සීවලී දේවිය, වෙන් කොට ගත් මුදු තණ ගොබය මෙන් තී හා නැවත එක් නොවී මම තනි වැ වසන්නෙමි. තී ද තනි වැ වසව යි ඇයට අවවාද කෙළේ යැ යි වදාළහ.
දෙවන මහාජනක ජාතක යි.
3. සාම ජාතකය
4618. දිය ගෙන යන්නට ප්‍රමාද වූ මට ඊයෙන් විද්දේ කවරෙක් ද? රජ, බමුණු, වෙළඳ යන ආදී සිවු පිරිසෙන් කවරෙක් මට විදෑ සැඟවුණේ දැයි සාම කුමාර තෙමේ ඇසී ය.
4619. මාගේ මස් කෑ යුතු නො වේ. සමින් ද වැඩෙක් නැත. එසේ ඇති කල මට කවර කරුණෙකින් විදියයුතු ය යි සිතූහු දැයි කී ය.
4620. නුඹ කවරෙක් හෝ වෙහි ද? කවරෙකුගේ පුතෙකු හෝ වෙහි දැයි අපි කෙසේ තා දනිමු ද? යහළුව, මා විචාරන ලද්දේ කියව. කවර හෙයින් මා විදැ සැඟැවුණෙහි දැයි සාම කුමාර තෙමේ ඇසීය.
4621. කසීරට රජ නම් මම වෙමි. පිළියක් නමින් මා දනිති. මස් ලොබින් රට හැර මුවන් සොයමින් හැසිරෙමි.
4622. දුනු සිප්හි ද දක්‍ෂ වෙමි. සහස්සත්‍ථාම නම් දුන්න නඟන්නට පිළිවන් බැවින් දළ්හධම්ම ය යි ප්‍රකට ය. මාගේ ඊ පහරට පැමිණි ඇතා ද නැ මිදේ ය යි පිළියක් රජ කී ය.
4623. තෙපි ද කවරකුගේ පුතෙක් දැයි අපි තොප කෙසේ දනිමු ද? පියාණන්ගේ හෝ තමන්ගේ නාමගෝත්‍ර කියන්නැ යි රජ තෙමේ කී ය.
4624. මහරජ, තොපට යහපතක් වේවා! මම වනාහි වැදි පුතෙක් වෙමි. ජීවත් වන නෑයෝ ‘සාම’ කියා මා ඇමතූහ. අද ඒ මම මෙසේ මරුමුවට පැමිණියෙම් සයනය කරමි.
4625. මහරජ, විස සහිත මහත් ඊයකින් මුවෙකු මෙන් විදින ලද්දෙම් වෙමි. බලනු මැනැවැ. තම ලේ විලෙහි ගැලුණේ හොවිමි.
4626. ඊතලය වම් පසින් ඇතුළු වී දකුණැලයෙන් නික්මිණි. ලේ වමාරමි. මා කවර හෙයින් විදැ සැඟැවුණෙහි දැයි තොප විචාරමි.
4627. සම නිමිති කොට අඳුන් දිවියා නසනු ලැබෙයි, දළ නිමිති කොට ඇතා නසනු ලැබෙයි. එසේ නම් මා විදිය යුත්තෙකු මෙන් කවර හෙයින් සිතී දැයි සාම කුමාරයා ඇසීය.
4628. පින්වත, ඊ පහරට පැමිණි මුවෙක් ඉදිරියෙහි සිටියේ ය. තොප දැක්මෙන් මුවා භය වී ගියේය. එයින් මට තරහ උපනැ යි රජ තෙමේ කී ය.
4629. යම් කලෙක සිට තමන් සිහි කෙරෙම් ද යම් කලෙක සිට නුවණැති බවට පැමිණියෙම් ද , මේ තාක් වනයෙහි චණ්ඩ වූ වන මුවෝ ද මා දැක භය නො වෙති.
4630. යම් කලෙක පටන් වැහැරි සිවුරු පරිහරණය කෙරෙම් ද යම් කලෙක පටන් තරුණ බවට පැමිණියෙම් ද මේතාක් චණ්ඩ මෘගයෝ ද මා දැක භය නො වෙති.
4631. මහරජ, ගන්‍ධමාදන පර්‍වතයෙහි භය ජනක කිම්පුරුසයෝ ද වෙති. පර්‍වතයන්හි ද වනාන්තරයන්හි ද ඔවුන් සමග සතුටින් ගමන් කරමු. එසේ ඇති කළ කවර හෙයින් ඒ මුවා මා දැක බිය වන්නේ දැයි සාම කුමර තෙම ඇසීය.
4632 එම්බා සාම කුමරුනි, මුවා තොප නො දැක්කේ යැ. මම ඔබට කවර හෙයින් බොරු කියම් ද? ක්‍රෝධයෙන් ද ලෝභයෙන් ද මඬනා ලද සිත් ඇති මම ඒ ඊය තොපට විද්දෙමි යි රජතුමා කී ය.
4633. යහළුව, කවර තැනෙකින් හෝ අවුත් දිය ගෙනෙන්නට ගඟට යව යි කවරෙකු විසින් හෝ එවූ තෙපි මුවන්ගේ ය යි සම්මත මේ විලට ආවහු දැයි ඇසීය.
4634. මහරජ, මාගේ මව්පියෝ අන්‍ධයෝ ය. මේ මහා වනයෙහි සිට මම ඔවුන් පෝෂණය කරමි. ඔවුන්ට දිය ගෙනයන මම මේ මිගසම්මත නම් විලට ආයෙමි යි සාම කුමාරයා කී ය.
4635. ඒ මාගේ මව්පියන්ට භෝජන පමණක් ඇත. එකල්හි සදවසක් දිවි පවත්නේ ය. ඒ අඳ මව්පියෝ දිය නො ලැබීමෙන් මැරෙන්නාහු යැ යි සිතමි.
4636. මට මේ දුක එබඳු දුකක් නම් නොවේ. පුරුෂයෙකු විසින් මෙය ලැබිය යුතු ය. මෑණියන් නො දකිමි යන යම් දුකක් වේ ද එය මට මෙයට වැඩි දුකෙකි.
4637. මෙය මට එවැනි දුකක් නොවේ. පුරුෂයෙකු විසින් මෙය ලැබිය යුතුය. පියාණන් නො දකිමි යන මේ දුකක් වේ ද එය මට මෙයට වැඩි දුකෙකි .
4638. ඒ මාගේ බැගෑපත් මෑණියෝ ඒකාන්තයෙන් මැදියම් රැයෙහි ද පැසුළු රැයෙහි ද බොහෝ කලක් හඬන්නාහ. කුඩා විලක් මෙන් වියැලෙන්නාහ.
4639. ඒ මාගේ බැගෑපත් පියාණෝ ඒකාන්තයෙන් මැදියම් රැයෙහි ද පැසුළු රැයෙහි ද බොහෝ කලක් හඬන්නාහ. කුඩා විලක් මෙන් වියැලෙන්නාහ.
4640. මහරජ, දිවා රෑ නැගී සිටි වීර්‍ය්‍යයෙන් ඔවුනට මෙහෙ කිරීමෙන් ද අත් පා මිරිකීමෙන් ද උවටැන් කෙළෙමි. ඔහු පුතා සාම යැයි වැළපෙමින් මේ වනයෙහි ඇවිදිනාහු ය.
4641. ජීවිතය හැර දමන්නෙම් වන යමෙක් වේ ද අඳ මව්පියන් නො දකිමි යි යන යමක් ඇද්ද මේ දෙවෙනි ශෝක උල මා හද කම්පා කෙරේ යි සාම කුමරා කීය.
4642. සාම නම් කල්‍යාණ දර්‍ශනය දැඩි කොට නො වැලපෙව මම කටයුතු කරන්නෙක් වැ මේ මහ වෙනෙහි තොප මව්පියනට උපස්ථාන කළාක් මෙන් නුඹගේ ඒ මව්පියන් පෝෂණය කොට රැක බලාගන්නෙමි.
4643. ධනුශිල්පයෙහි ද මම දක්‍ෂයෙක්මී. දළ්හධර්‍මය යි ප්‍රකට වූ මම කටයුතු කරන්නෙක් වැ මේ මහ වන මැද නුඹ මෙන් නුඹගේ ඒ මව්පියන් පෝෂණය කිරීමෙන් රැක බලාගන්නෙමි.
4644. සිංහාදී වන මුර්‍ගයන් කා ඉතිරි කළ මස් ද වනයෙහි අල මුල් ද පලවැල ද සොයා මම කටයුතු කිරීමෙන් මහ වන මැද නුඹ මෙන් නුඹගේ මව්පියන් රැකබලා පෝෂණය කරන්නෙමි.
4645. පින්වත් සාමය, නුඹගේ ඒ මව්පියෝ කවර තැනෙක වෙසෙත් ද ඒ කවර වනයක් ද? නුඹ මව්පියන් පෝෂණය කළේ යම් සේ ද මම ද එසේ පෝෂණය කරන්නෙමි යි රජ තෙමේ කී ය.
4646. මහරජ, මාගේ හිස පැත්තෙන් යම් ඒක පදික මගෙක් වේ ද මේ මඟින් ගොස් ශබ්ද ඇසෙන දුර පමණින් බාගයක් හෙවත් අඩ හඬසනක් පමණ දුර යම් තැනක් වේ ද මව්පියන් වෙසෙන ගෙය එහි ය. මේ මඟින් එහි ගොස් ඔවුන් පෝෂණය කරන්න යි සාම කුමාරයා කී ය.
4647. කසී රජතුමනි, ඔබට මාගේ නමස්කාරය වේවා! කසීරට වර්ධනය කරන පින්වතුනි, ඔබට නමස්කාර වේවා! මාගේ මව්පියෝ අන්‍ධයෝය. මහවනයෙහි ඔවුන් පෝෂණය කරව.
4648. කසී රජතුමනි, ඔබට ඇඳිලි බඳිමි. ඔබට නමස්කාර වේවා! මා කියන ලදුයේ මව්පියනට මා වැන්ද බව කියනු මැනව යි සාම කුමාරයා කී ය.
4649. තරුණ කල්‍යාණ දර්‍ශන ඇති ඒ සාම කුමාර තෙමේ මෙ බස කියා විෂවේගයෙන් සිහිමුළා වූයේ විසංඥ බවට පැමිණියේය.
4650. ඒ රජ තෙමේ මම මෙපමණ කල් ජරා මරණ නැත්තෙක් යැ යි සිතීමි. අද කලුරිය කළ සාම කුමරු දැක කිසිවෙකුටත් මරුගේ නො පැමිණීමක් නැත යි දැන ගතිමි. මින් පෙර එසේ නො දැක්කෙමි. කරුණා සහගත වැ බෙහෙවින් වැලපුණේ ය.
4651. විෂ සහිත ඊයෙන් විඳිනු ලැබූ යමෙක් මා සමග දැන් කථා කෙළේ ද හේ තෙමේ මෙබඳු මරණයකට පැමිණි කළ කිසිවකුදු කථා නො කෙරේ.
4652. එකල මා කළ පාපය බොහෝ කල් දුක් විඳීමට සමර්‍ත්‍ථ දරුණු වූ කර්‍මයෙකි. ඒකාන්තයෙන් මම නරකයට යමි. මෙහි මට සැකයෙක් නැත.
4653. පව් කරන තැනැත්තා හට අපරාධ කරුවෙකැ යි ගමෙහි නින්‍දා කරන්නෝ වෙති. මිනිසුන් නැති මේ වනයෙහි මට නින්‍දා කරන්නට කවරෙක් සුදුසු වේ ද?
4654. ගම්හි මිනිස්සු එක් වැ කළ කම් සිහි කරවති නොහොත් චෝදනා කරති. මිනිසුන් නැති මේ වනයෙහි මට කවරෙක් චෝදනා කරන්නේ දැයි පිළියක් රජ වැලපුණේ ය.
4655. එකල ‘බහුසෝදරී නමැති දේවතා තොමෝ ගන්‍ධමාදන පර්‍වතයෙහි අතුරුදහන් වූවා රජහට ම අනුකම්පාවෙන් මේ ගාථා කියූ.
4656. මහරජ, රජතෙම මහත් අපරාධයක් කෙළේය. කෙළේ ඉතා ලාමක පහත් ක්‍රියාවකි. නිදොස් මව්පිය දෙදෙනා ද පුතා ද යන මේ තිදෙන එක හී පහරින් නසන ලදහ.
4657. මහරජ, මෙහි එනු මැනවි. යම්සේ ඔබට සුගතියක් වන්නේ නම් එසේ ඔබට අනුශාසනා කරමි. මහවනයෙහි ඒ අඳ මව්පියන් සාම කුමරු මෙන් දැහැමින් පෝෂණය කිරීමෙන් රැක බලාගනු. ඔබ එසේ කළ කල සුගතියට යන්නහු යයි මම සිතමි යි දෙවිඳු කියූ.
4658. ඒ පිළියක් රජ තෙමේ කරුණා සහගත වැ (සොවින්) බොහෝ වැලැපැ, දිය කළය රැගෙන දකුණු දිග බලා නික්ම ගියේ යැ.
4659. මෙහි ආ මිනිසකුගේ වැනි මේ පියවර ශබ්දය කවරකුගේ ද මේ පා ශබ්දය සාම කුමාරයාගේ ද? ඒ ශබ්දය නම් නො වේ. පින්වත, මෙහි ආ තොප කවරහු ද?
4660. සාම කුමරු සන්සුන් ලෙස එයි. සන්සුන් වැ පා තබයි. මේ ශබ්දය නම් සාම කුමරුගේ නො වේ. පින්වත, මෙහි ආ තෙපි කවරහු දැයි දුකුල පණ්ඩිත නම් වන සාම කුමරුගේ අන්‍ධ පියා ඇසී ය.
4661. පින්වත, මම කසීරට වැසියන්ගේ රජ වෙමි. පිළියක් රජ නමින් මා දනිති. මස් ලොබින් රට හැර අවුත් මම මුවන් සොයමින් හැසිරෙමි.
4662. ධනුශිල්පයෙහි ද දක්‍ෂ වෙමි. දළ්හධර්‍ම ය යි ද ප්‍රසිද්ධය. මාගේ ඊ පහරට පැමිණි ඇතෙක් ද එයින් නො මිදේ යැ යි රජ තෙමේ කීය.
4663. මහරජ, ඔබට යහපත් පැමිණීමක් වේවා. තවද ඔබට අයහපත් පැමිණීමක් නො වේවා. මෙහි පැමිණියේ අපට අධිපති වෙහි ය. මෙහි කැමති යමක් ඇත් නම් එය පිළිගනු මැනවි.