2. මහාජනක ජාතකය
4442. පරතෙර නොපැනෙන මේ මුහුද මැද කවරෙක් නම් පීනමින් වීර්‍ය්‍ය කරන්නේ ද? තෙපි කවර ප්‍රයෝජනයක් දැනැ මෙසේ මහත් සේ වැර වඩන්නහු දැ යි මණිමෙඛෙලා නම් දෙව්දූ ඇසූ ය.
4443. එම්බා දෙව්දුව, මම ලෝවැසියා පිළිබඳ පවත්නා උත්සාහය ද කටයුතු ද එහි අනුසස් ද දැනැ වසමි. එහෙයින් මේ මුහුද මැද පරතෙර නො දක්නෙම් උත්සාහ කරමි යි මහාජනක කුමාර තෙමේ කී ය.
4444. ගැඹුරු පමණ නො කළහැකි මේ සාගරයෙහි පරතෙර යමකුට නො පෙනේ ද එම්බා පුරුෂය තොපගේ උත්සාහය හිස් යැ පරතෙරට නො පැමිණ මැ මැරෙන්නෙහි යි දෙව්දූ පැවැසූ.
4445. එම්බා දෙව්දුව, වීර්‍ය්‍ය කරන යම් පුරුෂයෙක් වේ නම් හේ නෑයනට ද දෙව්බඹුනට ද ණය නැත්තෙකි නොහොත් ඔවුනතර නො ගැරහිය යුත්තෙකි. නො පසු තැවෙන්නකැ යි ද කුමාර තෙමේ කී ය.
4446. යම් කටයුත්තක් උත්සාහයෙන් මුදුන් පත් කළ නො හැකි ද ඵල නැත්තේ ද වෙහෙසම මැ උපදවා ද මරණය මැ එහි ලා වේ ද එ බඳු උත්සාහයෙන් කවර නම් වැඩෙක් දැ යි දෙව්දූ ඇසූ.
4447. එම්බා දෙව්දුව, යමෙක් අත්‍යන්තයෙන් මුදුන්පත් නො කළ හැකි බව ද දැනැ උත්සාහය අත්හරී නම් හේ වනාහි තමන්ගේ ජීවිතය නො රකී යැ යි දනු මැනැවි.
4448. එම්බා දෙව්දුව, මෙ ලොවැ සමහරු තම අදහස් පරිදි ප්‍රයෝජන පතා වෙළහෙළඳාම් ආදි කටයුතු කෙරෙති. ඒ කටයුතු ඔවුන්ගේ අදහස් සිද්ධ කරන්නේ ද නො කරන්නේ ද වෙයි. කායික චෛතසික වීර්‍ය්‍ය ඇත්තන්ට සමෘද්ධ වේ මැ යි.
4449.එම්බා දෙව්දුව, මා සමඟ ආ සෙසු වෙළෙන්දෝ වීර්‍ය්‍ය නො කොටැ මුහුදෙහි ගිලුණාහ. මම වනාහි උත්සාහයෙන් මේතාක් පීනමි. සමීපයෙහි සිටින තොප ද දකිමි. මේ ජාතියෙහි ගන්නා ලද උත්සාහය පිළිබඳ විපාක නො වේ දැ යි බලව.
4450. සමුද්‍රයාගේ පරතෙරට යන ඒ මම වනාහි උත්සාහ ගනිමි. ශක්ති පරිදි බල පරිදි පුරුෂයෙකුට අයත් ක්‍රියාව කරමි යි කුමාර තෙමේ කී ය.
4451. යම් බඳු තෙපි මෙවැනි ගැඹුරු පළල් සැඬ පහර ඇති පමණ නො කළැකි මහසයුරෙහි දැහැමි වූ උත්සාහයෙන් යුත් වූයෙහි පුරුෂ වීර්‍ය්‍යයෙන් නො ගිලෙහු. යම් තැනෙකැ තොපගේ සිත ඇලුණේ ද එ තැනට යන්නැ යි දෙව්දූ පැවැසූ.
4452. ඉර උදාවන තැන නිධාන යැ බස්නා තැන නිධාන යැ ඇතුළත නිධාන යැ පිටත නිධාන යැ ඇතුළතැ ද පිටතැ ද නො වූ නිධාන යැ.
4453. නඟින තැන නිධාන යැ බහින තැන නිධාන යැ මහ සල්ගස් සතර තිබෙන තැන නිධාන සතර යැ හාත්පසින් යොදනක් තැන නිධාන ය.
4454. දළ කෙළවරැ මහා නිධාන යැ වලග කෙළවරැ නිධාන යැ දිය ඇති තැන නිධාන යැ ගස් මුදුන නිධාන යැ යි යන මේ සොළොස් නිධානයෝ වෙති. සීවලී දේවිය සතුටු කිරීමෙන් යමෙක් සහස්‍රස්ථාම දුන්නෙහි දුනුදිය නඟාලියහේ ද සිවුරැස් පර්‍ය්‍යඞ්කයෙහි හිස් දොර දතහේ ද ඔහුට රජය දියයුතු යැ යි පෝලජනක රජු විසින් මරණ මඤ්චකයේ දී පැවැසිණ.
4455. නුවණැති පුරුෂ තෙම ප්‍රාර්‍ත්‍ථනා කරන්නේ මැ ය. උත්සාහ වැඩීමෙහි දී නො කලකිරෙන්නේ ය. යම්සේ කැමතිවීම් ද එසේ විය. මම (එබඳු) තමා දකිමි.
4456. නුවණැ’ති පුරුෂ තෙමේ ප්‍රාර්‍ත්‍ථනා කරන්නේ මැ ය. උත්සාහ වැඩීමෙහි දී නො කලකිරෙන්නේ ය. මම දියෙන් ගොඩ ආ ඒ තමන් දකිමි.
4457. නුවණැති පුරුෂ තෙම වෑයම් කරන්නේ මැ ය. නො කලකිරෙන්නේ ය. යම්සේ කැමතිවීම් ද එසේ විය. මම (එබඳු) තමා දකිමි.
4458. නුවණැති පුරුෂ තෙම වෑයම් කරන්නේ මැ ය. නො කලකිරෙන්නේ ය. මම දියෙන් ගොඩ නගනලද (ඒ) තමා දකිමි.
4459. නුවණැ’ති මිනිස් තෙමේ දුකට පත් වූයේ ද සුවපත් වීමට ඇති කැමැත්ත සුන් නො කරන්නේ ය. පහස්හු හිත ද අහිත ද වෙති. එය නො සිතන්නෝ මරණයට පත් වෙති.
4460. නොසිතූ දේ වෙයි. සිතූ දේ වැනැසෙයි. ස්ත්‍රියකට හෝ පුරුෂයකුට සිතීමෙන් මැ සිදුවන සම්පත් නැතැ යි (මහාජනක රජතෙමේ උදන් ඇණී ය.)
4461. පින්වත්නි, සියලු පොළොවට හිමි දිසාවනට අධිපති රජ තෙමේ ඒකාන්තයෙන් මැ පෙර පරිදි නො වේ. අද නැටුම් නො බලයි. ගී ගැයීමෙහි සිත් ඇලුම් නො කෙරේ.
4462. මෘගයුද්ධ නො බලයි, උයන්කෙළි නො කෙරෙයි, හංසයන් ද නො බලයි, ගොළුවකු මෙන් නිහඬ වැ හුන්නේ අර්‍ත්‍ථයෙන් ධර්‍මයෙන් අනුශාසනා නො කෙරේ යයි ද මහාජන තෙමේ කී ය.
4463. නිවන්සුව කැමැති වැසුණු සීලාදී ගුණ ඇති වධබන්‍ධන නැති තරුණ මහලු පසේබුදුවරු කවර කෙනෙකුන්ගේ අරමෙහි අද වෙසෙත් ද?
4464. තෘෂ්ණා නැති නුවණැ’ති යම් කෙනෙක් රාගාදි කෙලෙසුන්ගෙන් උත්සන්න බවට පත් ලෝකයෙහි උත්සාහ නැත්තෝ වැ වෙසෙද්ද ඒ මහර්ෂී උතුමන්ට නමස්කාර වේවා.
4465. උන්වහන්සේ ඉතා මායාකාරී වූ මරුවාගේ ඒ දැඩි දැල සිඳ සුන් කළ කෙලෙස් ඇති බැවින් (සසරින් නික්ම) යෙති. ඒ උතුමන් වසන තැනට මා පමුණුවන්නේ කවරෙක් ද යි (මහාජනක රජ තෙමේ සතුට ප්‍රකාශ කෙළේ යැ.)
4466. කවර කලෙක මම සමෘද්ධ වූ විශාල වූ හාත්පසින් බබළන්නා වූ මියුලු නම් නුවර හැර දමා පැවිදි වන්නෙම් ද? එය කවරදා සිදු වන්නේ ද?
4467. කවර කලෙක මම බෙදා කොටස් වශයෙන් ප්‍රමාණ කළ සමෘද්ධ වූ මියුලු නුවර හැර පැවිදි වන්නෙම් ද? ඒ පැවිද්ද කවරදා සිදු වන්නේ ද?
4468. කවර කලෙක මම මහත් පවුරු{*} දොරටු තොරණින් යුත් සමෘද්ධ වූ මියුලු නුවර හැර පැවිදි වන්නෙම් ද? කවරදා එය සිදු වන්නේ ද?
4469. කවර කලෙක මම දැඩි අටලු දොරකොටු යුත් සමෘද්ධ වූ මියුලු නුවර හැර පැවිදි වන්නෙම් ද? එය කවරදා සිදු වන්නේ ද?
4470. කවර කලෙක මම මැනැවින් කොටස් කළ මහවීදි ඇති සමෘද්ධ වූ මියුලු නුවර හැර පැවිදි වන්නෙම් ද? එය කවරදා සිදු වන්නේ ද?
4471. කවර කලෙක මම මැනැවින් විභාග කළ සල්පිල් ඇති සමෘද්ධ වූ මියුලු නුවර හැර පැවිදි වන්නෙම් ද? එය කවරදා සිදු වන්නේ ද?
4472. කවර කලෙක මම ගවයන් අසුන් යෙදූ රථ ගැවසී ගත් සමෘද්ධ වූ මියුලු නුවර හැර පැවිදි වන්නෙම් ද? එය කවරදා සිදු වන්නේ ද?
4473. කවර කලෙක මම පුෂ්පාරාම ඵලාරාම හා උයන්පෙළ ඇති සමෘද්ධ වූ මියුලු නුවර හැර පැවිදි වන්නෙම් ද? එය කවරදා සිදු වන්නේ ද?
4474. කවර කලෙක මම උයන් වතු ද වන පංති ද ඇති සමෘද්ධ වූ මියුලු නුවර හැර පියා පැවිදි වන්නෙම් ද? එය කවරදා සිදු වන්නේ ද?
4475. කවර කලෙක මම ප්‍රාසාද හා වන පංති ඇති සමෘද්ධ වූ මියුලු නුවර හැර පැවිදි වන්නෙම් ද? එය කවරදා සිදු වන්නේ ද?
4476. කවර කලෙක මම රජුගේ නෑයන්ගෙන් යුත් තුන්පවුරකින් පිරිවර වූ සෝමනස්ස නම් වේදේහ රජු විසින් මවන ලද සමෘද්ධ වූ මියුලු නුවර හැර පැවිදි වන්නෙම් ද? එය කවරදා සිදු වන්නේ ද?
4477. කවර කලෙක මම දැහැමින් රැකුණු රැස් කළ ධන ධාන්‍ය ඇති සමෘද්ධ වූ විදේහ වැසියන් හැර පැවිදි වන්නෙම් ද? එය කවරදා සිදු වන්නේ ද?
4478. කවර කලෙක දැහැමින් රැකුණු සතුරන් විසින් නො දිනිය හැකි සමෘද්ධ වූ විදේහ වැසියන් හැර පැවිදි වන්නෙම් ද? එය කවරදා සිදු වන්නේ ද?
4479. කවර කලෙක විභාග කළ, කොටස් වශයෙන් ප්‍රමාණ කළ සිත්කලු අන්තඃපුරය හැර පැවිදි වන්නෙම් ද? එය කවරදා සිදු වන්නේ ද?
4480. කවර කලෙක සුණු පිරියම් ද මැටි ආලේප ද කළ සිත්කලු අන්තඃපුරය හැර පැවිදි වන්නෙම් ද? එය කවරදා සිදු වන්නේ ද?
4481. කවර කලෙක පිවිතුරු සුවඳින් යුත් මනරම් වූ අන්තඃපුරය හැර පැවිදි වන්නෙම් ද? එය කවරදා සිදු වන්නේ ද?
4482. කවර කලෙක මම විභාග කළ, කොටස් වශයෙන් ප්‍රමාණ කළ, කුටාගාරයන් හැර පැවිදි වන්නෙම් ද? එය කවරදා සිදු වන්නේ ද?
4483. කවර කලෙක මම සුණු පිරියමින් ද මැටි ආලේපයෙන් ද යුත් කූටාගාරයන් හැර පැවිදි වන්නෙම් ද? එය කවරදා සිදු වන්නේ ද?
4484. කවර කලෙක මම පිවිතුරු සුවඳ ඇති සිත් අලවන කූටාගාරයන් හැර පැවිදි වන්නෙම් ද? එය කවරදා සිදු වන්නේ ද?
4485. කවර කලෙක මම ආලේප කළ, රත්සඳුන් ඉස්නාලද කූටාගාරයන් හැර පැවිදි වන්නෙම් ද? එය කවරදා සිදු වන්නේ ද?
4486. කවර කලෙක මම සතරඟුල් පමණ එළු ලොමින්කළ විසිතුරු පලස් අතුළ රන්මුවා පර්‍ය්‍යඞ්කයන් හැර පැවිදි වන්නෙම් ද, එය කවරදා සිදු වන්නේ ද?
4487. කවර කලෙක මම සතරඟුල් පමණ එළු ලොමින් කළ විසිතුරු පලස් අතුළ මිණිමුවා පර්‍ය්‍යඞ්කයන් හැර පැවිදි වන්නෙම් ද, එය කවරදා සිදු වන්නේ ද?
4488. කවර කලෙක මම කපුපිළී හා කෝසෙය්‍ය වස්ත්‍ර ද කොමුපිළි ද කොටුම්බර දේශයෙහි නිපන් වස්ත්‍ර ද හැර පැවිදි වන්නෙම් ද, එය කවරදා සිදු වන්නේ ද?
4489. කවර කලෙක මම සක්වාලිහිණියන් විසින් පැවැත්වෙන නාද ඇති මන්‍දාලකයන්ගෙන් හා පියුම් උපුල් ආදී පස්පියුමින් ගැවසී ගත් රමණීය පොකුණු හැර පියා පැවිදි වන්නෙම් ද, එය කවරදා සිදු වන්නේ ද?
4490-4491. කවර කලෙක සව්බරණින් සැරහුණු රන් පොරොදු හා රන් ශීර්‍ෂාභරණයෙන් හා රන් දැලින් ද යුත් තෝමර හා අකුසු ගත් අත් ඇති ඇතරුවන් නැගුනු ඇත්රජුන් හැර පැවිදි වන්නෙම් ද, එය කවරදා සිදු වන්නේ ද?
4492-4493. කවර කලෙක උපතින් ම ආජානීය වූ සව්බරණින් සැරැසුණු සෛන්‍ධව නම් ශීඝ්‍රවාහන වූ කරවාල දුනු දරන අසරුවන් නැගුනු අශ්ව සමූහයන් හැර පැවිදි වන්නෙම් ද, එය කවරදා සිදු වන්නේ ද?
4494-4495. කවර කලෙක මැනැවින් සැදුණු එසවුණු ධජ ඇති අතුළ දිවිසම් ද ව්‍යාඝ්‍රසම් ද ඇති සියලු අලඞ්කාරයෙන් සැරසූ දුනු ගත් අත් ඇති යුද්ධ සැට්ටයෙන් සැරැසුණු රියැදුරන් නැගුණු රථ පංති ද හැර පැවිදි වන්නෙම් ද, එය කවරදා සිදු වන්නේ ද?
4496-4497. කවර කලෙක මම සන්නද්ධ වූ එසවූ ධජ ඇති අතුළ දිවිසම් හා ව්‍යාඝ්‍රසම් ඇති සියලු අලඞ්කාරයෙන් සැරසූ යුද සැට්ටයෙන් සැරැසුණු දුනු ගත් අත් ඇති රියැදුරන් නැගුණු ස්වර්‍ණමය රථයන් හැර පැවිදි වන්නෙම් ද, එය කවරදා සිදු වන්නේ ද?
4498-4499. කවර කලෙක මම සන්නද්ධ වූ එසවූ ධජ ඇති අතුළ දිවිසම් හා ව්‍යාඝ්‍රසම් ඇති සියලු අලඞ්කාරයෙන් සැරසූ යුද සැට්ටයෙන් සැරැසුණු දුනු ගත් අත් ඇති රියැදුරන් නැගුණු රිදී රථයන් හැර පැවිදි වන්නෙම් ද, එය කවරදා සිදු වන්නේ ද?
4500-4501. කවර කලෙක මම සන්නද්ධ වූ එසවූ ධජ ඇති අතුළ දිවිසම් හා ව්‍යාඝ්‍රසම් ඇති සියලු අලඞ්කාරයෙන් සැරසූ යුද සැට්ටයෙන් සැරැසුණු දුනු ගත් අත් ඇති රියැදුරන් නැගුණු අශ්වයන් යෙදූ රථ හැර පැවිදි වන්නෙම් ද. එය කවරදා සිදු වන්නේ ද?
4502-4503. කවර කලෙක මම සන්නද්ධ වූ එසවූ ධජ ඇති අතුළ දිවිසම් හා ව්‍යාඝ්‍රසම් ඇති සියලු අලඞ්කාරයෙන් සැරසූ යුද සැට්ටයෙන් සැරැසුණු දුනු ගත් අත් ඇති රියැදුරන් නැගුණු ඔටුවන් යෙදූ රථ හැර පැවිදි වන්නෙම් ද, එය කවරදා සිදු වන්නේ ද?
4504-4505. කවර කලෙක මම සන්නද්ධ වූ එසවූ ධජ ඇති අතුළ දිවිසම් හා ව්‍යාඝ්‍රසම් ඇති සියලු අලඞ්කාරයෙන් සැරසූ යුද සැට්ටයෙන් සැරැසුණු දුනු ගත් අත් ඇති රියැදුරන් නැගුණු ගවයන් යෙදූ රථ හැර පැවිදි වන්නෙම් ද, එය කවරදා සිදු වන්නේ ද?
4506-4507. කවර කලෙක මම සන්නද්ධ වූ එසවූ ධජ ඇති අතුළ දිවිසම් ද හා ව්‍යාඝ්‍රසම් ඇති සියලු අලඞ්කාරයෙන් සැරසූ යුද සැට්ටයෙන් සැරැසුණු දුනු ගත් අත් ඇති රියැදුරන් නැගුණු එළුවන් යෙදූ රථ හැර පැවිදි වන්නෙම් ද, එය කවරදා සිදු වන්නේ ද?
4508-4509. කවර කලෙක මම සන්නද්ධ වූ එසවූ ධජ ඇති අතුළ දිවිසම් හා ව්‍යාඝ්‍රසම් ඇති සියලු අලඞ්කාරයෙන් සැරසූ යුද සැට්ටයෙන් සැරැසුණු දුනුගත් අත් ඇති රියැදුරන් නැගුණු තිරෙළුවන් යෙදූ රථ හැර පැවිදි වන්නෙම් ද, එය කවරදා සිදු වන්නේ ද?
4510-4511. කවර කලෙක මම සන්නද්ධ වූ එසවූ ධජ ඇති අතුළ දිවිසම් හා ව්‍යාඝ්‍රසම් ඇති සියලු අලඞ්කාරයෙන් සැරසූ යුද සැට්ටයෙන් සැරැසුණු දුනුගත් අත් ඇති රියැදුරන් නැගුණු මුවන් යෙදූ රථ හැර පැවිදි වන්නෙම් ද, එය කවරදා සිදු වන්නේ ද?
4512. කවර කලෙක මම සියලු අලඞ්කාරයෙන් සැරැසුණු නිල්වන් සැට්ට දරන තෝමර හා අකුසු ගත් අත් ඇති ශූර ඇතරුවන් හැර පැවිදි වන්නෙම් ද, එය කවර දෑ සිදු වන්නේ ද?
4513. කවර කලෙක මම සියලු අලඞ්කාරයෙන් සැරැසුණු නිල්වන් සැට්ට දරන කරවාල හා දුනු දරන ශූර අසරුවන් හැර පැවිදි වන්නෙම් ද, එය කවරදා සිදු වන්නේ ද?
4514. කවර කලෙක මම සියලු අලඞ්කාරයෙන් සැරැසුණු නිල්වන් සැට්ට දරන දුනුගත් අත් ඇති හියවුරු දරන රියැදුරන් හැර පැවිදි වන්නෙම් ද, එය කවරදා සිදු වන්නේ ද?
4515. කවර කලෙක මම සියලු අලඞ්කාරයෙන් සැරැසුණු නිල්වන් සැට්ට ඇති හියවුරු දරන දුනු ගත් අත් ඇති ශූර ධනුර්ධරයන් හැර පැවිදි වන්නෙම් ද, එය කවරදා සිදු වන්නේ ද?
4516. කවර කලෙක මම සියලු අලඞ්කාරයෙන් සැරැසුණු විසිතුරු සැට්ට හා ස්වර්‍ණමය හිස් වෙළුම් ඇති ශූර වූ රාජ කුමාරයන් හැර පැවිදි වන්නෙම් ද? එය කවරදා සිදු වන්නේ ද?
4517. කවර කලක මම වස්ත්‍ර යුත් සැරැසුණු රන්වන් සඳුන් ගැල් වූ ශරීර ඇති උතුම් කසීසළු දරන බ්‍රාහ්මණ සමූහය හැර පැවිදි වන්නෙම් ද, එය කවරදා සිදු වන්නේ ද?
4518. කවර කලෙක මම සියලු අලඞ්කාරයෙන් සැරැසුණු කහපැහැ දරන ශූර වූ පෙරටුව යන ඇමති ගණයා හැර පැවිදි වන්නෙම් ද, එය කවරදා සිදු වන්නේ ද?
4519. කවර කලෙක මම සියලු අලඞ්කාරයෙන් සැරැසුණු සත්සියයක් භාර්‍ය්‍යාවන් හැර පැවිදි වන්නෙම් ද, එය කවරදා සිදු වන්නේ ද?
4520. කවර කලෙක මම මැනෙවින් හික්මුණු කෘශ වූ මැද පෙදෙස් ඇති සත්සියයක් භාර්‍ය්‍යාවන් හැර පැවිදි වන්නෙම් ද, එය කවරදා සිදු වන්නේ ද?
4521. කවර කලෙක මම කීකරු පියවදන් ඇති සත්සියයක් භාර්‍ය්‍යාවන් හැර පැවිදි වන්නෙම් ද, එය කවරදා සිදු වන්නේ ද?
4522. කවර කලෙක මම සියක් පලමකින් කළ සිය ගණන් ඉරි ඇති රන්මුවා තලිය හැර පැවිදි වන්නෙම් ද, එය කවරදා සිදු වන්නේ ද?
4523-4524. කවර කලෙක සියලු අලඞ්කාරයෙන් සැරැසුණු රන් පොරොදු ඇති රන්මුවා ශීර්‍ෂාභරණ ද සැරැසුණු වස්ත්‍ර ද ඇති තෝමර හා අකුසු ගත් අත් ඇති ඇතරුවන් නැගුණු හස්තිරාජයන්ගෙන් යුත් ඇත් සමූහයෝ හුදෙකලා වනයට යන මා අනුව නො යන්නාහු ද, එ බඳු පැවිද්ද කවරදා සිදු වන්නේ ද?
4525-4526. කවර කලෙක සව්බරණින් සැරැසුණු උපතින් ම ශීඝ්‍ර ගමන් ඇති සෛන්‍ධව නම් වන කරවාලායුධ හා දුනු දරන අසරුවන් නැගුණු අශ්ව සමූහයෝ වනයට යන හුදෙකලා මා අනුව නො යන්නාහු ද, එ බඳු පැවිද්ද කවරදා සිදු වන්නේ ද?
4527-4528. කවර කලෙක යුදයට සැරැසුණු එසවූ ධජ ඇති අතුළ දිවිසම් හා ව්‍යාඝ්‍රසම් ඇති සව්බරණින් සැරැසුණු දුනු ගත් අත් ඇති යුද සැට්ට දරන රියැදුරන් නැගුණු රථ පන්තීහු හුදෙකලා වනයට යන මා අනුව නො යන්නාහු ද, එ බඳු පැවිද්ද කවරදා සිදු වන්නේ ද?
4529-4530. කවර කලෙක යුදයට සැරැසුණු එසවූ ධජ ඇති අතුළ දිවිසම් හා ව්‍යාඝ්‍රසම් ඇති සව්බරණින් සැරැසුණු දුනු ගත් අත් ඇති යුද සැට්ට දරන රියැදුරන් නැගුණු රන්මුවා රථ සමූහයෝ හුදෙකලා වනයට යන මා අනුව නො යන්නාහු ද, එ බඳු පැවිද්ද කවරදා සිදු වන්නේ ද?
4531-4532. කවර කලෙක යුදයට සැරැසුණු එසවූ ධජ ඇති අතුළ දිවිසම් හා ව්‍යාඝ්‍රසම් ඇති සව්බරණින් සැරැසුණු දුනු ගත් අත් ඇති යුද සැට්ට දරන රියැදුරන් නැගුණු රිදියෙන් කළ රථ සමූහයෝ හුදෙකලා වනයට යන මා අනුව නො යන්නාහු ද, එ බඳු පැවිද්ද කවරදා සිදු වන්නේ ද?
4533-4534. කවර කලෙක යුදයට සැරැසුණු එසවූ ධජ ඇති අතුළ දිවිසම් හා ව්‍යාඝ්‍රසම් ඇති සව්බරණින් සැරැසුණු දුනු ගත් අත් ඇති යුද සැට්ට දරන රියැදුරන් නැගුණු අසුන් යෙදූ රථයෝ හුදෙකලා වනයට යන මා අනුව නො යන්නාහු ද, එ බඳු පැවිද්ද කවරදා සිදු වන්නේ ද?
4535-4536. කවර කලෙක යුදයට සැරැසුණු එසවූ ධජ ඇති අතුළ දිවිසම් හා ව්‍යාඝ්‍රසම් ඇති සව්බරණින් සැරැසුණු දුනු ගත් අත් ඇති යුද සැට්ට දරන රියැදුරන් නැගුණු ඔටුවන් යෙදූ රථ සමූහයෝ හුදෙකලා වනයට යන මා අනුව නො යන්නාහු ද, එ බඳු පැවිද්ද කවරදා සිදු වන්නේ ද?
4537-4538. කවර කලෙක යුදයට සැරැසුණු එසවූ ධජ ඇති අතුළ දිවිසම් හා ව්‍යාඝ්‍රසම් ඇති සව්බරණින් සැරැසුණු දුනු ගත් අත් ඇති යුදසැට්ට දරන රියැදුරන් නැගුණු ගවයන් යෙදූ රථ සමූහයෝ හුදෙකලා වනයට යන මා අනුව නො යන්නාහු ද, එ බඳු පැවිද්ද කවරදා සිදු වන්නේ ද?
4539-4540. කවර කලෙක යුදයට සැරැසුණු එසවූ ධජ ඇති අතුළ දිවිසම් හා ව්‍යාඝ්‍රසම් ඇති සව්බරණින් සැරැසුණු දුනු ගත් අත් ඇති යුදසැට්ට දරන රියැදුරන් නැගුණු එළුවන් යෙදූ රථ සමූහයෝ හුදෙකලා වනයට යන මා අනුව නො යන්නාහු ද, එ බඳු පැවිද්ද කවරදා සිදු වන්නේ ද?
4541-4542. කවර කලෙක යුදයට සැරැසුණු එසවූ ධජ ඇති අතුළ දිවිසම් හා ව්‍යාඝ්‍රසම් ඇති සව්බරණින් සැරැසුණු දුනු ගත් අත් ඇති යුදසැට්ට දරන රියැදුරන් නැගුණු තිරෙළුවන් යෙදූ රථ සමූහයෝ හුදෙකලා වනයට යන මා අනුව නො යන්නාහු ද, එ බඳු පැවිද්ද කවරදා සිදු වන්නේ ද?
4543-4544. කවර කලෙක යුදයට සැරැසුණු එසවූ ධජ ඇති අතුළ දිවිසම් හා ව්‍යාඝ්‍රසම් ඇති සව්බරණින් සැරැසුණු දුනු ගත් අත් ඇති යුද සැට්ට දරන රියැදුරන් නැගුණු මුවන් යෙදූ රථ සමූහයෝ හුදෙකලා වනයට යන මා අනුව නො යන්නාහු ද, එ බඳු පැවිද්ද කවරදා සිදු වන්නේ ද?
4545. කවර කලෙක සව්බරණින් සැරැසුණු නිල්වන් සැට්ට දරන තෝමර හා අකුසු ගත් අත් ඇති ශූර ඇතරුවෝ වනයට යන මා අනුව නො යන්නාහු ද, එබඳු පැවිද්ද කවරදා සිදු වන්නේ ද?
4546. කවර කලෙක සියලු අලඞ්කාරයෙන් සැරැසුණු නිල් සැට්ට දරන කරවාලායුධ හා දුනු දරන ශූර අසරුවෝ වනයට හුදෙකලා යන මා අනුව නො යන්නාහු ද, එබඳු පැවිද්ද කවරදා සිදු වන්නේ ද?
4547. කවර කලෙක සව්බරණින් සැරැසුණු නිල්වන් සැට්ට දරන දුනු ගත් අත් ඇති ශූර රථ සේනාවෝ වනයට යන මා අනුව නො යන්නාහු ද, එබඳු පැවිද්ද කවරදා සිදු වන්නේ ද?
4548. කවර කලෙක සව්බරණින් සැරැසුණු නිල්වන් සැට්ට දරන දුනු හියවුරු ගත් අත් ඇති ශූර ධනුර්ධරයෝ වනයට යන මා අනුව නො යන්නාහු ද, එබඳු පැවිද්ද කවරදා සිදු වන්නේ ද?
4549. කවර කලෙක සව්බරණින් සැරැසුණු නිල්වන් සැට්ට දරන රන් සැරයටි ගත් අත් ඇති ශූර රාජ පුත්‍රයෝ හුදෙකලා වනයට යන මා අනුව නො යන්නාහු ද, එබඳු පැවිද්ද කවරදා සිදු වන්නේ ද?
4550. කවර කලෙක අලඞ්කාර වස්ත්‍රයෙන් සැරැසුණු රත්සඳුන් ගැල්වුනු ශරීරාවයව ඇති උතුම් කශීසළු දරන බ්‍රාහ්මණ සමූහයෝ වනයට හුදෙකලා යන මා අනුව නො යන්නාහු ද, එබඳු පැවිද්ද කවරදා සිදු වන්නේ ද?
4551. කවර කලෙක සව්බරණින් සැරැසුණු කහපැහැ ඇති පෙරටුව යන ශූර ඇමැතිගණයා හුදෙකලා වනයට යන මා අනුව නො යද්ද, එබඳු පැවිද්ද කවර කලෙක සිදු වන්නේ ද?
4552. කවර කලෙක සර්‍වාලඞ්කාරයෙන් සැරැසුණු සත්සියයක් ස්ත්‍රීහු හුදෙකලා වනයට යන මා අනුව නො යන්නාහු ද, එබඳු පැවිද්ද කවරදා සිදු වන්නේ ද?
4553. කවර කලෙක මනාකොට හික්මුණු කෘශ වූ සිරුරු මැද පෙදෙස් ඇති සත්සියයක් භාර්‍ය්‍යාවෝ හුදෙකලා වනයට යන මා අනුව නො යන්නාහු ද, එබඳු පැවිද්ද කවර කලෙක සිදු වන්නේ ද?
4554. කවර කලෙක ප්‍රිය තෙපුල් ඇති සත්සියයක් භාර්‍ය්‍යාවෝ හුදෙකලා වනයට යන මා අනුව නො යන්නාහු ද, එබඳු පැවිද්ද කවරදා සිදු වන්නේ ද?
4555. කවර කලෙක හිස මුඬු කළ සඟළ සිවුරක් පෙර වූ මම පාත්‍රයක් රැගෙන පිඬු සිඟා හැසිරෙන්නෙම් ද, එබඳු පැවිද්ද කවර කලෙක සිදු වන්නේ ද?
4556. කවර කලෙක මහ මග හැර දැමූ පාංශුකූල වස්ත්‍රයෙන් සඟළ සිවුරක් දරන්නෙම් ද, එබඳු පැවිද්ද කවර කලෙක සිදු වන්නේ ද?
4557. කවර කලෙක (බැඳගෙන වස්නා) සත්දා වැස්සෙන් තෙත් සිවුරු ඇති මම පිඬු පිණිස හැසිරෙම් ද, එබඳු පැවිද්ද කවර කලෙක සිදු වන්නේ ද?
4558. කවර කලෙක ගසින් ගසට වනයෙන් වනයට පැමිණ ඇලුම් නොකොට මුළු දවස ම වසන්නෙම් ද, එබඳු පැවිද්ද කවර කලෙක සිදු වන්නේ ද?
4559. කවර කලෙක ගිරි දුර්‍ගමස්ථානයන්හි පහ වූ බිය ඇති වැ හුදෙකලා ව හැසිරෙන්නෙම් ද, එබඳු පැවිද්ද කවර කලෙක සිදු වන්නේ ද?
4560. කවර කලෙක වීණා වාදකයෙකු සත් තතක් ඇති සිත්කලු වීණාව මෙන් සිත ඍජු කරන්නෙම් ද, එබඳු පැවිද්ද කවර කලෙක සිදු වන්නේ ද?
4561. කවර කලෙක මම පාවහන් සිඳුනා සොම්වරකු මෙන් දිව්‍ය වූ ද මානුසික වූ ද කාමසඤ්ඤෝජනයන් සිඳින්නෙම් දැ යි (මහාජනක රජ කී ය.)
4562. සියලු අලඞ්කාරයෙන් සැරැසුණු ඒ සත්සියයක් භාර්‍ය්‍යාවෝ කවර හෙයින් අප අත්හරින්නෙහි දැ යි අත් ඔසවාගෙනැ හැඬූහ.