Jātaka

Birth Stories

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-29 · 7679 segments

පෙන්වන කොටස් 5101-5200 න් 7679

4343. රාජපුත්‍රයෙනි, මේ වනයෙන් බරණැස් නුවරට ගියහු නම් තුටුපඬුරු ලබන්නහු ය. ඔබ සිය නිවෙසට පැමිණි කල මවු පියෝ බොහෝ තුටු පඬුරු මට ද දෙන්නාහ.
4344. රාජපුත්‍රය, ඔබ ගිය කලැ සතුටු සිත් ඇති ඇතුළු නුවර වැසියෝ ද කුමරුවෝ ද වෛශ්‍යයෝ ද බ්‍රාහ්මණයෝ ද යන ඔවුහු මට බොහෝ තුටු පඬුරු දෙන්නාහ.
4345. රාජපුත්‍රය ඔබ ගිය කලැ ඇතරුවෝ ද අසරුවෝ ද රියෙහි නියුත්තෝ ද පාබළ සෙනග ද යන සතුටු සිතැ’ති ඔව්හු මට බොහෝ තුටු පඬුරු දෙන්නාහ.
4346. රාජපුත්‍රය, ඔබ නුවරට ගිය කලැ රැස්වූ සෙසු බොහෝ දනවු වැසියෝ ද නියම්ගම් වැසියෝ ද මට තුටු පඬුරු දෙන්නාහ.
4347. මම මව්පියන් විසින් ද රටවැසියන් විසින් ද නියම් ගම් වැසියන් විසින් ද සියලු කුමරුවන් විසින් ද හැරදමන ලද්දෙක්මි. එ හෙයින් මට සිය නිවෙසක් නැත්තේ ය.
4348. මව විසින් අනුදන්නා ලද මම පියා විසින් හැර දමන ලද්දෙම් වෙමි. රජ සැප නො පතන්නෙමි. එකලා වැ පැවිදි වන්නෙමි.
4349. සාරථීය, යුහුසුලු නො වන්නවුන්ගේ හිත අදහස් හෙවත් අභිමතාර්‍ත්‍ථය සමෘද්ධ වෙයි. නිෂ්ටාප්‍රාප්ත බඹසර (මනෝරථ) ඇත්තෙමි. මෙසේ අභිමතාර්‍ත්‍ථය සිදුවන අයුරු දැනගනු.
4350. යුහුසුලු නො වන්නවුන්ගේ යහපත් වූ අභිමතාර්‍ත්‍ථ මුදුන්පත් වෙයි. මස්තකප්‍රාප්ත අදහස් ඇති කොයිනුත් බිය නැති මම නික්මැ වනයට පැමිණියෙමි.
4351. මෙසේ මනහර කථා ඇත්තහු නො පැකිළෙන තෙපුල් ඇත්තහු කවර හෙයින් මව්පියන් හමුයෙහි කථා නො කළහු දැ යි ඇසී.
4352. මම කලවා නැති බැවින් පිළු වූයෙම් ද නො වෙමි. කන් නැති බැවින් බිහිරි වූයෙම් ද නො වෙමි. දිව නැති බැවින් ගොළු වූයෙම් ද නො වෙමි. මා (පිළු බිහිරි) ගොළුවෙකැ යි නොසලකනු යි පැවැසී.
4353. යම් ජාතියකැ රජය කැරැවීම් ද ඒ පූර්‍ව ජාතිය සිහි කරමි. එහි රජය කරවා දරුණු නරකයට පැමිණියෙමි.
4354. විසි වසක් මුළුල්ලෙහි එහි රජය කැරැවීමි. පසු වැ අසූදහසක් අවුරුදු නරකයෙහි පැසුණෙමි.
4355. ඒ රජයට බිය වූ මම මව්පියෝ මා රජයෙහි අභිසේක නො කෙරෙත්වා යි එදා මව්පියන් සමීපයෙහි දී නො බිණිමි.
4356. දවසක් පියරජ තෙමේ මා ඇකයෙහි හිඳුවාගෙන අර්‍ත්‍ථයෙන් අනුශාසනා කෙරේ. එකකු මරවු, එකකු දඟගෙහි ලවු, එකකුට ඛාරාපතච්ජික නම් (ශරීරය පළා ලුණු ඇඹුල් ගැල්වීම්) වධ දෙවු, එකකු උලැ තබව යි මෙසේ අනුශාසනා කරයි.
4357. ඒ මපියරජුගේ ක්‍රෑර බස් අසා බියෙන් වෙවුළු මම නොගොළු වූයෙම් ගොළු වෙසින් නො පිළු වූයෙම් පිළු වෙසින් යුත් වැ සිය මලමූයෙහි ගැලී හුන්මි.
4358. සාරථීය, මේ මනුෂ්‍ය ජීවිතය ඉතා දුක් ය, ස්වල්ප ය. එ ද සියලු සසරදුකින් යුතු වූයේ වෙයි. එ බඳු ජීවිත ලැබූ කවර නම් පුද්ගලයෙක් ප්‍රාණඝාතාදී පස්පව් කරන්නේ ද නො කරන්නේ මැ යි.
4359. විදර්‍ශනා ප්‍රඥාව නො ලැබීමෙන් ද සෝවාන් මඟ නො දැක්මෙන් ද එබඳු ජීවිතයට පැමිණ කවර නම් පුද්ගලයෙක් ප්‍රාණඝාතාදී පව් කවර කාරණයෙකින් කරන්නේ ද.
4360. යුහුසුලු නො වන්නවුන්ගේ අභිමතාර්‍ත්‍ථය සිදු වෙයි. මම මුදුන්පත් අදහස් ඇත්තෙමි. සාරථීය එය මෙසේ දනු.
4361. යුහුසුලු නො වන්නවුන්ගේ අදහස් සඵල වෙයි. එහෙයින් නිෂ්ඨාවට පත් අභිමතාර්‍ත්‍ථ ඇති මම ගිහිගෙන් නික්ම ගියෙම් කවර අයුරකිනුදු බිය නැත්තෙමි යි කී ය.
4362. රාජ පුත්‍රය, තොපට වැඩක් වේවා! තොප සමීපයෙහි මම ද පැවිදි වෙමි. මහණ වෙව යි මා කැඳවනු මැනැවැ. පැවිද්ද මට රුචි යැ යි කී ය.
4363. සාරථීය, රථය පාවා දී ණය නැත්තෙක් වැ එව. පැවිද්ද වනාහි ණය නැත්තහුට ය. මෙසේ පැවිදිවීම බුඞාදි ඍෂිවරුන් විසින් වර්‍ණනා කරන ලද්දකි.
4364. සාරථීය, තොපට අභිවෘද්ධියක් වේවා ! යම් හෙයෙකින් තොපගේ වචනය මම කෙළෙම් ද එහෙයින් මා විසින් ඉල්ලන වචනය ද කරන්නට තෙපි නිසියව.
4365. යම් පමණ කලෙකින් පිය රජුන් ගෙන එම් ද එතෙක් කල් මෙහි වසනු මැනැවැ. තොපගේ පිය රජ දැක සතුටු සොම්නස් වන්නේ නම් ඉතා මැනැවි.
4366. සාරථීය, යමක් මට කියහි නම් නුඹගේ ඒ වචනය මම කරමි. මෙහි පැමිණි මා පිය රජුන් දක්නට මම ද කැමැත්තෙමි කීහ.
4367. සබඳ, බරණැසට ගොස් නැවත මෙහි එව. එ තැන් සිට මා සමීපයෙහි නවතිනු. මා සුව දුක් විචාළ බව නෑයනට කියව. මා කියන ලද වැඳීම මාගේ මව්පියනට කියව යි ද කීහ.
4368. සුනන්‍ද නම් සාරථී තෙමේ තේමිය කුමරුන්ගේ දෙපා වැඳ පැදකුණු කොට රථයට නැඟ රජ ගෙදරට පැමිණියේ ය.
4369. (තේමිය කුමරුවන්ගේ චන්‍ද්‍රාදේවී නැමැති) මෑණියෝ හිස් රථය, එකලා වැ පැමිණි රියැදුරු දැක කඳුළු පිරුණු නෙතින් යුතුවැ හඬ හඬා රියැදුරු දෙස බලති.
4370. ඒ මේ රියදුරු තෙමේ මාගේ පුතු මරා දමා එයි. භූමි වර්ධනය කරන මාගේ පුත්‍ර තෙමේ පොළොවෙහි වළ දමන ලද්දේ මැ යැ යි සිතමි.
4371. මාගේ පුතු මරා දමා ආ රියදුරු දැකැ සතුරෝ ඒකාන්තයෙන් සතුටු වෙති. වෛර කරන්නෝ ඒකාන්තයෙන් ප්‍රීත වෙති.
4372. හුදෙකලා වැ පැමිණි රියැදුරු හිස් රථය ද දකිමින් හඬන මෑණියෝ කඳුළු පිරුණු නෙතින් යුතු ව, හඬමින් (මෙසේ) විචාරති:
4373. මාගේ පුත් කිම ගොළුවෙක් ද පිළෙක් ද භූමියෙහි වළලනු ලබන්නේ වැලැපුණේ ද සාරථීය එය මට කියව.
4374. ගොළු පිළු වූ හේ බිමැ වළ දමන ලද්දේ කෙසේ නම් අත් පාවලින් දුරු කෙළේ දැ යි අසනලද මට කියව යි මෑණියෝ කීහ.
4375. ආර්‍ය්‍යාවෙනි, ඔබ මට අභය දෙන්නාහු නම් රාජපුත්‍රයා සමීපයෙහි දී මා ඇසූ දුටු යමක් ඇද්ද එය මම ඔබට කියමි යි කී ය.
4376. සබඳ සාරථීය, තට අභය දෙමි. රාජපුත්‍රයාගේ සමීපයෙහි දී ඇසූ දුටු යමක් ඇද්ද එය මට නිර්‍භය වැ කියව යි කීහ.
4377. ආර්‍ය්‍යාවෙනි, ඒ තේමිය කුමාරයා ගොළුවෙක් හෝ පිළෙක් නො වේ. මනෝඥ වූ කථා ඇත්තෙක් ද වේ. රාජ්‍යාභිෂේකයට බිය වූ හේ ඔබගේ වචන නො කෙළේ ය.
4378. හේ යම් නගරයකැ රජය කැරැවී ද ඒ පූර්‍වජාතිය සිහි කරයි. එහි රජය කරවා දරුණු නිරයට පැමිණියේ ය.
4379. ඒ නුවරැ විසි වසක් රජය කරවු හේ ඉන්පසු අසූ දහසක් අවුරුදු මුළුල්ලෙහි නිරයෙහි පැසුණේ ය.
4380. ඒ රජයට බිය වූ හේ මා අභිෂේක නො කෙරෙත්වා යි මවුපියන් වෙතැ එකලැ කථා නො කෙළේ ය.
4381. අඟපසඟින් සමෘද්ධ වූ උස මහත ඇති මනෝඥ කථා ඇති ප්‍රඥාසම්පන්න වූ හේ දෙව්ලොවට යන මඟැ සිටී.
4382. රාජපුත්‍රිය, ඉදින් තෙපි පුතු දකිනු කැමැත්තහු නම් එනු මැනවි. යම් තැනකැ තේමිය කුමර වෙසේ ද එතැනට පමුණුවන්නෙමි යි කීය.
4383. රථයෙහි අශ්වයන් යොදත්වා. ඇතුනට පොරොදු හෙවත් හස්ත්‍යාභරණ පළඳවත්වා. ජයසක් පනාබෙර නාද කෙරෙත්වා. එකැස් බෙර වයත්වා.
4384. දෙඇස් බෙර වයත්වා. මිහිඟු බෙර මනාසේ වයත්වා. නියම්ගම් වැසියෝ ද මා අනුව එත්වා. පුතුට කරුණු පවසන මම ඔහු අභිෂේක කොටැ රැගෙන එන්නට යමි.
4385. ඇතුළු නුවර වැස්සෝ ද කුමරුවෝ ද වෛශ්‍යයෝ ද බමුණෝ ද වහා යානාවන් යොදත්වා. පුතුට කරුණු පවසන මම (ඔහු අභිෂේක කොටැ රැගෙන එන්නට) යමි.
4386. ඇතැරුවෝ ද අසරුවෝ ද රිය නැඟෙන්නෝ ද පාබළ සෙනඟ ද වහා යානාවන් යොදත්වා.
4387. රැස් වූ දනව් වැසියෝ ද නියම්ගම් වැසියෝ ද ඉක්මනින් යානාවන් යොදත්වා.
4388. රියැදුරෝ ඉක්මන් ගමන් ඇති සෛන්‍ධව නමැති අසුන් යෙදූ රථ ගෙන රජගෙදරට පැමිණියාහ. දේවයන් වහන්ස, අශ්වයෝ රථවල යොදනලදහ යි පැවැසූහ.
4389. දේවයන් වහන්ස, තර අශ්වයෝ වේගයෙන් පිරිහෙති. කෙට්ටු අශ්වයෝ කාය ශක්තියෙන් පිරිහෙති. මෙ වැනි අසුන් නො ගනිත්ව යි තර කෙට්ටු අශ්වයන් හැරදමා ජවබල සම අශ්වයන් යොදන ලදහ යි දැන්වූහ.
4390. ඉන්පසු රජ තෙමේ සුදුසු වාහනයක නැඟ සියල්ලෝ මා අනුව එත්ව යි අන්තඃපුරයට කී ය.
4391. වල්විදුනාව, නළල්පට, කඩුව, සේසත සහ රන්මිරිවැඩි සඟළ ද රියට නංව යි කියා ස්වර්‍ණාභරණයෙන් සැරසුණේ.
4392. රජ තෙමේ ඉන්පසු රියැදුරා අභිමුඛ කොටැ තේමිය කුමරු යම් තැනෙකැ ද එතැනට වහාම පැමිණියේ ය.
4393. තේජසින් දිලියෙමින් මෙන් එන ක්‍ෂත්‍රිය සමූහයා විසින් පිරිවැරූ ඒ පියරජුන් දැක තේමිය කුමර මෙය පැවැසී ය.
4394. පියාණෙනි, ඔබ සුවසේ ද කිම රෝග පීඩා නැත්තාහු ද මාගේ මෑණිවරු රාජකන්‍යාවෝ අරෝග වූවාහු දැ යි ඇසී ය.
4395. පුත මට දුකෙක් නැත. පුත්‍රය එහෙයින් නීරෝග ද වෙමි. ඔබගේ සියලු මව්වරු නීරෝග ද වෙති.
4396. පියාණෙනි, කිම මත්පැන් නො බොන්නහු ද? කිම ඔබට මත්පැන් අප්‍රිය ද? කිම වාක්සත්‍යයෙහි ද දශරාජධර්‍මයෙහි ද දීමෙහි ද ඔබගේ සිත ඇලේ දැ යි ඇසී.
4397. පුත, මම මත්පැන් නො බොන්නෙමි. එහෙයින් මට මත්පැන් අප්‍රිය ය. තවද සත්‍යයෙහි ද දශරාජධර්‍මයෙහි ද දීමෙහි ද මා සිත් ඇලෙයි.
4398. ඔබගේ හස්ත්‍යාදි වාහන නීරෝග ද? හස්ත්‍යාදි වාහන ඔබ උසුලයි ද? කිම ඔබට ශරීර තවන රෝගයෝ නැද්ද?
4399. තවද පුත්‍රය, මාගේ සියලු වාහන නීරෝගය. වාහන මා උසුලයි. ශරීර පෙළන රොගපීඩා මට නැත.
4400. පියාණෙනි, ඔබගේ ප්‍රත්‍යන්ත ජනපදවාසීහු සමෘද්ධ වූවෝ ද? ඔබගේ ගම්නියම්ගම් වැසියෝ බොහෝ වූහු ද? කිම ඔබගේ කොටුගුළු භාණ්ඩාගාර පිරී තිබේ ද?
4401. පුත, මාගේ ප්‍රත්‍යන්ත ජනපද සමෘද්ධ ය. ගම්නියම්ගම් බොහෝ වූ ජනාවාස ඇත්තාහ. මාගේ සියලු කොටුගුළු ධාන්‍යයෙන් ද සියලු කෝෂ්ඨාගාර ධනයෙන් ද පිරුණේ ය.
4402. මහරජ, ඔබගේ යහපත් පැමිණීමෙකි. අයහපත් පැමිණීමෙක් නො වේ. රජ තෙමේ යම් තැනක හිඳී ද, එ බඳු රාජාසනයක් පනවත්වා යි තේමිය කුමාර තෙමේ පැවැසී ය.
4403. මොනවට පැනැවුණු මේ කොළ ඇතිරියෙහි හුන් ඔබ මෙයින් දිය ගෙන පා සේදුව මැනැවැ යි තේමිය කුමාර තෙමේ කී ය.
4404. මහරජ, ලුණු නැති වැ තැම්බූ මේ කරකොළ මාගේ ආහාර වෙයි. මහරජ, අනුභව කළ මැනැවි. මෙහි පැමිණි තැනැත්තේ වනාහි මාගේ සත්කාරයට නිසි වෙයි.
4405. පුත, මම කොළ අනුභව කරන්නෙක් නො වෙමි. මේ මාගේ භෝජනය නො වේ ම ය. මම පවිත්‍ර වූ මාංසයෙන් යුක්ත වූ ඇල් සහලේ බත් අනුභව කරන්නෙක් වෙමි.
4406. පුත, එකලා වැ රහසිගත වැ මෙබඳු ආහාර අනුභව කරන්නන් ශරීරවර්‍ණය කවර කරුණෙකින් ප්‍රසන්න වේ දැ යි මට ආශ්චර්‍ය්‍යක් සේ වැටහේ.
4407. මහරජ, මනා වැ අතුරන ලද ඇතිරියෙහි එකලා වැ වැදහෙමි. මහරජ, ඒ එකලා වැ වැදහෙවීමෙන් මාගේ වර්‍ණය ප්‍රසන්න වේ.
4408. මහරජ, කඩු බැඳැගෙන වටකැර ගත් රාජාරක්‍ෂකයෝ මට නැත. ඒ සුඛසයනය නිසා මාගේ වර්‍ණය ප්‍රසන්න වේ.
4409. ඉකුත් දෑ ගැන ශෝක නො කෙරෙමි. නොලත් දෑ නො පතමි. මෙකලැ ලැබුණු දැයින් යැපෙමි. එයින් වර්‍ණය ප්‍රසන්න වේ.
4410. නො ලත් දෑ පැතීම යැ ඉකුත් දෑ ගැන ශෝක කිරීම යැ යන මෙයින් බාලයෝ සිඳින ලද නිල්වන් වූ බටදඬක් සෙයින් වියළෙත්.
4411. පුත, මම තොපට ඇත් ඇණියෙක් ද රිය ඇණියක් ද අසුන් ද සන්නද්ධ වූ පාබළ සෙනඟක් ද රම්‍ය වූ වාසාගාර ද දෙමි.
4412. පුත, සර්‍වාලංකාරයෙන් සැරසුණු අන්තඃපුරයක් ද තොපට දෙමි. ඔවුන් පිළිපදුව (පරිභෝග කරව). තෙපි අපගේ රජ වෙව.
4413. පුත, නෘත්‍යගීතයෙහි දක්‍ෂ වූ හික්මුණා වූ චතුර වූ (දක්‍ෂ වූ) ස්තීහු තොප කාමයෙහි සිත් අලවන්නාහු ය. මේ අරණ්‍යයෙහි කුමක් කරන්නහු ය.
4414. අන් රජුන්ගෙන් අලංකෘත කන්‍යාවන් තොපට ගෙන එන්නෙමි. ඔවුන් සමඟ වාසය කොට පුත්‍රයන් උපදවා පසුව පැවිදි වන්නහු ය.
4415. පුත, තෙපි යොවුන් වව, තුරුණු වව, උපතින් පළමු වියෙහි සිටින තරුණයෙක, පින්වත රාජ්‍යය කරව. අරණ්‍යයෙහි කුමක් කරන්නහු දැ යි පියරජ ඇසී ය.
4416. මහරජ, තරුණ වූයේ බ්‍රහ්මචර්‍ය්‍යාවෙහි හැසිරෙන්නේ ය. (යෙදෙන්නේ ය) බ්‍රහ්මචර්‍ය්‍යා ඇත්තේ ම තරුණ වන්නේ ය. තරුණ වූවහුට ම පැවිද්ද සුදුසු වේ. මෙය බුඞාදී ඍෂීන් විසින් වර්‍ණනා කරන ලද්දෙකි.
4417. තරුණ වූයේ බ්‍රහ්මචර්‍ය්‍යාවෙහි හැසිරෙන්නේ ය. බ්‍රහ්මචර්‍ය්‍යා ඇත්තේ ම තරුණ වන්නේ ය. මම බ්‍රහ්මචර්‍ය්‍යාවෙහි හැසිරෙන්නෙමි. මම රාජ්‍යයෙන් අර්‍ත්‍ථ ඇත්තෙම් නො වෙමි.
4418. මෑණියෙනි, පියාණෙනි යි ප්‍රිය තෙපුල් කියන්නා වූ දුකසේ ලබා ගත්තා වූ දහර වූ ප්‍රිය වූ පුතුන් ජරාවට නො පැමිණැ මැ මැරෙනු දැක ඇත්තෙමි.
4419. තරුණ වූ මනෝඥ දර්‍ශන ඇත්තා වූ කුමරියන් කඩා දමන ලද උණකිළිල් සේ මාරයා විසින් ජීවිතයෙහි සිඳලන ලදුවන් දකිමි.
4420. තරුණ වූ ස්තීහු ද පුරුෂයෝ ද මරණයට පැමිණෙන්නාහු ම ය. එබඳු ජීවිතයෙහි කවර නම් (නුවණැති) පුරුෂයෙක් මම තරුණ වෙමියි විශ්වාස කරන්නේ ද?
4421. වළ දිය සිඳී යෑමෙන් මත්ස්‍යයන්ගේ විනාශය මෙන් රාත්‍රි (හා දවල්) ඉක්ම යෑමෙන් යමෙකුගේ ආයුෂ අල්පතර (අඩු) වන්නේ නම් එහි කවර නම් කුමාරභාවයක් ද?
4422. ලෝවැසි තෙමේ නිරන්තරයෙන් පහරන ලද්දේ වෙයි. නිරන්තරයෙන් පිරිවරන ලද්දේ වෙයි. ආයුෂ දිවා රෑ නොසිස් වැ (අතරක් නැති වැ) අත්හරින කල්හි මා රාජ්‍යාභිෂේක කරන්නේ කුමට ද?
4423. ලෝවැසි තෙමේ කවරකු විසින් පහරන ලද්දේ වේ ද කවරකු විසින් පිරිවරන ලද්දේ වේ ද කවරහු නොසිස් වැ යෙද්ද, පුත්‍රය, මා විසින් විචාරන ලද්දේ එය මට කියව.
4424. ලෝවැසි තෙමේ මරහු විසින් පහරන ලද්දේ ය. ජරාව විසින් පිරිවරන ලද්දේ ය. රාතීහු නොසිස් වැ (නො නැවතී) යෙති. මජරජ මෙසේ දනුව.
4425. යම්සේ (රෙදි වියන යන්ත්‍රයෙහි) නූල් බැඳි කල්හි යම් යම් කොටස් වියනු ලැබේ ද ඉතිරිය ස්වල්ප වන්නේ ද මෙසේ සත්ත්‍වයන්ගේ ජීවිත ද (දවසින් දවස) ස්වල්ප වන්නේ ය.
4426. යම්සේ පිරුණා වූ දියපහර බැස යන්නේ ආපසු නො හැරේ ද මෙසේ මනුෂ්‍යයන්ගේ ආයුෂ ද ගෙවී යන්නේ ආපසු නො හැරේ.
4427. යම්සේ පිරුණු දියපහර බැස යනුයේ දෙගං ඉවුරෙහි වූ වෘක්‍ෂයන් මුල් සෝදා හෙළාගෙන යන්නේ ද එසේ සත්ත්‍වයෝ ද ජරාවෙන් හා මරණයෙන් ඒකාන්තයෙන් ගසාගෙන යනු ලැබෙත් යයි පැවැසී ය.
4428. පුත, හස්තිසේනාවක් ද රථ සේනාවක් ද සරසන ලද අශ්ව සේනාවක් ද පාබළ සේනාවක් ද මනරම් නිවෙසක් ද මම තොපට දෙමි.
4429. පුත, සර්‍වාලංකාරයෙන් සැරහුණු අන්තඃපුරයක් ද තොපට දෙමි. ඔවුන් පිළිපදුව, (පරිභෝග කරව.) තෙපි අපගේ රජ වෙව.
4430. නෘත්‍යගීතයෙහි දක්‍ෂ වූ හික්මුණා වූ චතුර වූ (දක්‍ෂ වූ) ස්ත්‍රීහු තොප කාමයෙහි සිත් අලවන්නාහු ය. මේ අරණ්‍යයෙහි කුමක් කරන්නහු ද?
4431. අන් රජුන්ගේ අලඞ්කෘත (සරසන ලද) කන්‍යාවන් ඔබට ගෙන දෙන්නෙමි. ඔවුන් සමඟ වාසය කොට පුත්‍රයන් උපදවා පසුව පැවිදි වන්නෙහි ය.
4432. පුත, ඔබ යොවුන් ය, තුරුණු වියෙහි ය, උපතින් පළමු වියෙහි සිටින තරුණයෙක, පින්වත රාජ්‍යය කරව. අරණ්‍යයෙහි කුමක් කරන්නෙහි දැ යි පියරජ ඇසී ය.
4433. පුත, (ධාන්‍යයෙන් පිරුණු) කොටුගුළු ද (මුතු මැණික් ආදියෙන් පිරුණු) ගබඩා ද වාහන ද බළකාය ද මනරම් නිවෙස් ද යන සියල්ල මම ඔබට දෙමි.
4434. පින්වත, මිහිරි කතා ඇති රාජකන්‍යා සමූහයා විසින් වට කරන ලද්දේ දාසි සමූහයා විසින් පිරිවරන ලද්දේ රාජ්‍යය කරව. මේ අරණ්‍යයෙහි කුමක් කරන්නෙහි දැ යි පියරජ ඇසී ය.
4435. මහරජ, යම් ධනයක් විනාශ වෙයි ද එබඳු ධනයෙන් මට කවර ප්‍රයෝජනයෙක් ද, යම් භාර්‍ය්‍යාවක් මරණයට පත්වෙයි ද එබඳු භාර්‍ය්‍යාවකගෙන් කවර ප්‍රයෝජනයෙක් ද, චරිත පුහුණුවෙන් ඇති කැර ගත් යම් තුරුණුබවකට ජරාව විසින් පහර දෙනු ලැබේ ද එබඳු යෞවනයෙන් කවර ප්‍රයෝජනයෙක් ද?
4436. ඒ ලෝකයෙහි කවර නම් සතුටෙක් ද කවර නම් ක්‍රීඩාවක් ද කවර නම් පස්කම්ගුණ ඇල්මෙක් ද කවර නම් ධන සෙවීමෙක් ද මට දරුවන්ගෙන් හා අඹුවන්ගෙන් කවර ප්‍රයෝජනයෙක් ද මහරජ, මම කාමබන්‍ධනයෙන් හා තෘෂ්ණාබන්‍ධනයෙන් මිදුණේ වෙමි.
4437. මට මාරයා (මරණය) ප්‍රමාද නො වෙති යි මම මෙසේ දනිමි. ඒ මරහු විසින් මඩනා ලද්දා වූ මට රාජ්‍යසම්පත්තියෙහි කවර ඇල්මෙක් ද කවර නම් ධන සෙවීමෙක් ද?
4438. පැසුණු ඵලයන් (ගෙඩි) වැටීම හේතුකොට ගෙන ඇති වන නිරන්තර භය යම්සේ ද එසේ ම උපන්නා වූ මනුෂ්‍යයාට මරණය හේතුකොට ගෙන නිතර බිය ඇති වේ.
4439. උදේ දුටු බොහෝ දෙනා සවස නොදක්නා ලැබෙත්. සවස දුටු බොහෝ දෙනා උදේ නොදක්නා ලැබෙත්.
4440. අද අද ම වීර්‍ය්‍ය කටයුතු ය. හෙට මරණය වන්නේ යයි කවරෙක් දන්නේ ද? ඒ මහාසේනා ඇති මාරයා සමඟ අපේ පොරොන්දුවක් නැත්තේ මැ යි.
4441. සොරු ධනය ප්‍රාර්‍ත්‍ථනා කෙරෙති. මහරජ, මම ඒ ධනබන්‍ධනයෙන් මිදුණෙමි. මහරජ, මෙහි එනු මැනවි. මාගේ වචනයෙහි මනාකොට පවතිනු මැනැවි. මම රාජ්‍යයෙන් ප්‍රයෝජන ලබන්නෙක් නො වෙමි.
පළමුවන මූගපක්ඛ ජාතක යි.