4254. කරුණු දන්නා වූ ක්‍ෂිත්‍රියයකු විසින් නිය තිබෙන පසක් සතුන් අතුරින් පස් දෙනෙක් කෑ යුත්තාහ. මහරජ, නුඹ වනාහි නොකෑයුතු මිනීමස් කන්නෙහි ය. එබැවින් නුඹ අධාර්මික වෙහි.
4255. කාමසම්පත් කැමති වන්නා වූ රජතුමනි, ඔබ පෝරිසාදයා වූ මා අතින් මිදී නැවත සතුරා වෙතට ආවහු ය. මහරජ එබැවින් ඔබ ක්‍ෂත්‍රිය ධර්‍මයෙහි දක්‍ෂයෙක් නො වන්නහු ය යි පෝරිසාදයා කීවේ ය.
4256. එම්බා පෝරිසාදය, යම් කෙනෙක් ක්‍ෂත්‍රිය ධර්‍මයෙහි දක්‍ෂ වෙද්ද, ඔව්හු බොහෝ සෙයින් ම නිරිසත්තු වෙති. එබැවින් මම ක්‍ෂත්‍රිය ධර්‍මය හැරපියා සත්‍යය රක්නෙම් නැවත මෙහි ආවෙමි. මා මරා යාගය හෝ කරව. මාංශය හෝ අනුභව කරව යි සුතසෝම රජ තෙම කීවේ ය.
4257. යහළු සුතසෝමය, තුන් ඍතුයෙහි වාසයට සුදුසු ප්‍රාසාද ය පොළොව ය ගව අශ්වාදී සත්ත්‍වයෝ ය කාම වස්තු වූ ස්ත්‍රීහු ය කසී සළු ය රත්සඳුන් ය යන සියල්ල ඉසුරුබව්හි පිහිටි හෙයින් ඒ නගරයෙහි දී නො අඩුව ලබන්නෙහි ය. සත්‍යයෙන් කුමන අනුසසක් දක්නෙහි ද? කියා පෝරිසාදයා ඇසී ය.
4258. පොළොවෙහි යම් මේ රසයෝ වෙද්ද, ඒ රස අතුරින් සත්‍යය ඉමිහිරි රසය යි. යම් හෙයකින් සත්‍යයෙහි පිහිටා සිටි මහණ බමුණෝ ජාති - ජරා - මරණයාගේ පරතෙරට යෙද්ද, එහෙයිනැ යි සුතසෝම රජතෙමේ කීවේ ය.
4259. කාමසම්පත් කැමති වන්නා වූ මහරජුනි, පෝරිසාද නම් වූ මා අතින් මිදුණා වූ ඔබ සිය භවනයට ගොස් නැවත ද සතුරා අතට ආවහු ය. ජනාධිපතිය, සත්‍යවාදී වූ ඔබ අවංක සිතැත්තාහු මෙහි ආවහු ය. ඒකාන්තයෙන් ඔබට මරණභයක් නැත්තේ යයි සිතමි යි පෝරිසාදයා කීවේ ය.
4260. මා විසින් නොයෙක් විදියේ සත්ක්‍රියා කරනලදී. ප්‍රශස්ත වූ ද, මහත් වූ ද යම්බඳු යාගයෝ වෙත් නම් ඔව්හු පවත්වන ලද්දාහ. පරලොවට යන මඟ පිරිසුදු කරනලදී. ධර්‍මයෙහි සිටි කවරෙක් නම් මරණයට බිය වන්නේ ද? නො වන්නේ ම ය.
4261. මා විසින් නන්වැදෑරුම් සත්ක්‍රියාවෝ කරන ලද්දාහ. ප්‍රශස්ත වූ ද මහත් වූ ද යම්බඳු යාගයෝ වෙත් නම් ඔව්හු පවත්වන ලද්දාහ. නො තැවෙමින් පරලොවට යන්නෙමි. පෝරිසාදය, මා මරා යාග හෝ කරව. අනුභව හෝ කරව.
4262. පියා ද මව ද මා විසින් උපස්ථාන කරන ලද්දාහ. මා විසින් දැහැමින් රාජ්‍යානුශාසනා කරන ලදී. මා විසින් පරලෝ මග පිරිසුදු කරන ලදී. ධර්‍මයෙහි පිහිටි කවරෙක් නම් මරණයට බිය වෙද්ද? නො වෙත් මැ යි.
4263. මා විසින් පියා ද මව ද යන දෙදෙන උපස්ථාන කරන ලද්දාහ. මා විසින් දැහැමින් රාජ්‍යානුශාසනා කරනලදී. නො තැවෙමින් පරලෝ යන්නෙමි. පෝරිසාදය, මා මරා යාගය හෝ කරව. අනුභව හෝ කරව.
4264. මා විසින් නෑ මිතුරන් කෙරෙහි කළමනා දෑ කරනලදී. දැහැමින් රාජ්‍යය අනුශාසනා කරනලදී. පරලෝ මඟ පිරිසුදු කරන ලදී. ධර්‍මයෙහි පිහිටි කවරෙක් නම් මරණයට බිය වෙද්ද? නො වෙත් මැ යි.
4265. මා විසින් නෑ මිතුරන් කෙරෙහි කළමනා දෑ කරනලදී. දැහැමින් රාජ්‍යය අනුශාසනා කරනලදී. නො තැවෙමින් පරලොවට යන්නෙමි. පෝරිසාදය, මා මරා යාගය හෝ කරව, අනුභව හෝ කරව.
4266. මා විසින් බොහෝ දෙනාට නොයෙක් ලෙසින් දානය දෙන ලදී. මහණ බමුණෝ සතප්නා ලද්දාහ. පරලෝ මඟ පිරිසුදු කරනලදී. ධර්‍මයෙහි පිහිටි කවරෙක් නම් මරණයට බිය වෙද්ද? නො වෙත් මැ යි.
4267. මා විසින් බොහෝ දෙනාට නොයෙක් ලෙසින් දානය දෙන ලදී. මහණ බමුණෝ සතප්නා ලද්දාහ. නො තැවෙමින් පරලොවට යන්නෙමි. පෝරිසාදය, මා මරා යාගය හෝ කරව. අනුභව හෝ කරව.
4268. යමෙක් ඔබ වැනි සත්‍යවාදියකු අනුභව කරන්නේ නම් හෙතෙමේ විෂ බුදින්නේ ය. උග්‍ර තේජස් ඇති දිලියෙන සර්‍පයකු හෝ ග්‍රීවයෙන් අල්වා ගන්නේ ය. ඔහුගේ මුදුන ද සත්කඩක් ව පැලෙන්නේ ය යි පෝරිසාදයා කීවේ ය.
4269. යහළු සුතසෝම රජුනි, මිනිස්සු ධර්‍මය අසා හොඳ නරක දැනගනිත්. ඒ සතාරහ ගාථාවන් අසා මගේ සිත දහම්හි ඇලෙන්නේ නම් ඉතා යෙහෙකැ යි පෝරිසාදයා කීවේ ය.
4270. සුතසෝමය, සත්පුරුෂයන් සමග එක් වරක් සමාගමය වේ ද, ඒ සමාගමය ඔහු ආරක්‍ෂා කෙරේ. අසත්පුරුෂයන් සමග බොහෝ සෙයින් කරනලද සමාගමය ද එසේ ආරක්‍ෂා නො කෙරේ.
4271. සත් පුරුෂයන් සමග ම එක්ව වාසය කරන්නේ ය. සත්පුරුෂයන් සමග මිත්‍රසන්‍ථවය කරන්නේ ය. සත් පුරුෂයන්ගේ සද්ධර්‍මය නම් වූ සත්තිස් බෝධිපාක්‍ෂික ධර්‍මය දැන ශ්‍රෙෂ්ඨයෙක් වන්නේ ය. පාපියෙක් නො වන්නේ ය.
4272. විසිතුරු කරන ලද රාජ රථයෝ ඒකාන්තයෙන් දිරති. තවද මේ ශරීරය ද ජරාවට එළඹෙයි. බුද්ධාදි උතුමන්ගේ සත් තිස් බෝපැකි දහම් ජරාවට නො එළඹෙයි. සත්පුරුෂයෝ ඒකාන්තයෙන් උතුම් වූ ධර්‍මය ප්‍රකාශ කෙරෙත්.
4273. අහස ද දුර වේ. පොළොව ද දුර වේ. සමුද්‍රයාගේ යම් පරතෙරක් වේ ද, එය ද දුර යයි කියත්. මහරජ, සත්පුරුෂයන්ගේ දහම ද, අසත්පුරුෂයන්ගේ දහම ද. ඊටත් වඩා ඒකාන්තයෙන් දුර ම ය යි කියති යි කීවේ ය.
4274. මහරජ අර්‍ත්‍ථවත් වූ ද මනාසේ ඝටිත අක්‍ෂරයෙන් යුතු වූ ද සුභාසිත වූ ද ඔබගේ මේ ගාථා අසා හටගත් සතුටු ඇත්තෙමි. යහපත් සිතැත්තෙමි. ප්‍රීතිමත් වූයෙම්. මම ඔබට සිවු වරයක් දෙමැ යි පෝරිසාදයා කීවේ ය.
4275. ලාමක ස්වභාව ඇත්තාණෙනි, යම්බඳු වූ නුඹ තමන්ගේ මරණය නො දන්නෙහි ද? තමහට හිත වූ ද, අහිත වූ ද, අපායට යන්නා වූ කර්‍මය හා ස්වර්‍ගයට යන්නා වූ කර්‍මය ද නො දන්නෙහි ය. මිනීමස් රසයෙහි ගිජු වූයෙහි ද දුශ්චරිතයෙහි පිහිටියෙහි ද එබඳු නුඹ කිනම් වරයක් දෙන්නෙහි ද?
4276. මම ද තොපට වරයක් දෙව යි කියන්නෙමි. නුඹ ද වරයක් මට දී එය දෙව යි කීකල නො දෙන්නෙහි ය. විරුද්ධ වාද ඇති මේ කලහය තමන් විසින් ම දැක්ක හැකි ආදීනව ඇත්තෙක. එය දැන දැන කිනම් පණ්ඩිතයෙක් එයට පැමිණෙන්නේ ද? නො පැමිණෙන්නේ ම ය.
4277. යම් හෙයකින් වරයක් දී පසුව එය නො දෙන්නේ නම් ඒ සත්‍ව තෙම එම වරය දීමට නුසුදුසු ය. මිත්‍රය නො පසුබට ව වරය ගනු මැනවි. ප්‍රාණය අත්හැර වුව එය දෙන්නෙමි යි පෝරිසාදයා කීවේ ය.
4278. හැසිරීමෙන් ආර්‍ය්‍ය වූවකුහට එබඳු ම ආර්‍ය්‍යයකු හා මිත්‍ර ධර්‍මය සුදුසු වේ. ප්‍රඥාවන්තයකුට එබඳු ම ප්‍රඥාවන්තයකු හා මිත්‍ර ධර්‍මය සුදුසු වේ. නුඹ සියක් වස් ජීවත් වන්නකු ලෙස දක්නට කැමැත්තෙමි, යන වරය වර අතුරින් ප්‍රථම වරය ලෙස ඉල්ලමි යි සුතසෝම රජ කීවේ ය.
4279. හැසිරීමෙන් ආර්‍ය්‍ය වූවකුහට එබඳු ම ආර්‍ය්‍යයකු හා මිත්‍ර ධර්‍මය සුදුසු වේ. ප්‍රඥාවන්තයකුට එබඳු ම ප්‍රඥාවන්නතයකු හා මිත්‍ර ධර්‍මය සුදුසු ය. මා සියවස් ජීවත්වන්නකු ලෙස දක්නට කැමැත්තෙහි යන වරය වර අතුරින් ප්‍රථම වරය ලෙස දෙමි යි පෝරිසාදයා කීවේ ය.
4280. මේ ලෝකයෙහි මුදුනෙහි අභිෂේක කරන ලද්දා වූ භූමි පාලනය කරන්නා වූ යම් ක්‍ෂත්‍රියයෝ වෙද්ද, එබඳු රජුන් අනුභව නො කරමි යන වරය වර අතුරින් දෙවැනි වරය වශයෙන් ඉල්ලමි යි සුතසෝම රජ තෙමේ කීවේ ය.
4281. මේ ලෝකයෙහි මුදුනෙහි අභිෂේක කරන ලද්දා වූ භූමිය පාලනය කරන්නා වූ යම් ඒ ක්‍ෂත්‍රියයෝ වෙද්ද, එබඳු රජුන් අනුභව නො කරමි යන වරය වර අතුරින් දෙවැනි වරය වශයෙන් දෙමි යි පෝරිසාදයා කීවේ ය.
4282. නුඹ විසින් අත්තලවලින් අවුණනලද්දා වූ කඳුළු පිරුණු මුහුණු ඇති, හඬන්නා වූ සියයකට අධික ක්‍ෂත්‍රියයෝ ගන්නා ලද්දාහ. ඔවුන් සිය රටවලට යවව. වර අතුරින් මෙය තෙවැනි වරය වශයෙන් ඉල්ලමි යි සුතසෝම රජ තෙමේ කීවේ ය.
4283. මා විසින් අත්තලවලින් අවුණන ලද්දා වූ කඳුළු පිරුණු මුහුණු ඇත්තා වූ හඬන්නා වූ සියයකට වඩා අධික ක්‍ෂත්‍රියයෝ ගන්නා ලද්දාහ. ඔවුන් සිය රටවල් සමග සම්බන්‍ධ කරමි යි යන මෙය වර අතුරින් තෙවැනි වරය වශයෙන් දෙමි යි පෝරිසාදයා කීවේ ය.
4284. එම්බා පෝරිසාද රජතුමනි, නුඹ විසින් රට සිදුරු කරන ලද. මිනිස්සු ආරක්‍ෂා ස්ථානවලට පිවිසියාහු ය. රජතුමනි, මිනීමසින් වෙන්වනු මැනවි. වර අතුරින් මෙය සිවුවැනි වරය වශයෙන් ඉල්ලමි යි සුතසෝම රජ කීයේ ය.
4285. යහළු සුතසෝම රජතුමනි, ඒ ආහාරය මට ඒකාන්තයෙන් ම මන වඩනේ ය. මෙය හේතු කොටගෙන ම මම වනයට පිවිසියෙමි. ඒ මම කෙසේ නම් මෙයින් වැළකෙම් ද? වර අතුරින් සතරවැන්න කොට අනිත් වරයක් ඉල්ලව යි පෝරිසාදයා කීවේ ය.
4286. මහරජ, තා වැන්නෙක් තමා ගැන නො සලකා ඒකාන්තයෙන් ම මෙය මට ප්‍රිය යයි ප්‍රිය වස්තූන් සේවනය නො කෙරෙයි. මිනිසාට වනාහි අන්‍ය වූ ප්‍රිය වස්තූන්ට වඩා ආත්මය ම උතුම් වන්නේ ය. දියුණු කරනලද යහපත ඇත්තහු විසින් පසුව ද ප්‍රිය වස්තු ලැබගත හැකි යයි සුතසෝම රජ කීයේ ය.
4287. සුතසෝම රජතුමනි, මට මිනීමස් ප්‍රිය ය. ඒ බව දැන ගනුව. එයින් වළකින්නට නො හැක්කෙම් වෙමි. මිත්‍රය අනික් වරයක් ඉල්ලනු මැනැවැ යි පෝරිසාදයා කීවේ ය.
4288. යමෙක් වනාහි මෙය මට ප්‍රිය යයි ප්‍රිය දැය ම කැමති වන ස්වභාව ඇත්තේ තමා ගැන ප්‍රිය නො කොට ප්‍රිය වස්තූන් සේවනය කෙරේ ද, හෙතෙමේ විෂමිශ්‍ර සුරා බඳුනක් පානය කොට විපතට පත් වන්නා වූ රා සොඬකු සේ එයින් ම පරලොව්හි දුකට පත්වන්නේ ය යි සුතසෝම රජ තෙමේ කීවේ ය.
4289. පෝරිසාද රජතුමනි, මේ ලෝකයෙහි යමෙක් වනාහි නුවණින් සලකා බලා දැනගෙන ප්‍රිය වස්තූන් හැරදමා දුකසේ වුව ද ආර්‍ය්‍ය ධර්‍මය සේවනය කෙරේ නම් හෙතෙමේ අපහසුවෙන් බෙහෙත් පානය කොට සුවපත් වන්නකු මෙන් එයින් ම පරලොව සුව ඇත්තෙක් වන්නේ යයි සුතසෝම රජ කීය.
4290. යහළු සුතසෝම රජතුමනි, මම වනාහි මාපියන් ද මනවඩන පංචකාම වස්තූන් ද හැරදමා මේ හේතු කොටගෙන ම වනයට පිවිසියෙමි. ඒ වරය මම නුඹට කුමක් කොට දෙන්නෙම් දැ යි පෝරිසාදයා ඇසී ය.
4291. යහළු පෝරිසාදය, පණ්ඩිතයෝ එකක් කියා එය වළහමින් නැවත දෙවැන්නක් නො කියත්. ඒ සත්පුරුෂයෝ සත්‍ය ප්‍රතිඥා ඇත්තෝ වෙත් මැ යි. යහළුව කැමති වරයක් ඉල්වවයි, නුඹ මට කී වෙහි ය. ඒ හා මෙය සමතත්‍වයට නො යේ යයි සුතසෝම රජ කීය.
4292. යහළු සුතසෝම රජුනි, මනුෂ්‍යමාංශය හේතු කොටගෙන අපුණ්‍යලාභයට ද පරිවාරාදි සම්පත්වලින් දුරු වීමට ද අපකීර්තියට ද බොහෝ පව්කම්වලට ද දුශ්චරිතයට ද දුකට ද පැමිණියෙමි. ඒ වරය කෙසේ නම් ඔබට මම දෙන්නෙම් දැ යි පෝරිසාදයා ඇසී ය.
4293. යහළු පෝරිසාදය, සත්‍ව තෙමේ යම් වරයක් දී නැවත ගන්නේ නම් එබඳු වරය දෙන්නට නො වටී. ප්‍රාණය අත්හැර වුව දෙන්නෙම් මැ ය. නො පසුබට ව වර ගනීවා යි කීයෙහි ය.
4294. සත්පුරුෂයෝ ප්‍රාණය හැරදමති. ධර්‍මය නො හැරදමති. සත්පුරුෂයෝ සත්‍යප්‍රතිඥා ඇත්තෝ වෙති. උතුම් රාජශ්‍රේෂ්ඨය, මට වරය දී නැවත වහා නො ගනුව. මේ සත්‍යකාරණයෙන් යුක්ත වනු මැනවි.
4295. යහළු පෝරිසාදය, යම් නුවණැත්තෙක් ශරීරාංගයන් හේතු කොටගෙන ධනය හැරදමන්නේ ද, දිවි රක්නේ ශරීරාවයව හැරදමන්නේ ද, සත්පුරුෂ ධර්‍මය සිහි කරන තැනැත්තේ ශරීරාවයව ද ධනය ද ජීවිතය ද යන සියල්ල හැරදමන්නේ ය.
4296. යහළු පෝරිසාදය, යම් මනුෂ්‍යයෙක් යම් කෙනකුන්ගෙන් කුශලාකුශල ධර්‍මය දැනගන්නේ ද, යම් සත්පුරුෂ කෙනෙක් ඒ පුද්ගලයාගේ සැක දුරු කෙරෙද්ද, හේ ඔහුට පිහිට ද ආරක්‍ෂාව ද වෙයි. නුවණැත්තේ ඒ ඇදුරු පුද්ගලයා සමග මිත්‍රකම නො නසන්නේ ය යි සුතසෝම රජ කීයේ ය.
4297. ඒකාන්තයෙන් ම ඒ මිනීමස් කෑම මට මනාපය. එය හේතු කොටගෙන ම වනයට පිවිසියෙමි. ඉදින් මේ පිණිස මගෙන් ඉල්ලන්නෙහි නම් නුඹට එම වරය ද දෙමි යි පෝරිසාදයා කීවේ ය.
4298. යහළු සුතසෝම රජුනි, නුඹ මගේ අනුශාසකයා වෙහි. මාගේ යහළුවා ද වන්නෙහි. යහළුව, නුඹගේ වචනය ද මම කෙළෙමි. යහළුව, නුඹ ද මගේ කීම කරවු. අපි දෙදෙනා ම ගොස් ඒ රජ දරුවන් මුදන්නෙමු යි පෝරිසාදය කීවේ ය.
4299. පින්වත් රජතුමනි, මම නුඹගේ අනුශාසකයා වෙමි. යහළුවා ද වෙමි. යහළුව, නුඹ මගේ වචනය කෙළෙහි. යහළුව, මම ද නුඹගේ වචනය කරමි. අපි දෙදෙනා ම ගොස් ඒ රජදරුවන් මුදන්නෙමු යි සුතසෝම රජ කීවේ ය.
4300. පින්වත් රජුනි, තෙපි පෝරිසාදයා විසින් වෙහෙසන ලද්දහු ය. අතුල්තලවලින් අවුණන ලද්දහු කඳුළු පිරුණු මුහුණු ඇති ව හඬන්නෝ වූවහු ය. කිසි කලෙකත් මේ රජුට ද්‍රෝහ නො කරවු. මේ සත්‍ය ප්‍රතිඥාව මට දෙව යි සුතසෝම රජ ඒ රජවරුන්ට කීවේ ය.
4301. අපි පෝරිසාදයා විසින් වෙහෙසන ලද්දෝ වෙමු. අතුල්තලවලින් අවුණන ලද්දෝ කඳුළු පිරුණු මුහුණු ඇති ව හඬන්නෝ වෙමු. කිසි කලෙකත් මේ රජුට ද්‍රෝහ නො කරන්නෙමු. ඔබට සත්‍ය ප්‍රතිඥාව දෙමු යි රජවරු කීහ.
4302. යම්සේ මාපියෝ ප්‍රජාවගේ දියුණුව කැමැත්තෝ අනුකම්පකයෝ වෙද්ද, මේ රජ තෙමේ ද තොපට එසේම වේවා. පුත්‍රයෝ යම්සේ වෙද්ද තෙපි ද එසේම වව යි සුතසෝම රජ කීවේ ය.
4303. යම්සේ මාපියෝ ප්‍රජාවගේ දියුණුව කැමැත්තෝ අනුකම්පකයෝ වෙද්ද, මේ රජ තෙමේ ද අපට එසේ ම වේවා. පුත්‍රයෝ යම්සේ වෙද්ද, අපි ද එසේ වෙමු යි රජවරු කීහ.
4304. යහළු පෝරිසාදය, අරක්කැමියන් විසින් මනාව පිසන ලද හොඳින් පිළියෙළ කරනලද, මනාව නිමවනලද සිවුපා සතුන් පිළිබඳ වූ ද පක්‍ෂීන් පිළිබඳ වූ ද මස් සහිත බොජුන් ශක්‍රයා සුධා භෝජනය වළඳන්නාක් මෙන් වළඳා, දැන් එය අත්හැර වනයෙහි හුදෙකලා වැ කෙසේ නම් වසන්නෙහි ද?
4305. රන්වන් රසින් බබළන්නා වූ සිහින් මධ්‍ය ප්‍රදේශ ඇති අලංකෘත වූ ඒ රාජස්ත්‍රීහු හාත්පස පිරිවරාගෙන දෙවියන් කෙරෙහි ශක්‍රයා මෙන් ඔබ තුටුකළා හුය. දැන් ඔවුන් හැර කෙසේ නම් හුදෙකලා ව මේ වනයෙහි සිත් අලවන්නෙහි ද?
4306. රතු කොට්ට ඇති බොහෝ එළුලොම් ඇතිරි සහිත හැම ඇතිරියෙන් අතුරනලද, හොඳින් පිළියෙළ කරනලද, සයන මධ්‍යයෙහි සුවසේ සයනය කොට දැන් එය හැර හුදෙකලා ව කෙසේ නම් වනයෙහි සිත් අලවා වෙසෙන්නෙහි ද?
4307. රාත්‍රියෙහි අත්තල ගැසීම ය කළපිඹීම ය එසේ ම පුරුෂයන්ගෙන් අමිශ්‍රිත ව පවත්වනු ලබන තූර්‍ය්‍යය ද මනාකොට ගයන ලද බොහෝ යහපත් ගී ද මනාකොට වයනලද බොහෝ යහපත් වැයුම් ද අත්හැරදමා හුදෙකලාව කෙසේ නම් වනයෙහි සිත් අලවා වෙසෙන්නෙහි ද?
4308. බොහෝ මල් ඇති උද්‍යානාඞ්ගයන්ගෙන් පිරිපුන් මිගාචර නම් උයනින් යුක්ත වූ ද අසුන්ගෙන් හා ඇතුන්ගෙන් හා රිය වලින් ද යුත් ඉතා සිත්කලු නගරය අත්හැරදමා හුදෙකලාව මේ වනයෙහි සිත් අලවා කෙසේ නම් වෙසෙන්නෙහි දැ යි සුතසෝම රජ විචාළේ ය.
4309. යම්සේ නම් කෘෂ්ණපක්‍ෂයෙහි චන්‍ද්‍ර තෙම දවසින් දවස පිරිහේ ද, මහරජ, අසත්පුරුෂයන්ගේ සමාගමය කෘෂ්ණපක්‍ෂයට උපමා කොට ඇත්තේ ය.
4310. අධම පුරුෂ වූ රසක නම් අරක්කැමියාගේ ඇසුරට පැමිණ යම් පාපකර්‍මයක් කරණ කොටගෙන යම්සේ දුගතියට යෙම් ද එබඳු පාප කර්‍මයක් කෙළෙම් එහෙයිනි.
4311. යම්සේ ශුක්ලපක්‍ෂයෙහි චන්‍ද්‍ර තෙම දවසින් දවස වැඩේ ද, රජතුමනි, සත්පුරුෂයන්ගේ සමාගමය ශුක්ලපක්‍ෂයට උපමා කොට ඇත්තේ ය.
4312. සුතසෝමය, මම කුශලකර්‍මයක් කරණ කොටගෙන යම්සේ සුගතියට යෙම් ද, මම නුඹ වෙතට පැමිණ කුසල් කෙරෙම් ද එහෙයිනි.
4313. ජනාධිපතිය, යම්සේ ගොඩබිමැ වර්‍ෂා කළ ජලය අද්ධානක්‍ෂම නො වන්නේ වැඩිකල් නො පවත්නේ ද, අසත්පුරුෂයන්ගේ සමාගමය ද එපරිද්දෙන් ම වන්නේ ය. ගොඩබිමැ දියමෙන් අද්ධානක්‍ෂම නො වේ.
4314. ජනාධිපතිය, යම්සේ නම් සමුද්‍රයෙහි වසිනලද ජලය බොහෝකල් පවත්නේ වේ ද, වීර්‍ය්‍යයෙන් අගතැන්පත් නරශ්‍රේෂ්ඨය, සත්පුරුෂයන්ගේ සමාගමය ද එපරිදි වේ. සමුද්‍රයෙහි වසිනලද ජලය මෙන් බොහෝ කල් පවත්නේ වෙයි.
4315. සත්පුරුෂයන්ගේ සමාගමය වෙන් ව නො යන්නේ වේ. යම්තාක් කල් ජීවත් වේ නම් ඒතාක් කල් පවත්නේ ය. අසත්පුරුෂයන්ගේ සමාගමය වහා විනාශයට යේ. එබැවින් සත්පුරුෂයන්ගේ ධර්‍මය තෙම අසත්පුරුෂයන්ගෙන් දුරු වෙයි.
4316. යම් රජෙක් නො දිනිය යුතු මා පියන් දිනා ද, හෙතෙමේ රජෙක් නො වේ. යමෙක් යහළුවා දිනා ද, හෙතෙමේ යහළුවෙක් නො වේ. යම් ස්ත්‍රියක් ස්වාමිපුරුෂයාට බිය නැත්තී ද, ඕ තොමෝ භාර්‍ය්‍යාවක් නො වන්නී ය. යම් දරු කෙනෙක් ජරා ජීර්‍ණ වූ මා පියන් පෝෂණය නො කෙරෙද්ද, ඔවුහු පුත්‍රයෝ නො වෙත්.
4317. යම් සභාවෙක්හි පණ්ඩිතයෝ නො වෙද්ද, ඕ සභාවක් නො වන්නී ය. යමෙක් ස්වභාවධර්‍මය නො බෙණෙත් ද, ඔවුහු පණ්ඩිතයෝ නො වෙති. රාගය ද ද්වේෂය ද මෝහය ද හැර හිතානුකම්පී ව ධර්‍මය කියන්නාහු නම් පණ්ඩිතයෝ නම් වෙත්.
4318. බාලයන් හා මිශ්‍ර ව වෙසෙන කථා නො කරන්නහු පණ්ඩිතයා යයි නො දනිත්. අමෘතපදය දෙසන්නා වූ කථා කරන්නහු ම පණ්ඩිතයෝ යයි දනිත්.
4319. පණ්ඩිත පුරුෂ තෙම ධර්‍මය කියන්නේ ය. ධර්‍මය බබුළුවන්නේ ය. ඍෂීන්ගේ ධ්වජය දැඩි කොට ගන්නේ ය. ඍෂිවරු සුභාෂිතය ධජ කොට ඇත්තෝ ය. ධර්‍මය වනාහි ඍෂිවරුන්ගේ ධ්වජය වේ මැ යි.
මහාසුතසෝම ජාතක යි.
අසීති නිපාතය නිමියේ යි.
එහි උද්දානය:
උතුම් වූ සුමුඛ හංසයා ඇති චුල්ලහංස ජාතකය ද, යළි මහාහංස ජාතකය ද, අන්‍ය ප්‍රවරවූ සුධාභෝජන ජාතකය ද, ඒ කුණාල නම් පක්‍ෂි රාජයා ඇති කුණාල ජාතකය ද, උතුම් වූ මහා සුතසෝම ජාතකය ද, වේ ය යි.
සුත්‍රාන්තපිටකයේ
ඛුද්දකනිකායෙහි
ජාතක පාළි
(තෘතීය භාගය)
ඒ භගවත් අර්‍හත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා.
මහා නිපාතය
1. මූගපක්ඛ ජාතකය
4320. පුත, තේමිය කුමාරය, නුවණැති බව පහළ නො කළ මැනැවැ. හැම සතුනට අඥානයෙකැ යි සම්මතවනු මැනැවැ. සියලු මහජන තෙමේ තොප කාලකණ්ණියෙකැ යි අවඥා කෙරේවා. මෙසේ ඇති කල තොපගේ අභිමතාර්‍ත්‍ථය සිදුවන්නේ යැ යි සේසතට අරක්ගත් දෙව්දූ කීවා ය.
4321. එම්බා දේවතාවනි, මට යමක් කියහි ද ඔබගේ ඒ වචනය කෙරෙමි. මෑණියෙනි, ඔබ මට වැඩ කැමැත්තාහු ය. දේවතාවනි, ඔබ මට හිත කැමැත්තාහු යි කුමාර තෙමේ කී ය.
4322. එම්බා සාරථීය, යුහුසුලු වැ කුමකට වළක් හාරන්නෙහි ද? යහළුව, පුළුවුස්නාලද්දෙහි මෙ කරුණ මට කියව. මේ වළින් කවර නම් වැඩක් කරන්නෙහි දැ යි කුමරු විචාළේ.
4323. අපගේ රජුට ගොළු වූ පිළු වූ සිතිවිලි නැති පුතෙක් උපන. ඒ මම රජු විසින් ‘මාගේ පුතු වනයෙහි වළලව’ යි අණ ලද්දෙමි කී.
4324. සාරථිය, මම ගොළු නො වෙමි, බිහිරි නො වෙමි, කොර නො වෙමි, පිළු ද නො වෙමි ඉදින් තෝ මා වනයෙහි වළලන්නෙහි නම් අධර්‍මයක් කෙරෙහි.
4325. මාගේ දෑත දෙකලවා බලව. මාගේ වචන ද අසව. ඉදින් තෝ මා වනයෙහි වළලන්නෙහි නම් අධර්‍මයක් කෙරෙහි.
4326. ඔබ දෙවියෙක් ද? ගන්‍ධර්‍වයෙක් ද? නොහොත් පුරින්‍දද නම් සක්දෙව් රජ ද? ඔබ කවර නම් කෙනෙක් ද? කවර නම් කෙනෙකුන්ගේ පුතෙක් දැ?යි සාරථී ඇසී.
4327. මම දෙවියෙක් ද නො වෙමි, ගන්‍ධර්‍වයෙක් ද නො වෙමි, පුරින්‍දද නම් සක්දෙව් රජ ද නො වෙමි. තෝ යමකු වළ ලන්නෙහි නම් ඒ කසී රජුගේ පුත් ම වෙමි කී.
4328. සාරථීය, තෝ යම් රජකු නිසා ජීවත් වෙහි ද මම ඒ රජුගේ පුතා වෙමි. ඉදින් තෝ මා වනයෙහි වළ ලන්නෙහි නම් අධර්‍මයක් කෙරෙහි.
4329. යමෙක් යම් රුක් සෙවණකැ හිඳුනේ හෝ සයනය කරන්නේ හෝ වේ ද ඔහු ඒ රුකෙහි අතු නො බිඳියයුතු ය. කවර හෙයින් ද යත්, මිත්‍රද්‍රෝහි තැනැත්තේ වනාහි පවිටු අසත්පුරුෂයෙකි.
4330. සාරථීය, වෘක්‍ෂය යම්සේ නම් රජ තෙමේ ද එසේ වෙයි. එ රුකෙහි අත්තක් යම්සේ ද මම එසේ වෙමි. රුක් සෙවනට පැමිණි පුරුෂ තෙමේ යම්සේ ද තෝ එසේ වෙහි. සාරථීය, ඉදින් තෝ මා වනයෙහි වළ ලන්නෙහි නම් අධර්‍මයක් කරන්නෙහි යැ යි කී ය.
4331. යමෙක් මිත්‍රද්‍රෝහි නො වේ ද හේ සිය නිවෙසින් නික්මැ බැහැර ගියේ බොහෝ ආහාර පාන ලබන්නෙක් වේ. ඔහු අනුව ජීවත් වන්නෝ ද බොහෝ වෙති.
4332. යමෙක් මිත්‍රද්‍රෝහි නො කෙරේ ද හේ යම් යම් ජනපදයකට නියම්ගමකට රාජධානියකට හෝ යේ ද සියලු තන්හි දී මැ පුදන ලද්දෙක් වේ.
4333. යමෙක් මිත්‍රයනට ද්‍රෝහ නො කෙරේ ද සොරකම් කිරීම වශයෙන් ඔහුට සොරු බලහත්කාරකම් නො කරති. රජ තෙමේ ඔහු ඉක්මවා නො සිතයි. හේ සියලු සතුරන් ජයගැනීමෙන් මැඩ පවත්වයි.
4334. යමෙක් මිත්‍රයනට ද්‍රෝහ නො කෙරේ ද බැහැර ගිය හේ නො කිපියේ සිය නිවෙසට පැමිණෙයි. සභාවෙහි සතුටු වූයේ නෑයනට උතුමෙක් ද වෙයි.
4335. යමෙක් මිතුරනට ද්‍රෝහ නො කෙරේ ද අනුනට සත්කාර කිරීමෙන් හේ ද සත්කාර ලද්දෙක් වෙයි. අනුනට ගරු ඇත්තේ තෙමේ ද ගරු කළ යුත්තෙක් වෙයි. උසස් කොට වර්‍ණනා කරනලද ගුණැත්තේ පතළ කීර්තියෙන් ද යුත් වේ.
4336. යමෙක් මිතුරනට ද්‍රෝහ නො කෙරේ ද මිතුරන් පුදන හෙ පුද ලබන්නෙක් ද වෙයි. වැඳියයුත්තන් වඳින හෙ වැඳුම් ලබන්නෙක් ද වෙයි. කීර්තියෙන් හා පිරිවරින් ද යුතු වේ.
4337. යමෙක් මිතුරනට ද්‍රෝහ නො කෙරේ ද හේ ගිනි මෙන් දිලියෙයි. දෙවියකු මෙන් බබළයි. ශ්‍රීයා විසින් නො හරනා ලද්දේ ද වේ.
4338. යමෙක් මිත්‍රද්‍රෝහි නො වේ ද ඔහුට ගෙරි සරක් බොහෝ වෙති. හෙවත් බෙහෙවින් උපදිති. කෙතෙහි වපුළ බිජුවට මනා වැ වැඩේ. ඒ ධාන්‍ය ඵල හෙවත් අස්වැන්න මැනැවින් අනුභව කෙරේ.
4339. යමෙක් මිතුරනට ද්‍රෝහ නො කෙරේ ද පර්‍වතයෙන් හෝ පර්‍වත විවරයෙන් හෝ රුකින් හෝ වැටුණු ඒ මිනිස් තෙමේ චුත වූයේ ද පිහිට ලබයි.
4340. යමෙක් මිත්‍රයනට ද්‍රෝහ නො කෙරේ ද හටගත් මුල් ඇටවුම් ඇති නුගරුක සැඩ සුළඟකින් නො සෙල්විය හැක්කා සේ සතුරෝ ඔහු මැඩ නො පවත්වති. හෙවත් නො සෙල්විය හැක්කාහු වෙති.
4341. රාජපුත්‍රයෙනි, එනු මැනවි, ස්වකීය ගෘහයට නැවත ගෙන යමි. රජය කරවනු මැනැවි. මේ වනයෙහි හුදෙකලා ව කුමක් කරන්නෙහි ද?
4342. සාරථීය, අධර්‍මචර්‍ය්‍යායෙන් මට යම් රාජ්‍යයක් ලැබේ ද ඒ රාජ්‍යයෙන් ද නෑයන්ගෙන් ද ධනයෙන් ද වැඩෙක් නැති.