Jātaka

Birth Stories

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-29 · 7679 segments

පෙන්වන කොටස් 4701-4800 න් 7679

3981. පා දෝනා දිය ද, පා ගල්වන තෙල් ද, මා ඇඟි අසුනක් ද ගෙනෙත්වා. යශස් ඇත්තා වූ ධතරට්ඨ නම් හංස රාජයා කූඩුවෙන් මුදන්නෙමි.
3982. යම් හංසයෙක් රජුගේ සැපතෙහි සුවපත්වූවේ ද, දුකෙහිදී දුඃඛිත වූයේ ද ප්‍රාඥවූ දක්‍ෂවූ යහපත සිතන්නාවූ ඒ සෙන්පතියා ද මුදන්නෙමි.
3983. යම් සේ මේ සුමුඛ තෙම හංස රජුගේ ප්‍රාණ සාධාරණ යහළුවා වේද, මෙබන්දෝ ස්වාමියාගේ ආහාරය අනුභව කරන්නට සුදුස්සෝ වෙති.
3984. සියල්ල ස්වර්‍ණමය වූ පා අටක් ඇති වැඩ අවසන් කළ කශීවස්ත්‍රයෙන් අතුරනලද පුටුවක ධතරට්ඨ නම් හංසරාජයා හිඳ ගත්තේ ය.
3985. සියල්ල ස්වර්‍ණමය වූ ව්‍යාඝ්‍රසමින් වටකොට මසනලද කොච්ඡ නම් පුටුවෙහි සුමුඛ තෙමේ ධතරට්ඨ හංසරාජයාට අනතුරුව හිඳගත්තේය.
3986. රජු විසින් පඬුරු පිණිස එවනලද ඒ උතුම් භෝජනය කශීරට වැසි බොහෝ දෙන ස්වර්‍ණභාජනවලින් ගෙනවුත් හංසයන්ට එළවූහ.
3987. ඉක්බිති කශී රජු විසින් යවනලදුව තමන් වෙත එළවනලද ඒ අග්‍ර භෝජනය දැක අනතුරුව, ක්‍ෂත්‍රියධර්‍මයන්හි දක්‍ෂ වූ හංස රජතෙම (එකින් එක) විචාළේ ය.
3988. පින්වත් රජුට යහපත්ද, භවත්හට ආරෝග්‍යය තිබේ ද, කිම, සමෘද්ධ වූ මේ රට දැහැමින් අනුශාසනා කරනු ලැබේ ද?
3989. හංසරාජය, මට යහපති, යළි මට ආරෝග්‍යයද තිබේ. තවද, සමෘද්ධ වූ මේ රට මා විසින් දැහැමින් අනුශාසනා කරනු ලැබේ.
3990. කිම භවත්හුගේ ඇමතියන් අතර කිසියම් දොසෙක් නැද්ද? කිම, ඔව්හු ඔබගේ යුද්ධාදි කාර්‍ය්‍යයන්හි දිවි නොතකා ක්‍රියා කෙරෙද් ද?
3991. මාගේ ඇමතියන් අතර කිසියම් දොසෙක් නැති. වැලි ඔව්හු මාගේ යුද්ධාදි කාර්‍ය්‍යයන්හි දිවි නොතකා ක්‍රියාකෙරෙති.
3992. කිම ඔබගේ බිරිය සමාන ජාති ඇත්තී ද, අවවාදක්‍ෂම ද, ප්‍රිය තෙපුල් කියන්නී ද, දරු සම්පතින් රූපයෙන් හා යසසින් සමන්‍විත ද, ඔබගේ අදහස් අනුව පවත්නී ද?
3993. මාගේ බිරිය සමාන ජාති ඇත්තියකි. අවවාදක්‍ෂමය. ප්‍රිය තෙපුල් කියන්නීය. දරු සම්පතින් රූපයෙන් හා යසසින් ද සමන්‍විතය. මාගේ අදහස් අනුව පවත්නීය.
3994. කිම, රටවැසියා නො පෙළනු ලැබේ ද? කිසිවකිනුත් උවදුරෙක් නැද්ද? සාහසික නොවූ ඔබ විසින් දැහැමින් සෙමෙන් රට අනුශාසනා කරනු ලැබේ ද?
3995. රටවැසියා නො පෙළනලදී. කිසිවකිනුත් උවදුරෙක් නැත. සාහසික නොවූ මා විසින් දැහැමින් සෙමෙන් රට අනුශාසනා කරනු ලැබේ.
3996. කිම, ඔබ විසින් ශීලාදි ගුණයුක්ත සත්පුරුෂයෝ පුදන ලද්දාහු ද? අසත්පුරුෂයෝ දුරුකරන ලද්දාහු ද? ධර්‍මය හැරදමා අධර්‍මය අනුව නොපවත්නෙහි ද?
3997. මා විසින් ශීලාදි ගුණයුක්ත සත්පුරුෂයෝ පුදන ලද්දාහුය. අසත්පුරුෂයෝ දුරුකරන ලද්දාහුය. ධර්‍මය අනුව ම පවත්නෙමි. මා විසින් අධර්‍මය දුරුකරනලදී.
3998. මහරජ, කිමෙක්ද, ආයුෂ මඳ බව නො සලකන්නෙහි ද? කිමෙක් ද, මත්වියයුතු රූපාදි අරමුණෙහි මත් නො වන්නෙහි ද? කිමෙක් ද, පරලොවට බිය නැත්තෙහි ද?
3999. පක්‍ෂිරාජය, මම ආයුෂ මඳ බව සලකන්නෙමි. දශරාජ ධර්‍මයන්හි පිහිටියෙමි. පරලොවට බිය නො වන්නෙමි.
4000. දන්දීමය, සිල්රැකීමය, පරිත්‍යාගය, ඍජුබවය, මෘදුබවය, උපෝසථශීලසමාදාන සංඛ්‍යාත තපසය, මෛත්‍රී පූර්‍වභාග කොට ඇති අක්‍රෝධය, කරුණා පූර්‍වභාගකොට ඇති අවිහිංසාවය, අධි වාසනා සංඛ්‍යාත ක්‍ෂාන්තිය ය, එකඟබවය.
4001. මෙකී කුශල ධර්‍මයන් මා කෙරෙහි පිහිටියවුන් බලමි. මට එයින් ප්‍රීතියත්, මහත් සොම්නසත්, පහළ වන්නේය.
4002. මේ සුමුඛ පක්‍ෂි තෙමේ ද මාගේ ගුණසමුදාය නොදැන සිත දූෂ්‍යවන බව නොසලකා මට පරොස් බස් කීයේ ය.
4003. හෙතෙම කිපියේ නුනුවණින් පරොස් බස් පිට කෙළේය. අප කෙරෙහි යම් වරදක් නැත්තේ ද, එහෙයින් සුමුඛගේ මේ කීම නුවණැත්තකුගේ කීමක් මෙන් නො වැටහේයයි (රජතෙමේ කීයේය).
4004. නරශ්‍රේෂ්ඨය, ධතරට්ඨ හංසරාජයා පාසයෙහි බැඳුණු කල්හි මට මහ දුකෙක් විය. ඒ දුක් වේගයෙන් මා විසින් එය පමණ ඉක්මවා කරනලද ප්‍රකාශයෙකි.
4005. ශ්‍රේෂ්ඨ මහරජතුමනි, ඔබ වනාහි දරුවන්ට පියා මෙන්ද, සත්‍වයන්ට පොළොව මෙන්ද, අපට උපකාරය. වරදට යටත් වූ අපට කමා කරනු මැනවි. (සුමුඛ තෙමෙ කීයේ ය).
4006. එම්බා විහඞ්ගම වූ පක්‍ෂිය, නුඹ යම්හෙයකින් අදහස නොසඟවන්නෙහි ද, සිතෙහි හුල බිඳින්නෙහි ද, ඍජු වූයෙහි ද, එහෙයින් නුඹගේ මේ දෝෂය කමාකරමියි රජතෙම කීයේ ය.
4007. කශීරජනිවෙස්හි යම්කිසි රත්න සමූහයක් නිදන්කොට ඇත්තේ ද, එනම් රිදී ද, රන් ද, මුතු ද, බොහෝ වෛඩූර්‍ය්‍ය ද,
4008. මිණිමුවා බඩු ද, සක් හා මුතු ද, කසීසළු ද, රත්සඳුන් ද, අඳුන් මුව සම් ද, දළමුවා බඩු ද, තඹලෝමුවා බඩු ද, කාල ලෝහමය බඩු ද බොහෝ ඇත. මේ වස්තුව ඔබට දෙමි. මේ මාගේ බරණැස් රජයේ ආධිපත්‍යය ඔබට පවරා දෙමි යි (රජතෙම කීය).
4009. ශ්‍රේෂ්ඨ රජතුමනි, ඔබ විසින් අප පුදන ලද්දමෝ වෙමු. සත්කාර කරන ලද්දමෝ ද වෙමි. කුශල කර්‍මපථ ධර්‍මයන්හි පිහිටා ක්‍රියාකරන්නා වූ අපට ඔබ ආචාර්‍ය්‍ය වනු මැනව.
4010. මහරජ, ආචාර්‍ය්‍ය වූ ඔබ විසින් අනුදන්නාලද අනුමත කරනුලැබූ අපි ඔබ පැදකුණු කොට නෑයන් දකිමු යි හංසරජ කීය.
4011. කශීරජතෙම මුළුරැයම, ඔවුන් සමග සුදුසු පරිදි චින්තනය කොට මන්ත්‍රණය කොට උතුම් වූ ඒ හංසයන්ට යෑම පිණිස අනුදත්තේය.
4012. ඉන්පසු රාත්‍රිය ඇවෑමෙන් හිරු උදාවන වේලෙහි එදෙස බලාසිටි කසීරජුගේ භවනයෙන් ඒ හංසයෝ අහසට නැංගාහ.
4013. නීරෝග වූ එහි පැමිණි ඒ උතුම් හංසයන් දැක, හංසයෝ කෙ කෙ යන රාවය කළහ. එයින් මහත් ශබ්දයක් හටගති.
4014. මළ පුඬුවෙන් මිදුණා වූ ස්වාමියා කරණ කොටගෙන තුටු සිත් ඇත්තා වූ ඒ හංසයෝ ස්වාමිගෞරවය ඇත්තාහු “පක්‍ෂීහු පිහිට ලද්දෝය” යි ඔහු හාත්පස පිරිවරා ගත්හ.
4015. මෙසේ කල්‍යාණමිත්‍රයන් ඇත්තවුන්ගේ සියලු අභිවෘද්ධිය සැලසෙන්නේය. ධතරට්ඨ නම් වූ හංසයෝ යම් සේ නෑ සමූහයා වෙතට පැමිණියාහු ද එමෙනැයි වදාළසේක.
මහාහංස ජාතක යි.
3. සුධාභෝජන ජාතකය
4016. මම නො මැ මිලයට ගනිමි. නො ද විකුණමි. මා විසින් රැස්කළ ධනයෙක් ද නැත. මේ අල්ප ආහාරය ද දුකසේ ලබන ලද මැ යැ. මේ පතක් පමණ වූ බත දෙදෙනකුන්ට පමණ නො වෙයි.
4017. අල්පමාත්‍ර දැයින් අල්පමාත්‍රයක් දෙන්නේ යැ. අණුමාත්‍ර අර්‍ධයෙන් අඩක් දෙන්නේ යැ. බොහෝ දැයින් බොහෝ දැයක් දෙන්නේ යැ. නො දෙනු නො වටනේ යි.
4018. කෝසිය සිටාණෙනි, එකරුණෙන් තොපට කියමි: දන් දෙව, වළඳ ද කරව, ආර්‍ය්‍යමාර්‍ගයට නැඟෙව, එකලා වැ වළඳනුයේ සුව නො ලබා.
4019. යමෙක් ආගන්තුකයකු හුන් කල්හි එකලා වැ බොජුන් බුදී නම් ඔහුගේ හෝම සිස් වෙයි. ධනෝපායන වීර්‍ය්‍ය ද සිස් වෙයි.
4020. කෝසිය සිටාණෙනි, එයින් තොපට කියමි. දන් දෙව, වළඳ ද කරව, ආර්‍ය්‍යමාර්‍ගයට නැඟෙව, එකලා වැ වළඳනුයේ සුව නො ලබා.
4021. යමෙක් ආගන්තුකයකු හුන් කල්හි එකලා වැ බොජුන් නො බුදී නම් ඔහුගේ දානය සත්‍ය වෙයි. ධනෝපායන වීර්‍ය්‍ය ද සත්‍ය වෙයි.
4022. කෝසිය සිටාණෙනි, එයින් තොපට කියමි. දන් දෙව තමා ද වළඳ කරව. ආර්‍ය්‍යමාර්‍ගයට නැඟෙව. එකලා වැ වළඳනුයේ සුව නො ලබා.
4023. යම් පුරුෂයෙක් (ලවණසමුද්‍ර පුෂ්කරණී ආදි) ජලාශයක් කරා එළැඹැ බලිකර්‍ම කෙරේ ද, බාහුකා නදී යැ ගයාපුෂ්පකරණී යැ ද්‍රෝණ තීර්‍ත්‍ථ යැ තිම්බරු තීර්‍ත්‍ථ යැ මහත් වූ ජලප්‍රවාහ ඇති ශීඝ්‍ර ශ්‍රෝතස් යැ යන මෙහි බලිකර්‍ම කෙරේ ද,
4024. යමෙක් අමුත්තකු හුන් කල්හි එකලා වැ බොජුන් නො බුදී නම් ඔහු විසින් තෙල තන්හි දු බලිකර්‍ම කරනලද වෙයි. තෙල තන්හි දු ධනෝපායන වීර්‍ය්‍ය කරනලද වෙයි.
4025. කෝසිය සිටාණෙනි, එයින් තොපට කියමි: දන් දෙව. තෙමේත් වළඳ කරව, ආර්‍ය්‍යමාර්‍ගයට නැඟෙව, එකලා වැ වළඳනුයේ සුව නො ලබා.
4026. යමෙක් අමුත්තකු හුන් කල්හි එකලා වැ අහර වළඳ කෙරේ ද, හේ දීර්‍ඝසූත්‍රයක් ඇති බන්‍ධන සහිත වූ බිලියක් ගිලියි.
4027. කෝසිය සිටාණෙනි, එයින් තොපට කියමි: දන් දෙව, තෙමේ ද වළඳ කරව, ආර්‍ය්‍යමාර්‍ගයට නැඟෙව, එකලා වැ වළඳනුයේ සුව නො ලබා.
4028. මේ බ්‍රාහ්මණයෝ උදාරවර්‍ණ ඇතියාහු මැ යැ. තොපගේ මේ සුනඛ තෙම කවර හෙයින් උස්පහත් පැහැසටහන් විකුර්‍වණ (නිර්‍මාණ) කෙරේ ද? බ්‍රාහ්මණයාණෙනි, අපට කියව, තෙපි කවරහු ද?
4029. සඳ හිරු දෙදෙන මෙහි ආහ. මේ වූකලී දේවසාරථී වූ මාතලී වෙයි. මම තිදස්වැසි දෙවියනට අධිපති සක්දෙව්රජ වෙමි. තෙල තැනැත්තේ පඤ්චසිඛ යැ යි කියනු ලැබේ.
4030. අත්තල නාදයෝ ද මිහිඟුබෙර හඬ ද මුරජ බෙර හඬ ද පණාබෙර හඬ ද නිදිගත් මොහු පුබුදු කෙරෙති. පිබිදියේ තුටු වේ.
4031. යම්කිසි කෙනෙක් මසුරු වූවාහු තදමසුරු වූවාහු මහණ බමුණන්ට පිරිහෙළා කථා කරන්නාහු වෙත් ද, ඔහු ශරීර සංඛ්‍යාත දේහය මෙලොව්හි මැ බහාතබා කාබුන් මරණින් මතු නිරයට යති යි.
4032. යම්කිසි කෙනෙක් සුගතිය පතන්නාහු සංයම සංඛ්‍යාත දශශීලධර්‍මයෙහි ද සංවිභාග සංඛ්‍යාත දානධර්‍මයෙහි ද සිටියාහු වෙත් ද, ඔහු ශරීර සංඛ්‍යාත දේහය මෙලොව්හි මැ බහාතබා කායභේදයෙන් මතු සුගතියට යති යි.
4033. තෙපි පූර්‍වජාතියෙහි අපගේ ඥාති යැ. ඒ තෙපි මසුරු වවු. රොස්පරොස් බස් ඇතියහු. පාපධර්‍ම ඇතියහු යැ. තොපට වැඩ සඳහා මැ මෙහි ආම්හ. පාපධර්‍ම ඇතියහු නිරයට නො යවු.
4034. යම්හෙයෙකින් තෙපි මට මැනැවින් අනුශාසනා කරවු ද, එහෙයින් ඒකාන්තයෙන් මැ තෙපි මට හිත කැමැත්තවු යැ. හිත කැමැතියන් විසින් කියනලද සියල්ල ඒ මම එසේ මැ කරන්නෙමි.
4035. තෙල මම් අද මැ මසුරු බැවින් වෙන් වෙමි. මම කිසි පවකුදු නො කරමි. (මෙතැන් පටන්) නො දියයුතු කිසිවක් මට නැත. කිසිවක්හට නො දී මම දියපතකුදු නො බොමි.
4036. සක්දෙව්රජුනි, හැම කල්හි දෙන්නා වූ මාගේ මේ භෝගයෝ ක්‍ෂය වන්නාහ. සක්දෙව්රජුනි, එකල්හි මම (වස්තුකාම ක්ලේශකාම විසින්) ශේෂ වැ සිටි කාමයන් හැරපියා පැවිදි වන්නෙමි යි.
4037. පර්‍වතයන්ට අධිපති වූ ගන්‍ධමාදන නම් උතුම් පර්‍වතයෙහි සක් දෙවිඳුන් විසින් රක්නා ලද ඒ දිව්‍යස්ත්‍රීහු සන්තෝෂ වෙති. එවිට මුළුලොවැ යා හැකි ඍෂිවරයෙක් මනාව පිපීගිය ශාඛා පුෂ්පයක් ගෙන පැමිණියේ ය.
4038. දෙවියන් විසින් සත්කාර කරනලද්දා වූ ද, ශක්‍රයා විසින් සෙවුනා ලද්දා වූ ද, පිරිසුදු සුවඳැති මේ උතුම් මල දෙවියන් මිස මිනිසුන් විසින් හෝ අසුරයන් විසින් හෝ නොලද හැකිය. එය දෙවියන්ට ම සුදුසු වේ.
4039. ඉක්බිති රන්බඳු සිවිය ඇති ස්ත්‍රීන්හට අධිපතිවූ ආසාය, සද්ධාය, සිරි ය, හිරිය යන මේ ස්ත්‍රීහු සතරදෙන නැගිට නාරද දේව බ්‍රාහ්මණ නම් වූ මුනිවරයාට මෙසේ කීහ.
4040. මහා ඍෂි වූ බ්‍රාහ්මණය, ඉදින් ඔබ විසින් මේ පරසතු මල කිසිවකුට නො උදෙසනලද නම් අපට දෙනුමැනවි. ඔබ වහන්සේගේ සියලු අදහස් සමෘද්ධ වේවා. අපට ශක්‍ර තෙම යම් සේ වේ ද ඔබ වහන්සේ ද එසේ ම වෙත්වා.
4041. නාරද තෙම ඒ මල දැක ඉල්ලන්නවුන්හට මෙසේ කීවේ ය. මහත් කලහ වැඩෙන කථාවක් ඇති විය. මට මේ මලින් කිසි වැඩක් නැත. නුඹලා අතුරින් යම් තැනැත්තියක් ගුණයෙන් ජ්‍යේෂ්ඨ වූ නම් ඕ පැළඳගන්නීය යි ඍෂි තෙම කීවේ ය.
4042. උතුම් නාරද ඍෂිවරය, නුඹවහන්සේ ම අප බලා අප අතුරින් යම් තැනැත්තියකට දෙනු කැමැත්තේ නම් ඈට දුන මැනැවි. නාරද ඍෂිවරය, නුඹ වහන්සේ අප අතුරින් යම් තැනැත්තියකට දෙන්නහු නම් අප අතුරින් ඕ තොමෝ ම ශ්‍රේෂ්ඨ සම්මත වන්නීය යි කීහ.
4043. මනා සිරුරැත්තිය, ඒ කීම නුසුදුසු ය. කවර නම් බ්‍රාහ්මණයෙක් කලහ ඇති කෙරේ ද? ඉදින් මෙහි තොප අතුරින් උත්තම වූ හෝ අධම වූ හෝ තැනැත්තිය කවරීදැ යි නොදන්නහු නම් භූතාධිපති වූ සක්දෙව්රජු වෙත ගොස් විචාරව යි ඍෂිතෙම කීයේ ය.
4044. නාරද ඍෂිවරයා විසින් (කුසුම නො දෙමින්) ඉතා ම කුපිත කර වූ, සක්දෙවිඳුන්ගෙන් අසවැ යි කියනලද වර්‍ණමදයෙන් මත් වූ ඒ අප්සරාවෝ සක්දෙව්රජු සමීපයට ගොස් කවර නම් තැනැත්තියක් ශ්‍රේෂ්ඨ දැ යි විචාළහ.
4045. දෙවියනට ශ්‍රේෂ්ඨ වූ දෙවියන් විසින් ඇඳිලි බඳනාලද ශක්‍ර තෙම උත්සුක වූ සිත් ඇති ඒ අප්සරාවන් දැක මෙසේ කීයේ ය. මනා සිරුරු ඇති අප්සරාවනි, තෙපි හැම දෙන ම සමානවවු. සුන්‍දර අප්සරාවරුනි, මෙසේ කවර කෙනෙක් කලහ වර්ධනය කළෝ ද? කියා යි.
4046. සත්‍ය වූ පරාක්‍රම ඇති ධර්‍මයෙහි පිහිටි මුළු ලොව හැසිරෙන්නා වූ නාරද නම් යම් ඍෂිවරයෙක් වේ ද හේ තොප අතුරින් උත්තම හෝ අධම තැනැත්තිය කවර දැ යි නොදනිවු නම්, ශක්‍රයා වෙතට ගොස් අසව යි ගන්‍ධමාදන නම් උතුම් පර්‍වතයෙහි දී අපට කීයේ යයි ඒ අප්සරාවෝ කීහ.
4047. උතුම් සිරුරැති දිව්‍යාංගනාවරුනි, තෙල මහවනයෙහි හැසිරෙන මහාමුනි තෙම අන්හට නොදී වළඳ නොකරයි. ඒ කෝසිය තාපස තෙම පරීක්‍ෂා කොට දන් දෙයි. හෙ තෙම තොපගෙන් යම් තැනැත්තියකට දෙන්නේ නම් ඕ තොමෝ ම ශ්‍රේෂ්ඨ වේ යයි ශක්‍ර තෙම කීයේ ය.
4048. දෙව සාරථිය, යම් තාපසයෙක් දකුණු දිග ගං ඉවුරෙහි හිමවත් පාර්ශ්වයෙහි වාසය කෙරේ ද, ඒ කෝසිය තාපස තෙම දුර්‍ලභ ආහාර පාන ඇත්තේ ය. ඔහුට සුධාභෝජනය පමුණුව යි කීයේ ය.
4049. දේවොත්තමයා විසින් යවනලද ඒ මාතලී දිව්‍යපුත්‍ර තෙම දහසක් අසුන් යෙදූ යානයට නැඟ වහා අසපුවට පැමිණ අදෘශ්‍යමාන වූයේ ඍෂිවරයාහට සුධාභෝජනය දුන්නේ ය.
4050. උදෑසන ගිනි දෙවියා පුදා ලෝකාන්‍ධකාරය දුරු කරන්නා වූ පහංකර වූ උතුම් හිරු වෙත එළඹ සිටි මාගේ අත්වල කවරෙක් සුධාභෝජනය බහාලී ද? කිම, සියලු භූතයන් ඉක්මවා සිටින ශක්‍ර තෙමේ ද?
4051. සක් ගෙඩියක් මෙන් සුදු වූ අසමාන වූ දැකුම් ඇති පිරිසුදු සුවඳවත් දැකුම්කලු වූ අද්භූත වූ පියවි ඇසින් නො දක්නා ලද විරූ සුධාභෝජනය කවර නම් දෙවියෙක් කවර හෙයින් මා අතැ තැබීදැ යි ඍෂිවරයා ප්‍රශ්න කෙළේ ය.
4052. මහර්ෂි වූ මහා මුනිවරය, මම වනාහි සක්දෙව් රජු විසින් මෙහෙයවන ලද්දෙම් වහා සුධාභෝජනය ගෙන ආයෙමි. මා දේවසාරථී වූ මාතලී බව දනුමැනවි. උතුම් බත වළඳනු මැනවි. ප්‍රපඤ්ච නො කරව.
4053. වළඳන ලද්දා වූ ඒ සුධාභෝනය බඩගින්න ය, පිපාස ය, නො ඇල්ම ය, කායදරථ ය, ක්ලාන්තගති ය, කෝප ය, බද්ධ වෛර ය, විවාද ය, කේලාම් කීම ය, සීත ය, උෂ්ණ ය, අලස බව ය යන දොළොස් පාපධර්‍මයන් නසන්නේ ය.
4054. එම්බා මාතලිය, පළමුකොට නොදී වැළඳීම මට කැප නැත. මෙසේ මාගේ උතුම් ව්‍රතයෙක් ඇත. එකලා වැ වැළඳීම ආර්‍ය්‍යයන් විසින් නො පුදන ලද්දේ යැ. බෙදාගෙන නොවළඳන තැනැත්තේ දෙව් මිනිස් සුව නො විඳියි.
4055. ස්ත්‍රීන් නසන, පරදාරාවන් කරා යන මේ යම් කෙනෙකුත් වෙත් ද, මිත්‍රද්‍රෝහි යම් කෙනෙකුත් වෙත් ද, දැහැමි මහණ බමුණන්ට ආක්‍රෝශ කරන යම් කෙනෙකුත් වෙත් ද, මසුරු කම පස් වැනි කොට ඇති ඒ හැම දෙන අධමයෝ ය. එහෙයින් නොදී දිය පවා නො බොමි.
4056. යම්බඳු මම ස්ත්‍රියකට හෝ පුරුෂයකුට හෝ බුද්ධාදි පණ්ඩිතයන් විසින් වර්‍ණනා කරනලද දානය දෙම් ද එසේ මේ ලෝකයෙහි සැදැහැති ප්‍රතිග්‍රාහකයන්ගේ වචන දන්නා වූ පහව ගිය මසුරු මල ඇති මේ පුරුෂයෝ උතුම් යයි සම්මත වෙති.
4057. ඉක්බිති සක්දෙව් රජු විසින් අනුදන්නාලදු වැ පිටත් කොට හරිනලද, ස්වර්‍ණයට බඳු සිරුරු සමින් හොබනා වූ ආශාය, ශ්‍රද්ධා ය, ශ්‍රී ය, භ්රී ය යන කන්‍යාවන් සතර දෙන යම් අසපුවෙක්හි කෝසිය (තවුස්) තෙම වෙසේ ද ඒ අසපුවට පැමිණියහ.
4058. ශෝභන වූ වර්‍ණයෙන් ගිනිසිළු මෙන් සතර දිශායෙහි සිටියා වූ, දක්‍ෂ වූ, ඒ දිව්‍යප්සරාවන් සතර දෙන දැක අතිශය ප්‍රීතියට පත් කෝසිය තවුස් තෙම මාතලී දිව්‍යපුත්‍රයා හමුවෙහි මෙසේ කීය.
4059. එම්බා දෙව්දුව, උතුම් ඕසධී තරුව මෙන් පෙරදිග බබුළුවන්නා වූ තෝ කිනම් වෙහි ද? රන්රුවකට බඳු සිරුරු ඇත්තිය, තී විචාරමි. තෝ කවර නම් දෙව්දුවක් වෙහිදැයි මට කියව.
4060. හැම කල්හි අලාමක සත්‍වයන් විසින් සෙවුනා ලබන්නා වූ මිනිසුන් කෙරෙහි පූජ්‍යත්‍වයට පත් මම ශ්‍රී නම් වෙමි. මහාප්‍රාඥය, සුධාභෝජනය පිළිබඳ විවාදයෙන් ඔබ සමීපයට ආමි. ඒ මට සුධාභෝජනය දුන මැනවි.
4061. මහාතාපසය, මම යමකුට සැප කැමතිවෙම් ද, ඒ මිනිස් තෙම සියලු කාමසම්පතින් තුටු වෙයි. හෝම කරන්නවුන් අතුරෙන් ශ්‍රේෂ්ඨය, මා ශ්‍රී නමැයි දනුව. මහාප්‍රාඥ තාපසයාණනි, ඒ මට සුධාභෝජනය දුන මැනවැ යි කීවාය.
4062. හස්තිශිල්පාදි ශිල්පඥානයෙන් ද වෙදත්‍රය සංඛ්‍යාත විද්‍යායෙන් හා ශීලයෙන් ද බුද්ධිමහිමයෙන් ද යුත් තමහට සුදුසු කෘෂි වණික් ආදී කර්‍ම ප්‍රගුණකොට ගත්තා වූ මනුෂ්‍යයෝ තීගෙන් තොර වූවාහු ස්වල්ප මාත්‍ර වූ හෝ කවර සැපයක් වත් නො ලබත් ද, තී විසින් කරන ලද මේ යමක් ඇත් නම් එය නො සුදුසු ය.
4063. තී විසින් රකිනු ලබන අලස වූ බොහෝ බුදිනසුලු නීචකුලීන වූ මිනිසෙක් වේ ද, සම්පතින් යුත් සුව දිවියක් ගෙවන කුලීනයෝත් ඔහුගේ දාසභාවයට පත් වෙති.
4064. ඒ ස්වභාව සත්‍යය නැති යුක්ති අයුක්ති විභාග නැති වැ සෙවුනා, පණ්ඩිතයන් පහත හෙළන්නා වූ මූඨ වූ තී හඳුනමි. තී වැන්නෝ අසුනක් පැනක් ලබනට වත් නො සුදුසු ය. සුධාභෝජනය ලැබීමට කොයින් සුදුසු වේ ද? මෙතැනින් යව. මට රුචි නො වෙහි යී (තවුසා කීය).
4065. සුදු දත් ඇති පළඳනාලද කුණ්ඩලාභරණ ඇති විසිතුරු අඟුපලඳනා ඇති වෙසෙසින් මටකරනලද රන්මුවා අබරණ දරන තී වත්කළ දියදහරක් බඳු දිව දුහුලක් හැඳ කුසතණින් දැල්වුණු ගිනිසිළුවක් බඳු පත්‍ර සහිත හෝපලු කැනක් කනැ පැළඳ හොබනීය. තො කවරක් ද?
4066. වැද්දකු විසින් විදිනලද පහර වැරද වූ බියපත් මුව දෙනකගේ මඳ බැල්ම මෙන් බලන්නෙහිය. මඳ බැලුම් ඇත්තිය, මෙහි තොපගේ කවර දෙවැන්නෙක් වේ ද? කානන නම් වූ වනයෙහි එකලා වූවා බිය නො වෙහි ද?
4067. කෝසිය තවුසාණනි, මෙහි මට දෙවැන්නෙක් නැත. මම් වනාහි තව්තිසා දෙව්ලොව උපන්නියක්මු. ආශා නම් වූ මම සුධාභෝජනය කෙරෙහි ආශාව හේතුකොටගෙන නුඹවහන්සේ සමීපයට ආමි. උතුම් ප්‍රඥා ඇති තාපසය, ඒ මට සුධාභෝජනය දුන මැනවි.
4068. ධන සොයන වෙළෙන්දෝ ධනාශායෙන් නැව් නැග මහසයුරෙහි පරතෙරට යෙත්. ඔවුහු එහි ගිලෙති. වැළි ඇතැම් විට නැසුණු මාර්ගෝපකරණ ඇත්තාහු පිරිහුණු ධන ඇත්තෝ වන්නාහ.
4069. ගොවියෝ ආශායෙන් කෙත් සාති. බිජුවට වපුරති. උපාය වශයෙන් නොයෙක් දේ කරති. උවදුරු පැමිණීමෙන් හෝ වැසි නොලැබීමෙන් හෝ එයින් කිසි ප්‍රයෝජනයක් නො විඳිති.
4070. සැප සොයන්නා වූ මනුෂ්‍යයෝ ආශාව පෙරදැරි කොට ස්වාමිවරුන් පිණිස යුදබිම්හි වීර්‍ය්‍ය කරති. දැඩි වෙහෙස දරා ක්‍රියා කළ ඔහු නැවත කිසිවකුත් නොලබා පලායන්නාහ.
4071. සැප සොයා ස්වර්‍ගාරෝහණය කරනු කැමැත්තෝ ධාන්‍ය ද ධනය ද නෑදෑයින් ද හැර ආශායෙන් බොහෝ කලක් මුළුල්ලේ රූක්‍ෂ වූ තපස් පවා රකිති. ඔවුහු කුමගට වැටී දුගතියට පැමිණෙති.
4072. මේ සත්‍වයෝ ආශාව නිසා රැවැටෙන්නාහ යි සම්මතව ඇත. ආශාවෙනි, තමා කෙරෙහි පවත්නා සුධාභෝජන ආශාව දුරුකරව. තී වැන්නෝ අසුන් හා ජලයවත් ලැබීමට සුදුසු නො වෙති. එබැවින් සුධාභෝජනය කොයින් ලැබේ ද? යව. තී මට නො රුස්නෙහි ය යි (තාපස තෙම කීය.)
4073. පරිවාර සම්පතින් දිලියෙමින් බටහිර දික්හි සිටින යසස් ඇති තී කිනම් වෙහි ද? රන්රුවකට බඳු සිරුර ඇත්තිය, ඒ කරුණ තොප විචාරමි. තෙපි එය මට කියව. කිනම් දේවතාවක් වෙහි ද?
4074. මහත් ප්‍රඥා ඇති තාපසයන් වහන්ස, මිනිසුන් කෙරෙහි සැම කල්හි පූජිත වූ, උසස් සත්‍වයන් විසින් සෙවුනාලද, මම සද්ධා නම් වෙමි. සුධාභෝජනය පිළිබඳ විවාදයෙන් නුඹ වහන්සේ වෙත ආමි. ඒ මට සුධාභෝජනය දුන මැනව.
4075. ඇතැම් කාලයෙක්හි සත්‍වයෝ තොප හා එක් වූවාහු දන් දීම ය, ඉන්‍ද්‍රියදමනය, පරිත්‍යාග ය, සිල් රැකීම ය, යන මේවා කරති. කිසි කලෙක්හි එම සත්‍වයෝ තීගෙන් වෙන් වූවාහු සොරකම ද බොරු කීම ද කූටකර්‍මය ද කේලාම් කීම ද කෙරෙත්.
4076. සමාන ජාති ඇති සිල්වත් පතිව්‍රතා ගුණෝපේත කුල දුහිතෲන් වන භාර්‍ය්‍යාවන් කෙරෙහි ගිජු වූ පුරුෂ තෙම ඔවුන් කෙරෙහි ආශාව හැරදමා කුම්භදාසියගේ වචනය පවා අදහන්නේය.
4077. ශ්‍රද්ධාවෙනි, පුරුෂයා තීගේ වයසට පැමිණීමෙන් ම පරදාර සේවනය කරන හෙයින් තී පරදාර සේවනය කරන්නෙහි ය. පව් කරන්නෙහි ය. කුසල් හිස් කරන්නෙහි ය. තී වැන්නෝ අසුන් හා ජලය (පමණකුදු) ලැබීමට නො සුදුසු වෙති. සුධාභෝජනය කොයින් ලැබේ ද? යව. තී මට නො රුස්නෙහි ය යි (තවුසා කීය.)
4078. රාත්‍රි කාලයාගේ අවසන්හි අරුණෝද්ගමන වේලායෙහි උතුම් රූපයෙන් හා වර්‍ණයෙන් යුක්ත වූ යම් පූර්‍වදිශාවක් දක්නා ලැබේ ද, දෙව්දුව, තී එබඳුය යි මට වැටහෙ යි. තී කිනම් අප්සරාවක් දැ යි මට කියව.