Jātaka

Birth Stories

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-29 · 7679 segments

පෙන්වන කොටස් 4601-4700 න් 7679

3883. හංස රාජය, මට යහපති. යළි මට ආරෝග්‍යය ද තිබේ. තවද, සමෘද්ධ වූ මේ රට මා විසින් දැහැමින් අනුශාසනා කරනු ලැබේ ය යි රජ තෙමේ කී ය.
3884. කිම, පින්වත්හුගේ ඇමතියන් අතර කිසියම් දෝෂයක් නැද්ද? කිම, ඔවුහු ඔබගේ යුද්ධාදී කාර්‍ය්‍යයන්හි දිවි නොතකා ක්‍රියා කෙරෙද්ද?
3885. මාගේ ඇමතියන් අතර කිසියම් දෝෂයක් නැත. වැළි ඔවුහු මාගේ යුද්ධාදි කාර්‍ය්‍යයන්හි දිවි නොතකා ක්‍රියා කෙරෙති.
3886. කිම, ඔබගේ බිරිය සමාන ජාති ඇත්තී ද? අවවාදක්‍ෂම ද? ප්‍රිය තෙපුල් කියන්නී ද? දරු සම්පතින් හා රූපයෙන් ද යසසින් ද සමන්‍විත ද? ඔබගේ අදහස් අනුව පවතින්නී ද?
3887. මාගේ බිරිය සමාන ජාති ඇත්තීය. අවවාදක්‍ෂම ය. ප්‍රිය තෙපුල් කියන්නී ය. දරු සම්පතින් හා රූපයෙන් ද යශසින් ද මාගේ අදහස් අනුව පවත්නීය.
3888. කිමෙක් ද පින්වතා වනාහි මහා සතුරාගේ අතට හසුවූයේ ඒ පළමු විපතෙහි දී දැඩි දුකට පත්වී ද?
3889. කිමෙක් ද, මේ වැද්දා පැන නොයන්නට දණ්ඩකින් පෙළුයේ ද? මෙසේ කිරීම මේ නීචයන්ගේ ඒ වේලාවෙහි ස්වභාව ය.
3890. මහරජ, මෙසේ විපත්තිය පැමිණි කල්හි නිර්‍භය වීමි. මෙතෙම අප කෙරෙහි සතුරකු මෙන් නො පිළිපන්නේ යැ.
3891. මහරජ, මේ වැදිතෙම පළමු කොට අප දැක මඳක් පසුබට විය. ඉන්පසු කථා කෙළේ ය. එවිට මේ පණ්ඩිත වූ සුමුඛ තෙම පිළිතුරු දුන්නේ ය.
3892. ඔහුගේ ඒ වචනය අසා මෙතෙම පැහැදුණේ ය. ඉන්පසු මා පාසයෙන් මිදුවේ ය. සුවසේ චිත්‍රකූටයට ගොස් වසන්නට ද අනුදත්තේ ය.
3893. පින්වත් ඔබ වෙත මේ පැමිණීම ද මොහුට ධනය ලබාදෙනු කැමැති වූ සුමුඛයා විසින් ම මොහු සඳහා ම සිතන ලද්දෙකැ යි හංස රාජයා කීයේ ය.
3894. පින්වතුන්ගේ මේ පැමිණීම යහපත් පැමිණීමෙකි. ඔබ දැක්මෙන් මම සොම්නස් වීමි. මෙතෙමේ ද යම්තාක් ධනය කැමති වේ නම් ඒ තාක් බොහෝ ධනය ලබන්නේ ය.
3895. රජ තෙම සම්පතින් වැද්දා සතප්වා මිහිරි වදන් කියමින් හංස රාජයාට මෙසේ කීයේ ය.
3896. හංසරාජය, යම්කිසිවක් මා වසයෙහි පවතී ද ඒ සියල්ල මම ධර්‍මයට අයත් කොට හෙවත් ධර්‍මපූජා වශයෙන් දෙමි. ඒ සියල්ලෙහි අධිපති බව පින්වතාට වේවා. රුචි පරිදි අනුශාසනා කරනු මැනවි.
3897. දානයට හෝ පරිභෝගයට හෝ අන්කිසි යමකට හෝ කැමැත්තේ නම් එය කරව. ඒ සම්පත ඔබට දෙමි. මාගේ අධිපති භාවය ඔබට පවරා දෙමි යි රජ කී ය.
3898. ඉදින් මේ පණ්ඩිත වූ බුද්ධිසම්පන්න සුමුඛයාත් තම කැමැත්තෙන් යමක් කියන්නේ නම් එය මට ඉතා ප්‍රිය වන්නේ ය යි රජ කීයේ ය.
3899. මහරජ, මම වනාහි මහගල් පව් දෙකක් අතරට වූ ඇත් රජකු මෙන් ඔබ අතර කථා කරන්නට නො හැක්කෙමි. එසේ කථා කරන්නෙම් නම් එය හික්මීම ද නො වන්නේ ය.
3900. අපගේ සයානූදහසක් හංසයන්ට ශ්‍රේෂ්ඨ වූ යම් ඒ හංස රාජයෙක් වේ ද, හෙ තෙමේ ද පෘථිවිය පාලනය කරන්නා වූ මිනිසුන්ට අධිපති වූ උතුම් කෙනකු වන ඔබ ද යන දෙදෙනා බොහෝ හේතූන් නිසා පිදිය යුත්තෝ ය.
3901. නර ශ්‍රේෂ්ඨ මහරජතුමනි, ඔවුන් දෙදෙනා කථා කරද්දී විනිශ්චය පවත්නා විට මෙහෙකරු වූ මා විසින් අතර තුර කථා නො කළයුතු ය.
3902. වැදි තෙම ඇතිසැටියෙන් ම පණ්ඩිත වූ පක්‍ෂියෙකැ යි කීසේ ය. පුරුදු නොකළ සිතැත්තකුට මෙබඳු ප්‍රඥාවක් නො වන්නේ ම ය.
3903. මෙතෙම මෙසේ උතුම් ස්වභාව ඇත්තෙකි. මෙසේ උතුම් සත්‍වයෙකි. මා විසින් දක්නාලද යම්තාක් පක්‍ෂීහු ඇද්ද, ඔවුනතර මෙබඳු අන් පක්‍ෂියකු නො දකිමි.
3904. යහළු හංසරාජය, මම (පළමු කොට ම) ඔබ දැක්මෙන් ප්‍රකෘතියෙන් තුටුවූයෙම් වෙමි. දැන් ඔබගේ මිහිරි වචනයෙන් සතුටු වූයෙම් වෙමි. ඔබ දෙදෙනා (මෙහි ම වාසය කරවාගෙන) බොහෝ කලක් බලන්නෙමි යි යන මෙය ද මගේ කැමැත්ත වේ.
3905. මහරජ, උතුම් මිත්‍රයකු කෙරෙහි කටයුතු යමක් වේ ද, ඔබ විසින් ඒ සියල්ල අප කෙරෙහි කරනලදී. අප කෙරෙහි ඔබගේ යම් බඳු භක්තියක් වේ ද, ඒ භක්තියෙන් අපි නිසැක ව ම ඔබ සමග සහ වාසයට පැමිණියමෝ වෙමු.
3906. බොහෝ පක්‍ෂීන් කෙරෙහි අප නො දැක්මෙන් දුකෙක් උපන්නේ ද, තෙල අපගේ, ඥාති සමූහයාගේ මහත් දුබල බවෙකි.
3907. මහරජ, ඔවුන්ගේ ශෝකය දුරු කිරීම පිණිස ඔබ විසින් අනුදන්නාලද අපි ඔබ ප්‍රදක්‍ෂිණා කොට නෑයන් දක්නෙමු.
3908. මම පින්වත්හුගේ දැක්මෙන් ඒකාන්තයෙන් ම මහත් ප්‍රීතියක් විඳිමි. යම් නෑයන් දැක්මෙක් වේ නම් මෙය ද මහත් අභිවෘද්ධියක් වේ යයි හංස තෙම කීයේ ය.
3909. ධතරට්ඨ නම් වූ හංස රාජයෝ රජුට මෙය කියා මහත් ජවයෙන් නෑ සමූහයා වෙත එළැඹියහ.
3910. නීරෝග වූ එහි පැමිණි ඒ උතුම් හංසයන් දැක හංසයෝ කෙ, කෙ, යන රාවය කළහ. එයින් මහත් ශබ්දයෙක් හටගති.
3911. මළපුඬුවෙන් මිදුණා වූ ස්වාමියා කරණකොට ගෙන තුටු සිත් ඇත්තා වූ ඒ හංසයෝ ස්වාමි ගෞරවය ඇත්තාහු ‘පක්‍ෂීහු පිහිටලද්දෝ ය’ යි ඔහු හාත්පස පිරිවරාගත්හ.
3912. මෙසේ කල්‍යාණමිත්‍රයන් ඇත්තවුන්ගේ සියලු අභිවෘද්ධිය සැලසෙන්නේ ය. ධතරට්ඨ නම් වූ හංසයෝ යම් සේ නෑ සමූහයා වෙතට පැමිණියාහු ද එමෙනැ යි වදාළසේක.
චූලහංස ජාතක යි.
2. මහාහංස ජාතකය
3913. රන්වන් සිවිය ඇති හෙයින් ස්වර්‍ණ වර්‍ණ වූ සුන්‍දර වූ මුඛ ඇත්තා වූ සුමුඛ ය, බියෙන් තැතිගත් මේ හංසයෝ බැහැර යෙත්. නුඹ ද යව.
3914. තනිව මළපුඬුවෙහි අසු වූ මා හැරදමා ඤාති සමූහයෝ අපේක්‍ෂා රහිත වූවාහු යෙත්. එකලා වූ තෝ කුමක් හෙයින් පසුබස්නෙහි ද?
3915. ශ්‍රේෂ්ඨ පක්‍ෂිය, තෝ ද පැනයව. බැඳුණහු කෙරෙහි යහළුබවෙක් නැත. නිදුක් බැවින් නො පිරිහෙව. සුමුඛය, ඒකාන්තයෙන් බැහැර යව.
3916. ධතරට්ඨනම් මහරජ, මම දුකින් පෙළුණෙමැ යි කියා ඔබ අත් නො හරිමි. මාගේ ජීවිතය හෝ මරණය හෝ ඔබ සමග වන්නේ ය.
3917. ධතරට්ඨ නම් මහරජ, මම දුකින් පෙළුණෙමැ යි කියා ඔබ නො හරිමි. මිත්‍රද්‍රෝහි අනාර්‍ය්‍යයන්ගේ කාර්‍ය්‍යයෙක්හි මා යොදවන්නට නුසුදුස්සෙහි ය.
3918. හංසරාජය, මම ඔබ හා සමාන ව උපන් බැවින් සමාන කුමාර වෙමි. එක්ව වැඩුණු බැවින් යහළුවා ද වෙමි. ඔබ සිතැඟි පරිදි හැසිරෙන්නෙක් ද වෙමි. සෙන්පතියකු වශයෙන් ද ප්‍රකට වූයෙමි.
3919. මෙයින් ගියා වූ මම නෑයන් මැද කෙසේ කියන්නෙම් ද, පක්‍ෂි ශ්‍රේෂ්ඨය, ඔබ හැර මෙයින් ගියා වූ මම ඤාතීන් විසින් විචාරන ලද්දෙම් ඔවුන්ට කුමක් කියම් ද? මෙහි ම පණ හරින්නෙමි. අනාර්‍ය්‍ය ක්‍රියාවක් කරන්නට උත්සාහ නො කරමි.
3920. සුමුඛය, ස්වාමි වූ ද යහළු වූ ද මා හැර යන්නට යම් හෙයකින් තෙපි උත්සාහ නො කරවු ද ඒ තෙපි ආර්‍ය්‍ය මාර්‍ගයෙහි පිහිටියහු ය. මෙය වනාහි පුරාතන ධර්‍මය වන්නේ ය.
3921. නුඹ දක්නා වූ මට වනාහි බියෙක් නොම උපදී. මෙසේ වූ මාගේ ජීවිතය ඔබ ලබාදුන්නහු ය.
3922. ආර්‍ය්‍ය වූ ආර්‍ය්‍ය පැවතුම් ඇත්තා වූ හංසයන් මෙසේ මන්ත්‍රණය කරමින් සිටිද්දී ම වැදිපුත්‍ර තෙම දැඩි වූ මුගුරක් ගෙන වහා පැමිණියේ ය.
3923. එන්නා වූ ඒ වැද්දා දැක සුමුඛ තෙමේ “බිය නො වව” යි මහ හඬින් කී ය. සුමුඛ නම් හංස තෙම බියපත් වූ හංස රජුට විශ්වාසය ඇති කරවමින් හංස රජු ඉදිරිපිට සිටියේ ය.
3924. පක්‍ෂි ශ්‍රේෂ්ඨය, බිය නො වව, තොප වැන්නෝ බිය නොවෙත්. මම දැහැමි වූ ස්ථානෝචිත උත්සාහයක් කරන්නෙමි. ඒ උත්සාහ කිරීමෙන් මළ පුඬුවෙන් වහා මිදෙන්නෙහි ය.
3925. ඒ සුමුඛයාගේ සුභාෂිත වූ ඒ වචන අසා හටගත් රෝමොද්ගමනය ඇති වැද්දා ඔහුට ඇඳිලි බැන්දේ ය.
3926. මිනිස් හඬ නිකුත් කරමින් නිදොස් ව මිනිස් බස් කියන පක්‍ෂියෙක් මින් පෙර මා විසින් නො දක්නා ලදී. නො අසන ලද්දේ ද වෙයි.
3927. (පාසයෙන්) මිදුණා වූ නුඹ, බැඳුණා වූ මොහු සමීපයෙහි හිඳින්නෙහි ය. තට මේ පක්‍ෂියා කවරෙක් වෙයි ද? අනිත් පක්‍ෂීහු මොහු හැරයෙත්. තනි නුඹ පමණක් කුමක් නිසා නො යන්නෙහි ද?
3928. පක්‍ෂීන්ගේ සතුරු වූ වැද්දාණනි, මෙතෙම මගේ රජ ය. මම මොහුගේ සෙන්පති බව කරවීමි. ඒ පක්‍ෂිරාජයා විපතෙහි හැරපියන්නට උත්සාහ නොකරමි.
3929. මහත් හංස සමූහයාගේ ද මාගේ ද ස්වාමි වූ මෙතෙම තනිව විපතට නො පැමිණේවා. යහළු වැදි පුත්‍රය, එය එසේ ම ය. මෙතෙම මාගේ ස්වාමියා වේ. මම මොහු සමීපයෙහි සිත් අලවා වෙසෙමි.
3930. හංසය, යමෙක් ස්වාමියාගෙන් ලත් පිණ්ඩාහාරයට පුදන්නෙහි ද, ඒ නුඹ ආර්‍ය්‍යයන්ගේ පැවැත්මෙන් යුක්ත වෙහි. මම නුඹගේ ඒ ස්වාමියා හරිමි. දෙදෙන සුවසේ යවු.
3931. මිත්‍රය, ඉදින් ඔබ විසින් ස්වකීය ප්‍රයෝජනය පිණිස හංසයන්ට හා වෙනත් පක්‍ෂීන්ට උගුල අටවන ලද්දේ නම් ඔබගේ මේ අභය දානය පිළිගනිමි.
3932. ඉදින් ඔබ විසින් තමන්ගේ ප්‍රයෝජනය සඳහා හංසයන්ට සහ වෙනත් පක්‍ෂීන්ට උගුල අටවන ලද්දේ නො වේ නම්, නුඹ අධිපති නො වෙහි ය. වැදිපුත්‍රය, අප මුදා හරින්නා වූ නුඹ සොරකමක් කරන්නෙහි ය.
3933. නුඹ යම් රජකුගේ බැළයෙක් වෙහි ද ඒකාන්තයෙන් ඔහු වෙතට ම අප පමුණුව. එහි දී ඇණවුම් සහිත රජ තෙම අභිමත වූවක් කරන්නේ ය(යි හංස සේනාපතියා කීයේ ය.)
3934. මෙසේ කියනු ලැබූ වැදි තෙම රන්වන් සිවි ඇති ස්වර්‍ණ වර්‍ණවූ ඒ හංස රාජයන් දෙදෙන දෙඅතින් අල්ලාගෙන මැදිරිවල තැබීය.
3935. ප්‍රභාස්වර වූ වර්‍ණ ඇති සුමුඛ, ධතරට්ඨ යන ඒ පඤ්ජරගත පක්‍ෂීන් දෙදෙන ගෙන වැද්දා ගියේ ය.
3936. ගෙන යනු ලබන්නාවූ ධතරට්ඨ නම් හංස තෙම සුමුඛ නම් හංසයාට මෙය කීය. එම්බා සුමුඛය, රන්වන් අලංකාර ඌරු යුග්මයක් ඇති (භාර්‍ය්‍යාවගේ) මරණයට දැඩිව බියවෙමි. අපගේ මරණය අසා ඕ තමාම නැසෙන්නී ය.
3937. සුමුඛය, පාකහංස දුහිතෘ වූ රන්වන් මනා සිවිය ඇති සුහේමා නම් වූ ඕ තොමෝ (මුහුදෙහි වැටී ස්වාමියා මළ කල්හි) වෙරළෙහි සිට බැගෑපත්ව හඬන කොස්ළිහිණිදෙනක මෙන් හඬන්නීය යි සිතමි.
3938. මෙසේ හංස ලෝකයාගේ ගෞරවයට සුදුසු වූ අප්‍රමේය ගුණ ඇති ගණ ප්‍රධාන වූ ඔබ එකම හංස ධේනුවක සඳහා ශෝක කරන්නහුය. මෙය නුවණැත්තකුට නොගැළපෙන්නෙකි.
3939. මහරජ, සුගන්‍ධ දුර්‍ගන්‍ධ දෙකම (නොතෝරා) ගන්නා වූ වාතය මෙන් ද, (අඹ දඹ ඈ ඵලහරිත ගසක් යට හිඳ) පැසුණු නොපැසුණු විසින් විභාග නොකොට අතට අසුවූවක් ගෙන කන්නාවූ කුඩා ළමයකු මෙන් ද රස තෘෂ්ණායෙන් ආහාරයක් බුදින ලොල්වූ අන්‍ධයකු මෙන් ද,
3940. මරණාසන්න අවස්ථාව පැමිණියා වූ ඔබ යම් හෙයකින් කළයුත්ත නොකළයුත්ත නොදන්නහු ද, කාරණාකාරණයන්හි විනිශ්චය නොදන්නාහු ද, එහෙයින් ඔබ අන්‍ධ බාලයකු මෙන් මට වැටහෙයි.
3941 යමෙක් ස්ත්‍රීහු උතුම් යයි හඟින්නේ නම් හෙතෙම අඩක් උමතු වූවකු මෙන් කථාකරන්නේ ය. මේ ස්ත්‍රීහු නම් සුරා සොඬුන්හට සුරා සැල මෙන් බොහෝ දෙනකුට සාධාරණ වෙති.
3942. තවද මේ ස්ත්‍රීහු නම් (පුරුෂයන් රවටන හෙයින්) මායාවක් වැන්න. (අතට අසු නොවන හෙයින්) මිරිඟුවක් වැන්න. (තමන් ඇසුරු කරන්නවුනට ශෝකය හා කාශස්වාසාදී රෝගත් ඇතිකරන හෙයින්) ශෝක රෝගාදි උපද්‍රවයනට හේතුය, ක්‍රෝධාදීන් තද බැවින් කෲරය, අන්‍දු බන්‍ධනාදියට හේතුය. මේ ස්ත්‍රී නම් ශරීර ගුහාව ඇසුරු කරන්නා වූ මාර පාසය කි. එ බඳු ස්ත්‍රීන් කෙරෙහි යම් පුරුෂයෙක් විශ්වාස කෙරේ නම් හේ මිනිසුන් අතුරෙහි අධම මිනිසෙකි. (සුමුඛයා කී ය).
3943. මාතුගාම සංඛ්‍යාත වූ යම් වස්තුවක් නුවණැත්තන් විසින් ම දක්නා ලද ද, ඒ ස්ත්‍රියට නින්‍දා කරන්නට කවරෙක් සුදුසු වේ ද? මහත් ගුණැති ස්ත්‍රීහු නම් ලෝකයෙහි පළමුකොට උපන්නාහුය.
3944. සුමුඛය, ඒ ස්ත්‍රීන් කෙරෙහි කායවචී ක්‍රීඩාවෝ ද පිහිටියාහ. ඒ ස්ත්‍රීන් කෙරෙහි පස්කම් ගුණයෙහි ආලය ද පිහිටි යේය. (බුදු පසේ බුදු ආදි) යම් සත්‍ව කෙනෙක් උපදිත් නම් ඒ බීජයෝ ද ඔවුන් කෙරෙහි ම වැඩෙති. දිවි හැරීමෙන් වුව ද කවර නම් පුරුෂයෙක් ඔවුන් කෙරෙහි කලකිරෙන්නේ ද?
3945. සුමුඛය, අනෙකකු නොව නුඹ ම ස්ත්‍රීන්ගේ කටයුතුවල යෙදෙන්නෙහිය. ඒ නුඹට අද බිය ඇතිවූ කල්හි ඒ මරණ බිය නිසා ස්ත්‍රීන්ගේ අගුණ දැකීමෙහි තියුණු නුවණක් ඇතිවිය යි හඟිමි.
3946. ජිවිතසංසයට පත් සියලු දෙන ම ස්ත්‍රීන් කෙරෙහි පිළිබඳ සිතැතිව ඒ බිය ඉවසත්. පණ්ඩිත වූ, මහාත්මයෝ දුකසේ යෙදියයුතු අර්‍ත්‍ථයෙහි (වැඩවල) යෙදෙත්.
3947. මේ සඳහා රජවරු ශූර මන්ත්‍රියකු කැමතිවෙති. යම් හෙයෙකින් ශූරතෙමේ ස්වාමියාට පැමිණි ආපදාවන් වළකාලයි ද ආත්මාරක්‍ෂාවත් සිද්ධ කෙරේ ද එහෙයිනි.
3948. (සුමුඛය,) අද රජුගේ අරක්කැමියෝ මුළුතැන්ගෙහිදී අප නොකපත්වා. යම්සේ හුණ ඵලය, හුණ ගස නසන්නේද, අපගේ පියාපත්වල වර්‍ණද එසේය. අපගේ විනාශයට (හේතුය) එසේ තා ද මා ද නො නසව.
3949. වැදි පුත්‍රයා විසින් මුදන ලද්දේ ද පියාඹා යන්නට නොකැමැති වූවෙහිය. තෙමේ ම බන්‍ධනයට එළැඹියෙහි. හෙද දැන් ජීවිත සැකයට පැමිණියේය. අප මිදෙන කරුණක් සිතා ගනුව. (ස්ත්‍රීන්ට නින්‍දා කිරීම පිණිස) මුව විවෘත නො කරව.
3950. (යහළු සුමුඛය,) ඒ නුඹ පළමු කී දැහැමින් යුත් උත්සාහය යොදව. තොපගේ ඒ පිරිසිදු වූ උත්සාහයෙන් මාගේ ජීවිතය සෙවීම කරව (යි හංස රජ කීයේ ය.)
3951. පක්‍ෂිරාජය, බිය නොවව, ඔබ වැන්නෝ බිය නො වෙති. මම දැහැමින් යුත් සුදුසු උත්සාහයක් යොදන්නෙමි. මාගේ ඒ පිරිසුදු උත්සාහයෙන් වහා දුඃඛපාසයෙන් මිදෙන්නෙහිය. (සුමුඛයා කීයේ ය).
3952. ඒ වැදිතෙම හංසයන් රැගත් කදින් යුක්තව රජගෙදර දොරටුවට එළඹියේය. මා පැමිණි බව රජුට කියවු. මේ ධතරට්ඨ නම් හංස රජු ද ආයේය යි ද රජුට දන්ව වු (යි දොරටුපාලයාට කීයේ ය).
3953. තමන්ගේ පිනට සරිලන, ශ්‍රේෂ්ඨය යි සම්මත ඒ හංසයන් දෙදෙන දැක සතුටු සිත් ඇති රජතෙම ඇමතියන්ට මෙසේ කීය.
3954. මේ වැද්දාට වස්ත්‍ර ද, ආහාර පාන ද භෝජන ද දෙවු. මේ තෙම යම්තාක් කැමැත්තේ නම් ඒ තාක් අමුරන් දෙවු යි.
3955. කසී රජතෙම පහන් වූ ඒ වැද්දා දැක මෙසේ කීය. යහළු ඛේමක නම් වැද්දාණෙනි, ඉදින් අපගේ පොකුණ හංසයන්ගෙන් පිරීපවතී නම්,
3956. මනා දැකුම් ඇති හංසයන් මැද සිටියා වූද හංසයන් විසින් පිරිවරන ලද්දා වූ ද මේ හංස රාජයා වෙතට මළ පුඬුව ගත් අත් ඇතිව ගියෙහි ද? මේ නුඹ, හංස රාජයා කෙසේ අල්ලාගත්තෙහි ද?
3957. මොහු ගොදුරු ගන්නා තැන් සොයා යන්නා වූ මට අද සත්වැනි රැය ය. මම මොහුගේ පියවර සොයමින් චාටිපඤ්ජරයක් ඇසුරු කරමින් අප්‍රමාද වීමි.
3958. ඉක්බිති ගොදුරු පිණිස හැසිරෙන්නා වූ මොහුගේ පියවර දැක්කෙමි. මම එහි පාසය බහාලීමි. මෙසේ මේ පක්‍ෂියා ගත්තෙමියි (වැද්දා කීයේ ය.)
3959. එම්බල වැදිපුත්‍රය, මේ පක්‍ෂීහු දෙදෙනෙක් වෙති. එසේ ඇති කල්හි එකෙකැයි කියන්නෙහිය. කිම, තාගේ සිත පෙරළී ද? නැතහොත් අනෙකා අනිකකුට දෙනු කැමැත්තෙහිද?
3960. (මහරජ,) මේ පක්‍ෂියකුගේ රත් රන් වන් රේඛාවෝ බබළමින් ගෙල වටා ගොස් උදරයට හැපී සිටිද්ද, හෙතෙම මාගේ බන්‍ධනයට පැමිණියේ ය.
3961. ඉක්බිති මේ ප්‍රභාස්වරවූ පක්‍ෂිතෙම නොබැඳුණේ, බැඳුණු ගිලන් වූ ස්වාමියා සනසමින් (ඉදිරියට පැමිණ) මා සමග මිනිස් තෙපුලෙන් කථාකරමින් සිටියේයයි (වැද්දා කීයේ ය.)
3962. සුමුඛය, එසේ ඇතිකල්හි දැන් කුමක් හෙයින් හනු එකට තද කොට ගෙන සිටිනෙහි ද? කිමෙක් ද? මාගේ පිරිසට පැමිණියේ බියෙන් තැතිගත්තෙහි කථා නොකෙරෙහිදැ යි රජ ඇසී ය.
3963. කසීරටට අධිපති මහරජතුමනි, මම ඔබගේ පිරිසට වැද බියපත්වූයෙම් නොවෙමි. මම බියෙන් නො බෙණෙන්නෙම් ද නොවෙමි. කථාකළයුතු සුදුසු අවස්ථා යෙහි කථා කරමි යි සුමුඛයා කීයේ ය.
3964. තට රැකවරණ කරගෙන සිටින පිරිසක් නොදකිමි. රිය ද නොදකිමි. පාබළ සෙනගක් ද නොදකිමි. ඊ පහර වළකාලන චර්‍මයක් ද නොදකිමි. චාටිකපාලයක් ද නොදකිමි. යුද ඇඳුමින් සැරැසුණු ධනුර්ධරයන් ද නොදකිමි.
3965. අමුරන්ද ස්වර්‍ණද නොදකිමි. දිය අගලකින් වටකරන ලද දුර්‍ගම වූ දැඩි අටලු හා කොටු ඇති යහපත්කොට තනනලද නගරයක්ද නොදකිමි. සුමුඛය, යම් තැනෙක්හි පැමිණියේ බිය විය යුත්තෙහි බිය නො වෙහි ද, එබඳු තැනක් නොදකිමි යි රජතෙම කීය.
3966. මහරජ, මට රැකවරණය කරගෙන සිටින්නාවූ පිරිසෙන් ප්‍රයෝජනයක් නැත. නුවරින් හෝ ධනයෙන්ද ප්‍රයෝජනයක් නැත. අහසින් ගමන් කරන්නාවූ අපි අමාර්‍ගයෙහි මාර්‍ගය තනාගෙන යම්හ.
3967. අපි නුවණැත්තෝය, දක්‍ෂයෝය, කරුණු සිතන්නෝය යි ඔබ විසින් අසනලද්දමෝ වෙමු. ඉදින් ඔබ සත්‍යයෙහි පිහිටි කෙනෙක් වන්නහු නම් අර්‍ත්‍ථ සහිත වචනයක් කියන්නෙමි.
3968. සත්‍ය විරහිත වූ අනාර්‍ය්‍ය වූ බොරු කියන්නා වූ රෞද්‍ර ගති ඇති ඔබට කියනලද සුභාෂිතයක් වුවත් කවර නම් යහපතක් සලසා ද?
3969. (මහරජ,) ඔබ බ්‍රාහ්මණයන්ගේ කීමෙන් මේ ඛේමි නම් පොකුණ කරවූවහුය. ඔබ විසින් මේ දශ දිශායෙහි ම අභය ද ප්‍රකාශ කරන ලදී.
3970. ඔබගේ පොකුණට බැස පිරිසිදු වූ ප්‍රසන්න ජලය ද බොහෝ වූ ආහාර ද ලබන්නාවූ පක්‍ෂීන්ට හිංසාවක් නැතැයි (ප්‍රකාශ කරනලදී.)
3971. මෙය අසා ඔබගේ සමීපයට (ඔබ විසින් කරවනලද පොකුණට) ආවෙමු. ඒ අපි ඔබගේ පාසයෙන් බැඳුණෙමු. මෙය ඔබ විසින් කියනලද බොරුවයි.
3972. මුසාවාදය පෙරදැරි කොට ලාමක වූ ඉච්ඡා සංඛ්‍යාත ලෝභය ද කොට දෙව් මිනිස් යන ප්‍රතිසන්‍ධි දෙක ඉක්මවා නිරයෙහි උපදින්නේය යි (සුමුඛයා රජුට ලජ්ජා ඉපදවීය.)
3973. එම්බා සුමුඛය, තොපට අපරාධ නොකරමු. ලෝභයෙන්ද තොප නොගත්තෙමි. තෙපි පණ්ඩිතයෝය, දක්‍ෂයෝය, අර්‍ත්‍ථචින්තකයෝ යි අසනලද්දේ ද වෙයි.
3974. මෙහි පැමිණියාවූ තෙපි අර්‍ත්‍ථ සහිත වචන ප්‍රකාශ කරන්නාහු නම් යෙහෙකැයි සිතුවෙමි. යහළු සුමුඛය, ඒ පිණිස මා විසින් කියන ලද වැද්දා තොප අල්ලා ගත්තේය.
3975. කසී රජුනි, මරණයට ළංවූ කල්හි බියවූවමෝ ජීවිතාවසානයට පත්වූවමෝ අර්‍ත්‍ථවත් වචන කියන්නෙමු.
3976. මනාව පුරුදු කරන ලද යමෙක් දීපක මුවකු කරණකොට ගෙන මුවකු නසයි ද, දීපක පක්‍ෂියකු කරණකොටගෙන පක්‍ෂියකු නසයිද, නිර්‍භයයයි ප්‍රසිද්ධ (දීපක මෘග සදෘශ) පියුම් විලකින් ධර්‍මකථිකයෙකැයි අසන ලද කෙනකුට හිංසා කරයිද, ඊට වඩා අනාර්‍ය්‍යවූ කුමක් ඇත් ද?
3977. යමෙක් අනාර්‍ය්‍ය ධර්‍මයෙහි පිහිටියේ ආර්‍ය්‍ය වචන කියයිද, හෙතෙම මෙලෝ පරලෝ යන උභය ලෝකයෙන් ම පිරිහෙන්නේය.
3978. යමෙක් යසසට පැමිණ මත් නොවන්නේ ද ජීවිත සංසයට පැමිණි නමුදු චිත්ත පීඩාවට නො පැමිණෙන්නේ ද කටයුතුවල උත්සාහ කරන්නේ ද, තමන්ගේ සිදුරු වසන්නේ ද,
3979. ගුණවෘද්ධ වූ මරණකාලයට පැමිණියා වූ යම් කෙනෙක් මේ මිනිස් ලොව ඉක්මවද්ද, මෙලොව කුශලධර්‍මයෙහි හැසිර මෙසේ මොවුහු දෙව්ලොවට පැමිණියාහු වෙති.
3980. කශීරජුනි, මෙය අසා තමන් කෙරෙහි ධර්‍මය රැකගනුව. ධතරට්ඨ නම් හංස රාජයා ද මුදාලව යි සුමුඛ කීයේ ය.