3597. පෙර දිගට දුවත්. ඉන්පසු බටහිරට ද දුවත්. උතුරු දිගට ද දුවත්. ඉන්පසු දකුණු දෙසට ද දුවත්.
3598. යම් යම් දොරටුවකට යෙත් නම් ඒ ඒ දොරටු වැසෙයි. මෙසේ නිරයගාමී ජනයෝ අනල්ප වූ නිරය දුකට පැමිණ බොහෝ වර්‍ෂ දහස් ගණන් දෙ අත් හිස්හි බැඳැගත්තාහු හඬත්.
3599. එ හෙයින් ළං වියැ නොහැකි කිපියා වූ තෙදැති ආශීර්විෂයකු සේ සංයම ඇත්තා වූ තපස්වීන්ට පරුෂ වචනයෙන් ඝටා නො බණින්නේ ය. එ බඳු යහපත් ගති ඇති ගුණවතුන් නො ගටන්නේ ය.
3600. මහත් ශරීර ඇති දුනු දරන්නා වූ දහසක් බාහු ඇත්තා වූ කේකක රටට අධිපති වූ අර්ජුන නම් රජ තෙම ගෞතම නම් ඍෂිවරයා ගටා බැණැ විනාශයට පත්වූයේ ය.
3601. ඒ දණඩකී රජ තෙම රජස් රහිත වූ කිසවච්ඡ තවුසා මතැ රජස් විසුරුවා මුලින් සිඳින ලද තල් ගසක් මෙන් විනාශයට පත් විය.
3602. යශස් ඇති මාතඞ්ග ඍෂිවරයා කෙරෙහි සිත දූෂ්‍ය කරගත් මේධ්‍ය රජ තෙමේ පිරිස් සහිත වැ සිඳී ගියේ ය. එ කල්හි මේධ්‍යාරාණ්‍ය විය.
3603. අන්‍ධකවෙණහු නම් රජවරු කණ්හදීපායන නම් තවුසා ගටා ඔවුනොවුන් මොහොලින් නසාගෙන යම පුරයට පිවිසියහ.
3604. වැළි දු පෙර අහසැ හැසිරුණා වූ චේතිය නම් රජ තෙම කපිල තවුසා සමඟ විරුඬ වූයේ ඍද්ධියෙන් පිරිහෙත් ම මරණාසන්න කාලයට පැමිණ පොළොවැ පිවිසියේ ය.
3605. එ හෙයින් නුවණැත්තෝ ඡන්‍දාදියෙන් අගතියට යෑම නො පසසත්. දූෂ්‍ය නො වූ සිත් ඇත්තේ සත්‍ය වචන කියන්නේ ය.
3606. ඉදින් යම් මිනිසෙක් ප්‍රදූෂ්‍ය වූ සිතින්, අෂ්ටවිද්‍යා පසළොස්චරණයන්ගෙන් යුත් මුනිවරයකු දෙස බලයි ද, හෙ තෙමේ ඒ අධෝගමනීය කර්‍මයෙන් අධොභාගයෙහි වූ නිරයට යන්නේ ය.
3607. නපුරු ගති ඇති යම් කෙනෙක් ගුණයෙන් හා වයසින් වැඩිහිටියන්ට අවමන් කෙරෙද්ද, ඔව්හු දිටුදැමියෙහි ම මුලින් සිඳින ලද තල් ගසක් මෙන් වැනැසෙති. පරලෝ වශයෙන් දරුවන් හෝ වස්තුව හෝ නො ලබත්.
3608. යමෙක් වනාහි කෘතකෘත්‍ය වූ ප්‍රව්‍රජිත මහර්ෂියකු නසා ද හෙ කාළසූත්‍ර නම් නරකයෙහි බොහෝ කලක් පැසෙනු ලැබේ.
3609. යමෙක් වනාහි අධර්‍මයෙහි පිහිටා රට වනසන්නේ වේ ද, ජනපදය තවා මෙයින් චුත වැ පරලෙව්හි තාපන නම් නරකයෙහි පැසෙති.
3610. යමෙක් දිව්‍යවර්‍ෂ ලක්‍ෂයක් එහි පැසේ ද, ගිනිසිළු සමූහයෙන් වටකරන ලද්දා වූ හෙ තෙමේ දුක් වූ වේදනාවක් මැ විඳී.
3611. ගිනි මැ අනුභව කරන ඔහුගේ ශරීරයෙන් ප්‍රභාස්වර වූ ගිනිසිළු පිට වේ. ලෝමාග්‍රවලින් සහ නිය අගින් ද යුත් සියලු ශරීරාවයවයෝ එක සේ මැ දල්වෙත්.
3612. නිතොර ම ඇතුළත පිටත දෙක්හි දැවෙන්නා වූ ශරීරයෙන් යුත් හෙ තෙම මහත් දුකින් පෙළුණේ අකුසුවලින් මඩනා ලද ඇතකු මෙන් නාද කරයි.
3613. යම් අධ මැ පුරුෂයෙක් යශස් යැ ධන යැ යන මේවා හේතු කොටගෙනැ පහළ වූ ලෝභය නිසා හෝ ද්වේෂය නිසා හෝ පියා නසයි ද, හෙ කාළසූත්‍ර නම් නරකයෙහි බොහෝ කාලයක් පැසෙන්නේ ය.
3614. එ බඳු හෙ තෙම ලෝකුඹු නිරයෙහි පැසේ. පැසුණා වූ ද සම නැත්තා වූ ද ඔහු අඩයටිවලින් නසත්. එ බඳු සත්‍වයා ඇස් උපුටා දමා අන්‍ධ කොට මලමූ අනුභව කරන්නකුත් කොට ලෝදියෙහි ගල්වත්.
3615. නිරය පාලකයෝ ගිනියම් කළ පැස වූ යගුළි ද බොහෝ කලක් තවන ලද දික් වූ හීවැලින් මැඩැගෙන රැහැන්වලින් දිව එළියට ඇදැ හරින ලද මුවෙහි බහාලත්.
3616. ශ්‍යාමවර්‍ණ වූ සුනඛයෝ ද තිත් සහිත සුනඛයෝ ද රතු හොට ඇති ගිජුලිහිණියෝ ද වන කවුඩු සමූහය ද අයෝමය මුඛ ඇත්තා වූ පක්‍ෂි සමූහය ද එක් ව දිව පිටතට ඇදැ කම්පා කරමින් ලේ සහිත වැ කඩකඩා කත්.
3617. දැවෙන්නා වූ තල් ගසක් වැනි හැම පසින් ම බිඳුණු ශරීර ඇති ඔහුට තළමින් ඒ නිරය පාලකයෝ පසුපසැ යෙති. එය නිරය පාලකයන්ට ක්‍රීඩාවෙකි. අන්‍ය වූ නිරිසත්තු වනාහි දුක් ඇත්තාහු වෙත්. මේ ලෝකයෙහි පිතෘඝාතක කර්‍ම කරන්නා වූ යම් කෙනෙක් වෙද්ද, මෙ බඳු දුක් ඇති නරකයේ වෙසෙත්.
3618. පුත්‍ර තෙමේ ද මව මරා මෙයින් චුත වැ නිරයට ගොස් ස්වකීය කර්‍මවිපාක වශයෙන් පැමිණියේ ම මහත් දුකට පැමිණේ.
3619. මහත් ශක්තිය ඇත්තා වූ නිරය පාලකයෝ මව මැරූවහු යමුවා රැහැනින් වෙළා නැවැත නැවැතත් පෙළත්.
3620. මව මැරූ ඔහුට සිය සිරුරින් වැගිරෙන්නා වූ තමාගෙන් ම හටගත් රත් වී දිය ව ගිය ලොදිය බඳු රුධිරය පොවත්.
3621. පිළිකුල් වූ ද, අපවිත්‍ර වූ ද, කුණු වූ ද, දුගඳ වූ ද, අසූචි කලල් ඇති පූයා ලේ බඳු ජලය ඇති විලට බැස සිටිති.
3622. එහි මහත් වූ ශරීර ඇති අය සූචි බඳු මුඛ ඇති කෘමීහු මස් ලේ කෙරෙහි ගිජු වූවාහු සිවිය සිඳ කත්.
3623. හෙ තෙමේ ද ඒ නිරයට පැමිණියේ බඹ සියයක් ගිලුණේ වේ. කුණු වූ ද අපිරිසුදු වූ ද දුර්‍ගන්‍ධය හාත්පසැ සියක් යොත්නක් හමයි.
3624. ඇස් ඇත්තේ නමුත් ඒ දුර්‍ගන්‍ධයෙන් ඇස්වලින් දිරාපත් වන්නේ ය. බ්‍රහ්මදත්ත නම් මහරජුනි, මව මැරූ තැනැත්තේ මෙ බඳු දුකක් ලබන්නේ ය.
3625. ගැබ් හෙළන්නා වූ ස්ත්‍රීහු තියුණු වූ ද ළංවිය නොහැකි වූ ද ඛූරධාර නම් නිරය ඉක්මවා දුර්‍ගම වූ වේතරණී නදියට වැටෙත්.
3626. අයෝමය වූ සොළොස් අඟල් පමණ කටු ඇති ඉඹුල් ගස් දුර්‍ගම වූ වේතරණී ගඟෙහි දෙපසැ එල්බෙයි.
3627. ඒ නිරිසත්තු ගිනිසිළු ඇත්තාහු දුර වූ ගිනි කඳක් මෙන් සිටිත්. ගින්නෙන් දිලිසුණේ ම උඩට යොදුනක් උස්වූවාහු වෙත්.
3628. සැමියා ඉක්මවා හැසිරෙන ස්ත්‍රීහු ද පරස්ත්‍රී සේවනය කරන පුරුෂයෝ ද යන මොව්හු නිරයෙහි තිබෙන ගිනියම් වූ තියුණු කටු ඇති මේ ඉඹුල් ගස්වලැ නගිත්.
3629. බොහෝ කල්ගියා වූ ඔව්හු නිරය පාලකයන් විසින් පෙළන ලද්දාහු පෙරැළී යටිකුරු වූ හිස් ඇත්තාහු වෙත්. එවිට හුලින් විනිවිද ගිය ශරීර ඇත්තෝ සයනය කෙරෙත්. දිගු කලක් නිදි වරති.
3630. ඉන්පසු බොහෝ කාලයක්හුගේ ඇවෑමෙන් මහත් වූ පර්‍වතයක් බඳු රත් වූ ගිනි හා සම ජලය ඇති ලෝකුඹු නම් නිරයෙහි වැටී පැසෙත්.
3631. මෙසේ මෝහයෙන් පිරිවරා ගන්නා ලද දුශ්ශීලයෝ දිවා රෑ දෙක්හි ම පෙරැ තමා විසින් කරන ලද ස්වකීය දුෂ්කෘත කර්‍මය අනුභව කෙරෙත්.
3632. මිල දී ගන්නා ලද යම් භාර්‍ය්‍යාවක් වන්නී ද, සැමියා කෙරෙහි කළමනා වතාවත් නොකිරීම් වශයෙන් සැමියා ඉක්මවයි ද නැන්දා හෝ මාමා හෝ සැමියාගේ වැඩිමහලු සහෝදරිය හෝ යන මොවුන් උදෙසා කළමනා වතාවත් නොකිරීම වශයෙන් ඉක්මවයි ද,
3633. ඇගේ ජිහ්වාග්‍රය බැඳුම් සහිත වැ පිටතට අදිත්. ඒ නිරිසතා පණුවන් සහිත බඹයක් පමණ වූ තමාගේ දිව දකී. තමන්ගේ දුක කියනු කැමැති වුව ද කිසිවක් කියා අවබෝධ කරවන්නට නො සමත් වෙයි. පසු වැ තාපන නම් නිරයෙහි පැසෙයි.
3634. එළුවන් මරා දිවි රක්නෝ ද ඌරන් මරා දිවි රක්නෝ ද මුවන් මරා දිවි රක්නෝ ද සොරකම් කරන්නෝ ද ගවයන් මරා දිවි රක්නෝ ද යන මෙකී රෞද්‍ර ක්‍රියා ඇත්තෝත් නුගුණෙහි ගුණ කියන්නෝ හෙවත් කේලාම් කියන්නෝ යන මොහු,
3635. අඩයටිවලින් ද ලොහොකුළුවලින් ද කඩුවලින් ද ඊවලින් ද අනිනු ලබන්නාහු යටිකුරු වූ හිස් ඇත්තෝ වේතරණී නම් නරකයෙහි වැටෙති.
3636. වංචනික ලෙස නඩු විසඳන්නෝ යැ, බොරු නඩු සාදන්නෝ ය, කිරීම් මැනීම්වලින් සහ බොරු කහවණුයෙන් රවටන්නෝ ය, බොරු තක්සේරු කාරයෝ යැ යන කූටකර්‍ම කරන්නෝ උදේ සහ සවසත් යකුළුවලින් නසනු ලැබෙති. ඉන් පසු මෙ ලෙස ම දුකට පත් වූ අන් සතුන්ගේ වමනය හැම කල්හි අනුභව කෙරෙති.
3637. කවුඩෝ ද සිවල්ලු ද ගිජුලිහිණියෝ ද වනකවුඩෝ ද යන අයෝමය මුඛ ඇත්තාහු පව්කළා වූ නිරිසතා ඔබ මොබ අදිමින් කති.
3638. යමෙක් මුවකුගෙන් (හීලෑ මුවකු ඉදිරිපත් කර ගෙන) මුවකු නසයි ද පක්‍ෂියකුගෙන් පක්‍ෂියකු හෝ නසයි ද අසත්පුරුෂ වූ රජසින් ගැවැසී ගත්තා වූ ඔව්හු ඔසුපත් නිරයට යන්නෝ වෙති.
3639. මේ ලෝකයෙහි මනා ව පුරුදු කරන ලද කර්‍ම නිසා දෙව් ලොවට යෙත්. මනා ව පුරුදු කරන ලද කර්‍මයා ගේ විපාකය බලව. ශක්‍රයා සහිත දෙවියෝත් බ්‍රහ්මයා සහිත දෙවියෝත් එහි වෙති.
3640. මහරජ, එ හෙයින් නුඹට කියමි. රටෙහි අධිපතිතුමනි, සුචරිත ධර්‍මයෙහි හැසිරෙව. මහරජ යම්සේ මනා ව පුරුදු කරන ලද ධර්‍මය පසු වැ පසුතැවිල්ල නූපදවා ද එසේ සුචරිත ධර්‍මයෙහි හැසිරෙවු.
සංකිච්ච ජාතක යි.
සැට වැනි නිපාතය නිමි.
එහි උද්දානය:
සැට වැනි නිපාතයෙහි මාගේ භාෂිතය අසව. අරින්‍දම නම් රජු සහිතවූ සෝණක ජාතකයැ එසේමැ බඹදත් රජු සහිත වූ සඞ්කිච්ච ජාතක යැ යි ජාතක දෙකෙකි.
20. සත්තති නිපාතය
1. කුස ජාතකය
3641. මෑණියෙනි, ඔබ තුමියගේ මේ රට ධන සහිත ය. හස්ති සේනාදියෙන් යුක්ත ය. පඤ්ච රාජකකුධභාණ්ඩ සහිත ය. කැමැති වන තාක් සම්පතින් යුක්ත ය. ඔබ තුමියගේ මේ රජය අනුශාසනා කරනු මැනැවි. මාගේ ප්‍රියාව වන ප්‍රභාවතිය යම් තැනෙක්හි නම් මම එහි යමි යි කුසරජ තෙම කීයේ ය.
3642. කුසරජතුමනි, ඔබතුමා රාත්‍රියෙහි ද දවාලෙහි ද මධ්‍යම රාත්‍රිකාලයෙහි ද වක් සිතින් කදක් ගෙනෙමින් මහත් දුකක් විඳින්නේ ය. ඔබතුමා කුසාවතී නගරයට ආපසු වහා යන්න. මෙහි වසන්නා වූ දුර්වර්‍ණ ඔබතුමා මම ප්‍රිය නො කරමි යි පභාවතී තොමෝ කීවා ය.
3643. එම්බා ප්‍රභාවතිය, මම මෙයින් නික්ම කුසාවතියට නො යමි. මම් වනාහි තීගේ ශරීර වර්‍ණයෙන් ප්‍රලෝභිත වූයෙම් තීගේ දර්‍ශනයෙහි ඇළුණක් වැ රට හැර මදුරජුගේ සිත්කලු වූ ගෘහයෙහි සිත් අලවා වාසය කරමි.
3644. එම්බා ප්‍රභාවතිය, මම් වනාහි තීගේ ශරීර වර්‍ණයෙන් ප්‍රලෝභිත වූයෙම් කෙලෙස් වශයෙන් මුළා වූව වැ පොළෝ තෙලෙහි හැසිරෙමි. මුව දෙනකට බඳු මන්‍දලෝචන ඇත්තී යැ. තී විසින් මම මත් කරන ලද්දෙමි. කොහි සිට පැමිණියෙම් දැ යි දිශාව සලකාගන්නට ද අපොහොසත් වෙමි.
3645. රනින් විසිතුරු කළ වස්ත්‍ර හැන්දා වූ රන්මුවා මෙවුල්දම් ඇති, මනා වැ වැඩුණු මධ්‍යප්‍රදේශ ඇති ප්‍රභාවතිය, තිට කැමැති හෙයින් මම මෙහි ම වසමි. මම රජයෙන් ප්‍රයෝජන නැත්තෙක්මි යි කුස රජ තෙමේ කීය.
3646. පින්වත් කුස රජුනි, යමෙක් නොකැමැත්තහු කැමැත්තේ ද ඔහුට අවැඩක් (පිරිහීමක්) ම වන්නේ ය. මහරජ, ඔබතුමා වනාහි නොකැමැති මා කැමැති වන්නේ ය. අකාන්ත වූයේ දුටුවන් නොපහදනාසුලු වූයේ කාන්ත තැනැත්තියක වූ මා කැමැත්තේ ය.
3647. යම් මිනිසෙක් කැමැති නොවන්නා වූ හෝ කැමැති වන්නා වූ හෝ ප්‍රියාවක් ලබා ද ඒ ලාභය මෙහි ලා පසසමි. නොලැබීම ලාමක වන්නේ යැ යි රජ තෙමේ කීයේ ය.
3648. යම් බඳු වූ ඔබ නොකැමැති තැනැත්තියක වූ මා කැමැත්තෙහි නම්, කිණිහිරි දර කඩකින් ගල්හර කණනෙහි ය. දැලකින් සුළඟ වළකන්නෙහි ය.
3649. මෘදු ලක්‍ෂණ ඇත්තිය, යම් බඳු වූ මම අන් රටකින් ආයෙම් තීගේ පිළිසඳර මාත්‍ර වූ සුවයක් වත් නො ලබන්නෙම් නම් මා කෙරෙහි ස්නේහය වැළැක්වීම පිණිස තීගේ හෘදයෙහි ගලක් තබන ලද්දේ ය කියා හඟිමි.
3650. රාජපුත්‍රිය, යම් විටක බැම හකුළුවා මා දෙස බලහි ද එවිට මදු රජුගේ අන්තඃපුරයෙහි අරක්කැමියෙක් වෙමි.
3651. රාජපුත්‍රිය, යම් විටක සිනාසෙමින් මා දෙස බලහි ද, එවිට මම අරක්කැමියකු මෙන් නො වෙමි. එවිට කුසාවතී නුවර රජ මෙන් වෙමි යි කුසරජ තෙමේ කීවේ ය.
3652. ඉදින් වනාහි නිමිත්තපාඨකයන්ගේ වචනය සත්‍ය වන්නේ නම් මා සත් කඩක් කොට සිඳිතත් ඔබතුමා මට සැමියා නො වන්නේ ය යි ප්‍රභාවතිය කීවා ය.
3653. ඉදින් අනිත් නිමිත්ත පාඨකයන්ගේ හෝ මාගේ හෝ වචනය සත්‍ය වන්නේ නම්, සිංහස්වර ඇත්තා වූ කුසරජුගෙන් අන්‍ය වූවෙක් තිට සැමි නො වන්නේ යැයි කුසරජ තෙමේ කීයේ ය.
3654. එම්බා කුදිය, ඉදින් තීගේ වචනයෙන් ඇත් සොඬට බඳු කලවා ඇති ප්‍රභාවතිය මා දෙස බලන්නී නම් මම කුසාවතියට පැමිණ තිට ස්වර්‍ණමය ග්‍රීවාභරණයක් කරවන්නෙමි.
3655. එම්බා කුදිය, ඉදින් තීගේ වචනයෙන් ඇත් සොඬට බඳු කලවා ඇති ප්‍රභාවතිය මා හා කථා කරන්නී නම් මම කුසාවතියට පැමිණ තිට ස්වර්‍ණමය ග්‍රීවාභරණයක් කරවන්නෙමි.
3656. එම්බා කුදිය, ඉදින් තීගේ වචනයෙන් ඇත් සොඬට බඳු කලවා ඇති ප්‍රභාවතිය මා හා මඳ සිනා පවත්වන්නී නම් මම කුසාවතියට පැමිණ තිට ස්වර්‍ණමය ග්‍රීවාභරණයක් කරවන්නෙමි.
3657. එම්බා කුදිය, ඉදින් තීගේ වචනයෙන් ඇත්සොඬට බඳු කලවා ඇති ප්‍රභාවතිය මා හා මහසිනා පවත්වන්නී නම් මම කුසාවතියට පැමිණ තිට ස්වර්‍ණමය ග්‍රීවාභරණයක් කරවන්නෙමි.
3658. එම්බා කුදිය, ඉදින් තීගේ වචනයෙන් ඇත් සොඬට බඳු කලවා ඇති ප්‍රභාවතිය අත්වලින් මා ස්පර්‍ශ කරන්නී නම් මම කුසාවතියට පැමිණ තිට ස්වර්‍ණමය ග්‍රීවාභරණයක් කර වන්නෙමි යි කුසරජ තෙමේ කී ය.
3659. මේ රාජපුත්‍රී තොමෝ කුසරජු නිසා ස්වල්පමාත්‍ර සැපතකුදු නො වින්දේ ය යි සිතමි. වේතනයෙන් ද ප්‍රයෝජන නැති, අරක්කැමි ව බැළ මෙහෙ කරන්නා වූ මේ පුරුෂයා කෙරෙහි පිළිසඳර මාත්‍රයකුදු නො කරතැ යි කුදිය කීවා ය.
3660. මෙසේ නපුරු තෙපුල් කියන්නා වූ මේ කුදිය සියුම් ආයුධයෙකින් ඒකාන්තයෙන් ම දිව සිඳීම නො ලබා ද? ලබා ම ය.
3661. එම්බා ප්‍රභාවතිය, ඒ කුස රජතුමා තොපගේ රූපයෙන් හෝ උසමහතින් හෝ ප්‍රමාණ නො කරව. මනෝඥ තැනැත්තිය, හෙ තෙම මහත් යශස් ඇත්තෙකැ යි මෙනෙහි කොට ප්‍රිය කරව.
3662. එම්බා ප්‍රභාවතිය, ඒ කුස රජතුමා තොපගේ රූපයෙන් හෝ උසමහතින් හෝ ප්‍රමාණ නො කරව. ප්‍රියදර්‍ශන ඇත්තිය, හෙ තෙම මහාධනවතෙකැ යි මෙනෙහි කොට ප්‍රිය කරව.
3663. එම්බා ප්‍රභාවතිය, ඒ කුස රජතුමා තොපගේ රූපයෙන් හෝ උසමහතින් හෝ ප්‍රමාණ නො කරව. ප්‍රියදර්‍ශන ඇත්තිය, හෙ තෙම මහාබලැත්තෙකැ යි මෙනෙහි කොට ප්‍රිය කරව.
3664. එම්බා ප්‍රභාවතිය, ඒ කුස රජතුමා තොපගේ රූපයෙන් හෝ උසමහතින් හෝ ප්‍රමාණ නො කරව. ප්‍රියදර්‍ශන ඇත්තිය, හෙ තෙම මහත් රටවල් ඇත්තෙකැ යි මෙනෙහි කොට ප්‍රිය කරව.
3665. එම්බා ප්‍රභාවතිය, තොපගේ රූසපුවෙන් හෝ උස මහතින් හෝ ඒ කුස රජතුමා ප්‍රමාණ නො කරව. ප්‍රියදර්‍ශන ඇත්තිය, හෙ තෙම මහරජෙකැ යි මෙනෙහි කොට ප්‍රිය කරව.
3666. එම්බා ප්‍රභාවතිය, ඒ කුස රජතුමා තොපගේ රූපයෙන් හෝ උසමහතින් හෝ ප්‍රමාණ නො කරව. ප්‍රියදර්‍ශන ඇත්තිය, හෙ තෙම සිංහස්වර ඇත්තෙකැ යි මෙනෙහි කොට ප්‍රිය කරව.
3667. එම්බා ප්‍රභාවතිය, ඒ කුස රජතුමා තොපගේ රූපයෙන් හෝ උසමහතින් හෝ ප්‍රමාණ නො කරව. මනෝඥ දර්‍ශන ඇත්තිය, හෙ තෙම ලීලායෙන් යුත් ස්වර ඇත්තෙකැ යි මෙනෙහි කොට ප්‍රිය කරව.
3668. එම්බා ප්‍රභාවතිය, ඒ කුස රජතුමා තොපගේ රූපයෙන් හෝ උසමහතින් හෝ ප්‍රමාණ නො කරව. ප්‍රියදර්‍ශන ඇත්තිය, හෙ තෙම මනා ව එක් වූ හඬ ඇත්තෙකැ යි මෙනෙහි කොට ප්‍රිය කරව.
3669. එම්බා ප්‍රභාවතිය, ඒ කුස රජතුමා තොපගේ රූපයෙන් හෝ උසමහතින් හෝ ප්‍රමාණ නො කරව. ප්‍රියදර්‍ශන ඇත්තිය, හෙ තෙම සුන්‍දරස්වර ඇත්තෙකැ යි මෙනෙහි කොට ප්‍රිය කරව.
3670. එම්බා ප්‍රභාවතිය, ඒ කුස රජතුමා තොපගේ රූපයෙන් හෝ උසමහතින් හෝ ප්‍රමාණ නො කරව. ප්‍රියදර්‍ශන ඇත්තිය, හෙ තෙම මධුර ස්වර ඇත්තෙකැ යි මෙනෙහි කොට ප්‍රිය කරව.
3671. එම්බා ප්‍රභාවතිය, ඒ කුස රජතුමා තොපගේ රූපයෙන් හෝ උසමහතින් හෝ ප්‍රමාණ නො කරව. ප්‍රියදර්‍ශන ඇත්තිය, හෙ තෙම තමන් විසින් ම දත් සිය ගණන් ශිල්ප ඇත්තෙකැ යි මෙනෙහි කොට ප්‍රිය කරව.
3672. එම්බා ප්‍රභාවතිය, ඒ කුසරජතුමා තොපගේ රූපයෙන් හෝ උසමහතින් හෝ ප්‍රමාණ නො කරව. රුචිර ස්ත්‍රිය, හෙ තෙම අසම්භින්න ක්‍ෂත්‍රියකැ යි මෙනෙහි කොට ප්‍රිය කරව.
3673. එම්බා ප්‍රභාවතිය, ඒ කුසරජතුමා තොපගේ රූසපුවෙන් හෝ උසමහතින් හෝ ප්‍රමාණ නො කරව. ප්‍රිය දැකුම් ඇත්තිය, හෙ තෙම කුසරජ ය යි මෙනෙහි කොට ප්‍රිය කරව.
3674. දේවයන් වහන්ස, මේ රජවරු සත් දෙනා ඉතා තද පරුෂ පැවැතුම් ඇත්තාහු සියල්ලෝ ම යුද්ධයට සැරැසී සිටිත්. මොවුන් ප්‍රාකාරය මඩින්නට පෙර මේ ප්‍රභාවතිය ඔවුන් වෙත පමුණුවත්වා යි ඇමතියෝ කීහ.
3675. මා නසන්නට මෙහි පැමිණියා වූ යම් කෙනෙක් ඇද්ද, ඒ ක්‍ෂත්‍රියයන්ට මම මේ ප්‍රභාවතිය සත්කඩක් කොට දෙන්නෙමි යි රජ තෙමේ කී ය.
3676. කෝසෙය්‍යවස්ත්‍ර හැන්දා වූ රන්වන් වූ ප්‍රභාවතී නම් ඒ රාජපුත්‍රිය කඳුළු පිරි දෙනෙතින් යුතු ව දාසි සමූහයා විසින් පිරිවරන ලදු ව ආසනයෙන් නැගිට්ටා ය. (මව ළඟට ගොස් වැඳ මෙසේ කීවා ය.)
3677. මෑණියෙනි, පස් වැදෑරුම් සුණුයෙන් සෙවුනා ලද දළමුවා මිටින් යුත් කැටපතෙන් බලා සරසන ලද යහපත් නෙත් ඇති රජස් රහිත ගඩු පිළිකාදි දෝෂ විරහිත ඒ මාගේ මුහුණ රජුන් විසින් වනයෙහි හැරපියා දමන ලදු ව තබන්නේ ය.
3678. මෑණියෙනි, කාලවර්‍ණයෙන් යුත් උස් වූ කෙළවර ඇති මෘදු වූ සඳුන් කල්කයෙන් ගැවසීගත් කෙස් සොහොන් මැද දී ගිජුලිහිණියෝ ඒකාන්තයෙන් පාවලින් ඔබ මොබ අදින්නාහ යි හඟිමි.
3679. මෑණියනි, තඹවන් නිය ඇති මනා ලොමින් යුත් මෘදු වූ සඳුන්කල්ක ගල්වන ලද්දා වූ මාගේ බාහු යුග්මය රජුන් විසින් සිඳින ලද්දේ වනයෙහි හැර දමන ලද්දේ කවුඩා ඩැහැගෙන සිත් වූ පරිදි කඩ කඩා කමින් යෙතැ යි සිතමි.
3680. මෑණියෙනි, රන්වන් තල්ගෙඩි බඳු නො එල්බෙන්නා වූ ද කසී සඳුනෙන් නිතොර සේවිත වූ ද මාගේ පයෝධරයන්හි කුසෙහි උපන් ළදරු පුතකු මවගේ තනයෙහි එල්බෙන්නාක් මෙන් සිවල් තෙම එල්බෙන්නේ ය.
3681. රන්මුවා මෙවුල්දමීන් නිසේවිත වූ මනා ව වඩනා ලද්දා වූ පුළුල් වූ ඒ මාගේ නිතම්බය ක්‍ෂත්‍රියයන් විසින් සිඳ වනයෙහි හැරදමන ලද්දේ වේ ද, එය සිවල් සමූහයා ඒ මේ අත අදිතී හඟිමි.
3682. බල්ලෝ ද කවුඩෝ ද සිවල්ලු ද දළ ඇත්තා වූ සෙසු සත්‍වයෝත් වෙද්ද ඒ හැම ප්‍රභාවතී නම් වූ මා කා ඒකාන්තයෙන් නොදිරන්නාහු වෙතැ යි සිතමි.
3683. මෑණියෙනි, ඉදින් දුර යන්නා වූ ක්‍ෂත්‍රියයෝ මාගේ මස් ගෙන යෙද්ද, ඇට ඉල්ලාගෙන මාර්‍ගයන් අතර එය දවවු යයි ප්‍රභාවතිය අඬමින් කීවා ය.
3684. මෑණියෙනි, ඒ දැවූ තැනැ මල්වතු කරවා කිණිහිරිගස් වවව. යම් දිනෙක හේමන්ත ඍතුවගේ අවසන්හි ඵග්ගුන මාසයෙහි ඒ ගස් මල් පිපෙන්නාහු ද එ විට මෑණියෙනි, ප්‍රභාවතී තොමෝ මෙ බඳු වර්‍ණ ඇත්තී ය කියා මා සිහි කරව යි ප්‍රභාවතිය කීවා ය.
3685. ඒ ප්‍රභාවතියගේ මව වූ දෙවඟනකට බඳු වර්‍ණ ඇති රාජමහිෂී තොමෝ ආසනයෙන් නැගිට රජු වෙත ගොස් සිටියා ය. මදුරජුගේ අන්තඃපුරයෙහි රජු ඉදිරියෙහි තබන ලද පොරොවත්, දංගෙඩියත් දැක වැලපෙමින් මෙසේ කීවා ය.
3686. හඳුනාගැනීමට පහසු වූ කෘෂ වූ මධ්‍ය ප්‍රදේශ ඇති මාගේ දුව මේ පොරොවෙන් සිඳ ක්‍ෂත්‍රියයන්ට ඒකාන්තයෙන් දෙන්නෙහි දැ යි ඇසුවා ය.
3687. දියණියනි, තෝ වැඩ කැමැති වූ මාගේ වචනය නො පිළිගත්තෙහි ය. එ බැවින් ඒ නුඹ අද ලෙයින් වැකීගිය සිරුරු ඇත්තී මෘත්‍යුරාජභවනයට යන්නෙහි ය.
3688. යමෙක් යහපත දක්නා වූ හිතවතුන්ගේ බස් නොපිළිපදී ද, එ බඳු පුරුෂ තෙම මෙසේ ව්‍යසනයට පැමිණේ. මීට වැඩි දුකට ද පත් වේ.
3689. දියණියනි, ඉදින් නුඹ කුසරජු නිසා උපන්, මනා දැකුම් ඇත්තා වූ, රන් මිණි මෙවුල් දරන්නා වූ, නෑ සමූහයා විසින් පුදන ලද කුමරකු දරන්නෙහි (සැමියා වශයෙන් පිළිගන්නෙහි) නම් යමයා වෙත නො යන්නෙහි ය.
3690. සුන්‍දර වූ දියණියනි, යම් කුසරාජ භවනයෙක්හි බෙර වැයීමාදි තූර්‍ය්‍යනාද පවතී ද, මංගල හස්ති තෙම කුඤ්චනාද කෙරේ ද, ඊට වැඩි සුවය කුමක් ද?