3219. අලම්බුසාව උන් වහන්සේගේ පා අල්ලා වැඳ ප්‍රදක්‍ෂිණා කොට ඇඳිලි බැඳ එතැනින් බැහැර වූවා ය.
3220. පිරිවර සහිත වූ මත්තෙහි වසනලද ඇතිරිලි පනසක් ඇති කොඳුපලස් දහසක් අසුරන ලද්දා වූ ඇගේ ස්වර්‍ණමය යම් පර්‍ය්‍යංකයක් වී ද එම පර්‍ය්‍යංකයට ම නැඟ දෙවියන් වෙත ඕ ගියා ය.
3221. බබළන්නා වූ උල්කාව යම්සේ ද, විදුලිය යම්සේ ද, එසේ එන්නා වූ ඇය දැක ප්‍රීතිමත් වූ සතුටු සිත් ඇති ශක්‍ර තෙමේ වරයක් දුන්නේ ය.
3222. සියලු භූතයන්ට අධිපති වූ ශක්‍ර දේවේන්‍ද්‍රය, ඉදින් තෙපි මට වරයක් දෙවු නම් ඍෂින් පෙළඹවීමට නො යන්නෙමි යන තෙල වරය ඉල්ලමි යි අලම්බුසාව කීවා ය.
අලම්බුසා ජාතක යි.
4. සඞ්ඛපාල ජාතකය
3223. නුඹ වහන්සේ මනා රූ ඇති සේක්, ප්‍රසන්න වූ ඇස් ඇත්තහු ය. පින්වතා ක්‍ෂත්‍රිය බ්‍රාහ්මණ දෙකුලයෙන් හෝ සිටු කුලයෙන් හෝ නික්ම පැවිදි වූහ යි සිතමි. ප්‍රඥාවන්තය, භොග සම්පත් හා ධනය හැරදමා ගිහි ගෙයින් නික්ම කුමක් අරමුණු කොට පැවිදි වූ සේක් ද?
3224. නරදේව වූ මහරජ, මහත් අනුභාව ඇති මහොරගයාගේ විමානය දැක එසේ ම පුණ්‍යයන්ගේ මහත් විපාක දැක මම කර්‍මයත් කර්‍මවිපාකයත් පරලොවත් යන මේවා ගැන සැදැහැයෙන් තෙමේ පැවිදි වීමි.
3225. කැමති දෑ ලැබගැනුමේ කැමැත්තෙන් ද භයින් ද ද්වේෂයෙන් ද පැවිද්දෝ බොරු බස් නො කියත්. විචාරන ලද්දේ මට මේ කරුණ කියනු මැනවි. එය අසා මාගේ ප්‍රසාදය හටගන්නේ ය.
3226. මහරජ, වෙළඳාම පිණිස යන්නා වූ මම මහාමාර්‍ගයෙහි අතිශයින් වැඩුණා වූ ශරීරයක් ඇති මහානාගයකු තඩලාගෙන සතුටු සිතින් යන්නා වූ වැදි පුත්‍රයන් දුටුවෙමි.
3227. මහරජ, ඒ මම ඔවුන් හා එක්වූයෙමි. අතිශයින් ලොමු දහගත්තෙම් බිය වූයෙම් මෙසේ කීමි. වැදි පුත්‍රවරුනි, බිහිසුණු ශරීරයක් ඇති මේ නාගයා කොහි ගෙනයනු ලබයි ද? නාගයාගෙන් කවරක් කරන්නහු දැ යි ඇසීමි.
3228. විශේෂයෙන් වැඩුණු ශරීරයක් ඇති බඩගා යන්නා වූ මේ මහානාග තෙම භෝජනය පිණිස ගෙනයනු ලබයි. වේදේහ පුත්‍රය, මොහුගේ මාංශය මිහිරි ද මහත් ද මෘදු ද වන්නේ ය. නුඹ ඒ රසය නොදන්නෙහි ය.
3229. අපි මෙයින් සිය ගෙදරට ගොස් ආයුධ ගෙන කඩ කඩ කොට කපා සතුටු සිත් ඇත්තෝ ව මස් අනුභව කරන්නෙමු. අපි වනාහි ඒකාන්තයෙන් ම සර්‍පයන්ගේ සතුරෝ වෙමු.
3230. විශේෂයෙන් වැඩුණා වූ ශරීර ඇති බඩගා යන්නා වූ මේ මහානාගයා ඉදින් භෝජනය පිණිස ගෙනයනු ලබන්නේ නම් මම තොපට ගවයන් සොළසක් දෙමි. මේ නාගයා බැම්මෙන් මුදනු මැනවි.
3231. ඒකාන්තයෙන් ම මේ තෙම අපගේ සිත් පිනවන්නා වූ ආහාරය වේ. අප විසින් බොහෝ නාගයෝ කන ලද්දෝ ය. විදේහ පුත්‍ර වූ ආළාරය, නුඹගේ ඒ වචනය කරමු. නුඹ අපගේ මිත්‍රයා ද වෙහි ය.
3232. මහරජ, එකල්හි නාසයෙන් විද ගසන ලද යම් බන්‍ධනයෝ වූවාහු නම් ඔවුහු ඒ බන්‍ධනවලින් නාගයා මුදා හැරියාහ. බැඳුම්වලින් මිදුණු නාගරාජ තෙමේ නැගෙනහිරට අභිමුඛ ව මොහොතක් ගියේ ය.
3233. පෙරදිගට අභිමුඛව මොහොතක් කල් ගොස් කඳුළු පිරුණු නෙත් වලින් මා දෙස බැලුවේ ය. මම දසැඟිලි එකට තබා ඇඳිලි බැඳ (නයාගේ) පිටු පසින් ගියෙමි.
3234. නුඹ ඉක්මන් කොට යව, නැවත සතුරෝ නො අල්වා ගනිත්වා නැවත වැද්දන් හා එක්වීම යම් හෙයෙකින් දුක් වන්නේ ද, එහෙයින් වැදි පුත්‍රයන්ගේ නො දැක්මට (වැදි පුත්‍රයන්ට දැකිය නොහැකි තැනකට) යව.
3235. වෙසෙසින් පහන් වූ නිල් පැහැයෙන් යුතු සිත්කලු වූ මනා කොට ඇති දඹගස්වලින් හා හොමුවගවලින් ගැවසී ගත්තා වූ විලට තුටුසිත් ඇති එතෙර කළ බිය ඇති ඒ නාගරාජයා ගියේ ය.
3236. මහරජ, ඒ නාග තෙම විලට ඇතුළු වී නොබෝ වෙලාවකින් දිව්‍ය වේශයෙන් මා ඉදිරියෙහි පහළ විය. පියකු ඉදිරියෙහි පුත්‍රයකු මෙන් හෘදයංගම වූ කනට සුව ගෙන දෙන්නා වූ මිහිරි වචන බෙණෙමින් මා වෙත එළඹියේ ය.
3237. පින්වත් ආළාරය, නුඹ මගේ මව ද වෙහි. පියා ද වෙහි ය. අභ්‍යන්තර වූ ප්‍රාණ දානය කරන යහළුවා ද වෙහි ය. සිය ඍද්ධිය ද නැවත ලබා දෙන ලද්දෙම් වෙමි. ආළාරය, බොහෝ කෑයුතු දෑ ඇති ආහාර පානයෙන් නො අඩු ශක්‍රයාගේ දිව්‍ය පුරය වැනි මාගේ නිවාස ස්ථානයන් බලවයි, නාගරාජ තෙම කීයේ ය.
3238. මහරජ, යම් තැනෙක්හි පැමිණියවුන්ගේ ශෝකය දුරු කෙරේ ද ඒ නාග භවනයෙහි බිම වනාහි කැට කැබලිති රහිත වූ මෘදු වූ රන් රිදී මැණික්මය වූ සත්රුවන් වැලියෙන් යුත් ඉඳු ගොව්වන්ගේ පිට සමාන වර්‍ණ ඇති නීච තෘණයෙන් ගැවසී ගත් පසින් තොර වූවකි. නාගවිමානය ඒ බිම් කොටසින් යුතු ය.
3239. එහි සමව පිහිටියා වූ භූමිය වේ. වෛඩූර්‍ය්‍ය බඳු නිල් පැහැ ඇති පොකුණක් වේ. එහි සිව් දිග්හි ඉතා රම්‍ය වූ අඹ වනය වේ. එහි පැසුණා වූ ද තරුණ වූ ද ඵල හට ගත් අඹගස් වේ. ඒ අඹ ගස් හැම ඍතුයෙහි ම මල් ඵල දරන්නේ ය.
3240. නරදේව වූ රජුනි, ඒ වනමැද බබළන්නා වූ රිදීමය දොර කවුළු ඇති ස්වර්‍ණමය මහාප්‍රාසාදය අහස්හි විදුලිය සේ බබළන්නේ ය.
3241. මහරජ, එහි මිණිමුවා වූ ද රන්මුවා වූ ද නොයෙක් විසිතුරු සැරසිල්ලෙන් ගැවසීගත්තා වූ නිතරම මනාකොට නිර්‍මාණය කරන ලද්දා වූ කුළු ගෙවල් හා ගබඩා ගෙවල් ඇත. ස්වර්‍ණමය වළලු දරන්නා වූ අලංකෘත නාගකන්‍යාවන්ගෙන් සම්පූර්‍ණ ය.
3242. ඒ සංඛපාල තෙම අතුල්‍ය වර්‍ණ ඇත්තේ ඉක්මන් ස්වභාව ඇත්තේ දහසක් කණු ඇති නො සම වූ අනුභාව ඇති පහයට නැඟ යම් තැනෙක්හි ඔහුගේ භාර්‍ය්‍යාව වූවා ද, මා අතින් ගෙන එහි පැමිණ වූයේ ය.
3243. එකල්හි නො මෙහෙයන ලද එක් ස්ත්‍රියක් ඉක්මන් ස්වභාව ඇත්තී මාහැඟි ජාතිමත් මැණික් වලින් යුත් වෛඩූර්‍ය්‍යමය වූ යහපත් මැණික් ආසනයක් එළවූහ.
3244. ඉක්බිති නාග තෙමේ මා අත ගෙන ඉදිරි අසුනෙහි හිඳුවී. ‘මේ ආසනයයි’ පින්වත් තෙමේ මෙහි ඉඳ ගනීවා, පින්වත් තෙමේ මගේ මවුපියන් අතුරෙන් කෙනෙකි’ යි කීයේ ය.
3245. මහරජ, අන් ස්ත්‍රියක් ඉක්මන් ස්වභාව ඇත්තී දිය ගෙන මා වෙත එළඹ ප්‍රිය ස්වාමිපුරුෂයක්හුගේ පා දොවනා භාර්‍ය්‍යාවක මෙන් මගේ පා සේදුවා ය.
3246. තවත් ස්ත්‍රියක් ඉක්මන් ස්වභාව ඇත්තී ස්වර්‍ණමය තලියකින් නොයෙක් සූප ව්‍යඤ්ජනයෙන් යුත් මනෝඥ වූ බත් එළවූවා ය.
3247. භාරත දේශාධිපති වූ රජුනි, ආහාර අනුභවකළා වූ මට ඒ දිව්‍ය කන්‍යාවෝ ස්වාමිපුරුෂයාගේ සිත දැනගෙන නොයෙක් තූර්‍ය්‍ය වාද්‍යයෙන් උපස්ථාන කළාහු ය. ඉන්පසු නාරජ තෙම මහත් වූ දිව්‍යමය කාමසම්පත්තියෙන් යුක්ත ව මා වෙතට පැමිණියේ ය.
3248. පින්වත් ආළාරය, මාගේ මේ තුන්සියයක් භාර්‍ය්‍යයාවෝ සියල්ලෝ තනුමධ්‍ය ප්‍රදේශ ඇත්තාහ. පියුම් බඳු වර්‍ණ ඇති සමින් යුක්තයහ. ආළාරය, මේ ස්ත්‍රීන් කෙරෙහි තොපට කැමැත්තක් කරව. තොපට දෙමි. ඒ ස්ත්‍රීන් තොපගේ පාදපරිචාරිකාවන් කරගනුව.
3249. මහරජ, වර්‍ෂයක් දිව්‍ය පංචකාමරසයන් අනුභව කොට ඒ නාරජුට මෙසේ කීමි. නාගයාගේ මේ සම්පත් කිනම් කර්‍මයක් කොට කෙසේ ලබන ලද්දේ ද? මේ ශ්‍රේෂ්ඨ වූ විමානය කෙසේ ලබන ලද්දේ ද?
3250. නාග රාජය, නුඹ විසින් මේ විමානය හේතුවක් නැතිව ලබන ලද්දේ ද? යම් කිසිවකු විසින් පිරිනමන ලද්දක් ද? තමා විසින් කරන ලද්දක් ද? නැතහොත් දෙවියන් විසින් දෙන ලද්දක් ද? නාග රාජය, මේ කාරණය නුඹ අතින් විචාරමි.
3251. මෙය හේතුවක් නැති ව ලබන ලද්දක් නො වේ. යම් කිසිවකු විසින් මට පිරිනමන ලද්දක් ද නො වේ. තමන් විසින් කරන ලද්දක් ද නො වේ. දෙවියන් විසිනුදු දෙන ලද්දක් නො වේ. අලාමක වූ සිය කුශල කර්‍මයන්ගෙන් මේ විමානය මා විසින් ලබන ලදී.
3252. නුඹගේ ව්‍රතය කුමක් ද? කවර බ්‍රහ්මචර්‍ය්‍යයක් රැක්කෙහි ද? මනාව පුරුදු කරන ලද කිනම් කර්‍මයක්හුගේ මේ විපාක ද? නාග රාජය මේ කාරණය මට කියනු මැනවි. මේ විමානය නුඹ විසින් කෙසේ නම් ලබන ලද්දේ ද?
3253. ආළාරය, මම මගධේශ්වර වූ දුර්‍ය්‍යෝධන නම් මහානුභාව සම්පන්න රජෙක් වීමි. ඒ මම ජීවිතය ස්වල්පය බොහෝ කල් නො පවත්නේ ය. පෙරළෙන ස්වභාවයට පත් වන්නේ යයි මනාව දැන-
3254. පහන් සිත් ඇත්තෙම් මහත් වූ ආහාර පාන සකසා දුන්නෙමි. එකල්හි මාගේ ගෙදොර පැන් පොකුණක් බඳු විය. මහණ බමුණෝ මා විසින් සන්තර්‍පණය කරන ලද්දෝ ය.
3255. එහි දී මල් ගඳ විලවුන් ද පහන් සහ යානයන් ද ගෙවල් සහ වස්ත්‍ර ද සයනාසන සහ ආහාර පාන ද සකස් කොට දන් දුනිමි.
3256. එය මාගේ ව්‍රත සමාදානය වේ. එය මාගේ බ්‍රහ්මචර්‍ය්‍යය වේ. මනාව පුරුදු කරන ලද ඒ කර්‍මයාගේ මේ විපාක යි. එයින් ම බොහෝ කෑයුතු දෙයත් බොහෝ ආහාර පානත් නෘත්‍ය ගීතයන් ගෙන් යුත් චිරස්ථායී මේ විමානයත් මා විසින් ලබන ලද. මෙය ද සදාතන නො වේ යයි නාරජ කීයේ ය.
3257. දළ ම ආයුධ කොට ඇති නාගරාජය, මද අනුභාවයක් ඇත්තා වූ තේජස් විරහිත ඒ වැදි පුත්‍රයෝ මහත් අනුභාව ඇති මහත් තේජස් ඇති නුඹට කුමක් හෙයින් හිංසා කළාහු ද? කුමක් හෙයින් වැද්දන්ගේ අතට අසුවූයෙහි ද?
3258. දළ ආයුධ කොට ඇති නාගරාජය, කිම ඔවුහු නුඹගේ තේජස් දැක බිය නො වූහු ද? නුඹගේ විෂ දත්මුල් අනුව නො ගියේ ද? කුමක් නිසා වණිබ්බකයන්ගෙන් වෙහෙසට පත්වීදැයි? ඇසීය.
3259. මාගේ මහත් තේජස දැක ඔවුහු බිය නො වූහ. මාගේ තේජස ඔවුන් විසින් නසන්නට නො පිළිවන. එහෙත් බුද්ධාදි සත්පුරුෂයන් විසින් මනාකොට ප්‍රකාශ කරන ලද්දා වූ ධර්‍මයෝ මා විසින් මුහුදු වෙරළ මෙන් නො ඉක්මවාලිය හැක්කාහු වෙති.
3260. ආළාරය, තුදුස්වක්හි ද, පසළොස්වක්හි ද නිතර පෙහෙ වස් සමාදන්ව වසමි. එවිට වැදිපුත්‍රයෝ සොළොස් දෙනෙක් දැඩි මළපුඩුවක් හා රැහැනක් ගෙන එහි එළඹුණාහ.
3261. ඒ වැදිපුත්‍රයෝ මාගේ නාසය විද රැහැනකින් බැඳ මා තඩැ ලාගෙන ගියාහු ය. මා සමාදන්ව ගත් පෙහෙවස කෝපනය නො කරමින් මම මෙතරම් දුකක් ඉවසුවෙමි.
3262. බලයෙන් ද වර්‍ණයෙන් ද යුත් තොප එකපදික මාර්‍ගයෙහි දී ඒ වැද්දෝ දුටුවෝ ය. තෙපි වනාහි ඓශ්වර්‍ය්‍යයෙන් හා ප්‍රඥායෙන් වැඩුණහුය. නාගය, එසේ තිබියදී කුමක් බලාපොරොත්තුවෙන් තපස් කරහු ද? යි ඇසුවේ ය.
3263. ආළාරය, පුත්‍රයන් හේතුකොට ගෙන නොවේ. ධනය හේතුකොට ගෙන ද නොවේ. ආයුෂ හේතු කොට ගෙන ද නොවේ. මිනිස් උපත පතන්නෙමි. එහෙයින් උත්සාහ දරා තපස් රකිමි යි කීයේ ය.
3264. නාගරාජය, නුඹ ලේවන් ඇස් ඇත්තෙහි ය. නට අන්තරංස (පෙළුණු පපුවක්) ඇත්තෙහි ය. අලංකාර වූයෙහි කපන ලද කෙස් රවුළු ඇත්තෙහි ය. රත් සඳුන් විලවුන් ගල්වන ලද්දෙහි ගන්‍ධර්‍වරාජයා මෙන් දිශාවන් බබුළුවහි.
3265. සියලු කාමසම්පත්තීන් යුක්ත වූවෙහි ය. මහත් අනුභාව ඇත්තෙහි දිව්‍යමය ඍද්ධියට පැමිණියේ වෙහි ය. නාග රාජය, නුඹ අතින් මේ කරුණ විචාරමි. මේ නාගභවනයට වඩා මනුෂ්‍යලෝකය ශ්‍රේෂ්ඨ වන්නේ කවර කරුණකින් ද?
3266. ආළාරය, මාර්‍ග ඵල නිර්‍වාණ සංඛ්‍යාත ශුද්ධිය හෝ ශීල සංයමය හෝ මිනිස් ලොවින් වෙන්ව විද්‍යමාන නො වන්නේ ය. මම ද මිනිස් උපත ලැබ ජාති මරණයන්ගේ අවසානය කරන්නෙමි.
3267. නුඹ සමීපයෙහි මම වර්‍ෂයක් විසීමි. ආහාර පානයෙන් මම උපස්ථාන ලද්දෙම් ද වෙමි. නාගය, නුඹට කියා යමි. නාග රාජය, මම බොහෝ කලක් වාසය කෙළෙමි යි කීයේ ය.
3268. ආළාරය, මාගේ පුත්‍රයෝ ද අඹුවෝ ද අනුව ජීවත් වන්නෝ ද නිතර අනුශාසනා කරන ලද්දාහු නුඹට උපස්ථාන කිරීමට පැමිණ සිටින්නාහ. කිම, ඔවුනතර කිසිවෙක් නුඹට අසතුටක් කෙළේ ද? නුඹගේ දැක්ම මට ප්‍රිය යයි නාරජ කීයේ ය.
3269. මවුපියන්ගේ ගෙහි පුත්‍රයෙක් යම්සේ පෝෂණය කරන ලද්දේ වාසය කෙරේ ද, එයටත් වඩා මට මෙහි ම ශ්‍රේෂ්ඨය. නාගය, තොපගේ සිත යම් හෙයෙකින් මා කෙරෙහි ප්‍රසන්න ද එහෙයිනි.
3270. යහළු ආළාරය, ධනය ලැබ ගන්නට පිළිවන් වන්නාවූ ලෝහිතංක නම් මාණික්‍යයක් මාගේ ඇත. ඒ මහත් වූ මාණික්‍යය ගෙන සිය නිවසට යව. එයින් ධනය ලබාගෙන මා වෙතට ම පමුණුවනු මැනවි.
3271. මහරජ, මා විසින් මිනිසුන් අයත් වූ ද දෙවියන් අයත් වූ ද කාමසම්පත්තීහු දක්නා ලද්දාහ. ඒ කාමයෝ අශාස්වතයහ. පෙරළෙන ස්වභාව ඇත්තෝ ය. කාමසම්පත්හි ආදීනව දැක මම සැදැහැයෙන් පැවිදි වූයෙමි.
3272. මහරජ, ගස්වල පැසුණු නො පැසුණු ගෙඩි මෙන් ළදරු වූ ද තරුණ වූ ද මහලු වූ ද යන සියල්ලෝ ම ශරීර භේදයෙන් වැටෙන්නාහ. මෙය ද දැක පැවිදි වීමි. නෛර්‍ය්‍යාණික වූ මහණකම වනාහි ශ්‍රේෂ්ඨ වේ.
3273. ආළාර නම් තාපසය, යම් කෙනෙක් බොහෝ ඇසූ පිරූ තැන් ඇත්තාහු බොහෝ කරුණු සිතන්නෝ වෙද් ද, නුවණැති ඔවුහු ඒකාන්තයෙන් ම සේවනය කළ යුත්තෝ වෙති යි රජ තෙම කීයේ ය.
3274. යම් කෙනෙක් බොහෝ ඇසූ පිරූ තැන් ඇත්තාහු බොහෝ කරුණු සිතන්නෝ වෙද්ද, නුවණැති ඔවුහු ඒකාන්තයෙන් ම සේවනය කළ යුත්තෝ වෙති. මහරජ, සංඛපාල නාගයා ගැන ද මා ගැන ද අසා බොහෝ පින් කරවයි තාපස තෙම අවවාද කෙළේ ය.
සංඛපාල ජාතක යි.
5. චුල්ලසුතසෝම ජාතකය
3275. නියම් ගම් වැසි ජනයා ද මිත්‍රාමාත්‍යයන් ද පිරිස් වැසියන් ද අමතා දන්වමි. හිසෙහි පැසුණු කෙසක් හටගත්තේ ය. දැන් මම පැවිද්ද කැමැත්තෙමි’ යි සුතසෝම නම් රජ ප්‍රකාශ කෙළේ ය.
3276. දේවයන් වහන්ස, කෙසේ නම් මට අවැඩක් කියන්නෙහිද? මාගේ ළයෙහි අනින ලද හුලක් මෙන් කෙළෙහි ය. තමුන්නාන්සේගේ සත්සියයක් භාර්‍ය්‍යාවෝ වෙත්. තමුන්නාන්සේ පැවිදි වූ කල්හි ඒ භාර්‍ය්‍යාවරු කෙසේ ජීවත් වන්නාහු දැ? (යි ඔවුනතුරෙන් එකෙක් ඇසීය.)
3277. මේ තරුණ භාර්‍ය්‍යාවරු තම තමන්ගේ කටයුතුවලින් ප්‍රකටවන්නාහ. ඔවුහු අන් සැමියකු වෙත ද යන්නාහ. මම ස්වර්‍ගය පතන්නෙම් ද වෙමි. එහෙයින් මම පැවිදි වෙමි.
3278. දේවයන් වහන්ස, යම් හෙයෙකින් වැලපෙන්නා වූ මා ගැන අපේක්‍ෂා රහිත වූයේ නුඹ පැවිදි වෙහි නම්, සුතසෝමය, මම යම්බඳු තොපගේ මව් වීම් ද, එය මා නපුරු කොට ලැබුවකි.
3279. දේවයෙනි, යම් හෙයෙකින් වැලපෙන්නා වූ මා ගැන අපේක්‍ෂා රහිත වූයේ නුඹ පැවිදි වෙහි නම් සුතසෝමය, මම යම්බඳු වූ තොප ප්‍රසූත කෙළෙම් ද, මෙය මා විසින් නපුරු කොට ලබන ලද්දක් වී යයි මව කීවාය.
3280. දේවයෙනි, යම් හෙයකින් ජරාජීර්‍ණ වූ අප ගැන අපේක්‍ෂා රහිත වූයේ නුඹ පැවිදි වෙහි නම්, සුතසෝමය, එය කිනම් පැවිද්දක් ද? මෙය කවර නම් ධර්‍මයක්දැ? යි පිය තෙමේ ඇසුවේ ය.
3281. තොපගේ බොහෝ පුත්‍රයෝ ද නො පැමිණි යොවුන් වයස් ඇති ළදරුවෝ ය. මිහිරි වදන් බෙණෙන්නා වූ ඔවුහු තා නොදක්නෝ දුකට පත් වෙතැයි හඟිමි.
3282. යොවුන් වියට නො පැමිණි මිහිරි වදන් බෙණෙන මේ ළදරු පුත්‍රයන්ගෙන් පමණක් නොව තොප සියලු දෙනාගෙන් ද, බොහෝ කලක් වාසය කොට ද වෙන් වන්නට සිදුවේ. එය නො වැළැක්විය හැක්කකියි බෝසත් තෙම කීය.
3283. දේවයන් වහන්ස, යම් හෙයකින් අප අඬද්දී අපේක්‍ෂා රහිතව පැවිදි වෙහි ද? එහෙයින් නුඹ වහන්සේගේ හෘදය සිදුරු වී ද? වැන්දඹු තත්‍වයට වැටෙන අප කෙරෙහි කරුණාවක් නැද්ද? යි භාර්‍ය්‍යාවක් ඇසුවා ය.
3284. මගේ හෘදය සිදුරු නොවීය. තොප කෙරෙහි මාගේ කරුණාව ද ඇත්තේ ය. ස්වර්‍ග සම්පත්තිය ද පතන්නෙම් වෙමි. එහෙයින් මම පැවිදි වන්නෙමි.
3285. දේවයෙනි, යම් හෙයකින් වැලපෙන්නා වූ මා ගැන අපේක්‍ෂා රහිත වූයේ පැවිදි වෙහි ද? සුතසෝමය, මම යම්බඳු වූ තොපගේ භාර්‍ය්‍යා වෙම් ද එහෙයින් එය මා නපුරු කොට ලබන ලද්දක් විය.
3286. දේවයෙනි, යම් හෙයකින් මගේ කුස පිළිසිඳ ගැන්ම ගැන අපේක්‍ෂා රහිත වූයේ නුඹ පැවිදි වෙහි ද සුතසෝමය, මම යම්බඳු තොපගේ භාර්‍ය්‍යා වෙම් ද එහෙයින් එය මා නපුරු කොට ලබන ලද්දක් විය.
3287. මාගේ දරු ගර්‍භය මුහුකුරා ගියේ ය. කුස හොත් දරුවා යම්තාක් වදම් ද ඒ තාක් ඉවසුව මැනැවි. එකලා වූ මම වැන්දඹු නො කෙරේවා, පසුව දුක් දකිමියි අග මෙහෙසිය කීවාය.
3288. තීගේ දරු ගර්‍භය මුහුකුරා ගියේ යැයි දනිමි. එබැවින් තී පුත්‍රයකු ප්‍රසූත කරව අලාමක වර්‍ණ ඇති පුත්‍රයා ද තී ද හැර මම පැවිදි වන්නෙමි’ යි බෝසත් තෙම කීයේ ය.
3289. සොඳුර චන්‍ද්‍රා දේවිය, නො අඬව. ගිනිහිරි මල් බඳු ඇස් ඇත්තිය. නො හඬව. උතුම් ප්‍රාසාදයට නගුව. මම අපේක්‍ෂා විරහිතව යන්නෙමි යි කීයේ ය.
3290. මෑණියෙනි, කවරෙක් නුඹ කෝප කෙළේ ද? කුමක් හෙයින් හඬන්නෙහි ද? කුමක් නිසා මා දෙස ද දැඩිව බලන්නෙහි ද? වධ නො කටයුත්තකු වුවත් ඤාතීන් බලා සිටියදී ම නසමි. මට මේ කරුණ පහදා දෙව යි වැඩිමහලු පුත්‍ර තෙම ඇසීය.
3291. පුත්‍රය, යමෙක් මා කෝප කෙළේ ද? හෙතෙමේ ලබන ලද ජය ඇත්තා වූ තොපගේ පියා වන්නේ ය. හෙතෙමේ නසන්නට නො හැකිය. පුත්‍රය, තොපගේ පියා මම අපේක්‍ෂා රහිතව යන්නෙමියි මට කීයේ ය.
3292. යම්බඳු මම පෙර රියට නැඟ උයනට ගියෙම් ද, මදැ තුන්හට ද පහර දුනිම් ද? මා පිය සුතසෝමරජ පැවිදි වූ කල්හි දැන් මම ඒවා කෙසේ කරම් දැයි වැඩිමහලු පුත්‍රයා ප්‍රශ්න කෙළේ ය.
3293. පියාණෙනි, මාගේ මව හඬද්දී වැඩිමහල් සහෝදරයාගේ ද නො කැමැත්ත තිබියදී පැවිදි වෙහි ද? නුඹ වහන්සේගේ අත් දෙක ද අල්ලා ගන්නෙමි. අප අකමැතිව සිටියදී නො යන්නෙහි යැයි බාල පුත්‍රයා ප්‍රකාශ කළේ ය.
3294. එම්බා කිරිමව, තී නැගිටුව මේ කුමරා අන් තැනක සිත් අලවව. ස්වර්‍ගය පතන්නා වූ මට උවදුරු නො කරව.
3295. මේ දිලිසෙන්නා වූ මැණික ආපසු දෙන්නෙම් නම් යහපති. මට මෙයින් කවර ප්‍රයෝජන ද? සුතසෝම රජු පැවිදි වූ කල්හි මේ මැණික ගෙන මම කුමක් කරන්නෙම් දැ යි කිරිමව වැලපුණාය.
3296. දේවයන් වහන්ස, භාණ්ඩාගාරය ද මහත් වේ. නුඹගේ කෝෂ්ඨාගාරය ද පිරී ගොස් ය. නුඹ විසින් පෘථිවිය ද දිනන ලද්දීය. සිත් අලවා වාසය කරව. පැවිදි නො වනු මැනැවැයි මහඇමති තෙම කීයේ ය.
3297. මාගේ භාණ්ඩාගාරය ද මහත් ය. මාගේ කෝෂ්ඨාගාරය ද පිරී ගොස් ය. මා විසින් පෘථිවිය ද දිනන ලද්දී ය. ඒ සියල්ල හැරදමා පැවිදි වෙමියි බෝසත් තෙම කීයේ ය.
3298. දේවයන් වහන්ස, මාගේ ධනය ද බොහෝ ය. ගණින්නට ද නො හැකියි. ඒ සියල්ල ම නුඹ වහන්සේට දෙමි. සිත් අලවා මෙහි ම වාසය කරනු මැනවි. පැවිදි නො වනු මැනැවැයි කුලවඩ්ඪන නම් සිටු තෙම කීයේ ය.
3299. කුලවඩ්ඪන සිටාණෙනි, තාගේ ධනය බොහෝ බව දනිමි. තා විසින් ද මම පුදන ලද්දෙම් වෙමි. ස්වර්‍ග සම්පත්ති ද පතන්නෙම් වෙමි. එහෙයින් මම පැවිදි වන්නෙමියි බෝසත් තෙම කීයේ ය.
3300. සෝමදත්ත කුමාරය, මම දැඩිසේ කලකිරුණෙම් වෙමි. නො ඇල්ම මා කෙරෙහි ආවේශ වෙයි. යම් හෙයකින් අන්තරායයෝ බොහෝ වෙද් ද, එබැවින් අද ම මම පැවිදි වන්නෙමියි සෝමදත්ත කුමරුහට රජය පාවා දෙමින් සුතසෝම බෝසත් තෙමේ ප්‍රකාශ කළේ ය.
3301. සුතසොමයන් වහන්ස, අද ම පැවිදි වන්නෙමි යි යන මෙය නුඹ විසින් කැමති වන ලද්දක් ද? නුඹ වහන්සේ අද ම පැවිදි වනු මැනවි. මම ද පැවිදි වන්නෙමි. තොප හැර ගිහිගෙයි සිටින්නට මම උත්සාහ නො කරමියි සෝමදත්ත නම් සහෝදරයා කීයේ ය.
3302. සුතසෝම රජු පැවිදි වූ කල්හි දැන් අපි කුමක් කරන්නෙමු දැයි කියා නගරයෙහි ද ජනපදයෙහි ද දැනටමත් ශෝකයෙන් ආහාර නො පිසත්. (අප දෙදෙනා ම පැවිදි වූ කල්හි රටවැසියෝ අනාථයෝ වන්නාහ). එබැවින් නුඹට පැවිදි වන්නට නුපුළුවන් යයි සුතසෝම තෙම කීයේ ය.
3303. මේ ජීවිතය රදවුන්ගේ අළුපෙරහනෙහි ස්වල්ප වූ ජලයක් මෙන් වහා මැඩ පැවැත්වෙන්නේයයි දනිමි. මෙසේ ස්වල්ප වූ ජීවිත කාලයෙහි ද පමා වන්නට කාලයක් නැත්තේය.
3304. මේ ජීවිතය රජකයන්ගේ අළුපෙරහනෙහි ස්වල්ප වූ දියත්තක් මෙන් වහා මැඩ පැවැත්වෙන්නේයයි දනිමි. මෙසේ ස්වල්ප වූ ජීවිත කාලයෙහි ද අඥානයෝ පමා වන්නාහ.
3305. තෘෂ්ණා බන්‍ධනයෙන් බැඳුණා වූ ඔවුහු නරකය තිරිසන් යෝනිය - ප්‍රේත විෂය - අසුරකාය යන සිවු අපාය දියුණු කරත්.
3306. අපගේ මහත් යශස් ඇති ධර්‍ම රාජන් වූ රජුගේ කේශයෝ සිඳින ලද්දාහයි හඟිමි. පුප්ඵ නම් ප්‍රාසාදයට නුදුරු තන්හි රජස් උස්ව නැගේ යැයි මහජනයා හඬමින් කීයේ ය.
3307. අන්තඃපුර ස්ත්‍රීන් විසින් පිරිවරන ලද්දා වූ රජ තෙම යම් ප්‍රාසාදයන්හි හැසුරුණේ ද, මනා වර්‍ණ ඇති මලින් හා නොයෙක් මල් මාලාවන් ගෙන් ද ගැවසීගත්තා වූ මෙය වනාහි උන්වහන්සේගේ ඒ ප්‍රාසාද යයි.
3308. නෑ සමූහයා විසින් පිරිවරන ලද්දා වූ රජතෙම යම් ප්‍රාසාදයෙක්හි හැසුරුණේ ද මනා වර්‍ණ ඇති මලින් හා මල්මාලාවන්ගෙන් ද ගැවසීගත්තා වූ මෙය වනාහි උන්වහන්සේගේ ඒ ප්‍රාසාද යයි.
3309. අන්තඃපුර ස්ත්‍රීන් විසින් පිරිවරන ලද්දා වූ රජ තෙම යම් කූටාගාරයෙක්හි හැසුරුණේ ද, මනා වර්‍ණ ඇති මලින් හා මල්මාලාවන්ගෙන් ද ගැවසීගත්තා වූ මෙය වනාහි උන්වහන්සේගේ කූටාගාර යයි.
3310. නෑ සමූහයා විසින් පිරිවරන ලද්දා වූ රජ තෙම යම් කූටාගාරයෙක්හි හැසුරුණේ ද මනා වර්‍ණ ඇති මලින් හා මල් මාලාවන්ගෙන් යුක්ත වූ මෙය වනාහි උන්වහන්සේගේ ඒ කූටාගාරය යි.
3311. අන්තඃපුර ස්ත්‍රීන් විසින් පිරිවරන ලද්දා වූ රජ තෙම යම් උයනෙක්හි හැසුරුණේ ද මෙය වනාහි උන්වහන්සේගේ සෑම කල්හි මනාව පිපියා වූ සිත්කලු ඒ අශෝක වනයයි.
3312. නෑ සමූහයා විසින් පිරිවරන ලද්දා වූ රජ තෙම යම් උයනෙක්හි හැසිරුණේ ද මේ වනාහි උන්වහන්සේගේ සෑම කල්හි පිපියා වූ ඒ සිත්කලු අශෝක වනය යි.
3313. අන්තඃපුර ස්ත්‍රීන් විසින් පිරිවරන ලද රජ තෙම යම් උයනෙක්හි හැසිරුණේ ද? මෙය වනාහි සියලු කල්හි මනාව පිපියා වූ උන්වහන්සේගේ ඒ සිත්කලු උයනය.
3314. නෑ සමූහයා විසින් පිරිවරන ලද්දා වූ රජ තෙම යම් උයනෙක්හි හැසිරුණේ ද මෙය වනාහි සියලු කල්හි මනාව පිපියා වූ උන්වහන්සේගේ ඒ උයන යි.