3123. මහරජ, ගම් නියම්ගම් වැස්සන් කෙරෙහි අධික අයබදු ගැනීම් ආදිය නො කොට ධර්‍මයෙහි හැසිරෙව. මහරජ, මෙලොවැ ධර්‍මයෙහි හැසිර ස්වර්‍ගලෝකයට යන්නෙහි ය.
3124. මහරජ, රටවැසියා කෙරෙහි ද දනව් වැසියා කෙරෙහි ද හිතවත් බව එළවීම් සංඛ්‍යාත ධර්‍මයෙහි හැසිරෙව. මහරජ, මෙලොවැ ධර්‍මයෙහි හැසිර ස්වර්‍ගලෝකයට යන්නෙහි ය.
3125. මහරජ, මහණ බමුණන් කෙරෙහි ද සිව්පසය දීමාදී ධර්‍මයෙහි හැසිරෙව. මහරජ, මෙලොව, ධර්‍මයෙහි හැසිර ස්වර්‍ග ලෝකයට යන්නෙහි ය.
3126. ක්‍ෂත්‍රිය මහරජ, මුව පක්‍ෂීන් කෙරෙහි අභය දානය කිරීම් සංඛ්‍යාත ධර්‍මයෙහි හැසිරෙව. මහරජ, මෙලොව ධර්‍මයෙහි හැසිර ස්වර්‍ගලෝකයට යන්නෙහි ය.
3127. මහරජ, කුසල ධර්‍මයෙහි හැසිරෙව. පුරුදු කරන ලද ධර්‍මය තෙම සුව එළවයි. මහරජ, මෙලොවැ, ධර්‍මයෙහි හැසිර ස්වර්‍ගයට යන්නෙහි ය.
3128. මහරජ, කුශල ධර්‍මයෙහි හැසිරෙව. ශක්‍ර බ්‍රහ්මයන් සහිත වූ දෙවියෝ ධර්‍මයෙහි හැසිරීමෙන් දෙව්ලොවට ගියහ. මහරජ, ධර්‍මයෙහි නොපමා වව.
3129. ඒ ප්‍රශ්නයෙහි ම ඒ ව්‍රතපදයෝ ඇතුළත් වෙති. මෝ තොමෝ ම අනුශාසනාව වන්නී ය. නුවණැත්තන් ඇසුරු කරමින් යහපත් ගුණයෙන් යුක්ත ව තෙමේ ම මේ ගුණයන් හොඳින් දැන සමාදන් ව මේ අනුශාසනාවන් නො ඉක්මවා පිළිපදුව යි අවවාද කෙළේ ය.
තෙසකුණ ජාතක යි.
2. සරභඞ්ග ජාතකය
3130. අලංකාර ලෙස සැරසුණු කුණ්ඩලාභරණ පැලැන්දා වූ යහපත් වස්ත්‍ර ඇන්දා වූ වෛඩූර්‍ය්‍ය මැණික්වලින් හා මුතුවලින් ද සරසන ලද මිටි ඇති කඩු බඳිනා ලද රථේශ්වර වූ නුඹ වහන්සේ මෙහි සිටින්නහු ය. නුඹ වහන්සේ කවරහු ද? කෙසේ නම් හඳුනද් ද?
3131. මම අට්ඨක නම් වෙමි. මෙතෙම වනාහි භීමරථ නම් වෙයි. ප්‍රකට ව පෙනෙන මෙතෙමේ කලිඟුරජ ය. අපි මනා සංවර ඇති ඍෂීන් දැකුමටත් සරභංග ශාස්තෘවරයාගෙන් ප්‍රශ්න අසන්නටත් මෙහි පැමිණියෙමු.
3132. අන්තරීක්‍ෂ නම් වූ අහසෙහි පසළොස්වක්හි අහස් මැදට වන් චන්‍ද්‍රයා මෙන් සිටින්නෙහි ය. මහත් අනුභාව ඇති යක්‍ෂය නුඹ විචාරමි. මිනිස් ලොව තා කෙසේ දනිද්ද? කියා ය.
3133. දෙවියන් අතර සුජම්පතී යයි යමකු ගැන කියද්ද, මිනිස් ලොවැ ඔහුට “මඝවා” යි කියත්. ඒ සක්දෙව්රජ වන මම මනා සංවර ඇති ඍෂීන් දැක්මට අද මෙහි පැමිණියෙමි.
3134. ස්වාමීනි, මහත් ඍද්ධි ඇති ඍද්ධි ගුණයෙන් යුත් ඍෂි වරු මෙහි රැස්වූවා යැයි අප විසින් දුරදී ම අසන ලද්දාහ. ස්වාමීනි, මේ මිනිස් ලොව මනුෂ්‍ය ශ්‍රේෂ්ඨ වූ යම් ඍෂිවරයෙක් වෙත් නම් ඔවුන් පැහැදුණා වූ සිතින් මම වඳිමි.
3135. දහසක් නුවණැස් ඇති දිව්‍යරාජය, පැවිදි වූ බොහෝ කල් ඇති තාපසවරුන්ගේ ශරීරයෙන් නික්මෙන ගඳ වාතයෙන් ගෙන යයි. ශක්‍රය, මෙතැනින් ඉවත් වව. ඍෂිවරුන්ගේ ගඳ අපිරිසිදු යැයි තපස තෙම කීයේ ය.
3136. ස්වාමීනි, පැවිදි වූ බොහෝ කල් ඇති ඍෂිවරුන්ගේ කයින් නික්මෙන ගඳ සුළඟින් යේවා. සුවඳැති විසිතුරු මලක් මෙන් ද මල් මාලාවක් මෙන් ද අපි මේ ගඳ කැමැත්තෙමු. මේ ගඳෙහි ලා දෙවියෝ පිළිකුල් සංඥා ඇත්තෝ නො වෙත්.
3137. පෙර දන්දුන් හෙයින් පුරින්‍දද නම් වූ භූතයන් අතර ශ්‍රේෂ්ඨ බැවින් භූතපති නම් වූ පරිවාර සම්පත්තීන් යුත් දෙවියන්ගේ ප්‍රධානයා හෙයින් දේවානමින්‍ද නම් වූ පෙර ජාතියක වශයෙන් මඝ නම් වූ සුජා නම් අසුර කන්‍යාවගේ ස්වාමි බැවින් සුජම්පති නම් වූ දෙවියන්ගේ සිත් අලවන බැවින් දේවරාජ නම්වූ අසුර සමූහයා මඩින්නා වූ ඒ ශක්‍ර තෙම ප්‍රශ්න අසන්නට බලාපොරොත්තු වෙයි.
3138. මෙහි සිටින පණ්ඩිතයන් අතුරෙන් කවරෙක් නම් රජුන් තිදෙනා විසින් ද ශක්‍රයා විසින් ද අසන ලද සියුම් ප්‍රශ්න විසඳන්නේ ද?
3139. පරිවාර සම්පත් ඇති උපන්දා සිට ම මෙවුන්දමින් වැළැකුණු පුරෝහිත බ්‍රාහ්මණයාගේ පුත්‍ර වූ ඉතා කීකරු වූ සරභංග නම් යම් මේ ඍෂිවරයෙක් වේ නම් හෙ මොවුන්ගේ ප්‍රශ්න විසඳන්නේ ය.
3140. කොණ්ඩඤ්ඤ ගෝත්‍ර ඇත්තා වූ ඍෂීන් වහන්ස, ප්‍රශ්න විසඳනු මැනැවි. යහපත් ස්වභාවය ඇති ඍෂිවරු තොප යදිත්, කොණ්ඩඤ්ඤ ගෝත්‍ර ඇති ඍෂිවරයාණන් වහන්ස, නුවණින් වැඩි දියුණු වූ යම් බඳු වෘද්ධයකු වෙතොත් ප්‍රශ්න විසඳීම් භාරය ඔහු අයත් ය යන මෙකරුණ මිනිසුන් කෙරෙහි පවත්නා ස්වභාවයෙකි.
3141. යම් කිසි ප්‍රශ්නයක් සිතින් කැමතිවන ලද ද කරන ලද අවකාශ ඇත්තෝ එය අසත්වා, මෙලොවත් පරලොවත් දැක දැන මම ඒ ඒ ප්‍රශ්න තොපට විසඳන්නෙමි.
3142. ඉක්බිති යහපත දන්නා වූ පුරින්‍ද ද නම් ශක්‍ර තෙම සිත්හි ලා සලකන ලද යම් ප්‍රශ්නයෙක් වී නම් ඒ ප්‍රථම ප්‍රශ්නය ඇසුවේ ය.
3143. කුමක් නසා කිසි කලෙක ශෝක නො කෙරේ ද? ඍෂීහු කවරකුගේ ප්‍රහාණය වර්‍ණනා කරද් ද? මේ ලෝකයෙහි කවරක්හු කියන ලද පරුෂ වචනය ඉවසන්නේ ද? කොණ්ඩඤ්ඤය, ඒ කාරණය මට කියව.
3144. ක්‍රෝධය නසා කිසි කලෙක ශෝක නො කරමි. ගුණමකු ගතිය ප්‍රහාණය කිරීම ඍෂීහු වර්‍ණනා කරත්. සියල්ලන් ම කියන ලද පරුෂ වචනය ඉවසන්නේයැ. සත්පුරුෂයෝ එය උතුම් ක්‍ෂාන්ති යයි කීහු.
3145. කොණ්ඩඤ්ඤතුමනි, සමානයකුගේ හෝ තමනට වඩා ශ්‍රේෂ්ඨයකුගේ හෝ යන දෙදෙනාගේ පරුෂ වචන ඉවසන්නට පිළිවන. නීචයාගේ වචන කෙසේ නම් ඉවසිය හැකි දැ යි යන මේ කරුණ මට ප්‍රකාශ කරනු මැනැවි.
3146. ශ්‍රේෂ්ඨයාගේ වචන බියෙන් ඉවසන්නේ ය. කරණුත්තරිය කරණය හේතුකොට සමානයාගේ වචන ඉවසන්නේ ය. යමෙක් වනාහි හීනයාගේ පරුෂ වචන ඉවසා නම් එය උතුම් ක්‍ෂාන්ති යයි කීහ.
3147. සතර ඉරියව්වෙන් වැසී ගිය ස්වභාවය ඇත්තහු ශ්‍රේෂ්ඨ යයි කියාත් සමාන යයි කියාත් වැළිදු හීනය කියාත් කෙසේ නම් දැන ගන්නේ ද? උතුම් සත්පුරුෂයෝ ද ලාමකයන්ගේ ස්වරූපයෙන් හැසිරෙත්. එහෙයින් ශ්‍රේෂ්ඨ-සමාන-පහත් යන සියල්ලන්ගේ ම පරුෂ වචන ඉවසන්නේ ය.
3148. ඉවසනසුලු සත්පුරුෂ තෙම යම් අර්‍ත්‍ථයක් ලබයි ද, යුද කරන්නා වූ රජුන් සහිත මහසෙනඟ ද මෙබඳු අර්‍ත්‍ථයක් යහපතක් නො ලබන්නේ ය. ඉවසීමේ බලයෙන් වෛරයෝ සන්හිඳෙත්.
3149. නුඹ වහන්සේගේ සුභාෂිතය අනුමෝදන් ව අන් ප්‍රශ්නයක් නුඹ අතින් විචාරමි. එබැවින් එය කියනු මැනවි. දණ්ඩකී නම් රජ ද නාළිකීර නම් රජ ද අර්ජුන නම් රජ ද කලාබු නම් රජ ද යන මොවුහු යම් සේ වූහු නම් අතිශයින් කරන ලද පාප ක්‍රියා ඇත්තා වූ ඔවුන්ගේ පරලොව ගමන ගැන කියනු මැනවි. ඍෂීන්හට වෙහෙස කළා වූ ඔවුහු කොහි උපන්නෝ ද?
3150. දණ්ඩකී නම් රජ තෙම කිසවච්ඡ නම් තාපසයාට අවමන් කොට සපිරිවරින් රටවැසියා සහිත ව සිඳින ලද මුල් ඇත්තේ (ප්‍රතිෂ්ඨාවක් නැතිව) කුක්කුල නම් නරකයෙහි පැසෙයි. ඔහුගේ ශරීරයෙහි සහළගුරු වැටේ.
3151. යම් රජෙක් කිසිවකුට දුෂ්ට චේතනා පහළ නො කළ සන්හිඳුවන ලද පව් ඇති (දසකුශල ධර්‍ම සංඛ්‍යාත) බණ දේශනා කරන්නා වූ සංයත වූ නිරපරාධ වූ පැවිද්දන් වෙහෙසුයේ ද, වැලපෙන්නා වූ ඒ නාලිකීර නම් රජ පරලෙව්හි දී සුනඛයෝ රැස්ව කා දමත්.
3152. තවද අර්ජුන නම් රජ තෙම ඉවසීම් ඇති බොහෝ කල් රක්නා ලද බඹසර ඇති ගෞතම ගොත්‍රයෙහි වූ අංගීරස නම් වූ තාපසයන් හිංසා කොට සත්‍තිසූල නම් නිරයෙහි හිස යටිකුරු ව පා උඩුකුරුව වැටුණේ වෙයි.
3153. යම් රජෙක් ක්‍ෂාන්තිය ප්‍රකාශ කරන්නා වූ නිරපරාධ වූ සන්හිඳුවන ලද පව් ඇති පැවිද්දකු කඩ කඩ කොට සින්දේ ද කලාබු නම් ඒ රජ තෙම භයානක වූ කටුක වූ මහත් දුක් ඇත්තා වූ අවීචියේ ඉපද පැසේ.
3154. ශක්‍රය, නුවණැත්තේ මේ නරකයන් ද මෙයටත් වඩා ලාමක (පාපිෂ්ඨකර) නරකයන් ද අසා දැන මෙහි (මෙලොව) මහණ බමුණන් කෙරෙහි දැහැමින් හැසිරෙන්නේ ය. මෙසේ කරන්නා වූ පුද්ගල තෙම දෙව්ලොවට පැමිණෙන්නේ යයි ප්‍රකාශ කෙළේ ය.
3155. නුඹ වහන්සේගේ සුභාෂිතය අනුමෝදන් ව වෙන ප්‍රශ්නයක් නුඹ වහන්සේ අතින් විචාරමි. එය ද කියනු මැනවි. කෙබඳු වූවහු සිල්වත් යැ යි කියද් ද? කෙබඳු වූවහු නැණවත් යැ යි කියද් ද? කෙබන්දකු සත්පුරුෂ යැ යි කියද් ද? කෙබඳු පුද්ගලයකු සම්පත්ති තොමෝ අත් නො හරී යයි කියද් ද?
3156. යමෙක් මෙලොව කයින් ද වචනයෙන් ද සිතින් ද සංයම වූයේ කියි පාපයක් නො කරයි ද තමා හේතු කොටගෙන පවා බොරුවක් නො කියා ද එබඳු පුද්ගලයා සිල්වතෙකැයි කියත්.
3157. ගැඹුරු වූ ප්‍රශ්න සිතින් සිතමින් යමෙක් අතිශයින් අවැඩදායක රෞද්‍ර කර්‍ම නො කෙරේ ද, සුදුසු කාලයට පැමිණියා වූ අර්‍ත්‍ථපදය හෙවත් යහපත් කටයුත්ත හිස් නො කරයි ද, එබඳු වූවහු ප්‍රඥාවත් පුද්ගල යයි කියත්.
3158. යම් ප්‍රාඥයෙක් කළගුණ දන්නේ කෘතොපකාර සලකන්නේ යහපත් මිතුරන් ඇත්තේ දෘඪ භක්ති ඇත්තේ ද දුකට පැමිණියා වූ තම යහළුවාගේ කටයුත්ත සකස්කොට කෙරේ ද, එබඳු පුද්ගලයා සත්පුරුෂයා යයි කියත්.
3159. මෙකී සියලු ගුණයන්ගෙන් යුත් ශ්‍රද්ධා ඇත්තාවූ මෘදු වචන ඇත්තා වූ ලද දෙය බෙදාගෙන පරිභෝග කරනසුලු වූ යාචකයන්ගේ වචන දන්නා වූ යමෙක් වේ ද, සිව්සඟරා වතින් සංග්‍රහ කරන්නා වූ මිහිරි වචන ඇත්තා වූ සිලුටු වචන ඇත්තා වූ එබඳු පුද්ගලයා සම්පත්ති තොමෝ අත් නොහරී යයි කීයේ ය.
3160. නුඹ වහන්සේගේ සුභාෂිතය අනුමෝදන් ව වෙනත් ප්‍රශ්නයක් නුඹ වහන්සේ අතින් විචාරමි. එබැවින් එය ප්‍රකාශ කරනු මැනවි. ශීලයත් සම්පත්තියත් සත්පුරුෂ ධර්‍මයත් ප්‍රඥාවත් යන මේවා අතුරෙන් කවරක් ඉතා ශ්‍රේෂ්ඨ යයි කියද් ද?
3161. තරු අතුරෙන් චන්‍ද්‍රයා ම ප්‍රධාන වන්නාක් මෙන් නොහොත් සෙසු හැම තරු චන්‍ද්‍රයා ම පිරිවරාගෙන සිටින්නාක් මෙන් කුශලයෝ වනාහි ප්‍රඥාව ශ්‍රේෂ්ඨ කොට ඇත්තෝ ම ය. යම් හෙයකින් ශීලයත් ඓශ්වර්‍ය්‍යයත් සත්පුරුෂ ධර්‍මයත් යන මේ තුන ම ප්‍රඥාවන්තයා පසුපස යන්නාහු වෙද්ද? එහෙයිනි.
3162. නුඹ වහන්සේගේ සුභාෂිතය අනුමෝදන් ව වෙන ප්‍රශ්නයක් නුඹ වහන්සේ අතින් විචාරමි. එබැවින් එය ප්‍රකාශ කරනු මැනවි. කෙසේ කරන්නේ කිනම් කර්‍මයක් කරන්නේ කිමෙකැ හැසිරෙන්නේ කවරකු සේවනය කරන්නේ (මෙලොව) ප්‍රඥාව ලබා ද? දැන් ප්‍රඥාව ලබාගැනීම පිණිස පිළිවෙත ප්‍රකාශ කරනු මැනවි. මනුෂ්‍ය තෙම කෙසේ කරන්නේ නුවණැත්තේ වේ ද?
3163. ප්‍රඥායෙන් වැඩී සිටි, සියුම් කරුණු දැනීමෙහි සමත් බොහෝ ඇසූපිරූතැන් ඇත්තන් සේවනය කරන්නේ ය. ඉගෙන ගන්නේ ප්‍රශ්න විචාරන්නෙක් වන්නේ ය. සුභාෂිතයන් ඉතා සැලකිල්ලෙන් අසන්නේ ය. මෙසේ කරන්නා වූ මනුෂ්‍ය තෙම නුවණැත්තේ වෙයි.
3164. ඒ නුවණැත්තේ පංච කාමයන් අනිත්‍ය වශයෙන් ද, දුක් වශයෙන් ද, රෝග වශයෙන් ද, බලයි. මෙසේ නුවණින් බලන තැනැත්තේ දුක් වූ මහත් බිය එළවන්නා වූ කාමයන් කෙරෙහි ආශාව තදංග ප්‍රහාණ වශයෙන් දුරු කරයි.
3165. ශක්‍රය, තදංග ප්‍රහාණ වශයෙන් කාමයන් ප්‍රහීණ වූ ඒ වීතරාගී පුද්ගල තෙමේ නව ආඝාත වස්තුයෙන් හටගන්නා ද්වේෂය දුරු කොට සියලු සත්‍වයන් කෙරෙහි දඬු බහාතබා අප්‍රමාණ වූ මෛත්‍රී සිත දියුණු කරන්නේ ය. නින්‍දා නො ලබන්නේ බ්‍රහ්ම ලෝකයට උප්පත්ති වශයෙන් එළඹෙයි.
3166. අට්ඨක නම් රජ නුඹගේ ද භීම රථ රජුගේ ද ප්‍රසිද්ධ වූ කලිඟු රජුගේ ද මෙහි පැමිණීම මහත් සමෘද්ධි ඇත්තක් විය. ඔබ සියල්ලන්ගේ ම කාම රාගය තෙම තදංග වශයෙන් ප්‍රහීණ වූයේ යැයි තාපස තෙම කීයේ ය.
3167. පරසිත් දන්නා තාපසයාණන් වහන්ස, එය එසේ ම ය. අප සියල්ලන්ගේ කාමරාගය තදංග වශයෙන් ප්‍රහීණ විය. අපට අනුග්‍රහ පිණිස පැවිදි වීමට අවකාශ කරව. නුඹ වහන්සේගේ නිෂ්පත්තිය යම්සේ ද එබඳු නිෂ්පත්තියට අපි පැමිණෙන්නෙමු යි රජවරු කීහ.
3168. මහරජුනි, එසේ ම ය. තොපගේ කාමරාගය ප්‍රහීණ ය. අනුග්‍රහ කොට පැවිදි වීමට අවකාශ කරමි. මහත් වූ ධ්‍යාන ප්‍රීතියෙන් කය පිනවයි. මාගේ නිෂ්පත්තිය යම්සේ ද එබඳු නිෂ්පත්තියට පැමිණෙමි යි තාපස තෙම කීයේ ය.
3169. මහත් ප්‍රඥා ඇති තාපසයන් වහන්ස, නුඹ වහන්සේ යමක් යමක් කියන්නෙහි ද? නුඹ වහන්සේගේ ඒ සියලු අනුශාසනා පිළිපදිමි. මහත් ධ්‍යාන ප්‍රීතියෙන් කය පිණවමි, නුඹ වහන්සේගේ නිෂ්පත්තිය යම් සේ ද එබඳු නිෂ්පත්තියට පැමිණෙන්නෙමු යි රජවරු කීහ.
3170. පින්වත්නි, කිසවච්ඡ තාපසයන්හට මේ පූජාව කරන ලදී. ඍෂීහු යහපත් ස්වභාව ඇත්තෝ යෙත්වා, හැම කල්හි ධ්‍යානයෙහි ඇලුණාහු එකඟ වූ සිත් ඇත්තාහු වවු. පැවිද්දාහට මේ ඇල්ම ශ්‍රේෂ්ඨ ය.
3171. පණ්ඩිත වූ ඍෂීහු විසින් මනා කොට කියන ලද පරමාර්‍ත්‍ථයෙන් යුත් වූ ගාථාවන් අසා සතුටු වූ පිරිවර ඇත්තා වූ ඒ දෙවියෝ අනුමෝදන් වෙමින් දෙව්ලොවට ගියහ.
3172. පණ්ඩිත වූ ඍෂිවරයා විසින් අර්‍ත්‍ථවත් වූ ද ව්‍යඤ්ජන සම්පත්තියෙන් යුක්ත වූ ද මේ ගාථාවෝ මනා කොට කියන ලද්දාහ. යම් කිසිවෙක් මේ ගාථාවන් අර්‍ත්‍ථ වශයෙන් මෙනෙහි කොට අසන්නේ නම් හේ ප්‍රථම - ද්විතීය ධ්‍යානයන් ලබන්නේ ය. ප්‍රථම ද්විතීය ධ්‍යාන ලබා මෘත්‍යුරාජයාගේ නො දැකීමට ද (නිවනට ද) යන්නේ ය.
3173. එකල්හි සාලිස්සර නම් තාපස තෙම දැන් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේ ය. මෙණ්ඩිස්සර නම් තාපස තෙම කාශ්‍යප තෙරණුවෝ ය. පබ්බත නම් තවුස් තෙම අනුරුද්ධ තෙරුන් වහන්සේ ය. දේවල නම් තවුස් තෙමේ කච්චායන ස්ථවිරයන් වහන්සේ ය.
3174. අනුසිස්ස නම් තවුස් තෙමේ ආනන්‍ද ස්ථවිරයන් වහන්සේ ය. කිසවච්ඡ නම් තවුස් තෙමේ කෝලිත නම් වීය. නාරද නම් තාපස තෙම පුණ්ණමන්තානිපුත්ත තෙරණුවෝ ය. සෙසු පිරිස බුදු පිරිස විය. සරභංග නම් බෝධිසත්‍ව තෙමේ දැන් බුදුවූ ලෝකනාථයන් වහන්සේ යයි ජාතකය මෙසේ දරා ගනිවු යයි වදාළ සේක.
සරභඞ්ග ජාතකය
3. අලම්බුසා ජාතකය
3175. ඉක්බිති වක්ත්‍ර නම් අසුරයා මැඩ පැවැත් වූ ජයප්‍රාප්ත ව දෙවියන්ගේ පිතෘස්ථානයෙහි වැජඹෙන්නා වූ මහත් අනුභාව ඇති ශක්‍ර තෙම සුධර්‍මා නම් දිව්‍ය සභායෙහි පරීක්‍ෂා කොට දැන අලම්බුසා නම් දිව්‍ය කන්‍යාවට මෙය කීයේ ය.
3176. පුරුෂයන් කෙලෙස් මිශ්‍රණයෙන් මිශ්‍ර කරන හෙයින් මිශ්‍රා නම් වූ ඍෂීන් පොලොබවා ලීමෙහි දක්‍ෂ අලම්බුසාවනි, ශක්‍රයා සහිත තව්තිසා වැසි දෙවියෝ ඉසිසිංග තාපසයා පොලොබවීටම තිට යාච්ඤා කෙරෙත්, එහි යව.
3177. එම්බා අලම්බුසාව, ව්‍රත රක්නා බ්‍රහ්මචාරී වූ ඒ ඉසිසිංග තාපසයා ගුණයන්ගෙන් වැඩි සිටියේ නිවන්හි ඇලුණේ ය. මොහු අපගේ විෂය ඉක්මවා යන්නට පෙර ඔහුගේ දෙව්ලොව යන මාර්‍ගයන් ආවරණය කරව.
3178. දිව්‍යරාජයාණෙනි, කිම නුඹ වහන්සේ මේ දෙව්ලොව ඍෂීන් පොලොබවීම පිණිස මාම දක්නෙහි ද? තවත් අප්සරාවෝ ඇත්තාහු නො වෙද්දැ යි අලම්බුසාව ප්‍රශ්න කළා ය.
3179. ශෝක රහිත වූ නන්‍දන වනයෙහි මා වැනි අප්සරාවෝද මට වඩා උතුම් අප්සරාවෝ ද ඇත්තාහ. ඔවුනට මේ ගමන් වාරය වේවා. ඔවුහු ද තවුසා පොලොබවීමට යෙත්වා.
3180. ඒකාන්තයෙන් ම තෝ ඇත්තක් කියව. ශෝක රහිත නන්‍දන වනයෙහි තී හා සමාන වූ ද තිට වඩා උතුම් වූ ද තවත් අප්සරාවෝ ඇත්තාහ.
3181. සියලු අංගයන්ගෙන් හොබනා වූ අලම්බුසාවනි, පුරුෂයකු වෙත ගියා වූ ඒ අප්සරාවරු තී යම් යම්බඳු පාරිචර්‍ය්‍යයක් දන්නී නම්, එය නොදන්නාහ.
3182. යහපත් තැනැත්තිය, තෝ ම යව. තී ස්ත්‍රීන් අතුරෙන් උතුම් වන්නී ය. තිගේ ම වර්‍ණයෙන් ද රූප සම්පත්තියෙන් ද ඒ තාපසයා වසඟයට පමුණුවා ගන්නෙහි ය.
3183. දෙව්රජහු පිටත්කර යවන ලද මම නො යන්නෙම් නො වෙමි. එහෙත් මේ තව්සාට ළංවන්නට බිය වෙමි. ඒ තාපස තෙම උග්‍ර තේජස් ඇත්තේ ය.
3184. ඍෂීන් පොලොබවීමට ගිය බොහෝ දෙන මෝහයෙන් සංසාරයට බැසගත්තාහු නිරයට පැමිණියහ. ඒ නිසා ලොමුදහ ගනිත්.
3185. පුරුෂයන් කැමතිවන ශරීර වර්‍ණයක් ඇති පුරුෂයන් ක්ලේශයෙන් මිශ්‍ර කරන්නා වූ අලම්බුසා නම් ඒ අප්සරාව මෙසේ කියා ඉසිසිංග තවුසා ක්ලේශයන්ගෙන් මිශ්‍ර කරන්නට ගියා ය.
3186. ඕ තොමෝ ද ඉසිසිංග තාපසයා විසින් රක්නා ලද රත් කරව් ගසින් ගැවසීගත්තා වූ හාත්පස යොදුනක් පමණ වූ ඒ වනයට වැද.
3187. පෙර බත්කාලයෙහි ඉර උදාවන්නා වූ උදෑසන ම අමදිමින් ගිනිහල් ගෙහි සිටියා වූ ඉසිසිංග තාපසයන් වෙතට එළැඹියා ය.
3188. විසිතුරු වස්ත්‍රාභරණයෙන් සැරැසුණු අමුණන ලද මිණිකොඬොල් ඇති තී විදුලියක සේ ද ඕසධී තරුව සේ ද බබළන්නෙහි ය. තෝ කවර තැනැත්තියක් ද?
3189. සූර්‍ය්‍ය රශ්මිය වැනි වර්‍ණ ඇති, රත්සඳුන් සුවඳැති තෝ මනා වට වූ ඌරුයුග්ම ඇත්තී ය. මහා මායා ඇත්තී ය. ළදරුවයස් ඇත්තී ය. මනෝඥ දැකුම් ඇත්තී ය.
3190. තෝ සිහින් වූ ඉඟටියක් ඇත්තී ය. සියුමැලි ය. නිර්‍මල ය. තීගේ පාදයෝ මනාව පිහිටියෝ ය. ගමන්කරන්නා වූ තෝ ඉතා කමනීය ය. මාගේ සිත ඇද ගන්නී ම ය.
3191. තීගේ කලවා යුවළ පිළිවෙළින් මහත් ය. ඇත් හොඬයක් බඳු උපමා ඇත්තේ ය. තීගේ ඉතා විශාල වූ උකුල රන් පෝරුවක් මෙනි.
3192. මනාව පිහිටියා වූ තීගේ නාභිය උපුල් කර්ණිකාවක් බඳු ය. කළු අඳුනෙන් පිරීගියාක් මෙන් දුරට දක්නා ලැබේ.
3193. තීගේ පයෝධර යුවළ ළෙහි හටගත් නැටි රහිත ව මනාව පැන නැගුණා වූ කිරි රඳා පවත්නා වූ මලානික නො වූ සමවට කුඩා ලබු ගෙඩියක් දෙකට කපා තැබුවාක් මෙනි.
3194. දික් වූ මිහිඟු බෙරයකට සමාන බැබැළීම් ඇති තීගේ ග්‍රීවය ඒණි මුවකුගේ බඳු ය. මනහර දෙතොල් දිවට බඳු පැහැයෙන් යුතුව.
3195. නිදොස් හනුමස් කෙළවර හටගත්තා වූ උඩුදත් හා යටී දත් දැහැටිවලින් පිරිමදින ලද්දාහු ඉතා දැකුම්කලු ය.
3196. කළුපැහැ මුල ඇති රතුපැහැ අග ඇති ඔලිඳ ඇට බඳු තීගේ ඇස් දික් වූයේත් මහත් වූයේත් ඉතා දැකුම්කලු ය.
3197. ඉතා දික් නොවූ මැනැවින් මට කරන ලද්දා වූ රන්පණායෙන් පීරන ලද තීගේ හිසෙහි වූ කෙස් සඳුන් සුවඳ ඇත්තේ ය.
3198. යම් තාක් සීසාන්නාහු ගෙරින් රක්නාහු ද, වෙළඳුන්ගේ යම් ස්වභාවයක් වේ ද සංයම ඇත්තා වූ තපස් රක්නා ඍෂිවරුන්ගේත් යම් පරාක්‍රමයකුත් වේ ද.
3199. මේ පොළෝ මඩුල්ලෙහි තොපට සමයකු නො දැක්කෙමි. නුඹ කවරෙක් ද? කාගේ පුත්‍රයෙක් ද? අපි තොප කෙසේ දනිමු ද?
3200. කාශ්‍යප ගෝත්‍ර ඇති තාපසයාණෙනි, මෙසේ නුඹගේ සිත පැවැති කල්හි ප්‍රශ්න කිරීමට කල් නො වෙයි. නුඹට වැඩෙක් ම වේවා. මිත්‍ර තාපසය, අපි දෙදෙනා අපගේ ආශ්‍රමයෙහි අභිරමණය කරන්නෙමු. එව නුඹ වැළදැ ගන්නෙමි යි නුඹ පස්කම් සුව විඳින්නවුන් අතුරෙන් දක්‍ෂයෙක් වව යි අලම්බුසාව කීවා ය.
3201. පුරුෂයන් කැමැති වන්නා වූ ශරීර වර්‍ණයක් ඇත්තා වූ පුරුෂයන් ක්ලේශයන් හා මිශ්‍ර කරන්නා වූ අලම්බුසා නම් ඒ අප්සරාව ඉසිසිංග තාපසයා ක්ලේශයෙන් මිශ්‍ර කරනු කැමැත්තී මෙසේ කියා ගියා ය.
3202. තාපස තෙමේ ද සෙමින් යන ගමන අත්හැර වේගයෙන් නික්ම ගොස් ඇය වෙතට පැමිණියේ උතුම් කෙස් වැටිය ගෙන පිරිමැද්දේ ය.
3203. ඉතා ශෝභමාන වූ කල්‍යාණ දර්‍ශන ඇති ඕ තොමෝ පෙරළා නැවතී තවුසා වැළඳගත්තී ය. එසේ වැළඳගැනීමෙන් බ්‍රහ්මචර්‍ය්‍යයෙන් චුත වූ කල්හි ශක්‍රයා යම්සේ සිතී ද, එය සිදු වූයේ ය. එකල්හි අලම්බුසා තොමෝ ද සතුටු කරන ලද්දී ය.
3204. අලම්බුසා තොමෝ නන්‍දන වනයෙහි වසන්නා වූ ශක්‍රයා වෙත සිතින් පැමිණියා ය. දෙවියන්ට උතුම් වූ ශක්‍ර තෙම ඇයගේ සිතුවිල්ල දැන-
3205. ශක්‍ර තෙමේ ද, පිරිවර සහිත වූ මත්තෙහි වසන ලද ඇතිරිලි පනසක් ඇති කොඳු පලස් දහසක් අතුරන ලද්දා වූ ස්වර්‍ණමය පර්‍ය්‍යංකයක් එවී ය.
3206. ශෝභන වූ අලම්බුසා තොමෝ ඒ මේ ඉසිසිංග තවුස්හු පුරා තුන්වර්‍ෂයක් ඒ පලඟෙහි ලා ළෙහි හොවා දැරුවා ය.
3207. පහවූ මත් වීම් ඇති ඒ බ්‍රාහ්මණ තෙමේ තෙවසකින් පිබිද ගිනිහල් ගෙය සමීපයෙහි නිල්වන්ව වැඩී ගිය ගස් දුටුවේ ය.
3208. තාපස තෙම කොවුලන් විසින් පවත්වන ලද නාද ඇති නවපත්‍රයෙන් සැදුම් ලත් පිපීගිය ඒ වනය හාත්පස බලා අඬමින් කඳුළු වගුරවන්නට පටන් ගත්තේ ය.
3209. යාග නො කෙළෙමි. මන්ත්‍ර ජප නො කෙළෙමි. හෝමාග්නිය නසන ලදි. පරිචර්‍ය්‍යායෙන් කවරෙක් නම් මාගේ සිත මෙයින් පෙර පෙළඹවී ද? කියා තවුස් තෙම කෑ ගසා ඇඬුවේ ය.
3210. අරණ්‍යයෙහි වසන්නා වූ මා විසින් ශ්‍රමණ තේජසින් රැස් කරන ලද්දා වූ මහාසාගරයෙහි නොයෙක් රුවනින් පිරීගිය නැවක් මෙන් වූ මාගේ ධ්‍යාන ගුණය යමෙක් පැහැර ගත්තේ නම් හේ කවරෙක් දැ යි තාපස තෙම මුරගා කී ය.
3211. පින්වත් තාපසය, ශක්‍ර දිව්‍ය රාජයා පරිචර්‍ය්‍යාව පිණිස මෙහෙයන ලද මම මාගේ සිතින් නුඹගේ සිත මැඩ පැවැත්වීමි. එය නුඹ වහන්සේ ප්‍රමාදයෙන් අවබෝධ නො කළහ.
3212. මාගේ පිය වූ කාශ්‍යප තෙම මට මේ වචන කීයේ ය. මාණවකය, ලියතඹර මල් වැනි ස්ත්‍රීහු වෙත්. ඔවුන් දැනගනුව’ යි කීයේ ය.
3213. අනුකම්පා ඇත්තකු සේ මට මාගේ පිය වූ කාශ්‍යප තෙම අවවාද දෙනුයේ, මාණවකය, ළයෙහි මස්ගඩු දෙකක් ඇති ස්ත්‍රීන් දැන ගනුව. ඒ ස්ත්‍රීහු තමන් වසඟයට පැමිණියවුන් නසති යි දැනගනුව යි මෙසේ කීයේ ය.
3214. වයෝවෘද්ධ වූ ඒ පියාගේ අනුශාසනය මම නො පිළිපැද්දෙමි. මනුෂ්‍යයන් විරහිත වනයෙහි ඒ මම අද එකලා වැ වැලපෙමි යි තවුසා කීයේ ය.
3215. ඒ මම එසේ කරන්නෙමි. මාගේ ජීවිතයට නින්‍දා වේවා, නොහොත් මාගේ ජීවිතයෙන් ඇති ඵලය කුමක් ද? නැවත හෝ එබන්දෙක් වන්නෙමි. (නැතිව ගිය ධ්‍යාන ලබා ගන්නෙමි) නො එසේ නම් මාගේ මරණය හෝ වන්නේ යැ යි තාපසයා නැවතත් අධිෂ්ඨාන කර ගත්තේ ය.
3216. ඒ ඉසිසිංග තාපසයා නැවත මනාව වඩන ලද තේජසත් වීර්‍ය්‍යයත් උත්සාහයත් දැන අලම්බුසාව ඉසිසිංග තාපසයාගේ පාළඟ හිසින් වැටී දෙපා වැඳ කමා කරවා ගත්තා ය.
3217. මහාවීරයන් වහන්ස, මට නො කිපෙනු මැන. මහර්ෂිය, මට නො කිපෙනු මැන. පිරිවර ඇත්තා වූ තාවතිංස දෙවියනට මා විසින් මහත් වැඩක් කරන ලදි. එකල්හි මුළු දෙව්පුරය නුඹ වහන්සේ විසින් වෙසෙසින් කම්පා කරන ලද්දේ ය.
3218. තව්තිසා වැසි යම් දෙවි කෙනෙක් වේ නම් ඔහු ද දෙව්ලෝ වැස්සන්ට අධිපති වූ ශක්‍රයාත් යන මොහු සුවපත් වෙත්වා සොඳුර තී ද සුවපත් වව. කන්‍යාවෙනි සුවසේ යව.