Jātaka

Birth Stories

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-29 · 7679 segments

පෙන්වන කොටස් 3701-3800 න් 7679

3031. යශස් ඇත්තා වූ රාජපුත්‍රිය, තෝ ඉතා සවස්හි ආයෙහි ය. අද කවරකු හා එක්වූවා ද? තිට මට වඩා ප්‍රියතරයෙක් කවරේ දැ යි රාජපුත්‍රයා ඇසී ය.
3032. ඒ සතුරා විසින් අල්ලා ගන්නා ලද මම ඔහුට මෙය ප්‍රකාශ කෙළෙමි. යම්හෙයෙකින් රකුස් තෙම මා කන්නේ නම් එය මට දුකක් නො වේ. මාගේ ස්වාමිපුත්‍රයාගේ සිත්හි යම්බඳු වෙනසක් වේ නම් එය මට එයට වඩා දුකකැ යි කියා යි.
3033. සෙරවූ ද, බොහෝ අදහස් ඇත්තා වූ ද යම් ඒ ස්ත්‍රීන් අතුරෙහි සත්‍යවචනය ඉතා දුර්‍ලභ ය. මත්ස්‍යයන්ගේ දියෙහි ගමන් මාර්‍ගය මෙන් ස්ත්‍රීන්ගේ ස්වභාවය දැනගන්නට අපහසුය.
3034. යම්සේ මම නුඹට වඩා ඉතා ප්‍රිය වූ අන්‍යයකු නොදනිමි යි කියම් ද, ඉදින් එසේ මාගේ සත්‍යය රක්නේ නම්, ඒ සත්‍ය තෙමේ මා රකීවා. මේ සත්‍ය වචනය කරණ කොට ගෙන තොපගේ ව්‍යාධිය සන්හිඳේවා යි (සම්බුලා තොමෝ සත්‍යක්‍රියා කළාය.)
3035. සම්බුලාවෙනි, මහත් හස්තීහු සත්සියයක් ද (ඔවුන් පිට නැඟි) අවිදරන ධනුර්ධරයන් සොළොස්සියයක් ද මෙනුවර රකිත්. (එසේ කල්හි) කෙබඳු සතුරන් දක්නෙහි දැයි (රාජතාපස තෙමේ සම්බුලාවගෙන් ඇසුවේය.)
3036. පියාණන් වහන්ස, නුඹවහන්සේගේ පුත්‍ර තෙමේ පියුම් ගැබ මෙන් මතුපිට රන්වන් සිවියෙන් බබළන්නා වූ අලංකාර ලෙස සැරසුණා වූ සිහින් මධ්‍ය ප්‍රදේශ ඇත්තා වූ හංසයන්ගේ බඳු ස්වර ඇත්තා වූ ස්ත්‍රීන් දකී. ඔවුන්ගේ මිහිරි ගීත වාදිතය අසා හෙතෙමේ පෙර මෙන් දැන් මා කෙරෙහි නො පවතී.
3037. ස්වර්‍ණමය සංකව්වාහරණ (තනපට) දරන්නා වූ අලංකාර කරන ලද මනා සිරුරු ඇත්තා වූ මිනිස් දෙවඟනන් බඳු වූ ක්‍ෂත්‍රිය කන්‍යාවරු නින්‍දා නොකරන ලද ශරීරාවයව ඇත්තාහු සොත්‍ථිසේන රජුට ප්‍රිය වෙත්. පියාණෙනි, ඒ කන්‍යයාවෝ සොත්‍ථිසේන රජු පොළඹවත්.
3038. පියාණෙනි, ඉදින් මම පෙර මෙන් නැවත ද වනයෙහි සිඟා හැසිරීමෙන් ඒ ස්වාමියා පෝෂණය කරන්නෙම් නම්, මට සම්මානන කරන්නේය. මට අවමන් නො කරන්නේය. පියාණෙනි, මෙයට වඩා මට එය උතුම් වන්නේය.
3039. ආහාර පාන බොහෝ කොට පිළියෙළ කොට තිබෙන ගෘහයෙහි නානාලංකාරයෙන් සැරසුණා වූ සියලු අංගයන්ගෙන් යුක්ත වූ ස්ත්‍රී තොමෝ ස්වාමියාහට අප්‍රිය වන්නී නම්, ඇයට ගෙල වැල බැඳගෙන මරණයට පත්වීම ඒ ගෘහවාසයට වඩා උතුම් වේ.
3040. තවද දිළිඳු වූ බැගෑපත් වූ සහල් නැළියක්වත් නැත්තා වූ නිදන කලාල දෙවැනි කොට ඇති ස්ත්‍රියක් වන්නී නම් ඕ තොමෝ සැමියාට ප්‍රිය ද, සියලු අංගයන්ගෙන් යුක්ත වූ ද අප්‍රිය ස්ත්‍රියට වඩා දුප්පත් වූ යම්බඳු ප්‍රිය තැනැත්තියක් වේ නම් ඕ උතුමි යි (සම්බුලා තොමෝ කීවාය.)
3041. යම් තැනැත්තියක් පුරුෂයාට හිතවත් ද ඕ ඉතා දුර්‍ලභ ස්ත්‍රියකි. යම් පුරුෂයෙක් තෙමේ ස්ත්‍රියට බැතිමත් ද හෙතෙමේත් දුර්‍ලභය. මේ සම්බුලා නම් භාර්‍ය්‍යා තොමෝ තොපට හිතවත් ය. ගුණවත්ය. මහරජ, සම්බුලාව සමග දැහැමින් වාසය කරවයි තාපස වූ පිය රජතෙම අවවාද කෙළේය.
3042. සම්බුලාවෙනි, ඉදින් තෙපි අභිෂේකවශයෙන් ලබන ලද මහත් භොග ඇති කල්හි ඊර්‍ෂ්‍යාවට බැස ගත්තාහු මරණයට පැමිණෙන්නහු ද, එසේ නම් සොඳුර, මමත් මේ හැම රාජ කන්‍යාවරුත් තිගේ වචනය පිළිපදින්නමෝ වෙමුයි රජතෙම කීයේය.
සම්බුලා ජාතක යි.
10. ගන්‍ධතින්‍දුක ජාතකය
3043. කුශලයෙහි සිහියෙන් වෙන් නොවීම නම් වූ නො පමාව නිවනට මඟ යි. කුසල් පිරීමේ එළඹ සිටි සිහියක් නැතිබව සසර දුකට මඟ යි. නො පමාවූවෝ සසර දුකට නොපැමිණෙත් හෙවත් නොමැරෙත්. පමාවූවෝ මළවුන් වැනි වෙත්.
3044. මහරජ, ආරෝග්‍යාදී ත්‍රිවිධ මදයෙන් ප්‍රමාදය හටගනී. ප්‍රමාදයෙන් විනාශය හටගනී. විනාශ හේතුවෙන් ද්වේෂයෝ හටගනිත්. එබැවින් රට පෝෂණය කරන්නාවූ ශ්‍රේෂ්ඨය, මදයට නො පැමිණෙව.
3045. ප්‍රමාද වූ බොහෝ රජදරුවෝ වස්තුවය රටය යන මෙයින් පිරිහුණාහ. තවද ප්‍රමාදාපන්න වූ ගම්දෙටුවෝ ගමින් පිරිහුණාහ. ප්‍රමාදාපන්න ගිහිගේ වැස්සෝ ධාන්‍යාදියෙන් සහ ගිහිගෙයින් ද, පැවිද්දෝ පැවිදි බවෙන් ද පිරිහුණහ.
3046. රටදියුණු කරන්නා වූ මහරජ, පමා වූ රජුගේ රටෙහි හැම සම්පත්හු ම වැනසෙත්. එය රජුට දුකය යි කියනු ලැබේ.
3047. මහරජ, සීමාව ඉක්මවා පමාවන්නෙහි නම් එය පැරණි රජුන්ගේ ස්වභාවය නොවෙයි. ආහාර පානාදියෙන් සමෘද්ධ වූ ස්වර්‍ණාදියෙන් පිරුණා වූ ජනපදය සොරු විනාශ කරත්,
3048. රට පැහැර ගනු ලබන කල්හි සියලු භෝගයන්ගෙන් පිරිහෙන්නේය. එවිට ප්‍රවේණිය රකින පුත්‍රයෝ ද නො වන්නාහ. (අධර්‍ම රජුගේ පුත්‍රයෝයයි රට වැසියෝ ඔහු බැහැර කරත්.) එසේ ම අධාර්මික රජුගේ හිරණ්‍යාදි ධනය ද නො වන්නේය. ධාන්‍යාදිය ද නො වන්නේය.
3049. සියලු භොග සම්පතින් පිරිහුණු ක්‍ෂත්‍රිය රජහු පවා නෑමිතුරෝ ද සුහදයෝ ද ඔහු පිදියයුතු කොට නො සිතත්.
3050. ඇතරුවෝ ද බළඇණිවල නියුක්තයෙන් ද රිය පදවන්නෝ ද පාබළසේනාවෝ ද යන සියල්ලෝම ඔහු ඇසුරු කරමින් ජීවත්වන්නාහු නමුත් ඔහු පිදිය යුත්තකු වශයෙන් නො හඟිත්.
3051. හොඳින් විධාන නො කළ කර්‍මාන්ත ඇති නපුරු කථා ඇති මන්ත්‍රීන්ගෙන් යුත් අනුවණ බාලයා, දිරාගිය සැව හැරයන සර්‍පයකු මෙන්, ශ්‍රී තොමෝ හැරදමා යන්නීය.
3052. හොඳින් විධාන කරන ලද කර්‍මාන්ත ඇති සුදුසු කල්හි වීර්‍ය්‍යය කරන්නා වූ අනලස් වූ රජුට වෘෂභයා සහිත ගව මුළ මෙන් සියලු සම්පත් වැඩෙත්.
3053. මහරජ, දනවුපුවත් ඇසීම පිණිස රටෙහි ද ජනපදයෙහි ද හැසිරෙව. එහි දැක්ක යුතු දෑ දැක ඇසිය යුතු දෑ අසා (මැනවින් දැනගෙන) එයට අනුව පිළිපදුව.
3054. අද මම කටුවකින් විදුනා ලද්දේ යම්සේ දුක් විඳිම් ද, මෙසේ ම පණ්වාල රජතෙම යුද්ධයෙහි දී ඊයෙන් විදින ලද්දේ දුක් විඳීවා.
3055. (එම්බා මහලු පුරුෂය,) නුඹ ජරායෙන් ජීර්‍ණවූයෙහි දුර්‍වල ඇස් ඇත්තෙහිය. හොඳින් රූප නො දක්නෙහිය. ඒ නිසා කටුවක් ඇනුනේය යන යමක් ඇද්ද එහි බඹදත් රජුගේ කිනම් දෝෂයෙක්දැයි (පුරෝහිත තෙම ඇසීය.)
3056. බ්‍රාහ්මණය, යම් ඒ මම කටු ඇති මාර්‍ගයෙහි (කටු ඇනුනෙම් ද) මෙහි බ්‍රහ්මදත්ත රජුගේ බොහෝ දෝෂයෝ වෙත්. රජු විසින් ජනපද වැසියෝ නො රක්නා ලද්දාහුය. නො දැහැමි අයබදු ගැනුමෙන් ඒ ජනපද වැසියෝ නසන ලද්දාහ.
3057. රාත්‍රි කාලයෙහි ද සොරු පැහැර ගනිත්. දවල් අධර්‍මයෙන් අයබදු ගන්නෝ පැහැර ගනිත්. පාපීරජහුගේ රටෙහි ජනයා බොහෝ සෙයින් අධාර්මිකයහ.
3058. දරුව, මෙබඳු බිය ඇති වූ කල්හි බියෙන් පෙළුණු මිනිස්සු කටු ගෙනවුත් (දොරටුව අවුරා ගෙවල් හැරගොස්) වනයේ සැඟවී සිටිය හැකි තැන් සාදා ගනිත්.
3059. යම් රජකුගේ රටෙහි සැමියන් නැති කුමරියෝ මහලුවෙත් ද, මේ බ්‍රහ්මදත්ත රජ කවර දවසක මැරෙන්නේ දැ යි (දිළිඳු මවක් හඬමින් කීවාය.)
3060. අවැඩ වචන කීමෙහි දක්‍ෂ නීච තැනැත්තිය, තී විසින් නපුරු වචනයක් ම කියන ලද. කුමරියන්හට සැමියන් සොයන රජෙක් කොහි වෙසේ ද? (කියා පුරෝහිතයා ඇසුවේය.)
3061. බ්‍රාහ්මණය, මා විසින් නපුරක් නො කියන ලද. මම අර්‍ත්‍ථ පද කීමෙහි දක්‍ෂ වෙමි. රජු විසින් ජනපද වැසියෝ නොරක්නා ලද්දාහ. නො දැහැමින් අයබදු ගැනුමෙන් ජනපද වැසියෝ නසන ලද්දාහ.
3062. රාත්‍රියෙහි ද සොරු පැහැර ගනිත්. දවල් කාලයෙහි අධර්‍මයෙන් අයබදු ගන්නෝ පැහැර ගනිත්. පාපී රජුගේ රටෙහි ජනයා බොහෝ අධාර්මිකයහ. දුකසේ ජීවත්වන්නාවූ, දුකසේ භාර්‍ය්‍යාවන් පෝෂණය කරන්නා වූ රටෙහි දැරියෝ කොයින් සැමියන් ලබත් ද?
3063. යම්සේ සාලිය නම් ගව තෙම සීවැලින් ඇනුණේ බැගෑපත්ව සයනය කෙරේ ද? මෙපරිද්දෙන් ම පඤ්චාල රජතෙම යුද්ධ භූමියෙහි හෙල්ලකින් අනින ලද්දේ ශයනය කෙරේවායි (ගොවියෙක් ශාප කෙළේය.)
3064. නීච ගොවිය, යම්බඳු වූ තෝ තමා ම අපරාධ කොට රජුට ශාප කරන්නෙහි ද එබඳු තෝ බ්‍රහ්මදත්ත රජුට නිකරුණේ කිපුණෙහි ය.
3065. බ්‍රාහ්මණය, මම බඹදත් රජුට ධර්‍මයෙන් (කරුණු ඇතිව) කිපෙමි. රජු විසින් ජනපද වැසියෝ නො රක්නා ලද්දාහ. ඔහු විසින් අධර්‍ම අයබදු ගැනුමෙන් ඔහු පෙළන ලද්දාහ.
3066. රාත්‍රියෙහි සොරු පැහැර ගනිති. දවල් කාලයෙහි අධර්‍මයෙන් අයබදු ගන්නෝ පැහැර ගනිති. පාපී රජුගේ රටෙහි නොදැහැමි ජනයා බොහෝ ය.
3067. ඒ මාගේ භාර්‍ය්‍යයා තොමෝ දෙවනුව පිස විකාලයෙහි බත් ගෙනාවා ය. බත් ගෙනෙන තැනැත්තිය ගැන අපේක්‍ෂා ඇත්තේ වීමි. එවිට සාලිය තෙමේ සීවැලින් හැනුණේය යි ගොවියා කීයේ ය.
3068. අද යම්සේ දෙන විසින් මම පහරදෙන ලද්දෙම් ද, මාගේ කිරි බඳුනත් පෙරළන ලද ද, මෙසේ ම පඤ්චාල රජ තෙම, යුද්ධ භූමියෙහි කඩුවෙන් ගසන ලද්දේ නැසේවා යි ගොපල්ලෙක් කී ය.
3069. දෙන කිරි බඳුන පෙරළුවා ය. ගොපල්ලාටත් හිංසා කළා ය. යන යමක් ඇද්ද පින්වත, එහිලා යම් හෙයකින් නුඹ බ්‍රහ්මදත්ත රජුට ගර්‍හා කරන්නෙහි නම්, ඒ කවර හෙයකින් ද?
3070. බ්‍රාහ්මණය, පඤ්චාල රජ තෙමේ ගර්‍හා කළ යුත්තෙකි. බ්‍රහ්මදත්ත රජු විසින් ජනපද වැසියෝ නො රක්නා ලද්දාහු නොදැහැමි අයබදු ගැනුමින් නසන ලද්දාහ.
3071. රාත්‍රියෙහි සොරු පැහැර ගනිති. දවල් කාලයෙහි අයබදු ගන්නෝ පැහැර ගනිති. පාපී රජුගේ රටෙහි ජනයා බොහෝ සෙයින් අධාර්මික වේ.
3072. නපුරු වූ පැන දුවන්නා වූ මේ දෙන යම් හෙයකින් පෙර නො දෙවුමෝ ද, අද කිරි කැමැති රාජපුරුෂයන් විසින් උපද්‍රැත වූවාහු ඇය දොවම්හ.
3073. මේ දුප්පත් ගවදෙන පුත්‍රයාගෙන් වෙන් වූවා, වැළැපෙමින් ඔබමොබ දුවයි ද එසේ ම පඤ්චාල රජ තෙම පුත්‍රයාගෙන් වෙන් වූයේ හඬාවා, පුත්‍රයන්ගෙන් වෙන් වූයේ වියළේවා යි ගම් දරුවෝ ශාප කළහ.
3074. දරුවෙනි, ගවයා නම් ගොපල්ලා වෙත දුවන්නේ ය. ගොපල්ලා දැක කෑගසන්නේ ය. මෙහි ලා බඹදත් රජුගේ කවර නම් අපරාධයක් ඇත්තේ ද?
3075. මහාබ්‍රාහ්මණය, බඹදත් රජුගේ අපරාධය නම්: රජු විසින් දනව්වැස්සෝ නොරක්නා ලද්දාහ. අධර්‍ම අයබදු ගැනීමෙන් පෙළන ලද්දාහ.
3076. රාත්‍රියෙහි සොරු පැහැර ගනිති. දවල් නො දැහැමි අයබදු ගන්නෝ පැහැර ගනිති. පවිටු රජුගේ රටෙහි නො දැහැමි ජනයා බොහෝ ය. කඩු කොපුව තනා ගැනීම පිණිස කිරිබොන වස්සෝ කෙසේ නම් නසනු ලැබෙද්ද?
3077. වනයෙහි උපන් මම ගම්වැසි කවුඩන් විසින් ඇදකනු ලබම් ද? එසේ ම පඤ්චාල රජ තෙමේ යුද්ධයෙහි පුත්‍රයන් සහිත ව නසන ලදුයේ කනු ලබාවා.
3078. මණ්ඩුකය, මිනිස් ලොව රජවරු සියලු සතුන් කෙරෙහි ආරක්‍ෂාව නොපිහිටුවමින් තා වැනි ජීවත්වන්නකු කපුටෝ කන්නාහු ය යන යමක් වේ ද, මේ නිසා රජ තෙම අධාර්මික නො වේ යයි පුරෝහිතයා කීයේ ය.
3079. බ්‍රාහ්මණ තෙම ඒකාන්තයෙන් අධර්‍ම ස්වභාවය ඇත්තෙක. රජුගේ කැමැත්ත අනුව ම කියන්නේ ය. බොහෝ සතුන් විනාශ කරනු ලබන කල්හි අතිශයින් දොස් කියයුතු රජ පුදන්නේ ය.
3080. බ්‍රාහ්මණය, ඉදින් මෙරට සමෘද්ධ වූ විශේෂයෙන් ප්‍රසන්න වූ ජනයා ඇති යහපත් රාජ්‍යයක් වන්නේ නම්, කවුඩෝ පූජාව වූ අග්‍ර පිණ්ඩය අනුභව කොට වාසය කෙරෙත්. මා වැනි ජීවත් වන්නකු කවුඩෝ නො කන්නාහ යි මැඩියා කී ය.
ගන්‍ධතින්‍දුක ජාතක යි.
තිංසති නිපාතය නිමි.
එහි උද්දානය:
කිංඡන්‍දජාතක යැ කුම්හජාතක යැ ජයද්දීසජාතක යැ ඡද්දන්ත ජාතක යැ සම්භවජාතක යැ මහාකපිජාතක යැ දකරක්ඛසජාතක යැ පණ්ඩරකජාතක යැ සම්බුලාජාතක යැ ගන්‍ධතින්‍දුකජාතක යැ යි දසදෙයකි.
17. චත්තාළීස නිපාතය
1. තෙසකුණ ජාතකය
3081. වෙස්සන්තර නම් පක්‍ෂිය, තට යහපතක් වේවා! රාජ්‍යය කරවනු කැමැත්තහු විසින් කවර නම් කෘත්‍යයක් කරන ලද්දේ යහපත් ද?
3082. පිය වූ කංස නම් බරණැස් රජතෙම බොහෝ කල් පමා වූයේ නොපමා වූ ද පුත්‍ර වූ ද මාගෙන් ප්‍රශ්නයක් විචාළේ යැ යි වෙස්සන්තර නම් බකමූණු පක්‍ෂියා චෝදනා කෙළේ ය.
3083. පිය රජුනි, රජ තෙමේ, පළමු කොට බොරුව ද, දෙවනුව ක්‍රෝධය ද, තෙවනු ව ක්‍රීඩාශීලී ස්වභාවය ද දුරු කරන්නේ ය. ඉක්බිති රාජ්‍යකෘත්‍යයන් කරවන්නේ ය. එය රාජව්‍රත යයි කීය.
3084. පිය රජුනි, පෙර කළා වූ යම් ඒ කර්‍මයක් ඒකාන්තයෙන් නුඹ තවන්නේ ද, රාගයෙන් රත් වූයේ ද්වේෂයෙන් දුෂ්ට වූයේත් යම් කර්‍මයක් කරයි ද, ඉන්පසු නැවත ඒ කර්‍මය නො කරන්නේ ය.
3085. රට දියුණු කරන්නා වූ මහරජ, පමා වූ රජුගේ රටෙහි සියලු භෝගයෝ වැනසෙත්. ඒ පාපය රජුගේ යයි කියනු ලැබේ.
3086. පිය රජුනි, ශ්‍රී කාන්තාව ද කාලකණ්ණිය ද විචාරන ලද්දාහු මෙය කීහ. ශ්‍රී නම් වූ මම උට්ඨානවීර්‍ය්‍යය ඇති අනුනට ඊර්‍ෂ්‍යා නො කරන්නා වූ පුරුෂයා කෙරෙහි සිත් අලවමි යි කීවා ය.
3087. මහරජ, සම්පත් චක්‍රය බිඳින්නා වූ කාලකණ්ණි තොමෝ මෙරමාට ඊර්‍ෂ්‍යා කරන නපුරු සිත් ඇත්තා වූ යහපත් වැඩ දූෂ්‍ය කරන්නා වූ පුරුෂයා කෙරෙහි සිත් අලවයි.
3088. මහරජ, ඒ නුඹ සියල්ලන් කෙරෙහි සුහෘද වව. සියල්ල රක්නෙක් වව. කාලකණ්ණිය දුරු කරව. ශ්‍රී කාන්තාවට වාසස්ථාන වව.
3089. කසී රට අධිපති රජුනි, ලක්‍ෂමිය සහිත වූ ප්‍රඥායෙන් හා වීර්‍ය්‍යයෙන් යුක්ත වූ උසස් අදහස් ඇති පුරුෂ තෙම පස මිතුරන්ගේ මුල ද අග ද සිඳී.
3090. මහරජ, ශක්‍ර තෙමේ ද උට්ඨානවීර්‍ය්‍යයෙහි ප්‍රමාද නො වේ. හෙ තෙමේ කුශලක්‍රියායෙහි ම ධෛර්‍ය්‍යය කොට උට්ඨාන වීර්‍ය්‍යයෙහි සිත පිහිටුවයි.
3091. ගන්‍ධර්‍වයෝ ද බ්‍රහ්මයෝ ද ඒ සක්රජුට සමාන ජීවිකා ඇත්තෝ ය. දේවතාවෝ උත්සාහවත් වූ පමා නොවන්නා වූ ඔහු අනුව පවතිත්.
3092. පියාණෙනි, ඒ නුඹ නොපමා වූයේ නොකිපියේ කටයුතු කළ මැනව. කටයුතුවල වෑයම් කරන්නේ මැනව. අලස තෙමේ සැප නොවිඳී.
3093. මහරජ, ඒ මා කී ප්‍රකාශනයෙහි ම ඒ ව්‍රතපදයෝ වෙත්. මෝ තොමෝ මැ අනුශාසනා වන්නී ය. මිතුරන් සුවපත් කිරීමට ද සතුරන්හට දුක් පිණිස ද මෙය සමර්‍ත්‍ථ වේ යයි වෙස්සන්තර නම් පක්‍ෂියා කීවේ ය.
3094. ඛත්ත නම් බකමූණු පක්‍ෂියාට සහෝදරිය වන කුණ්ඩලිණිය, මා විසින් විචාරන ලද ප්‍රශ්නය කියන්නට හැක්කෙහි ද? රජය කරවනු කැමැත්තහු විසින් කවර කෘත්‍යයක් කරන ලද්දේ යහපත් ද?
3095. යමෙක්හි සියල්ල පිහිටියේ නම්, එබඳු පද දෙකෙකි. නො ලද ලාභ ලබා ගැනුම ද ලද දෙය රැක ගැනුම ද යන දෙක ය.
3096. පියාණෙනි, ප්‍රාඥ වූ යහපතට දක්‍ෂ වූ දූකෙළියෙහි නොයෙදෙන්නා වූ ඇමතියන් භාණ්ඩාගාරිකාදි තනතුරුවල යෙදිය යුතු බව දැනගනු මැනවි.
3097. පියාණෙනි, නුඹගේ යම් ධනයකුත් වේ නම්, යම් ඇමතියෙක් එය රක්නේ ද, රිය සගන්නා රියදුරකු වැනි වූ හෙතෙම නුඹගේ කටයුතුවල යෙදවීම කරව.
3098. මනා කොට සංග්‍රහ කරන ලද ඇතුළත්හි වූ ජනය. ඇතිව තෙමේ ම වස්තුව බලා තැන්පත් කර තැබීම ද, ණය දීම ද කරන්නේ ය. අනුන් ලවා නො කරවන්නේ ය.
3099. තෙමේ ම අයවැය දැනගන්නේ ය. කළ නො කළ දේත් තෙමේ ම දැන ගන්නේ ය. නිග්‍රහ කටයුත්තාට නිග්‍රහ කරන්නේ ය ප්‍රග්‍රහ කටයුත්තාට ප්‍රග්‍රහ කරන්නේ ය.
3100. මහරජ, ඒ දනව්වැස්සෝ නො දැහැමි වූවාහු ධනයත් රටත් නො නසත්වා යි කියා දනව් වැස්සන්හට තමනට ප්‍රත්‍යක්‍ෂ කරුණින් අනුශාසනා කරන්නේ ය.
3101. පිරික්සා නො බලා වහා කටයුතු කරන්නෙක් නො වව. අනුන් ලවා කරවන්නෙක් හෝ නො වව. වහා කරන ලද කර්‍ම අනුව අඥාන තෙම පසුව තැවේ.
3102. පියාණෙනි, නුඹගේ සිත අකුශලය ඉක්මවා යන කල්හි අනුන්ගේ අකුශල කර්‍මයෙහි ඉතා දැඩිව කෝප වී කටයුතු නොකරව. ක්‍රෝධයෙන් වනාහි බොහෝ සමෘද්ධ වූ කුලයෝ අකුල බවට ගියාහ.
3103. පියාණෙනි, මම අධිපති වෙමි යි අන්‍යයා අනර්‍ත්‍ථයට නො බස් වව නුඹගේ රාජ්‍යයෙහි ස්ත්‍රීන්ට ද පුරුෂයන්ට ද දුකෙක් නො වේවා.
3104. පහ වූ ලොමුදහ ගැනුම් ඇති කැමැති පරිදි හැසිරෙන්නා වූ රජුගේ සියලු භෝගයෝ වැනසෙත්. එහි පාපය වේ යයි කියනු ලැබේ.
3105. මහරජ, නුඹගේ මේ ප්‍රශ්නයෙහි ම ව්‍රතපදයෝ ඇතුළත් වෙත්. මෝ ම අනුශාසනාව යි. දැන් පින් කරන රාසොඬ නොවූ වස්තුව විනාශ නො කරන දක්‍ෂයෙක් වව. මහරජ, සිල්වතෙක් වව. දුස්සීලයා වනාහි නිරයෙහි වැටෙන්නේ යයි කුණඩලිනිය කීවා ය.
3106. පුත්‍ර ජම්බුකය, තොපගේ කෝසිය ගෝත්‍ර ඇති වෙස්සන්තර නම් සහෝදරයා ද එසේ ම කුණඩලිනී, නම් සහෝදරිය ද රාජ ධර්‍මය විචාළෙමු. දැන් නුඹ බල අතුරින් උතුම් බලය කුමක් දැ යි කියව.
3107. මහරජ, මහත් අදහස් ඇති පුරුෂයා කෙරෙහි ලෙව්හි පවත්නා බලය පස් ආකාර ය. එහි කායබලය නම් ලාමක බලයයි කියනු ලැබේ.
3108. දීර්‍ඝායුෂ ඇති මහරජ, සම්පත් බලය දෙවැනි බලය යි කියනු ලැබේ. දීර්‍ඝායුෂ ඇති මහරජ, අමාත්‍යබලය තුන්වැනි බලයයි කියනු ලැබේ.
3109. ඒ ජාති සම්පත්තියෙන් ඇතිවූ බලය නිසැකයෙන් සතරවැනි බලය යි. යම් මේ සියලු බල කෙනෙක් වෙද්ද නුවණැත්තේ ඒ සියල්ල (ඥාන බලයෙන්) යටපත් කෙරේ.
3110. බලයන් අතුරෙන් ශ්‍රේෂ්ඨබලය වූ ද අග්‍ර වූ ද ඒ ප්‍රඥා බලය ඉතා උතුම් ය. ප්‍රඥාබලයෙන් යුක්ත වූ පණ්ඩිත තෙම අභිවෘද්ධියට පැමිණේ.
3111. ඉදින් අඥාන තෙමේ සම්පතින් පිරුණා වූ උතුම් වූ පෘථිවිය ලබා ද එය නුවණැති අන්‍යයෙක් බලහත්කාරකම් කොට හෝ ඔහුගේ නොකැමැත්ත තිබිය දී උදුරා ගනී ද,
3112. කසී රට අධිපති මහරජ, විශිෂ්ට ජාති ඇති ක්‍ෂත්‍රිය වුව ද රාජ්‍යය ලැබගත් නමුත් අඥානයෙක් වන්නේ නම්, ඒ සියලු රාජ්‍යය ඇති ව ජීවත් වන්නට අසමත් වේ.
3113. ප්‍රඥා තොමෝ අසන ලද්ද විනිශ්චය කරන්නී ය. ප්‍රඥා තොමෝ කීර්තිඝෝෂය හා ලාභ සත්කාර වඩන්නී ය. ප්‍රඥායෙන් යුත් මනුෂ්‍ය තෙම මෙලොව දුක් ඇති වූ කල්හි ද උපාය කුශලතායෙන් ක්‍රියා කොට සැප විඳියි.
3114. නුවණැත්තන් සේවනය නො කොට බහුශ්‍රැතයන් කරා නො එළඹ දැහැමි නො දැහැමි කරුණු විනිශ්චය නො කොට ස්වභාව කාරණයෙහි පිහිටා සිටීමෙන් පමණක් කිසිවෙක් නුවණ නො ලබයි.
3115. දශ කුශලකර්‍ම විභාගය දන්නා වූ සුදුසු කාලයෙහි උත්සාහ කරන්නා වූ අනලස් වූ යමෙක් ඒ ඒ කාලයෙහි කළමනා කටයුතු කෙරේ ද ඔහුගේ ඒ ක්‍රියා ඵලය සමෘද්ධ වේ.
3116. දුස්සීලකම් කරන්නා වූ එබඳු ම දුස්සීල පුද්ගලයන් ආශ්‍රය කරන්නා වූ කලකිරී කටයුතු කරන පුද්ගලයාගේ කුශලකර්‍ම විපාකය මැනවින් විපාක නො දේ.
3117. තමා පිළිබඳව ද අනිත්‍යාදි වශයෙන් සලකන්නා වූ එබඳු ම සිල්වතුන් ඇසුරු කරන්නා වූ නො කලකිරී කටයුතු කරන්නාගේ කුශලකර්‍ම විපාකය මනා කොට විපාක දේ.
3118. යෙදිය යුතු කරුණෙහි යෙදීමට සුදුසු වූ ප්‍රඥාව ද, රැස් කරන ලද ධනය රක්‍ෂා කරන්නා වූ ප්‍රඥාව ද, යන දෙක සහ පෙර කී ප්‍රඥාවන් ද යන සියල්ල පියාණෙනි, නුඹ සේවනය කරව. නිකරුණෙහි ධනය නො නසව. නුසුදුසු කටයුතු කිරීමෙන් අනුවණ පුද්ගල තෙමේ හුණ ගසින් කල ගෙයක් දිරා වැටෙන්නා සේ ගැලේ යයි ජම්බුක තෙම කීයේ ය.
3119. මහරජ, මවුපියන් කෙරෙහි කළමනා උපස්ථාන ධර්‍මයෙහි හැසිරෙව. මහරජ, මෙලොව ධර්‍මයෙහි හැසිර ස්වර්‍ගයට යන්නෙහි ය.
3120. ක්‍ෂත්‍රිය මහරජ, අඹු දරුවන් කෙරෙහි කළමනා යුතුකම් කිරීම් සංඛ්‍යාත ධර්‍මයෙහි හැසිරෙව. මහරජ, මෙලොවැ ධර්‍මයෙහි හැසිර ස්වර්‍ගයට යන්නෙහි ය.
3121. ක්‍ෂත්‍රිය මහරජ, මිත්‍රාමාත්‍යයන් කෙරෙහි කළමනා යුතුකම් කිරීම් සංඛ්‍යාත ධර්‍මයෙහි හැසිරෙව. මහරජ, මෙලොවැ, ධර්‍මයෙහි හැසිර ස්වර්‍ගලෝකයට යන්නෙහි ය.
3122. මහරජ, හස්ති අශ්වාදි වාහනයන් කෙරෙහි ද කළමනා යුතුකම් දහම්හි හැසිරෙව. මහරජ, මෙලොව ධර්‍මයෙහි හැසිර ස්වර්‍ග ලෝකයට යන්නෙහි ය.