Jātaka

Birth Stories

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-29 · 7679 segments

පෙන්වන කොටස් 3601-3700 න් 7679

2935. මහරජ, ගැඹුරු සයුරෙහි නැවකින් යාත්‍රා කරන කල්හි මිනිස් බිල්ලක් සොයන්නා වූ රකුසෙක් නැව අල්ලා ගන්නේ නම් නුඹගේ මෑණියන් ඇතුළු සත් දෙනා අතුරෙන් කවරකු කෙසේ පිළිවෙළින් දියරකුසාට දී (දිය රකුසාගෙන්) මිදෙන්නෙහි දැ යි හෙරී නම් පරිව්‍රාජිකාව ඇසුවා ය.
2936. ආර්‍ය්‍යාවනි, පළමු කොට මෑණියන් දෙන්නෙමි. ඉන්පසු බිරිය දී සහෝදරයා දෙන්නෙමි. සතරවනුව යහළුවා දී පස්වනුව බ්‍රාහ්මණයා දෙන්නෙමි. සවනුව මම තමන් දෙන්නෙමි. මහෞෂධ පණ්ඩිතයන් නො මැ දෙන්නෙමි යි රජ තෙම කීයේ ය.
2937. මහරජ, නුඹගේ මව නුඹ වැදූ තැනැත්තී ය. නුඹ පෝෂණය කළ තැනැත්තී ය. ඡම්භී නම් බ්‍රාහ්මණයා නුඹ කෙරෙහි දුෂ්ට වූ කල්හි නුවණැති වූ යහපත දැක්මෙහි සමත් ඕ අනෙකකු පෙන්නා නුඹ මරණයෙන් මිදුවා ය.
2938. ප්‍රාණය දුන්නා වූ ලෙහි හොවා හැදු ගැබ්හි දරා සිටි එබඳු මෑණි කෙනකුන් කිනම් වරදක් නිසා ජලරකුසාට දෙන්නෙහි දැ යි පරිව්‍රාජිකාව ඇසුවා ය.
2939. මහලු වුව ද තරුණියක සේ නො පැළඳිය මනා අබරණ පළඳියි. දොරටුපාලයන් හා යුද සෙබළුන් හා වේලා ඉක්මවා මහත් කොට සිනාසෙයි.
2940. තවද සාමන්ත රජුනට මාගේ හස්න සේ අඟවා තොමෝ මැ දූතයන් අත හසුන්පත් යවයි. ඒ දෝෂය හේතු කොට ගෙන මව දිය රකුසාට දෙන්නෙමි යි කීය.
2941. මේ නන්‍දා දේවි තොමෝ ස්ත්‍රී සමූහයාහට උතුම් වූ බොහෝ ප්‍රිය වචන බෙණෙන බාලකාලයේ පටන් සිතැඟි ලෙස හැසුරුණු ආචාර සීලයෙන් යුත් සෙවණැල්ල මෙන් නොහැර පවත්නා වූ,
2942. නො කිපෙනසුලු වූ නුවණැති පණ්ඩිත වූ යහපත අයහපත දැක්මෙහි සමත් තැනැත්තියකි. එබඳු අගමෙහෙසිය කිනම් දොසක් නිසා දිය රකුසාට දෙන්නෙහි දැ යි.
2943. කාම ක්‍රීඩා රතියෙන් යුක්ත වූ අවැඩදායක වූ කෙලෙස් වසයට පැමිණි මාගෙන් මේ නන්‍දා තොමෝ දූ පුතුන්හට දෙන ලද හෙයින් නො ඉල්වියයුතු ධනය ඉල්ලයි.
2944. කාමයෙන් ඇලුණා වූ ඒ මම දීමට දුෂ්කර වූ කුදු මහත් ධනය දී පසුව (අඬමින් මා වෙත එන දූ පුතුන් දැක) දොම්නස් වූයෙම් ශෝක කරමි. ඒ දෝෂයෙන් මම අගබිසොව දිය රකුසාට දෙන්නෙමි යි රජ තෙම කීයේ ය.
2945. මහරජ, යමකු විසින් ජනපදයෝ දියුණු කරන ලද්දාහු ද, යමකුන් විසින් පිටරට විසූ තමුන්නාන්සේ නැවත ගෙට පමුණුවන ලද්දාහු ද පිටරටවලින් ඔවුන් මැඩලා බොහෝ ධනය ගෙනෙන ලද්දේ ද-
2946. ධනුර්ධරයන් අතුරෙන් උතුම් වූ ශූර වූ සියුම් නුවණැති ඒ සහෝදරයා කිනම් දොසක් නිසා දිය රකුසාට දෙන්නෙහි ද?
2947. මා විසින් ජනපදයෝ දියුණු කරන ලද්දාහ. පිටරට සිටි රජ ද සිය ගෙට පමුණුවන ලද්දේ ය. පිටරටවලින් ඔවුන් මැඩලා බොහෝ ධනය ගෙනෙන ලද්දේ ය.
2948. මම ධනුර්ධරයන්ගෙන් උතුම් ද වෙමි. ශූර ද වෙමි. සියුම් නුවණැත්තෙම් ද වෙමි. මා විසින් මේ රජ සුවපත් කරන ලද්දේ යයි තරුණ වූ මෙතෙමේ මා ඉක්මවා හඟියි.
2949. ආර්‍ය්‍යාවෙනි, හෙ පෙර මෙන් උපස්ථානයට ද මා කරා නො එයි. ඒ දෝෂය හේතු කොට ගෙන සහෝදරයා දිය රකුසාට දෙමි යි රජ තෙමේ කීය.
2950. ඔබ වහන්සේ ද ධනුශෙඛර කුමරා ද යන දෙදෙන ම මේ නුවර එක රැයෙක්හි උපන්නාහුය. එවක් පටන් සමාන වයස් ඇති ඔවුහු පංචාල දේශයෙහි යහළුවෝ වූහ.
2951. හේ කුඩාකල සිට ම ඔබ වහන්සේ සමග ම හැසිරුණේ ය. ඔබ හා සමාන සුව දුක් ඇත්තේ ය. දිවා රෑ දෙක්හි උත්සාහවත් ව ඔබගේ සැම කටයුත්තෙහි යෙදුණෙකි. එබඳු යහළුවා කිනම් දෝසයක් නිසා දිය රකුසාට දෙන්නෙහි දැ යි ඇසුවා ය.
2952. ආර්‍ය්‍යාවෙනි, පෙර මා සමග හැසිරීමෙන් මොහු මහත් කොට සිනාසුණේ ය. අදත් ඒ ආකාරයෙන් ම සීමාව ඉක්මවා මහත් කොට සිනාසේ යයි රජ තෙම කීය.
2953. ආර්‍ය්‍යාවෙනි, මා අගබිසොව සමග රහසිගත ව කථා කරන කල්හි නො කැඳවා ලද (මේතෙම) වහා ගේ තුළට පිවිසෙයි.
2954. ලද වාර ඇත්තේ අවකාශ ලැබූ මම විළිනැති අනදරව හැසිරෙන ඒ යහළුවා ඒ දෝෂයෙන් දිය රකුසාට දෙමි යි රජ තෙම කීය.
2955. මහරජ, මේ කේවට්ට නම් බමුණු තෙම සියලු නිමිති කීමෙහි දක්‍ෂය. සතුන්ගේ හඬ දන්නේ ය. ධර්‍මශාස්ත්‍ර උගත්තේ ය. චන්‍ද්‍රග්‍රහණ සූර්‍ය්‍යග්‍රහණාදිය ඇතිවීමෙහි හේතු දන්නේ ය. ස්වප්න ඵලාඵල දන්නේ ය. ගමන් යාමෙහි ද ගෘහප්‍රවේශයෙහි ද ගුණාගුණ කියන්නේ ය.
2956. භූමියෙහි ද අහසෙහි ද ගුණාගුණ කීමෙහි දක්‍ෂය. නක්‍ෂත්‍ර පද දැනුමෙහි සමර්‍ත්‍ථය. එබඳු බමුණා කිනම් දොසක් නිසා දෙන්නෙහි දැ යි.
2957. ආර්‍ය්‍යාවෙනි, මේ බ්‍රාහ්මණයා පිරිස් මැද දී මා දෙස ඇස දල්වා බලයි. එහෙයින් මම රෞද්‍ර වූ බැම ඇති බමුණා රකුසාට දෙමි යි රජ තෙම කීයේ ය.
2958. මුහුදින් වට වූ සාගරයට කුණ්ඩලාභරණයක් බඳු වූ සියල්ල දරන්නා වූ මේ පොළොව ඇමතියන් විසින් පිරිවරන ලද නුඹ වහන්සේ අයත් කොට ගෙන වසන්නහු ය.
2959. නුඹ වහන්සේ සිව් දිගට පතළා වූ මහත් රට ඇති දිනාගන්නා ලද ප්‍රදේශ ඇත්තේ මහාබලැත්තහුය. මුළු පොළවෙහි එක ම රජ වූවහු ය. නුඹ වහන්සේගේ යශස මහත් ව පැතිර ගියේ ය.
2960. පළඳනා ලද මිණිකොඬොල් ඇති නොයෙක් ජනපදයන්ට අයත් වූ ස්ත්‍රීහු දෙවඟනන් සේ පැහැපත් වූවාහු සොළොස් දහසක් වෙති.
2961. මහරජ, මෙසේ සියලු අංගයන්ගෙන් යුත් සියලු කාම සම්පතින් පිරීගිය සුවපත් ව වෙසෙන්නන්හට දිගු කලක් ජීවත්වීම ප්‍රිය යයි නුවණැත්තෝ කියත්.
2962. එසේ තිබිය දී කවර හේතුවක් නිසා මහෞෂධ පණ්ඩිතයන් රකිමින් හරනට නොහැකි වූ ප්‍රාණය පවා කෙසේ නම් හරනෙහි දැ යි පරිව්‍රාජිකාව ඇසුවා ය.
2963. ආර්‍ය්‍යාවනි, මහෞෂධ තෙමේ යම් දිනක සිට මා වෙතට පැමිණියේ ද එදා සිට මෙතෙක් කාලය තුළ මහෞෂධ පණ්ඩිතයන්ගේ ස්වල්ප මාත්‍ර වූ වරදක් ගැනවත් නො ම දනිමි.
2964. ඉදින් මාගේ මරණය පළමු කොට සිදු වේ නම් මහෞෂධ තෙමේ මාගේ දූ පුතුන් ද මුණුපුරන් ද සුවපත් කරන්නේ ය.
2965. මෙ තෙමේ අනාගතාර්‍ත්‍ථයත් ප්‍රත්‍යුත්පන්නාර්‍ත්‍ථයත් යන සියල්ල දකී. නිරපරාධ වූ ක්‍රියා ඇති ඔහු දියරකුසාට නො දෙමි යි රජ තෙම කීය.
2966. එම්බා පංචාල රටවැසියෙනි, චූලනීබ්‍රහ්මදත්ත රජුගේ මේ කීම අසවු. රජ තෙමේ මහෞෂධ පණ්ඩිතයන් රකිමින් හැර දැමිය නොහැකි ප්‍රාණය පවා හැර දමයි.
2967. පංචාල රජ තෙම සිය මවගේ ද භාර්‍ය්‍යාවගේ ද සහෝදරයාගේ ද යහළුවාගේ ද බ්‍රාහ්මණයාගේ ද තමන්ගේ ද යන සදෙනාගේ ම හැර දැමිය නො හැකි ජීවිත හැර දමයි.
2968. මෙසේ ප්‍රඥාතොමෝ මහත් ප්‍රයෝජන ඇත්තී ය. නිපුණ ය. යහපත් සිතුවිලි දනවන්නී ය. මෙලොවැ, හිත පිණිස හා පරලොව සුව පිණිස ද වන්නී ය, (හෙරි නම් පරිව්‍රාජිකාව කීවා යයි වදාළසේක.)
උදාකරාක්‍ෂස පැනය යි.
8. පණ්ඩරක ජාතකය
2969. විසුරුණා වූ වචන ඇති, නො සඟවන ලද මන්ත්‍රණ ඇති, සංයත නො වූ කියයුතු නො කියයුතු බව නොදන්නා වූ අනුවණ ඒ පුද්ගලයා අනුව තමා විසින් කරන ලද්දා වූ ම භය පසු පස යෙයි. කුමක් මෙන් ද යත් : පණ්ඩරක නාග නම් වූ මා අනුව ගිය සුපර්‍ණයා මෙනි.
2970. යම් මිනිසෙක් සැඟවියයුතු රහස් මන්ත්‍ර කථා කරමින් එය රැකිය නො හැක්කහුට මුළායෙන් කියා ද බිඳුණා වූ මන්ත්‍ර ඇති ඒ පුද්ගලයා පසු පසැ බිය ගමන් කෙරෙයි. කවරකු මෙන් ද යත්: පණ්ඩරක නම් නාගයා අනුව ගිය සුපර්‍ණයා මෙනි.
2971. අනුවර්‍තන මාත්‍රයෙන් මිත්‍ර වූයේ ගරු වූ සඟවාලියයුතු කරුණ දැනගන්නට නිසි නොවේ. අනුවණ සුහද මිතුරා ද අනර්‍ත්‍ථකාරී නුවණැතියා ද රහස දැනගන්නට නිසි නොවේ.
2972. මම මේ අචේලකයා ශ්‍රමණයෙකැ යි ද ලෝකසම්මත යැයි ද භාවිත සිත් ඇත්තෙකැ යි ද විශ්වාසයට පැමිණියෙමි. ඔහුට මම ගුහ්යාර්‍ත්‍ථය විවෘත කොට කීමි. දැන් ඉක්ම ගිය යහපත ඇත්තේ බැගෑපත් ව හඬමි.
2973. සුපර්‍ණය, පළමු කොට සැඟවිය යුතු මේ වචනය ඔහුට සඟවන්නට මම නොසමත් වීමි. මේ බිය මට ඔහුගේ පාර්ශ්වයෙන් පැමිණියේ ය. එහෙයින් ඉක්ම ගිය යහපත ඇත්තෙම් බැගෑපත් ව හඬමි.
2974. යම් මිනිසෙක් මොහු සුහෘදය යි හඟිමින් පහත් කුලැතියකු කෙරෙහි ද්වේෂයෙන් හෝ බියෙන් හෝ වැලි රාගවශයෙන් ඇල්මෙන් හෝ සැඟවියයුතු කරුණක් කියා නම්, ඒ අඥාන තෙම නිසැක ව ම පෙරළා විනාශයට පමුණුවනු ලබන්නේ ය.
2975. පිළිසන්වචන ඇති අසත්පුරුෂයන්ට අයත් වූ යමෙක් සැඟවිය යුතු වචනය පිරිස් මැද කියා ද ඒ මිනිසා ආශීර්විෂයකු මෙන් අයහපත් මුඛ ඇත්තෙකැ යි කියත්. එබන්දහු කෙරෙන් දුරින් ම දුරු වන්නේ ය.
2976. ආහාර ද පාන වර්‍ග ද කසී සඳුන් ද මනවඩන ස්ත්‍රීන් ද මල් ද දිව්‍යමය සිව්දැගඳ ද ඇඟ ඉලීම් ද, යන සියලු කාම සම්පත් අත් හැර දමා යන්නෙමු. සුපර්‍ණය, දිවිහිම් කොට තොප කරා පැමිණියම්හ. අපට පිහිට වව යි.
2977. ප්‍රාණියකු වූ නාගරාජය, ශ්‍රමණයා ද සුපර්‍ණයා ද නුඹ ද යන තිදෙනා අතුරෙන් මෙලොව කවරෙක් නම් නින්‍දාවට පැමිණේ ද කවර හෙයෙකින් සුපර්‍ණයා විසින් මම ගන්නා ලද්දෙම්දැයි තමාට ම නින්‍දා කරව.
2978. හෙතෙම මා විසින් (සත්පුරුෂ) ශ්‍රමණයෙකැයි සම්මත කරන ලද්දේ විය. මට ප්‍රියයෙක් ද විය. සිතින් සම්භාවනා කරන ලද්දෙක් ද විය. එහෙයින් මම ඔහුට සැඟවියයුතු කරුණ ප්‍රකට කොට කීමි. ඉක්ම ගිය යහපත ඇත්තේ බැගෑපත් ව හඬමි.
2979. නාගරාජය, මේ පෘථිවියෙහි නො මැරෙන ස්වභාව ඇති සත්‍වයෙක් නම් නැත්තේ ය. ප්‍රඥාව සමාන වූ නින්‍දා නො කටයුතු අන්කිසිවෙක් ද නැත. සත්‍යවචනයෙන් ද සුචරිත ධර්‍මයෙන් ද ප්‍රඥායෙන් ද ඉන්‍ද්‍රිය දමනයෙන් ද මෙලොව මනුෂ්‍ය තෙම නො ලැබිය හැකි දැය (අෂ්ටසමාපත්ති මාර්‍ග ඵල නිර්‍වාණ) ලබන්නේ ය.
2980. නෑයන් අතුරෙන් මවුපියෝ උසස් වෙති. මොහුට මවු පියනට වඩා අනුකම්පා කරන ස්වභාව ඇති තුන්වැන්නෙක් නම් නැත්තේ ය. මන්ත්‍ර භේදයෙහි සැක කරනුයේ ඔවුනට ද පරම රහස් නො කියන්නේ ය.
2981. යමකුගේ මවුපියෝ ද සහෝදර සහෝදරීහු ද යහළුවෝ ද යන ස්වපක්‍ෂයෙහි වූවෝ වෙත් නම්, මන්ත්‍ර භේදයෙහි සැක කරනුයේ ඔවුනට ද ප්‍රධාන රහස් නො කියන්නේ යැ.
2982. ඉදින් ළදරු වියෙහි පසුවන ප්‍රිය තෙපුල් බෙණෙන, පුත්‍ර සම්පත්තියෙන් හා රූපසම්පත්තියෙන් ද යසසින් ද යුක්ත වූ නෑ සමූහයා විසින් පෙරටු කරන ලද භාර්‍ය්‍යා තොමෝ (තොපගේ රහස මට කියවයි) පුරුෂයාට කියන්නී නමුදු මන්ත්‍ර භේදයෙහි සැක කරනුයේ ඇයට ද ප්‍රධාන රහස් නො කියන්නේ යැ.
2983. සැඟවිය යුත්ත ප්‍රකට කොට නො කියන්නේ ය. එය නිධානයක් මෙන් රක්නේ ය. දන්නහු විසින් සැඟවියයුතු කරුණ ප්‍රකට කිරීම යහපත් නොවේ.
2984. පණ්ඩිතතෙම රහස ස්ත්‍රියට නො කියන්නේ ය. සතුරාට ද නො කියන්නේ ය. යමෙක් ආමිෂය හේතු කොට ගෙන එක් වේද ඔහුට ද, හිතෙහි සඟවාගත් සොර (කපටි) අදහස් ඇත්තහුට ද රහස නො කියන්නේ ය.
2985. යම් මිනිසෙක් සැඟවියයුතු කරුණ නො දන්නහුට දක්වා ද හෙතෙම මන්ත්‍රණය අන්කෙනකුන් දැන ගනිතැයි හටගත් බියෙන් ඔහුට දාසයෙක් ව ඉවසයි.
2986. මිනිසකුගේ මන්ත්‍රණය කරන ලද යම්තාක් සැඟවිය යුතු කරුණු යම් කෙනෙක් දනිත් නම් ඒතාක් ම ඔහුට තැති ගැනීම් ඇති වේ. එබැවින් රහස් නො මුදන්නේ ය.
2987. දවල් කාලයෙහි රහස් කරුණ විවේකව සිට කියන්නේ ය. රාත්‍රියෙහි කියන්නේ සීමාව ඉක්මවා හෙවත් බිත්තියෙන් පිට ඇසෙන සේ නො කියන්නේ ය. යම් හෙයකින් ළඟ අසා සිටියහු මන්ත්‍රණය අසද්ද, එහෙයින් මන්ත්‍රණය වහා ම භේදයට පැමිණෙන්නේ යැ.
2988. දොර නැත්තා වූ සුන්‍දර ශාලා ඇත්තා වූ හාත්පස කරන ලද දියඅගල් ඇත්තා වූ මහත් අයෝමය නුවරක් යම්සේ වන්නේ ද, මේ ලෝකයෙහි රහස් මන්ත්‍රණ ඇති ඒ පුරුෂයෝ ද මෙබන්දෝ යයි මට වැටහේ.
2989. නාගරාජය, රහස් මන්ත්‍රණ ඇත්තා වූ නො විසුරුණු වචන ඇත්තා වූ ස්වාර්‍ත්‍ථයෙහි ස්ථිර වූ යම්බඳු මනුෂ්‍යයෝ වෙද්ද. (ජීවත්වනු කැමැති) සත්‍වසමූහයා සර්‍පයන් කෙරෙන් මෙන් පස මිතුරෝ ඔවුන් කෙරෙන් බැහැර වෙත්. ඔවුන් කරා ළංවන්නට අවකාශයක් නො ලබත්.
2990. ගිහිගේ අත්හැර පැවිදි වූ නිර්වස්ත්‍ර නග්න මුඩු මහණෙක් පිඬු පිණිස හැසිරෙයි. මම ඔහු කෙරෙහි රහස් කථා එළිදරව් කෙළෙමි. එහෙයින් අර්‍ත්‍ථයෙන් ද ධර්‍මයෙන් ද පිරිහුණෙමු.
2991. එම්බා සුපර්‍ණරාජය, කෙසේ කරනුයේ කවර ආචාරයෙකින් සමන්‍වාගත වූයේ කිනම් ව්‍රතයෙකින් පවත්නේ පැවිද්දෙහි හැසිරෙමින් තෘෂ්ණා මමායන හැරපියා කෙසේ පිළිපදින්නේ ස්වර්‍ගස්ථානයට එළඹේ ද?
2992. (යහළු නාරජ,) ලජ්ජායෙන් ද, ඉන්‍ද්‍රිය දමනයෙන් ද තිතික්බා සංඛ්‍යාත අධිවාසන ක්‍ෂාන්තියෙන් ද (ඉවසීමෙන් ද) යුක්ත වූ නොකිපෙන ස්වභාව ඇත්තේ කේලාම් බස් හැරපියා මමායන දුරුකොට හැසිරෙන්නේ ශ්‍රමණ නම් වන්නේ ය. මෙසේ ක්‍රියා කරන්නේ ස්වර්‍ගස්ථානයට එළැඹෙන්නේ ය.
2993. යම්සේ මව සිරුරෙන් උපන් තරුණ පුත්‍රයා දක ඔහු (වැළඳ) මුළු සිරුරෙහි පුත්පහස පතුරුවා ද, පක්‍ෂිරාජය, පුතුට අනුකම්පා කරන්නා වූ මවක මෙන් නුඹ මට පහළ වූයෙහි.
2994. එම්බා නාගය, එසේ වී නම් අද තෝ වධයෙන් මිදෙව. පුත්‍රයෝ තිදෙනෙක් ම වෙති. අනෙක් සතරවැන්නෙක් නැත. ඔහු නම්, අතවැසියැ, අනුන් විසින් දෙන ලද්දේ යැ. තමාට දාව උපන්නේයැ යි. නුඹ මට ඔවුන්ගෙන් එක්තරා පුත්‍රයෙක් වූයෙහි ය. ඇලුම් කොට වසව.
2995. සුපර්‍ණ තෙම මේ වාක්‍යය කියා නාගයා හැරපීය. තෙමේ ද පොළොවෙහි පිහිටියේ “නුඹ අද මිදුණේ සියලු බිය ඉක්මවා සිටියෙහිය. ගොඩ හා දියෙහි මා විසින් රක්නා ලද්දෙක් වෙව.
2996. ලෙඩකුට දක්‍ෂ වෛද්‍යයකු යම්සේ ද පවස් ඇත්තකුහට සීතල ජලාශය යම්සේ ද, හිම කාලයෙහි සීතලෙන් පීඩා ඇත්තහුට ගෙයක් යම්සේ ද, එසේ ම මම තොපට පිහිට වෙමි.” (කීය.)
2997. එම්බා නාගරාජය, පසමිතුරු වූ පක්‍ෂියකු හා මිත්‍රසන්‍ථවය කොට දළ විවෘත කොට සයනය කෙරෙහි. තට කොයින් බියක් ආයේ දැ යි (සුපර්‍ණයා ඇසී ය.)
2998. අමිත්‍රයා කෙරෙහි සැක කටයුතු මය. අමිත්‍රයා මිත්‍ර වූ කල්හි ද විශ්වාස නො කරන්නේ ය. අභයස්ථාන වූ මිතුරා කෙරෙන් බිය උපන්නේ ය. ජීවිත සංඛ්‍යාත වූ මුල ම සිඳියි.
2999. යමකු සමඟ කලහ කරන ලද්දේ ද ඔහු කෙරෙහි කෙසේ නම් විශ්වාස කරන්නේ ද? සතුරන් ඇත්තහු විසින් නිතර යත්නයෙන් විසියයුතුයි. හෙතෙම සතුරන් සමඟ නො ඇලෙයි.
3000. තමා කෙරෙහි විශ්වාසය ඇතිකරවන්නේය. එහෙත් ඔහු විශ්වාස නො කරන්නේය. තමා කෙරෙහි සැක නො කරන ලද්දේ ද (සතුරා කෙරෙහි) සැක කරන්නෙක් වන්නේය. යම් යම් විදියකින් අන්‍යයා අදහස නො දැනගනී නම් නුවණැත්තේ එසේ එසේ වීර්‍ය්‍යය කරන්නේ ය.
3001. දෙවියන්ට සමාන වර්‍ණ ඇති සිවුමැලි වූ, පිරිසිදු වූ පින්කඳු දෙකක් බඳු ඔවුනොවුන් එක සමාන වූ පුරුෂ නාගයෝ දෙදෙන එක්ව රිය උසුලන අසුන් මෙන් කාදම්බිය නම් අචේලකයා වෙත පැමිණියහ.
3002. ඉක්බිති පණ්ඩරක නම් නාරජ තෙම අචේලකයා වෙත තෙමේ ම පැමිණ මෙය කීයේ ය. “අද සියලු භය ඉක්ම වූ මිදුණා වූ මම ඒකාන්තයෙන් නුඹගේ සිතට ප්‍රියයෙක් නො වීමි” යි.
3003. පණ්ඩරක නම් නාගයාට වඩා සුපර්‍ණරාජයා නිසැකයෙන් ම මට ප්‍රියය යන මේ කරුණ සත්‍යයකි. රාගයෙන් ඇලුණා වූ ද ඒ මම දැනගෙන ම මේ පාපකර්‍මය කෙළෙමි. මුළාවෙන් නො දැන නො වේ යයි අචේලකයා කීයේ ය.
3004. මෙලොවත් පරලොවත් බලන්නා වූ පැවිද්දකුට මට ප්‍රියය, අප්‍රිය ය, යන හැඟීමක් නැත. නුඹ වනාහි මනා සංයත වූ පැවිද්දන්ගේ වේශයෙන් අසංයත වූයෙහි මෙලොව හැසිරෙන්නෙහි ය.
3005. නුඹ වනාහි ආර්‍ය්‍යයකුට බඳු ස්වභාව ඇත්තෙහි. එහෙත් ගති පැවතුමින් අනාර්‍ය්‍ය ද වෙහි. සංයම නැත්තෙහි. එහෙත් සංයම ඇත්තකු බඳු වෙහි. පාප සංඛ්‍යාත කෘෂ්ණයෙහි ඇලුණෙක් වෙහි. නිර්ලජ්ජා ස්වභාවය ඇත්තෙහි. ලාමක වූ බොහෝ දුශ්චරිතයෙහි හැසුරුණෙහි යයි නාරජ තෙම නින්‍දා කෙළේ ය.
3006. “(එම්බා නිගණ්ඨය,) මිත්‍රද්‍රෝහි වූ නුඹ ද්‍රෝහ නො කළා වූ මිත්‍රයාට ද්‍රෝහ කෙළේ ද වෙහි. කේලාම් කියන්නේ ද වූයෙහි. මේ සත්‍ය වචනය කරණ කොට ගෙන තොපගේ මස්තකය සත් කඩක්ව පැලේවා” යි නාරජ සාප කෙළේ ය.
3007. මිත්‍රද්‍රෝහිකම අනිෂ්ට විපාක ගෙන දෙන හෙයින් මිත්‍රයන්ට ද්‍රෝහ නො කළ යුතු. මිත්‍ර ද්‍රෝහකමට වඩා අන් පාපයෙක් නැත්තේය. පොළෝහි ඉසින ලද විෂ ඇති නාගයා විසින් ශාපකරන ලද්දේ, නා රජුගේ සත්‍ය ක්‍රියාවෙන් සංවරයෙහි සිටිමි යි ප්‍රතිඥා කළ (ඒ) කූට ආජීවක තෙම නැසුණේ යයි වදාළසේක.
පණ්ඩරක ජාතක යි.
9. සම්බුලා ජාතකය
3008. මේ පර්‍වත කඳුරැළියෙහි වෙව්ලමින් පිරුණු වටොර යුවලක් ඇති එකලා වැ සිටුනා තෝ කවරහි. මිටින් ගතහැකි මධ්‍ය ප්‍රදේශ ඇත්තිය, මා විසින් විචාරන ලද වෙහි. තීගේ නම ද ඤාතීන් ද මට කියව.
3009. යහපත් මධ්‍ය ප්‍රදේශ ඇති සුන්‍දර ස්ත්‍රිය, සිංහව්‍යාඝ්‍රාදීන්ගෙන් ගැවැසීගත් සිත්කලු වූ මේ වනය බබුළුවමින් සිටුනා තෝ කවරහි. සොඳුර තිට වඳිමි. මම අසුරයෙක්මි. තිට නමස්කාර වේවා යි අසුරයා කීයේ ය.
3010. අසුරය, කසී රජුගේ යම් පුත්‍රයෙක් වේද, සොත්‍ථිසේන යයි ඔහු දනිත්. මම වනාහි ඔහුගේ සම්බුලා නම් භාර්‍ය්‍යා වෙමි, අසුරය මෙසේ දැන ගනුව.
3011. සම්බුලා නම් වූ මම තොප වඳිමි. තොපට නමස්කාර වේවා. පින්වත් අසුරය, වේදේහ පුත්‍ර තෙමේ රෝගී වූයේ වනයෙහි වෙසෙයි. මම වනාහි රෝගයෙන් පෙළුණු එකලා වූ ඔහුට එකලා වැ උපස්ථාන කෙළෙමි.
3012. මම ද මැස්සන් නැති මීත් සිංහාදීන් කා දැමූ මසුත් සොයා ගෙන යම් කලෙක හැරගෙන එම් ද, වේදේහ පුත්‍ර තෙම එය බුදින්නේය. අද ඔහුට එය ද නො ලැබ ඒකාන්තයෙන් තැවෙතියි සිතමි.
3013. සම්බුලාවෙනි, ආතුර වූ දිරාපත් වූ රාජපුත්‍රයකු හේතුවින් කුමට පරිචර්‍ය්‍යා කරහි ද? මම තිට ස්වාමි පුරුෂ වෙමි යි (දානවයා කීය.)
3014. ශෝකාතුර වූ දුගී අත්බැව් ඇති මාගේ කවර රූප සම්පත්තියක් විද්‍යමාන ද? තට යහපතක් වේවා. මට වඩා රුවැති අන් අඟනක් සොයා ගනුව යි.
3015. සුන්‍දරිය, එව. මේ පර්‍වතයට නැඟෙව. මාගේ භාර්‍ය්‍යාවෝ සාරසීයක් වෙති. සියලු කාමසම්පතින් සමෘද්ධ වූ තී ඔවුනට ප්‍රධාන වෙහි.
3016. තරුබඳු ආලෝක ඇත්තිය, සිතින් යම්බඳු ප්‍රාර්‍ත්‍ථනයක් කෙරෙහි නම් ඒ සියල්ල මට අධික ව තිබේ. මා සමඟ අභිරමණය කරව.
3017. සම්බුලාව, ඉදින් තී මාගේ මෙහෙසි බව නො කරන්නී නම්, තී මාගේ ප්‍රාතරාසයට නිසි ඛාද්‍යය වන්නෙහියයි සිතමි.
3018. සත් දළමඬුල්ලක් ඇති රෞද්‍ර වූ පිටතට නික්මුණු දළ ඇත්තා වූ මිනිසුන් කන්නා වූ (ඒ රකුස් තෙම) වනයෙහි පිහිටක් නො දක්නා වූ ඒ සම්බුලාව ද අතින් අල්ලාගත්තේය.
3019. රෞද්‍ර වූ ක්ලේශාමිෂ වශයෙන් ලොල් වූ ඇස් ඇති පිශාචයා විසින් යටත් කරන ලද (එහෙයින් ම) සතුරාගේ වසඟයට පැමිණියා වූ ඒ සම්බුලාව ද ස්වාමියා අනුවම ශෝක කරයි.
3020. යම් හෙයෙකින් මා රකුසා කන්නේ නම් මෙ මට දුකෙක් නො වේ. මාගේ ආර්‍ය්‍යපුත්‍රයාගේ සිත අන් ලෙසක් වේ නම්, එය මට ඊට වඩා දුකෙකි.
3021. දෙවියෝ නැත. දුරුරට වෙසෙති සිතම්. මෙහි ලෝකපාලයෝ නැත් මැ යි සිතම්. එහෙයින් මැ බලාත්කාරකම් කරන අශික්‍ෂිතයන් වළකන්නාහු නැත් මැ යි සිතම්.
3022. මෝතොමෝ යශස් ඇත්තා වූ ශාන්ත වූ සම හැසිරීම් ඇති ගින්නක් මෙන් උග්‍ර තේජස් ඇත්තියකි. ස්ත්‍රීන් අතුරෙන් උතුම් තැනැත්තියකි. රාක්‍ෂසය, ඉදින් තෝ ඒ කන්‍යාව කන්නෙහි නම්, තාගේ මුදුන සත්කඩක් ව පැළෙන්නේ ය. තෝ මැය නොතවව. මුදා හරුව. ඕ තොමෝ පතිව්‍රතාවකි යි (එහි පැමිණි සක් දෙව්රජ කී).
3023. මිනීමස් කන අසුරයාගෙන් මිදුණා වූ ඕතොමෝ ගොදුරු ගෙන එන පක්‍ෂිධේනුවක් හිස් කැදැල්ලට මෙන් ද, ගවදෙනක් නික්ම ගිය වස්සා ඇති ගවහලට මෙන් ද, හිස් අසපුවට පැමිණියා ය.
3024. ඒ සම්බුලා නම් යශස් ඇති රාජපුත්‍රී තොමෝ ඒ වෙනෙහි හිමියා නො දක්මින් සොවින් උපන් උසුමින් රත් වූ ඇස් ඇති වැ වැලැපුණා යැ.
3025. මම ශ්‍රමණයන් ද බ්‍රාහ්මණයන් ද චරණ ධර්‍මයන්ගෙන් යුත් ඍෂිවරුන් ද වඳිමි. රාජ පුත්‍රයා නො දක්නා වූ සම්බුලා නම් වූ මම තොපගේ පිහිට සොයා ගියා වෙමි.
3026. සිංහයන් ද ව්‍යාඝ්‍රයන් ද වෙනෙහි යම් සෙසු මෘගයෝ වෙත් නම් ඔවුන් ද මම වඳිමි. රාජ පුත්‍රයා නො දක්නා වූ සම්බුලා නම් වූ මම තොපගේ සරණ ගියා වෙමි.
3027. තෘණ වර්‍ග ද ලතා වර්‍ග ද ඔෂධි වර්‍ග ද පර්‍වත ද වන ද යන මේ තන්හි යම් දෙවිකෙනෙක් අධිගෘහිත ව වෙසෙද් ද, මම ඔවුන් වඳිමි. රාජපුත්‍රයා නො දක්නා වූ සම්බුලා නම් වූ මම තොප පිහිට සොයා ගියා වෙමි.
3028. නැකැත් පෙළින් යුක්ත වූ නිලුපුල් බඳු වර්‍ණ ඇති රාත්‍රිය ද මම් වඳිමි. රාජපුත්‍රයා නො දක්නා වූ සම්බුලා නම් වූ මම තොපගේ සරණ ගියා වෙමි.
3029. සෙසු ගංගාවන්ගේ ජලය පිළිගන්නා වූ භාගීරථි නම් ගඟ මම වඳිමි. රාජපුත්‍රයා නො දක්නා වූ සම්බුලා නම් වූ මම තොපගේ සරණ ගියා වෙමි.
3030. හිමවන්ත නම් පර්‍වතරාජශ්‍රේෂ්ඨයා මම් වඳිමි. රාජ පුත්‍රයා නො දක්නා වූ සම්බුලා නම් මම තොපගේ සරණ ගියා වෙමි යි (සම්බුලා තොමෝ වැළපුණා ය.)