2745. බ්‍රාහ්මණය, නුඹ කොහි සිට පහළවූයෙහි ද? දෙව්ලොවින් අවුත් රාත්‍රිය බබුළුවන චන්‍ද්‍රයා මෙන් අහසෙහි සිටිනෙහි ය. (සිය ගණන් රැලි ඇති) සතෙරිත නම් වූ විදුලිය මෙන් නුඹගේ ශරීරයෙන් රශ්මීහු නික්මෙත්.
2746. ඒ නුඹ වාතය රහිත අහස්හි සිටිනෙහි, පයින් මඟ නොයන්නා වූ දේවතාවන්ගේ යම් ඍද්ධියක් වේ ද, ඒ ඍද්ධි තොමෝ නුඹ විසින් මනාව මඩනා ලද්දී ප්‍රතිෂ්ඨාවක් මෙන් කරන ලද්දී වෙයි.
2747. අහසෙහි ගමන් කරමින් මෙහි අවුත් සිටිනෙහි. කළය මිල දී ගනිවු යි යම් කරුණක් කියහි ද, ඒ නුඹ කවරෙක් ද? මේ කළය කුමකින් යුක්ත ද? බ්‍රාහ්මණය, මේ කරුණ මට කියව යි සබ්බමිත්ත නම් රජ කීයේ ය.
2748. මහරජ, මේ කළය ගිතෙල් කළයක් නො වෙයි. තලතෙල් කළයක් ද නො වෙයි. උක්සකුරු කළයක් ද නො වෙයි. මීපැණි කළයක් ද නො වෙයි. මේ කළය පිළිබඳ නොයෙක් ආදීනවයෝ ඇත්තාහ. කළයෙහි වූ බොහෝ දෝසයන් අසවු.
2749. යම් සුරාවක් පානය කොට ගමන් කරන්නේ පියවරක් පාසා පෙරැළෙන්නේ ද, ප්‍රපාතයට ද, වළට ද ගුහාවට ද අපිරිසිදු මඩවළට ද ගවරවළට ද වැටෙන්නේ ද, අනුභව නො කටයුතු බොහෝ දෙයත් අනුභව කරන්නේ ද, ඒ සුරායෙන් පිරුණු මේ කළය මිලදී ගනිවු.
2750. යම් සුරාවක් පානය කොට තම සිතෙහි අධිපති බව නැත්තේ සුරා කසට අනුභව කරන්නා වූ ගවයකු මෙන් ඇවිදී ද, අනාථයකු මෙන් ගයන්නා වූ අනෙකකු දැක ගායනය කෙරේ ද නැටීමත් කෙරේ ද ඒ සුරාවෙන් පිරුණු මේ කළය මිලදී ගනිවු.
2751. යම්බඳු සුරාවක් පානය කොට නිර්වස්ත්‍ර තවුසකු මෙන් ගමෙහි හා වීථි අතරෙහි හැසිරේ ද, ඉතා මුළා වූ සිතැතිව බොහෝ වේලා සයනය කෙරෙද්ද, ඒ සුරායෙන් පිරුණු මේ කළය මිලදී ගනිවු.
2752. යම්බඳු සුරාවක් පානය කොට නැගිට හෙතෙම වෙවුලමින් හිස ද අත ද දිගු කරමින් දැවමුවා යන්ත්‍රරූපයක් මෙන් නටයි ද, එයින් පිරුණු මේ කළය මිල දී ගනිවු.
2753. යම් සුරාවක් පානය කොට ගින්නෙන් දැවුණක්හු (මෙන්) ශයනය කෙරෙද්ද. වැලිදු සිඟාලයන් විසිනුත් කනුලබත් ද බන්ඩනයට ද වධයට ද සම්පත් පිරිහීමට ද පත්වෙත් ද ඒ සුරායෙන් පිරුණු කළය මිල දී ගනිවු.
2754. යම්බඳු සුරාවක් පානය කොට නො කියයුත්ත කියන්නේ ද, සභායෙහි හුන්නේ පහවූ වස්ත්‍ර ඇත්තේ ද කුණු තැවරීම් සහිතව සිය වමනයෙහි ගැලුණේ ව්‍යසනයට පැමිණියේ වේ ද, ඒ සුරායෙන් පිරුණු මේ කළය මිල දී ගනිවු.
2755. යම්බඳු සුරාවක් පානය කොට මම හැමට ම වඩා උත්කෘෂ්ට වෙමි යි සිතා ද, කැළැඹුණු ඇස් ඇත්තේ ද, සියලු පෘථිවිය මාගේ යයි හඟී ද, සතර දිශාවට අධිපති රජෙක් ද මා හා සම නො වේයයි සිතා ද, එබඳු සුරායෙන් පිරුණු මේ කළය මිල දී ගනිවු.
2756. යම් සුරාවක් පානය කොට මානය ඇත්තාහු අධික මානය ඇත්තාහු වෙද්ද, කලහ ඇත්තාහු කේලාම් කියන්නාහු වෙද්ද, අයහපත් වර්‍ණ ඇත්තාහු නග්න භාවය ඇත්තාහු පලායන්නෝ ද, සොරුන්ගේත් ධූර්‍තයන්ගේත් නිෂ්පත්තියට නිවාසස්ථාන වේ ද, එබඳු සුරායෙන් පිරුණු මේ කළය මිල දී ගනිවු.
2757. සුරාපානය කළා වූ යම් කුලයෙක්හි ධාන්‍ය ද ධනය ද රන්රිදී ද කෙත් ද ගවයෝ ද යන මේ වස්තූහු විනාශයට යෙන් ද, යමක් පොහොසත් කුලයන්ගේ විනාශය ඇති කෙරේ ද, එබඳු සුරායෙන් පිරුණු මේ කළය මිලදී ගනිවු.
2758. ලෙව්හි නොයෙක් දහස් ගණන් ධනය ඇති සමෘද්ධ වූ වස්ත්‍රාලංකාරාදියෙන් පිරීගියා වූ යම් කුලයෝ වූහු ද, ඒ සියල්ල මේ සුරායෙන් සිඳුණු ධනය ඇති කුල බවට පමුණුවන ලද්දේය. ඒ සුරායෙන් පිරුණු මේ කළය මිල දී ගනිවු.
2759. යම් සුරාවක් පානය කොට දුෂ්ට ස්වභාව ඇති පුරුෂ තෙම පියාට ද මවට ද ආක්‍රෝශ කෙරේ ද, නැන්දණිය ද භාර්‍ය්‍යාව යයි සිතා අතින් අල්ලාගන්නේ ද, ලේළිය ද භාර්‍ය්‍යාව යයි සිතා අතින් අල්ලාගන්නේ ද එබඳු සුරායෙන් පිරුණු මේ කළය මිල දී ගනිවු.
2760. යම් සුරාවක් පානය කොට දුෂ්ට ස්වභාව ඇති ස්ත්‍රී තොමෝ මාමාට ද ස්වාමිපුරුෂයාහට ද ආක්‍රෝශ කරන්නී ද, දාසයා ද සමීපයෙහි හැසිරෙන තැනැත්තා ද ස්වාමි පුරුෂයා යයි (කෙලෙස් වශයෙන්) ගන්නී ද, ඒ සුරායෙන් පිරුණු මේ කළය මිල දී ගනිවු.
2761. යම් සුරාවක් පානය කළ පුරුෂ තෙම දහම්හි හැසිරෙන ශ්‍රමණයකුට හෝ බ්‍රාහ්මණයකුට හෝ හිංසා කෙරේ ද, ඒ හේතුවෙන් අපායට යන්නේ ද, ඒ සුරායෙන් පිරුණු මේ කළය මිල දී ගනිවු.
2762. යම් සුරාවක් පානය කොට කයින් හෝ සිතින් හෝ දුසිරිත්හි හැසිරෙද්ද, දුසිරිත්හි හැසිර නිරයට යෙද්ද, ඒ සුරායෙන් පිරුණු මේ කළය මිල දී ගනිවු.
2763. පෙර බොහෝ වූ රන් පරිත්‍යාග කරමින් යදින්නාහු නමුත් යමකු ලවා බොරු කියැවීම නො ලබත් ද, හෙතෙම ඒ සුරාව පානය කොට බොරු කියා ද එබඳු සුරායෙන් පිරුණු මේ කළය මිල දී ගනිවු.
2764. යම් සුරාවක් පානය කොට, ඉක්මන් කටයුත්තක් ඇති කල්හි පණිවිඩ යැවිය යුතු කරුණෙක්හි ලා පණිවිඩය සඳහා යවනු ලබන්නේ (කුමක් පිණිස ආයෙහි දැ යි) විචාරන ලද්දේ කියන ලද කරුණ නොදනී ද එබඳු සුරායෙන් පිරුණු මේ කළය මිල දී ගනිවු.
2765. ලජ්ජා සහගත සිත් ඇත්තාහු ද, සුරාමදයෙන් මත්වූවාහු නිර්ලජ්ජාගතිය පහළ කෙරෙද්ද, ධීරවුවත් බොහෝ කොට බෙණෙද්ද, එබඳු සුරායෙන් පිරුණු මේ කළය මිල දී ගනිවු.
2766. යම් සුරාවක් පානය කොට ඌරු පැටවුන් මෙන් පහත් කුල ඇත්තවුන් සමඟත් එක්රැස් වූවාහු නිරාහාරව බිම දුකසේ සයනය කෙරෙද්ද, දුර්වර්‍ණ භාවයට හා නින්‍දාවටත් පැමිණෙත් ද, එබඳු සුරායෙන් පිරුණා වූ මේ කළය මිල දී ගනිවු.
2767. ඉදින් යම් සුරාවක් පානය කොට, පාශයෙන් පෙළුණු ගවයන් මෙන් කර බාගෙන හොවිත් ද, ඒ සුරාපාන වේගය මිනිසා විසින් නො ඉසිලිය හැක්කේ ය.
2768. මනුෂ්‍යයෝ යම් සුරාවක් විෂ ඝෝර සර්‍පයකු මෙන් දුරු කෙරෙද්ද. ලෝකයෙහි විෂ හා සම එය කවර මිනිසෙක් පානය කරන්නට සුදුසු වේ ද?
2769. යම් සුරාවක් පානය කොට අන්‍ධක වෙණ්හුපුත්ත නම් දසබෑ රජ දරුවෝ මුහුදු තෙර හැසිරෙන්නාහු මොහොලින් ඔවුනොවුන්ට පහර දුන්නාහු ද එබඳු සුරායෙන් පිරුණු මේ කළය මිල දී ගනිවු.
2770. ඉදින් යම් සුරාවක් පානය කොට ප්‍රමාදාපන්න වූ මායා සහිත අසුරයෝ ශාස්වත යයි සම්මත වූ (තව්තිසා) දෙව් ලොවින් චුත වූවාහු ද, මහරජ, ඒ මේ සුරාව එබඳු නිරර්‍ත්‍ථක එකෙකැයි දන්නේ (නුඹ වැන්නෙක්) කෙසේ නම් පානය කෙරේ ද?
2771. මහරජ, මේ කළයෙහි දී හෝ මී හෝ නො වේ යයි මෙසේ දැනගෙන මිල දී ගනුව. සබ්බමිත්ත නම් රජතුමනි, මෙසේ වනාහි මේ කළයෙහි වූ දේ ස්වභාව වශයෙන් මා විසින් නුඹට කියන ලද්දේ යැයි (බමුණු වෙසින් ආ ශක්‍රයා කීයේ ය.)
2772. (බ්‍රාහ්මණය,) නුඹ යම්බඳු හිතානුකම්පා ඇත්තෙක් උතුම් වැඩ කැමැත්තෙක් වෙහි ද, මාගේ පියා හෝ මව හෝ මෙබඳු නො වෙයි. අද ඒ මම නුඹගේ වචනය පිළිපදිනෙමි.
2773. මම නුඹට ගම්වර පසක් ද දාසීන් සියයක් ද ගවයන් සත් සියයක් ද මේ ආජඤ්ඤ අශ්වයන් යෙදූ රිය දසය ද දෙමි. මට වැඩ කැමති නුඹ ඇදුරු වෙහි.
2774. මහරජ, දාසීන් සියය නුඹට ම වේවා. ගම්වර ද ගවයෝ ද නුඹට ම වෙත්වා. ආජඤ්ඤ අශ්වයන් යෙදූ රිය ද නුඹට ම වේවා. මම වනාහි දෙවියන්ට අධිපති වූ ශක්‍ර වෙමි.
2775. මහරජ, නුඹ මාංශයෙන් යුත් බත ද ගිතෙල් හා කිරි ද වළඳව. මීයෙන් යුක්ත වූ මෑවලින් කළ කැවුම් ද අනුභව කරව. මෙසේ නුඹ ධර්‍මයෙහි ඇලුණේ නින්‍දා නො ලබන්නෙක් ව ස්වර්‍ග ලෝකයට (උප්පත්ති වශයෙන්) යව.
කුම්භ ජාතක යි.
3. ජයද්දිස ජාතකය
2776. ඒකාන්තයෙන් නිරාහාර වැ සිටිනා වූ මට සත්වැනි දිනයෙහි ආහාර වේලාව පැමිණි කල්හි බොහෝ කලකින් කෑ යුතු ආහාරයක් පහළ විය. තෙපි කොහි සිට ආවහු ද කවරෙක් හෝ වවූ ද එය යම්සේ මම් දන්නා ලද්දෙම් වෙම් ද එසේ තොපගේ ජාතිය කියව.
2777. මුව දඩයමට පිවිසියා වූ ජයද්දිස නම් වූ පංචාල රජ තොප විසින් අසන ලද්දේ ද ඒ මම පර්‍වත පාර්‍ශවයන්හි ද වනයන්හි ද හැසිරෙමි. මේ පසදමෘගයා අනුභව කරව. අද මා මුදවයි ජයද්දිස රජ තෙම කීයේ ය.
2778. මා විසින් හිංසා කරනු ලබන තෙපි මා සතු දෙයින් ම තමා විකුණාගන්නහු යැ. තා පළමු අනුභව කොට අනුභව කරනු කැමැති වූ මේ පසද මුවා පසුව කන්නෙමි. තොපට මේ වැලැපීමට කාලය නො වේ යයි යක්‍ෂ තෙම කීයේ ය.
2779. ඉදින් මට ගනුදෙනුවෙන් මිදීමෙක් නැද්ද, එහෙයින් ගොස් බමුණාට ඒ පොරොන්දු ධනය දී හෙට උදෑසන පෙරළා ඊමට ප්‍රතිඥා ගනුව. සත්‍යවචනය රක්නෙම් නැවත මෙහි එන්නෙමි යි රජ තෙම කීයේ ය.
2780. මහරජ, මරු සමීපයට පැමිණි තොප කිනම් කර්‍මයක් තවා ද? හෙට උදෑසන ඊමට හැක්කහු නම්, අවසර දෙන්නට හැක්කෙමු. එය මට කියව යි කීයේ ය.
2781. මා විසින් බ්‍රාහ්මණයාහට යම් ධනාශාවක් කරන ලද්දී නම්, එය මා විසින් නොමුදන ලදී. ඒ පොරොන්දුව බ්‍රාහ්මණයාහට දී සත්‍යවචනය රකිමින් නැවත පෙරළා එන්නෙමි යි රජ තෙම කීයේ ය.
2782. තොප විසින් බ්‍රාහ්මණයාහට යම් ධනාශාවක් ඇති කරන ලද්දී නම් ඒ පොරොන්දු ඇපය නොමුදන ලද්දේ ය. බ්‍රාහ්මණයාහට ඒ පොරොන්දු ධනය දී සත්‍ය රක්නේ නැවත පැමිණෙව යි යක්‍ෂ තෙම කීයේ ය.
2783. කාමයන් කැමැති හෙ පොරිසාදයාගේ අතින් මිදුණේ සිය මැදුරට ගොස් ඒ පොරොන්දු ධනය බ්‍රාහ්මණයාහට දී අලීනසත්ත නම් පුත් කුමරු කැඳවූයේ ය.
2784. පුත්‍රය, අද ම රාජ්‍යයෙහි අභිසේක වෙව. රටවැසියන් කෙරෙහි ද ජනයන් කෙරෙහි ද දැහැමින් රාජ්‍යය කරව. තොපගේ රටෙහි අධර්‍මයෙන් රාජ්‍යය කිරීමෙක් නම් නො වේවා, මම පොරිසාදයාගේ සමීපයට යමි.
2785. දේවයන් වහන්ස, නුඹ වහන්සේට කිනම් කර්‍මයක් කරමින් සතුටු නො කෙළෙම් ද? යම් හෙයකින් අද නුඹ මා රාජ්‍යයෙහි අභිෂේක කරන්නෙහි ද, එය අසන්නට කැමැත්තෙමි. නුඹ වහන්සේගෙන් වෙන් ව මම රාජ්‍යය ද නො කැමැත්තෙමී කුමාරයා කීයේ ය.
2786. පුත්‍රය, මම නුඹගේ ක්‍රියාවකින් හෝ වචනයෙකින් හෝ සිදු වූ අපරාධයක් සිහි නො කරමි. මම පෝරිසාදයා සමග පොරොන්දුවක් වී ආයෙමි. සත්‍යය රක්නෙම් නැවත මම එහි යන්නෙමි යි රජ තෙම කීයේ ය.
2787. පියාණන් වහන්ස, මම යන්නෙමි. නුඹ වහන්සේ මෙහි ම වුව මැනැවි. ඒ පෝරිසාදයා කෙරෙන් ජීවත්වන්නහුගේ මිදීමෙක් නම් නැත්තේ ය. ඉදින් නුඹ යන්නෙහි ම නම් මම ද යන්නෙමි. එසේ ඇති කල්හි අපි දෙදෙනා ම නො වන්නෙමු යි කුමාර තෙම කීයේ ය.
2788. පුත්‍රය, මෙය ඒකාන්තයෙන් ම සත්පුරුෂයන්ගේ ස්වභාවය වේ. එසේ වුවත් යම් දවසක කම්මාසපාද නම් වූ පෝරිසාද තෙම තියුණු හුලින් ඇන පලහා නුඹ කන්නේ ද එය මට මරණයටත් වඩා දුකෙකැ යි රජ තෙම කීයේ ය.
2789. පිය රජ්ජුරුවෙනි, මම නුඹවහන්සේගේ පණින් මාගේ පණ පරිවර්‍තනය කරන්නෙමි. නුඹ වහන්සේ පොරිසාදයාගේ ළඟට නො යන සේක්වා, යම් හෙයෙකින් නුඹ වහන්සේගේ ප්‍රාණය හා මාගේ ප්‍රාණය මාරු කරන්නෙමි, යන යමෙක් වේද එහෙයින් මම ජීවත්වීමට වඩා මරණය කැමැත්තෙමි යි කීයේ ය.
2790. ඉන්පසු ඒකාන්තයෙන් ධෛර්‍ය්‍යවත් රාජපුත්‍ර තෙමේ මවගේ ද පියාගේ ද පා වැන්දේ ය. මොහුගේ මවු තොමෝ දුක් ඇත්තී බිම ඇද වැටුණීය. මොහුගේ පිය තෙම අත් බැඳගෙන හඬයි.
2791. පළමු කොට පියරජ තෙමේ යන්නා වූ ඔහු දන ඇඳිලිබැඳගත්තේ වඳියි. පුත්‍රය, සෝම දෙව්රජ ද වරුණ දෙව්රජ ද මහබඹහු ද සඳ ද හිරු ද, යන මේ දෙවියන් විසින් රක්නා ලද නුඹ පෝරිසාදයා කෙරෙන් අවසර ලද්දේ සුවසේ පෙරළා පැමිණෙත්වා යි ආශංසනය කෙළේ ය.
2792. දණ්ඩකාරණ්‍යයට ගියා වූ රාම නම් තැනැත්තහුට මනාව රක්නා ලද ඔහුගේ මව යම්බඳු සුවයක් කළා ද, ඒ සුවය මම අද නුඹට කරමි. පුත්‍රය, මේ සත්‍යය කරණකොට ගෙන දෙවියෝ සිහි කරත්වා, පෝරිසාදයාගෙන් අවසර ලද්දෙහි සුවසේ පෙරළා එවයි මව සත්‍යත්ක්‍රියා කළා ය.
2793. අලීනසත්තු නම් මාගේ සහෝදරයා ඉදිරියෙහි හෝ රහසින් හෝ කළ සිත් වේදනාවක් ඒකාන්තයෙන් මම සිහි නොකරමි. සහෝදරය, මේ සත්‍යය කරණකොට ගෙන දෙවියෝ සිහි කෙරෙත්වා, සහෝදරය, පෝරිසාදයාගෙන් අවසර ලද්දෙහි සුවසේ පෙරළා එවයි නැගණිය සත්‍යක්‍රියා කළා ය.
2794. මාගේ ස්වාමී වූ අලීනසත්තු කුමාරයාණෙනි, යම්හෙයෙකින් නුඹ වහන්සේ මා නො ඉක්මවාලූ සිත් ඇත්තහු ද එසේ ම මාගේ සිතින් ද නුඹ වහන්සේ අප්‍රිය නොවනු ද, මේ සත්‍යයෙන් දෙවියෝ සිහි කෙරෙත්වා, පෝරිසාදයා කෙරෙන් අවසර ලද්දහු සුවසේ පෙරළා පැමිණෙත්වා යි අගමෙහෙසිය සත්‍යක්‍රියා කළා ය.
2795. මහත් වූ ඍජු වූ මනෝඥ වූ මුහුණක් ඇති නුඹ කොයි සිට ආයෙහි ද? වනයෙහි වසන්නා වූ මා ගැන නො දන්නෙහි ද? රෞද්‍ර වූ මා පුරුෂයන් කන්නෙකැයි දන්නා කවරෙක් නම් සුව පතා මෙහි එන්නේ ද?
2796. රෞද්‍ර වූ තැනැත්ත, නුඹ පුරුෂයන් කන්නෙකැ යි මම දනිමි. වෙනෙහි වෙසෙන්නා වූ නුඹ ගැන නො දන්නෙම් නොවෙමි. මම් වනාහි ජයද්දිස රජුගේ පුත්‍ර වෙමි. පියාගේ මිදීම හේතු කොටගෙන අද මා කව යි අලීනසත්තු කුමාරයා කීයේ ය.
2797. නුඹ වහන්සේ ජයද්දිස රජුගේ පුත්‍රයා යයි දනිමි. තමුන්නාන්සේලා දෙදෙනාගේ ම මුඛවර්‍ණය එකාකාර ය. යමෙක් පියාගේ මිදීම හේතු කොට ගෙන මරණයට කැමැති වේ නම්, මෙය නුඹ විසින් කරන ලද ඉතා දුෂ්කර දෙයකි.
2798. යමෙක් පියාගේ මිදීම් හේතු කොට ගෙන හෝ මවගේ මිදීම හේතු කොට ගෙන හෝ මරණයට කැමැති වන්නේ නම්, හෙතෙම පරලොව ගොස් ස්වර්‍ගයෙහි වූ සැපයෙන් යුක්ත වේ. එහෙයින් මෙහි ලා කිසි දුෂ්කරයක් ගැන නො හඟිමි යි කුමාර තෙමේ කීයේ ය.
2799. මම ද වනාහි ඉදිරියෙහි හෝ රහසිගත ව හෝ කිසිවිටෙකැ තමන්ගේ පාපක්‍රියාවක් සිහි නො කරමි. මම නුවණින් පිරිසිඳින ලද ජාති මරණ ඇත්තෙම් වෙමි. මට මේ ලෝකයෙහි යම්සේ ද පරලොව ද එසේම ය.
2800. මහත් අනුභාව ඇත්ත, අද මා අනුභව කරව. මේ ශරීරයෙන් කළයුතු වැඩ කරව. ගස් කෙළවරකින් හෝ තා පිණිස මම වැටෙමි. කැමති වන්නෙහි නුඹ මාගේ මස් අනුභව කරව යි කුමාර තෙම කීයේ ය.
2801. රාජපුත්‍රය, නුඹ පියාගේ මිදීම කැමැත්තෙහි ප්‍රාණය හරනෙහි. එහෙයින් නුඹ වහා හර ඇති දර ගෙනවුත් ගිනි දල්වව.
2802. ඉන්පසු නුවණැති රාජපුත්‍ර තෙමේ දර රැස්කොට මහත් වූ ගින්නක් දල්වා දැන් මේ මහගින්නක් මා විසින් දල්වන ලද්දේ යයි දැන්වී ය.
2803. බලාක්කාරකම් කරන ස්වභාවය ඇති තැනැත්ත, අද දැන් මා අනුභව කරව. ලොමුදහගත්තේ කුමක් නිසා මා දෙස නැවත නැවත බලන්නෙහි ද? යම් යම් පරිද්දෙකින් කැමැති වන්නෙහි මා අනුභව කරන්නෙහි ද? ඒ ඒ පරිද්දෙන් නුඹගේ වචනය මම කරමි යි කුමාර තෙම කීයේ ය.
2804. ධර්‍මයෙහි පිහිටි සත්‍ය වචන ඇති ප්‍රතිග්‍රාහකයන්ගේ වචන දන්නා වූ නුඹ වැන්නකු අනුභව කරන්නට කවරෙක් නම් සුදුසු වේ ද? යමෙක් නුඹ වැනි සත්‍ය වචන ඇත්තකු අනුභව කරන්නේ නම් ඔහුගේ මුදුන ද සත්කඩක් වැ පැළෙන්නේ යයි පෝරිසාදයා කීයේ ය.
2805. මේ වනාහි සස පණ්ඩිත තෙම බ්‍රාහ්මණයෙකැ යි හඟිමින් ස්වකීය ශරීරමාංශය දීම පිණිස බමුණා වාසය කරවී ද යක්‍ෂය, එහෙයින් ම ඒ චන්‍ද්‍රදිව්‍යපුත්‍ර තෙම සසලාඤ්ජන සහිත වූයේ ප්‍රසිද්ධ වැ ප්‍රේම වර්ධනය කරන්නේය යි කීයේ ය.
2806. යම්සේ රාහුමුඛයෙන් මිදුණු පසළොස්වක්හි චන්‍ද්‍ර තෙම බබළා ද, යම්සේ සූර්‍ය්‍යයා බබළා ද, එපරිද්දෙන් මහත් අනුභාව ඇති කුමාරය, පෝරිසාදයාගෙන් මිදුණා වූ නුඹ පියා ද මව ද සතුටු කරමින් කම්පිල්ල දේශය බබළව. නුඹගේ සියලු නෑ පිරිවර ද සතුටුවේවා, (යී පෝරිසාදයා පවසා මහසත්හු පිටත් කෙළේ ය.)
2807. ඉක්බිති ප්‍රාඥ වූ අලීනසත්ත රාජපුත්‍ර තෙම පෝරිසාදයාට කළ ඇඳිලි ඇත්තේ පෙරළා ගියේ ය. පෝරිසාදයා විසින් අනුදන්නා ලද කුමාර තෙම සුව ඇත්තේ නීරෝග වූයේ කම්පිල්ල දේශයට සුවසේ ගියේ ය.
2808. නියම්ගම් වැස්සෝ ද දනව් වැස්සෝ ද ඇතරුවෝ ද රථ සෙනඟ ද පාබළ සෙනඟ ද යන සියල්ලෝ ම බැදැඳිලි ඇත්තාහු (නමස්කාර කරමින්) නුඹ වහන්සේ දුෂ්කර ක්‍රියා කරන්නෙක් වන්නහු ය. නුඹ වහන්සේට නමස්කාර වේවා යි කියමින් එළඹියාහ.
ජයද්දිස ජාතක යි.
4. ඡද්දන්ත ජාතකය
2809. රන්වන් සිරුර ඇත්තිය. කුමක් නිසා ශෝක කරහි ද? උතුම් ශරීරවර්‍ණ ඇත්තිය, කුමක් නිසා පඬුවන් වෙහි ද? විශාල වූ ඇස් ඇත්තී ය, අතින් මඩනා ලද පියුම් මාලාවක් මෙන් කුමක් නිසා මලානික වෙහි දැ? යි රජ ඇසී ය.
2810. මහරජ, මට සිහිනෙන් දොළෙක් හටගත්තේ ය. මගේ යම්බඳු ඒ දොළෙක් නම්, එය සන්හිඳුවීම පහසු නැතැ යි බිසොව කීවා ය.
2811. එම්බා නන්‍දනිය, මිනිසුන් පිළිබඳ වූ යම්කිසි කාම සම්පත්ති කෙනෙක් මෙලොව ඇද්ද? ඒ සියල්ල මට ඉතා සුලභ ය. මම තීගේ දොළ දෙමි යි රජ තෙම කීය.
2812. දේවයන් වහන්ස, නුඹ වහන්සේගේ රටෙහි වැද්දෝ පැමිණෙත්වා, මාගේ යම්බඳු වූ දොළෙක් වේ ද, එය ඔවුන්ට මම කියන්නෙමි.
2813. එම්බා දේවිය, ඒ මේ වැද්දෝ කෘතහස්තතා ඇති නිර්‍භය වූවෝ වෙති. වනය දන්නෝ ද මුවන් දන්නෝ ද වෙති. මා සඳහා හරනලද දිවි ඇත්තෝ ද වෙත්.
2814. මෙහි යම්තාක් වැදි පුත්‍රයෝ රැස්වූවාහු ද? ඒ සියල්ලෝ මා කියන කරුණ අසවු. මම ස්වප්නයෙහි ෂඩ්වර්‍ණ දළ ඇති ශ්වේත වර්‍ණ ඇතකු දිටිමි. උගේ දළවලින් මට ප්‍රයෝජන ඇත්තේ ය. එය නො ලැබීමෙහි මාගේ ජීවිතය නැතැ යි දේවී කීවා ය.
2815. එම්බා දේවිය, අපගේ මවුපියන් විසින් ද මුත්තණුවන් විසින් ද ෂඩ්වර්‍ණ දළ ඇති ඇතෙක් දක්නා ලද බවක් නො මැ අසන ලද. රාජපුත්‍රිය, ස්වප්නයෙහි දී යම්බඳු ඇතකු දැක්කෙහි නම්, ඒ ඇතා යම්සේ නම් එය අපට කියව.
2816. ෂඩ්වර්‍ණ දළ ඇති යම්බඳු ඇතකු ස්වප්නයෙහි දැක්කා නම් සතර දිගය සතර අනුදිග ය උඩ ය යට ය යන මේ දස දිගුන් අතර කවර නම් දිසාවෙක්හි ඒ ඇත්රජ සිටී දැයි වැද්දෝ ඇසූහ.
2817. මොබින් උතුරු දිශාවෙහි කෙළින් මහත් පර්‍වත සතක් ඇත. එයින් සයක් ඉක්ම ගියතැන කිඳුරන්ගෙන් ගැවැසීගත්තා වූ මනාව පිපීගිය ස්වර්‍ණ පාර්ශ්ව නම් මහත් වූ පර්‍වතයෙක් වෙයි.
2818. කිඳුරන්ගේ වාස භවනය වූ ඒ පර්‍වතයට නැඟී පර්‍වත පාදයාගේ මුල බලව. එවිට මේඝයට සමාන වර්‍ණ ඇති අටදහසක් මුල් ඇති නුගගසක් දක්නෙහි ය.
2819. එහි ෂඩ්වර්‍ණ දළ ඇති තනි සුදු පැහැයෙන් යුත් අන්‍යයන් විසින් මැඩලිය නො හැකි ඇත්රජ හිඳියි. රිය හිසකට සමාන දළ ඇති වාත වේගයෙන් ගොස් සතුරන්ට පහර දෙන්නා වූ අටදහසක් ඇත්හු ඒ ඇතු ආරක්‍ෂා කෙරෙත්.
2820. ඒ ඇත්හු බිහිසුණු ලෙස ප්‍රශ්වාස කරමින් සිටිත්. කම්පා වූ වාතයට ද කිපෙත්. එහි දී මිනිස් වූවකු දැක අළු කරන්නාහ. ඔහුගේ ධූලි ද ඉතිරි නො වන්නේය යි දේවී තොමෝ කීවා ය.
2821. එම්බා දේවීනි, මේ රජකුලයෙහි රන්මුවා පළඳනාවෝ ද මුතු මැණික් වෙරළු මිණිමුවා බොහෝ පළඳනාවෝ ද ඇත්තාහ. දළ පැළඳුමෙන් කවරක් කරන්නට ද? ෂඩ්වර්‍ණ දළැති ඇතු මරවනු කැමැත්තී වෙහි. නො එසේ නම් වැදි පුත්‍රයන් නස්වනු කැමැත්තෙහි දැ? යි වැදි පුත්‍රයා ඇසී ය.
2822. වැදි පුත්‍රය, ඒ මම හටගත් ඊර්‍ෂ්‍යයා ඇත්තී දුකින් පෙළුණීම් ද වෙමි. එය සිහි කරමින් මම මත්තෙහි ද සුසුම් ලන්නෙමි. වැදි පුත්‍රය, මාගේ මේ කාරණය කරව. තට ගම්වර පසක් ද දෙන්නෙමි යි දේවිය කීවා ය.
2823. දේවීනි, ඒ හස්තිනාග තෙම කොතනක වෙසේ ද? කිනම් තැනක සිටීමට පැමිණියේ ද? නෑමට ගියා වූ ඔහුගේ ගමන් මාර්‍ගය කවරෙක් ද? හේ කෙසේ ස්නාන කෙරේ ද? ඇතුගේ ගතිය (පිළිවෙළ) කෙසේ නම් දැනගනිමු දැ යි වැදි තෙම ඇසුවේ ය.
2824. ඒ වාසස්ථානයෙහි ම නුදුරුතන්හි සිත්කලු මනා තොටුපළක් ඇති මහත් ජලයෙන් යුත් මනාව පිපීගිය බමර සමූහයා විසින් ගැවැසීගත් ඒ පුෂ්කරණියක් (ඡද්දන්ත නම් විල) ඇත්තේ ය. ඒ හස්තිරාජ තෙම මෙහි ස්නානය කරයි.
2825. හිස පටන් නෑවාවූ උපුල් මල් දරන්නා වූ සියල්ල සුදු වූ හෙළ පියුම් බඳු සමින් යුත් ශරීර ඇති ඇත්රජ තෙම සතුටු වෙමින් “සබ්බභද්දා” නම් මෙහෙසිය පෙරට කොට ස්වකීය වාසස්ථානයට පැමිණියේ යයි දේවී තොමෝ කීවා ය.
2826. ඒ වැදි තෙම එහි දී ම දේවියගේ වචනය ඉගෙන හියවුර ද මහදුන්න ද ගෙන මහත් වූ පර්‍වත හත ඉක්මවා “සුවණ්ණපස්ස” නම් වූ මහාපර්‍වතය දැන ගත්තේ ය.
2827. කිඳුරන්ගේ වාසභවනය වූ පර්‍වතයට නැඟ පර්‍වතයාගේ පාමුල බැලුවේ ය. එහි මේඝයට සමාන වර්‍ණ ඇති අට දහසක් මුල් ඇති නුගගස දුටුවේ ය.
2828. එහි ෂඩ්වර්‍ණ දළ ඇති සියල්ල සුදු වූ අන්‍යයන් විසින් මැඩ පැවැත්විය නො හැකි හස්තියා දැක්කේ ය. රියහිස සමාන දළ ඇති වාත වේගයෙන් ගොස් පහර දෙනසුලු වූ අට දහසක් හස්තීහු ඒ ඇත්රජු ආරක්‍ෂා කරත්. යම් තැනෙක්හි ඒ හස්තිරාජයා ස්නානය කෙරේ ද,
2829. එහි නුදුරු තන්හි පිහිටි සිත්කලු යහපත් තොටුපලක් ඇති, මහත් දියෙන් පිරුණු මනාව මල් පිපීගිය බමර සමූහයා විසින් ගැවැසීගත් පොකුණ දුටුවේ ය.
2830. ඇත්රජහු ගමන් කරන තැන් ද නැවැතී සිටින තැන් ද ස්නානයට ගියා වූ මොහුගේ යම් ගමන් වීථියක් වේ නම් එය දැක චිත්ත වසඟයට ගියා වූ මෙහෙසිය විසින් මෙහෙයවන ලද අනාර්‍ය්‍ය ස්වභාව ඇති වැදි තෙමේ වළක් සෑරුවේ ය.
2831. වැදි තෙම වළක් සාරා තමන් ද දුන්න ද එහි ප්‍රවේශ කරවා පුවරු වලින් වැසුවේ ය. නපුරුකම් කරනසුලු වූ ඒ වැදි තෙම තමන් පාර්‍ශවයෙහි ආවා වූ ඒ ඇත්රජුට මහත් වූ ඊයකින් විද්දේ ය.
2832. විදිනලද ඇත් තෙමේ භයානක ලෙස කුඤ්චනාද කෙළේ ය. සියලු හස්තීහු ම භයානක ලෙස කුඤ්චනාද කළාහු ය. ඒ හස්තීහු තෘණ ද කාෂ්ට ද සුණු කරමින් හාත්පස අටදිගට ම දිව්වෝය.
2833. මොහු නසමි යි පරාමර්‍ශනය කරන්නේ ඍෂීන්ගේ ධ්වජය වූ කාෂාය වස්ත්‍රය දුටුවේ ය. දුකින් ස්පර්‍ශ කරන ලද්දා වූ ඒ ඇත්රජුට රහතුන්ගේ ධ්වජය සත්පුරුෂයන් විසින් නො නැසියයුතු යයි හැඟීමක් පහළ විය.
2834. යමෙක් වනාහි රාගාදි කෙලෙස් කසටින් යුක්ත වූයේ ඉන්‍දිය දමනයෙන් හා වාක්සත්‍යයෙන් තොර වූයේ කසාවත් දරයි ද හේ කසාවත් දැරීමට නුසුදුසු වේ.
2835. යමෙක් වනාහි ආර්‍ය්‍ය මාර්‍ගයෙන් වමාරා දැමූ කෙලෙස් කසට ඇතිවැ සිවුපිරිසිදු සිල්හි පිහිටියේ නම් ඉඳුරන් දැමීමෙන් හා ඇත්ත කීමෙන් ද යුත් ඔහු කසාවත් දැරීමට සුදුසුය.
2836. මහත් වූ ඊයකින් විදිනු ලැබූ ඇත් තෙම දූෂිත නො වූ සිත් ඇත්තේ වැද්දාට මෙසේ කීයේ ය: යහළු වැදිපුත්‍රය, කුමක් පතමින් කුමක් හේතු කොට ගෙන මට විද්දෙහි ද? මේ කවරකුගේ ප්‍රයොගයෙක් ද?
2837. පින්වතුන් වහන්ස, කසී රජුගේ සුභද්ද්‍රා නම් ඒ මහිෂිකා තොමෝ රජකුලයෙහි පුදන ලද්දී ය. ඕ නුඹ දුටුවා ය. ඕ තොමෝ දළවලින් ප්‍රයෝජන ඇතැ යි මට ද කීවා ය.
2838. මාගේ පියවරුන්ගේ ද මුත්තණුවරුන්ගේ ද මහත් වූ බොහෝ දන්ත යුග්මයෝ ඇත්තාහ යි ඕ තොමෝ දන්නී ය. ක්‍රෝධ ස්වභාව ඇති අඥාන වූ මා නසනු රිසි වූ, ඒ රාජපුත්‍රී තොමෝ වෛර කළා ය.
2839. වැදිපුත්‍රය, තෝ කියත ගෙන නැඟී සිටුව. මාගේ මරණයට පෙර මේ දළ සිඳුව. “හස්ති තෙම ඒකාන්තයෙන් නසන ලද. එබැවින් මේ ඔහුගේ දළ දෙක ගනුව” යි ඒ ක්‍රෝධ ස්වභාවය ඇති රාජපුත්‍රියට කියව යි බෝසත් තෙම කීයේ ය.
2840. ඒ වැදි තෙමේ ද කියත ගෙන නැඟීසිට උතුම් හස්තියාගේ දළ සිඳ මිහිපිට ඇති හැම දළයකට ම වඩා අසමාන වූ සෝභා ඇති ඉතා යහපත් වූ ඒ දළ දෙක ගෙන එතැනින් වහා නික්ම ගියේ ය.