2561. මහරජ, දොරටුපාලකයෝ ද කඩු බඳනාලද වධකයෝ ද මා නසන්නට ආවාහු ය. දේවයන් වහන්ස, මවු ඇකයෙහි හුන් මම ඔවුන් විසින් වහා අදින ලද්දෙම් වෙමි.
2562. මහරජ කටුක වූ සම්බාධ වූ ඉතා දුකට පැමිණියෙම් වෙමි. ඒ මම අද දුකසේ වධයෙන් මිදුණෙම් මිහිරි වූ ප්‍රිය වූ ජීවිතය ලබා සිටිමි. දැන් ඒ මම පැවිදිවනු රිස්සෙමි යි කුමාර තෙම කීවේ ය.
2563. සුධර්‍මාවෙනි, තීගේ මේ තරුණ පුත්‍ර සෝමනස්ස කුමාර තෙම අනුකම්පා ඇත්තෙකි. දැන් යාච්ඤා කරනු ලබන්නේ ඔහු නො ලදිමි. තෙපි ද ඔහුට යාච්ඤා කරන්නට නිසි නො වහු දැයි රජ තෙම කීවේ ය.
2564. පුත්‍රය, පිඬුසිඟීමෙහි ඇලෙව. ධර්‍මයන්හි ලා විමසීම් ඇති කොට තන්හි තන්හි හැසිරෙව. සියලු සත්‍වයන් කෙරෙහි දඬුවම් අත්හැර නින්‍දා නොලබන්නෙක්ව බ්‍රහ්මලෝකයට එළඹෙනු මැනවැ යි රජබිසොව කීවා ය.
2565. සුධර්‍මාවෙනි, යම්බඳු වූ දුකට පත් මා තෙපි වැඩියත් දුකට පැමිණවූවහු ය. පුත්‍රයා ගිහිගෙයි වසන පරිදි යාච්ඤා කරන්නට යයි කියනු ලබන්නී කුමරා වැඩියත් පැවිදිබවට උනන්දු කළා ය. ආශ්චර්‍ය්‍යයකි.
2566. රාගාදියෙන් මිදුණු නිරවද්‍ය භෝජන ඇති කෙලෙස් පිරිනිවියෙන් පිරිනිවුණු යම්බඳු රහත්හු මේ ලෙව්හි හැසිරෙද්ද උන්වහන්සේලාගේ ඒ උතුම් මඟ පිළිපන්නා වූ කුමාරයා වළකාලන්නට උත්සාහ නො කරමි යි මවුබිසව කීවාය.
2567. මේ සුධර්‍මා තොමෝ යම් කෙනෙකුන්ගේ යහපත් වචන අසා ඒකාන්තයෙන් අල්පොත්සුක වූවා පහවූ ශෝක ඇත්තී වූවා ද යම් කෙනෙක් ප්‍රාඥ වූවාහු බොහෝ ඇසූ පිරූ තැන් ඇත්තාහු නොයෙක් කරුණු සිතන්නෝ වෙද්ද, ඒකාන්තයෙන් ම ඔවුහු සේවනය කළ යුත්තෝ වෙති යි රජ තෙම කීවේ ය.
සෝමනස්ස ජාතක යි.
10. චම්පෙය්‍ය ජාතකය
2568. විදුලිය සේ ද ඕසධී තරුව සේ ද බබළන තෝ කවර නම් තැනැත්තියක් ද? දේවතාවක් ද ගාන්‍ධර්‍ව ස්ත්‍රියක් ද? තී මිනිස් මාගමකැ යි නො හඟිමි යි උග්ගසේන රජතෙම කීය.
2569. මහරජ, මම දෙව්දුවක් නොවෙමු. ගාන්‍ධර්‍ව ස්ත්‍රියක් ද නොවෙමු. මිනිස් මාගමක් ද නොවෙමු. ස්වාමීනි, මම නාග කන්‍යාවක්මු. මෙහි යම්කිසි කටයුත්තක් සඳහා ආවමු.
2570. එම්බා නාගකන්‍යාව, තෝ විභ්‍රාන්ත සිත් ඇත්තී කිපුණු ඉඳුරන් ඇත්තී වෙහිය. තීගේ ඇස්වලින් කඳුළුධාරාවෝ වැගිරෙත්. තීගේ කවර නම් දැයක් නටුයේ ද? කවරක් පතමින් මෙහි ආවා ද? එය මට කියනු මැනැවි.
2571. මහරජ, උග්‍රතේජස් ඇති යමකුට ‘උරගය’ යි (බඩගා යන්නෙකැයි) කීහු ද? ජනයෝ ඔහුට නාගය යි කීහු. දිවි රැකීම ප්‍රයෝජන කොට ඇති පුරුෂයෙක් ඔහු අල්ලා ගත්තේ ය. ඔහු බැඳුමෙන් මුදාලව. ඒ මාගේ ස්වාමිපුරුෂයා ය.
2572. එම්බා නාග කන්‍යාවෙනි, බලයෙන් හා වීර්‍ය්‍යයෙන් යුක්ත වූ මේ නාග තෙම කෙසේ නම් වණිබ්බක්යාගේ අතට පත්වී ද? නාගකන්‍යාවෙනි, ඒ කරුණ මට කියව. ගන්නා ලද නාගයා ගැන තොරතුරු කෙසේ නම් දනිමු ද?
2573. බලයෙන් හා වීර්‍ය්‍යයෙන් යුක්ත වූ නාග තෙම නගරය අළු කරන්නේ ය. නාග තෙම ධර්‍මය ම ගරු කරන්නේ වේ. එහෙයින් දුක ඉවසා තපස් කරන්නේ ය.
2574. මේ නාරජ තෙම තුදුස්වක්හි ද පසළොස්වක්හි ද සතර මංසන්‍ධියෙක්හි පෙහෙව වාසය කරයි. ස්වකීය ජීවිකාව ප්‍රයෝජන කොට ඇති පුරුෂයෙක් ඔහු අල්ලා ගත්තේ ය. ඔහු බැඳුමෙන් මුදාලව. හෙ තෙම මාගේ සැමියා ය.
2575. අමුණන ලද මිණි කොඬොල් ඇති ජලය ම ගෘහශයනය කොට ඇති සොළොස් දහසක් ස්ත්‍රීහු වෙද්ද ඒ ස්ත්‍රීහු ඔහු සරණ ගියාහු ය.
2576. ගම්වර දීමෙන් ද ස්වර්‍ණනිෂ්ක දීමෙන් ද සිය ගණන් ගවයින් දීමෙන් ද නොසැහැසි - දැහැමිබැවින් මොහු මුදනු මැනැවි. නාග තෙමේ මිදුණු සිරුරැත්තේ සිත්සේ හැසිරේවා, පින් කැමැති නාග තෙමේ බන්‍ධනයෙන් මිදේවා.
2577. ගම්වර දීමෙන් ද ස්වර්‍ණ නිෂ්ක දීමෙන් ද සිය ගණන් ගවයින් දීමෙන් ද නො සැහැසිකමින් ම දැහැමින් ම මොහු මුදමි. මිදුණු සිරුරැති නාග තෙම සිත්සේ හැසිරේවා පින් කැමැති නාග තෙමේ බන්‍ධනයෙන් මිදේවා.
2578-2579. වැදි පුත්‍රය, ස්වර්‍ණ නිෂ්ක සියයක් ද මහත් වූ මිණි කොඬොලක් ද සිවුපසින් දිය බෙරළිය මල් පැහැති උස පර්‍ය්‍යඞ්කයක් ද සමාන ගුණැති භාර්‍ය්‍යාවන් දෙදෙනෙකුන් ද ගවයන් සියයක් සහිත වෘෂභයකු ද දෙමි. මිදුණු සිරුරැති නාග තෙමේ සිත්සේ හැසිරේවා, පින් කැමැති නාග තෙමේ බැඳුමෙන් මිදේවා.
2580. මහරජාණන් වහන්ස, මේ වස්තු දීමෙන් තොරව ද මුබවහන්සේගේ වචනය ගරු කොට ඒ නාගයා බැඳුමෙන් මුදමු. මිදුණු සිරුරැති නා තෙමේ සිත්සේ හැසිරේවා! පින් කැමැති නාග තෙමේ බැඳුමෙන් මිදේවා.
2581. බැඳුමෙන් මිදුණු චම්පෙය්‍යක නාග තෙමේ රජුට මෙසේ කීවේ ය. කසීරට මහරජ, නුඹවහන්සේට නමස්කාර වේවා, කසීරට දියුණු කරන මහරජාණන් වහන්ස, නුඹවහන්සේට නමස්කාර වේවා, මාගේ නාග භවනය දැකුම්කලුය. එය සපිරිවරින් අවුත් බලන මෙන් ආරාධනා කොට නුඹවහන්සේට ඇඳිලි බඳිමි යි නාරජ තෙම කීයේ ය.
2582. පින්වත් නාරජ, මනුෂ්‍යයෙක් තෙම අමනුෂ්‍යයකු කෙරෙහි විශ්වාසය තබන්නේ ය යන යමක් වේ නම් එය ඒකාන්තයෙන් ම විශ්වාස නො කොට හැක්කකැ යි කියත්. ඉදින් මේ ගැන මට යාච්ඤා කරන්නෙහි නම්, නුඹගේ නාග භවනයන් දක්නෙමු යි රජ තෙම කීයේ ය.
2583. මහරජ ඉදින් (වනාහි) වාතය තෙම පර්‍වතයක් ගසාගෙන යන්නේ නමුදු සඳ හිරු දෙදෙනා බිමැ වැටෙන්නාහු නමුදු හැම නදීහු ම උඩුගං බලා යෙත් නමුදු මම බොරු නො කියමි යි බෝසත් තෙමේ කීයේ ය.
2584. අහස පැළෙන්නේ නමුත් මුහුද වියැළෙන්නේ නමුත් භූතයන් දරා සිටින්නා වූ පෘථිවි තොමෝ හැකිළෙන්නී නමුත් පර්‍වතයන් අතුරෙන් උස් වූ මහමෙර සහමුලින් ඉදිරෙන්නේ නමුත් මහරජ මම බොරුවක් නම් නො කියමි යි බෝසත් තෙම කීයේ ය.
2585. එම්බා නාරජ, මනුෂ්‍යයෙක් තෙම අමනුෂ්‍යයකු කෙරෙහි විශ්වාසය තබන්නේ ය යන යමක් වේ නම් එය ඒකාන්තයෙන් ම විශ්වාස නොකොට හැක්කකැ යි කියත්, ඉදින් මේ ගැන මට යාච්ඤා කරන්නෙහි නම් නුඹගේ නා විමන් දකිමු යි රජ තෙම කීයේ ය.
2586. නාරජ, තෙපි වනාහි මහත් වූ දරුණු විෂ ඇති මහාතේජස් ඇති වහා කිපෙන සුල්ලෝ ද වන්නාහු ය. මා නිසා බන්‍ධනයෙන් මිදුණේ මා කළ උපකාර දැනගන්නට වටනෙහි ය.
2587. යමෙක් කරනලද එබඳු උපකාර නො දන්නේ නම් හෙ තෙමේ භයානක දුක් ඇති නිරයෙහි පැසේවා, කිසියම් කායික සුවයක් නොලබාවා! පැසෙහි බැඳුණේ මරණයට යේවා, (මෙසේ කියා නාරජ තෙම දිවුළේ ය.)
2588. පින්වත් නා රජ, නුඹගේ මේ ප්‍රතිඥාව සත්‍ය ප්‍රතිඥාවක් වේවා නුඹ ක්‍රෝධ නො කරන්නෙක් වෙහිවා, බද්ධ වෛර නැත්තෙක් වෙහිවා, නුඹගේ මුළු නාකුලය ම සුපර්‍ණයෝ ග්‍රීෂ්මකාලයෙහි ගින්න මෙන් දුරු කෙරෙත්වා.
2589. මහරජාණන් වහන්ස, නුඹ වහන්සේ ඉතා ප්‍රිය එක ම පුතකු ගැන අනුකම්පා කරන මවක මෙන් නාකුලයට අනුකම්පා කරන්නහු ය. මම ද නාකුලය සමග නුඹවහන්සේට බොහෝ වතාවත් කරමි යි නා රජ කීයේ ය.
2590. මනා කොට විසිතුරු කරනලද රාජරථයෙහි ඉතා දැමුණු කාම්බෝජ අශ්වතරයන් යොදත්වා. රනින් සැරසුවා වූ ඇතුන් ද යොදත්වා, නාගයාගේ විමානයන් දකිමු යි රජ තෙම කීයේ ය.
2591. උග්ගසේන රජුගේ මහබෙර ද මිහිඟුබෙර ද පණාබෙර ද හක් ද වාදනය කළාහු ය. පිරිවරනලද ස්ත්‍රී සමූහයා මැද උග්ගසේන රජ ඉතා හොබනේ ගියේයයි වදාළසේක.
2592. කසීරට දියුණු කරන රජ තෙමේ රන්වැලි අතුළ බිම ද වෛඩූර්‍ය්‍ය පුවරු අතුළ රන්මුවා ප්‍රාසාද ද දුටුවේ ය.
2593. සූර්‍ය්‍යයාගේ වර්‍ණයට බඳු වූ රන්වන් විදුලිය සේ පැහැ විහිදෙන චම්පෙය්‍ය නාගයාගේ විමානයට ඒ උග්ගසේන රජ තෙම පිවිසියේ ය.
2594. ඒ කසීරජ තෙම නොයෙක් ගසින් ගැවසුණු නොයෙක් සුවඳින් සුවඳ කවනලද චම්පෙය්‍ය නාගයාගේ විමානය දැක්කේ ය.
2595. කසීරජ චම්පෙය්‍ය නාගයාගේ නිවසට පිවිසි කල්හි දිව්‍යමය තූර්‍ය්‍යය වාදනය කළහ. නාගකන්‍යාවෝ නැටූහ.
2596. නාගකන්‍යා සමූහයා විසින් හැසිරෙන ලද ඒ විමානයට පහන් සිත් ඇති කසීරජ තෙම නැඟුණේ ය. සඳුන් කලක ගල්වන ලද හේත්තුවන පුවරු සහිත ස්වර්‍ණමය පුටුවෙහි හිඳගත්තේ ය.
2597. ඒ කසීරජ තෙම එහි අනුභව කොට නැවත සිත් අල්වා වැස චම්පෙය්‍යක නාගයාහට මෙසේ කීයේ ය. නුඹගේ මේ සූර්‍ය්‍යයාට බඳු වර්‍ණ ඇති පැහැ විහිදෙන උතුම් විමානයෝ වෙති. මිනිස් ලොවැ මෙබන්දක් නැත. නාගය කුමක් බලාපොරොත්තුවෙන් තපස් කරහි ද?
2598. රන් අබරණ දරන්නා වූ මනාකොට හඳනා ලද වස්ත්‍ර ඇති වට ඇඟිලි ඇති තඹවන් අතුල් පතුල් වලින් යුක්ත වූ අලාමක වූ පැහැසටහන් ඇති ඒ නාගකන්‍යාවෝ දිව්‍යපානය ගෙනවුත් පොවති. මිනිස් ලොව මෙවැන්නක් නැත. නාගය, කුමක් බලාපොරොත්තුවෙන් තපස් කරහි ද?
2599. පුළුල් වරලින් යුත් මසුන් ඇති උකුසු පක්‍ෂීන් විසින් පවත්වන ලද නාද ඇති මනා තොටුපලින් යුත් ඒ මේ ගංගාවෝ ද ඇත්තාහ. මිනිස් ලොව එබන්දක් නැත. නාගය, කුමක් බලාපොරොත්තුවෙන් තපස් කරහි ද?
2600. කොස්ලිහිණියෝ ද මොනරු ද දිව්‍ය හංසයෝ ද මිහිරි නාද පවත්වන කොවුලෝ ද ගසින් ගසට මාරුවෙති. මිනිස් ලොවැ මෙබන්දක් නැත. නාගය, කුමක් බලාපොරොත්තුවෙන් තපස් කරහි ද?
2601. එම්බා නාගරාජය, පිපීගිය අඹ ද සල් ද එරහැන්ද ද දඹ ද ඇසළ ද පළොල් ද ඇත්තාහ. මිනිස් ලොව මෙබන්දක් නැත. නාගය, කුමක් බලාපොරොත්තුවෙන් තපස් කරහි ද?
2602. එම්බා නාරජ, මේ පොකුණු හාත්පසැ නිතර දිව්‍යමය වූ සුවඳ හමයි. මිනිස් ලොව මෙබන්දක් නැත. නාගය, කුමක් බලාපොරොත්තුවෙන් තපස් කරහි ද?
2603. මහරජ, මම පුත්‍රයන් හේතු කොට ගෙන පෙහෙවස් නො රකිමි, ධනය හේතුකොට ගෙන ද නො රකිමි, ආයුෂ හේතු කොට ගෙන ද නො රකිමි, මිනිස් ලොව උප්පත්තිය පතමි. එහෙයින් වීර්‍ය්‍යය වඩා තපස් රකිමි යි නාරජ කීයේ ය.
2604. එම්බා මහරජ, නුඹ වහන්සේ ලේවන් ඇස් ඇත්තේ නසන ලද අන්තරාය ඇති සරසන ලද්දේ කපන ලද කෙස් රවුළු ඇති රත්සඳුනෙන් සුවඳ ගල්වන ලද්දේ ගාන්‍ධර්‍ව රාජයකු මෙන් දිශාවන් බබුළුවන්නෙහි ය.
2605. නාගරාජය, නුඹ සියලු කාමසම්පතින් යුක්ත වූයෙහි මහානුභාව සම්පන්න වූයෙහි දිව්‍යමය ඍද්ධියට පැමිණියෙහි ය. මේ කාරණය නුඹ අතින් විචාරමි. කවර හෙයින් මිනිස් ලොව මීට වඩා ශ්‍රේෂ්ඨ ද?
2606. මහරජ, මිනිස් ලොවින් වෙන් ව නිර්‍වාණ ශුද්ධියක් හෝ සීලසංයමයක් හෝ නැත්තේ ය. මම ද මිනිස් උපත ලබා ජාතිමරණයන් කෙළවර කරමි යි සිතා තපස් කරමි යි නාරජ කීවේ ය.
2607. නාගරාජය, යම් කෙනෙක් බොහෝ කරුණු සිතන්නාහු බහුශ්‍රුත වෙද්ද, නුවණැති ඔවුහු සේවනය කටයුත්තාහ. නුඹ ද නාග කන්‍යාවරුන් ද දැක බොහෝ පින් කරමි යි රජ ප්‍රකාශ කෙළේ ය.
2608. මහරජ, යම් කෙනෙක් බොහෝ කරුණු සිතන්නාහු බහුශ්‍රුත වෙද්ද, නුවණැති ඔවුහු සේවනය කටයුත්තාහ. මා ද නාග කන්‍යාවරුන් ද දැක බොහෝ පින් කරව යි නාරජ තෙම උග්ගසේන රජුට කීවේ ය.
2609. මහරජ, මාගේ මේ බොහෝ වූ රන් ඇත. තල්ගස් පමණ ස්වර්‍ණ රාශීහු ද ඇත්තාහ. මෙයින් රන් ගෙන ගොස් ස්වර්‍ණ ගෘහ කරව. රිදීයෙන් පවුරක් ද කරව.
2610. වෛඩූර්‍ය්‍ය මිශ්‍ර වූ මුතු ගැල් පන්දහසක් මෙයින් ගෙන ගොස් අන්තඃපුර භූමියෙහි අතුරත්වා, භූමි තොමෝ මඩ නැත්තී රජස් විරහිත වන්නී ය.
2611. රාජශ්‍රේෂ්ඨය, ඉතා හොබනා වූ මෙබඳු උතුම් විමානයෙක්හි වාසය කරව, අලාමක වූ නුවණැත්ත, සමෘද්ධියෙන් පිරීගිය බරණැස් නුවර රාජ්‍යය ද කරව යි නාරජ තෙම කීයේ ය.
චම්පෙය්‍ය ජාතක යි.
11. මහාපලෝභන ජාතකය
2612. මහත් ඍද්ධි ඇති දෙව් පුතෙක් බඹ ලොවින් සැව සියලු කාමසම්පතින් සමෘද්ධ වූ කසී දනව්වෙහි රජුහට පුත් ව උපන්නේ ය.
2613. යම් කුමාරයෙක් බඹලොව දී හටගත් කාම විරහිත එම සංඥායෙන් ම කාමයෙන් කෙරෙන් පිළිකුල් ඇති කරයි ද, බඹලෙව්හි ඒ කාමයෝ හෝ කාමසංඥාවෝ හෝ විද්‍යාමාන නො වෙති.
2614. ඔහුගේ අන්තඃපුරයෙහි පියා විසින් කරවනලද ධ්‍යානාගාරයක් විය. හෙතෙම එහි විවේකයෙහි ඇලුණේ තනි ව රහසිගත ව ධ්‍යාන කෙළේ ය.
2615. පුත්‍රශෝකයෙන් පෙළුණු ඒ රජ තෙම මගේ එක ම පුත්‍රයා කාමසම්පත් පරිභෝග නො කෙරේ යයි වැළපුණේ ය.
2616. මෙහිලා කවර නම් උපායෙක් ඇත්තේ ද? එයට පළිබෝධයක් කවරෙක් නම් දනී ද? යම්සේ මාගේ පුත්‍රයා කාමසම්පත් ප්‍රාර්‍ත්‍ථනා කෙරේ නම් එසේ කවරෙක් නම් පොළඹවා ද?
2617. රූපයෙන් හා වර්‍ණයෙන් යුත් නෘත්‍යගීතයන්හි දක්‍ෂ වාදනයෙහි ද සමත් කුමරියක් ඒ අන්තඃපුරයෙහි ම වූ යැ. ඕ එහි එළැඹ රජුට මෙසේ කීවා ය.
2618. හෙ තෙමේ මට සැමි වන්නේ නම් මම ඔහු පොළඹවන්නෙමි. (ඇය කී විට) රජ තෙම එසේ කියන්නා වූ ඒ කුමරියට මෙසේ කීයේ ය. තෝ ඒ කුමරා පොළඹවා ගනුව, තිට හේ සැමි වන්නේ ය කියායි.
2619. ඕ ද ඒ අන්තඃපුරයට ගොස් කාමූපසංහිත වූ ත් හෘදයාංගම වූ ත් ප්‍රේමණීය වූ ත් බොහෝ විසිතුරු ගාථාවන් කිවු ය.
2620. ගායනා කරන ඒ ස්ත්‍රියගේ හඬ අසා ඒ කුමාරයාට කාමාසාව උපන්නේ ය. හේ තෙමේ ජනයා අතින් විචාළේ ය.
2621. මේ හඬ කවරෙකුගේ ද? ඒ කවරක් නම් හෘදයාංගමව ප්‍රේමණීය ව කර්‍ණසුඛ ව උස් පහත් හඬින් බොහෝ කොට බෙණේ දැ කියා (අනිත්‍ථිගන්‍ධ) කුමාර තෙම ඇසී ය.
2622. දේවයන් වහන්ස, මෝ තොමෝ ස්ත්‍රියක, මෝ තොමෝ මහත් වූ ක්‍රීඩිකාවක, ඉදින් නුඹ වහන්සේ කාමසම්පත් අනුභව කරන්නාහු නම්, ඊට වැඩිවැඩියක් කැමතිවන්නාහු ය.
2623. එසේ නම් මොබට ඒවා, නුදුරු තන්හි ගායනා කෙරේවා, ශයනාගාරයට සමීප ව මාගේ සමීපයෙහි ගායනා කෙරේවා.
2624. බිත්තියෙන් පිටත්හි ගායනය කොට ධ්‍යානාගාරයට පිවිසි යා ය. කැලේ ඇතකු මෙන් ක්‍රමයෙන් ඕ ඔහු බැඳගත්තා ය.
2625. ඒ කුමාරයාට කාමරසය දැනී ඊර්‍ෂ්‍යා ස්වාභාවයෙක් හට ගත්තේ ය. මම ම කාමයන් අනුභව කරමි. කම්සැප විඳින අන් පුරුෂයෙක් නො වේවා කියා යි.
2626. ඉක්බිති කඩුවක් ගෙන පුරුෂයන් මරන්නට පටන් ගත්තේ ය. මම ම තනිවැ කම්සුව අනුභව කරමි. අන් පුරුෂයෙක් නො වේවා කියා යි.
2627. ඉක්බිති දනව්වැසි සියල්ලෝ ම රැස්ව “මහරජුනි, නුඹ වහන්සේගේ මේ පුත්‍රයා නිරපරාධ ජනයා නසති” යි වැළැපෙමින් කියා සිටියහ.
2628. රජ තෙමේ ද ඔහු “මගේ රට යම්තාක් වේ ද ඒ තාක් තැන නොසිටිය යුතුය” යි සිය රටින් බැහැර කෙළේ ය.
2629. ඉක්බිති ඒ කුමර තෙම බිරිය ගෙන මුහුදු වෙරළට එළැඹියේ ය. එහි පන්සලක් කොට වසන්නේ පලවැළ පිණිස වනයට ද පිවිසියේ ය.
2630. එකල්හි ඍෂිවරයෙක් දීපාන්තරයෙහි සිට මුහුදු දිය මතුයෙහි එහි පැමිණියේ ය. හෙතෙමේ ආහාර වේලාව පැමිණි කල්හි ඔහුගේ ගෙට ඇතුළු විය.
2631. භාර්‍ය්‍යා තොමෝ ඒ තවුසා ද පොළඹවා ගත්තා ය. ඇයගේ ඉතා දරුණුකමක් බලව. හේ බඹසරින් චුතවූයේ ඍද්ධියෙන් ද පිරිහුණේ ය.
2632. රාජපුත්‍ර තෙමේ ද සිඟීමෙන් ලත් බොහෝ වනමුල් ඵලාඵල සවස් කාලයෙහි කදින්ගෙන ආශ්‍රමයට එළැඹියේ ය.
2633. ඍෂිතෙමේ ද ක්‍ෂත්‍රියයා දැක සමුද්‍රයකරා පැමිණියේ යැ. හේ අහසෙහි යන්නෙමැ යි මහමුහුදෙහි ම ගිලෙයි.
2634. ක්‍ෂත්‍රිය තෙමේ ද මහසයුරෙහි ගිලෙන ඍෂිහු දැක ඔහුට ම අනුකම්පා පිණිස මේ ගාථාවන් කීයේ ය.
2635. තෙමේ, නොබිඳෙන දිය මතුපිට ඍද්ධියෙන් අවුත් ස්ත්‍රිය හා එක්වීමට පැමිණ මහසයුරෙහි ගිලෙහිය.
2636. මේ ස්ත්‍රීහු නම් කාමාවර්‍තයෙන් ආවර්‍තනය කරන හෙයින් ආවර්‍තනීයහ. මහත් වූ මායා ඇත්තාහ. බ්‍රහ්මචර්‍ය්‍යය විනාශ කිරීමෙන් පුරුෂයන් අපායෙහි ගල්වන්නාහ. මෙය දැන නුවණැති පුරුෂ තෙමේ ස්ත්‍රීන් දුරින් ම දුරුකරන්නේ ය.
2637. කොතෙක් පිරිමින් ලදුවත් සෑහීමකට පත් නොවන හෙයින් අනලා නම් වූ මොළොක් කථා ඇති තෘප්ත නො කට හැක්කා වූ ගංගාවන් හා සමාන වන්නා වූ ඒ ස්ත්‍රීහු තමන් වෙත පැමිණියවුන් අපායෙහි ගල්වති යි දැන නුවණැත්තන් විසින් දුරින් ම දුරුකට යුත්තාහු ය.
2638. මේ ස්ත්‍රීහු සිය කැමැත්තෙන් හෝ ධනය හේතුකොට හෝ යම් පුරුෂයකු සේවනය කෙරෙද්ද ස්වකීය ස්ථානය දවන්නා වූ ගින්න මෙන් වහා ඒ සේවනය කළහු දවත්.
2639. ක්‍ෂත්‍රියයාගේ වචනය අසා ඍෂිවරයාහට කලකිරීම ඇති විය. හෙතෙමේ පැරණි ධ්‍යාන මාර්‍ගය ලැබ අහසින් යයි.
2640. ක්‍ෂත්‍රිය තෙමේ ද අහසින් යන ඍෂිහු දැක සංවේගය ලැබ ගත්තේ ය. ඒ ක්‍ෂත්‍රිය පණ්ඩිත තෙමේ ද පැවිද්ද කැමැති විය.
2641. ඉක්බිති හේ පැවිදිව කාමරාගය දුරු කෙළේ ය. කාමරාගය දුරු කොට බඹලොව උපන්නේ යි.
මහාපලෝභන ජාතක යි.
12. පස්පඬි පැනය
2642. මෙහි රැස් වූ පස් පඬිවරුනි, මට ප්‍රශ්නයෙක් වටහයි. එය අසවු නින්‍දා කටයුතු කරුණක් හෝ ප්‍රශංසා කටයුතු කරුණක් හෝ රහසක් නම් කවරකුහට එළිදරව් කළයුතු වන්නේ දැ යි රජ තෙම ඇසී ය.
2643. මහරජ, නුඹ වහන්සේ අපට එළිදරව් කරනු මැනව. නුඹ වහන්සේ වනාහි අපගේ ස්වාමියා ද බර උසුලන තැනැත්තේ ද වන්නාහු ය. එහෙයින් පළමු කොට නුඹ වහන්සේ ම මෙය කියන සේක්වා, මහරජ, නුඹ වහන්සේගේ කැමැත්ත ද රුචි කරුණු ද දැනගෙන අනතුරු ව පඤ්ච පණ්ඩිතයෝ ප්‍රකාශ කරත් යී සේනක තෙම කීවේ ය.
2644. යම් භාර්‍ය්‍යාවක් සිල්වත් ද, අනුන් වසඟයෙහි නො පවතී ද, සැමියාගේ කැමැත්ත අනුව ජීවත් වන්නී ද, මනවඩන්නී ද එවැනි භාර්‍ය්‍යාවට නින්‍දා කටයුතු කරුණක් හෝ ප්‍රශංසා කටයුතු කරුණක් හෝ රහස් කරුණ එළිදරව් කළයුතු වන්නේ ය.
2645. යමෙක් පිහිටක් නොමැතිව කරදරයට පත් වූ ගිලනා හට පිහිට වේද නින්‍දා කටයුතු කරුණක් හෝ ප්‍රශංසා කටයුතු කරුණක් හෝ රහස් කරුණ එබඳු යහළුවාට එළිදරව් කරන්නේ ය.
2646. ජ්‍යේෂ්ඨ වූ හෝ මධ්‍යම වූ හෝ කණිෂ්ඨ වූ හෝ යම් ඒ සහෝදරයෙක් තෙම ශීලයෙන් යුක්ත වූයේ ස්ථිර ස්වභාව ඇත්තේ වේ ද, නින්‍දා කටයුතු කරුණක් හෝ ප්‍රශංසා කටයුතු කරුණක් හෝ රහස් කරුණ එබඳු සහෝදරයාට ප්‍රකාශ කරන්නේ ය.
2647. යමෙක් ඒකාන්තයෙන් පියාගේ සිත් වූ පරිදි ක්‍රියා කෙරේ ද පියා හා සමගුණ ඇත්තේ වේ ද, අලාමක ප්‍රඥා ඇත්තේ ද එබඳු පුත්‍රයාට නින්‍දා කටයුතු කරුණක් හෝ ප්‍රශංසා කටයුතු කරුණක් හෝ රහස් කරුණ ප්‍රකාශ කරන්නේ ය.
2648. දෙපා ඇත්තවුන් අතුරෙන් ශ්‍රේෂ්ඨ වූ මහරජතුමනි, යම් මවක් කැමැත්තෙන් හා ප්‍රේමයෙන් පුතකු පෝෂණය කරන්නී ද, නින්‍දා කටයුතු කරුණක් හෝ ප්‍රශංසා කටයුතු කරුණක් හෝ සැඟවිය යුතු කරුණ ඒ මවට ප්‍රකාශ කරන්නේ ය.
2649. සැඟවියයුත්ත සැඟවීම ම යහපති. සැඟවියයුත්ත එළිදරව් කිරීම ප්‍රශස්ත නො වේ. ප්‍රාඥතෙම අදහස මුදුන් පැමිණෙන තුරු ඉවසා සිටින්නේ ය. මුදුන් පැමිණි අදහස් ඇත්තේ ඒ කරුණ සුවසේ කියන්නේ ය.
2650. උතුම් මහරජතුමනි, නුඹ වහන්සේ කුමක් හෙයින් දොම්නස් වන්නාහු ද? දෙපා ඇත්තවුන්හට ශ්‍රේෂ්ඨය, නුඹ වහන්සේගේ මේ වචනය නො අසමු. කුමක් සිතමින් දොම්නස් වන්නහු ද? දේවයන් වහන්ස, ඒකාන්තයෙන් මාගේ අපරාධයෙක් ඇත්තේ ද? කියා උදුම්බරා දේවිය ඇසූ ය.
2651. බොහෝ නුවණැති මහෞෂධ පණ්ඩිත තෙමේ මැරිය යුතු යයි මා විසින් මරණයට නියම කරන ලද ඒ කරුණ සිතමින් දොම්නස් වෙමි. දේවිය තීගේ වරදෙක් නැතැ යි රජ තෙම කීයේ ය.
2652. බොහෝ නුවණ ඇති මහෞෂධය, ඊයේ සවස ගිය නුඹ දැන් එන්නෙහිය. තාගේ සිත කුමක් අසා කුමකට සැක කෙරේ ද? මහත් ප්‍රඥා ඇත්ත, නුඹට කවරෙක් කුමක් කීයේ ද? ඒ වචනය මට කියව. මම එය අසමියි රජතෙම කීයේ ය.
2653. මහරජ, මහා ප්‍රඥා ඇති මහෞෂධ පණ්ඩිත තෙමේ මැරිය යුතුයයි නුඹ වහන්සේ විසින් පඬිවරුන් සමග මන්ත්‍රණය කරන ලද, එය රාත්‍රියෙහි කවරෙකුට කියන ලද ද? නුඹ වහන්සේ වනාහි රහසිගත ව භාර්‍ය්‍යාවට කීසේක. ඒ සැඟවිය යුතු කරුණ ප්‍රකට කරන ලද බව මා විසින් අසන ලදී.
2654. සේනකතෙම සල් උයන්හි අසභ්‍ය වූ යම්බඳු පාපකර්‍මයක් කෙළේ ද, එය රහසිගතව යහළුවෙකුට ම කීයේ ය. ප්‍රකට කළ ඒ රහස මට අසන්නට ලැබිණි.
2655. මහරජ, නුඹ වහන්සේගේ පුක්කුස නම් රාජපුරුෂයා හට රජුන් විසින් ළං නොවිය යුතු කුෂ්ඨ රෝගයෙක් තිබේ. හෙතෙම රහසිගතව එය සහෝදරයාට කීයේය. ප්‍රකට කළ ඒ රහස මට අසන්නට ලැබිණි.