2179. යමෙක් මාගේ බොජුන් බුදිත් ද, මෙවුන්දම් සෙවීමෙන් වැළැකුණු (එබඳු බමුණන් සොයව.) යම් තැනෙකැ (යම් පුද්ගලයකුට) දුන් දෙය මහත් පල දේ ද (එ ලෙස) මිතුර දක්‍ෂිණාව දෙමු.
2180. ගම්වලැ පුරෝහිතයෝ වී නිරන්තර භික්‍ෂාව ලබා ගෙන බුදිත්. බොහෝ දෙනා නැකැත්, සුබ මොහොත් සහ මඟුල් පුරෝහිතයන් විචාරත්. ඔවුහු කුලී ගෙන හරකුන්ගේ අණ්ඩච්ඡේද කිරීමත් උන්ගේ වෙරැ ලකුණු තැබීමත් කරති. ඔවුන්ගේ නිවාසයන්හි මී ඌරු, එළු යන සිවුපාවෝ මරනු ලැබෙත්.
2181. ගවඝාතකයන් සමාන හැසිරීම ඇති ඔවුහු ද බමුණෝ යයි කියනු ලැබෙති. කියන ලද එබඳු බමුණන් වෙත ආරාධනා පිණිස යමු ද?
2182. ඔවුහු බමුණු බැවින් ඉවත් වූහ යි කෝරව්‍ය රජ කීය. ඔහු බමුණෝ යයි කියනු නො ලැබෙති. විධුර පඬිතුමනි, සිල්වත් බහුශ්‍රුත වෙනත් බමුණන් සොයව.
2183. යමෙක් මාගේ බොජුන් බුදිත් ද මෙවුන්දම් සෙවීමෙන් වැළැකුණු (මෙබඳු බමුණන් සොයව.) යම් තැනෙකැ (යම් පුද්ගලයකුට) දුන් දෙය මහත් පල දේ ද (එලෙස) මිතුර දක්‍ෂිණාව දෙමු.
2184. මහරජ, ඇතැම් බමුණෝ කඩු පළඟ දරා කඩුව අතින් ගෙන වෙළෙඳුන් යන මාර්‍ගයන්හි සිටිති. වෙළෙඳුන්ගෙන් මුදල් ගෙන සොරුන් වෙසෙන වනයෙන් ගැල් තරණය කරවති.
2185. ගෝපාලයන් ද ගම් පහරන සොරුන් ද සමාන ඔහු බමුණෝ යයි කියනු ලැබෙති. මහරජ කියන ලද එබඳු බමුණන් වෙත ආරාධනා පිණිස යමු ද?
2186. ඔහු බමුණු බැවින් ඉවත් වූහ යි කෝරව්‍ය රජ කීය. ඔහු බමුණෝ යයි කියනු නො ලබති, විධුර පඬිතුමනි, සිල්වත් බහුශ්‍රුත වෙනත් බමුණන් සොයව.
2187. යමෙක් මාගේ බොජුන් බුදිත් ද, මෙවුන්දම් සෙවීමෙන් වැළැකුණු (එබඳු බමුණන් සොයව.) යම් තැනෙකැ (යම් පුද්ගලයකුට) දුන් දෙය මහත් පල දේ ද (එලෙස) මිතුර දක්‍ෂිණාව දෙමු.
2188. ඇතැම් බමුණෝ වනයෙහි කුටියක් තනාගෙන වෙසෙමින් මලපුඩු අටවත්. ගොයින් ඇතුළු සාවුන් බළලූන් සහ මස්කැස්බන් පෙළත්.
2189. මහරජ, ඔවුහු වැද්දෝ වෙති. (එහෙත්) බමුණෝ යයි කියනු ලැබෙති. කියන ලද එබඳු බමුණන් වෙත ආරාධනා පිණිස යමු ද?
2190. ඔහු බමුණු බැවින් ඉවත් වූහ යි කෝරව්‍ය රජ කීය. ඔහු බමුණෝ යයි කියනු නො ලැබෙති. විධුර පඬිතුමනි, සිල්වත් බහුශ්‍රුත වෙනත් බමුණන් සොයව.
2191. යමෙක් මාගේ බොජුන් බුදිත් ද, මෙවුන්දම් සෙවීමෙන් වැළකුණු (එබඳු බමුණන් සොයව) යම් තැනෙකැ (යම් පුද්ගලයකුට) දුන් දෙය මහත් පල දේ ද (එලෙස) මිතුර දක්‍ෂිණාව දෙමු.
2192. ධනය කැමැති වෙනත් බමුණෝ රනින් ඇඳන් තනවා එහි යටැ හොවිති. සෝම යාගය පැමිණි කලැ රජවරු ඇඳ මත්තේ සිටැ ජලස්නානය කරති. (ජලස්නානයෙන් පසු ඇඳන් බමුණන් සතු වේ.)
2193. මහරජ, නැහැවියන් වැනි ඔහු බමුණෝ යයි කියනු ලැබෙති. කියන ලද එබඳු බමුණන් වෙත ආරාධනා පිණිස යමු ද?
2194. ඔහු බමුණු බැවින් ඉවත් වූහ යි කෝරව්‍ය රජ කීය. ඔහු බමුණෝ යයි කියනු නො ලැබෙති. විධුර පඬිතුමනි, සිල්වත් බහුශ්‍රුත වෙනත් බමුණන් සොයව.
2195. යමෙක් මාගේ බොජුන් බුදිත් ද, මෙවුන්දම් සෙවීමෙන් වැළැකුණු (එබඳු බමුණන් සොයව) යම් තැනෙකැ (යම් පුද්ගලයකුට) දුන් දෙය මහත් පල දේ ද (එලෙස) මිතුර දක්‍ෂිණාව දෙමු.
2196. දේවයන් වහන්ස, යම් කෙනෙක් ඔබගේ බොජුන් වළඳත් ද මෙවුන්දම් සෙවීමෙන් වැළැකුණු සිල්වත් බහුශ්‍රුත වූ බමුණෝ ඇත්තාහු ය.
2197. (උන්වහන්සේ) එක් බතක් (එක වේලක්) පමණක් බුදිති. මත් පැන් පානය නො කරති. කියන ලද එබඳු ඒ උතුමන් වෙත ආරාධනා පිණිස යමු ද.
2198. විධුර පඬිතුමනි, මුන් වහන්සේ සිල්වත් වූ බහුශ්‍රුත වූ බමුණෝ වෙති. විධුර පඬිතුමනි, මොවුන් වහා සොයව. උන්වහන්සේ ආරාධනා කරච.
12. දසබ්‍රාහ්මණ ජාතක යි.
2199. මහඇගි කුළුගෙවල්හි වුසූ මහඇගි සිරි යහන් ඇසුරු කළ (සයනය කළ) රජතුමා රාජ්‍යය හැර දමා ප්‍රත්‍යන්තයට පැමිණි බව දැකැ,
2200. ඒ ඔබ වහන්සේට ප්‍රේමයෙන් මම සොයාබලා පවිත්‍ර කළ ඇල් සාලෙන් පිසූ, රසමසවුළෙන් යුතු උතුම් බත දුනිමි.
2201. ඔබ වහන්සේ ඒ බත පිළිගෙන අනුභව නො කොට බමුණාට දුන්හ. රජතුමනි, ඔබට නමස්කාර වේවා. මේ කිනම් ධර්‍මයක් ද?
2202. මේ බමුණා මාගේ ආචාර්‍ය්‍යවරයා වේ. මාගේ කුදු මහත් කටයුතුවල යෙදුණෙකි. ගරු කටයුත්තෙකි. මා දුන් දෙය ගන්නට සුදුස්සෙකි. එසේ හෙයින් භෝජනය දෙන්නට සුදුසු වෙමි.
2203. දැන් මම ගෞතම ගෝත්‍රයෙහි වූ රාජ පූජිත බමුණා විචාරමි. රජතුමා ඔබට රසමසවුළෙන් යුතු ව පවිත්‍ර බත දුන්නේ ය.
2204. ඔබ ඒ බත පිළිගෙන ඉසිවරයාට දුන්හ. ඔබ දානයට කෙත නො වේ යයි දත්තෙහි ද? ඔබට නමස්කාර වේවා, මේ කිනම් ධර්‍මයක් ද?
2205. ගිහිගෙයි බැඳුණු මම අඹුදරුවන් පෝෂණය කරමි. මිනිසුනට අයත් කම්සුව විඳින්නැ යි රජතුමාට අනුසාසන කරමි.
2206. වෙනෙහි වෙසෙන බොහෝ කල් වැඩූ තවුස්දම් ඇති ගුණයෙන් වැඩුණු දියුණු කළ සිත් ඇති ඉසිවරයාට භෝජනය දෙන්නට සුදුසු වෙමි.
2207. දැන් මම කෘශ වූ, නහර ඉල්පීගිය ශරීරය ඇති වැඩුණු කිසිලිලෝම හා නිය ද ඇති මැලියම් බැඳුණ දත් ඇති ධූලි සහිත හිසැති ඉසිවරයා විචාරමි.
2208. (ස්වාමීනි,) හුදෙකලා ව වනයෙහි වෙසෙන්නෙහි ය. ජීවත් වීම නො කැමැත්තෙහි ද? යමකුට තෙපි භෝජනය දුන්නහු ඒ භික්‍ෂූන් වහන්සේ කුමකින් තොපට වඩා ශ්‍රේෂ්ඨ ද?
2209. මම අල වර්‍ග ද තල් අල ද බිළාලි අල ද තක්කළ අල ද සාරා ගනිමින් බොඩහමු හා ඌරුහැල් පොලමින් රැස් කරමින්,
2210. පලා වර්‍ග ද නෙළුම් අල ද මීමස් ද ඩෙබර සහ නෙල්ලි ද ගෙනවුත් වළඳමි. මට එය අයිති ව ඇත.
2211. පිසන්නෙක් වූ මම, නො පිසන මමායනය රහිත පළිබෝධ නැති නුදුන් දෙය නො ගන්නා වූ පසේබුදුරජාණන් වහන්සේට ගන්නා වූ භෝජනය දෙන්නට සුදුසු වෙමි.
2212. දැන් මම නිහඬ ව වැඩ සිටින සිල්වත් භික්‍ෂූන් වහන්සේ විචාරමි. පවිත්‍ර ලෙස සකස් කළ රසමසවුළෙන් යුතු බත ඉසිවරයා ඔබ වහන්සේට දුන්නේ ය.
2213. ඔබ වහන්සේ ඒ බත පිළිගෙන නිහඬ ව හුදෙකලා ව වළඳති. අන් කිසිවකුට කැඳවීමක් නැත. ඔබ වහන්සේට නමස්කාර වේවා. මේ කිනම් ධර්‍මයක් ද?
2214. මම නො පිසමි. නො පිසවමි. නො සිඳිමි. නො සිඳවමි. පළිබෝධ රහිත මා සියලු පාපයන්ගෙන් දුරු වැ සිටින බව දැනැ,
2215. ඉසිවරයා, වමතින් ආහාර (බඳුන) ගෙන දකුණතින් පැන් කෙණ්ඩිය ගෙන මට රසමසවුල් සහිත පවිත්‍ර බත පිළිගැන්නුවේ ය.
2216. මමායනය සහිත අයිතිය ඇති මොව්හු මා වැන්නවුන්ට දෙන්නට සුදුස්සෝ වෙති. යමෙක් දෙන්නහුහට පවරා ද එය විරුද්ධ ප්‍රතිපදාවය යි මම හඟිමි.
2217. ඒකාන්තයෙන් මට වැඩ පිණිස අද රජතෙම මෙහි පැමිණියේ ය. යමකුට දුන් දෙය මහත් පල ද එය මීට පෙරැ නො දනිමි.
2218. රජවරු රටවල් (ලබා ගැනීමට) ගිජුවූහ. බමුණෝ රජවරුන්ගේ කුදු මහත් කටයුතු කිරීමට ගිජුවූහ. ඉසිවරයෝ අල වර්‍ග සහ ගෙඩිවර්‍ග වලට ගිජු වූහ. පසේ බුදුවරයෝ සියලු භවයන්ගෙන් මිදුණෝ වෙති.
13. භික්ඛාපරම්පර ජාතක යි.
පකිණ්ණක නිපාතය නිමි.
එහි උද්දානය:
සුවජාතක යැ චන්‍දකින්නර ජාතක යැ මහා උක්කුස (උක්ක) ජාතක යැ උද්දාලක (ඛරාජින) ජාතක යැ භිස ජාතක යැ සුරූචී (මහේසි) ජාතක යැ පඤ්චුපෝසථ යැ (කපොත) ජාතකයැ මහමොර ජාතක යැ තච්ඡකසූකර ජාතක යැ මහාවාණිජ ජාතක යැ සාධීන (රාජ) ජාතක යැ දසබ්‍රාහ්මණ ජාතක යැ භික්ඛාපරම්පර ජාතක යි.
සූත්‍රාන්තපිටකයෙහි - ඛුද්දකනිකයෙහි
ජාතකපාළි
(ද්විතීය භාගය)
ඒ භාග්‍යවත් අර්‍හත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා.
15. වීසති නිපාතය
1. මාතඞ්ග ජාතකය
2328. අපිරිසිදු කඩමාලු හඳනා, ලාමක පාංශුපිශාචයකු මෙන් කසළගොඩෙන් ඇසිඳගත් කඩක් ගෙලැ දැවටී ලාමක වූ තෝ, කොහි සිට ආවෙහි ද? එම්බල දක්‍ෂිණාර්‍හ නො වූ තෝ කවරෙහි දැයි මණ්ඩබ්බ කුමාර තෙමේ ඇසීය.
2329. මහත් යශස්ඇති මණ්ඩව්‍ය කුමාරය, පිළියෙළ කරන ලද ඔබගේ මේ ආහාරය බොහෝ දෙනා කති, බුදිති, පානය ද කරත්. නුඹ මෙරමා දුන් දැයෙන් යැපෙන්නකු කොට මා දනුව. එහෙයින් යාචක පිණ්ඩය චණ්ඩාල තෙමේත් ලබාවා යී මාතඞ්ග තෙමේ කීය.
2330. මාගේ මේ ආහාරය ජාතිසම්පන්න බ්‍රාහ්මණයන්ට පිළියෙළ කරන ලදය. සැදැහැති මාගේ මේ දානය තමහට වැඩ පිණිස වේ. සැඩොල, මෙතැනින් පහව යා. කුමකට මෙහි සිටිනෙහි ද? නීචය, මා වැන්නෝ තට නොදෙති.
2331. එම්බා කුමාරය, ශස්‍යඵල කැමැත්තෝ ගොඩ ද, වළ ද, දෙණිය ද යම්සේ බිජුවට වපුරද්ද, එසේම නුඹ මේ ඵල ශ්‍රද්ධායෙන් (දානයෙන් ලැබෙන උසස් විපාක ගැන ඇදහීමෙන් යුතුව) පැමිණි හැමට දන් දෙව. (මෙසේ) දක්‍ෂිණාර්‍හයන් අරියනෙහි (ලබනෙහි) නම් මැනවි.
2332. යම්බඳු පුණ්‍යක්‍ෂේත්‍රයන්හි මම බිජුවට පිහිටුවම්ද, ලෝකයෙහි ඒ පුණ්‍යක්‍ෂේත්‍රයෝ මා විසින් දන්නා ලදහ. ජාතියෙන් ද මන්ත්‍රයෙන් ද යුක්ත වූ යම් බ්‍රාහ්මණ කෙනෙක් ඇද්ද, ඉතා ප්‍රියශීලී වූ ඔවුහු මෙලොව පුණ්‍යක්‍ෂේත්‍ර වෙත්.
2333. ජාතිමදය ද අතිමානය ද ලෝභය ද ද්වේෂය ද මදය ද මෝහය ද යන තෙල හැම දෝෂයෝ යම් කෙනකුන් කෙරෙහි පවතිද්ද, මෙලොව ඒ ක්‍ෂේත්‍රයෝ (සපුන් පිරි තුඹස් සේ) අපේශල වෙති.
2334. ජාතිමදය ද අතිමානය ද ලෝභය ද ද්වේෂය ද මදය ද මෝහය ද යන තෙල හැම දෝෂයෝ යම් කෙනකුන් කෙරෙහි නැද්ද, මෙලොව ඒ ක්‍ෂේත්‍රයෝ සුපේශල වෙති. (ඔවුන් කෙරෙහි දෙන ලද්ද මහත් ඵල වෙයි.)
2335. (මේ වාසල් තුනෙහි රැකවලැ යෙදුණු) උපජෝති ද උපජ්ඣාය ද භණ්ඩකුච්ඡි ද යන මොහු කොහි ගියාහු ද? මොහුට දඬුවම් ද වධ ද දී, සැඩොලා ගෙලෙහි ගෙනැ බැහැර කරවු (යී මණ්ඩව්‍ය කුමාරයා කීවේය.)
2336. මාණවකය, යම්බඳු වූ නුඹ ඍෂියාට පරිභව කරන්නෙහි ද? ඒ නුඹ පර්‍වතයක් නියෙන් සාරන්නෙහි ය. දතින් යකඩ කන්නෙහි ය. ගිනි ගිලීමට උත්සාහ කරන්නෙහි ය. (ඍෂියාට පරිභව කිරීම පර්‍වතයක් නියෙන් සෑරීම වැනි තම පරිහානියට ම හේතු වන බව මේ කී සැටි යී.)
2337. ස්වභාවික පරාක්‍රමයෙන් යුත් මාතඞ්ග ඍෂි තෙම මෙසේ කියා බමුණන් බලා සිටියදී ම අහසෙහි නැඟී ගියේ ය.
2338. හිස පිටුපසට පෙරළන ලදී. අත ද අකර්‍මණ්‍ය ලෙස දිග හරියි. (දරදඬු ය) මළ එකක්හුගේ මෙන් ඇස් සුදු ය. මාගේ පුත්‍රයාට කවරෙක් නම් මේ විපත සිදු කෙළේ ද?
2339. අපිරිසිදු කඩමාලුයෙන් මැසූ වස්ත්‍ර ඇති ලාමක පාංශුපිශාචයකු මෙන් කසළගොඩෙන් ඇසිඳගත් කඩක් ගෙල දවටා ගත් ශ්‍රමණයෙක් මෙහි ආවේ ය. හෙ තෙමේ තීගේ මේ පුතුට මෙසේ කෙළේ ය. (යී එහි සිටි ජනයා කීවේය.)
2340. මාණවකයෙනි, බොහෝ ප්‍රඥා ඇත්තා වූ ඒ ශ්‍රමණයන් වහන්සේ කිනම් දිශාවකට ගියාහු ද? යන මේ කරුණ මට කියවු. ඔහු වෙත ගොස් ඒ වරදට පිළියම් කරන්නෙමු. (කමා කරවන්නෙමු.) පුතුට ජීවිතය ලබා දෙන්නෙමු නම් ඉතා යෙහෙක (යි දිට්ඨමංගලිකාව කීවාය.)
2341. බොහෝ ප්‍රඥා ඇති ඒ ශ්‍රමණ තෙම ආකාශපථයාගේ මැද පූර්‍ණචන්‍ද්‍රායමාණ වැ අහසට වැඩම කෙළේය. තවද සත්‍ය වූ ප්‍රතිඥා ඇති යහපත් ස්වභාව ඇති ඒ ඍෂි තෙමේ පෙරදිගට වැඩම කෙළේය. (යී එහි හුන් මාණවකයෝ කීහ.)
2342. (මාගේ පුත්‍රයාගේ) හිස පිටිපසට කැරැකිණි. අකර්‍මණ්‍ය ලෙස අත දිග හරියි, මළ එකක්හුගේ මෙන් ඇස් සුදුවන් ය, මාගේ පුත්‍රයාට මේ විප්‍රකාරය කවරෙක් කෙළේ ද? (යනුවෙන් දිට්ඨමංගලිකාව මාතඞ්ග පණ්ඩිතයන්ගෙන් ඇසුවා ය.)
2343. ඍෂීන් අනුව ගිය යහපත් ස්වභාව ඇති මහානුභාවසම්පන්න යක්‍ෂයෝ ඇත්තාහු ම ය. ඒ යක්‍ෂයෝ දුෂ්ට සිත් ඇති කිපුණා වූ ඔබ පුතු දැන මේ විප්‍රකාරය කළහ.
2344. මාගේ පුතුට යක්‍ෂයෝ මෙසේ කළාහු ද, බ්‍රහ්මචාරීන් වහන්ස, නුඹ වහන්සේ ම මාගේ පුත්‍රයාට නො කිපෙන සේක්වා, මම නුඹ වහන්සේගේ ම පාදයන් සරණ කොට ගියමු. තවුසාණන් වහන්ස, මම පුත්‍රශෝකයෙන් නුඹ වහන්සේ කරා පැමිණියමු.
2345. දිට්ඨමංගලිකාවෙනි, ඒ බණින කල්හිත් තීගේ පුතුට මා සිත්හි කිසියම් ද්වේෂයෙක් නො වී ය, දැනුදු නැත, තීගේ පුත්‍රයා වනාහි වේදයන් ඉගෙන වේද මදයෙන් මත් වූයේ වැඩ අවැඩ නො දනී.
2346. තවුසාණන් වහන්ස, ඒකාන්තයෙන් ම මිනිසාගේ සංඥාව මොහොතකින් මුළා වේ ම ය. මහාප්‍රාඥය, මේ එක ම අපරාධය කමා කරන සේක්වා, පණ්ඩිතයෝ නම් ක්‍රෝධය බල කොට ඇත්තෝ නො වෙත්.
2347. මාගේ මේ ඉඳුල් බත්පිඩ අනුවණ මණ්ඩව්‍ය තෙමේ අනුභව කෙරේවා, ඒ යක්‍ෂයෝ ද ඔහු නො වෙහෙසන්නාහ, තීගේ ඒ පුත් තෙමේ ද නිරෝග වන්නේ ය.
2348. නුඹ මහත් වූ රාගාදි කෙලෙස් කසටින් යුත් කිලුටු කර්‍ම ඇති අසඤ්ඤතයන් කෙරෙහි දන් දෙන්නෙහි ය, යම්බඳු වූ නුඹ මෙසේ කිරීමෙන් පුණ්‍යක්‍ෂේත්‍රයන් පිළිබඳ දැනුමෙහි අදක්‍ෂ වෙහි ද, මණ්ඩව්‍ය කුමාරය, එහෙයින් නුඹ අඥාන වෙහි ය.
2349. පුත මාණ්ඩව්‍යය, නුඹගේ දක්‍ෂිණාර්‍හයන් අතුරෙන් ඇතැමුන්ගේ කේසයෝ හැඩපළු ගසා බඳින ලද්දාහ. ඛුර සහිත අඳුන් දිවිසම් පොරවන ලද්දාහ. ජීර්‍ණකූපයක්සේ දික් රැවුළෙන් වැසුණ මුව සිදුරු ඇති අපිරිසිදු රාක්‍ෂ වේසය ඇති මේ ප්‍රජාව බලවු. මේ දළ මඩුලු හා අඳුන් දිවිසම් දරන තැනැත්තා මඳ නුවණැත්තාහු නො රකී. හෙවත් පිහිට නො වේ.
2350. යම් කෙනකුගේ රාගයත් ද්වේෂයත් අවිද්‍යාවත් පහවී ද, ක්‍ෂය කළ ආස්‍රව ඇති රහත්හු වෙද්ද උන්වහන්සේ කෙරෙහි දෙන ලද්ද මහත් ඵල වේ. {*} මේධ්‍ය රජ තෙම යශස් ඇත්තා වූ මාතඞ්ග ඍෂි කෙරෙහි සිත දූෂ්‍ය කොට සහපිරිවරින් වැනැසුණේ ය. එකල්හි මේධ්‍යාරණ්‍යය වූයේ ය.
මාතඞ්ග ජාතක යි.
2. චිත්තසම්භූත ජාතකය
2351. මිනිසුන් විසින් මැනවින් පුරුදු කරන ලද හැම කර්‍මයක් ම විපාක සහිත ය. කුශලාකුශල කර්‍ම අතුරෙන් හිස් කර්‍ම කිසිවක් නැත. ස්වකීය කර්‍මයෙන් පුණ්‍ය විපාකයට පැමිණ මහත් ආනුභාව ඇති සම්භූත නම් වූ තමන් ප්‍රත්‍යක්‍ෂයෙන් දකිමි.
2352. මිනිසුන් විසින් මොනොවට පුරුදු කරන ලද හැම කර්‍මයක් ම විපාක සහිත ය. කුශලාකුශල කර්‍ම අතුරෙන් හිස් කර්‍ම කිසිවක් නැත. යම්සේ මාගේ යශස් සමෘද්ධවීද කිම? එසේම මා සොහොවුරු චිත්තයාගේ සිතත් සමෘද්ධ වීද?
2353. මිනිසුන් විසින් මොනොවට පුරුදු කරන ලද හැම කර්‍මයක් ම විපාක සහිත ය. කුශලාකුශල කර්‍ම අතුරෙන් හිස් කර්‍ම කිසිවක් නැත. දේවයන් වහන්ස, යම්සේ නුඹ වහන්සේගේ යශස් සමෘද්ධ වී ද, එසේ ම ඒ චිත්තයාගේ ද සිත සමෘද්ධ විය. චිත්තයා ගැන (මෙසේ) දැන ගන්නේ මැනැවි.
2354. පින්වත, මම චිත්ත නම් වෙ මැ යි කියන චිත්තයාගෙන් ම තට මෙය අසන්නට ලැබිණි ද? නැතහොත් අනෙකුගෙන් අසන්නට ලැබිණි ද? මෙය නුඹට කවරෙක් කීවේ ද? ගාථාව නම් මැනැවින් ගායනය කරන ලදී. ඒ ගැන මට සැකෙක් නැත. නුඹට ගම්වර සියයක් ද දෙමි.
2355. මම චිත්ත නම් වේ මැ යි කියන චිත්තයාගෙන් ම මට මෙය අසන්නට නො ලැබිණි. ඔබ තුමාගේ උයනෙහි වෙසෙන ඍෂිවරයෙක් මට මේ කරුණ කීවේ ය. රජු වෙත ගොස් මේ ගාථාව ගයව. එවිට තුටුසිත් රජ තෙමේ තට වරයක් ද දෙන්නේ ය.
2356. විසිතුරු මැසුම් ඇති අලංකාර ලෙස සරසන ලද රාජ රථයන් යොදත්වා, ඇතුන්ගේ පොරොද්ද බඳිමු. ග්‍රීවාභාරණයන් ද පළඳමු.
2357. බෙර - මිහිඟු බෙර - සක් යන තූර්‍ය්‍යයන් නාද කෙරෙත්වා, වේග ගමන් ඇති වාහන ද යොදත්වා, යම් තැනක හුන් ඍෂිවරයා දක්නට හැක්කෙම් නම්, අද ම ඒ අසපුවට යන්නෙමි යි රජ තෙමේ කීවේ ය.
2358. ඒකාන්තයෙන් මට යහපත් ලාභයෙක් විය. මා විසින් පිරිස් මැද ගාථාව මැනැවින් ගායනය කරන ලදි. ශීල ව්‍රතයෙන් සමන්‍විත වූ ඍෂිවරයා දැක ඒ මම ප්‍රීත වූයෙම් සතුටුසිත් ඇත්තෙම් වෙමි.
2359. පින්වතුන් වහන්ස, අපගේ අසුන ද පා දෝනා පැන් ද පිළිගන්නා සේක්වා, පින්වතුන් වහන්සේ ආගන්තුක සත්කාරයෙන් පිදීම් වශයෙන් විචාරමි. පින්වතුන් වහන්සේ අපගේ ආගන්තුක සත්කාරය පිළිගන්නා සේක්වා.
2360. නුඹ වහන්සේට සිත්කලු ගෘහයක් කෙරෙත්වා, ස්ත්‍රීසමූහයා විසින් තෙපි පිරිවරනු ලබව. අනුග්‍රහ පිණිස එයට අවකාශ කළ මැනැවැ. අපි දෙදෙනා මැ මේ රජ සැපත අනුභව කරම්හ යි රජ තෙම කීවේ ය.
2361. මහරජ, දුශ්චරිතයාගේ විපාකය දැක වැළිදු මනාව පුරුදු කළ සුචරිතයාගේ විපාකයත් දැක මෙසේ තමන් ම සංවරයට පැමිණියෙමි. පුත්‍ර සම්පත් හෝ ගව මහිෂාදී පශු සම්පත් හෝ ධන සම්පත් හෝ නො පතන්නෙමි.
2362. මෙලොව මිනිසුන්ගේ ජීවිතය වර්‍ෂයන් සම්බන්‍ධ දශක දශකයෙක් ම ය. ඒ දශකයන් සම්බන්‍ධ සීමාවට නොපැමිණ ම සිඳින ලද බට ගසක් මෙන් වියළෙයි. (මැරෙයි.)
2363. මහරජ, ඒ නැසෙන ජීවිතයෙහි ලා පස්කම් අරබයා කවර සතුටක් ද? කිනම් කායික ක්‍රීඩාවක් ද? කවර සොම්නස් සහගත ඇල්මක් ද? කිනම් ධනෝපාර්‍ජනයෙක් ද? දරුවන්ගෙන් හා භාර්‍ය්‍යාවන්ගෙන් ඇති ප්‍රයෝජන හෝ කුමක් ද? මම බන්‍ධනයෙන් මිදුණෙමි.
2364. ඒ මම හොඳින් ම දනිමි. මරුවා මට පමා නො වේ. මරුහට යටත් වූවහුට කවර රතියක් ද? කිනම් ධනෝපාර්‍ජනයෙක් ද?
2365. මහරජ, මිනිසුන්ගේ අධම වූ චණ්ඩාලයෝනිය දෙපා ඇත්තවුන් අතර පහත් වේ. පෙර අපි ස්වකීය පාපකර්‍ම විපාකයෙන් සැඬොල් මව් ගැබ්හි වුසූම්හ.
2366. අපි දෙදෙන අවන්ති දනව්වෙහි චණ්ඩාලයෝ වූම්හ. ඉන් සැව නේරඤ්ජරා ඉවුරෙහි මුවෝ වූම්හ. එයින් චුත ව නර්‍මදා නදී තීරයෙහි උකුස්සෝ දෙදෙනෙක් වූම්හ. අද ඒ බ්‍රාහ්මණ හා ක්‍ෂත්‍රිය වූම්හ.
2367. මහරජ, මේ ජීවිතය මරණය කරා පැමිණෙයි. සත්‍වයන්ගේ ආයුෂ කාලය ස්වල්ප ය. ජරාවෙන් මරුවෙතට පැමිණියහුට පුත්‍රාදීහු පිහිට නො වෙති. පංචාලය, මාගේ මේ වචනය කරව. (පිළිපදුව.) දුක් වැඩෙන්නා වූ පාපකර්‍ම නොකරව.
2368. ජීවිතය මරණය කරා පැමිණෙයි. සත්‍වයන්ගේ ආයු කාලය ස්වල්ප ය, ජරාවෙන් මරු වෙතට පැමිණියහුට පුත්‍රාදීහු පිහිට නො වෙත්. පංචාලය, මගේ මේ වචනය කරව. (පිළිපදුව.) දුක් විපාක ගෙන දෙන කර්‍ම නො කරව.
2369. ජීවිතය මරණය කරා පැමිණෙයි. සත්‍වයන්ගේ ආයු කාලය ස්වල්ප ය. ජරාවෙන් මරු වෙතට පැමිණියහුට පුත්‍රාදීහු පිහිට නො වෙත්. පංචාලය, මගේ මේ වචනය පිළිපදුව. කෙලෙස් රජසින් වැසීගිය හිස් ඇති කර්‍මයන් නො කරව.
2370. ජීවිතය මරණයට පැමිණෙයි. සත්‍වයන්ගේ ආයුෂ කාලය ස්වල්ප ය. දිරන්නා වූ මිනිසාගේ ශරීරවර්‍ණය ජරා තොමෝ නසියි. පංචාලය, මාගේ මේ වචනය කරව. නිරයෙහි ඉපදීමට හේතු වන කර්‍ම නො කරව.
2371. ඒකාන්තයෙන් ම නුඹ වහන්සේගේ වචනය සත්‍ය ය. ඍෂි තෙම යම්සේ කියන්නේ නම්, එය එසේ ම ය. අප්‍රමාණ කාම සම්පත් මට ඇත්තාහ. ඍෂිවරය, ඒ කාම සම්පත් මා වැන්නකු විසින් අත්හැරිය නො හැකි ය.
2372. මඩවගුරෙහි එරුණු ඇත් තෙමේ ගොඩ දක්නේ යම්සේ යා නො හැක්කේ වේ ද, එමෙන් ම කාම පංකයෙහි එරුණු මම භික්‍ෂුවගේ අනුශාසනා මාර්‍ගයට නො පැමිණෙමි. හෙවත් පැවිදි වන්නට නො පිළිවන් වෙමි.
2373. කවරාකාරයෙකින් පුතු සුවපත් වන්නේ දැ යි සලකා යම්සේ නම් මව්පියෝ පුතුට අනුශාසනා කෙරෙද්ද. ස්වාමීනි, එසේ ම යම් ලෙසකින් පිළිපදින්නෙම් නම් පරලොව සුව පිණිස හේතු වේ ද, එසේ ම මට අනුශාසනා කරන සේක්වා.
2374. ජනාධිපති මහරජ, ඉදින් තෙපි මිනිසුන් පිළිබඳ මේ පස්කම් සුව අත්හරින්නට නො හැක්කහු නම්, දැහැමින් අයබදු පිහිටුවවූ. තොපගේ රටෙහි අධර්‍ම ක්‍රියාවෝ ද නො වෙත්වා.