9. අපායිම්හ වර්‍ගය
81. සුරා පිම්හ, (අත් ලෙළවමින්) නැටුම්හ. මහහඬින් ගී කීම්හ, (සුරාපානය නපුරු ය යි පසුව) හැඬුම්හ. සිහිසන් නැති කරන රා බී (යම් හෙයෙකින්) වඳුරෝ නො වූවමෝ ද එය ම මැනැවි (යි තමාගේ නුගුණ කීවේ ය.)
1. සුරාපාන ජාතක යි.
82. පළිඟු පහය ද රිදී පහය ද මැණික් පහය ද ඉක්ම තෙපි (පාපක්‍ෂය වන තෙක්) ජීවත් වන්නහු (යම් උරචක්‍රයෙකින්) නො මිදෙන්නහු ද එබඳු පාෂාණ උරචක්‍රයෙකින් මඩනා ලද්දහු.
2. මිත්තවින්‍ද ජාතක යි.
83. එක් වැ සත්පියවරක් යෑමෙන් මිත්‍රයෙක් වන්නේ ය. දොළොස් දිනක් එක් වැ විසීමෙන් යහළුවෙක් වන්නේ ය. මසෙකින් ද අඩමසෙකින් ද නෑයකු හා සම වන්නේ ය. එයින් අධික කාලයක් එක් වැ විසීමෙන් ප්‍රාණසමයෙක් ද වන්නේ ය. ඒ මම තමාගේ සුවය කරණ කොටගෙනැ බොහෝ කාලයක් එක් වැ වාසය කොට පුරුදු වූ කාලකණ්ණි නම් යහළුවා කෙසේ හරනෙම් ද?
3. කාලකණ්ණි ජාතක යි.
84. ආරෝග්‍ය නම් වු උතුම් ලාභය කැමැති වන්නේ ය, ආචාර ශීලය ද (ගුණයෙන්) වැඩිහිටියන්ගේ අනුමතය ද බහුශ්‍රැතබව ද ධර්‍මය අනුවැ පැවැත්ම ද චිත්තයාගේ නො හැකුළුණු බව ද යන මේ සදෙන දියුණුවට ප්‍රධාන වූ ද්වාරයෝ ය.
4. අත්‍ථස්සද්වාර ජාතක යි.
85. මතු වන්නා වු දෝෂය නො දැන යමෙක් කාමයන් සෙවුනේ ද කන ලද කිම්පක්ක නම් විෂඵලය මෙන් (ඒ කාමයෝ) ඒ පුරුෂයා විපාක සඞ්ඛ්‍යාත අන්තයෙහි (නිරයෙහි නොයෙක් දුක් දී) නසත්.
5. කිම්පක්ක ජාතක යි.
86. ආචාර සීලය ම යහපත් ල, ලෝකයෙහි සීලය ශ්‍රේෂ්ඨ ය. බලව, නපුරු විෂ ඇති සර්‍ප තෙමේ සිල්වත් වෙමි යි (අන්‍යයනට) හිංසාවක් නො කෙරේ.
6. සීලවීමංස ජාතකය යි.
87. යම් රහත් කෙනකුගේ (දිට්ඨ-සුත-මුත ආදී) මංගලයෝ ද (සූර්‍ය්‍යග්‍රහණාදී) උත්පාතයෝ ද ස්වප්නයෝ ද ලක්‍ෂණයෝ ද මනාකොට නසන ලද්දහු ද මංගලදෝෂයන් ඉක්ම සිටියේ ද යුගධර්‍මයන් ද යෝගධර්‍මයන් ද යටපත් කොට සිටියේ ද ඒ රහත් උතුමා ඒකාන්තයෙන් (ප්‍රතිසන්‍ධි වශයෙන් මේ ලෝකයට) නො එන්නේ යි.
7. මංගල ජාතක යි.
88. කල්‍යාණ වූ වචන ම කටින් නිකුත් කරන්නේ ය. ලාමක වචනයක් නො ම නිකුත් කරන්නේ ය. කල්‍යාණ වචනයාගේ (බිණීම) යහපති, ලාමක තෙපුල් බැණැ (දෙලොව) තැවෙන්නේ යි.
8. සාරම්භ ජාතක යි.
89. මෘදු වූ තෙපුල් බණන්නා වූ තොපගේ වචන ම මට සිලිටි වී, තණකෙන්‍දක් පමණෙකැ නො ඇලුණෙහි ය, (එහෙත්) නිෂ්ක සියයක් හැරැ ගෙනැ යන්නේ නො වෙහි ද?
9. කුහක ජාතක යි.
90. යමෙක් පෙරැ කරන ලද උපකාර ඇති වැ නිෂ්පාදිත කෘත්‍ය ඇත්තේ (කළ උපකාරය) නො දනී ද පසුව කටයුත්තක් පැමිණි කල්හි (ඔහුට) එය කැරැදෙන්නකු නො ලබා යී.
10. අකතඤ්ඤ ජාතක යි.
නවවැනි අපායිම්හ වර්‍ග යි.
එහි උද්දාන:
අපායිම්හ (සුරාපාන) දූහක (මිත්තවින්‍දක) සත්තපද (කාලකණ්ණි) ජළද්වාර (අත්‍ථස්ස ද්වාර) ආයති (කිම්පක්ක) අභිසීලව (සීලවිමංස) මංගල පාපික (සාරම්භ) සතනික්ඛ (කුහක) කතත්‍ථවර (අකතඤ්ඤ) යන දසය යි.
10. ලිත්ත වර්‍ගය
91. මහාතේජස් ඇති හලාහලවිෂයෙන් රැඳුණු පසඇට ගිලින්නා වූ පුරුෂ තෙමේ (එහි විෂ රැඳුණු බව) නො දනී, නීචය, (පසඇට) ගිල, පාපධුර්‍තය ගිල, පසුව හෙවත් මෙය ගිලූ කලැ තට කටුක විපාකයෙක් වන්නේ ය.
1. ලිත්ත ජාතක යි.
92. එළඹසිටි යුද්ධයෙහි හෙවත් යුද්ධයක් පැමිණි කල්හි ශුරයා (නිර්‍භය පුරිෂයා ද) මන්ත්‍රණය කරන කල්හි (රහස් හෙළි නො කරන හෙයින්) අකුතුහල පුරුෂයා ද මධුරාහරාදීන් එළවූ කල්හි (එක් වැ වළඳනා) ප්‍රියයා ද (ප්‍රශ්න විසර්‍ජනාදි) අථියක් උපන් කල්හි පණ්ඩිතයා ද කැමති වෙති. (පැතිය යුත්තේ ය.)
2. මහාසාර ජාතක යි.
93. (පෙරැ විශ්වාසයෙන් සිට පසුව) අවිශ්වාස වූවහු කෙරෙහි විශ්වාසය නො කරන්නේ ය. (පෙරැ අවිශ්වාස ව සිටැ) විශ්වාස වූවහු කෙරෙහි විශ්වාස නො කරන්නේ ය. එබඳු විශ්වාසයෙන් මීවින්න (මෘගමාතෘ) ගෙන් සිංහයාට මෙන් භය පැමිණේ.
3. විශ්වාස භෝජන ජාතක යි.
94. (හිරුරැසින්) විශේෂයෙන් තැවුණෙමි, (හිමදියෙන්) විශේෂයෙන් තෙත් වූයෙම්, බියකරු වෙනෙහි හුදකලා වූයෙම්, නග්න වූයෙම්, ගිනි සමීපයෙහි නො හිදිනෙම්. (බ්‍රහ්මචර්‍ය්‍යා) සෙවීමෙහි යෙදුණෙම්. (මුනිභාවය පිණිස පිළිපන්නෙකැ යි) ලෝකයාගේ සැලකුම් ලැබීමි.
4. ලෝමහංස ජාතක යි.
95. සංස්කාරයෝ හෙවත් හේතුප්‍රත්‍යයයෙන් හටගත් වස්තූහු ඒකාන්තයෙන් අනිත්‍යයහ. ඉපද නස්නා ස්වභාවය ඇත්තාහ. ඉපැද නැති වෙති. ඒ සංස්කාරයන්ගේ සන්හිඳීම නම් වූ නිවන් ම සුව ය යි.
5. මහාසුදස්සන ජාතක යි.
96. මුවවිට දක්වා සමව පිරුණු නො වැගිරෙන්නා වූ තලතෙල් පාත්‍රය යම්සේ ගෙනැ යන්නේ ද, එසේ ම නො ගියවිරූ නිවන් දිසාව පතන්නේ ස්වකීය සිත (භාවනාවෙක යොදා) විසිර යා නො දි රක්නේ ය.
6. තෙලපත්ත ජාතක යි.
97. ජීවකයා ද මළහු දැක ධනපාලී ද දුගී වූවා දැක පන්‍ථකයා ද වෙනෙහි මංමුළා වූවකු දැක පාපක නමැත්තා නැවත (ආපසු) ආවේ ය.
7. නාමසිද්ධි ජාතක යි.
98. පණ්ඩිතයා නම් යහපත, උතුම් ය. (නාම මාත්‍රයෙන්) අති පණ්ඩිතයා උතුම් නො වේ ම ය. අතිපණ්ඩිත පුත්‍රයා විසින් ඇසිල්ලෙකින් දවන ලද්දෙම් වෙමි.
8. කූටවාණිජ ජාතක යි.
99. රැස්වූවන් අතුරෙහි දහසකට අධික වූ ප්‍රඥා රහිත වු ඔවුහු අවුරුදු සියයක් හඬන්නාහු නමුදු (කාරණය වටහා නො ගනිති. එහෙයින් උතුම් නො වේ.) යමෙක් ප්‍රකාශිත වචනයාගේ අර්‍ත්‍ථය දනී ද ඒ එක ප්‍රඥාවත් පුරුෂ තෙමේ ම උතුම් වේ.
9. පරොසහස්ස ජාතක යි.
100. අමධුරය (අකුශලකර්‍ම විපාක දෙන තුරු) මධුර ස්වරූපයෙන් ද අප්‍රියවස්තුව ප්‍රියස්වරූපයෙන් ද දුඃඛය සුඛස්වරූපයෙන් ද ප්‍රමත්ත (මුළාසිහි ඇති) පුරුෂයා යටපත් කෙරෙයි.
10. අසාතරූප ජාතක යි.
දසවැනි ලිත්ත වර්‍ග යි.
එහි උද්දාන:
ගිලමක්ඛ (ලිත්ත) අකුතුහල (මහාසාර) මාතුක (විස්සාසභෝජන) මුනි (ලෝමහංස) අනිච්චත (මහාසුදස්සන) පත්‍ථවර (තෙල පත්ත) ධනපාලිවර (නාමසිද්ධි) අතිපණ්ඩිත (කූටවාණිජ) පරොසහස්ස සාත (රූප) යන දසය යි.
මජිඣිම පණ්ණාසක යි.
11. පරොසත වර්‍ගය
101. රැස්වූවන් අතුරෙහි සියයකට අධික වූ ද ප්‍රඥා රහිත වූ ඔවුහු අවුරුදු සියයක් පරික්‍ෂා කොට බලන්නාහු නමුදු (කාරණය වටහා නො ගනිති. එහෙයින් උතුම් නොවේ.) යමෙක් ප්‍රකාශිත වචනයෙන් අර්‍ත්‍ථය දනී ද ඒ ප්‍රඥාවත් එක පුරුෂයා ම උතුම් වේ.
1. පරොසත ජාතක යි.
102. යමෙක් දුකින් පහරන ලද තැනැත්තියට පිහිට වන්නේ ද මාගේ ඒ පියා වෙනෙහි මිත්‍රද්‍රෝහි කර්‍මය කෙරෙයි. වෙනෙහි මැදැ ඒ මම කවරක් හට (පිහිට සොයා) හඬම් ද, යමෙක් (මට) පිහිට වන්නට සුදුසු ද හෙතෙමේ ම සාහසික කර්‍මයක් කෙරෙයි.
2. පණ්ණික ජාතක යි.
103. යම් තැනෙක්හි වෛරී පුද්ගලයා වෙසේ ද එතන්හි නුවණැත්තේ නො වසන්නේ ය. (කුමක් හෙයින් ද යත්:) එක දවසක් හො දෙකක් හො වෛරීන් අතුරෙහි (වසන්නේ) දුකින් (ම) වෙසේ.
3. වේරී ජාතක යි.
104. සතර දෙනකුගෙන් අසන්තුෂ්ට වැ අටදෙනකුන් කරා ගියේ ය. අටදෙනකුන්ගෙන් අසන්තුෂ්ට වැ සොළොස්දෙනකුන් කරා ද සොළොස්දෙනකුගෙන් අසන්තුෂ්ට වැ දෙතිස්දෙනකුන් කරා ද ගියේ ය. (ලද දෙයින් නො සතුටු වැ) වැඩියක් පතන්නේ උරචක්‍රයට පැමිණියේ ය. තෘෂ්ණාවෙන් පෙළන ලද පුරුෂයාගේ මස්තකයෙහි උරචක්‍රය (නැවත නැවත වැටීමෙන්) බමයි.
4. මිත්තවින්‍දක ජාතක යි.
105. වෙනෙහි බොහෝ වූ (යම්) මේ දුර්‍වල කාෂ්ටයක් (දණ්ඩක්) සුළඟ බිඳී ද, නාගය, ඉදින් එයට බියපත් වෙහි නම් ඒකාන්තයෙන් කෘෂ වූවෙක් වන්නෙහි ය.
5. දුබ්බලකට්ඨ ජාතක යි.
106. ඒකාන්තයෙන් ඉතා සුවසේ ජීවත්වන්නා වූ මා පෙළන්නාවූ දිය ඉස්නා ඝටිකාවක් මෙන් අන්සතු දෑ පැහැර ගන්නා වූ භාර්‍ය්‍යා නාමයෙන් යුක්ත සෙරක් තෙල් ද ලුණු ද (ආදි කැමැති කැමැති වස්තුව) ඉල්ලයි.
6. උදඤ්චනී ජාතක යි.
107. යම්තම් වූ ශිල්පය නමුදු යහපත් ම ය. බලව කොරා ගේ (එළුබෙටි) ගැසීමෙන් සතර දිගින් සතරක් ගම්හු ලබන ලදහ.
7. සාලිත්තක ජාතක යි.
108. හික්මෙන්නට සුදුසු ශිල්පයන් හික්මෙන්නේ ය, (ඉගෙන ගන්නේය) ඒ ඒ ශිල්පයෙහි කැමැති ජනයෝ ඇත්තාහ. යම් හෙයෙකින් බිහි ජනපදයෙහි උපන් ස්ත්‍රී මනා කොට කළ පුරිෂසර්‍ගයෙන් රජහු සිත් ගත්තී ද (එහෙයිනි).
8. බාහිය ජාතක යි.
109. පුරුෂ තෙමේ යම්බඳු ආහාරයක් ඇත්තේ වේ ද ඔහු ගේ දේවතාවා ද එබඳු ම ආහාර ඇත්තේ ය, මේ කුඩුපූව (කුඩුකැවුම) ගෙනෙව, මාගේ කොටස නො නසව.
9. කුණ්ඩපූව ජාතක යි.
110. මෙහි සර්‍වසංහාර (සියල්ල එකතු වූ) සුවඳ නැත්තේ ය. (අනෙක් සුවඳෙකින් අමිශ්‍ර හෙයින්) පිරිසිදු පුවඟුමල්සුවඳ ද විහිදෙයි. ධූර්‍ත වූ මෝ තොමෝ බොරු කියයි. මහල්ලිකා (මැහැලි) තොමෝ සැබවක් කිව.
10. සබ්බසංහාරක ජාතක යි.
එකළොස්වැනි පරොසත වර්‍ග යි.
එහි උද්දාන:
පරොසත - තායිත (පණ්ණික) වේරී හමචක්ක (මිත්තවින්‍දක) නාගසිරි (දුබ්බලකට්ඨ) සුඛ (උදඤ්චනී) සිප්පක (සාලිත්තක) බාහිය කුණඩපූව මහල්ලික (සබ්බසංහාරක) යන දසය යි.
12. හංස වර්‍ගය
111. රාජෝත්තමය, ඉදින් තෙපි පුතාට වඩා පියා උතුමැ යි මෙසේ හඟනහු ද එබැවින් තොපගේ අශ්වතරයාට වඩා මේ කොටළුවා උතුම් වන්නේ ය. යම් හෙයෙකින් කොටළු තෙම අශ්වතරයාට පිය වූයේ ද එහෙයිනි.
1. ගද්‍රභපඤ්හ ජාතක යි.
112. යම් තැනෙක්හි අත්සුණු ද කාඩි ද විකුණන අංගානියෙක් (කඩපිළක්) ඇද්ද, යම් තැනෙක්හි පිපුණා වූ දෙකක් ව මැදින් බෙදී ගිය පත් ඇති කොබෝලීල රුක ද යම් අතකින් බුදිම් ද ඒ (දකුණු) දිසාවෙන් මග කියමි. යම් අතකින් නො බුදිම් ද ඒ (වම්) දිසාවෙන් (මග) නො කියමි. යවමැදුම්ගමැ පිහිටි අපගේ ගෙට මේ මාර්‍ගය ය. මේ සඟවා කී කාරණය දැනැගනුව.
2. අමරාදේවිපඤ්හ ජාතක යි.
113. බ්‍රාහ්මණය, සුරා බොන ලද හිවලාගේ වචනය අදහන්නෙහි ද (මා ළඟ) බොල්ලන් (සිප්පි) සියයකුදු නැත, කහවණු දෙසියයක් කොයින් ද?
3. සිඟාල ජාතක යි.
114. බහුචින්තී නම් මත්ස්‍යයා ද අප්පචින්තී නම් මත්ස්‍යයා ද යන දෙදෙනා ම දැලෙහි බැඳුණාහ. මිතචින්තී නම් මත්ස්‍යයා (ඔහුත්) දැලෙහි මිදි ය. බහුචින්තී අප්පචින්තී දෙදෙනා ම දියෙහි මිතචින්තී හා එක්වූහ.
4. මිතචින්තී ජාතක යි.
115. යමක් තොමෝ ලොල් වැ හැසිරෙන්නී අන්‍යයනට අනුශාසනා කරන්නී ද ඒ මේ සැළලිහිණි රියසකින් නසන ලද්දී පහවූ පියාපත් ඇති වැ මාර්‍ගයෙහි හෝනී ය.
5. අනුසාසික ජාතක යි.
116. ආචාර්‍ය්‍යය, තොපට නො පිළිවන් වූ අධික වූ ක්‍රියාවක් කෙළෙහි ය. මට ඒ කාරණය නො රුස්සයි. සතරවැනි ශස්ත්‍රයෙහි (නොවැටී සිරුර) පන්වා පස්වැන්නෙහි ඇවිණී ගියෙහි ය.
6. දුබ්බච ජාතක යි.
117. ඉතා උස්වූ (ඉතා මහත් කොට කියන ලද්දා වූ) ඉතා බලවත් වූ ප්‍රමාණය ඉක්මවා ප්‍රකාශිත වචනය ප්‍රමාණය ඉක්මවා හැඬූ වටුවා මෙන්, නුවණ නැත්තහු නසයි.
7. තිත්තිර ජාතක යි.
118. පුරුෂ තෙමේ (පැමිණි දුකින් මිදීමට උපාය) නො සිතන්නේ දුකින් මිදීම නම් වූ විශේෂයට නො පැමිණේ, (එසේ) චින්තිත කර්‍මයාගේ ප්‍රයෝජනය බලව. මම මරණයෙන් ද බන්‍ධනයෙන් ද මිදුණෙමි.
8. වට්ටක ජාතක යි.
119. මවුපියන් සමීපයෙහි නො වැඩුණු ආචාර්‍ය්‍යකුලයෙහි නො වුසූ මේ කුකුළා හැඬුවමනා කාලය හෝ නො හැඬූවමනා කාලය හෝ නො දනී.
9. අකාලරාවි ජාතක යි.
120. යම් තැනෙක් හි අඥානයෝ බෙණෙද්ද එතැන්හි බන්‍ධනයට නුසුදුස්සෝ ද බැඳෙති. යම් තැනෙක්හි නුවණැත්තෝ බෙණෙද්ද එතැන්හි බන්‍ධනයට සුදුස්සෝ ද මිදෙති.
10. බන්‍ධනමොක්ඛ ජාතක යි.
දොළොස්වැනි හංස වර්‍ග යි.
එහි උද්දානය:
ගද්‍රභ - සත්තු (අමරාදේවිපඤ්හ) කාසසත (සිගාල) බහුචින්ති (මිතවින්ති) සාසික (අනුසාසිත) අතිකර දුබ්බච අතිබල (තිත්තිර) විසේස (වට්ටක) අනාචරිය (අකාලරාවි) ධීරාපහාසර (බන්‍ධනමොක්ඛ) යන දසය යි.
13. කුසනාළි වර්‍ගය
121. (ජාත්‍යාදීන්) සමාන වූයේ ද ශ්‍රේෂ්ඨ වූයේ ද (මිත්‍රධර්‍මය) කරන්නේ ය. එකෙක් හීන වූයේ ද (මිත්‍රධර්‍මය) කරන්නේ ය. ඒ මිත්‍රයෝ විපත්තියෙහි දී උතුම් වූ අර්‍ත්‍ථයක් ම (යහපතක් ම) කරන්නාහු ය. බුරුදගස උපන් මා ද දියබෙරලිය ගස උපන් කුසනාළි ද මෙනි.
1. කුසනාළි ජාතක යි.