2082 දැකුම් කලු වූ සඳ හිරු දෙදෙන බබළමින් අහසේ ගමන් කරති. ඔව්හු මෙ ලොවට අයිති වෙත් ද නැතහොත් පරලොවට අයිති ද? ඒ විමන්හි දිව්‍ය පුත්‍රයෝ කෙසේ වෙත්දැයි මිනිස්ලොවැ කියත් ද?
2083. දැකුම් කලු වූ සඳ හිරු දෙදෙන බබළමින් අහසේ ගමන් කරති. ඔව්හු පරලොවට අයත් වෙති. මෙ ලොවට අයත් නො වෙති. මිනිස්ලොවැ ඔව්හු දෙවියෝ යයි කියති.
2084. යම් කෙනෙක් අහේතුකවාදී වෙත් ද පුණ්‍ය පාප කර්‍මයන්ගේ විපාකය හෙවත් පිරිසුදු අපිරිසුදු බවට හේතු වන කර්‍ම නැතැ යි කියත් ද, දන් දීම මෝඩයන් විසින් පැනැවූවකැ යි කියත් ද ඒ මහණ බමුණෝ මේ කරුණෙහි නැසුණෝ වෙත්.
2085. තොපගේ මේ කීම ඒකාන්තයෙන් සත්‍යයෙකි. දානය විපාක නැතැ යි කියන්නේ කෙසේ ද? එසේ සුකෘත දුෂ්කෘතයන්ගේ පල විපාක මෝඩයන් පැනැවූවක් වන්නේ කෙසේ ද?
2086. මොනර රජුනි, කුමක් කරන්නේ කෙසේ කරන්නේ කුමක හැසිරෙන්නේ කුමක් සේවනය කරන්නේ කෙබඳු තවුස් ගුණයක් නිසා නිරයේ නො වැටෙම් ද එයට උපදෙස් කියව.
2087. මෙ ලොවැ යම් ශ්‍රමණ කෙනෙක් වෙත් ද කසාවත දරන අනගාරික වූ නො කල්හි හැසිරීමෙන් වැළැකී ඒ සත්පුරුෂයෝ (පසේ බුදුවරු) උදාසන්හි සුදුසු කාලයෙහි පිඬුසිඟා වඩිති.
2088. සුදුසු කලැ උන්වහන්සේ වෙතැ එළඹැ තොප කැමැති යමක් වේ නම් එය අසව. උන් වහන්සේ මෙලොව පරලොව දියුණුව දන්නා ආකාරයෙන් ප්‍රකාශ කරත්.
2089. සර්‍පයකු දිරාපත් වූ පැරැණි හැවය හරනා සේ, රුක තැනින් තැන ඇති පඬුවන් පැහැති පත් ඉවත් කරන්නා සේ මම ද අද මගේ රුදුරු ගතිය හරිමි. මේ මගේ රුදුරු ගතිය ප්‍රහීණ ය.
2090. මා විසින් බඳින ලද සිය ගණන් පක්‍ෂීන් නිවෙසේ ඇද්ද ඔවුනටත් මම අද ජීවිත දානය දෙමි. මම නිවනට පැමිණියෙමි. ඒ සත්‍ය බලයෙන් සියලු සත්ත්‍වයෝ තමන් වසන තැන්වලට යෙත්වා.
2091. යසස් ඇති මොනර රජ බැඳ ගන්නට, පුඩු අතැ’ති වැද්දෙක් වනයෙහි හැසුරුණේ ය. යසස් ඇති මොනර රජ බැඳ යම්සේ දුකින් මිදුණේ ද, එසේ මම ද දුකින් මිදුණෙමි.
8. මහාමෝර ජාතක යි.
2092. යම් ඥාති සමූහයක් සොයමින් අපි පර්‍වතයන්හි ද වනාන්තරයන්හි ද හැසුරුණෙමු ද (යම්) කෙනකු ඥාතීන් සොයමින් හැසුරුණෙම්ද? මා විසින් ඔවුහු ලබන ලදහ.
2093. මේ අල වර්‍ග ද ගෙඩි වර්‍ග ද බොහෝ ය. කෑ යුතු දෙය ද බොහෝ ය. මේ පර්‍වත නදීහු මනරම් වෙති. වාසයට පහසු තැනක් වන්නේ ය.
2094. වෑයම් රහිත වැ නිසැක වැ ශෝක රහිත වැ බියක් නැති වැ සියලු ඥාතීන් සමග මම මෙහි ම වසන්නෙමි.
2095. තච්ඡ සූකරය, වෙන ලෙනක් සොයව. මෙහි අපට සතුරෙක් සිටී. හේ මෙහි අවුත් වැඩුණු මසැති හොඳ හොඳ ඌරන් මරයි.
2096. මෙහි අපගේ සතුරා කවරෙක් ද? නැසිය නොහැකි ලෙස එක්වූ ඥාතීන් කවරෙක් නසා ද ? විචාරන ලද මට එය කියව.
2097. තච්ඡය, උඩට ගිය ඉරි සහිත මෘගරාජයකු වූ බල ඇත්තා වූ දළ මැ අවි කොට ගත් ව්‍යාඝ්‍රයෙක් වේ. හේ මෙහි අවුත් වැඩුණු මසැති හොඳ හොඳ ඌරන් මරයි.
2098. අපි දළ නැත්තෝ නො වෙමු. බලය සිරුරේ ඇත. හැම දෙන එකතු වැ තනි වූ ඔහු යටත් කරමු.
2099. තච්ඡකය, හිතට වදින කනට මිහිරි වචනයක් කියති. සටනෙහි අපෙන් යමෙක් පලා ගියොත් පසුව ඔහුත් නසන්නෙමු.
2100. අද ප්‍රාණඝාතයෙන් වැළකුණෙහි ද? සව්සත්නට අභය දෙන ලද ද? නුඹේ දළ නැද්ද? මෘග බල නැද්ද? සූකර සමූහයා මැදට පැමිණ කුමක් සිතන්නේ ද?
2101. මගේ දළ නැත්තේ නො වෙයි. සිරුරේ ශක්තිය ඇත. සමගි සම්පන්නව එක් වූ නෑයන් දුටු හෙයින් තනි ව වනයෙහි කල්පනා කරමි.
2102. පෙ රැ මොහු බියපත් වැ වෙන් වෙන් වැ ලෙන් සොයා දිසාවෙන් දිසාවට යති. දැන් ඔහු එක්තැන් ව වෙසෙති. මා විසින් අද ඔවුන් මැඩැලන්නට හැකි නො වේ.
2103. නායකයකු ඇති ව එක්සත් වූ සමගි කතා ඇති ඒ සියල්ලෝ මට හිංසා කරන්නාහ. එහෙයින් අද මම ඔවුන් නො පතමි.
2104. හුදෙකලා ව ශක්‍රයා අසුරයන් දින යි. හුදෙකලාව උකුස්සා පක්‍ෂීන් නස යි. හුදෙකලා ව ව්‍යාඝ්‍රයා මෘග සමූහයා වෙත පැමිණ වැඩුණු මසැති හොඳ හොඳ ඌරා මර යි. බලය නම් එබඳු ය.
2105. සමගි වූ නෑයන් ඇති ව ව්‍යාඝ්‍රයන් බඳු වූවන් ශක්‍රයා ද වසඟ නො කරන්නේ ය. උකුස්සා ද වසඟ නො කරන්නේ ය. මෘගාධිපති ව්‍යාඝ්‍රයා ද වසඟයෙහි පවත්වා ගන්නට නො හැක්කේ ය.
2106. පිරිවරා ගත් සමූහය සමග හැසිරෙන කුම්භීලක පක්‍ෂීහු ප්‍රීත වෙමින් එක් වැ ගොදුරු සොයමින් අහසින් යති.
2107. අහසින් යන ඔවුන්ගෙන් (යම්) කුරුල්ලෙක් ඉවත්ව යේ ද උකුස්සා ඌ පැහැර ගනී. ව්‍යාඝ්‍රයන්ගේ ස්වභාවයත් මෙය යි.
2108. ආමිෂ ලෝලයකු වූ රෞද්‍ර ඇස් ඇති ජටිලයා විසින් උනන්දු කරන ලද දළ සහිත ව්‍යාඝ්‍රයා පෙර සේ සිතමින් දළ ඇති ඌරන් වෙත පැන්නේ ය.
2109. නෑයන් බොහෝ වීම යහපත් වේ. වනයෙහි රුක් බොහෝ වීම යහපත් වේ. සමගි වූ ඌරන් විසින් එක් වරකින් ම ව්‍යාඝ්‍රයා නසනු ලැබී ය.
2110. බ්‍රාහ්මණයා ද ව්‍යාඝ්‍රයා ද යන දෙදෙන නසා ඌරෝ සතුටු වැ ඉතා සතුටු වැ මහානාද පැවැත්වූහ.
2111. දිඹුල්ගස මුලැ ඌරෝ රැස් වැ තෙපි අපගේ අධිපති රජ වව යි තච්ජක ඌරා අභිෂේක කළහ.
9. තච්ඡසූකර ජාතක යි.
2112. නොයෙක් රටවලින් පැමිණි වෙළෙන්දෝ රැස් වැ එකකු ප්‍රධානයා ලෙස පත් කොට ධනය ගෙන වෙළඳාමට ගියහ.
2113. ඒ වෙළෙන්දෝ ආහාරයත් ජලයත් නැති කාන්තාරයකට අවුත් මනරම් සිහිල් සෙවණ සහිත මහනුගරුකක් දුටහ.
2114. අවිද්‍යාවෙන් වැසුණ (මනසැති) මෝඩ ඒ වෙළෙන්දෝ නුගරුක් සෙවණෙහි හිඳ මෙසේ සිතූහ.
2115. වෙළෙඳුනි, මේ ගස තෙත් සහිත සේ ය. ජලය ද වැගිරේ. එහෙයින් ගසේ පළමුවන අත්ත අපි කපමු යි.
2116. ඒ අත්ත කැපීමත් සමග පවිත්‍ර වූ බොර නො වූ ජලය වැගිරුණේ ය. ඒ වෙළෙන්දෝ කැමැති තාක් ජලය නහා බි සතුටු වූහ.
2117. මෝහයෙන් වැසුණ (මනසැති) මෝඩ ඒ වෙළෙන්දෝ දෙවන වර මෙසේ සිතූහ. අපි ගසේ දකුණු අත්ත කපමුයි.
2118. ඒ අත්ත කැපීමත් සමග මස් සහිත ඇල්හාලේ බත් ද දිය නුමුසු කිරිබත් වැනි කොමුපිඬු ද අවුළුපත් ද මුං ආදි සූප ද වැගිරුණේ ය.
2119. මෝහයෙන් වැසුණ මෝඩ ඒ වෙළෙන්දෝ කැමැති පමණ අනුභව කොට තෙවනු ව මෙසේ සිතූහ.
2120. වෙළෙඳුනි, අපි මේ ගසේ බටහිර දෙසට ගිය අත්ත ද කපමු යි. ඒ අත්ත කැපීමත් සමග සැරැසුණ ස්ත්‍රීහු වැගිරුණාහ.
2121. එක් එක් වෙළඳකුට විසිතුරු වත් පැළැඳි, මිණි කොඬොල් ආදි අබරණින් සැරැසුණ එක් එක් ස්ත්‍රියක් ද ගැල් නායකයාට පස්විසි ස්ත්‍රී කෙනෙක් ද ලැබිණි.
2122. ඒ රුක් සෙවණ වටා රැස් වූ ඒ වෙළෙන්දෝ ස්ත්‍රීන් සමග රිසි සේ සතුටු වූහ.
2123. මෝහයෙන් වැසුණ මෝඩ වෙළෙන්දෝ සතරවෙනු ව මෙසේ සිතූහ. මේ ගසේ උතුරු දෙසට ගිය අත්ත ද අපි කපමු යි.
2124. ඒ අත්ත කැපීමත් සමගම මුතු වෙරළුමිණි රන්, රිදී, ඇතුන් පිට අතුරන පලස් හා ලොම්මුවා පසතුරුණු ද වැගිරුණේ ය.
2125. තවද කසී සළු උද්දියාන නමැති කම්බිලි (පොරෝනා) ද වැගිරුණේය. ඒ වෙළෙන්දෝ කැමැති පමණ එහි බැඳ (තබා) සතුටු වූහ.
2126. මෝහයෙන් මුළා වැ නුවණ රහිත වූවෝ අපි මේ ගසේ මුල කපමු. වැඩියක් වස්තුව ලබන්නෙමු යි සිතූහ.
2127. වෙළෙදුනි, ඔබට යහපතක් වේවා යි ඇඳිලි බැඳැ යදිමින්, කවර හෙයින් නුගරුකට අපරාධ කරන්නාහු දැ යි (අසමින්) සාර්‍ත්‍ථවාහක තෙම (ඊට විරුද්ධ ව) නැගී සිටියේ ය.
2128. වෙළෙදුනි, ඔබට යහපතක් වේවා. මේ ගසේ පෙර දිග අත්ත ජලය ද දකුණු දිග අත්ත කෑම බීම ද පැසුළු දිග අත්ත ස්ත්‍රීන් ද උතුරු දිග අත්ත කැමති හැම දේ ද දුන්නා ය. මේ නුගරුකට කවර හෙයින් අපරාධ කරවු ද?
2129. යම් රුකක්හුගේ සෙවණෙහි හිඳුනේ ද හෝනේ ද (සත්පුරුෂයා) ඒ ගසේ අතු නො කඩන්නේ ය. මිත්‍රද්‍රෝහීකම ලාමක ය.
2130. බොහෝ වෙළෙන්දෝ ඔහුගේ කීම නො පිළිගෙන මුවහත් පොරෝවලින් ඒ ගස මුලින් ම කපන්නට පටන් ගත්හ.
2131. ඉක්බිති සටන් සඳහා සැරැසී ගත් නාගයෝ විසිපස් දෙනෙක් ද දුනු ඊ ගත්තෝ තුන්සිය දෙනෙක් ද යුද්ධසැට්ට ඇඳ ගත්තෝ සය දහසක් ද නික්මුණහ.
2132. මොවුන් නසවු, බඳිවු. මොවුන්ගේ ජීවිත නො හරිවු, ගැල් නායකයා හැර ඔවුන් හැම අළු කරවු.
2133. එ හෙයින් නුවණැති පුරුෂයා තමාගේ අභිවෘද්ධිය දක්නේ ලෝභයේ වසඟයට නො යන්නේ ය. ලෝභ සහිත සතුරු සිත නසන්නේ ය.
2134. තණ්හාව නිසා දුක් හටගන්නේය යි මේ දෝෂය දැනැ, පහ කල තණ්හාව ඇත්තේ. තණ්හාවෙන් කිසිවක් නො ගන්නෙක් ව සිහි ඇති භික්‍ෂු තෙම වසන්නේ ය.
10. මහාවාණිජ ජාතක යි.
2135. ලෝකයෙහි ඒකාන්තයෙන් ම ලොමුදහ ගන්වන්නා වූ පුදුම උපදවන්නා වූ දෙයක් උපන්නේ ය. (පහළවිය) යසස් ඇත්තා වූ වේදේහ රජුට දිව්‍ය රථයක් පහළ විය.
2136. දිව්‍ය රථාචාර්‍ය්‍ය වූ මහත් ඍද්ධි ඇත්තා වූ මාතලි දිව්‍ය පුත්‍රයා මියුලු නුවර අධිපති වූ සාධීන රජුට ආරාධනා කෙළේ ය.
2137. දිසාධිපති වූ ශ්‍රේෂ්ඨ රජතුමනි, එනු මැනැවි. මේ රියට නගින්නේ මැනැවි. ශක්‍රයා සහිත තව්තිසා දෙව් ලොවැ දෙවියෝ ඔබ දකින්නට කැමැත්තෝ ය. ඒ දෙවියෝ (ඔබ) සිහි කරමින් ම සුදම් දෙව් සබේ සිටිති.
2138. ඉක්බිති සාධීන රජ තෙමේ උතුම් රියට නැංගේ ය. දහසක් අසුන් යෙදූ රියට නැග දෙවියන් වෙත ගියේ ය. දෙවියෝ පැමිණි රජු දැක සතුටු වූහ.
2139. මහරජ ඔබේ යහපත් පැමිණීමකි. තවද අපේ සමීපයට පැමිණීමකි. ශ්‍රේෂ්ඨ රජතුමනි, දේවරාජයා සමීපයේ හුන මැනවි.
2140. මියුලු නගරයට අධිපති වේදේහ රජ (සමග) ශක්‍රයා ද සතුටු විය. ශක්‍රයා කාමසම්පත්තියෙන් ද ආසනයෙන් ද (රජු) පැවැරී ය.
2141. රජතුමනි, කාම සම්පත් සිය වසඟයෙහි පවත්වන දෙවියන් වසන තැනට පැමිණීම යහපත් වෙයි. කාමසම්පත් සියල්ල දියුණුව පවතින දෙවියන් අතර වාසය කරව. තව්තිසා දෙවියන්ට ඇති මිනිසුන්ට නො ලැබෙන කාමයන් අනුභව කරන්න.
2142. සක්දෙවිඳුනි, පෙරැ මම දෙව්ලොවට පැමිණ නෘත්‍ය ගීතයෙන් හා වාද්‍යයෙන් සිත රමණය කෙළෙමි. ඒ මම අද දෙව්ලොව නො ඇලෙමි. (මගේ) ආයුෂ ගෙවුණේ ද මරණය ළංවූයේ ද නැතහොත් මුළා වූයෙම් ද?
2143. උතුම් නරවිරුවාණෙනි, ඔබගේ ආයුෂ ගෙවුණේ නො වෙයි. ඔබේ මරණය දුර ය. ඔබ මුළා වූයෙහි ද නො වේ. යම් පුණ්‍ය කර්‍මයක් නිසා මෙහි සැප වින්දයුතු ද ඔබගේ ඒ පින් මඳ වූහ.
2144. දිසාධිපති රජතුමනි, දේවානුභාවයෙන් මෙහි වාසය කරව. තව්තිසා වැසි දෙවියන්ට අයිති වූ මිනිසුන්ට නො ලැබෙන කාමයන් අනුභව කරන්න.
2145. ඉල්ලා ගත් යානය යම්සේ ද ඉල්ලා ගත් ධනය යම්සේ ද, අනුන් දුන් පිනෙන් යමක් ලබා නම් එද මෙසේ දතයුතු ය.
2146. අනුන් දුන් නිසා යමක් ලැබේ ද එය මම නො කැමැත්තෙමි. තමා කළ පින් වේ ද එය මට උරුම ධනය යි.
2147. ඒ මම මිනිසුන් අතරට ගොස් දන් දීමෙන් ද කායාදි ද්වාරත්‍රයෙන් කරන පාපයෙන් වැළැකැ හික්මීමෙන් ද ඉන්‍ද්‍රිය දමනයෙන් ද යුක්ත වැ යමක් කොට සැපවත් වෙම් ද පසුව නො තැවෙම් ද එබඳු බොහෝ කුසල් කරන්නෙමී.
2148. මේ ඒ භූමිභාගයෝ වෙති. මනා බිසෝකොටු සහිත දිය සොරොව් ද වෙයි. මේ ඒ නිල්පැහැති දිය සහිත බිම් ය. මේ ගලායන නදී ද වෙත්.
2149. සක්වා ළිහිණින් පවත්වන මධුර නාද නිසා මනරම් වූ හෙල්මැල්ලෙන් හා පියුම් උපුල් වලින් ගැවැසි මේ පොකුණු වෙත්. මා හා හැසුරුණු යම් කෙනෙක් මෙ තැනට ප්‍රිය කළෝ ද ඔහු කවර දෙසකට ගියාහු ද?
2150. මේ උයනේ කෙත් ද බිම් කොටස් ද උයන් වතු ද වෙති. මේ වනයේ වාසස්ථාන ද වෙත්. ඒ පිරිවර ජනයා නො දක්නා මට සියලු දිසාවන් හිස් වූ සේ වැටහේ.
2151. සක්දෙව්රජ හමුවේ ද අනෙක් දෙවියන් හමුවේ ද සතර දිසාවන්හි ද බබළන විමානයෝ මා විසින් දක්නා ලදහ.
2152. සියලු කාමසම්පත්තියෙන් සමෘද්ධ වූ තව්තිසා දෙව් ලොව දිව්‍යවිමානයෙක මාගේ විසීම විය. මනුෂ්‍යයන්ට අයත් නො වූ කම්සැප අනුභව කරන ලදි.
2153. ඒ මම මෙ බඳු දෙව්සැප දැක පින් කරනු සඳහා මෙහි ආවෙමි මම කුශලධර්‍මයන්හි හැසිරෙමි. රාජ්‍යයෙන් ප්‍රයෝජන නැත්තෙක්මි.
2154. යම් මගෙකින් සම්මා සම්බුදුවරු ගමන් කෙරෙත් ද සර්‍වඥයන් වහන්සේ දෙසූ, බහා තැබූ දඬු හා සත් ඇතියන් යායුතු ඒ ආර්‍ය්‍ය අෂ්ටාංගික මාර්‍ගය මමත් පිළිපදින්නෙමි.
11. සාධීන ජාතක යි.
2155-2156. පින් කැමැති සුයිට්ඨිල රජ තෙම විධුර පඬිතුමාට මෙසේ කීය. විධුර පඬිතුමාණෙනි, යමෙක් මගේ බොජුන් බුදිත් ද, මෙවුන්දම් සෙවීමෙන් වැළැකුණේවේ ද, සිල්වත් බහුශ්‍රුත බ්‍රාහ්මණයන් සොයව. යම් තැනෙකැ (යම් පුද්ගලයකුට) දුන් දෙය මහත් පල දේ ද (එලෙස) මිතුර දක්‍ෂිණාව දෙමු.
2157. දේවයන් වහන්ස, යම් කෙනෙක් ඔබේ බොජුන් බුදිත් ද එසේ වූ සිල්වත් බහුශ්‍රුත මෙවුන්දම් සෙවුමෙන් වැළැකුණ බමුණෝ දුබල වෙත්.
2158. මහරජ, යම් බමුණුකුල දහයක් වේ ද ඔවුන්ගේ විභාගය මා විසින් සොයන ලදී. එය විස්තර වශයෙන් අසනු මැනැවි.
2159. ඇතැම් බමුණෝ අවුරන ලද මුදල් පිරැ වූ පසුම්බ් ගෙන බෙහෙත් ද්‍රව්‍ය ඔතා දෙති. නාවති, මතුරු ජප කිරීම ද කරති.
2160. මහරජ, වෙදුන් හා සමාන වුව ද ඔවුහු බමුණෝ යයි කියනු ලබත්. මහරජ, ඔවුහු වෙද බමුණෝ වෙති යි කියන ලද ය. එබඳු බමුණන් වෙත එළඹ ආරාධනා කරමු ද?
2161. ඔවුහු බමුණු බැවින් ඉවත් වූහ යි කෝරව්‍ය රජ තෙම කීය. ඔව්හු බමුණෝ යයි කියනු නො ලැබෙති. මිත්‍රය, සිල්වත් බහුශ්‍රුත වූ වෙනත් බමුණන් සොයව.
2162. යමෙක් මාගේ බොදුන් බුදිත් ද මෙවුන්දම් සෙවීමෙන් වැළැකුණු ද යම් තැනෙකැ (යම් පුද්ගලයෙකුට) දුන් දෙය මහත් පල වේ ද (එ ලෙස) මිතුර දක්‍ෂිණාව දෙමු.
2163. ඔවුහු රජු සහ ඇමැති ආදීන් ඉදිරියේ කුළුතාලම් වයති. පණිවිඩ ගෙන යත්. රථ ශිල්ප ආදියෙහි පුහුණු කරවත්.
2164. රජතුමනි, සේවකයන් සමාන ඔවුහු බමුණෝ යයි කියනු ලැබෙති. මහරජ, ඔවුහු සේවක බමුණෝ වෙති. එබඳු බමුණන් වෙත ආරාධනා පිණිස යමු ද?
2165. ඔවුහු බමුණු බැවින් ඉවත් වූහ යි කෝරව්‍ය රජ තෙම කීය. ඔවුහු බමුණෝ යයි කියනු නො ලැබෙති. විධුර පඬිතුමනි, සිල්වත් බහුශ්‍රුත වෙනත් බමුණන් සොයව.
2166. යමෙක් මාගේ බොජුන් බුදිත් ද මෙවුන්දම් සෙවීමෙන් වැළකුණු (එබඳු බමුණන් සොයව) යම් තැනෙකැ (යම් පුද්ගලයෙකුට) දුන් දෙය මහත් පල දේ ද (එ ලෙස) මිතුර දක්‍ෂිණාව දෙමු.
2167. මහරජ ඇතැම් බමුණෝ කෙණ්ඩියක් හා වක්දණ්ඩක් ගෙන ගම් නියම්ගම්හි ද රජුන් වෙත ද එළඹෙත්. (යැදි දෙය) නුදුන් කලැ, ගමෙහි වුව ද වෙනෙහි වුව ද නො නැගිටිමු යයි ඉඳ ගනිති.
2168. මහරජ, (තමාට) නිගා කර ගන්නා ඔවුහු ද බමුණෝ යයි කියනු ලැබෙති. මහරජ, ඔවුහු ද මා විසින් කියන ලද ය. එබඳු බමුණන් වෙත එළඹ ආරාධනා කරමු ද.
2169. ඔවුහු බමුණු බැවින් ඉවත් වූහ යි කෝරව්‍ය රජ තෙම කීය. ඔවුහු බමුණෝ යයි කියනු නො ලැබෙති. විධුර පඬිතුමනි, සිල්වත් බහුශ්‍රුත වෙනත් බමුණන් සොයව.
2170. යමෙක් මාගේ බොජුන් බුදිත් ද මෙවුන්දම් සෙවීමෙන් වැළැකුණු (එබඳු බමුණන් සොයව.) යම් තැනෙකැ (යම් පුද්ගලයකුට) දුන් දෙය මහත් පල දේ ද (ඵ ලෙස) මිතුර දක්‍ෂිණාව දෙමු.
2171. බෙහෙවින් වැඩි ගිය කිසිලි ලෝම සහ නිය ඇති මැලියම් සහිත දත් ඇති දූවිල්ලෙන් ගැවැසි හිස් ඇති දූලි සහිත ඒ බමුණෝ යදිමින් හැසිරෙති.
2172. මහරජ අපවිත්‍ර සිරුරු ඇති හෙයින් දාගිය කණු සමාන ඔවුහු බමුණෝ යයි කියනු ලැබෙති. මහරජ, ඔවුහු යාචක බ්‍රාහ්මණ යයි කියති. එ බඳු ඔවුන් වෙත ඵළඹ අරාධනා කරමු ද?
2173. ඔවුහු බමුණු බැවින් ඉවත් වූහ යි කෝරව්‍ය රජ කීය. ඔහු බමුණෝ යයි කියනු නො ලැබෙති. විධුර පඬිතුමනි, සිල්වත් බහුශ්‍රුත වෙනත් බමුණන් සොයව.
2174. යමෙක් මාගේ බොජුන් බුදිත් ද, මෙවුන්දම් සෙවීමෙන් වැළැකුණු (එබඳු බමුණන් සොයව.) යම් තැනෙක (යම් පුද්ගලයකුට) දුන් දෙය මහත් පල දේ ද (එ ලෙස) මිතුර දක්‍ෂිණාව දෙමු.
2175. (මහරජ) යමෙක් අරළු නෙල්ලි අඹ දඹ බුළු දෙල් දැහැටි බෙලි හා ඩෙබර ද,
2176. කිරිපලු ද උක් හා එම පැණි ද දුම්කෝව ද මී හා අඳුන් ද යන ලොකු කුඩා වෙළෙඳ බඩු විකුණත් ද.
2177. මහරජ, වෙළෙඳුන් සමාන ඔවුහු බමුණෝ යයි කියනු ලැබෙති. මහරජ, ඔවුහු වෙළඳ බමුණෝ යයි කියන ලදු. එබඳු ඔවුන් වෙත එළඹ ආරාධනා කරමු ද?
2178. ඔහු බමුණු බැවින් ඉවත් වූහ යි කෝරව්‍ය රජ කීය. ඔවුහු බමුණෝය යි කියනු නො ලැබෙති. විධුර පඬිතුමනි, සිල්වත් බහුශ්‍රුත වෙනත් බමුණන් සොයව.