Jātaka

Birth Stories

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-29 · 7679 segments

පෙන්වන කොටස් 2701-2800 න් 7679

1987. උකුස්සාණෙනි, ඔබගේ මේ කාර්‍ය්‍යය කරමි. ඔබගේ ඒ සතුරන් නසන්නට යමු. නුවණැත්තේ සතුරු බිය දැකැ මිතුරන්ගේ ආරක්‍ෂාව සඳහා කෙසේ නම් වෑයම් නො කෙරේ ද?
1988. යමෙක් සැපත සඳහා මිතුරකු හෝ හිතෛෂියකු හෝ ස්වාමියකු හෝ ඇති කරන්නේ ද හේ සන්නාහය පැළැඳ ගත්තෙක් ඊපහර වළකන්නා සේ සතුරු කරදර වළකා ගනියි. (රැකුණා වූ) අපි දරුවන් හා එක්ව ප්‍රීත වෙමු.
1989. ස්වකීය මිත්‍රයා වූ, බියෙන් පැන නොයන්නා වූ සිංහයාගේ වික්‍රමය නිසා, අපේ කුරුලු පැටව් අපේ සිත් තුටු කරමින් නාදයට අනුව නාද කරති.
1990. ප්‍රාඥයා හිතෛෂී මිත්‍රයකු ලබා ද හේ පුත්‍රයන් ද සිවුපාවන් ද ධනය ද ලැබැ පරිහරණය කරයි. මම ද මගේ පුත්‍රයෝ ද සැමියා ද යන අපි මිතුරන්ගේ අනුකම්පාව නිසා එක් වැ වසමු.
1991. රාජබලය ද සූරබලය ද ඇති මිතුරන්ගෙන් ප්‍රයෝජන ඇත. මිත්‍රධර්‍ම ඇත්තාට මෙබඳු මිතුරෝ වෙත්. මිතුරන් සහ යසස් ඇති උසස් ගතිපැවැතුම්වලින් යුතු හේ මෙලොව දී ද ප්‍රීත වේ.
1992. උකුස්සාණෙනි, දිළින්දා විසිනුදු මිතුරෝ කටයුත්තාහ. (හෙවත් මිතුරෝ සෙවිය යුතුවෙති.) මිතුරන්ගේ අනුකම්පාව නිසා සිය දරුවන් හා එක්වීමු. එය බලනු මැනැවි.
1993. උකුස්සාණෙනි, යම් පක්‍ෂියෙක් සූරයකු සමග ද බලවතකු සමග ද මිතුරුකම් කෙරේ ද, හේ මාත් ඔබත් සුවපත් වූ සේ සුවපත් වෙයි.
3. මහාඋක්කුස ජාතක යි.
1994. රළු අඳුන්දිවිසම් පොරොවාගත් මැලියම් සහිත දත් ඇති අපවිත්‍ර මුහුණත් පෙනුමත් ඇති යම් දුළුල්ලෝ මන්ත්‍ර පිරුවහත් ද, මිනිසුන් කටයුතු දෙයෙහි ව්‍යාවෘත වූ, ඔවුහු කිම අවාදුකින් මිදුණෝ ද?
1995. මහරජතුමනි, බහුශ්‍රුත වුවත් කුසල් දහම්හි නො හැසිරේ නම් පව්කම් කරන්නේ නම් දහසක් වේද දතුවත් අෂ්ට සමාපත්ති නො ලබා අපාදුකින් නො මිදෙන්නේ ය.
1996. දහසක් වේද හදාළේ නමුදු චරණ ධර්‍මයට නො පැමිණ ඒ වේද නිසා දුකින් නො මිදෙන්නේ යි. හදාළ වේද (නිවන් මග නොවන හෙයින්) නිෂ්ඵල යයි හඟිමි. සංයම සහිත චරණ ධර්‍ම ම සත්‍ය වෙයි.
1997. වේද හැදෑරීම නිෂ්ඵල යයි නො කියමි. සංයමය සහිත චරණධර්‍ම ම සත්‍ය වේ. වේදය හදාරා කීර්තියට පැමිණෙයි. චරණ ධර්‍මයෙන් දාන්ත වූයේ නිවනට පැමිණේ.
1998. මව ද පියා ද නෑයෝ ද පෝෂණය කටයුතු වෙත්. යමකු නිසා උපන්නේ ද හේ ද හේ මැ යැ. උද්දාලක නමැති මම ඔබගේ කුලවංශය ඇත්තෙම් වෙමි.
1999. පින්වත, බ්‍රාහ්මණ වන්නේ කෙසේ ද? කේවලී (සියල්ල සම්පූරණ වූවෙක්) වන්නේ කෙසේ ද? පරිනිර්‍වාණය කෙසේ වේ ද? කුමකින් ධම්මට්ඨ (ධර්‍මයේ පිහිටියේ) යි කියනු ලැබේ ද?
2000. බමුණ, නිතර ගිනි පුදා ද ස්නාන කෙරේ ද යාගස්තම්භය ඔසොවා ද මෙසේ කරන්නේ බ්‍රාහ්මණ වෙයි. ඛේමී (ක්‍ෂේම ඇති) වෙයි. එහෙයින් ඔහු ධර්‍මයෙහි සිටියහු කොට කීහු.
2001. ස්නානයෙන් පිරිසුදුබවෙක් නැත. ගිනි පිදීම් ආදියෙන් කේවලී නො වෙයි, බ්‍රාහ්මණ නො වෙයි, ඉවසීම නො වෙයි, සුරත බව ද නො වෙයි, පිරිනිවියේ ද නො වේ.
2002. හේ කෙසේ බ්‍රාහ්මණ වන්නේ ද? කෙසේ කේවලී (සියල්ලෙන් පිරිපුන්) වන්නේ ද? පරිනිර්‍වාණය වන්නේ කෙසේ ද? කුමකින් ධම්මට්ඨ (ධම්යෙහි පිහිටියේ) යි කියනු ලැබේ ද?
2003. යමෙක් කෙත් හා නෑයන් නැත්තෙක් වේ ද මමායනය හා ලාභයෙහි නිරපේක්‍ෂකයෙක් වේ ද, භවරාගය ක්‍ෂය කළ කෙනෙක් වේ ද මෙසේ කළා වූ බමුණු ආරක්‍ෂා සහිතයෙක් වේ. එහෙයින් ඔහු ධර්‍මයේ පිහිටියේ යයි කීහ.
2004. ක්‍ෂත්‍රිය, බ්‍රාහ්මණය, වෛශ්‍ය, ශුද්‍ර, චණ්ඩාල සහ පුක්කුස යන සියල්ලෝ සුරත වැ දමිත වැ පිරිනිවියාහු වෙත් නම්, මේ සියල්ලන්ගෙන් මෙ ශ්‍රේෂ්ඨ ය මෙ හීන යයි වෙනසෙක් වේ ද?
2005. ක්‍ෂත්‍රිය, බ්‍රාහ්මණ, වෛශ්‍ය, ශුද්‍ර, චණ්ඩාල සහ පුක්කුස යන සියල්ලෝ සුරත වැ දමිත වැ පිරිනිවියාහු වෙත් නම් මේ සියල්ලන්ගෙන් මෙ ශ්‍රේෂ්ඨ ය මේ හීන යයි වෙනසෙක් නැත.
2006. ක්‍ෂත්‍රිය, බ්‍රාහ්මණ, වෛශ්‍ය, ශුද්‍ර, චණ්ඩාල සහ පුක්කුස යන සියල්ලෝ සුරත වැ දමිත වැ සියල්ලෝ ම පිරිනිවියෝ ය.
2007. සැනැසුණ සියල්ලන්ගෙන් මෙ ශ්‍රේෂ්ඨය මෙ හීනය යි වෙනසෙක් නැත්තේ නම් බමුණන්ගේ කුලපරපුරෙන් පැවැත ආ බමුණු බව නැති කොට සැඩොලුන් සමාන ව හැසිරෙන්නේ ය.
2008. නොයෙක් පාට ඇති වස්ත්‍රයෙන් ගෙයක් වසන ලද්දේ වේ ද, වැසූ වස්ත්‍රයෙහි පැහැය සෙවනැල්ලට යම්සේ නො ඒ ද.
2009. මෙසේ මනුෂ්‍යයන් අතරේ මනුෂ්‍යයෝ යම් කලෙකැ පිරිසුදු වෙත් ද (එකලැ) සිල්වත්හු දහම් දැනැ ඔවුන්ගේ ජාතිය නො විචාරති.
4. උද්දාලක ජාතක යි.
2010. බමුණාණෙනි, යමෙක් තොපගේ නෙළුම් අල සොරකම් කෙළේ ද හෙතෙම අශ්වයකු ගවයකු සහ රන්රිදී ද මනවඩන බිරිඳක ද ලබාවා. පුත්‍රයන් සමගත් බිරියන් සමගත් එක්වේවා.
2011. බමුණාණෙනි, යමෙක් තොපගේ නෙළුම් අල සොරකම් කෙළේ ද හෙතෙම මල්දම් ද කසීසඳුන් ද දරාවා. ඔහුට දරුවෝ ද බොහෝ වෙත්වා. හෙතෙම කාමයන්හි තීව්‍ර වූ අපේක්‍ෂා කෙරේවා.
2012. බමුණාණෙනි, යමෙක් තොපගේ නෙළුම් අල සොරකම් කෙළේ ද හෙතෙම බොහෝ ධාන්‍ය ඇති, සී සාන, පිරිවර ඇති පුතුන් ද, හැම කම්සුවයක් ම ලබන ධනවත්, වයස නො පෙනෙන ගිහියෙක් ව වාසය කෙරේවා.
2013. බමුණාණෙනි, යමෙක් තොපගේ නෙළුම් අල සොරකම් කෙළේ ද හෙතෙම රජුන්ටත් රජ වූ පිරිවර ඇති බලාත්කාරකම් කරන ක්‍ෂත්‍රියයෙක් වේවා. සිවු මුහුදු හිම් කොට තිබෙන පෘථිවියට අධිපති ව වෙසේවා.
2014. බමුණාණෙනි, යමෙක් තොපගේ නෙළුම් අල සොරකම් කෙළේ ද හෙතෙම (ශුභ) මුහුර්‍තයන්හි හා නක්‍ෂත්‍රයෙහි පහ නො වූ ආශා ඇති බමුණෙක් වේවා. පිරිවර ඇති රජතෙම ඔහු පුදාවා.
2015. බමුණාණෙනි, යමෙක් තොපගේ නෙළුම් අල සොරකම් කෙළේ ද, හෙ මන්ත්‍ර හදාරන වේදය සම්පූර්‍ණයෙන් හදාළ තවුසෙකැ යි ලෝවැසියා සිතාවා. දනවුවැසියෝ එක් වැ ඔහු පුදත්වා.
2016. බමුණාණෙනි, යමෙක් තොපගේ නෙළුම් අල සොරකම් කෙළේ ද හෙතෙම කරුණු සතරෙකින් උත්සන්න වූ ශක්‍රයා දුන්නා වැනි සමෘද්ධ වූ ගම්වරය අනුභව කෙරේවා. පහ නො කළ ආශා ඇත්තෙක් ව මරණයට පැමිණේවා.
2017. බමුණාණෙනි, යමෙක් තොපගේ නෙළුම් අල සොරකම් කෙළේ ද හෙතෙම මිතුරන් මැද නැටුම් ගැයුම් වලින් ප්‍රීතවන ගම්දෙටුවෙක් වේවා. රජුගෙන් විපත් කිසිත් නො ලබාවා.
2018. බමුණාණෙනි, යම් ස්ත්‍රියක් තොපගේ නෙලුම් අල සොරකම් කළා ද ඇය ප්‍රධාන රජෙක් පොළොව දිනා ස්ත්‍රීන් දහසකට ප්‍රධාන තනතුරෙහි තබාවා. ඕ ස්ත්‍රීන්ගේ උතුම් තැනැත්තියක් වේවා.
2019. බමුණාණෙනි, යම් ස්ත්‍රියක් තොපගේ නෙලුම් අල සොරකම් කොට කෑවා නම් ඕ තොමෝ රැස් වූ අධිපතීන් (ස්වාමිවරුන්) මැද හිඳ පැකිලීම් රහිතව රසය බුදීවා. ලාභය සඳහා කුහකකම් කෙරේවා.
2020. බමුණාණෙනි, යමෙක් තොපගේ නෙලුම් අල සොරකම් කෙළේ ද හෙතෙම කජංගල නගරයේ මහ වෙහෙරෙක නවම් කරන තෙර කෙනෙක් වේවා. දවසකින් එක් කවුළුවක් කෙරේවා.
2021. බමුණාණෙනි, යමෙක් තොපගේ නෙලුම් අල සොරකම් කෙළේ ද හෙ ස තැනෙකැ සිය ගණන් බැමි වලින් බැඳේවා. රම්‍ය වූ වනයෙන් රාජධානියට ගෙන යේවා. හෙතෙම කටුසැමිටියෙන් හා කෙවිටින් පෙළනු ලබාවා.
2022. බමුණාණෙනි, යමෙක් තොපගේ නෙළුම් අල සොරකම් කෙළේ ද හෙතෙම වරාමල් මාලාවක් ගෙල පැළැඳ ඊයම් කන් පළදනා පැළඳැ යටියෙන් පහර දෙමින් සපුන් ඉදිරියට පමුණුවාවා. මනා කොට බඳින ලද්දේ මාර්‍ගයේ හසුරුවාවා.
2023. යමෙක් නැති නො වූ දෙය නැති වී යයි කී ද, යමෙක් තොපගෙන් කෙනකු සැක කෙළේ ද හේ පංචකාමය ලබාවා. එය අනුභව කෙරේවා. ගිහිගෙහි දී මරණයට පැමිණේවා.
2024. ලෝකයෙහි සත්‍වයන් යමක් සොයමින් හැසිරෙද්ද මේ සම්පත බොහෝ දෙනාට ඉෂ්ට ද කාන්ත ද ප්‍රිය ද කැමති ද වෙයිද, කවර හෙයින් ඉසිවරයෝ (ඒ) කම්සුව නො පසසත් ද?
2025. ශක්‍රය, කාම සම්පත් නිසා සත්ත්‍වයෝ නසනු ලබත්. බඳිනු ලබත්. කාමයන් නිසා දුක හා බිය හට ගනී. කාම සම්පත නිසා පමාවූවෝ මෝහය නිසා පව් කරති.
2026. ඒ පාපස්වභාවය ඇත්තෝ පව් කොට මරණයෙන් පසු නිරා වදිති. මෙසේ කම්සැපයේ දොස් දැකැ ඉසිවරයෝ කාමයන් නො පසසති.
2027. බඹසැරියාණෙනි, ඉසිවරයන් විමසන්නා වූ මම ඉවුරෙහි වූ නෙළුම් අල ගොඩ සැඟවීමි. ඉසිවරු පවිත්‍ර වැ පව් රහිත වැ වෙසෙත්. මෙය තොපගේ නෙළුම් අල වේ.
2028. සහස්‍රනේත්‍රයාණෙනි, අපි තොපගේ නළුවෝ නො වෙමු, ක්‍රීඩකයෝ නො වෙමු, නෑයෝ ද නො වෙමු, මිතුරෝ ද නො වෙමු, දෙව් රජුනි, තෙපි තවුසන් සමග කුමක් නිසා ක්‍රීඩා කරවු ද?
2029. මහාප්‍රාඥය, තෙපි මාගේ ගුරුතුමා වවු. මාගේ පියා ද වවු. මා කළ වරදට ඔබ වහන්සේගේ පා සෙවණ පිහිට වේවා. මා කළ වරදට කමා කරන්නේ මැනැවි. නුවණැත්තෝ ක්‍රෝධය බලය කොට ඇත්තෝ නො වෙති.
2030. තවුසන්ගේ මේ වනයෙහි එකරැයක් විසීම නිසා භූතාධිපති ශක්‍රයා දුටුමු. එහෙයින් යහපත් විසීමකි. ඔබගේ ඇදුරු බමුණා නෙළුම් අල පසුව ලදුයෙන් පින්වත් ඔබ හැම සතුටු සිත් ඇත්තෝ වෙත්වා.
2031. මම ද සැරියුත් මුගලන් කසුප් අනුරුදු පුණු සහ අනඳ යන මොහු ද එකලැ සත් සොහොයුරෝ වූම්හ.
2032. එකලැ නැගැණියෝ උපුල්වන් වූහ. දාසිය බුජ්ජුත්තරා වූවා ය. එකලැ දාසයා චිත්ත ගහපතියා විය. එකලැ යක්‍ෂ ව සිටියේ සාතාගිර ය.
2033. එකලැ ඇත් තෙම පාරිලෙය ඇතා ය. වඳුරා නම් මී දුන් වඳුරා ය. එකලැ ශක්‍රයා කාළුදායි තෙරණුවෝ ය. ජාතකය මෙලෙස දරා ගනිවු.
5. භිස ජාතක යි.
2034. ඍෂිතුමනි, සියලු දෙනාට පළමු වැ ගෙනෙන ලද මම සුරුචි රජුගේ බිරිඳ වන අගමෙහෙසිය වෙමි. යම් කලෙක මා සුරුචි රජ ගෙනායේ ද එ තැන් සිට දසදහසක් අවුරුදු තනි ව මෙහි විසීමි.
2035. ඍෂිතුමනි, ඒ මම විදේහ ඊට මියුලු නුවර සුරුචි රජතුමා කයින්, වචනයෙන් හෝ සිතින් ඉදිරියේ හෝ රහසිගත ව ඉක්මවා සිතූබව නො දනිමි.
2036. ඍෂිතුමනි, මේ සත්‍ය වචනයේ බලයෙන් මට පුතෙක් උපදීවා. බොරු කියන්නී නම් මාගේ හිස සතට පැළේවා.
2037. ඍෂිතුමනි, මන වඩන මාගේ සැමියාගේ මව්පියන් මා හික්මවමින් යම්තාක් කල් ජීවත් ව සිටියාහු ද, (ඒ තාක්)
2038. ඒ මම අහිංසාවෙහි ඇලුණී කුශල ධර්‍මයන්හි හැසිරෙන්නී දිවා රැයේ ලැසි නො වී සකසා ඔවුන්ට උවටැන් කෙළෙමි.
2039. ඍෂිතුමනි, මේ සත්‍ය වචනයේ බලයෙන් මට පුතෙක් උපදීවා. බොරු කියන්නී නම් මගේ හිස සතට පැළේවා.
2040. ඍෂිතුමනි, සමාන බිරියෝ සොළොස් දහසක් වෙත්. කිසිකලෙක ඔවුන් කෙරේ ඊර්‍ෂ්‍යාවක් හෝ ක්‍රෝධයක් මට නො වීය.
2041. ඔවුන්ට හිත සිතින් සතුටු වෙමි. මට කිසිවකුත් අප්‍රිය නො වීය. හැම ද සියලු සපත්තීන්හට මට මෙන් අනුකම්පා කරමි.
2042. ඍෂිතුමනි, මේ සත්‍ය වචනයේ බලයෙන් මට පුතෙක් උපදීවා. බොරු කියන්නී නම් මාගේ හිස සතට පැළේවා.
2043. දාසයන් කම්කරුවන් පණිවිඩ කරුවන් සහ තමා නිසා ජීවත්වන සෙස්සන් ද හැම කල්හි සතුටු ඉඳුරන් (ප්‍රිය බැල් ම හා කතා) ඇති වැ (ඔවුන්ගේ) සත්‍යභාවය දැනැ පෝෂණය කරමි.
2044. ඍෂිතුමනි, මේ සත්‍ය වචනයේ බලයෙන් මට පුත්‍රයෙක් උපදීවා. බොරු කියන්නී නම් මාගේ හිස සතට පැළේවා.
2045. ශ්‍රමණයන් ද බමුණන් ද සෙසු යාචකයන් ද පිරිසුදු සිතැති ව හැම කල්හි ආහාර පානයෙන් සංග්‍රහ කරමි.
2046. ඍෂිතුමනි, මේ සත්‍ය වචනයේ බලයෙන් මට පුතෙක් උපදීවා. බොරු කියන්නී නම් මගේ හිස සතට පැළේවා.
2047. දිනපතා පන්සිල්හි පිහිටි මම, තුදුස්වක, පසළොස්වක, අටවක සහ ප්‍රාතිහාර්‍ය්‍ය පක්‍ෂය යන දවස්හි අංග අටකින් යුතු පෙහෙවස් සමාදන් වෙමි.
2048. ඍෂිතුමනි, මේ සත්‍ය වචනයේ බලයෙන් මට පුතෙක් උපදීවා. බොරු කියන්නී නම් මගේ හිස සතට පැළේවා.
2049. යසස් ඇති රාජපුත්‍රිය, (රාජදේවිය) ඔබ යම් ගුණ රැසක් ප්‍රකාශ කළෝ ද ඒ සියලු ගුණයෝ ඔබ කෙරේ විද්‍යාමාන වෙති.
2050. ක්‍ෂත්‍රිය වූ කුලීන වූ අතිජාත වූ පිරිවර සහිත වූ විදේහ රටවාසීන්ට ධර්‍මරාජ වූ (දැහැමිව රාජ්‍යය කරන) පුත්‍රයෙක් ඔබට උපදින්නේ ය.
2051. තවුස් වෙස් ගත් රජස්දැලි සහිත වූ සිරුර ඇති ව හිස් වූ අහසේ සිටැ යමෙක් මගේ සිත් ගන්නා මනහර බස් බෙණේ ද.
2052. ඔබ දෙව්ලොවින් පැමිණි දෙවියෙක් ද? මහත් ඍද්ධි ඇති ඍෂිවරයෙක් ද, මෙහි පැමිණි ඔබ කවර කෙනෙක් දැ යි තමා මට කියව.
2053. සුධර්‍ම දිව්‍ය සභාවට රැස් වූ දේව සමූහයා යමකු වඳිත් ද දහසක් ඇස් ඇති ශක්‍ර නම් වූ ඒ මම තොප වෙත ආවෙමි.
2054. මේ ලෝකයෙහි දැහැමි පැවතුම් ඇති ව නුවණින් හා සීලයෙන් යුතුව නැදිමයිලන් දෙවියන් ලෙස සිතා බුහුමන් දක්වන පතිව්‍රතා ගුණයෙන් යුක්ත ඒ ස්ත්‍රීහු වෙත් ද.
2055. එ බඳු ගුණ ඇති නැණවත් පවිත්‍ර ක්‍රියා ඇති මනුෂ්‍ය ස්ත්‍රිය දැකීමට අමනුෂ්‍ය වූ දෙවියෝ පැමිණෙත්.
2056. සොඳුර ඔබ ද පෙරැ පුරුදු කළ සුචරිත ධර්‍ම නිසා මෙ ලොවැ රජ කුලයේ ඉපිදැ සියලු සම්පතින් දියුණු වූවාහු ය.
2057. රාජපුත්‍රිය, ඔබ දෙව්ලොවෙහි ඉපදීම ද මෙලොවැ මනුෂ්‍ය වැ කීර්තිධර වීම ද යන මෙය දෙ ලොවැ ජයග්‍රහණය වේ.
2058. නැණවතිය, ඔබ සැපවත් ව තම ගුණදම් බොහෝ කල් රකුව. ඒ මම දෙව්ලොව යමි. ඔබේ දැක්ම මට ප්‍රිය ය.
6. සුරුචි ජාතක යි.
2059. පරෙවිය, දැන් ඔබ ආහාරයට ආසා නැත්තෝ ය. ඔබට ආහාරයෙන් ප්‍රයෝජනයක් නැත්තේ ද? පින්වත් පරෙවියා සා පිපාසා ඉවසමින් පෙහෙවස් රක්නේ කිම?
2060. තවුසාණෙනි, මම පෙරැ පරෙවි දෙනක හා බැඳී ගියෙමි. මේ පෙදෙසේ අපි දෙදෙනා ප්‍රේමයෙන් වුසූමු. එකල කුරුල්ලෙක් (උකුස්සෙක්) පරෙවි දෙන අල්ලා ගති. නො කැමැත්තෙන් මම ඇගෙන් වෙන් වීමි.
2061. ඇගේ නැතිවීම නිසා උපන් විරහ දුකින් සිත් වේදනා විඳිමි. එහෙයින් මම පෙහෙවස් රකිමි. රාගය මට නැවත නො පැමිණේවා.
2062. ඍජුව ගමන් නො කරන උරගයකු වූ දෙ දිව් ඇති සර්‍පයා, ඔබ දළ අවි කොට ඇති දරුණු විෂ ඇත්තෙහි ය. පින්වත් සර්‍පයා සා පවස් ඉවසමින් පෙහෙවස් රක්නේ කවර හෙයින් ද?
2063. චලනය වන මොල්ලියක් ඇති වර්‍ණයෙන් හා බලයෙන් යුක්ත වූ වෘෂභයෙක් ග්‍රාමභෝජකයාට විය. ඌ මා මැඩ පී හෙයින් කිපුණු මම ඌ ඩැසීමි. දුකට පැමිණි ගවයා මරණයට පත් විය.
2064. ඉක්බිති ගම්වැසියෝ නික්ම අවුත් භඬා වැලැපැ ගියාහු ය. එහෙයින් මම පෙහෙවස් රකිමි. මට නැවත ක්‍රෝධය නො පැමිණේවා.
2065. සොහොනෙහි මළවුන්ගේ මස් බොහෝ ඇත. මේ ආහාරය තොපගේ සිත් ගන්නේ ය. පින්වත් ගෘගාලය, සා පවස් ඉවසමින් පෙහෙවස් රක්නේ කිම?
2066. ඇත්කුණට තදින් ඇලුණේ ඇත් මසට ඉතා ගිජු වැ මහත් ඇත්කුසට වැදුණෙමි. උණුසුම් වාතයත් දැඩි රශ්මියත් ඇතාගේ ඒ මල මඟ වියළු.
2067. ස්වාමීනි, මම කෘශ වීමී. පඬු පැහැ වීමී. නික්මෙන්නට එහි මට මගෙක් නො වී ය. මහ වැස්සක් හදිසියේ වැස්සේ ය. එය උගේ මලමඟ තෙමී ය.
2068. ස්වාමීනි, ඉක්බිති මම රාහු මුවෙන් මුත් සඳ සේ එයින් පිටවීමි. එ හෙයින් මම පෙහෙවස් රකිමි. ලෝභය නැවැත මට නො පැමිණේවා.
2069. පෙරැ තෙපි හුඹස් වේයන් බුදිමින් හැසිරුණවු ය. පින්වත් වලසාණෙනි, දැන් සා පවස් ඉවසමින් පෙහෙවස් රක්නේ කිම?
2070. සිය නිවෙස වූ වන ලැහැබට නිගා කරමින් ආශා අධික හෙයින් මලය පෙදෙසට ගියෙමි. ගම්වැසියෝ එයින් නික්මැ අවුත් දුනු දඬුවලින් හා මුගුරුවලින් මට තැළුහ.
2071. බිඳුණු හිසත් ලේ තැවැරුණ සිරුරත් ඇති මම සිය නිවෙසට ආපසු ආවෙමි. එහෙයින් මම පෙහෙවස් රකිමි. අධික ආශාව මට නැවැත නො පැමිණේවා.
2072. ස්වාමීනි, ඔබ වහන්සේ අපෙන් යමක් විතාළෝ ද අපි හැම දන්නා පරිද්දෙන් හෙළි කෙළෙමු. ස්වාමීනි, අපි දු ඔබ වහන්සේ විතාරමු. පින්වත් ඔබ වහන්සේ පෙහෙවස් රක්නේ කිම?
2073. කෙලෙස් නො වැකුණ පසේ බුදුන් වහන්සේ නමක් මගේ අසපුවෙහි මොහොතක් වැඩහුන් සේක. උන් වහන්සේ මට යායුතු තැන ද පැමිණි තැන ද නම් ගොත් ද චරණ දහම් ද යන සියල්ල දෙසූ සේක.
2074. මෙසේ වුවත් මම උන්වහන්සේගේ පා නො වැන්දෙමි. උඩඟු සිතින් උන්වහන්සේ නො විතාළෙමි. එහෙයින් මම පෙහෙවස් රකිමි. මානය මට යළිත් නො පැමිණේවා.
7. පංචුපෝසථ ජාතක යි.
2075. මිතුර, මා වස්තුව ලබාගනු සඳහා අල්ලා ගත්තේ නම්, මා නො මරා ජීවග්‍රාහයෙන් රජු සමීපයට ගෙන යව. එ කලැ බොහෝ වස්තුව ලබන්නෙහිය යි හඟිමි.
2076. මොනර රජුනි, මේ ඊය ඔබ නසන්නට දුන්නෙහි තැබුයෙම් නො වෙමි. ඔබ අසු වැ සිටින මලපුඬුව සිඳින්නට තැබුවේ වෙමි. මොනර රජ සුවසේ යේවා.
2077. සත් වසක් මුළුල්ලේ දිවාරෑහි සා පවස් ඉවසමින් යම් හේතුවක් නිසා මා ලුහුබැන්දෙහි. පුඩුවේ බැඳුණ මා ඉන් මුදන් නට කුමට කැමැති වෙහි ද?
2078. තෙපි ප්‍රාණඝාතයෙන් වැළකුණවු ද? සව්සත්නට අභය දෙන ලද්දවු ද? පුඩුවට අසු වී සිටින මා බැම්මෙන් මුදන්නට කැමැති වන්නවු ද?
2079. මොනර රජුනි, යමෙක් ප්‍රාණඝාතයෙන් වැළැකුණේ ද, සියලු සතුන්හට අභය දානය දේ ද, හේ මෙ ලොවින් ච්‍යුත වූ පසු කෙ බඳු සැපතක් ලබා ද? මේ කරුණ විචාරමි.
2080. යමෙක් ප්‍රාණඝාතයෙන් වැළකුණේ ද සව්සත්නට අභය දානය කෙරේ ද හෙතෙම මේ ජීවිතයේදී ම පැසසුම් ලබයි. මරණින් මත්තේ දෙව්ලොවට යයි.
2081. ඇතැම් කෙනෙක් දෙවියෝ නැතැ යි කියති. ප්‍රාණය මෙ ලොව ම නැසේය යි ද පින් පව්හි විපාක නැතැ යි ද දානය මෝඩයන් පනවා ගත්තකැ යි ද කියති. රහතුන්ගේ ඒ කීම අදහන මම පක්‍ෂීන් මරමි.