Jātaka

Birth Stories

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-29 · 7679 segments

පෙන්වන කොටස් 2301-2400 න් 7679

1624. ඒ මම සුදුස්සන්ට යසස ද තනතුරු ද දෙමි. නෑයන් පෝෂණය කරන්නෙමි. (වස්තු) සම්පත්තිය ද පාලනය කරන්නෙමි. මෙය නුවණැත්තහුගේ කටයුතු වේ.
1625. රන් මිහිඟු බෙරයක් වැනි ගෙළ ඇති මහබාහු ඇති රාම රජ හවුරුදු සොළොස් දහසක් රාජ්‍යය කැරැවී ය.
7. දසරථ ජාතක යි.
1626. මහරජ, පියරජ තෙම කුමාරවරුන් පුදන්නේ ඔබ කුඩා දනව්වකින් හෝ පිදියයුතු යයි නො සිතී ය. එසේ කළේ ඔබට රාජ්‍යය ලැබෙන බව දැන ගෙන ද?
1627. මහරජ, සිය අභිවෘද්ධිය දක්නා වූ නැසියෝ ඔබට කැමැති වූහ. එය වූයේ අපේ පියරජාණන් සිටිය දී ද නැතහොත් දෙව්ලොව ගිය පසු ද?
1628. සංවර රජතුමනි, කෙබඳු සීලයක් නිසා (තමාට) සමාන එකුන්සියයක් සොහොයුරු කුමාරවරුන් මැඩපවත්වා ගෙන සිටිනේ ද? ඤාතිසමූහයා එකතු වී ඔබ අභිභවනය නො කරන්නේ කවර හෙයින් ද?
1629. රාජපුත්‍රය, මම ඊර්‍ෂ්‍යයා නො කරමි. මහර්ෂී ගුණයෙන් හා, අටලෝදහම් නිසා කම්පා නො වන (තාදී) ගුණයෙන් හෙබි ශ්‍රමණයන්ගේ පා වඳිමි. සකස් කොට උන් වහන්සේ වඳිමි.
1630. ගුණදහම් ඇති කීකරුවෙකැ යි දැනගෙන, අනුසාසනා අසන මට ඍෂිගුණයන්හි ඇලුණු ශ්‍රමණයෝ අනුශාසනා කරති.
1631. මම මහර්ෂී ගුණ ඇති ශ්‍රමණයන් වහන්සේගේ අවවාද ඉක්මවා නො යමි. මගේ සිත දහම්හි ඇලුණේ ය.
1632. ඇතරුවන්, හමුදා නියුක්තයන්, රථිකයන්, පාබළ හමුදා නියුක්තයන් සඳහා ප්‍රතිපාදිත බත් වැටුප් නො නවත්වා දෙමි.
1633. මන්ත්‍ර ශාස්ත්‍රයේ පාරප්‍රාප්ත මහඇමැතියන් ද අනෙක් පරිවාර ඇමැතියන් ද මට ඇත. බරණැස් නගරයේ මස් ආදි අවුලු ද සුරා ආදි පානයන් ද බහුල වැ ඇතැ යි කියති.
1634. ආඪ්‍ය වූ රාෂ්ට්‍රයන්හි සිට මෙහි පැමිණි වෙළෙඳහු වෙත් ද ඔවුන්ගේ ආරක්‍ෂාව සලසන ලදී. උපෝසථය, (මෙය) මෙසේ දැන ගන්න.
1635. සංවර රජතුමනි, නෑසියන්ට ද ධර්‍මානුකූල ව පාලන කටයුතු කරන්නේ මනා ය මෙ තැන් සිට ද ඔබ ම රාජ්‍යය කරනු මැනැවි. නුවණැති පණ්ඩිත වූ ඔබ ඤාති වර්‍ගයාට ද හිතෛෂී ය.
1636. නෑයන් විසින් පිරිවරා ගත්තා වූ, රැස් කොට තැබූ බොහෝ රුවන් ඇත්තා වූ ඔබ මැඩලන්නට සතුරෝ සමත් නො වෙති. ශක්‍රයා මැඩ ලන්නට වේපචිත්ති අසුරයා සමත් නො වූවා මෙනි.
8. සංවර ජාතක යි.
1637.දැළිපිහියක මුවාත වැනි නාසය ඇති මනුෂ්‍යයන් වැනි මත්ස්‍යයෝ මේ සාගරයේ මතු වෙති, ගිලෙති. මේ කිනම් සයුරෙක් දැ යි සුප්පාරක පඬිතුමන් විචාරම්හ.
1638. භරුකච්ඡ පටුන්ගමින් නික්මගිය ධනය සොයන වෙළෙඳුන්ගේ නැවු නැසුණු මේ සයුර බුරමාලී නමැ යි කියනු ලැබේ.
1639. යම්සේ, ගින්න මෙන් සූර්‍ය්‍යයා උෂ්ණවත් වූ සයුර දකින්නට ලැබේ. මේ කවර සයුරෙක් දැ යි සුප්පාරක පඬිතුමන් විචාරම්හ.
1640. භරුකච්ඡ පටුන්ග්මින් නික්මැගිය ධනය සොයන වෙළෙඳුන්ගේ නැවු නැසුණු මේ සයුර අග්ගිමාලී යයි කියනු ලැබේ.
1641. මේ සයුර දී මෙන් ද කිරි මෙන් ද පෙනේ. මේ කවර සයුරෙක් දැ යි සුප්පාරක පඬිතුමන් විචාරම්හ.
1642. භරුකච්ඡ පටුන්ගමින් නික්මගිය ධනය සොයන වෙළෙඳුන්ගේ නැවු නැසුණු මේ සයුර දධිමාලී යයි කියනු ලැබේ.
1643. මේ සයුර කුසතණ මෙන් ද ධාන්‍ය මෙන් ද පෙනේ. මේ සයුර කවරේ දැ යි සුප්පාරක පඬිතුමන් විචාරම්හ.
1644. භරුකච්ඡ පටුන්ගමීන් නික්මැගිය ධනය සොයන වෙළෙඳුන්ගේ නැවු නැසුණු මේ සයුර කුසමාලී යයී කියනු ලැබේ.
1645. බටගස් මෙන් ද උණගස් මෙන් ද මේ සයුර පෙනේ. මේ කවර සයුරෙක් දැ යි සුප්පාරක පඬිතුමන් විචාරම්හ.
1646. භරුකච්ඡ පටුන්ගමින් නික්මැගිය ධනය සොයන වෙළෙඳුන්ගේ නැවු නැසුණු මේ සයුර නළමාලී යයි කියනු ලැබේ.
1647. මහත් බිය ඇති බිය උපදවන අමනුෂ්‍යයන්ගේ හඬ ඇසෙයි. හෙබක් මෙන් ද ප්‍රපාතයක් මෙන් ද සයුර පෙනේ. මේ කවර සයුරෙක් දැ යි සුප්පාරක පඬිතුමන් විචාරම්හ.
1648. භරුකච්ඡ පටුන්ගමින් නික්මැගිය ධනය සොයන වෙළෙඳුන්ගේ නැවු නැසුණු මේ සයුර වළවාමුඛී යයි කියනු ලැබේ.
1649. යම් කලෙක සිට තමා සිහි කරම් ද යම් කලෙක සිට නුවණැති බවට පත්වූයෙම් ද එ තැන්හි පටන් දැනැ දැනැ එක් සතකු දු පෙළූ බවක් නො දනිමි. මේ සත්‍ය වචන බලයෙන් නැව සුවසේ ආපසු හැරේවා!
9. සුප්පාරක ජාතක යි.
එකොළොස් වැනි නිපාතය නිමි.
එහි උද්දානය:
මාතුපෝසක ජාතක යැ ජුණ්හජාතක යැ ධම්මජාතක යැ උදය ජාතක යැ පානීයජාතක යැ යුද්ධඤ්ජයජාතක යැ දසරථජාතක යැ සුප්පාරකජාතක යි ජාතක නවයෙකි.
12. ද්වාදසක නිපාතය
1650. (බඳනා ලද සොරු කෙරෙහි පවා ඇලෙන ස්වභාවය ඇති හෙයින්) ක්‍ෂුද්‍ර වු, වහා පෙරළෙන සිත් ඇත්තා වූ, අකෘතඥ වූ, ද්‍රෝහී වූ ස්ත්‍රීන්ගේ (සිල්වත්බව) භූතාවේශයෙන් තොර කවර නම් පුරුෂයෙක් අදහන්නට සුදුස්සේ ද?
1651. ඔවුහු තමහට කළ උපකාරය හෝ තමා විසින් කළ යුතු කාර්‍ය්‍යය හෝ නො දනිත්. මා පිය සොහොවුරන් (සියලු නෑයන්) හෝ නො දනිති. නිර්ලජ්ජි වූ, ඉක්ම වූ සච්චරිත්‍ර ධර්‍ම ඇති, ඔවුහු ස්වකීය චිත්තයාගේ ම වසඟයට යෙත්.
1652. ඔවුහු බොහෝ කලක් එක්ව වාසය කළා වූ, ප්‍රිය වූ, මනාප වූ අනුකම්පක වූ, ප්‍රාණ සම වූ තැනැත්තහු පවා විපත්තීන්හි ද සෙසු කෘත්‍යයන්හි ද හැරදමත්. එහෙයින් මම ස්ත්‍රීන් විශ්වාස නො කරමි.
1653. ස්ත්‍රීන්ගේ සිත වානරයකුගේ (සිත) වැන්න. උස් පහත් තැන්වලට වැටෙන රුක්සෙවණක් වැන්න. ස්ත්‍රීන්ගේ සිත (හෘදය) එක් තැනෙකැ නො පිහිටියේ යැ. රිය සකෙහි නිම්වළල්ල මෙන් පෙරළෙයි.
1654. (පුරුෂයන්) විමසා බලන්නා වූ ඔවුහු යම් විටෙක ගතයුතු ස්වභාවය ඇති පුරුෂයකු දකිත් ද, (එකල්හි) කාම්බෝජ දේශවාසීන් දියෙහි හටගත් සෙවෙලින් අශ්වයන් (පොළඹවනු) මෙන් මිහිරි වදනින් ඔහු වසඟ කෙරෙත්.
1655. (පුරුෂයන්) විමසා බලන්නා වූ ඔවුහු යම් විටෙක ගතයුතු ස්වභාවය නැති පුරුෂයකු දකිත් ද (එකල්හි) නදිය තරණය කොට පරතෙරට ගියහු පසුර (මෙහි - තරණය සඳහා ගත් යම් කිසිවක්) මෙන් හාත්පසින් ඔවුහු හැරදමත්.
1656. (ස්ත්‍රීහු පුරුෂයන්ගේ සිත් බඳනා හෙයින්) ලහටු බඳු උපමා ඇතියහ. සියල්ල භක්‍ෂණය කරන ගින්නක් වැන්න. වහා ගලන දියපහර ඇති කඳුරැලි මෙන් ශීඝ්‍රමායා ඇතියහ. මෙතෙර හා එතෙර සෙවුනා නැවක් මෙන් ඔවුහු ප්‍රිය වූවහු ද අප්‍රිය වූවාහු ද සේවනය කෙරෙත්.
1657. ඔවුහු විවෘත අවන්හලක් මෙන් එකකුගේ හෝ දෙදෙනකුගේ නො වෙත්, යමෙක් ‘ඔවුහු මගේ යැ’යි සිතා ද හේ දැලින් සුළඟ බඳනේ ය.
1658. නදිය, මාර්‍ගය, පානාගාරය, සභාව හා පැන්හල යම් සේ ද, ලෝකයෙහි ස්ත්‍රීහු නම් එබඳු වෙති. ඔවුනට වෙලාවක් හෝ සීමාවක් විද්‍යමාන නො වේ.
1659. මොවුහු ගින්න හා සමානයහ. කෘෂ්ණ සර්‍පයකුගේ හිස බඳු උපමා ඇතියහ. බැහැර ඇති තෘණ සොයන ගවයන් මෙන් වඩ වඩා උසස් පුරුෂයන් (සධන පුරුෂයන්) සොයන්නාහ.
1660. ගින්න ද ඇතා ද කෘෂ්ණ සර්‍පයා ද අභිෂේක කළ රජ ද සියලු ස්ත්‍රීහු ද යන මොවුන් එළඹ සිටි සිහි ඇති මනුෂ්‍ය තෙම සේවනය කරන්නේ ය. ඔවුන් මැනැවින් නො දන්නේ සියලු අනර්‍ත්‍ථයනට කරුණු වූයේ වන්නේ ය.
1661. අභිරූපවත් ස්ත්‍රිය, බොහෝ දෙනාට ප්‍රිය මනාප ස්ත්‍රිය, නෘත්‍යගීතයෙහි දක්‍ෂ තැනැත්තිය, අනුන්ගේ භාර්‍ය්‍යාව, ධනය නිසා සෙවුනීය යන මේ ස්ත්‍රීහු පස්දෙන නො සෙවිය යුත්තාහ.
1. චූළකුණාල ජාතක යි.
1662. පවිත්‍ර වස්ත්‍රවලින් සැරසී අහසේ සිටින තෙපි කවරහු ද? කුමක් හෙයින් කඳුළු වගුරුවහු ද? කුමක් හෙයින් බියපත් වූවහු ද?
1663. දේවයන් වහන්ස, ඔබතුමාගේ රාජ්‍යයේ වාසය කරන, පිදුම් ලද මට අවුරුදු හැටදහසක් ගෙවී ගියේ ය. මා භද්දසාලය යි දත්හ.
1664. මහරජ, පැරැණි රජවරු නගර ද නිවාස ද පහයන් ද කරවන්නෝ මා නො වෙහෙසූහ. යම්සේ ඔහු මා පිදු ද එසේ තෙපි ද මා පුදව.
1665. පහයට ගැළැපෙන කඳ මහත් වූ අන් රුකක් මම නො දකිමි. වැඩුණු තැන් සිට මනා පෙනුමැති රුක ආරෝහ පරිණාහ සම්පන්න වෙයි.
1666. සිත් ගන්නා පෙනුමැති එකස්තම්භ මාළිගාවක් කරවන්නෙමි. තොප එහි පමුණුවන්නෙමි, තෙපි (එහි) බොහෝ කල් ජීවත් වන්නහු ය.
1667. (මාගේ) ශරීරය වෙන් කරන්නා වූ මෙබඳු සිතක් (තොපට) පහළ විය. (මේ නිසා) මා කඩ කඩ කොට කපන්නාහු ය.
1668. (රුකෙහි) අග ද මැද ද සිඳ පසුව මුල සිඳිවු, මෙලෙස සිඳිනු ලබන (කල) මට මරණය දුක් නො වේ.
1669. පණ ඇත්තහුගේ අත්පා කන්නාසා යම්සේ සිඳින්නේ ද ඉනික්බිතී හිස සිඳින්නේ ද (එයින්) මරණය දුක් වන්නේ ය.
1670. වනස්පති වූ භද්‍රසාල රුක කඩ කඩ වසයෙන් කැපීම සැපයෙක් ද? කඩ කඩ වශයෙන් කැපීම කැමැති වන්නේ කවර කරුණක් නිසා ද?
1671. මහරජ හේතුව කරුණු සහිත වේ. කඩ කඩ වශයෙන් කැපීම රිසි වෙමි. මා කියන හේතුව අසනු මැනැවි.
1672. මාගේ රැක වරණය ලැබැ ගස ඇසුරේ සුවසේ වැඩුණු මගේ ඥාතීහු වෙත්. මම අන්‍ය වූ ඒ ඥාතීන්ගේ කඳුළු වගුරුවන ලද්දෙම් වෙමි.
1673. වනස්පතියකු වූ භද්‍රසාලය, සිතුවමනා දෙයක් සිතුවෙහි ය. නෑයන්ට යහපත කැමැත්තෙහි ය. මිතුර තොපට අභය දෙමි.
2. භද්දසාල ජාතක යි.
1674. දඹදිවැ වෙසෙන ඒ ජනයා සී සාති, වපුරති. කර්‍මානුරූප ව ජීවත් වන මනුෂ්‍යයෝ මේ දූපතේ සැපතට කොටස්කරුවෝ නො වෙති. දඹදිවට වඩා අපට මේ දූපත උතුම් වන්නේ ය.
1675. (අද සිට) හඳ පසළොස් රැයක් ඉක්මැ ගිය කලැ සයුරේ (රළ) වේගය වැඩි වෙයි. මේ මහ දූපත යට කරමින් තොප නො නසාවා! රැකවරණැති අන් තැනකට යවු.
1676. මේ සයුරේ ජල වේගය, මේ මහ දූපත යට නො කරයි. බොහෝ නිමිතිවලින් මා එය දැක තිබේ. බය නො වවු. දුක් වනුයේ කුමට ද? සතුටු වවු.
1677. කෑ යුතු බොහෝ දේ තිබෙන ආහාරපාන බහුල මේ මහනිවෙසැ සම්පත් ඇත. ඔබට සිදු වන කිසිදු බියෙක් නො පෙනේ. පුතුන්ගේ පුතුන් දක්වා ප්‍රමුදිත වවු.
1678. දකුණු දෙසැ සිට යම් දෙවියෙක් ආරක්‍ෂා සහිතය යි කියා ද ඔහුගේ කීම සත්‍ය වේ. උතුරු දෙසෙහි සිටැ බිය උපදී යයි කී බස සත්‍ය නො වේ. බිය නො වවු, දුක් වනුයේ කුමට ද? ප්‍රමුදිත වවු.
1679. මේ යක්‍ෂයෝ ඔවුනොවුනට විරුද්ධ ව බෙණෙති. එකෙක් බිය සහිත යයි කියයි. එකෙක් බිය රහිත යයි කියයි. එ හෙයින් මගේ කීම අසවු. හැමදෙන වහා නො නැසෙම්හ.
1680. හැම දෙන එකතු වැ යන්ත්‍රොපකරණ සියල්ල සම්පූර්‍ණ ශක්ති සම්පන්න නැවක් සාදමු. ඉදින් දකුණු දිග දේව පුත්‍රයා සත්‍යයක් කීයේ නම් මේ උතුරු දිග දේව පුත්‍රයා කීයේ හිස් බසෙකි.
1681. අපට ඒ ප්‍රකාශය අවැඩ පිණිස වන්නී ය. මේ දූපත ද අත් නො හරිමු. ඉදින් උතුරුදිග් දෙවියා සත්‍යයක් කීයේ නම්, දකුණුදිග් දෙවියා කීයේ හිස් බසෙකි. හැම දෙන ඒ නැවට නැඟ අපි සුවසේ එතෙරට තරණය කරමු. (එතෙරට යමු.)
1682. ප්‍රථමයා කී දේ ශ්‍රේෂ්ඨ යයි දැඩි ලෙස ගැනීමත්, පශ්චිමයා කී දේ ශ්‍රේෂ්ඨ යයි දැඩි ලෙස ගැනීමත් මනා නො වේ. යමෙක් විමසා සත්‍ය වූවක් නුවණින් ගනී ද, ඒ මනුෂ්‍යයා ඒකාන්තයෙන් උසස් තැනට පැමිණෙයි.
1683. මුහුද මැද ඒ වෙළෙන්දෝ තම කර්‍මාන්තය නිසා අභයස්ථානයට සුවසේ පැමිණියෝ ද, එසේ නුවණැත්තේ අනාගත අභිවෘද්ධිය වටහා ගෙන එය ඉක්මවා නො යයි. (ඒ අනුව ක්‍රියා කරයි.)
1684. සයුර මැද නැසුණ ඒ මනුෂ්‍යයන් මෙන්, මෝඩයෝ ද රසයෙහි ඇලී ගිජු වැ අනාගත අභිවෘද්ධිය නො තකා ලද සැපතෙහි මුළාවට පත් වැ තම පිහිට නො ලබන්නෝ වෙත්.
1685. ආයත්‍යභිවෘද්ධිය ගෙන දෙන කාර්‍ය්‍ය පළමු ව කටයුත්තේ ය. එ ලෙස කාර්‍ය්‍ය කරන ප්‍රාඥයා, තමාට හිතකර කාර්‍ය්‍යය කරන්නට යෝග්‍ය අවස්ථාව පැමිණි කලැ පළමු වැ කළමනා කාර්‍ය්‍යය පළමුවැ කළ හෙයින් පීඩාවට පත් නො වේ.
3. සමුද්දවාණිජ ජාතක යි.
1686. ඉදින් වස්තුකාමය පතන ඒ පුඟුලාට එය සමෘද්ධ වී නම් මනුෂ්‍ය තෙම යමක් කැමති වේ නම් එය ලැබැ ඒකාන්තයෙන් ප්‍රීති සිත් ඇත්තෙක් වේ.
1687. ඉදින් වස්තුකාමය පතන පුඟුලාට එය සමෘද්ධ වී නම්, ඉක්බිති හේ ග්‍රීෂ්මයෙහි තැවුණහු පැන් පවස මෙන් අනෙක් කාමවස්තූන් විඳිනේ යැ.
1688. වැඩෙන අඟ ඇති ගවයාගේ සිරුර හා සමග අඟ වැඩෙන්නා සේ මන්‍දබුද්ධික වූ කිසිත් නො දත් වැඩෙන මෝඩ පුරුෂයාගේ ආසාව නමැති පිපාසය ද බොහෝ සෙයින් වැඩේ.
1689. පොළොවෙහි සාලියවාදි ධාන්‍ය ද ගවාදි සතුන් ද දාසිදාසයන් ද එක් කෙනකුට දුන්නත් ඔහු එතෙකිනු දු සෑහීමට පත් නොවන බව දැනැ නැණැත්තේ සමචර්‍ය්‍යායෙහි හැසිරෙන්නේ ය:
1690. රජ තෙම බලාත්කාරයෙන් පොළොව දිනා සාගරය සීමා කොට ඇති පොළොවට අධිපති ව වසනුයේ සයුරෙන් මෙතෙර නො සෑහී සයුරෙන් එතෙර ද පතන්නේ ය.
1691. යමෙක් වස්තුකාමයන් සිහි කරන්නේ සිතින් තෘප්තියට නො යේ ද, (සෑහීමක් නො ලබා ද,) කාමාශාවන්ගෙන් මිදෙන ප්‍රතිකර්‍මය දැනැ යම් කෙනෙක් නුවණින් විමසා තෘප්තිමත් වූ නම් ඒකාන්තයෙන් ඔහු මැනැවින් තෘප්ත වූහ.
1692. තෘප්ති අතුරෙන් ප්‍රඥාව නිසා ලබන තෘප්තීය උසස් වේ. හේ කාමාසා නිසා නො තැවේ. තෘෂ්ණා තොමෝ ප්‍රඥාව නිසා තෘප්ත පුරුෂයා වසඟ නො කරයි.
1693. කාමයන්හි ලොල් නො වූ අල්පේච්ඡ පුද්ගලයාගේ කාමාසා නැසෙන්නේ ම ය. (මහත් ප්‍රඥාවෙන් යුත් බැවින්) සමුද්‍රය වැනි වූ ඒ පුරුෂයා (වස්තුකාම ක්ලේශකාම) කාමයන් නිසා නො තැවේ.
1694. හම කපමින් වහන් සකස්කරන සම්කරුවකු සේ කාමයන් අතුරෙන් යමක් යමක් හරනේ ද ඒ ඒ (කොටස) සැප එළව යි. ඉදින් පූර්‍ණ සැපත රුස්නේ නම් කාමයන් සියල්ල අත් හරින්නේ ය.
1695. ඔබ විසින් ගාථා අටක් කියන ලද, (ඒ ගාථා) සියල්ල දහස බැගින් වටනේ ය. පූජ්‍ය වූ බමුණ, (මේ අටදහස) පිළිගත මැනැව, ඔබගේ තෙල භාෂිතය මැනැවි.
1696. දහසෙකින් හෝ සියයෙකින් හෝ දසදහසෙකින් හෝ මට වැඩෙක් නැත. පැසුළුගය කියන මගේ සිත කාමයෙහි නො ඇලුණේ ය.
1697. මුළුලොව නුවණින් වටහා ගත් මුනි වූ යමෙක් සියලු දුක් උපදවන තෘෂ්ණාව මනාලෙස දනී ද, පණ්ඩිත වූ ඒ මේ මාණවක තෙම ඒකාන්තයෙන් යහපත් වේ.
4. කාම ජාතක යි.
1698. පළමු වැ කටයුතු මේ කරුණු දහය නො කිරීම නිසා හෙතෙම පසුතැවේ යයි ජනසන්‍ධ රජ තෙමේ මෙසේ කීය.
1699. තරුණ කාලයෙහි ධනය රැස් නො කොට ධන රහිත වැ මහලු වියට පත් වැ, (දුකසේ දිවි පවත්වනුයේ) තරුණ කල්හි ධනය රැස් නො කෙළෙමි යි සිතමින් පසුතැවේ.
1700. බාල වියේ ගුරුන් ඇසුරේ උගන්නට හැකියාව තිබිය දී මා ඉගෙනීම නො කරන ලදී. ශිල්ප රහිතයාට දිවි පැවැත්ම දුක් සහිතය යි සිතමින් පසුතැවේ.
1701. පෙරැ කූටකම් (තුලාකූට, මානකුටාදිය) දත්තෙකිම් වීමී. කේලාම් කීමි, අල්ලස් ගතිමි, චණ්ඩ පරුෂ වීමි යයි (මරණාසන්නයෙහි) සිතමින් පසුතැවේ.
1702. පෙරැ පරපණ නැසුයෙමි, පහත් වූ රුදුරුකම් ඇත්තෙක් වීමි, සතුන් කෙරේ කාරුණික පැවැත්ම නැත්තෙකිම් වීමි යි සිතමින් පසුතැවේ.
1703.සරණෙකැ නො ගිය බොහෝ ස්ත්‍රීන් සිටිය දී පරදාරාවන් සේවනය කෙළෙමි යි සිතමින් පසුතැවේ.
1704. පෙර බොහෝ ආහාරපාන තිබිය දී පවා දන් නො දුන්නෙමි යි සිතමින් පසුතැවේ.
1705. වත්කම තිබිය දී, මහලු වූ දිරාපත් වූ මව හෝ පියා හෝ පෝෂණය නො කෙළෙමි යි සිතමින් පසුතැවේ.
1706. ආචාරධර්‍මයන් පුහුණු කරවන ආචාර්‍ය්‍ය වූ, කැමැති සියලු දේ දෙමින් (තමා) පෝෂණය කළ පියාණන්ගේ අවවාද නො පිළිගත්තෙමි යි සිතමින් පසුතැවේ.
1707. සිල්වත් උගත් මහණබමුණන් පෙර ආශ්‍රය නො කෙළෙමි යි සිතමින් පසුතැවේ.
1708. පෙරැ ත්‍රිවිධ සුචරිත සඞ්ඛ්‍යාත තපස පුරුදු කිරීම ද සිල්වතුන් ඇසුරු කිරීම ද කළේ නම් යහපත (එය) නො කෙළෙමියි සිතමින් පසුතැවේ.
1709. යමෙක් මේ කරුණු නුවණින් විමසා පිළිපදී ද (පුරුෂයන් විසින් කළයුතු ධාර්මික කෘත්‍යයන් කරන හෙයින්) අප්‍රමාද ගුණය ඇති හෙතෙම නො පසුතැවේ.
5. ජනසන්‍ධ ජාතක යි.
1710. ප්‍රාඥය, ඉතා කළු පැහැති බියකරු වූ සුදුදත් ඇති ප්‍රතාපවත් වූ පස් රැහැනකින් බඳනා ලද තොපගේ බල්ලා කුමක් කෙරේ ද?
1711. උසීනර රජතුමනි, මේ බල්ලා මෘගමාංස බුදින්නට ආවේ නො වේ. මනුෂ්‍යමාංස බුදින්නට ආවෙකි. මනුෂ්‍යයන්ගේ විනාශය කරන්නෙක් ව මේ කණ්හ තෙම මගේ අතින් මිදෙන්නේ ය.