එහි උද්දාන:
සිරිමාතලී (කුලාවක) ධීතර (නච්ච) පක්ඛීචර (සම්මොදමාන) රතිරාගගත (මච්ඡ) මාතාපිතා ච පුන (නැවත වට්ටක) ජගති රුහ (සකුණ) වුද්ධසු (තිත්තිර) කක්කට (බක) තථා නන්‍දක (එසේම නන්‍දා) පිණ්ඩචර (ඛදිරඞ්ගාර) යන්න සමග දසය යි.
5. අත්‍ථකාම වර්‍ගය
41. අභිවෘද්ධි කැමැතිවැ හිත චිත්තයෙන් අනුකම්පා කරන්නාහුගේ ඒ අනුශාසනය අවවාද ලබන යමෙක් නො කෙරේ ද (එසේ වූ පුරුෂ තෙමේ) එළියගේ පය ගෙනැ ශෝක කරන මිත්ත වින්‍දකයා මෙන් ශෝක කරයි. (මිත්ත වින්‍දකයා ශෝක කළාක් මෙන් ශෝක කරයි.)
1. ලොසක ජාතකය.
42. අර්‍ත්‍ථයක් කැමැතිවැ හිතචිත්තයෙන් අනුකම්පා කරන්නාහුගේ ඒ අනුශාසනය අවවාද ලබන යමෙක් නො කෙරේ ද පරවියාගේ වචනය නො කොට අමිත්‍ර වූ සූදයගේ (අරක්කැමියා) අතට ගිය කාකයා මෙන් (ව්‍යසනයට පැමිණැ) හෝනේ ය.
2. කපොත ජාතකය.
43. දියුණුව කැමැත්තා වූ හිතචිත්තයෙන් අනුකම්පා කරන්නාහුගේ අනුශාසනය ඔවා ලබන යමෙක් නො කෙරේ ද හෙතෙමේ වේළුක නම් සර්‍පයාගේ පිය යම්සේ ද එපරිද්දෙන් නෂ්ට ව හෝනේ ය.
3. වේළුක ජාතකය.
44. ප්‍රඥායෙන් යුක්ත වූ අමිත්‍ර තෙමේ උතුම් වේ. ප්‍රඥායෙන් විප්‍රහීණ වූ (නුවණ නැති) මිත්‍ර තෙමේ උතුම් නො වේ මැ යි (කුමක් හෙයින් යත්) මූඪ (කෙළතොලු) පුත්‍ර තෙමේ මදුරුවා මරමි යි පියාගේ හිස පැළී ය.
4. මකස ජාතකය.
45. අනුකම්පා කරන යම්බඳු බාලයෙක් ඇද්ද (ඔහුට වඩා) නුවණැත්තා වූ අමිත්‍රයා උතුම් වේ. බාලවූ රෝහිණී නම් නුවණ නැත්තිය බලව (මැස්සන් මරමි යි) මව මරා ශෝක කරන්නී ය.
5. රෝහිණී ජාතකය.
46. අනර්‍ත්‍ථයෙහි දක්‍ෂයා විසින් කරන ලද අර්‍ත්‍ථචර්‍ය්‍යාව සුව එළවන්නී නො වේ. නුවණ නැති බාලයා දියුණුව පිරිහෙළයි. (කවරක්හු මෙන් ද යත්) උයන බැලීමෙහි යෙදුණු වානරයා මෙනි.
6. ආරාමදූෂක ජාතකය.
47. අනර්‍ත්‍ථයෙහි දක්‍ෂයා විසින් (අර්‍ත්‍ථයෙහි අදක්‍ෂයා විසින්) කරන ලද අර්‍ත්‍ථචර්‍ය්‍යාව සුව එළවන්නී නො වේ. නුවණ නැති බාලයා දියුණුව පිරිහෙළයි. (කවරක්හු මෙන් ද යත්) සුරාව නැසූ කොණ්ඩඤ්ඤ නම් ශිෂ්‍යයා මෙනි.
7. වාරුණී ජාතකය.
48. යමෙක් අනුපායයෙන් (වැරදි මගින්) අභිවෘද්ධි කැමති වේ ද හෙතෙමේ (එයින්) විනාශ වෙයි. චේතිය නම් රටවැසි සොරු (වෛදර්භ නම් මන්ත්‍රය හේතුකොටගෙන) වේදබ්භ නම් බමුණා නැසූහ. ඒ සොරු සියලු දෙනා ද (ඔවුනොවුන් ඇන කොටාගෙන) විනාශයට පැමිණියෝ ය.
8. වේදබ්භ ජාතකය.
49. අර්‍ත්‍ථය නැකත් බලන ආඥනයා ඉක්මැ යෙයි. අර්‍ත්‍ථය (අභීෂ්ට ප්‍රතිඵල ලාභය ම) බලාපොරොත්තු වන අභිවෘද්ධිය ලැබීම ම නැකත වේ. තාරකාවෝ කවර නම් අර්‍ත්‍ථයක් යොදත් ද (නො යොදත් ම ය.)
9. නක්ඛත්ත ජාතකය.
50. මා විසින් නුවණ නැති මිනිසුන් දහසෙකින් (යාගයක් කරමි යි දේවතාවන් වෙතට ගොස්) ආරාධනා කරන ලදි. මම දැන් යාගය කෙරෙමි. කුමක් නිසා ද යත් අධාර්මික ජනයා බහුලය (එහෙයිනි.)
10. දුම්මේධ ජාතකය.
පස්වැනි අත්‍ථකාම වර්‍ග යි.
පළමු පණ්ණාසක යි.
එහි උද්දාන:
මිත්තක (ලොසක) කපොත වේළුක එළමූග (මකස) රෝහිණී කපි (ආරාම දූසක) වාරුණී වෙනචරා (වේදබ්භ) තාරක (නක්ඛත්ත) යඤ්ඤචර (දුම්මේධ) යන දසය යි.
6. ආසිංස වර්‍ගය
51. පුරුෂ තෙමේ (පටන්ගන්නා ලද ක්‍රියාවෙහි නිමාවට පැමිණෙනු සඳහා) ආශා කරන්නේ මැ ය. නුවණැත්තේ (වීර්‍ය්‍ය වඩනුයේ) උකටලි නො වන්නේ යැ. බලාපොරොත්තුව නො සිඳ ගන්නේය.) යම්සේ බලාපොරොත්තු වීම ද, එසේ මැ වී. මම (එයින් රාජ සම්පත්තියට පැමිණි) තම දක්මි.
1. මහාසීලව ජාතකය.
52. පුරුෂ තෙමේ වෑයම් කරන්නේ මැ යැ. නුවණැත්තේ (අපේක්‍ෂාව සාදාගතහැකි දැ යි) උකටලි නො වන්නේ ය. මම (වීර්‍ය්‍යයෙන් සාගරය පීනා) දියෙන් ගොඩට නැංගා වූ තමා දක්මි.
2. චූළජනක ජාතකය.
53. සුරා පාත්‍රයෝ එසේ මැ (මා යන කලැ තුබූසේ මැ) පිරුණාහ. යම් මේ (සුරාවර්‍ණනා) කතාවක් පවතී ද (මේ) අනෙකක් මැ යැ. (බොරුවෙක් මැ යැ.) ආකාරයෙන් දනිමි. ඒකාන්තයෙන් මේ සුරාව යහපත් නො වේ යැ යි.
3. පුණ්ණපාති ජාතකය.
54. මේ වෘක්‍ෂය දුකසේ නැංග යුත්තේ නො වෙයි. (සුවසේ නැඟියැහෙයි.) ගමින් දුරුවූයේ ද නො වෙයි. (ඉදින් මිහිරි ඵල ඇත් නම් එක ද පලයක් ඉතිරි නො වේ. එයින්) මේ වෘක්‍ෂය මිහිරි පල ඇත්තේ නො වෙයි (මෙ කරුණ) ආකාරයෙන් දනිමි.
4. කිංඵල ජාතකය.
55. (චතුර්විධ) යෝගක්‍ෂේමයට හෙවත් නිවනට පැමිණෙනු සඳහා උදාර වූ අදහස් ඇති යම් මනුෂ්‍යයෙක් නො පසුබට වූ සිතින් කුශල ධර්‍මයන් වඩා ද හෙතෙමේ පිළිවෙළින් සියලු සංයෝජනයන්ගේ ක්‍ෂයයට හෙවත් රහත්ඵලයට පැමිණෙයි.
5. පඤ්චාවුධ ජාතකය.
56. යෝගක්‍ෂේමයට හහෙවත් නිවනට පැමිණෙනු සඳහා දුරු කළ නීවරණයන් ඇති සිතින් (එහෙයින් ම) නිර්‍මල වූ සිත් ඇති යම් මනුෂ්‍යයෙක් කුශලධර්‍මයන් වඩා ද හෙතෙමේ සියලු සංයෝජනයන්ගේ ක්‍ෂයයට හෙවත් රහත්ඵලයට පිළිවෙළින් පැමිණෙයි.
6. කඤ්චනක්ඛන්‍ධ ජාතකය.
57. වානරේන්‍ද්‍රය, වාක්සත්‍යය, පරික්‍ෂාඥානය, ධෛර්‍ය්‍යය, ත්‍යාගය යන මේ සතර ධර්‍මයෝ (සතර ගුණයෝ) තට මෙන් යමකුට විද්‍යමාන වෙද්ද හෙතෙමේ සතුරා ඉක්මවා යේ. (සතුරා මැඩ පවත්වයි.)
7. වානරින්‍ද ජාතකය.
58. වානරේන්‍ද්‍රය, දක්‍ෂභාවය ද, නිර්‍භයභාවය ද, උපාය කෞශල්‍යඥානය ද යන මේ ත්‍රිවිධ ධර්‍මයෝ තට මෙන් යමකුට ඇත් ද හෙතෙමේ සතුරා ඉක්මවා යේ.
8. තයෝධම්ම ජාතකය.
59. බෙර ගසන්නේ ය. බෙර ගසන්නේ ය. (ප්‍රමාණය ඉක්මවා) අතිශයින් නො ගසන්නේ ය. නිරන්තරයෙන් බෙර ගැසීම ලාමක ය. (අනර්‍ත්‍ථකර ය.) බෙර ගසන්නාහු විසින් (කහවණු) සියයක් ලබන ලද (කාලය නො බලා) නිරන්තරයෙන් බෙර වයන්නහු විසින් (ඒ ධනය නසන ලදී.)
9. භේරිවාද ජාතකය.
60. සක් පිඹින්නේ ය. සක් පිඹින්නේ ය. (කල් නො බලා) අධික කොට නො පිඹින්නේ ය. අධික කොට පිඹීම ලාමක ය. (අනර්‍ත්‍ථකර ය) සක් පිඹින්නහු විසින් භෝගයෝ ලබන ලදහ. (අපගේ) පිය නැවත නැවත සක් පිඹින්නේ ඒ භෝගය විනාශ කෙළේ ය.
10. සඞ්ඛධමන ජාතකය.
සවැනි ආසිංස වර්‍ග යි.
එහි උද්දාන:
යථා ඉච්ඡිං තථා අහූ (මහාසීලව) දකථල (මූළජනක) සුරා (පුණ්ණපාති) සාදුඵල (කිංඵල) අලීනමනෝ (පංචාවුධ) සම්පහට්ඨමනෝ (කඤ්චනක්ඛන්‍ධ) චතුරො (වානරින්‍ද) තයො (තයෝධම්ම) සතලද්ධ (භේරිවද) භොගධන (සංඛධමන) යන දසය යි.
7. ස්ත්‍රී වර්‍ගය
61. ලෝකයෙහි ස්ත්‍රීහු නම් ලාමකයහ. නොහොත් තමන් කෙරෙහි ඇලුණවුනට දුක් දෙන්නාහු ය. ඔවුනට (ක්ලේශෝත්පත්ති නිවාරණයට) මර්‍ය්‍යාදාවෙක් නැත. සංරක්තයහ, ප්‍රගල්භයහ, සියල්ල කාදමන ගින්න මෙන් පුරුෂයන් විශේෂයෙන් සෙවුණාහ. (එසේ වූ) ඔවුන් හැරැ විවේකය වඩන්නෙම් පැවිදි වෙමි.
1. අසාතමන්ත ජාතකය.
62. බමුණු තෙමේ යම් කාරණයෙකින් (ඝනවස්ත්‍රයෙකින් මුඛය සමඟ වෙළන ලද්දේ) වීණාව වැයී ද (එසේ ඔහු රැවටූ තැනැත්තිය කෙසේ වූ බැමිණියක් ද යත්:) මවුකුසැ හොත් කල්හි මැ ආරක්‍ෂා කොට පෝෂණය කළා වූ භාර්‍ය්‍යාව යැ. එබඳු (පෙරළෙනසුලු ) භාර්‍ය්‍යාවන් කෙරෙහි කවර නම් නුවණැත්තෙක් ඒකාන්තයෙන් විශ්වාස තබන්නේ ද? (නො තබන්නේ මැ යැ.)
2. අන්‍ධභූත ජාතකය
63. (ස්ත්‍රීහු නම්) කිපෙන සුල්ලහ. කළ ගුණ නො දන්නෝ ද වෙති. ප්‍රියභාවය ශුන්‍ය කරන්නා වූ ද මිත්‍රයන් භේද කරන්නා වූ ද කථා කරන ස්වභාවය ඇත්තාහු ය. මහණ, බ්‍රහ්මචර්‍ය්‍යාවෙහි හැසිරෙව. බඹසර හැසිරෙන තෝ සුවයෙන් නො පිරිහෙන්නෙහි ය.
3. තක්ක ජාතකය.
64. (මේ ස්ත්‍රිය) මා කැමැත්තීය යි සතුටු නො වෙව, මා නො කැමැත්තීය යි ශෝක නො කරව. දියෙහි මත්ස්‍යයාගේ ගමන මෙන් ස්ත්‍රීන්ගේ ස්වභාවය නො දත හැකි යැ. දියෙහි මත්ස්‍යයාගේ ගමන් සටහන මෙනි.
4. දුරාජාන ජාතකය.
65. ගංගාව ද, මහාමාර්‍ගය ද, සුරාහල ද ඉසුඹුහල ද, පින්පැන් මඩුව ද, යම්සේ සියලු දෙනාට සාධාරණයෝ ද ලෝකයෙහි ස්ත්‍රීහු ද එසේ (වූ පැවැතුම් ඇත්තෝ) වෙති. පණ්ඩිතයෝ මේ ස්ත්‍රීන්ට නො කිපෙත්.
5. අනභිරති ජාතකය.
66. මුදුලක්ඛණා නම් දේවිය නො ලදින් පූර්‍වයෙහි එක් තෘෂ්ණාවක් වුව. විශාලනේත්‍ර ඇති ඇය යම් තැනෙක පටන් ලබන ලද ද (පූර්‍වයෙහි වූ ඒ) තෘෂ්ණාව (ගෘහොපකරණ රැස්කිරීම් ආදි අනෙක් මැ) තෘෂ්ණාවක් ඉපදවිය.
6. මුදුලක්ඛණ ජාතකය.
67. දේවයෙනි, පුත්‍ර තෙමේ මාගේ ඇකයෙහි මැ යැ. (ඉණට කඩා ගන්නා පලාමෙන් සුලභයහ.) මගෙහි යන්නා වූ මට ස්වාමිපුරුෂයෝ ද සුලභයහ. යම් දේශයෙකින් සහෝදරයකු ගෙන එම් ද (මවුපියන් නැති බැවින්) ඒ දේශය (මවුකුස) නො දකිමි.
7. උච්ඡඞ්ග ජාතකය.
68. යම් පුද්ගලයක්හු කෙරෙහි සිත පිහිටා ද, (දුටු පමණෙකින්) සිත පහදී ද පෙර නුදුටුවිරූ ඒ පුරුෂයා කෙරෙහි ඒකාන්තයෙන් විශ්වාසය තබන්නේ ය. (හෙවත් විශ්වාසයට පැමිණෙන්නේ ය.)
8. සාකේත ජාතකය.
69. යම් විෂයෙක් හරන ලද ද, ඒ වමනය කල විෂ මම ජීවිතයාගේ පැවැත්ම සඳහාවත්, නැවත හැරැගනිම් ද, ඒ විෂට නින්‍දා වේවා. (වමනය කළ විෂ නැවත හැරැගෙනැ) ජීවත්වීමට වඩා මිය යාම උතුම්.
9. විසවන්ත ජාතකය.
70. යම් ජයක් (සතුරන් විසින්) පරදවනු ලැබේ ද ඒ දිනුම මනා කොට දිනුවා නම් නො වේ. යම් ජයක් (සතුරන් විසින්) පරදවනු නො ලැබේ ද, ඒ දිනුම ම මනා කොට දිනුවා නම් වේ.
10. කුද්දාල ජාතකය.
සත්වැනි ස්ත්‍රීවර්‍ග යි.
එහි උද්දාන:
සිඛීසබ්බඝසො (අසාත්මන්ත) වීණවරො (අන්‍ධභූත) පිසුනමිත්තවිභේදිකා (තක්ක) නන්‍දි (දුරාජාන) නදී (අනභිරත) මුදුලක්ඛණ සොදරීය (උච්ඡඞ්ග) මනෝ (සාකේත) විස (වීසවන්ත) සාධුජිත (කුද්දාල) යන දසය යි.
8. වරුණ වර්‍ගය
71. යමෙක් පළමු කටයුතු දෑ පසුව කරන්නට කැමැති වේ ද හෙතෙමේ ලුණුවරණදඬු බිඳි මාණවකයා මෙන් පසුව තැවෙයි. (ශෝක කරයි.)
1. වරණ ජාතකය.
72. කළ ගුණ නො දන්නා වූ නිරතුරු (අනුන්ගේ) සිදුරු (වැරැදි) දක්නා වූ පුරුෂයාට ඉඳින් මුළු පොළොව හෙවත් සක්විති රජකම දුන්නේ වී නමුදු ඔහු සතුටට පමුණුවනු නො හැක්කේ ය.
2. සීලවනාගරාජ ජාතකය.
73. ගඟදියෙහි පාවෙන දරදඬු (නගා ගොඩ තබන ලද්දේ) උතුම් වේ. (කළ ගුණ නො දන්නා) සමහර පුරුෂයෙක් (නගා ගොඩ තබන ලද්දේ) උතුම් නො වේ මැ යි. මෙ ලොවැ ඇතැම් පණ්ඩිත කෙනෙක් සැබවක් ම කීහු ල.
3. සච්චංකිර ජාතකය.
74. බොහෝ වූ නෑයෝ (සමඟ වැ වෙසෙන්නාහු) ශෝභන වෙති. අරණ්‍යයෙහි හට ගත් වෘක්‍ෂයෝ පවා (ඝන වැ සිටියාහු) ශෝභන වෙත්, වාතය එකලා වැ සිටියා වූ අතුපතර ඇති මහත් වූ වනදෙටු රුක ද මුලිනුපුටා හෙළයි.
4. රුක්ඛධම්ම ජාතකය.
75. මේඝය ගර්‍ජනා කරව. කාක සමූහයාගෙ (මත්ස්‍ය) නිධානය නසව. කපුටුමුළුව ශෝකයට පමුණුවව. නෑයන් හා මා ද ශෝකයෙන් මුදව.
5. මච්ඡ ජාතකය.
76. ගමෙහි ද නිසැකයෙම් වෙමි. අරණ්‍යයෙහි මට බියෙක් නැත. මෛත්‍රියෙන් ද කරුණාවෙන් ද ඍජු වූ (බ්‍රහ්මලෝක හා දිව්‍යලෝකගාමි) මාර්‍ගයට නැංගෙමි.
6. අසංකිය ජාතකය.
77. (යුද නො කොට ගිය) වෘෂභයෝ යැ, (මල් පලගත් කුඩා) වෘක්‍ෂයෝ යැ, (එදවස උපන් වස්සන්ගේ කිරි බොන) දෙන්නු යැ, (වියෙහි යොදන නහඹු ) ගවයෝ යැ, (දෙපස මුඛ ඇති) අශ්ව යැ, (ජර සිවලකුට මෙහි මූ කරව යි පෑ සිය දහසක් අගනා) රන්තලිය යැ, (අඹරන රැහැන කාදමන) සිවලී යැ, (හිස් කළ අතුරෙහි තුබූ දිය පිරිණු) කළය යැ, (ගැඹුරු තැන දිය කැලැඹුණු) පොකුණ යැ, (එක් මැ සැළෙහි නිසි සේ) නො පැසුණු බත යැ, (කුණුමෝරු වලට විකුණන සියදහසක් අගනා) රත්සඳුන්හර යැ, යන සිහින ද -
හිස් ලබුකබල්හු දියෙහි ගැලෙති, ඝන පාෂාණයෝ (නැව් මෙන්) දියෙහි පාවෙති, මැඬිපැටියෝ කෘෂ්ණ සර්‍පයන් ගිලිති, ස්වර්‍ණ හංසයෝ කවුඩුවකු පිරිවරති, වෘකයෝ එළුවන්ට බියෙන් තැති ගනිත්. මෙසේ විපර්‍ය්‍යාසයෙක් පවතී, දැන් වැලිත් මේ පුරුෂ යුගයෙහි (මේ සිහිනයන්ගේ) විපාක දීමෙක් නැති යි.
7. මහාසුපින ජාතකය.
78. දෙදෙනා ම පිළු ය. දෙදෙනාම කොරු ය. දෙදෙනාම වමරැසි ය. දෙදෙනාගේ ම හිස (සමාන වූ) පිළිකාවෝ ජාතයහ. (එහෙයින්) මම ඉල්ලීස නො දකිමි.
8. ඉල්ලීස ජාතකය.
79. යම් කලෙක් හි ගවයෝ පැහැර ගන්නා ලද්දාහු ද, (මස් පිණිස) නසන ලද්දාහු ද, ගෘහයෝ දවන ලද්දාහු ද, ජනයෝ ද බැඳැ ගෙන යන ලද්දාහු, එකල්හි නැසුණු දරුවන් ඇති මවගේ නිර්ලජ්ජ වූ පුත්‍රයා අමධුර වූ ශබ්ද ඇති පටහබෙරය වාදනය කෙරෙමින් ආවේ ය.
9. ඛරස්සර ජාතකය.
80. හීමසේනය, තොප විසින් පෙර සංග්‍රාමයෙහි යමක් කියන ලද ද නැවත පසුව හෙවත් යුද්ධයෙහි දී තාගේ පූතිඝර නම් වූ සිරුරමල වැගිරෙති. තොපගේ යුද්ධ (පිළිබඳ ඔදවැඩි) කතා ද මේ පීඩාව ද යන දෙ කරුණ සම නො වේ.
10. භීමසේන ජාතකය.
අටවැනි වර්‍ණ වර්‍ග යි.
එහි උද්දාන:
වරණ අකතඤ්ඤ (සීලවනාගරාජ) සච්චචර (සච්චංකිර) වනස්පති (රුක්ඛධම්ම) අහිත්‍ථනය (මච්ඡ) කරුණාය (අසඞ්කිය) සිලාප්ලව (මහාසුපින) ඉත්‍ථී (ඉල්ලීස) දෙණ්ඩිම (ඛරස්සර) පූතිඝර (හීමසේන) යන දසය යි.