623. කන සොලවයි. බැම බිඳියි. මොහොතින් මොහොත රජ කුමරුවන් බිය ගන්වයි. ආහාරපානයෙන් ඉවත්වී සිටින හෙයින් කාළබාහු වඳුරා තෙමේ ම එය කරන්නේ ය.
9. කාළබාහු ජාතක යි.
624. ලෝකයේ සීලය යහපත් ය. සීලය නිරුත්තර ය. (හෙවත් සීලයට වඩා උසස් ගුණයෙක් නැත.) බලව, දරුණු විෂ සහිත නාගයා පවා සිල්වත් ය යි නසනු නො ලැබේ.
625. යම්තාක් මේ උකුස්සාගේ මුඛයෙහි කන දෙයක් වී ද ඒ තාක් උකුස්සෝ එකතු වැ කෑහ. ලොවැ කිසිත් නැත්තහුට (කිසිකෙනෙක්) හිංසා නො කෙරෙත්.
626. ආසා නැත්තී සුවසේ නිදන්නී ය. බලවත් වූ ආසාව සුවයට හේතු වේ. පිංගලා නම් දැස්ස ආසාව නසා සුවසේ නිදන්නී ය.
627. මෙලොව ද පරලොව ද සමාධියට වඩා උසස් අන් සුවයෙක් නැත. එකඟ සිතැත්තේ අනුන්ට ද තමන්ට ද හිංසා නො කරයි.
10. සීලවීමංස ජාතක යි.
තෙවන කුටිදූසක වර්‍ග යි.
එහි උද්දානය:
වඳුරා මිනිසුන්ට සමය යි පැවැසූ කුටිදූසක ජාතක යැ, දද්දභ ජාතක ය සහිත යාචනය දක්වන බ්‍රහ්මදත්ත ජාතක යැ, යළි මෙණ්ඩයා උතුමැයි කී චම්මසාටක ජාතක යැ, ගොඩ ජාතක යැ, යළි කාප සුචරිතාදිය කියන කක්කාරු ජාතක යැ, කෙබුක නදය ඇති කාකාතී ජාතක යැ, (භොතිවරො) අනනු සොචිය ජාතක යැ, රාධ නම් ගිරවා ඇති කාළබාහු ජාතකය හා උතුම් සීල වීමංස ජාතකයෙන් දසය වේ.
4. කෝකාලික වර්‍ගය
628. යමෙක් කථා කළයුතු කාලය නො පැමිණි කල්හි පමණට වඩා කථා කෙරේ ද හෙතෙම කෝකිලාවගේ පුත්‍රයා මෙන් මැරී මෙසේ හෝනේ වෙයි.
629. යම්සේ හලාහල විෂයක් මෙන්, දුබැසි වදන් දිවි නසා ද මැනැවින් මූවත් තැබූ අවිය ද එසේ ජීවිත නො නසයි.
630. එ හෙයින් (කථාවට) කල්හි ද නො කල්හි ද නුවණැත්තේ වචනය රක්නේ ය. (සීමිත ව කතා කරන්නේ ය) තමා හා සමානයකු සමග වුව ද පමණ ඉක්මවා කතා නො කරන්නේ ය.
631. නුවණ පෙරදැරි වූ විචක්‍ෂණ වූ යමෙක් සුදුසු අවස්ථාවෙහි ප්‍රමාණවත් ව කථා කෙරේ ද හෙතෙම ගුරුළා සර්‍පයකු අල්ලා ගත්තා සේ සතුරන් අල්ලන්නේ ය.
1. කෝකාලික ජාතක යි.
632. තෙමේ පහර දී අනුන් විසින් පහර දෙන ලදිමි යි කියයි. තෙමේ අනුන් පරදා අනුන් විසින් පරදවන ලදිමි යි කියයි. රජතුමනි, පළමුව කීවහුගේ වදන් ඒකාන්තයෙන් විශ්වාස නො කරන්නේ මැනැවි.
633. එහෙයින් පණ්ඩිත ස්වභාව ඇති රජතුමා අනිකාගේ කීම ද අසන්නේ ය. දෙදෙනාගේ කීම අසා සුදුසු පරිදි විනිශ්චය කරන්නේ ය.
634. සම්පත් කැමැති අලස ගිහියා නො මැනැවි, හික්මීමක් නැති පැවිද්දා නො මැනැවි, පරීක්‍ෂාවෙන් තොරව ක්‍රියා කරන රජ නො මැනැවි, යම් පඬිවරයෙක් කිපෙන සුලු වේ නම් හේ ද නො මැනැවි.
635. දිසම්පති රජතුමනි, ක්‍ෂත්‍රියයා විමසා ක්‍රියා කරන්නේ ය. කරන දෙය නො විමසා නො කරන්නේ ය. විමසා කරන්නහුගේ පරිවාරාදි යසස ද කීර්තිය ද වැඩේ.
2. රථලට්ඨි ජාතක යි.
636. රජතුමනි, කඩුව දරා සන්නද්ධ වැ රිටිසුඹුලු හඳනා වූ තොපගේ පැලැහූ ගොයා වනමැද ඇසැතු රුක්හි ශාඛායෙන් පලාගියා වේ ද එදවස් මැ මා විසින් තෙපි දන්නා ලද්දහු යැ.
637. යමෙක් තමා දෙස නැමේ ද ඔහුට මැ තෙමේ ද නැමෙන්නේ ය. තමා භජනය කරන්නහු තෙමේ ද භජනය කරන්නේ ය. තමහට අනුකූල වැ ක්‍රියා කරන්නහුට සුදුසු කෘත්‍යයක් තෙමේ ද තමහට අනර්‍ත්‍ථ කැමැත්තාහට තෙමේ ද අර්‍ත්‍ථයක් නො කරන්නේ ය. තමා ළඟට නො එන්නවුන් කරා තෙමේ ද නො යන්නේ ය.
638. තමා හරනහු තෙමේ ද හරනේ යැ. (ඔහුට) ආශා නො කරන්නේ ය. නො ඇලුණු සිතින් භජනය නො කරන්නේ යැ. පක්‍ෂියා ගස ගෙඩි රහිත බව දැනැ ගෙඩි ඇති අන් ගසක් සොයා යන්නේ ය. ලොව විශාල වේ මැ ය.
639. ක්‍ෂත්‍රියාවනි, කළ ගුණ සලකන මම ශක්ති පමණින් තිට උපකාර කරන්නෙමි. තිට සියලු සම්පත් දෙමි. තෝ යමකුට යමක් දෙනු කැමැත්තෙහි ද ඔහුට දෙව.
3. පක්කගෝධ ජාතක යි.
640. ගඟ තරණය කරන ගවයන් අතුරෙහි ප්‍රධාන ගවයා වක්ව යේ ද, ප්‍රධාන ගවයා වක් වැ ගිය කලැ සියලු ගවයෝ වක් වැ යෙති.
641. එපරිද්දෙන් මනුෂ්‍යයන් අතරේ යමෙක් ශ්‍රේෂ්ඨ යයි සම්මත වේ ද, ඉදින් හේ නො දැහැමි ව හැසිරේ ද (ක්‍රියා කෙරේ ද) සෙස්සන් ගැන කවර කථා ද? ඉදින් රජතුමා අධාර්මික වේ ද (එකල) රටවැසි සියලුදෙන දුකින් හෝනේ යි.
642. ගඟ තරණය කරන ගවයන් අතුරෙහි ප්‍රධාන ගවයා ඍජු ව පීනා යේ ද, ප්‍රධාන ගවයා ඍජු වැ පීනා යන කලැ සියලු ගවයෝ ඍජු ව යෙති.
643. එ පරිද්දෙන් මනුෂ්‍යයන් අතුරෙහි යමෙක් ශ්‍රේෂ්ඨ යයි සම්මත වේ ද ඉදින් හේ දැහැමි ව ක්‍රියා කෙරේ ද සෙස්සන් ගැන කවර කථා යැ? ඉදින් රජතුමා දැහැමි වේ ද (එකල) රටවැසි සියලු දෙනා සුවසේ හෝනේ යි.
4. රාජෝවාද ජාතක යි.
644. ජම්බුකය, හේ මහත් වූ වැඩුණු කය ඇත්තේ යැ. දික්වූ දළ ඇත්තේ යැ. යම් සිංහ කුලයෙකැ උපන්නාහු ඇතු අල්ලා ගනිත් ද, තෙපි ඒ කුලයෙහි නූපන්නාහු ය.
645. සිංහයකු නො වී සිංහ මානය උපදවා ගෙන යමෙක් සිංහවෙස් මවා ගනී ද (හේ) ඇතු වෙත පැමිණි හිවලා මෙන් කෙඳිරිගාමින් බිම හෝනේ ය.
646. ඉසුරු ඇති වට වැ හැසුණු කඳට ඇති මහබල ඇති ඤාණබලයෙන් යුක්ත වූ උත්තම පුද්ගලයාගේ ශක්තිය බලය උත්පත්තිය ද නො විමසා (ක්‍රියා කළ) ඒ සිවලා ඇතු විසින් නසන ලද්දේ හෝනේ යි.
647. යමෙක් මෙලො වැ තමා කෙරෙහි වූ ඤාණබල හා කායබල දැනැ පරීක්‍ෂාවෙන් ක්‍රියා කෙරේ ද හෙතෙම ජපයෙන් අධ්‍යනයෙන් ද සාකච්ඡායෙන් ද සුබැසි කථායෙන් ද පරීක්‍ෂායෙන් යුක්ත වූයේ වේ ද හේ මහත් ජය ලබයි.
5. ජම්බුක ජාතක යි.
648. තෘණ තෘණ යයි කියන්නෙහි ය. ඔබගේ තෘණ කවරෙක් හැරගනී ද ඔබ හුදෙක් තෘණ ගැන මැ කියහි. තෘණයෙන් තොපට කවර ප්‍රයෝජනයෙක් ඇද්ද?
649. උස් වූ බහුශ්‍රුත වූ ඡත්‍ර නමැති උත්තමචර්‍ය්‍යා ඇතියෙක් මෙහි පැමිණියේ ය. හෙතෙම මාගේ සියලු ධනය ගෙන සැළියේ තෘණ බහා ගියේ යැ.
650. ස්වල්ප වූ තෘණයෙන් බොහෝ ධනය කැමැත්තේ මෙලෙස කටයුතු ය. පියා සතු සියලු ධනය ගැනීම ය, නො ගතයුතු තෘණ සැළියේ ලා ගමන් කිරීම ය (යන මේ දෑ බ්‍රහාඡත්තයා කෙළේ ය) ඒ කරුණෙහි කවර හැඬීමෙක් ද.
651. සිල්වත්හු මෙබඳු දෙය නො කරති. අඥාන තෙම අනාචාරස්වභාවය නිසා මෙසේ කරයි. බොහෝ කල් නො පවතින සිල් ඇති දුස්සීලයාට පණ්ඩිතකම කුමක් කෙරේ ද?
6. බ්‍රහාඡත්ත ජාතක යි.
652. බඹසැරිය, තොපට පුටුවක් නො දෙවුම්හ. ආහාරයක් හෝ පානයක් හෝ නො දෙවුම්හ. මාගේ වරද දකිමි. (මට) ක්‍ෂමා කරව.
653. තොපගේ දානයෙකැ නො ලැගෙමි. (කිසිවක් නො දිනැ යි) නො ද කිපෙමි. මට කිසිවක් අප්‍රිය ද නො වී ය. එහෙත්, මෙය ඒකාන්තයෙන් කුලස්වභාව ය යි මට අදහසෙක් විය.
654. ආසන, පා දෝනා දිය හා පා ගල්වන තෙල් යන මේ සියල්ල හැමදා දෙමු. මෙය අපගේ පියමුතුන් පරපුරේ (චාරිත්‍ර) ධර්‍ම යි.
655. උතුම් නෑයකුට මෙන් මැනැවින් උපස්ථාන කරමු. මෙය අපේ පියමුතුන් පරපුරේ හැමදා පැවති (චාරිත්‍ර) ධර්‍ම යි.
7. පීඨ ජාතක යි.
656. මීයන් විසින් වී පොතු ද දන්නා ලද යැ. සහල් ද දන්නා ලද යැ. ඔහු පොතු හැරපියා සහල් කන්නාහු ය.
657. උයනෙහි යම් රහස් සාකච්ඡාවක් වී ද ගමෙහි ද යම් රහස් කීමෙක් වී ද මට පහර දීමට ඉඩක් සෙවී ද මෙය මා විසින් දන්නා ලදි.
658. උපන් වඳුරා ළපටි වියේ සිටියදී ම පියා (වඳුරු) විසින් වඳුරු පැටියාගේ කෝෂය දතින් සිඳපී ල.
659. අබ කෙතකට වන් කණ එළුදෙනක මෙන් ඔබමොබ යන්නෙහි ය. යම්බඳු මෙතෙම සයනය යට හෝනේ ද මෙ ද මා විසින් දන්නා ලදී.
8. ථුස ජාතක යි.
660. සිළු ඇති මිහිරි නාද ඇති මොනරා දැක නැති හෙයින් එහි මනුෂ්‍යයෝ මස්වලින් හා පලවැළයෙන් කවුඩා පිදූහ.
661. යම් කලෙක මිහිරිනාද ඇති මොනරා බාවේරු පෙදෙසට ආයේ ද එකල කවුඩා ලාභයෙන් හා සත්කාරයෙන් පිරිහුනේ ය.
662. යම්තාක් ධර්‍මරාජයන් වූ ලොව එලි කරන්නා වූ බුදුරජාණන් වහන්සේ ලොව නූපදී ද එතෙක් අන්තොටු බොහෝ මහණ බමුණන් ලෝවැසියෝ පිදූ.
663. යම් කලක බ්‍රහ්මඝෝෂයෙන් යුතු බුදුරජාණන් වහන්සේ දහම් දෙසූ ද එකල තීර්‍ත්‍ථකයන්ට ලාභ සත්කාර නැති විය.
9. බාවේරු ජාතක යි.
664. විසය්හය, පෙරැ දන් දින. දෙන්නා වූ තොපගේ වස්තු විනාශ විය. මින්පසු දන් නො දෙන්නේ නම් දීමෙන් වළකින තොපට පෙර පරිදි භෝගයෝ සිටුනාහ හෙවත් ඉතිරි වන්නාහ.
665. දහස් ඇස් ඇත්තාණෙනි, ජන දෙටුවාණෙනි, ඉතා දිළිඳු වූ ආර්‍ය්‍යයා විසින් වුවත් පාපක්‍රියාවක් නො කටයුතුය යි කියත් වස්තුව නිසා ශ්‍රද්ධාව අත් හරී නම් ඒ ධනයෙන් ප්‍රයෝජනයෙක් නැත.
666. ශක්‍රය, යම් මගෙකින් රියක් යේ ද ඒ මගින් අනෙක් රියක් යයි. පෙරැ මා තැබූ දන්වැට මා සිටුනා තාක් (දවසින් දවස) වැඩේවා.
667. ඉදින් වස්තු විද්‍යාමාන වී නම් දෙන්නෙමු. වස්තුව නැති කල කුමක් දෙන්නෙමු ද (මෙය තණ සපයන්නකු වුව ද) අනාථ ව සිටුනේ නමුදු දන් දීමට ප්‍රමාද නො වම්හ.
10. විසය්හ ජාතක යි.
සතරවන කෝකාලික වර්‍ග යි.
එහි උද්දානය:
වේලාව ඉක්මවා කථා කළ කෝකාලික ජාතක යැ, (ජිනවර) රථලට්ඨි ජාතක යැ, (වනමජ්ඣෙ) ගෝධ ජාතක යැ, (රථේසභ) රාජෝවාද ජාතක යැ, යළි ජම්බුක ජාතක යැ, (තිණ) බ්‍රහාඡත්ත ජාතක යැ, පීඨ ජාතක යැ, (තණ්ඩුල) ථුස ජාතක යැ, මොණරකු ඇති බාවේරු ජාතක යැ, විසය්හ ජාතක ය යන මෙයින් දසය වේ.
5. චූළකුණාල වර්‍ගය
668. මිනිසුන් කෙරේ ඇලීම කරන නොයෙක් සිතුවිලි ඇති නිග්‍රහ කොට හික්මවන්නට නො හැකි ස්ත්‍රීන් විශ්වාස නො කරන්නේ ය. ඉදින් හැම ස්ත්‍රීහු තමන් අප්‍රීති වන්නේ වුව ද තොටුපළ සමානයහ.
669. කණ්ඩරී රජුටත් කින්නරී බිසොවටත් යම් රාගකාරණයෙක් වී ද එය දැක හැම ස්ත්‍රීහු සිය සැමියන්ගේ ගෙහි නො ඇලෙති. එය එසේ ම ය. කණ්ඩරී රජුගේ භාර්‍ය්‍යාව පිළු වූ අන් පුරුෂයකු දැක රජු හැර දැමී ය.
670. අතිශය කාමාශක්ත බක, පාවාරික යන රජවරුන්ගේ බිසෝවරු මෙහෙකරුවන් හා අනාචාරයෙහි හැසුරුණාහු. ස්ත්‍රීහු සිය සැමියා කෙරෙන් පිටත් කවර පුරුෂයකු සමග වුව නො හැසිරෙත් ද?
671. මුළු ලොවට අධිපති බඹදත් රජුගේ පිංගියානී නැමැති කාමසම්පත් පතන ප්‍රිය බිරිඳ මෙහෙකරුවකු හා අනාචාරයෙහි හැසුරුණා ය. ඕතොමෝ ඔහු ද අගබිසෝ තනතුර ද යන (දෙකින්) පිරිහුණා ය.
1. කින්නරී ජාතක යි.
672. කුම්භීලය, (මම) තමා දියෙන් ගොඩ නගන්නට ඒකාන්තයෙන් සමත් වීමි. දැන් මම යළිත් තාගේ වසඟයට නො යමි.
673. සාගරයක් වැනි ගඟෙන් එතෙර යම්බඳු ඵලජාතියක් ඇද්ද (එයින් මට) කම් නැත. තෙල අඹ දඹ වැල වරකා වලට වඩා දිඹුල්ගෙඩි මට උතුමි.
674. යමෙකුත් උපන් අර්‍ත්‍ථය වහා නො වටහා ගනී ද හෙතෙම සතුරන්ගේ වසඟයට පැමිණෙයි. පසුව තැවෙන්නේ ද වේ.
675. යමෙක් උපන් අර්‍ත්‍ථය වහා වටහා ගනී ද හෙතෙම සතුරු පීඩාවෙන් මිදෙන්නේ ය. පසුව නො තැවෙන්නේ යි.
2. වානර ජාතක යි.
676. රජතුමනි, තොපගේ ගෙහි නිතර සත්කාර කරනලදු වැ පුදනලදු වැ විසුවෙමු. දැන් තෙපි ම නිවසින් යන කරුණු කෙළෙහි. එහෙයින් මම යමි.
677. යමෙක් අනුන් විසින් දරුණු අපරාධ තමාට කළ කලැ තමා විසිනු දු දරුණු අපරාධ අනුන්ට කළේ ද ඒකාන්තයෙන් එය කරන ලදැ යි දනී ද මෙසේ වූ කල වෛරය සන්හිඳේ. කොස් ළිහිණිය, මෙහි වසව (පිටත) නො යව.
678. රජතුමනි, අනුන්ට පීඩා කළ පුද්ගලයාගේ ද පීඩා ලද පුද්ගලයාගේ ද මිත්‍රත්‍වය නැවත ඇති නො වේ. මාගේ හිත මෙහි වාසයට කැමති නො වේ. එහෙයින් යන්නෙමි.
679. උපකාර ලබන්නාගේ ද උපකාර කරන්නාගේ ද මිත්‍රත්‍වය නැවත ගැළපේ. ප්‍රාඥයන්ගේ මිතුරුකම නැවත ඇති වේ. බාලයන්ගේ මිතුරුකම නැවත ඇති නො වේ. කුන්තිනිය, මෙහි වසව (පිටත) නො යව.
3. කුන්තිනී ජාතක යි.
680. යම් තැනැත්තියක් තොපගේ අඹ සොරකම් කළා ද ඕ තොමෝ පැසුණු කෙස් කළු කරන, සුදු කෙස් උගුල්ලා වෙහෙසට පත්වන්නකුගේ වසඟයට යේවා.
681. යම් තැනැත්තියක් තොපගේ අඹ සොරකම් කළා ද ඕ තොමෝ උපතින් විසි අවුරුද්ද, පස්විසි අවුරුද්ද හෝ එකුන්තිස් අවුරුද්දට පත් වයස ඇති සැමියකු ලබාවා.
682. යම් තැනැත්තියක් තොපගේ අඹ සොරකම් කළා ද ඕ තොමෝ ගණිකාවක වී හුදෙකලා ව දිගමග යේවා. සලකුණු කී තැනෙහි දී සැමියා නො දකීවා.
683. යම් තැනැත්තියක් තොපගේ අඹ සොරකම් කළා ද ඕ තොමෝ මනාලෙස හැඳි පැළඳි වස්ත්‍ර හා මල්දම් ඇත්තී සඳුන්කල්ක ගල්වා සැරසුණී තනි ව යහනේ සයනය කෙරේවා.
4. අම්බචෝර ජාතක යි.
684. පචලකය, පාවක නම් වූ ද කෘෂ්ණ වර්‍තනී නම් වූ ද ගින්න යම්කලෙක වනය දවා ද එකලැ මඳ විරිය ඇත්තේ කෙසේ කරන්නෙහි ද?
685. ගස්බෙන ද පොළවෙහි ගුල් ද බොහෝ වෙති. ඉදින් ඒවා කරා නො පැමිණියමෝ නම් අපට මරණය ම වෙයි.
686. යමෙක් කටයුතු සෙමින් කළයුතු කාලයේ ඉක්මනට කෙරේ ද, ඉක්මනට කටයුතු කාලයෙහි සෙමින් කෙරේ ද හේ පෑගී ගිය වියළි තල්පතක් මෙන් දියුණුව නසයි.
687. යමෙක් වැඩ සෙමින් කටයුතු කල්හි සෙමින් කෙරේ ද ඉක්මනින් කටයුතු කල්හි ඉක්මනින් කෙරේ ද හේ රාත්‍රියේ පුර අව පක්‍ෂයන් අනුව බෙදෙන හඳ මෙන් අභිමතාර්‍ත්‍ථය සම්පූර්‍ණ කරයි.
5. ගජකුම්භ ජාතක යි.
688. හැම සැපතින් සම්පූර්‍ණ අපගේ රජතුමා හැරපියා කේශව නැමැති භාග්‍යවත් තපස්වී කප්ප තවුසාගේ අසපුවෙහි කෙසේ ඇලේ ද?
689. නාරදය, කප්ප තවුසාට මිහිරි වූ ළගන්නා වූ සුබැසි වචන ද සිත් අලවන රුක් ද ඇත. මොහු මාගේ සිත් අලවති යි.
690. පිරිසුදු මස්රස සහිත ඇල්සාලේ බත බිදියෙ යැ. ලුණු නැති බොඩහමු හූරහැල් කෙසේ ඒ තොප පිනවා ද.
691. විශ්වාසය ඇති කල්හි අමිහිරි වූ ද මිහිරි වූ ද මඳ වූ ද බොහෝ වූ ද ආහාර අනුභව කෙරේ ද (එය රසවත් වේ). රසයෝ විශ්වාසය පරම කොට ඇත්තෝ ය.
6. කේසව ජාතක යි.
692. ඉතා විශාල යකුළ ඔසවා ගෙන ඒ ඔබ අහසේ සිටී. තෙපි මාගේ රැක්ම පිණිස නියුක්තවහු ද නැතහොත් මා මරන්නට සිතන්නහු ද?
693. රජාණෙනි, තොපට වධ පිණිස මම මෙහි මෙහෙයවන ලද්දෙමි. දෙවියන්ගේ රජ වූ ශක්‍රයා තා රක්නේ ය. එහෙයින් තොපගේ හිස නො පළමි.
694. ඉදින්, දෙවියන්ට අධිපති වූ ද මඝවා නැමැති වූ ද සුජාතාගේ සැමියා වූ ද දිව්‍යරාජයා මා රකී නම් සියලු පිසාචයෝ හඬත්වා. රකුසන්ට බිය නො වෙමි.
695. සියලු කුම්භාණ්ඩයෝ ද පිසාචයෝ ද රිසිසේ හඬත්වා. මා හා සටන් කරන්නට පිසාචයෝ පොහොසත් නො වෙති. යක්‍ෂයන්ගේ බිහිසුණු දර්‍ශන මහත් වෙයි.
7. අයකූට ජාතක යි.