Jātaka

Birth Stories

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-29 · 7679 segments

පෙන්වන කොටස් 1001-1100 න් 7679

එහි උද්දානය:
දොර විවර කරවයි කී චූළකාළිඞ්ග ජාතක යැ, අදෙය්‍යෙසු යනාදිය පැවසූ මහාඅස්සාරෝහ ජාතක යැ, සමෘද්ධ කාමගුණ ඇති ඒකරාජ ජාතක යැ, යළි දද්දර ජාතක යැ, පාපකාරීහට රහස් නැති සේ කී සීලවිමංස ජාතක යැ, (කෝලි) සුජාතා ජාතක යැ, පලාස ජාතක යැ, අකරම්හසෙ යනාදිය කී ජවසකුණ ජාතක යැ, චරිමවත දැක්වූ ඡවක ජාතක යැ, (සමුද්දවර) සය්හ ජාතකයෙන් දසය වේ.
2. පුචිමන්ද වර්‍ගය
548. චෞරය නැගිටුව. කුමට වැදහෙයි ද? වැදහීමෙන් තට කවර ප්‍රයෝජනයෙක් ද? ගමෙහි දරුණුකම් කළ තා රජදරුවෝ අල්ලා නො ගනිත්වා.
549. ගමෙහි දරුණුකම් කළ සොරා අල්ලා ගනිති. යන යමෙක් වේ ද (එයින්) වනයෙහි ඉපිද සිටිනා වූ කොහොඹ ගසට එහි ලා කුමක් වේ ද?
550. අස්වත්‍ථය, මාගේ ද සොරාගේ ද අතර (වෙනස) ඔබ නො දන්නෙහි ය. ගමේ අපරාධ කළ සොරහු රජදරුවෝ ගෙන කොහොඹ උලෙහි තබත්. මාගේ සිත එකරුණෙහි ලා සැක කෙරේ.
551. සැක කටයුත්තන් සැක කරන්නේ යැ. නො පැමිණි බිය රක්නේ යැ. අනාගත භය හේතු කොටගෙන ප්‍රාඥයා දෙලොව බලයි.
1. පුචිමන්ද ජාතක යි.
552. කාශ්‍යපය, ළදරුවා ළදරු බව නිසා බැණීම හෝ පහර දීම හෝ කෙරෙයි. ඒ සියල්ල නුවණැත්තා ඉවසයි. පණ්ඩිතයා එය කමා කෙරෙයි.
553. ඉදින් (වනාහි) සත්පුරුෂයෝ විවාද කෙරෙත් නමුදු, වහා එකතු වෙති. නැවත බාලයෝ (මැටි) පාත්‍ර මෙන් බිඳෙති. ඔවුහු සන්හිඳීමට නො පැමිණෙති.
554. යමෙක් තමා මැඩගෙන උපන් ද්වේෂය දනී ද, යමෙක් වරද දෙසීම පිළිගන්නා සේ දනි. මොවුහු නැවත එකතු වෙති. ඔවුන්ගේ මිතුරුකම නො නැසේ.
555. යමෙක් ද්වේෂයෙන් දූෂිත වූ මෙරමාගේ සන්‍ධානය කරන්නට (සමගි කරන්නට) තෙමේ සුදුසු වේ ද මෙතෙම වනාහි උත්තරීතර වෙයි. භාරෝද්වහනය කරන්නේ ද වේ. ධුරන්‍ධර ද වෙයි.
2. කස්සපමන්‍දිය ජාතක යි.
556. මහාවීරයාණෙනි, යමෙක් ඔබගේ අත් පා කන් නාසා කැප්පී ද ඔහුට කිපෙන්නේ මැනැවි. මේ රට විනාස නො කරව.
557. යමෙක් මගේ අත් පා කන් නාසා කැප්පී ද ඒ රජ සැරදේවා! මා වැන්නෝ නො කිපෙත්.
558. අතීත කාලයේ ඉවැසීමේ අගය ප්‍රකාශ කරන ශ්‍රමණයෙක් විය. ඉවැසීමේ ම පිහිටි ඔහු කසී රජ ඡේදනය කරවී.
559. නිරයේ පිහිටි (හෙවත් උපන්) කසීරජ යම් දුකක් වින්දේ ද එය කර්‍කශ විය. එය පරුෂ වූ ඒ කර්‍මයාගේ විපාක යි.
3. ඛන්තිවාදී ජාතක යි.
560. යම්බඳු අපි වස්තු විද්‍යමාන කල්හි නො දුන්නමෝ ද එහෙයින් භෝග ඇති කල්හි තමහට ප්‍රතිෂ්ඨාවක් නො කළමෝ ද මෙසේ නපුරු ජීවිකාවෙන් ජීවත් වූම්හ.
561. සර්‍වප්‍රකාරයෙන් අවුරුදු හැටදහසෙක් පිරිණි. නිරෑහි පැසෙන (අපට) කවදා (මේ දුකේ) කෙළවරෙක් වේ ද?
562. නිදුකාණෙනි, මා විසිනු දු තා විසිනු දු එකල්හි බොහෝ පාපකර්‍ම කරන ලද. මේ දුකෙහි කෙළවරෙක් නැත. කවර අවසානයෙක් ද? කෙළවරෙක් නො පැනේ.
563. ඒ මම මින් (සැව) ගොස් මිනිස් දිවියක් ලදින් ත්‍යාගශීලි වූයෙම් සිල්සපන් වූයෙම් ඒකාන්තයෙන් බොහෝ කුසල් කෙරෙමි.
4. ලෝහකුම්භි ජාතක යි.
564. යහළුව ඉල්ලන්නෙක් වෙහි. එකැතින් ඔබේ වචන පරුෂ ය. තොපගේ වචන දළබුවට (ශරීරයේ කොටසක්) සමාන ය. එහෙයින් තොපට දළබුව දෙමි.
565. ලෝකයේ මනුෂ්‍යයන්ට සහෝදරයා යන මේ සම්මුතිය (ශරීරයේ) අංගයකැ යි කියනු ලැබේ. මිතුර තොපගේ වචන අංග සමාන ය. එහෙයින් තොප ශරීරාංගයක් දෙමි.
566. පුතා පියාය යි කියන්නේ පියාගේ හදවත කම්පා කෙරේ. තොපගේ තෙපුල් හදවතට සමාන ය. (කථාව මිහිරි ය.) එහෙයින් තොපට හෘදයමාංශය දෙමි.
567. යමකුගේ ගමෙහි මිතුරෙක් නැද්ද. ඒ මිතුරන් නැති ගම අරණ්‍යයක් වැනි ය. තොපගේ මධුර වචන තමා සතු සියලු වස්තුවට සමාන ය. එහෙයින් සියලු මස් ගැල ම තොපට දෙමි.
5. මාංශ ජාතක යි.
568. බමුණ, දියෙන් ගොඩ ලූ රේමස්හු සත් දෙනෙක් ඇත. මේ මත්ස්‍යාහාර අනුභව කොට වනයෙහි වාස කරව.
569. අපට නුදුරෙහි තෙල කුඹුරු රක්නහුට රෑබතට ගෙනා පැලහූ මස්හුල් දෙකක් ද තලගොයෙක් ද දීකිරි කළයෙක් ද ඇත. මෙය වළඳා වෙනෙහි වසන්න.
570. බමුණ, ඉදුණු අඹ පලයෙක් ද සිහිල් දිය ද මනරම් සිහිල් සෙවණ ද මට ඇත. මෙය වළඳා වෙනෙහි වාස කරව.
571. සාවකුට තල නැත. මුං සහල් නැත. මේ ගින්නෙන් පැලැහුණු මා වළඳා වෙනෙහි වාසය කරව.
6. සස ජාතක යි.
572. මළහු මළහු ගෙනැ ම හඬවු. යමෙක් මියයන්නේ ද ඒ මරණනියතය ගැනැ නො හඬවු. සිරුරු දරන හැමදෙනම අනුක්‍රමයෙන් තම තමන්ගේ දිවි හරනාහු වෙති.
573. දෙවිමිනිස්හු ද සිවුපාවෝ ද පක්‍ෂි සමූහයා ද භොග ඇත්තෝ ද සිය සිරුරෙහි ආධිපත්‍යය නැති ව තමතමන් උපන් අත්බැව්හිත් ඇලුම් ඇති ව දිවි හරනාහු වෙති.
574. මෙසේ තුන් භවයෙහි නිශ්චලතාවක් සංස්ථානයක් නැතියෙන් සලිත වූ නො පිහිටි සැපදුක් මනුෂ්‍යයන් කෙරෙහි අපේක්‍ෂා කොට ගෙන හැඬීම වැලපීම නිරර්‍ත්‍ථක ය. ශෝක රාශීහු තොප කුමට මැඩපියද්ද?
575. ධූර්‍තවූ ලොල් වූ සිප්සතර පුරුදු නො කළා වූ මෝඩ වූ නො කටයුත්තෙහි ශූර වූ, ධර්‍මයෙහි අදක්‍ෂ වූ යම් කෙනෙක් වෙද්ද ඔව්හු මා මෝඩයෙකැ යි සිතති.
7. මතරෝදන ජාතක යි.
576. වසන්ත කාලයේ රක්ත වර්‍ණය ඇති කණේරු වෙනෙහි දී ඔබ සාමා නමැති යම් ස්ත්‍රියක් බාහුයෙන් පෙළී ද ඕ තොමෝ තොපට අරෝග බව කිව.
577. පින්වත, සුළඟ පර්‍වතයක් (තණපතක් සේ) පා කර හරින්නේ නම් එය විශ්වාස කළ නො හේ ම ය. ඉදින් සුළඟ පර්‍වතයක් පා කරා නම් පොළොව ද පා කරයි. යම් තැනෙකැ සාමා මරණයට පත් වූ ද ඕතොමෝ මට අරෝග බව කිව යනු දු නො විය හේ මැ යි.
578. සාමා කලුරිය නො කළා ය. ඕ තොමෝ අනිකකු නො කැමැත්තී ය. ඒකභක්තික වූ සාමා තොප ම පතන්නී ය.
579. සාමා සංසර්‍ගයක් නො කළා වූ අස්ථිර වූ මා දිගු කලක් සංසර්‍ග කළ ස්ථිර සැමියාගෙන් පිරිවට (හුවමාරු) කළා සාමා මා කරණකොටගෙන ද අනෙකකු පිරිවට ගන්නී ය. මම මෙතැනිනුත් ඉතා ඈතට යන්නෙමි.
8. කණවේර ජාතක යි.
580. ස්වාමීනි, ඒකාන්තයෙන් ඉතා සුවසේ ජීවත් වෙමි. කෑම ද ලබමි. එහෙත් උපද්‍රවයෙහි සිටිමි. මට කවර පිහිටක් ද?
581. පක්‍ෂිය, තොපගේ සිත පාපක්‍රියාවට නො නැමේ. පාප කර්‍මයෙහි නො යෙදෙන යහපත් පැවතුම් ඇති තොපට පාපය නො ඇලේ. (හෙවත් පාපයක් නැත).
582. අපේ නෑයෙක් හුන්නේ යයි බොහෝ දෙනා (පක්‍ෂීහු) එති. මා නිසා ප්‍රාණඝාත අකුශලය ලබයි. මගේ සිත (මේ කරුණෙහි ලා) සැක කෙරේ.
583. ඉදින් තොපගේ සිත අදූෂිත නම් (වධක චේතනා නැති නම්) තා නිසා ප්‍රාණඝාත කර්‍මය සිදු නො වේ. පාපකර්‍මයට උත්සාහ රහිත වූ පැවැත්ම ඇතියාට පාපය නො ඇලේ. (හෙවත් පාපය සිදු නො වේ.)
9. තිත්තිර ජාතක යි.
584. වචනමාත්‍රයෙන් දිය හැකි ව තිබියදී ද දෙන්නට පිළිවන් දෙය ඒකාන්තයෙන් නුදුන්නේ ය. වචනමාත්‍රයෙන් රන්මුවා පව්ව දෙන ඔහුට කවර හානියක් ද? එහෙත් වචනමාත්‍රයෙන් නුදුන්නේ ය.
585. යමක් කරන්නේ ද එය කියන්නේ ය. යමක් නො කරන්නේ ද එය නො කියන්නේ ය. දානාදි පුණ්‍යක්‍රියා නො කරන බොරු කියන්නවුන් පඬිවරු දැනගනිත්.
586. රාජපුත්‍රය, සත්‍යවචනයෙහි ද ස්වාභාවධර්‍මයෙහි ද පිහිටි යම්බඳු ඔබ විපතට පැමිණියේ වුව ද (ඔබේ) සිත සත්‍යකතායෙහි ම ඇලේ. එහෙයින් තොපට නමස්කාර වේවා.
587. යම් ස්ත්‍රියක් දිළිඳු සැමියාට දිළිඳු බිරිඳ වී ද ධනවත් සැමියාට ධනවත් බිරිඳ වී ද කීර්තිය ඇති ඕ තොමෝ මොහුගේ උතුම් වූ බිරිඳ ය. රන්රුවන් ආදි ඉසුරු ඇතියහුට ස්ත්‍රීහු වෙති. (ඒ ආශ්චර්‍ය්‍ය නො වේ.)
10. සුච්චජ ජාතක යි.
දෙවෙනි පුචිමන්ද වර්‍ග යි.
එහි උද්දාන:
සොරකු සඳහන් කරන පුචිමන්ද ජාතක යැ, කස්සපමන්‍දිය ජාතකය, සහිත උතුම් ක්‍ෂාන්තිවාදී ජාතක යැ, දුට්ඨ ජීවිත ඇති ලෝහකුම්භි ජාතක යැ, පරුෂාදී වචන ඇති මංස ජාතක යැ, යළි සස ජාතක හා (මතංච) මත රෝදන ජාතකය ද වසන්ත සමය කියන කණවේර ජාතක යැ, (සුඛං) තිත්තිර ජාතක යැ, සුච්චජ ජාතකයෙන් දසය වේ.
3. කුටිදූසක වර්‍ගය
588. වානරය, තොපගේ හිස ද අත්පාද මිනිසකුට සමාන ය. එසේ කලැ කවර නම් කාරණයෙකින් තොපට ගෙයක් නැත් ද?
589. සිංගිලය, මගේ හිස ද අත්පාද මනුෂ්‍යයකුගේ වැනි ය. මනුෂ්‍යයන් කෙරෙහි යමක් ශ්‍රේෂ්ඨය යි කියත් ද. ඒ ශ්‍රේෂ්ඨ වූ ප්‍රඥාව මට නැත.
590. එක අරමුණෙක නො පවත්නා වහා වෙනස්වන සිත් ඇති මිත්‍රද්‍රෝහි වූ අස්ථිර ගති ඇත්තාට පවිත්‍ර බවක් නැත.
591. වඳුර ප්‍රඥාව ලැබෙන උපායක් කරව. දුසිල් බව (නො හික්මුණ ගතිය) දුරු කරව. සීතවාත පරිත්‍රාණයට සමර්‍ත්‍ථ කැදැල්ලක් කරව.
1. කුටිදූසක ජාතක යි.
592. ඔබට සෙතක් වේවා! මම යම් දෙසෙක වෙසෙම් ද එහි දද්දභ යන හඬ කෙරෙයි. මම ද මෙය නො දනිමි. කවර කරුණෙකින් දද්දභ යන මේ හඬ කෙරේ ද?
593. වැටුණ බෙලිගෙඩියේ හඬ අසා සාවා දද්දභ යයි (කියා දිව්වේ ය.) සාවාගේ වචනය අසා තැතිගත් දහස් ගණන් මෘග සේනාව ද දිවූ.
594. විඤ්ඤාණපදයට නො පැමිණ (කනින් නො අසා) පරඝෝෂය අනුව යන පරතෝඝෝෂ සඛ්ඛ්‍යාත ප්‍රමාදය පරම කොට ඇති ඒ අන්‍ධබාලයෝ අනුන්ගේ වචන හදහා කරන්නෝ වෙති.
595. යම් කෙනෙක් ආර්‍ය සීලයෙන් සමෘද්ධ වූවාහු මාර්‍ග ඥානයෙන් කෙලෙසුන් සන්හිඳුවා ලීමෙහි ඇලුණාහු වෙත්ද පාප ක්‍රියායෙන් දුරු වූ වෙන් වූ ඒ පණ්ඩිතයෝ ප්‍රත්‍යක්‍ෂ බැවින් මෙරමා බස් විශ්වාස නො කෙරෙති.
2. දද්දභ ජාතක යි.
596. බඹදත් රජතුමනි, යාච්ඤා කරන්නේ වස්තුව ලැබීමට හෝ නො ලැබීමට යන මේ දෙකට පැමිණෙයි. යාච්ඤාව මෙබඳු ස්වභාව ඇත්තේ ය.
597. පංචාලේශ්වරය, ඉල්ලීම හැඬීමකැ යි පුරාතනයෝ කීහ. යමෙක් ඉල්ලීම ප්‍රතික්‍ෂේප කෙරේ ද එය පෙරළා හැඬීමකැ යි කීහ.
598. රැස්ව සිටින පංචාලරට වැසියෝ හඬන මා ද පෙරළා හඬන ඔබ ද නො දකිත්වා. එහෙයින් මම රහස් කැමැත්තෙමි. (හෙවත් රහසිගත ව සිටිනු කැමැත්තෙමි.)
599. බමුණ, වෘෂභයෙකු හා රතුදෙනුන් දහසක් තොපට දෙමි. සහේතුකව (ඔබ) කී ගාථාවන් අසා ආර්‍ය්‍යයෙක් ආර්‍ය වූ තොපට කුමක් හෙයින් නො දෙන්නේ ද?
3. බ්‍රහ්මදත්ත ජාතක යි.
600. යශස්වී වූ යම් බැටළුවෙක් උතුම් ජාතිය හා මන්ත්‍රයෙන් යුතු (මන්ත්‍ර දන්නා) බ්‍රාහ්මණයාට ගරු කෙරේ ද (මේ ගුණයෙන් යුතු) මේ සිවුපාවා ඉතා යහපත් ගති ඇත්තේ උත්තම වූයේ ද හික්මුණේ ද වේ.
601. බමුණ, සිවුපාවා දුටු පමණින් විශ්වාස නො කරව, දැඩි පහරක් දෙනු කැමැති ව පසුබසී. දැඩි පහරක් දෙන්නේ ය.
602. කලවා ඇටය කැඩිණි. තවුස්පිරිකර වැටිණි. තවුසාගේ තවුස්පිරිකර සියල්ල කැඩී බිඳී ගියේ ය. තවුසා නසනු ලැබේ. තෙපි ඉදිරියට දුවව යි (පිරිස කියමින්) දෙ අත් නඟා ගෙන හඬයි.
603. නුවණ නැති මම අද බැටළුවා විසින් පහර දෙන ලදුව යම්සේ නටුයෙම් ද එසේ යමෙක් පූජාර්‍හ නො වූවහුට නමදී ද හෙතෙම මැරී හෝනේ යි.
4. චම්මසාටක ජාතක යි.
604. අසංයත වූ තා ශ්‍රමණයෙකැ යි සිතමින් ලඟට ආවෙමි. හෙතෙම අශ්‍රමණයකු මෙන් මට දණ්ඩකින් පහර දුනි.
605. අඥානය, තට ජටා කුමට ද? තට අඳුන් දිවිසම් කුමට ද? තාගේ අභ්‍යන්තරය කෙලෙසුන්ගෙන් ගහන ය. එසේ වුව ද (සිරුර) ඔප කරන්නෙහි ය.
606. ගෝධය, මෙහි එව නවතුව, ඇල්හාලේ බත බුදිනු. (තවත්) බොහෝ තලතෙල්, ලුණු, වගපුල් මට ඇත.
607. ඒ මම පතපෝරිස ප්‍රමාණය වූ තුඹසකට යලිත් ඇතුළු වෙමි. තලතෙල් ලුණු ඇතැ යි කියහි. වගපූල් ආදිය මට අපථ්‍ය යි.
5. ගෝධ ජාතක යි.
608. යමෙක් කයින් සොරකම් නො කෙරේ ද, වචනයෙන් බොරු නො කියා ද, යශස් ලැබැ මත් නො වේ ද, හෙතෙම ඒකාන්තයෙන් දිව කැකිරිමල් පළඳින්නට සුදුසුය.
609. දැහැමින් ධනය සපයන්නේ ය. කපටි කමෙන් ධනය රැස් නො කරන්නේය. වස්තුව ලැබැ මත් නොවන්නේ ය. හෙතෙම ඒකාන්තයෙන් දිවකැකිරිමල් පළඳින්නට සුදුසු ය.
610. යමකුගේ සිත කහපැහැය සේ ඉක්මනින් වෙනස් නො වේ ද ස්වල්ප හේතුවක් නිසා ශ්‍රද්ධාව නො බිඳේ ද රසවත් ආහාර ලැබැ තනි ව නො බුදී ද හෙතෙම ඒකාන්තයෙන් කැකිරිමල් පළඳින්නට සුදුසු ය.
611. යමෙක් අභිමුඛයේ හෝ අනභිමුඛයේ සත්පුරුෂයන්ට පරිභව නො කෙරේ ද යථාවා දී තථාකාරී වේ ද හෙතෙම ඒකාන්තයෙන් කැකිරිමල් පළඳින්නට සුදුසු ය.
6. කක්කාරු ජාතක යි.
612. යම් ගුරුළු භවනයෙකැ මගේ ප්‍රියාව වාස කෙරේ ද එයින් මේ සුවඳ හමයි. යමක් කෙරෙහි මගේ සිත ඇලුණේ ද ඒ කාකාතිය මෙයින් ඈත ය.
613. මුහුද තරණය කෙළේ කෙසේ ද, කෙබුක ගංගාව තරණය කෙළේ කෙසේ ද, සත් සමුදුර තරණය කෙළේ කෙසේ ද, ඉඹුල් ගසට කෙසේ නැංගේ ද?
614. තා නිසා මුහුද තරණය කෙළෙමි. තා නිසා කෙබුක ගඟ තරණය කෙළෙමි. තා නිසා සත්සමුදුර තරණය කෙළෙමි. තා නිසා ඉඹුල්ගසට නැංගෙමි.
615. යම් හෙයෙකින් මාගේ ප්‍රියාවගේ සොරසැමියා මම යම් තැනෙක උසුලා ගෙන ගියෙම් ද, යලිත් උසුලා ගෙන ආවෙම් ද, මහත් සිරුර ඇති මට නින්‍දා වේවා. සිරුර විශාල බැවින් සැහැල්ලු බව හා බර බව නො දැනෙන මට නින්‍දා වේවා.
7. කාකාතී ජාතක යි.
616. මේ පින්වතී (අප හැර දැන්) බොහෝ වූ මළවුන් අතරේ ඇත. ඔවුන් හා වෙසෙන තෙල තැනැත්තී මට කවරක් වන්නී ද? එහෙයින් ප්‍රිය වූ තෙල සම්මිල්ලභාසිනියට ශෝක නො කරමි.
617. ඉදින් ඒ ශෝක කරන්නාහුගේ යම් යම් දැයක් නිරුද්ධ වී ද, ඒ ඒ දැය ගෙන ශෝක කෙරේ නම් හැම මොහොතක ම මරු වසඟයට යන්නා වූ තමා ගැන ද ශෝක කරන්නේ යැ.
618. ආයුසංස්කාරය සිටින්නහු අනුව නො නැවතී යයි. හුන්නහු අනුව නො නැවතී යයි. සයනය කරන්නහු අනුව නො නැවතී යයි. වැදැහෙව සිටින්නහු අනුව නො නැවතී යයි. ඇසිපිය හෙළන තරම් සුලු කාලය තුළ දී ද වයස ගෙවී යයි.
619. එහි ලා තමා (වයසින්) අර්‍ධ වැ සිටි කල්හි (ජීවිතයෙන්) වෙන්වීම නිසැක කල්හි සෙසු ජීවීන් ගැන මෛත්‍රී කළයුතු යැ. මළහු ගෙනැ ශෝක නො කටයුතු.
8. අනනුසොචිය ජාතක යි.
620. රාධයෙනි, පෙරැ මේ රජු සමීපයෙන් යම් ආහාරපානයක් ලබමෝ ද, දැන් එය වඳුරකු කරා යයි. එහෙයින් ධනංජය රජු විසින් නො සලකා හරන ලදුවම්හ. දැන් වනයට ම යම්හ යි.
621. පොට්ඨපාදය, ලාභ, අලාභ, අයස, යස, නින්‍දා, ප්‍රශංසා, සුව, දුක් යන මේ අටලෝදහම් මිනිසුන් කෙරෙහි අනිත්‍යය වේ. ශෝක නොකර කුමට ශෝක කෙරෙහි ද?
622. රාධයෙනි, තෙපි ඒකාන්තයෙන් පණ්ඩිතයවු. මතු වන්නා වූ දෙය දන්නහු ය. රජ මැදුරෙන් පලවා හැරි හීන වඳුරා කෙසේ දකිමු ද?