Jātaka

Birth Stories

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-29 · 7679 segments

පෙන්වන කොටස් 901-1000 න් 7679

5. කුම්භ වර්‍ගය
478. සියලු වස්තු කාමයන් දීමට සමත් කළය ලැබ ධූර්‍තයා යම්තාක් කල් රකී ද ඒතාක් සුව වඩා.
479. යම් කලෙක සුරාමදයෙන් මත් වූයේ උඩඟු වූයේ සැලැකිලි රහිත වූයේ කළය බින්දේ ද? ඉක්බිති නග්න වූ කඩමාලු හැන්දා වූ මූඪයා පසුව වැනැසේ ද.
480. එපරිදි යමෙක් ධනය ලැබැ පමණ නොදැනැ පරිභෝග කෙරේ ද ඒ අනුවණයා භද්‍රඝටය බිඳ ගත් ධූර්‍තයා සේ පසුව තැවේ.
1. භද්‍රඝට ජාතක යි.
481. මහරජ බරණැස්නුවර නිවැසි අසූදහසක් පමණ කවුඩුවන් පිරිවරා ගත් සුපත්ත නමැති කවුඩු රජෙක් ඇත.
482. ඔහට දොළදුක් ඇති සුඵස්සා නම් බිරිඳ රජුගේ මුළුතැන් ගෙයි පිසූ අළුත් වූ නොහොත් වෙන වෙන මහඇගි වූ රාජ භෝජනය අනුභව කරන්නට කැමැත්තී ය.
483. මම ඔවුන්ගේ දූතියෙක්මි. රජතුමා විසින් මෙහෙයවන ලද්දෙම් මෙහි ආයෙමි. සිය සැමියාට සත්කාර කෙරෙමි, එහෙයින් මේවඩන්නාගේ නාසයෙහි වණය කෙළෙමි.
2. සුපත්ත ජාතක යි.
484. එක්තරා රෝගයෙකින් දැඩි වැ පහරනලද එහෙයින් ම දුඃඛිත වූ පෙළන ලද මාගේ මේ සිරුර අව් පහරන වැල්ලෙහි ලූ මලක් මෙන් වහා වියැළේ.
485. මනාප නො වූ (බාලයන් විසින්) මනාප යැ යි සංඛ්‍යාවට ගිය අපවිත්‍ර වූ පවිත්‍ර යැ යි සම්මත වූ කේශාදි නොයෙක් කුණපයෙන් පිරිපුන් මේ සිරුර නුවණින් නො දක්නාහට මනාප ස්වරූපයෙන් වැටහෙන්නේ ය.
486. යම් ශරීරයෙක්හි (ක්ලේශමූර්ඡායෙන්) අතිශයින් මුසපත් වූ ප්‍රජාවෝ සුගතියෙහි උපතට මඟ පිරිහෙළත් ද, එසේ වූ නිති ගිලන් වූ පිළිකුල් කටයුතු වූ අපවිත්‍ර වූ ව්‍යාධිස්වභාවය ඇති මේ කුණුකයට නින්‍දා වේවා!
3. කායවිච්ඡන්‍ද ජාතක යි.
487. බින්‍දු (පිඬු වූ) ස්වර ඇතියේ මධුර නාද ඇතියේ හඬන්නවුන් අතුරෙන් උතුම් වූයේ ජම්බු අත්තක හිඳ මොනර පැටියකු සේ නාද කරන්නේ කවරෙක් ද?
488. කුලපුතුන් පසසන්නට කුලපුතෙක් ම දනී. වග පොව්වකු සමාන පැහැයෙන් යුත් මිතුර තෙපි (දඹ) අනුභව කරන්න. තොපට දෙමි.
489. බොරු කියන, හමුවූ කලැ ඔවුනොවුන් පසසාගන්නා වූ වමනය කන්නා වූ කවුඩා ද මළකුණු කන හිවලා ද බොහෝ කලෙකින් දකිමි.
4. ජම්බුඛාදක ජාතක යි.
490. තොපගේ කඳ වෘෂභරාජයකුගේ වැන්න, විජෘම්භණය සිංහයකුගේ මෙනි. මෘගරාජය තොපට නමස්කාර වේවා! කිසිවක් ලබමෝ නම් මැනවි.
491. කුලපුතුන් පසසන්නට කුලපුතෙක් ම දනී. මොනරකු ගේ ගෙල බඳු ගෙලැති කවුඩාණෙනි මෙහි එන්න.
492. මෘගයන් අතුරෙන් හිවලා හීන යැ, පක්‍ෂීන් අතුරෙන් කවුඩා හීන යැ, වෘක්‍ෂයන් අතුරෙන් එරඬුගස හීන යැ. හීනයෝ තිදෙනෙක් එක්වූහ.
5. අන්ත ජාතක යි.
493. ලවණජලයෙහි හාත්පසැ දුවයි. මාලුවන් හා මෝරුන් වළකයි. රැලෙහි ද ගැටේ. මේ කවරෙක් ද?
494. ගංගාවන්ට ස්වාමි වූ මුහුද බොන්නට රිස්සෙමි. එහෙයින් අනන්තපායී පක්‍ෂියා වෙමි. සපුරන්නට නො හැකි ආශාවෙන් යුත් හෙයින් අතෘප්ත යයි දිශාවන්හි ප්‍රසිද්ධ වෙමි.
495. මේ සාගරය දිය බස්නා වේලායෙහි බසී. වැඩෙන වේලායෙහි පිරෙයි. සාගරය බීමෙන් අඩු නො වේ. එහෙයින් සයුර අපෙය (ක්‍ෂයකොට පානය කළ නො හැකි) වේ.
6. සමුද්ද ජාතක යි.
496. උස තන්හි පියාඹන්නා වූ පක්‍ෂිය, පියාපත් යාන කොට ඇති පක්‍ෂිය, තා කෙසෙල් කඳක් වැනි මනා කලවා ඇති තැනැත්තියට මා උලැ උන්බව කියව. ඇය බොහෝ කලෙකැ සිට සිහි කෙරේ.
497. කඩුවට හා තෙබට සමාන වූ හුලැ නගනා ලද බව ඕ තොමෝ නො දනී. චණ්ඩ වූ ඇය මට ක්‍රෝධ කරයි. ඇගේ කෝපය මා තවයි. උල ඇති දුක මා නො තවයි.
498. හිස්දොරැ තැබූ උපුලක් සමාන මේ සන්නාහය ද රන් නිකෙකින් කළ මුද්ද ද කසී වස්ත්‍ර යුග්මය ද ඇත. වස්තුව රිසි මාගේ ප්‍රියාව මෙයින් තෘප්තිමත් වේවා.
7. කාමවිලාප ජාතක යි.
499. විලිකුන් පල ඇති දිඹුල්, නුග, ගිවුලු යන මේ ගස් පල බරින් නැමී ඇත. තෝ ද ගොස් අනුභව කරව. සාගින්නේ මියැයනුයේ කිම?
500. අද මම රුක්ඵල කා සුවපත් වීම් ද එලෙස යමෙක් වැඩිමහල්ලන් පුදා ද ඒ පුරුෂයා සුවපත් වේ.
501. වනයේ උපන් වඳුරා වනයේ උපන් වඳුරාට යම් රැවටීමක් කරන්නේ ද එය තා වැනි ළදරු වඳුරෙක් නො අදහන්නේ ය. ජරපත් මා වැනි මහලු වඳුරෙක් නො අදහන්නේ මැ යි.
8. උදුම්බර ජාතක යි.
502. කොළ වඳුර, පෙර තෝ කෙළිලොල් අප හමුයෙහි පැනපැනැ, කෙළනෙහි අපගේ අසපුවෙහි දී වැඳිරිමුහුණ පෙන්නීම ආදී ක්‍රීඩා කරව. වානරය ක්‍රීඩා ප්‍රකෘතික වූ තා කෙරෙහි අපි නො ඇලෙම්හ. එයට කරුණු කිම.
503. ඇවැත්නි, බහුශ්‍රුත වූ කෝමායපුත්තගේ උසස් ධ්‍යාන විශුද්ධි මා විසින් අසන ලද. තෙපි පෙර පරිදි මා පිළිබඳ ව නො සිතව. ධ්‍යාන ඇති ව වසමු.
504. වානරය, ඉදින් ගල්තලායෙහි බීජ වපුරන්නාහු ද වැසි වලා ද මැනවින් වස්නේ නමුදු ඒ (අක්‍ෂේත්‍රයෙහි) වපුළ බීජය නො මැ හටගන්නේ ය. (එහෙයින් මැ) ඔවුන්ගේ අත්‍යුත්තම විසුද්ධි අසනලද නමුදු තෙපි ධ්‍යාන භූමියෙන් දුරු වවු.
9. කෝමායපුත්ත ජාතක යි.
505. පරපණ නැසීමෙන් මස් ලේ අනුභව කොට ජීවත් වන්නා වූ වෘකයා පෙහෙවස් සමාදන් විය.
506. ශක්‍රයා ඔහුගේ ව්‍රතය දැනැ එළු වෙසින් ළඟට ආවේය. (එකෙණෙහි) තපස පහව ගියේ ලේ බොන හේ තපස බිඳගති.
507. එපරිදි මෙලොවැ ඇතැම් කෙනෙක් සමාදන් වූ සීලය රැක ගැනීමට (දුබල නොහොත්) සමත් නො වෙති. එළුවා නිසා සැහැල්ලු බවට පත් වෘකයා මෙන් තමා සැහැල්ලු කෙරෙති.
10. වක ජාතක යි.
පස්වැනි කුම්භවර්‍ග යි.
එහි උද්දානය:
(වරකුම්භ) භද්‍රඝට ජාතක යැ, සුපත්ත ජාතක යැ, දැහැන් සිරි කැඳ වූ කායවිච්ඡන්‍ද ජාතක යැ, (සුචිසම්මත) ජම්බුඛාදක ජාතක යැ, සිවලාට පැසසූ අන්ත ජාතක යැ, (සරිතංපති) සමුද්ද ජාතක යැ, චණ්ඩ වූ ස්ත්‍රියක් ඇති කාම විලාප ජාතක යැ, වඳුරකු දැක්වෙන උදුම්බර ජාතක යැ, වක ජාතකයෙන් දසය වේ.
තික නිපාතය නිමි.
වර්‍ග උද්දානය:
සඞ්කප්ප වර්‍ග යැ, පදුම ජාතකය ආදි වූ කෝසිය වර්‍ග යැ, උදපාන දූසක ජාතකය ආදි කොට ඇති අරඤ්ඤ වර්‍ග යැ, අබ්භන්තර වර්‍ග යැ, කුම්භ වර්‍ගය යන පඤ්ච වර්‍ගය තික නිපාතයෙහි සැරැසී සිටියේ යි.
4. චතුක්ක නිපාතය
1. විවර වර්‍ගය
508. මොවුන්ට නගරයට පිවිසෙන්නට දොර හරිවු. අස්සකරට අරුණ රජුගේ ශ්‍රේෂ්ඨ පුරුෂයා වූ ද මැනැවින් අනුශාසනා කළා වූ ද නන්‍දිසේන නමැති මා විසින් මනාලෙස රැකි නගරයට (පිවිසේත්වා)
509. දුස්සහ වූ භය ඉවසනසුලු කලිඟුරට වැසියනට ජය වෙයි. අස්සකරට වැසියන විනාශයට හා පරාජය වේ යයි තොප විසින් මෙසේ කියන ලද තපස්විය ඍජු වූවෝ බොරු නො කියත්.
510. ශක්‍රය දෙවියෝ මුසාවා ඉක්ම සිටියහ. (බොරු නො කියති) ඔවුන් කෙරෙහි සත්‍යය උතුම් ධනය වෙයි. දිව්‍ය රාජය, මඝවය, මහේන්‍ද්‍රය තොප විසින් ඒ බොරුව කුමක් හෙයින් කියන ලද ද?
511. බමුණ ඒ ඒ තැන කියනා කල්හි තොප විසින් අසන ලද නො වේ ද? දෙවියෝ පුරුෂ ධෛර්‍ය්‍යයට ඊෂ‍්‍යා නො කෙරෙති. ආත්ම දමනය ද චිත්ත සමාධිය ද චිත්තයාගේ එකඟකම නො විසුළ බව ද සුදුසු අවස්ථාවෙහි ඉදිරියට යාම ද දැඩි උත්සාහය ද වීර්‍ය්‍යය ද (යන මේ) හෙතූන් නිසා අස්සකරට වාසීන්ට ජය අත් විය.
1. චුල්ලකාලිංග ජාතක යි.
512. දානාර්‍හ නො වන්නන් කෙරෙහි දන් දෙනුයේ දානාර්‍හයන් කෙරෙහි නො දේ ද, හේ ආපදායෙහි ව්‍යසයනට පැමිණියේ ඒ පුද්ගලයා විපතට සහායයකු නො ලබයි.
513. යමෙක් දානාර්‍හ නො වන්නන් කෙරෙහි දන් නො දේ ද, දානාර්‍හයන් කෙරෙහි පරිත්‍යාග කෙරේ ද ඒ පුද්ගල ආපදායෙහි විපතට පැමිණියේ මිතුරකු ලබයි.
514. අනාර්‍ය්‍ය ස්වභාවය ඇති කපටයන් හා එක්වීමත් එක් ව ක්‍රියා කිරීමත් (උපකාර වශයෙන් කරන දෙය) දියෙහි ඇඳි ඉරක් සේ වහා නසී. කළ ගුණ දන්නා වූ ඍජු වූ ශ්‍රේෂ්ඨ පුද්ගලයන්ට කළ උපකාරය සුළු වුවත් දෙලොවින් ම මහත් ප්‍රයෝජන වේ.
515. යමෙක් පෙර (උපකාර ඉල්ලන්නට පළමු ව) යමකුට උපකාර කෙළේ ද හේ ලොවෙහි දුෂ්කරයක් කෙළේ වෙයි. (උපකාර ලද පුඟුලා පෙරළා උපකාර කළේ හෝ නො කෙළේ හෝ) උපකාර කළ පුඟුලා පිදුම් ලබන්නට ඉතා සුදුසු වේ.
2. මහාඅස්සාරෝහ ජාතක යි.
516. ඒකරාජය, පෙරැ තෙපි නිරුත්තර වූ සමෘද්ධ වූ පස් කම් ගුණයන් අනුභව කොට (හෙවත් විඳිමින්) විසුවහ. දැන් ඒ තෙපි නරාවළ බහාලන ලද්දහු (නමුදු) පැරැණි ගුණවත්කම හා (ධ්‍යාන) බලය නො හරනහු.
517. දබ්බසේනය, මා විසින් කැලැ මැ ඉවැසීම හා තපස හා පතන ලද රජතුමනි, එය දැන් ලදින් පැරැණි ගුණවත් කම හා (ධ්‍යාන) බලය කෙසේ මම හැරපියම් ද?
518. යසැත්තාණෙනි, පැනැත්තාණෙනි, කමන්නාණෙනි, සියල්ල පෙරැ මැ මා විසින් නිමවන ලද. පෙරැ (මම) නොලද උදාර යසස හා මෛත්‍රීධ්‍යානය ලැබැ වර්‍ණය හා බලය නො හරින්නෙමි.
519. ඉවසන්නට නො හැකි දුක් ඉවසන රජතුමනි, දුකෙන් සුවය දුරු කොට, සුවයෙන් දුක දුරු කොට (වෙසෙන) සත් පුරුෂයෝ දෙතැන්හි නිවීගිය සන්තාන ඇතිව සුව දුක් දෙක්හි එක සමාන (කම්පා නොවන හෙයින්) වෙත්.
3. ඒකරාජ ජාතක යි.
520. දද්දරය, මිනිස්ලොවෙහි මැඩියන් කා උදකාන්තයෙහි (දියයට) වසන්නේ ය යන මේ නපුරු වචන මට දුක් උපදවයි. විෂ සහිත මා විෂ නැතියකු සේ (සිතා) (ගම්දරුවෝ) ආක්‍රෝශ කෙරෙති.
521. සිය රටින් නෙරපන ලද තැනැත්තා අන් දනව්වකට ගිය (කැලැ) නොමනා ලෙස කී කථා තබනු සඳහා ගබඩාවක් සාදන්නේ ය. (ඉවසන්නට හිත දියුණු කරන්නේ ය).
522. පුරුෂයා යම් තැනෙක වෙසේ ද එහි දී තමා පිළිබඳ තොරතුරු නො දත් පිරිස අතරේ වෙසෙන කලැ (මෙතරම් වැදගත් මට ජනයා) බුහුමන් නො කෙරෙති යි උඩඟු නොවන්නේ ය.
523. විදේශයෙහි වෙසෙන නුවණැති ගිනි හා සමාන (අනුභාව සම්පන්න) කෙනකු වුවද දාසයකුගේ තර්‍ජනය ද ඉවැසිය යුතු ය.
4. දද්දර ජාතක යි.
524. පව් කරන්නාට ලොවැ රහසෙක් නැත. වනදේවතාවෝ (එය) දකිත්. (එහෙයිනි.) (එහෙත්) මෝඩයා කළ පාපය රහසක් ලෙස සිතයි.
525. පව් කරන්නට යෝග්‍ය රහස් තැනක් මම නො දකිමි. ජන ශූන්‍ය ස්ථානයකුදු නැත. ජන ශුන්‍ය අනෙක් තැනක් යම් තැනෙක නො දකිම් ද එබඳු තැන ශුන්‍ය නො වේය යි මා විසින් කියන ලදී.
526. දුජ්ජච්ච අජච්ච නන්‍ද සුඛවච්ඡ වෙජ්ජ අද්ධුවසීල යන ශිෂ්‍යයෝ ගැහැනුන් ලබාගන්නට තැබූ රිසිය හළුවෝ ය.
527. ඔවුන්ගෙන් පිට කෙනෙකු වන සිල්සපන් බමුණා ඒ ගැහැනියගේ ලැබීම කෙසේ හැරපියන්නේ ද? යමෙක් පන්සිල් දස සිල් රකිමින් ත්‍රිවිධ සුචරිතය මැනැවින් රක්නේ ද එබඳු ධෛර්‍ය්‍යය සම්පන්න පුරුෂයා සීලය රකී.
5. සීලවීමංස ජාතක යි.
528. දේවයන් වහන්ස, රන්තැටියේ තබන ලද රතු පැහැයෙන් යුතු මනා පෙනුමැති මේ ගෙඩි මොනවා ද? විචාරන ලද මට කියනු මැනැව.
529. දේවිය හිසමුඩු කොට කඩමාලු හැඳැ ඇකයෙහි කළ අතැති ව එකතු කළ ගෙඩි වර්‍ගයක් වී නම්, තීගේ කුලයට අයත් ගෙඩි ජාතිය යි මේ.
530. ලෝකුඹු නිරයේ උපන්නියක සේ (මැය), දැවෙන්නේ ය. පින් මඳ හෙයින් රාජසම්පත විඳින්නට සිත නො ඇළේ. ඩෙබර කඩා එකතු කළ තැනට මැය නැවත ගෙන යවු.
531. මහරජ ඉසුරුබර වූ (කලැ) ඉතිරියට මෙබඳු පමා දොස් වෙති. දේවයන් වහන්ස, සමාවන්නේ මැනැවි. රජතුමනි, මේ සුජාතාවට නො කිපෙන්නේ මැනැවි.
6. සුජාතා ජාතක යි.
532. බමුණ, සිත නැති නො ඇසෙන නොදන්න මෙය කෑලගසක් බව දන්නේ ය. (එහෙත්) හැමදා වෑයමෙන් හා සැලකිල්ලෙන් සුවසේ නිදියේ දැ යි විචාරයි. එයට හේතු කවරේ ද?
533. මේ ගස දුර දේශයන්හි ද ප්‍රසිද්ධ ය. විශාල ය. සම බිමෙක පිහිටා ඇත. දෙවියන්ට නිවාසයෙකි. එහෙයින් මේ කෑලගසේ යම් දෙවියෙක් වේ නම් ධනාශාවෙන් නමදිමි.
534. බමුණ, කළ ගුණ දන්නා මම මගේ ශක්තිප්‍රමාණයෙන් තට උපකාර කරන්නෙමි. ඔබගේ විමසීම් විසින් වාක්ඵන්‍දිත ද හැමදීම් ආදි කායඵන්‍දිත ද සත්පුරුෂයන් හමුවේ කෙසේ නිෂ්ඵල වේ ද?
535. තිඹිරිගසෙන් එපිට පළොල්ගස මුලැ වටා සාරා යාග වශයෙන් තැන්පත් කළ නිදන්සැළි ද හිමියෙක් නැති නිධානය ද ගන්න.
7. පලාස ජාතක යි.
536. මෘගරාජය, අපට යම් තරමක බලයක් වී ද ඒ පමණින් ඔබට වැඩ කෙළෙමු. ඔබට නමස්කාර වේවා! කිසිවක් ලබමෝ නම් මැනවි.
537. නිතියෙන් රුදුරුකම් කෙරෙමින් ලේ මස් කන මාගේ දත් අතරට ගොස් නො මැරී ජීවත් වීම ම තා ලද උපකාරය වේ.
538. කළගුණ නො දත් සිය කැමැත්තෙන් උපකාරයකුදු නො කරන උපකාර කළහුට ප්‍රත්‍යුපකාර නො කරන කෙනකු වේ නම්, කළ ගුණ යමකුට නො වේ නම් ඔහුගේ ආශ්‍රය නිෂ්ඵල ය.
539. යමකුගේ හමුවේ කළ ගුණයෙන් මිත්‍රධර්‍මය නො ලැබේ ද, (එකලැ) ඔහුට ඊර්‍ෂ්‍යා නො කොට නො දොඩා සෙමෙන් ඔහුගෙන් ඉවත් වන්නේ ය.
8. ජවසකුණ ජාතක යි.
540. අප කළ හැමදෙය ම ලාමක ය. යමෙක් ධර්‍මය හදාරවා ද යමෙක් ධර්‍මය හදාරා ද දෙදෙන ම පැරැණි ධර්‍මය (සිරිත්) නො බලති. දෙදෙන ම ප්‍රකෘති ධර්‍මයෙන් ගිලිහුණෝ ය.
541. නන් අයුරින් පිළියෙළ කළ පවිත්‍ර මාංසසූපයන් සමග ඇල්හාලේ බත බුදිමි. එහෙයින් බුද්ධාදි උතුමන් සෙවි මෙ දහම නො සෙවීමි.
542. මෙතැනින් අන් තැනකට යව. ලෝකය විශාල ය. සෙසු සත්ත්‍වයෝ ද (කෑම) පිසිත්. ගලක හැපී කළයක් බිඳෙන පරිදි හැසිරුණු තා අධර්‍මය නිසා නො නැසේවා.
543. බමුණ, ඒ යසස් ලැබීමට හා වස්තු ලැබීමට ද අපායෙහි වැටීමට හේතුවන යම් නො දැහැමි පැවැත්මක් වේ ද එයට ද නින්‍දා වේවා.
9. ඡවක ජාතක යි.
544. දැහැන්සුව සහිත පැවිද්ද හැර දමා සාගරයට කුණ්ඩලාභරණයක් වැනි චක්‍රවාට පර්‍වත සහිත මහපොළොව (ලබාගන්නට) නො කැමැත්තෙමි. සය්හය, මෙසේ දැනගනුව.
545. බමුණ, යශස් ලැබීමට ද වස්තු ලැබීමට ද අපායෙහි වැටීමට හේතුවන යම් නො දැහැමි පැවැත්මක් වේ ද එයට ද නින්‍දා වේවා.
546. ගෘහ රහිත වූයෙම් පාත්‍රය ගෙන හාත්පස ගෙහි භික්ශාටනය කෙළෙම් ද, යම් බඳු අධර්‍ම ඒෂණාවක් ඇද්ද එයට වඩා ඒ භික්‍ෂාටනයෙන් කරන ජීවිකාව ම උතුමි.
547. ලොවැ අනිකකු නො පෙළමින් අනගාරිකව පාත්‍රයක් ගෙන ගේ නැති ව පිඬු සිඟා යන්නෙම් නම් එය රාජ්‍යයට වඩා උතුම් වේ.
10. සය්හ ජාතක යි.
පළමුවන විවර වර්‍ග යි.