සූත්‍රාන්තපිටකයෙහි
ඛුද්දකනිකායෙහි
ජාතකපාළි
(ප්‍රථම භාගය)
ඒ භගවත් අර්හත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා.
1. එකක නිපාතය
1. අපණ්ණක වර්ගය
1. බෝධිසත්ත්වාදි නුවණැති සමහර කෙනෙක් අවිරුද්ධ වූ කාරණය (අපණ්ණක ප්‍රතිපදාව=නිසි මඟ) ගත්හ. (තම තමන්ගේ උත්ප්රේක්ෂායෙන් කල්පනා කරන) තාර්කිකයෝ සපරාධ වූ දෙවැනි කාරණය (නො මග) ගත්හ. ප්රශස්ත බුද්ධි ඇත්තේ මේ මඟ නො මඟ දැනැගෙනැ නිසි මඟ මැ ගන්නේ යැ.
1. අපණ්ණක ජාතකය.
2. පටන් ගන්නා ලද වීර්‍ය්‍ය ඇති උත්තමයෝ අඞ්ගණ සඞ්ඛ්‍යාත අනාවර්තක භූමිප්‍රදේශ ඇති වැලිමඟෙහි බිම සරන්නාහු ඒ වලුකාමාර්ගයෙහි ජලය ලදහ. එපරිද්දෙන් වීර්ය්යයෙනුදු කායබල ඥානබලයෙනුදු යුක්ත වූ වීර්‍ය්‍යවත් තපස්වී තෙමේ සිතට හා හෘදයට ද ශීතභාව කරණයෙන් ශාන්ති නම් වූ (ධ්යානවිදර්ශනාඅභිඥා අර්‍හන්මාර්‍ගය සඞ්කඛ්යාත) ආර්ය්යධර්මය ලබන්නේ යැ.
2. වණ්ණුපථ ජාතකය.
3. මේ ශාසනයෙහි සද්ධර්මයට ප්‍රතිනියත වූ ඒ ශ්‍රෝත ආපත්ති මාර්ගය යම් හෙයකින් (වීර්‍ය්‍ය නොවැඩීම නිසා) වැරැදවූයෙහි නම් තෝ බොහෝ කාලයක් තැවෙන්නේහි ය. සේරිවා නම් වෙළෙන්දා (ලක්ෂයක් අගනා) ස්වර්ණ පාත්‍රය නො ලැබීමෙන් යම්සේ තැවුණේ ද එලෙසිනි.
3. සේරිවාවාණිජ ජාතකය.
4. වෙළෙඳාමෙහි දක්ෂ වූ නුවණැත්තේ ස්වල්ප වූ බඩු මිලයෙන් (මහත් ධනය ද යශස ද උපදවා) තමන් (උසස් තැනැ) පිහිටුවයි. ඒ කෙසේ ද යත්: මුඛ වාතයෙන් පිඹ දල්වා ගන්නා වූ මඳවූ ගින්නක් මෙනි.
4. චුල්ලසෙට්ඨි ජාතකය.
5. රජතුමනි, (පන්සියයක්) අසුන්ගේ මිල සඳහා වූ සහල් නැළිය කුමක් අගනේ දැ යි කිව මැනැවැ යි. අස් වෙළෙඳ තෙමේ රජහට කීයේ ය. නැවත රජු විසින් විමසනු ලැබූ බඩු මිල කරන්නා මේ සහල් නැළිය අගනුවරත් ගම නියම් ගමුත් සහිත බරණැස් රාජ්‍යය ම අගනේයැ යි කී ය.
5. තණ්ඩුලනාළි ජාතකය.
6. (දුසිරිතෙහි පිළිකුල ඇති කරන) හිරියෙන් ද (දුසිරිතෙහි) බියෙන් ද සම්පූර්ණ වූ, කුශල ධර්මයන්ගෙන් සමන්විත වූ ශාන්ත වූ සත්පුරුෂයෝ සත්ත්ව ලෝකයෙහි දේවධර්ම ඇත්තෝ ය යි කියනු ලැබෙත්.
6. දේවධර්ම ජාතකය.
7. මහරජ, මම ඔබගේ (අත්‍රජ) පුත්‍රයෙමි. ජනප්‍රධානය මා පෝෂණය කර. රජතෙමේ සේවක මිනිසුන් හා තිරිසනුන්ද යන අන්‍යයන් පෝෂණය කෙරෙයි. ස්වකීය ප්‍රජාව වූ මා කුමක් නිසා පෝෂණය නො කරන්නේ ද?
7. කට්ඨහාරි ජාතකය.
8. නුවණැත්තන්ගේ අවවාදයෙහි පිහිටා, ඉක්මන් නොවී උපාය ක්‍රමයෙන් කර්මාන්තයෙහි යෙදෙනවුන්හට ප්‍රාර්‍ත්‍ථනා කළ ප්‍රයෝජනයෙහි ආශාව නොහොත් බලාපොරොත්තු වූ ඵලය සමෘද්ධ වේ ම ය. (සතර සඞ්ග්‍රහ වස්තු මූලක යශඃ සම්පත්තීන් මුහුකරවා සිටි බැවින්) පරිපක්ව බ්‍රහ්මචර්‍ය්‍යා ඇත්තෙම් වෙමි. ගාමණිය, (ඔබ උසස් බවට පැමිණි සැටි) මෙසේ දනුව.
8. ගාමණී__චණ්ඩ__ ජාතකය.
9. මාගේ උත්තමාඞ්ගයෙහි (හිසෙහි) හටගත්තා වූ වයස හැර ගන්නා වූ මේ නර (පැසුණු) කෙස්හු උපන්හ. මරණයට ළඟ බව කියන නරකෙස් නම් වූ දේවදූතයෝ පහළ වූහ. දැන් මාගේ පැවිද්දට කාල යැ යි.
9. මඛාදේව ජාතකය.
10. සෙසු බොහෝ පුද්ගලයෝ යමකු රක්ෂා නො කෙරෙත් ද මහරජ ඒ පුද්ගල තෙමේ (වස්තුකාම ක්ලේශකාමයන්හි) අපේක්ෂා නැත්තේ ඒකාන්තයෙන් ම කායවිවේක චිත්තවිවේක සැපයෙන් වාස කෙරෙයි.
10. සුඛවිහාරි ජාතකය.
පළමු වන අපණ්ණක වර්ග යි.
එහි උද්දාන:
උතුම් අපණ්ණක-වණ්ණුපථ-උතුම් සේරිවා (වාණිජ) සුවිචක්ඛණ (චුල්ලසෙට්ඨි) තණ්ඩුලනාළි-හිරි (දේවධර්ම) පුත්ත (කට්ඨහාරි) වරුත්ත (මඛාදේව) ගාමණී යොච නරක්ඛති (සුඛවිහාරී) යන්න හා දස ජතකයෝ ය.
2. සීල වර්ගය
11. සිල්වත් වූ හෙවත් ආචාර සම්පන්න වූ (ආමිස පටිසන්ථාර ධම්ම පටිසන්ථාර යන) පිළිසඳර පෙවෙතින් යුක්ත වූවන්ට අභිවෘද්ධි (සිදු) වන්නේ ය. ඥාති සමූහයා විසින් පිරිවරන ලදුව එන්නා වූ ලක්ෂණ (මෘග) යා බලව. වැළි දු නෑයන්ගෙන් විශේෂයෙන් හීන වූ මේ කාල (මෘග) යා බලව. මේ දෙදෙනා දෙස බැලීමෙන් සිල්වත් බව හා පිළිසඳර පෙවෙත හා දෙක්හි වෙනස දතහේ යැ යූ සේ යි.
1. ලක්ඛණමිග ජාතකය.
12. (දියුණුව කැමැත්තේ වී නම්) න්‍යග්‍රෝධ මෘගරාජයා සේවනය කරන්නේ ය. සාඛ මෘගය කරා නො එළඹෙන්නේ ය. සාඛ මෘගයා සමීපයෙහි යම් ජීවත් වීමෙක් ඇද්ද (එයට වඩා) න්‍යග්‍රෝධ මෘගරාජයා පාමුලැ (වැදැහෙව) මිය යෑම උතුම් වන්නේ ය.
2. න්යග්රෝධමිග ජාතකය.
13. කණ්ඩින නම් ශරය ඇති දැඩි කොට විදිනා වූ පුරුෂයාට නින්දා වේවා! යම් ජනපදයෙක්හි ස්ත්‍රියක් තොමෝ පරිණායිකා වන්නී ද ඒ ජනපදයට නින්දා වේවා ! යම් කෙනෙක් ස්ත්රීන්ගේ වසයට ගියාහු ද ඒ සත්ත්වයෝ ද නින්දිතයහ.
3. කණ්ඩින ජාතකය.
14. නිරන්තර වාසස්ථාන වූ ආවාසයෙහි ද මිත්‍ර සන්ථවයෙහි ද (ඡන්දරාගය) ලාමක ය. දිවට දැනෙන රසයෙහි ඡන්දරාගය යටැ කී දෙකරුණෙහි ඇල්මට වැඩ ලාමකතරය. ඊට වැඩ අධික ඡන්දරාගයක් නො ම ඇත්තේල. සඤ්ජය නම් උයන්පලු තෙමේ වනගහන ස්ථානයෙහි වූ වාතමෘගයා රසයෙන් පොළොඹවා තමාගේ වසයට පැමිණැවීය.
4. වාතමිග ජාතකය.
15. ඛරාදිය නමැත්තිය කුර අටක් ඇති මුලින් වක් වූ අං ඇති හෙයින් වඞ්කාතිවඞ්කිත වූ අවවාද කාලසතක් ඉක්මවා සිටි අකීකරු ඒ මෘගයාට අවවාද කරන්නට උත්සාහ නැත්තෙමි.
5. ඛරාදිය ජාතකය.
16. සහෝදරිය, ත්රිවිධාකාරයෙකින් ශයනය කරන්නා වූ අට කුරයක් ඇති බොහෝ මෘගමායා දන්නා වූ මාධ්‍යම රාත්‍රියෙහි පැන් බොන්නා වූ (බෑනණු) මෘගයාට (මෘගමායා) හොඳින් ඉගැන්වීමි. (ඒ කෙසේ ද යත්) යට වූ එක් නාසිකා ශ්රෝතසකින් පොළොවට ආශ්වාස හරනේ සවැදෑරුම් මෘගමායා කලාවෙන් බෑනණු තෙමේ වැද්දා වංචා කරන්නේ ය.
6. තිපල්ලත්ථමිග ජාතකය.
17. කෘෂ්ණ පක්ෂයෙහි වේවයි ශුක්ල පක්ෂයෙහි වේවයි යම් කාලයෙක්හි වාතය හමාද (එසමයෙහි ශීත වේ. කුමක් හෙයින් ද යත්:) ශීතයෝ නම් වාතයෙන් හටගන්නාහු ය. එහෙයින් මේ වාදයෙහි ලා සිංහ ව්යාඝ්ර තෙපි දෙදෙනා ම නො පැරදුණාහුය.
7. මාලුත ජාතකය.
18. මේ ( ඒ ඒ තන්හි) ඉපැදීම ද වැඩීම ද (ජරා ව්‍යාධි මරණාදී) දුකට කාරණාවනුයෙන් දුක් වන්නේය යි. සත්ත්වයෝ මෙසේ දන්නාහු නම්, ප්‍රාණයෙක් අන් ප්රාණයකු නො නසන්නේ ය. යම් හෙයකින් ප්‍රාණ විනාශය කරන්නේ ශෝක කරන්නේ වේ ද එහෙයිනි.
8. මතකභත්ත ජාතකය.
19. ඉදින් අන්තරායවලින් මිදෙනු කැමැත්තේ වී නම් යම්සේ පරලොව්හි කර්මබන්ධනයෙන් නො බැඳේ ද එපරිද්දෙන් මිදෙව. (ප්‍රාණවධාදි දුශ්චරිත කොට දැන්) මිදෙන්නේ ඒකාන්තයෙන් ම (මතු පාප පාශයෙන්) බැඳෙන්නේ ය. නුවණැත්තෝ එපරිද්දෙන් නො මිදෙන්නාහු ම ය. බාලයාගේ මිදීම (තවත්) බැඳීමෙකි. යමෙක් ප්‍රාණවධ කොට අන්තරායෙන් මිදේ ද හේ පරලොව පාප පාශයෙන් නො මිදෙන හෙයින් මිදුණත් බැඳුණාහු නම් වෙති.
9. ආයාචිතභත්ත ජාතකය.
20. දියෙන් ගොඩට නො නැගී පියවර දැකැ (දියෙන් ගොඩට නැගි පියවර නොදැකැ යූ සේ යි.) දියට බට පියවර(ම) දැකැ බට නළින් ජලයබොන්නෙමු. තෝ මා නො නසන්නෙහි ය (නසනු නො හැක්කෙහි ය).
10. නළපාන ජාතකය.
දෙවැනි ශීල වර්ග යි.
එහි උද්දාන:
ලක්ඛණ මිග, සාඛ න්‍යග්‍රෝධ මිග, ධිරත්ථු (කණ්ඩින) නාකිරත්ථි රස (වාතමිග) ඛරාදිස අතිහොති (තිපල්ලත්ථමිග) මාලුත පාණ (මතක භත්ත) මුච්ච (ආයාචිත භත්ත) නළපාන යන මේ නම් ඇති දසය යි.
3. කුරුඞ්ග වර්ගය
21. එම්බා ඇද්දෙමට රුක, තෝ යම් හෙයකින් (ඉදිරියෙහි පල) විසුරුවනු වූයෙහි ද මේ කාරණය කුරුඞ්ග මෘගයා දන්නා ලදි. අන් ඇද්දෙමට රුකක් කරා යමි. තාගේ පල මට නො රුස්නේ ය.
1. කුරුඞ්ගමිග ජාතකය.
22. වර්ණයෙන් හා කායබලයෙන් යුක්ත වූ රාජකුලයෙහි උපන් රජගෙයි වැඩුණු යම් බලු කෙනෙක් ඇද්ද, ඒ මේ බල්ලෝ වධයට සුදුස්සෝ නො වෙති. අපි වධයට (විනාශයට) සුදුසුවම්හ. මේ වධය ප්‍රබල වධ නම් නො වේ. මේ දුර්වල වධ නම් වේ.
2. කුක්කුර ජාතකය.
23. ශරයෙන් විදින ලද එහෙයින් ම එක පාර්ශ්වයෙකින් හෝනා ද වු, භෝජාජානීය වූ ජාති සෛන්ධවයා ම ඛලුඞ්ක අශ්වයාට (සින්ධු දේශයෙන් අන්‍ය දේශයෙහි උපන් කුඩා අශ්වයාට වඩා) උතුම, සාරථිය, මා මැ යුද්ධයෙහි යොදව.
3. භෝජාජානීය ජාතකය.
24. (පෙරවරු ආදි) යම් යම් කාලයෙක්හි වේවා, ග්රාමාදී යම් තැනෙක්හි වේවා, යම් ක්ෂණයෙක්හි වේවා, (යුද්ධ මණ්ඩලාදි) යම් යම් ස්ථානයෙක්හි වේවා, උපහාර ලැබුම් ආදි යම් යම් කාලයෙක්හි වේවා (සාරථියාගේ අභිප්‍රාය දන්නා සුලුවූ) උතුම් සෛන්ධවයා ම වීර්‍ය්‍ය කිරීමට පටන්ගනී ද එහි දී ඛලූඞඞ්ක අශ්වයෝ පිරිහෙත්. (පසුබසිත්)
4. ආජඤ්ඤ ජාතකය.
25. සාරථිය අනෙක් අනෙක් තොටෙකින් අශ්වයා පොව. (නහවව) පුරුෂ තෙමේ අධික කොට කෑමෙන් මිහිරි පායාසයෙන් ද තෘප්ත වේ. (මතු නොකනු කැමැත්තේ වේ.)
5. තීථි ජාතකය.
26. මහිලාමුඛ නම් ඇතා පළමු සොරුන්ගේ (රෞද්‍ර) වචනය අසා (හමු වූවන්) මරමින් සොරුන්ගේ වචනය අනුවැ හැසුරුණේ ය. සුසංයත වූ සිල්වතුන්ගේ මෘදු මොළොක් තෙපුල් අසා උත්තම හස්තියා (පළමු තමා තුළ තුබුණු) සියලු ගුණයෙහි (නැවත) පිහිටියේ ය.
6. මහිලාමුඛ ජාතකය.
27. (බතට පළමුව දෙන) කටුක බෙහෙත් පිණ්ඩය ගන්නට හෙවත් අනුභව කරන්නට නො සමත් ය. බත් පිඬු ගන්නට ද නො සමත්ය. තෘණ ගන්නට ද නොසමත්ය. (නහවන වේලෙහි) ඇඟ උළාලීමෙහි ද නොසමත් ය. ඇත් තෙමේ නිතර දැකීමෙන් බල්ලා කෙරෙහි ස්නෙහ කෙළේ ය යි හඟිමි.
7. අභිණ්හ ජාතකය.
28. මනෝඥ වචනයක් ම කියන්නේ ය. කිසි කලෙක්හිදු අමනෝඥ කොට නො බණන්නේ ය. මනෝඥ කොට බණන්නහුගේ (ප්‍රමාණ වශයෙන් ගැල් සියයක්) බරවූ සකට භාරය ඉදිරියට අද්පී ය. එයින් බමුණා ධන ද ලැබ්බවිය. සතුටු සිතැත්තේ ද විය.
8. නන්දිවිසාල ජාතකය.
29. යම් තැනෙක්හි (ගැල්) ධුරය ඉතා බරවේ ද යම් තැනෙක්හි (දිය හා මඩ ඇති බැවින්) ගැඹුරු වූ මාර්ගයෙක් වේ ද එකල්හි කණ්හ නම් බිලිවර්දයා (ගොනා) යොදත්. හෙතෙමේ ඒ ධුරය උසුලන්නේ ය.
9. කණ්හ ජාතකය.
30. මුනික නම් ශුකරයාගේ භෝජනය ප්‍රාර්‍ත්‍ථනා නො කරව. (කුමක් හෙයින් ද යත්) මුනික ශුකර තෙමේ මරණ භෝජන අනුභව කරයි. (මධුරාභාරය) අලේපත්සුක ව තමා විසින් ලබන තෘණපත් අනුභව කරව. මෙය දීර්ඝායු ලක්ෂණයෙකි.
10. මුනික ජාතකය.
තෙවෙනි කුරුඞ්ග වර්ග යි.
එහි උද්දාන:
කුරුඞ්ගමිග කුක්කුරු භෝජාජානීය වාළව (ආජඤ්ඤ) සිරිවය (තිත්ථ) මහිලාමුඛ තාග (අහිණ්හ) මනුඤ්ඤචර (නන්දිවිසාල) වහතෙ (කණ්හ) මුනික යන දසයයි.
4. කුලාවක වර්ගය
31. මාතලිය, සුපර්ණ පොතකයෝ (ගුරුළු පැටව්) ඉඹුල් වෙනෙහි එලී හොවිති. ඔවුන් රථ ශීර්ෂයෙන් දුරු කරව. (ඔවුන්ගෙන් රථ ශීර්ෂය දුරු කරව යූ සේයි.) අසුරයන් කෙරෙහි ප්‍රාණය හරිම්හ. මේ සුපර්ණ පෝතකයෝ කැදැල්ලෙන් පහවූවාහු නො වෙත්වා.
1. කුලාවක ජාතකය.
32. මයුරය තාගේ ශබ්දය මනෝඥ ය. පිට ද සිත්කලු ය. ග්රීවය ද වෛදුර්ය්ය මාණික්‍යයෙහි වර්ණය හා සමානය. පිල් ද බඹයක් පමණ ය. (මෙසේ රූපී වුවද ලජ්ජා භය නැති) නැටීම හේතු කොට තට මාගේ දුව නො දෙමි.
2. නච්ච ජාතකය.
33. වටු පක්ෂීහු සමගි වූවාහු වෙත්. විවාද නො කරන්නාහු දැල ඔසවාගෙන යෙති. ඔවුහු යම් කලෙක්හි විවාද කෙරෙත් ද එකල්හි මාගේ වසයට එති.
3. සම්මොදමාන ජාතකය.
34. ශීතල මා පෙළන්නේ නො වෙයි. උෂ්ණය මා පෙළන්නේ නො වෙයි. දැලෙහි බැඳීම ද මා පෙළන්නේ නො වෙයි. යම් හෙයෙකින් මා නො දක්නා වූ මත්ස්යධෙනු තොමෝ හේ (මත්ස්‍යයා) අන්‍ය මත්ස්‍ය ධේනුවක් හා කාමරතිය පිණිස ගියේ යැ යි සිතා ද එය මේ සියලු දුකට වඩා මා පෙළන්නේ ය යි.
4. මච්ඡ ජාතකය.
35. මාගේ පියාපත් ඇත. (එහෙත්) පියාසර කරන්නට අසමර්ත්ථ ය. පාදයෝ ඇත. (එහෙත්) පියවර ගමනින් යන්නට අපොහොසත් ය. මෑණියෝ ද පියාණෝ ද මා හැරැ ගියහ. ජාතවෙදය (ගින්න) පහවව (නවතුව).
5. වට්ටක ජාතකය.
36. පක්ෂීහු යම් රුකක් ආශ්‍රය කළෝ ද ඒ රුක මැ ගිනි හරනේ යැ. පක්ෂීනි, සරණස්ථානයෙන් හෙවත් පිහිටවනස්ථානයෙන් භය උපනි. (එහෙයින්) දිශා භජනය කරව (රුක හැර යව).
6. සකුණ ජාතකය.
37. (වැඩිහිටියන් සැලැකීම නම් වූ) ගුණධර්මයෙහි දක්ෂ වූ යම් කෙනෙක් ගුණයෙන් ද වයසින් ද වැඩිහිටියන් පුදත් ද ඔවුහු මෙලොව දී ම පැසැසියයුතු වෙති. පරලොවෙහි ද සුගතිය වෙයි.
7. තිත්තිර ජාතකය.
38. වඤ්චන බුද්ධි ඇත්තේ තමාගේම වංචා හේතුවෙන් නිත්‍යයෙන් සුව නො වඩයි. කිසි සුවයෙක්හි නො පිහිටයි. වඤ්චන බුද්ධි ඇත්තේ (තමා කළ වැරදිවල කටුක විපාක) ලබයි. කකුළුවාගෙන් (ගෙල සිඳගත්) කොකා මෙනි.
8. බක ජාතකය.
39. කුලජාත දාසියගේ පුත්‍ර වූ නන්දක දාස තෙමේ යම් තැනෙක්හි සිටියේ පරුෂ කොට ගර්ජනා කෙරේ ද (බෙණේ ද) ස්වර්ණරාශීය ද ස්වර්ණමාලා ද එතැන්හි යැ යි හඟිමි.
9. නන්ද ජාතකය.
40. ඌර්ධවපාද ඇත්තෙමි. අධඃකෘත හිස ඇත්තෙමි. ඒකාන්තයෙන් නරකයෙහි වැටෙමි. (එතෙකුදු වුවත් දන් නොදීම සිල් නොරැකීම ආදී) අනාර්‍ය්‍ය ක්‍රියාවක් නො කරමි. එබැවින් පිණ්ඩ නම් ලද බත පිළිගන්නේ මැනැවි.
10. ඛදිරඞ්ගාර ජාතකය.
සිවුවැනි කුලාවක වර්ග යි.