Jātaka

Birth Stories

මූලාශ්‍රය සහ සංස්කරණ විස්තර

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-29 · 7679 segments

කියවීමේ විකල්පමෙම උපාංගයේ පමණක් සුරැකේ

ඔබගේ පෞද්ගලික සටහන

ඔබට පමණක් පෙනේ. මූලාශ්‍ර පාඨයේ කොටසක් නොවේ.

පෙන්වන කොටස් 2101-2200 න් 7679

පාඨයක් සොයන්න හෝ පිටුව වෙනස් කරන්න
kn-jat-5:368.2
1443. උතුම් පැවැතුම් නැති, තොපගේ යම් බිරිඳක් වූ ද, මෝ මා ප්‍රසුත කළ මාගේ මව වෙයි. ඇතින්නක මෙන් දමනය වූ වසඟ වූ පාප ගති ඇති ඕ නැවත පැමිණේවා!
kn-jat-5:368.3
8. තක්කල ජාතක යි.
kn-jat-5:368.4
1444. තා සමාදන් වූ ව්‍රතය කුමක් ද? උත්තම චර්‍ය්‍යාව කුමක් ද? මේ විපාකය කෙබඳු සුචරිතයක් පිරීමෙන් ලදුයේ ද? බමුණ, මේ කරුණු මට කියව. තොපගේ ගෙහි බාලයෝ කවර හෙයින් නො මියන්නෝ ද?
kn-jat-5:368.5
1445. දස පුණ්‍යක්‍රියා ධර්‍මයෙහි හැසිරෙම්හ. බොරු නො කියම්හ. ප්‍රාණඝාතාදි පාපකර්‍මයන් දුරු කරම්හ. නින්‍දා කටයුතු ක්‍රියා සියල්ල දුරු කරම්හ. ඵ හෙයින් අප බාලයෝ (අකාලයෙහි) නො මැරෙති.
kn-jat-5:368.6
1446. සත්පුරුෂයන්ගේ ද අසත්පුරුෂයන්ගේ ද ධර්‍මය අසම්හ. අසත්පුරුෂයන්ගේ ධර්‍මය රුචි නො කරන්නමෝ වෙමු. අසත් පුරුෂයන් හැර සත්පුරුෂයන් හරින්නමෝ නො වෙමු. එ හෙයින් අප බාලයෝ (අකාලයෙහි) නො මැරෙති.
kn-jat-5:368.7
1447. දානය දෙන්නට පෙර සතුටු සිතැත්තමෝ වෙමු. දෙමිනුදු සතුටු සිතැත්තමෝ වෙමු. දානය දීමෙන් පසුව (සිතා) පසුතැවිලි වන්නමෝ නො වෙමු. එහෙයින් අපගේ බාලයෝ නො මැරෙති.
kn-jat-5:368.8
1448. ශ්‍රමණයන් ද බමුණන් ද මගියන් ද ගුණ කියා යදින්නන් ද යාචකයන් ද දිළින්දන් දැ යි හැම දෙන ආහාර පානයෙන් සන්තර්‍පණය කරමු. එ හෙයින් අපගේ බාලයෝ නො මැරෙති.
kn-jat-5:370.1
1449. අපි දු භාර්‍ය්‍යාවන් ඉක්මවා නො යම්හ. භාර්‍ය්‍යාවෝ ද අප ඉක්මවා නො යති. ඔවුන් හැර අනෙක් ස්ත්‍රීන් කෙරෙහි බඹසර හැසිරෙම්හ. එහෙයින් අපගේ බාලයෝ නො මැරෙති.
kn-jat-5:370.2
1450. අපි හැම දෙන ප්‍රාණඝාතයෙන් වළකිමු. ලොව (හිමියන්) නුදුන් දැය දුරු කොට වාසය කරම්හ. මත්පැන් නො බොමු. බොරු ද නො කියමු. එ හෙයින් අපගේ බාලයෝ නො මැරෙති.
kn-jat-5:370.3
1451. සුසිල්වත් මේ අප උතුම් ස්ත්‍රීන් කෙරෙහි දරුවෝ උපදිත් ද, ඔවුහු ධාරණ ශක්තිය ඇති මහනුවණැත්තෝ වෙති. බහුශ්‍රුත වෙති. වේදයෙහි පාරප්‍රාප්තයෝ වෙති. එහෙයින් අප බාලයෝ නො මැරෙති.
kn-jat-5:370.4
1452. මවුපියෝ ද සහෝදරසහෝදරියෝ ද දරුවෝ ද බිරියෝ දැ යි අපි හැම දෙනමෝ පරලොව සලකාගෙන පුණ්‍යක්‍රියාවන්හි හැසිරෙම්හ. එහෙයින් අපගේ බාලයෝ නො මැරෙති.
kn-jat-5:370.5
1453. දාසිදාසයෝ ද අප නිසා දිවි රැක ගන්නෝ ද පිරිවර ජනයෝ ද කම්කරුවෝ දැ යි හැම දෙන පරලොව සලකා පුණ්‍යක්‍රියාවන්හි හැසිරෙති. එ හෙයින් අපගේ බාලයෝ නො මැරෙති.
kn-jat-5:370.6
1454. කුශල ධර්‍මය, ධර්‍මයෙහි හැසිරෙන්නහු ඒකාන්තයෙන් රකී. මනා ලෙස පුරුදු කළ කුශලය සුව ගෙන දෙයි. මනා ලෙස පුරුදු කළ කුශලයෙහි තෙල ආනිශංසය වෙයි. දම්සැරී තෙමේ දුගතියට නො යයි.
kn-jat-5:370.7
1455. කුශල ධර්‍මය දම්සැරියා වැසි සමයෙහි මහත් කුඩයක් සේ ඒකාන්තයෙන් රකී. කුසල් බෙලෙන් රක්‍ෂිත වූ මාගේ දම්පල් කුමර සුව ඇත්තේ වෙයි, මෙය අනෙකකුගේ ඇට වේ යයි.
kn-jat-5:370.8
9. මහාධම්මපාල ජාතක යි.
kn-jat-5:372.1
1456. පවු කළ පුද්ගලයා කෙරෙහි විශ්වාස නො කරන්නේ ය. බොරු කියන්නහු කෙරෙහි විශ්වාස නො කරන්නේ ය. ආත්මාර්‍ත්‍ථයට ම නුවණ යොදා ගන්නා පුද්ගලයා කෙරෙහි විශ්වාස නො කරන්නේ ය. අති ශාන්ත පුද්ගලයා කෙරෙහි ද විශ්වාස නො කරන්නේ ය.
kn-jat-5:372.2
1457. සමහර පුරුෂයෝ පිපාසිත ගවයන් වැනියහ. ඔහු මිතුරන් වචනයෙන් කාදමති. ක්‍රියාවෙන් කිසිත් නො කරති.
kn-jat-5:372.3
1458. කළගුණ නො දත් බොරු ඇඳිලි බැඳීම් පමණක් ඇති නිසරු මිනිසා කරා නො යන්නේ ය.
kn-jat-5:372.4
1459. වහා වෙනස් වන ස්වභාව ඇති ස්ත්‍රී පුරුෂයන් විශ්වාස නො කරන්නේ ය. හිතෛෂී නො වූවෙක් නොයෙක් හේතු දක්වමින් (මිතුරකුසේ) එක් වන්නේ ද එ වැන්නහු විශ්වාස නො කරන්නේ ය.
kn-jat-5:372.5
1460. අනාර්‍ය්‍ය ක්‍රියාවට බැසගත් ස්ථිර වචන නැති අවකාස ලද කල්හි හැම දෙන නසන හෙයින් කොපුවෙක ලූ තියුණු කඩුවක් වැනි පුද්ගලයා විශ්වාස නො කරන්නේ ය.
kn-jat-5:372.6
1461. මෙහි (මෙ ලොවැ) යම් කෙනෙක් මිත්‍රප්‍රතිරූපක ව තද හිතැත්තාහු නමුදු සිලිටි බසින් බෙණෙමින් නානාවිධ කෛරාටික පැවැතුම් ඇත්තෝ වෙත් ද එ වැනියන් විශ්වාස නො කරන්නේ ය.
kn-jat-5:372.7
1462. එ බඳු මෝඩයා (මිත්‍ර ප්‍රතිරූපකයා) යම් මිතුරකුගේ නිවෙසකැ ආහාරයක් හෝ ධනයක් හෝ දුටු වේ නම් මිතුරාට ද්‍රෝහ කොට එය පැහැර ගන්නේ ය. ඔහු ද (මිතුරා) නසාපියා යන්නේ ය.
kn-jat-5:372.8
1463. බොහෝ සතුරෝ මිත්‍රප්‍රතිරූපකයන් මෙන් ඇසුරු කෙරෙති. මෙ වැනි නින්දනීය පුරුෂයන් උකුස්සා දුරැලූ විලිකුළුහු මෙන් දුරු කරන්නේ ය.
kn-jat-5:372.9
1464. යමෙක් (යමක් පිළිබඳ) හටගත් කරුණු වහා වටහා නො ගනී ද. හේ සතුරන්ගේ වසඟයට පැමිණ පසුව තැවේ.
kn-jat-5:372.10
1465. යමෙක් (යමක් පිළිබඳ හටගත් කරුණු වහා වටහා ගනී ද. උකුස්සාගෙන් මිදුනු විලිකුළුහු සේ සතුරු වියවුලෙන් මිදෙන්නේ ය.
kn-jat-5:372.11
1466. වනයේ අටවා තැබූ පාසයක් (මළපුඩුවක්) වැනි නො දැහැමි විනාශකාරී වූ ඔහු, උණ වනයේ වෙසෙන පිරික්සුම් නැණින් හෙබි ඇටිකුළා උකුස්සා දුරු කළා සේ දුරු කරන්නේ යි.
kn-jat-5:372.12
10. කුක්කුට ජාතක යි.
kn-jat-5:374.1
1467. නන් අබරණින් සැරැසී මටකොඬොල් පැළැඳ විසිතුරු මල් දරන්නේ, රන්වන් සඳුන් ආලේප කොට ගත් තෙපි මේ වන මැද හිසැ අත් බැඳගෙන කවර හෙයින් අඬන්නහු ද?
kn-jat-5:374.2
1468. රන්මුවා දීප්තිමත් රියමැදිරියක් මට ලැබිණ. ඊට රියසක් දෙකක් නො ලබමි. ඒ නිසා උපන් දුකෙන් දිවි හරිමි.
kn-jat-5:374.3
1469. රන්මුවා, මිණිමුවා, ලොහොමුවා වූ හෝ රිදීමුවා රියක් ඔබට සාදමි. යම් බඳු රියක් කැමැත්තහු ද ඒ සක් යුගළය ඔබට ලබා දෙමි.
kn-jat-5:374.4
1470. ඒ මාණවකයා ඔහුට කීය. මාගේ රිය රන්මුවා වෙයි. දීප්තිමත් සඳහිරු දෙදෙනා සක් යුගළය (වශයෙන්) මාගේ රියට හොබනේ වේ.
kn-jat-5:374.5
1471. මාණවකය, නො පැතියයුතු දැය පතන තෙපි මෝඩයෙකි. තොප මියැ යෙති යි සිතමි. තෙපි සඳහිරු නො ලබන්නහු ය.
kn-jat-5:374.6
1472. ගමනා ගමන (උදාවීම හා බැස යාම) ද හැඩහුරු කම හා පැහැය ද ගමන් මාර්‍ග දෙක ද පෙනේ. මිය ගිය තැනැත්තා දකින්නට නැත. අඬන්නවුන්ගෙන් කවරෙක් වඩා බාල්‍යතර ද?
kn-jat-5:374.7
1473. මාණවකය, සත්‍යයක් කීයෙහි ය. අඬන්නවුන් ගෙන් ඉතා බාලයා මම වෙමි. හඳ ඉල්ලා අඬන ගම්දරුවකු සේ මියැ පරලොව ගියකු පතන්නෙමි.
kn-jat-5:374.8
1474. ගිතෙල් ඉසින ලද ගින්නක් ලෙස ශෝක ගින්නෙන් ඇවිල ගෙන සිටි මා, ජලය ඉසින ලද කලෙක මෙන් සියලු දාහය නිවී ගියේ ය.
kn-jat-5:374.9
1475. සොවින් පෙළුණු මාගේ, පුත්‍ර ශෝකය යමෙක් නැති කෙළේ ද, හේ මාගේ හදවතේ පැවැති ශෝකය නමැති හුල ද ඒකාන්තයෙන් උදුරා දැමී ය.
kn-jat-5:374.10
1476. තරුණය, ඒ මම උපුටා හළ ශෝක නමැති උලඇත්තෙමි. ශෝකය නැත්තෙමි. නො කැලඹුණ සිතැත්තෙමි. තොප ගේ බස් අසා ශෝක නො කරමි. නො හඬමි.
kn-jat-5:374.11
11. මට්ටකුණ්ඩලී ජාතක යි.
kn-jat-5:376.1
1477. නො පිසන සත්පුරුෂයෝ බොජුන් ලැබැ දෙන්නට කැමැති වෙති. පිසන ඔබ යම් හෙයෙකින් දෙන්නට කැමැති නො වෙත් නම් සුදුසු නො වේ.
kn-jat-5:376.2
1478. මසුරුකමත් නො සැලකිල්ලත් නිසා දන් නො දෙනු ලැබේ. පින් කැමැති නුවණැත්තා දන් දියයුතු වේ.
kn-jat-5:376.3
1479. දන් දීම නිසා සාපිපාසාවෙන් පීඩා විඳින්නට සිදු වේ ය යන බිය නිසා මසුරු පුඟුලා නො දේ ද එය ම ඔහුට බිය වන්නේ ය. සාපිපාසා දෙකට මසුරා බිය වේ ද එය ම (ඔහු) දෙ ලොවැ දී පෙළයි.
kn-jat-5:376.4
1480. එ හෙයින් මසුරුකම මඩින්නේ මසුරුකම දුරු කොට දන් දෙන්නේ ය. කළ පින් ප්‍රාණීන්ට පරලොව දී පිහිට වේ.
kn-jat-5:376.5
1481. මසුරු සිත් මැඩ දියයුතු බැවින් දන් දීම දුෂ්කර ය. අසත්පුරුෂයෝ (දානානිසංස නො දන්නෝ) ඔවුන් ගිය මඟෙහි නො යත්. සත්පුරුෂයන් (බෝසත්වරු) ගිය මග යාම සෙස්සනට පහසු නො වේ.
kn-jat-5:376.6
1482. එහෙයින් සත්පුරුෂයන්ගේ ද අසත්පුරුෂයන්ගේ ද මෙයින් මතු උපත වෙනස් වේ. අසත්පුරුෂයෝ නිරයට යති. සත්පුරුෂයෝ දෙව්ලොව යති.
kn-jat-5:376.7
1483. ඇතැමෙක් මඳ වස්තුවකිනු දු දන් දෙත්. ඇතැමෙක් බොහෝ වස්තුව ඇතත් දන් නො දෙත්. මඳ වස්තුවෙන් දුන් දානය ද මහානිසංස ඇති හෙයින් ප්‍රමාණ කොට බැලීමේ දී දහසක් පමණ වැය කොට දුන් දන හා සම වේ.
kn-jat-5:376.8
1484. නො දැහැමි ව සපයාගත් මුදලින් ඉසුරන් ලක්‍ෂයක් දෙනා දෙන දානයෝ ත්‍රිවිධ සුචරිතය පුරමින් අඹුදරුවන් ද රැකැ ගනිමින් දිළින්දකු ස්වල්ප වශයෙන් හෝ කරන පරිත්‍යාගයක සොළොසින් භාගයක් පමණ නො අගනාහ.
kn-jat-5:376.9
1485. දේය ධර්‍ම බොහෝ බැවින් විශාල වූ ලක්‍ෂයක් දෙනා එක් ව දෙන දානය, දැහැමි ව සපයා ගත් දෙයින් දුන් දානය හා සම නො වන්නේ කවර කරුණෙකින් ද? දැහැමි ව සපයා ගත් දෙයින් දන් දෙන දිළින්දාගේ දානමය පින්කමේ (සොළොසින්) කොටසක් පමණවත් නො අගනේ කෙසේ ද?
kn-jat-5:376.10
1486. අනුන් තළා පෙළා අඬවා හිංසා කොට ඇතැම් කෙනෙක් දන් දෙති. එලෙස දුන් දන දැහැමි ව සපයාගත් වස්තුවෙන් දිළින්දා දුන් දානය හා සමාන නො වේ. නො දැහැමි වස්තුවෙන් යාග කළ ලක්‍ෂයක් දෙනාගේ දානය දිළින්දාගේ දානයෙහි සොළොස්වෙනි කොටස තරම්වත් නො අගී.
kn-jat-5:376.11
12. බිළාර කෝසිය ජාතක යි.
kn-jat-5:378.1
1487. සක්වාලිහිණිය, (ඔබ) වර්‍ණවත් ශරීර ඇත්තහු ය. රූප සම්පන්න වූවහු ය. ඝන වූ සිරුරු ඇත්තහු ය. රන්වන් මනා රූ ඇත්තහු ය. පහන් වූ මුහුණ හා ඉඳුරන් ඇත්තහු ය.
kn-jat-5:378.2
1488. මෙසේ ගං තෙර සිටැ පෙටි මස්, ලූල් මස්, වලා මස්, මොදුව මස් හා රේ මස් බුදින්නහු ද?
kn-jat-5:378.3
1489. මිතුර, මේ සෙවෙල් සහ දියපරඬල් මගේ ආහාරය යි. මම මෙය හැර දියෙහි හෝ වනයෙහි හටගන්නා වූ වෙනත් මාංශයක් අනුභව නො කරමි.
kn-jat-5:378.4
1490. සෙවෙල් සහ දියපරඬල් සක්වාලිහිණියාගේ ආහාර යයි මම විශ්වාස නො කරමි. මිතුර, මම ගමෙහි ලුණු හා තෙල් මුසු ආහාර අනුභව කරමි.
kn-jat-5:378.5
1491. චක්‍රවාකය, මනුෂ්‍යයන්ට පිළියෙළ කළ මස් සහිත පවිත්‍ර ආහාරය බුදිතත් ඔබට මෙන් එ බඳු පැහැයක් මට නැත.
kn-jat-5:378.6
1492. (තෙපි) ක්‍රෝධ සිතින් බලමින් මිනිසුන්ට හිංසා කෙරෙමින් තැති ගත් සිතින් බුදින්නහු ය. එහෙයින් තොපගේ පැහැය මෙ බඳු වේ.
kn-jat-5:378.7
1493. කාකය, පාපකර්‍ම බලයෙන් සියලු ලෝකය (ඔබට) විරුද්ධ ය. ඔබ ලද ආහාරය ඔබ නො පිනව යි. එ හෙයින් ඔබේ පැහැය මෙ බඳු වේ.
kn-jat-5:378.8
1494. මිතුර, මම් වනාහි සව්සත්නට හිංසා නො කරන්නෙම්, මඳ වෑයමකින් යුතු ව සැක රහිත ව ශෝක නැති ව බියකු දු නැති ව බුදිමි.
kn-jat-5:378.9
1495. තෙපි, වෑයම් කරව, සිය දුසිල් බව ඉක්මවා පවතුව, (දුසිල් බව අත් හරුව) අහිංසක ව ලොවෙහි හැසිරෙව, මා මෙන් ලොවට ප්‍රිය වන්නහු.
kn-jat-5:378.10
1496. යමෙක් අනුන් නො නසා ද නො නස්වා ද ධන හානි නො කෙරේ ද, නො කරවා ද, සව් සතුන් කෙරෙහි මෙත් කෙරේ ද ඔහුට කිසිවෙක් වෛර නො කෙරේ.
kn-jat-5:378.11
13. චක්කවාක ජාතක යි.
kn-jat-5:380.1
1497. මහානුවණැත්ත, යම්බඳු වූ ඔබ ව්‍යඤ්ජන ස්වල්පයක් සමග යවසාලේ බත් බුදින්නහු ය. ඔබගේ යම් සෞභාග්‍යයක්, ධෛර්‍ය්‍යයක් හා සිහියක් වේ ද, එබඳු සෞභාග්‍යය විපතට පත් ඔබ නො රකියි. එ හෙයින් සෞභාග්‍යය උතුම් වෙයි, ප්‍රඥාව උතුම් නො වෙයි (යන) කීම සැබෑ වෙයි.
kn-jat-5:380.2
1498. මම දුකෙන් සැප දියුණු කරන්නෙම් සැඟවී විසීමටත් නො සැඟවී විසීමටත් (මෙය) යෝග්‍ය සමය යයි සිතා සැඟවුණෙමි. දියුණුවට දොර අරිනුයේ යවසාලේ බතින් ප්‍රීත වෙමි.
kn-jat-5:380.3
1499. වෑයම් කරන්නට යෝග්‍ය කාලය දැනැ නුවණින් දියුණුව වැඩි කර ගෙන සිංහයකු සේ විජෘම්භණය කරන්නෙමි. දියුණු වූ මා නැවත දකින්නහු ය.
kn-jat-5:380.4
1500. පණ්ඩිතය, සැප ඇත්තෝ පාපකර්‍ම නො කෙරෙති. තවත් කෙනෙක් අපකීර්තියට බියෙන් පාපකර්‍ම නො කෙරෙති. බොහෝ දේ සිතීමේ හැකියාව ඇති තෙපි කවර හෙයින් මට දුක් (කරදර) නො කරන්නහු ද?
kn-jat-5:380.5
1501. පණ්ඩිතයෝ ආත්මාර්‍ත්‍ථය සලකා පාපකර්‍ම නො කරති. දුකට පත් වුවත් සම්පත් ගිලිහී ගියත් ඡන්‍දය නිසා හෝ ද්වේෂය නිසා හෝ ධර්‍මය නො හරිත්.
kn-jat-5:380.6
1502. මොළොක් වූ හෝ දරුණු වූ හෝ කිසියම් ආකාරයෙකින් තමාගේ දීනත්‍වය උපුටා හරින්නේ ය. ඉක්බිති ව සුචරිතයෙහි හැසිරෙන්නේ ය.
kn-jat-5:380.7
1503. යම් රුකකැ සෙවණෙහි හුන්නේ වේ ද හොත්තේ වේ ද ඒ රුකෙහි අතු නො කඩනේ ය. මිත්‍රද්‍රෝහී කම දීන හෙයිනි.
kn-jat-5:380.8
1504. යම් පුරුෂයෙක් පුරුෂයකුගෙන් ධර්‍මය උගත්තේ ද, සැක දුරු කෙරේ ද එය ඔහුට පිහිටකි. පිළිසරණෙකි. එ හෙයින් ඇදුරු ව සිටියහු සමග වූ මිතුරුබව දිරාපත් නො කරන්නේ ය.
kn-jat-5:382.1
1505. කම්සැප විඳින අලස ගිහියා නො මැනැවි. හික්මීම නැති පැවිද්ද නො මැනැවි. විමසීම රහිත ව ක්‍රියා කරන රජ නො මැනැවි. යම් පණ්ඩිතයෙක් කිපෙන ගතියෙන් යුතු වේ නම් හේ ද නො මැනැවි.
kn-jat-5:382.2
1506. ක්‍ෂත්‍රිය තෙම පරීක්‍ෂාකාරී ව වැඩ කරන්නේ ය. නො විමසා නො කරන්නේ ය. රජතුමනි, පරීක්‍ෂාකාරීව වැඩ කරන්නාගේ යශස ද කීර්තිය ද වැඩේ.
kn-jat-5:382.3
14. භූරිපඤ්ඤ ජාතක යි.
kn-jat-5:382.4
1507. අභිවෘද්ධිය රුස්නා පුරුෂයා වේදය හෝ ශ්‍රැතය හදාරා කවර ආකාරයෙකින් ක්‍රියා කිරීමෙන් දෙ ලොව ආරක්‍ෂා කර ගත්තේ වේ ද?
kn-jat-5:382.5
1508. සියලු දෙවියෝ ද බ්‍රහ්මයෝ ද දීර්‍ඝජාතීහු ද සියලු සත්ත්‍වයෝ ද මෙත් සිතින් පුදන ලද්දෝ ද මිනිසුන්ට එය මඟුලෙකැ යි කියත්.
kn-jat-5:382.6
1509. යමෙක් ලෝකය කෙරේ නිරහඞ්කාර පැවැතුම් ඇත්තේ ද, ස්ත්‍රීපුරුෂයන් සහ ළමයින් වරදවා කී බස් කමා කෙරේ ද, ගොරෝසු කථා නැත්තේ ද ඉවැසීම ඇත්තේ ද එය මඟුලෙකැ යි කියත්.
kn-jat-5:382.7
1510. යමෙක් යහළුවන් හා මිතුරන් කෙරේ ශිල්පය නිසා හෝ කුලය නිසා හෝ ධනය නිසා හෝ ජාතිය නිසා හෝ අවමානයට ලක් නො කෙරේ ද මනා සිහිය හා නුවණ ඇත්තේ ද එය මඟුලෙකැ යි කියත්.
kn-jat-5:382.8
1511. රැවැටිලි නැතියන් හා සත්පුරුෂයෝ එකැතින් මිතුරු වෙත් ද විශ්වාස වෙත් ද මිත්‍රද්‍රෝහි නො වෙත් ද, සිය ධනය මිතුරන්ට බෙදත් ද, මිතුරන් අතරේ ඒ විශ්වාසය මඟුලෙකැ යි කියත්.
kn-jat-5:382.9
1512. යමකුගේ බිරිඳ සමාන වයස ඇත්තී ද සමගි සම්පන්න ද සැමියා අනුව වසා ද ත්‍රිවිධ සුචරිත ක්‍රියාවන් කැමැත්තී ද දරුවන් ලබන්නී ද කුලවත් වී ද පතිව්‍රතා ගුණය ඇත්තී ද එය බිරියන් කෙරේ මඟුලෙකැ යි කියත්.
kn-jat-5:384.1
1513. ජනපති වූ පරිවාර ඇත්තා වූ රජ යමකුගේ පවිත්‍රකම, එඩිතරකම, දනී ද (මෙ) මට පක්‍ෂපාතී ය නො වෙනස් වචන ඇත්තේ යයි දනී ද එය රජුන් කෙරේ මඟුලෙකැ යි කියත්.
kn-jat-5:384.2
1514. සැදැහැති ව පහන් සිතැති ව සතුටු සිතින් කෑම්බීම් සුවඳමල් විලෙවුන් දේ ද එය ස්වර්‍ගගාමී මඟුලෙකැ යි කියත්.
kn-jat-5:384.3
1515. ඥානවෘද්ධ වූ ප්‍රතිපත්ති ගරුක වූ සත්පුරුෂ වූ බහුශ්‍රුත වූ සිල්වත් වූ ඍෂිවරු ආර්‍ය්‍යධර්‍මයෙන් පවිත්‍ර වෙත් නම් එය රහතන් වහන්සේ කෙරේ ලදමනා මඟුලෙකැ යි කියත්.
kn-jat-5:384.4
1516. මේ මංගලයන් ලෝකයේ නුවණැත්තන් විසින් සැපත් වැඩීමට හේතු වේ යයි පසසන ලදු, එ හෙයින් නැණවත් මිනිසා ඒ මංගලයන් ම සොයන්නේ ය. මේ මංගලයන්ගෙන් තොර සත්‍ය වූ වෙනත් මංගල නැත.
kn-jat-5:384.5
15. මහාමඞ්ගල ජාතක යි.
kn-jat-5:384.6
1517. කේසවය, ඔබේ හදවත වැනි දකුණුඇස හා සම වූ ඝත නැමැති සිය සොහොයුරු කෙනෙක් වෙත් ද ඔහුගේ හදවත අපස්මාර වාතයෙන් පෙළත්. කෘෂ්ණය නැගිටින්න. වැද හෝනේ කිම? තොපගේ නිදාගැනීමෙන් කවර ප්‍රයෝජනයක් ද?
kn-jat-5:384.7
1518. රෝහණෙය්‍යගේ කීම අසා ඉක්මන් වූ කේසව තෙම සෝවුරු සොවින් පීඩාවට පැමිණ නැගීසිටියේ ය.
kn-jat-5:384.8
1519. උමතුවූවකු සේ දවාරවතී පුරය පුරා යමින් සාවා සාවා ය යි කුමට කියහි? ඔබගේ සාවා ගත්තේ කවරෙක් ද?
kn-jat-5:384.9
1520. රන්මුවා, මිණිමුවා, ලොහොමුවා, රිදීමුවා, සක්මුවා සෙල්මුවා, පබළුමුවා සාවකු ඔබට සාදවමි.
kn-jat-5:384.10
1521. වනයේ හැසිරෙන වෙනත් සාවෝ ද ඇත. තොපට ඔවුන් ද ගෙනෙන්නෙමි. තෙපි කෙබඳු සාවකු කැමැත්තහු ද?
kn-jat-5:386.1
1522. පොළොවේ වෙසෙන හාවුන් මම නො කැමැත්තෙමි. හඳේ හාවා (ලබනු) කැමැත්තෙමි. කේසව, ඒ හාවා මට ගෙන දෙන්න.
kn-jat-5:386.2
1523. ප්‍රිය ඤාතිය, හඳෙන් හාවා පතන තෙපි ඒකාන්තයෙන් මධුර වූ ජීවිතය අත් හරින්නහු ය. යම් බඳු තෙපි නො පැතියයුත්තක් පතන්නහු ද එ හෙයිනි.
kn-jat-5:386.3
1524. කෘෂ්ණය, ඉදින් මෙසේ දන්නේ නම් අනෙකකුට අනුසාසනා කරනුයේ (කිම) පෙර මළා වූ පුත්‍රයාට අදත් ශෝක කරන්නේ කවර හෙයින් ද?
kn-jat-5:386.4
1525. උපන් මාගේ පුතා නැවත නො මැරේව යි මනුෂ්‍යයකු විසින් හෝ අමනුෂ්‍යයකු විසින් හෝ ලද නො හැකි ය. එ හෙයින් ලද නො හැකි දෙය කොතැනින් ලැබේ ද?
kn-jat-5:386.5
1526. කෘෂ්ණය, මියගිය යමකු නිසා නැවත නැවැත ශෝක කෙරෙහි ද (මළහු) මන්ත්‍ර බලයෙන් හෝ බෙහෙත්මුල් බලයෙන් හෝ අන් ඔසු බලයෙකින් හෝ ධන බලයෙන් හෝ ගෙනෙන්නට නො හැකි ය.
kn-jat-5:386.6
1527. පුත් සොවින් පෙළුණු මට ඝතපණ්ඩිත තෙම අද කරුණු වටහවා ශෝකය නැති කෙළේ ය. සෙස්සනටත් මෙ වැනි පණ්ඩිත ඇමැතිවරු වෙත් නම් කවර ශෝකයෙක් ද?
kn-jat-5:386.7
1528. ගිතෙල් ඉසින ලද ගින්නක් ලෙස ශෝක ගින්නෙන් ඇවිලගෙන සිටි මා, ජලය ඉසින ලද කලෙක මෙන් (මාගේ) සියලු දාහ නිවිගියේ ය.
kn-jat-5:386.8
1529. සොවින් පෙළුණු මාගේ පුත්‍රශෝකය යමෙක් නැති කෙළේ ද හේ මාගේ හදවතේ පැවැති ශෝකය නමැති හුල ද ඒකාන්තයෙන් උදුරාදැමී ය.
kn-jat-5:386.9
1530. ඒ මම උපුටාලූ ශෝකය නමැති හුල් ඇත්තෙමි. ශෝක රහිතයෙමි. නො කැලඹුණ සිතැත්තෙමි. තොපගේ බස් අසා ශෝක නො කරමි. නො හඬමි.
kn-jat-5:386.10
1531. යම් කෙනෙක් අනුකම්පා ඇති ප්‍රාඥයෝ වෙත් ද දෙටු සොහොයුරු ඝතයා මෙන් ජනයා සොවින් දුරු කෙරෙත්.
kn-jat-5:386.11
16. ඝතපණ්ඩිත ජාතක යි.
kn-jat-5:386.12
දසක නිපදාතය නිමි.
kn-jat-5:386.13
එහි උද්දානය: