Jātaka

Birth Stories

මූලාශ්‍රය සහ සංස්කරණ විස්තර

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-29 · 7679 segments

කියවීමේ විකල්පමෙම උපාංගයේ පමණක් සුරැකේ

ඔබගේ පෞද්ගලික සටහන

ඔබට පමණක් පෙනේ. මූලාශ්‍ර පාඨයේ කොටසක් නොවේ.

පෙන්වන කොටස් 1801-1900 න් 7679

පාඨයක් සොයන්න හෝ පිටුව වෙනස් කරන්න
kn-jat-5:308.6
1179. ජනපතිතුමනි, පරිවාර සම්පත හා ප්‍රඥාව කිසිකලෙක ඔබ අත් නො හරීවා, කෝප නැති ව පහන් සිතැති ව නිදුක් ව හවුරුදු සියයක් රට පාලනය කෙරේවා.
kn-jat-5:308.7
1180. රජතුමනි, මේ ගුණයන්ගෙන් යුක්ත ව ශ්‍රේෂ්ඨ පැවැතුම් සහිත ව සුවච ව නො කිපෙන්නෙක් ව සැපවත් ව ජනයා නො පෙළා රට පාලනය කරනු මැනැවි. මෙයින් මිදී සුගතියට සැපත් වනු මැනැවි.
kn-jat-5:310.1
1181. මෙසේ නීතියෙන් ද සුබැසි කථාවෙන් ද සුචරිත ධර්‍මයෙන් ද පරිත්‍යාගයෙන් ද නුවණින් ද යුක්ත ව රාජ්‍යයානුශාසනා කරනුයේ ජලයෙන් පොළොව නිවන මහවැස්සක් සේ මහාජනයා නිවන්නේ ය. (සනසන්නේ ය.)
kn-jat-5:310.2
4. සුමංගල ජාතක යි.
kn-jat-5:310.3
1182. මහී නම් වූ පොළොව ගිනිඅඟුරු මෙන් උෂ්ණ වෙයි. උණුඅළු වැනි වැල්ල ඇත. එහෙත් වෘත්තයන් අනුව ගායනා කරන්නෙහි ය. අව්ව තා නො තවන්නේ ය.
kn-jat-5:310.4
1183. උඩින් සූර්‍ය්‍යයා තවයි. යටින් වැල්ල තවයි. එහෙත් ගී ගයන්නෙහි ය. අව්ව තා නො තවන්නේ ය.
kn-jat-5:310.5
1184. අව්ව මා නො තවයි. වස්තුකාමක්ලේශකාමයෝ ම තවති. මහරජතුමනි, වස්තුකාමක්ලේශකාමයන් නිසා කටයුතු දෙය බොහෝ ය. ඔව්හු මා තවති. අව්ව මා නො තවයි.
kn-jat-5:310.6
1185. කාමය තාගේ මුල දිටිමි. කාම විතර්‍ක නිසා තෝ උපනෙහි ය. එහෙයින් තා ගැන නො සිතන්නෙමි. මෙසේ කළ කල්හි තා නූපදින්නෙහි ය.
kn-jat-5:310.7
1186. වස්තුකාමක්ලේශකාමයෝ ස්වල්ප වුව ද සුදුසු නො වේ. වස්තුකාමක්ලේශකාමයන් බොහෝ ලදුවත් පෘථග්ජනයා සෑහීමට පත් නො වේ. බාලලපන (මගේ රුව මගේ හඬ යනාදීන් කෙරෙන නැළැවීම) නම් කාමයෝ විපතට හේතුවෙති. විදසුන් වඩනා යෝගාවචර තෙමේ (කාමයන්) දුරු කරන්නේ ය.
kn-jat-5:310.8
1187. උදය නමැති මම මහඉසුරක් ලැබූයෙම් ද මෙය මාගේ ස්වල්ප වූ කර්‍මයක විපාක වෙයි. යමෙක් වස්තුකාම ක්ලේශකාමයන්ගේ ආශාව හැරපියා පැවිදි වී ද, එය මහාලාභයෙක් විය.
kn-jat-5:310.9
1188. ගංගමාලය, යම් කෙනෙක් තපස නිසා පාපකර්‍මය යම්සේ දුරු කෙරෙත් ද, එසේ ම (තෙපි) සිය තපසින් නැහැවිකුඹල් බවත් දුරු කෙරෙත් ද? තපෝගුණය නිසා තෙපි අප මැඩ අද ‘බ්‍රහ්මදත්ත’ යැ යි නමින් කථා කෙළෙහි. (එය තොපට වටනේ ද?)
kn-jat-5:312.1
1189. ඉවැසීමෙත් ශීලයේත් යම් විපාකයෙක් වේ ද, ඒ දිටුදැමිවිපාකය ම බලවු, යමෙක් සියලු දෙනා විසින් වඳනා ලද්දේ වී ද, ඔහු රජුන් සහිත වැ ඇමැතියන් සහිත වැ වඳිමු.
kn-jat-5:312.2
1190. මෞනපථයෙහි (බෝධිපාක්‍ෂිකධර්‍මයන්හි) හික්මෙන ගංගමාල පසේබුදුරදුනට කිසිවක් නො කියවු. යම් සසර සයුරක් තරණය කොට පහකළ සෝදුක් ඇති ව හැසිරෙත් ද., මෙ තෙම (ඒ) සසර සයුර තරණය කෙළේ ය.
kn-jat-5:312.3
5. ගංගමාල ජාතක යි
kn-jat-5:312.4
1191. (සත්‍ය) ධර්‍මය බොරු කීමෙන් නසන ලදුයේ ඒකාන්තයෙන් ජ්‍යේෂ්ඨාපචායනය (වැඩිහිටියන් පිදීම නම් වූ ගුණය) තෙමේ මැ වැනැසේ. ධර්‍මය නො නටුයේ කිසිත් නො නසා. එහෙයින් සත්‍යධර්‍මය නො නසන්නේ මැනැවි. ධර්‍මය නැසුණේ ඔබ නො නසාවා.
kn-jat-5:312.5
1192. (කාරණයක්) විචාරන ලදුයේ, යමෙක් එය දන්නේ ම අන් ලෙසෙකින් කියා ද, දෙවියෝ (ඔහු) අත්හැර යති. (එසේ) බොරු කියන්නාගේ මුඛය ද දුගඳ හමයි. අහසේ තමා සිටි තැනින් ද ගිලිහේ.
kn-jat-5:312.6
1193. මහරජ, ඉදින් සත්‍යය කියෙහි නම් පෙර පරිදි අනුභාව සම්පන්න වන්නෙහි ය. චේතිය රාජය, බොරු කියන්නෙහි නම් බිමට බැස සිටුනෙහි.
kn-jat-5:312.7
1194. යමෙක් දන්නා දැයක් විචාරන ලදුයේ අන් අයුරෙකින් පවසන්නේ ද ඔහුගේ රාජ්‍යයට නොකල්හි වැසි වසී, සුදුසුකල්හි නො වසී.
kn-jat-5:312.8
1195. චේතිය මහරජ, ඉදින් සත්‍යය බෙණෙන්නේ ද පෙර පරිදි ම අනුභාව සම්පන්න වන්නෙහි ය, බොරු කියන්නේ නම් පොළොවෙහි පිවිසෙන්නෙහි ය.
kn-jat-5:312.9
1196. චේතිය මහරජ, යමෙක් විචාරන ලදුයේ දන්නා දැය අන් අයුරෙකින් පවසන්නේ ද, ඔහුගේ දිව සර්‍පයකුගේ මෙන් දෙදිව් වේ.
kn-jat-5:312.10
1197. රාජය, ඉදින් සත්‍යය බෙණෙන්නේ ද පෙර පරිදි අනුභාව සම්පන්න වන්නෙහි ය. ඉදින් බොරු කියන්නෙහි නම් චේතිය රජතුමනි, වැඩියක් බිමැ පිවීසෙහි ය.
kn-jat-5:312.11
1198. මහරජ, දන්නා දෙයක් විචාරන ලදුයේ, යමෙක් එය අන් අයුරෙකින් පවසන්නේ ද ඔහුට, මාලුවාට මෙන් දිව නැති වේ.
kn-jat-5:314.1
1199. මහරජ, ඉදින් සත්‍යය බණන්නෙහි ද පෙර පරිදි අනුභාව සම්පන්න වන්නෙහි ය. බොරු කියන්නෙහි නම් රජතුමනි, වැඩියක් පොළොවැ පිවිසෙන්නෙහි ය.
kn-jat-5:314.2
1200. මහරජ, දන්නා දැයක් විචාරන ලදුයේ යමෙක් එය අන් අයුරෙකින් පවසා ද, ඔහුගේ කුලයේ ගැහැනු උපදිත්. පිරිමි නූපදනාහ.
kn-jat-5:314.3
1201. මහරජ, ඉදින් සත්‍යය බෙණෙහි නම් පෙර පරිදි අනුභාව සම්පන්න වන්නෙහි ය. බොරු කියන්නෙහි නම් චේතිය රජතුමනි, වැඩියක් පොළොවැ පිවිසෙහි ය.
kn-jat-5:314.4
1202. මහරජ, දන්නා දැයක් විචාරන ලදුයේ, යමෙක් එය අන් අයුරෙකින් පවසන්නේ ද, ඔහුට පුත්‍රයෝ නො වෙත්. වෙත් නම් උපකාර නො කොට දෙසැ දෙසැ යෙත්.
kn-jat-5:314.5
1203. මහරජ, ඉදින් සත්‍යය බෙණෙහි ද පෙර පරිදි අනුභාවසම්පන්න වන්නෙහි ය. බොරු කියන්නෙහි නම් චේතිය රජ තුමනි, වැඩියක් පොළොවෙහි පිවිසෙන්නෙහි.
kn-jat-5:314.6
1204. පෙරැ මේ චේතිය රජ කපිල මහර්ෂීන් කරණ කොට ගෙන රජ වූයේ ආකාශචාරී ව සිට පිරිහී ගිය ස්වභාවය ඇතියේ කාලානුරූප ව පොළොවැ, පිවිසියේ ය.
kn-jat-5:314.7
1205. එහෙයින් ප්‍රාඥයෝ ඡන්‍දාදියෙන් අගතිගාමී වීම නො පසසත්. දූෂිත නොවූ සිතැත්තේ සාධූන් විසින් පසස්නා ලද සත්‍ය වවන ම කියන්නේ ය.
kn-jat-5:314.8
6. චේතිය ජාතක යි.
kn-jat-5:314.9
1206. නාරදයෙනි, යමෙක් කාමාශායෙන් ඉඳුරන්ගේ වශයට යේ ද, හෙ තෙම, (දෙව්මිනිස්) දෙලොව හැරපියා (නිරයේ උපදී). ජීවත් වන්නේ නමුදු ඉච්ඡාවිඝාතය නිසා ශෝකයෙන් වියළේ.
kn-jat-5:314.10
1207. පංචකාම සම්පත්තියට අනතුරු වැ නිරාදුකට ද සිල් රැකීම් ආදි විසින් විඳුනා දුකට අනතුරු වැ සැපතට ද පැමිණේ. හේ (නාරදර්ෂි) තෙමේ ද සැපත නසා දුකට පැමිණියේ ය. (එබැවින්) ධ්‍යාන සැපත කැමැති වන්නේ මැනැවි.
kn-jat-5:314.11
1208. යමෙක් දුක් පැමිණි කලැ දුක් ඉවසා ද දුක මඩින්නේ ද, ඒ ප්‍රාඥයා දුක අවසානයෙහි ලැබෙන සැපය වන ධ්‍යාන සැපත මැනැවින් ලබයි.
kn-jat-5:314.12
1209. අභිවෘද්ධියට කරුණු නො වන බැවින් ද අර්‍ත්‍ථකර නො වන බැවින් ද කාමයනට ආසා නො කටයුතු ය. උපදවන ලද ධ්‍යානය නසා කුසල ධර්‍මයෙන් ගිලිහෙන්නට සුදුසු නො වේ.
kn-jat-5:316.1
1210. ගැහැවියකුට (වස්තුව ලබාගැනීමේ දී) ඇති වන වෙහෙස මනාප ය. ධනය බෙදා වැළැඳීම මනාප ය. මහත් ඉසුරු ලැබීමෙහි උඩඟු නො වීම මැනැව. ධන විනාශයේ දී ක්ලාන්ත නො වීම මැනැව.
kn-jat-5:316.2
1211. ඒ දේවලර්ෂි යමක් කීයේ ද, මේ පාණ්ඩිත්‍යය ද මෙ පමණෙක් ම ය. යමෙක් ඉඳුරන්ගේ වශයට යන්නේ ද, මෙයට වඩා ලාමක බවෙක් නැත.
kn-jat-5:316.3
1212. සිවි රජතුමනි, සතුරන් අතට පත් කෙනකු බඳු මා මෙන් විනාශයට පැමිණේ ද, දිවි රක්නා කර්‍මාන්ත ද, හස්ත්‍යශ්වාදි ශිල්ප ද, ධන ඉපැයීමේ දක්‍ෂ බව ද, ආවාහ විවාහ සම්බන්‍ධය ද, පංචශීලය හා මෘදු වචන ඇති බව ද යන,
kn-jat-5:316.4
1213. මෙතෙක් අභිවෘද්ධිය සලසන කරුණු නසා සිය පාප කර්‍මයෙන් මනුෂ්‍යප්‍රේත ව උපනිමි. ඒ මම දහසින් පැරැදුණකු මෙන් නෑයන් නැතියෙක්මි, පිළිසරණක් නැත්තෙකිමි.
kn-jat-5:316.5
1214. ආර්‍ය (සත්පුරුෂ) ධර්‍මයෙන් පහ වූ මම ප්‍රේතයකු බඳු වෙමි. සුව කැමැත්තන් දුකට පමුණුවා මේ තත්ත්‍වයට මනුෂ්‍යප්‍රේත බවට පැමිණියෙමි. ඒ මම ගින්නෙහි සිටියකු මෙන් මහත් දාහ ඇතියෙම් කායික වූ ද චෛතසික වූ ද සැපක් නො ලබමි.
kn-jat-5:316.6
7. ඉන්‍ද්‍රිය ජාතක යි.
kn-jat-5:316.7
1215. ගෙය ගිනිගත් කලැ යම් කිසි බඩුවක් ගෙයින් බැහැර කෙරේ ද එය ගෙහිමියාට වැඩ පිණිස වේ. එසේ පිටතට නො ගත් යමක් වේ නම් එය එහි දැවීයෙයි.
kn-jat-5:316.8
1216. මෙසේ ලෝකයා ජරායෙන් ද මරණයෙන් ද ගිනි ගත්තේ වේ. දන් දීමෙන් ම වස්තුව බැහැර කරන්නේ මැනව. දුන් දැය මනා කොට පිටතට ගන්නා ලද්දේ වේ.
kn-jat-5:316.9
1217. යම් සත්ත්‍ව කෙනෙක් මහන්සියෙන් දැහැමින් ලබා ගත් වස්තුවෙන් දන් දේ ද, හේ යමයාගේ වේතරණී නදිය ද (අටමහ නිරය ද ඔසුපත් නිරයන් ද) ඉක්මැ දිව්‍යසම්පතට පැමිණේ. (දිවසැපත් ලබා.)
kn-jat-5:316.10
1218. දන් දීම ද යුද්ධ කිරීම ද සමානය යි කියත්. ජීවිතාශා රහිත ව සටන් වන් අය ස්වල්ප වුවත් බොහෝ සතුරන් දිනත්. (කුශලය ස්වල්ප වුව ද බොහෝ අකුශල් දිනිය හැක්කේ වේ). කර්‍මඵල අදහාගෙන ස්වල්ප වූ ද පරිත්‍යාගයක් කළොත් පරලොව දී එයින් ම හේ සැපවත් වේ.
kn-jat-5:318.1
1219. දක්‍ෂිණාර්‍හයන් සොයා දන් දීම සුගතයන් වහන්සේ විසින් පසස්නා ලදී. මේ මිනිස් ලොව යම් දක්‍ෂිණාර්‍හ කෙනෙක් වෙද් ද, උන් වහන්සේ විෂයයෙහි දුන් දන් මහත් ඵල ගෙන දේ. සරුකෙතෙක වපුළ බිජුවට මෙනි.
kn-jat-5:318.2
1220. යමෙක් සතුන් නොපෙළා හැසිරේ ද, පරූපවාද බියෙන් පව් නො කෙරේ ද (එබඳු) පාපභීරුකයා පඬුවෝ පසසත්. පෘප ශූරයා නො පසසත්, සත්පුරුෂයෝ (පවට) බිය නිසා පව් නො කරත්.
kn-jat-5:318.3
1221. හීන බ්‍රහ්මචර්‍ය්‍යායෙන් රජ පවුලේ උපදී. මධ්‍යම ලෙසින් පුරන බ්‍රහ්මචර්‍ය්‍යායෙන් දෙව් බවට පැමිණේ. උතුම් බ්‍රහ්මචර්‍ය්‍යායෙන් (මගබඹසරින්) කෙලෙසුන් කෙරෙන් පිරිසිදු වේ.
kn-jat-5:318.4
1222. ඒකාන්තයෙන් ආමිසදානය බොහෝ පසස්නා ලදී. දානයට වඩා (ශමථවිදර්‍ශනා නිර්‍වාණ පර්‍ය්‍යාප්ති සංඛ්‍යාත තිවිධ) ධර්‍මපදය උතුම් වේ. පෙරැ සිටි මහනුවණැති කාශ්‍යපාදි බුදුවරයෝ ද වඩාත් පෙරැ සිටි වෙස්සභූ ආදි බුදුවරු ද යන සත්පුරුෂයෝ නිවනට ම පැමිණියහ.
kn-jat-5:318.5
8. ආදිත්ත ජාතක යි.
kn-jat-5:318.6
1223. යම්කලෙක ගංගාවෝ තඩාග බවට හැරී සුදුනෙළුමෙන් සැදුණාහු වෙත් ද, කොවුලෝ සක මෙන් සුදුපැහැ වෙත් ද, දඹගස් තල්ගෙඩි දේ ද එකල්හි ඒකාන්තයෙන් (ඔබ හා) සමාගමය වන්නේ ය.
kn-jat-5:318.7
1224. යම් කලෙක කසුබු ලොමින් කළ තුන්වැදෑරුම් උතුරු සළුවෙක් ද හේමන්ත කාලයට සුදුසු පොරෝනයක් ද වන්නේ නම් එකලැ ඒකාන්තයෙන් (ඔබ හා) සමාගමය වන්නේ ය.
kn-jat-5:318.8
1225. යම් කලෙක මදුරු තුඩුවලින් ශක්තිමත් නො සැලෙන අටල්ලෙක් මනාව කරන ලද්දේ නම්, එකල ඒකාන්තයෙන් (ඔබ හා) සමාගමය වන්නේ ය.
kn-jat-5:318.9
1226. යම් කලෙක දෙව්ලොවට නගිනු පිණිස සස අඟින් හිණක් මනාසේ තනන ලද නම්, එකල ඒකාන්තයෙන් (ඔබ හා) සමාගමය වන්නේ ය.
kn-jat-5:318.10
1227. යම් කලෙක මීයෙක් හිණට නැඟ හඳ සපා කන් නේ ද, රාහුග්‍රහයා පලවා හරනේ ද, එකල ඒකාන්තයෙන් (ඔබ හා) සමාගමය වන්නේ ය.
kn-jat-5:320.1
1228. යම් කලෙක මැස්සෝ රා කළයක් බී සමූහ වැ හැසිරෙනුවෝ ගිනිඅඟුරෙහි වසන්නාහු ද, එකල ඒකාන්තයෙන් (ඔබ හා) සමාගමය වන්නේ ය.
kn-jat-5:320.2
1229. යම් කලෙක බිඹුපල (කෙම්ගෙඩි) වැනි තොල් ඇති, සුන්‍දර මුහුණ ඇති නෘත්‍යයට හා ගායනයට දක්‍ෂ කොටළුවෙක් වේ ද, එකල ඒකාන්තයෙන් (ඔබ හා) සමාගමය වන්නේ ය.
kn-jat-5:320.3
1230. යම් කලෙක කවුඩෝත් මහමුහුණේත් රහසිගත ව සාකච්ඡා කරන්නාහු ද ඔවුනොවුනට පියමනාප වන්නාහු ද එකලැ ඒකාන්තයෙන් (ඔබ හා) සමාගමය වන්නේ ය.
kn-jat-5:320.4
1231. යම් කලෙක පුලසපත්‍රයෙන් කළ කුඩය වැස්ස වළකා ගන්නට ශක්තිමත් වන්නේ ද එකල ඒකාන්තයෙන් (ඔබ හා) සමාගමය වන්නේ ය.
kn-jat-5:320.5
1232. යම් කලෙක කුළුඞ්කපක්‍ෂියෙක් ගන්‍ධමාදන පර්‍වතය තුඩින් ගෙන යන්නේ ද, එකල ඒකාන්තයෙන් (ඔබ හා) සමාගමය වන්නේ ය.
kn-jat-5:320.6
1233. යම් කලෙක යන්ත්‍රය සහ පලුපත් සහිත මුහුදු නැවක් කුඩා ගම්දරුවෙක් අතින් ගෙන යන්නේ ද, එකල ඒකාන්තයෙන් (ඔබ හා) සමාගමය වන්නේ ය.
kn-jat-5:320.7
9. අට්ඨාන ජාතක යි.
kn-jat-5:320.8
1234. මයිලණුවෙනි, කෙසේ ද? ඉවැසිය හැකි ද? සුවසේ දිවි පැවැත්විය හැකි ද? අද ඔබගේ සුවය මව විචාළා ය. අපි ද තොපට සැප කැමැත්තමෝ වම්හ.
kn-jat-5:320.9
1235. එළිය, මාගේ නඟුට - පාගා බලාත්කාර කොට අදම ‘මයිලණුවෙනි’යි අමතා මිදීගත හැක්කැ යි හඟිහි ද?
kn-jat-5:320.10
1236. පෙරදිගට මුහුණ ලා හුන්නෙහි ය. මම මුඛ වහන්සේගේ ඉදිරියෙන් ආයෙමි. තොපගේ නඟුට පසු පසැ වේ. එය කෙසේ මම මඩනෙම් ද?
kn-jat-5:320.11
1237. සාගර සහිත පර්‍වත සහිත සතර මහ දිවයින් යම් තාක් ද ඒතාක් මගේ වලග (පැතිර ගියේ) වේ. එය තෝ කෙසේ නම් නොම මැඩැ හරනෙහි ද?
kn-jat-5:322.1
1238. දුෂ්ටයාගේ වලග දිගය යන මේ කථාව මාපියෝ ද සොහොයුරෝ ද මට කැලැ මැ කීහ. (වලග ඇක්මෙන නිසා) ඒ මම අහසින් ආවෙමි.
kn-jat-5:322.2
1239. එළිස්සිය, අහසෙහි එන තී දැක මුවසමූහය පැන ගියා ය. මගේ ගොදුර තී විසින් නසන ලදී.
kn-jat-5:322.3
1240. මෙසේ කියා වලප්නා එළිස්සියගේ ගෙල ලෝහිතපායී දිවි තෙම ඩැගැගෙන ඉරාලී ය. දුෂ්ටයා කෙරෙහි සුභාෂිත බිණුමක් නැත. (දුෂ්ටයා සමග මිහිරි කථාවෙන් බිණුමෙන් පලෙක් නො වේ.)
kn-jat-5:322.4
1241. දුෂ්ටයාට නීතියෙක් නැත. ස්වභාවයෙන් පිහිටි උතුම් ගතියෙක් නැත. හොඳ කථාවෙක් නැත. දුෂ්ටයා කෙරේ පරාක්‍රමය යොදන්නේ ය. දුෂ්ටයා ද සත්පුරුෂයන් හා නො ඇලේ.
kn-jat-5:322.5
10. දීපි ජාතක යි.
kn-jat-5:322.6
පළමුවන කච්චානිවර්‍ග යි.
kn-jat-5:322.7
එහි උද්දානය:
kn-jat-5:322.8
කච්චානීජාතක (පරිසුද්ධා) යැ අට්ඨසද්දජාතක (බකරාජස්ස) යැ සුලසාජාතකය (කායුරා) යැ සුමඞ්ගලජාතක (දණ්ඩාව) යැ ගඞ්ගමාල ජාතක (අඞ්ගාර) යැ චේතිය ජාතක යැ ඉන්‍දියජාතක යැ ආදිත්ත ජාතක යැ අට්ඨානජාතක (ගණ්හ) යැ දීපි ජාතක (ඵළක) යැ යන දසය යි.
kn-jat-5:322.9
අට්ඨක නිපාතය නිමි.
kn-jat-5:324.1
9. නවක නිපාතය
kn-jat-5:324.2
1242. උල් අමුනා කළ හෙයින් සංකූපථ නමැති පැරැණි වූ ගිජුකුළුමුදුනට මාර්‍ගයෙක් විය. එහි ගිජුළිහිණියෙක් මහලු මාපියන් පෝෂණය කෙළේ ය.
kn-jat-5:324.3
1243. හේ ඔවුනට වුරුණුතෙල් සහිත පිඹුරුමස බොහෝ සෙයින් ගෙනායේ ය. පියා ද දන්නේ ඉහළ පියාඹන ශක්තිසම්පන්න, ඉතා දුර (පියාඹා) යන සුපත්ත නමැති පුත්‍රයාට මෙසේ කී ය.
kn-jat-5:324.4
1244. “දරුව, යම් කලෙක මුහුදෙන් වට වූ මහපොළොව පිරිමඬුලු වූ රියසකක් මෙන් (දියෙහි) ඉල්පෙන්නා දනිහි ද (පෙනේ ද) එතැනින් නවතින්න. ඉන් ඔබ්බට නො යන්න.”
kn-jat-5:324.5
1245. ශක්තිමත් වූ පියාපත් ඇති, වක් වූ ගෙල ඇති පක්‍ෂි රාජ තෙම පර්‍වත ද වනපෙත් ද බලමින් වේගයෙන් අහසට පැන නැංගේ ය. (පියාඹා ගියේ ය.)
kn-jat-5:324.6
1246. ‘යව’යි කියා පියාගෙන් යම්සේ අසන ලද ද, එසේ ම සයුරෙන් වට වූ රියසකක් සේ වට වූ පොළොව ගිජුළිහිණි තෙමේ දිටී ය.
kn-jat-5:324.7
1247. හේ පියාණන්ගේ ඔවා වශයෙන් කී තැනත් ඉක්මැ ඈතට ම ගියේ ය. වාතශිඛාව (වේගවත් වේරම්බ වාතය) ශක්තිමත් පක්‍ෂියා පැහැර ගත්තේ ය. (ඒ වාතයට අසුවිය.)
kn-jat-5:324.8
1248. පියා කී (පිළිවෙළ) මග ඉක්මවා ගිය පක්‍ෂියා වේරම්බ වාතයට අසු වැ නවතින්නට නො හැකි වූයේ විනාශයට පැමිණියේ ය.
kn-jat-5:324.9
1249. අවවාද අනුව නො පිළිපන් යම් ඒ ගිජුළිහිණියෙක් වී ද, ඔහුගේ දූදරුවෝ ද භාර්‍ය්‍යාවෝ ද, සෙසු පිරිවර පිරිස ද යන හැමදෙනා ම ව්‍යසනයට පැමිණියාහ.
kn-jat-5:324.10
1250. එසේ ම මෙලොව, යමෙක් වැඩිහිටියන්ගේ කීම වටහා නො ගනී ද, පමණ ඉක්මැ, හැසිරෙන්නේ ද, කියන ලද අවවාද ඇති, එහෙත් අනුශාසනා ඉක්මැ ගිය ගිජුළිහිණියා මෙන්, නුවණැති වැඩිහිටියන්ගේ අවවාද නො පිළිගන්නාහු වැනැසෙති.
kn-jat-5:324.11
1. ගිජ්ඣ ජාතක යි.
kn-jat-5:326.1
1251. පතළ ශබ්ද ඇති එහෙයින් ම සමාන වූ බහුතර ජන තෙමේ, කිසිවෙක් තමා අනුවණ යැ යි නො දත්තේ ය. සංඝ (සාමග්‍රිය) බිඳෙන කලැ, (තමන් නිසා) බිඳෙති යි යන අනිත් කාරණය ද බෙහෙවින් ම නො සිතූහ.
kn-jat-5:326.2
1252. සිහිය මඳ පණ්ඩිතාභාසය ඇත්තෝ (පණ්ඩිතමනීහු) කටට ආවක් කියන්නාහු වෙති. යම්තාක් කැමැති ද ඒතාක් මුව අයා සිට කියති. යම් විවාදයෙකින් මේ නිර්ලජ්ජී බවට පැමුණුණේ ද එය නො දත්හ.
kn-jat-5:326.3
1253. මට ආක්‍රෝශ කෙළේ ය. මට පහර දුන්නේ ය, මා පැරැදැ වී ය, මා සතු දැය පැහැර ගත්තේ යැ යි (සිතමින්) යම් කෙනෙක් වෙර බඳිත් ද ඔවුන්ගේ වෛරය නො සන්හිඳේ.
kn-jat-5:326.4
1254. යම් කෙනෙක් මට ආක්‍රෝශ කෙළේ ය, මට පහර දුන්නේ ය, මා පැරැදැවීය, මා සතු දැය පැහැර ගත්තේ යැ යි වෙර නො බඳිත් ද, ඔවුන්ගේ වෛරය සන්හිඳේ.
kn-jat-5:326.5
1255. මෙලොව කිසිකලෙකත් වෛරයෙන් වෛරයෝ නො සන්හිඳෙති. අවෛරයෙන් (මෛත්‍රී කිරීමෙන්) වෛරයෝ සන්හිඳෙති. මෙය බුද්ධාදි උතුමන්ගේ පැරැණි දහමෙකි.
kn-jat-5:326.6
1256. මේ සඟමැද විවාද කරන මෝඩ වූ අපි මරුමුවට යම්හ යි නො දනිති. එහි යමෙක් අපි මරුමුවට යම්හ යි දනිත් ද එයින් විවාදයෝ සන්හිඳෙති.
kn-jat-5:326.7
1257. ඇට සිඳුනා, දිවි තොර කරන, ගවයන් අසුන් රන් රුවන් ඈ වස්තුව පැහැරැ ගන්නා රට කොල්ලකන රජුන්ගේ ද එකතුව වෙයි. කුමක් හෙයින් තොප සමගි නො වන්නේ ද?
kn-jat-5:326.8
1258. නුවණැති, එක්ව හැසිරෙන, මනා පැවැත්ම ඇති, ධෛර්‍ය්‍යය සම්පන්න වූ කලණ මිතුරකු ලබන්නේ නම්, හැම උවදුරු මැඩැ සතුටු සිතැති වැ සිහිය ඇති වැ ඔහු හා හැසිරෙන්නේ ය.
kn-jat-5:326.9
1259. නුවණැති, එක්ව හැසිරෙන, මනා පැවැත්ම ඇති. ධෛර්‍ය්‍යය සම්පන්න කල්‍යාණ මිත්‍රයකු නො ලදොත් දිනූ රට හැර පියා වල් වන් (මහාජනක) රජු මෙන් ද, (රක්‍ෂිත වනයෙහි හුදෙකලා වූ) ඇත් රජු මෙන් ද, හුදෙකලා ව හැසිරෙන්නේ ය.
kn-jat-5:326.10
1260. හුදෙකලා ව විසුම ශ්‍රේෂ්ඨ වේ. අනුවණයන් හා මිතුරු බවෙක් නැත. වනයෙහි තනි ව හැසිරෙන (පාරිලෙයක) ඇත්රජු මෙන් (පිරිස් පරිහරණයෙහි) උත්සාහ නැති ව හුදෙකලා ව හැසිරෙන්නේ ය. පාපක්‍රියා නොකරන්නේ ය.
kn-jat-5:326.11
2. කෝසම්බික ජාතක යි.
kn-jat-5:328.1
1261. යම් කලෙක ගස පලින් යුක්ත ද, (එ කලැ) පක්‍ෂීහු අත්තෙන් අත්තට යන්නාහු පල බුදිති. පල අවසන් කලැ, ගස ඵල රහිත යැ යි දැන, පක්‍ෂීහු එතැනින් වෙනත් දිසා කරා යති.
kn-jat-5:328.2
1262. ලේපැහැති තුඩක් ඇති පක්‍ෂිය, චාරිකා කරන්නෙහි. “ගිරවාණෙනි, ඔබ වියැලීගිය මේ ගසේ සිට කුමක් සිතවු දැ”යි කියන්නැ. වසන්ත සමයෙහි කැලෑරොදෙක පැහැයට සමාන ගිරවාණෙනි, කවර හෙයින් මේ වියැලීගිය ගස අත් නො හරිවු ද?
kn-jat-5:328.3
1263. එම්බා හංසය, යහළුවනට යම් යහළු කෙනෙක් වෙත් ද, ඔව්හු ජීවිත විනාශයෙහි ද දුකසැප දෙක්හි ද වස්තුව පිරිහිණැ යි හෝ නො පිරිහිණැ යි කියා ද සත්පුරුෂයෝ සත්පුරුෂ ධර්‍මය සිහි කරන්නාහු සිය මිතුරන් නො හරිති.
kn-jat-5:328.4
1264. එම්බා හංසය, ඒ මම සත්පුරුෂයන් අතර එකෙකිමී, මට මේ ගස නෑයෙක් ද යහළුවෙක් ද වේ. මෙය පිරිහිණැ යි දැන තම ජීවිතය රකිනු සඳහා මෙය හරින්නට වෑයම් නො කරමි. පල රහිත යයි (සිතා) එය හැර දැමීම සත්පුරුෂධර්‍මය නො වේ.