Jātaka

Birth Stories

මූලාශ්‍රය සහ සංස්කරණ විස්තර

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-29 · 7679 segments

කියවීමේ විකල්පමෙම උපාංගයේ පමණක් සුරැකේ

ඔබගේ පෞද්ගලික සටහන

ඔබට පමණක් පෙනේ. මූලාශ්‍ර පාඨයේ කොටසක් නොවේ.

පෙන්වන කොටස් 1901-2000 න් 7679

පාඨයක් සොයන්න හෝ පිටුව වෙනස් කරන්න
kn-jat-5:328.5
1265. යහළුකම ද මෛත්‍රිය ද පිරිස ඇසුරු කිරීම ද කරන ලද්දේ මැනැවි. ඒ ධර්‍ම තුන රුස්නෙහි නම් නුවණැත්තන්ගේ පැසැසුමට සුදුස්සෙක් වෙහි.
kn-jat-5:328.6
1266. පියාපත් යාන කොට ඇත්තා වූ අහසින් යන්නා වූ වක් ගෙළ ඇත්තා වූ ගිරවාණෙනි, ඒ මම ඔබට කැමැති වරයක් දෙමි. යමක් සිතින් කැමැත්තෙහි ද ඒ වරය ඉල්ලන්න.
kn-jat-5:328.7
1267. එම්බා හංසය, ඉදින් තෙපි මට වරයක් දෙන්නහු නම්, මේ දිඹුල්රුක නැවත ආයුෂ ලබාවා. ගස අතුපතර ඇති මිහිරි පල සහිත වැ මනාව වැඩුණෙක් වැ ශෝභමාන වැ සිටීවා.
kn-jat-5:328.8
1268. මිතුර, මහත් පල ඇති ඒ ගස බලන්න. දිඹුල්ගස හා ම ඔබගේ වාසය වේවා, දිඹුල්ගස අතුපතර සහිත ව මනාව වැඩුණේ මිහිරිපල සහිත ව හොබනේ වේවා.
kn-jat-5:330.1
1269. ශක්‍රදේවේන්‍ද්‍රය, අද මම ඵල සහිත ගස දැක යම්සේ සුවපත් වූයෙම් ද, එසේ ම ඔබ ද සියලු නෑයන් සමග සුවපත් වෙත්වා.
kn-jat-5:330.2
1270. දිඹුල්ගස ඵල සහිත කොට ගිරවාට වරය දී ශක්‍රයා බිරිය සමග දෙවියන්ගේ නන්‍දනෝද්‍යානයට ගියේ ය.
kn-jat-5:330.3
3. මහාසුක ජාතක යි.
kn-jat-5:330.4
1271. නීල්කොළ සහිත රුක්හු ඇත. ගෙඩි සහිත බොහෝ රුක්හු වෙත්. පවන් හමන කලැ හඬන සිදුරු සහිත වියැළි රුකෙහි ගිරවාගේ සිත කවර හෙයින් ඇලුණේ ද?
kn-jat-5:330.5
1272. අවුරුදු බොහෝ ගණනක් (මේ ගසේ) ගෙඩි බුදීමු. ගසේ පල නැති බව දැනැ ද පෙර යම්සේ මිතුරු බවක් වී ද, පල නැති කල්හි දු (මිත්‍රකම) එසේ ම වේ.
kn-jat-5:330.6
1273. වියැළි ගියා වූ ද පවනින් හඬන්නා වූ ද හැලුණ කොළ ඇති රුක හැරපියා පක්‍ෂීහු යෙති. මෙහි ගිරවාණෙනි, කවර වරදක් දක්නහු ද?
kn-jat-5:330.7
1274. යම් කෙනෙක් පල අපේක්‍ෂාවෙන් සෙවුනාහු ද, පල නැති කලැ (ඵල නැතැ යි) එය හැර දමත් ද, ඒ ආත්මාර්‍ත්‍ථකාමී නුවණ ඇති අසත්පුරුෂ බුද්ධිමතා මිත්‍රපක්‍ෂය නසයි.
kn-jat-5:330.8
1275. යහළු බව කරන ලදුයේ මැනැව. මෛත්‍රිය ද පිරිස්හි සමාගමය ද කරන ලද්දේ මැනැව, ඒ ත්‍රිවිධධර්‍මය රුස්නෙහි නම් පණ්ඩිතයන් ගේ පැසැසුමට සුදුස්සෙහි.
kn-jat-5:330.9
1276. පියාපත් යාන කොට ඇත්තා වූ ද අහසින් යන්නා වූ ද වක් ගෙළ ඇත්තා වූ ද ගිරවාණෙනි, ඒ මම ඔබට කැමැති වරයක් දෙමි. සිතින් කැමැති වන යමක් ඇතොත් එය ඉල්ලන්න.
kn-jat-5:330.10
1277. කොළ සහිත පල සහිත ඒ ගස දක්නෝ නම් ඉතා මැනැවි. නිධානයක් ලද දිළින්දකු මෙන් එය නැවැත නැවැත අභිනන්‍දනය කරන්නේ නම් ඉතා යෙහෙක.
kn-jat-5:330.11
1278. ඒ නදියෙන් දිය ගෙන දිඹුල්ගසට වක්කෙළේ ය. ඒ ගසේ සිහිල් සෙවණ දෙන සිත්කලු අතුපතර වැඩී ගියේ ය.
kn-jat-5:332.1
1279. ශක්‍ර දේවේන්‍ද්‍රය, මම පල ඇති ගස දැක යම්සේ සුවපත් වීමි ද, එසේ ම ඔබ ද සියලු නෑයන් සමග සුවපත් වෙත් වා !
kn-jat-5:332.2
1280. දිඹුල්ගස පල සහිත කොට ගිරවාට වරය දී ශක්‍රයා බිරිය සමග දෙවියන්ගේ නන්‍දනෝද්‍යානයට ගියේ ය.
kn-jat-5:332.3
4. චුල්ලසුක ජාතක යි.
kn-jat-5:332.4
1281. මහ බමුණ, හාරිත තවුසා කාමසම්පත් අනුභව කරතැ යි මා විසින් මෙය අසන ලදී. කිමෙක් ද? මේ වචනය බොරු ද? කිමෙක් ද, පවිත්‍ර වැ වෙසෙහි ද?
kn-jat-5:332.5
1282. මහරජ, ඔබ යම්සේ අසන ලද ද, එය එසේ ම ය. සත්ත්‍වයන් මුළා කරන පංචකාමගුණයෙහි මුළා වූයෙම් වැරැදි මඟ පිළිපන්නෙම් වෙමි.
kn-jat-5:332.6
1283. කෙබඳු සිතක් වුව ද, උපන් රාගය (ඒ සිතැ වූ) යම් ප්‍රඥාවෙකින් දුරු නො කරන්නේ වී නම්, සියුම් වූ, සර්‍වාර්‍ත්‍ථයන් මැනැවින් සිතන, ඒ ප්‍රඥාව කුමට ද?
kn-jat-5:332.7
1284. මහරජ, යමෙක ප්‍රඥාව නො බැස ගනී ද එසේ වූ රාග ද්වේෂ මද මෝහ යන මේ සතර ලොවැ අත්‍යර්‍ත්‍ථයෙන් ම ඉතා ම ප්‍රබලහ.
kn-jat-5:332.8
1285. පූජාර්‍හ වූ ශීලසම්පන්න වූ, හාරිත තවුසාණෝ පිරිසිදු වැ හැසිරෙති. නුවණැතියෝ යැ යි පණ්ඩිතයෙකැ යි අප විසින් බුහුමන් කරන ලදී.
kn-jat-5:332.9
1286. මහරජ, ශුහ නිමිති ගැනීමෙන් පැවැති, රාග නිඃෂග්‍රිත වූ, ලාමක කාමවිතර්‍කයෝ දහම්ගුණයෙහි ඇලුණු නුවණැති වූ ද තවුසාට පවා හිංසා කෙරෙති.
kn-jat-5:332.10
1287. ඔබට යහපතෙක් වේ වා. ඔබ බොහෝ දෙනා අතුරෙහි නුවණ ඇත්තෙකැ යි ප්‍රසිද්ධ වූවෝ ය. ඔබේ සිරුරේ හටගත් ගුණවර්‍ණ රූපවර්‍ණ දෙක අපවිත්‍ර කරන මේ රාගය උපන. එය දුරු කරන්න.
kn-jat-5:332.11
1288. නුවණැස අඳුරු කරන, බොහෝ දුකට හේතුවන මහා විෂයක් වැනි ඒ කාමයන් දුරු කරන්නට ඔවුන්ගේ මුල සොයන්නෙමි. බැඳුම් සහිත රාගය සිඳින්නෙමි.
kn-jat-5:332.12
1289. සත්‍යය හා පරාක්‍රමය ඇති හාරිත නමැති තවුසා මෙය කියා කාමරාගය දුරු කොට බඹලොව ගියේ ය.
kn-jat-5:332.13
5. හාරිත ජාතක යි.
kn-jat-5:334.1
1290. නදී තොමෝ බහුශ්‍රුත වූ ද විසිතුරු කථා ඇත්තා වූ ද පාටල නමැති ගදඹා ගෙන යයි. නදී දියෙන් ගෙන යනු ලබන තැනැත්තව, තට සෙත් වේවා මට එක් ගාථාවක් කියන්න.
kn-jat-5:334.2
1291. දුකට පත් තැනැත්තහු යම් ජලයෙකින් තෙමෙද්ද, ආතුරයා යම් ජලයෙකින් තෙමේ ද, ඒ දිය මැද මියයන්නෙමි. පිහිට වූ තැනින් බිය උපනි.
kn-jat-5:334.3
1292. යම් තැනෙක බිජුවට වැඩේ ද, සත්ත්‍වයෝ යම් තැනෙක පිහිටියෝ ද, ඒ පොළොව මගේ හිස පෙළයි. පිහිට වූ තැනින් බිය උපනි.
kn-jat-5:334.4
1293. යමක් නිසා බත පිසද්ද, යමක් නිසා සිත නසී ද, ඒ ගින්න මාගේ සිරුර දවයි. පිහිට වූ තැනින් බිය උපනි.
kn-jat-5:334.5
1294. අනුභව කළ යම් ආහාරයෙකින් බොහෝ බ්‍රාහ්මණයෝත් ක්‍ෂත්‍රියයෝත් යැපෙත් ද, අනුභව කරනලද ඒ ආහාරය මා විනාශ කරයි. පිහිට වූ තැනින් බිය උපනි.
kn-jat-5:334.6
1295. ග්‍රීෂ්ම ඍතුවේ අවසාන මාසයෙහි පඬිවරු වාතය කැමැති වෙති. ඒ වාතය මගේ සිරුර බිඳී. පිහිට වූ තැනින් බිය උපනි.
kn-jat-5:334.7
1296. පක්‍ෂීහු යම් ගසක් ඇසුරු කළෝ ද, ඒ ගස ගිනි පිට කෙරෙයි. කුරුල්ලනි, (අන්) දිසාවක් ඇසුරු කරවු. පිහිට වූ තැනින් බිය උපනි.
kn-jat-5:334.8
1297. මල්දම් පැළැඳි සඳුන් ගැල් වූ යමක සොම්නසින් ගෙනාවෙම් ද ඕ තොමෝ මා නිවෙසින් නෙරපන්නී ය. පිහිට වූ තැනින් බිය උපනි.
kn-jat-5:334.9
1298. උපන් යමකු නිසා ප්‍රීත වීම් ද, යමකුගේ දියුණුව බලාපොරොත්තු වූයෙම් ද, හේ මා ගෙයින් නෙරපයි. පිහිට වූ තැනින් බිය උපනි.
kn-jat-5:334.10
1299. රැස් වූ ජනපද වැසියෝ ද නියම්ගම් වැසියෝ ද මගේ කීම අසත්වා. යම් ජලයෙක් වී ද එය ගිනි ඇවිල ගත්තේ ය. යම් රජකුගෙන් ආරක්‍ෂාව වී ද ඔහුගෙන් බිය උපනි.
kn-jat-5:334.11
1300. රජතුමා ද පුරෝහිත බමුණා ද රට කොල්ල කති. පිහිට ඇති තැනින් බිය උපනි. තෙපි තොපගේ ම ආරක්‍ෂාව ඇත්තෝ ව වාසය කරවු.
kn-jat-5:334.12
6. පදමානවක ජාතක යි.
kn-jat-5:336.1
1301. ලෝමස කස්සප තවුසා ලවා පශුඝාතක යාගය කරවන්නේ නම් ඒකාන්තයෙන් අජරාමර වන්නෙහි ය. ශක්‍රයා හා සමාන රජෙක් වන්නෙහි ය.
kn-jat-5:336.2
1302. සය්හය, සයුර සීමා කොට ඇති, සයුරෙන් වට වූ මහපොළොවත් පශුඝාතක කර්‍මය නිසා ලැබෙන නින්‍දාවත් කැමැති නො වෙමි. මෙසේ මෙය දනු මැනවි.
kn-jat-5:336.3
1303. බමුණ, අධර්‍මයෙන් ලබන යම් කීර්තියෙක් හෝ ධනයෙක් හෝ වේ ද. අපායොත්පත්තියට හේතුවන යම් දිවි පැවැත්මක් හෝ වේ ද අධර්‍ම චර්‍ය්‍යාවෙක් හෝ වේ ද එයට නින්‍දා වේවා.
kn-jat-5:336.4
1304. අධාර්මික යම් සෙවීමක් වේ ද, එයට වඩා අනගාරික වැ පාත්‍රයක් ගෙන භික්‍ෂාටනයෙන් දිවි පැවැත්වීම ශ්‍රේෂ්ඨ වේ.
kn-jat-5:336.5
1305. ගෙයක් නැතියේ නමුදු අන්‍යයන්හට හිංසා නො කොට පාත්‍රයක් ගෙන පිඬුසිඟා හැසිරෙන්නේ නම්, රාජ්‍යයට වඩා එය උතුම් වේ.
kn-jat-5:336.6
1306. අඳුර නසන හෙයින් චන්‍ද්‍රයා බලයෙකි. සූර්‍ය්‍යයා ද එබඳු බලයෙකි. හොඳ නරක ඉවැසීමට සමත් හෙයින් මහණ බමුණෝ ද බල නම් වෙති. මුහුද වෙරළ ඉක්මැ නොයන හෙයින් වෙරළ ද බල නම් වේ. ස්ත්‍රීහු මෙසියල්ලට වඩා බල වෙති.
kn-jat-5:336.7
1307. යම්සේ උග්‍ර තපස් සහිත වූ ලෝමස කස්සප නමැති ඍෂිවරයා ලවා චන්‍ද්‍රවතී බිසෝ සිය පියාණනට යහපත පිණිස වාජපෙය්‍ය නම් යාගය කැර වී ද, එසේ හෙයින් මෙකී සියලු බලයනට වඩා ස්ත්‍රී බලයෙකි.
kn-jat-5:336.8
1308. මා විසින් මේ චන්‍ද්‍රවතිය කෙරේ ලෝහ උපදවා ඒ ලෝභයෙන් කළ කාමහේතුක වූ ඒ පාපක්‍රියාව කටුක විපාක ඇත්තේ ය. ඒ පාපක්‍රියාවෙහි මූල හේතුව සොයන්නෙමි. බැඳුම් සහිත රාගය සිඳ දමන්නෙමි.
kn-jat-5:336.9
1309. රජතුමනි, ලෝකයෙහි ඉතා බොහෝ වූ ද කාමයනට නින්‍දා වේවා, මේ කාමසම්පත්තීනට වඩා තපස ශ්‍රේෂ්ඨ වේ. එහෙයින් කාමයන් හැර දමා තපස්වර්‍ය්‍යාව කරන්නෙමි. රට ද චන්‍ද්‍රවතී කුමරිය ද ඔබට ම වේවා.
kn-jat-5:336.10
7. ලෝමසකස්සප ජාතක යි.
kn-jat-5:336.11
1310. කසටවන් පෙරෙවියන් බඳු රන්වන් පැහැ ඇති ව යුගළ යුගළ වැ සතුටු සිතැති ව හැසිරෙන පක්‍ෂීන් වූ තොපට කියමි. (විචාරමි) එම්බා කුරුල්ලෙනි, මිනිසුන් අතරේ කවර නමෙකින් තොපගේ ජාතිය පසසත් දැ යි කියවු.
kn-jat-5:338.1
1311. මනුෂ්‍ය හිංසකය, ඔවුනොවුන් කෙරේ ප්‍රිය සිතැති ව වසන අප චක්‍රවාකයන් යැ යි මිනිස්සු කියති. කුරුල්ලන් අතුරෙහි කලණමිතුරුදම් ඇත්තෝ යැ යි සම්මතයෙන් වෙමු. බිය රහිත වැ විලෙහි හැසිරෙමු.
kn-jat-5:338.2
1312. සක්වාවෙනි, තොපගේ බලය ද පැහැය ද අලාමක ය. කිමෙක් ද?, මේ විලෙහි කවර ඵල වර්‍ග බුදින්නෝ ද? කවරකුගේ මස් කන්නහු ද? කෙබඳු අහරක් බුදිවු ද?
kn-jat-5:338.3
1313. කවුඩාණෙනි, විලෙහි ඵලවර්‍ග නැත. සක්වාවනට කන්නට මස් කොතැනින් ලැබේ ද? අපි පොතු රහිත සෙවෙල් බුදින්නවෝ වෙමු. ආහාරය සඳහා පව් නො කරමු.
kn-jat-5:338.4
1314. සක්වාවනි, තොපගේ ආහාරය මට නො රිසියෙයි. එහෙයින් මේ චක්‍රවාක වර්‍ගයාගේ ආහාරයට සමාන ආහාර (සෙසු පක්‍ෂීනට) නැත්තේ යැ යි මට ‘පෙර මෙසේ විය. එයට පසු අන් අයුරෙකින් වී ය’ කියා තොපගේ ශරීර වර්‍ණය පිළිබඳ සැකයෙක් හටගති.
kn-jat-5:338.5
1315. මමත් මස් ද ගෙඩි ද ලුණු හා තෙල් සහිත ආහාර ද බුදිමි. සංග්‍රාම භූමියෙහි ශූරයකු පරිදි මිනිසුන් සතු ආහාර පැහැර ගෙන කමි. සක්වාවනි, එසේ වුව ද තොපගේ පැහැයට සමාන පැහැයෙක් මට නැත.
kn-jat-5:338.6
1316. කාකය, ඔබ අපවිත්‍ර දෙය බුදින්නෙහි ය. ප්‍රමාද වූ මොහොතෙහි (සිටි තැනින්) වැටෙන සුලුයෙහි. කන බොන දැය තට දුකසේ ලැබේ. රුක්හි ඵලයෙන් ද සොහොන්මැද යම් මසෙක් වේ නම් එයින් ද තෘප්ත නො වන්නෙහි ය.
kn-jat-5:338.7
1317. මොහොතින් (හුන් තැනින්) වැටෙන ස්වභාවය ඇති කාකය, යමෙක් බලහත්කාරයෙන් ලැබ ගත් ආහාර බුදී ද ඔහුට ස්වභාවධර්‍මය නින්‍දා කෙරේ. එසේ නින්‍දා කරන ලද (ඔහුගේ) වර්‍ණය ද බලය ද හරී.
kn-jat-5:338.8
1318. ඉදින් සැහැසිකම් නො කිරීමෙන් ද අනුන් නොනසනුයේ දැහැමින් ලද මඳ වූ හෝ ආහාර වළඳා (වෙසේ) නම්, ඔහුගේ ශරීර ශක්තිය ද පැහැය ද හටගන්නේ ය. වර්‍ණය මුළුමනින් ම ආහාරය නිසා හටගන්නේ නො වේ.
kn-jat-5:338.9
8. චක්කවාක ජාතක යි.
kn-jat-5:340.1
1319. වනයේ ඉතා දුර පිහිටි සේනාසනයේ ශීතාදිය ඉවැසිය හැකි ය. යම් කෙනෙක් ගමෙහි දී ශීතාදිය ඉවසත් ද ඔවුහු ඒ ඉවැසීමෙන් වනවාසීනට වඩා උදාර වෙති.
kn-jat-5:340.2
1320. පියාණෙනි, මම වනයෙන් ගමට අවුත් කෙබඳු වූ ශීලයක් කෙබඳු වතක් කෙබඳු පුරුෂයකු ඇසුරු කරම් ද? විචාරන ලද ඔබ එය මට කියන්න.
kn-jat-5:340.3
1321. පුත්‍රය, යමෙක් තා හා විශ්වාස කෙරේ ද, තා හා කළ විශ්වාසය බොහෝ කල් රකී ද, යමෙක් තාගේ කීම අසන්නට රිසියේ ද, යමෙක් තාගේ කීම ඉවසන්නේ ද, තෝ මේ වනයෙන් ගමට ගියෙහි ඔහු ඇසුරු කරව.
kn-jat-5:340.4
1322. මෙයින් නික්මැ ගිය තෝ, යමකුගේ කයින් හා වචනයෙන් හා සිතින් දුෂ්කෘතයෙක් (නොමනා ක්‍රියාවෙක්) නො වේ ද, (මව) ළෙහි හොවා ගත් පුතකු සේ ඔහු සිතින් පිහිටුවා ගෙන (ඔහු කෙරෙහි විශ්වාසය පිහිටුවා) ඇසුරු කරව.
kn-jat-5:340.5
1323. යමෙක් සුචරිතයෙන් යුතු වැ හැසිරේ ද, එසේ හැසිරෙනුයේත් (මම් සුසිරි පුරමි යි) මානී නො වේ ද, දසපින්කම් කරන නුවණැති ඔහු, මෙයින් ගමට ගියෙහි, ඇසුරු කරව.
kn-jat-5:340.6
1324. දරුව, දඹදිව මිනිසුන්ගෙන් හිස්ව ගිය ද ස්ථිර පැවැතුම් නැති, කහ පැහැයෙන් පැහැ ගැන්වූවා වැනි, වඳුරකුගේ සිත වැනි සිතැති, මොහොතින් ඇලීමත් මොහොතින් නො ඇලීමත් ඇති (චපල) පුරුෂයා ඇසුරු නො කරව.
kn-jat-5:340.7
1325. කිපුණු සපකු සේ, අශූචි වැකි මාවතක් සේ, යානයෙකින් යන්නහු විසම මඟක් සේ එවැනි මූඪයා දුරින් ම දුරු කරව.
kn-jat-5:340.8
1326. දරුව, මෝඩයා හා වැඩි ඇසුර කරන්නහුගේ අනර්‍ත්‍ථ වැඩේ. හැම කල්හි ම සතුරකු සමඟ මෙන් ම මූඪයා සමඟ ද ඇසුරට නො යන්න.
kn-jat-5:340.9
1327. දරුව, මම තාගෙන් ඉල්ලමි. මාගේ වචනය කරව. මූඪයා හා ඇසුරට නො යව. කවර හෙයින් ද? මූඪ ආශ්‍රය දුක් ගෙන දෙන්නේ ය එහෙයිනි.
kn-jat-5:340.10
9. හළිද්දිරාග ජාතක යි.
kn-jat-5:342.1
1328. පින්වත්නි, තෙපි තිදෙන කොහි සිට එන්නහු ද? ආයේ මැනැවැ. මේ ආසනයෙහි ඉඳගනිවු. පින්වත්නි, කිම, දුකක් නැත්තෝ ද? නීරෝගී ද? කලකට පසු ඔබගේ පැමිණීම විය.
kn-jat-5:342.2
1329. තවුසාණෙනි, මම හුදෙකලා වැ මෙහි පැමිණියෙමි. මට කිසි දු දෙවැන්නෙක් නැත. පින්වත, තෙපි තිදෙන කොහි සිට ආවහු දැ යි තොප විසින් කවර හෙයින් කියන ලද ද?
kn-jat-5:342.3
1330. කරඬුවෙක තැබූ තොපගේ ප්‍රිය බිරිය බඩ තුළැ ය. තා විසින් රැකි තාගේ කුසට පත් ඇය වායුපුත්‍ර නමැති විද්‍යාධරයකු හා කුස තුළැ ම කෙලෙස් රතියෙන් ඇලී සිටින්නී ය.
kn-jat-5:342.4
1331. තවුසා විසින් මෙසේ කියන ලදු වැ කලකිරුණු දානව අසුරයා කරඬුව වමාළේ ය. එ විට වායුපුත්‍ර නමැති විද්‍යාධරයා ද එහි ඔහුට ඇලි හොත් සුවඳ මල්දරා සිටි බිරිය ද දිටී ය.
kn-jat-5:342.5
1332. තවුසාණන් වහන්ස, උග්‍ර ලෙස තාපස ධර්‍මය රක්නා වූ තොප විසින් කාරණය මැනැවින් දක්නාලද ස්වභාවය ඇත්තේ ය. යම්සේ ඒකාන්තයෙන් මෙහි ලා මාගේ පණ ලෙස රැකි බිරිය මා කෙරේ ද්‍රෝහිණී වූවා අන් පුරුෂයකු වඩා රිසියෙයි. එහෙයින් යම් පුරුෂ කෙනෙක් මාගම් වසයට ගියෝ ද ඔව්හු හීනයෝ වෙති.
kn-jat-5:342.6
1333. වනයෙහි වෙසෙන තවුසකු විසින් ගින්නක් මෙන්, රෑ දවල්හි උවටන් කරන ලද්දී ද ඕ පතිවත දහමින් ඉවත් වැ අධර්‍මයෙහි හැසුරුණා ය. එහෙයින් ස්ත්‍රීන් හා ඇසුර නොකළ යුතු ස්වභාවය ඇත්තෙක.
kn-jat-5:342.7
1334. මාගේ කුස තුළැ සිටියා යි ද මෝ මාගේ යැයි ද අසත්පුරුෂ වූ, සංයම නැති මැය (ගැන) සිතීමි. එහෙත් ඕ පතිවත දහමින් ඉවත් වැ අධර්‍මයෙහි හැසුරුණා ය. එහෙයින් ස්ත්‍රීන් හා ඇසුර නො කටයුතු ය.
kn-jat-5:342.8
1335. මෝ මා විසින් මැනැවින් රක්නා ලදැ යි නුවණැත්තේ කෙසේ නම් ස්ත්‍රිය හදහන්නේ ද? නානාවිධ සිතුවිලි ඇති ස්ත්‍රීන් විෂයයෙහි රැකීමෙක් නැත. එය එසේ ම ය. ස්ත්‍රීහු ලොකාස්වාදරතියෙන් තෘප්තිමත් නොවන හෙයින් මහමුහුදේ ප්‍රපාතයකට සමානයහ. මෙසේ වූ ස්ත්‍රීන් කෙරේ ප්‍රමත්ත වූ පුරුෂයා විනාශයට යෙයි.
kn-jat-5:344.1
1336. එහෙයින් යම් කෙනෙක් ස්ත්‍රීන්ගෙන් දුරු වැ හැසිරෙද්ද, ඔහු සැප ඇත්තෝ වෙති. ශෝක නැත්තෝ වෙති. උතුම් ධ්‍යාන සුවය පතනුයේ මාගමුන් හා එක්ව හැසිරීම නො කරන්නේ ය.
kn-jat-5:344.2
10. සමුග්ග ජාතක යි.
kn-jat-5:344.3
1337. යෙහෙළිය, පූතිමාස නමැති තිගේ සැමියාගේ බැල්ම මට නො රුස්නේ ය. මෙබඳු මිතුරාගෙන් ප්‍රයෝගයෙන් දුරින් ම දුරු වන්නේ ය.
kn-jat-5:344.4
1338. උමතු වූ මේ වේණි තොමෝ සැමියා හමුවේ යෙහෙළියගේ ගුණ කියයි. ආවා වූ මේලමාතා නමැති එළිය පෙරළා යන්නිය ගැන ශෝක කෙරේ.
kn-jat-5:344.5
1339. මිතුර, ඔබ මළ එකකුසේ කොට ගෙන නුසුදුසු වෙලාවෙහි බැලූහ. ඒ ඔබ විචාරබුද්ධිය රහිත පිස්සෝ වෙති.
kn-jat-5:344.6
1340. නුවණැත්තේ, අකාලයෙහි හෙවත් කාමගුණ ශුභ වශයෙන් සිතක් උපන් කල්හි නො බලන්නේ ය, කාලයෙහි හෙවත් අශුභ වශයෙන් සිත් උපන් කල්හි බලන්නේ ය, යමෙක් නුසුදුසු අවස්ථායෙහි බලා ද හේ, පූතිමාංස හිවලා මෙන් කනස්සලු වේ.
kn-jat-5:344.7
1341. යෙහෙළිය, මට ප්‍රිය තැනැත්තකු වේවා, මට තුටු පඬුරු දෙව, මාගේ සැමියා ජීවත් වේ. ප්‍රියයන් විචාරන්නිය මා සමග එන්න.
kn-jat-5:344.8
1342. යෙහෙළිය මාගේ ප්‍රිය තැනැත්තකු වේවා, ඔබට තුටු පඬුරු දෙමි, මහත් පරිවාර සම්පත් සහිත ව එන්නෙමි. අපට ආහාර පිළියෙළ කරන්න.
kn-jat-5:344.9
1343. යම් කෙනකුන්ට ආහාර පිළියෙළ කරම් ද (ඒ) ඔබගේ පිරිවර කෙබඳු ද? ඒ හැම කෙබඳු නම් ඇත්තෝ ද? විචාරන්නා වූ මට එය කියන්න.
kn-jat-5:344.10
1344. මාලිය, චතුරක්ඛ, පිංගල සහ ජම්බුක යන මොව්හු මාගේ පිරිවර සමූහය වේ. ඔවුනට සුදුසු ආහාර පිළියෙළ කරන්න.
kn-jat-5:344.11
1345. ගෙයින් බැහැර ගිය කලැ ගෙයි භාණ්ඩ විනාශ වෙයි, ඔබගේ මිතුරාට (ඔබේ) සුවදුක් කියමි. එහෙයින් මෙහි මැ (ගෙයි මැ) වාසකර, පිටතට නො යන්න.
kn-jat-5:344.12
11. පූතිමාංස ජාතක යි.
kn-jat-5:344.13
1346. තා විසින් පිස දුන් බත් ලැබූ යමෙක් තොපගේ නිරපරාධ වූ දරුවන් කෑයේ ද ඔහුට දළින් පහර දෙව. තාගේ අතින් නො මිදේවා.
kn-jat-5:344.14
1347. ඉතා කැකුළු පැවැතුම් ඇති පුරුෂයා කිරිමවකගේ වස්ත්‍රයක් මෙන් අපවිත්‍ර ය. එහෙයින් සිරුරෙහි යම් කොටසෙක දළ පහර දෙම් ද එයට (යෝග්‍ය) ශරීරයෙහි කොටසක් නො දකිමි.
kn-jat-5:346.1
1348. කළගුණ නො දන්නා නිතර අනුන්ගේ වරද සොයන පුරුෂයාට සියලු පොළොව ම දුන්නේ නමුදු ඔහු සතුටු කළ නො හැක.
kn-jat-5:346.2
1349. ව්‍යාඝ්‍රය, යුහුසුලු ගතියකින් මෙන් මාණවකයකු හා කුමක් හෙයින් පෙරළා ආයෙහි ද? මෙහි තොපට කුමන වැඩක් තිබේ ද? මා විසින් විචාරන ලද්දෙහි මේ කරුණ කියව.
kn-jat-5:346.3
1350. මනා පැවැතුම් ඇති තොපගේ මිතුරු වූ යම් වටුවෙක් වේ ද, දැන් ඒ පුරුෂයාගේ කටයුතු අසා ඇති හෙයින් සැක කරමි, අද වටුවා සැපසේ ඇතැ යි මම නො සිතමි.
kn-jat-5:346.4
1351. මේ පුරුෂයාගේ දිවි පැවැත්වීමට කෙබඳු වැඩක් (කරන ලද දැ යි) ඇසූයේ ද, පුරුෂයාගේ කවර පොරොන්දුවක් අසා මාණවකයා විසින් තිත්තිර පඬිතුමා මරන ලද යි සැක කෙරෙහි ද?
kn-jat-5:346.5
1352. කළිඟු දේශයෙහි හැසිරැ පුරුදු ඇත. වෙළෙඳාම් කොට පුරුදු ඇත. වේවැලේ උපකාරයෙන් යායුතු කණු සහිත මාර්‍ගයන්හි ඇවිද පුරුදු ඇත. නළුවන් හා හැසිරෙන ලද වරදැල් වැද්දන් හා හැසිරෙන ලද පිරිස්මැද මුගුරෙන් සටන් කොට පුරුදු ඇත.
kn-jat-5:346.6
1353. ඔහු විසින් සියොත්හු ද බඳින ලදහ. නැළියෙන් වී ආදි ධාන්‍ය මනින ලද. දුකෙළියෙන් දිනන ලද. ශීල සංයමය ඉක්මවා ගියේ ය. මධ්‍යමරාත්‍රියෙහි ලේ වැගිරීම නවතාලී ය. පිඬු සිඟාගිය අවදියෙහි උණු අහර පිළිගැනීමේ දී අත් දැවිණි.
kn-jat-5:346.7
1354. ජීවිකා වෘත්තිය පිණිස (කළ) මේ පුරුෂයාගේ ඒ කටයුතු ඇසීමි, වටුවාගේ ලොම්ගුලි (පිහාටුරොද) ජටායෙහි යම්සේ දක්නා ලැබේ ද, එහෙයින් ගවයෝ ද මොහු විසින් මරන ලදහ යි (සිතමි). වටුවා ගැන කියනු කවරේ ද?
kn-jat-5:346.8
12. තිත්තිර ජාතක යි.